Tuesday, May 29, 2012

[249] ආදරනීය ගැහැණුකම !


ගීයක් සර්ව සම්පූර්ණ වීම උදෙසා පද, තාල , හඬ යන තුන් අතින්ම සරුසාර වීම අත්‍යාවශ්‍ය බව සත්‍යයකි. මීට දශකයක මෙහා කාලයේදී නම් ඊට සොයනු හැකිවූ උදාහරණ අල්පමය. අද ඇසෙන බොහෝ ගීත වලට හිමි දෑ අතර ලොකුම දෑවැද්ද නම් බහුවිධ තාලයන්ය. ඉලෙක්ට්‍රොනික සද්ද අච්චාරුවක් එක මත එක පාත් වෙන වත්මන් ගී අතර  මනසට සුව දෙන , සිත නිවන සුගායනීය හඬක් මතුවන්නේ දැන් එහෙමත් එකකය . 

මගේ සංගීත දැනුම අල්පය. ඒත් මට රහ වැටෙන හැටියට , කසුන් කල්හාරට තිබෙන්නේ විසාල පරාසයක විහිදවිය හැකි නියම හඬකි. මේ මගෙ රසයය. උපේඛා නිර්මාණිගේ හඬ මට ඇසුනු අතිශය ශක්තිමත් ගැහැණු හඬකි. අමිල පෙරේරාද සිය ගැඹුරු හඬ සමගම කාලයේ සැඟව ගොස්ය. නදීක ජයවර්ධනගේද බොහෝ ගීත අතර ඉතාම පොහොසත් හඬ හා තාල මැනවින් ගැබ්ව තිබේ. 

එහෙත් ... මේ හැම ගයන්නාගේම ගීත වල මට දැනුනු ලොකුම අඩුව නම් පොහොසත් පද වැල්ය. එකිනෙකින් වෙනස් , මොනවා හෝ වචන ටිකක් විනා ඒ වචන අස්සේ හොයන්නට නිධානයක් නැත.

'සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා - වලා රොදක සැඟවිලා' ගීය අඳුරු රාත්‍රියක අසා බලන්න. ඔබ පද වැලක හිත හිරිවට්ටන හැඟීම් අත්විඳිනු ඇත. මෙවන් අතිශය ප්‍රබල චිත්ත රූප මවන සුලු පද වැල් ගෙතුනේ ඉස්සරය.  අද සැබවින්ම මේ පද රචකයින්ට වෙලා තියෙන්නේ මොනවාද? 


ගීතයක ඔය කකුල් තුනම රන් රස වගේ ගැලපී යන එකත් මම හිතන්නේ ගීතයේ ලක් එකය. ලකී නැති ගීත වල ඔය කකුල් තුනේ කනප්පුවෙන් එක කකුලක් හෝ අබ්බගාත වී තිබේ.  


මේ තරම් සියුමැලිද කලුගල් - ගීතය බොහෝ දෙනාගේ නොමඳ පැසසුමට ලක් වේ. මගේ වින්දනීය සීමාවේ එහි ඇති පොහොසත් පද වලට ලොකු ලකුනක් වැටුනත්, එහි තාල කන රිදවන සුලු යයි සිතේ. (සංවාදයට විවෘතය) පද වැලෙහි වුව , සුමට ලෙස දැනවිය හැකි බොහෝ ස්ථාන රලු අකුරෙන් හැප්පෙන ගතියක් මට නම් දැනේ. 
මගේ සරල රසවින්දනය තුල තාල අතින් පොහොසත් ගීත අතරින් රොශාන් ප්‍රනන්දු ගයන පහත ගීය ඉහල ස්ථානයක සිටී.  එහෙත් මෙබඳු ලයාන්විත තාලයක් හා හඬක් ඇසුරෙහි මේ ගීතයට පද ලියූ රචකයා කවුරු වුවත් ඔහුට හෝ ඇයට , සරල වචන කිහිපයකින් නොනැවතී මේ ගීතය ආශ්චර්යයක්ම කළ හැකිව තිබිණ. 

මේ ගීතය තුල මා විඳින්නේ තාලයයි. ගායකයාගේ මෘදු ගායනයයි. එහෙත් ටිකක් ලංවී බලන විටදී වචන වලත් යම් අපූරුවක් දැනෙයි.  

