Wednesday, February 29, 2012

[234] කියවීම වනාහී .. 1

මෙලොව ඇති කියවීම් බොහෝ වෙත්. ඒ අතුරෙන් කට බලියාගෙන කතන්දර කියවීම බොහෝ සුලබ පුඟුලන්ගේ වැඩකි. ඒ හැරුනාම පොත් කියවීමත් කියවීමකි. එහෙවු කියවීමක් ! එහිද විවිධ සංකලනයන් දකින්නට හැක්කේ සමහර කියවීම් බරසාර හෝ (ලේසියෙන් අනුන්ට තේරුම් ගන්නට බැරි) සහ සමහර කියවීම ලෙහෙසියෙන් අර්ථ දැක්වූවත් එහි අරුත වටහා ගන්නට නොහැකි බැවිනි. ඒ කෙසේ වෙතත් මේ කියැවීම් දෙකම හැරුනු විට ඉතිරිව ඇති තවත් කියැවීමක් වෙයි. ඒ නම් මිනිසුන් කියැවීමයි.

මිනිසා යනු කියැවීමට (කටින් සහ පොත්) උපන් හපන් වුවත්, මිනිසාට මිනිසෙකුව කියවීම තරම් අවුල් සහගත කාරණාවක් තවත් නැත. යටත් පිරිසෙයින් මටවත් අඩු ගණනේ එය බැරිය. එක්කෝ අපහසුය.

මිනිසෙකු විසින් තවත් මිනිසෙකු කියැවීම මහා අවදානම් සහගත කාරණාව්ක් වෙයි. මන්ද යත් කියවන්නා අත්දුටු සහ අත් විඳි වපසරියට අනුකූලව , ඔහුගේ/ඇයගේ තීරණ සහ නිගමන වෙනස් වෙයි. නිල් පැහැති කණ්නාඩියකින් ලෝකය දුටුවෙකු සියල්ල දකින්නේ නිල් පැහැය අනුබද්ධව මෙනි. 


නොකියවා සිටිය හැකිද?

හැකිය. පහසුතම සහ සරලතම විසඳුම එයයි. ජීර්ණය අපහසු කටු කම්බි කැබැල්ලක් වැරදීමකින් හැපුනහොත් 'තූ' කියා විසිකරනවා මිසක අප යලිත් ගිලිය හැකිදැයි ටෙස්ට් කරන්නේ නැත. නොකියවා නොදුටුවා නොසිතා සිටිය යුතු දේ වෙත්. එහෙත් ලෝකෝත්තර සුවයෙහි එතරම්ම එහා ඉවුරකට සමාජයකට අනුබද්ධව සිටින අපට පිහිනිය හැකිද? එය අභියෝගයකි. එහෙත් යම් තාක් දුරට ජය ගැනීම හෝ ගෙන එන්නේ අතිශය අර්ථවත් සාමයකි. අවබෝධය මුවහත් වන්නට වන්නට ආයාසයෙන් කියැවීම අවැසි නොවනු ඇත. ඒවා අවබෝධයට විෂය වනු ඇත.

කියවීම අනවැසිද? කියවීම අනර්ථකාරීද?

මිනිසුන් කියවීම කළ හැකිය. එහෙත් කියැවූ වැටහූ දේ සිතෙහි ලේබල් අලවා ගැනීමෙන් මිදිය හැකි නම් අනගිය. ලේබල් ඇලවීම භයානකය.



මිනිසෙකුගේ මුහුණ කියැවිය හැකිය. ඇස් කියැවිය හැකිය. හඬ , හඬේ තීව්‍රතාව , ගැඹුර , වචන ගිලිහෙන වේගය , වචන වල බරද කියැවිය හැකිය. මිනිසාගේ වචන වලට වඩා හඬෙහි සහ අංග චලනයෙහි වැදගත්කම සන්නිවේදනයෙහි උගන්වන්නේ එහෙයිනි.

අද බොහෝ දෙනා හිතවත්කම් කියවා ගන්නේ අකුරුවලිනි. අකුරු සහ ස්මයිලි වලට ඇස්බැන්දුම් කළ හැකිය. එකක් හිතමින්, තවෙකක් කියමින්, තවත් දෙයක් කරමින් චැට් ජනේලය මත මැජික් පෙන්වන විජ්ජාකරුවන් මේ මුහුණත් හතර සාර්ථකව පවත්වා ගනිති. දක්ෂයාට මෙය හැන්ඩ්ල් කළ හැකිය, අඩුම ගානේ ටික කලකටවත්. ...

මිනිසාව කියැවීමෙන් ඇතමුන්ට පලක් නැත. ඇතමුන්ට පලක් ඇත. ලෝකෝත්තර සීමාවෙහිදී මිනිසාව කියැවීම වෙනස්ම එකකි, අවබෝධය සහ කියැවීම අතර එය සියුම් ගනුදෙනුවකි. ලෞකික පරිසරයෙහි , නොකියැවීම දුර්විපාක ගෙන එයි.

