දුහුවිල්ලෙන් වත්සුණු තවරා
කුමර කුමරියන් ලෙන්ගතු ඇසුරේ
රහස් බැලුම් දෙන සැන්දෑවේ
නන්නාඳුනනා කය මිස සිත නැති පුරවරයේ
කවුරුන් හෝ තුරුලේ
නිමේශයක් කොඳුරාවී රහසින්
ආගිය උන්හිටි තැන් සඟවා
ගිනි කඳු සිරසේ මලපුඩු අතරේ
කැදලි සදාවී මොණර කිරිල්ලී
රැයකින් රැයකට කුස පිරෙනා
සඳ සෙවනැල්ලේ
සිත ඇති කය නැති මිටියාවත ඉවුරේ
වහස් බැලුම් සඟවා
උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන
පියඹා යාවී මොණර කිරිල්ලී
සැඩ සුලඟේ
මුල් ඉදිරී යන ගස මුදුනේ
නූපන් දවසේ
රන්කිරි කඳුලේ
සිහින දකීවී මොණර කිරිල්ලී....
කුමර කුමරියන් ලෙන්ගතු ඇසුරේ
රහස් බැලුම් දෙන සැන්දෑවේ
නන්නාඳුනනා කය මිස සිත නැති පුරවරයේ
කවුරුන් හෝ තුරුලේ
නිමේශයක් කොඳුරාවී රහසින්
ආගිය උන්හිටි තැන් සඟවා
ගිනි කඳු සිරසේ මලපුඩු අතරේ
කැදලි සදාවී මොණර කිරිල්ලී
රැයකින් රැයකට කුස පිරෙනා
සඳ සෙවනැල්ලේ
සිත ඇති කය නැති මිටියාවත ඉවුරේ
වහස් බැලුම් සඟවා
උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන
පියඹා යාවී මොණර කිරිල්ලී
සැඩ සුලඟේ
මුල් ඉදිරී යන ගස මුදුනේ
නූපන් දවසේ
රන්කිරි කඳුලේ
සිහින දකීවී මොණර කිරිල්ලී....
දුහුවිලි ගහණ ඒ නගර මධ්‍යයේ උකුසු ඇස් දහස් ගණනක් අන්ධකාරයට එකතුවෙයි. බාල වර්ගයේ වත්සුණු , ඇස් ආලේපන , අවලක්ෂණ කොණ්ඩ විලාසිතා , දෑතේ කරකැවෙන ලේන්සු සහ කුඩ දුටු බොරැල්ලේ මහ හන්දිය මට සිහිවෙයි. ඒ උකුසු ඇස් වලින් විහිදෙන්නේ ගැහැණු කමේ කාන්තිය නොවේ... රාත්‍රියේ දඩයම් සොයන බොහෝ නිශ්ශබ්ද තරඟයකි.
බම්බලපිටිය හන්දිය මීට වඩා වෙනස්ය. මන්ද එහි සිටින්නේ අඳුනාගනු පහසු සාම්ප්‍රදායික සංකේත සහිත දඩයක්කාරියන් නොවේ..කොලඹ විලාසිතාවන්ගෙන් අනූන, කොමන් සෙන්ස් යොදා සිය සැබෑ වත වසා සාර්ථක රඟපැමකින් 'සාර්ථක' ගනුදෙනුකරුවන් පමණක් ඩැහැ ගන්නා නෝනාවරුන් වීමය. බොහෝ වෙලාවක් එක් සැකකාරියකටම අවධානය යොමමින් , පැය භාගයක්වත් කල් මැරුවොත් විනා එවැන්නියන් ට්‍රැක් කර හඳුනාගැනීම සිහිනයකි.