දඟකාර එමෙන්ම කවියක් මෙන් ගීතවත් ඇය , ගුප්ත නිහඬ බවකින් ඔහු බිය ගන්වන ඇය, ඔහුගේ ජීවිතය සැණකෙළියක් කරන ඇය-  සුලඟයි. . ඔහුගේ හදවත තුල අකුණු සුලිසුලං මවන්නේ ඇයයි. එමෙන්ම නිහඬ ශාන්ත නින්දට මඳ පවනක්ව ඔහුට පවන් සලන්නේද ඒ සුලඟමයි-ඇයයි. 


සුසිල්වත් සුදු ඇඳුමෙන් සැරසී  දඟ නොකොට ඔහු හා හෙමි හෙමින් මල් පහන් ගෙන බුදු පුදට යන්නේත් ඇයයි. සංකර කොට ගවුමකින් සැරසී සාප්පු ගානේ ඇවිදිමින් ඔහුගේ දවස කා දමමින් රණ්ඩු අල්ලන්නේත් ඇයයි. එක එක දෑ ඉල්ලමින් ඔහුට ඇණයක් වන්නේත් ඇයමයි. 

සුලඟට සීමා මායිම් නැති. කාටවත් හිතෙන්නේ නැති ඇසිල්ලේ සිරෝකෝ කුණාටුවකින් ඔහුටත් ලොවටත් සංග්‍රහ කරන්නට සුලඟ ප්‍රබලය. තවත් වෙලාවක ලොවම නිහඬතාවයෙහි ගිල්වමින් වාතලය උණුසුම් කරමින් සිය සලු පොරවා නිහඬ නින්දට පත් වන්නේත් මේ මඳ සුලඟමයි. 

පතිනියකව කුල ගෙට යන දිනෙක කෝල සිනහවෙන් බැලුම් හෙලන්නේත් , මාපියන්ගෙන් සමුගනිද්දී වැලහින්නක් මෙන් හඬා වැටන්නෙත් ඇයයි. මතු දිනෙක බිම වැටී හඬන තම කිරි දරුවන් සනසමින්, මවු ගුණ විහිදමින් සැනසිලි බස් දොඩන්නේත් දිනෙක මේ කෝල දැරිවියමයි. 

ඔබට කවදාවත් හිතුනාද ? සුලඟේ අරුමය? නැහැ, වැරදුනා ගැහැණියකගේ අරුමය?

සුලඟ වගේ දඟ කරන - එති එතී ලඟ රැඳෙන
ඔයා වගේ හිත නිවන - භාවනාවක් කොහිද?

විටෙක ඇවිත් සිත සිඹින - ආයෙමත් දුර දුවන
හෙමින් හෙමින් කිති කවන - ඔයා මගේ පෙම් කවිය ..

වෙලා ඇවිත් සුලි සුලඟ - පාරවයි සිත සුවඳ
තරහා නෑ මං තවම - හෙටත් ඔයා මගෙ මැණික 

සුලඟට මෙන්ම ඇයටද එක තැනක සිටිය නොහැකිය. එහෙත් ඇගේ අරුමයමත් එයයි. ඔහුගේ හිස කෙසින් අදින , ඔහු හා කිසිම කමකට නැති දේටත් රණ්ඩු වෙන ඒ ගැහැණු කමට උරුම අවගුණයටද ජීවිතය උපැද්දවිය හැකිය. ඔහුගේ හිස සිඹ සනසන , ඔහු සිත සිඹින නිවන සනසන උවැසියත් ඇයයි. 

කාසියක දෙපස මෙන් , ජලය සහ ගින්දර මෙන් , සිනහවත් කඳුලත් එකම උල්පතකින් උපදින අරුම.  රොස මලටත් , පිච්ච මලටත් , බාඳුරා මලටත් විවිධ වූ හැඩ සහ වැඩ මැවිය හැකිය. එහෙත් පොදුවේ ගත් කල උන් හැමට එක ජීව ගුණයක් හිමිය. එය මලක ගුණයයි. නටුවෙන් රැඳී , හිරුගෙන් ජීවිතය ලබමින් , බඹ‍රුන්ගේ ඇල්ම විඳිමින් මල් පිපෙයි , දිලෙයි, පරව යයි.  

