Saturday, June 30, 2012

[254] ඇවිත් ගියාට ....



  ~`~
විවර අඩවන් දොරින , 
එ'සඳ කලුවර පැමිණ
වැතිර හුස්මක් හෙලන , 

හඬට සඳ විත් එබින !

පියන වෙත එවු කිරණ , ‍

රැඳින මොහොතක් පමණ
පි‍ටුව පමණක් නැමුන , 

පොතකි පෙර බැව් පිලිණ!
~`~

Wednesday, June 27, 2012

[253] මතක නැති මතක




                                                                
~
පෙති මත දිමුත පැහැ ඇති සුසිනිඳු මලක
වුවනත ලලිත වෙත සිත රැඳිමුත මෙලෙක
නටුමත කටුද පෙති යට පිණි දුටු කලෙක
බැඳි සිත මිසෙක, බිඳි සිත නැත , මත, මතක !



Saturday, June 23, 2012

[252] 2012 පෙරහුරු පොත් රස්තියාදුව

ජීවත් වෙච්චි අවුරුදු ගණනාවේ වෙනස් නොවී එක දිගට තිබ්බ එකම දේ හැටියට මට මතක් වෙන ලොකුම ආසාව තමා පොත්. පොතක් නැතුව ගෙවිච්චි එක දවසක්වත් ජීවිතෙ තිබ්බෙ නැතිව ඇති. අනික තමයි අනෙක් කොයි දේ මිලට ගන්න ගියත් දෙපාරක් හිතන පුරුද්දක් තිබ්බත් පොත් කියන මාතෘකාවෙදි නම් මම හරියට වියදම් කරන්නෙ කිසිම පසුතැවීමක් නැතුව. ඒක ආවෙ අපෙ අම්මගෙන් වෙන්න පුලුවන්. පොඩි කාලෙ උනත් අනික් කොයි දේ අරන් දෙන්න ගියත් දාහක් ප්‍රශ්න අහලා , කිරලා මැනලා අරන් දෙන අපෙ අම්මා පොත් නම් , බස් ගාස්තුව දෙන්නට ඉතුරු කරගෙන ඉතුරු හැම සතෙන්ම පොත් අරන් දෙන්න පසුබට උනේ නැහැ.

මතකනෙ ගිය අවුරුද්දෙ පොත් රස්තියාදුව. 1,2,3 මෙන්න තියෙන්නෙ. ඒ මදිවට තඩිපොත් බෑග් එක නිසාවෙන් අඳුනගත්තු ඩේවිඩ් අන්කල්? මතක නැතිනම් බලන්නකො.

ඉතින් සැප්තැම්බරයට එන පොත් වසන්තයට කලින් නුවරට එනවනේ මිනි සයිස් (මම කිව්වෙ පොඩි සයිස්) වසන්තයක්. මහනුවර පොත් ප්‍රදර්ශනය බලන්න ඊයේ හනික සිටි සෙන්ටර් එකෙ ඉහලම මාලෙට ගොඩ උනේ නිකම් නැයො බලන්න යන්නා වගෙ හිතවත් හැඟීමෙන්.
 

ඉස් ඉස්සෙල්ලම විදර්ශනා එකට ගෑ‍ටුවෙ , කොයිකටත් එතනින් පටන් ගන්න එක පසුම්බියට සහ හිතා හොඳ නිසා. ඒක තමයි මගෙ ප්‍රියතම තැන. මම හොයන ජාතියෙ පොත් හොයල දෙන්න ඒ අක්කටත් පුලුවනි හොඳට. එතනින් එහාට නම් ඉතින් ඉබාගාතේ තමයි. පොත් රාක්ක , පොත් පුසුඹ, පොත් පොත් පොත්... කොයි අත බැලුවත් හිතවත්තු. ඒ කිව්වෙ පොත්.

රස්තියාදුවෙ යනව නම් හොඳම තනියම යන එක කියන  වාක්‍යය මම අදහන කරුනක්. හොඳටම ඉබාගාතේ යන්න හැකි වෙන්නෙ එතකොටනෙ. ඒ මදිවාට හිතෙන තැනකදි නවතින්න. හිතෙන තැනකදි ඉඳගෙන ඉන්න, හිතෙන වෙලාවට එකම සාප්පුවට ආයි ආයිත් උනත් ගොඩ වෙන්න වගෙ විකාර කරන්න පුලුවන් වෙන්නෙ තනියම යද්දි. මම නම් පොත් චාරිකං ඒක චරං තමා. නැතිනම් මගෙ යාලුවන්ට පණ එපා වෙයි මාත් එක්ක යන්න.

