Wednesday, December 28, 2011

[225] අසම්මතයෙන් ඔබ්බට පියාඹන මොණර කිරිල්ලී

දුහුවිල්ලෙන් වත්සුණු තවරා
කුමර කුමරියන් ලෙන්ගතු ඇසුරේ
රහස් බැලුම් දෙන සැන්දෑවේ
නන්නාඳුනනා කය මිස සිත නැති පුරවරයේ
කවුරුන් හෝ තුරුලේ
නිමේශයක් කොඳුරාවී රහසින්
ආගිය උන්හිටි තැන් සඟවා

ගිනි කඳු සිරසේ මලපුඩු අතරේ
කැදලි සදාවී මොණර කිරිල්ලී
‍රැයකින් ‍රැයකට කුස පිරෙනා
සඳ සෙවනැල්ලේ
සිත ඇති කය නැති මිටියාවත ඉවුරේ
වහස් බැලුම් සඟවා
උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන
පියඹා යාවී මොණර කිරිල්ලී

සැඩ සුලඟේ
මුල් ඉදිරී යන ගස මුදුනේ
නූපන් දවසේ
රන්කිරි කඳුලේ
සිහින දකීවී මොණර කිරිල්ලී....


දුහුවිලි ගහණ ඒ නගර මධ්‍යයේ උකුසු ඇස් දහස් ගණනක් අන්ධකාරයට එකතුවෙයි. බාල වර්ගයේ වත්සුණු , ඇස් ආලේපන , අවලක්ෂණ කොණ්ඩ විලාසිතා , දෑතේ කරකැවෙන ලේන්සු සහ කුඩ දු‍ටු බො‍රැල්ලේ මහ හන්දිය මට සිහිවෙයි.  ඒ උකුසු ඇස් වලින් විහිදෙන්නේ ගැහැණු කමේ කාන්තිය නොවේ... රාත්‍රියේ දඩයම් සොයන බොහෝ නිශ්ශබ්ද තරඟයකි. 


බම්බලපිටිය හන්දිය මීට වඩා වෙනස්ය. මන්ද එහි සිටින්නේ අඳුනාගනු පහසු සාම්ප්‍රදායික සංකේත සහිත දඩයක්කාරියන් නොවේ..කොලඹ විලාසිතාවන්ගෙන් අනූන, කොමන් සෙන්ස් යොදා සිය සැබෑ වත වසා සාර්ථක රඟපැමකින් 'සාර්ථක' ගනුදෙනුකරුවන් පමණක් ඩැහැ ගන්නා නෝනාවරුන් වීමය. බොහෝ වෙලාවක් එක් සැකකාරියකටම අවධානය යොමමින් , පැය භාගයක්වත් කල් මැරුවොත් විනා එවැන්නියන් ට්‍රැක් කර හඳුනාගැනීම සිහිනයකි.

ඒ කෙසේ වුවත්, මොරිස් භානීගේ මේ ගීය , යමක් කමක් නොදන්නා පැටි වියේදී මා සිත පැහැර ගත්තේ , එහි ඇති , මා පුද්ගලිකව ප්‍රිය කරන , කේමදාස මාස්ටර්ගේ ස්ටයිල් එකේ (මේ ගීයේ තනුව නවරත්න ගමගේ මහතාගේ බව සිහිපත් කරමි)  ආවේගශීලි රිද්මයටය.  පැටි වියෙන් පෙර යොවුන් වියට එලඹෙද්දී  , මිතුරියන් කනට කොඳුරා කතා වෙද්දී,  ' මේ සින්දු තියෙන්නෙ අර නරක ගෑනු ජාතිය ගැන' කියා මුමුණද්දී , සිත් ගත් රිද්මය පසෙක ලා , පැහැරගත් වේගයට වඩා වැඩි වේගයෙන් මම එදා මේ ගීය බැහැර කළෙමි. කුරිරු ලෙස 'ඒ ජාතියේ ගැහැනුන්' බැහැර කළ මට 'ලඳුනේ' ගීය කණ වැ‍ටුනේ අහම්බෙනි. 'බුදුන් දැක නිවන් දකිමැයි දෙවුරම යන පාර අහන , ඔබද පටාචාරාවකැයි' අමරසිරි පීරිස්ගේ හැඬුම්බර දයාභරිත හඬින් ඇහෙද්දී ,  'ඒ ජාතියේ ගැහැණුන් වෙනුවෙන් ඉපැදි කුරිරු සිතිවිල්ල බැහැරවී, 'ලඳුනේ' ගීයත් , 'දුහුවිල්ලෙන්' ගීයත් මගේ හද පතුලෙහි යලිත් නිදන් වෙනු මම, පසක් කළෙමි. 





