Friday, February 24, 2012

[233] එම්බා වැලන්ටයින් !

 වැලන්ටයින් සහ මා එකිනෙකා අඳුනා ගත්තේ , මගේ අති පණ්ඩිත මුල් යොවුන් වියේදීය. ඒ මීට දශකයකට එපිටය .  එදා පටන් වැලන්ටයින් එක එක වේශයෙන් ආවේය , ගියේය.

එක එක කාලයන්හිදී , වැලන්ටයින්ව මට එක එක විදියට පෙනෙන්නට ගත්තේය. විටෙක අහිංසකවද , විටෙක විසුළු මුහුණෙන්ද , විටෙක රෞද්‍ර වේශයෙන්ද , විටෙක අතිශය ශෘංගාරාත්මක මුහුණකින්ද වැලන්ටයින් මගේ ඉස්සරහා පහළ වූයේය. ඉටෙක ප්‍රසිධියේද විටෙක හොර රහසේද ඇවිත් ගියේය.

වැලන්ටයින් නාටකය වරෙක විසුළු වන'යුරුද , හැඟුම්බර වන'යුරුද හැටගණන් වල චිත්‍රපටයක සටන් ජවනකාවක් මෙන්ද සිය තානම වෙනස් කළේ , මා වැලන්ටයින් සමග පැවැත්වූ ඇයි හොඳයිය පලුදු සහ අලුත් කරමිනි. 


මේ ආකාරයට වැලන්ටයින්ට එක එක කාල වලදී වෙනස් සැලකුම් කළ නිසා වැලන්ටයින් දැන් මා සමග සිටින්නේ ඒ තරම් ඇයි හොඳයියකින් නොවේ. ඒත් හතුරුකමකුදු නැත්තේය. 



වැලන්ටයින් හාදකමේ ආරම්භය 

එය පටන්ගත්තේම සුබවාදීව නොවේ.  හමුවූ පළමු දාම දෙන්නාට දෙන්නාගේ බැල්ම ඇල්ලුවේ නැත. සත්‍ය ප්‍රේමයට වැලන්ටයින්ට කළ හැක්කේ කුමක්දැයි පණ්ඩිත කවියක් 2003 මා අතින් ලියවෙන්නේ එහෙයිනි.


නුඹ සහ මම
-------------
2003/2/12

බෝසත් නුඹගෙ හිත ලඟ - දැවටී උවැසියක විලසින
නුඹෙන් මා දුටු සහන් එලි වැට
සිහිපත් කර දෙන්නට - වැලන්ටයින් කුමටද?

නිකෙලෙස් කුලුණු හදවත - මෙත් බර ගැඹුරු සිතුවිලි
යොමා හෙට දිනයට
නුරාවෙන් තොර - මිතු දමින් පිරි
අප ගැන - අපේ ලොව ගැන
වැලන්ටයින් දන්නේ මොනවද?

කෙලෙස් දිය පිරි මනුසත් විල - ලඟින් පොහොණි වූ සියපත් දෙකක
අලෞකික සුන්දර වත
බොල්ලන්ද තෙපුලෙන් නිලංකාරව ගිය
වැලන්ටයින්ට වැටහෙද?

ජීවිතයෙ අරුත පසිඳිනට - එකිනෙකාගෙන් සෙවණ වීගෙන
අරුත්බර සෙනෙහස - අපරිමිත සිනහව
විශ්වයටම මුදන අප අබියස
වැලන්ටයින්ද අසරණය .....

----------

වැලන්ටයින් සමග රැවුම් හුවමාරු වෙන මේ යුගයට පොහොර වැටුනේ නිකාම්ම නිකම් කාලය විසින් නොවේ. නන්දා මාලිනියද ඊට වගකිය යුතු යයි මම සිතන්නෙමි. කුඩා වියේ පටන් මගේ ලෝකයේ සිටි අභිමානවත් සංකේතී වීර ගැහැණු කටහඬ ඈ විය. නිලන්බරේ කැසට් පටයට ඈ ගැයූ මේ ගීය කැසට්ටුවකින් ඇහුනේ ඊටත් වඩා කුඩා පාසල් යන වියේ සිටමය.  

