මම ඉපදුනෙ කොහෙද කවදද කාගෙ ලඟද කියල මමවත් දන්නෙ නැහැ. කොහෙහරි ෆැක්ටේරියක මුල්ලක එහෙම නැතිනම් වැඩ බිමක අම්මෙක් අප්පෙක් නැතුව මම මේ ලෝකෙ තනිවෙලා ඉන්ඩ ඇති කවුරු හරි මාව හොයාගන්නකල්. ලොකු වෙනකල් ලොකු දුක් ගොඩක් විඳගෙන මටම මගෙ ජීවිතෙ ගැටගහ ගන්ඩ උනා. අදටත් එහෙමයි. ඒත් ආයිමත් මම හිතෙන් නොහිතුවට මිනීමරුවෙක් වුනා. එහෙම උනේ කොහොමද කියල අදටත් මට ප්‍රශ්නයක්.
එදා හරිම මූසල දවසක්. ජීවිතේ ගතවුන තව දවසක් සුපුරුදු වැඩ මුරයට. වෙහෙසක් නැහැ. එදා වෙච්චි මේ සිදුවීම හැරුනාම. වැඩ කරගෙන යද්දි ඈව මම දුටුවෙ අහම්බෙන්. මම මගේ පාඩුවෙ ගමනක් යමින්. ඒත් ඇගේ බැල්ම හරිම අමුතුයි. ඈ මා දිහාම බලාගෙන හිටියා. හරියට මෝහිණී වගේ. (එහෙම කිව්වට මට නම් ඔය රෑ ජාමෙ යන ගමනකදි මෝහිණිව මුණ ගැහිල නම් නැහැ.) (සිනා)
ඒත් ඈ හරිම වෙනස් බැල්මකින් ඉන්නෙ. මගෙ දිහාවටම ඇස් යොමාගෙන (හරියට මාව කන්ඩ වගෙ) මම තවත් ඉස්සරහට යනවා. ඇගේ දසුන එන්න එන්නම විශාල වේගෙන අපේ පරතරය අඩු වේගෙන එනවා. මට මහ අමුත්තක් දැනෙන්නට වුනා. මෝහිණිගෙ වශීකරණයද දන්නෙත් නැහැ. ඇගේ අමුතු මුහුණ දිහාවෙන් මගෙ ඇස් ඉවතට ගන්නත් බැහැ . මගෙ හිතයි ගතයි දෙකම නිකම් පැහැරගෙන කවුදෝ යන්නා වගේ තමයි දැනුනෙ. හිත එකපාරටම පස්සට ඇදෙන්නටත් ගත වාරුවක් නැතිවම ඉස්සරට යන්නටත් ගන්නකොට මොන වගෙ දෙයක් දැනෙනවදැයි ඔබට හිතිල තියනවද? කාල රේඛාව උඩ මොන තරම් හරඹ කලත් තිරිංග නැති ජීවිතේ ඉස්සරහට යනවා. නවතන්නට බැරි කාලය! මට වේගෙන යන දේ මටවත් නොතේරුනාට මට කෑගැස්සුනා. මගේ දර්ශනයෙන් ඈව , ඇත්තටම ඇගේ දර්ශනයෙන් මාව ඈත් කරවන්නයි මම එහෙම කලේ. එහෙම නොවුනොත් මම ස්ත්‍රී ඝාතකයෙක් වෙන එක වලක්වන්න ඈට බැරි වේවි. ඒත්....
ඈ දැන් ඉස්සෙල්ලා තරම් පුංචි තිතක් නොවෙයි. මගෙ ලඟම! මම ඇයත් ඇය මමත් පසුකලේ එක් මොහොතක් ගතවෙද්දි. ඒ මොහොත මගෙ හිතේ ඇති කළේ මොකක්දෝ ගැස්මක්. ඒ ඇස් හිතුවක්කාරද? බියකරුද? ඇගේ මුවෙහි වියරු සිනහවක් මට මතකයි. ඒ ඇගේ අන්තිම හිනහවද? Today is the first day of the rest of my life! ඈට එහෙම නොහිතුනු එකද වරද?
මට ඕනෙ උනෙ ඉවත දුවන්න. එහෙම නැතිනම් ඈව ඉවතට එලවලා දාන්න. ඈව විනාස වෙන්න කලින්. මට වෙන්න විනාසයක් නැහැ. හිතා මතා නොවුනත් මගෙ අතීතයෙ ලේ පැල්ලම් එක දෙකක් නොතිබුනාම නොවෙයි.
ඒ උනාට. ඈත් පරක්කුයි. මාත් පරක්කුයි. ඈට ඕනෙ උනේ මාව මිනීමරුවෙක් කරන්න! මම නතර වෙලා ආපිට හැරෙන්න කලින් එහෙම හිතුව . ඒත් ඈ පව්.. !ඈට ඕනෙ උනෙ නෑ මාව මිනිමරුවෙක් කරන්න. ඒත් සහතිකයි ඈට ඕනෙ උනා මැරෙන්න. ඈ කැමති උනේ ඒ උත්තරේට.
මට ඒක තවත් ලේ පැල්ලමක්! ඈ හිතන්න ඇති එහෙම. ඒත් ලේ පැල්ලම් පිරිච්චි මේ මූනත් තහඩුව ගැන කවුදෝ පද යොදල තාල අල්ලන තරම්, කොහේදෝ ඉන්න බ්ලොග් කාරියක් ඒ ගී පද ගැන කතාවකුත් ලියන්න තරම් , ඈට වගෙම අපිටත් රිදුන බව නම් ඈ දන්නෙ නැතිව ඇති. ..
~'~
පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුණු විසුණුව වැටුනේ
කවුරුද හැඬුවේ ? කාටද රිදුනේ ?
දුම්රිය මොහොතක් නතර වුනේ...
මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමණ වේ
දොලක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ
වරක් නෙතග කඳුලැලි පිරුනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ..
පැතුමද සුණු විසුණුව වැටුනේ
කවුරුද හැඬුවේ ? කාටද රිදුනේ ?
දුම්රිය මොහොතක් නතර වුනේ...
මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමණ වේ
දොලක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ
වරක් නෙතග කඳුලැලි පිරුනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ..
~'~
ප.ලි.
සේනානායක වේරලියද්ද ගැයූ මේ ගීය වාර ගණනාවක් ඇහුවත් එයින් කියවෙන්නේ
දුම් රියකට පැන සිය දිවි නසාගත් යුවතියක් පිලිබඳව යැයි මා දැන ගත්තේ මේ ඊයේ
පෙරේදා. මේ ගීයත් එහි කතාවත් එලියට ආව ලන්ච් එකට සහ කතාව කිව්ව ලකීයාට මගේ ස්තූතිය !