Monday, November 09, 2015

[325] කවි (ගැන) කතන්දරයක්


මට කවි ලියන්නට සිතෙන්නේ ඇයි දැයි මා කියන්නට දන්නේ නැත. ලිවීමට කියවීමට අපේ අම්මාත් , අක්කාත් රුසියන් නමුදු අපට පරම්පරාවෙන් ආ කිසි ප්‍රතිභාවක් පිලිබඳ හෝඩුවාවල් නැත්තේය . 

ඉදින් ,  1992 පටන් ගත් අහඹු කවි කෙරුවාව , නතර වෙමින් යලි ඇරඹෙමින් දැන් වසර විසි තුනක් සපුරා තිබේ . මේ ඊයේ පෙරේදා මට බොහොම ආසා හිතෙන තාලේ අලුත් මොනවා හරි කරන්නට සිතුනේය . නිකමට කවියක් දෙකක් පරිවර්තනය කිරිමයි ඒ. 

Dennis Brutus [1924-2009] නම් කවියාගේ I am the Tree නම් කවිය මට ඇස  ගැසෙයි. නිකමට පාහේ පෙරලුන පද ටික , ඉතාම රසවත් කවි අභ්‍යාසයක් බවට පත්වූයේ කවියට , මට සහ පරිවර්තන කලාවට ආදරය කරන කිහිප දෙනෙකුගේ සොඳුරු සංවාදය නිසාවෙනි. 

මේ පොත මට ලැබෙන්නේ හිතවත් ශාන්ත කේ හේරත් සිත්තරාගෙනි. 



මේ පොතේ කවි සිංහලට හරවා කවි පරිවර්තනය අත් හදා බලන්නැයි  එතුමාණන් මගෙන් ඉල්ලිමක් කරයි. එහෙත් හිතුවක්කාර සහ කාර්යබහුල මම එය විවිධ හේතු දක්වමින් එය පස්සට දැමුවෙමි. ඔයි පොත නිසා මේ සිත්තර තුමාණන් විටෙක මා සමග අමනාප වුයේද අතට දුන් පොත නොකියවන්නට තරම් මට තියන කම්මැලිකම නිසා නොපහන් වූ බැවිනි. ඉතින් පහුගිය සතියේ දෙකේ ලැබුණු කුඩා විවේකයක් දෙකක් ප්‍රයෝජයට ගෙන මෙන්න මේ පහත කවිය මට සිංහලට පෙරලන්නට සිත් වුනි. 

මුල් කවිය මෙසේය .....


I am the Tree

I am the tree
creaking in the wind
outside in the night
twisted and stubborn:

I am the sheet
of the twisted tin shack
grating in the wind
in a shrill sad protest:

I am the voice
crying in the night
that cries endlessly
and will not be consoled.

Dennis Brutus [1924-2009]

මේ කවිය දුටු සැනින් එය මා අතින් මුල්ම වතාවට පද පෙරලෙන්නේ මෙසේය ! මෙය අදහස උකහා ගෙන මා කැමති විචිත්‍ර අදහස් කවා ලියන අනුවර්තනයක් කරනු වෙනුවට , පරිවර්තනයක්ම බවට පත් කිරිමට මට උවමනා විය.


මම _ වෙමි _ ගස
.
මම ගසක් වෙමි
සුලඟින් කීරි නද දෙන
කට්ට කරුවල ‍රැයක
හිතුවක්කාර විලසින් ඇඹරෙන

මම පියැස්සක් වෙමි
කුඩා බෙලෙක් අතු පැලෙක
සුලඟද කීරි ගස්වන
කර්කශ විරෝධය නොතකන

මම ඒ ස්වරය වෙමි
රාත්‍රියෙහි අඬා වැටෙන
නිමක් නොමැතිව හඬන
කඳුල අස්වසන්නට නොලැබෙන ...