වැලන්ටයින් ශාන්ත වැලන්ටයින් - ඇයි ඔබ මේ අපේ රටේ ?  
පෙම්වතුන්ගෙ දිනයක් හදලා - පෙබරවාරි මස දාහතර ?
 
ස්වීට් හාට් අකුරු දිලිසෙන - හදවත් ලාබෙට විකිණෙනවා
වැලන්ටයින් රෝමෙන් ඇවිදින් - අපේ හදේ ඊතල ඇනලා..

  වැලන්ටයින් ඔබට වාගෙම - මවුවරුන්ට වැඩිහිටියන්ට 
අවුරුද්දේ දින වෙන් කරලා - ඒරොප්පෙන් ආ චාරිත්‍ර 

තුන්සිය හැට පස් දවසේම - කාටත් සලකන පෙම් කරන 
අපට වෙනම දින මොනවටද - වැලන්ටයින් රෝමෙට යන්න

එදාත් අදත් අතර තිබෙන්නේ එසේ මෙසේ පරතරයක් නම් නොවේ...   මිනිසුන් වයසට යන්නේ පරිණත සහ මුහුකුරා යාම් තුරුලු කරගනිමිනි. ඊට වගකිව යුත්තේ ජීවන අත්දැකීම්ය. එහෙත් මම මා දෙස බලන කල මට ප්‍රශ්නාර්ථ ඇතිවේ. සැබවින්ම එදා මා සිතූ චින්තනය අදට වඩා මුහුකුරා ගිය එකක්ද? එසේ නැතහොත් එදා මා සිටි කල්පිත කූඩුවෙන් මුදන ලද කිරිල්ලියක වන් මා අද සිටින්නේ ඊට වඩා නිදහස් මතධාරී චරිතයකද? 

වැලන්ටයින් සංක්‍රාන්තිය - හාද කමේ ආරම්භය 

කාලයත් සමග වැලන්ටයින් යන එන වාර ගණනාවකදී මා සමග ටික ටික හාද වෙන්නට පටන් ගෙන තිබුනේ මේ සංක්‍රාන්තිමය ප්‍රතිපල වශයෙනි. එයින් නොනැවතී මා පසු කලෙක වැලන්ටයින් ලෝලිනියකද වූවා යයි මම හඟිමි.  

රොස මල්, හදවත් , සුවඳ කැවූ සුබ පැතුම් මත්තෙහි මම චමත්කාරයක් අත්විඳින්නට හුරුවෙන්නේ එහෙයින්ය. මා උගැන්වූ පාසලෙහි ශිෂ්‍ය නායක නායිකාවන් පෙබරවාරි 14 දාට රෝස මල් විකුණන සංස්කෘතිය විසින් මගේ වැලන්ටයින් විරෝධය හිතවත්කමකට පෙරළා තිබිණ. 

මා ලියූ රෝසමල් දවසක් ලිපිය ඔබට මතක ඇතැයි සිතමි.  එදා මේ ලිපිය ඉවර වෙන්නේ මෙන්න මෙහෙමය. එහි ඉන්නේ මාද? මා නොවන මාද? ඒ මමද නොවේ. මා නොවන්නේද නොවේ... මම විස්මයෙන් මගේ සංක්‍රාන්තිය දෙස උපේක්ෂාවෙන් අද හැරී බලමි. 

" මේ අතිශයින්ම සංකර, ලස්සන, සැපට හැදුනු, ධනවත් දරු පැටවුන් දකින විඳින අසීමිත නිදහස්, අපරිණත, නමුත් පිලිකුලෙන් බැලිය නොහැකි, අව්‍යාජ ආදරය ගැන ලියුව මේ ලිපිය ඇතමුන්ට දිරවන්නේ නැති වේවි... එත් අපි පොඩි කාලෙ ඉඳලම බැඳුනු විනය, සදාචාරය,හැදියාව අප ගෙනැවිත් නතර කර තිබෙන්නේ කොහේදයි එකම එක් අයෙකුවත් සිතුවොත්.. මට ඒ ඇති....."