ආදරවන්ත උවැසියන් , ආදර ගිණි කිකිලියන් , සෙල්ලක්කාරියන් , අසරණියන් , විහාරමහා දේවියන් , යශෝධරාවන් , කිසා ගෝතමියන්  අතර පොදු එක් ගුණයක් මම හඟිමි. විෂම සමාජයේත් , ඉවරයක් නැති සංසාරයේත් ඔබ ඉදිරියට හමුවන්නේ ගැහැණියක් නම් - ඈ සුලඟකි. ඈට හෙවත් මඳ සුලඟට හා සුලි සුලඟට හිමි එකම ගුණයකි. එයට මම 'ගැහැණියකගේ ජීව ගුණය' යයි නම් දෙමි. ගැහැණියක් වූ මම , එහෙයින්ම මට අසීමිතව ආදරය කරමි. 

ගීය අහනව නම් මෙන්න ... 

Wednesday, May 16, 2012

[248] කඳු හිසින් ගලා ගිය ගඟ





~``~
අතීතෙහි එක දිනෙක කෙඬෑරී ගිරි හිසෙක
දිය බිඳක්වත් නොදැක නිදා උන් නිම්නයක
ඉපැදි දිය බුබුලකට හමුව, මග ගැලු
ග‍ඟෙක
  ගඟය නුඹ ගැලු වරෙක
, ඉවුරු බිඳිමින මතක!


උරුවමක් නගා ගෙන කොඳුරමින් හීනියට

කවියකුත් කියාගෙන වැතිරෙමින් සීතලට

මට මගේ යයි කියන්නට හිතක්
සෙස් නොකොට
නුඹ ඇදෙයි මා තදින්
වැලඳ හිඳ, ඈතකට

නුඹ ගලන දෙස හොරෙන් ඇස් යැවූ මල් වෙතී

ඒ මලුත් මා මෙන්ම ගඟෙක සුව විඳ නැතී
පිපී සුවඳින් පිරී , ඇත
නදී බඳ එතී
නුඹ ගලයි පාඩුවේ සුවඳ විඳ, නොනැවතී

තැබු එකද පියවරෙක මොහොතකුදු නොම ‍රැඳී

සිඹින එක මලකටද වදනිනුදු සිතු නොදී
නිම්නයට හිමි නොකීමුත්, හරිත රුව විඳී
නොයිඳ,  ඈතක
ඇදී, වැවක් වී නුඹ නිදී !~``~

(2012 - 05 - 21)

Friday, May 11, 2012

[247] 'මා මළ පසු' - නැවත ලියූ වග


ලියා ඇති නෙක කවි
මා මළ පසු මා ගැන,
මියෙන්නට දින නොලැබුන
මට තිබෙද තවමත් එ'සිහින? !

එ'ලියු, මා මළ පසු කවිය

යලිත් ලියන්නට මට අවැසිය
මා මළ පසු මගෙ දෙණට
කැමති මළ මගුලක් කල මැන !

ප්‍රීතියකි එකෙකු හෝ 'නික්මීම'
සැනසුම් නොවෙද ඒකම?
එහෙයින් 'මා' 'නිදන' දෙණ ,
ප්‍රීතියෙන් දකිනට එනු මැන !

එපා දුකට හිමි සුදු කලු වර්ණ
තැවෙන්නට සෙස් කොට නැත පිලිණ
හපු‍ටු ඩෙනිමක් ලාගෙන පැමිණ
ඉඳින් කවියක් කියමින එකල මෙන!

මට තියන්නට බැරිවුන
පැදුරු පාටිය තියන් එදිනටම
මට කියන්නට බැරිවුන
මතක බණ එපා මම මැරුනම !

එන බැව්හි සුඛම දෙන පින ,
මට පුරන්නට බැරිවින !
මෙම භවෙහි වැඩි කෙලෙස් පොදියම
පොදි ගසාගෙන යමි මම !

බලුකැණහිලුන් බුදින තනි සොහොන
ඵලකයක් යට සැතපෙන ගමන
පපර වාදනයෙකින් ඇරඹෙන
එතැන නුඹ ඇත 'මා' දැන !

