Tuesday, August 31, 2021

[416] මැරී මැරී ඉපදෙන්න එන්න ! - Heart Talks 45 - You Only Live Twice - Nancy Sinatra


අලුත් වෙනසක් ..

ගීත , පොත් , සිනමාව සහ ජීවිතය විඳින්නට එන්න - 

හෘද සංවාද - 

අලුත් මුහුණතින්  ... 

                                         https://youtu.be/4JJ4W54-cVU 




Saturday, August 28, 2021

[415] කැඩපතට රවන්න එපා

 හෘදයාංගම ඉල්ලීමක්

❤
මගේ හිතවත් මිතුරු මිතුරියන්ට ......

ලොකු මහත් වුන දූ පුත්තු ඉන්න ඔබ
අද ජීවිතේ බලන්නේ
වෙන කෝණයකින් වෙන්න ඇති
තවමත් ජීවිතේ තුරුණු සිතැතිව ඉන්න මා
ඔබෙන්
ඉල්ලීමක් කරන්නම් .....
❤
කවම කවදාවත්
ආදරේ කරන හිත් දෙකක්
බිඳින්න
හිතන්නවත් එපා.
❤
මගේ ගොඩක් යාලුවෝ
දැන් ලොකු දරුවො ඉන්න
අම්මලා තාත්තලා...
❤
ඔබෙන් මම ඉල්ලන්නේ....
❤
කිසිම දවසක
තමන්ගේ දරුවන්ගේ
අහිංසක ආදරේකට
අදිසි හස්තයක් වෙන්න එපා...
❤
නිදැල්ලේ ගලන
අහිංසක පුංචි දොළ පාර
කාටවත් හිරිහැරයක් නෑ...
දොළ ගලන සද්දෙ
උහුලන්න බැරි ඔබේ හිතට
ඒ දොළ පාර පලි නෑ...
පයින් මඩ කරලා කවදාවත් ඒ දොල පාර
මඩ වගුරක් කරන්න එපා....
කොච්චර දිය ඒ මතුපිටින් ගැලුවත්
මඩවගුරකට ආයිත්
කවදාවත්ම බෑ....
නිසංසල දොළ පාරක් තරං
හැඩ වෙන්න....
වැඩිම උනොත් ඕනිම නම්
ගැඹුරු නිසල විලක් වේවි....
❤
කවමදාවත්
අහිංසක ආදරේකට
වැට අහුරන්න එපා....
හිර කරන්න එපා....
හැදීගෙන එන කුරුළු කූඩු
සුණු විසුණු කර දාන්න එපා....
මොකද ආදරේ කරපු හිත්
වෙන්වෙලා
ඒ විනාසය නවතින්නෙ නෑ....
❤
කැඩපත හැමදාම උදේට
ඔබත් එක්ක තරහ වේවි ....
❤
ඒ ආදරේ මතක නම්
අතීතයක් වෙලා මැකිලා යාවි.
ඒත්,
මතක වෙන්න තිබ්බ ,
කවදාවත් ඉටුනොවුන
සිදුවීම් , සුන්දර නිමේශ
අදටත් ඒ හිත් වල නින්නාද දෙනවා ඇති !
❤
නොවෙලුනු අතිනත්
අදටත් මනසින් මංගල අෂ්ටක අසනවා ඇති
❤
පොරු මස්තකාරූඩ නොවුන
මනාලියක් ,
තවමත් , සිතෙන් ,
අත පැන් වත් කරනවා ඇති
❤
නූපන් දරුවන් හඬන
පුංචි නිවහනක්
කිරි උතුරවා
ඉඳුල් කරනවා ඇති
❤
නූපන් දරුවන්ට
නම් තියනවා ඇති
නලවනවා ඇති
❤
අතිනත් පටලාගෙන
තනිවෙන්නට හීන දැකපු
ඒත් යතාර්ථයක් නොවුන
හීන වල
ඒ බිඳුනු (බාගදා මැරුණු) හිත් ...
අදටත්
මැරි මැරී ඉපදෙමින්
ජීවත් වෙනවා ඇති....
❤
තාමත් ඒ ආදරවන්තයින්ගෙ ,
ආදරේ උණුසුම,
ජීවත් වෙනවා ඇති....
අඩු ගානේ දෙන්නාගෙන්
එක්කෙනෙක් හරි.....
මැරි මැරී ඉපදෙනවා ඇති...
❤
ආදරේ දිහා රවල බැලුවොත්
ආදරේ ඔබට රවන එක
නතර කරන්න කාටවත්ම බෑ
❤
ඉතින් කවම කවදාවත්
අනුන්ගේ ආදරේකට නම්
රවල බලන්න හිතන්නවත් එපා
❤
ඔබට ඔබ හැරෙන හැරෙන අත
කැඩපත් පෙනේවි
ඔබ කොතරම්
කැඩපතට සිනහසුනත්, හැඬුවත් , රැවුවත්...
කැඩපත් දහසක්
ඔබ වටේ
රැවුම් දහසක් මවාවි ....
දෙහිතක් බිඳින්නට තරම් නපුරු වුන
ඔබ රැවූ එකම එක රැවුම
කැඩපත් දහසකින්
ඔබ දෙස රවා බලනු ඇති....
❤
2021 - 08 - 27 Dilshara Weerasinghe
Note:
මා මේ සිදුවීම ලියන්න පාදක වූ සියලු කතා ඔබ ඉදිරියේ කියන්න යන්නේ නෑ.
හැම දෙනාටම මම මීට වසර දහතුනකට පෙර කොලඹ ආසිරි රෝහලේ දුටු සිද්ධියක් කියන්නම් . ඒ මනෝ වෛද්යවරයෙකුගේ ප්රතිකාර කාමරයක් ඉදිරිපිට දුටු දෙයක්. අවුරුදු දහසයක පමන සුන්දර දැරියක් කෑගසමින් විලාප දෙනවා. මුලු රෝහලම ඇගේ කෑගැසීමට දෝංකාර දෙනවා. අහන් ඉන්න , හදවතක් ඇති කිසිම කෙනෙකුට ඒ වේදනාව දරාගන්නට බෑ. මටත් කඳුලු නවතාගන්නට බෑ.
"ඔයාලා ඇයි මට එහෙම කලේ........ මාව කොහේද ගෙනියන්නේ, අනේ මට එයාව ගෙනත් දෙන්න....... මට එයා නැතුව ඉන්න බෑ..... " මේ පුංචි කෙල්ල මර හඬ තලනවා.... ඇත්තටම හිත හිරිවැටෙනවා... අනේ අපේ පුචි අහිංසකිය , ඔහුට කොතරම් නම් ආදරය කරන්නට , බැඳෙන්නට ඇද්ද? ඇගේ විලාපය හද කකියන විලාපයක්. ...
භෞතික මිය යාමකට වඩා ආධ්යාත්මික මරණයක් කොතරම් වේදනාකාරීදැයි අහන්නට ඔබ ඇත්තටම එතැන ඉන්නට තිබුනා. ඈ විලාප දෙමින් අඬනවා. අවසානයේදී ඇගේ දෙමාපියක් , කිසිදු හිතක් පපුවක් නැත්තන් සේ , ඔවුන්ව නාදුනන එතැන රැස්වී සිටි පිරිස දෙනෝදාහක් කඳුලු සලද්දි , අර අහිංසකිය , මනස වියවුල්ව , පටාචාරාවක මෙන් , සිය ඇඳිවත පිලිබඳවත් සිහියක් නැතුව , බිම වැටී , සිය පෙම්වතා ඈ ලඟට ගෙනැවිත් දෙන්නැයි විලාප තියන ඒ ලඳ බොලඳ පටාචාරාවිය , කුණු මාලු කැබැල්ලක් මෙන් බිම දිගේ ඇදගෙන ගෙන ගොස් ඔවුන්ගේ වාහනයට වදෙන් පොරෙන් දමා ගන්නවා.... ඒත් අවිහිංසක ඇගේ වියෝවේ වේදනාව දරාගත නොහැකි වූ විලාපය අදටත් මට එලෙසින්ම ඇහෙනවා...
බාගදා ඔහු දුප්පත් ඇති. බාගදා ඔහු රස්තියාදුකාරයෙක් හෝ කුඩ්ඩෙක් හෝ වෙන්න ඇති. බාගදා ඔහු අබ්බගාතයෙක් වෙන්න ඇති. බාගදා ඔහු මිය ගිහින් ඇති. බාගදා ඔහු ඈ හැරයන්න ඇති. බාගදා ඔහුට වෙන ගැහැණියක් ඇති.....කවුද දන්නේ.... දන්නේ ඇයයි ඔහුයි පමණයි. ඒත් ඒ වෙන්වීම ඔවුන්ගේම තීරණයක් වුවා නම් , ඈ මෙතරම් යාදිනි කියමින් පටාචාරාවක් මෙන් බිම අත් ගසමින් වැලපේවිද? මේ අහිංසකිය විඳින මේ මරණිය වේදනාව දිහා , තමන්ගේ මාන්නක්කාර හැඟීම් විරහිත දැස් වලින් , ලැජ්ජාව පෙරදැරිව , දෙමාපියන්, ඇයව කුණු මාලු කෑල්ලක් මෙන් බිම දිගේ ඇදගෙන ගොස් වාහනයට ඔබා ගන්නවා.
විස්වාස කරන්න හිතවතුනි ... අද මම මේ ලියන මොහොතේත් එදා මට දැනුණු වේදනාවෙන්ම කඳුලු වගුරමින් අඬනවා... ඒ මතකය එතරම්ම වේදනාවක්.... එතරම්ම දරුණු බිඳුමක් !.... ඇගේ දුක හරියටම දැනේවි , ජීවිතේ කවම කවදා හරි ඔබත් , එහෙම දෙයක් විඳවලා මැරි මැරී ඉපැදී ඇත්නම්. දෛවයේ සරදමකට , තම ඇසුරේ සිටියවුන් අතින්ම පණ පිටින් ආත්ම ඝාතනයට මුහුණ දී ඇත්නම්. ජන්මාන්තර වෛරී පලිගැනුම් පූර්ව ජන්මයෙන් රැගෙන ආ කෝන්තර වල , ඔබ අවිහිංසක ගොදුරක්ව , මුලුමනින්ම බිඳී ඇත්නම්... බිඳීම යනු , ඇට මිදුලු අස්ථි බිඳුමකට වඩා දරුණු බව දන්නේ එය විඳි කෙනෙක්ම පමණයි.
ඔබෙන් මම එක දෙයක් අහන්නම් . ඒ වෙන් කිරීම , ඒ දෙමාපියන්ගේ ජයග්රහණයක් වෙන්න ඇති. දවසක ඔවුන් කියාවි , අපි ඒක කලේ එයාගේ හොඳට කියලා. දරුවන්ට ආදරේට එහෙම කළ බව කියාවි. සමහර විට , ඕක එයාට ටික දවසකින් අමතක වෙලා යාවි ... එහෙම කියාවි.... ඒත් .. ඒත්... ඒ තරම් විප්රයෝගයක් විඳි අර අහිංසකිය , ඇත්තටම , එයින් මතු , සාමාන්ය ගැහැණියක් , සාමාන්ය බිරිඳක් , මවක් වේවිද? දෙමාපිය ඔබටම මම ඒ තීරණය භාර දෙන්නම්. එවැනි දැඩි මානසික අවපාතයකට ගොදුරු වූවෙකු , බෝම්බයකට හසුවූවෙකුගේ කම්පණයකින් නිරතුරු ජීවත් වේවි. ඒ කම්පනය පර්ම්පරා ගානක් ඉදිරියට අනුනාද වේවි....
එකක් සහතිකයි. එවන් වෙන්වීම් දරා සිටි බොහෝ දෙනෙක් මේ ගිණුමේ මේ පොස්ට් එක කියවන අතරේ නැතුව ඇති... එහෙමත්ම හිතකට ඇරුනාම , බිඳුනු ජීවිතයක් ඉදිරියට ගෙනියන්න හයියක් නෑ. එක්කෝ බිඳුනු තැනට ලෝදිය වත්කොට උණු කොට එහි ඇට මස් සම් නහර ගලක් මෙන් සවි විය යුතුයි. නමුත් ..... එලෙස බිඳුනු , සෙසු බොහෝ අය ඒ ආත්මයට මේ වෙන විට සැනසීමක් දෙන්න තීරණය කරලා යන්න ගිහින් ඇති. ඒත් ඒ ඉන්නා තැනකවත් සැනසීමෙන් නැතුව ඇති.
ඉතින්
කවදාවත්ම
"දෙමාපියන්ගේ ආදරේ" කියන පලිහෙන්
දරුවෙක් මුවා කරගෙන ,
"මාන්නයේ" කිණිස්සෙන්,
ආදරේ කරන හිතකට
අනින්න එපා....
හිත විතරක් මැරුනාම
ඒක භෞතික මියයාමකට වඩා
දහස් ගුණයක් දරුණුයි...
❤
එහෙම කරන්න
ඔබත් හවුල් වුනොත්
සංසාරයේ ඉන්න තාක්
කවදාවත්ම
කැඩපත
ඔබ එක්ක
හිනා වෙන එකක් නෑ.......
"