ඊනියා සදාචාරයත් එයින් පොහොට්ටු වී පිපී ඇති ව්‍යාජ සංස්කෘතියත් එපිටින් ඇති සැබෑව මොකක්දැයි හිසේ අත ගසාගෙන මම හෙව්වේ ඔය කියු යුගයේය. මන්ද කූඩුවෙන් මිදෙන කිරිල්ලියකගේ ජීවිතයේ ගසාගෙන යන සිතුවිලි ධාරා හරිහැටි නාභිගත නොවීමේ විපාක වශයෙනි .

වැලන්ටයින් ලෝලී සමය(ම) 

සිතුවිලිත් ජීවිතයත් ආදරයත් නාභිගත වනවිට ජීවිතය අමුතු අමුතු තාලෙට පේන්නට පටන් ගනී. කොටින්ම අර රැටටුයිල් චිත්‍රපටයේ මීයා ස්ට්‍රෝබෙරි ගෙඩියක් සමග චීස් කැබෙල්ලක් එකට හපන විටදී මැවෙන මනංකල්පිත වර්ණ ධාරාවන් මෙනි.(පහළ රූපය බලන්න).  වැලන්ටයින්ට විවිධ හැඩතල මැවෙන්නට පටන් ගන්නේ එහෙයිනි. සාම්ප්‍රදායික හාට් එක වෙනුවට හැපි ෆේස් එක ආවත් ආදරේ කියන්නේ එකම පැකේජ් එකය. වැලියු පැක්(Value Pack) එක මොන අරුමෝසමින් පිරුනත් ජෛව විද්‍යාත්මක සත්‍යය සමග හැප්පෙන්න නම් අමාරුය. එහෙයින්ම අයිසින් ඉවත් කළ කල, කේක් ගෙඩිය යනු පාන්පිටිය.බටර්ය.සීනිය. අයිසින් වැඩි ෆජ්(Fudge) එක කෑවාම මත් වෙන්නේත් ඒ නිසාදැ‍යි සිතේ. පසුගිය(2011) පෙබරවාරි දාහතර වෙනිදා පවුලෝ කොයියෝගේ පොතකින් උපුටන ලද ඉතුරු භාගය පිලිබඳ එදා තිබ්බේ මහා තදබල විස්වාසයකි. ඇතැම් විට ඉතුරු භාගය මේ යයි මුලින්ම හිතට ගැනීම ආදරවන්තයිනට අමතක නොවෙන පාඩම් උගන්වයි. 


 පවුලෝගේ 'ඉතුරු භාගය' පිලිබඳ කතාවට නම් මම එදා මෙන්ම අදද පෙම් බඳිමි.  

" මෑවීම ආරම්භයේදී ගැහැනුත් පිරිමිත් හිටියෙ දැන් ඉන්න ලෙසට නෙමෙයි. තිබුනෙ එකම පෑවෑත්මක්. ඒ ජීවියාට හුඟාක් කොට ශරීරෙකුත් බෙල්ලකුත් තිබුනා. ඒත් එයාට දෙපෑත්තට බලාගෙන ඉන්න මූනු දෙකක් තිබුනා. ඒක හරියට සත්තු දෙන්නෙක් මෑලියම් ගාල පිටට පිට තියලා ඈලෙවුවා වගෙයි.

කොහොම හරි ග්‍රීක දෙවියෝ මේ ගැන ඉරිසියා කලා. ඒ මොකද අත් හතරක් තියන නිසා ඒ සතාට හුඟාක් මහන්සි වෙලා වෑඩ කල හෑකි.මූණු දෙක නිසා ඉතාම සෝදිසියෙන් ඉන්න පුලුවන්.. කකුල් හතර නිසා ගොඩ වෙලාවක් ඈවිද්දා වෑඩ කලා මාන්සියක් නෑතුව. ප්‍රජනනය පවත්වා ගන්නත් දෙදෙනෙක් අවශ්‍ය වුනේ නෑ.