ඒ කෙසේ වුවත්, මොරිස් භානීගේ මේ ගීය , යමක් කමක් නොදන්නා පැටි වියේදී මා සිත පැහැර ගත්තේ , එහි ඇති , මා පුද්ගලිකව ප්‍රිය කරන , කේමදාස මාස්ටර්ගේ ස්ටයිල් එකේ (මේ ගීයේ තනුව නවරත්න ගමගේ මහතාගේ බව සිහිපත් කරමි) ආවේගශීලි රිද්මයටය. පැටි වියෙන් පෙර යොවුන් වියට එලඹෙද්දී , මිතුරියන් කනට කොඳුරා කතා වෙද්දී, ' මේ සින්දු තියෙන්නෙ අර නරක ගෑනු ජාතිය ගැන' කියා මුමුණද්දී , සිත් ගත් රිද්මය පසෙක ලා , පැහැරගත් වේගයට වඩා වැඩි වේගයෙන් මම එදා මේ ගීය බැහැර කළෙමි. කුරිරු ලෙස 'ඒ ජාතියේ ගැහැනුන්' බැහැර කළ මට 'ලඳුනේ' ගීය කණ වැටුනේ අහම්බෙනි. 'බුදුන් දැක නිවන් දකිමැයි දෙවුරම යන පාර අහන , ඔබද පටාචාරාවකැයි' අමරසිරි පීරිස්ගේ හැඬුම්බර දයාභරිත හඬින් ඇහෙද්දී , 'ඒ ජාතියේ ගැහැණුන් වෙනුවෙන් ඉපැදි කුරිරු සිතිවිල්ල බැහැරවී, 'ලඳුනේ' ගීයත් , 'දුහුවිල්ලෙන්' ගීයත් මගේ හද පතුලෙහි යලිත් නිදන් වෙනු මම, පසක් කළෙමි.
මේ සියල් කථනයන් ලියවෙන්නේ ගණිකාවන් යනු සමාජයට මහ මෙහෙවරක් කරන්නවුන් යැයි කියන්නටවත් , ඔවුන් තව තවත් බිහිවේවායි පතන්නටවත් නොවේ.ගණිකා වෘත්තිය නිසා සිදුවන සමාජ හානීන් පිරිසිඳ දකිනු වස් අකුරු කරන්නවුන් බොහෝ ඇතුවාක් මෙන්ම, ඔවුන්ගේ ඒ නිර්භීත මෙහෙවර මම අගයන්නෙමි. එහෙත් මේ ඇඟ මස් විකුණන්නේත් මිනිස් ලේ ඔඩු දුවන ගැහැණුන්ය. විකිණෙන්නේත් ඒ ලේම ඇති මිනිසුන්ටය. විකිණෙන මසට , පැයට හෝ ආත්මයට ලංසු තැබෙන්නේ මුඩුක්කුවෙහි ඉදෙන බත් හැලිය විය හැකිය. ඒ බත් හැලිය බලාගෙන මග බලන කටවල් ගණන විය හැකිය. ඔත්පලව ලෙඩ ඇඳෙහි මරණය බලා සිටින අම්මාගේ බෙහෙත් ලැයිස්තුව විය හැකිය. උපාධිය හෝ සාමාන්‍ය පෙළ විභාගය විය හැකිය..
ඒ අතරම , සමවෘත්තික වූ නාගරික පොශ් ඇතමෙක් ලංසු තබන්නේ ඊලඟට මිලදි ගන්නට නියමිත නිවසටත් වාහනයටත් විය හැකිය. එහෙත් මේ සටහන ලියන්නේ 'ඒ ජාතියේ ගැහැනුන්'ගෙනුත් , ඒ අන්තිමට කිව් ජාතියේ අය වෙනුවෙන් නම් නොවේ...
ඒ උකුසු බැල්ම සිය ගනුදෙනුව සොයා ගන්නටය. නීතියේ රැහැනින් සිය මොණර වෙස සඟවා ගන්නටය.. නීතියත් සදාචාරයත් සංස්කෘතියත් ,ඒ වාගේ හැම දේමත් ඉදිරියේ , ඇයත් , ඈ වැන්නියන් පිලිබඳ මේ කතාව ලියන මමත් අනතුරේ සිටිනවා විය හැකිය. එහෙත් ?
