Wednesday, October 15, 2014

[314] සුදු ලී වැටකින් වටවූ පිට්ටනිය සහ සිඟිති Mystique කොලනිය


දැන් මම සාඩම්බර කෝච්චි දරුවෙක් බවට පත්ව සිටින්නෙමි. කෝච්චියත් ඒ හා බැඳුනු ජීවිතත් දෙස බලා ඉන්න එකත් හරි අපූරු වැඩකි.. 

උදෑසනම රත්මලාන දුම් රිය නැවතුම වෙත තෙරෝද රියෙන් යන්නේ දුර වැඩි හෙයිනි.  එතැන් පටන් දවසේ රේස් එක ඇරඹෙයි. රේස් දුවන ගමන් රේස් දුවන අනික් උන් දෙස විපරම් කිරීම හරිම ආසා හිතෙන සෙල්ලමකි. ඔක්කෝම එක හැල්මට දුවති. දුවන්නේ පෝලිමට එක් වෙන්නටය . ටිකට් ගන්නටය . නුදුරේ එන දුම් රියෙහි එල්ලෙන්නටය. ඊට පසු හොඳ තැනක් අල්ලා ගන්නටය . මඳ ප්‍රමාදයක් පාඩු ගොඩකට හේතු කාරණ වෙයි. ජීවිතේත් ඒ වගේ නොවැ.

දුම් රියට නගින ගැහැණු අප නම් , පාඩුවේ සින්දුවක් අහගෙන යනවා විනා කුමක් කරන්නද ?. පිරිමි ඈයෝන්ට නම් තියනවා නොවැ ගැහැණු ලමයින් දිහා බලන්නට !  

ගැහැණු ලමයින් වේවා , නැන්දලා වේවා , දුම් රියේ යන හැමෝටම ආගන්තුක අමුත්තන් හඳුනා ගැනීමේ පුදුම ඉවක් තිබෙයි. ඒවා ට ලක් වෙවී , වට පිට බල බලා , ට්‍රැෆික් නැති කෝච්චි පාරෙන් වැඩට හා ගෙදර යාමට ලැබීම නම් භාග්‍යයකි.(කෝච්චියට ජය වේවා !) 


කවදත් වාගේ පූර්විකාව කතාවකට වඩා දික් වෙයි. 

දුම් රිය ගල්කිස්ස පසු කරයි.. ඇසිල්ලෙන් මා දුටු දසුනෙන් මවිත වෙමි. ගල්කිස්සත් දෙහිවලත් අතර ඉතා කොළ පැහැති හරි හුරුබුහුටි පිට්ටනියක් පසු වෙයි. ඒ ලස්සන කුඩා පිට්ටනිය කුමක්ද ? ඒ පිට්ටනිය වටේට ලී තීරු පේලියට හිටවා ගැසූ කොට වැටකි. [ඒවාට කියන්නේ පිකට් ෆෙන්ස් නේද? ] ඒ පිට්ටනිය වටා සුන්දර කුඩා ගම්මානයක් වාගේ එකකි. බටහිර පන්නයේ උස් වහලයන්ගෙන් සුසැදි සුදෝ සුදු හුරුබුහුටි කුඩා ගෙවල් ගොන්නකි.  සිත කුතුහලයෙන් පිරෙයි. මේ පුංචි කොලනිය කුමක්ද ? මා එන්ගලන්තයට හෝ උතුරු අයර්ලන්තයට ගියාවත්ද? මා සිහිනයක්වත් දකිනවාවත්ද ?  මා මනෝ ගසන අතරතුර , එහා පැත්තේ හිටගෙන ජැක් ගසන මැදිවියේ මහතා , මා දකින්නේ සිහිනයක් නොවන බවත් , ඒ සිටින්නේ උතුරු අයර්ලන්තයේ නොව ශ්‍රී ලංකාවේ පොදු ගමනාගමනයෙහි යෙදෙමින් බවත් සනාථ කරයි. 