මා සිරුර මියෙනු මිස ,
මගේ පැටිකිරිය මියෙනු නැත
කිව්වත් නොකිව්වත් කවුරු මා ගැන
ඵලකය යට නිදන මට පල නැත !

ඕන් කිව්වා ඇත්තම !

Wednesday, May 09, 2012

[246] විනාශයේ ආකල්ප දොරටු 10 ක් !

Marc & Angel Original Website
 
මම හැමදාම ඉතාමත් ආසාවෙන් කියවන Inspirational බ්ලොග් එකක් තමයි Marc and Angel . මේ බ්ලොග් එක මට හොයල දුන්නට ස්තූතිවන්ත වෙන්න ඕනෙ අපේ බීට්ල් සහෝට. ඉතින් අද මම කියෙව්ව මේ ආටිකල් එක නම්, අපේ සිංහල යාලුවන් වෙනුවෙන් බෙදාගන්න, මේ මොහොතෙම හිතෙන තරමටම හිතට වැදුනේ ඇයි කියලා මමවත් දන්නෙ නෑ. කොටින්ම මේ පෝස්ට් එක ලියන්නෙ මීට පැයකට කලින් ලිව්ව අලුත් ආටිකල් එකක් පබ්ලිශ් නොකර.

මාක් ඇන්ඩ් ඒන්ජල්ගෙ බ්ලොග් එකෙ තිබ්බ ආටිකල් එක දැක්ක මම ඒක ලියන කපල් එකගෙන් මම මේ ලිපිය ට්‍රාන්ස්ලේට් කරන්න අවසර ඉල්ලුව , විනාඩි 4ක් ඇතුලත ප්‍රීතියෙන් ඒ අවසරය දුන්නු සැන් දියෝගෝවෙ නොදුටු හිතවතුන් දෙදෙනාට ස්තූති නොකරම බැහැ. (Thank you so much Marc and Angel writers for most willingly allowing me to write this article) 

ජීවිතේ අපිට වරදින්න හේතු ගොඩක් තියනව. එක්කො අපි හිතන හැටියට හරියට දේවල් සිද්ද වෙන්නෙ නැහැ. සමහර හේතුන් අපිට පාලනය කරන්න බැහැ. ඒ බාහිර හේතු .. ඒත් සමහර වෙලාවට අපි නරකට, නපුරට සහ විනාශයට ඇද වැටෙන්නෙ අපෙම අභ්‍යන්තරයෙ ආකල්පමය දුර්වලකම් නිසා...

මේ ලිපියෙන් කියවෙන්නෙ ඒ වගෙ ආකල්පමය ගැටලු 10ක් ගැන. බලන්න ඔබ මොනවද මේ ගැන හිතන්නෙ කියලා... 
~`~

මිනිස් හිත කියන්නෙ හරිම පුදුමාකාර දෙයක්... ඒත් හිත කියන දේ උත්තරීතර සහ පරිපූර්ණ නැහැ, අපි ගොඩ දෙනෙක්ගේ..  ඒ නිසාම අපේ දැක්මේ සමහර තැන් හරිම පැටලිලි සහගතයි කියල හිතිලා නැද්ද?  මනෝවිද්‍යාවෙදි මේකට කියන්නෙ cognitive biase  එහෙම නැත්නම් තර්කය අතර මංමුලා වීමක් හැටියට. ඇත්තෙන්ම මේ අවුල ඕනෙම කෙනෙක්ට වෙන්න පුලුවන්, ඔබේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය , අධ්‍යාපන මට්ටම , බුද්ධි මට්ටම යනාදිය මොන වගේ උනත්...

මම අද මේ ලියන වැරදි ආකල්ප , මගෙත් මගෙ අවට ඉන්න ගොඩ දෙනෙක්ගෙත් මම නිතර නිතර දු‍ටුව විනාශකාරී සිතුවිලි රටාවන්. ඔබත් හිතල බලන්න මේ වැරදි චින්තන රටාවන් ඔබටත් තියනවද කියලා.

1. අසුබවාදී අනාගත වාක්‍ය ඔබත් ප්‍රකාශ කරනවද? මවාගෙන ඉන්නවද? ඒවා තමුන් විහින්ම සැබෑ කරගෙන තියනවද?


