Saturday, March 21, 2015

[317] මල් වෙඩිල්ලකි , ආදරය



.
මද්දහන් අව්වට දිලිසෙන 
නලා හඬවන රිය තදබදයක 
ලුණු හුලඟට ගසා ගෙන විත් 
ආදරයට, පිලිසිඳ ගත හැකිය 

වේගයෙන් ඇදී යන රියක 
වියතක දුරැති දෙ'අසුනක
ප්ලාස්ටික් කවරයක් වුවද
ආදරයට, ආරෝපණය විය හැකිය

රිය දෙදරන තරම් මහඬින්
උච්ච ස්වර ඔපෙරාවක් අසන අතරද 
ගුප්ත හෘද තන්තුවකට එකඟව 
ආදරයට, නින්නාද විය හැකිය 

හුස්ම දෙකක දුරින් දොඩමලුව 
නිය'ග ස්පර්ෂයකුදු නොමැතිව 
හිම මෙන් සීත, නිල් දෑසක්
ආදරයට, මෙලෙකව යා හැකිය 

නාඳුනන්නන්ව මග හැරී ගිය
භවාන්තරයක කෝන්තර
නොවැදගත් නෝක්කඩුවකින් පුපුරා යන විට, 
ආදරයට, ක්ෂමාවම විය හැකිය

උතුරා යාමට මොහොතකට පෙර 
පැසෙන උණු කිරි බඳුනක් 
ගුප්ත හේතුවකට නිවී යන විලසින් 
ආදරයට, රහසක්ම විය හැකිය 

'සුස්' හඬින් දැල්වී ඉගිලුනද
පුපුරා නොගොස් ඇද වැටෙන 
අහස සිපුමෙන්ම බොල් ව ගිය ,
ආදරයට, මල් වෙඩිල්ලක්ම විය හැකිය !

ආත්මය වෙලාගත් ශෘංගාරය
කල්පිත වැලඳගැන්මක්ම විය හැකිය, 
එහෙත්,
නොකිලිටි සිපාචාරකින් සමුගෙන
ආදරයට, උත්කර්ෂයෙහිම මිය යා හැකිය !

2015 - 03 - 21 


Footnote : 

The most painful love there is, is the love left unshown. A love that cannot be expressed, affection left unknown. The love that withholds touching, afraid of what it would say, and the most painful thing about unexpressed love is, it never fades away.
- Unknown

Tuesday, February 03, 2015

[316] දෙවියන් දකින්නට PK බලන්න එන්න - (sorry) - PK දකින්නට දෙවියන් බලන්න එන්න

දෙවියන් දකින්නට PK බලන්න එන්න - (sorry) - PK දකින්නට දෙවියන්  බලන්න එන්න

මා පළමු වතාවේ PK නැරඹුවේ ඉතාමත් කම්මැලිකමෙනි. ඊට හේතුව බස තේරුම් ගන්නට තරම් හින්දි දැනුමක් මට නොතිබූ නිසා ,වැරදි උප සිරැසි මත යැපෙන්නට වීමය. කවුරු හෝ ඒ යොදා තිබූ උප සිරැසි වල 98% ම තිබ්බේ වැරදි ඉන්ගිරිසිය. වැරදි ඉන්ගිරිසිය හරි එකට ගලපා රූප රාමුව දෙස බලද්දී අස්සයා පැනගොස්ය . දෙවෙනි වතාවේ එනිසාම ආයිත් PK බැලුවෙමි. එවර හිත ගියේ සින්දු ටිකටය. එනිසාම තෙවෙනි වතාවටද එය බලන්නට ගතිමි. බාගෙට දිරැවූ උප සිරැසි සිත්හි තබාගෙන රූප රාමු බැලුවේ ඒ වතාවේය! PK පසුපස ඇති මහා සිනමාව මට ඉන්ද්රජාලයකින් මෙන් දිස්වන්නට පටන් ගත්තේය ! 

භාරත සිනමාවේ තවත් ප්රාතිහාර්යයක් ! භාරතයටම එක ඇඟිල්ලක් දිගුව ඇත. රේඩියෝවක් කරේ එල්ලා ගත් නිරුවත් මිනිසෙකු මුලු ඉන්දියාව දෙසම නොව සර්ව ලෝක හිතවාසී හුදී ජන සංස්කෘතිය දෙසම සිය කොල පැහැති ඇස් දෙක මහත් කොටගෙන බලා සිටී. 

දෙවියන් සොයා යන PK දෙවියන් සතුටු කරන්නට නොකරන දෙයක් නැත්තේය . සිය අසරණකමට දෙවියන්ය සිතා දෙවියන්ගේ නියෝජිතයන් යැයි පෙනී සිටින පුහුදුන් තැරැව් කරුවන්ට ජීවිතය කැප කරන හුදී ජන සංහතිය දෙසම PK සිය දෑස් දල්වා බලා හිඳී..

PK සිනාසෙන්නේ දෙවියන්ට නොවේ. PK හඬන්නේ දෙවියන් සතුටු කරන්නට නොවිඳිනා දුක් විඳින දුහුනන් වෙනුවෙන් නොවේ. PK හි උපහාසය එල්ල වන්නේ දෙවියන් දකින මිනිසුන් කෙරෙහිද නොවේ. බුද්ධිමත් මිනිසුන් තේරුම් ගත යුත්තේ එයයි. 

නොයෙක් වර්ගයේ මිනිස්සු දෙවියන් නොයෙක් ඇස් වලින් දකිති. ආගම් හෝ දෙවියන් පසුපස නොයා යුතු යැයි බොහෝ පණ්ඩිතයෝ දොඩති. තවත් සමහරු දෙවියන් සොයා පර්යේෂණ කරති. දෙවියන් හෝ ගැලවුම් වාදී කිසිවක් හෝ ආගම් ලොවට අවැසි නැතැයි සමහරු දොඩති. එය දියුණු මනස යැයි පවසති. 

මා දකින දෙවියන් සිටින්නේ මහ පොළවේය ! ඇතැම් දෙවියන් අප කරා පැමිණෙන්නේ කබා කෝට්  ඇඳගෙනය. ඇතමුන් කාර්යාල ඇඳුමෙනි.  ඇතැම් දෙවිවරුන් අපට පිහිට වන්නේ බස් රියේදීය. ඇතැම් දෙවිවරුන් උදේ හවා අපට සිනහ සී යන්නෝය. අඩු ගානෙ චැට් එකක් හෝ දමන්නෝය ! කඳුලු පිසින්නෝය ! 

අපට වඩා ඉහළ තලයක සිටිය හෝ සිටින උතුමන් කෙරෙහි බැති සිතක් උපදවා ගැනීමේ  මම නම් කිසිදු වරදක් නොදකිමි. පන්සලේ බුදු ගෙහි ඇති සිත නිවන තවන බව අපේ නිදන කාමරයෙහි නැත. බෝ ගසක් සෙවනෙහි ඇති දහසක් සැදැහැ සිත් වල බැති කිරණ ඔබට දැනී නැතිද ? පල්ලියේ අල්තාරයෙහි වැඩ සිටින සොවින් බර යේසුස් වහන්සෙ අබියස කිතු බැති නද මුසුව එන පියානෝ වාදනය දෑසේ කඳුලු නංවයි. හින්දු කෝවිලක පූජකයන් දෙව් පිලිමයක් කිරෙන් නහවා සත්කාර කරනු දකින විට මිනිසෙකුගේ මනස කොතරම් බැති බර විය හැකිදැයි සිත විමතියක් හට ගනී. 

දුකින් පෙලෙන මනුසත් වගට සැප මේ යැයි පෙන්වා  ප්රාර්තනාව මවා දෙන්නට දෙවියන්ට  බුදුන්ට හෝ පෙර පින් කළ උතුමන්ට නොහැක්කේය . එහෙත් සිතෙහි විස්වාසය පලා ගිය කල්හි, අසරණ බවින් සිත උමතු වූ කල්හි , තමන්ට පිලිසරණක් හෝ. නිසි මග පෙන්වන්නෙකු නැතයි කම්පාවට පත් වූ කල්හි අරක්කු බෝතලයක පිහිට පතනවා නම්, ඔබේ උත්සාහය අකර්මන්ය වනු වැලැක්විය නොහැක්කේය. සිත අරමුණෙන් ගිලිහී බෝතලයට ඇලී යනු නියතය. 

අසරණ වූ කල්හි , දෙවියන් බුදුන් සොයා යන මිනිසුනට මා දොස් නොකියන්නේ එබැවිනි. සොයා යන්නේ සරණකි. ඉන් පුහුදුනෙකු ගසා කෑම අනුමත කල නොහැකි එක වෙනම කතාවකි. එහෙත් සිය සරණ උදෙසා දෙවියන් බුදුන්ගේ ආශිර්වාදය පැතීම වරදක් නොවේ. පුහුදුන් මිනිසුන් ගේ වරද නම් , සිය ප්රාර්තනාව ඉටු කිරීමේ සම්පූර්ණ කොන්තරාත්තුවම දෙවියන්ට භාර දීම නොවේද ?

හදවතෙහි භක්තිය කුලු ගන්වා ගත් කළ යහපත් අරමුණුම සිතට එයි. දුදනන් නිරායාසයෙන්ම ඉවත්ව යයි. අරමුණෙහිම සිත එල්බ ගනියි. තමනට ආශිර්වාදයක් ඇතැයි සිතෙහි විස්වාසයක් හට ගනියි. අවදානම් ගැනීමට සිත සවිමත් වෙයි. දෙවියන් ලඟ ඇතැයි සිතෙද්දී වැරැද්දට බියක් හට ගනියි. 

