Friday, July 27, 2012

[258] සාංකාව සහ සමනල්ලු

පෙම්වතෙකුට , මම මේ කිව්වේ සරල සුගම පෙම්වතෙකුට තිබෙන එක් පොඩි සිහිනයක් වෙයි. මුලදී පොඩි පොඩි සිහි කැඳවීම් වලින් පටන් ගෙන , මේ සිහිනය  බරපතල සික්නස් (sickness)  එකක් තරම්ම නරක් වෙන්නේ ප්‍රේමයේ මුල්ම දවස් වලටය. ඒ සික්නස් එක නම් , පෙම්වතිය ලඟ නැතිවීමෙන් හැදෙන සාංකා තත්වයය. ඩෙංගු මැලේරියා බරවා තරම්ම ශාරීරිකව බරපතල නොවුනත් මේ රෝගය මානසිකව නම් යම් බලපැමක් කරයි. රස්සාව බකල් වෙන තරමට, කන්න බොන්න බැරි වෙන තරමට මේ ලෙඩේ විටින් විට කොල්ලාගේත් කෙල්ලගේත් හිත් දුකෙන් බර කරවයි.

ඉතින් හූල්ල හූල්ලා සතියක් මාසයක් ,එක්කෝ අවුරුද්දක් දෙකක්... රටේ ලෝකේ පෙම්වතුන්ගෙන් අටෙන් පහක් විතරම කල්පනාවෙන් බරව ජීවත් වෙන්නෝය. (පෙම්වතුන් කියන කුලකයෙන් මම මැරීඩ් අයව පොඩ්ඩකට අයින් කලාම තමා ඔය ප්‍රතිශතය ගනන් හැදෙන්නේ) :) :)

එක්තරා රටක එක්තරා ගමක කොල්ලෙකුත් කෙල්ලෙකුත් සිටියෝය. මේ කොල්ලා ‍රැකියාව කරන්නේ නගරයේය. ඒ නගරේ ගොඩක් දුරය. ඒක නගරයක් උනාට සමනල්ලු සිටිති. (සමනල්ලු නැත්තේ කොයි නගරයේද නේද?) . කොල්ලාගේ කෙල්ල ඉන්න ගමේත් සමනල්ලු සිටිනවාය. ඒත් මේ දෙන්නාට කොලුවා ගම එන තුරුම දකින්නට නම් ලැබෙන්නේ නැත (සතියකට පාරක් වගේ). ඒත් සමනලයින්ට එහෙම නැත. ඇඟේ හැප්පි හැප්පී , එති එතී , කිචි කවමින් , හුරතල් වෙමින්, ඉඳහිට නෝක්කාඩු කියමින්, අමනාපයෙන් ඈත් වෙමින්, ආයිත් ලං වෙමින් සමනලයින් පෙම් සුව විඳින සැටි පෙනෙන  කොට , නගරයේ ගිනි ගහන අවුවේ (මම හිතන්නේ මේ කාලයේ ලයි‍ටුත් නැතුව) රස්සාව කරන කොල්ලාට හිතෙන්නේ මේ වගේය.  මේක නම් තනිකරම ඉරිසියාව මිස වෙන කුමක්ද?




නුඹේ පෙම් ලෝකේ - සුවේ විඳින සමනල් යාලුවේ
මටත් පෙම්වන්තී - ලඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
නුඹලාට වාගේ නෑ - බාධා අනන්තයි
වැටකඩොලු සීමා මායිම් බොහෝමයි
හමුවෙන්න වත් නෑ නිදහසේ...


කොල්ලෙකුට ආදරවන්තිය ඉස්සරහා වීරයත්වය පෙන්වීම එක්තරා හීනයක් වෙන්නට ඕනේය. කෙල්ලගේ ලෝකයේ ඉන්නා වීරවරයා තම සැමියා බව ඈ පිලිගන්නේ නම් එය තරම් කොල්ලෙකුට වටිනා අන් දෙයක් තිබිය හැකිද? නොදන්නෙමි. මම කොල්ලෙක් නොවෙමි.. :)

ප්‍රිය සාදයේදී මා ගී ගයද්දී - ඈ ඉන්නවා නම් ලඟ හොඳයි
ක්‍රීඩා ලොවේදී මා ජය ලබද්දී - ඈ දකිනවා නම් හරි අගෙයි
ඒත් කෝ නෑනේ.. අනෙ තවත් නෑනේ..
ලැබුනෙ නෑ අවසරේ - නුඹ ලඟින් නෑ මගේ.. 
 