මේ සියල් කථනයන් ලියවෙන්නේ ගණිකාවන් යනු සමාජයට මහ මෙහෙවරක් කරන්නවුන් යැයි කියන්නටවත් , ඔවුන් තව තවත් බිහිවේවායි පතන්නටවත් නොවේ.ගණිකා වෘත්තිය නිසා සිදුවන සමාජ හානීන් පිරිසිඳ දකිනු වස් අකුරු කරන්නවුන් බොහෝ ඇතුවාක් මෙන්ම, ඔවුන්ගේ ඒ නිර්භීත මෙහෙවර මම අගයන්නෙමි. එහෙත් මේ ඇඟ මස් විකුණන්නේත් මිනිස් ලේ ඔඩු දුවන ගැහැණුන්ය. විකිණෙන්නේත් ඒ ලේම ඇති මිනිසුන්ටය.  විකිණෙන මසට , පැයට හෝ ආත්මයට ලංසු තැබෙන්නේ මුඩුක්කුවෙහි ඉදෙන බත් හැලිය  විය හැකිය. ඒ බත් හැලිය බලාගෙන මග බලන කටවල් ගණන විය හැකිය. ඔත්පලව ලෙඩ ඇඳෙහි මරණය බලා සිටින අම්මාගේ බෙහෙත් ලැයිස්තුව විය හැකිය. උපාධිය හෝ සාමාන්‍ය පෙළ විභාගය විය හැකිය..

ඒ අතරම , සමවෘත්තික වූ නාගරික පොශ් ඇතමෙක් ලංසු තබන්නේ ඊලඟට මිලදි ගන්නට නියමිත නිවසටත් වාහනයටත් විය හැකිය. එහෙත් මේ සටහන ලියන්නේ 'ඒ ජාතියේ ගැහැනුන්'ගෙනුත් , ඒ අන්තිමට කිව් ජාතියේ අය වෙනුවෙන් නම් නොවේ...

ඒ උකුසු බැල්ම සිය ගනුදෙනුව සොයා ගන්නටය. නීතියේ ‍රැහැනින් සිය මොණර වෙස සඟවා ගන්නටය.. නීතියත් සදාචාරයත් සංස්කෘතියත් ,ඒ වාගේ හැම දේමත් ඉදිරියේ , ඇයත් , ඈ වැන්නියන් පිලිබඳ මේ කතාව ලියන මමත් අනතුරේ සිටිනවා විය හැකිය. එහෙත් ?

කොතෙක් සරු පසෙක වුව ඈට කිරි කඳුලක සිහින දකිනු තහනම්ය. ඇත්තෙන්ම තහනමක් නැත. එහෙත් තහනම් ගහේ ගෙඩි කැවාක් මෙන් , කාන්තාරයක පැලවෙන තෙත්කලාපීය ශාකයක් මෙන් , ඈ සිටවන පැලයට ඇත්තේ සුබවාදී අනාගතයක් නොවේ. පියෙක් නැති , එනිසා නම්බුකාර උප්පැන්නයක් නැති , ඒ නිසා අකුරු උගනිනට පාසලක් නැති , ඒ නිසා නූගත් කම විනා අන් උරුමයක් නැති, ඒ නිසා තමාට මේ ඉරණම උදා කළ සමාජය කෙරෙහිම ද්වේශයක් 'ඇති' , ඒ නිසා ඒ පැලය 'විනාශයේ පිලිලයකැයි මොර ගසන්නට , මුලිනුපුටා දමනට ' ලෝකයක්ම පෙල ගැසී ඇති ... එහෙවු යථාර්තයක , එහෙවු මහ පොළවක අප සම්මතය ගැන කතා නොකරාට වරද කිම?


