Wednesday, June 30, 2010

කුහුඹුවා සහ උඩු සුලඟ...?? (අතීතයෙන් ආ කවි 7)


වීයලි ගිය
තණ පතක් යට
නිදයි කුහුඹුවකු...

පොරවා ගත් දෑත්
බදයි නිරුවත්
මහ පොලව....

කොහේදෝ සිට ආ
නිල මැස්සෙකු හෙලු

වසුරු පිඩත් ගෙන
පියාඹයි තණ පත...

නිදන කුහුඹුවකු
පෙම් බඳින
උඩු හුලඟට!

පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ.... 

Tuesday, June 29, 2010

වැරදි උපකල්පන ...?? (අතීතයෙන් ආ කවි 6)





මලක් යැයි සිතා උන්නෙමි
සුලං ‍රැල්ලෙන් සැලෙන
තරු ඇසින නිදි බිඳින

ගඟක් යැයි සිතා උන්නෙමි
නිසසලේ පිය මනින
සැඩ රළෙන් නොවෙහෙසෙන

ගසක් වී දලු ලෑමි
රළු පසෙක දිය සොයන
නියං සායෙන් දැවෙන

මල් කිණිති ගිලිහේ
ගං දියද සැඩ වේ
දිය නොලද ගස මියේ...
නියං අහසට  හැඬුම නෑසෙන...


පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ....  

Monday, June 28, 2010

ක‍ටුක ඇයි...?? (අතීතයෙන් ආ කවි 5)


මී පැණි බිඳුවක්
සීනි ගුලාවක දවටා
නිහඬ නිසංසල ‍රැයක
හඳපානේ රස බලන
අම මී ප්‍රීති පුංජය
වගේද අප ජීවිතය?
හැම මොහොතක්ම
පෙර මොහොත පරදන
ක‍ටුක බවකින්
යුක්ත ඇයි??
ඇයි? ඇයි?


පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ....  

Sunday, June 27, 2010

තණ පතක ජීවිතය...?? (අතීතයෙන් ආ කවි 4)


පිනි බිඳුවක්ව
ලැගුම් ගතිමි
තණ පතක...
හිරු තාපයෙන්
නොදැවෙනට...
සඳ හීතලෙන්
නොමිදෙන්ට
අහෝ කල
මෝඩකම!
හෙටක් නැති
ලැගුම් හල
පිනි බිඳ
තවද
හඬවන....

පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ.... 

Saturday, June 26, 2010

පිරියම් කරනු බැරී ...?? (අතීතයෙන් ආ කවි 3)


බොඳවූ කුරු‍ටු ගෑ අතීතය
ආලයෙන් පිරියම් කොට
මම අලුත් සිතුවමක් අඳිමි
දුරින් නොව ලඟින් ඉඳ
පසුපසට ඉදිරියට නැවතද
යමි මම....
නොනැවතී හැඩ බලමි...
තව තව
හැඩ කරමි...
පිරියමේ පලුදු දැක
මොහොතකට නොසැනසෙමි...
හෙමි හෙමින්
පිලිසකර කලෙමි
ඒත්..
කාලය
අහෝ කාලය..!
නුඹ එය මෙසේ
වෙනස් කලෙහිය...
පිරියම දියව ගොස්
බලන් අතීතයේ කඩතොලු
යලි යලිත්
මතුවන හැටි......!

පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ....  

Friday, June 25, 2010

ආලය මිස, විස විත් ඇනෙන බව?? (අතීතයෙන් ආ කවි 2)



විහ‍ඟෙකුව ජීවිතය
ත‍ටු සලයි
බමරෙකුව උන්
ගුමු ගුමුව
ලං වෙන විට
..ආලය මිස
විස විත්
ඇනෙන බව
නොදැනෙයි
නොහැ‍ඟෙයි.....


පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ....  

