Thursday, January 26, 2012

[230] අසම්මත , එකම 'ලේ' කතාව !

වසර කිහිපයකට පෙරාතුව මුතු ඇටෙයක පදාසයක් ගිනිගත්තේය. ඒ මහ ගින්දරට හසුවී හළු වූ බොහෝ සුන්බුන් අතර පාලු සුසානයක් මට පෙනෙයි. මා හිඳින ඉසව් මෙන් දුර කඳු මුදුන් මිහිදුමෙන් එදා මෙන් අදත් ගැවසුනේය... මුතු ඇටයේ දිස්නය සොරාගත් ඒ සුසාන පදාසය පහුරු ගසමින් , දුබල කෙඳිරියක් ඇසෙයි.  සිහ දෙනුන් දෙදෙනෙකු යැයි පෙනෙන මුත් , ලංව බැලූ විට ඒ කොටි දෙනක සහ සිහ දෙනක බව පසක් වෙයි...



දෙදෙනාම මැහැල්ලෝය.ඒ වයසටදැයි අකලටදැයි පැහැදිලි සාක්ෂි නැත.. ඉඳහිට වැටෙන හදිසි වැහි මත්තෙහි , අලු යට සැඟව ගත් කුඩා පුපුරු 'සූස්' හඬින් දැවී හඬ නගයි. ඒ හුස්මකැයි වරදවා වටහා ගන්නා මහලු දෙනුන් දෙදෙන එදිසාවට දිව විත් එකිනෙකාට මුහුණලා නතර වෙති..
දශක ගණනාවකට නොදු‍ටු ඒ දෑස් එක් වෙයි. එහෙත් සුසානයට පණ නො එයි.  අතුරුදන්වූ ගාලගෝට්ටියක මතකයකුත්, තවමත් පොළව යට දැවෙන කැලෑවේ සුන් බුන් අතර හැංගී ගිය සිහ පැටවෙකුත් , කොටි පැටවෙකුත් දෙදෙනාගේම සිත් වලින් සහ නෙත් වලින් පිටතට පනිති.

ඒ ඔහුගේ අම්මාය. මේ මොහුගේ අම්මාය. දෙදෙනාටම එරුනේ කිරිය. එකම ගහකොළ බදා , සහ බෙදාගනු වස් දිගු කලක් සතුරුව හුන්නේ ඇගේත් , ඇගේත් බාල පරම්පරාවය. අද මෙසේ ඒ සිරුරු දෙකම මිහිදන් වන්නේ එකම පස්ගොඩක නොවේද? 



සිහ වරිගයටද කියන්නට කතාවක් තිබේ. ඒත් අනෙක් අම්මාටත් එරුනේ කිරිය. මේ අම්මාට වගේම. හේතුවෙහි හොඳ නොහොඳත්, පසු ඵලයෙහි හොඳ නොහොඳත් කතා කරන්නට , මනුස්සකම පමණක් ලියන මගේ පන්හිඳට සවි මදිය. හේතුව මගේ මඳ දැනුමය. එහෙයින් පොදු දහම පමණක්ම ලියන මට දොස් නොනඟනු මැනවි.

දෙදෙනාම හිස වසාගෙන හිඳින්නේ එකම වැස්සට බියෙනි. දෙදෙනාගේම හිසට ඉහලින් පායන්නේ එකම හත්දින්නත් තරුවලල්ලකි. ඒ මේ අම්මලා දෙදෙනාගේම පැටවුන් ගැටවුන් වී,  විරසක වී, මිහිදන්වී සිටින එකම සුසානයයි. ඒ සුසානයෙහි නිදන ඔක්කෝම රණවිරුවෝය. අඩු ගානේ වැදූ අම්මලාගේ සිත් වල ඔවුහු රණවිරුවෝය. 

මේ 'ඈ' ලාගේ කතාවයි. සුසානයෙන් ඇහෙන්නේ මේ කෙඳිරිය විය හැකියි. එය කෙඳිරියක් නිසාවෙන් අතීතයට මිස අනාගතයට ඉන් පලක් නැතිය. රණවිරුවන් වී ඔවුන් පොලව යට නිදන සඳ , ඔවුන්ගේ බිරින්දැවරුන් අතින් අත යන, සහෝදරියන් සහෝදරයන් අනාථ කඳවුරු වල බලාගත් අත බලා සිටින ඛේදවාචකයේ සාරාංශයක් 
මේ අම්මලා දෙපොලටම තිබෙනවා නොවේද? මුලුමහත් සනුහරේම අනුකම්පාව මිස, අනාගතයක් අහිමි වූ , අම්මලාගේ තාත්තලාගේ කතාව නොවේද මේ? ඒ කතාවේ නමක් ගමක් ලියා තිබේවිද?

රන්කැටි පුතා කෝ කෝ ?
රන්කැටි පුතා කෝ?
රන්කැටි සිහ පැටියා කෝ?
රන්කැටි කොටි පැටියා කෝ?