ඒ නිසාම නූපන් දරුවන් වෙනුවෙන් සිහින දකින්නට 'ඒ ජාතියේ ගැහැණුන්ට' සදාචාරවත් සමාජයෙන් ඉඩක් නැත. ඒ ජාතියේ ගැහැනුන්ගේ දරුවන්ට 'ඒ ජාතියම' විනා වෙන පිහිටක් නැත.


'ඒ ජාතිය' අර කලින් පෝස්ට් එකේ මා ඇඳි ඡේදන කුලකයට මා එබුවත් , ඒ ඡේදන කුලකයේ සමාජ සත්වයන් වන අප හැමෝමත් සිටින නිසා , අපෙන් ඔවුන් වෙන් කොට හඳුන්වනු උදෙසා , 'ඒ ජාතියේ ගැහැණුන්' රතු පැහැයෙන් ඇඳි පෙදෙසෙහි තබා තැබිය යුතුවෙමුද? 


ගීතය අහන්න මෙතැනින්.... ගීය ගයන්නෙ මොරිස් භානී , සංගීතය : නවරත්න ගමගේ , වැදගත්ම දේ ලිව්ව කෙනා. ඒත් ඒක මම දන්නෙ නැහැ. ඒකත් හරියට ඒකත් මොණර කිරිල්ලියකගෙ ජීවිතේ වගෙද කියල මට හිතුන . ඇගේ ජීවිතේ ඇයි මෙහෙම වුනේ , ඇයි ඈ මෙහෙම කරන්නෙ කියන ප්‍රශ්නෙට උත්තර කවුරුවත් දන්නෙත් නැහැ. හොයන්නෙත් නැහැ.) :-)  මොනව උනත් මම දන්නෙ එක දෙයයි. මේ ගීතය ලස්සනයි. කවුරු ලිව්වත්. එහෙම නේද? ඔව්. 

ඒත් අපිට 'ඔව් ' කියන්න හැකිද මේ ප්‍රශ්නෙට . "මොනව උනත් මම දන්නෙ එක දෙයයි... ගණිකාවත් මනුස්සයෙක්. එයා මොනව ජීවිකාවට කලත්. එහෙම නේද? " කීදෙනෙක් ඔව් කියාවිද? :-) 



ගණිකාවකගේ අකැප ආදරය ගැන ලියු මගෙ මේ පෝස්ට් එකත් , බීට්ල් ලියන 'අකූරු' බ්ලොග් එකෙ මේ ගැනම ලියූ හද කම්පා කරන සුලු කතාවත් කැමතිනම් කියවන්න ... 




12 comments:

  1. හ්ම්ම් ගණිකාව...
    ලංකාවේ පැරණිම රැකියාව...

    ReplyDelete
  2. ඔව් .. ඇත්ත...
    ගණිකාවක් කියන්නෙත් එක සමාජ සත්වයෙක් ... ගණිකා වෘත්තිය කියන්නේ තවත් එක රස්සාවක් ... කැමැත්තෙන් කලත් අකමැත්තෙන් කලත් එක අතකට ඒ රස්සාවෙනුත් කරන්නේ මිනිස්සුන්ගේ ආසාවල් ලබා දෙන එකමයි ... !!
    ගණිකාවකගේ ළැමට යටින් ලය දකින්න පුලුවන් උනු දවසට .. අඳුරේ පව් කරන මිනිස්සු එළියේ රවන්නේ නැතුව යන්න පුරුදු වෙයි ....

    ReplyDelete
  3. ඔව්....ඔයා හරි. බොරැල්ලෙයි, බම්බලපිටියෙයි වෙනස දැකල තියන අපුරුව... ඔයා වටා පිටාව ගැන හොඳ අවදානයෙන් ඉන්න බව පේනවා. මට මේවගේ අය දැක්කම හිතෙන්නේ, මේත් කාලෙකට ඉස්සර අම්ම කෙනෙක්ගෙන් කිරි බිබී උකුලේ හුරතල් වුනු කිරි දරුවෙක් නේද කියල. එහෙම හිතෙනකොට පොඩි එවුන් ගැන බයක් දැනෙනවා.
    මේ ගීතයේත් ළඳුනේ ගීතයේත් අර්ථයට අමතරව තවත් සමාන කමක් තියනවා. මොරිස් භානි ටත් අමරසිරි පිරිස් ටත් තියෙන්නේ බර ගැඹුරු හඬවල්. ඒ වගේ හඬවල් කථා කරන්නේ කනට වඩා හදවතට .