අද සවස මා දුම් රියට ගොඩ වන්නේද ඒ කුඩා සිඟිති ගම් පියැස්ස දෙස හොර බැළුම් හෙලන්නට නොතිත් ආශාවෙනි . වාසනාවට දුම් රිය තදබද නොවූයේය. ඉතා සාමකාමී  හැන්දෑවකි. ඉරිදාවක ගල්කිස්සට යා යුතුද?. ගොස් ඒ ගම්මානය කුමක්දැයි සොයා බලා එන්නද ? ඇත්තටම ඒ මට විතරක් පෙනෙන ,මලවුන් වෙසෙන අද්භූත ගම්මානයක්ද ?  යද්දී එතැන ගම්මානයක් නැති මුඩු බිමක් හෙම නම්  !!!!! මට මොනවා හිතෙයිද ? කොහොමට හිටීවිද ?

හොඳයි , ගම්මානය හමු වුවොත් ????? අහෝ එතැනින් මගේ කුතුහලය සන්සිඳවෙනවා නොවේද ? . එපමණක් නොව එතෙකින් ඔබ්බට , මට සිහින මවන්නට , අරුම පුදුම අභව්‍ය කතා ගොතමින් මනෝ ලොවක සැරිසරන්නට තරම් සෑහෙන , කුඩා ගමෙහි ෆැන්ටසිය අහවර වෙයි. යථාර්තය දිස්වෙයි. ඒ සිඟිති රාජධානිය පසු වන වාරයක් පාසා එබී බලා හිතෙන් ගොතන කතාව නිම වී , දුටු වනම දැනුවත් බවෙහි ඕලාරිකත්වයට නතුව අහක බලාගන්නට මට සිදුවෙයි. අරුමය ඉවර වෙයි. කොටින්ම මේ බ්ලොග් පෝස්ට් එකම ලැජ්ජා හිතෙන තාලේ අමන විහිලුවක් බවට පත් වෙයි.

මා එහි නොයන්නට තීරණය කරමි. 


ඔබට Big Fish  මතකද ? Tim Burton ගෙතූ , කොතෙක් නැරඹුවත් එපා නොවන , ඒ අරුම පුදුම නිර්මාණය. කතන්දර කියන , කතන්දර වලම ජීවත් වන , එඩ්වඩ් බ්ලූම් ! එඩ්වඩ්ට හමුවන කාල් නමැති අසාමාන්‍ය උසින් යුත් යෝධ මිනිසා ! 


කාල් සමග නගරයට යන අතර තුර , එඩ්වඩ්ට වන අරණ තුලින් හමුවන Spectre නම් සොඳුරු කුඩා ගම්මානය මතකද ? මේ කුඩා දසුනෙන් මා සිත දිව යන්නේ Spectre වෙතය. එහිදී එඩ්වඩ්ට ආලයෙන් බැඳෙන ජෙනී මතකද ?  වියපත් වනතුරුම එඩ් කෙරෙහි ආලයෙන් සිට , සිය ගරා වැටුනු නිවසත් සමගම දිරා ගොස් ,  මන්තරකාරියක වූ කුඩා ජෙනී ! 



ගමට පැමිණෙන අමුත්තන් හට ආපසු යා නොහැකි වන ලෙස , ලණුවක එල්ලා තියන සපත්තු ! නිරන්තර සිනා මුසු මුහුණු. පද කිහිපයකින් ඔබ්බට කිසිදු කවියක් ගොතා ගත නුහුණුව සිත් තැවුලට පත් වූ ශ්‍රේෂ්ඨ කිවි නොදර් වින්ස්ලෝව්. !යුද සමයෙහි එඩ්ගේ සහයට එන දෙමුහුන් සොයුරියන් !

 දුම් රිය නැවතුම් පහක් පසුවන කෙටි දුරෙහි , මගේ සිත බොහෝ ඈතට ඇදී යයි.

 මේ කුඩා තණ පිට්ටනිය සහ ගෙවල් පෙල දකින මම නොදැනුවත්වම මහා සිහින ආවලියකම පැටලෙමි. 

දැන් ඉතින් ඔබේ වාරය ! ඔබ තේරීමක් කළ යුතුව තිබෙයි. නිරන්තර ගාලු දුම් රිය මගෙහි යන එන ඔබට අරුමයක් නොවූ මේ සුන්දර සිඟිති රාජ්‍යය සැබවින්ම කුමක්දැයි ඔබ මට හෙලි කරනවාද නො එසේ නම් මට රිසි තරම් නානා විප්‍රකාර වැල්වටාරම් ගොතන්නට ඉඩ දී ඔබේ යතාර්තය ඔබේ හිතටම ගුලි කරගන්නවාද ? 