PK පවසන බුද්ධිමත් පණිවිඩය එයයි. උත්සහය කොතෙක් වුව , ප්රවේසම කොතෙක් වුව , ජීවිතය වැරැදී යන අවස්ථා ඔබට තිබී නැතිද ? එය කර්මය යැයි හිත හදා ගැනීම කුසීත කමය .එයට එරෙහිව නිසි සැලැස්මක් නොමැතිව ආවේග වලින් සටන් කිරීම මෝඩ කමය ! සැලස්මක් හදා ගැනීමට තරම් සිත නොසන්සුන් විටක පියවර තැබීම අවදානම්ය . පස්මහ බැලුම් බලනවාට වඩා ආරක්ෂාකාරී පියවරක් තැබීමට මග හදා ගැනීමට සිතෙහි විස්වාසය හේතු වෙයි. 

මගේ හිතවතෙකු පැවැසූ කතාවක් සිහියට එයි. " වහින්න එන බව දැන දැන කුඩය්ක් නොගෙන ගමනක් යන එක මෝඩකමක්. වැස්සෙ නැතිනම් මිනිස්සු කියාවි අන්න පිස්සෙක් කුඩයක් ඉහළගෙන යනවා කියලා. වැස්සෙ තෙමි තෙමි ගියත් මිනිස්සු එහෙමම කියාවි. වැස්සෙ පාරක් අයිනෙ හෙවණක හිටගෙන ඉන්න පුලුවනි. ඒත් රෑ එලි වෙනකල්ම . වැස්සොත් එලියට ගන්න බලාගෙන කුඩයක් බෑග් එකෙ දාගෙන යන එක වරදක් නෙවෙයි නේද ??? " 

කිසිවක් කෙරේ විස්වාසයක් නොමැත්තාට අනාගතයක් නැත්තේය ! විස්වාසයක් නොමැත්තාට බලාපොරොත්තුවක ඈත්තේ රතු එලි පමණකි. ලෝකය සකස් වන්නේ රතු පාට ප්රතිලපලයකය . 

'සන්තියාගෝ නම් සැරිසරන්නා' ( The Alchemist ) හි පවුලෝ කොයියෝ මෙසේ පවසයි. 
"ඔබට යමක් අවැසි නම් , එය ඔබ වෙත ලබා දීම සඳහා මුලෝ ලෝකයම කුමන්ත්රණ කරයි"

PK වරක් මෙසේ අසයි. 
"දෙවියන් යැයි මිනිසුන්  වඳින්නේ සැබෑ දෙවියන්ටද ? දෙව දූතයන් යැයි මවා පෙන්වන ජාවාරම්කරුවන් මවා දුන් දේව ප්රතිරූපයකටද ? 

Pursuit of Happyness චිත්රපටයේ ' ක්රිස් ගාඩ්නර්ගේ කුඩා පුතු දෙවියන්  පිලිබඳව අපූරු කතාවක් පවසයි. 

"තාත්තෙ , ඔන්න එක මනුස්සයෙක් බෝට්ටුවක යද්දී කුණාටුවකට අහුවෙලා දියේ ගිලුනා. ඔහු සිය ජීවිතය බේරා දෙන්න කියා දෙවියන් යදින්නට පටන් ගත්ත. එවිට එනවා බෝට්ටුවක් , 
'නැහැ දෙවියන් පැමිණ මා බෙර ගනීවි. ඔබ යන්න' දියේ ගිලුන තැනැත්තා කියනවා. ආයිත් දෙවියන් යදින්නට පටන් ගන්නවා. 

යලිත් එනවා බෝට්යුවක්. ඔහු ඊටත් ගොඩ වීම ප්රතික්ෂේප කරනවා. දෙවිය්ණ් එන් තුරුම යදිනවා. 

අන්තිමේ එයා දියේ ගිලිලා මිය යනවා . ස්වර්ගයෙදී ඔහුට දෙවියන් හමුවෙනව. ඔහු නොසතුටින් මෙහෙම අහනවා, 
'මා ඔබට මෙතරම් බැතිබරව සිටියදිත් ඇයි ඔබ මා ගලවා නොගත්තෙ ?'

 දෙවියන් උත්තර දෙනවා, 
"මෝඩයෝ මම බෝට්ටු එකක් නොවේ දෙකක්ම එවුව , ඇයි එවාට ගොඩ නොවුනේ ?" 


PK ඔබට ස්තූතියි. PK සැබෑ ඇසින් දුටුවෙකුට සිදුවන්නේ දෙවියන් හෝ ආගම් එපා වීම නම් නොවේ. සැබෑ දෙවියන් දිස්වීමත්,  සැබෑ බැතිය කුලු ගැන්වීමත්, ජාවාරමට එරෙහි වීමත් පමණකි. 


Sunday, February 01, 2015

[315] අවන්හල් ජීවිත අභ්‍යාස


ජනාකීර්ණ පාරවල් , නාගරික අවන්හල් , කලබලයෙන් තොරව උදේ සවස සාප්පු සවාරි යන මිනිසුන්  දකිද්දී නාගරික හුදී ජනී ජන සංහතිය අස්සේ මට පොඩි පහේ චමත්කාරයක් දැනෙයි. සුවිසල් නගරයක ලාම්පු කණුවක් උඩ හිඳ සිටින කුඩා කලාමැදිරියෙකු මෙන් චූල හැඟීමක් විටෙක මට පහළ වෙයි. ඒ ඔස්සේම ගිලී ගිලී ඇතුලට යන විට මට ලෝකය ගිලෙන්නට මෙන් හැඟීමක් එයි. ලෝකයක් ගිල ගැනීමෙන් , දිරවා ගත නොහැකිව මා නම් ප්‍රාණියා පිම්බෙන්නටත් ලෝකය කුඩා වන්නටත් පටන් ගනී. එය මහත් විකාරයකි. 




දුහුවිලි නගරයේ ඇස් නිලංකාර වන වීදි ලාම්පු එලියට නිරතුරුව පරදින කුඩා කලාමැදිරි  ජීවයක් යයි මට සිතේ. කලුවරත් සමග මම නිවසට එමි. ඒ මොහොතේ පටන් රූප පෙට්ටිය දෙස නොකල්පනාවෙන් හෝ බලා සිටිමි. කුඩා සිනහවක් දෙකක් පිට කරමි. නිරන්තර සහ සදාතනිකව නිදන්ව ඇති මතකය පොඩ්ඩක් අලුත් කොට ගෙන නාසය රතුවන තුරු හඬමින් සිටිමි. තනිව සිටීමේ නිදහස !

මා කවදත් අවන්හල් වන්දනා කරන්නට කැමතිය . අවන්හල් තුල සිටින මිනිසුන් දෙස බලා සිටින්නටත් , උන්ගේ ජීවිතයට එබී , නොදු‍ටු දෑ සොයා යන්නටත් ඇති මගේ ආශාව කිසිදා හීන නොවෙයි. එක් දිනක් මහනුවර ආපිකෝ අවන්හල මැද හිඳ මා සිනහසෙන මුහුණු සෙවුවා මට මතකය . එවකට මාද සිනහසෙන මුහුණකි. පුදුමයකි ! මට පහ පොළව උඩ සිනහසෙන එකද මුහුණක් දැක ගන්නට උවමනාව බලවත් වූයේය ! 


එක් වරක් නොව සිය දහස් වර 
පිඟානෙන් නෙත් ඉවත යන්නෙය ..

නේක මසවුලු දෙසට මෑනුනු
ගිජු දෙනෙත් මග හැර සොයන්නෙය ..


සිනාවක් වැගිරී හැලෙන තැන 
එක්කො කිරිකැටි මුව පොඩිත්තකි 

මෙතෙක් දුර්මුඛ නොවූ මුහුණක
අසුන අසලක කිසි කෙනෙක් නැති..

එය අවාසනාවකි. යාබද අසුන නොසිස්ව තිබූ එදා මම ජීවිතයට සහ දහමට අභියෝග කලෙමි. එහෙත් මා පැරදුනෙමි. 



මීට මසකට පෙරද අවන්හලක් මැද මම හිඳ සිටියෙමි. උදේ පිබිදුනු නැවුම් සිතැතිව මම ඉතා සැහැල්ලූ ආහාරයක් ඇණවුම් කොට සුවපහසු ඩිවානයට පිටදී සිටිද්දී මට ලියන්නට සිතක් ආවේය. ලියන්නට පැනක් හෝ කොල කැබැල්ලක් නැති මොහොතේ වේටර කොලුවාගේ කමිස සාක්කුවේ පෑනද , මුදල් ගෙවා ලබා ගත් බිල්පතද පිහිටට ආවේය. එකකට එකක් නොබැඳුනු එක එක ජාතියේ සිතුවිලි ටිකක් එක පොදියක්ව ඡේද ඡේද බවට පත් වෙයි. සිත මෙන්ම සිරුරද සැහැල්ලු වෙයි. 

" මම දැන් අරුම පුදුම කුරුල්ලෙක්ගෙන් ගිලිහුන පිහා‍ටුවක් වගේ. වෙලාවකට වේගෙන් ගසාගෙන යන , ගහක ‍රැ‍ඳෙන , ගිනි හුලඟට කැරකෙන , අහස සිඹින පිහා‍ටුවක ඇති අද්භූතය මොකක්ද ? පිහා‍ටුවකියන්නෙ ගිලිහිච්චි දෙයක් . ඒක ආයිත් කුරුලු ත‍ටුවක නවතින්නෙ නැහැ. සුලඟට අවනත නොවී බරට පොළවෙ ‍රැ‍ඳෙන්නත් බැහැ . 
ඒ නමුත් උඩවැඩියා මලක් ඇමිණුව කෝට් සාක්කුවක ස්මරණීය මතකයක් වෙන්න, පින්තූරු එක දෙකක උජාරු මූණක් යට ‍රැ‍ඳෙන්න නම් පුලුවනි. පිහා‍ටුවකට එහෙම උනාට සදාතනික අගයක් නැහැ. ඒක තමයි අපි අකැමති ඇත්ත. 

