Showing posts with label රස්තියාදු චාරිකා. Show all posts
Showing posts with label රස්තියාදු චාරිකා. Show all posts

Saturday, August 12, 2017

[338] තරඟයේ නිමාව සහ ජීවිතයේ දියත් කිරීම


තරඟයේ වෙහෙස සෙමෙන් සෙමෙන් නිවී යද්දී ජීවිතය සොයන ආත්මයට හමුවූ ආතුර මනස සුවපත් කළ හැකි අද්භූත බලවේගයක් සොබාදහමට ඇති බව මම මෑතකදී පසක් කර සිටිමි .

උදෑසන අරැණ නැගෙද්දී අප නිදිබර ගත ඇඳෙන් නැගිටුවීම , පාසල් වියේ අමිහිරිතම කාරිය වූයේය. විශ්ව විද්‍යාල සමයෙහිද , රැකියාවක් කල   සමයෙහිද වසර තිස් හතරක් තිස්සේම උදෑසන නැගිටීමේ ව්‍යායාමය  අසාර්ථක වුවද , දැන් මා එනතුරැ සිය පිණිද වියලෙන්නට නොදී ඉස්සෙමින් මග බලන හරිත තණ නිල්ල සිහිපත් වන්නාහාම , ගත සිත නිරායාසයෙන්ම හිමිදිරියේ අවදි වෙන සැටි පුදුමාකාරය.


රිය නවතන සුපුරැදු තිප්පොලෙහි නිදා සිටින බලු මිතුරන් ඇහැරවා , මගේ බිම් අයිතිය වෙනුවෙන් හෝන් ගසන්නට මට සිදු වෙයි. සිය නගුටු වනමින් මගේ ආගමනය පිලිගන්නා ඔවුනට දවස ඇරඹිය යුතු වගට සිහිගන්වන එලාමය මා බවට පත්ව ඇති සැටි !  

තවමත් හිරැ දැක පලා යන්නට ඉතිරිව ඇති අවසන් විනාඩි කිහිපයද සුලඟ සමග ඇතිල්ලෙමින් එකෙල මෙකෙල වන, ගණ මිහිදුම් තිර කඩ කලඹමින් මම තණ බිම වෙත ඇ⁣දෙමි. දුරකථනයෙහි දිවුම් සටහන් සුසර කරමි , සුපුරැදු මිහිරි ගීතාවලිය  පණ පොවමි . ගන්නා හුස්මක් පාසා දූලි සහ විස දුමින් පෙර දින තිස්සේ ඔට්ටු වූ පෙනහලු , එවන් දූලි දුමින්  විනිර්මුක්ත සීතල වාදහරාවන් පුරවා ගනිමින් යලි පිබිදෙයි .



පා ගමන ඇරඹෙයි , පා මාරැව වේගවත් වෙයි , ගීතයකින් පසු තව ගීතයක් අවදි වෙයි.ලා අඳුර මකා ලමින් , ගණ ෆයිනස් තුරැ මුදුන් අස්සෙන් හිරැ නැගෙද්දී, අඳුරට නිල් පැහැව පෙනුනු තණ නිල්ලෙහි සජීවී හරිත ලා  පැහැය මතුව එයි. මේ තරම් උදේ නැගිට දහඩිය දමන  තුරැ ඇවිදින මේ මිනිසුන් උමතුවෙන්දැයි විමතියෙන් , කිරල් ජෝඩු හිටි වනම තනි කකුලෙන් සිටගෙන , බිරන්තට්ටු මුහුණෙන් මේ දුවන ජනතාව දෙස බලා සිටිති. 



අනෙකුත් අවසෙස් මිනිසුන්  අවදිව ඇඳෙන් බැස, ජීවිත තරඟය අරඹන්නට දත මැද ඇඳ පැලඳ කැස කවන ⁣මේ උදේ පාන්දර , අම්මලා අතින් ලිප ගිනි මෙලැවෙන බත සරි වන මේ හිමිදිරි පාන්දර  ,  ළමා ලපැටි අන්තිම මොහොතේ පාසල් ගෙදර වැඩ කරන මේ මහ පාන්දර,  උන්මත්තකයින් රැලක් සේ , උදේ මග ගෙවා මෙහි විත් , දුව දුවා හති වැටෙන්නේ කිම්දැයි කිරලුන්ට මෙන්ම නොකිරලුන්ටද අරැමයක් වීම ස්වභාවිකය !



හිරැ සමග යලි උපත ලබන දිනයක ආහ්ලාදජනක හරිත චමත්කාරය විඳින්නට වේගය මඳක් බාල වෙයි. තණ පියලි උඩ මේ දැන් දිලිසුනු කුඩාපිණි බිඳ ,ඊලඟ රවුම දුවගෙන එන විට ,පැන ගොසිනි . තණ පියලි හා සමසිත් ඇතිව ඇති දැඩිවූ හුරැබුහුටි සිඟිති බිම්මල් හැමතැන විසිර ඇත්තේ මුතු අහුරක් සිහි කරමිනි . සිය මව් පසුපසේ වැටී දතකට මදින්නට මෙන් පෙළ ගැසුනු  කුඩා කිරල් පැටවුන් මෙතෙක් මේ තණ පඳුරැ අස්සේ කෙසේ සැඟව සිටියෝද?  දෑස් වලට නිනව්වක් නැත. ඊයේ තුරැ අගිස්සේ උජාරැවෙන් ඇලවී උඩගොස් හිටි සුකොමල මැයි මල් අද උදේ තෙත පින්නෙන් පෙඟුනු තණ බිමෙහි අවසන් සුසුම් ලනු දකින විට පාගන්නටත් ලෝබය! දෑසට අඳුන් ගානා මේ වෛවාරණ වසන්තය මතකයක් ලෙස සලරැවක සටහන් නොකොට නිකම්ම නිකන් දුවගෙන යන්නට ඊටත් වඩා ලෝභය !



එකාතකින්  මහනුවර සමෝසම් සීතල සහ උණුසුමෙහි ඇලී ගැලී එයටම ලොබ බඳින ගත හිත මේ විඳින පාරාදීසයෙහි සුන්දරත්වය , මී පැණි ගුලාවක නිදන්නා සේ හද මත් කරන සුලු නොවෙද ?  

ගමන බොහෝ පමාව ඇති සෙයකි. මට නොහිතුනත් රට්ටු කියන්නේම එහෙමය !



ඒත් මේ සොඳුරැ සිරි මගැර කුමට  හැල්මේ දිව යන්නද ? දිව ගොස් ලැබෙන්නේ වෙහෙස පමණක්ම නම්?



2017-8-10 : පේරාදෙණිය විශ්ව විද්‍යාල ක්‍රීඩාංගනයේ සීතල තණ නිල්ලේ හිඳ ලිවීමි ..

Sunday, August 09, 2015

[320] අනුරපුර වැඳ ආමි ..

ඔන්න ඉතින් අපි අනුරාධපුරේ ගියා. මේ චාරිකා සටහන කියවන ඔයාලගෙන් ගොඩ දෙනෙක් දැනටමත් අනුරාධපුරය දහ දොළොස් වතාවක් වැඳලා ඇති. ඒත් කාලයත් එක්ක ගම නගර වෙනස් වෙනවා. සමහර අකරතැබ්බ නොවෙනස්ව හැමදාම සිදු වෙනවා. මේ සටහන ලියන්නේ මේ දවස් වල අනුරාධපුරේ යන ඔයාලට. 

පොදු ප්‍රවාහනයේ යනවා නම් ඔන්න පැය බාගෙන් බාගෙට අනුරාධපුර බස් තියනවා නුවරින්. විදෙශිකයො වෝකර්ස් බස් වල ගිනි ගණන් දීල ගියෙ ඉස්සර. අපි ගිය මුලු බස් එකෙම හිටියෙ පිටරට උදවිය. එයාල සිතියම් පොත් වලට ඇස්  මානාගෙන හරි අපුරුවට සාමාන්‍ය බස් පහසුකම් වල වගක් නැතුව ගමන් යනවා. හැබැයි කොන්දොස්තරලත් දැන් හරි සාදාරණයි. එයාලගෙනුත් ගත්තෙ සාමාන්‍ය  බස් ගාස්තුවම තමයි. 

පැය තුනහමාරක ගමනකින් පස්සෙ අපි අනුරාධපුර ටවුමට ආව. නවතින තැන අපි කලින් සුදානම් කරගෙනයි ගියේ.මොකද අනුරාධපුර කියන්නේ හවස් අතේ ගිහින්,  ඒ වෙලාවට නවතින තැන් හොයන්න සුදුසු දිහාවක් නම් නොවෙයි. තැරැව් කාරයො පිරිලා. ඒ නිසා මම agoda.com එකෙන් මම රත්නමාලි එකෙ කාමරයක් වෙන් කලා. මොකද ඒක තමයි ජය සිරි මහ බොධියට ලඟම තියන නවාතැන. නවාතැන ගැන මගේ කතන්දරේ ලිපියේ අගට ලියන්නම්. නැතිනම් අනුරාධපුරේ ගිහින් පව් රැස් කරගෙන ආව වෙනවා.