Thursday, June 24, 2010

අත් හැරී ගිය...? (අතීතයෙන් ආ කවි 1)


ජීවිතය මලක් වී
රේණු පෙති සැලූ මුත්
ජීවිතය ගඟක් වී
දිය කඳක් වෙලූ මුත්
ජීවිතය තිතක් වී
නොපෙනි ගොස් පෙලූ මුත්
අත් හැරුනු අතීතය
නොදැනීම යලි ඇවිත්....!

පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ.... 

Sunday, June 20, 2010

දුවේ ..අහල තියනවද නිහඬතාවයේ හඬ?

"දුවේ ..අහල තියනවද නිහඬතාවයේ හඬ?"

"ඔව් මාමේ. ඔව්.. මට නොයෙක් වර ඇහිල තියනව. "

ඒත් මම බයයි ඊට... නිහඬතාවය තුල මතුවෙන හිස් හැඟීමට බයයි.. එහි කැරකෙන මූසල බවට බයයි... එයින් ඇඟවෙන තනිකමට බයයි... ඒ තනිකම හුදෙකලාවක් සේ සිතන්න මේ පුහුදුන් සසල වෙන/වුන සිත බයයි. මොහොතකට නතර වෙන්න බයයි. ඒ හිත මැසිමක් වගේ ක්‍රියා කරන්න ගන්න නිසා. ක්‍රියා කරන්නේ මා දෙසටම හැරුන සිතුවිලි. සිතුවිලි මාව විවරණය කරනවා. ඒ සිතිවිල්ල මා , මගේ අතීතය අවුස්සමින් හේතු කාරණා හොයනවා, දුකට කාරණා හොයනවා. අතීතයේ මම එතකොට ජීවත් වෙනවා. අතීතය තුල එක් මොහොතක එක් දිනය මා උන්න තැන් එතැනදි මට උනපු දුක් , කඳුලු මතකය මාව ඇදගෙන යනව ඒ මොහොතේ තිබ්බ මනසට. ඒ මොහොතේ කුස්සියෙ ඉදුන පරිප්පුවක සුවඳ , ඒ මොහොතේ ජනේලයකින් එලිය බලන් කල්ප්නා කරද්දි මා බලන් හිටපු දැකපු දෙවල් , ඒ මොහොතෙ මගේ නෙත් ගිය ගෙතුල බඩු මූට්‍ටු පවා පේන තරම් මගේ අතීතාගමනය තියුණු වෙනවා.


පැරෂුටයක එල්ලි ඉහල පහල යමින් මා යනවා. කාලයත් එක්ක බිමට පාත් වෙද්දි මම බයෙන් කකුල් අකුල ගන්නව පොලවට පය ගහන්නෙ නැතුව.. ඉහල යන්න ආසාවෙන් නෙමෙයි, පහල බලන්න බයෙන් , ඇද වැටී මහ පොලොව උඩ අතරමං වෙන්න බයෙන් මම අත මානයෙ සැලෙන අතු කැබැල්ලක එල්ලෙනව. එල්ලිලා ඊට පසු හාත් පස බලනව. විටෙක ඒ පඹ ගාලක්. විටෙක ඒ ගිනිසීරියා අත්තක්. විටෙක රූස්ස ගහක්. මා එල්ලී ඉන්නවා . ගුරුත්වයට ඔච්චම් කරමින්... මා දිනුම් යයි සිතමින්. එල්ලී ඉන්න අත්ත සවිමත් කරන්න මා අහසින් වැටෙන වැහි බිඳු එක එක ඩා මුගුරු වගුරුවමින් දෝතට ගෙන දිය ලනවා. ඒත් ... මා හති වැටෙනවා. ගස වැඩෙන්නේ නෑ.  කාලයත් එක්ක..ගසට මා බරයි.. ගස සොලවා , දෙදරවා මා මහ පොල්වටම අත් හරිනවා. වැටෙන්නේ පැරචුටයෙන් මෙන් හෙමින් නම් නෙමෙයි... තැලුම් තුවාල, ගලන ලේ..මේ ඔක්කොම මට ලැබෙන තෑගි.. 