මම හරිද , ලෝකය හරිද මම දන්නෙ නැහැ. ඒත් මම කිව්ව දේ යතාර්ථවාදී ඇති. ඒත් මම නිතරම ආදරේ කලේ යතාර්ථය ඉක්මවා ගිය ෆැන්ටසියට. දේදුන්නක් උඩ ඉඳගෙන රුවල් නැවක වගේ හබල් ගාන සිතුවිලි ! මම උදේ දවල් ‍රැ නැතුව ඔලුව රිදෙනකල් ජීවිතේ ගුරුත්ව කේන්ද්‍රය හොයනවා. වැරදි ලක්ෂ්‍යක් ‍තෝරගෙන සමබරතාව නැති කරගන්නව. මම ජීවිතේ හොයන අස්සේ තව සමහරු මාව කියවගන්න බැරුව පි‍ටු පුරවනව . අපි හැමෝම එකට පැටලුනු වල්ග වලින් සහ අත් හැරීමට නොකැමති දෑත් වලින් බැඳීච්චි අමුතු සත්තු රංචුවක් වගේ .

ජීවිතේ කියන්නෙ හරි අපූරු දෙයක්. ඒක දිහා බලන් ඉන්න එක භාවනාවක් වගෙම අභ්‍යාසයක් . ඒ ව්‍යායාමය අපව දැනුමැත්තන් වගෙම සානුකම්පිත සිත් ඇත්තන් බවටත් පත් කරනව "

සුන්දර කෝපි කෝප්පයක් , අයිස් පලමක් හෝ සැන්විච් කැබැල්ලක් තුල ජීවිතාභ්‍යාසයක් ගැබ්ව ඇතැයි සිතෙන්නේ කාටද ? 



Wednesday, October 15, 2014

[314] සුදු ලී වැටකින් වටවූ පිට්ටනිය සහ සිඟිති Mystique කොලනිය


දැන් මම සාඩම්බර කෝච්චි දරුවෙක් බවට පත්ව සිටින්නෙමි. කෝච්චියත් ඒ හා බැඳුනු ජීවිතත් දෙස බලා ඉන්න එකත් හරි අපූරු වැඩකි.. 

උදෑසනම රත්මලාන දුම් රිය නැවතුම වෙත තෙරෝද රියෙන් යන්නේ දුර වැඩි හෙයිනි.  එතැන් පටන් දවසේ රේස් එක ඇරඹෙයි. රේස් දුවන ගමන් රේස් දුවන අනික් උන් දෙස විපරම් කිරීම හරිම ආසා හිතෙන සෙල්ලමකි. ඔක්කෝම එක හැල්මට දුවති. දුවන්නේ පෝලිමට එක් වෙන්නටය . ටිකට් ගන්නටය . නුදුරේ එන දුම් රියෙහි එල්ලෙන්නටය. ඊට පසු හොඳ තැනක් අල්ලා ගන්නටය . මඳ ප්‍රමාදයක් පාඩු ගොඩකට හේතු කාරණ වෙයි. ජීවිතේත් ඒ වගේ නොවැ.

දුම් රියට නගින ගැහැණු අප නම් , පාඩුවේ සින්දුවක් අහගෙන යනවා විනා කුමක් කරන්නද ?. පිරිමි ඈයෝන්ට නම් තියනවා නොවැ ගැහැණු ලමයින් දිහා බලන්නට !  

ගැහැණු ලමයින් වේවා , නැන්දලා වේවා , දුම් රියේ යන හැමෝටම ආගන්තුක අමුත්තන් හඳුනා ගැනීමේ පුදුම ඉවක් තිබෙයි. ඒවා ට ලක් වෙවී , වට පිට බල බලා , ට්‍රැෆික් නැති කෝච්චි පාරෙන් වැඩට හා ගෙදර යාමට ලැබීම නම් භාග්‍යයකි.(කෝච්චියට ජය වේවා !) 


කවදත් වාගේ පූර්විකාව කතාවකට වඩා දික් වෙයි. 

දුම් රිය ගල්කිස්ස පසු කරයි.. ඇසිල්ලෙන් මා දුටු දසුනෙන් මවිත වෙමි. ගල්කිස්සත් දෙහිවලත් අතර ඉතා කොළ පැහැති හරි හුරුබුහුටි පිට්ටනියක් පසු වෙයි. ඒ ලස්සන කුඩා පිට්ටනිය කුමක්ද ? ඒ පිට්ටනිය වටේට ලී තීරු පේලියට හිටවා ගැසූ කොට වැටකි. [ඒවාට කියන්නේ පිකට් ෆෙන්ස් නේද? ] ඒ පිට්ටනිය වටා සුන්දර කුඩා ගම්මානයක් වාගේ එකකි. බටහිර පන්නයේ උස් වහලයන්ගෙන් සුසැදි සුදෝ සුදු හුරුබුහුටි කුඩා ගෙවල් ගොන්නකි.  සිත කුතුහලයෙන් පිරෙයි. මේ පුංචි කොලනිය කුමක්ද ? මා එන්ගලන්තයට හෝ උතුරු අයර්ලන්තයට ගියාවත්ද? මා සිහිනයක්වත් දකිනවාවත්ද ?  මා මනෝ ගසන අතරතුර , එහා පැත්තේ හිටගෙන ජැක් ගසන මැදිවියේ මහතා , මා දකින්නේ සිහිනයක් නොවන බවත් , ඒ සිටින්නේ උතුරු අයර්ලන්තයේ නොව ශ්‍රී ලංකාවේ පොදු ගමනාගමනයෙහි යෙදෙමින් බවත් සනාථ කරයි. 

අද සවස මා දුම් රියට ගොඩ වන්නේද ඒ කුඩා සිඟිති ගම් පියැස්ස දෙස හොර බැළුම් හෙලන්නට නොතිත් ආශාවෙනි . වාසනාවට දුම් රිය තදබද නොවූයේය. ඉතා සාමකාමී  හැන්දෑවකි. ඉරිදාවක ගල්කිස්සට යා යුතුද?. ගොස් ඒ ගම්මානය කුමක්දැයි සොයා බලා එන්නද ? ඇත්තටම ඒ මට විතරක් පෙනෙන ,මලවුන් වෙසෙන අද්භූත ගම්මානයක්ද ?  යද්දී එතැන ගම්මානයක් නැති මුඩු බිමක් හෙම නම්  !!!!! මට මොනවා හිතෙයිද ? කොහොමට හිටීවිද ?

හොඳයි , ගම්මානය හමු වුවොත් ????? අහෝ එතැනින් මගේ කුතුහලය සන්සිඳවෙනවා නොවේද ? . එපමණක් නොව එතෙකින් ඔබ්බට , මට සිහින මවන්නට , අරුම පුදුම අභව්‍ය කතා ගොතමින් මනෝ ලොවක සැරිසරන්නට තරම් සෑහෙන , කුඩා ගමෙහි ෆැන්ටසිය අහවර වෙයි. යථාර්තය දිස්වෙයි. ඒ සිඟිති රාජධානිය පසු වන වාරයක් පාසා එබී බලා හිතෙන් ගොතන කතාව නිම වී , දුටු වනම දැනුවත් බවෙහි ඕලාරිකත්වයට නතුව අහක බලාගන්නට මට සිදුවෙයි. අරුමය ඉවර වෙයි. කොටින්ම මේ බ්ලොග් පෝස්ට් එකම ලැජ්ජා හිතෙන තාලේ අමන විහිලුවක් බවට පත් වෙයි.

මා එහි නොයන්නට තීරණය කරමි. 


ඔබට Big Fish  මතකද ? Tim Burton ගෙතූ , කොතෙක් නැරඹුවත් එපා නොවන , ඒ අරුම පුදුම නිර්මාණය. කතන්දර කියන , කතන්දර වලම ජීවත් වන , එඩ්වඩ් බ්ලූම් ! එඩ්වඩ්ට හමුවන කාල් නමැති අසාමාන්‍ය උසින් යුත් යෝධ මිනිසා ! 


කාල් සමග නගරයට යන අතර තුර , එඩ්වඩ්ට වන අරණ තුලින් හමුවන Spectre නම් සොඳුරු කුඩා ගම්මානය මතකද ? මේ කුඩා දසුනෙන් මා සිත දිව යන්නේ Spectre වෙතය. එහිදී එඩ්වඩ්ට ආලයෙන් බැඳෙන ජෙනී මතකද ?  වියපත් වනතුරුම එඩ් කෙරෙහි ආලයෙන් සිට , සිය ගරා වැටුනු නිවසත් සමගම දිරා ගොස් ,  මන්තරකාරියක වූ කුඩා ජෙනී ! 



ගමට පැමිණෙන අමුත්තන් හට ආපසු යා නොහැකි වන ලෙස , ලණුවක එල්ලා තියන සපත්තු ! නිරන්තර සිනා මුසු මුහුණු. පද කිහිපයකින් ඔබ්බට කිසිදු කවියක් ගොතා ගත නුහුණුව සිත් තැවුලට පත් වූ ශ්‍රේෂ්ඨ කිවි නොදර් වින්ස්ලෝව්. !යුද සමයෙහි එඩ්ගේ සහයට එන දෙමුහුන් සොයුරියන් !

 දුම් රිය නැවතුම් පහක් පසුවන කෙටි දුරෙහි , මගේ සිත බොහෝ ඈතට ඇදී යයි.

 මේ කුඩා තණ පිට්ටනිය සහ ගෙවල් පෙල දකින මම නොදැනුවත්වම මහා සිහින ආවලියකම පැටලෙමි. 

දැන් ඉතින් ඔබේ වාරය ! ඔබ තේරීමක් කළ යුතුව තිබෙයි. නිරන්තර ගාලු දුම් රිය මගෙහි යන එන ඔබට අරුමයක් නොවූ මේ සුන්දර සිඟිති රාජ්‍යය සැබවින්ම කුමක්දැයි ඔබ මට හෙලි කරනවාද නො එසේ නම් මට රිසි තරම් නානා විප්‍රකාර වැල්වටාරම් ගොතන්නට ඉඩ දී ඔබේ යතාර්තය ඔබේ හිතටම ගුලි කරගන්නවාද ? 

