Tuesday, December 13, 2011

[223] අසම්මතයෙනුත් තවත් ඔබ්බට 2 - ඔහුත් ඇයත්, "ඇයත්" ගැන !

ප්‍රවේශය :  


ප්‍රියම්භිකාව යන වදනට හිමි සැබෑ අරුත කුමක්දැයි මම සිතන්නට පටන් ගත්තේ මේ ගීයත් සමග විය යුතුය. ආලය , සෙනෙහස, පවුල් ජීවිතය , එකට ජීවත් වීම යනාදී විවිධ මාතෘකා ඔස්සේ සිතමින් සිතමින් සිටිද්දී මේ ගීතය මා සංවේදී කලේ , සෑබවින්ම මින් පෙර සංවේදී නොවූ මානයක් කෙරෙහි කිව්වොත් නිවැරදියි.  


ඈට ප්‍රියම්භිකාව යයි කිසිවෙක් කියන්නේ නැත. රළු පරලු දෑස් අභියස ඈ ඔහුගේ 'හොර අඹුව'ය. සම්මතය නම් , ඔහුගේ පාදපරිචාරිකාවගේ ජන්මාන්තර වෛරක්කාරියය. ලෝකය ඉදිරියේ සිටින ගරුතර බිරිඳගේ පවුල කඩා ඉහිරනුවස් පහළ වූ අවතාරයකි. ඒ සම්මත ලෝකයේ හැඟීමය. ඔහු වන් කෙනෙකුට හිතට ගතහොත් හොර අඹුවන් නොගෙන ජීවත් වෙන්නටද හැකි විය යුතුවා සේම , ඇයට අඩුගානේ ඔහුගේ දරුපවුල ගැන සිතන්නට හැකි විය යුතුව තිබිණි. සම්මතයේ මානය එයය. 

එහෙත්... නිවැරැද්ද සහ වැරැද්ද අතර අඩි රූලක් ගසා ඉරක් ඇඳිය හැකිද? ඒ අඩිරූල හරි කෙලින් විය හැකිද? බීමත් වූ කෝච්චි පාරක් මෙන් ඒ ඉර , එකිනෙකාගේ නිදසට කරුණු නමැති වංගු ගනිමින් ඇද කුද වී තිබෙනු මට දැකිය හැකිය.  


සම්මතය හා අසම්මතය යකාට ගියාදෙන් කියන මා මෙන්ම තවත් අවශේෂ ජනයා මේ කියන කිසි දෙයක් අනුමත කරනවා නොවේ. එහෙත් මිනිස් දහම අනුව 'විය යුතු' දේ මේ යැයි කීමට අසීරු තරමටම මිනිස්කම පුදුම සහගතය . ගැටලු සහගතය. 

ඔහු සොරාගත් අසම්මත ප්‍රේමයේ පංගුකාරිය සමග ජාති ජාතිත් වෛර බඳිනු විනා ඔහුගේ ප්‍රිය බිරිඳට කළ හැක්කක් තිබේවිද?  සම්මතයත් , අසම්මතයත් ඉක්ම යන මානයෙහිදි , මට පෙනෙන්නේ යථාර්ථය විද්‍යමාන වන , සානුකම්පාවකින් වෙලී ගිය ශෝකයෙන් වෙහෙස පත් බිරිඳක් සහ අසම්මත ප්‍රේමියකි. 
  

අසම්මත ප්‍රේමිය දුකෙන් මෙසේ මුමුණන්නීය. ඔබට මුලු රාත්‍රියම හිමිය. ඔහු සමග මුලු ජීවිතයම බෙදාගැනීමේ නෛතික අවසරය හිමිය. එසේ බැලූ කළ ඔහුගේ නාමික ප්‍රියම්භිකාව ඔබය. එහි විවාදයක් නැත. ඈ මේ කියන්නේ වේදනාවෙනි. ඒ වේදනාව තමා වෙනුවෙන්ය. එපමණක් නොව, ඔහු මෙන්ම තමා නිසාවෙන් දුකෙන් තැවෙන ඔහුගේ පාදපරිචාරිකාවත් වෙනුවෙන්ය. අරුමය ඇත්තේ එහිය.  