 
හැම පෙම්වතෙකුටම මේ සරල සුන්දර සිහින තිබෙනවාමය. මේ පෙම්වතා කොච්චර බරපතල පෙම්වතෙකු වුවත් , මොන තරාතිරමේ එකෙකු වුවත් , හැම පෙම්වතාටම හිතෙන ආදර හීන මෙතන තිබෙනවාය. ඒ හීන ඇතැම්විට නොදැක ඉන්න බැරි තරම් හිත පෙලන්නට ගන්නා විට මේ වගේ ගීත ලියවෙනවා වෙන්නට ඕනේය. ඒ ගීත ඇහෙද්දී සැබවින්ම පෙම්වතුන්ට හීල්ලෙනවා විය යුතුය. අනේ මන්දා එහෙම නැතිනම්... .. මන්දා..ය.. :) :)

සති අන්තයේදී සිනමා හලේදී - හමු වන්න ඇත්නම් මා ප්‍රියේ
ඉර බසින යාමේ මුදු සුමුදු වෙරළේ - පෙම් ගී ගයන්නම් ආදරෙන්
හෝ හෝ  කෝ නෑනේ.. අනෙ තවත් නෑනේ..
ආවෙ නෑ ඈ අනේ, තනිව මා මගෙ ලොවේ..

 
 සංගීත් විජේසූරියගේ මුවින් නිරායාසයෙන් ගලා එන අපූර්ව කෙලිලොල් කටහඬ මවන්නේ අලංකාර චිත්ත රූපයකි. මට නම් මැවෙන්නේම දඟකාර සොඳුරු යෞවනයෙකි. හුරතල් සමනලුන් දෙදෙනෙකුගේ දෙස බලමින් පෙම්වන්තිය සමග මොහොතකට මනසින් ලංවී ඉගිලෙන පෙම්වතෙකි. ඒ පෙම්වතාට සමනලුන්ට තියෙන උවදුරු මතක නැතිය. ඒ ප්‍රේමයේ හැටිය. 

කොටින්ම එක ගාව ඈලි ඇලී වෙලි වෙලී ඉන්ඩ තියෙනවා නම් , වට්ටක්කා නැට්ටක් උඩ උනත් කමක් නැතිවා වගේ තමාය. !!!!


සැබවින්ම මේ සොඳුරු සරල ගීයකි. එහෙත් ඔබට දැනුනාද? මෙහි ඇති අව්‍යාජ සුන්දර බව? සරලත්වය. ගීයක මුසු විය යුතු රිද්මයෙහි තිබෙන සුමට බව? සංගීත්ගේ කටහඬින් මැවෙන සොඳුරු ආදරයේ චමත්කාරය පිටිපස්සෙන් මේ අරුතෙහි දුවන්නේ තනිකරම ඇඬියාවක් බව දැනුනාද? එය නොදැනෙන්නට , දුකෙහි සුන්දරත්වය ඉස්මතු වන්නේ හරියට කුඩා පැලැටියක් නිසි නින්දේ හෙමීට වැඩෙන වේගයෙනි.. ගීයක චමත්කාරය මට දැනෙන්නේ අරුතෙනි. අරුත මවන කටහඬෙනි. හඬෙන් මැවෙන ලාලිත්‍යයෙනි. සංගීතයට සංගීත්ව අතික්‍රමණය කළ නොහැකි වන්නේ එනිසාය. ටකරං සංගීතයෙන් පලුදු වහන්නට තරම් සංගීත්ගේ හඬ බාල නැතිය.

අපිට මීට දශකයකට කලින් තිබ්බේ අන්න එහෙම සංගීතයකි. බෙලෙක් සද්ද , ‍රැප් හෝ, ගෑණු හඬින් ගයන පිරිමි ස්වරාල අනවශ්‍ය වූ රටක අද තැනෙන්නේ බෙලෙක් සද්ද මැදින් ඇහෙන හඬක් හා වචනයක් දෙකක්ය. ගලන ගඟක් වාගේ සුමට ගීත අද හැදෙන්නේ කොහේදැයි මා දන්නේ නැත.

මේ ගීයට මා පෙම් බඳින්නේ වසර අටක පමණ කාලයක සිටය. ආදර හැඟුම් බෙදාගන්නට පෙම්වතිය ලඟ නැති එක බළල් අඳෝනාවක් ලෙස නොව , දඟකාර ආශාවන්ගෙන් පරිමිත සොඳුරු ආශාවන් සුසැදි  ගීයක් කොට සංගීත් තවමත් ගයන්නේය. සංගීතයට අතික්‍රමණය කළ නොහැකි වූ එම අරුත හා හඬට එදා බැඳි පෙම මට අදත් එලෙසින්ම දැනෙන්නේය.