සවසට ස්වර්ණමාලි චෛත්‍යය පෙනෙන අයුරු 

හරි , ආපහු කතාවට යමුකො. ඉතින් පැය කීපයක් ගිමන් නිවාගෙන හවස් අතේ අපි රුවන්වැලි සැයටයි ජය ශ්‍රී  මහ බෝධියටයි යන්න පිටත් වුනා. ඔබ එහෙ ගොඩ වෙලාවක් ගත කරනව නම් , ඉන්න තැනකින් වතුර , කෑම බිම අරන් යන්න. ඒ හරියෙ මල් කඩ ඇරුනාම කෑම බිම ගන්න තැන් නැහැ.

රාත්‍රියට පෙනෙන රන් වැලි සැය 
ඔන්න ඉතින් අපි ජය ශ්‍රී මහ බෝධියට හවස් අතේ ඇවිත් වැඳ පුදා ගත්තා. ඊලඟට ගොම්මන් අඳුර එද්දි අපි රුවන්වැලි සෑ මළුවට සැපත් වුනා.  රාත්‍රිය උදා වේගෙන එද්දී ස්වර්ණමාලි චෛත්‍ය වහන්සේ කියන්න බැරි තරම් සුන්දර දසුනක්.රාත්‍රිය හාත්පස වෙලා ගනිද්දි ඉතින් අකමැත්තෙන් නමුත් අපි එතනින් නැගිටලා ආවෙ ආරක්ෂාව ගැන හිතලා.


අභයගිරි වෙහෙර 

පසුවදා උදෙන්ම අපි පිටත් වුනේ ඉපැරණි නටබුන් නගරයට. මුලින්ම අපි ගියෙ සමාධි පිලිමය ගාවට. ලංකාවේ දැනට පිහිටා තිබෙන විශිෂ්ටම බුද්ධ ප්‍රතිමාව යයි සැලකෙන්න සමාධි පිළිම වහන්සේයි. 

ඊලගට අපි නටබුන් අතරින් හෙමිහිට ඇවිද ගියෙ අභයගිරියටයි. ලඟදි ප්‍රතිසංස්කටණය කල නිසා මෙතැන දැන් හරිම ලස්සනයි. අටමස්ථානය වටාම දැන් නවීන කාපට් පාරක් තිබෙන නිසා ගමනාගමනය දැන් පහසු වෙලයි තියෙන්නෙ. කවුරු කලත් මේවා හොඳ වැඩ නේද ?


ලංකාරාමය 
අභයගිරිය වැඳගෙන ලංකාරාමය කරා එන අතරමග හමුවන අභයගිරි කෞතුකාගාරයට හිස පොවන්නත් අමතක කරන්න එපා.

ගමන අවසන් නොකළ යුතුමුත් කාලය හරස් වුන නිසා අපි ලංකාරාමය , ඇත් පොකුණ , මුරගල් සහ ථුපාරාමය නරඹලා එතැනින් ආයිමත් නවාතැනට ආවා. මම චාරිකා සටහනේ මේ ස්ථාන ගැන වැඩිපුර නොලියුවෙ හේතු දෙකක් නිසා.

එක- ඒවා ගැන ඕනෙ තරම් තොරතුරු අන්තර්ජාලයෙ දැනටමත් පිරිලා තියනවා .
දෙක - අනුරාධපුරය කියන්නේ අටමස්තානයට සිමා වූ නගරයක් නොවෙයි. අනුරාධපුරය කියන්නේ සතර දෙසින් දහස් ගණන් නටබුන් ශේෂ මතුවුණ සුවිසල් ඉපැරණි පුරවරයක්. එහි ශ්‍රී විභුතියෙහි නටබුන් තැන් අටකට සිමා වෙන්නේ නැහැ. ඔබට ඇවිද යන්න , සැරිසරන්න දහස් ගණන් ගල් කණු , මුරගල් , මන්දිර , පාදම් තිබෙනවා. මම ඇරයුම් කරනවා ඔබට පොඩ්ඩක් ඒ නටබුන් අතරේ වනගත වෙන්න කියලා. ඒවාට නම් ගසා ලේබල් අලවා නැහැ. ඒත් එහි ඉපැරණි ශ්‍රී විභූතිය මොනවට දිස් වෙනවා වගේම ඔබට ඒවා අතින් අල්ලා බලා අපේ හෙළ ප්‍රෞඩත්වය පසක් කල හැකියි.



ඉපැරණි නටබුන් 
ඉතින් මම ඔබට අරයුම් කරනවා ඔබත් අනුරාධපුරයට ගිහින් ඔය අප්‍රකට නටබුන් අතරේ නිදහසේ ඇවිද යන අත්දැකීම විඳ බලන්න කියා. ඔබ ඉතිහාසයට ආදරය කරනවා නම් ඔබට මා කියන දේ වැටහේවි.


අභයගිරිය පියගැට පෙළ 
ඔබ තව තවත් ඒ පුරාන දේට ඇලුන ගැලුන කෙනෙක් නම්, සියවස් ගණනක් එපිට අතීතයෙ ආත්මයන් පවා ඔබ අවට සැරිසරන්නේ යැයි දැනේවි. මා පෙර ඉපිද සිටියේ අනුරාපුරයේ යැයි මා තදින්ම විස්වාස කරන නිසා මට නම් එම හැඟීම තදින්ම දැනෙනවා. වසර විස්සකට පමණ පසු අනුරාපුරයට ආ විට මට නම් සිතුනේ සැබෑ නටබුන් නරඹන්න නම් දවසකුත් මදි බවයි.


ඇ ත් පොකුණ 

~~

දැන් එන්නේ චාරිකා සටහනේ ඔබේ ප්‍රයෝජනය තකා ලියන දිගු සටනහට . ලඟදි එහෙ යන්න ඉන්නවා නම් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

රත්නමාලි නවාතැන 
වෙබ් පිටුවේ පෙන්වන සුන්දරත්වය සැබෑ නවාතැන නම් ඇත්තේ නැහැ. ඒ නිසාම මම මෙතැන වෙන කාටවත් නම් රෙකමදාරු කරන්නෙ නැහැ ඔන්න. ගෙවුව ගානට සරිලන සෙවයක් මෙතන නම් නැහැ. කාමරයෙ වායු සමීකරණය ඇරුනාම ගත යුතු දෙයක් නැති නිසාත්, රූම් සර්විස් කියලා ටෙලිපොනයක්වත්, අඩු ගානෙ වතුර පොඩ්ඩක් බොන්න විදුරුවක්වත් කාමරයෙ නැති නිසා සේවය අන්තිමයි කියලා තමයි කියන්න වෙන්නේ.පිරිසිදු ඇඳ රෙදි සහ කොට්ට උර නැති එක නිසා අපි නම් අපහසුතාවයට පත් වුනා. හෝටලයකින් අපි මීට වඩා පහසුකම් බලාපොරොත්තු වෙනවනෙ. අනික මෙතැන අහාර පාන දෙන සේවයක් නැතුවා වගේම තිබෙන කැන්ටිමේ ගන්න දෙයක් නැතිම තරම්. එත් එකෙ පොඩි ඉඳි ආප්ප මුලත් රු.110ක්! 

ඕනෑම හෝටලයක අමුත්තන්ට කාමර භාර දීමේ පටිපාටියක් තිබෙනවා. අපේ පුද්ගලික තොරතුරු සටහන් කරගන්නවා වගේම, අපෙන් යතුරු භාර ගනිද්දී ලදු පතක් නිකුත් කරන්න ඕන නේද? මම දුරකතනයෙන් අපේ වෙන් කිරිමේ ලදුපත පෙන්වූවා විතරයි.

යතුරු ආපසු දෙන මොහොතේ නිකම්ම යතුර ගත්තා මිසක අඩු ගනනේ කාමරය පරික්ෂා කර බැලීමක් පවා සිදු කලේ නැහැ. ඉතින් අප සිටි මුළු කාලයේම මම කිසිදු සේවක මහතෙක් නොදුටුවා වගේම , අප ඉවත්ව යන විටදී අඩුම ගන්නේ සිටි කාමරය පරික්ෂා කර බැලීමක් පවා කලේ නැහැ. එය පහසුවක් හැටියට මම දකින්නේ නැහැ. ඒ වෙනුවට මට හිතෙන්නේ එය තද නොසැලකිලිමත් කමක් බවයි.අප යම් හෙයකින් කාමරයේ යමක් අමතක වී ආවා නම් ඔවුන් කොහොමද දැනුම් දෙන්නේ? අප ආයිත් එහි ගියත් අපේ අනන්‍යතාවය ඔප්පු කරන්නේ කොහොමද. පිට කෙනෙකු හෝටලය තුලට ආවත් හඳුනා ගන්නෙ කොහොමද? මම හිතනවා එම ආයතනයේ කළමනාකරුවන් මිට වඩා සැලකිලිමත් විය යුතුයි කියා.