(අනියම් බිරිඳ) 

මුලු ‍රැයක් පුරා - ඔබ ඔහු ලඟ
ජීවිතය පුරා - ඔහු ඔබ ලඟ
ඔබයි ප්‍රියාදර ප්‍රියම්භිකා ඔහුගේ

බිරිඳට මේ වදන් මහා සුසුමකි. මන්ද ඒ ගෙවෙන මුලු රැයත් , ඔහුගේ ජීවිතයත්, අරක් ගත් නෛතික හිමිකාරිත්වය ඇය සතු වුවද , හීනෙන් ගෑ උණුසුම් සුවඳ සහ ආදර සිත පවතින්නේ අසම්මත ආදරියගෙ ඇස් තුල බව ඇය දන්නා හෙයිනි.



(බිරිඳ)

මුලු ‍රැයක් පුරා ඔහු මා ලඟ
සිරුර පමණයි හිතයි ප්‍රේමයයි ඔබ ලඟයි


ආදරයත් සෙනෙහසත් දෙකෙහි අරුමය, දුක්බර වෙනස අත් විඳින්නී ඈය. ඔහුගේ බිරිඳය. කලෙක ලද උණුසුම් ආලය අද සිහිනයකි. හැර නොයන කුල ගෙය තුල ඔහුත් පාදපරිචාරිකා ඇයත් බෙදා ගන්නේ අනුකම්පාවත් , සෙනෙහසත් පමනකි. ඒ සෙනෙහස කුටුම්භයේ සිහසුන මත දිදුලන උණුසුම් ආදරයෙන් ඉඳුරාම වෙනස් වග ඈ හොඳින් හඳුනන්නීය. ඒ උණුසුම , ඒ සිහසුන අද නිර්නාමිකවම අනිකියකගේ අත පත් වාසනාවක්ව ඇති අරුම ඈ පසිඳින්නීය. 

(බිරිඳ)

ඔහුගෙ උණුසුම් ආදරයේ වාසනා හිමිකාරී ඔබ
මට හිමි හීතල සෙනෙහස පමණී..

එහෙත්. එය සැබෑ සත්‍යයද?  අනියම් , තාවකාලික සතු කර ගැනීමෙහි ඇති වේදනාව දැනෙන්නේ ඇයට පමණි. එක් අතකින් ඈ ඇගේ මුලු හදම ඔහුට පුදන්නීය. කිසි කලෙකත් නිසි ලෙසින් සැබවින්ම ඈ සතු නොවන බව හොඳින්ම දන්නා ඇයට , ඈ ඇගේ ආලය පුදන්නීය. ඉරිසියා හැඟුම ස්වාභාවිකය. ඈත් මනුස්ස දුවකි.  ඈ ඉල්ලන්නේ ජීවිතයය. වින්දනයට , සන්තර්පනයට පමණක් සීමා නොවූ , ලෝකයේ ගැහැට නොවිඳින සැබෑ ජීවිතයය. ඈත් අසරණය.
 

(අනියම් බිරිඳ)

මා සිත පවසන ඉරිසියා හැඟුම් ඉතින් අසන්
මා බිරිඳ වන්න පෙම්වතිය වන්න ඔබ මා තුරුලට මට දෙන්න දෙන්න ඔහු

ඇගේ වම් වෙදැඟිල්ල හැමදාමත් හිස්ය. එහි කුලවමියකගේ රන් මුදුව ඈට හිමි නැත. ඈ හැමදාමත් ඔහුගේය . එහෙත් එය නිර්නාමික  හෘදය ගිවිසුමකි. ආදරයේ බැඳීමක් පමණි. අතැඟිලි බැඳ එලිමහනේ ඇවිදින්නට ඈට වරම් නැත. 


(අනියම් බිරිඳ)

ඔහුගෙ මංගල මුදු පැලඳූ පාද පරිචාරිකාවී ඔබ
මා ඔහුගේ ගත සුසුමක් පමණී




ඇයට ඇත්තේ එතරම් ලඳ බොලඳ බියක්මත් නොවේ. ඇගේ බිය ඇගෙන් නතර වන්නේද නොවේ? අහෝ මාගේ කුටුම්භය? දිවිපෙවෙත? ඔහු? ඔහුගේත් ඇගේත් ආදර සෙවණේ මේ කිසිත් නොදැන හැදී වැඩෙන කුඩා පැටවුන්? ඔවුන්ගේ හෙට දවස? ඔවුන්ගේ අභිමානය?  ජීවිතයක් , ඇතැම් විට සංසාරයක්, එකට බැඳී ආ ඔහු? ඔහු මා වෙනුවෙන් පමණක්මත් නොවේ. මාත් ඔවුනුත් වෙනුවෙනි. අනේ ඒ ගැන සිතාවත්, දෙන්න මට ඔහු... ඈ අයදින්නීය ... 