    ReplyDelete
  4. ගණිකාවෝ නැත්තං මේ රටේ මිනිස්සුන්ට මොකක් හරි ලෙඩ රෝග හැදෙයි....මම දැක්කා මෙහෙම කියනව කව්ද රූප පෙට්ටියේ....

    ReplyDelete
  5. දිල්, සංවේදී වගේම සානුකම්පිත දෘෂ්ටියකින් ලියපු හැඟීම් සමුදායක්.....

    / 'ඒ ජාතිය' අර කලින් පෝස්ට් එකේ මා ඇඳි ඡේදන කුලකයට මා එබුවත් , ඒ ඡේදන කුලකයේ සමාජ සත්වයන් වන අප හැමෝමත් සිටින නිසා , අපෙන් ඔවුන් වෙන් කොට හඳුන්වනු උදෙසා , 'ඒ ජාතියේ ගැහැණුන්' රතු පැහැයෙන් ඇඳි පෙදෙසෙහි තබා තැබිය යුතුවෙමුද? /

    ඒ මොකටද එහෙම කරන්නෙ?......ඔවුනුත් මිනිසුන්....ඔයයි මමයි වගේම ලේ මස් නහර වලින් සැදුණු....එයාලත් ඔයාල අපි ඉන්න තැනම තමයි මේ කුලකයෙ ඉන්න ඕන.........

    / ඒත් අපිට 'ඔව් ' කියන්න හැකිද මේ ප්‍රශ්නෙට . "මොනව උනත් මම දන්නෙ එක දෙයයි... ගණිකාවත් මනුස්සයෙක්. එයා මොනව ජීවිකාවට කලත්. එහෙම නේද? " කීදෙනෙක් ඔව් කියාවිද? :-)  /

    මම ඔව් කියල කිව්ව කියල ලියා ගන්න......අපි කවුරුත් දිල් ජීවිතය ගෙනියන්න අවශ්‍ය බර පැන හොයාගෙන්නෙ මොනව හරි අපි සතුව තියෙන සම්පතකට මූල්‍යමය වටිනාකමක් දීල එයට ලැබෙන ගෙවීමෙන්....ඒක තමයි ඇත්ත...ඔයත් එහෙමයි, මමත් එහෙමයි......ඔයයි මමයි අපේ දැනුම සහ පලපුරුද්ද මූල්‍යමය අගයකට හුවමාරු කරන අතර ලිංගික ශ්‍රමිකයින් ( ගණිකාව කිව්වම නිරායාසයෙන්ම පහත් හැඟීමක් සිතට එන නිසා මම ලිංගික ශ්‍රමිකයින් කියල යොදන්නම්, Its the politically correct nomenclature currently used world wide instead of prostitute....the sex worker ) තම සිරුර මූල්‍යමය අගයකට හුවමාරු කරනවා.....මොකක්ද මේ දෙකේ වෙනස?

    ReplyDelete
  6. මට නම් ඔය සින්දුවෙ තේරුම මීටර් වුනේ ඉස්සර අයි.ටී.එන්. එකේ ගියපු කතාවක් නිසා.ඒකෙ කතාවට අදාල සින්දුවක් යනවා.එක පාරක් ගියේ ඔය සින්දුවට අදාලව කතාව.

    ඒකෙත් වුනේ ගණිකාවකගේ අකැප ආදරයක් ගැන කතාවක්. එයා ගණිකාවක් බව නොදැන පොලිස් ලොක්කෙක් එක්ක කතා බහ කරලා යාලු මිත්‍ර කමක් ඇති කරගන්නවා.පහුවදා ඒ පොලිස් ලොක්කගෙ කට්ටියම මෙයාව පොලීසියට ගෙනියනවා.

