Saturday, October 08, 2011

[208] අවිනීත ඇත්ත කතාවක්

එදා සතියෙ දවසක්. තමුන්ගෙ රාජ්‍ය නොවන ආයතන කාර්යාලයේ ප්‍රධානියාගෙ ඔපීසියෙ සිට ෆයිල් ගොඩක් ඔසවගෙන තමන්ගෙ මේසයට දුවන ගමන් සිටි කුමුදුනීගෙ ජංගම දුරකතනය නාද වෙන්නට වුනා.

නොදන්න නොම්මරයක්!

සාමාන්‍යයෙන් නොදන්න අංක මග හරින නිසා කුමුදු එය නොසලකා හරිමින් ෆයිල් ගොඩ මේසය මත තබා හුස්මක් ගත්තා. විනාඩි කිහිපයක්.. ආයෙමත් දුරකතනය නාද වෙනවා. යලිත් එම නොම්මරයෙන්ම. ඈ දුරකතනය දිහා මොහොතක් බලාගෙන හිටියා.
අඳුනන කෙනෙක්ද කවුද දන්නෙ?


කුමුදුනී පහත් ස්වරයෙන් 'හෙලෝ' කිව්වා


'හෙලෝ! කවුද , කවුද මේ?'


අනෙක් පසින් හෙණ ගහන්නා සේ නපුරු හඬින් අවිනීත ප්‍රශ්නයක්! නොරිස්සුම නැගී ආවත් , එය යටපත් කරමින්, ඇය හඬ අවදිකලා.


'ම්ම්... කාටද කතා කරන්න ඕනෙ?'


'කාටද? කාටද තමයි. උඹ නේද මගෙ අසරණ කොල්ලව කෑව යක්සණී???, තව එනවද මම කවුද අහන්න? මම තමයි යකෝ ඒ අහිංසක කොල්ලගෙ අම්මා! .....'



කුමුදුනී කොටින්ම ගල් ගැසුනා. දෙවියනේ... මේ මොකක්ද මේ? ඈට උතුර දකුණ විතරක් නොවෙයි වචනත් පටලැවෙන්නට වුනා. නැගී එන කෝපය වලක්වමින් ඈ සන්සුන් වෙන්නට උත්සහ කරමින් හුස්මක් ගත්තා.


'කවුද මේ? කාටද කතා කරන්න ඕනෙ?'


ඈ දැඩි ස්වරයෙන් ඇහුවෙ ඒ නිසා. මම මොකටද බැනුම් අහන්නෙ?


'කවුද? මම උඹට කියල දෙනව මම කවුද කියල... උඹ දැනගනින් ________ '


මෙතෙනින් එහාට ඇහුන වචන කුමුදුනී මට කියා නැහැ. කිව්ව එකම දේ, ඈට අහන්න වුනේ අමුම අමු තිත්ත කුණුහරුප බව. ගැහැණියකගේ කටෙන් පිට විය හැකියයි හීනෙන්වත් සිතන්නට බැරි ලෝකයේ තිබෙන අවමන් සහගතම වචන බව. ඒ නිසාම එතැනින් එහා ප්‍රවෘත්තියේ ඒ නොසරුප් වදන් යට ගසා මම කතාව සැකෙවින් ලියන්නම්.


'මේ ... ඔයා කවුරු උනත් මට කමක් නෑ. ඔයා මේ කතා කරන්නෙ වැරදි නොම්මරයකට. '


එසේ කියා කටගන්නට වුනේ නැහැ.ආයිමත්


'උඹ දැනගනි කාටද වැරදෙන්නේ කියලා. මම උඹව මරනවා . මගෙ කොල්ලටයි ඒකාගෙ අහින්සක ගෑනිටයි කල විනාසෙට මම හොඳ වැඩක් කරනවා. මම දන්නවා උඹ ඉන්න තැන. නොකිව්වයි කියන්නෙපා . මගෙ කොල්ලව එවපන් හංගගෙන ඉන්න තැනින්'


යටිගිරියෙන් කෑගසමින් මේ කවුරු නමුත් ගැහැනිය බනිනයුරු අසා සිටින කුමුදුනී ක්ලාන්ත වන්නට ආසන්නව මෙන් වෙවුලන්නට වුනා. මේ මොන වින්නැහියක්ද? වැරදීමක් බව පැහැදිලිමුත් මරණ තර්ජනයෙන් බියපත් වූ ඈ දුරකතනය විසන්ධි කලේ කෝපයෙන් රත්වෙමින්. කෑගසන මේ වියරු ගැහැනිය කුමුදුනීට එක වචනයක් පවසන්නට ඉඩක් නොදෙයි.


ඈ සිය සැමියාට ඇමතුමක් ගත්තේ මේ නොසන්සුන් කම නිසාමයි.