 සියුස් මේ සුරයින්ගෙ ශක්තියෙන් කොටසක් අයින් කරන්න හිතලා, එයා අකුණු පාරකින් දෙකට කෑපුවා මේ සත්වයාව. ඒ අනුව ලෝකෙ ගැහැනියත් පිරිමියාත් නිර්මාණය වුනා. ඉතින් මේ දේ ලෝකෙ ජනගහනය වෑඩි කලා. ජීවත් වෙන උන් කිසිම හෑකියාවත් ශක්තියන් නෑති දුර්වලයො වුනා. මොකද තමුන්ගෙ ඉතිරි භාගය තමුන්ට අහිමි වුන නිසා. මිනිහාට සහ ගැහැනියට මහන්සි දැනෙන්නට වුනා. වෙහෙස වුනා. පොඩ්ඩක් මහන්සි වෙද්දි දුර්වල වුනා.ඒ නිසා මිනිහා සහ ගැහැනිය තමන්ට හිමි ඉතිරි භාගය සොයන්නට පටන් ගත්තා. ඒ අහිමි වූ ශක්තිය නැවත ඇති කරගන්නට.

දෑන් ඒ අයට සිද්ද වෙනවා ඒ අයට අහිමි අනිත් බාගය හොයන්න. ශිෂ්ඨාචාරයක් මුලුල්ලේ ඒ නිසා අපි අපේ ඉතිරි භාගය හොයනවා."

ස්ක්‍රැට්වද නිරපරාදේ මගේ වැලන්ටයින් ලෝලීත්වයට ගැවෙයි. ස්ක්‍රැට් සිය වෝල්නට් ගෙඩියට දක්වන්නේ පුදුම ආසාවකි. ඒක ආසාවක් නොවේය , පිස්සුවකි. උන්මාදයකි. ඒත් ආසාවටත් , පිස්සුවටත් ඉක්මන් කොටය. ස්ක්‍රැට්ට වෙන්නේත් ඒකය. වෝල්නට් ගෙඩිය බදාගෙන මොහොතක් දෙකක් ගත වෙද්දී අතේ තියන වෝල්නට් ගෙඩියත්, එය අත්පත් කොටගන්නට දැරූ පරිශ්‍රමයත් , එතරම් පරිශ්‍රම දැරීමට තරම් වෝල්නට් ගෙඩිය තමාට කොතරම් වටීද යන්නත්,  අතීතයට එක් වෙයි. නොසැලකිල්ලට පින් සිද්ද වෙන්නට වෝල්නට් ගෙඩිය යලිත් ප්‍රපාතයකින් පල්ලමට ඇද වැටෙයි. ස්ක්‍රැට් එක්කෝ ග්ලැසියරයක හිර වෙයි. ආයිමත් ග්ලැසියර් දියවෙන්නේ ඊලඟ කල්පයේ විය හැකිය. 

වැලන්ටයින් මට එපා වෙන්නේ නන්දා මාලිනීගේ ගීතයකුත් හිතට ඇදී එමිනි. උපමා රූපක , සහ සුන්දර අකුරු හමුවේ වැල්නටයින් මෙන්ම මමත් අසරණ වූ කාලයක් තිබිණි. එහෙත් නන්දා මාලිනියගේ ජව සම්පන්න හඬ නිරන්තරයෙන් මට පාඩම් කියාදෙයි. අතීතය දෙස මහත් වූ උපේක්ෂාවෙන් ස්තූතිවන්ත බැල්මෙන් බලමින් මම නන්දා මාලිනියට ඇහුම්කන් දුනිමි.  

අනේ මට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න මගේ කූඩුවේ...
ලියා ගී හදවතේ කිවිඳ මට හිරිහැර නොකරන් මෙසේ ...

ඔබගේ සුලකළ අකුරු පෙ‍ළේ පැටලී...
ගැළවීමක් නැත ‍යෞවනයට මිහිරී...
ආළය පිළිබඳ සිතුවිළි ළය වැතිරී...
විඳවමි තනිවම ඔබට සාප කරමී...
 
කිරුළු දරන්නට කිවි රජයෙහි මනරම්...
විරචිත කව් ගී කිවිඳිනි ඇති දැන්නම්...
යෞවනියන් හට කවියෙන් දී දඬුවම්..
ලබනා බුහුමන් ඔබහට වෙයි නොතරම්...