ආහාර  පාන 
කිවුල් වතුර බොන්න හුරු නැති ඔබ නගරයෙන් ඈත නවාතැනකට යනවා නම් වතුර බෝතල් අරන් යන එකයි හොඳ . ඔන්න තවත් අවවාදයක්. අපි හිටිය තැන වගෙ කෑම නොදෙන තැන් වල ඉන්න අයට හරි, කෑම වේල් මග ඇරුන අයට හරි , කියන්න තියෙන්නෙ එක දෙයයි. කොලඹ නුවර වගෙ යන යන තැන පේස්ට්‍රි ශොප් එහෙ නැහැ. අහම්බෙන් හමුවන හැම කඩයෙන්ම කන්න නම් අමාරුයි, සමහර තැන් පොඩ්ඩක්වත් පිරිසිදු නැහැ. අනික මිරිස් ඉතා අධිකයි. කට දැවිල්ලයි. අපට හමු වුන කෑම හල් වලින් පිරිසිදුම එක තමයි ෆැමිලි බේකර්ස් එක. තියෙන්නෙ ටවුම මැදමයි. එකෙ උඩ තට්ටුවෙ ( cassarole ) බොහොම පිරිසිදුවට කෑම වේලක් කන්න පුලුවනි. පහල තට්ටුවෙ ගෙනියන්න පුලුවන් පාර්සලුත් තියනව. ඔබ අහාර නොදෙන නවාතැනක ඉන්න බලාගෙන යනව නම් , මෙ වගෙ තැනකින් කෑම අරගෙන යන එක නුවනට හුරුයි.

ප්‍රවාහනය 
ඔබ ඔබේම වාහනයක ආවේ නැතිනම් , සාමාන්‍ය විදිය තමයි ත්‍රි රෝද රථ . හැබැයි මෙහෙ අවම තෙරෝද රථ ගාස්තුව රු.100 යි. කොළඹවත් නැති ගණන්. ! නිස්කාරනේ  තෙරොද රථ වලට වියදම් කරන වෙලාවෙ, ඔබ දන්නවද අනුරපුර පුරාණ නගරය ඇතුලෙ දුවන විශේෂ  බස් රථ සෙවා දෙකක් තියන බව? ඒවා මුලු අටමස්ථානයෙම වටා ගමන් කරනවා. බැතිමතුන්ට , නිදැල්ලේ ඇවිදින්න ආස අපි වගෙ අයට කියාපු ක්‍රමයක්. මේ බස් නිතර නිතර අටමස්ථානයේ චාරිකා කරනවා. 

ලඟදි ඉඳලා සේවයට ආපු තව අලුත් සුඛෝපභෝගී බසයක් තියෙනවා. සේවය ඉහල පන්තියේ උනාට ගැන නම් හරිම පොඩියි. පැය තුනක් තිස්සෙ මුලු අටමස්ථානය වටයම එක්ක යන්න ගන්නෙ රුපියල් සියයයි. බසයට ගොඩ වුනු හැම දෙනාම ආපසු එනතුරු එය බලා ඉන්නවා විතරක් නොවෙයි , මේ බසයේ වායු සමීකරණ , ශීතකරණ , රුපවාහිනී හැම දෙකින්ම සමන්විතයි .  

බසයේ රියදුරු මහතා කිව්ව විදියට , දවසට වට තුනක් මේ බසය යනවා. උදේ 7.30, දවල් 11.30 සහ දවල් 2. අනුරපුර ටවුමෙන් පටන් ගන්න පළමු රවුම හරියට එකොළහට ඉවර වෙනවා. කාලයත් ඉතුරුයි. හරිම පහසුයි. ඔබට තෙරොද රියක දූවිලි කාගෙන දවස් බාගයක් කරක් ගසන්න අඩු ගානෙ රු. 2000ක්  වත් ගනිවි.ඔන්න බස් රථයෙ මහතා එයාගෙ ටෙලිපොන් නොම්මරෙත් ( 0716054100 ) දුන්නා , යන එන අයට ලබා දෙන්නය කියලා. ඔබත් අනුරාධපුරෙ යනව නම් , අටමස්ථානය වැඳ ගන්න මෙක හරිම පහසු ක්‍රමයක් ඔන්න.

අහ අමතක උනා. මදුරුවන් කියන්නේ මේ නගරෙට අමුතු උවදුරක් නොවෙයි. ඔබ කොයිකටත් මතක ඇතුව මදුරු කොයිල් එක දෙකකුත් අරන් යන්න.

මම හිතනවා මේ විස්තර , යන එන ඔබට අත්වැලක් සපයයි කියලා. මම අර කිව්වා වගෙ නටබුන් අතරේ ඇවිදින්න නිදහස් දවස් බාගයක් වෙන් කරගෙනත් බලන්නකෝ. 

එහෙනම් අනුරාධපුර වදින්න යන ඔබට සුබ ගමන් සහ තෙරුවන් සරණයි ! 

Tuesday, July 28, 2015

[319] මේ නුග තෙම හැර ....

වසර ගණනකට පෙර , හරියටම බැලුවොත් අසූවකට පෙර  , එක් කොලු ගැටයෙක් පාර අයිනෙ නුග පැලයක් සිටුවූයේලු. නිවස අබලන්ව වියපත් විනි. නුග පැලය නාඹරව නුග පලද පල ගනිමින් එය මහ නුගයක්ම වූයේලු. මීට වසර තිස් ගානකට එපිට ධනසිරි මුදලාලි අලුත්ම අලුත් සුපර් මාර්කැට්ටුව අරින්නේ ඔතැනමය. ධනසිරි මුදලාලි රූස්ස හෙවණක්ව මහනුවරටම හෙවණ සැදු නුග රුකට අත නොතැබුයෙ වන්නට ඇත. 

88-89 කාලයේ භීෂණයට පින් සිදු වන්නට ධනසිරිය පොළවට ඇද වැටෙද්දිත් , නුග තෙම කලකිරිනු දැසින් මුහුණ බිම හොවා සුසුම් ලෑවේය. කුඩා සිහිරුම් තුවාල කිහිපයක් විනා , නුගය සිය මහත දෙහෙත සිරුර ගින්නෙන් රැක ගත්තේය. කාලයාගේ ඇවෑමෙන් නුග රුකටද වයස්ගතවූ මැහැල්ලෙකුගේ ඉරණම් පල දෙන්නට පටන් ගත්තේය. සිය අවසඟ දෑත් දෙපා බඳු නුග වැල් බිමට පහත්ව බිමට දෑත් ගසා නැවතී , විප්ලවයේ ශේෂ බල බලා ගිමන් හරින්නට වූයේය . 

කාලය ගත වූයේය. ධනසිරිය ඉටි රෙදි වලින් ආවරණයවී හෙමි හෙමිහිට සුවපත් වෙමින් පැවතුනේය. එහි බිම් මහල කුඩාවට ආයිත් සුපිරි නොවූ හිච්චි වෙලඳ සැලක් බවට පත් වූයේය. 

කුඩා වියේ ගම්පොල සිට දිනපතා නුවරාගමනය කරන පස් දෙනෙකුගේ අප පවුල් සේනාවට , නුවරාගමනයේ මග ලකුණු කීවේ මේ මහ නුගයය. නගරයෙන් බැහැරව යන සමුගැනීමේ ලකුණද පෙන්වූයේ මේ නුගයමය! උසස් පෙළ කරන කාලයේ රාජසිංහ සර්ගේ පන්තියට බහින්නට බෙල් එක ගසන්නෙත් නුගය බලාගෙනය . පාසල් කාලයෙන් පසු මගේ ප්රියතම කොම්පියුටර් පන්තියේ පාරාදීස ලකුණ වූයේද මේ නුගයමය ! 

නුවරට පළමු වරට නිමි ඇඳුම් සාප්පුවක් ලෙස ෆැශන් බග් අවතිර්ණ වන්නෙත් මේ නුග සෙවණටය ! එය සුපිරි වෙලඳ සැලක්ව නුගය තරම්ම උස් මහත් වෙද්දී ධනසිරිය වසා ෆැශන් බග් ජනාකීර්ණ වන්නේය. සුවහසක් ගිලනුන් යන එන , සුසුම් ලන , හඬන , දොඩන වැලපෙන ආතුර දන දන වෙත සිය හැකි පමණ සෙවණ සදා නුගය සිය යුතුකම් ඉටු කළේය.