'හෙලෝ චරිත .. අනේ බලන්න , ගෑනියෙක් මට අමු තිත්ත කුණුහරුපෙන් බැන්නා... අනේ මන් එයාගෙ පුතාව හංගගෙනලු. මොනවද කියවනවා'


චරිත අනෙක් අන්තයෙන් හිනා වුනා.


'බොලේ අපේ අම්ම නෙමෙයිනේ ? අනික දෙයියනෙ අපි දෙන්නව මාට්ටු කරලා බන්දල දුන්නෙත් එයාලනේ...උඹ දාල මම කොහෙ යන්නද? හී හී '


චරිත එහෙම කියමින් හිනා වෙන්නට වුනා.කුමුදුනීට චරිත එක්කත් ආවෙ තරහක්.


' අනේ ඔයාට විහිලු. මේ ගෑනි මට කුනුහරුපෙන් බනිනවා. '
ඈට හෑඬෙන්නට ආසන්නයි.



'කෙල්ල... වැරදි නොම්මරයක් වෙන්න ඇති. ආයි ආවොත් කට් කරන්න. එක්කො ආන්සර් නොකර ඉන්න.තරහ ගන්න එපා.බය වෙන්නත් එපා. ඔයා ඉන්න තත්වෙ හැටියට ඕව අහන්න හොඳ නැහැ. '


සංවාදය අවසන් වූ විනාඩි කිහිපයට එම නොම්මරයෙන්ම දුර ඇමතුම් 3ක් සටහන්ව තිබුනා. එදා දවසෙ ඉතුරු ටික නම් සන්සුන්ව ගෙවුනෙ නැහැ. කෝපයෙන් ආවේශ වූ නාඳුනන මාතාව දවස නිමවී කුමුදුනී නිවසට ගොඩ වන විට පිලිතුරු නොදුන් ඇමතුම් 138ක් සටහන් කොට තිබුනේ , දුරකතනයේ බැටරිය මෙන්ම ඇගේ වැඩකිරීමේ ඒකාග්‍රතාවද බිංදුවට බස්වමින්.


නොනවතින ඇමතුම් වලින් පීඩාවට පත් වී බැරිම තැන සිය දුරකතන සමාගමට කතා කළ ඈ මීට පිහිට පැතුවා. ඒත් සමාගමෙන් ලැබුන කණගා‍ටුදායක පිලිතුර වූයේ , ආයතන මට්ටමෙන් ඊට කළ හැකි දෙයක් නොමැති බව. ඊට හේතුව ඇමතුම ලබා දෙන්නිය වෙනත් සමාගමකට අයත් අංකයක් භාවිත කිරීම.


පසුබට නොවූ ඈ එම සමාගමට ඇමතුමක් ගෙන උදව් ඉල්ලුවත් ඔවුන් කියා සිටියේ ලිඛිත පැමිණිල්ලක් කරන ලෙස. ඒත් සිය කාර්යාල සගයකුගේ උදව්වෙන් කෝල් Barring පහසුකම දුරකතනයේ සොයාගත් ඈ කලේ එම නොම්මරය අවහිර කර දැමීමයි. චරිත කොහොමටත් කැමති නැති වෙයි මේ සුලු දෙයක් දුර ගෙනියවට. එහෙම කියල ප්‍රශ්නෙ ඉවරයි කියලා ඈ හිත හදාගත්තා...


චරිත ගෙදර එන වෙලාව වෙද්දි ඈ ප්‍රශ්නෙ අමතක කරලා.
දවසේ සිද්ද වෙච්චි මේ කලබගෑනිය පවසමින් රාත්‍රි අහර ගනිද්දි කුමුදුනීගෙ දුරකතනය ආයෙමත් නාද වුනා... වෙනත් නොම්මරයක්.


හිතේ සැකයෙන් ඈ චරිතටත් ඉඟි කරමින් ඇමතුම සම්බන්ධ කොට , චරිතට ඇසෙන්නට ස්පීකරයද සක්‍රිය කොට නිහඬවම අහන් උන්නේ , සුපුරුදු කරදරකාරියදැයි විමසුම් සහගත වෙමින්.


'උඹ ...උඹ මගෙ පුතාව හංගගත්ත මදිවට දැන් උඹත් හැංගෙන්නද ලැස්තිය ? '
ආයිමත් අමු තිත්ත කුණුහරුප වැස්සක් වැටෙන්නට වුනේ පෙර වතාවටත් වඩා දරුණු ලෙස. මේවර මාරුවෙන් මාරුවට ගැහැනු දෙදෙනෙක් මෙහෙයුමට එක්වී සිටියා.



ඇගේ දෑස් වල්න් කඳුලු කැට කඩාගෙන වැටෙන්නට වූයේ අන් කිසිවක් කරන්නට නැති නිසයි.  චරිත ඇගේ අතින් දුරකතනය උදුරා ගත්තේ කෝපයෙන්.
ස්පීකරය අක්‍රිය කොට , පටිගත කිරීමේ බොත්තම ඔබමින් , අසා සිටි චරිතගෙ දැස් ලොකු වූයේ බලා ඉඳිද්දි. කෝපයෙන් රතුවූ ඔහු දු‍ටු කුමුදුනී ඊටත් වඩා බියගත්තා...