 වැලන්ටයින් සමග උපේක්ෂා සහගත ගනුදෙනුව 

ඒ එදාය . ඈත එදාය. මෑත එදාය. ඒත් මේ මෙදාය. ඒ ලිවිලිත් මගේය. ඒ ලිවිල්ලට දෙස් දෙන වැලන්ටයින් එක්ක තිබූ ලෝලීත්වයත් මගේය. අතීතයත් මගේය. නැත. මේ කිසිවක් මගේ නොවේ. යටත් පිරිසෙයින් අතීතයට හේතු පාදක වූ කාරණාවවත් මගේ නොවේ. නමුත් වැලන්ටයින් උන්මාදය මාන්දමක් බවට හැරවෙන්නට අතීතයෙන් උගත් පාඩම් මට පාර කිව්වේය කිවහොත් නිවැරදිය.  

එනිසාම අද මම වෙනස් මිනිසෙක් වී සිටින්නෙමි. වැලන්ටයින් යනු වෙලඳ සංකේතයකැයි එක් ප්‍රවීයෙකු මට කිව්වේ මීට දවස් කිහිපයකට ඉහතදීය. වෙලඳ භාණ්ඩයක් නොවූ ආදරයක සංකේතීය පුද්ගලයෙකුට වෙලඳ භාවයෙන් මිදිය හැකිද?  

මම කල්පනා කරමි. වැලන්ටයින් ගැන අනුකම්පාවක් මිස තරහක් නො ඉපදෙයි. වැලන්ටයින්ගේ තැරැව්කාර ආදරවන්තයන් කෙරෙහිද එසේමය.

වැලන්ටයින් මාන්දම හෙවත් තාවකාලික සමුගැන්ම

වැලන්ටයින් එක්ක රණ්ඩු වෙවී යාලු වෙවී, ජීවිත ආලින්දයෙහි දුව පැන්න මම අද ආලින්දයෙහි කොනක හිඳ ගෙන වැලන්ටයින්ලා සෙල්ලම් කරන ගෙමිදුල දිහා බලාගෙන මේ ලිපිය ලිව්වෙමි. 


ජීවිතේ කවියක්
ආදරේ එහි සොඳුරුතම වදනක්
කඳුලැලි බිඳක් - හස‍රැලි පොදක්..
එකට එක්වූ විට දැනේ..... පෙර නොවිඳි රසයක්...

පසු පසින් හඹා එන අතවර
හැර දමා යා නොහැක බෝ දුර
දුකද ඉවසා දරා ගන්නට සිතට බල කරනා
හැඟුම් අවදිව යේ කවිකම...

සෙනෙහසින් ‍රැඳී උන් නෙක දන
පලා යයි නොකියාම ඈතට
පවුරු පදනම් බිඳී දස අත විසිර යන යාමේ...
කවුරු නම් ලං වේද තනියට ....

ගජමන් පුවතට , එහි එන වසන්ති චතුරාණියගේ සැබෑ චරිත නිරූපණයට සහ එ පුවත නිරන්තරයෙන් පටන් ගන්නා තේමා ගීයෙහි කියන මෙ'පුවතින් මම ජීවිතයේ වැලන්ටයින් ටියුශන් පන්තියේ ලොකුම පාඩම ඉගෙන ගතිමි.  

සෙනෙහසින් ‍රැඳී උන් නෙක දන
පලා යයි නොකියාම ඈතට
පවුරු පදනම් බිඳී දස අත විසිර යන යාමේ...
කවුරු නම් ලං වේද තනියට 
.
.
.
(නිමි)

19 comments:

  1. මොකක්ද මේ?... හොඳ පැහැදිලි කිරීමක් කියල කියන්නම් :)

    ReplyDelete
    Replies
    1. හෙ හෙ . ඉස්තූතියි යාලු :) මේක ආදර පුරාවෘත්තයක්... වෙලාවට වෘත්තයක් උනෙ. ඈයි කොන් නෑ නෙව :)

      Delete
  2. දිග වැඩිද මන්ද... ලස්සනයි ඒ උනාට

    ReplyDelete
  3. අන්තිම පද පේළියෙන් නම් කියවෙන්නෙ කලකිරීමක ළකුණුද? නැත්නම් තවත් වැලන්ටයින් සබැඳියාවක පෙරනිමිතිද?

    ලස්සන ලිපියක්...

    ReplyDelete
  4. දිග වැඩ්යි තමා . බොක්කෙන්මනෙ ලියලා තියෙන්නෙ

    ReplyDelete
  5. දැං එතකොට වැලා එක්ක මල ද ???