සමහර විට අපි අනාගතය ගැන උවමනාවට වඩා බියකරු විදියට හිතනව. ඔබ දන්නවද එහෙම හිතන්න හිතන්න , අපි ඇතුලතින් ක්‍රියා කරන්න ගන්නෙත් ඒ භයානක දේ සිද්ද වෙන තාලෙට. අන්තිමේ,  අවිඥානකවම  අපි ඒ අනතුර ලඟාකරගෙන! උදාකරගෙන! මොකද, අපි වැඩ කරන්නේ අනාගතයෙ වෙන්න පුලුවන් නරකම දේ හිතෙන් මවාගෙන.  බොහෝ  සම්බන්ධතා බිඳී යන්නෙත් , අරමුණු ඉශ්ට නොවී පරාජය වෙන්නෙත් මේ අසුබවාදී සිතුවිල්ල නිසා. මෙන්න උදාහරණ දෙකක්.

කෙනෙක් හිතනවා , තමුන්ගෙ අලුත් ප්‍රේම සම්බන්ධතාවය නම් 'කිසිම දවසක හරියන එකක් නොවෙයි' කියලා. එතකොට මොකද වෙන්නේ??? නොදැනුවත්වම ඔහු ඒ සම්බන්ධය පවත්වාගන්න කැපවෙන්නෙ වෙහෙස වෙන්නෙ නැහැ.මානසිකව ඔහු නොදැනුවත්වම ඇගෙන් ඈත් වෙලා. එක්කො රණ්ඩු කරගෙන. ඉතින් ඔය සම්බන්දෙ ඉක්මනටම ඉවර වෙන එක අහන්න දෙයක්ද? නේද? :)

හිතන්න ඒලෙවල් බයෝ කරන බුද්ධිමත් සිසුවියක් හිතනවා , 'මට නම් මේක කරගන්න තරම් මොලයක් නැහැ, මට කොච්චර මහන්සි උනත් දොස්තර කෙනෙක් නම් වෙන්න බැහැ' කියලා. ඉතින් එහෙම හිත හිත කෙනෙක්ට පුලුවන්ද හිත හදාගන්න මෙඩිකල් කොලෙජ් යන්න මහන්සි වෙන්න? ඉතින් එයා දොස්තර කෙනෙක් වෙයිද?

2. හරියනකොට නම් ප්‍රශංසාව භාර ගන්නවා, ඒත් වැරදෙනකොට ???

හපන්කම් එලි වෙද්දි නම් අපි හරිම කැමති ඒ හපන්කමේ අයිතිය තහවුරු කර ගන්න. එකෙ ප්‍රශංසාව භාර ගන්න. ඒත් අපි කරන තක්තීරුකම් වල , පොඩි පොඩි හරි ලොකු ලොකු හරි මෝඩකම් සහ වැරදීම් වල වගකීම නිහතමානීව භාර ගන්න එක කොච්චර නම් අමාරුද? ඉස්කෝලෙ පන්තිකාමරෙ මතකද? අපිට ලොකු තැනක් ලැබෙන ලකුණු ලැබෙද්දි අපි කැමතියි ඒ ඔක්කොම ලැබුනෙ අපි පාඩම් කල නිසා, අපෙ කැපවීම නිසා කියලා පාරම්බාන්න. නැද්ද?
ඒත් බැරිවෙලාවත් ලකුණු හොඳ නැත්නම් හෙම , උගන්නපු ටීචරුත් වැරදි. සිලබස් එකත් වැරදි. පේපර් එකත් වැරදි. එක්කො අහල තියන දේ ප්‍රායෝගික මදි. එක එක හේතු!  ඒත් අපේ මනස නිවැරදිව වැඩෙන්නෙ, අපිට හැකියාවක් තියෙනව නම් අපෙ ජය හා පරාජය දෙකේම වගකීම එක වගේම භාරගන්න .. මතක තියාගන්න හොඳේ... :)

3. හිතනවද ඔබට ඔබෙ හැඟීම් ඕනෙම එකක් 100%ම ඔබේ පාලනයේ තියෙන්නෙ කියලා??

