Saturday, June 25, 2011

[180] 'අලෝකයෙන්' ලෝකය උමතු කළ පිස්සු විද්‍යාඥයා...

ඒ 1847 පෙබරවාරි එකොළොස් වෙනිදා... අමෙරිකාවේ ඕහියෝ ප්‍රාන්තයේ මිලාන් නුවරට ඒ විශේෂ දිනයක් වූයේ නෑ... ඒත් කාලෙකට පසුව, මේ අද දක්වාත් , කතා බහ කරන්නට සිද්ද වෙන අපූරු සිඟිත්තෙක් එදා එහිදී මෙලොව එලිය දුටු බව නම් කියන්නටම ඕනෙ. 
මේ එතැනයි...



~....~

කොලුවාට පාසල එපා වූයේ පාසල් දිවිය අරඹා මාස තුනක් ගත වෙන්නටත් මත්තෙන්... උගැන්වූ ගුරුවරිය , ඔහුට පාසල යනු අපායක් බව හඳුන්වා දුන්නා... ඒත් මට අද හිතෙනවා ඒක මිනිස් සංහතියේ වාසනාව සහ ප්‍රගමණය වෙනුවෙන් ඈ ගත් නිවැරදි පියවරක්වත්ද කියලා.. එහෙම නොවෙන්නට පන්ති පෙළ පොත් දැනුමෙන් හිස පුරවා ගත් උපාධිධාරී විද්‍යා ගුරුවරයකු මිසක ලෝකයට 'ආලෝකය' පහළ කළ නව නිපැයුම්කරුවෙකු බිහි වෙන එකක් නැහැ.

එහෙත් පාසල එපා වූ පමණින් ,
ගුරුවරියක් වූ ඔහුගේ මව ඔහුට නොමග යන්නට ඉඩ දුන්නේ නැහැ. ඔහු ඇගෙන් ඉගෙන ගත්තා , අකුරු මෙන්ම , ජීවත් වීමේ කලාවත්...

~....~

පුංචි රසායනාගාරයක්..එහි අත්හදාබැලීම් කරන පුංචි පර්යේෂකයෙක්. රසායන විද්‍යා පොත් දිහෑ සැකයෙන් බැලූ මුත් ඔහු ඒවා බැහැර කළේ නෑ. එහි සත්‍යතාව විමසා බැලුවා මිසක.


~....~

'ස්ඩ්ලිස්ට්' කුඩු + ජලය =>පෙණ බුබුළු නගිනවා
එහෙනම්
'ස්ඩ්ලිස්ට්' කුඩු + මිනිසා =>ඉහළ යා යුතුයි එහෙනම්.. :-)

තියරිය නම් හරි.. ! පොඩ්ඩා කල්පනා කළා.

'ස්ඩ්ලිස්ට්' කුඩු + යාලුවා => ඔයා ඉහල යන්න ඕනෙ පොතේ හැටියට ..


අන්තිම ප්‍රතිපලය නම් දුක්බරයි !! මිතුරාට බඩේ අමාරුවක් !! :-)


" මම හිතුව වැරදියි. හැම දේටම එහෙම වෙන්නෙ නෑ.වරදිනව තමයි.ආයිත් බලන්න ඕනේ වෙන විදියක්..කොහෙ හරි ක්‍රමයක් ඇති !" පොඩ්ඩා හිතුවේ එහෙමයි..


~....~

හැමදාමත් පර්යේෂකයෙක් වෙලා බැහැ. කවුද කන්න අඳින්න දෙන්නෙ? පොඩ්ඩගේ අත් හදා බැලීම් වලට මිළ මුදල් හිඟ වෙනකොට එහෙම හිතුව. මේ අවුරුදු 12 කොලුවා පෝට් හියුරන් සහ ඩෙට්‍රොයිට් දුම් රිය පොළ අතර පත්තර ව්කුණන්නට පටන් ගත්තේ එනිසායි..

~....~

අත් හැරිය දුම්රිය පෙට්ටියක්..
"ආ .. මෙතන හොඳයි මගෙ පර්යේෂණ වලට"
යන එන දුම්රිය මගීන් මේ කෙරුවාව දුටුවේ විකාරයක් හැටියට .
"ආ විද්‍යාඥයෙක් වෙන්න හදනව වගේ"
ඔවුන් මේ විකාරය ඉදිරියේ සිනාසුනා...
ඒත් ඒ උපහාස වලට සැලුනේ කොලුවා නොවෙයි.
"මම කවද හරි විද්‍යාඥයෙක් වෙනව තමයි"



කොලුවා හිතෙන් හිතා ගත්තා.