(බිරිඳ)

මට නැතිවනුයේ හිමිසඳ සමගින් දූ දරුවෝ
මුලු ජීවිතයෙම අත් වැල් බැඳ ආ  මා සෙවණට මට දෙන්න ඔහු

ජීවිතයක් ඔහු මා සමගය. ඒ මගේ කුටුම්භයේ ශක්තියයි. ඒ මගේ සහ පැටවුන්ගේ අනාගතයයි. බිරිඳට ඒ හැර අන් මගක් නැත. සිත සොරා ගත් ඔහුගේ ආදරියගෙ , ඔහුවම යලිත් අයදිනු මිසක.  

සිතෙන් මේ ආදරිය ඉන්නේ ඔහුගේ ලොවෙහිය. ඔහුගේ මනසෙහි රඟන සිතුවම ඇයය. ඇගේ සිත , ඔහුගේ සිත , ගැරහුම් ඇස්වලින් වසන් වී ඔවුන්ගේම මෝහනීය ලෝකයක අතරමං වී සිටී.  
කවුද ඔහුගේ සැබෑ ප්‍රියාව? එය ඔහුවත් නොදන්නවා ඇත. ඔහුගේ ලෝකය පාදපරිචාරිකාවී ඒ අසරණියගේ සහ ඔවුන්ගේ හීන වලින් වග නොකිය යුතු අසරණ පැටවුන්ගේ කැදැල්ලත් , වෛවර්ණ සිතුවමක් වන් සැණකෙලියක් ඔහුගේ ජීවිතයට ගෙනා මේ ආදරියත් අතර අසරණව ඇතැයි මට සිතේ.


බිරිඳ :

ජීවිතය පුරා මා ඔහු ලඟ

අනියම් බිරිඳ :

මා සිත සපුරා ඔහු මා ලඟ

දෙදෙනාම :

ඔබද මාද ඒ ප්‍රියම්භිකා ඔහුගේ?

අප කඳුලු සිනා ඔහු වෙනුවෙනි
අපි සිනාසෙමූ ඔහුගෙ නාමයෙන් වැලපෙමූ

ඔහු වෙනුවෙන් ? ඈ ඔහුගේ ලෝකයට ආදරිය වන්නීය. ඔහුගේ ජීවිතය නේක වර්ණයන්ගෙන් සිතුවම් කරන්නීය. උණුසුම විනා, රාත්‍රියෙන් අර්ධයක් විනා, ජීවිතයෙන් අර්ධයක් විනා ඒ වෙනුවෙන් ඈට ලැබෙන හිමිකමක් නැත. එහෙත් ඔහුගේ සැනසුම වෙනුවෙන් ඈ ඔහු ඉදිරියේ සිනහ නගන්නීය. ඈ නැති තැන , අසරණ ඇගේත් , ඔහුගේත් , ඔහුගේ කුලවතියගේත් ආත්මයන් වෙනුවෙන් කඳුලු හෙලන්නීය.


ඔහු වෙනුවෙන් ? කුලවතිය කුල ගෙය රකින්නීය. පැටවුන්ට අම්මා වන්නීය. ඔහුටත් අම්මා වන්නීය. බත සරි කරන්නීය. ජීවිකාව ගෙනයන්නීය. ඔහුගෙන් ලැබෙන සීතල සෙනෙහස ඉදිරියෙහි සිනාසෙන ඈ ඔහු නැති තැන වැලපෙන්නීය. ඈ වෙනුවෙනුත්, පැටවුන් වෙනුවෙනුත්, කුලගෙය වෙනුවෙනුත් , ඈ මෙන්ම අසරණ ඔහුගේ අසම්මත පෙම්වතිය වෙනුවෙනුත් ඈ කඳුලු හෙලන්නීය.  ඇයත් , ඈ වන්ම තැවෙන ඇයත් මේ ගීයෙහි කියන්නේ අසරණ ගැහැණු හදවතෙහි අනවරත උපේක්ෂාවදැයි මට සිතෙයි.