යාපනයේ ඉපැදුනු මගෙ මුව පැටියා
රෑක ඇවිත් උදුරාගෙන ගියෙ කොටියා
මාගම්පුරේ ඉපැදුනු මගෙ සා පැටියා
සිංහ ‍රැලට සිහ වෙස් ගෙන ගිය සැටියා

රණවිරුවෙක් විය මිය ගිය කොටි පැටියා
කොටි මව මා ගෙපැලේ අඬ අඬ සිටියා
රණවිරුවෙක් විය මිය ගිය සිහ පැටියා
සිහ මව මා ගෙපැලේ අඬ අඬ සිටියා

පසු වදන


නන්දා මාලිනිය  මේ ගී ගයා හිස බේරාගෙන සිටීමම මහ අරුමයකි. 


සම්මතයෙන් ඔබ්බට යන්නේ , මේ එකම ලේ ඇති විවිධ අම්මලා විඳවන එකම දුක් කතාව පමණක්මත් නොවේ. නන්දා මාලිනිය නම් නිර්භීත ගැහැණිය අසම්මතයෙනුත් ඔබ්බට මහා පියවරක් තැබූ පුදුමාකාර චරිතයකැයි මට සිතේ...



ගීය අහන්න... 



Sunday, January 22, 2012

[229] ජීවිතේ මල්ට මොකද වුනේ ??


පහුගිය දවස් ටිකේ සංසාරේ අපි බ්ලොග් එක නිකම් වැහීගෙන වැහීගෙන ගියා වගෙ එකක් උනාද කොහෙදෝ.. අනේ මන්දා එහෙම උනා. ඒකට හේතුව මම අලුතෙන් ඇරඹුව මගේ ආදරනීය ටීච බ්ලොග් එකය කියලා කියන්නත් අමාරුයි. මොකද ඒකෙ පලවෙන්නෙ මගෙ ලිපි නොවෙන නිසා. ඒ වෙනුවට , අනෙක් අය ලියා එවන ලිපි නිසා. ඒ නිසාම ජීවිතේ මල්ට මොකද උනේ කියලා හැබෑ මත විමසුමක් කරන්නට දිල්ශාරාට සිද්ධ වුනා. ජීවිතේ මල්ගේ නිශ්ශබ්දතාවය දිල්ශාරාට මහ කරදරයක් වෙන්න පටන් ගත්තා.


ඊලඟට දිල්ශාර කලේ , ඒකට හේතුව හොයන්න කැසකවා ගත්ත එක. ඉතින් අතෑරියෙ නෑ. එයා හේතු හොයාගෙන හොයාගෙන යමින් ජයග්‍රාහී ලෙස සති ගණනක් ගත කලා. එක එක හේතු උඩ යට යමින් එමින් ඈගේ චෝදනා එක එක සම්පිණ්ඩනය කරමින් , චෝදනා භාර ගන්නට ප්‍රතික්ෂේප කරන්නට සමත් වුනා.ඒත් එයාට කිසි සේත්ම 'ජීවිතේ මල්ට මොකද මේ වේගෙන යන්නේ?' කියන ප්‍රශ්නෙට , මුල මැද අග ගැලපීගෙන ගැලපීගෙන වැටහීගෙන යන සාර්ථක පිලිතුරක් හොයා ගන්න බැරි වුනා.


මාස ගණනාවක් අධ්‍යාපන කටයුත්ත පමණක් කරගෙන යමින් නිවසේ සිට ගෙවූ සමනල් සැහැල්ලු කාලය ඉකුත් වූයේ ආයෙමත් පූර්ණ කාලීන ‍රැකියාවකට එකතු වීමෙන්. ‍රැකියාව, ‍රැකියා ස්ථානය වගේම ‍රැකියා කරන සහ ළමුන් අතර ගැවසෙන ජීවිතයට ආයෙත් පෙම් බඳිමින් ජීවිතේ මල් කෙසේ වෙතත් දිල්ශාරා ආයිමත් සාමාන්‍ය ජීවිතයට අවතීර්ණ වුනා.


ඒත් මොකක්දෝ වේගෙන යමින් තිබුනා. ජීවිතය ඵලදායි ලෙස ගෙවන පැය විසි හතරේ, ආවර්තී ක්‍රියාදාමයක සිට අධිවේගයක දිව යන මොටෝ සයිකලයක් මෙන් ශබ්ධ නගාගෙන දිව යන අයුරක් සිතට නැගෙන්නට වුනා. ශබ්ධ අමිහිරි වුනා.පුද්ගලික  දුරකථන ඇමතුම් නොසලකා හරිමින් රාජකාරී ඇමතුම් වලට පමණක් මනස හුරුවේගෙන යන්නට වුනා. සංගීතය , චිත්‍රපට , බ්ලොග් එක සහ සිතීමේ ක්‍රියාවලිය පවා ඇණහිටිමින් යාන්ත්‍රික පැය 24කට ශරීරය සුසර වෙන්නට වුනා.