~....~

"ගින්නක් !!! ගින්නක් !!!! කෝච්චි පෙට්ටියක් ගිනි ගන්නවා!!! "
දුම්රියපළ මගීන් කළබල වෙලා. එහෙ මෙහෙ දුවනවා...
දුම් රිය ස්ථානාධිපති තුමා කෝපයෙන් රත් වෙලා, කෝච්චි අස්සේ පර්යේෂණ කරපු කොලුවව හොයනවා. පොස්පරස් බෝතලයක් පිපිරිලා...

"චටාස්..!!"

වැදුනු කණේ පහර, ඒ වන විටත් උපතින්ම ශ්‍රවණාබාධයකට හිමිකම් කී ,  පුංචි පර්යේෂකයාගේ දකුණු කණ බිහිරි කළේ ජීවිත කාලයටම..!

(මීට පසු කලක පවා ඔහු එක් වතාවක සිය රැකියාව අහිමි කරගන්නේ , මේ පොඩි පහේ පර්යේෂණ කිරීමට ගොස් , සල්ෆියුරික් අම්ල බෝතලයක් ඔහුගේ හාම්පුතාගේ මේසය යට හැලීමේ ප්‍රතිපලයක් වශයෙන්)

~....~

දුම්‍රිය වේදිකාවේ පත්තර විකුණන කොලුවා එක දවසක් දුටුවේ ඇස් අදහාගත නොහැකි දසුනක්. ඈතින් ඇදී එන දුම්රිය පෙනි පෙනී, එය නොදැක රේල් පීලි උඩ සෙල්ලම් කරන කුඩා දරුවෙක්..ඇසිල්ලකින් සිය පත්තර පොදිය අත් හැරි කොලුවා සහ කුඩා දරුවා සුරැකිව දුම්රිය වේදිකාව මත...

සිය පුතු බේරාගත් දේවදූතයා, කලකට පෙර සියතින් කණේ පහර කා සවන අහිමි කරගත් පත්තර කොලුවා බව දකින ස්ථානාධිපති වරයා ගල් ගැසෙනවා. කියාගන්නට වචන ඔහුට නැහැ.

දෛවය වෙනස් වේගෙන යන්නේ අද්භූත අයුරෙන්... කොලුවා ගැන පැහැදෙන ස්ථානාධිපති වරයා ඔහුට උපකාර කරන්නට අධිටන් කරගන්නේ ඉත සිතින්. පත්තර රස්සාවෙන් මිදෙන කොලුවා ටෙලිග්‍රාප් ක්‍රියාකරවන්නෙකු ලෙස බැඳෙන්නේ එලෙසින්. 

~....~

මිනිසුන් ඔහුට 'පිස්සෙක්' කියා සිනා වෙද්දී, ඔහු සිය අප්‍රතිහත දහිරියේ හා නොසිඳෙන කුතුහලයේ ප්‍රතිපලයක් වශයෙන් , වයස අවුරුදු 21 දී, විදුලි බලයෙන් ක්‍රියා කරන 'ඡන්ද ගණන් කිරීමේ' යන්ත්‍රය බිහි වෙනවා ඔහු අතින්... (පහත පින්තූරය බලන්න)


තරුණයා සිය නොසිඳෙන පර්යේෂණ කුතුහලයේ ඵල නෙලන්නට අරඹන්නේ එලෙසින්.. ( 1868 , ඔහුට පේටන්ට් පත පවා ලැබෙන මේ යන්තරය , වසර එකසිය පනහක් ගත වී ගොසිනුත් තුන්වෙනි ලෝකයේ අපේ රටවලට අනුගත නොවූ එක ඉතින් විමතියක් නම් නොවෙයි ) 


~....~


'තමන්ගේම රසායනාගාරයක් !! '
අනුන්ගෙන් අවලාද අසමින් පරීක්ෂණ කරන්නට තව දුරටත් අවශ්‍ය නැහැ.
තරුණ විද්‍යාඥයාගේ දැන් එකම ජීවන අභිප්‍රාය තව තවත් අලුත් දේ සොයා ගැනීම... සිය පලමු නව නිපදවීමට ලද පේටන්ට් පතත් , එය නිපදවීමට ගෝල්ඩ් ඉලෙක්ට්‍රික් සමාගම දුන් ඩොලර් 40000ත් සමග ඔහුගේ පර්යේෂණ සඳහා මෙන්ලෝ උද්‍යානයේ රසායනාගාරයක් තැනෙනවා. (පහතින් දැක්වෙන්නේ එම විද්‍යාගාරයයි)



~....~

සහායක ,ජෝන් ක්‍රැයිසි දිනක් තරුණ විද්‍යාඥයාගේ කටු සටහනක් බලමින් කුතුහලයෙන්..
"කතා කරන මැසිමක් මේ"
ඒ දකින තරුණ විද්‍යාඥයා සිනහසෙමින් පවසනවා...
"දැන් නම් මෙයාට හොඳටම පිස්සු!!!"
ක්‍රැයිසි ඇතුලු ගෝලයන්ට හිතුනෙ එහෙම..