ප‍සුවදන  



මේ ගීය මට ජීවිතය , මිනිස් දහම පිලිබඳ මහා කියැවීමකි. ඉරක් නොගැසූ 'හොඳ-නරක' මත්තෙහි අපේ මානයන් අවමානයට ලක් වන්නේදැයි මම නොදනිමි. එහෙත් මිනිස් හැඟුම් නම් මෙබඳුය. එහි හොඳ නරක පුද්ගල රූපී වෙතැයි මට සිතේ. මේ ගීයෙහි තැවරී ඇති මහා දයාව , අනුකම්පාව, යාදින්න , ශෝකය , කලකිරීම මා සසල කරයි. ඔහුත් , ඔහුගේ අසම්මත ආදරියත්, සම්මත කුලගෙහි බිරිඳත් , මේ හැමම මිනිසුන්ය. මිනිසුන්ගේ කුලකයෙහි , වෙන් සටහන් මත්තෙහි 'කල යුතු දෑ' , 'නොකළ යුතු දෑ' රවුම් දෙකක ඈන්දහොත් , ඡේදන කුලකය පමණක් නොසිස්ව තිබෙතැයි මට නිකමට සිතෙයි. 


ගීතය ගයන්නේ මරියසෙල් ගුණතිලක සමග සමිතා මුදුන්කොටුව. රචකයා පිලිබඳ දන්නා අයෙක් මෙහි ලියා යන්න. ගීතය අහන්න මෙතැනින්.

19 comments:

  1. ප්‍රේමය වැරැද්දක්ද අනියම් ප්‍රේමය වැරැද්දක්ද? සියලු සම්බන්ධතා නැසෙන සුළුයි. අද බිරිඳත් අනියම් බිරිඳත් ළඟ ඉන්න ඔහු හෙට වෙනතැනක ඉන්න පුළුවන්. එතකොට බිරිඳ.. අනියම් බිරිඳ ඒ අයටත් එහෙමම වෙන්න පුළුවන්.
    ලස්සනට ලියලා තියෙනවා ජීවිතේ මල්!!

    ReplyDelete
  2. හ්ම්ම්ම.. මට නෙලූ අධිකාරි මහත්මියගේ "ඔහු අයිති මටයි ඇයට නොවෙයි.." මේ ගීතය මතක් වුණා.. එකම ආදරයකට වෙනස් ඇසකින්.. එත් සමාන හදවත් දෙකකින්.. කරන කැපකිරීම..
    අපූරු විචාරයක් අක්කියෝ.. :)

    -නන්දු-

    ReplyDelete
  3. කවරමදාකවත් හිතට හිතන්නට ඉඩක් නොදුන් ඉසව්වක හිත සංවේදී වුනා
    මුලු රැයක් පුරා හිතුවත් හිතල ඉවරයක් කරන්න බැරිතරම් දේවල් ලියල...
    ගීතය අහන්න සැලැස්වුවාට තුති
    ගලන්න ගලන්න අපව යටවෙලා යන්නම ගලන්න....

    ReplyDelete
  4. ආදරේදී මිනිස්සු හරි කෑදරයි.., මෙයා මගේ.., මෙයා අයිති මට විතරමයි කියලා කියන්න පොර කනවා.., කොල්ලෙක් තමන්ගේ කෙල්ල අඳුන්නලා දෙන්නේ "මේ මගේ ගෑණි" කියලා නම් එහිම ඔහු ඈ කෙරේ පැතිරවූ නිල නොලත් ආධිපත්‍ය පේන්න තියෙනවා.., සමහර වෙලාවට ප්‍රේමයේදී නිල ලත් "ඇයට" වඩා නිල නොලත් "ඇය" "ඔහු" ගැන වෙහෙසෙනවා වෙන්න පුලුවනි. එතනදී නිල ලත් ඈ ගැන ඔහුතුල ඇත්තේ මන්දගාමී පෙමක් නම් ඒ අනිවාර්යයේන්ම ඈ ඔහුගේ බව දන්නා නිසාත්, කවදාකවත් ඔහු ව ඈ දමා නොයන වග දන්නා නිසාත් වෙන්න පුලුවනි. නිල නොලත් ඈ පුළුබඳව ඔහු තුල පවතින මතය උණුසුම් වෙන්නේ ඈ ඔහු හා අනාගතයේදීත් සිටී යැයි නොසිතන නිසා වෙන්නටත් ඉඩ තියෙනවා.., ඒත් මේ අවස්ථා දෙකම වෙනස් වීමට තිබෙන ඉඩකඩ ඉතා ඉහළයි.., ඒකයි මම හිතන්නේ මේ වංගු වලින් ගලන ජීවිත ලස්සන වෙලා තියෙනවා කියලා හිතන්නේ.., කෙනෙකුට වේදනාව තවෙකෙකුට සතුටන් වන්නට තියෙන ඉඩ පරස්තා බොහොමයි.., ඒක වෙන්න ඇති අපි තාම සංසාරේ ඇවිදින්නේ..!
    ජය!