Tuesday, August 24, 2021

[414] අතකින් අම්මාය , අතකින් මෙරමාය

 අතකින් අම්මාය , අතකින් මෙරමාය



මේ පොත මහත් අභිරුචියෙන් මා මිලට ගන්නේ Neranjan ලක්මාල්ගේ පෝස්ට් එකක් දැකීමෙනි.

මෙහි කතු තුමන්ගේ (පී බී ජයසේකර) බොහෝ පොත් මා කියවා නැතත් , මේ පොතෙහි මා දකින්නේ , එතුමන් සිය අත්දැකීම් බහුල , ජීවන දර්ශනය , බුදු දහම ඔස්සේ මැනවින් ගලපාගෙන ඇති ආකාරයයි . කිසියම් ආගමික දර්ශනයකැයි කියනවාට වඩා එතුමන් සර්ව ආගමික දර්ශනයන්ම එක සේ අදහන - පොදු පැවැත්මේ දර්ශනය / ස්වභාව ධර්මයේ ස්වභාවය මැනවින් ගලපා තිබෙනවා.

කතාවක් වශයෙන් ගත් කල , කතා වස්තු බීජය ඉතාම ආකර්ශනීයය. මෙහෙණි ආරාමයක හදා වඩා ගැනෙන දැරියන් දෙදෙනෙකුගේ අතීත ජීවිතය සහ වර්තමානය ගලපා ගන්නට ඔවුන් දෙදෙනා දරන ප්‍රයත්නය පොත පුරාම ප්‍රකට වෙයි. ඔවුන් දෙදෙනා හදා වඩා ගන්නා ලොකු මෑණියන්ගේ චරිතය කිය්වද්දී සිතේ ඇඳී මැකී යන්නේ , ජයසේන ජයකොඩිගේ අරලිය මල් ආරාමයේ රාහුල තෙරණුවනුයි. පොතේ ඇතැම් තැන් වල අරලිය මල් ආරාමය පොත් පෙලෙහි එන ජවනිකාවන්ගේ සෙවනැලි පෙනුනත් , එය , ජයසේන ජයකොඩිගේ සෑම පොතක්ම පස් හය පාරකට වඩා කියවා ඇති මගේ දෝශයක් විය හැකි බව සිතෙයි. පොත් දෙකක් සැසඳීම ආචාරශීලි නොවුනත් , ජයසේන ජයකොඩි කතු තුමන්ගේ රචනා ශෛලිය ඉතා කෙටි මෙන්ම , බොහෝ සිතුවිලි හකුලුවා පෙන්වන කෙටි විස්තර වලින් සමන්විතයි. මෙම පොතෙහි ඇතැම් කරුනු පැහැදිලි කිරීම් , ආත්ම විවේචන , ආත්මයෙන් කරන ප්‍රශ්න කිරීම් පමණට වඩා වැඩි හුවා දැක්වීම් ඇතැයි මට සිතෙනවා.

පොතේ මුල් භාගය අතිශයින්ම ප්‍රාණවත් මෙන්ම සජීවී ස්වභාවයක් ගත් නමුදු පොතෙහි අවසන් භාගය වන විට , නන්දුත්තරාගේ ආත්ම සංවාද , කතාව ලියා ඇත්තේ තුන්වන පාර්ශවයක ශෛලියෙන්මද යන්න සැක පහළ වෙන තරම්ම නන්දුත්තරාගේ කෝණයෙන් ආවරණය වී තිබෙයි. අනවශ්‍ය තර්ම් දීර්ඝ චිත්තාවලීන් එක් එක් අයුරෙන් නැවත නැවත ගෙන හැර දැක්වීමට ඉතා දීර්ඝ චේද වෙන් වී තිබීම , පොත අනවශ්‍ය තරම් දිගු කිරීමට සහ වෙහෙසකර බවක් ඇති කිරීමට පාදක වී තිබෙයි.

නමුත් කිය යුතුම දෙයක් නම් , මෑත කාලයේ ලියවූ ‍රැළි නවකතා වලින් ඔබ්බට ගොස් , කතු තුමන් , ආගමික පදනමකින් ගෙතුනු , ඉතිහාස කතාවකුත් නොවුනු, රටේ කුල මල ගැනත් හුවා නොදැක්වුනු , නවකතාවක් ලියා සිය නිර්මාණය එඩිතරව එලි දැක්වීමයි. විශේෂයෙන්ම කතාවේ මුල් භාගයෙහි ඔහු දක්වා ඇති උපමා , රූපක , දහම සහ පරිසරය ගැලැපී යන ආත්ම සංවාද ඉතාම චිත්තාකර්ශණීයයි.

යලිත් පොතෙහි අග භාගයෙහි ඇති ගලා යාමේ අඩු පාඩුව , සහ අවසන් පි‍ටු කිහිපයෙහි අනාවරණය කිරීමට යෙදෙන "මෙතෙක් පුල පුලා කියවන්නා බලා සිටින හෙලිදරව්ව" පාඨකයෙකු වශයෙන් මට දැනෙනුයේ "හිතුවාට වඩා බැරෑරුම් සහ සංකීර්ණ ප්‍රෙහෙලිකාවක්" ලෙසයි. පොත ආරම්භයෙහි නිසි වේගයෙන් නිදැල්ලේ ගලා ගිය භාවනාමය ස්වරූපය සමග කැලතූ නාට්‍යමය ස්වභාවය , එක් එක් ශෛලීන් වලින් අවසන් වී ඇති සෙයක් මම කියවන්නෙකුගේ ඇසින් දකිනවා. එය මගේ චිත්ත රූප කෙරෙහි යම් බාධාවක් ඇති කළ බවද නොකියා බැරිය. විශේශයෙන්ම , සෝදුපත් කියවා සංස්කරණය නොකළ කොටස් මෙන් අතිරික්ත රචනා ඛණ්ඩ පොතේ අග භාගයෙහි මට බහුල ලෙසක් දැනුනි.

පොතෙහි ඇති වාක්‍ය වල නොගැලපුනු තැන් එන්න එන්නම අවසන් හරියේදී වැඩිව ඇති නිසා බොහෝ දිගු චේද මගහැර කියෙව්වෙමි. ඇතැම් වාක්‍ය වාක්‍යාංශ හෝ මුල මැද අග නොමැති කොටස් ලෙස ඈඳා ඇතැයි සිතෙයි.