ගීතය අහන්න මෙතනට යන්න 

Friday, July 13, 2012

[257] මල් !

මේ පහළ තියන වීඩියෝව මම නැරඹුවේ මීට හරියටම අවුරුදු 10කට කලින්.  ජීවිතේ මොන තරම් ඇදිලා ගිහින්ද? එදා ඒ ඇස්මද අද මේ ආයිමත් ඒ වීඩියෝවම නරඹන්නේ?? දෙවියනේ.. මම අවුරුදු 10කට කලින් ඉඳගෙන හිටි ඒ හාන්සි පු‍ටුවේ ඉඳලම මේගීතය අහමින් එක මොහොතකට නැගිටලා කණ්නාඩිය ගාවට ගියේ අවුරුදු 10කට කලින් හිටි කෙල්ලම අදත් ජීවතුන් අතරද කියලා දෑහින් දැකගන්න.

මට දැනෙනවා මොකක්ද අතීත සුවඳක්.. ඒක මහ වේදනාවක්.. අපි වියපත් වෙන බව දැනෙන එක. අතීතයේ හුස්ම ඇඟේ ඇතිල්ලෙන්නෙ නැති තාක් වර්තමානය හෙවත් වියපත් වීම, මුහුකුරායමක් වශයෙන් ආඩම්බරයෙන් හඳුන්වන්නට මම පැකිලුනේ නැහැ. ඒත් අද මට දැනෙනවා ඒ අතීත මතක ඇතුලේ හිටිය අභිමානයෙන් පිරිච්චි, මාන්නය හිස්මුදුනෙන් බේරෙන, තරුණ මදයෙන් ජීවිතේ දිහා බැලුව, අනුකම්පාවෙන් තොර මම අද එතැන නැති බව....

මට දැනුනේ හීන් සතුටක්... ඒ මොරෝම දරදඬු කෙල්ල අද නැහැ. එදාට වඩා පාටින් අඩු හිසකෙස්, එදා කුඩාවට දැනුනු මෙදා විශාල වුනු මුහුණේ වලවල්, හරියට, ගෙවුනු අවුරුදු 10ක රලු දුශ්කර ගමන් මගක මං සළකුණු වගේ... මං අහල තියනවා, ඒ විතරක් නෙවෙයි ,දැකලම තියනවා , එක දිගට වතුර ගලාගෙන යන උල්පත් ගාව මහ විසාලෙට හැරුන වලවල් තියෙන බව. නිතර ගලන්නට හේතුවක් නැති උල්පතක් අසල සත්තයි තිබේවි මුදු සුමුදු තැනිතලාවල්... ඉතින් වලවල් කියන්නෙ වැ‍ටුන තැන් නොවෙයි , දිය ගලා යාමෙන් පිරිපහදු වූ චිත්ත පරම්පරාවන් වග මටම මම කියාගන්නට වුනා...  ඒක කියන්නෙ මගේ වාසියට වෙන්න ඕනෙ.

මේ වීඩියෝව නරඹන එදා සහ මෙදා අතර කාල රේඛාවේ මම ගිය දුර දිහා මට ආපහු බලන්නට උවමනා වුනේ නැහැ. දිය ගලා ගිය තැන් වල ඇති හැම නශ්ටාවශේෂයකම සිනිඳු පෘෂ්ඨ වල දිග සටහන් ලියැවී තිබෙන නිසා. ඒ ලියමන් කාලයක් තිස්සේ වරින් වර යලි කියවා තිබෙන නිසා... එහෙත් මේ ගීතය මටයලිත් අතීත පුනරුක්තියකට අඬ ගසන නිසාවෙන් , මම යලිත් ඒ වෙනුවෙන් ඉඩක් ගන්නට හිතුවා.

මේ ගීතය එදා මා හද තුල ස්පර්ෂ කළ ස්ථානයම අදත් ස්පර්ෂ කරන අයුරු මම වින්දා. අද එතැන දැනෙන්නේ එදාට වඩා මේරූ කම්පනයක්. ඒ කම්පනයෙන් මට මාවත්, තලෙලු සම පසුපසින් ඇස් ඉස් මස් හා ඇට කැබලිත් දැකිය හැකි වූවා. එහෙත් අත්දැකීම් ස්පර්ෂ කරනු ලබන නිමේශයකදී විනා සිදුවීම් වලින් ගහන ජීවිතයේ බහුතර කාලය තුල ඇට ඉස් මස් හිස්කබල් නොපෙනී තවමත් මට දිවිගෙවන්නට හැකියි. ඒ වගේම පෙනෙන දේත් දකින දේත් අතර පවතින ‍තෝරාගැනීම තවමත් මා සතුයි.