'කවුද මේ...? මොකාද මේ? කතා කරපන්! කවුද මගෙ වයිෆ්ට මේ කතා කරන කෙරුම්කාරි? තමුසෙ අද දවසම එයාට කරදර කලා. .....'


ඔහු කෝපයෙන් පුපුරා හැලෙන අයුරෙන් කෙරුම්කාරිය මොන තරම් හොඳ වදන් මුමුණන්න්නට ඇද්දැයි කුමුදුනීට සිතාගන්නට හැකි වුනා. චරිත වුවත් එය මෙතරම් කර්කශ කරදරයක් වූවා යයි එතෙක් නොසිතන්නට ඇති.


'........................................' 

'හා අම්මේ. කරල බලන්නකෝ... මමත් ඉන්නෙ පොලිසියෙ තමයි. මම මේ කෝල් එකම රෙකෝඩ් කරමින් ඉන්නේ. හෙට උදේ වෙනකොට බලන්නකෝ මොකද වෙන්නේ කියලා'


චරිත සිය ස්වරය වෙනස් කරමින් සිනහසෙන්නට වුනා.


'මොකක්? කවුද මේ? මොකාද මේ? මගෙ කොල්ල ගත්ත මදිවට ___'


'හා හා මේ. හෝව්...හෝව්.. ඔය කියන කොල්ලෙක් මෙහෙ නෑ. දැන් ඔය කියන කොල්ලව හංගන් ඉන්න ගෑනිගෙ නොම්මරෙ කියමු බලන්න'


' මේ නොම්මරෙ තමයි.වෙන මොකක්ද. මගෙ කොල්ලගෙ ගෑනි ඔක්කොම නොම්මර හොයාගෙනයි අද මගෙ ගාවට ආවෙ. '


'හෝව් හෝව්.. සන්සුන් වෙන්න අම්මේ.... මට නොම්මරේ කියන්න...'


සිද්ධිය යම් තාක් දුරට පාලනය කරමින් චරිත කොල කැල්ලක නොම්මරය සටහන් කලා.


'බින්දුවයි __________'


සිය බිරිඳගේ නොම්මරයම , එම අංකම ස්ථාන දෙකක් පමණක් මාරු වූ නොම්මරය ලියමින් චරිත සිනහසෙන්නට වුනා. ඊලඟ මොහොතේ ඔහු බැරෑරුම් ස්වරයෙන් අම්මාට ඇමතුවා...


'අම්මේ කොලයක් ගන්න. මේ නොම්මරෙ ලියාගන්න. 053 876 554. මේක තමයි මගෙ වයිෆ්ගෙ නොම්මරය. බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඔයාගෙ නොම්මරය 053 867 554 ... බලන්න ඔයා හදිසියට කුනුහරුපෙන් බැනල තියෙන්නෙ කාටද කියල... '


'දෙයියනේ... අනේ බුදු පුතේ....මට සමාවෙයන්... හත් දෙයියනේ... ' අම්මා විස්සෝප වෙන්නට වුනා..


'බලන්න අම්මේ. අපිට අම්මගෙ දුක තේරෙනවා. ඔය වගෙ ප්‍රශ්නෙකදි කලබලයට අංකෙ වරදින එක වෙන්න පුලුවනි . ඒත් කරුණාකරලා නොම්මරය තහවුරු කරගෙන බැනිල්ල පටන් ගන්න. අනික අම්ම කෙනෙක් නේද? ඔය වගෙ කුනුහරුපෙන් බනින්න එපා. පොලිසියෙ යුතුකම් තමුන්ගෙ අතටම ගත්තම මේ වගෙ දේවල් වලට පොලිසියවත් උදව් කරන එකක් නැහැ. මගෙ වයිෆ් ප්‍රෙග්නන්ට්. මාස හයක බඩක් තියනවා. බලන්න එයා හොඳටම බය වෙලා. ඔය අත් වැරැද්ද කොච්චර දුර යන්න තිබ්බද ? අපි හෙට කම්ප්ලේන් කලානම්? පොලිසියෙන් ඉවර වෙන්නත් තිබ්බා.. මීට පස්සෙ කල්පනාවෙන් . අපිට දුකයි. ඒත් මෙහෙම අපරිස්සම් වෙන්න එපා..'


චරිත් දැඩි හඬින් කියන්නට වුනා...