අහ්... අමතක වූවා නොවැ. දැනටමත් ඒ සිඟිති දිවයිනට තිබෙනවා නමක් ....   ඔබ මොකද හිතන්නේ 'Mystique ' කියන නම ගැන .. ?

දැන් ඉතින් ඔබේ වාරය !

"That was my father's final joke, I guess. A man tells his stories so many times that he becomes the stories. They live on after him. And in that way he becomes immortal"

Tim Burton - Big Fish (2003) 


Thursday, October 09, 2014

[313] බස් එකේ විරිදු කී කුඩා දැරිවිය ...


 දවස අද බොහෝ දිගය . දුම්රිය සේවකයන්ගේ හිතුවක්කාර වර්ජනය නිසාවෙන් මහ මග බස් රථ උදෑසන ගෑටුවේ ඉබි ගමනින්ය . ඒ අස්සේ පාරේ වලවල්ය. වැස්සය . උදේ කියන්නේ මේ වගේ එකකට නම් නෙවේය . 

 දවස ගෙවී ගියේත් ඉබි ගමනින්ය. ඒ වැඩ අටෝරාසියක් ඉගෙන ගන්නා මගේ සංක්‍රාන්ති කාලයේ හැටිය.  
මොනවා කරන්නද ? අලුත් රැකියාවක්. ඉගැන්නිල්ලට දෙවෙනි නැත. 

දවස ගෙවී ගොස් පහයි තිහ වැදෙද්දී උදේ සිට මහ මග ඇල්ලු අඩවු ඔක්කෝම අමතක කොට ගෙදෙට්ට පැනගැනීමේ මහාභිලාෂයෙන් මොරටුව බසයට නැග ගතිමි.  කෙමෙන් කෙමෙන් පීරි යන සෙනගට ඔච්චමට මෙන් , අහස කලු වෙවී වැස්සක් පෙන්නා නොපෙන්නා යයි. සිටගෙන දෙපා කෙඩෙත්තුවෙන් පෙලෙමින් සාරියකිනුත් සැරසී සිටින මට අද නම් එපාම කරපු දවසක්ම වූයේය. ඒ මදිවාට කනට ගසා ගන්නට ගී කියන ඇබ දෙකත් නැත. දුරකතනයේ බැටරි බැහැලාය. චාජරය ගෙදර අමතක වුනේය ! හපොයි මෙහෙමත් දවස් ! 

වැල්ලවත්ත පසු කොට දෙහිවල පාලම පන්නා ගැනීම එවරස්ට් නැග නිරුපද්‍රිතව ගෙදරට ලඟා වීම තරම්ම දීර්ඝ වෙහෙස කර කටයුත්තක් වන්නේ බස් ඩ්‍රැයිවර මහතුන්ටය, එය බලා ගෙන , බසය ඇතුලේ දහඩිය දුගඳ , උණුසුම් දාහය යනාදී කුණප ඉවසා සිටින අපට දෙතිස් මහා කෙඩෙත්තුවම සෑදීම අරුමයක් නොවේ.  

වැඩ ඇරී වෙහෙසව බසයට ගොඩ වෙන වෙලාව යනු, මානසිකත්වය ඉතාම නරක වෙලාවකි. වැරදීමකින් කකුල පෑගුනත් , පෑගූ තැනැත්තා දවා හලු කරන්නට තරම් කෝපයක් එයි. කවුරුන් හෝ හදිසි තිරිංග තදවීමකින් ඇණ්න්ගේ හැපුනත් මරාගෙන මැරෙන්නට සිතෙයි. වෙහෙස විසින් අප කැරලිකාර කොකු කාරියන් කරන්නේ හවස් යාමයටය. එහෙත් මට වාරියපොල නංගී කෙනෙක් වීමටත් බැරිය. 


බස් රථය දෙහිවල පසු කරද්දී චුරු චුරු වැස්සක් ඇද හැලෙන්නට වෙයි. හපොයි, බාගෙට ඇර තිබූ ජනෙල් එක දෙකත් වැසෙයි. මිනිසුන්ට හුස්ම නොගෙන සිටිය හැකිද ? බැරිය. හරියට ආදරේ නැතුව ඉන්න බැරිවා වැනිය . ගල්කිස්ස ලං වෙද්දී වැස්ස තුරල් වෙයි. වීදුරු එක දෙක ඇරී දුර්ගන්ධ වාතය එලියට පැන ගනියි. අපට සැනසිල්ලක් දැනෙයි. 