තියෙන නොයිවසිල්ල නිසාවෙන් ලියන පරක්කුවෙන්ම මම එය මුහුණු පොතට මුදා හරිමි. බ්ලොග් පිටුවට එය ඇමිනෙන්නට ගතවන පැය කිහිපයේදී , කවිය මට මඳක් වෙනස් කරන්නට සිතෙයි. එහෙයින් බ්ලොග් පිටුවට එන විට කවියට මඳ විකෘතියක් ලැබී තිබෙයි . 


මම _ වෙමි _ ගස

මම _ ඒ ගස ..
සුලඟින් කීරි නද දෙන 
කට්ට කරුවල ‍රැයක 
හිතුවක්කාර විලසින් ඇඹරෙන 

මම _ ඒ පියැස්ස ...
කුඩා බෙලෙක් අතු පැලෙක 
සුලඟද කීරි ගස්වන 
කර්කශ විරෝධය නොතකන 

මම _ ඒ හඬ ...
රාත්‍රියෙහි අඬා වැලපෙන  
හැඩුම  බිඳකුදු නිම නොවන 
හඩනු  මිස , සැනසුමක් නොදකින ...

බ්ලොග් කොමෙන්ටු අතරෙහි ස්වර්ණමය අදහස් මතු වෙයි. මෙතෙක් කිසි ලෙසකින් සිතා නොතිබු , මුල් කවියෙහි නියම තේරුම මට හමුවෙයි.


"මේ කවියෙ ලොකු තේරුමක් තියෙනවා,
මුල්ම කවිය අප්‍රිකාවෙ වර්ණභේද වාදය හදුන්වා දුන් දේශපාලකයන් නිරූපනය කරනවා,
දෙවන එක, බ්‍රිතාන්‍යයන්ට වර්ණභෙද වාදයට විරුද්ධ වු සහ එයට සහයෝගය දක්වපු දෙපිරිසම නියෝජනය කරනවා.
තුන්වැනි එක, මේ දෙපිරිසෙන්ම බැට කෑ කලු අප්‍රිකානුවන් පෙන්නුම් කරනවා.." 

තේරුම ඇසු කල්හි මට මා ගැනම තරහක් පහල වෙයි. මන්ද එහි ඇති වටිනා තේරුමට ගෑවී යන්නට තරම් වත් අදහසක් මා ලියු පරිවර්තනයෙන් ගම්‍ය නොවන බව පැහැදිලිය . මම කවිය වෙනස් කරන්නට තීරණය කරමි. 
  

මම _ වෙමි _ ගස

                           මම වෙමිය ඒ හිතුවක්කාර මහ ගස
වේරම්භ වාතයකිනුදු නොසැලෙන
අන්ධකාර රැයඳුරට
තැතිගෙන දැඩිව සසැලෙන ...

පියැසි තහඩුවක් වැනි මම
දිරාගිය පැල්පතක හෙවිල්ලූ
සෙවණ සුරකිනු පිණිස
මාරුතය මඩිනු රිසිව, පොර බදන..

මම ය ඒ විලාපය ,
නිහඬ රාත්‍රිය ඇහැරන
කඳුළු ඩා රුහිරු උපදින
නොනිමි හැඬුමක වේදනා ඉවසන.


තවත් සොයුරෙක් මට තවත් පද වැලක් දෙවන කව වෙනුවෙන් යෝජනා කරයි . 


"මම ඒ පියැසි තහඩුව,
ඇඹරුනු කුඩා ගෙපැලෙහි,
කර්කශ හඬින් වැලපෙන,
දුක්බර සිතින් සුලඟෙහි"

දවස බොහෝ වේගයෙන් අවසන් වෙයි. කුරුල්ලන්ද පෙම්බස් දොඩා නින්දට යන වෙලාවයි. තවමත් තෘප්තියෙන් සැනසුමක් නොලැබූ අසම්පුර්ණ පරිවර්තනයට අවසාන සැනසුමක් දෙන්නට අපි තීරණය කරමු. නොයෙක් වර එහෙම මෙහෙට දෝලනය වූ කවි සිතිවිලි අවසාන මෙබඳු පද පෙලකින් අවසන් වෙයි. 