    මෙයා අර පොලිස් ලොක්කාගෙන අහනවා මාව මතක නැද්ද කියලා.එයා කියනවා නෑ කියලා බනිනවා. එතනින් තමා කතාව ඉවර වුනේ.

    ReplyDelete
  7. බස් එකේ යද්දී ඉතින් මේ සින්දිව ඇහෙනවා ඉඳලා හිටලා රේඩියෝ එකෙත් ඇහෙනවා ඒ වුණත් මම ඒක වැඩි උවමනාවකින් කන් දුන්නේ නෑ . ඉතින් ඒ සින්දුවේ ගැබ් වුණ තෙරුමත් මට හොයාගන්න බැරි වුණා .

    අදයි සින්දුවේ තේරුම දන්නේ ..

    හොඳ සටහනක් අක්කන්ඩි .

    ReplyDelete
  8. අපිට වෛරයෙන් කෝපයෙන් බලන්නට නිමිති බොහෝ මේ ලෝකය තුල තිබෙනවා. ඒත් ඒ දෙස වෛරයෙන් බලන අප අපම 100% සාන්තුවරයින්ද? ගණිකාව දෙස පමණක් ඇඟිල්ල දිගු කරන ලෝකය තුල වෙනත් වරදවල් ඇත්තේම නැද්ද?

    මම එක්තරා පෝස්ට් එකක් ගැන මීට මාස කීපයකට ඉහටහ් කිව්වෙත් මේ ටිකමයි. අපිට අපි මිනිස්සු බව , උන් මිනිස්සු බව අමතක වෙනවා. අනුන්ගේ වරදක් ස්පොට් වෙන තැනදී අපිට එකපාරම අපිව සාන්තුවරයින් හැටියටත් අනෙකුන් තිරිසනුන් හැටියටත් පේන්නට පටන් ගන්නවා. අපේ කුණු ඒ මොහොතට පමණක් වැහිලා නිසා.

    මේ කොමෙන්‍ටු ලියන්න තරම් හිතේ හයිය තිබ්බ ඔබ හැමට මම හිස නමා ආචාර කරනවා. අඳුරට පමණක් සාක්කි දෙමින් ලෝකය කරන පවුකම් කොතෙක්ද?

    අසම්මතයෙනුත් ඔබ්බට ලිපි පෙල කතා කරන්නේ 'නාමික' වෙනස් ලක්ෂණ ඉදිරියේ සාන්තුවරයෝ නොවී ලෝකයම දිහාවට දයාවෙන් බලන්න හැකිදැයි අපි අපෙන්ම විමසීමක්.

    වර්නා , වාසනා , pissakatuwa, ඔබ නොදු‍ටු ලොවක් රවි, නිසුපා, සහ සඳරුවා.... ජය වේවා !

    ReplyDelete
  9. ලොකේ පරණම රැකියාවලු ඒත්.. මොන දේ උනත් මම නම් දක්න්නේ ගෙදර බත් හැලියක් උයන්නවත් ලෙඩට දුකට බෙහෙත් ගන්නවත් ඒ වගේ රස්සාවක් කරන් එන පාපයක්. ඒ පාපේ ලොකුම හවුලු කරුවා ඇඟ විකුකක ගැහැනිය නෙවෙයි. ඒවා සල්ලි වලට ගන්න පිරිමි.

    ReplyDelete
  10. මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.
    තනි අතකින් අත්පුඩි ගහන්න බෑ කියලා විතරක් කියන්නම්. මේ නිසා මේ රැකියාව කරන අයයි ඒ අය ගොහාගෙන එන අයයි දෙගොල්ලොම වැරදියි.

    මස් කඩකාරයා හරක් මරන්නේ මස් කන කට්ටියක් ඉන්න නිසා. මස් කන කට්ටිය මස් ගන්නේ කඩකාරයා හරක් මරන නිසා.

    ReplyDelete
  11. වෙන් රූපය පොඩ්ඩක් මෙහෙම නිවැරදි වෙන්න ඕනෙ.
    ජීවිතය = හොඳ ∩ නරක නොව, ජීවිතය යනු සර්වත්‍ර කුලකයයි.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->