    ReplyDelete
  5. ලස්සන සිංදුවක්. ලස්සන පෝස්ට් එකක්. ලස්සන අදහසක්.
    අන්තිම ඡේදන කුලකය නම් හිතට තදින්ම දැනුනා. ජීවිතය යනු හොඳ ටිකක් හා නරක ටිකක් නේද....

    ReplyDelete
  6. උපරිමයි අක්කේ... මේ මම මේකට කොහොම අදහසක් එක් කරන්නද??

    ReplyDelete
  7. මේ ගීතයේ කියන අසම්මතය, කතා කරන්න අකමැති වුනත් අද සමාජයේ සුලබද කියලත් මට වෙලාවකට හිතෙනවා. නවකතාවක් ලියන්න තරන් අදහස් තියන ගීතයක්. ඔය ලස්සනට අදහස කැටිකරලා ලියල තියනවා. අර නිල්පාට පොදු කුලකය තව ටිකක් ලොකු වුනානම් හොඳයි කියලයි මට හිතෙන්නේ. ඔහොම යන්. අපි කියවනවා.

    ReplyDelete
  8. මම මේ සින්දුවට හරි කැමතියි.අනියම් පෙමක නුදුටු පැත්ත.

    ReplyDelete
  9. කවරදාක හෝ සිදුවුන සමහරවිට නොදැනුවත්වම සිදුවුන පුංචි සිද්ධියකින් ඇතිවුන අසම්මත බැඳීම.... ආයෙම නිවැරදි කරගන්නට යටිහිතේ පුංචි කොනකින් කෑ මොර දුන්නත් ඒ අසම්මතයට ඔහු ආසයි.. ආදරෙයි... ආයෙ හැරෙන්නට කවදාවත් නොසිතෙන්නට පුළුවන්..

    සම්මතයට වඩා අසම්මතයට අපේ පුංචි එකාගේ ඉඳන් හැමෝම කැම්තියි නේද?

    එපා කියන වැරැද්දක් කියන දේම ආයෙ ආයෙ කරන්න අපි හැමෝම හැමදාම කැමතියි... වතාවකදි කළ වැරැද්ද නැවත නැවතත් කරන්න කැමතියි... ඉතින් අසම්මත ප්‍රේමයක්.. අසම්මත එක්විමක් ගැන කවර කථාද නංගී..

    ඇයි නංගි ඔයා තුන්මුල්ලේ දෙමුල්ලක් ගැන විතරක් කථා කළේ? සම්මත ආදරයට තමා අතින් වැරැද්දක් වුනා යයි සුසුම්ලන, ඒ වැරැද්ද නැවතත් නොකරන්නට තම සිතටම පොරොන්දු දෙන, අසම්මත ආදරය ගැන විඳවන, එහෙත් ඒ ආදරයටත් අසීමිතව ලොබවන වදවෙන ඒ අහිංසක හිත ගැන නොලීවේ?

    ReplyDelete
  10. කවරදාක හෝ සිදුවුන සමහරවිට නොදැනුවත්වම සිදුවුන පුංචි සිද්ධියකින් ඇතිවුන අසම්මත බැඳීම.... ආයෙම නිවැරදි කරගන්නට යටිහිතේ පුංචි කොනකින් කෑ මොර දුන්නත් ඒ අසම්මතයට ඔහු ආසයි.. ආදරෙයි... ආයෙ හැරෙන්නට කවදාවත් නොසිතෙන්නට පුළුවන්..

    සම්මතයට වඩා අසම්මතයට අපේ පුංචි එකාගේ ඉඳන් හැමෝම කැම්තියි නේද?

    එපා කියන වැරැද්දක් කියන දේම ආයෙ ආයෙ කරන්න අපි හැමෝම හැමදාම කැමතියි... වතාවකදි කළ වැරැද්ද නැවත නැවතත් කරන්න කැමතියි... ඉතින් අසම්මත ප්‍රේමයක්.. අසම්මත එක්විමක් ගැන කවර කථාද නංගී..