ඒත් ? මොකක්ද මේ හිත පෙලන දේ? වැඩ කරනවා නම් වැඩ තිබෙනවා නම් , ජීවත් වෙනවා දැනෙනවා. අරමුණුත් තියනවා. යහලුවනුත් ඉන්නවා. හැම දේම හොඳින් සිදුවෙනවා. ඒත් ජීවිතේ හරියට පොළව යට පැහෙන ලාවා මහෝඝයක් වගේ ඇතුලෙන් මොකක්දෝ බුර බුරා නැගෙන බවක් හිත කියනවා.
ඉතින් එක එක දේවල් සිදුවෙන්නට ගත්තා. වැඩිපුර නින්ද යන්නටත් , අඩුවෙන් කෑම කන්නටත් ... හේතුවක් නැතිවම. කෙනෙකුට හිතේවි මේ මොකෝ කියල. ඇත්තටම මටත් මා ගැන ඒ විමතියම මතු වෙන්නට ගත්තා. වැඩ අධික බවක් , නිතර දුක සැප සොයන හැම මිතුරෙකු සමගම කියවන්නටත් , මහන්සිය වෙනදාට වඩා වැඩියෙන් දැනෙන්නටත් ගත්තා. රාජකාරි වෙලාව නිමවූ විගස ත්‍රිරෝද රියක හෝ නැගී හැකි වේගයෙන් නිවසට පලා එන්නටත් , ඒ ආවිගස පවා යලිත් රාජකාරි පොත් පත් දිග හැරගන්නටත් , ඒ දෙසම බලා ඉන්නටත් මම පටන් ගත්තා. වෙනදාට බස් රියේදී දුම්රියේදී මග තොටේදී අවට ලෝකය නරඹන , නිරන්තරයෙන් සිතට ගලා එන විවිධ සිතිවිලි අකුරු  කරගන්නට ඉඩක් නැති තරම් අදහස් ගොඩ නැගෙන ජීවිතේ මල්ගේ හිතට නිනව් නැති වෙන්නා වගේ දැනෙන්නට ගත්තා.


දවසට සිය පාරක් ඈ ඇගෙන්ම අහන්න වුනා? මොකද මේ වෙලා තියෙන්නෙ? ගතවෙන ඔරලෝසු කට්ටටත් , පයෙහි වැරදීමෙන් හැපෙන දොර උලුවස්සටත් , නිතරම බැනුම් අහන්නට සිද්ද වෙනවා වගෙත් දැනෙන්නට වුනා. බැරිම තැන ඈ ඇගෙන් ප්‍රශ්නයට උත්තර නැති තැන අනුන්ගෙන් අහන්නට පටන් ගත්තා. 'මට මොකදෝ වෙලා? ඔයාලටවත් තේරෙනවද?' ඈ අහන්නට වුනා. ඒත් අනෙක් අයත් ඈ තරම්ම නිරුත්තර වුනා. මොකද පිටට පේන ඒ හැටි අමුත්තක් ඔවුන් නොදු‍ටුව නිසා. 'ඔයාට වැඩ වැඩි වෙලා' සමහරු කියද්දි, 'ඔයා වැඩ වැඩි කරගෙන' කියලා ඔවුන් නොකියා සිතන්නටත් ඇති.


අන්තිමේට ජීවිතේ මල් තීරණයක් ගත්තා. මේක හරියන්නෙ නෑ.සතිගාණකින් ලියලත් නෑ. බ්ලොග් එකත් වැහෙන්න ඇරිලා. හැමදේම පැටලෙනවා අතපසු වෙනවා වගෙ දැනෙනවා. මේක හරියන්නෙ නෑ .කොහොම හරි ලියනවා. එහෙම හිතලා හිතට වෙර වීරිය අරගෙන ලියන්න ඉඳගත් ලිපිය ලියලා පෝස්ට් කලා. ඒත් ඒ ජීවිතේ මල් නොවෙයි. ජීවිතේ මල්ගෙ ආත්මීය ලකුණු , ඒ වගෙම ජීවිතේ මල්ගෙ ශෛලිය සංසාරේ 228 පෝස්ට් එකෙන් එලියට විසිවෙලා වගෙ හැඟීමකින් ඈ පීඩා විඳින්නට වුනා.




කියවන හිතැතියන්ටත් ඒක දැනුන බව ජීවිතේ මල්ට ආව ප්‍රතිචාර වලින්ම පෙනෙන්නට වුනා. ජීවිතේ මල්ගෙ සිත විසිරෙන බවක් ඉතා පැහැදිලිව පෙනෙන ඒ පෝස්ට් එක මම දැන් ආයෙමත් කියෙව්වා. ඇත්තෙන්ම එහි ආත්මයෙන් නැගුනු හැඟීම් නැහැ කියා ඈට දැන් හිතෙනවා.


අද උදේ. ... ඈ හොඳ හුස්මක් ගත්තා. ඈට මිස වෙන කිසිවෙකුට මේ පැටලුම ලිහන්නට හෝ පටලන්නට බැහැ. ඈ එක කොනක සිට ලිහන්නට ගත්තා. එක එක චෝදනාවන්....


1. ජීවිතේ මල්ට වැඩ වැඩිවෙලාද?
නැහැ.සැබවින්ම ‍රැකියාවත් සමග එකවර ‍රැල්ලක් මෙන් ඉහළ නැගි වැඩ ගොඩක් කොහෙත්ම නැහැ. එහෙනම් මොකක්ද මේ කාර්‍යබහුලත්වය? ඇත්තෙන්ම ඒ ඇගේ සිතීමේ ක්‍රියාවලිය පත්ව ඇති වෙනස කියලා ඈට වැටහෙන්නට වුනා. සිත , ‍රැකියාව පිලිබඳව සිතන්නට නිතර වෙහෙසෙන්නට හුරුව ඇති බවක් ඈට පසක් වුනා. ගමන් යද්දී, ගීත අහද්දී, චිත්‍රපට නරඹද්දී, ඒ වගේම ලිපියක් ලියද්දී පවා සිතට නොකළ වැඩ කොටස් නැගෙන්නට වුනා. ඉතිරිව ඇති දෑ අමතක වේ යයි බියෙන් සිත පෙලෙන බව හැ‍ඟෙන්නට වුනා. 