'අනේ බුදු පුතේ . මට සමාවෙන්න. මගෙ හිතේ පත්තු වෙන්නෙ ලේසි ගින්දරක් නෙමෙයි. මගෙ කොල්ලාව තියාගෙන එන්න දෙන්නෙ නැහැ මේ නොම්මරෙ තියන ගෑනි. අනේ මට ඔය දුවට කතා කරන්න දෙන්න. මට සමාව ගන්න ඕනෙ'


සියල්ල යහපත් අයුරෙන් අවසන් බව අතින් ඉඟි කරමින් චරිත දුරකතනය කුමුදුනී අතේ තැබුවා.


'දුවේ . අනේ බුදු දුවේ. මට සමාවෙන්න. මම කිව්ව හැම වචනයකටම සමාවෙන්න. අම්ම කෙනෙක්ගෙ දුක ඔයාටත් තේරේවි දුවේ. මගෙ අතින් වෙච්ච වරදට සමාවෙන්න.'  
කියමින් අම්මා හඬා වැටෙන්නට වුනා..


'හා හා. කමක් නෑ අම්මේ. මීට පස්සෙ පරෙස්සම් වෙන්නකෝ. ඔය ප්‍රශ්නෙ ඉක්මනට විස‍ඳෙන්න කියලා අපි ප්‍රාර්තනා කරනවා. අපි තරහක් නැහැ'
කඳුලු පිරි දැසින් , අම්මෙකුගේ ගින්දර වෙනුවෙන් , අසන්නට වූ නොසරුප් වදන් පිලිබඳව සමාව දෙමින් කුමුදුනී දුරකතන ඇමතුම ක්‍රියා විරහිත කලා.



(සත්‍ය කතාවක්. නම් ගම් දුරකතන අංක හැරුනු කොට)


පලි. 
1. දුරකතන ඇමතුමක් දුන් විට, ඔබේ සුපුරුදු ආදරබර ආමන්ත්‍රණ , විවිධ කෙලි කවටකම් හෝ මෙබඳු බැනුම් (කුනුහරුප පැවසීම කිසි සේත් අනුමත කල නොහැක) පවසන්නට පෙර ප්‍රතිචාර දක්වන්නා සහ නොම්මරය තහවුරු කොට ගන්න. 

2. හිංසාකාරී ඇමතුම් වලට දැනුවත්ව ප්‍රතිචාර දැක්වීමෙන් වලකින්න. හොඳ නරක වටහා දීමට නොයා ඇමතුම මගහරින්න. 

3. දුරකතන උපාංගයේ ඇති බ්ලොක් කිරීමේ පහසුකම, දුරකතන ජාල සමාගමට පැමිණිලි කිරීමේ ක්‍රම පිලිබඳව දැනුවත්වී සිටින්න. 

4.  තාක්ෂණය දියුණු වූ ලෝකය තුල , නීති රීතීන් යාවත් කාලීන වී තිබේ. ඉලෙක්ට්‍රොනික උපාංග ඇසුරෙන් කෙරෙන පටිගත කිරීම්, දුරකතන සමාගම් වල දත්ත ගබඩා කිරීමේ සහ නීතිමය තත්ව යටතේ යලි ලබා ගැනීමේ හැකියාවන් නොසලකා හැර, දුරකතන සංවාද ඔස්සේ අනතුරුදායක පිනුම් ගැසීමෙන් වලකින්න. 

5. ඉලෙක්ට්‍රොනික ලෝකය තුල කිසිවක්, කිසිවෙක් ආරක්ෂාකාරී නැත. විවිධ දත්ත ගබඩාවන් කොතරම් මකා දැමුවද යලි ලබා ගත හැක. එය අද ප්‍රචලිත කරුණකි. මේ දත්ත ගබඩා උපාංගයක් තලා පුලුස්සා දැමුවහොත් මිසක , ඔබේ 'රෑකෝඩ් එක' ඉන් ගිලිහී යන්නේ නැත.

28 comments:

  1. අෆ්ෆා මදැයි ඔයින් ගියා.
    මගෙ යාලුවෙකුට වීඩියෝ කෝල්ස් දෙන ජරා මිනිහෙක් හිටියා.බැරිම තැන එයා නොම්බරේ මාරු කරා.

    ReplyDelete
  2. බොහෝමයක් කෙල්ලෝ නිකම් වැරදි නොම්මරේකින් කෝල් එකක් ආවත් හරියට කලබල වෙනවා. එහෙම එකේ ඔය වගේ දෙයක් උනොත් හිතා ගන්න පුළුවන් ඇති වෙන තත්වේ...
    කොල්ලන්ටනම් ඉතිං ඔයිට හපන් විහිළුත් කරනවනේ යාළුවෝ. ඒක හන්දා අපිටනම් ඔව්වා සාමාන්‍ය දේවල්

    ReplyDelete
  3. කතාවේ එහෙම දෙයක් සිද්ධ නොවුනත්, හුඟක් වෙලාවට හැම කෙනාටම නොම්මර දීමෙන් අපිත් කරන්නේ වරදක්. දැන් කාලේ කාව විශ්වාස කරන්ටද, අවිශ්වාස කරන්ටද කියලා හිතේ ඇතිවෙන්නේත් ලොකු ප්‍රශ්නයක්.