එහෙත් මට නම් , සමස්තයක් වශයෙන් ගත් කල ජීවිතය භාවනාවක් මෙන් නවකතාවක් හරහා පිරිසිඳින්නට කැමති ඕනේම පොත් කියවන්නෙකුට රෙකමදාරු කළ හැකි පොතකි. ( ඔබ ජයසේන ජයකොඩිගේ කතා ශෛලියට කැමති කෙනෙක් නම් මේ පොතත් එම ශෛලියෙන් ලියවුනු නූතන බෞද්ධ නවකතාවකැයි කීමට කැමැත්තෙමි )

අවසන් වශයෙන් කියමි. අනගි පොතකි. හැම පුන්චි දේකම පරිපූර්ණත්වය සෙවිය නොහැකිය. සිතේ ගැඹුරටම කා වැදුනු වැකියකින් මගෙ කුඩා සටහන නිමවමි

(උපුටා ගැනීම පහළින් )
"නන්දුත්තරා සිල් මෑණි, කෙනෙක් කියන දේ තරයේ විශ්වාස කරන්නට වෙන්නෙ, ඊට වඩා දැනුමැත්තෙක් වෙනත් අදහසක් නොදරන තාක් කල් විතරයි. අපේ හාමුදුරුවරු බණ කියනව. ඒ බණ ඇහෙන සීමාවක බුදු හාමුදුරුවො වැඩ හිටියා නන් , ඔය කියන බණ ඔයිට වෙනස් වෙනව"
( උපුටා ගැනීම අවසන්)

අතකින් අම්මාය , අතකින් මෙරමාය, පී බී ජයසේකර , පි‍ටුව 310
ෆාස්ට් පබ්ලිශින් , 2019 , මිල : රු 550

Thursday, April 22, 2021

[413] තව ටිකක් වැඩිපුර ජීවත් වෙමුද ? - හෘද සංවාද 44 Heart Talks


Video LInk : https://youtu.be/ptoA7raUw6s

ජීවිතේ අන්ත අසරණ වෙන සමහර  වෙලාවල් වලට වීරයෝ වුනත් පොඩි දරුවො වගේ අසරණ වෙනවා. දුෂ්ටයෝ අසරණයො වගේ අඩා වැටෙනවා. කොයි තරම් ගල් හිතක් වුනත් , හදවත ස්පර්ෂ කළ ආදරය වෙනුවෙන් වෙඬරු පිඩක් වගේ දියාරු වෙනවා.  අද මේ කියන්න යන්නේ, අඬන්නත් , හිනාවෙන්නත් , ආදරය කරන්නත් එක සේ වැයෙන දුර්ලභ බටහිර ගීතයක් ගැන...

ජේම්ස් බොන්ඩ් කියන්නේ නිකම්ම නිකම් සිනමාපට මාලාවක් නෙමෙයි. යුගයක් එකලු කළ, යුගයක තරුණ මහලු බාල  සිත්සතන් වීරත්වයෙන් පිස්සු වට්ටපු චරිතයක්.. ඉයන් ෆ්ලෙමින්ග් නම් ශ්‍රේෂ්ඨ කතුවරයාගේ හදවතේ මැවුනු අති ප්‍රබල සිනමා චරිතයක්. ජේම්ස් බොන්ඩ් චිත්‍රපට නරඹන අයට ඒක වෙනනන ආගමක් වගේ.. අද හෘද සංවාදය පිරිනමන්නෙ , ඒ වගේ ජේම්ස් බොන්ඩ් පිස්සෙක්ට.. ජේම්ස් බොන්ඩ් පොත් , කාර් , පින්තූර , චිත්‍රපට යනාදී එකී මෙකී නොකී හැමදෙයක්ම එකතු කරන මගේ ආදරවන්තයාට... 

ජේම්ස් බොන්ඩ් රහස් පරීක්ෂක කතා චිත්‍රපට පෙලේ  හයවෙනි ජේම්ස් බොන්ඩ් සිනමාපටය වන්නේ ඔන් හර් මැජෙස්ටීස් සීක්‍රට් සර්විස්  නම් වුන 1969 තිරගත වුනු චිත්‍රපටයයි. 

එතෙක් කල් ජේම්ස් බොන්ඩ්  චරිතයට පණ පොවපු ශෝන් කොනරි  කියන විශිෂ්ට රංගධරයා ජේම්ස් බොන්ඩ් චරිතයෙන් විශ්‍රාම ගත් පසු,  මේ on her majesty's secret service  කියන 6 වැනි සිනමාපටයට  තෝරා ගන්නේ ඉතාමත් ආධුනික නළුවෙක් ඔහු නමින් ජෝන් ලැසේනි.  

මේ සිනමාපටය ජේම්ස් බොන්ඩ් කතාමාලාවේ සුවිශේෂ නිර්මාණයක්. අති දක්ෂ රහස් පරීක්ෂකයෙකු වන ජේම්ස් බොන්ඩ් කුඩා දරුවෙක් මෙන් හඬා වැටෙන අනුවේදනීය දර්ශනයක් සහිත සිනමාපට කිහිපයෙන් එකක්. මේ සිනමාපටයේදී ,  ජේම්ස් බොන්ඩ්,  ට්‍රච්ය් හෙවත් තෙරේසා කියන රූමත් තරුණිය එක්ක ආදරයෙන් බැඳෙනවා. හැබැයි ඒ ට්‍රේසිගෙ පියාගෙ කොන්තරාත්තුවකටයි. නමුත් චිත්‍රපටයේ මැදට යද්දී , ඔහු තමන්ගෙ සේවා දායිකාව එක්ක අවංකවම ආදරයෙන් බැ‍ඳෙනවාඅ. සමහර ආදර කතා , නාමික මුණ ගැසීමකින් ඇරම්ම්බිලා , සැබෑ ආලයටම පෙරලීමෙන් , වෙන්වීමේ වේදනාව උරුම වෙනවා. ඉතින්  කතාව කෙටියෙන්ම කිව්වොත් ජේම්ස් බොන්ඩ් තමන්ට පැවරුණු රහස් පරීක්ෂක කාර්යයේ සාර්ථකත්වය දකිමින්, සිය දිවි දෙවෙනි කොට කැපවූ ‍රැකියාවටත් සමුදී ,  තමන්ගේ ආදරවන්තිය ට්‍රේසි බොන්ඩ් එක්ක විවාහ වෙනවා. පෘතුගාලයේ පාරක් අයිනෙ නවත්වලා තමන්ගේ මංගල රථයෙ මල් දම් ඉවත් කරද්දී, ඔහුගේ ප්‍රතිවාදියා තැබූ වෙඩි පහරින් , මනාලියක් වුණු උණුසුමින්ම ඒ මංගල ඇඳුම පිටින්ම ට්‍රේසි බොන්ඩ් මිය යනවා.  මේ මොහොත මා හිතන්නේ ජේම්ස් බොන්ඩ් රසිකයින්ට හරිම අනුවේදනීය, අමතක නොවෙන දර්ශනයක්.  මේ දර්ශනයේදී පසුබිමින් වැයෙන ගීතයේ මෙන්න මෙහෙම කියනවා... 

"We have all the time in the world"

මේ ගීය ගයන්නෙ , ලූ ආම්ස්ට්‍රෝං . දැන් ඔබ ඒ කවුද කියා දන්නවා.  වට් අ වොන්ඩර්ෆුල් වර්ල්ඩ් කියන අති සුන්දර ගීතය ගායනා කරන්නේ ඔහුයි. ඔහු ගායනා කරන මේ වී හැව් ඕල් ද ටයිම් ඉන් ද වර්ල්ඩ් කියන අති සුන්දර ගීතය ජේම්ස් බොන්ඩ් කියන වීරයාගේ ජීවිතයේ අනුවේදනීය වෙන්වීමක් සටහන් කරනවා. on her majesty's secret service  කියන ජේම්ස් බොන්ඩ් සිනමාපටය පුරාවටම ඇදෙන පසුබිම් සංගීතයත් , චිත්‍රපටයෙ  අවසාන දර්ශනය - ට්‍රේසි බොන්ඩ්ට වෙඩි වැඩී මිය යන මොහොත මේ ගීතයෙන් අවසන් වෙනවා.  

1969 මුදාහැරුණු මේ සුන්දර ගීතය රසික සිත් පැහැරගන්න සමත් වෙන්නෙ නෑ. නමුත් 1994 , ඒ කියන්නේ හරියටම අවුරුදු විසි පහකට පස්සේ බියර් ප්‍රචාරක දැන්වීමක යොදාගත් මේ ගීතය නිසා මේ ගීතය රසිකයින් අතර මහත් සේ ජනප්‍රිය ත්වයට පත් වෙනවා.  ලෝකයේ විවාහ මංගල්‍ය උත්සව වල වැඩියක්ම වාදන වන ගීත අතරින් තුන්වැනි ස්ථානයේ රැඳෙන්නේ ංංං ගීතයයි. 

එක අතකින් ඒක හරි පුදුමයක් නේද? තමන්ගේ ආදරවන්තිය මිය යද්දී අඩා වැලපෙන ජේම්ස් බොන්ඩ් ජවනිකාවක තිබූ මේ ගීය , පසුකාලීනව සුවහසක් මිනිසුන්ගේ ජීවිතයේ සොඳුරුතම  දිනය වර්ණවත් කරන්නට යොදා ගන්නවා. ඒකත් හරියට දෛවයේ සරදමක් වගෙ නේද? ආම්ස්ට්‍රෝන් වැනි ගායකයෙකුට මිසක් ලෙහෙසි පහසුවෙන් කිසිම කෙනෙකුට දුක සහ සතුට දෙකම දැනවෙන විදිහට ගීතයක් ගායනා කරන්නට නම් බැරි බව මේ ගීතයේ සංගීතය නිර්මාණය කළ ජෝන් බැරී පවා පවසනවා

ගායකයකු පමණක් නෙවෙයි ට්‍රම්පට් වාදකයකු වුන ආම්ස්ට්‍රෝන්,  මේ ගීතය පටිගත කිරීමට පැමිණෙන්නේ ඉතාමත් රෝගාතුරව. ඉතින් ඔහු මේ ගීතය ගායනා කරන්නේ තමන්ගේ ශාරීරික වේදනාවන් යටපත් කරමින් ඉතාමත් අපහසුවෙන්.  ඒ විතරක් නෙවෙයි ඔහුට එදා ටෘම්පෙට් එක වයන්නට තරම් ශරීර ශක්තියක් නොමැති නිසා මේ ගීතයට ට්‍රම්පට් වාදනය කළේ , සංගීතය නිර්මාණය කළ ජෝන් බැරීම බවත්  සඳහන් වෙනවා. ඒ ට්‍රම්පට් වාදන කොටස මේ ගීතයට කොච්චර වර්ණයක් එක් කරනවද කියලා , පහත කොමෙන්ට් එකේ තියන ලින්ක් එකෙන් ඔබට ගීන් බලන්නට පුලුවනි..

අපිට ඕනෑ තරම් කල් තිබෙනවා 

ජීවිතයේ රස මුසු තැන් ආදරයේ සුන්දර මතක දිගහරින්නට 

අපිට ඕනෑ තරම් කල් තිබෙනවා


අපිට ඕනෑ තරම් ආදරය 

හිතේ පිරී තිබෙනවා 

ඒ තරම් ආදරයක් හිතේ තිබෙනවානම් 

අපට වෙනත් දේවල් කුමටද


ජීවිතයේ ඉන් එහාට ගෙවන හැම පියවරක්ම 

තබන හැම පියවරක්ම 

අප දෙදෙනා එකටම යාවි.. 