එකී මෙකී නොකී කුඩා කඩසාප්පු වලට සමු දෙමින් ධනසිරිය මැකී ගියේය. අද එතැන ඇත්තේ ආපිකෝවකි. සිය ගම්භීර නිහඬතාවයෙන් නුගය මෙ'කරුණද ඉවසා වදාලේය. ගත හිරිගඩු පිපෙන හීතල , තද සුලං සහ නිරන්තර වැසි වලින් නොසැලෙන දැවැන්ත හස්ති රාජයකු මෙන් , නුග රුක තලත්තෑන්නි සාඩම්බරත්වයෙන් නුවර දියුණු වන අයුරු බලා සිටියේය. 

වරින් වර මහනුවර සසලවා හමා ගිය මහ සුලං එක දෙකක් නිසාවෙන් බිම පතිතවූ නුග අතු ,  සමුගැන්මක පෙර ලකුණු සටහන් කලේය. කුඩාවුන් නිතර යනෙන රූස්ස නුග සෙවන කොයියම් මොහොතක හෝ සිය අවසන් මොහොතට එලැඹෙන බව නුවරු පසක් කලෝය. 

මේ සා ඇසු පිරු තැන් ඇති මහලු නුග තෙම සෙනෙහෙන් බදා වඩා ගෙන අන් තැනක හිඳුවන්නට තරම් මේ දුප්පත් රටට මගක් නැති වන්නට ඇත. එක්කෝ ඒ දුප්පත් ගසට සංචාරයට උචිත සවිබල තවත් ඉතුරුව නොතිබෙන්නට ඇත. 

දැන් නාටකයේ අවසන් ජවනිකාවය. ආපිකෝවට එලිය වැටී තිබේ. දැවැන්තයා සමුගෙන ගොස්ය ! ගරුකටයූ ලෙස නොව , අත පය කඳ බඩ කුට්ටි කුට්ටි කොට සතියක් දෙකක් තිස්සේ , තවමත් ලේ වගුරුවමින් නුග තෙමේගේ සරීරයේ නටබුන් එහි වැතිර සිටී. බිහිසුණු යුද්දයකට පසුව ඉතිරි වූ මල සිරුරු ගොඩක් සතුරන්ගේ චිත්ත ප්රීතියට ප්රදර්ශනය කර ඇත්තාක් මෙන් , ඒ නුගයට ආලය කල බොහෝ දෙනාගේ සුසුම් තවරා ගනිමින් , කුට්ටි වූ නුග අතු සහ කඳන් අවසන් හුස්ම හෙලමින් සිටී. 

එක්තරා හැඟුම්බර් අඳෝනාවක විලාසයක් තැවරී තිබුනද , නුගයට මෙන්ම මිනිසුනටද මේ තිර දහම පොදු බව මේ ලියන්නිය නොදන්නවා නොවේ. දිරාපත් නුග කඳකට යටව තැලී පෙලී කිසිවෙකු මිය යන තුරුද සියල්ලන් බලා සිටිය යුතුද නොවේ.

එහෙත් අහිමිව ගිය නුග රුකට හිලව්වට , ඒ ගැන විලාප තියනවාට වඩා , අලුත් නුග පැල දහසක් සිටුවන්නට මේ කාලයයි ! 




Saturday, June 23, 2012

[252] 2012 පෙරහුරු පොත් රස්තියාදුව

ජීවත් වෙච්චි අවුරුදු ගණනාවේ වෙනස් නොවී එක දිගට තිබ්බ එකම දේ හැටියට මට මතක් වෙන ලොකුම ආසාව තමා පොත්. පොතක් නැතුව ගෙවිච්චි එක දවසක්වත් ජීවිතෙ තිබ්බෙ නැතිව ඇති. අනික තමයි අනෙක් කොයි දේ මිලට ගන්න ගියත් දෙපාරක් හිතන පුරුද්දක් තිබ්බත් පොත් කියන මාතෘකාවෙදි නම් මම හරියට වියදම් කරන්නෙ කිසිම පසුතැවීමක් නැතුව. ඒක ආවෙ අපෙ අම්මගෙන් වෙන්න පුලුවන්. පොඩි කාලෙ උනත් අනික් කොයි දේ අරන් දෙන්න ගියත් දාහක් ප්‍රශ්න අහලා , කිරලා මැනලා අරන් දෙන අපෙ අම්මා පොත් නම් , බස් ගාස්තුව දෙන්නට ඉතුරු කරගෙන ඉතුරු හැම සතෙන්ම පොත් අරන් දෙන්න පසුබට උනේ නැහැ.

මතකනෙ ගිය අවුරුද්දෙ පොත් රස්තියාදුව. 1,2,3 මෙන්න තියෙන්නෙ. ඒ මදිවට තඩිපොත් බෑග් එක නිසාවෙන් අඳුනගත්තු ඩේවිඩ් අන්කල්? මතක නැතිනම් බලන්නකො.

ඉතින් සැප්තැම්බරයට එන පොත් වසන්තයට කලින් නුවරට එනවනේ මිනි සයිස් (මම කිව්වෙ පොඩි සයිස්) වසන්තයක්. මහනුවර පොත් ප්‍රදර්ශනය බලන්න ඊයේ හනික සිටි සෙන්ටර් එකෙ ඉහලම මාලෙට ගොඩ උනේ නිකම් නැයො බලන්න යන්නා වගෙ හිතවත් හැඟීමෙන්.
 

ඉස් ඉස්සෙල්ලම විදර්ශනා එකට ගෑ‍ටුවෙ , කොයිකටත් එතනින් පටන් ගන්න එක පසුම්බියට සහ හිතා හොඳ නිසා. ඒක තමයි මගෙ ප්‍රියතම තැන. මම හොයන ජාතියෙ පොත් හොයල දෙන්න ඒ අක්කටත් පුලුවනි හොඳට. එතනින් එහාට නම් ඉතින් ඉබාගාතේ තමයි. පොත් රාක්ක , පොත් පුසුඹ, පොත් පොත් පොත්... කොයි අත බැලුවත් හිතවත්තු. ඒ කිව්වෙ පොත්.

රස්තියාදුවෙ යනව නම් හොඳම තනියම යන එක කියන  වාක්‍යය මම අදහන කරුනක්. හොඳටම ඉබාගාතේ යන්න හැකි වෙන්නෙ එතකොටනෙ. ඒ මදිවාට හිතෙන තැනකදි නවතින්න. හිතෙන තැනකදි ඉඳගෙන ඉන්න, හිතෙන වෙලාවට එකම සාප්පුවට ආයි ආයිත් උනත් ගොඩ වෙන්න වගෙ විකාර කරන්න පුලුවන් වෙන්නෙ තනියම යද්දි. මම නම් පොත් චාරිකං ඒක චරං තමා. නැතිනම් මගෙ යාලුවන්ට පණ එපා වෙයි මාත් එක්ක යන්න.

ඉතින් ඊයෙ පොකැට් එක එච්චර සරුත් නැහැ. ඒ මදිවාට පහුගිය සැප්තැම්බරෙන් ඉතුරු පොත් 4ක් තියනව - අටවක පුත්තු, වෙයි වෙයි-ශැංහයි සොඳුරිය, යක්ශයා සහ ප්‍රයිම් මෙනවිය , පියාපත් ලද දෝණිය. ඉතින් ඒවා පෙනි පෙනී තව ගන්න එකත් තේරුමක් නැහැ.

 
මාසික පඩි පැකැට්‍ටුවෙන් නම් හැම මාසෙම එකතු වෙච්චි පොත් අතරින් මගෙ වැඩියෙන්ම හිත ගත්තෙ නම් චේතන් බගත්ගෙ පොත් පරිවර්තන දෙකක් උනු , තුන් තකතීරුකම් කරපු කෙනෙක් මං පොතයි, හෙලෝ හෙලෝ පොතයි. 