    අනේ මන්දා....පුදුම ලෝකෙක තමා අපිත් ඉන්නේ!!!

    ReplyDelete
  4. නොම්මර අතින් අත යන්න හේතුවක් තමයි නිතරම අංක මාරු කිරීම. අලුත් නොම්මරේ හැමෝටම දෙන්න ගියාම ඒ අය අනික් අයටත් කියනවා අහවලා නොම්මරේ වෙනස් කරලා කියලා. එතකොට වෙන්නෙ අලුතින් නොම්මරේ ඉල්ලාගත්තු කෙනා ෆන් ගන්න අලුත් නොම්රේට කෝල් කරන එක. බොහෝවිට මේ වෙද්දි පරණ සිම් එකේ තිබුනු අංක අලුත් සිම් එකේ නැතිවෙන්න පුලුවනි..
    හැමදාම එකම නොම්මරේ පාවිච්චි කරද්දි වෙන්නෙ කාලයක් තිස්සෙ කතාබහ කරන අදුරන අය අත පමණක් අංකය පවතින එකයි.

    ReplyDelete
  5. පොඩි කුමාරිහාමි කිව්වදේම තමා මටත් හිතුනේ.. මමත් අපේ ගෙදර උදවියත් මේ වගේම නොවුනත් හිතවතුන්ට දුන් නොම්මර වටේ යාම නිසා පීඩා වින්දා..

    ඇමතුම ලබන්නා අර කීවත් වාගෙම ලෙඩ ඇඳක ඉන්න පුලුවන්... කථාවේ අම්මට නම් වුනේ අත්වැරදීමක්..
    ඒත් deliberately දෙන nuisance calls.....?

    ReplyDelete
  6. බුදු අප්පේ වෙලා තියෙන දෙයක්. ඔබ දන්නවද ඔය කරදරේ මටත් තියනවා. මමත් මගේ බිරිදත් සමාජයේ යම් තරමක ප්‍රසිද්ධ චරිත නිසා අපේ අංක බොහෝ දෙනෙක් අතර තිබෙනවා. අනික හැම ඇමතුමකටම අපට කථා කරන්නත් වෙනවා. බොහෝ දිනවල රාත්‍රී 12 - 01 අතර ඔය වැනි කෝල්ස් එනවා. මම වෙහෙසවෙලා ඉන්න නිසා බිරිද පිලිතුරු දුන්නොත් පුදුම අසභ්‍ය දේවල් කියන්නේ. දැන් මේක හරිම වදයක් වෙලා. මට දින කීපෙකටවත් සැරයක් කාන්තාවන් ආමන්ත්‍රනය කරලා නොයෙක් ආරාධනාවන් කරනවා. අනේ මන්ද සමාජයේ පිරිහීම හරිම පුදුමයි. වැඩිය හිතන්න එපා. මම නම් දැන් මේවට පුරුදුවෙලා. රෑ අටෙන් පසේ මගේ බිරිද දන්න කෙනෙක්ට හැර කථා කරන් නැහැ

    ReplyDelete
  7. හප්පේ ...කථාව ඉවර වෙනකං හිතා ගන්න බැරුව හිටියේ මොකක්ද මේ ගිනි ගෙඩිය කියලා......

    ReplyDelete
  8. @ මහවෙනනා: ඕකට කියන්න වෙන්නේ තාක්ෂණයේ (නො)දියුණුව කියලා තමයි...!

    ReplyDelete
  9. හ්හ්ම්ම්ම් . ..

    ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා මේ ලිපිය තුල.

    මේ කිව්ව "කතාකරන කෙනා අඳුනානොගෙන කතා නොකරන" එකෙන් මමත් දවසක් නරක අත්දැකීමක් ලැබුවා.

    යාලුවෙක්ට හදිසියකට මහ රෑක කෝල් කරලා යාලුවා කියලා හිතලා ටිකක් අවිනීත විහිලුවක් කලා . .

    මොහොතකින් ඇහුනේ ඉන්න පුතා මම අපේ පුතාට ෆෝන් එක දෙන්නම් කියන එක . .

    පස්සේ මගේ අම්මා තාත්තා වගේ ඉන්න ඒ අයගේ මූන බලන්න බැරුව මම කාලයක් හිටියා . . .

    හොඳ ලිපියක් නගේ

    ReplyDelete
  10. හප්පා මට එහෙම සීන් එකක් උනා එදා බුක් ෆෙයාර් යන්න මම අපේ අයියාට කෝල් කලාම එක නම්බර් එකක් වැරදිලා වෙන කෙනෙක්ට ගිහින් අපොයි එදා දවසෙම වද දුන්නා පස්සේ මම බැරිම තැන දඟයාට ෆෝන් එක දුන්නා කතා කරන්න කියලා ඒත් ඒ වදේ ඉවර උනේ නෑ එයා කෝල් කරනකොට මැස්ජ් කරනකොට රිප්ලයි නොකර හිටියා පස්සේ මිනිහාටම ඇති වෙලා ඒ වැඩේ නතර කලා

    ReplyDelete
  11. තාක්ෂණයේ වරදක් නෙමෙයි යාළුවා..තාක්ෂණ‍ය අහිංසකයි. තාක්ෂණය භාවිතා කරන මිනිසා‍ගෙයි වරද.