හඳුනාගැනීමත් ... වෙලීමත් ...සිනහ වීමත්.... බැඳීමත් ... ‍රැඳීමත් ... නොරිස්සීමත් ... නික්මීමත්... හැඬීමත්....

සංසාර චක්‍රය තුල පොදු සමීකරණයක සටහන්ව නැවත නැවත යෙදීම ...

මල් පිපී නටන්නේ පර වීමේ ආධිපත්‍යයට නතුව නොවේද?

පිච්ච මල් මොහොතින් පර වේ...  එහෙත් පිපෙන කෙටි මොහොතක සුවඳ තීව්‍රය. එහෙත් ආයිත් නොපිපෙයි. කල් ඉකුත් වන මොහොතෙහි නටුවෙන්ම ගිලිහී මහ පොළවටම පස් වෙයි. පිපුනොත් ඒ වෙන මලකි.

රෝස මල් පිපෙමින් පරවී යාමට දින ගණන් කල් ගනී.. යලි යලිත් පිපෙන්නට දැරූ වෙහෙසින් යාවත්කාලීන වූ රෝස මලෙක ඇතැම් විට නැඹුල් මලක මෙන් කෝල පෙති නොතිබිය හැකිය.

උඩවැඩියා මල් මම දකින්නේ විශ්මයෙනි. සුවඳින් නාස්පුඩු අතරමං නොවේ. රුවින් චාම්ද නැත. ඒ සංකර වගේ පෙනෙන උඩවැඩියා මල් තුල රෝස මලක ආකර්ශනයද නැතිවා විය හැකිය. පිච්ච මලක චාම් බවද නැතුවා විය හැකිය.

එහෙත් පිච්ච මලටත් රෝස මලටත් අහිමි එක්තරා දෙයක් වෙයි.. ඒ දුර්ලභ බවයි.. එහි -  එනම් දුලබ බවෙහි තීව්‍රතාව ඇතැම්විට නැහැ පුඩු මත් වන පිච්ච සුවඳත් , දැස් නිලංකාර වන රෝසමලක රුවත් අතික්‍රමණය කරයි. එහෙයින්මදෝ,  මී මැස්සෙකුට පවා ලෙහෙසියෙන් ලං වෙනු නොහෙන අතු කඳන් මත , උස් තැන්වල , දිස්න නොදී අතු පතර සැඟවී , පිපෙයි. ලෙහෙසියෙන් නෙලන්නට අවසර නොදෙන්නාක් මෙන්ම , නෙලූ කල කල් ඉකුත් නොවී පවතින්නටද ඔරොත්තු දෙන උඩවැඩියා මල,  රෝස මල් මෙන් පෙති එක එක හලා නොදමයි.
පිච්ච මල් මෙන් එක නෙලුමෙන් පරාජය භාර ගෙන පොළවටද පස් නොවෙයි. බොහෝ වාර ගණනක් පිපෙන්නට වෙර දැරීමෙන් කිසිලෙසකිනුදු එහි ඉපැරණි රේඛා සහ කඩතොලු සටහන්ද නොවේ...

බොහෝ කලක් නෙලූ නොනෙලූ සියලු අතෝරයන් මෑද වුව දිලෙමින් , ජීවතුන් අතර විරාජමාන වන උඩවෑඩියා මල්, පරවී ගිය කල්හිද පොළවට මිහිදන් නොවේ. ඒ වෙනුවට , පොත් සලකුණු සහ බිත්ති සැරසිලි මත දශක සහ මතක ගනනාවක විරාජමානව සිටිනුද පෙනෙයි.


Saturday, July 07, 2012

[256] සුනාමියක් හෙවත් Duality ය !