Mary Had a Little Lamb... ගීතය තරුණයා යන්තරය වෙත ගයන්නට වුනා...
"මෙයාට නම් හොඳටම පිස්සු" සේවක පිරිස හොඳටම සිනහ වුනා...


සියල්ලන්ම පුදුම කරවමින් Mary Had a Little Lamb... ගීතය කතා කරන මැසිමෙන් වැයෙන්නට වුනා... (එඩිසන් ගැයූ එම ගී ඛන්ඩය ඔබටත් අසන්නට මෙතනින් පුලුවනි) සියල්ලනටම කන් අදහන්නට බැහැ. ග්‍රැමෆෝනය ලොවට බිහි වුනේ එහෙම ! නගර වැසියෝ මේ ප්‍රවෘත්තියෙන් උමතු නොවුනා විතරයි... ඔවුන් මේ රසායනාගාරයට ඇදෙන්නට වුනේ වැල නොකැඩී...

"මේක බොරුවක්ද කොහෙද" කියමින් පැමිණි නගර වැසියන් , ඒ කතා කරන මැසිම දැක පුදුම සතුටට පත් වුනා.



ඉහතින් පෙනෙන්නේ ඔහු සිය ග්‍රැමෆෝන් යන්තරය සමග...

මේ බෙලෙක් පතුරු ඇලවූ සිලින්ඩරයක් සහිත කතා කරන මැසිම පසු කලක මෝටරයක් යොදා නවීකරණය වුනා..


~....~

කාලයක් පුරාවට මේ තරුණයා වීදි වල එල්ලෙමින් රාත්‍රියට එලිය දෙන වීදි ගෑස් ලාම්පු දෙස බලමින් කල්පනා කලා. මේ නිසාම විදුලි ආලෝකය උපදවිය හැකිදැයි සොයා බලන්නට කුතුහලයක් ඇති වුනා අපේ පර්යේෂකයාට. ලේසි නැහැ. පර්යේෂණය නිසා අපතේ ගිය වියදම් ඩොලර් දස දහස් ගණනක්.
අමුද්‍රව්‍ය සෙවීමයි අමාරුම කාරිය.! ඒ අතරිනුත් කාබනීකරණය කළ විට දීප්තිමත්ව දැල්වෙන කෙන්දක් ! කොලුවා පිටත් කළ ගෝලයන් අතරින් කෙනෙකු එය ජපානයෙන් සොයා ගත්තා..
999 වතාවක්... ! එය ලේසි පහසු ඉලක්කමක් නොවෙයි. විශේෂයෙන්ම විද්‍යාත්මක පර්යේෂණ 999ක්..!!! එකම දෙයක් වෙනුවෙන්.. ! ඒත් විද්‍යාඥයා පසුබට වූයේ නෑ..


~....~

ඔහු විදුලි බල්බය නිපදවීම සඳහා 999 වතාවක් අත්හදාබැලීම් කලා. ඒවා හැමෙකක්ම අසාර්ථක වුනා. වරක් ඔහුගේ මිතුරෙක් ඔහුගෙන් අහනවා "ඔබ 1000 වෙනි වරටත් උත්සහ කරනවාද ?" කියා. එවිට විද්‍යාඥයා පවසනවා ,



"මගේ අසාර්ථකත්වය වරදක් හැටියට මා දකින්නේ නෑ.මට පෙනෙන්නේ විදුලි බල්බය නිපදවිය නොහැකි ක්‍රම 999ක් මා සොයා ගත් බවයි"


~....~

1879 ඔක්තෝබර් 21 වෙනි දින ඔහුට විශේෂ දිනයක්. ඔහුට පමණක් නොවෙයි ලොවටම ... විදුලි බල්බය ලොව එලිය දුටුවේ එදින.. ඒ ඔහුගේ 1000 වන උත්සාහය විය නොහැකියි. එක්කෝ 1500 හෝ දෙදහස් වන උත්සාහය වන්නට පුලුවන්...