                                 
මම _ වෙමි _ ගස

වනස්පතිය මම වෙමි
වැඩුනු හැඩි දැඩිව
ගනදුරු රැයක
ඇඹරෙමින්, කීරි ගස්සන
චන්ඩ මාරුතයක් පවා

සුළඟින් ඇඹරී ගිය අට්ටාලයේ
ඇතිරූ තහඩු සෙවිල්ල මමය
කර්කශ සුලගට විරුදුව හඬ නගන
සෙවණ සුරකිනු පිනිස පොරබදමි

මමය ඒ වැලපුම් ස්වරය,
අනන්ත රාත්‍රීන් පුරාවටම ඉකිගසන..
බිදකුදු අස්වැසිල්ලක් නොලබන
හිරු එළියක් නොදුටු හැඬුම මම වෙමි

ඔබ ඒ කියවුයේ සාමුහික සහෘද නිර්මාණයකි . 

මාහැඟි කවි අභ්‍යාසයක් මෙසේ නිම වෙයි. එකම කව එක එක අයුරෙන් නොයෙක් සුරතින් ප්‍රතිනිර්මාණය වෙයි.  එලෙස ලියවුනු එක කවක් අනෙකට වඩා සුන්දර හෝ අසුන්දර යයි කිව නොහැකිය. මන්ද , අභ්‍යාසයක රස සහ භාව ඒ ලියු හැම අකුරකම නො අඩුව තිබෙන නිසාය. මා සමග දවස් ගණනාවක් කවි ලියූ, කියවූ, නොමසුරුව කවි මට දුන් සියලු සොඳුරු හදවත් වලට පින් ! මේ නම් ඉතා තෘප්තිමත් වූ අභ්‍යාසයකි. 

දැන් ඔබේ වාරය. මේ සියලු උත්සාහයන් කියවා බලා ඔබේ  ප්‍රියතම කවිය තෝරා ගෙන ,  රසවිඳීමේ පුර්ණ අයිතිය මම මහත් සෙනෙහසින් ඔබට පවරමි. 
ස්තුතියි. 


"ජීවිතෙත් මේ වගේ .. මම , මගේ , ඔයාගේ කියලා දෙයක් නැහැ . මේ කිසි අදහසක් ඔයාටවත් මටවත් අයිති දෙයක් නෙවෙයි. එක 'අපේ' නිර්මාණයක් . එහෙම හිතන තරමට තමයි ඕනෑම දෙයක් ලස්සන වෙන්නේ. එකට එකතු වෙලා සහයෝගයෙන් ගොඩ නගන දේ කොහොමත් ලස්සනයි "  
එය නම් සැබෑවක්මය...

11 comments:

  1. කපන්න කපන්න මුවහත් වෙන එකක් තමා කවිකමත්.. අර කවියක් ලියල එවපු පුගුලා අපේ රවි තුමා නේද?? හැක්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ් ඔව් ඔව් ඒ පුගුලා තමා .... :)

      Delete
  2. පරිවර්තනයකින් අපේම බාසා මායිම් (localization) තුල කවි රසය වඩාත් මතු කරත හැකි වෙනවා කියන එකයි මගේ අදහස.

    කවියක පදපේලි කිහිපයක් ලියලා පද එහාමෙහා කරද්දි මතුවෙන ලස්සන තමයි කවියේ අලංකාරය. විටෙක එය සුළු කාර්යයක් වුණත් සංකීර්ණ ව්‍යායාමයක්. ඉස්සර සටහන් පොතක හිරවෙන කවියක ඒ වෙන්ස් වර්ෂන් ද විවිධත්වයක් දුන්නා නැවත නැවත කියවීමේදී. අද ඩිජිටල් ලිවීමේ දී ඒ වෙනස රසවිඳින්න ලැබෙන අවස්ථාව අඩු වෙන්වා. අපේම ඩිජිටල් මාධ්‍යයන් බොහෝ විට ඒ නිර්මාණය ඉක්මන් කරවනවා.