නැහැ. අපි හිතන තරම් අපෙ හැඟීම් අපෙ පාලනය ඇතුලෙ නැහැ. ලිංගික ආශාවන්, ආහාර, මත්ද්‍රව්‍ය වගෙ දේවල් මේවාට හොඳ උදාහරණ. ඔය ඇබ්බැහිකම් තියන ගොඩ දෙනෙක් පාරම් බාන ලොකු දෙයක් තමයි 'මට හිතුනොත් ඕනෙවෙලාවක මේක නවත්වන්න පුලුවන්' කියන එක. ඒත් ඒක කොයි තරම් දුරට ඇත්තද? ගොඩ දෙනෙක් කරන්නෙ හිතට බොරු කරන එක.

ඇබ්බැහි වෙන්නම ඕනෙ නෑ දේකට පෙලඹෙන්න. පොඩි හැඟීමකුත් ඇති පෙලඹෙන්න නම්.. ටිකක් ප්‍රායෝගිකව හිතන සමහර දෙනෙක් කරන්නෙ හැගීම් වලින් හිත ඉල්ලන දේට අවනත වෙලා ඒක ලබා දෙන එක. ඇත්තෙන්ම ඒක තමයි කරන්න ලේසිම දේ , හැඟීමත් එක්ක යුද්ද කර කර පිස්සු නටනවාට වැඩිය.ඔබට හිතෙයි ඒක හරිම පිස්සු කතාවක් කියල. ඒත් ඒක තමයි ඇත්ත.  හිතල බලන්නකො...

මනුස්සයෙකුට ලිංගික ආශාවන් පිස්සුවක් වගෙ ඇතිවෙනව නම් , කරන්න පුලුවන් දේ තමයි ඒක ඉශ්ට   කරගෙන ඒ ආවේගයෙන් මිදෙන එක.බඩගිනි නම් හොඳම දේ කන එක. බඩගින්නෙ දුක් විඳිනවට වැඩිය.ආවේග මැඩපවත්වනවා , අමතක කරනවා කියන්නෙ ලේසි දෙයක් නෙවෙයි. පුලුවන්, ඒත් ඔබ මනසින් ගොඩාක් දියුණු වෙන්න ඕනෙ ඒ තැනට එන්න. පරෙස්සමෙන්. ! ඔබ ඒ ගැන නොහිතා ඔබේ ආවේග දරුණු විදියට මැඩපවත්වන්න උත්සහ කලොත්, ආවේගයේ අවශ්‍යතාවයත් ඒ හා සමානවම දරුණු වෙන්න ගන්නවා. කොටින්ම ඒක ආවේගයට අත වැනීමක් ! 


4. තනි සිද්ධියකින් ලොකු විනිශ්චයන්ට ඔබත් එලඹෙනවද?

දු‍ටු විගසින් හිතට එන දේ, මුලින්ම හිතට එන දේ හෙවත් first impression එක හරි චා‍ටුකාර සිතුවිල්ලක් සමහර වෙලාවට! ඇත්ත, මිනිස්සු හැටියට , අපි එක කෝණයකින් දැක්කම ඒ කෝණයෙන් ගොඩක් නිගමන වලට එනවා. අපි හිතනවා ඒ කෙනා ගැන තේරුම් ගන්න ඔය දැක්ක ටික ඇති කියලා. කාර්‍යාල වල මේක හරිම සුලබ සිද්ධියක්.  හිතන්න අලුතින් වැඩට ආව කෙනෙක් උදේ එන්න පරක්කු වෙනවා. ඇත්තෙන්ම ඔහුගෙ වාහනේ කැඩිල වෙන්න පුලුවන්. ඒත් ඒක දකින ප්‍රධානිය හිතුවොත් මෙයා වෙලාවට වැඩ නොකරන කෙනෙක්ය කියලා??  ඒක හිතේ තියාගෙන වෙන්න බැරිද ප්‍රධානියා ඔහුට ඉදිරි දවස් කිහිපයෙම සලකනවා ඇත්තෙ?  ඒ නිසා ඇඟිල්ල දික් වෙන්න කලින්, උපකල්පන වලට සහ වින්ශ්චයන්ට එන්න කලින් ලොකුවට හිතන්න , පුළුල්ව දකින්න හැකිනම් කොච්චර හොඳද නේද?