ඉහතින් දැක්වෙන විදුලි බල්බය දැකබලා ගන්නට , මෙන්ලෝ පාක් වෙත මිනිසුන් දස දහස් ගණනක් ඇදී එන්නට වුනා.. මේ හාස්කම නරඹන්නට... වයස අවුරුදු 33 වන විට මේ නොපසුබස්නා දහිරියටපින් සිදු වන්නට ලොව ධනවත්ම පුද්ගලයා වූ මේ තරුණයා නිසා, අඳුරු ලෝකයට 'විදුලි ආලෝකය' උදා වුනා..

~....~



කාලය ගත වූවත් , ලොව ධනවත්ම පුද්ගලයා බවට පත් වූවත් , ලෝකයට සදා නොමියෙන මතකයක් එක් කළ විදුලි බල්බය නිපදවා අමරණීය නාමයක් ඉතිරි වූවත් , මේ විද්‍යාඥයාගේ 'පර්යේෂණ කිරීමේ' නොසිඳෙන ආශාව මිය ගියේ නැහැ. ඔහු විදුලි බල්බයෙන් තෘප්තිමත් වූයේ නැහැ.
ඒ නිසාම ,
1876 - ටෙලිෆෝන් ට්‍රාන්ස්මීටරය
1891 - චිත්‍රපට තිරය සඳහා ප්‍රක්ෂේපණ යන්ත්‍රය හා චිත්‍රපට කැමරාව ලොවට බිහි වූවා...


~....~

එක දවසක්....
ඔහු තම මෝටර් රථයෙන් නගරයට ගියේ පරීක්ෂණ භාණ්ඩ මිලට ගන්නට. ඒ අතරතුරේදීත් ඔහුගේ හිතේ වැඩ කළේ අලුත් පරීක්ෂණයක්...
ඉදිරියෙන් බස් රථයක් එනු දූටු ඔහුට දැනුනේ කිව නොහැකි තරම් සතුටක් . 'ඉක්මනට ගෙදර ගිහින් මේ වැඩේ පටන් ගන්න පුලුවනි' ඔහුට හිතුනේ එහෙම..


මෝටර් රථයෙන් නිවසින් පිටවූ සැමියා බසයෙන් යලිත් නිවසට එනු දුටු බිරිඳ පුදුම වෙමින් ඒ ගැන විමසද්දියි ඔහුට සිහිපත් වන්නේ ඔහු නගරයට ගියේ මෝටර් රථයෙන් බව. අතේ තිබු සියල්ල බිරිඳට භාර කරන ඔහු යලිත් නගරයට බසයෙන් යන්නේ අමතක වූ කාරය රැගෙන ඒමට. මෝටර් රථය අසලට යන ඔහුට ඊලඟට සිහිපත් වන්නේ අතේ තිබූ සියල්ලද සමග කාරයේ යතුරත් බිරිඳ අතේ බව.
ඉතින් නැවත බසයෙන් නිවසට විත් යතුර ගෙන යන්නට ඔහුට සිද්ද වෙනවා...

~....~



පර්යේෂණ පිලිබඳ මේ ඔනෑවට වැඩි ඇල්ම විද්‍යාඥ බිරිඳට රුස්සන්නේ නැහැ. නිදිවර්ජිතව මේ කරන පර්යේෂණ පිලිබඳ විරෝධය පල කරන ඔහුගේ බිරිඳ රසායනාගාරයේ සිට එලියට ආ ඔහුගෙන් ඉල්ලීමක් කරනවා විවේක ගන්නා ලෙස.


'මා විවේක ගන්න කැමතිම තැන මේකයි' යනුවෙන් පවසන විද්‍යාඥයා යලිත් රසායනාගාරයට ගොස් දොර වසා ගන්නවා.. !


~....~


ධනවත් බව මෙන්ම නිහතමානී බවෙන්ද අග තැන්පත් මේ අපූරු පුද්ගලයා , එක්තරා රාත්‍රී භෝජන සංග්‍රහයකදී , තවෙකෙකු විසින් හඳුන්වා දෙනු ලබන්නේ ' මේ තමයි ලෝකයේ පළමු කතා කිරීම් ඒ මැසිම නිපදවූ මහත්මයා' යනුවෙන්..


එවිට ඔහු පවසන්නේ " ලෝකයේ පළමු කතා කිරීමේ මැසිම හැදුවේ දෙවියන් වහන්සේ.. මා හැදුවේ අවශ්‍ය වෙලාවට නතර කරන්න පුලුවන් කතා කිරීමේ මැසිමක් විතරයි " යනුවෙන්.