ලෝකය අප දෙස බලා සිටියාවේ... 


ආදරෙන් පිරිච්ච ජීවිතයක් 

අප ඉදිරියේ බලා සිටිනවා 

ලෝකය දකින්නට ජීවිතය විඳ ගන්නට 

අපට දැන් ඕනෑ තරම් කල් තිබෙනවා


සිය ‍රැකියාවත් කැපකොට , ට්‍රේසි වෙනුවෙන් ජීවිතය විඳින්නට මංගල ගමන පිටත් වන ජේම්ස් බොන්ඩ් , තමන්ගේ ආදරවන්තිය අලුත් මනාලියගෙ මල සිරුර  දෑතෙහි රඳවාගෙන, අවසානයට මේ වදන් මුමුණනවා.  ජීවත්වීම සඳහා හෝ මරණින් මතු එක්වීම සඳහා අපට ඕනෑ තරම් කල් තිබෙනවා යැයි ඔහු පවසන්නේ කුමක්දැයි තීරණය කිරීම අපටම බාර වෙනවා. 

නමුත් ජීවිතයේ තරගයෙන් දුවලා දුවලා හති වැටුණු මිනිස්සුන්ට මා අවසාන වශයෙන් එක දෙයක් කියන්නම්. 

 ජීවත්වීම සඳහා අපට ඕනෑ තරම් කල් තිබෙනවා , දුවන්නට තරම් මේ ජීවිතය කෙටි නෑ . 

කෙනෙකු මා සමඟ විරුද්ධ වේවි. නෑ ජීවිතය කෙටියි.  අපට ලබාගන්නට දේ බොහොමයි . එසේ සිතනවානම්  මම පුදුම වෙන්නේ නෑ . 

ජීවත් වෙන්නට ඕනෑ තරම් කල් සොයාගන්න තරගයෙන් මිදුන මිනිසුන් හරිම අල්පයි. ඔවුන්ට ඔබ දන්නවද ජීවත් වෙන්න ඕනෑ තරම් කල් තිබෙනවා, ජීවිතේ මොහොතින් මොහොත විඳ ගන්නට තරම් ජීවිතය ඔවුන්ට දිගයි... මොකද එය ගෙවෙන්නෙ හෙමින් නිසා... 


We have all the time in the world

Time enough for life to unfold

All the precious things love has in store


We have all the love in the world

If that's all we have, you will find

We need nothing more


Every step of the way

Will find us

With the cares of the world

Far behind us


We have all the time in the world

Just for love

Nothing more, nothing less

Only love


Every step of the way

Will find us

With the cares of the world

Far behind us, yes


We have all the time in the world

Just for love

Nothing more, nothing less

Only love

Only love


Song Link  : https://www.youtube.com/watch?v=RMxRDTfzgpU

James Bond Last scene : https://www.youtube.com/watch?v=hgndOK2zuY0 

BackGround Music in Video 

Reaching Out Kevin MacLeod (incompetech.com)

Licensed under Creative Commons: By Attribution 3.0 License

http://creativecommons.org/licenses/by/3.0/

Music promoted by https://www.chosic.com/

Thursday, April 15, 2021

[412] හෘද සංවාද - Heart Talks - 43 - දෙවියන් ඉන්නෙ ගස් උඩද ?



ජීවිතේ පිරිල තියෙන්නෙ ම තෝරා ගැනීම් වලින්අ..පේ සමහර තෝරාගැනීම කරද්දී තව පාර්ශව ගණනාවකගෙ අහිංසක හිත් වලට අල්ප හෝ වේදනාවක් ගේන බව ඔබට දැනිලා තියෙනවද? එහෙනම් සතුටු වෙන්න.. ඔබ අතින් අතපසු වීම් සිදු වුනත්, ඔබ හැඟීම් දැනීම් තියෙන, අනෙකාගේ දුක දැනෙන මනුෂ්‍යයෙක් ..

මේ කතාවේ ඉතුරු ටිකට ඔබ සංවේදී වෙනවා ද නො වෙනවද කියන එක ඔබටම ඔබ ගැන ස්වයං තීරණයක් ගන්න අවස්ථාවක්...

ඔබ දන්නවනේ... අපි ඉන්නේ ඉහළ මාලයේ පුංචි අපාර්ට්මන්ට් එකක... ඒත් ඉතින් උඩ තට්ටුවෙ පුළු පුළුවන් හැටියට අපි පුංචියට වවාගෙන තියෙනවා,  කිව්වට විශ්වාස කරනවද, එළවළු පලතුරු බෙහෙත් පැල හැත්තෑවකට වැඩිය එකතුවක් ... හිතා ගන්න පුළුවනිනේ .. වතුර දාන්න ගියාම පැයක් හමාරක් යනවා.. ඒ විතරක්ද පස් මාරු කරන්න,  පොහොර දාන්න,  අලුත් පැල ඒ වගේම පස් බෑග් අරන් එන්න.. වැඩ කෝටියයි....  ඉතින් පැල ගැන උනන්දුවක් නොතිබ්බ මට, එයාගේ මේ වැඩ, මුලදී නම් හරිම අරුමයක්.. ගමනක් ගියොත් පාර අයිනේ හරි දකින පැලයක් අතු කෑල්ලක් උස්සගෙන එන එක වරදින්නේ ම නෑ.. 

ඒත් කවම කවදාවත් එයාගේ "පැල පිස්සුව" විකාරයක් හැටියට වත්, වැඩකට නැති දෙයක් හැටියට වත්, මට පෙනුනෙ නෑ,, ඒ  වෙනුවට, එයාගෙ ගෘහස්ථ පැල සංග්‍රාමයට මමත් එකතු වුණා. දැන් මේ පැල දරුවොන්ට අපි දෙන්න විතරක් නෙමෙයි, අපේ යාලුවෝ නෑදෑ හිතමිතුරොත් ආදරේ කරනවා.. කොළ පාටින් පිරුණ මේ උඩු මහලට රිංගුවාට පස්සේ ඇත්තටම දැනෙන්නේ නැහැ අපි ඉන්නේ ඉන්නේ ගාලු පාර අයිනේ කියලා. ඉතිං පැල බබාලට වතුර දාන එක, එහෙන් මෙහෙන් උස්සන් එන අතු කෑලි පැල කරන එක, පැල තියන තැන් වෙනස් කරන එක, ආදී දේවල් වලින් අපි දෙන්නගෙ නිවාඩු දවස පිරිලා තියනවා.. හැබැයි එදාට දෙන්නත් එක්ක එකතු වෙලා පස් නාගෙන මඩ ගාගෙන ඒ කාල වේලාව ගෙවන්නේ හරිම සන්තෝසෙන්.. ඒක පුදුම නිරාමිස ප්‍රීතියක්. ජීවිතේ සරල ප්‍රාථමික මානවයාගේ පුරුදු වලින් ඈත් වුන තරඟකාරී  ජීවිතේ,  දුවන වේගය අඩු කරන්න , කෙනෙකුට හිත හදා ගන්න හරිම අමාරුයි. මොකද අපි හිතනවා අපි ඉපදිලා ඉන්නෙ ඒ තරගය, ඒ දිවිල්ල ඒ සාර්ථකත්වය කියලා කියන මායාව පසුපසම දුවන්න කියලා.  ඒත් දුවන ගමන් අපි හැමෝම හදවතින් ප්‍රාර්ථනා කරන්නේ එයින් නැවතීම නෙමෙයිද? ඒ ගිමන් හැරීම නෙමෙයිද? ඒ සැනසුම නෙමෙයිද ?

ඉතිං අපි එක්කම, අපේ අවබෝධය, ආදරය එක්කම, අපේ පැල දරුවො මෝරනවා. මල් පිපෙනවා, අල බහිනවා,  සමහර පැල වියපත් වෙලා මැරිලා යනවා,  සමහර පැල අකලට මැරෙනවා, ඒ පෝච්චි වලට අලුත් පැල හිටවනවා, දළු දානවා .. මේ  සංසාර චක්‍රය අපි උපේක්ෂාවෙන් බලා ගෙන ඉන්නවා.  ඒ උපේක්ෂාව කොයිතරම් තිබුනත්,  අපි මේ පැළ නොසලකා නොහැර ආදරය උවමනාවටත් වැඩියෙන් ඒවට දෙනවා. සොබා දහමට ළං වෙනවා කියන්නේ නිවනට ළං වීමට සමානයි කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒ නිසයි. ඉතින් සොබාදහමට ආදරේ කරනවා කියන්නේ ලස්සන භූමි දර්ශනයක් දිහා ගොඩ වෙලාවක් බලාගෙන ඉඳලා හිත සතපවා ගන්න එක පමණක්මද?  පොඩ්ඩක් අතේ පස් ගාගෙන, පොඩ්ඩක් එහෙන් මෙහෙන් මදුරුවො හෝහපුටුවො කන එක ඉවසගෙන, කකුලේ මඩ ටිකක් තවරගෙන, ඒ ගහ කොළ අතපත ගාන එක... කොතන හරි පුංචි පැලේකට වැඩෙන්න අපි ඉඩක් හදල දෙන එක, සොබාදහමට ලන්වෙන්න කොච්චර හොඳ ක්‍රම අත ගාවම තියනවද ? ගහකට වැලකට කවුද මේ ලෝකේ අකමැති වෙන්නේ ! ගහකින් කොල වැටෙන එක, අතු පාහින එක, මදුරුවන් බෝවෙන එක, පැල වවන එක, ඒවට වතුර දාන එක, ඒක මහ වදයක් කරදරයක් හැටියට දකින සිතක් ඔබ හිතනවද නිවනට ලං වේවි කියලා?  බුදුන් වහන්සේට අනුව නම් නිර්වාණයේ බොහෝ ස්පර්ශක තියෙන්නෙ මේ සොබාදහමේ ස්වභාවිකත්වය ලග. ඒ සොබා දහමත් එක්ක මුසු  වෙන්නට සංසාරේ පෙර පින තියෙන්න ඕනේ . සාංසාරික පුරුද්දක් හැටියට ගහකොළට ආදරයක් හිතේ වැඩෙන ඕනේ.. 