ඉතින් ඊයෙ පොකැට් එක එච්චර සරුත් නැහැ. ඒ මදිවාට පහුගිය සැප්තැම්බරෙන් ඉතුරු පොත් 4ක් තියනව - අටවක පුත්තු, වෙයි වෙයි-ශැංහයි සොඳුරිය, යක්ශයා සහ ප්‍රයිම් මෙනවිය , පියාපත් ලද දෝණිය. ඉතින් ඒවා පෙනි පෙනී තව ගන්න එකත් තේරුමක් නැහැ.

 
මාසික පඩි පැකැට්‍ටුවෙන් නම් හැම මාසෙම එකතු වෙච්චි පොත් අතරින් මගෙ වැඩියෙන්ම හිත ගත්තෙ නම් චේතන් බගත්ගෙ පොත් පරිවර්තන දෙකක් උනු , තුන් තකතීරුකම් කරපු කෙනෙක් මං පොතයි, හෙලෝ හෙලෝ පොතයි. 




රෝසි - උරුම අරුමය (ජෙරල්ඩ් ඩරල් ලියූ- උත්පලා ජයවර්ධන පරිවර්තනය කළ) පොත නම් මම හිතුව තරම් රිවර්තිකාව සාර්ථක නැහැ. ඒක ගත්තෙ ලොකු බලාපොරොත්තු තියාගෙන . (මතකනෙ මගේ පවුලයි අනෙක් සත්තුයි ගැන මම ලිව්ව ලිපිය - එතෙන්දි නම් රානි රාජපක්ෂගෙ පරිවර්තන සරු බස නිසාමයි ඒ පොත් එතරම් රසවත් වුනේ- ආයෙ දෙකක් නැහැ) උත්පලා අක්කා දක්ශයි (ඇය මම හිටිය විශ්ව විද්‍යාලෙ සීනියර් කෙනෙක්, අපෙ රූමි කෙනෙක්) 

ඒත් රානිගෙ පරිවර්තන ශෛලිය ගැන හිතුවාම උත්පලා අක්කා ආරම්භයට ගොඩක්ම හොඳ බව ඇත්ත.. ඒත් ඉතින් .. ජෙරල්ඩ් ඩරල් කියන්නෙ උපහාස්යා පිරිච්ච කෙනෙක්. ඒ උපහාසය රානි සේනාරත්න රාජපක්ෂ තරම් ග්‍රහණය කරන්න උත්පලාට නම් හැකි වුනෙ නැති බව කියන්නම වෙනවා. එක අතකින් ඉන්ග්‍රීසි මුල් පොත නොකියවා මෙච්චර හෑල්ලක් කියන එකත් හරි වැරදි වැඩක්.

මොනව උනත් ඊයෙ ගත්තු පොත් ටික තමයි මෙන්න පල්ලෙහායින් තියෙන්නෙ.

දැන් ඔයාල අහාවි සෙසේ ගත්තෙ ඇයි ආයෙමත් කියලා... මතකනෙ සෙසේ ගැන මම ලිව්වා... ඔව් මට සෙසේ පොත තියනවා. ඒත් මගෙ හිතවත්ම මිතුරෙක්ට සෙසේ පොතක් හොයල දෙන්න මම පොරොන්දු උනා. ඒක ඉ‍ටුකරන්නයි ආයෙත් ගත්තෙ. සෙසේව ඕනෙ නම් දුවලා දුවලා යන්න විදර්ශනා කුටියට. එතන පොත තියනවා . සෙසෙ කියන්නෙ හිනාව සැහල්ලුව සහ සතුටට ඇබ්බැහි වෙච්චි ඕනෙ කෙනෙක්ට කියාපු පොතක්. 