රෝසි - උරුම අරුමය (ජෙරල්ඩ් ඩරල් ලියූ- උත්පලා ජයවර්ධන පරිවර්තනය කළ) පොත නම් මම හිතුව තරම් රිවර්තිකාව සාර්ථක නැහැ. ඒක ගත්තෙ ලොකු බලාපොරොත්තු තියාගෙන . (මතකනෙ මගේ පවුලයි අනෙක් සත්තුයි ගැන මම ලිව්ව ලිපිය - එතෙන්දි නම් රානි රාජපක්ෂගෙ පරිවර්තන සරු බස නිසාමයි ඒ පොත් එතරම් රසවත් වුනේ- ආයෙ දෙකක් නැහැ) උත්පලා අක්කා දක්ශයි (ඇය මම හිටිය විශ්ව විද්‍යාලෙ සීනියර් කෙනෙක්, අපෙ රූමි කෙනෙක්) 

ඒත් රානිගෙ පරිවර්තන ශෛලිය ගැන හිතුවාම උත්පලා අක්කා ආරම්භයට ගොඩක්ම හොඳ බව ඇත්ත.. ඒත් ඉතින් .. ජෙරල්ඩ් ඩරල් කියන්නෙ උපහාස්යා පිරිච්ච කෙනෙක්. ඒ උපහාසය රානි සේනාරත්න රාජපක්ෂ තරම් ග්‍රහණය කරන්න උත්පලාට නම් හැකි වුනෙ නැති බව කියන්නම වෙනවා. එක අතකින් ඉන්ග්‍රීසි මුල් පොත නොකියවා මෙච්චර හෑල්ලක් කියන එකත් හරි වැරදි වැඩක්.

මොනව උනත් ඊයෙ ගත්තු පොත් ටික තමයි මෙන්න පල්ලෙහායින් තියෙන්නෙ.

දැන් ඔයාල අහාවි සෙසේ ගත්තෙ ඇයි ආයෙමත් කියලා... මතකනෙ සෙසේ ගැන මම ලිව්වා... ඔව් මට සෙසේ පොත තියනවා. ඒත් මගෙ හිතවත්ම මිතුරෙක්ට සෙසේ පොතක් හොයල දෙන්න මම පොරොන්දු උනා. ඒක ඉ‍ටුකරන්නයි ආයෙත් ගත්තෙ. සෙසේව ඕනෙ නම් දුවලා දුවලා යන්න විදර්ශනා කුටියට. එතන පොත තියනවා . සෙසෙ කියන්නෙ හිනාව සැහල්ලුව සහ සතුටට ඇබ්බැහි වෙච්චි ඕනෙ කෙනෙක්ට කියාපු පොතක්. 



සිරිමත් කියන්නෙ ඇත්තටම ළමා පොතක්. ඒත් ඒකෙත් සෙසේ වගෙ ශෛලියක් තියනව කියල තමා හිතුනේ. ඔලුව වැඩ රාජකාරි වලින් මිරිකිලා වෙහෙසිලා ඉද්දි බරසාර පොතක් කියෙව්වොත් මම හිතන්නෙ අංගොඩ තමයි නවතින්නෙ. ඒ වෙලාවට හොදම බේත් තමයි මේවා :)  


අරුම පුදුම ඉස්කෝලෙ ඊයෙ මම කියවන්න ගත්තා. ඒක නම් ආයිත් නෑ, නියම පිස්සු කතාවක්. ඉහත කිව්වබේත් ජාතියෙ පොතක්. පිස්සු හැදිලා ආයිත් හැදෙනවා. එච්චරට විකාර පොතක්. ඒත් කාලෙ හැටියට කියාපු පොත :) :) 
 
ඕන් ටිකක් බරසාර පොතක්. ඇත්තටම සයිමන් නවගත්තේගමගෙ රචනා ශෛලියට මම බොහොම මනාපයි. සංසාරණ්‍යය අසබඩ වගෙ පොත් වල මම ගොඩක් ගැඹුරක් වින්දා. ඒ ශෛලිය හොඳ සෙන්සිටිව් මූඩ් එකක ඉන්න වෙලාවට. ආයෙත් නෑ , ගැඹුරේම ගිලෙනවා. 

මග සොයා යන ගමන කියන්නෙ භික්ෂුණියකගෙ ස්වයං චරිතාපදානයක්. විදර්ශනා පොත් ගෙදර තුසාරි අක්කා තමයි කිව්වෙ මේ පොත හොඳ බව. සිල්මාතා කායිව් සහ ආචාරිය මන් භූරිදත්ත තෙරුන්ගෙ කතා කියෙව්වා නම් මේ පොත ඒ වගෙ එකක් වෙන්න ඕනෙ. තාම කියෙව්වෙ නැහැනෙ. කියෙව්වම කියන්නම්කෝ. අවුරුදු ගණනාවක්ම රැවටිලි මායාවන්ට හසුවූ මේ තේරණිය ඒ හැම එකක්ම අතරින් මග සොයා ගිය ගමන කියවෙන පොතක් මේ. 
 
පුනරුක්ති කියන්නෙ ගිය අවුරුද්දෙ ඉඳලම ගන්න එක මගෑරුනු පොතක්. ඒත් ගන්න තදින්ම හිතුනු පොතක්. අනෝමා ජනාදරීගෙ ජීවිතේ කොයිවගෙද බලමු.  
නිරුවත් වානරයා කියන පොතත් ඒ වගේ. මේ පොත පොඩි කාලෙ (ඒ කිව්වෙ අවුරුදු 21 වගෙ) දකිද්දි ගන්න ලැජ්ජා හිතුනෙ මිනිස්සු මොනවා කියයිද දන්නෙ නෑ කියලයි. ඒත් දැන් ඉතින් ලෑජ්ජාවට වඩා මේ පොතේ වටිනාකම දන්න නිසා ආයිත් මට මොකද කවුරු මොනවා හිතුවත්? නේද? අනික දැන් මම ලොකුයිනෙ . නේද? හෙ හෙ. 

ඔය පල්ලෙහායින් තියන ඉතුරු පොත් තුනම ඉතින් මගෙ දෑනුම එකතුවට තමා. විභාග දෑනුම මට වඩා වටින්නෙ මගෙ ලමයින්ට. ලක්දිව බුදු පිලිම කියන්නෙ මම කියවන්න බොහොම මනාප විෂයක්. ඒ වගෙමයි සර්පයෝ. අනේ මන්දා. සර්ප විද්‍යාවටත් මම බොහොම ආසයි, පොඩි හැකරැල්ලෙකුටත් බය උනාට. ඉතින් දැක සතුටු තමයි. :) :)  




ඔන්න ඔය විදියට හරිම තෘප්තිමත් පොත් දවසක් ගෙවලා , ගොනා අනින්න ගිහින් උලුක්කු වෙච්චි කකුලෙ ඉදිමිල්ලත් කීප ගුනයකින් වැඩි කරගෙන ඒත් හිතේ පුරවගත්තු පොත් සුවඳයි , අතේ තිබ්බ හැටියට ගත්තු පොත් ටිකයි අරගෙන මම ගෙදර ආවෙ ඔය විදියටයි. දැන් ඉතින් ලමයි මට හරියට වැඩ :) :) ලමයි මට කරදර කරන්නෙපා. තියනව මේ පොත් එක එක අනුභව කරන්න මට :)

Thursday, November 17, 2011

[217] නගරං කපුටු 'වස්තුව'

ගොම්මනට කිසිම බිය සැකක් නැතිව කොලොම් තොටේ රස්තියාදු ගසමින් , කඩ සාප්පු වල ඇවිදීමේ නිදහස අද සීමා වී තිබේ.. එයට හේතුව ගෙයි මාපිය සෙවණේ කූඩු වීම නොවේ... රෑ දෙගොඩ හරියේ මම යන  අඩල් ගමන් වලට දැන් අපේ අම්මාගේ සිත කම්මර වී තිබේ.. මගේ වියපත් බව සිහි කැඳවා 'දැන් මා පොඩි එකකු නොවේ යයි කියා     ඒ කාලයේ මම රණ්ඩු ඇල්ලුවා මතකය.එහෙත් එදා මම පොඩි ලමයකු නොවේදැයි අද මට සිතෙයි. අද මම පොඩි ලමයකු වී සිටිමි.නොකල්හි වට වැස්සක් වූ එකල්හි, අවාරයේ පොහොර දා, නිසි නින්දේ ඇහැරෙන ඉවසිල්ල අහිමි කරගත් මෝඩ 'නොපිපි මල' මම වීමි ...

ගොම්මන ලංවී නගර මධ්‍යයට පැමිණි මම , අද එක් විනාඩියකට ඔරලෝසු කණුව ලඟ නැවතුනෙමි. කොලොම්තොට එදවස 'හවස' මම යලිත් සිහි කැඳවා ගන්නට තැත් කළෙමි. එය මහා ශාන්ත හැන්දෑවක් ලෙසින් , කාර්යාල නිමවී සෙමෙන් සෙමෙන් ගාලු පාරේ ඇවිද යන වෙහෙසක් නැති ගැහැණු මිනිසුන් මගේ  සිත් බිත මත ප්‍රක්ෂේපණය වෙයි. කඩ සාප්පු වලට ගොඩ වදින , සෙමෙන් සෙමෙන් යලි මගට බසින , අතෙහි ඇති බෑග්
පිරික්සන ඒ කොලොම්තොට වැසියනට තවමත් රෑ වී නැත. 