කිරිල්ලියක් ඉන්නවා. මේ කිරිල්ලි බොහොම වර්ණවත් . කොටින්ම උපතින්ම වර්ණවත්. ඇගේ වර්ණය කියන්නේ පිහාටු විතරක් නොවෙයි. ඇගේ ජීවිතයත් වර්ණ ගැන්විච්චි එකක්.  ඇගේ හඬ... ඇගේ ගමන.. ඇගේ බැල්ම .. මේවා ඔක්කොම බාහිර දේවල්. ඒ බාහිර ඔක්කොම පැත්තකින් තියන්න. ඇගේ හිත වර්ණවත්.ඇයට පුලුවන් හිතන්න. ගොඩ දෙනෙක් නොහිතන විදියට. ඇයට පුලුවන් දකින්න, කතා කරන්න , ඒ ගැන... ඕනෙම වෙලාවක්..

ඔව්... මේ ලියන්නේ එක්තරා ගැහැණු වර්ගයක් ගැන.  එක්තරා විශේෂයක ගැහැණු කිරිල්ලියන් ගැන. සුලබ නැහැයි හිතෙනවා. ඒත් එහෙම හිතෙන්නෙ , උන් ඉන්නෙම තටු හංගගෙන නිසා. සමහර විට සුලබ ඇති, අපිට නොපෙන්නුවාට ඒ වර්ණ පදාස...

මේ කිරිල්ලියන්ට එක එක නුහුගුණ තියනවා. ඒවායින් ලොකුම එක තමයි එකමිතියක් නැති එක. ඒ මොකක්ද?  නෑ ඒ කිව්වෙ එක ලේබල් එකක් ඇතුලට මොකක් කරලාවත් දාන්න බැහැ.

අහිංසක... ඔව් ඒත් වෙලාවකට අංගුලිමාල වගේ...  සංවේදී හිත ඇතුලෙ උනත් සමහර ගස් ගල් වගෙ අසංවේදී තීරණ තියනවා.විටෙක ගුප්තයි. බුම්ම ගත්තු ගමන්. ගිනිකන්දක්ද නිසල වැවක්ද හොයන්න බැහැ. විටෙක මුහුදු රැලි වගෙ... එක එක තත්පරෙන් තත්පරේ මූ වෙනස්.

මේ හැම දෙයක්ම පැත්තක තියන්නකො. ඇගෙ වෛවර්ණ !!!!! ඇස් නිලංකාර වෙන.. පිහාටු වල පාට නෙවි. ඒවායි දිග.. ඒවායි හයිය ! ඒවා කොච්චර ශක්තිමත්ද ? ඒවාට කොච්චර විහිදෙන්න පුලුවන්ද? (විහිදනවා නම්) අහස හරියට ඉඩ මදි වේවි ඇය පියාඹන්න ගත්තොත්...

ඔන්න ඒ එක් පැතිකඩක්.

දැන් ඉතුරු හරිය.

කිරිල්ලිය හරි වෛවර්ණ තමයි. ඒත් ඔබ දන්නවද? ඇය පියාඹන්නෙ නැහැනෙ. ඇය ඉන්නෙ එක්තරා තැනක. ඒ තැන හරියටම ගත්තොත් අක්ෂාංශ , දේශාංශ වලින් මනින්න පුලුවන් කාටිසීය ඛණ්ඩාංකයක් නෙවෙයි. හැමෝම අහනවා මෙච්චර දුර පියඹන ශක්තිමත් වෛවර්ණ පියාපත් අකුලගෙන ඇය මොකද කරන්නෙ කියලා.   ඇය කියනවා 'මම ඉන්නවා .. මෙතනම... මගෙ වටේ තියනවා ලොකු කූඩුවක් '... කියලා..




ඒත් කාටවත් ඈ වටේ කූඩුවක් පේන්නෙ නැහැ. ඇයට ඇරෙන්න. ඇය සිය කැමැත්තෙන්ම ඇතුලෙන් අගුල් ලාගෙන ඉන්න කූඩුවක්..  කවුරුවත් දාල නෙවි. ඇය කැමැත්තෙන්ම නිස්කාන්සුවෙ ඇණ තියන් ඉන්නවා. ඒක කූඩුවක් උනාට කූඩුවක්ද? මට හිතෙන්නෙ නම් 'නැහැ'. ඒත් ඈ කැමතිලු ඒකෙ ඉන්න. ඒ තරම් වෛවර්ණ කිරිල්ලියකට කූඩුව ඔබින්නෙ නැහැ. ඈට ඒක ඇතුලෙ ඉඳන් පියාඹන්න බැරි නිසා.