සිරිමත් කියන්නෙ ඇත්තටම ළමා පොතක්. ඒත් ඒකෙත් සෙසේ වගෙ ශෛලියක් තියනව කියල තමා හිතුනේ. ඔලුව වැඩ රාජකාරි වලින් මිරිකිලා වෙහෙසිලා ඉද්දි බරසාර පොතක් කියෙව්වොත් මම හිතන්නෙ අංගොඩ තමයි නවතින්නෙ. ඒ වෙලාවට හොදම බේත් තමයි මේවා :)  


අරුම පුදුම ඉස්කෝලෙ ඊයෙ මම කියවන්න ගත්තා. ඒක නම් ආයිත් නෑ, නියම පිස්සු කතාවක්. ඉහත කිව්වබේත් ජාතියෙ පොතක්. පිස්සු හැදිලා ආයිත් හැදෙනවා. එච්චරට විකාර පොතක්. ඒත් කාලෙ හැටියට කියාපු පොත :) :) 
 
ඕන් ටිකක් බරසාර පොතක්. ඇත්තටම සයිමන් නවගත්තේගමගෙ රචනා ශෛලියට මම බොහොම මනාපයි. සංසාරණ්‍යය අසබඩ වගෙ පොත් වල මම ගොඩක් ගැඹුරක් වින්දා. ඒ ශෛලිය හොඳ සෙන්සිටිව් මූඩ් එකක ඉන්න වෙලාවට. ආයෙත් නෑ , ගැඹුරේම ගිලෙනවා. 

මග සොයා යන ගමන කියන්නෙ භික්ෂුණියකගෙ ස්වයං චරිතාපදානයක්. විදර්ශනා පොත් ගෙදර තුසාරි අක්කා තමයි කිව්වෙ මේ පොත හොඳ බව. සිල්මාතා කායිව් සහ ආචාරිය මන් භූරිදත්ත තෙරුන්ගෙ කතා කියෙව්වා නම් මේ පොත ඒ වගෙ එකක් වෙන්න ඕනෙ. තාම කියෙව්වෙ නැහැනෙ. කියෙව්වම කියන්නම්කෝ. අවුරුදු ගණනාවක්ම රැවටිලි මායාවන්ට හසුවූ මේ තේරණිය ඒ හැම එකක්ම අතරින් මග සොයා ගිය ගමන කියවෙන පොතක් මේ. 
 
පුනරුක්ති කියන්නෙ ගිය අවුරුද්දෙ ඉඳලම ගන්න එක මගෑරුනු පොතක්. ඒත් ගන්න තදින්ම හිතුනු පොතක්. අනෝමා ජනාදරීගෙ ජීවිතේ කොයිවගෙද බලමු.  
නිරුවත් වානරයා කියන පොතත් ඒ වගේ. මේ පොත පොඩි කාලෙ (ඒ කිව්වෙ අවුරුදු 21 වගෙ) දකිද්දි ගන්න ලැජ්ජා හිතුනෙ මිනිස්සු මොනවා කියයිද දන්නෙ නෑ කියලයි. ඒත් දැන් ඉතින් ලෑජ්ජාවට වඩා මේ පොතේ වටිනාකම දන්න නිසා ආයිත් මට මොකද කවුරු මොනවා හිතුවත්? නේද? අනික දැන් මම ලොකුයිනෙ . නේද? හෙ හෙ. 

ඔය පල්ලෙහායින් තියන ඉතුරු පොත් තුනම ඉතින් මගෙ දෑනුම එකතුවට තමා. විභාග දෑනුම මට වඩා වටින්නෙ මගෙ ලමයින්ට. ලක්දිව බුදු පිලිම කියන්නෙ මම කියවන්න බොහොම මනාප විෂයක්. ඒ වගෙමයි සර්පයෝ. අනේ මන්දා. සර්ප විද්‍යාවටත් මම බොහොම ආසයි, පොඩි හැකරැල්ලෙකුටත් බය උනාට. ඉතින් දැක සතුටු තමයි. :) :)  




ඔන්න ඔය විදියට හරිම තෘප්තිමත් පොත් දවසක් ගෙවලා , ගොනා අනින්න ගිහින් උලුක්කු වෙච්චි කකුලෙ ඉදිමිල්ලත් කීප ගුනයකින් වැඩි කරගෙන ඒත් හිතේ පුරවගත්තු පොත් සුවඳයි , අතේ තිබ්බ හැටියට ගත්තු පොත් ටිකයි අරගෙන මම ගෙදර ආවෙ ඔය විදියටයි. දැන් ඉතින් ලමයි මට හරියට වැඩ :) :) ලමයි මට කරදර කරන්නෙපා. තියනව මේ පොත් එක එක අනුභව කරන්න මට :)

Friday, June 15, 2012

[251] ජීවත් වෙන එකත් ලොකු දෙයක් !