අහ්... අමතක වූවා නොවැ. දැනටමත් ඒ සිඟිති දිවයිනට තිබෙනවා නමක් ....   ඔබ මොකද හිතන්නේ 'Mystique ' කියන නම ගැන .. ?

දැන් ඉතින් ඔබේ වාරය !

"That was my father's final joke, I guess. A man tells his stories so many times that he becomes the stories. They live on after him. And in that way he becomes immortal"

Tim Burton - Big Fish (2003) 


Thursday, October 09, 2014

[313] බස් එකේ විරිදු කී කුඩා දැරිවිය ...


 දවස අද බොහෝ දිගය . දුම්රිය සේවකයන්ගේ හිතුවක්කාර වර්ජනය නිසාවෙන් මහ මග බස් රථ උදෑසන ගෑටුවේ ඉබි ගමනින්ය . ඒ අස්සේ පාරේ වලවල්ය. වැස්සය . උදේ කියන්නේ මේ වගේ එකකට නම් නෙවේය . 

 දවස ගෙවී ගියේත් ඉබි ගමනින්ය. ඒ වැඩ අටෝරාසියක් ඉගෙන ගන්නා මගේ සංක්‍රාන්ති කාලයේ හැටිය.  
මොනවා කරන්නද ? අලුත් රැකියාවක්. ඉගැන්නිල්ලට දෙවෙනි නැත. 

දවස ගෙවී ගොස් පහයි තිහ වැදෙද්දී උදේ සිට මහ මග ඇල්ලු අඩවු ඔක්කෝම අමතක කොට ගෙදෙට්ට පැනගැනීමේ මහාභිලාෂයෙන් මොරටුව බසයට නැග ගතිමි.  කෙමෙන් කෙමෙන් පීරි යන සෙනගට ඔච්චමට මෙන් , අහස කලු වෙවී වැස්සක් පෙන්නා නොපෙන්නා යයි. සිටගෙන දෙපා කෙඩෙත්තුවෙන් පෙලෙමින් සාරියකිනුත් සැරසී සිටින මට අද නම් එපාම කරපු දවසක්ම වූයේය. ඒ මදිවාට කනට ගසා ගන්නට ගී කියන ඇබ දෙකත් නැත. දුරකතනයේ බැටරි බැහැලාය. චාජරය ගෙදර අමතක වුනේය ! හපොයි මෙහෙමත් දවස් ! 

වැල්ලවත්ත පසු කොට දෙහිවල පාලම පන්නා ගැනීම එවරස්ට් නැග නිරුපද්‍රිතව ගෙදරට ලඟා වීම තරම්ම දීර්ඝ වෙහෙස කර කටයුත්තක් වන්නේ බස් ඩ්‍රැයිවර මහතුන්ටය, එය බලා ගෙන , බසය ඇතුලේ දහඩිය දුගඳ , උණුසුම් දාහය යනාදී කුණප ඉවසා සිටින අපට දෙතිස් මහා කෙඩෙත්තුවම සෑදීම අරුමයක් නොවේ.  

වැඩ ඇරී වෙහෙසව බසයට ගොඩ වෙන වෙලාව යනු, මානසිකත්වය ඉතාම නරක වෙලාවකි. වැරදීමකින් කකුල පෑගුනත් , පෑගූ තැනැත්තා දවා හලු කරන්නට තරම් කෝපයක් එයි. කවුරුන් හෝ හදිසි තිරිංග තදවීමකින් ඇණ්න්ගේ හැපුනත් මරාගෙන මැරෙන්නට සිතෙයි. වෙහෙස විසින් අප කැරලිකාර කොකු කාරියන් කරන්නේ හවස් යාමයටය. එහෙත් මට වාරියපොල නංගී කෙනෙක් වීමටත් බැරිය. 


බස් රථය දෙහිවල පසු කරද්දී චුරු චුරු වැස්සක් ඇද හැලෙන්නට වෙයි. හපොයි, බාගෙට ඇර තිබූ ජනෙල් එක දෙකත් වැසෙයි. මිනිසුන්ට හුස්ම නොගෙන සිටිය හැකිද ? බැරිය. හරියට ආදරේ නැතුව ඉන්න බැරිවා වැනිය . ගල්කිස්ස ලං වෙද්දී වැස්ස තුරල් වෙයි. වීදුරු එක දෙක ඇරී දුර්ගන්ධ වාතය එලියට පැන ගනියි. අපට සැනසිල්ලක් දැනෙයි. 

පුංචි මල් වැස්සක් වාගේ ඕන්න ඇය බසයට ගොඩ වුනාය . 

විරිදු රබානක් අතින් ගෙන ,කුඩා හම් බෑගයක් කරේ ඇලයට එල්ලා ගත් අවුරුදු දහ පාලොහක ලමිස්සියකි. මම ගෙල දික් කොට ඈ පසුපසින් එන අන්ධ තාත්තා හෝ අම්මා සෙවුයෙමි. එක්කෝ අක්කාගේ ගවුම් කොනෙහි එල්ලී එන හොටු පෙරාගත් මල්ලී සෙවූයෙමි. නැත ! ඈ තනියම. අරුමයකි. ඈ මේ ගොම්මන් වෙලාවේ තට්ට තනියම බසයට නැග ඇත්තේ විරිදු කියන්නටය.  කීයක් හෝ සොයා ගන්නට කොතරම් අරුම රැකියාවක්ද ? වෙසෙසින්ම මල් වයසේ කෙල්ලෙකුට ??? බසයේ මැදට විත් විරිදු රබානට තට්ටුවක් දාගෙන ඇය ආසනයකට වාරු ගනිමින් උගුර කට පාදයි. මගේ පුදුමය එන්න එන්නම වැඩි වෙයි. 

ඈ හරි පිරිසිදුය . පිලිවෙලකට සායක් හැට්ටයක් ( දුප්පත් කමේ කුඩා කඩතොලු තිබුනත්) හැඳ රබර් සෙරෙප්පු කුට්ටමක් ලාගෙන කොණ්ඩය ගොතා සිටින ඇයගේ වැඩි සුකුරුත්තන් බවක් නැත. මහා වේලෙන දුප්පත්කමකුත් නැත.  

ඈ හඬ අවදි කරන්නීය. වැහි බීරුම කපාගෙන ඇගේ අපස්වරයෙන් ගැයෙන ගීතය මට ලතා මංගේෂ්කාර්ගේ මධුර හඬ ගෙනෙන මිහිර නොගෙනා බව කිවමනා නොවේ. එහෙත් කිසිදු වෙවිලිල්ලකින් තොරව දෙනෝ දාහක් බලා සිටින බසයේ හරි මැද සිටගෙන ගී ගයන්නට තරම් ඈට කොතරම් නම් ආත්ම ශක්තියක් තිබිය යුතුද ? පොඩ්ඩක් හෝ ඇහැට කණට පෙනෙන දුප්පත් දැරිවියන් අවකලුන්ගේ ග්‍රහණයට නතුව සුසුම් ලද්දී, ගෙයි දොර මුල්ලේ අනාථව හඬා වැටෙද්දී , මෙහෙකාරකම් කරද්දී , මේ පැන්චී හරි අපූරු ජීවනෝපායක් හොයා ගෙන නොවේද ? කක්කුස්සි වත්තේ චුට්ටිලා මානව හිමිකම් වෙනුවෙන් අරගල කරද්දී , අම්මා තාත්තා නැතැයි ඇත්ත ( විය යුතුය!) කියා , රබානක් වයා ජීවත් වෙන මග සොයා ගන්නා මේ පැන්චීට ඇති දහිරියෙන් බින්දු කාලක්වත් මට තිබේද ? බසයේ සියලු දෙනා ඈ දෙසම බලා සිටිති. ඈ තවත් විරිදුවක් ගයා , බුහුටි අයුරෙන් ඇඟිල්ල මත රැඳවූ රබාන කරකවමින් ශ්‍රාවකයන්ගේ ආධාර වෙනුවෙන් පැමිනෙන්නීය. ඉදින් මේ ආධාර ගෙන බසයෙන් බසින ඈ ගැනත් මට කල්පනා වෙයි. 

කුඩා ලෑලි පැල් කොටයක ගඩොලු දෙක තුනක් මත මුට්ටියක් තියා , දවසේ එකම රෑ බත සරි කරන විරිදු කාරී. ඈ අසල අත් මදිමින් බලා ඉන්නා කුඩා මල්ලී. කූප්පි ලාම්පුවේ එලියෙන් රබාන පිසදමන විරිදු කාරී. පසුදා පාසල් යන්නට ගෙදර වැඩ කරන විරිදු කාර දැරිවී.  කුඩප්පාත් අම්මාත් රණ්ඩු වෙන පැල් කොටයෙන් ඈත්ව මුහුද දෙස බලා සුසුම් ලන විරිදු කාර පැන්චී. මල්ලිලා නිදි කොට , ගල්කිස්ස හෝටලයේ එලි දෙස බලාගෙන ගංජා සුරුට්ටුවක් අදින විරිදු කාරී.

මම කල්පනා දාමය එතැනින් බිඳ දමමි. කල්පනාවන් දුර ගෙන යාමට මට අයිතියක් නැත.  මම මා වෙත නෙත් හෙලා සිටිමි. රැකියාව නිමවී නිවසට විත් කකුල් උඩ තාබාගෙන තේ බිබී , දුරකතනයෙන් මිතුරන් අමතමින් , කාලය කාදමන මම ! මමම උයා , මමම එය ගිල දමා බඩ උඩ දමාගෙන ගොරවමින් නිදන මම ! අන්තර්ජාලයේ සැරිසරා මෙසේ බ්ලොග් පෝස්ට් එකක් ලියා , සිතැඟි වලින් ලොව පෙරලන්නට ප්ලෑන් ගසන මම !