    ඇයි නංගි ඔයා තුන්මුල්ලේ දෙමුල්ලක් ගැන විතරක් කථා කළේ? සම්මත ආදරයට තමා අතින් වැරැද්දක් වුනා යයි සුසුම්ලන, ඒ වැරැද්ද නැවතත් නොකරන්නට තම සිතටම පොරොන්දු දෙන, අසම්මත ආදරය ගැන විඳවන, එහෙත් ඒ ආදරයටත් අසීමිතව ලොබවන වදවෙන ඒ අහිංසක හිත ගැන නොලීවේ?

    ReplyDelete
  11. "මේ ජීවන කතරේ සැප දුක සමබර වේ" ලු නෙ
    හොඳ නරකත් එහෙමම වෙන්න ඇති
    ----
    ඡේදන කුලකය පමණක් නොසිස්ව තිබෙතැයි මට නිකමට සිතෙයි.

    This phrase is excellent !!!
    Pure හොඳ or Pure නරක does not exist (Or extremely rare).
    ----
    ඒත් සාර්වත්‍ර කුලකය (ලොකු පෙට්ටිය ) මොකක්ද ?
    හොඳ නරක දෙකටම නැති දේවල් ??

    ReplyDelete
  12. "මුලු ‍රැයක් පුරා - ඔබ ඔහු ලඟ
    ජීවිතය පුරා - ඔහු ඔබ ලඟ
    ඔබයි ප්‍රියාදර ප්‍රියම්භිකා ඔහුගේ"

    මේ මම කියන පද පෙලක් කියලා මට හැඟුනා.

    ඒ වගේම.....

    "මුලු ‍රැයක් පුරා ඔහු මා ලඟ
    සිරුර පමණයි හිතයි ප්‍රේමයයි ඔබ ලඟයි"

    ඇය මේ පද පෙල මුමුණන විදිය මට මැවිලා පෙනුනා.

    ReplyDelete
  13. ත්‍රිකෝණයේ අනෙක් කෝණය හෙවත් ඔහුගේ නොකියවුණු කතාව -

    ඔබටයි හිමි සෙනෙහස මාගේ,
    ඇයටයි ප්‍රේමය හිත රැඳුනේ,
    දෙකඩ කරනු නොහැකිවු බැවිනේ,
    සිත වැළපෙනු නැතිවද ඇසුනේ........

    ReplyDelete
  14. හිත හිරිවැටිලා ගියා.. හදවත පතූලටම කිඳා බහින හරිම සංවේදී සිංදුවක්...මොකක්ද මන්දා විස්තර කරන්න බැරි අමුතු හැගීමකින් හිත පිරුනා..

    ReplyDelete
  15. හරිම සංවේදියි.. ඇස් දෙකට කඳුලු ආවා. ඇත්ත.. අපි කොහොමද හොඳ නරක ඉරක් ගහලා වෙන් කරන්නේ? මේක තමයි ‍ජීවිතේ සත්‍ය ස්වභාවය. අපිට අසම්මතයෙන් ඈත් වෙන්න බෑ. විඳවන්න වෙන බව දැන දැනම අපි අසම්මතයට ඇදිලා යන‍වා. මනුෂ්‍ය සිතේ ස්වභාවය ඒකයි.

    ReplyDelete
  16. ඔබ මේ ලිපියෙන් උත්සාහ කරන්නෙ අසම්මතය සාධාරනීකරණය කරන්න ද?

    ReplyDelete
  17. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete
  18. කාලයක් ගිහින් උනත් අද මෙය කියෙව්වේ. මෙහෙම ජීවත් වෙන අය කොතෙකුත් ඉන්නවා නංගි. සමහර විට ඔහු ගේ ප්‍රේමවන්තිය ඔහුට නොළැබී ඔහුට බිරිඳ සමඟ විවාහ වෙන්නට සිදු වෙන්නට ඇති. දෙන්නාටම අන්තිමේ උරුම දුකම තමයි. මේක සම්මතය අසම්මතය කියල වෙනසක් නෑ. ආදරය හැමටම පොදුයි. අන්තිමට අපි සිනාසෙමූ... ඔහුගෙ නාමයෙන් වැලපෙමූ. ...........

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->