මගේ ආදරවන්තයා ආදරේ කරන පුංචි පැළෑටියකට, මං ආදරේ කරන එකම, ඔහු ගැන මගේ හිතේ පැල වුණ ආදරය තහවුරු කිරීමක්.. ඔහුගේ සමහර පුංචි විනෝදාංශ මට හරියකට වැටහෙන්නේ නැති තරම් තාක්ෂණිකයි.  ඒත් එක මොහොතකින් නිමේෂයක් වත් මම කිසිම දවසක ඔහු ආදරේ කරන ඔහු පෙම් බඳින දේවල් වලට තරහා වෙලා නෑ, ඒවත් එක්ක වෛර බැඳලා නෑ. මොකද මම දන්නවා ඔහුයි මමයි කියන්නේ වෙනස් ජීවීන් දෙදෙනෙක් කියන එක. මම ගැහැණියක්,  ඔහු පිරිමියෙක් අප දෙදෙනා ආවේ වෙනම පරිසර දෙකකින්. අපි දෙන්නට අපිටම ආවේණික අතීත කතා තියෙනවා. ඒ අතීත කතාවල දුක කඳුළ සතුට  වේදනාව මේ හැමදේම පිරිලා තියෙනවා.  අපට ආවේණික වර්තමානයක් තියෙනවා. අන්න ඒ විවිධත්වයට එකිනෙකාගේ වෙනස් වෙනස් තෝරා ගැනීම්වලට උදව් පදව් කරගන්න එකත්, ඒවට උපේක්ෂාවෙන් සහයෝගය දෙන එකත්, ඒවාට උඩගෙඩි දුන්නම , ඒවායින්ම  සිද්ධ වෙන පුංචි පුංචි අපහසුතා මහා ලොකු ප්‍රශ්න හැටියට නොදකින එකත්, ඒ අපහසුතා සතුටින් ඉවසන එකත් , නැති හදවතකින් කුමන පලක් ද ? ආදරය කියන්නේ හදවතින් පැනනගින සිතුවිල්ලක් මිසක් , මොලෙන් තර්කණයෙන් , සමීකරණ වලින්, ගණන් වලින් විසඳිය හැකි තාක්ෂණික ගැටළුවක් නෙමෙයි .. තමා කෙනෙක්ට ආදරය කල යුත්තේ ඒ වෙනුවෙන් විශේෂ ගෞරවයක් බලාගෙන නෙවෙයි. ආදරය කිරීමෙන් ඔබ උත්තරීතර උසස් කෙනෙක් වෙන්නෙ නෑ. ආදරය කිරීමෙන් ඔබ අමන හිතක් නැති , ඇට මස් ලේ තියෙන පුහුදුන් මනුෂ්‍යයෙක් බවයි පසක් කරන්නේ. ආදරය නැති හිතකින් බෙදන දැනුමවත් , අවවාදවත් , උපදෙස්වත් තවත් පණ නැති වචන ටිකක් විතරමයි. ආදරයට ප්‍රශ්න හෝ උත්තර කියන දේවල් මහා ලොකු ගැටලු නෙමෙයි.  ඉතින් අපේ ආදර කතාවේ ගොඩක් සන්ධි ස්ථාන වල, මහ පොළවෙන් පරිස්සමෙන් අහුලගත්ත , පුංචි අතු කෑලි අද අපිටත් වඩා උස ගිය හයිය හත්තිය තියෙන පඳුරු වෙලා.. අපේ ගෙයි තැන තැන අරක් ගෙන ඉන්න හැම පැලේක පිටිපස්සෙම , අපිට ආදරේ කෙනෙක් නොමසුරුව දුන්නු හොඳ හිතක අටීත කතාවක් තියනවා.  හිතාගන්නත් අමාරු තරම් මමත් දැන් ඒ කොළ පාට ලස්සනට පෙම් බඳිනවා. සමහර වෙලාවට මගේ ආදරවන්තය ටත් වඩා ගහක් මුලින් උදුරන්නට පැකිලෙන්නේ මම. 

දැනුම , විෂය  කරුණු, විශ්වය, සමීකරණ, ඥාණය ගොඩගහගන්න එක, කවම කවදාවත් විමුක්තියට මාර්ගයක් නොවෙන බවත්, ජීවිතේ හැම පෘතග්ජනයෙක්ම දවන අසහනයට පිළියමක් නොවන බවත්, සිතේ සාමය ගෙනෙන ඔසුවක් නොවෙන බවත්, දේශනා කරන්නේ බුදුන් වහන්සේ. කිසිම දවසක මානයෙන් උදම් වීම සඳහා, තමා කෙරෙහි අනවශ්‍ය සුවිශේෂත්වයක් ගොඩ ගසා ගැනීම සඳහා, සමාජයෙන් විශේෂ පුද සැලකිලි සත්කාර පිරිනමා ගැනීම සඳහා, දැනුම ආයුධයක් නොකරගන්නා ලෙස බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ වෙනුවට තමන්ගේ සිතුවිලි දෙස බලාගෙන තමන්ගේ සිත ක්‍රියා කරන හැටි උපේක්ශාවෙන් දකින එක භාවනාවක් කරගන්නැයි බුදුන් වහන්සේ ඉල්ලා සිටිනවා. කොටින්ම කීවොත් , ආරාම පිළිම ගස් ගල් හෝ පූජකයන් වන්දනා කරනවට වඩා, තපෝ වන ආරාම වන උයන් රෝපණය කරන්නා මහත් වූ කුසලයක් රැස්කර ගන්නා බව බුදුන් වහන්සේ දේශනා කරනවා. නමුත් බුදුන් වහන්සේ කිසිම තැනක තමන්ගේ සුව පහසුව උදෙසා මේ හරිතවර්ණ පණ තියෙන ආදරණීය හුස්ම ගන්න ගහකොළ මුලින් උදුරා විසි කොට දමන්න යැයි  කිසිම දවසක සඳහන් කරලා නෑ.

ගහ කොළට ආදරය කරනවා කියන්නේ ඒ දෙස බලාගෙන අනිමිසලෝචනය කිරීම පමණක් ද? අතපය හතර තියෙන මිනිසුන් වශයෙන් ඊට වඩා පුංචි හෝ දෙයක් මේ ලස්සන සොබාදහමට ඉෂ්ට කරන්නට ඕනෑ තරම් ඉඩකඩ තියෙන ජීවිතවල අපි හැමවෙලාවෙම කාර්යබහුලයි කියන්නට තරම් කාර්යබහුලත්වයක්, වේගයක් ,තියෙනවද? එහෙම අසහනයෙන් ගෙවන ජීවිතේ සිතේ සාමය තියෙන්නෙ කොතැනද ? මතුපිටින් බොහොම නිසල බව පෙනුන , ඒත් පතුළෙ විශාල දිය සුළි කැරකෙන මහ මුහුදක් වගේ ඔබේ වෛරය සැකය ද්වේශය අසහනය නොසැනසීම, නින්ද නැති බව, වේදනාවල්, අසන්තෝෂය, සුළි වගේ කැරකෙනවා නම්, ඔබට මම ඒ රෝගය හොඳ කරගන්න එක බෙහෙතක් කියන්නම්.

ඔය මානසික කූඩුවෙන් මිදිලා සොබාදහමේ දරුවෙක් හැටියට පය ඔය කූඩුවෙන් එළියට තියන්න. ගහක් යටට යන්න. එතැන තියෙන සිසිල විඳ ගන්න. එළියට බැහැලා හුලං පාරක් ඇගේ වදින්න ඉඩ දෙන්න. ගඳ සුවඳ අව් රැස් මේවා ටිකක් ඇගේ තැවරෙන්න අවස්ථාවක් දෙන්න. එතකොට ඔබට දැනේවි ඔබ සොබාදහමේම කොටසක් කියලා. සඳලු තලයෙන් පෙනෙන සොබාදහමට වඩා දෑස ලං කරල, අතේ පයේ වැදීගෙන යන හුළඟ ආඝ්‍රාණය කරලා, දැනෙන සොබාදහම බොහෝම වෙනස් බව එතකොට ඔබට වැටහේවි. ඒ සොබාදහමේ හැම ගහක් මුලක් ම හුස්ම ගන්න බව ඔබට දැනෙන්නට පටන් ගනීවි. ඒ විතරක් නෙවෙයි .සොබා දහමට ගහ කොළට ආදරය කරන මිනිසුන්ගේ හදවත් වල,  ගිනි ජාලාවන් , කූට සටකපටකම්, කරකැවෙන්නේ නැති බවත් ඔබට දැනෙන්නට පටන් ගනීවි. යම්කිසි මනෝ ව්‍යාධියක් තිබෙනවා නම් ඔබ සුවපත් වෙන බව ඔබට දැනේවි. ජීවිතය කියන්නේ මහ රේස් එකක් දුවන තරග ඉසව්වක් කරගත්තු බහුතරයක් මිනිස්සු අතරින් පරිසරයට සොබාදහමට මුසුවෙලා, ඇත්තටම ආදරය කරන මිනිසුන්, එකිනෙකා අභිබවා නොයා, ජීවිතේ තරගය නතර කරමින්, සාමයෙන් තැන්පත් වූ මිනිසුන් බවට පත්වේවි. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ චිත්ත ධාරාවන් වෙනත්ම අයුරෙන් තමාටත් අන් ලෝකයටත් සාමය රැගෙන එන බව, සොබාදහම ඔබට කියා දේවි.  ජීවිතයේ අනිත්‍යය දුක වේදනාව, දුක නැති කරන මාර්ගය, ඒ හැමදේකටම උත්තර ඔබට පතපොතින් ලැබෙනවට වඩා, දහම් දේශනා දස දහසක් අසනවාට වඩා, සොබාදහම නිශ්ශබ්දව ඔබට කියලා දේවි.  ඉතින් අද දවස හරි වෙනස් .. වෙනදට කතාව ඇරඹෙන්නේ ගීතයකින්, ඒත් අද කතාව අවසාන කරන්නේ නන්දා මාලිනිය ගායනා කරපු ඉතාමත් ලස්සන ගීතයකින්.   බලන්න , ඔබත් මමත්වය , තරඟය , මාන්නය නිසා , අමතක වුනු දෙවි කෙනෙක් ඉන්නවද කියල ? 