මට හුස්මක් පිට වෙයි ....

යලිත් මා පියවි සිහියට එමි. කාටවත් නොපෙනෙන්නටඈ වෙත ගොස් , රහසින් ඇගේ කණට කොට , කුඩා යමක් කියන්නට මට සිත් වෙයි . 'පැන්චියේ , ජීවිතේ මොකක්දැයි උඹට තේරෙන හැටියට මටත් කියා දීපන් !' 

එහෙත් ඈ තවත් බසයක් සොයා බැස ගොසිනි. මා තවම අසුනෙහි හිඳ නැවතුම එනතුරු තැවුල් සිතිනි. 



Wednesday, October 08, 2014

[312] බැක් ටූ කලම්බෝ කලම්බෝ ජීවිතයට !




 ජීවිතය ප්‍රත්‍යාවර්තී ලෙස යලි උදා වෙතැයි නොබෝ දිනෙක මම ලියුවා මතකය. මේන්න කියූ ලෙසින්ම ජීවිතයේ තුන් වෙනි වතාවටත් මම කලම්බෝ ජීවිතයට ආගමනය වී සිටිමි. මගේ තීරණ වල හැටි එහෙමය . එහි කිසිම කමසෙයියාවක් නැතැයි කෙනෙකුට මතු පිටින් බලද්දී හිතෙයි. ඒත් ඒ මතුපිටින්ය . ඇතුලතින් කිඳා බැලුවොත් තැනින් තැන බොහෝ විද්වත් වැඩිහිටි සංවාද , තවත් විටෙක කුරුටු ගෑ ස්වොට් (SWOT) ඇනලිසිස් පවා තිබෙනවා දැකිය හැක්කේ එහෙමත් කෙනෙකුටය ! 

ඔයින් මෙයින් ඒ කෙසේ වෙතත් , ආයෙමත් ඇනෙක්සි ජීවිතයකට අවතීර්ණ වූයෙමි. ඒත් මේ වතාවේ , නිස්කලංක, ගහකොලින් සුසැදි , නිහඬ වටපිටාවක , අහස සිඹින තුන් වෙනි තට්ටුවකට සිහිල් තැනක නැංගුරම් ලන්නට වාසනාවන්ත වීමි. මගේ මුල්ම කොලඹ බෝඩිම වූ රජගිරියේ සුනීතා ඇන්ටිගේ නවාතැනෙහි ,ඇගේ පින්බර ආදරනීය අම්මා කෙනෙකුගේ වැනි දයාබරත්වයත් අන්කල්ගේ තාත්තා ගතියත් මධ්‍යයේ වුවද ,  පාරට නුදුරු දුහුවිලි වලින් වැසී යන නිවසෙහි උණුසුමෙහි තිබූ පීඩාවත් සිතට එයි. උණුසුම දරාගත නොහැකිව රෑ එකට පවා නාන එක ඉවසන් හිටි ඇන්ටිලාට මගේ ප්‍රණාමය! 

මෙවර මගේ ඇනෙක්සි ජීවිතය කුඩා කාමරයකට සීමා නොවී හින්චිත්තන් ගේ පොඩිත්තක් දක්වා වර්ධනය කර ගතිමි. කුඩා නිවසකට අවැසි පොඩි පොඩි ගෘහ හා විදුලි භාණ්ඩ ටික මා සපුරා ගන්නේ නුවර ගතකළ තුන් අවුරුදු රැකියාවෙන් කළ ඉතිරියට පින් සිදු වන්නටය !  

නැවේ රැකියාවෙනුත් සමුගෙන සිය වයස්ගත බිරින්දෑගේ බයිපාස් සැත්කමෙන් දුර්වල වූ හදවත සුවපත් කරමින් ඈ හා දවසම ගෙදෙට්ට වී ගත කරන වයස්ගත යුවලක් මට අනෙක් පස නිවසෙහි වෙසෙති. ජීවිතයේ සැඳෑ සමයෙහි ඔවුන්ගේ සතුට , ස්කයිප් හරහා මුණුබුරන් දැකීමය . ජීවිතය ගැන පහන් හැගුම් යලිත් මතුව එන්නට, අනාතුර ( අඩු ගානේ ටිකක් හෝ අනාතුර) මිනිසුන් වට කරගෙන සිටීම යහපතකි.  

බසයෙන් බැස ඇවිද එන කුඩා දුර ප්‍රමාණයෙහි ෆුඩ් සිටිය ඉදිරිපස හිඳ සිටින තරුණ මවත් , ඈ ඇකයෙහි , 'අම්මාට හරි හම්බ කරගන්නට නිමිති සපයන' රූබර පොඩිත්තාත් පසු කර යමින් මට දැන් සුසුම් හෙලිය හැකිය. ඉඳ හිට ඇගෙන් හඳුන් කූරු පැකැට්ටුවක් ගන්නේ බුදු පහන් දල්වන්නට නොව , සාරි වල වාටි පුච්චන්නටය. 

පසු ගිය සති අන්තය ජීවිත කාලයේ නිවාඩු තිබූ දුලබ සති අන්ත වලින් එකක් වූයේය ! ඒකට පින් සිදු වන්නට , ගෙදරින් ගෙනා හාරසියයක් පමණ කතා පොත් කොටස අස් කරමින් මම තෘප්තිමත් වරුවක් ගෙවූයේ කලකට පසුවය . 




ජීවිතය මෙසේය. ප්‍රත්‍යාවර්තී ලෙස යලි උදා වී ඇත්තේ කෙබඳු කලක්දැයි නොදනිමි. කඳු මුදුනට නැග ජීවිතයේ උස බැලීමි. (ඔබට මතකද?) එය බොහෝ උස් කඳු අතරෙහි චූල කඳු මුදුනක් බව සැබවි. උත්සහය විසින් මා තෘප්තිමත් ව්‍යවසායිකාවක කොට ඇත්තේය. ජීවිතය දෙස අමනාපයෙන් නොව පහන් සිතින් බලා සිටිමි. නොමැකෙන මුහුණු ඇතිනම් එකකි. එය බිත්තියෙහි අලවා තැබිය යුතු නැත්තේය . එය නිබඳ හද මුද්‍රාවක රවුමට නෙලා තිබේ. 

මම ජීවිතය දෙස බලා සිටිමි. ජීවිතයේ උස බලන්නට කඳු නැග බැලූ අවසන , දිග පළලත් බලනු රිසිව ගංගාව දිගේ ගල්පර වල හැපී , නැගිටිමින් , පිහිනා යන්නට උගනිමින් සිටිමි. තනිව පිහිනීම සැබවින්ම මා අරඹන්නට දශක තුනකුත් ඉක්ම යනතුරුම සිටි බව පසක් කොට සිටිමි. මෙතෙක් මව් ඇකයෙක කිරි දරුවෙක් මෙන් ජීවිතය යදිමින් හඬා වැටුනු බව පමණක් පසුතැවිල්ලෙන් සිහිපත් කරමි.  

එම්බා ජීවිතය , මෝය කටෙහි බලා හිඳින්න , මා පිහිනන්නට උගෙන , පිහිනාගෙන කවදා හෝ සයුර දකින්නට , මේ දුර ගෙවා ගෙන එන්නෙමි. 
 

Saturday, September 06, 2014

[311] සුදු ඇඳගත් සඳ

 
 

සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට 
රිදවුනු සිත ගෙන යයි කඳුලැලි ගං ඉවුරට  
ඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දෑවට 
ඒ ගං ඉවුරට  ...

බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුනි මට 
ඇයි දැයි දොස් පවරන සඳ සිත  
නුඹෙ වරදද මගෙ වරදද ?
එය මා දන්නේ නැත 

නුඹ මා ලොව කලුවර කොට පැන ගිය පලියට  
කෙලෙසක දොස් පවරමි නුඹ හට 
කිසි කෙනෙකු නොදුන් ආදරයක් 
නුඹ මට දුන් කොට ..

 සඳට විරාජමාන වන්නට තවත් දවසක් දෙකක් ඉතිරිව තිබෙයි. එතෙක් ඉවසා සිටීම අපහසු හෙයින්දෝ වළාකුලු එක දෙකක් සුලඟට ඈත් මෑත් වන ඇසිල්ලෙන් සඳ සිය කිරි සිනහා එළි එක දෙකක් මහ පොළව වෙත එවයි. බිම බලාගෙන ඉසිකෝ මන් හද දරාගෙන චමත්කාරී රැය ඉවසා වදාරන කාලකණ්නි පොළොවටත් සුලඟටත් ඒ සඳ පෙනෙයි. ඒ හීල්ලීම් සඳට වගක් නැත. සඳට පෙනෙන්නේ  නුදුරෙහි එන රාත්‍රී පොහෝ සැණකෙලියට ලෝකයම සැදී පැහැදී සිටින වග පමණකි. 

හෙට උදාවන සුපුරුදු අරුණාලෝකය මිස අහස ගුගුරා එන අනපේක්ෂිත මහ වැහි කෝඩයක ලකුණු , ප්‍රේමාන්ධ වූ සඳට නොපෙනෙයි. දිගු කාලයක් එකට හිටි එකාකාරී පුරා වස් ගණනාවක අවසන , පොළව සඳ සමග ගනුදෙනු අත් හරින්නේය. එහෙත් ඒ පෙනෙන හැටි පමණකි.  අහසත් සඳත් කිසි ලෙසකින් උනුන් හැරයන්නෝ නොවෙති. ගතවන දිවා විරාමයෙන් ඉක්බිති ඔවුනොවුන්ට රාත්‍රිය කියා උන්ගේම මොහොතක් මග බලා සිටී.