පුංචි මල් වැස්සක් වාගේ ඕන්න ඇය බසයට ගොඩ වුනාය . 

විරිදු රබානක් අතින් ගෙන ,කුඩා හම් බෑගයක් කරේ ඇලයට එල්ලා ගත් අවුරුදු දහ පාලොහක ලමිස්සියකි. මම ගෙල දික් කොට ඈ පසුපසින් එන අන්ධ තාත්තා හෝ අම්මා සෙවුයෙමි. එක්කෝ අක්කාගේ ගවුම් කොනෙහි එල්ලී එන හොටු පෙරාගත් මල්ලී සෙවූයෙමි. නැත ! ඈ තනියම. අරුමයකි. ඈ මේ ගොම්මන් වෙලාවේ තට්ට තනියම බසයට නැග ඇත්තේ විරිදු කියන්නටය.  කීයක් හෝ සොයා ගන්නට කොතරම් අරුම රැකියාවක්ද ? වෙසෙසින්ම මල් වයසේ කෙල්ලෙකුට ??? බසයේ මැදට විත් විරිදු රබානට තට්ටුවක් දාගෙන ඇය ආසනයකට වාරු ගනිමින් උගුර කට පාදයි. මගේ පුදුමය එන්න එන්නම වැඩි වෙයි. 

ඈ හරි පිරිසිදුය . පිලිවෙලකට සායක් හැට්ටයක් ( දුප්පත් කමේ කුඩා කඩතොලු තිබුනත්) හැඳ රබර් සෙරෙප්පු කුට්ටමක් ලාගෙන කොණ්ඩය ගොතා සිටින ඇයගේ වැඩි සුකුරුත්තන් බවක් නැත. මහා වේලෙන දුප්පත්කමකුත් නැත.  

ඈ හඬ අවදි කරන්නීය. වැහි බීරුම කපාගෙන ඇගේ අපස්වරයෙන් ගැයෙන ගීතය මට ලතා මංගේෂ්කාර්ගේ මධුර හඬ ගෙනෙන මිහිර නොගෙනා බව කිවමනා නොවේ. එහෙත් කිසිදු වෙවිලිල්ලකින් තොරව දෙනෝ දාහක් බලා සිටින බසයේ හරි මැද සිටගෙන ගී ගයන්නට තරම් ඈට කොතරම් නම් ආත්ම ශක්තියක් තිබිය යුතුද ? පොඩ්ඩක් හෝ ඇහැට කණට පෙනෙන දුප්පත් දැරිවියන් අවකලුන්ගේ ග්‍රහණයට නතුව සුසුම් ලද්දී, ගෙයි දොර මුල්ලේ අනාථව හඬා වැටෙද්දී , මෙහෙකාරකම් කරද්දී , මේ පැන්චී හරි අපූරු ජීවනෝපායක් හොයා ගෙන නොවේද ? කක්කුස්සි වත්තේ චුට්ටිලා මානව හිමිකම් වෙනුවෙන් අරගල කරද්දී , අම්මා තාත්තා නැතැයි ඇත්ත ( විය යුතුය!) කියා , රබානක් වයා ජීවත් වෙන මග සොයා ගන්නා මේ පැන්චීට ඇති දහිරියෙන් බින්දු කාලක්වත් මට තිබේද ? බසයේ සියලු දෙනා ඈ දෙසම බලා සිටිති. ඈ තවත් විරිදුවක් ගයා , බුහුටි අයුරෙන් ඇඟිල්ල මත රැඳවූ රබාන කරකවමින් ශ්‍රාවකයන්ගේ ආධාර වෙනුවෙන් පැමිනෙන්නීය. ඉදින් මේ ආධාර ගෙන බසයෙන් බසින ඈ ගැනත් මට කල්පනා වෙයි. 