කොතෙක් සරු පසෙක වුව ඈට කිරි කඳුලක සිහින දකිනු තහනම්ය. ඇත්තෙන්ම තහනමක් නැත. එහෙත් තහනම් ගහේ ගෙඩි කැවාක් මෙන් , කාන්තාරයක පැලවෙන තෙත්කලාපීය ශාකයක් මෙන් , ඈ සිටවන පැලයට ඇත්තේ සුබවාදී අනාගතයක් නොවේ. පියෙක් නැති , එනිසා නම්බුකාර උප්පැන්නයක් නැති , ඒ නිසා අකුරු උගනිනට පාසලක් නැති , ඒ නිසා නූගත් කම විනා අන් උරුමයක් නැති, ඒ නිසා තමාට මේ ඉරණම උදා කළ සමාජය කෙරෙහිම ද්වේශයක් 'ඇති' , ඒ නිසා ඒ පැලය 'විනාශයේ පිලිලයකැයි මොර ගසන්නට , මුලිනුපුටා දමනට ' ලෝකයක්ම පෙල ගැසී ඇති ... එහෙවු යථාර්තයක , එහෙවු මහ පොළවක අප සම්මතය ගැන කතා නොකරාට වරද කිම?
ඒ නිසාම නූපන් දරුවන් වෙනුවෙන් සිහින දකින්නට 'ඒ ජාතියේ ගැහැණුන්ට' සදාචාරවත් සමාජයෙන් ඉඩක් නැත. ඒ ජාතියේ ගැහැනුන්ගේ දරුවන්ට 'ඒ ජාතියම' විනා වෙන පිහිටක් නැත.
'ඒ ජාතිය' අර කලින් පෝස්ට් එකේ මා ඇඳි ඡේදන කුලකයට මා එබුවත් , ඒ ඡේදන කුලකයේ සමාජ සත්වයන් වන අප හැමෝමත් සිටින නිසා , අපෙන් ඔවුන් වෙන් කොට හඳුන්වනු උදෙසා , 'ඒ ජාතියේ ගැහැණුන්' රතු පැහැයෙන් ඇඳි පෙදෙසෙහි තබා තැබිය යුතුවෙමුද?
ගීතය අහන්න මෙතැනින්.... ගීය ගයන්නෙ මොරිස් භානී , සංගීතය : නවරත්න ගමගේ , වැදගත්ම දේ ලිව්ව කෙනා. ඒත් ඒක මම දන්නෙ නැහැ. ඒකත් හරියට ඒකත් මොණර කිරිල්ලියකගෙ ජීවිතේ වගෙද කියල මට හිතුන . ඇගේ ජීවිතේ ඇයි මෙහෙම වුනේ , ඇයි ඈ මෙහෙම කරන්නෙ කියන ප්‍රශ්නෙට උත්තර කවුරුවත් දන්නෙත් නැහැ. හොයන්නෙත් නැහැ.) :-) මොනව උනත් මම දන්නෙ එක දෙයයි. මේ ගීතය ලස්සනයි. කවුරු ලිව්වත්. එහෙම නේද? ඔව්.
ඒත් අපිට 'ඔව් ' කියන්න හැකිද මේ ප්‍රශ්නෙට . "මොනව උනත් මම දන්නෙ එක දෙයයි... ගණිකාවත් මනුස්සයෙක්. එයා මොනව ජීවිකාවට කලත්. එහෙම නේද? " කීදෙනෙක් ඔව් කියාවිද? :-)
ගණිකාවකගේ අකැප ආදරය ගැන ලියු මගෙ මේ පෝස්ට් එකත් , බීට්ල් ලියන 'අකූරු' බ්ලොග් එකෙ මේ ගැනම ලියූ හද කම්පා කරන සුලු කතාවත් කැමතිනම් කියවන්න ...