එහෙත් , එක් දිනෙක, 

සඳ නලලත සිපගෙන , උදෑසන අඳුරුතම පැය සටහන් කරමින්, අහස වේදිකාවෙන් බැස යන සුපුරුදු අන්ධකාර හෝරාවය . වෙන කවරදාටත් වැඩියෙන් උණුසුමෙන් , සෙනෙහසින් , ආලයෙන් මෙන්ම හද කම්පා කරවන තරම් මෘදු හඬින් ' ආදරෙයි ' කියා අහස මුමුණයි. සඳට එය වටහාගත නොහැකි වෙයි. අහසටද වටහා දෙන්නට තරම් කිසිවක දැනුවත් බවක් නැත්තේය. විස්තර කළ නොහැකි මූසල වෙන්වීමේ ඉඟියකින් , නොහොත් ඉවකින් , අහසත් සඳත් යටි සිතෙන් බීත වී සිටිති. . අහසත් සඳත් නො එන රැයක් තිබේද ? උනුන් සිප වැලඳ නොගන්නා දිනයක් ඒද? නැත . උන් යටි හිතට ක්යා හිත හදා ගන්නේ එහෙමය .

හිමිදිරි සීතල තුරල් වෙන පාන්දර , සඳ සෙමෙන් මුහුණ අඳුරු කරගනී.  එලැඹෙන නුදුරෙහි අහසත් සඳත් එකම රාත්‍රියක නිසි නිවිසැනසිල්ලේ නොබියව විරාජමාන වන පොහෝ සැණකෙලිය සිහිපත් කරමින් සඳ තැවුල් මුහුණ සිනා වතින් පිසදා ලන්නීය. අහස සිය රළු පරළු, හැඟීම් විරහිත යයි පෙනෙන , එහෙත් බොහෝ දුක් හා රිදුම් තැවුල් දරා ඉවසන දැඩි මුහුණින් උදා දොරකඩ වෙත පියමනී. පසු පස්සේ වැටෙන සඳ , අහස් ගැටියෙහි ඇතිල්ලෙමින් සමු ගැන්මේ සිහිවටනය නොකියා ඉල්ලමින් එකෙල මෙකෙල වෙයි. වෙනදා මෙන් එය පමා නොවෙයි. ඇසි පිය හෙලන ඇසිල්ලෙන් , සිය විසල් අහස් තලයෙන් එක් බිඳිත්තක් වන් කුඩා සඳට ඉවැසීමෙන් යුත් එක් නළල් හාදුවක් උණුසුමින් තෑගි දෙන අහස , කම්මුල් හරවමින් , ප්‍රති සිහිවටන ඉල්ලා සිටියි. එය සැබෑ සමුගැන්මක් තරම්ම සංවේදී වූයේ , හැඟුම් හා ඉව , සදෘශ්‍ය විචල්‍යයනට වඩා ප්‍රබල නිසාද?

'Love you'  ඉතාමත්ම චමත්කාරජනක සන්ධ්‍යා හමුවීම් එක දෙකක අතිශය රොමෑන්තික ආදර කඳු මුදුන් දැක පහන් වෙද්දි පමණක්ම , හඬ බිඳී මෘදු සරින් විසිරුනු එම වදන් , එදා අඳුරු පැහැගත් කාල මීදුම් එතෙන මූසල හිමිදිරියේද , ඒ මුදු සරින්ම ගිලිහුනේ,  අවසන් වතාවට යැයි සඳටවත් අහසටත් නොසිතෙන්නටම ඇත. 

'පරිස්සමෙන් යන්න. මේ දවස් ටික පරිස්සමෙන් ඉන්න' 
සඳ , වෙන කවදාටත් වඩා මෝරා ගිය වැඩිහිටිකමකින් , තමන්ට වඩා බොහෝ දැනුම් තේරුම් ඇති අහසට දැනමුතුකම් දෙයි.  ආදර බැල්මකින් , කුඩා සඳට ප්‍රතිචාර දක්වමින් සමුගෙන යන අහස , හිමිදිරිය පෙනි පෙනී ආයිත් හැරී එයි. යා යුතු යැයි හද නොපිලිගන්නේද? 

' වහින්න වගේ නේද ? ඇයි ඒ ?' පිලිතුරු නැති පැනයකට උරිස් හැකිලෙන සඳ වෙත යලිත් එන අහස , යලිත් හාදුවක් තබා හිමිදිරිය වෙත හැරී යන්නේය . 

මෙදින පවසමි  ,
සහසැස් මිසක , එ'සුදු සොමි රැස් හෝ , එ'සඳ වැලඳ ගත් අහස හෝ එදිනෙන් පසු යලිත් නොවැලැඳැගත්තෝය. ඉනික්බිති එලැඹි රාත්‍රීන්හි වට මහ වැසිද , ඉන් තෙත්බරිව විසුණුව ගිය වේදිකාවද නිමිති කොට සඳ සහ අහස නාඳුනන්නන්ගේ මානයට ගෙන ගියෝය.  

නාඳුනන අතෝරයන්ගේ බල පරාක්‍රමයන්ට පින් සිදු වන්නට , සුදු ඇඳගත් සඳ , වැස්සේ තෙත්බරියන් වෙමින් , තෙමී ලෙඩ හදා ගන්නේ යැයි තරවටු අසමින් , වස්සානය අවසන් වෙතැයි සිතන්නීය, පෙරුම් පුරන්නීය . අහසෙන්ද ගැරහුම් ලබන්නට තරම් සඳට අමාවකම හිමි වන්නීය. මහ වැස්සෙන් පසු අහසද එම අහසමමැයි පතන්නිය. 

තවමත් රාත්‍රීන්හි සඳ එබෙන්නීය. කලා පුරන සඳ වෙනදාටත් වඩා දිලෙන්නේ යැයි පවසන්නේ කෙබඳු සිතකින්ද? ලෝකයක් එලිය කළ යුතු යැයි සඳ බිහි කළ හිරු , පිලිණ ගති. වැසි දියෙන් ආතුර සිතින් , සඳ , රාත්‍රියෙහි අන්ධකාරය , අහසක් නැති කැඩී බිඳි සුන් බුන් වූ වේදිකාවෙහි තවමත් දිදුලවන්නේ එහෙයිනැයි අහසට සිතා ගත නොහැකි වීම විස්මයක් නොවේ. 

 
සිතුම් සුලඟක ඇමිණී

හැඟුම් කෙම්බිම් සරමී
සුසුම් පැහැ තවරමිනී
කවක් සඳ මුව මිමිණී ... 


‍රැස් දෙන ඉරට ලං විනි
ලත් හිරු ‍රැසින් මත් විනි
මල් සර විතෙන්  විස ඉනි
නෙත් අඳ සඳක් ඇවිලිනි    ... 




සුපෙම් අහසක් අහිමි
සොවින් සඳ මියැදෙමිනි
සසර හුරු ඇස් හැඟුනි 
යලි අහසෙ  සඳ උපනි..





මැකී යලි සඳ පිපුනී
පිපී සඳ බොඳ නොවිනී
මසින් මස මෝරමිනි
සඳින් අහසද උපනි....


සහසැස් සිඹින අහිමි
අහිමිව නොහෙනු හඬමි
හැඬු නෙත් සිඹින ම'හිමි
හිමි නුඹ අහිමි නොහෙමි....

වරෙක සුනිල් එදිරිසිංහයන් , ඉතාමත්ම වේදනාබර ආයාචනාවක් , ලිහිණි කුරුල්ලන් වෙත ගෙන හැර පාන්නේ , සිත ගත් ප්‍රියයාණන් සොයා පියඹා ගොස් , මා මිය යන බවක් හෝ පවසා, ප්‍රේමණීයයා තමන් බලන්නට ගෙන්වා ගන්නැයි කියාය . එය මරණ තර්ජනයක් පෙන්වා සිතුම් ඉටු කරගැනීමකැයි අර්ථ දක්වන්නේ කවුරුන්ද?  

අහිමි කමේ ආලාපයන් මත්තේ සඳට පායා නොසිටිය නොහැක්කේය. අන්ධකාර රාත්‍රියට කුඩා සඳ පහන එලි දෙන්නට පිලිණ දී ඇත්තේය . අහසෙන් මුවා වී සඳ කෙසේ පායන්නද ? වළාකුලක හැංගීගත් සඳෙහි , තවත් ගැඹුරට හෑරී ගිය සදාතනික ආවාට වල එක්තැන්ව පැලැහෙන ලුණු රසැති රතු කඳුලු නිරතෘවම , සුදු රැස් දහරින් සෞම්‍යව පවතිතැයි , දූත ලිහිණියෙකුගේද නිගමනය වනු ඇත.
 
බොහෝ කවීන්ගේ රස නහර පුබුදුවා ලූ , හැඟුම් ප්‍රස්තුත සැපැයූ මුත් , සඳ එයින් ලැබූ පහන් හැඟුමක් නැත්තේය. පැහයක් හැඩයක් හෝ දිග පළලක් නොමැත්තේ මුත් , සඳට වැතිර සිනාසෙන්නට තරම් විසල් හද කුහරයකට හිමි කම් කී අහස වෙත සඳ හැංගූ කවියක් නැත !  

අතීතය ප්‍රත්‍යාවර්තී ලෙස යලි උදා වෙයි. එහෙත් ජීවිතය උදා වන්නේ එකම එක් වරකි. ප්‍රත්‍යාවර්තී අතීතය කෙසේ ඇවිත් ගියද , යලිදු ජීවිතය යන නම ඊට දිය නොහැක්කේය. 