කුඩා ලෑලි පැල් කොටයක ගඩොලු දෙක තුනක් මත මුට්ටියක් තියා , දවසේ එකම රෑ බත සරි කරන විරිදු කාරී. ඈ අසල අත් මදිමින් බලා ඉන්නා කුඩා මල්ලී. කූප්පි ලාම්පුවේ එලියෙන් රබාන පිසදමන විරිදු කාරී. පසුදා පාසල් යන්නට ගෙදර වැඩ කරන විරිදු කාර දැරිවී.  කුඩප්පාත් අම්මාත් රණ්ඩු වෙන පැල් කොටයෙන් ඈත්ව මුහුද දෙස බලා සුසුම් ලන විරිදු කාර පැන්චී. මල්ලිලා නිදි කොට , ගල්කිස්ස හෝටලයේ එලි දෙස බලාගෙන ගංජා සුරුට්ටුවක් අදින විරිදු කාරී.

මම කල්පනා දාමය එතැනින් බිඳ දමමි. කල්පනාවන් දුර ගෙන යාමට මට අයිතියක් නැත.  මම මා වෙත නෙත් හෙලා සිටිමි. රැකියාව නිමවී නිවසට විත් කකුල් උඩ තාබාගෙන තේ බිබී , දුරකතනයෙන් මිතුරන් අමතමින් , කාලය කාදමන මම ! මමම උයා , මමම එය ගිල දමා බඩ උඩ දමාගෙන ගොරවමින් නිදන මම ! අන්තර්ජාලයේ සැරිසරා මෙසේ බ්ලොග් පෝස්ට් එකක් ලියා , සිතැඟි වලින් ලොව පෙරලන්නට ප්ලෑන් ගසන මම !

මට හුස්මක් පිට වෙයි ....

යලිත් මා පියවි සිහියට එමි. කාටවත් නොපෙනෙන්නටඈ වෙත ගොස් , රහසින් ඇගේ කණට කොට , කුඩා යමක් කියන්නට මට සිත් වෙයි . 'පැන්චියේ , ජීවිතේ මොකක්දැයි උඹට තේරෙන හැටියට මටත් කියා දීපන් !' 

එහෙත් ඈ තවත් බසයක් සොයා බැස ගොසිනි. මා තවම අසුනෙහි හිඳ නැවතුම එනතුරු තැවුල් සිතිනි. 



Wednesday, October 08, 2014

[312] බැක් ටූ කලම්බෝ කලම්බෝ ජීවිතයට !




 ජීවිතය ප්‍රත්‍යාවර්තී ලෙස යලි උදා වෙතැයි නොබෝ දිනෙක මම ලියුවා මතකය. මේන්න කියූ ලෙසින්ම ජීවිතයේ තුන් වෙනි වතාවටත් මම කලම්බෝ ජීවිතයට ආගමනය වී සිටිමි. මගේ තීරණ වල හැටි එහෙමය . එහි කිසිම කමසෙයියාවක් නැතැයි කෙනෙකුට මතු පිටින් බලද්දී හිතෙයි. ඒත් ඒ මතුපිටින්ය . ඇතුලතින් කිඳා බැලුවොත් තැනින් තැන බොහෝ විද්වත් වැඩිහිටි සංවාද , තවත් විටෙක කුරුටු ගෑ ස්වොට් (SWOT) ඇනලිසිස් පවා තිබෙනවා දැකිය හැක්කේ එහෙමත් කෙනෙකුටය ! 

ඔයින් මෙයින් ඒ කෙසේ වෙතත් , ආයෙමත් ඇනෙක්සි ජීවිතයකට අවතීර්ණ වූයෙමි. ඒත් මේ වතාවේ , නිස්කලංක, ගහකොලින් සුසැදි , නිහඬ වටපිටාවක , අහස සිඹින තුන් වෙනි තට්ටුවකට සිහිල් තැනක නැංගුරම් ලන්නට වාසනාවන්ත වීමි. මගේ මුල්ම කොලඹ බෝඩිම වූ රජගිරියේ සුනීතා ඇන්ටිගේ නවාතැනෙහි ,ඇගේ පින්බර ආදරනීය අම්මා කෙනෙකුගේ වැනි දයාබරත්වයත් අන්කල්ගේ තාත්තා ගතියත් මධ්‍යයේ වුවද ,  පාරට නුදුරු දුහුවිලි වලින් වැසී යන නිවසෙහි උණුසුමෙහි තිබූ පීඩාවත් සිතට එයි. උණුසුම දරාගත නොහැකිව රෑ එකට පවා නාන එක ඉවසන් හිටි ඇන්ටිලාට මගේ ප්‍රණාමය! 