~....~


ඔහුට 67 වන වියේදී , ඔහු සතු එක් කර්මාන්තශාලාවක් ගින්නෙන් විනාශ වූ විට ඔහු මෙහෙම පවසනවා..


" විනාශයක බොහෝ වැදගත්කම් තිබෙනවා. සියලු අත්වැරදි දැවී ගොස් අවසානයි. දෙවියන්ට ස්තූති වේවා! දැන් අපට අලුතින් අරඹන්න පුලුවන්" යනුවෙන්..


එයින් සති තුනකට පසුව .. මෙන්න තවත් අපූරු නිපැයුමක්.. පෝනෝග්‍රාප් යන්ත්‍රය!(දැක්වෙන්නේ එම යන්ත්‍රය සහ මේ අසහාය විද්‍යාඥයායි)




සිය ජීවිත කාලය පුරාවට ( එනම් 1847 පෙබරවාරි 11 වනදා සිට 1931 ඔක්තෝබර් 18 වෙනිදා දක්වා ) 84 වසරක් තිස්සේ , නව සොයා ගැනීම් 1033 කට හිමිකම් කී මේ අපූර්ව යුග පුරුෂයා - තෝමස් අල්වා එඩිසන් අපට ඉගැන්වූ දෑ බොහෝයි..ඔහු සොයා ගත් 1033 කට ආසන්න සොයා ගැනීම් මෙතැනින් කියවන්නට පුලුවනි


මේ පින්තූරයෙන් දැක්වෙන්නේ ඔහු කළ සොයා ගැනීම් සියල්ල සනිටුහන් කොට, නිව් ජර්සි නගරයේ ඉදි කරන ලද අඩි 131ක් උස ස්මාරකයයි.




~....~


ඔහුගේ ජීවන වෘතාන්තයෙන් උගනින්නට ඇති දෑ අතුරෙන් මා වඩාත් ප්‍රිය කරන වාක්‍යයෙන් මා මේ දිගු සටහන නිමා කරන්නම්....


" විනාශයක බොහෝ වැදගත්කම් තිබෙනවා. සියලු අත්වැරදි දැවී ගොස් අවසානයි. දෙවියන්ට ස්තූති වේවා! දැන් අපට අලුතින් අරඹන්න පුලුවන්"


පසු සටහන:
කරුණු සොයාගනු වස් බුද්ධික දේශප්‍රිය මහත්මයාගේ - දුක දිනා ජය ගත් දිරිය මිනිස්සු පොත මට මහෝපකාරී වුනා.. ඒ වගෙම තවත් අමතර කරුණු රාශියක් සමග බොහෝ පින්තුර මා සොයා ගත්තේ විකිපීඩියාවේ හරවත් ලිපියට පින් සිදු වන්නට...

34 comments:

  1. හොඳ උත්සාහයක්..
    වටිනා ලිපියක්..

    ReplyDelete
  2. කතන්දරයක් තරමට ලස්සනට ලියපු වැදගත් ලිපියක් අක්කේ..තවත් ලියන්න මේ වගේ තොරතුරු අඩංගු ලිපි එක ගොඩක් වටිනවා...

    ReplyDelete
  3. ෂා........ නියම ලිපියක්!

    ReplyDelete
  4. ඔහුගේ පරීක්ෂණ නොරුස්සන බිරිඳ එකපාරක් බැනල බැනල ඊට පස්සෙ වතුර බාල්දියක් ඔහුගේ ඔලුවෙ හලනවා

    "ගිගිරුමකට පස්සෙ වැස්සක් කියන්නෙ සාමාන්‍ය දෙයක්" ඔහු කියනවා.
    -----
    අද ලෝකයේ තාක්ෂණය කොයි තරම් දියුණු වෙලා තිබ්බත් තවමත් තනි පුද්ගලයෙකුට හිමි වුණු වැඩිම පේටන්ට් බලපත්‍ර ගාන අයිති එඩිසන්ටලු

    ReplyDelete
  5. ඇත්ත්ටම පට්ට ලිපිය , හොදට මහන්සි වෙලා තියනවා මහන්සියෙ ප්‍රතිපල ත් තියන්වා , ලිපිය බුකියෙ Share කොලාට තරහක් නෑ නේ ?

    ReplyDelete
  6. වැදගත් ලිපියක් තැන්කූ...

    ReplyDelete
  7. වැදගත් හොද ලිපියක්...ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  8. නියමයි අක්කා.... හොද ලිපියක්..