එහෙත් නොකියවා සිටීමේ වාසිත් තිබේ. කියවෙන දේ අවාසි සහගත නම්, කියෙවෙන දේ සිත් රිදවෙන සුලුනම්, නොකියවා සිටීම යහපති. එහෙත් කියැවෙන දේ නොසලකා හරිද්දී අනවබෝධය ඉදිරියට එයි. එහි අනර්ථකාරී ප්‍රතිපල වල වගකීම අප ගත යුතු වේ. 


කියවීම තීව්‍ර වෙත්ම කියවීමෙහි දරුණුතම ප්‍රතිවිපාක මතුවෙයි. අවශේෂ මිනිසුන් ස්වකීය අමනෝඥ ජීවිතයම පවත්වාගෙන යාමත්, ඔවුන්ගේ හැසිරීම් පහසුවෙන් කියවා ගත හැකි වීමේ දායාදත් අපට ඇති ආශිර්වාදය මෙන්ම සාපයද වෙයි. දැන ගන්නවාට වඩා නොදැන සිටීම යහපති යන බුදු වදන මට සිහියට නැඟෙයි. නොඩුටුවා සේ , නෑසුනා සේ, නොදැනුනා සේ පසුවීමට හැකි වීමත් එක්තරා හැකියාවකි. සැනසීම උදෙසා මහෞෂධයකි. දැනුම නිවනට බාධාවකි. එක අතකින් රටේ ලෝකෙ සහ මිනිසුන්ගේ කුණුගොඩවල් ඇඟේ දා ගැනීම වධයකි. ඇඟේ දානොගෙන කියැවීම ඖෂධයකි. දැනුම ගොඩ ගැසීමෙන් අසහනය ගොඩ ගැසෙන බව ජයසේන ජයකොඩිගේ පොතක කියෙව්වා මතකය.

මිනිසා කියැවීම යනු අනුන්ව කියැවීමක්ම නොවේ. තමන්ට තමන්ව කියවා ගත නැකි තැන අනුන් කියවීම පල රහිතය. අනුන්ව පමණක් කියැවීම ප්‍රාථමික අත්දැකීම් මත සිදුවන අනිටු ප්‍රතිපල තවත් භයානකය.තම තමන්ගේ උපකල්පන සහ අනුමාන කිරීම් , නිගමන බවට පත් වීම තරම් අවාසනාවක් තවත් නැත.

හඳුනා ගැනීම කියවීම් සහ නිර්ණය කිරීම් සාධාරණ වන්නේ සමබර මනසින් දකින විටය. පූර්ව හෝ පශ්චාත් විනිශ්චයන් සහ ලේබල් ගැසීම් සංවෘතය. විවෘත , සමබර සහ නිරෝගී මනස සුදු කපු පිරුවටයක් මෙනි. සුදු පිරුවටයට නිල් පැහැය උරා ගන්නේ නිල් පැහැයම විලසිනි.

කියවීමෙහි අනෙක් ප්‍රතිපලය භයානක වන්නේ ප්‍රතිචාර දැක්වීමෙහිය. මිනිසා කියැවීම වනාහී මනුෂ්‍යත්වය කියවීම වේ. කියැවීම මිනිසෙකු සම්පූර්ණ කරන බව උගත්තේ ඉතා කුඩා කල නොවෙද? 

10 comments:

  1. කියැවිම අනේ මන්දා තව විසි තිස් පාරක් මෙය කියවා තේරුණු පස් නැවත කොමෙන්ට් කොරන්නමි

    ReplyDelete
  2. කියෙව්වා. මේකේ තියන දේවල් වලට 100% එකඟ වෙන්න පුළුවන්. මේවගේ දෙයක් හිතුනේ ඇයිද කියල නම් ලිපියේ කොතනකින් වත් හොයාගන්න බැරිවුණා.

    ReplyDelete
  3. කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන්නට මම එකඟ නොවෙමි, මන්ද යත් කියවන බොහෝ මිනිසුන් අසම්පූර්ණ වන වග මා දැක ඇති අතරම නොකියවන බොහෝ අය අතර සම්පූර්ණ වූ අය වෙති... නමුදු මම තවමත් අසම්පූර්ණයෙක් වග නම් ඉඳුරා කිවයුතුමය....

    ReplyDelete
  4. මම Pisakkaatuwa කියල තියන දේට 100% එකඟයි...
    මටත් හිතුනේ ඒකමම තමා

    [දැන් කවුරු හරි මම මේ කියූ දේට 75% එකඟයි කීවොත්, ඒ කොමෙන්ට් එක "කියැවූ" කෙනා හෙනාමාරුවක වැටෙනව :-) ]

    ReplyDelete
  5. සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.....
    නියමයි මිස්, කාලෙකින් කියවපු හොදම ලිපිය... :)

    ReplyDelete
  6. සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.....
    නියමයි මිස්, කාලෙකින් කියවපු හොදම ලිපිය... :)

    ReplyDelete
  7. කියවනවා මමත් නිදිමරාගෙන

    ReplyDelete
  8. කියවීම තෝරා බේරාගෙන කරනු මැනවි. !

    ReplyDelete
  9. කියවනවා තමයි ඉතින් අපිත් sutdyleave කාලෙට

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->