2. ජීවිතේ මල්ට වෙලාව මදි වෙලාද?
නැහැ. ඇත්තෙන්ම නැහැ. වෙලාව එහෙම්මම. ඒත් මනස සන්සුන් බවට පත් නොවී නිතරන එන්ජිම ස්ටාට් වී තිබෙන වාහනයක් මෙන් බොයිල් ස්ටේට් එකේ , තවත් අයුරෙන් කිවහොත් දුවන්නට ඔන්න මෙන්න ස්ටේට් එකේ ''සූදාන්ම් ශරීරෙන් සිටින අයුරක් තමයි අවසානයේ පසක් වූයේ.කුමක් සඳහාද? කිසිවක් සඳහා නොවෙයි. එය සිතින් හදාගත් තත්වයක් මිස , අනෙකෙකු විසින් බලෙන් පැටවූ රාජකාරි ගොන්නක් නොවෙයි.


3. ජීවිතේ මල් ලෙඩ වෙලාද?
පහුගිය සතියේ ඈ හිතුවේ ඈට බෙහෙතක් අවැසි බව. හිතේ අමාරුවකුත් නැතිවම, කෑම රුචිය පවා අහිමි වෙලා. කන්න බොන්න ගියත් , එකම දෙයක් ගැන , ඉදිරි සැලසුම් ගැන සිත නිරන්තරයෙන් වලාකුලකින් වැසී ඇති අයුරෙන් නොපැහැදිලි වෙන එකට ජීවිතේ මල් නොයෙක් නම් දුන්නා. 'ස්ට්‍රෙස්' , 'ඩිප්‍රෙශන්'.... යනාදී වශයෙන්. ඒත් ඒකත් පැහැදිලි නැහැ. ඉතින් ඈ මේ විෂයෙහි දැනුම් තේරුම් ඇත්තන්ගේ වාචික සහය පැතුවා. ඉතින් ඒ සහය ලැබුනා. මග පෙන්වීම කිව්වොත් වඩා නිවැරදියි.


4. ජීවිතේ මල්ට අපලයක්ද?
ජීවිතේ මල්ගෙ අමතක වීම් වල සංඛයාතය වැඩි වෙන්නට ගත්තා. ඉදිරියෙහි සිටින්නා පවා නොපෙනෙන තරමටම. සමහර අමතක වීම් නිසා ගම පෙරලාගෙන ලිපි ලේඛන අවුස්සන්නට පවා සිදුවුනා. අමතක වීම් මතු වන්නට වන්නට බිය වැඩිවෙන්නට වුනා. මේක අපලයක්ද? දෝශයක්ද? ඈ නිරන්තරයෙන් ඇගෙන අහන්න ගත්තා. ඉතින් ඈ කලණ මිතුරු මිතුරියන් ගොඩ දෙනෙක්ගේ සහයෙන් මම අන්තිමේ හොයා ගත්තා ජීවිතේ මල්ට වෙච්චි දේ. 

මෙන්න මේකයි සිද්ධ වුනේ.


ඇත්තෙන්ම ජීවිතේ පොඩි පොඩි අලුත් වීම් , වෙනස්කම් වලට අපි මුහුණ දෙද්දි , අපේ මනස එකපාරටම ඒවාට සුසර වෙන්නෙ නැහැ.ඒකට කාලයක් ගත වෙනවා. ඒ ගත වෙන කාලය තුලදි අපි බොහෝම සිහියෙන් ඉන්න ඕනෙ, අපේ මනස කොයි පැත්තටවත් ඇලවෙන්න නොදී පවත්වා ගන්න. රාජකාරියටත්, විනෝදයටත් , බ්ලොග් ලිවිල්ලටත්, අධ්‍යාපනයටත් ඔය කොයිදේටහ් ආනත වෙන එක නුවණට හුරු නැහැ. මොකද ආනතිය අපිට දැනෙන්නට ගන්නකොට අපේ මනස සහ ශරීරය නොදැනුවත්වම වෙනසට අනුගත වෙලා. එහෙමත් නැතිනම් ඇබ්බැහිම වෙලා. ඊට පස්සෙ වෙනස සහ ආනතිය හඳුනා ගැනීම හරිම අමාරුයි. ඒක මනසෙහි යාන්ත්‍රණයක්. මනසෙහි ක්‍රියාකාරිත්වයෙහි යම් යම් වෙනස්කම් ඇතිවීමක්.
මේ වෙනස්කම් ජීවිතයෙහි විනිවිද පේන්නෙ නෑ. තරහ යාම් . නොරිස්සීම් පවා නැහැ. අඩුයි. කලාතුරකින් වේවි. ඒ වෙනුවට පවතින්නෙ නිරන්තරයෙන් 'දුවන්නට කැසකවා ගත්' අවස්ථාවක්.



විවේකය 'එපා' වීම.. බිසී වීමට ඇබ්බැහි වීම..