ඇද වැටී මොහොතක් ඉන්න මා , හාත්පස නොබලමින් වැතිරී ඉන්නවා. තුවාල සුව වෙන්න පලමු, තුවාල සුව වෙද්දිම හදිසියෙම මට ටිකක් පණ එනවා. මහා ශක්තියක් මනසට කාන්දු වෙනව. මම හාත්පස බලනවා. කාන්තාරයක මා ඉන්න බවත් , මේ මහ පොලව උඩ අතරමංවී බවත් වැටහෙනවා. ආයෙමත් තුවාල පිටින්ම මා පැරචුටයත් ගෙන සුලං අත සොයා දුවනවා. එක් මොහොතක ආයෙමත් උඩ යනවා. සුලඟට තුවාල වේලෙනවා. කැලැල් එහෙමමයි. ආයෙමත් .......  "පැරෂුටයක එල්ලි ඉහල පහල යමින් මා යනවා. ................. "


නිහඬතාවය ඇහුනේ පැරෂුටයෙන් හෙමි හෙමින්  පොලොවට වැටෙද්දී..යලිත් එය විඳින්නම උනේ ගස මා පොලවට හෙලද්දී... ඊට මා බය උනා..ඊට මා වෛර කලා. එහි අරුත හෙවුවේ නෑ.ඒ හුදෙකලාව මට දඬුවමක් සේ හැඟුනා. හුදෙකලාව කවදාවත් මට ප්‍රිය උනේ නෑ. නිහඬතාවය මූසල තනිකමක් මිස බ්‍රහ්මාස්වාදයක්සේ මා සැලකුවේ නෑ. මම නතරව මා දිහා බලන්න බිය උනා. පංච නීවරණ සියල්ල මා වෙලා ගෙන බව වැටහෙන්නේ පසුවයි..


ඉගිලෙන්න බයයි. ඒත් ඒ දේ මා කලා.ඇයි? පොලව මත තනිව වැතිර ඉන්න බය නිසා. පාවෙන්න , ලෝකය දකින්න කාලය ගන්න එකෙන් මා හුදෙකලාව හෙවත් මා සිතූ තනිකම යටපත් කලා.

ඒත් ඒත්... මහ පොලව තරම් නිශ්චිත ‍රැකවරණයක් කොහිද? හුදෙකලාවක ඇති සහනය කොහිද? මේ ලියන මොහොතෙත් මාගේ උඩුහිත බියෙන් පෙලෙයි.ඉගිලෙන්න මං සොයයි..... ඒත් යටිහිත අරුත සොයයි...පොලවට ලං වෙන්නැයි ඒ යටි හිත මුර ගසයි... එහි සොඳුරු හුදෙකලාව විඳ ආස්වාදනය කරන්නැයි, ඒ විඳ බලා තීරණය කරන්නැයි යටි හිත යදියි..


එහෙනම් ..ඉගිලෙන්න තතනන හිතුවක්කාර උඩුහිතට පොඩ්ඩක් දඬුවමක් විඳින්න කාලයයි...

Monday, June 14, 2010

මෙන්න අරගන්න හීතල...



සිහිල සොයන ඇස්
දකින්නේ දුක
කලකිරීමයි
හිත ප්‍රශ්න කරන්නේ
"ඇයි?" කියායි...

ඊට පිලිතුරත්
මා ලඟයි..
එය මගෙයි...
දුකින් බර
පිලිවදන
මටයි..
මගෙයි...

මමම අසන නඩුවට
ඔහු
සාක්කියට
එයි...

මා නඩුව අසමින්
විත්තියට
උත්තරත්
සපයමි..

හඬක් බි‍ඳෙයි
ඉකියක්
නැග එයි
විහිලුවක් වාගේ

නඩුව අහවර වෙයි

මුකුත් නැති
හිස් හිස
බමන්නට පෙර
වැස්සක් යදියි

එකින් එක
වැහි බිඳු
හෙමි හෙමින්
එයි.

ඇවිත්
හෙවුවේ
සිහිල නේ...

මෙන්න
අරගන්න
හීතල...

හිරිකඩක සිහිල
දැන් ඉතින්
නාඬන්
නොසොයන්
උණුහුම...