මෙවර මගේ ඇනෙක්සි ජීවිතය කුඩා කාමරයකට සීමා නොවී හින්චිත්තන් ගේ පොඩිත්තක් දක්වා වර්ධනය කර ගතිමි. කුඩා නිවසකට අවැසි පොඩි පොඩි ගෘහ හා විදුලි භාණ්ඩ ටික මා සපුරා ගන්නේ නුවර ගතකළ තුන් අවුරුදු රැකියාවෙන් කළ ඉතිරියට පින් සිදු වන්නටය !  

නැවේ රැකියාවෙනුත් සමුගෙන සිය වයස්ගත බිරින්දෑගේ බයිපාස් සැත්කමෙන් දුර්වල වූ හදවත සුවපත් කරමින් ඈ හා දවසම ගෙදෙට්ට වී ගත කරන වයස්ගත යුවලක් මට අනෙක් පස නිවසෙහි වෙසෙති. ජීවිතයේ සැඳෑ සමයෙහි ඔවුන්ගේ සතුට , ස්කයිප් හරහා මුණුබුරන් දැකීමය . ජීවිතය ගැන පහන් හැගුම් යලිත් මතුව එන්නට, අනාතුර ( අඩු ගානේ ටිකක් හෝ අනාතුර) මිනිසුන් වට කරගෙන සිටීම යහපතකි.  

බසයෙන් බැස ඇවිද එන කුඩා දුර ප්‍රමාණයෙහි ෆුඩ් සිටිය ඉදිරිපස හිඳ සිටින තරුණ මවත් , ඈ ඇකයෙහි , 'අම්මාට හරි හම්බ කරගන්නට නිමිති සපයන' රූබර පොඩිත්තාත් පසු කර යමින් මට දැන් සුසුම් හෙලිය හැකිය. ඉඳ හිට ඇගෙන් හඳුන් කූරු පැකැට්ටුවක් ගන්නේ බුදු පහන් දල්වන්නට නොව , සාරි වල වාටි පුච්චන්නටය. 

පසු ගිය සති අන්තය ජීවිත කාලයේ නිවාඩු තිබූ දුලබ සති අන්ත වලින් එකක් වූයේය ! ඒකට පින් සිදු වන්නට , ගෙදරින් ගෙනා හාරසියයක් පමණ කතා පොත් කොටස අස් කරමින් මම තෘප්තිමත් වරුවක් ගෙවූයේ කලකට පසුවය . 




ජීවිතය මෙසේය. ප්‍රත්‍යාවර්තී ලෙස යලි උදා වී ඇත්තේ කෙබඳු කලක්දැයි නොදනිමි. කඳු මුදුනට නැග ජීවිතයේ උස බැලීමි. (ඔබට මතකද?) එය බොහෝ උස් කඳු අතරෙහි චූල කඳු මුදුනක් බව සැබවි. උත්සහය විසින් මා තෘප්තිමත් ව්‍යවසායිකාවක කොට ඇත්තේය. ජීවිතය දෙස අමනාපයෙන් නොව පහන් සිතින් බලා සිටිමි. නොමැකෙන මුහුණු ඇතිනම් එකකි. එය බිත්තියෙහි අලවා තැබිය යුතු නැත්තේය . එය නිබඳ හද මුද්‍රාවක රවුමට නෙලා තිබේ. 

මම ජීවිතය දෙස බලා සිටිමි. ජීවිතයේ උස බලන්නට කඳු නැග බැලූ අවසන , දිග පළලත් බලනු රිසිව ගංගාව දිගේ ගල්පර වල හැපී , නැගිටිමින් , පිහිනා යන්නට උගනිමින් සිටිමි. තනිව පිහිනීම සැබවින්ම මා අරඹන්නට දශක තුනකුත් ඉක්ම යනතුරුම සිටි බව පසක් කොට සිටිමි. මෙතෙක් මව් ඇකයෙක කිරි දරුවෙක් මෙන් ජීවිතය යදිමින් හඬා වැටුනු බව පමණක් පසුතැවිල්ලෙන් සිහිපත් කරමි.  

එම්බා ජීවිතය , මෝය කටෙහි බලා හිඳින්න , මා පිහිනන්නට උගෙන , පිහිනාගෙන කවදා හෝ සයුර දකින්නට , මේ දුර ගෙවා ගෙන එන්නෙමි. 
 

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->