    ReplyDelete
  9. ඉතාම වටිනා සහ අපූරු ලිපියක්! මේ වගේ දේවල් ගොඩක් ලියන්න! හරිම ආසාවෙන් කියවපු ලිපියක්!

    ReplyDelete
  10. මේක නන් සුපිරියි ඇ...........

    ReplyDelete
  11. අම්මෝ මාගලක් වගේ දිග ලිපියක් නේ. ඒ උනාට සුපිරියට ලියලා තියෙන නිසා එක හුස්මටම කියවලා දැම්මා. වැදගත් ලිපියක්.

    ReplyDelete
  12. විශ්මිත මිනිහෙක්.
    ඔයා ලියපු හොඳම සහ වටිනාම පෝස්ට් එක මේකයි. ස්තූතියි එයට..

    ReplyDelete
  13. ඇත්තෙන්ම මේ පෝස්ට් එක ලියන්න මම පැය 4කටත් වඩා ගත කලා.. කරුණු හොයන්න. ආයෙමත් ලියන්න. පින්තූර හොයන්න ආදියට. ඒත් මේ ලැබුන/ ලැබෙන කොමෙන්‍ටු දකිද්දි හිතෙනවා ඒ තරම් වෙලාවක් ගත්තු එකේ කිසිම පාඩුවක් නෑ කියලා....
    ඉතාමත්ම ස්තූතියි...
    අවුට්සයිඩර් (ගොඩ කාලෙකට පස්සේ ඔබව සංසාරේ අපි හි දකින්න ලැබුන එක හරිම සතු‍ටුයි)
    ඇනෝ: ස්තූතියි...
    මධුරංග : ලිපියෙන් ඉවත දාන්න කිසිම පේලියක් මට හිත දුන්නෙ නෑ. ඒ නිසාම ලිපිය දිග වුනා.
    පසා: ඉස්තූති මල්ලියේ...
    ශජීවන් : ආනේ මෙන්න මෙයත් ඇවිල්ලා..... ඉස්තූති හොඳේ....
    හසී නගෝ...: ඉස්තූතියි.... කාලෙකින් සංසාරේ ආවට... එන්න හොඳේ...
    සුපුන් සුදාරක මලෙයෝ... : ඉස්තූතියි....
    කිඩෝ... : මාත් ඔන්න තැන්කූ කිව්වා හොඳේ...
    සමීර : අනේ කිසි අවුලක් නැ.... ශෙයා කරන්න. මගේ මූනු පොතේ මේ ලිපිය පොඩි සටහනක් එක්කම දාල තියේ... ඒකම රි-ශෙයා කරන එක ඔයාට ලේසියි...
    මකරෝ... ඉස්තූති... ඔව්.. ඒත් අද මම දු‍ටුවා ඔහුගේ සොයා ගැනීම් ගණන 1084 බවකුත්...
    පූසෝ... : ඉස්තූති...
    නිම්ශා.. : ස්තූතියි නගා. මම තවත් ලිපි මේ වගෙ ඒවා ලියනවා... අනිවා
    රොශාන් : ස්තූතියි... මුල සිට අද තෙක්ම මගේ බ්ලොගේ හිටි කෙනෙක් ඔබ....

    ReplyDelete
  14. පේටන්ට් දහස් ගණනක් ලබා ගත් අය ඉන්නවා. නමුත් ඒ බොහොමයක් සමාගම් හරහා සහ වෙනත් අයගේ පේටන්ට් අයිතීන් මිලදී ගැනීම් හරහා ලබා ගත් ඒවා. තනි පුද්ගලයෙකුගේ මහන්සියෙන් ලබාගත් පේටන්ට් වැඩිම ගානක අයිතිය එඩිසන්ගේ

    ReplyDelete
  15. ගොඩාක් වටින ලිපියක්.. මගේ ගුරුතුමියගෙන් ෆලෝ එකක් කමෙන්ට් එකක් ලැබෙන කන් මම ඇගිලි ගැන ගැන බලා ඉන්නවා.. එත් ඒ දවස උදා වෙයිද කියලා මට සැකයි...

    දේවා ගේ අඩවිය

    ReplyDelete
  16. නියමයි අක්කා.. ගොඩාක් වටින ලිපියක්.. ස්තූතී අක්කාට මේවගේ දෙයක් ලීවාට :)

    ReplyDelete
  17. " විනාශයක බොහෝ වැදගත්කම් තිබෙනවා. සියලු අත්වැරදි දැවී ගොස් අවසානයි. දෙවියන්ට ස්තූති වේවා! දැන් අපට අලුතින් අරඹන්න පුලුවන්"

    මේකනම් හැමදේටම වඩා වටින කියමනක්...