මෙහෙම කාලයක් යනකොට , ශරීරය මොකක් හෝ වැඩක යෙදෙමින් ඉන්නට ප්‍රිය වෙන්නට ගන්නවා. ශරීරය සහ මනස විවේක ගැනීම ප්‍රතික්ෂේප කරන්නට ගන්නවා. විවේක ගන්නා වෙලාවේ පවා වැඩක යෙදෙන්නට හිතෙනවා. විවේකයට භය හිතෙනවා. වැඩ කරද්දි සහනයක් දැනෙනවා. වැඩ නොකරන හැම විටම කරන්නට ඇති, කල සහ නොකල වැඩ මතක් වෙන්නට ගන්නවා. මේ වැඩ කියන්නෙ ‍රැකියාවෙ වැඩ පමණක් නොවෙයි. බ්ලොග් ලිවිල්ල. අතපසු වූ නිවසේ සුලු සුලු දේවල්. යනාදිය පවා. කොටින්ම ගැනීමට නොහැකිව ලත වෙන විවේකය පවා මතක් වෙන්නට ගන්නවා.සිත නිතර කරදර වෙන්නට ගන්නවා තමන්ම ගෙවන ජීවිතය ගැන. වෙලාවකට හිතෙනවා දුක් වෙන්නට තරම් ඇති දේකුත් නෑ. නැති දේකුත් නෑ කියලා. නිකම්ම ඉඳගෙන හිටියත් වෙහෙස දැනෙනවා. සිත වෙහෙසෙනවා. කිසිම දේකට සිත එකඟ නොවෙන බවක් දැනෙනවා. මතුපිටින් පාවෙවී එන වේගයෙන්ම සිතුවිලි හුල‍ඟෙ පාවෙලා යනවා. ඒත් සැහැල්ලුවක් නෑ.


මේ වගෙ දෙයක් ඔබත් අත්විඳල තියනවද? ඒකට හේතු දීලා තියෙනවද? පොඩ්ඩක් හිතන්න ඔබ ඒ වෙනුවෙන් මොනවද කළේ?? 

Writer's BLOCK !!!!!


අද උදේ වෙද්දි මම අන්තිමේ හිතුවේ මේක writer's block කියලා. මම ලේඛකයෙක් නොවුනත්, සිතුවිලි සිරවී ලියාගත නොහැකි වීම මටත් වැලඳී ඇතැයි හිත කියන්නට වුනා. ඒත් 228 වෙනි පෝස්ට් එක ලිවීමෙන් එය සුව වූයේ නැහැ නෙව..


ඒත් මොන බ්ලොක් උනත් , මට අන්තිමේදි වැටහීගෙන ගියෙ මගෙ මනස අසමබර වෙලා කියලා. නොදැනුවත්වම හිතට 'අවිවේකය' මමම ලඟා කරගෙන කියලා. කාල කලමණාකරනය දිගකාලයක් තිස්සෙ මනසින් ගිලිහුනාම , අපි සන්සුන් වෙන්න පවා බය වෙනවා.

සතුටු වීම සහ හිතේ සාමය 

සතුට සහ සාමය එකමද, දෙකක්ද යන්න මට ආයෙමත් කල්පනා කරන්නට අවස්ථාව පෑදුනා. 

මට නම් හිතුනෙම මෙහෙම. හිතේ සැනසීම නැතුවත් අපිට විනෝදයෙන් සහ සතුටෙන් ඉන්න පුලුවනි. සතු‍ටු වෙන්නත් පුලුවනි. හැබැයි ඒ සතුට තාවකාලිකයි. සම්පූර්නත් නැහැ. පූර්ණ වශයෙන් සතු‍ටුවීම කෙරෙහි තෘප්තියක් නැහැ. 

ඒත් හිතේ සැනසීම සහ සන්සුන් බව පවතිනවා නම් , සතුට උඩින් නොපෙනුනත් , පෙනුනත්  සිතෙහි කැලඹීමක් ඇතිවෙන්නෙ නැහැ. සිත කොහොමත් සතුටෙන්. තෘප්තියෙන්. නිශ්ශබ්දව ගලන ගඟක් උනත්, ගල්පර උඩින් හෝ නගන ගඟක් උනත් පහුලෙහි දිය සුලි තිබෙන්නට පුලුවනි. 

එහෙත් දිය සුලි නැති ගඟක් වේගයෙන් ගලා ගියත්, හෙමින් ගලාගියත් , ඒ ගඟ ඇසිල්ලෙන් සුලි මතුකරන්නෙ නැහැ. කැලඹෙන්නෙ නැහැ. කලඹන්න ලේසිත් නැහැ. ඉතින් ඇත්තෙන්ම මම අද මා දෙස බැලීමෙන් ජීවිතය ගැන අති විශාල පාඩමක් ඉගෙන ගත්තා.


කාලය හිඟ නොවෙයි. කාලය ගත වෙයි. ගතවූ කාලයට තැවී වැඩක් නෑ. ගත වෙන්නට යන කාලයට සැලසුම් හදන්නටම කාලය ගත කොට වැඩක් නෑ. මේ මොහොතෙහි විය යුතු හොඳම දේ කිරීමත් , හැමදේටම කාලය වෙන්කොට , ඉතිරි කාලය විවේකය පුහුණු කිරීමට ගත කිරීමටත් මම සිතාගත්තා. සිතා ගත්තා විතරක් නොවෙයි ක්‍රියාත්මක කළා.