    ඇමතුමක් ගත්තම කතා කරන්න දන්‍නේ නැහැ. අඩුම ගා‍නේ , “‍හෙලෝ මම ‍මේ කතා කරන්නේ අහවලා “ කියල කියන්නේ කීදෙනා ද?

    පුදමු ගමන් කාපි යකා වගේ.“කවුද කතා කරන්නේ?“කියල එහා කොණින් ඇහුනම ඉතින් දවසම ඉවරයි.

    අනිත් රටවල් ගැන කියන්න නම් මම හරියට දන්නෙ නැහැ. ඒත් ලංකාව නම් !!!!!!!!!!

    ReplyDelete
  12. මොනවා වුනත් සැමියාගෙ සහය පතපු එක හොඳයි. මම අඳුරන එක් අයෙක් ඔහුගෙ මිතුරෙකුගෙ පෙම්වතියට කෝල් කරලා (ඒ පෙම්වතියත් ඔහුව අඳුරනවා)බොහොම අහිංසක විදියට ඇයට තමන් පෙර සිටම ආදරෙ කරපු වග කියලා. පෙම්වතියත් ඔහුව සනසන්න ඇයි ඒ වගක් මට කලින් කිව්වෙ නැත්තෙ ආදී වශයෙන් කතා බහ කරලා. කොහොම හරි මේ ගැන ඇය තමන්ගෙ පෙම්වතාට කියලා නෑ. යාලුවා ඇයව පොරොන්දු කරගෙන රහසක් විදියට තියාගන්න කියලා.

    අන්තිමේදී බලන කොට මෙයා ඒ මුළු කතාවම රෙකෝඩ් කරලා අර පෙම්වතාට අහන්න දුන්නා. ඒ දෙන්නාගෙ සම්බන්ධෙ එතනින්ම ඉවරයි.

    ReplyDelete
  13. මගෙ යාළුවෙකුත් ෆේස්බුක් එකේ කෙල්ලෙක් එකක් චැට් කර කර ඉද්දි ඒ කෙල්ල නොම්බරේ ඉල්ලා, මූත් දීලා.. එවෙලෙ ඉඳන්ම කෙල්ලො සෙට් එකකින්ම කෝල් එනවලු ප්‍රයිවට් නම්බර්ස් වලින්... කෙල්ලෝ කියන ඒවා මූට අහන් ඉන්න බැරුව අන්තිමට නම්බරස් ඔක්කොම බ්ලොක් කරල තමා බේරුනේ..

    මෙහෙ දුරකතන සමාගමට කතා කරපුවහම කියල තියෙන්නේ "මේක ප්‍රයිවට් නම්බර් හින්ද එයාලට කරන්න දෙයක් නෑ, ඕනෙනම් එවෙලෙම එයාගෙ නම්බර් එක මාරු කරල දෙන්නම් කියලා.."

    ReplyDelete
  14. කථාව නම් අපූරුයි. මම හිතන්නෙ අපි හැමෝම මේ වැරදි නොම්බර ප්‍රශ්නෙට මූණ දීලා ඇති. මේ වගේ දේවල්වලට කලබල වෙන්න හොඳ නෑ කියන එක නම් ඇත්ත.

    ReplyDelete
  15. මටනං ඒ වගේ කෝල් එකක් ආවොත් ඇති වෙනකම් බනින්න කියල ෆෝන් එක පැත්තකින් තියල මගෙ වැඩක් කරගන්නව එතකොට එයාටම ඇතිවෙලා නවත්තනව.

    ReplyDelete
  16. දන්නවද.. අර දුරකථනය වෙනුවට දැලිපිහියක් කනේ තියන් ඉන්න ගෑනු ලමයගෙ වෙලඳ ප්‍රචාරන දැන්වීම මතකනෙ. ඒ දැන්වීමෙ අදහස වෙන එකක් උනත්, මේ දුරකතනය කියන්නෙ නම් දැලි පිහියක්.

    දුරකතනය වගෙම තාක්ෂණික මෙවලම් බොහොමයක්ම !

    ප්‍රතිචාර ලියූ ඔබට ස්තූතියි...

    ReplyDelete
  17. අම්මෝ...මටත් ඔය නොදන්න නොම්මරේකින් කෝල් එකක් ඇවිත් මල ඇනයක් වුනා.ඒත් මගෙ නම කියලම කතා කරපු නිසා මං හිතුවෙ දන්න කෙනෙක් කියලා.කවුරු හරි මං දන්න කෙනෙක්ම තමා නොම්මරේ දෙන්න ඇත්තෙ.බොහොම අමාරුවෙන් බේරුනේ.