5. මොනව උනත් මට ලැබීම තියනව! ඕනෙම බැරි දෙයක් උනත් මට පාලනය කරන්න  පුලුවන් !

අහම්බෙන් ඔබ දිනන ලොත‍රැයියක් , එහෙම නැතිනම් අහඹු ජයක් , අහම්බයකට වඩා  ඔබේ ලැබීම, වාසනාව එහෙම නැතිනම් 'හැකියාවය' කියල හිතන එක හරිම අවදානමක්. 


ඒ හැම දේම ඔබට අවනත දේවල්ය කියල හිතනන් ගියොත් ඒක පිස්සුවක් වෙන්නෙ නැද්ද? බාහිර සිදුවීම්, කාලගුණ විපර්යාස, අහඹු අවස්ථාවන්.. මේවාට තමුන්ගෙ හැකියාවල් කියා වහල් වෙන එක හරිම බයානකයි. හිතන්න ඔබෙ මිතුරෙක් කාසියක් උඩ දානව . ඔබ කියනව 'සිරස' ද? 'අගය' ද කියලා. 10 වතාවක්ම එක දිගට ඔබ දිනනව!! ආ.. දැන් ඔබ හිතන්න ගන්නවා, මේක මගෙ හැකියාව. එහෙම නැතිනම් ලක් එක කියල.  ඒත් ඇත්ත මොකක්ද? සම්භාවිතාවය 50%යි. ඊලඟ 11 වෙනි වතාව ඔබට වරදින්න පුලුවන්. අහඹු සිදුවීම් වල හැටි එහෙම තමයි !

6. ඔබ අදහන්නෙ නැති දේවල් කිසිම දාක , හේතු සහිතව කිව්වත් පිලිගන්නෙ නැද්ද?

මේකට මනෝවිද්‍යාඥයො කියන්නෙ confirmation biase කියල. අපි මිනිස්සු... අපි හැමතිස්සෙම කරුණු හොයන්නෙ අපි අනුමත කරන සහ විස්වාස කරන දේවල් සනාථ කරන්න. තහවුරු කරන්න. ඇත්තය කියලා ඔප්පු කරන්න. අපේ මතයට පිටින් යන කරුණු සහ සාධක අපි හිතාමතාම මගහරින්න කැමතියි. ඒ නිසා අපි අපේ චින්තයට අභියෝගයක් වෙන සිතුවිලි සහ සාධක ඉවතලන්න තමයි මනාප.  හැබැයි එකෙන් වෙන්න නම් හොඳක් නොවෙයි. අපි ජීවිතේ ලොකු තීරණ වලදි තීරණාත්මක කරුණු අපේ වාසිය තකාම මගහරින එකයි වෙන්නෙ. එකෙන් වෙන හානිය නම් සුලුප‍ටු වන එකක් නැහැ, විශේෂයෙන්ම ඒ තීරණය ඔබෙ ජීවිතේ වැදගත්ම දෙයක්නම්. ලේසියෙන් නිවැරදි කරන්න බැරි දෙයක් නම්.

7. නුහුරු , කලින් නොකල,  අලුත් දෙයක් ගැන ඕනෙවට වඩා ආත්ම විස්වාසයක් ????

අපි කිසිදාක ජීවිතෙ නොකරපු අලුත් අත්දැකීමක් ගනිද්දි මේක හරිම සාමාන්‍ය දෙයක්. එක හේතුවක්, අපිට කාල නිර්ණය කරන්න තියන අපහසුව. පටන් ගන්න හදිස්සියයි ආසාවයි කලබලයයි වැඩි උනාම වෙන්නෙ සැලසුම් කරන්න ඉවසීම නැතුව යන එක.  


කොටින්ම අපිට තියෙන්නෙ පටන් ගන්නකල් තදියමක්! ඒත් ඒ කලබලේ පස්සට දාලා හෙමීට හිතල බලලා දෙයක් කලොත් නම් වරදින්නෙ නැහැ. ඒ නිසාම අපෙ නිර්ණය කිරීම් ගොඩාක් වැරදි වෙන්න ඉඩ වැඩියි. ඕනෙවට වඩා සුබවාදි වෙන එකත් එච්චරටම සුබ නැහැ නේද? හිතුවෙ නැති තරම් වැඩ කන්දරාවක් එද්දි , ඒ ටික කරගන්න එක හිතුව තරම් ලේසි නැති වෙද්දි අපෙ තදියමෙන් අපිටම විපාක ලැබේවි !