කාලය යන්නෙ හරිම හෙමින්... ජීවිතේ එක තැන නතර වෙලා වගේ... ඒත් බියක් නැහැ. අහිමිකම ගැනවත් , සැකයක්වත් , දුකක්වත් ... ඒ මොනම දෙයක්වත් නැහැ.

මගේ ආත්මයම මා විසින් ස්පර්ෂ කරන්නා වගෙ  මට දැනෙනව. මගෙ හිත මාව දුබල කල කාලෙ ඉගිලිලා ගිහින්... ඒ වෙනුවට මගෙ කකුල් දෙකට හිතේ හයිය ගලාගෙන ඇවිත් නහර දිගේ අමුතු ජවයක් දුවනව ! .. කිසිම දෙයක් නොදැන ඉන්න එක මොන තරම් සහනයක්ද? ජීවිතේට යන්න දෙන එක... අපි එක්ක අත් අල්ලන් එන්න බැරි එක්කො දුවන , එක්කො කකුලෙන් ඇදල පරක්කු කරන ඇයින්ට යන්න දෙන එක මොන සහනයක්ද?

මට හිතෙන්නෙ මම මගෙ පාර හොයා ගෙන ඉවරයි. ඒක හරි පාර කියලමයි මට හිතෙන්නෙ. මොකද ඒක ඒ තරම්ම සරල නිසා. ඇත්තෙන්ම මම එහෙනම් කොච්චර වාසනාවන්තද? අද මෙහෙම ඉන්න මම , සතුටෙන් ඉන්න මම , දෙයියනේ මම මෙච්චර හරියක් වෙලත් ,  ජීවත් වෙන එකමත් මොන තරම් දෙයක්ද?

අද මං මම වෙලා ජීවත් වෙනව ! මගෙ ඇතුලෙ අනෙකෙක් නැහැ. අනෙකෙකු හොයන අනිකියකු නැහැ. මම අමුවෙන්ම ජීවත් වෙනවා. හොඳ නරක දෙකම පිරිච්චි මම !

ආදරේ... ආව ගිය ආදරේ..... හිතට සතුටත් දුකත් බයත් එකවර අරන් ආව ආදරේ.... ජීවිතේ හැමදාමත් මේ වගෙයි. ඒත් මම කොහොමද බය වෙන්නේ? මම කොහොමද පස්ස ගහන්නේ , ජීවත් වෙන්න?

තනිකම කියන්නෙ අඳෝනාවක් නෙවි. හුදෙකලාව බ්‍රහ්මාස්වාදයක් ! ඒත් එකෙ ගිලෙද්දි තනිකම පස්සෙන් එනවා .. ආව දෙන්... බදාගෙන තුරුල් කරගන්නෙ මොකටද? නේද?

මීට...
ජෙනිෆර් ලෝපේස්.


Time goes slowly now in my life
Fear no more of what I'm not sure

Searching to feel your soul
The strength to stand alone
the power of not knowing and letting go

I guess I've found my way it's simple when its right
Feeling lucky just to be here tonight
and happy just to be me and be alive.

Love, in and out, of my... my heart,
And though life can be strange I can't be afraid

Searching to feel your soul, the strength to stand alone,
The power of not knowing and letting go

I guess I've found my way it's simple when it's right
Feeling lucky just to be here tonight
and happy just to be me and be alive
I guess I've found my way it's simple
when its right feeling lucky just to be here tonight and
happy just to be me and to be alive.

Sung By : Jenifer Lopez


Thursday, June 07, 2012

[250] වස් වැදුනු බ්ලොග් පෝස්ට් එක !

එදා.... අගෝස්තු 7 වෙනිදා මට හීනයක් පෙනුනේය .. ඒ හීනය මෙසේය. 8 වෙනිදා ඒ හීනය මම බ්ලොග් පෝස්ට් එකක් ලෙස සටහන් කලේ එසේය ... 

මෙදා මම ඔය පෝස්ට් එකෙ කියූ තැන පසුකරමින්ම හෙමින් හෙමින් උඩට ඇවිදිමින් සිටියෙමි.  (පහත රූපයේ ඊතලයෙන් ඇති තැන බලන්න) 


වෙලාව හවස 5.50ට වගේය. දෙයියනි ! ඉහළ බැලූ මට පෙනුනේ කුලප්පු වී ආත බූත නැතුව කඩාගෙන එන හරකෙකි.!!!