    ReplyDelete
  18. සරළ බසින් ලියැවුනු ඉතා හරවත් මෙන්ම වැදගත් ලිපියක්! චූටි ටීචර්ට තව තවත් මේ වගේ ලිපි ලියන්න හැකි වේවා...

    ReplyDelete
  19. :D ලස්සනට ගාලාගෙන යන්න ලියලා නියමයි :D

    ReplyDelete
  20. ගොඩාක් වටින ලිපියක් අපේ ජීවිතේට එකතු කරගන්න ඕනෙ ගොඩාක් දේ මේ තුල තියෙනවා

    ReplyDelete
  21. නියම ලිපියක් නගේ.
    හැමදාම වගේ අපූරුම අපූරු ලිපි අරන් එන උඹට කොහොම ස්තූති කරන්නද මන්දා . . .

    මේ වගේ දේවල් වලින් අපිට ජීවිතය ඉගෙන ගන්න පුලුවන් නගේ. . .

    නියමයි

    " විනාශයක බොහෝ වැදගත්කම් තිබෙනවා. සියලු අත්වැරදි දැවී ගොස් අවසානයි. දෙවියන්ට ස්තූති වේවා! දැන් අපට අලුතින් අරඹන්න පුලුවන්"

    ReplyDelete
  22. ඉතාමත් වටින ලිපියක්, ඒත් එඩිසන් 100% සුදු චරිතයක් නම් නෙමෙයි. ඒ කාලයේ තමන්ට බලපෑමක් වුනු ටෙස්ලාට එඩිසන් දාපු දඟ ගැන කියන්න තියෙන කතාත් එමටයි. :)

    ReplyDelete
  23. ගොඩක් වටින ලිපියක්..ලස්සනට කරුණු පෙල ගස්වලා තියන නිසා ආසාවෙන් කියෙව්වා.
    ස්තුතියි, ආයෙත් එන්න හිතෙන බ්ලොග් එකක්..

    ReplyDelete
  24. හරිම අපුරුයි. මේවා කියවල තිබ්බට ආයිමත් රසට කියෙව්වා. හරිම ලස්සනට ලියල තියෙනවා. නිකන්ම තෝමස් අල්වා එඩිසන් ගැන ලිව්වා නම් අය්යෝ දන්නා කෙනෙක්නෙ කියල අහක බලන් යන්න තිබ්බා . ලියපු විසියේ රසවත් බව නිසා එක හුස්මට කියෙව්වා.

    ReplyDelete
  25. "තාත්තේ මේ හොඳ නෝට් එකක්..." මගේ ලැප්ටොප් යන්ත්‍රයේ විවෘතව තිබූ ඔබේ අඩවිය දුටු ලොකු පුතා මට ඊයේ කීවා...
    අද උදේ මම එය කියවූවා...
    බල්බයක් මාරු කරන්නට උදව් කරගත් චූටි පුතා "තාත්තේ මේකෙන් එළිය එන්නේ කොහොමද... " යි ඇසූ බව දැන් මතක් වුනා...
    ඔහුටත් මේක කියාදෙන්නම්... පින්තූර පෙන්වමින්...
    නංගීට බොහොම ස්තුතියි...

    ReplyDelete
  26. Bindi කියා ඇති කථාව සම්පූර්ණ ඇත්ත...

    ReplyDelete
  27. බොහෝම අගේ ඇති ලිපියක්, විදූලි බල්බය හොයාගත්තේ එඩිසන් කියල විටරක් නොනැවතී ලස්සනට ගැලපූ කරුණු බොහෝම අගෙයි