අන්න බලන් දෙවියෝ 

දෙවියන්ගේත් දෙවියෝ 

සෙත් සලසන දුක්ගැහැටම ළත් 

දෙවොලක් නැති දෙවියෝ 


සදාහරිත කර මුළු මිහිමඩළ ම 

සෙවණ සදන දෙවියෝ 

මුව වග වලසුන් ගිජිඳුන් විහගුන් 

රැකවල් ලන දෙවියෝ 


සියතින් ගෙල සිඳ ලේ සෙලවූ වත් 

තරහක් නැති දෙවියෝ 

නිසි කල වැසි දී පින් පෙත් නොලබන 

අවිහිංසක දෙවියෝ 


හෘද සංවාදයකින් ලබන සිකුරාදා ආයෙමත් ආදරෙන් මුණගැහෙන්නේ සිත්සරා වීරසිංහ 

https://www.youtube.com/watch?v=P9syi2xeFFY

[411] හෘද සංවාද 42 - Heart Talks 42 - පුංචි එකෙක් වෙමුද මොහොතකට ?

 


එල්විස් ප්‍රෙස්ලි ගයන වුඩ්න් හාට් ගීතය මෙතැනින් අහන්න Wooden Heart by Elvis Presly : https://www.youtube.com/watch?v=Hlbu6SsjlSE අන්ඩ්‍රෙ රියුගේ වයලින් ඔකෙස්ට්‍රාව මෙතැනින් අහන්න - Andre Rieu - Cant help falling in love by Elvis Presly : https://www.youtube.com/watch?v=YuH_90giGTQ ලූ ආම්ස්ට්‍රෝන්ග් ගයන වට් අ වොන්ඩෆුල් වර්ල්ඩ් ගීතය මෙතැනින් අහන්න - Louie Armstrong ; What a Wonderful World : https://www.youtube.com/watch?v=VqhCQZaH4Vs

Thursday, February 11, 2021

[410] හෘද සංවාද 41 - Heart Talks 41 : දයාබර මාලතී ...




"~ දයාබර මාලතී.. 

මට අද එකපාරම ඔයාව ඔලුවට ආවා.. අහම්බෙන්මත් නෙවී.. චූටි සිඟිත්තෙක් වඩාගෙන හිනැහෙන ඔයාගෙ පින්බර මූණ ෆෙස්බුක් ස්ටේටස් වල උදෙන්ම දු‍ටුව නිසා. ඔයා හොඳින්ද මාලතී? හිනාවෙනවා නේද මාලති ඔයා දැන් ? 

ඒ පින්තූරෙ නම් ඔයා හරි වෙනස් . ඒ කාලෙ හිටිය දඩබ්බර හිතුවක්කාරි නෙවී. පොඩ්ඩක් විතර මහත , හරි ගාම්භීර , හැඟුම්බර අලුත් අම්මෙකුගේ ගතිය හරි නුහුරුයි මට නම්. පොඩි එකී හරි ලස්සනයි, වෙලාවට අම්මාට වගෙ ලොකු කන් දෙකක් නැති වෙයි." ........... 


මේ මම 2013 ලියපු ලිපියක ගීතයක්. අදටත් එක සේ උණුසුම් අතීත කල්පනා අරන් එන ගීතයක්.... 


දෙසවනින් අහන්න එහි කතාන්තරය: https://youtu.be/HJ5ZszrvKDM

දැසින් කියවන්න : https://sansaare.blogspot.com/2013/05/290.html

ගීතය විඳගන්න : https://www.youtube.com/watch?v=oatBoFPMuxc



Tuesday, February 09, 2021

[409] හෘද සංවාද 40 - Heart Talks 40- ආදරය බෝවුන දුරුතු දුම්රියේ කතාවක්

දෙසවනින් අසන්නට : https://youtu.be/tZ2mjxQZQdM


දුරුතු සිතල හෙමින් මැකී යන හිමිදිරියේ, පේරාදෙණිය  දුම්රියපල එකම හිස්  ගෙඩි ගොඩක් වේගෙන එනවා. දහයයි පනස් පහේ

  කොළඹ කෝච්චිය එනතුරු ගෙල දික් කරගෙන ඇඟිලි ගනින සෙනග දකිද්දී, මං  හිටගෙන යන්න හිත හදා ගත්තා.

දුම්රිය එනවත් එක්කම හිස්ගෙඩි ඔක්කොම ලහි ලහියේ , වදෙන් පොරෙන් මැදිරි වලට ගොඩ වෙද්දී,මාවත්  ඉබේම මැදිරියකට තල්ලු වුනා. හිටගෙන යන මගියෙක්ට තියන අන්තිම බලාපොරොත්තුව තමයි , අඩුම ගණනේ ආසනයක  ඉහපතකට හේත්තු වෙන්න ලැබෙන එක. ඉතින් මමත් ආසන ඉහපත්තකට හේත්තු වුනා.

“අක්කේ , ඔයා මෙතතින් ඉඳ ගන්න” හේතුවක් නැතිවම , එතන හිටි දැරිවියක් මට ආසනය පානවා. පුදුමයත් ලජ්ජාවත් එකවර හිතට ඇතුළු වුනා. මහතට ආරන බඩ නිසා බබෙක් හම්බ වෙන්න කියල හිතුවද මන්දා.හිත යුද්ද කරද්දී , ඒ නංගී , මාව උරහිසින් අසුනට ඔබලා ඉවරයි. මිතුරියන් රංචුව එක්ක හිටගෙන යන එකත් ඇයට අපුරු සතුටක් ගෙනෙන්නැති. මම ඒ ලස්සන සුරන්ගනාවිට මුවිනුත් හිතිනුත් පින් දුන්නා.

මට පවුලෝ කොයියෝ ගේ  “ඇල්කෙමිස්ට්” හෙවත් “සන්තියාගෝ නම් සැරිසරන්නා” පොතේ වැකියක් මතක් වුනා. “ඔබට දැඩිව යමක් අවශ්‍ය නම්, එය ඔබට ලබා දීම සඳහා ලෝකය කුමන්ත්‍රණය කරනවා”. උදේ පාන්දර සිටම දාන කටයුත්තකට ලොකු පරිප්පු හැලි දෙකක් උයලා , ඇස්  කඩා වැටෙන නිදිමතේ හිටිය මං  වෙනුවෙන් ලෝකය කුමන්ත්‍රණ කරන්න ඇති.  අදත් එහෙම දවසක් වෙන්න ඇති..

මගේ දෙපා අසල පුංචි සෙලවීමක්.. නිදා වැටෙන ඇස්පියන් ආයිත් ඇහැරුනා. මලානික තාරුකා නිල් ඇස් යුගල තුනක් හිටගෙනම නිදා වැටෙනවා.නංගියි අයියල දෙන්නයි. අම්මාගේ අබායාවේ එල්ලිලා තුරුල් වෙලා මයිල  හැත්තෑවක් හිටගෙන යන්න හිතහදාගත්තම එන කඳුළු දිලිසෙනවා ... තුන්දෙනාගෙම ඇස් වල..

ආදරය කියන්නේ බෝ වෙන දෙයක්. අර හිටගෙන යන සුරන්ගනාවියගෙන් බෝ වුන ආදරය , හිතට බර වැඩියි. මට එහා පැත්තේ හිටිය තිලක තියූ කතත් එහා මෙහා වුනේ මගේ හිත තේරුම් ගත්තා වගේ. පුංචි නංගියා අපි දෙන්න මැද්දේ තුරුල් වෙලා ඇස් පියා ගත්ත. තිලක තියූ අර සුන්දරිය ආදරෙන් අනෙක් මල්ලිව ඔඩොක්කුවේ නිදි කර ගත්තා. මන් හිතන්නේ තිලක තියූ ඇගෙන් ආදර හුස්මක් ඉදිරි අසුනටත් පාවෙන්නැති . අප ඉදිරියෙන් අසුන් අරන් හිටි විදෙස් ජාතික තරුණයෙක් , ඉතුරු වෙලා හිටිය ලොකු අයියාට අසුන පාමින් නැගී හිටියේ දෙහිතක් නොහිතාම. ඔව් ආදරය කියන්නේ බෝ වෙන දෙයක්.

අයිය නගෝ තුන් කට්ටුවම උරහිස් වල , ඔඩොක්කු වල බෑග් වල හිස තියන් සැප නින්දක.ඒත් ආදරය සුළඟක් වගේ ඇහැරගෙන ඒ මේ අත යනවා. ඇස් වලින් පෙරෙන නිදිමතට ඉඩ නොදී මං බලන් හිටියේ , උකුලේ නිදියන පුංචි දැරියගේ සුව නින්දේ කිරි සිනහවේ ලස්සන !

පුංචි අයගේ  කුකුල් නින්ද ඉවරයි. පුංචි අන්නාසි කැබලි , මුරුක්කු , වතුර , බඩ  ඉරිඟු ආදරය එක්ක හරි හරියට හුවමාරු වෙනවා. මොහොතකට පෙර පොරකාගෙන මැදිරියට ගොඩ වූ හිස් ගෙඩි, ආදරයේ නෑසෙන බසකින් එක පාරටම දොඩමලු වෙද්දී,  අනේ ආදරේත් සුව කළ නොහැකි  බෝවෙන රෝගයක් වුනා නම් කොච්චර හොඳද කියලා මට හිතුනා.

 “අම්මේ ඔයත් මෙතනින් ඉඳගන්න, මට කකුල් රිදෙන්නේ නැහැ දැන්” අර අවුරු හය හතක විතර වයස ඇති නිදිමත ලොකු අයියා , අම්මගේ අබායාවෙන් අල්ලා  ඉන්දවමින් ඇගේ දෙපා අසලින් බිම ඉඳගෙන ඇයට තුරුළු වුනා.  

ජිවිත කිහිපයක්ම වෙනස් කළ තරමට ආදරේ බෝ කරලා , දැන් මොකුත් නොදන්නවා වගේ කිචි බිචි ගගා  අර හිටගෙන යන සුරන්ගනාවිට මම ආයිමත් හිතෙන් පින් පැමිණුවා.

එන්න අප තව තවත් ආදරය බෝ කරමු. එතකොට අනාදරය පෑල දොරෙන් පලා යාවි.

ආදරය බෝ වෙන හැටි ඔබත් පාරේ තොටේ දුටුවොත් අපට ලියල එවන්න. තරඟයෙන් තෘෂ්ණාවෙන් පුරන් වෙච්චි හිත් වල අපි මනුස්සකම් ආයිත් පැල කරමු. 


වැලන්ටයින් කියන්නේ පෙම්වතුනේ තනි අයිතියක්ද?