    ReplyDelete
  18. :-) නොදන්න නොම්බර ගැන රස කතා නම් එමට ඈත. :) හෙ හෙ...

    නිසූ නගා. හෙට උදෙන්ම කතාවක් ශෙඩියුල් එකෙ එනවා. ඒකත් බලන්ට :)

    ReplyDelete
  19. මගෙ අම්මෝ....මාත් නම් කොහොමත් අදුනන්නේ නැති කෝල්ස් අන්සර් කරනවා අඩුයි...
    "මම"

    ReplyDelete
  20. ඔය වගේ අත්වැරදීම් නම් අනන්තවත් වෙනවා.. අර කිව්වත් වගේ කෝල් එක ආපු ගමන් බැනගෙන යන්නේ නැතුව හොදින් අහන්න ඕන හරි කෙනාටමද මේ කතාකරන්නේ කියලා..

    ReplyDelete
  21. ජංගම දුරකතන විතරක් නෙමෙයි.. අද කාලෙ ස්කයිප්,ෆේස්බුක් වලත් මේ කතාව අදාලයි කියලයි මට නම් හිතෙන්නෙ අක්කියෝ..
    යුරෝපයෙ ගොඩක් විදේශිකයන්ට නවීණ උපකරණ පහසු ගෙවීමේ ක්‍රමයට තියෙනවා, ගන්නවද කියලා අහලා එන දුරකතන ඇමතුම් බොහොමයි.. ඒ සමාගම් විසින් මේ හැම කතාබහක්ම පටිගත කරනවා.. හරබර විදිහට භාෂාව හසුරද්දි ඒ රටේ කෙනෙක්ට වුණත් තේරුම් ගන්න අමාරුයි.. නොදන්න කෙනෙක්ගෙ කටින් හ්ම්ම්.. කියලා හරි කියවුණොත් ඉවරයි.. ඒ යන්ත්‍රය ගෙදරට ගෙනත් දීලා සල්ලි දුන්නෙ නැති කෙනෙක්ට නඩුවකුත් දාලයි එයාලා නැවතුනේ.. එහෙම කිව්වෙ නෑ කිව්වම එයාලා අර රෙකෝඩ් එක ඉදිරිපත් කරලා.. අන්තිමට දඩත් ගෙවලා රටිනුත් යන්න සිද්ධවුණා ඒ විදේශිකයන්ට...
    ඒ වගේම ගොඩක් අය කෝල් කල ගමන් ගෙදර ප්‍රශ්න, අහන කෙනා බලාපොරොත්තු නොවන ප්‍රශ්න කියාගෙන කියාගෙන යනවා‍.. " ඔයා කොහෙද ඉන්නෙ.. කතා කරන්න පුළුවන් තැනකද" කියලා අහන්න සමහර අයට අමතකයි.. අනිත් කෙනා මොන මානසිකත්වෙ ද ඉන්නෙ කියලා අපි දන්නෙ නැහැනෙ... කාලීන මාතෘකාවකට ගත හැකි බොහොමයක් වැදගත් පණිවිඩ ඇතුළුව ලියූ මේ ලිපියට ගොඩක් ස්තූතියි අක්කියෝ... :)

    ReplyDelete
  22. ජංගම දුරකතන විතරක් නෙමෙයි.. අද කාලෙ ස්කයිප්,ෆේස්බුක් වලත් මේ කතාව අදාලයි කියලයි මට නම් හිතෙන්නෙ අක්කියෝ..
    යුරෝපයෙ ගොඩක් විදේශිකයන්ට නවීණ උපකරණ පහසු ගෙවීමේ ක්‍රමයට තියෙනවා, ගන්නවද කියලා අහලා එන දුරකතන ඇමතුම් බොහොමයි.. හරබර විදිහට භාෂාව හසුරද්දි ඒ රටේ කෙනෙක්ට වුණත් තේරුම් ගන්න අමාරුයි.. නොදන්න කෙනෙක්ගෙ කටින් හ්ම්ම්.. කියලා හරි කියවුණොත් ඉවරයි.. ඒ යන්ත්‍රය ගෙදරට ගෙනත් දීලා සල්ලි දුන්නෙ නැති කෙනෙක්ට නඩුවකුත් දාලයි එයාලා නැවතුනේ.. එහෙම කිව්වෙ නෑ කිව්වම එයාලා අර රෙකෝඩ් එක ඉදිරිපත් කරලා.. අන්තිමට දඩත් ගෙවලා රටිනුත් යන්න සිද්ධවුණා ඒ විදේශිකයන්ට..
    ඒ වගේම ගොඩක් දෙනෙක් තමන්ගෙ ප්‍රශ්න කියාගෙන කියාගෙන යනවා අඳුරන කෙනෙක්ට වුණත්.. ඔයා කතා කරන්න පුළුවන් තැනකද ඉන්නෙ.. කියලා අහන්න ගොඩක් අය අමතක කරනවා.. අපි දන්නෙ නැහැනෙ එයා ඉන්නෙ මොන මානසිකත්වයකද, කොතැනකද කියලා..
    කාලීන මාතෘකවකට අර්ථවත් ගත හැකි බොහොමයක් එක්ක ලියූ මේ ලිපියට ගොඩක් ස්තූතියි අක්කියෝ... :)