    ReplyDelete
  28. ඔව්....චානක මල්ලි... එඩිසන්ගේ මේ රෙකෝඩ් එක කඩන්න ලේසියෙන් කෙනෙක්ට නම් හැකි වෙන එකක් නෑ.
    දේවා: ඉන්න බ්ලොග් එක බලන්නම්.... අනිවා කමෙන්ට් කරන්නම්....
    ලේන් කණියෝ :-) - ඉස්තූති,,, අනිවා .. මේ දුක දිනා ජය ගත්තු අපූරු මිනිස්සු ගැන සීරිස් එකක්ම ලියන්නයි හිතන් ඉන්නෙ....
    අනිවාර්යයෙන් දිනේශ්... මමත් මේ කියමන ගොඩක් ඉහලින් අගය කරනවා....
    ෆා නගා : චූටි ටීච සීරිස් එකක්ම ලියාවි :-)
    තොප්පියා: ස්තූතියි..... ලියූ ක්‍රමයට ඔබ හෑමෝම සතු‍ටුයි වගේ...
    නදී: ස්තූතියි...
    කඩේ හාමිනේ... : එහෙම කිව්වට ඔබට පින්....
    දුකා අයියා: මට හරිම සතු‍ටුයි මේ වචන අපතෙ යන්නෙ නෑ නේද එහෙනම්.. හිතට දැනෙන ආත්ම තෘප්තිය කියල නිමක් නැ අයියේ... ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  29. දසුන් : වෙන්නැති මල්ලියේ... අපි හැමෝම අලු චරිතනේ... නේද ?
    ලකී : ගොඩක්ම ස්තූතියි අගෙ ලිපි කියවනවට යාලුවේ... ආයෙත් එන්න... සංසාරේ අපි වෙත අහම්බෙන් හෝ ගොඩ වෙන කිසිම කෙනෙක්ව හිස් අතින් හෝ හිස් හිතින් ආපහු නොයවන්න මම උපරිම උත්සහ කරනවා...
    බින්දි : ගොඩක් ස්තූතියි ඔබේ වචන වලට... මට හයියක් ඒ වචන...
    තිස්ස අයියා..: බොහොමත් පින්... සහ මගේ නොනිමි ස්තූතිය ... හරවත් දෙයක් දුන්නාට හිතේ සතුටක් දැනෙනවා.ඒ සතුට සල්ලි වලට ගන්න වස්තු සම්භාරයකට වඩා මට වටිනවා... අයියා එය දන්නවා...
    නවම් මාවත : ඔබට බොහෝමත්ම ස්තූතියි....

    මේ ප්‍රතිචාර ලියූ ඔබ හැමට :
    මම එදා සංසාරේ අපි පටන් ගනිද්දි ගොඩක්ම ලියුවෙ පුද්ගලික දේ... ඒත් එතනින් මට හිතුනා මේ බ්ලොග් එක පොදු දෙයින් මට හා ලෝකයටම වැඩැති දේවලින් පිරෙන්න ඕනෙ කියලා.. මා මියයන විට මේ තබා යන පිය සටහන ඉතා අල්ප එකක් වුවත් මා ජීවත් වන කෙටි කාලය තුල මේ සත් කාර්යය සතුටෙන් තබාවි මාව... ලියූ හැම අකුරක් ගානේම මට තවත් දිරියක් එනවා ඔබේ වචන කියෙව්වම.... සංසාරේ අපි හි අරමුනත් අපි හැමෝගේම ජීවිත වඩාත් යහපත් එකක් කිරීමයි.... මම එතැනදි බොහෝ දෑ තව උගත යුතු නමුත් මා කෙටි හෝ කුඩා හෝ ප්‍රයත්නයක් දරා තිබෙන බව මට හිතෙනවා...

    සංසාරය පුරාවටම මේ මිනිස්කම බෙදා ගනිමු.... මිනිස් ගුණය සොයා යමු.. ඔබට ස්තූතියි....

    ReplyDelete
  30. "මගේ අසාර්ථකත්වය වරදක් හැටියට මා දකින්නේ නෑ.මට පෙනෙන්නේ විදුලි බල්බය නිපදවිය නොහැකි ක්‍රම 999ක් මා සොයා ගත් බවයි"
    මේකටත් ආසයි මම.

    " විනාශයක බොහෝ වැදගත්කම් තිබෙනවා. සියලු අත්වැරදි දැවී ගොස් අවසානයි. දෙවියන්ට ස්තූති වේවා! දැන් අපට අලුතින් අරඹන්න පුලුවන්"
    මේ වගේ දේවල් මටත් වෙලා තියෙනවා අනන්තවත්, කරපු දෙයක් විනාශ උනාම දුකයි ඒ වගේම අලුතෙන් ආරම්භ කරපු දේ කලින් එකට වඩා හොඳට අවසන් කරනවා.:)

    නියමයි අක්කා :)

    ReplyDelete
  31. මේ ලිපියට වැටුනු අවසන් කොමෙන්ටු දෙකට පිලිතුරු අමතක වෙලා. සමාවෙන්න. මේ නෝට් වඩාත් රසවත් ලෙස, ආයෙ ආයෙ ලියවෙනවා නම් මම සතුටුයි ඔබෙ අතින්.
    ස්තූතියි

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->