 ප.ලි
සුදු ඇඳගෙන ගීය : මගේ රචනාවක් නොවේ. එය කරුණාරත්න දිවුල්ගනේ ගයන්නකි. මෙන්න ගීතයේ සබැඳිය

[310] ස්වප්න කතිකාවතක සිරව සිටිමි


 මගේ ලෝකය බිහිව ඇත්තේ සිහින වලිනැයි විටෙක සිතෙයි. ජීවිතේ ගෙවෙන හැම මොහොතකම මුණ ගැසෙන හැම ඇස් දෙකක් අස්සේම දිලිසෙන කුඩා සිහින පෙනේ. එවැනි දිලිසුමක් මා දැක නැත්තේ , එක්කෝ බීමත් හෝ උන්මත්තක මිනිසුනගේ දෑස් වල පමණකි.

ඇතැම් සිහින ඉතා කෙටි එහෙත් රතිඤ්ඤාවක වේගෙන් හිත තුලින් මතුව සැණෙන් විදාරණය වන දැඩි සිතුවිල්ලක්ම පමණකි. පරිසරයෙන් ලැබෙන අනුබලය හෝ අදහිරිය මත සිහින යථාර්තයක් වීමේ හැකියාව තීරණය වෙයි.

ඇතැම් සිහින නිදා නොනිදා මෙන් කල්ප කාලාන්තරයක් හද පතුලේ සැඟව සිටියි. එක්කෝ එය දිගු කලක් තිස්සේ හෙමින් උස යන රූස්ස ගසක් සේ වැඩී , පෙර කී දැඩි අභිලාෂයක් විලසින් සිතෙන් පිට දමයි.

ඒ කෙසේ වෙතත් , මිනිසුනගේ විවිධ චර්යා දෙස ලංව බැලූ කල , සිහින දකින්නන් , සිහින හඹා යන්නන් , සිහින නොදැක ජීවිතාභිලාෂයන් සැබෑ කරගැනීමට යත්න දරන්නන්ද හමුවෙයි. 

පුද්ගලිකව , සිහින දැකීම පිලිබඳ මගේ අදහස නම් එය නිර්මානකරණයෙහි ඉතා හිතකර ප්‍රවණතාවක් වන්නේ යම් සේද , සැබෑ ජීවිතයේ කටුක බව ඉදිරියෙහි මනා සන්තුෂ්ටි මාර්ගයක්ද වන බවකි. සිහින ලෝකයක පූර්ණ කාලීන වශයෙන් සැරිසරන්නේ , උන්මත්තකයන්ය . එහෙත් ජීවිතයට සුන්දරත්වයද එක් කොට ගත හැකි බවක් විස්වාස කළ හැක්කේ නිර්මාණශීලි සිහින දකින්නන්ට පමණකි.

දුම් රියෙක නැගී යන යුවලකි. තරුණිය හිස් බැල්මෙන් කවුලුවෙන් පිටත බලාගෙනය. ඇය මොනවා සිතනවා ඇද්ද? මට ඒවා සොයා බලන්නට සදාචාරාත්මක අයිතියක් නැත්තේය. එහෙත් එසේ සිතා බලද්දී එක්තරා මිහිරකුත් දැනෙයි. මොහොතකට ඇයගේ සිත වන්නට ඇත්නම්... ! ඇය පසෙකින් ඇගේ පෙම්වතා විය යුතු තරුණයෙකි. ඒ නිගමනය තහවුරු වන්නේ, තරුණිය ඔහුගේ වැලමිටෙන් අල්ලාගෙන සිටින අයුරෙනි. අයිතිය හඟවන සංඥාවක් . තරුණයාගේ කට බාගෙට ඇරී තිබෙයි. ඔහු ආසනයට හේත්තු වීගෙන නින්දකය.. ! මිහිරිතම වංගු ගණනාවක් , බිම්ගෙවල් අතලොස්සක් පසු වෙයි. මම තව තවත් තරුණියගේ මනසට සමපාත සිතුවිලි ධාරාවක් ජණනය කරගනු වස් මනස නිද්‍රෝපගත කරවමි. සිහින දකින්න්නියකගේ මනසින් මට එලියට එනු අපහසු බව මම පසක් කරගනිමි.

මොහොතකට ඒ සියලු වංගු සහ බිම්ගෙවල් පසු වූ ගමන මම ආපසු කරකවාගෙන යමි.

තරුණිය තරුණයාගේ උරහිසට හේත්තු වී එලිය බලාගෙන සිටියි. ඇගේ වමත ඔහුගේ සුරතෙහි පැටලී තිබේ. ඇගේ සුරතින් තරුණයාගේ සුරතද තදින් අල්ලා සිටී. ඇයගේ කෙහෙ රැලි සුලඟේ ලෙල දෙද්දී තරුණයා නිදහස් වමතින් ඒවා කොතෙක් ඇගේ කන් පිටුපස්සේ රැඳවුවද ඒවා රිසිසේ යලිත් සුලඟත් සමග එලියට පනිති. අහක බලා සිටින ඇගේ මුහුණ ඔහු නොනවත්වා තමා වෙත හරවා ගන්නට තැත් කරයි. ඇය මවා ගත් නොමනාපයකින් සහ අඩ සිනාවකින් ඔහුගෙන් මිදෙන්නට තැත් කරයි. තරුණ සිත්වලට කොතෙක් නම් සිහින අස්සේ මත් විය හැකිද. ? නොදුටුවා සේ පුවත්පතකට එබීගෙන හිඳින මම සිතමි. බිම්ගෙයක් පසු වෙයි. අන්ධකාරය පෙම්වතුන්ට බියකරු ආශිර්වාදයකි. බිම්ගෙයින් පසු ආලෝකවත් වෙන පරිසරයට තරුණියගේ රතුවූ ලැජ්ජාබර මුහුණ ගෙන එන්නේ සුන්දරත්වයකි. 

එහෙත් මේ මහපොළවෙන් උඩ මා දකින සිහිනයකැ‍යි පමණක්ම කියන්නෙමි.  සිහින ලොවක ජීවත් වීම මහපොළව තුල කොතෙක් සාධාරණදැයි මම දැණ් නොවිමසමි. ලෝකයට සිහින දකින්නන් මෙන්ම , සිහින නොදැක යන්ත්‍ර මෙන් ජීවිතය හඹා යන්නන්ද අවැසිය. සිහින දකිමින්ම ජීවිතය ගොඩ දා ගත හැකි මධ්‍ය ලක්ෂ්‍යය සෙවීම මගේ ජීවිතයේ සිහිනයද? 


යුස්ටයින් ගෝඩර් 'සොෆීගේ ලෝකය' පොතේ පවසන ආකාරයට , කුඩා දරුවෙකු මෙන් හැම දෙයක් කෙරෙහිම විමසිලිමත් වෙන එක , පුදුම වෙන එක වගෙම ජීවිතේ හැම සිදුවීමක්ම ආස්වාදනය කරන එක,  අපි වයසින් මුහුකුරා ගිය මිනිස්සුන් ගැහැණුන් වෙද්දි උවමනාවෙන්ම මග හරිමු . 

ජීවිතේ පුරුද්දක් වෙන එක මොන අපරාධයක්ද?  මට සිතෙන්නේ එහෙමය , මන්ද ගතවන මිනිත්තුවක් පාසා ජීවිතය විස්මයන්ගෙන් පිරී පවතින බැවිනි.

Thursday, August 14, 2014

[309] ආතුර හීන



ජීවිතය නිහඬ වී සිටී...
දෙබැම ඉහළ නංවා
වරෙක කුහුලින් මුසපත්ව
දොඩමලු වන්නටද අර අඳී...

මුහුණත් පුලුටු කර ගෙන
මා උරිස්සට ඉහළින්
පෙර වැසි වට දිනට එබීගෙන
තවමත් සිහිවටන පිරි මදී...

ජීවිතය , නුඹ නිදා නොවැටී
මාද දෑත දී නැගිටුවනු නොහැකිද?
අනපේක්ෂිත ශිශිර නිද්‍රාවෙන්
ඔත්පල මට යලි නැගෙන්නට කියා දෙන්.
.

Thursday, July 10, 2014

[308] පූස් rescue මිශන් හෙවත් අනාරක්ෂාවේ සුරක්ෂාව




ඒ එක්දාස් නවසිය අනූ අට අවුරුද්දය . අපේ ගෙවල් ඉස්මත්තේ එක්තරා අයාලේ යමින් සිටි බලු මවකට පැටවු රොත්තක් හම්බුනේ ඒ කාලේය. පැටවු සමග බලු මාතාව සුරතල් කරන්නට බොහෝ සෙනග සැදී පැහැදී සිටියද උන් අයාලේ ලොකු මහත් වූ පසු නිරායාසයෙන්ම වද කරදරයකැයි ඒ සෙනග උන්ව පන්නා ගත්තෝය . ඒ නිසාවෙන්ම පෙරකී බලු පැටවුන්ගෙන් දිවි ගලවාගෙන ඉතිරි වූ එකම පැටවා , දිනෙක වාහනයෙහි දමාගෙන වෙනත් පෙදෙසකින් තබා එන්නට  වුනේය. 

පින් පව් කෙසේ වෙතත් ඉන්නා තැනක දිවි බේරාගෙන ජීවිකාවක් කර ගනිතැයි සිතනවාට වඩා අන් යමක් කළ හැකි නොවූයේය. මේ සිද්දියේ නිරීක්ෂකයකු පමණක් වූ මට මේ සිද්දිය හිතට වැදුනාද නොවැදුනාද කියා මතක නැත. ඒත් අහුවෙන හැම පණ්ඩිතමානී අදහසම කතාවක් හෝ කවියක් කොට ලිවිය යුතු යැයි ශපථ කොට සිටියාක් මෙන් මම පඬි වදන් ලියන්නට කැස කවාගෙන සිටි යුගයකි ඒ.