මම හිතන්නෙ මම සාර්ථකයි. මට අමතක වූ ජීවිතේ මල් මම හිතනවා දැන් ආයිත් මා එක්ක සැරිසරනවා කියලා. දැන් මනස සුසර වී තිබෙන්නේ ජීවිතයට. සමබර ජීවිතයකට. අසමබර ජීවිතයකින් කාටවත් ප්‍රතිලාභයක් නෑ. අසහනය විතරක් ඉතිරිවේවි.


මට ගොඩක් දේවල් මතක් වෙනවා. 

යම් පොතක මට කියෙව්වා මතකයි මේ ලෝක ධාතුව රඳා පවතින්නේ සිතෙහි මහිමය මත කියලා. සිතට කළ හැකියි බොහෝ දේ. විශේෂයෙන්ම , අප යන අත තීරනය කරන්නට සිතට ලොකු බලයක් තිබෙනවා. ඉතින් හිත කැලෑ පනින කොට අපිට යුතුකමක් තිබෙනවා , ආයිමත් හිත හීලෑ කරගන්නට. හැබැයි හිතත් අර මෙල්ල නොවෙන අලියෙක් වගෙ තමයි. තොණ්ඩුව දමන්නට කලියෙන් ටික වෙලාවක් හැසිරීම නිරීක්ෂණය කලොත් තමයි හොඳ. ඔබේ සිතෙහි මුරකරුවෙක් වෙන්නට ඔබට හැකි නම්, සිත හඳුනා ගන්නටත්. හඳුනා ගත් ලෙඩවූ සිතට පිලියමත් ඔබ ලඟටම එනවා. අපිට කලණ ම්තුරන්ගේ උදව් අවැසි එනිසයි. හඳුනා ගැන්මට.


කුරුලු පිහා‍ටුවක් ගසාගෙන යන මේ දර්ශනය මතකද? වීඩියෝවේ අවසාන විනාඩිය බලන්න.. 

ජීවිතේත් අන්න ඒ වගේ නම්.....





දර්ශනය උපුටා ගත්තේ, මම ජීවිතයේ හමු වූ හොඳම චිත්‍රපට වලින් එකක් හැටියට සලකන Forrest Gump චිත්‍රපටයෙනුයි....


ඉතින් .. මම ආයිත් හොඳින්.... ඇතැම්විට වෙනදාටත් වඩා.... :-)

Saturday, January 21, 2012

[228] කාලෙකට පස්සේ.. ආයෙමත් සංසාරේ අපි... !


ජීවිතය එක් එක් කාල පරාස ඇතුලේ විවිධ දිශාවන් ඔස්සේ ගමන් කරනවා. හරියට ගඟක් වගෙ. විටෙක ගල් පර උඩින්. විටෙක නිසංසලේ.. විටෙක අඳුරු තුරු ගොමු අස්සෙන් . විටෙක අවු රැසෙන් නෑවෙන ඉසවු වලින්.. ඒක තමයි ජීවිතේ කියන්නෙ. 


අසම්මතයෙනුත් ඔබ්බට යන කතා බහේදි මොණර කිරිල්ලි ගැන ලිව්වට පස්සෙ ලියුව ලිප්ය වරින් වර ඇන හිටියා.  ඒත් එක්කම ඔලුවට ආව අලුත් අදහසක් නිසා මම 'මගේ ආදරනීය ටීච' බ්ලොග් එකටත් මුල පිරුවා. ඒ බ්ලොග් එක වෙනමම පටන් ගත්තෙ , වෙන අය ලියා එවන ලිපි මම ඉතින් එහෙමයි කියලා මගෙ වගෙ පල කරන එක හරි නෑනෙ. :)


ඉතින් අද ලියන්න හදන්නෙ ලෑජ්ජ නෑති කොල්ලෙක් ගෑන.  එහෙමද දන්නෙ නෑ. ඒත් ඒක ඉතින් සාමාන්‍යයෙන් කොල්ලෙක් පිලිගන්න දෙයක් නම් නොවෙයි.




කතා කළත් අපි රෑ වෙනකල්, කිසි වැඩක් නෑ
අත හැරියත් ඔබ මගේ අතින් මට දැනුනෙ නෑ..
විලවුන් තවරා ඔබ ලංවූවත් මට සුවඳ නෑ
මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ

ඇයි කළේ මුලු හදින්ම ඔබ මට ආදරේ
නැතිදෝ ඔබ මා ගැන දන්නේ???
මම් නෑ කළේ කිසිදිනකදි ඔබ හට ආදරේ
නැතිදෝ ඔබහට එය වැටහුනේ???

ඔය ඇස් රතුවෙනතුරු ඔබ ඇඬුවට මට දුකක් නෑ
මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනෙ නෑ
මගෙ මිතුරන් හා ඔබ හාද වුනත් මට කමක් නෑ
ඒ මොනව උනත් ඔබ දුන් හැමදේ යලි දෙන්නෙ නෑ..