    ReplyDelete
  23. ප්‍රතිචාර ලිව්ව හැමෝටම ස්තූතියි...

    තව දෙයක්...
    ටෙලිෆෝන් එතික්ස් නම් සතපහක නෑ සමහරුන්ට.

    සමහර අය මට කෝල් කලාම එයාල ඉස්සෙල්ලම අහන්නෙ . 'හෙලෝ, ඔයා කොහෙද ඉන්නෙ' කියලා. මම හිතන්නෙ එයාල අදහස් කරන්නෙ 'කතා කරනන් හෑකිද' කියන එක වෙන්න පුලුවන්

    'කොහෙද ඉන්නෙ ' කියන එක කෙනෙක්ගෙ පුද්ගලික දෙයක් නිසා, ඊට වඩා ටිකක් විනීතයි නේද

    'හෙලෝ, ඔයා අහවලාද? .. කතා කරන්න පුලුවන් තැනකද ඉන්නෙ' එහෙම නෑතිනම් 'බිසීද?' කියල අහන එක හොඳයි නේද ?

    ReplyDelete
  24. @ ජීවිතේ මල්:
    අපේ ලොක්කත් ඔහොමයි. call කරපු ගමන් අහන්නේ කොහෙද ඉන්නේ කියල. මම answer කරලා Hello කියන්නෙත් නැහැ. ''මම දැන් දෙහිවල ඉන්නේ, මම තාම customer site එකේ ඉන්නේ''. එහෙමයි උත්තර දෙන්නනේ. දැන් නම් ටිකක් ඒ ගතිය අඩුයි.

    ReplyDelete
  25. පවු අක්කා ඒ ගෑනු කෙනා. දුකටනේ ඔහොම බනින්න ඇත්තේ.

    ReplyDelete
  26. ෆොන් ෆොන් ෆොන් කිව්වාම මටත් කියන්න ගොඩක් කතා තියෙනව.ඔය වැරදීම් සිදුවීම නිසා වෙච්ච හොද සිදුවීමකුත් වගේම බෝම නරක සිදුවීමක් පවා අත්දෑමෙන් තියෙනව. වැරදි කෝල් එකකින් හමුවුනු සුන්දර යහළුවෙකුත් ඉන්නව දැනට අවුරුදු 2ට වැඩි යාළුකමක් දක්වා ෆොන් මිතුරුකමක් දුරගිහින් තියෙනව. ඒවගේම ෆොන් නිසා, වැරදුනු මැසෙජ් එකකින් බෝම තද අවුලක් වෙලත් තියෙනව. සමහරු හිතාමතාම නොම්මරයක් ගෙස් කරල ගහල යාළුකමක් හදාගන්න ට්‍රයි කරනව බොහෝවිට මේ වගේ අවස්ථා වෙන අරමුණක් සදහා භාවිතා වෙනවනව. සමහර ඒව ෆොන් සෙක්ස් දක්වා දිග හැරෙනව. ඇත්තටම දිල් අක්කේ ෆොන් එක දැලි පිහියක් තමයි.එතන තියෙන්නෙත් පැහැදිලි සමාජ ප්‍රෂ්ණයක් තමයි. ඒක ෆොන් එකට විතරක්ම නෙවෙයි ගොඩක් ඒවට පොදුයි. වැරදීම් සහ හිතා මතා වැරද්දවීම් වලින් ප්‍රයොජන ගන්න අයත් ඉන්නව. අවංකව හැසිරීම කියන කාරණය වැදගත් කම තමයි හිතන්න වෙන්නෙ.

    ReplyDelete
  27. මේ වගේ දේවල් හරිම බහුලයි, අපිටත් සමහර වෙලාවට මේ වගේ වෙලා තියෙනවා. හොඳින් කථා කලත් අසබ්‍ය වචන එනවා. කවදා හැදෙන සමාජයක්ද මන්දා. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවානෙ. තාක්ෂණය භාවිතා කලාට ඉන්නෙ මුඩුක්කු වල නිසා ද කියල හිතෙන්නෙ ඔය වෙලාවට තමයි. කාටවත් අපහාසයට නෙමෙයි ,ඒ වගේ හැඟීමක් තමයි එන්නෙ ඒව අහන් ඉන්න කොට.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->