මම මෙ'නුවර , මහනුවර ඔරලෝසු කණුව අසලය. ඔවුහු දුවති. වියපත් මාපියන් , කුඩා දරුවන් , තරුණ තරුණියන් , එකම පිම්මෙන් පැන පැන යන අයුරු මට පෙනේ. ඉර බැස යාමේ භීතිය මේ තරම් දරුණු හැඟීමක් න්න , වසර කිහිපයක් ගෙන්දගම් වාෂ්ප ආඝ්‍රාණය කළ මට නුහුරුය.එහෙත් මටද ඒ භීතිය වැලඳීගෙන එයි.

ටවුන් නුග ගසේ වවුලෝ සිය ත‍ටු හරි බරි ගස්සාගෙන , උගුරකට පාදමින් නිවෙස් හැරපියා ගොදුරු සොයා යන දවසේ පශ්චිම යාමයයි මේ. කපුටන් නැත්තේ කොයි නුවරද? මෙ'නුවරද එය එසේමය. කපුටෝ කපුටෝමය. මේ තරම් ගණ නිල් තුරින් ගහණ හන්තානට හෝ උඩවත්ත කැලයට ගාල් නොවී උහු මහ නගර මධ්‍යයේ , දුහුවිල්ලෙන් ගහණ , තොර‍තෝංචියක් නැති නලා නද වෙන , නුග තුරෙහිම ගාල් වෙති. දවස තිස්සේ කුස පුරවාගත් සතුටින් , කපු‍ටු ඇඹේණිය ඇඳ රෙදි ගසමින් නිදි දෙව්දුවගේ සාරිපොටෙහි ගුලි ගැසෙන්නට යහන සදන්නීය. එතෙක් , කෙලි දෙලෙන් නටන කපු‍ටු දරුවන්
,  දවසාවසානයේ අසල්වාසීන් සමග දොඩමලු වන කපු‍ටු තාත්තලා  මට මැවී පෙනෙයි.  ඒ හඬ මට කොලඹ කොටුවේ ඇසුනාදැයි මතක නැත.


 රාත්‍රියෙන් හරි අඩක්ම ගෙවී යන තුරු නොනිදන,  වීදි ලාම්පු , කඩ සාප්පු , රසමසවුලු ඉදෙන විසල් උඳුන් , වැල නොකැඩී එන රථවාහන දම්වැල්  අස්සේ එකෙල මෙකෙල වෙමින් 'සැබෑ අඳුර' පිවිසෙන තුරු රවුම් ගැසූ අතීතය අවසන්ය...

ඒ වෙනුවට ඇත්තේ, අන්ධකාර භීතියෙන් මුසපත්ව , එක පිම්මේ පැන යන දෙනෝදාහක් අතරින් ගෙදර දුව යන වර්තමානයයි. මහනුවරින් අඩක් වසා සිටින මහ නුගයේ කපු‍ටු කපුටියන්ගේ  ගෝසාකාරී කචබචයෙන් මිදී  , නොයිවසිල්ලේ ගෙදර සිහි කරන, ඒ සිතමින්ම බස් රථයේ හිඳ මේ මතක කුරු‍ටු ගාද්දී , කුහුලෙන් ඒ වෙත එබෙන නුවරුන්ගෙන් එකෙකුවී ගෙවෙන වර්තමානයයි.

රෑ වුවහොත් අන්ධකාර භීතිකාවේ උත්ප්‍රාසය දියුණු වන්නට වල් ඌරු භීතිකාවද එකතු වේ. එකල්හි නපුරු මිනිසුන්ගේ ඇල්මෙන් බැල්මෙන් මා අනතුරේ වැටෙතැයි බිය ගත් මාපියන් අද භය වන්නේ වල් ඌරාටය..

එදා  සහ අද බොහෝ කල් ගතව නැතත් , කාලය විසින් මට කළ යුතු යුතුකම ඉතා සතු‍ටුදායක අයුරෙන් කර ඇති බව මට අද සිතෙයි...



කොටුවේ බෝගසටත් මහනුවර නුග ගසටත් එක සමාන අයුරෙන් දුහුවිලි මුසුවේ.  රන් මීවිත පුරවා ගත් වීදුරු දාරයෙහි ඈඟිලි තුඩින් රවුම් අඳිමින්, එක් නගරං කාක්කෙකු තව කාක් ගෑටයන් පිරිසක් හා එක්ව බෝ අත්තක 'සෑට්' වී පූල් ගසනවා වියහැකිය.  ඒ තරම් ලාම්පු එලියක් නැති බෝ අත්තක වෑතිරී කපුටු පෑටවුන් ඉස්කෝලේ දුන් 'හෝම් වර්ක්' කරද්දී, තවත් නගරං කාක්කෙකු පපුතුරෙහි මවිල් අතගාමින් , පිම්මේ දුවන නුවරුන්ට තටු නාවේ මන්දැයි කල්පනා කරනවා විය හැකිය...



ඒ එ'නුවරදැයි මෙ'නුවරදැයි වෙසෙස් වෙනසක් නැතැයි මට සිතේ..

 
Some People FEEL the rain, others just get WET.
Bob Marley


Tuesday, November 08, 2011

[214] පෙම්මුල්ලේ රස්තියාදුව 10

ගිය ඉරිදා, මහා වැහි දවසක්...අන්ධකාරය කපාගෙන අරමුණට යා යුතුව තිබේ.රාත්‍රිය කපාගෙන මාලබේට යා යුතු තවත් අර්බුධකාරී දවසක්..

වැහි කෝඩයට තැලී පොඩිවී මිරිකෙමින් නුවර කරා යන ගමනේදී , ආපසු පියවර තියා ගෙදර දුවන්න හිතුනේ වරක් දෙවරක් නොවෙයි
. ගෙදර දුවා ඇඳට පැන පුරුදු බ්ලැන්කේට්‍ටුව තුල ගුලිවී නින්දක් ගසන්නට කියාපු කාලගුණේ... :(  සිත පෙ‍රැත්ත කරයි.

දෙකට දෙවාරනේ තීරණ ගැනීම, ආඩාතාඩේ ගමන් යෑම යන දෙකම දැන් පුරුද්දක්ද මන්දා... ඒ හින්දාම හිත කියන්නේ මේ ගමන් තියපු පය ආයිත් ගන්නට එපා කියලාමය. වැහි අඳුර දවසාවසානයට අඬ ගසන විට මම පානදුරේ බස් එක අසල !

එකම සීට් එකක්වත් නැහැ
. ඊලඟ බසයට පැයක් තිබේ. කලින් දාක ගිය 'හිටගෙන' රස්තියාදුවත් මතක් වූයේ ඉබේම..අදත්... හපොයි.... . අන්තිම පේලිය පැත්තට ඉගිල ගිය කොන්දොස්තර කොලුවා බූරු ඇඳන් හකුලවා, මහා කෝණ සුලු කෝණ කොට මා චුට්ටන් ඉඩෙහි හිර කෙටී වාඩි වෙන්නට සැලැස්වූයේ ආයෙ නැගිටින්නටවත් බැරි වන්නට පසුපස පේලිය පැක් කරවමින්.  ඉතින් මේකයි ඉරණම! කරන්නට දෙයක් නැත. අද පෙම් මුල්ලේ.. ! මුල්ලේ කිව්වාට ,ඇත්තම කියනවානම්, ඒ පෙම් මුලු දෙකේ මධ්‍යස්ථ ලක්ෂ්‍යය හෙවත් බස් එකේ භයානකම ආසනයේය!.  




 නිකම් එක විදියකට ඉන්න වෙනවා මදිවට හිරවෙලාත් නිසා පොඩි වෙනසකටත් එක්ක නෝට් පොත දිගැරගෙන ඔන්න මේන් මේ ටික කුරු‍ටු ගෑවා මම.


'හැරමිටියෙන් ඇවිදින්නෝ
අපට එරෙහි වී එන්නෝ
සීමා මායිම් වැටකො‍ටු
මේ කිසිවක් අපට නැතේ...
වැරදීමෙන් හුස්ම ගියත්
අපි හඬන්නෙ නෑ'

හැමදාමත් ආස ගීතයක් කන් දෙකේ ‍රැව් දෙනවා... මොකද මේ ගීතෙ පුරාවට 'නෑ නෑ' ගෑවාට මේක අසුබවාදී ගීතයක් නෙවෙයි. මේක සර්ව ශුභවාදී ගීතයක් :)  උෂ්ණාධික බස් අභ්‍යන්තරයත් ඊට නොගැලපෙන වැහි පරිසරයත් නිසා සෙමිලක්ශරි බසයේ කර්ටන් පවා වහලාය. ඉතින් බස් එකෙ සුවඳ හෙම හිතා ගත්ත හැකි නේද? 