ආදරය කරපු හිතකින් මෙහෙම නපුරු විදියට කතා පිටකරන්න පුලුවනිදැයි අපි අහනව. ඒත් ජීවිතේ හැඟීම් සිතිවිලි විවිධයි.. විෂමයි.


ආදරේ සෙල්ලමක්ද? ඔව්. සමහරුන්ට. සමහරු මුලදි සීර්යස් කල් යද්දි තමා සෙල්ලම. අනේ මන්ද! ඔව්. සෙල්ලකාරයො වර්ග ඉන්නව.


සමහර අය සෙල්ලකාරයො වග කෙලින්ම කියනව . පිලිගන්නව. අඳුන ගන්න ලේසියි. සෙල්ලකාරයො බව කෙලින්ම කියන උන්දැලා කෙලින්ම කියනව 'මම හොයන්නෙ සෙල්ලක්කාර සහකරුවෙක්' කියලා.ඉතින් අනෙකා සෙල්ලකාරයෙක් නෙවෙයි නම් එයාට නිදහස තියනව යන්න. සෙල්ලකාරයෙක් නම් ඉඩ තියනව නවතින්න. මල් පොකුරෙ එකක් වෙන එක 'ඉට්ස් ඕකේ, අයි ඩෝන්ට් කෙයා' නම්.... ඉතින් දෙන්නට දෙන්න ලව් කලාට අපිට මොකෝ.නැද්ද??


තව සෙල්ලක්කාරයො වර්ගයක් ඉන්නව. ඒ අය කෙලින්ම කියන්නෙ නෑ. ඒ අය ගොඩක් දුරට නිස්සද්දව ඉන්නව . ආදර බැඳීමක් ගැන කතා කරන්නෙත් නෑ. ආදරේ නොකරන්නෙත් නෑ. කොටින්ම ආදරේ දුන්නොත් එපා කියන්නෙත් නෑ. ගන්නවා. දෙනවා. ඒත් එයාලට ආදර බැඳීමක් ඕනෙ නෑ.


තව සෙල්ලකාරයො වර්ගයක් ඉන්නව. එයාල ආදරේ දෙනවා. ආදරේ අනිකගෙ දිනාගෙන තමුන්ටම ලඟට අරගෙන තියාගන්නවා. ආදරය ගැන කතා කරන්නෙ නෑ. ලංවෙනවා. අනිකා වෙන කෙනෙක් ගාවට යනවට කැමතිත් නෑ. තමුන් ලඟ තියාගත්තාට එයාව දිගට තියා ගන්නවද නැද්ද කියල තීරනය කරන්න තියා හිතා බලන්නෙවත් නෑ.


තවත් සමහරු ඉන්නවා. සෙල්ලක්කාරයි. ඒත් අනිකාගෙ ගරුත්වයට හානියක් කරන්නෙ නැ. සියලු ඇඳුනුම්කම් කතාබහ රහසිගතව. කා එක්කවත් බෙදාගන්න යන්නෙ නෑ. ඒත් කාලයක් ගියාම එතැනින් නැගිටලා තව තැනකට යනවා. එයාලට අනිකා මොනවා කලත් දුකක් නෑ.


තවත් සෙල්ලක්කාරයො ඉන්නව. එයාල ඉන්නෙ අහින්සකව. ඒත් එයාලගෙ මුලු ආදරයම ක්‍රීඩාවක්. යහලු යෙහෙලියන් එක්ක උදම් අනන්නට සුදුසුකම් සොයන ක්‍රීඩාවක්. යහලුවන් සමග විනෝද විය හැකි මාතෘකාවක්. ඒත් සාපේක්ශව එතනින් එහාට නොයන නිසා සාපේක්ශව අහින්සක ක්‍රීඩාවක්



තවත් සෙල්ලක්කාරයො වර්ගයක් ඉන්නව. එයාලගෙ මුලු ප්‍රේමයම මහා අනතුරුදායක ක්‍රීඩාවක්. අනෙකා අහින්සකයි. එහෙත් සෙල්ලක්කාරයා අහිංසක නෑ. භයානකයි. කතා කරන හැම වදනක්ම, ටයිප් කරන හැම අකුරක්ම, පින්තූරයක්ම , විඩියෝවම , හඬ ඇමතුමක්ම අනිකාගේ ජීවිතය අනතුරේ හෙලන දුරකට ඉක්මනින් ඇදී යන මහා උගුල්. ඒත් ඒ අය දක්ෂයි. ඒක වහගෙන ඉන්න. ඒක හොයා ගනිද්දි ඉතින් අස්සයා ඉස්තාලෙන් පැනල ගිහින් ඉවරයි. ටූ ලේට්...

මේ කිසිම වර්ගයකට අයිති නැති සෙල්ලක්කාරයනුත් ඉන්නවා.  මතක තියා ගන්න හොඳේ... සෙල්ලක්කාරයා කියන වචනෙට ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ගැලපෙන්න පුලුවනි. හොඳද.? 


ඉතින් පරිස්සමෙන්. ගෑනු ලමයිනුත් , පිරිමි ලමයිනුත් දෙගොල්ලොම... ඔන්න....  