කිරිල්ලිටත් එහෙම හිතෙනවා වෙලාවකට. ඇයි මම කූඩුවක? ඇයි මම පියාඹන්නෙ නැත්තෙ?  වෙලාවකට හිතෙනවා තටු දිගෑරලා හයියෙන් පියාඹන්න. ඒත් කූඩුව ඇතුලෙ??? එහෙම උනොත් වෙන්නෙ ඔය තටු ටික එහෙ මෙහෙ හැප්පිලා රිදෙන එක විතරයි. ඇය පියාඹන්නෙත් නැහැ. පියෑඹුවා නම් අනිවාර්යයෙන් වර්ණවත් පිහාටු වලට අන් ඈයො ඉරිසියා වෙයි. ඒත් ඒක හරිම ටික වෙලාවකට ඈට දැනෙන හැඟීමක් ...

අනික් හැම වෙලාවටම ඇය කියන්නෙ කූඩුගත වීම හොඳ බවත් පියෑඹීම තරම් අවදානමක් නැති බවත්.... පියාඹන ලෝකය හරි සුන්දරයි... වර්වත්.... ඇත්ත... ඒක සුන්දර නිදහසක්.... ඒත් එතන නිස්කාන්සුවක් තියේද?නිදහසත් නිස්කලංක බවත් අතරින් කිරිල්ලි නිස්කලංකයට කැමතියි වෙන්න ඕනෙ. පියාඹන්නය කියන අහස එක්ක එච්චර තරඟෙට ඔට්ටු වෙන්න ඇය කැමතිත් නැහැ.

ඇගේ තියන ඩුවලිටි එක ඈටවත් තේරුම් ගන්න බැහැ.  විටෙක සාගරයක් වගෙ හඬ නැගෙන , ආයිමත් ගුප්ත වැවක් වගෙ නිහඬ වෙන ඇයව තේරුම් ගන්න ලෙහෙසි වේවිද? සමහර විට ඕනෙවට වඩා ඕනෙම දෙයක් ඇනලයිස් නොකරන කවුරු හරි මේ ලෝකෙ ඇති. 

කූඩුවක් ඇතුලේ ඉඳන් පියාඹන්න බැරිද? ඇය අහන ප්‍රශ්නය ඒක... ඒක විසාල කූඩුවක් නම්??? කූඩුව ඇතුලෙ තියනව නම් ගොඩක් දේවල් දිහා උපේක්ෂාවෙන් අන් අයගෙ කෝණයෙන් බලන්න පුලුවන් ඇහැක් ඇති හිතක්, ඒ කූඩුව ඇතුලේ ඉඳන්ම ජීවිතයේ වර්ණ අහස දිහාවට විහිදන්න බැරිද ?  පියාඹන්න එතකොට අහස ඕනෙද... ? ඕනෙද? 


ඩුවලිටි එක ඇතුලෙ මෙහෙම ප්‍රශ්න කන්දරාවක් තියනවා...  ඒත් ඇයට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඇය කූඩුවෙ සනීපෙට හරිබරි ගැහිලා ඉන්න එකේ තියන නිස්කාන්සුවට මේ ලෝකෙ තියන හැම දේටම වඩා කැමති නිසා. 

ඔබට ඒක දැනේවිද?  ?

Tuesday, July 03, 2012

[255] සුලං කපොල්ලේ සිට ඇය..!


"උඹ නම් මහ වසංගතයක්!, "

"මොකක්?"

"ගැලවිල්ලක් නැහැ. කතා නොකර ඉන්න හැම වෙලාවෙම හිතෙන්නෙම කතා කරන්ඩ. කතා කරන හැම වෙලාවෙම හිතෙන්නෙ අම්මේ මට ගැලවිල්ලක් නැද්ද කියලා"

"ඇයි මම මක් කලාටද?"

"මහ තුවක්කුවක්. කොටින්ම හෙන වදයක්" 

"ඉතින් තියනවකෝ ෆෝන් එක. මට වද දෙන්නේ මොකද කෝල් කර කර? "

"මට ඕනෙ නිසා.. " 

"ඔයාට මාව ඕනෙ නැහැ.. මම යනවා.. ආයිත් එන්න එපා පැත්ත පලාතෙ"

" එහෙම කොහොම යන්නද.? මගෙන් ගැලවිලා.! "

__

" නංගි මේක ආදරයක්ද .? දැන් මට කියන්නෙ මේක ප්‍රේමයක් හරි වෙන මොකක් හරි එකක් හරි කියල පිලිගන්ඩ කියලද? "
මට හොඳටම තරහ ගිහින් ඒ පාර. ඇයි වදේ තරහ යන්නෙ නැද්ද, මේවා පෙම්වත්තු කියාගන්න එව්වාද? මේකටද ආදරේ කියන්නෙ. ආදරේට නිර්වචන නැති උනාට.