සිතුවිලි ඔහේ ඇදීගෙන යන්නේ ඈත්ව යන නුවරත් සමග අතීතයත් මැකී යන්නාක් මෙන් අමුතු හැඟීමක් දනවමින්. එහෙත් මේ ඇදී යන්නේ නුවර තරමටම (ඇතැම් විට ඊටත් වඩා) වේදනාබර මතකයන් ශේෂ වූ ගෙන්දගම් පොලවට....කොහෙත් පොළව එකමයි... ගෙන්දගම්ය , ගුරුපාරය වෙනසක් නැහැනෙ , ගුරුත්වය එකමනෙ :-)

කොහේ ගියත් 'මතකය' ට දොස් අසන්නට සිදු වෙනව
. කොහේ හිටියත් කොහෙන් පලා ගියත් 'මතක' ඉල්පෙන වර්තමානය වේගයෙන් කැලැත්තෙනව...  මම වේගවත් කෙටි හුස්මක් හෙලමි න් මුල් ඇදුනු සිතුවිලි මුදා හැරිය... . හුස්ම තරමට සිතුවිල්ලත් කෙටි කරගන්නට හැකි නම් හොඳයි.....


අතින් කට වසා ඈනුමක් වත් අරින්ට ඩ්‍රයිවර් මාමා ඉඩක් නොදෙන්නෙ කිසිම අනුකම්පාවක් නැතුව.. . බස් එක ඒ තරම්ම සෙමින් යන්නෙ ! මට කම්මැලියි. බස් එකම අඩ අඳුරේ නිදාගෙන වගේ.... නිකම්ම ඉන්න එකේ වටපිට බලන්නට වූ මම දුටුවේ පෙම් මුල්ල... !!!! 

එතන නාටකයක්. ආයෙමත් ඉච්චාකාර බළල් වේශයෙන් මගේ රස්තියාදුකාර සිත පරල වෙන්නට පටන් ගත්තා....මාත් හොර හොරෙන් කට කොනෙන් ඈස් කොනෙන් මේ නාටකය බලන ඉඳගෙන හිටගෙන යන අනාරාධිත ප්‍රක්ෂක සමූහයට එකතු වුනා. අයිපොඩ්ඩාවත් කණෙන් ගැලෙව්වෙ සිද්ද වෙන දේ සහසුද්දෙන් දැනගන්ට... 

තරුණ යුවලක්. වැඩිම උනොත් වයස 30ක් ඈති. කෙල්ල දඟ පාටයි. මුදු මුදු කොණ්ඩෙකුයි, අවුවට ටෑන් වෙච්චි රත්තරන් පාට හමකුයි එක්ක. එක තැනක ඉන්න බැහැ. කැරකෙනවා දඟලනවා. හෝව් හෝව්... කවුරුවත් නොවෙයි. මේ කෙල්ල කිව්වෙ, තරුණ යුවලගෙ පුංචි පැන්චි. දූ පොඩ්ඩි. 

කෝටු ! කෝටු! හිතුව නේද වෙන එකක් ? හී හී ;-) 

ජීවය සෙනෙහස දඟකාරකම් ඉතිරී පැතිරී යන දකුණු පෙම් මුල්ලේ මේ තරුණ අම්මයි තාත්තයි , ආච්චි අම්මයි එක්ක පොඩි පැටික්කි සෙල්ලම් කරන්නෙ පොඩ්ඩක්වත් මහන්සි නැති ගානට. ඒ මදිවට අම්මයි තාත්තයි ආචිචියිත් හරි හරියට කෙලි පොඩ්ඩි එක්ක එන්ටටේන් වෙනව. බලන් ඉන්න ආසයි. කට්ටියම පොඩි ලමයි වගෙ. 


මුලු බස් එකටම ඇහෙන්න කවි ගී සින්දු කිය කිය පොඩ්ඩි සෙල්ලම් කරනවා. බස් එකේම ඇස් පොඩ්ඩි දිහාවෙ. මටත් හිනාව නවත්ත ගන්න බැහැ. 


මාත් ඉතින් පොඩියක් කතාබහ කරල පුංචි පවුල එක්ක එකතු වුනා කඩචෝරුවක් හෙම බෙදාහදාගෙන.

යන්නෙ කොහෙද , කින්ද මන්ද හෙම හිතවත්කමට හුවමාරු වුනා. බොහොම අව්‍යාජව කතා කළ නිසාම, කතා කරන්නත් ආස හිතුනා. කට්ටියම හරි සතුටෙන්. පානදුරෙ සිටන් එදා උදෙ රැයින්ම පානදුර-නුවර බස් එකෙ,  දලඳා වඳින්න ආව පවුල මේ ආපහු ගෙදර යන ගමන්. මෙච්චර පෑය ගණන් බස් එකෙ කටුව කා ආ වගක් කට්ටියගෙ මූණු වලින් නම් පේන්නෙ නෑ. මහන්සියක් නිදිමතක් නැත්තෙ පොඩ්ඩි නිසා වෙන්න ඕනෙ. 


දඟකාරි අම්මගෙ පිටේ දඬුලේණියක් වගෙ නගිනවා. ආයිත් ඔඩොක්කුවට පනිනවා. ආයිත් තාත්තාගෙ බෙල්ලට පනිනවා. සෙල්ලම් ගොඩයි.  තාත්තා දඟකාරිගෙ බඩට මූණ තියල කිචි කවනව . කිරි හිනා බස් එකෙම දෝරෙ ගලනවා. 


 පොඩි එකීගෙ සෙල්ලම් ටික නිසා අයි පොඩ්ඩ කණෙන් ගැලවුන. නෝට් පොතෙනුත් වැඩක් නැති ගානයි. අප්පච්චිගෙ මූණ මගෑරලා පොඩ්ඩි මට මූනු හදනව. මම ලේසියෙන් චූටි උන්ට ෆිට් නොවුනත් , මෙයා නම් ඕනෙ කෙනෙක්ව දැපනෙ දාගන්නව වගෙ ..  


එක පාරටම මට මතක් වුනා වචනයක්.. හැබෑ නේන්නම්... 'පෙම් මුල්ල'..... ආදරේ ඉතිරී පැතිරි යන පෙම් මුල්ලක් නොවෙන්නම් මේ.... පෙම් මුල්ල සිසාරා පැතිරෙන හිනා කවටකම් බොලඳ වැඩ දිහා බැලුවම , ඇත්තෙන්ම මට හිනා ගියා. 'පෙම් මුල්ල' ගැන...



අම්මාවත් අප්පච්චිවත් පොඩි එකීගෙ දෑත් තදින් අල්ලාගෙන නැති. ආච්චි අම්මත් හිනා වෙවී බලන් ඉන්නවා. අම්මගෙ ඔඩොක්කුවේ හිටගෙන ඉන්න පොඩි එකී දඬුලේනෙක් වගෙ වේගෙන් යන බසයෙ තාලෙට පැද්දෙද්දි මගෙත් ඇඟේ ලේ වතුර වෙනවා. ඒත් අම්මා පොඩ්ඩිට තරවටු කලේ නෑ.  වෙලාවකට බ්‍රේක් නෑතුව අම්මගෙ ඔඩොක්කුවෙන් බිමටම රූටන පොඩ්ඩි තව වෙලාවක බස් පොල්ලෙ චූටි නිකටත් ඇණ ගත්ත මම දැක්ක. පොඩ්ඩි ඇඬුවෙවත් , අම්මල බය උනෙවත් , පොඩ්ඩිට තරවටු කලේ වත් නෑ. ඔය තියන දාන්ගලේට ඕවා මයිනර් ඉන්ජරීස් වෙන්න ඇති.හිකිස්...


 පැය හතර ගෙවුන හැටි හිතාගන්නවත් බැහැ. පෙම් මුල්ලෙ මැද්ද ආසනේ කියන්නෙ, බ්‍රේක් එකක් ගැහුවොත් ඩ්‍රයිවර් මාමගෙ ඔඩොක්කුවට ගිහින් වැටෙන ආසනේ. එදා ඔරුවක් හබල් ගාන්න ලෑස්ති වෙලා වගෙ සීට් දෙක තරයේ බදාගෙන මහ වැස්සෙ , බස් එක අස්සෙ දැවෙන රස්නෙ මැද්දෙ ගියත් , අයිනෙ සීට් එකක සින්දුවක් අහගෙන යන දවසට වඩා විනෝදෙන් පෑය හතර ගෙවුනා... 