Wednesday, February 03, 2021

[408] හෘද සංවාද 39 - heart talks 39 - නටන සමනලුන්ගේ ලිහිණි වත - Amazing Girls in Girls Like you

2019 ජුලි මාසය වෙද්දී යුටියුබයේ වැඩියෙන්ම නැරඹු වීඩියෝව වශයෙන් සටහන් වන මෙම , සරල රුප පෙළ සහිත සුන්දර ගීතය , බිලියන 2.3 ක් තරම් ප්‍රේක්ෂක ආකර්ශනයක් දින ගන්නෙත් එය පසුපස ඇති ගැඹුරු පණිවිඩ කන්දරාව නිසා බවයි මට සිතෙන්නේ. තව දෙයක්. "දවස අවසානයේ , ගියේ ගායක Levine පෙන්වන අයුරෙන්, පිරිමියෙක් වටේ කොතරම් සමනලුන් නැටුවත් , එහි විචිත්‍රත්වය අගයන්නට හැකි පිරිමියෙකු තුල වුව , අවංක කම පිලිබඳ සුන්දරත්වය ශේෂ වන්නේ , සිය පවුලට , බිරිඳට දරුවනට දක්වන අවංක අව්‍යාජ ප්‍රේමයේ බවත් නොවේද ?වීඩියෝව අවසානයේ ඔහු ඒ වැළඳ ගන්නේ සැබෑ ජිවිතයේ ඔහුගේ සුන්දර බිරිඳ සහ කුඩා දුවනියයි"

 වැඩි කතා ඕනි නෑ...

ඔවු මේ අපි වරක් කතා කල  වීඩියෝව ගැන තමයි :) 

අහනවා වෙනුවට කියවන්න කැමති අයට : https://sansaare.blogspot.com/2019/07/357-gilrs-like-you.html

හෘද සංවාදය අහන්න කැමති අයට https://youtu.be/P_9aOZvQ3LE


මෙරූන් 5 කන්ඩායම ගයන ගීතය : https://www.youtube.com/watch?v=cBVGlBWQzuc ලිපිය කියවමුද ? https://sansaare.blogspot.com/2019/07/357-gilrs-like-you.html


Tuesday, January 26, 2021

[407] හෘද සංවාද 38 - සිපගනිමි , උපන්බිම පිණි විසුල තණ නිල්ල - Green Green Grass of Home



ශ්‍රවණ සබැඳිය : https://youtu.be/V6dCpHjWNCQ 

1966 අවුරුද්දේ , Sir Tom jones ගායනා කරන Green Grass of Home කියන ගීතය දැනට අවුරුදු 50 කටත් අධික කාලයක් තිස්සේ බොහෝ දෙනාගේ හිත පතුලේ රැව් දෙමින් නින්නාද වෙන මගේ හිතත් තදින් ඇද බැඳ ගත්තු ගීතයක් 

1966 මේ ගීතය sir tom jones ගේ version එක රිලීස් කරපු වෙලාවේ eakaඑවකට නත්තල් සමයේ ක්‍රිස්මස් නම්බර් 1 එක හැටියට එංගලන්තෙ ගීත දර්ශක වල සටහන් වෙනවා

එක පිට එක, එක දිගට සති හතක් තිස්සේ එන්ගලන්තයේ ගීත දර්ශක වල , අංක එකේ වැජඹෙන මේ Green Green Grass of home කියන ගීතය එංගලන්තය විතරක් නෙමෙයි , එක්සත් ඇමරිකා එක්සත් ජනපදයේ 11 වන තැනත් , ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ගීත දර්ශකවල අංක එකත් අත්පත් කර ගන්නට සමත් වෙනවා. 1966 ගැයුන මේ green green grass of home sir tom ගෙ ජීවිතයේ හැරවුම් ලක්ෂය ක් වෙන්නේ ඔහු ලොව පතල ගායකයෙකු කරමිනුයි

ඔබ මොහොතකටවත් විශ්වාස කරනවා ද එක්තරා පුද්ගලයෙකුගේ හැරවුම් ලක්ෂය වෙච්ච මේ හරිම ලස්සන ගීතය ගයපු මුල් ගායකයා sir tom නෙමෙයි කියලා. අඩුම තරමේ මේ ගීතය එන්ගලන්තයේ මුල් නිර්මානයකුත් නෙමෙයි කියලා ? ඇත්තම කියනවා නම් මේ ගීතයේ මුල්ම ගායනය සිද්ධවෙන්නේ 1965 ඇමෙරිකාවෙදියි .



මේ ගීතය රචනා කරන්නෙ Curly Putman කියන්නෙ country singing වල මහගෙදර වන Naeshvil කියන ඇමෙරිකානු ගමේ. ඔහු රචනා කරපු මේ ලස්සන ගීතය මුලින්ම හඩ ගන්වන්නේ අමෙරිචන් කන්ට්‍රි සින්ගර් කෙනෙක් වෙන johnny darrel . තවත් country star කෙනෙක් වෙන , Porter Wagoner මේ ගීතයට පෙම්බඳින නිසා මේ ගීතය ඔහුත් ගායනා කරනවා

1965 නිව්යෝර්ක් නුවරට ගිය වෙලාවක තමයි sit tom ජෝන්ස්ගි ta Green green Grass of Home ගීතය අඩංගු හඬ පටයක් මිලට ගන්නට ලැබෙන්නෙ. ඉතින් මේ ගීතය අහපු ගමන්ම Sir tom හිතුවා මේ ගීතය ගායනා කරන්න ඕනේ කියලා

ඔන්න ඔහොමයි අමෙරිකන් country music වලින් හැදුනු ගීතයක් එන්ගලන්තයෙ sir tom joenas ලඟ නවතින්නේ.

curly putman ට අනුව මේ ගීතය ලියන්න පාදක වෙන්නේ, 1950 තිරගත වෙච්ච asphalt jungle කියන චිත්‍රපටිය. මේ චිත්‍රපටියේ එක්තරා පුද්ගලයෙක් වෙඩි වැදිලා , තමන්ගේ ගමට ඇවිත් මොහොතකින් මිය යනවා. ඉතින් මේ ජවනිකාව දැකපු කර්ලි මේ ඔස්සේ Green Green grass home කියන ගීතය රචනා කරනව




මේ ගීතයෙන් ඇත්තටම අදහස් වෙන්නේ මොකක්ද කියන කුතුහලය ඔබට දැන් ඇති.

මේ ගීතයේ තියෙන්නේ සිරගතව හිටපු මිනිසෙකු කොයි තරම් ආසාවෙන් තමන් උපන් ගෙදර . ඒ ගම ගැන සිහින මවනවද කියලා... මේ ගීතයේ අන්තිම තත්පරය වෙනකම්ම ඇත්තම කියනවා නම් දැනගන්න හම්බෙන්නෙ නැහැ අපි මේ අහන ගීතයේ ගම ගැන සිහින දකින්නේ සිරකරුවෙක්ය කියලා. ඔහු ඔහුගේ පෝරකයට ගමන් කරමින් සිටින මොහොතේදී තමන්ගේ ගෙදර මතක් වීමෙන් තමන් උපන් ගම මතක් වීමෙන් ඒ දකින සිහින ගමන තමයි මේ ගීතයේ සඳහන් වෙන්නේ

සුගායනීය ලස්සන ගීතයක අවසානයේ මේ ගීතයේ ඉන්න මනංකල්පිත සිරකරුවා පෝරකය වෙත ගමන් කරන දර්ශනයෙන් ඉවර වෙන බව නොසලකා ගීතයට ආදරය කරන්නට මිලියන ගණනක් මිනිස්සු 1966 එක්රැස් වුනා, ඉතින් තවත් කතා මොකටද නේද අපි ඉක්මනට යමු මේ ගීතයේ තේරුමට




" මං ඉපදුන ලස්සන උපන්ගම අදත් එදා වගේමයි දුම්රිය වේදිකාවට ගොඩ වෙලා මම උපන් ගමේ පුරුදු හුස්මත් ගන්නවා එතකොට මං දකිනවා මං එනතුරු මඟ බලාගෙන ඉන්න අම්මයි තාත්තයි.
අපි ඔක්කොම කතාබහ කරමින් ගෙදර යනවා '

ඒ ගෙදරට යන පාරේ මගේ ආදරවන්තිය Mary මග බලාගෙන ඉන්නවා .එයාගේ රත්තරන් පාට කෙස් කළඹ හුළඟෙ විහිදෙනවා .කොහොම අමතක කරන්නද මේරිගේ cherry පාට ලස්සන තොල් පෙති ? මට හරිම සතුටුයි, හරිම සැනසීමක් , මට ආයෙමත් මං ඉපදිච්ච මේ පුංචි උපන් ගමේ මේ කොළ පාට තණකොළ පාගන්නට ලැබෙන එක.

ඔව් ඔබ හරි හැමෝම ආදරයෙන් දෑත් දික් කරගෙන මාව වැළඳ ගන්නට බලාගෙන ඉන්නවා.ඒ හැමෝම ඇවිත් ඉන්නේ මාව ආදරෙන් පිළිගන්න

සතුටු උතුරන දෑසින් මගේ අම්මයි තාත්තයි ඒ වගේම Maryyi මං එන පෙර මග බලාගෙන ඉන්නවා ඉතින් මං තරම් වාසනාවන්තයෙක් තවත් ඉන්නවාද මොන තරම් වාසනාවක්ද ඇත්තටම ගෙදර එන්න ලැබෙන එක !අර බලන්න මං ඉපදුන ගෙදර ..එහෙන් මෙහෙන් තීන්ත බදාම ගැලවුනාට අදටත් හරි හයියට පොලොවෙන් නැගිටගෙන ඉන්නවා. ඔවු මගෙ පරණ උපන් ගෙදර... ආ එයත් මං එනකම් බලන් ඉන්නවා

ඇයි මං පුංචි කාලේ ආසාවෙන් සෙල්ලම් කරපු Oak ගහ ! හැබැයි කාලේ නම් ගිහිල්ලා , මං වගේම ඕක් ගහත් ටිකක් වයසට ගිහින්.මේරී මමයි පුංචි කාලේ සෙල්ලම් කරපු oak ගසේ හෙවණ යටින් , අද meri යි මමයි අතින් අල්ලගෙන ගමේ ගුරු පාර දිගේ ඇවිදගෙන යනවා .හැමදාම වගේ මට හොරැහින් බැලෙනවා ඇගේ රත්තරන් පාට හිසකෙස් දිහා ....ඇගේ චෙරි පාට රතුපාට දෙතොල් දිහා ...... මගේ හිත පුළුන් පොදක් වගේ පාවෙලා යනවා..... mary යි මමයි අනන්තය දක්වා හරිම සැහැල්ලුවෙන් ඇවිදගෙන යනවා

මං දන්නවා දැන් ඔබ මමත් එක්කම දෑස් පියගෙන ලස්සන චිත්ත සවාරියක් යමින් ඉන්නේ ...