Thursday, June 10, 2010

රේඛාවක් ....අත්ල මත....මම...



විලක්
හැර නොයන
පිණි බිඳුවක්
වෙන්නට ආසයි...

ඔබේ
අත්ල මතින්
සේදී නොයන
රේඛාවක්
වෙන්නට ආසයි...

එසැනින්
පැහැයත්
හැඩයත්
වෙනස් වන මුත්...
අහස හැර
නොයන
වලාකුලක්
වෙන්නට ආසයි..

Friday, June 04, 2010

යලි උපන් අප්සරාවී..... !



වැහි බිඳුවක් වගේ
සීතලම සීතලව නිදා උන්
කඳුලක් පතිත වෙයි
මල් න‍ටුවෙන් ගිලිහී
අප්සරාවක් වූ
කිඳුරු වරලස මතට...

පෙති පොරෝගෙන
නිදන්නා සේ උන්
අහංකාර මල....
මල් ගුලාවෙන් විදෙන
මල් ඇස්
හොර හොරෙන් දෙයි
හිස බා ඉඳින
අප්සරාවිය වෙත.....

පිනි බිඳක් සේ
සීතලව නොගිය
උණුසුම්ම කඳුලක්
දුක කියන
අප්සරාවිට
අඬ ගසයි...

මදහසක් පෙරී එන
පෙති හෙමින් විදී එන
දිගු න‍ටුව සෙනේබර
අප්සරාවිට
මග කියයි...

හෙමි හෙමින් හිස ඔසවන
අප්සරාවිය
පිසින්නී රතු ඇස්
සෙනේ දෑතට වාරුව
මල් ගුලාවටම
නැගෙන්නී....

ඈ අප්සරාවියකි
කින්නරී සිතෙන්
ගිය සෙයකි
මල් ගුලාවට පමණකි
අයිති...
අප්සරාවී....
ඈ අංගනාවී
මලටම හිමි......

පෙති විදා ලූ
මල මත ඉඳින්නී
මලම
සිඹින්නී........
ගී ගයන්නී
සිනහ සෙන්නී
යලි උපන්
අප්සරාවී.....



~~~~සිනහසෙන අප්සරාවී .. ලිවුවේ 2010-6-3 රෑ 11.20 ට

Thursday, June 03, 2010

කවියක් වූ හුස්ම....



එක මොහොතකටවත්
ඇදහිය නොහැකි වූ දේ
යථාර්තයක් වූ යලිත් වර
කවදාවත්ම නැති වේදනාවක්
නුඹ දකින හදවත පෙලයි
ඒත් අහිමි කම නොදන්නා සේ
උන් මලෙහි පෙති හැකිල
මල් ගුලාවෙන් ඉවත හිඳ
හිරිකඩින් දෙ අත්  පොරවා ගෙන
මම සුසුම් ලමි....

සුසුම් නෑසෙන මල
නිදයි......
හැඬුම් නෑසෙන මල
පෙති පොරවාගෙන
දිගු නින්දක....
මලට පි‍ටුපා යන්නට
දෙපා අවසඟ
කින්නරී හීන් හඬින
ගයන්නී
අවාසනාවත් කිඳුරු කවිය......



~~~~~  2010 ජූනි 1 දවසේ දුකට ලියපු කවියක්...... ~~~~~

Wednesday, June 02, 2010

දුකට කියන කවියක්....



නිහඬතාවය තුල
දොඩමලු වන
හැඬුම් හඬ
නො ඇසුනා සේ
නෙත් පියා ඉඳින්නෙමි...
වසන්තයක් ,
ඉන් ඇබින්දක්වත් අරං
ඉර යලිත්
පායන තුරා...
අහස යලි
එලි වන තුරා...
අහස දොඩමලු වන තුරා
නිහඬ අඳුර
බි‍ඳෙන තුරා....


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
2010 ජූනි 2 දා උදේ 7.20 ට වැඩට ඇවිත් තනිකමේ ඉන්නකොට ..ජීවිතේ මල්ට ලියවුන කවියක් මේ....
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->