පෙම් මුල්ලේ පොඩි පැන්චියි , පැන්චිගෙ කවි සින්දුයි, පැන්චි තරම්ම සුන්දර අයියයි, අක්කයි, ආච්චි අම්මයි නිසා...  


පෙම් මුල්ලට ජය වේවා !!!! :-)



Wednesday, October 26, 2011

[212] සිත්තර රස්තියාදුව 9 - යටත් විජිතයට එබී බැලුවෙමි

අද නුවර ටවුමට යැවුනෙ අහම්බෙන්. පොත් සත්කාර්යයෙ තවත් අදියරකට පොත් ගන්න ලෑබුනා. ඉතින් පන්දහසක පොත් මල්ලත් කරින් අරන් එද්දි , රස්තියාදුවක් යන්න තරම් වටින දෙයක් මේන්න ඇස් ඉස්සරහා!!!! ආයෙ කිසි කලෙකත් බලන්න වෙන්නෙ නැති දෙයක්. මෙතෙක් එතෙක් කල් කිසිම තැනක ප්‍රදර්ශනය නොවෙච්චි දෙයක්. මෙතෙක් කල් මහා බ්‍රිතාන්‍ය කෞතුකාගාරෙ බුක්තියට සවි වෙච්චි එක්දාස් අටසිය කාලෙ පින්තූරු එකතුවක්!!!!


නොබලා කොහොමද දෙයියනේ... දෙසින් දකින්න ගත්තු දේ මාව වශී කලෙ පොඩ්ඩක් නම් නොවෙයි. මේක එසේ මෙසේ සුන්දරත්වයක් නොවෙන බව පසක් වෙද්දි ෆෝන් කැමරා ඇසයි , මගෙ රස්තියාදුකාර හිතයි ඉතිහාසෙට පෙම්බඳින්න වුනා .. පැය ගානක්ම.


මෙන්න මෙහෙමයි අපිව පිලිගත්තෙ
මේ නොක්ස් මහත්මයගෙ චිත්‍ර
නොක්ස් දුටු ලංකාව
නොක්ස් දුටු ලංකාව
 
1660 දී ගාල්ල


නොක්ස් දුටු රාජසිංහ රජු

මේක හරි අපූරු චිත්‍රයක් . අනේ සොරි මට මතක නෑ :(

පුරාතන දලඳා මාලිගා සිතියම


19 සියවස මැද ඇඳි සිතුවමක්


සැමුවෙල් ඩැනියෙල්ගෙ චිත්‍රයක් - වල් ඌරා

සැමුවෙල් ඩැනියෙල්ගෙ චිත්‍රයක් - මුදලිතුමා , රා මදින්නා

සැමුවෙල් ඩැනියෙල්ගෙ චිත්‍රයක් - ජලය රැගෙන යන්නා

සැමුවෙල් ඩැනියෙල්ගෙ චිත්‍රයක් - භූමි දර්ශන

ඇත් ගාලක් - 1845

ඇතුන් ඇල්ලීම- 1825

ඒ කාලේ මාලිගාව - 800 ගනන් වල :)

1818 ඇඳි පින්තූරයක් - කුරුඳු තලන කුල ප්‍රධානියා

භූමි දර්ශන - 1803


කලා නිර්මාණ -1800 ශතකය

ඇත් දළ පනාව

තවත් නිර්මාණ

තවත් නිර්මාණ

පුරාතන ගැමි දිවිය

පුරාතන ගැමි දිවිය

පුරාතන ගැමි දිවිය

පුරාතන ගැමි දිවිය



17 සියවසේ මූදු සිතියමක්

1740 ඇම්ස්ටර්ඩෑම්හි මුද්‍රනයක්

1822 සිතියමක්


17සිය ගනන් වල ඇඳපුවා :)

17සිය ගනන් වල ඇඳපුවා :)

17සිය ගනන් වල ඇඳපුවා :)


මේ මොකක්ද??? පුලුවන් නම් කියන්න

මුහුද යට- 1867

ශාක ආදර්ශන 1867

කුරුඳු

පේරාදෙනියෙ ගසක්

 මෙන්න නුවර යුගයෙ අත් පිටපත්.............

වෙස්සන්තර ජාතකය

වෙස්සන්තර ජාතකය

සාර්ථ සංග්‍රහය

තවත් අත් පිටපතක්


ගාල්ල 1852

කොලඹ 1852

ගාල්ල 1852


රන්වැලි සෑය

ගල්පොත පොලොන්නරුව

මතක නැත :(


හින්දු පූජකයින්

ගාල්ලේ රන්කරුවන්

කරණවෑමින්

පානබොක්කේ පවුල 1880

ගාල්ලේ රන්කරුවන්

කම්මල් කරුවන්

මෙන්න නුවර !

නිවැසි බෝට්ටු

පලතුරු වෙලඳසැලක් -නුවරට නුදුරු 

ස්කන්ධ කුමාර අත්කම්

ස්කන්ධ කුමාර අත්කම්


ගමනා ගමනය 

එකල්හි ගමනාගමනය

එකල්හි ගමනාගමනය (මග නැගුමද?) :)

කෝපි තේරීම

ආච් චෙම්බර්ලේන්ගේ නිවසේ ආලින්දය

අපනයනයට කුරුඳු මිටි බැඳීම

තේ දළු අඹරන යන්ත්‍රය

තේ බර කිරීම

තේ නෙලන්නන්ගේ පෙරෙට්ටුව


සර්වඥ ගුණාලංකාරය - සොලොස්මස්ථාන සඳහන්ව ඇත

පන්හිඳ

රිදී පත්

විදුර පණ්ඩිත ජාතකය


ඔන්න පොත් ප්‍රදර්ශනේ වගෙම චිත්‍ර පරදර්ශනෙත් ඉවරයි. හෑම චිත්‍රයම ෆොටො ගත්තෙ නෑ. හෑම වර්ගයෙන්ම එක දෙකක් තමා.  



 මහ රෑ 3 වනතුරුම මේ කැප්ශන් දාමින් මේක ලිව්වෙ අපෙ ඉගෙන ගන්න දුවා දරුවන්ට වගෙම ලොකු පොඩ්ඩන්ටත් , මෙතෙක් නොදුටු අපූරු ඉතිහාස චාරිකාවක් දැකගන්න සලසන්නයි. හින් එහෙනම් අදට ආයුබොවන්. 

චිත්‍ර ඔබට ඕනෙද? එක එක බාන්න ඕනෙ නෑ. මෙන්න පල්ලෙහායින් මම හැදුව ස්ලයිඩ් ශෝ එකකුත්. ඒක බාගන්න :) 




 පසු සටහන 1 



 මේ උඩහින් ඉන්නෙ පොඩි පුතුත් එක්ක චිත්‍ර බලන්න ආව තරුණ පහේ ඩෑඩී කෙනෙක්. 

අනේ අකුරු බැරි පොඩි එකා මෝඩ පැටියෙක් වගේ 'චිත්‍ර බලනවා' ... 

අකුරු පුලුවන් තාත්තා 'චිත්‍ර විඳිනවා'!!!! 

ඇයි දෙයියනේ පුංචි පැටියට තේරෙන භාශාවෙන් මේවා කියල දෙන්න බැරි ????

'චූටි පුතේ මෙන්න ඒ කාලෙ නුවර වැව. මෙන්න මාලිගාව..' ඇයි දෙයියනෙ අපෙ අලුත් පරපුරෙ අම්මල තාත්තල මේව නිකම්ම මෙහෙම යන්න අරින්නෙ ??? 

අධ්‍යාපනේ කියන්නෙ පන්ති කාමරෙයි , ටියුශන් එකයි , විබාගෙයි කියල තාමත් හිතන අපි ඉන්නෙ ඒ වැඩවසම් යුගයෙම නම් තමයි !!!!!! 

පොඩි පැටියට සීනිබෝලයක් පෙන්නලා බස් එකට දුවන ඔබට බැරිද එක විනාඩි 15ක් වැය කරල මේවාගෙ දෙයක් පෙන්වන්න. ප්‍රායෝගිකවම මේ වගෙ දෙවල් දකින්න ඉගෙන ගන්න හුරු කරන්න? මම හිතනව මේ පෝස්ට් එක දැකල ඉන් පස්සෙ මේ වගෙ තැනකට යන අම්මෙක් තාත්තෙක් නම් පොඩි එකාට මේ කැටලොග් කියවලා එයාට තෙරෙන බාසාවෙන් කියල දේවි කියලා. පික්නික් මොකටද? නොමිලේ බෙදා දෙන මේ දැනුම් සාරය ගන්නෙ නැතුව !!! 

ඔන්න එහෙනම් යාලුවනේ ,,, ඔයාලත් මේ චිත්‍ර දෑහින් දැකගන්න ආස නම් ,  





මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->