'නෑ අක්කෙ. අපි ලවර්ස්ලා නෙවෙයි" 

එයා බබා වගෙ නලවලා එහෙම කියනවා.මගෙ තරහ දෙගුණ උනා. 

"මොකක් කිව්වා?,
එහෙනම් මක්කුද?  අසල්වැසියොද? සහෝදර ප්‍රේමයද? නගා මම කියල තියනව නේ. ඕනෙ එකක් කියන්ඩ ඔය සහෝදර ප්‍රේමෙ නැතුව. හරිද? ලෝකෙ තියන භයානකම ප්‍රේම දෙකෙන් එකක් ඕක. අනික තමා දේශප්‍රේමය ! "

මම මගේ පණ්ඩිත වදන් දෙසා බෑවා.  ඈගෙ මුහුණෙ පල උනේ වෙහෙසකර පෙනුමක් . හරියට, 'මට ඔයාගෙ බණ එපා' වගෙ පෙනුමක්. ඒ නිසා මම කට වහ ගත්තා. ඇත්තටම ඇගෙ වෙහෙස දැක්කම මගෙ තරහ නිවුනා.

'හරි, දැන් මොකක්ද කාරණේ'

'මන්දා අක්කේ... එයා මට කැමතිලු. මාත් ඉතින් කැමතියි තමා.. අනේ මන්දා. ඒත්... එයාගෙ අම්මලාට මම ගැන කිව්වොත් මාව එපාම එපා කියයිලු, ඒ නිසා කවදාවත් මේක වෙන්නෙ නෑලු '

'ඇහ්?' 
ඒපාර කට උත්තර නැති උනෙ මට. 

ඒත් ඒ අන්තිම ප්‍රකාශෙට හේතු මට ඇගෙන් අහන්න උවමනාවක් තිබ්බෙ නැහැ. එය ඈ එක පිට එක, වරින් වර, ඉවරයක් නැතුව වේදනා වින්ද එකම කතාව . හ්ම්ම්ම්.... ආයිමත් පරණ ටේප් එක එහෙනම්. එකෙ මට ආයිත් ඇගෙන් අහගන්න දෙයක් තිබ්බෙ නැහැ. ඔය පොදු දෙබස් ඇගෙ කටින්ම මම අහලා ඇගෙ හිත පාරවන්න මට ඕනෙ වුනෙ නෑ.

'ඇයි එයා එහෙනම් මුලින්... .... ම්ම්ම්ම්... එහෙනම් ඇයි ඔය දෙන්නා... තවත්.... අනේ මන්දා නගේ..' 
මට අතරින් පතර තෙරුමක් නැතුව කියාගන්න පුලුවන් උනේ ඔය ටික විතරයි.

'ඒක තමා අක්කේ. ජීවිතේ හැටි තමයි.' 

"නගේ අහල තියනව නේද ඉසිදාසි? ඉසිදාසි හිතන දේ ඔයාත් මේ වෙලාවෙ හිතනවා ඇති. ඔයාට මතක නේද මම ඒක පෙන්නුවා ඔයාට?"
මම මාස කීපෙකට කලින් අතීතෙ ආයිත් ඈට මතක් කලා. එදා ඒ කතාව පෙන්වද්දිත් අදත් , මේ වුනු දෙබස් දෙකෙ වැඩි වෙනසක් නැහැ. 

'හ්ම්ම්... ඔව් අක්ක. ' ඇය ලොකු කල්පනාවක. මම කියන දේ නෙවෙයි, වෙන දෙයක් ඔලුවෙ වැඩ කරන බව මට දැනුනා.

'හරි, මොකක්ද දැන් ඔයාගෙ තීරණේ??'

'තීරණයක් නැහැ අක්ක. මේ ඉන්න තාලෙට ජීවත් වෙනවා. වෙන උත්තරයක් නැහැනෙ. '

'ඒක හරියාවිද? ඔයා ඔයාගෙ දෛවය වෙනස් කරගන්න ලෑස්ති නැද්ද? '

'අක්කෙ වෙනස් වෙනවය කිය කියා අලුතෙන් හිත හිතා ප්ලෑන් ගැහුවට , කවුද දන්නෙ මේකද කියලා මගෙ දෛවය??' 

'අනේ මේ... විකාර. කවුද ඌද කිව්වෙ ඒක? " මම තරහින් කියාගෙන යන්නට වුනා..