කොල පාට ලස්සන පුංචි ගම්මානෙක තරුණ කොලු ගැටයෙක් රත්තරන් පාට ඉස කෙස් තියන තරුණියකgea අත් අල්ලගෙන ඈතට ඇවිදගෙන යන ඒ ලස්සන දර්ශනය , aපිට ඒක ඇතුළේ ජීවත් වෙන්න ආරාධනා කරනවා ඉතිං ඔබෙ ලස්සන මනෝ මන්දිරය බිඳ දාලා මට සිද්ද වෙනවා මේ ගීතයේ අවසාන කොටසට එන්න .

මට සමාවෙන්න ඔබේ ලස්සන සිහිනේ චිත්‍රය ඊළඟට මම බිඳ දමන එකට....

මම මේරි එක්ක අත් අල්ලගෙන ඇවිද යන ලස්සන හීනෙන් එකපාරටම ඇහැරෙනවා .
මං වැරදි .මම ඉන්නේ මගේ ගමේ නෙමෙයි .ඒ වෙනුවට මට හතර පැත්තෙන්ම පේන්නෙ කලු ගැහිච්ච බිත්ති හතරක් .ඔව් මං දැකලා තියෙන්නේ හීනයක්ම විතරයි

ටික වෙලාවකින් සිරමැදිරියේ දොර විවෘත වෙනවා. මම හෙමින් සිරමැදිරියෙන් පිටතට ඇවිදගෙන එනවා. කලු පාට ලෝගුවක් ඇඳ ගත්ත දුක්බර මුහුණින් බිම බලාගෙන ඇවිදින පාදිලි තුමා මගේ අනික් පසින් ගමනට එකතු වෙනවාඅ. පාදිලි වහන්සෙයි , ජේලරුයි මැදි ක මම මේ යන්නෙ ගෙදර නෙවෙයි... ඔවු ඒක මම දන්නවා... ඔබ හරි .... මම මේ ඇවිද යන්නේ පෝරකයට .. ජීවත්වෙන්න ඉතුරුවෙලා තියෙන්නෙ තව මොහොතයි දෙකයි .. මං ආයෙමත් දෑස් පියා ගන්නවා එතකොට මට පේනවා අර ලස්සන ඕක් ගස් හෙවන යටින් , මේරිගේ අතත් අල්ලගෙන ඇවිද යන මාව...

තීන්ත බදාම ගැලවුණත් මම ආදරේ කරන මගේ උපන් ගෙදර ..... උපන් ගමේ ඉමිහිරි සුලඟ .... මහ පොලවෙ සුවඳ... තව මොහොතකින් තිරය වැහේවි ! එතකොට මං ආදරේ කරන හැම දෙනාම මට මුන ගැහේවි... මගේ හිත ආයෙමත් පුළුවන් පොදක් වගේ සැහැල්ලුවෙන් පාවෙන්න ගන්නවා

ඔවු මම ආපහු ගමට යනවා.. මගේ කොළපාට ලස්සන පුංචි ගම්මානේ ඕඅක් ගස් හෙවනේ සැතපෙන්න මගේ යහන සූදානමින් ...... ඒක හරිම ලස්සන හැඟීමක් ... සමුගන්න එක නෙවි.... අවසානයේදී සදාතනික නින්දෙන් වුනත් මගේ උපන් ගමේ කොල පාට තන නිල්ලේ වැතිරෙන්න මට ලැබෙනවා... "





හැමදාම සතුටු හිතෙන දේවල් කතා කරන හෘද සංවාදය අහන ඔබේ ඇස් වලට කඳුළක් ගෙනාවට මට දහස් වාරයක් සමා වෙන්න

අපට විතරක් උරුම දේවල් අපේ සංස්කෘතිය අපේ ජාතිය අපේ ආගම පිළිබඳව ආඩම්බර වෙන එක ඕනම මනුස්සයෙකුට පොදු දෙයක් ... සමහර වෙලාවට එහෙම හිතාගෙන යද්දි අපි හිතනවා අපි තරම් ශ්‍රේෂ්ඨ මිනිසුම් කොහෙවට් නැහැ කියලා. අපට තරම් ශ්‍රේෂ්ඨ කලාවක් ,අපේ තරම් ලස්සන රටක් අවශේෂ ලෝකයට නම් නැහැ කියලා. තමන්ගේ දේ ගැන ආඩම්බර වෙන එක හොඳයි, ඒ උනාට අනුන්ගේ දේ වලින් ගන්නට පුළුවන් මේ වගේ වටිනා මැණික් කැට දෝතට ගන්න අපි පැකිලෙන්නෙ මොකටද ? මේ සිංහලෙන් කලාව රස විඳින ආදරණීය හදවත් වලට කරන පුංචි තට්ටු කිරීමක්

Green Green grass of home කියන මේ ලස්සන ගීතය කීදෙනෙක් අද වෙනකොට ගයලා තියෙනවද ? එල්විස් ප්‍රෙස්ලි ගේ පටන් සර් ටොම් ජෝන්ස් දක්වා...

කොච්චර ලස්සනද , මේ තරම් සුගායනීය වචන ටිකක් එකම හඬකින් නොඅසා ්‍රසිද්ධ හඩවල් ගනනාවකින් එක එක versions අහන්න ලැබෙන එක . ඔබ හිතාවි ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි කියලා ....මම දන්නෙ මෙච්චරයි ......ලෝකයේ අදටත් මේ ගීතය මගේ ද ඔහුගේ ද ඇගේ ද කියලා සෙවීමකින් තොරව අදටත් ප්‍රතිනිර්මානය වෙනවා. බොහෝ දෙනෙක් ආසාවෙන් රස විඳිනවා තමන් කැමති වර්ශන් එක...

මිනිස්සු මේ ගීතය අහන්නේ දුක් වෙන්න බලාගෙනම නෙමෙයි ...හුඟක් දෙනෙක්ට මේ ගීතය අහද්දි මතක් වෙන්නේ Country Roads ගීතය... තමන් උපන් ගම ගැන ආදරය, ගමට යන්න තියෙන ආසාව පලකරන ගීතයක් ....

අලුත් අදහස් කියන දේ හරියට අවකාශයේ හැංගිච්ච වායු අනු වගේ ඒක කොහේ තියෙනව ද කොතැනින් මතු වෙනවද කවුරු අල්ල ගන්නවා ද කියන්න කවුරුත් දන්නෙ නෑ.පුදුම හිතෙන දේ තමයි සමහර වෙලාවට ඇමරිකානු මහද්වීපයක බටහිර රචකයෙක්ට මතුවෙන සිතුවිල්ලම, ඊට පෙර හෝ පසු වෙලාවක පෙරදිග දූපතක ඉන්න සිංහල ගීත රචකයෙකුටත් මතු වෙන්න පුළුවන් ....

ගීතයට පාදක වෙන සිරකරු, උපන් ගමට යන්න සිහින දකිද්දි , අමරසිරි පීරිස් ගායකයානන් , ලංකාවේ මේ පුංචි දූපතේ ඉඳගෙන කියනවා මට ගමට යන්න කුරුලු පිහාටුවක් එවන්න කියලා.
මේ තේරුම මේ අදහසම ඇති මේ හා සමාන ගීත සිංහල භාෂාවෙන් හෝ වෙනත් භාෂාවක තියෙනවා නම් මගෙත් දැනගැනීම සඳහා කමෙන්ට් එකක ඒ බවත් කියන්න කියලා aaraaDhanaa karanavaa obata..

ඒ විතරක් නෙවෙයි හෘද සංවාදය ඔබේ හෘදයට දැනෙන විදිය දැන ගන්න මාත් ආසයි ආදරෙන් ආරාධනා කරනවා ඔබට දැනෙන විදිහ දැනගන්න ඔබට දැනෙන විදිහ අකුරු කරන්න.
අද ගීතයට පාදක වෙච්ච ගීත ඛනඩ් හැම එකම පහතින් තියන පලවෙනි කමෙන්ට් එකේයි ඩිස්ක්‍රිප්ශන් එකෙයි ඇති.

ඒ හැම එකක්ම අහන්න කියලා ආරාධනා කරමින් , ඔබේ අදහස් අසන්නට බලාපොරොත්තුවෙන් මා නවතිනවා. හෘද සංවාදයකින් ආයිමත් දවසක හමුවෙමු..

The old hometown looks the same
As I step down from the train
And there to meet me is my mama and papa
Down the road I look and there runs Mary
Hair of gold and lips like cherries
It's good to touch the green, green grass of home
Yes, they'll all come to meet me
Arms reaching, smiling sweetly
It's good to touch the green, green grass of home
The old house is still standing
Though the paint is cracked and dry
And there's that old oak tree that I used to play on
Down the lane, I walk with my sweet Mary
Hair of gold and lips like cherries
It's good to touch the green, green grass of home
Then I awake and look around me
At four grey walls that surround me
And I realize, yes, I was only dreaming
For there's a guard and there's a sad, old padre
On and on, we'll walk at daybreak
Again, I'll touch the green, green grass of home
Yes, they'll all come to see me
In the shade of that old oak tree
As they lay me
'Neath the green, green grass of home
Source: Musixmatch
Songwriters: Claude Putman Jr.
Green Green Grass of Home lyrics © Tree International





සර් ටොම් ජෝන්ස් ගැයූ ගීතය : https://www.youtube.com/watch?v=u81CTfbc99c Country Roads ගීතය : https://www.youtube.com/watch?v=1vrEljMfXYo අමරසිරි පීරිස් ගයන මට කුරුලු පිහා‍ටුවක් එවන්න ගීතය https://www.youtube.com/watch?v=s73nHKirmXo ඇස්ෆල් ජන්ගල් චිත්‍රපටයේ විස්තර https://www.rottentomatoes.com/m/asphalt_jungle මූලාශ්‍රය : https://www.countrythangdaily.com/green-grass-of-home/

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->