    ReplyDelete
  6. චූට්ටක් දිග වැඩී. ඒ උනාට හොඳ විස්තරයක්. ලස්සනයි.:)

    ReplyDelete
  7. අම්මෝ වැලන්ටයින් ගැන ගොඩාක් :))

    ReplyDelete
  8. අලුත් පැත්තක්... හොඳ ලිපියක්.

    ReplyDelete
  9. ලිපිය කියව්වෙ නැහැ තව, 'නුඹ සහ මම' කවිය නම් කියෙව්වා. 'විශ්වයටම මුදන අප අබියස
    වැලන්ටයින්ද අසරණය'.. සැබැවින්ම ඕව්..! වැලන්ටයින්ට තෙපුල් පහරක්සේ ලස්සන කවියක් ජීවිතේ මල්.....-:)

    ReplyDelete
  10. ඉතුරු භාගෙ ( බර බාගෙ ) හම්බ වෙයි අක්කියෝ ඉක්මනටම :)

    ReplyDelete
  11. වෙනස්ම විදියක්.. කාල කීප්යකකදි සිතුවිලි හුඟාක්. දිග වුනත් එකකට එකක්, ලස්සනට ගලගෙන යන ලිපියක්..

    ReplyDelete
  12. සාතන් : අනේ මන්දා.. මේක ඉතින් වැලන්ටයින් පුරාණයක් නෙව .. හොඳ පුරාණෙ තමයි... ස්තූතියි :)

    ශානි
    හේ හේ. ඔව් ටිකක් දිගයි නේද... ස්තූතියි නගා..

    රූ :
    ම්ම් ආදරය කියන්නෙ එක්තරා කලකිරීමක් නෙවෙයිද මන්දා.... :)

    ලොකු
    හෙ හෙ. ඒක නම් ඈත්තේ. එහෙමයි එහෙමයි :)

    ඕනස්
    අපො නෑ... හොර වෑලෝ එක්ක නම් මල ! හිකිස් !

    ප්‍රවීන්ස්
    ස්තූති පොඩ්ඩි :) දිග නම් වෑඩි තමා....

    වර්නා
    හෙ හෙ. වැලන්ටයින් කල හරියක් නේද?

    අලුතා
    හොඳයි එහෙනම්. ඉස්තූති...

    රීසා
    ස්තූතියි.... :)

    මකරා
    මට එහෙවු මාන්දමක් නෑ ඒක ගෑන තෑව තෑවී ඉන්න. ඒ නිසා මේ ලිප්ය යාදින්නක් හැටියට කවුරුත් දකිනවටවත්, මම කැමති නැහැ.

    ඒ නිසා ' නැතුවට කමක් නෑ '

    හිතුවක්කාරී..
    ස්තූතියි ගොඩාක් :)

    ReplyDelete
  13. "ජීවිතේ කවියක්
    ආදරේ එහි සොඳුරුතම වදනක්.."

    ජීවිතයත් ආදරයත් සොඳුරුබව හෝ කවියක් බව දැනෙන්නට එහි කටුක පැත්ත විඳින්නම ඕන අක්කියෝ.. හිහිහී.. මටත් මතක්වුණේ වලන්ටයින්ව එක්ක කාලයක් පෙන්නන්න බැරිව හිටි කාලය.. දැන්නම් සාම ගිවිසුමෙන් ඉන්න නොඉන්න ලෙස කාලය ගතවෙනවා.. ඒ දවස් වල නිතරම කිව්ව සිංදුව තමයි දයාන්විතරණ මහත්මයගෙ ඈත ඉදන් හිනැහුණාට අටවක සඳ..

    //වැලන්ටයින් එක්ක රණ්ඩු වෙවී යාලු වෙවී, ජීවිත ආලින්දයෙහි දුව පැන්න මම අද ආලින්දයෙහි කොනක හිඳ ගෙන වැලන්ටයින්ලා සෙල්ලම් කරන ගෙමිදුල දිහා බලාගෙන මේ ලිපිය ලිව්වෙමි. //

    හිතේ රැඳුණ කොටසක්.. :)

    සෙනෙහසින් ‍රැඳී උන් නෙක දන
    පලා යයි නොකියාම ඈතට
    පවුරු පදනම් බිඳී දස අත විසිර යන යාමේ...
    කවුරු නම් ලං වේද තනියට

    හිතට දැනුන ගීතයක්..! ගිනිපෙලෙල්ලෙන් පස්සෙ කණාමැදිරි එළි ගැන කවර කතාද..