මේ හරකා මට පුරුදුය. මොකද ඒකා ලඟ නිවසක මෙහෙකරුවෙකුට බඩ හිල් වෙන්ට ඇණ හොස්පිට්ල්ගත කලේ මේ ඊයේ පෙරේදාය.තවත් අසල්වැසි අක්කා කෙනෙකුට අනින්නට ඇවිත් අනූනමයෙන් බේරුනේත් මේ ලඟකය. එහෙනම් මේ පාර මම !!!!! දෙවියනේ... මම සීතල වී ගියෙමි... හරකා ස්ලෝ වෙන පාටක් නැත. ඔලුවත් නමාගෙන දැන් නම් ග්‍රහයා එන්නේම මා දෙසටය. මම පසුපස බැලීමි. ඇනුම් කෑමට ගිය අසල් වැසි අක්කාද බසයෙන් බැස මට බොහෝ පසුපසින් ඇවිත්ය. ඒත් ඈ තාම මහ පාරේය. මම මීටර සීයක්වත් උඩහින්ය. 

මගේ බියගත් ඉරියව්ව දැක අක්කා යමක් වටහා ගත්තා වගේය. ඈ අහළ පහළ මිනිසුන්ට කෑගසනවා මට හීනෙන් වගේ මතකය ! මම යලිත් ඉහළ බැලීමි.  දෙවියනි, උගේ ගමන අඩාල වන පාටක් නැත. වම් පසින් ඉහලට නැගෙන පස් කන්දකි. එහි නගිනු කෙසේවත් නොහැකිය. දකුණු පසින් මහපාරට බෑවුම් වෙන ප්‍රපාතයය.. එහි පැනිය යුත්තේ මහපාරටම වුව රූටා යන්නට සූදානමිනි.


 හරකා දැන් අඩි කිහිපයක් නුදුරෙන්ය. ඌ පාඩුවේ යතැයි මම කෑගෑස්සෙන්නට එමින් ඒත් බලා හිටියෙමි. අපෝයි, ඒකා මා දෙසටම පැන්නේය. මට පනින්නට දිහාවක් නැත. පල්ලෙහායින් දිවෙන මහපාරත් පෙනෙන බෑවුම මිසක!  

කුමක් කරන්නද .. මම පැන්නෙමි. ගම දෙක වෙන්නට කෑගැසුවෙමි. (හරකාගේ කණ් බිහිරිව ඇතුවාට සැක නැත) :) පැන්නේ ඔය පේන බෑවුමටය. අපෝයි. හරකාද බෑවුමට පැන්නේය !!!!!!!
මම බෑවුම දිගේ තණකොල ගොල්ලම තලා පෙලාගෙන මහපාරට රූටගෙන යන්නට වීමි. වටේ පිටේ මිනිස්සුන්ද දුවන් එන්නට විය..  එහෙත් මගේ වෙලාව! ප්‍රාණ භයින් කෑගසමින්ම මම අතට අසු වූ තණකොල ගොමුව ඩැහැගත්තෙමි. හරකාද දැන් එන්නට සූදානමිනි. එහෙත් යම්තම් සිහි එලවා ගනිද්දී , හරකා අයිති කාරිය පාරෙන් බෑවුම අසලට වෙන්නට නෙරවාගෙන සිටින හරකාව පලවා හරින අයුරුත් , බෑවුමට බැස තවත් අයෙකු සමග මා ඉහළට ඇද ගන්නා අයුරුත් මට වටහා ගත හැකි විය. 

මගේ සිහිය එලවා ගනිද්දී ඉස්සෙල්ලාම මා බැලුවේ කොහේ හෝ තුවාල වී ඇත්දැයි කියාය. පේන හරියක මොකුත් වී නැත. දැන් මම කකුල් දෙකින් නැගිටගන්නට බැලුවෙමි. කපා හෙලූ කෙහෙල් කඳක් මෙන් ආයිත් දබොයියන් වූයෙමි.  අන්න දැන් මට ඇඬෙන්නට විය. අඬ අඬාම අර අසල්වැසි අක්කාගේද , හරකා අයිතිකාර ගැහැනියගේද උදව්වෙන් මම ගෙදර ආමි. මාරකයකින් අනූනමයෙන් බේරුනෙමි.

