රතු අහස සිය
තිමිර සලු පොරවාගෙන නින්දට හරි බරි ගැසෙන සන්ධ්‍යාවයි. ඈත ගම් දනවු වල කැදලි සොයා පියාඹන කිරල . වවුල් සහ කාක නාදය අහස වසා වෙලා
ගනිද්දී ගං ඉවුර පමණක් නිසංසලය . කණට ඇහෙන නෑහෙන ගානට ගඟබඩ නිසංසලය බිඳ දමා
කැලැත්තෙන කුඩා ජල තරඟ සමග හැප්පෙන පාලම් පාරුවක් ගඟ ඉවුරේ නතරව සිටී . එහි
කොණෙක ඇණ බා හිඳ ගෙන , ලහි ලහියේ ගොඩ නැගෙන පාලම් බඳ දෙස මහලු තොටියකු හිස් බැල්මෙන් බලා සිටී.
මලානික ලන්තෑරුම්
එලියෙන් මඳ පමණට පලවා හරින අන්ධකාරය, මුළුමනින්ම දුරින් දුරු කොට දැවැන්ත නියෝන් බුබුලු වැල් පාලම් කණු වල නොබෝ දිනකින් එල්ලෙනු ඇත. ලන්තෑරුමට
, පාලම් පාරුවට සහ
තොටියාට සැඳෑ සමය එලඹ තිබේ . ගඟ දිය දෙබෑකොට අහස උසට පැන නැඟුනු කොන්ක්‍රීට්
කුලුනෙහි ලැග , අහස ගැබෙහි තරු සමග දොඩමලු වන්නට කුරුළු කොබෙයියන්ට නිනව් නැතුවා
සේය. ගඟ දියට නැමී ගත් තුරු අගිස්සක පැද්දෙමින්, සුළඟ ගහකොළ මෙන්ම පාරු පිහිටෙන්
එගොඩ මෙගොඩ වන ගම්බද සිරික්කි මුහුණු දකින්නට කුරුළු කොබෙයියන්ට වැඩි කල් ඉතිරිව
නැති සෙයකි. කොන්ක්‍රීට් දුහුවිල්ලෙන්
වෙහෙස පත් තොටියාගේ හැඬුමකට සමාන පාරු කවි ගී හඬ පාලම් මෝලේ කුලු ගෙඩි පහරින් දවස
තිස්සේ යටපත් වෙයි. ගහකොලටත් ගඟ ඉවුරටත් ඉසුඹුවක් ලැබෙන රාත්‍රිය දැන් නිහඬය .
කාලය විසින්
බොහෝ වෙනස් කම් ගහකොළ සතා සීපාවුන්ට පමණක් නොව මිනිසාටද සිදු කොට තිබේ. සොබාදහමේ
නියමයන්ට එකඟව හීන් සීරුවේ ඇදෙන පාරුවක මන්දගාමී වේගය, හැල්මේ දුවන නූතන මිනිසුන්ට
නොගැලපීම අරුමයක් නොවේ . කාලය විසින් කොල පැහැය
උදුරා ගෙන අලු පාට කොන්ක්‍රීට් පැහැය ඒ ඒ තැන්හි පින්තාරු කොට තිබේ.
කිසිවෙකුත් එගොඩ මෙගොඩ
වන්නට තබා සුව දුක් අසන්නටවත් ගොඩ නොවෙන හුදකලා පාලම් පාරුව දිරාපත් වන වේගයටත් වඩා
වේගයෙන් , තොටියාගේ කුඩා ගෙපැලෙහි අඹු දරුවන්ගේ ජීවිත මහලු වෙයි. උන්ගේ බඩගින්න
දෙස බලා හිඳින්නට පාලම මතින් ජීවිතය සොයා දුවයන පුහුදුන් මිනිසුනට කාලය ඉතිරිව නැත.
ජීවිත කාලය පුරාවට තම මෙහෙය නිසි සේ ඉටු කළ ගෞරවාන්විත පුරවැසියෙකුට හිමි රතු
විල්ලුද පලස් ඔහුට හිමි නැත. සුසිනිඳු සේද සළු වෙනුවට ඒ දුප්පත් ගෙපැලෙහි අනියත හෙටක
සෝ සුසුම් පටල ජිවිතයට සිතල ගෙනෙනු ඇත.
මෙගොඩ සිට සුසුම් ලන්නන් අනල්පය. සොබා දහමෙහි හද
ගැස්මට අනුනාද වන තාලයට මහා පොළවෙහි ඇවිද යන්නට ඉවසීමක් ඇත්තේ එහෙමත් කෙනෙකුටය. එහෙයින්ම
එතෙර වන්නන් අල්පය. තොටියාණෙනි, ජීවිතය අද එක ඉවුරක නතරව ඇතද නුඹ එතෙරව සිටී.
කවුරුවත් නැහැ
- කවුරුවත් නැහැ
එගොඩට යන්නට -
එගොඩට යන්නට...
ඉරගල වැටිලා -
ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා -
පාරුව ඇතුලට
ලංතෑරුම කෝ
ඔහෙ තිබුනාවේ...
කවුරුවත් නැ
කවුරුවත් නැ...
දවසින් දවසම
පාලම හැදුනා
පාලම් මොලෙන්
හෙන හඩ ඇසුනා
කිරන කැලෑවේ
කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න
ගිහින්...
කවුරුවත් නැ
කවුරුවත් නැ....
දෑතේ අතැගිලි
හබලට ගෙවුනා
ගෙනියන්නට
බැරි මහ බර තිබුනා
මෙතුවක් නොම
ගිය බර අද දවසේ
මට හිනැහීගෙන
යනවා රහසේ
කවුරුවත් නැ
කවුරුවත් නැ....
නංගී ....ආයෙම හැරෙන්න බෑ - පාළමක් ඇති තැන පාරුවකට ඉඩක් නෑ - කොළපාට සුන්දරයි ඒත් අළු පාට වීම වළක්වන්න බෑ - ලෝකය මේ යන ගමන ඒක දිශානතිකයි - නැවත හැරීමක් නෑ . හරි අපූරුයි මේ සටහන
ReplyDeleteස්තුතියි අක්කේ. මම දන්නවා ඒ යථාර්තය ... අපිට එයට පිටු පාන්න බැහැ නේද ?
Deleteලස්සනයි...........
ReplyDeletesthuthiyi :)
Deleteහ්ම්.. ඒ්ක නං ගතිම ගති සටහනක්
ReplyDeleteඅපූරුයි
හරිම ස්තුතියි :)
Deleteමේක කියෙව්වාම, මට දුප්පත් දරකපන්නාගේ කවිය මතක් වුණා. එච්චරමයි.. ඉතිරිය හිස්!!! මම වෙන කිසිදෙයක් කියන්නෙ නෑ..
ReplyDeleteස්තුතියි නෙරන්ජි නංගි :)
DeleteHarima apuri
ReplyDelete