    කවි නිර්මාණයක් විවිධ අර්ථකතන වලට බඳුන් වේ නම් එයයි සාර්ථකත්වය. මොකද කවියක් ප්‍රිස්මයක්, කැඩපතක් කියනවාට වඩා දර්පණ තල කිහිපයකට මැදි වූ කැලිඩස්කෝපයක් - විවිධ හැඩ තල මවන.

    ජය!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.
      "අපේම ඩිජිටල් මාධ්‍යයන් බොහෝ විට ඒ නිර්මාණය ඉක්මන් කරවනවා."
      Agree !

      Delete
  3. මගේ වැඩි කැමැත්ත පළමුවෙනි පරිවර්තනයට. කවියකින් මතුකරන යටිපෙළ පරිවර්තනයේදි කවිය තුලින්ම ඉදිරිපත් කරන්න උත්සාහ කිරීම සමහර අසාර්ථක වෙන්න පුළුවන්. මට නම් හිතෙන්නේ කවියේ සරල බව වඩාත්ම හොඳට රැකිලා තියෙන්නේ පළමු පරිවර්තනයේ කියලා.

    මේ කවියේ යටිපෙළ අර්ථය කෙනෙකුට ග්‍රහණය කරගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ කවිය ලියැවුණු කාලය, පසුබිම සහ අනිවාර්යයෙන්ම රචකයාගේ මැදිහත්වීමක් අවශ්‍යයි ඒ කවිය ඒ විදිහට තේරුම් ගන්න. ඒ පසුබිම් තොරතුරුත් සමග අර සරල කවිය ගලපන්න අපිට පුළුවන් වෙනවා. ඒකත් රසවිඳීමක්. රංබණ්ඩා සෙනෙවිරත්න ලියූ 'උලලේනෝ' බොහෝ දුරට මීට සමාන එකක් කියල මට හිතෙනවා. එහි වචනාර්ථයෙන් හුදෙකලා බවක්, පරාජිත බවක් මතු කලාට, එය 71 කැරැල්ල හා සම්බන්ධ කෙරෙන්නේ රචකයාගේ මැදිහත්වීමෙන්. ඒ පසුබිම අර පුළුල් අර්ථයත් එක්ක ගලපා ගැනීම තමයි අපේ රසවිඳීම.

    මේ කවියට පරිබාහිරව ඉදිරිපත් වූ යටිපෙළ කවිය හා ගැලපීමට උත්සාහ කිරීම පරිවර්තනයටත් වඩා රසවත් ව්‍යායාමයක් වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. සමහර විට මුලින්ම ලියවෙන සරල දේ , අමුතු ව්‍යන්ගයක් හෝ බරසාර වචනයක් දෙකක් එබ්බවීමෙන් යම් කිසි ග්හීර බවක් දෙන්නට අප උත්සහ කරනවා වෙන්නට පුළුවනි.

      මේ ව්‍යායාමයට මෙතරම් වියත් අදහස් එක් කලාට තුති !

      Delete
  4. ජීවිතේ මල්ගෙ අන්තිම කවි ටික නම් සුපිරියි..හොද පරිනත භාවයක් පෙන්වනවා මුල් කවි හා සසදද්දි..

    ReplyDelete
  5. කවියක් ලියා සනසන දහසක් නයන
    අරුතක් මවන්නට වෙර වීරිය දරන
    කවිකම කොහේ තිබුනත් එය හරි වටින
    තුටු වෙමි මම ඔබේ බ්ලොග් ලිපිය බලමින :)

    ReplyDelete
    Replies
    1. ශා.. කවි ගැන කවියකි ලිව්වට ඉස්තුති :)

      Delete
  6. මම ලිපියක් ලිවීම සඳහා සිංහලට පරිවර්තනය වූ කවි පිළිබඳ සොයනවා... ඔබේ කවියත් එළියක්.. දන්න විස්තර දෙන්න පුළුවන් ද?

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->