ඉදින් හරකාගේ මේ වන විට සෞඛ්‍යය තත්වය මා දන්නේ නැත. මේ වන විට මම ඉදිමුනු වළලුකර සහිත කකුළ පුටුවක් උඩ තියාගෙන , හීරුනු තැන් වල තැලුනු තැන් වල බේත් ගාගෙන  බ්ලොග් පෝස්ට් එකක් ලියමින් සිටිමි. 

මට පුදුම මේකය. මීට වසරකට ඉහත කිරිගහට ඇන්නා සේ පෙනුන හීනය , හරකාගෙන් රිප්ලේස් වී , මෙසේ සැබවින්ම සිදුවීම කොතරම් අරුමයක්ද යන්නය.  

-  හීනයේ හිටියේ අලියාය. මේ හරකාය .
-  හීනයේ කවුරුත් මාව බේර නොගත්තේය. මෙහිදී අයිති ගැහැණිය මා බේර ගත්තීය . 
- ඒක හීනයකි, මේක ඇත්තක් විය. 

මම තව දුරටත් සිතමි...  

- ඊතලයෙන් පෙනෙන බෑවුමට මා නොපැන්නා නම් - හරකා එක්කෝ සෙල්ලමට වගෙ ලන්වී උගෙ ගමන යන්නටත් ඉඩක් තිබිණි. එක්කෝ අනින්ටත් ඉඩ තිබිණි. 
- බෑවුමට පැන්න වේගෙට මම තණ ගොමුව ලඟ නොරැඳුනා නම් , මම අඩි ගානක් පල්ලෙහා මහ පාරට වැටෙන්නෙමි. එහෙනම් මොකකින් මොක වේදැයි දන්නෙ නැත. එක්කෝ මම හොස්පිටල්ය ! එකකෝ 'මා මළ පසු' විජට් එක ඔබට කියවන්නට වෙන්නේය ! 

ඒ කෙසේ වෙතත් , හීන නම් හැබෑ වෙන්නේමය !  අපෝයි... මම ලියූ පෝස්ට් එකක් මටම වස් වැදුනු 3 වෙනි වතාවය ! එකක් 2001 දීය (බ්ලොග් නොවේ, සමරු කලාපයකට ලියූ විද්‍යා ප්‍රබන්ධයකි.ඉදිරියේදී එයත් ලියමි)

එකක් මේ පහුගිය අවුරුද්දේය. ඒකත් පසුව හෙලි කරමි.  

ඕන්න ජයග්‍රාහී 3 වෙනි එකට කලින් ලිව්ව බ්ලොග් පෝස්ට් එකත් සාක්කිය...!!!!! 

වස් වැදෙන පෝස්ට් ලිවීමේදී පරිස්සම් වෙන්න. ඔය දකුණු අත පැත්තේ එල්ලෙන විජට් එකත් වස් දැයි මම දන්නෙ නැත :)  තාම වෙලාව ඇවිත් නැත. අද අත පය තලාගෙන කකුල පොඩ්ඩක් ඇමට්ටාගෙන බේරුනේ එනිසා විය යුතුය.

කලින් ලියූ පෝස්ට් එක මෙන්න. 


පලි.: 

මේ මගේ 250 වෙනි බ්ලොග් පෝස්ට් එකය. 200ටද මල් මල් පෝස්ට් එකක් ලියමිය සිතා සිටියෙමි. එත් ඒක අතපසු විය. බ්ලොග් ලිවිල්ලට දෙවසර පිරුණු දා සන්වස්තර පෝස්ට් එක ලියන්නට හිටියෙමි. ඒකත් මිස් විය. ඒකටත් හරියන්න 250 හොඳම හොඳ එකක් ලියන්ඩ හිටියෙමි. ඒකටත් හරකා හරහට හිටියේය. මම හරහ වැටී සිටිමි. ඒ නිසා ඔන්න ඔහේ 250 ලියනවාය. ඒත් මේ අවුරුදු දෙකහමාරට සංසාරේ අදත් එදත් හෙටත්  'සංසාරේ අපි' හැටියට ලියවුනේ ඒක කියවන්නට ආදරයෙන් මා වටා සිටින ඔබ නිසාය ! හරකෙකු ඇන්නත් , මට දුක නැත්තේ ඒ නිසාය! අද මලත් හෙට මගෙ අකුරු මෙතන තියේ. ඒක සතුටකි. ඒ සතුටට කාරක වන නුඹ හැමට , ස්තූතියි !!!!!!!!

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->