8.  නිදහස රැක ගන්න එපා කිව්ව දේම කරන කෙනෙක්ද ඔබ?

මේක ගොඩක් තියෙන්නෙ පොඩි උන් ගාව. ඒත් ලොකු පොඩ්ඩන්ටත් නැත්තෙ නැහැ.  මනුස්සයෙක්ගෙ හැඟීම් වල සහජයෙන් තියන දෙයක් මේක. කෙනෙක් දෙයක් එපා කිව්වම, ඒක කරලා පෙන්නන්නම ලොකු හිතුවක්කාරකමක් ඔලුවට එනවා සමහරුන්ට. එහෙම අය හිතන්නෙම 'යටත් උනොත් හෙම හැමදාම ඔලුව නවාගෙන ඉන්න වෙනවා' කියන එක. ඒ නිසා යටත් නොවී ඉඳීම සඳහා , සමහර විට අන්ත ගොන්කම් පවා කරන්න පෙලඹෙනවා , තියන නිදහස් ගතිය පෙන්නගන්න. අනික් අයට පාඩම් උගන්නන්න.

විප්ලවවාදියො කියල එයාල හිතනවා.  දෙයක් එපා කිව්වම, ඒක සහජ ගතියක් එපා කිව්ව දේ කරල පෙන්නන්න හිතෙන එක. ඒත් ඒක සරීරෙට නම් එච්චර ගුණ නැහැ. හැබැයි ඔබ අසලකත් මේ වගෙ හයිරන්කාරයෙක් ගැවසෙනව නම් , ඔබට කරන්න පුලුවන් හොඳම දේ, ඔහු කල යුතු දේ , නොකල යුතු දෙයක් හැටියට පෙන්නන එක. එතකොට ඔහු මෝඩයා වගෙ එය කරලා පෙන්නාවි. :)

9. පොත්තෙන් කෙනෙක්ගෙ හිත මනින්න එපා..

ඔය කතාවට නම් කියනවා තමයි මුහුණ හදවතේ කැඩපතයි කියලා. ඒත් අමතක කරන්න එපා, ඒක හැමවෙලාවටම සත්‍ය නැහැ. උපකල්පනය කරන එක හරිම බයානක දෙයක්. විශේශයෙන්ම කෙනෙක්ගෙ බාහිර ස්වරූපය මත. කෙනෙක් ලස්සනට ඇන්ද පමණින් , කෙනෙක් පිලිවෙලට පිරිසිදුවට හිටිය පමණින් ඒ කෙනා සාර්ථක කෙනෙක් වෙන්නෙ නැහැ. ඒවා බාහිර පෙනුම පමණයි. පොතක් උනත් කවරෙන් මනින්න බැහැනේ. නේද? :)

10. වෙච්චි පාඩුව වහගන්න වෙච්චි වැ‍රැද්දම දිගටම ඇදගෙන යනවද?

මේකට ඉන්ග්‍රිසියෙන් කියනව sunk cost fallacy කියලා. අපි කලින් අසාර්ථක වෙච්චි මොකක් හරි වැයමක් නිසා අපිට ලොකු පාඩුවක් උනා නම් , ඒක හිතින් අත් හරින්නෙ නැතිව , එහෙම නැතිනම් ඒ යන තාලෙටම දිගටම ඇදගෙන යන්නෙ අර වෙච්චි පාඩුව කවදාහරි නිවැරදි වේවි කියන බලාපොරොත්තුවෙන්.. ඇත්තෙන්ම බුද්ධිමත් කෙනෙක් නම් කරන්න ඕනෙ , වෙච්චි පාඩුව උනාය කියල හිත හදාගෙන,  කල් නොයවා වෙනස් වෙන එකයි. වැරදිච්චි වැරදීමක් හදන්න හැකි එකම විදිය නිවැරදි වෙන එක විතරමයි!



මුල් ලිපිය Original Article : http://www.marcandangel.com/2012/05/09/10-destructive-faults-in-our-way-of-thinking/

Thank you Very Much Marc & Angel

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->