එහෙයින් 'අනුකම්පාව වෛරය හා ශෝකය' යනුවෙන් මම කුඩා කෙටි කතාවක් ලිව්වෙමි. එහි කතා නායිකාව වන  මමද මූලිකව මේ බලුපැටවුන්ට අනුකම්පාවෙන් අහර දෙන්නේ මුලින්ය. එහෙත් වරෙක මේ බලු පැටවුන් ගැන උපදින්නේ තරහකි. ඒ මගේ හොඳම ගවුමක් ඉරාදමනලද නිසාය. අවසනදී උන්ගේ වදයෙන් බේරෙන්නට බැරිව  මහමග දමා යද්දී ඒ සියල්ල අමතකව යලිත් ආත්ම ලැජ්ජාව සහ ශෝකය ඉස්මතු වෙයි. සැබෑ කතාවේ නොමැති ලුණු ඇඹුල් දමා මා කතාව අවසන් කරන්නේ මහමග දමා හැරී එද්දී ලොරියකින් පැගෙන තද තිරිංග නාදයක් සමගිනි. ඒවා සිද්ද වූ දේවල් නොවේ.

කතාන්දරයක් ලිවීමේදී සත්‍ය සිද්ධියම වාර්ථා කරනවා වෙනුවට සිදුවීම විචිත්‍රවත් කොට කතාවක් ගොඩ නැගිය යුතු යැයි , කතුවරයකු කියා තිබූ පඬි වදන මා එකල අසා නොතිබුනි. එහෙත් වැඩිමනත් ආටෝප සාටෝප වලින් මනස ඔද්දල් වී නොතිබූ කුඩා මල් වයසේ , කියවන ඇසෙන දකින හැම දේම පිවිතුරු සුදු රෙදිකඩකට පෑදි දිය උරා ගන්නා සේ ලිවීමට සුදුසු දෑ නිරවුල්ව ගලා ආ යුගයකි ඒ. 


ඒ ලියූ කෙටි කතාව දින කිහිපයකට පසුව අපේ ගෙදරට අසු වී , අපේ ගෙදර උදවිය , මගේ ලපටි සිත මෙතරම් තැලුනු බවක් නොහැඟුනේයැයි විස්සෝප වූවාද මතකය. එහෙත් මා එතරම්ම (කතාවේ ලියු තරම්ම ) මානසික වූවාදැයි මට එච්චර නිනව්වක් නැත්තේය. (මට හිතක් පපුවක් නැතිද?) 

එකල්හි ලියූ බොහෝ දෑ තුල මට හුරුබුහුටි විචිත්‍රත්වයක් පෙනෙයි. ඒ කොතරම්ද කියතොත් ඒ මල් යෞවනය කෙරෙහි මහත් වූ ආලයක් හට ගනී. සුදු ගවුම් , පොත් පත් , කවි , මල් වයසේ විරුද්ධ ලිංගික ආකර්ෂණයේ කුඩා අතුරු පල කොතරම් සොඳුරුදැයි සිතෙයි. ( බස් පොලේ දැක් හිත් මලෙහි මියගිය මගේ ප්‍රථම ප්‍රේමය යන ලිපිය මා මුල්ම කාලයේ ලියූ එබඳු මතකයකි)

මේ හැම වල් පලයක්ම අද මේ දිග අරිමින් මා කියන්නට තෙපර බාන්නේ මොනවාදැයි ඔබ අසනු ඇති.

දවස් පහකට මත්තෙහි අපේ පාලු විසාල ගෙදරට අලුත් සද්දයක් එකතු වුනේය. වහලය උඩ සීලිමෙන් සිඟිති පූස් කෙඳිරිලි ගොඩක් එක උදේක එකපාරම මතු වුනේය. අහෝ පාලු කලුවර සීලිම , පූස් තිඹිරිගෙයක් වී ඇති අරුම ! ඉතින් කුමක් කරන්නද ? 


පූස් කෙඳිරිල්ල මෝරා පොඩ්ඩක් වැඩිමහල් ඤාව්වක් බවට පත්වෙන්නට ගියේ දවස් කීපයකි. ඉතින් අපිට මේ දවස් ටිකේ නින්දක් නොතිබූ බව කියන්නත් දෙයක්ද ? දවස් දෙකතුනක් ගිය තැනේදී පූස් ඤාව් කිහිපයකින් එකක් පමණක් සිවිලිම උඩ ඉතිරිව තිබෙයි. අහෝ එක් සහෝදරයෙක් / හෝ සහෝදරියක් අතරමං කර අනික් ඈයින් සිවිලිමෙන් මහපොළවට බැස ගිහින්ය ! අම්මා කොයි  ? අම්මා සොයා අප වට පිට පීරුව මුත් පලක්  වූයේ නැත . ටික දිනක් ගිය තැනදී අපට ආරංචි වෙන්නේ පූස් අම්මා අපේ නිවස අවට වසන කමකට නැති බලු රොත්තට අසු වී මිය ගොස් සිටි බවකි. ඇතැම් විට ඈ මිය යන්නට ඇත්තේ සිය අවසන් පැටවා සිවිලිමෙන් බස්වාගෙන එන්නට යන අතර මග විය හැකිය .

දැන් පූස් පැටියා තනිවී සිවිලිම උඩය ! පිරිමි නැති අපේ ගෙදර සිවිලිමට නගින්නට කිසිවෙක් නැතිය. පූස් අඳෝනාව අසා සිටින්නට අමාරු තරම් දුකය . දිනක් දෙකක් තුනක් කල හැකි දෙයක් නොමැතිව තැවිල්ලේ ගෙවී යයි. නොදු‍ටු පූස් පැටවා සිවිලිම දෙවනත් කරමින් කුඩා සිදුරු වෙත මුහුණ තියමින් ඤාව් කියන එකෙත් ඉවරයක් නැත . දැන් මෙයට කරන්නේ කුමක්ද ? කිසිවෙකු නග්ගා පූස් පැටවා බිමට බස්වා ගනු හැරුනු කොට පිලියමක් නැත. එසේ නොකලහොත් එක්කෝ කන්නට නැතිව ඌ මියෙනු ඇත.

අවසානයේදී මට පිහිටට එන්නේ මගේ කාර්යාල මිතුරන් දෙන්නෙකි. ඔවුන් දෙන්නාත් පටවා ගෙන අද දහවලෙහි මම ගෙදර ආවෙමි. පූස් පැටවාගේ හැඬිල්ල ඉවරයක් නැත. ඉණිමග සොයාගෙන , දූවිලි වලින් බේරෙන්නට ටීශර්ට් දෙකක්ද අන්දවා මම ඔවුන් දෙදෙනා සිවිලිමට නගිනු බලා සිටියෙමි. පැයකට ආසන්න කාලයක් තිස්සේ දස වද විඳිමින් , උලුකැටද ගලවමින් , අඩව් ඇල්ලීමෙන් අනතුරුව මේ ත්‍රස්තවාදී හිතුවක්කාර අසරණයාව බිමට බස්සාගන්නට මගේ මිතුරන් දෙන්නා සමත් වූහ.

කලුම කලු පුලුන් බෝලයක් අස්සේ කොල පාට බෝංචි ඇට දෙකක් ගැසූ අයුරෙන් දිලිසෙන ඇස් දෙකත් , මැක්කන්ගෙන් පිරුනු බියපත් කෙසඟ සිරුරත් දකිද්දී, තව දිනක් දෙකක් ඇතුලත පූස් පැටවාගේ ඉරණම තීරණය වන්නට තිබූ බව පෙනී ගියේය. සාගින්නේ සිටියද කිරි බිඳක්වත් තොල ගාන්නට තවම හුරු නැති හෙයින් , අම්මා නැති අසරණයා අපේ කකුල් සූරමින් තවත් පැයක් දෙකක් සිය හෝන්දු මාන්දුවෙන් මිදෙමින් සිටියේය.

සැබෑ ප්‍රශ්නය උද්ගත වන්නේ දැන්ය. මෙයාට දැන් මොකද කරන්නේ ? ඔන්න ප්‍රශ්නය. ගෙදර තබා ගැනීම කිසි සේත් කළ නොහැක්කේ පූසෙකු ඇති කිරීම කිසිදා අප නිවසේ සිදු නොවන බව දන්නා හෙයිනි.අනෙක් අතට පූස් අම්මාට වූ ඉරණමම පූස් පැටවාට අත්වීමද එයින් නොවැලැක්විය හැක්කේය. දැන් ගැලවුම් කාර මිතුරන් දෙදෙනාත් ගැටලුවකට මැදි වී ඇති සේය. මාද එම ගැටලුවම පෙරදැරිව තැවෙමින් සිටියෙමි. 


පිලිතුරක් නැති තැන , කරන්නට තිබූ එකම දෙය කරනවා මිස අපට වෙන විසඳුමක් නොතිබුනේය. එහෙත් එහි ධණ සෘණ , යහපත අයහපත එක එක අතට පෙරලා විශ්ලේෂණය කර බලන්නේ නම් , නානාප්‍රකාර ප්‍රතිචාර ලබා දිය හැකි වුවද , අපද අසරණ වූ ඒ අවස්ථාවෙහි කුඩා මිතුරාව , ආරක්ෂාකාරී තණපඳුරු ගොන්නක් තුල සඟවා එනු මිස අන් කළ හැක්කක් නොවූයේය. 

අනාථයෙක් වූ කල , සුරක්ෂිතතාවයද අනාර්ක්ෂිත වන අතර , බියකරු අවදානම් කලාපයක තනිවීමද සුරක්ෂාවක් සේ තාවකාලිකව දැනෙනු ඇත.  ජීවිතය යනු රැකගනු උදෙසා අරගල කල යුතුව තිබෙන්නේ තිරිසන් සිඟිත්තෙකුට පමණක් නොවේ. මනුසත් මහල්ලෙකුගේද ඉරණම එයමය. 

දැන් ඔබේ අදහස් දැක්වීමේ කාලයයි. 


අමනාප නොවන්න . කළ හැකි උපරිමය වූයේ නුඹ සාගින්නෙන් හා තනිකමෙන් මුදා ගෙන මහ පොළවට ඇරලීම පමණකි.

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->