'නංගි,  මම කියන්නෙ එක දෙයයි. ජීවිතේ හදා ගන්න. ඔයා ගහක එතෙන ලතාවක් වෙන්න එපා නගා. ගහක් වෙන්න බලන්න. ඒත් පොල් ගහක් වගෙ උඩට යන දරදඬු ගහක් නෙවෙයි.  ශක්තිමත් ගැහැණු ගහක් වෙන්න. කවදාවත්ම පිරිමියෙක් වගෙ රළු වෙන්න එපා.මම දන්නවා ඔයා එහෙම වෙන්නෙත් නැහැ. ඒත් කොයි වෙලෙත් ගහක එතෙන්න බලන් ඉන්න වැලක් වගෙ වෙන්න එපා. පොඩි පැලයක් වෙන්න. 

හෙවණට ලොකු පිරිමි ගහක් නැති උනත් , ඔයා ශක්තිමත්ව කෙලින් වැඩෙද්දි, ඔයාගෙ අතුපතර හරි ඔයාට හෙවණ දෙයි. ගහට ගහක් හම්බ වුනොත් , ඔයාට පුලුවන් ඒ ගස් හෙවණෙ වැඩෙන ලස්සන පොඩි ගැහැණු  පැලෑටියක් වෙන්න. වෙච්චි අතීතෙට ඔරොප්පුවට , පිරිමි ගස් පරද්දන්න උස යන්න ට්‍රයි කරන්න එපා නගා. ඒ ගස් කොහොමත් අපිට වඩා උසයි, ශක්තිමත් . ඒත් හෙවණ වෙන්න හරි ගහක් නැති තාක් වැලක් වගෙ ගහක එතෙන්න යන්න එපා. ගස් එමට තියනවා. පොඩි පැලයක් වගෙ වැඩෙන්න හෙමීට ... ගහක් නැතත් ඔයාට පුලුවන් හෙමීට උස යන්න. . '

ඇය මොනවා නැතත් මගෙ අපබ්‍රංශ වචන වලට කවදාවත් පෙරලා පහර ගහන්නෙ නැති නිසා මම ආයිමත් පුරුදු බණෙන් ටිකක් කීවා.. 

'මට තේරෙනවා අක්කෙ. මම උත්සහ කරනවා, මම දන්නවා හැම වෙලෙම ඔයා මට මේක කියනවා' 

'අහන් හිටියට මදි, හැදෙන්න නංගි , තව සැරයක් මට මේ වගෙ අපබ්‍රංස සීනිබෝල දෙබස් කිය කියා , මේක ලව් කියලා නිර්වචනය කරන්නෙ නැතුව.. මහ පොළවෙ ඉන්න. කවදාවත් ෆැන්ටසියට ලෝබ වෙන්න එපා. '

මම කිව්වා සැර වැඩි ඇති.  මට හිතෙනවා එහෙම. ඒත් ඈට තියෙන හිතවත්කම නිසාම මම මේ ටික කිව්ව බව , මේ බ්ලොග් එකත් නිතර ඈ කියවා යන නිසා, මේක කියවද්දි ඈ දැන ගනීවි.

ඈ එදත් වෙනද වගේම 'මම යනව අක්කේ, ගුඩ් නයිට්' කියාගෙන අන්තර්ජාලයෙන් සමුගනිද්දී මගෙ හිස ඇතුලේ නින්නාද උනා යමක්...  මොන එකකටද මන්දා , මේ ගීතය අහන හැම වෙලාවෙම මට සිහිවෙන්නෙ ඇයව. 

සුලං කපොල්ලේ - තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටේ නිල් කඳු රැල්ලේ..

කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී - 
දැන් ඔබ ලඟ සිටී රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබම සොයා ආ සියුමැල්ලී - 
පිලිගනු ඈ කොහි යන්ටද නැවත ඉගිල්ලී ?

ඇයට මවක් පියෙක් නොමැත සිතිජ වළල්ලේ - 
කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ  
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ - 
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ.. 
~

ඇය හරියට ඉසිදාසි වගේ... ඉසිදාසිට මොන අඩුවක්ද? නැහැ, ඔව්, එක අඩුවක්, ඒකට හේතුව අහේතුව වෙන්න ඕනෙ. ඇය ගැන හිතෙන් මේ ගීය ප්‍රාර්ථනා කල වාර මතක් කරමින් මම නිහඬ වෙන්නම්. ඒ හැරෙන්නට මට කළ හැකි යමක් නැහැ. 

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->