    එක් කාලයක මං තර්කයක් දැම්මා ආදරයට හදවත වෙනුවට මොළයක් ඇයි සංකේතයට ගත්තෙ නැත්තෙ කියලා..
    උත්තරය..
    ආදරය මුලින්ම දැනෙද්දි සංවේදීව දැනෙන්නෙ හදවතටලු..

    කාලෙකින් මේ පැත්තෙ.. තරහා නෑනෙ අක්කියෝ.. :)

    ReplyDelete
  14. දිග උනාට ලස්සන නම එච්චර නේ :))

    ReplyDelete
  15. වැලන්ටයින් ගැන මටත් ඇත්තේ මැදහත් සිතකි . අපි ආදරය කරන්නට වුන කාලයේ ඔය වැලන්ටයින් ලංකාවට සැපත් වි තිබුණාදැයි නොදනිමි. පසු කලෙක වුවත් අපට එතරම් බලපෑමක් වුනේ නැත . කැමති කෙනෙක් කැමති විදිහට එය දකිනවාට මන් කැමතිය . අපේ පොඩි එකී ''I LOVE MY FAMILY '' කියා පොඩි කාඩ් එකක් මේ වැලන්ටයින් දා මට ලියා දුන්නාය . ඔබේ සටහන ඉතාම ආසාවෙන් කියවීමි . කොයි දේත් වයස අනුව දකින ආකාරය වෙනස් වෙනවා නේන්නම්

    ReplyDelete
  16. වැලන්ටයින්......දවසපුරාම කඹුරලා කඹුරලා හම්බකරන සොච්චමෙන් බාගයකින්ම රුපියල් 50 හ ගානේ රීලෝඩ් කර කර පෙම්කරලා 14 වෙනිදට රෝසමල් දික්කරගෙන දුවන වෙළඳ කලාපවල දුප්පත් ළමයි..පව්. තව මේ වගේ අය කොච්චර ඉන්නවද. මේ වැලන්ටයින් අපේ දුප්පත් ළමයි තවත් දුප්පත් කරනවද කියල වෙලාවකට හිතෙනවා.

    ReplyDelete
  17. කාලෙකින් මේ පැත්තෙ ආවෙ... වැලන්ටයින්ට අර මුලින්ම ලියපු කවියට මම ගොඩක්ම කැමතියි...

    ඇත්තටම වැලන්ටයින් කියන්නෙනම් ජාවාරමක්ම තමයි... ඒක වටහ ගන්න කාලයක් ගන්න අපි හැමෝටම මේ වගේ ඉතිහාස කතාවක් ලියන්න හැකි වේවි දවසක...

    ලස්සනට ලියල තියෙනව...

    ReplyDelete
  18. පවුලෝගේ බ්‍රිඩා පොතෙත් ආදරය ගැන ඔය වගේම කතාවක් තියෙනවා
    ඒකෙදි අහන්නේ ලෝක‍යේ මුලින්ම සිටි ආත්ම වලට ජනගහනය වැඩි වෙද්දී තවත් ආත්ම වැඩි ව්‍රණේ කොහොමද කියලයි
    ඔවුන් කියන්නේ එහෙම වැඩි වෙන්නේ නැහැ තිබෙන ආත්මයන් දෙකට බෙද බෙදී මිනිසුන් නිර්මාණය වන බව. ආත්මගත සහකාරයෙක් හෙවත් soul mate කෙනෙක් හමුවෙන්නේ මේ වගේ බෙදී ගිය ආත්ම දෙකක් එකට නැවත හමුවුනොත්ලු. ලෝකයේ මුල් කාලයේ සිටම මේ බෙදීම නොනැවතී සිදුවුණු බැවින් අපිට මෙවන් සහකරුවෝ නිමක් නැති ගණනක් ලෝකය පුරා සිටිනවාලු.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->