සමහර කාල වලට ජීවිතේ මහ වෙහෙසයි. ඒත් වෙහෙස එක්කම ගලන ජීවිතේ අරුත්බරයි. අපි ජීවත් වෙනවා දෑනෙනවා. හැම අවුරුද්දෙම ජනවාරිය කියන්නෙ වැඩ අධික මාසයක්. හැම අවුරුද්දෙම පෙබරවාරිය කියන්නෙ සිකුරු හතේ කියලත් හිතෙනවා. ඒත් ගතවෙන හැම දවසම මට නම් සිකුරු හතේ. ඒක මනමාල කතාවක් නොවෙයි. සිකුරා කවුද? සිකුරා කියන්නෙ ආදරේ ගැන කතා කරන ග්‍රහයා... ආදරේට සිකුරු නම්, අපෙ ජීවිතේ ආදරෙන් පිරෙන්න සහකරුවෙක් ඕනෙමද? සහකරුවෙක් මොටද සහයට සොබාදහම ඉද්දි? 

සෙල්ලක්කාර කොල්ලෙකුට හෝ කෙල්ලෙකුට ඔබත් ආදරේ කරන්න තෝරගෙන නම් , ඔබත් සෙල්ලමටම සූදානම් වෙන්න. එහෙම නැතුව වහින නුවරඑලියෙ ට්‍රිප් ගිහින්, හම්බන්තොට අව්ව රස්නෙ යැදල වැඩක් නෑ. :-)  


අද ලිව්වෙ බොහොම සැහැල්ලු මූඩ් එකෙන්. සංසාරෙට බරපතල චින්තාවලි ලියාගෙන යන ගමන එක ලිපියකට නතර කලා.  සංසාරේ තුලින් ආයෙමත් ජීවිතේ මල්ගෙ ශෛලිය ඉපදෙනව. සංසාරෙට දෙවෙනි උපන්දිනේත් ලඟම එනව. එහෙනම් ඉක්මනින්ම හමුවෙමු , උපන්දින ලිපියෙන් නේද?

Sunday, January 01, 2012

[227] උපැස් මතක ඇස් !


ඈ මොහොතක් අවසර ගෙන දිගු හුස්මක් හෙලුවාය. හාත්පස ඇති මල් සුවඳ , කලබලය , කතා බහ , සිනා හඬ ඈට නිනව් නැති සේය. කන්නාඩියෙන් පෙනෙන රුවෙහි ඈට පෙනෙන වරදක් නැත. ඇත්තෙන්ම තමා වෙනදාට වඩා දහස් වාරයක් රුව වැඩිවී ඇතැයි පෙනුනි. එහෙත්... කන්නාඩියෙන් පි‍ටුපස තිබෙන මේ සිත ,කොතෙක් අමතක කළත් මතකයෙන් අමතක නොවන , ඒ උපැස් යුවල පැලඳි රුව පෙරදා මෙන්ම කඳුලු පිරි ඇස් වලින් තමා දෙස බලා හිඳිනු ඈ ස්පර්ශ කලාය.


ඒ රුව දුටු දින ඈ අත් විඳි තිගැස්ම , ඒ රුව සිතට ඈතුලු වූ දා සිට , හිටි හැටියේ ඇසිල්ලේ මැකී යන තුරුමත් ඇගේ ලෝකය තුල කිසිදා ඉටු නොවන පැතුම් ගොන්නක් ගෙනාවේය.   හීනෙනුදු ඔහු ඈ වැන්නියක් සිටින බවක් හඳුනා හෝ ගනිතැයි ඈ නොසිතූ මොහොතක ඔහු ඈ කරා මිත්‍රත්වයේ දෑත දිගු කලේය. එහි තැවරී ඇත්තේ මිත්‍රත්වය පමණක් නොවන බවත් ඉන් එහා ගිය බැඳුමක් බවත් ඈ වටහා ගත්තේ සතුට මුසු තිගැස්මෙනි. එහෙත් එයම ඈ සිත පෙලන්නට වූයේ වරක් දෙවරක් නොවේ... එහෙත් එයම ඈ සිත සතුටෙන් පුරවන්නට වූයේත් වරක් දෙවරක් නොවේ.

 සුනේත්‍රා කියන පූර්ව ජන්ම අපූර්වයේ අයුරෙන් , 'ඇතැමුන් දුටු මනතින් මහා ඇඳුනුම් කමක් , දැක පුරුදු බවක් දැනේ. ඇතැමුන් දුටු මනතින් අත්හළ නොහෙන ආකර්ෂණයක් දැනේ. එහෙත් ඒ ඔබේ සාංසාරික හවුල්කරුවා නොවිය හැකිය. පූර්ව ජන්මයක තිබූ කුමක් හෝ ආකර්ෂණයක් ඉස්මතු වූවාත් විය හැකිය. එහෙත් කාලයත් සමග ඔවුන් යලිත් නාඳුනන්නන් බවටම පත්වේ'


ඈ මේ වැකි කිහිපය යලිත් සිහිපත් කළාය. බැල්මෙන් හඬින් පමණක් හැඳිනූ , කිසි දිනෙක පියෙවි ඇසින් නොදුටු , කිසි කලෙක පියෙවි ස්පර්ෂයක් නොලද , මේ මොහොත වන විට සම්පූර්ණයෙන්ම සිය ජීවිතයෙන් බැහැරව සිටින මේ රුව දකිද්දී, සිහිපත් වෙද්දී, තවමත් සිය සිත වෙව්ලීමකින් සලිත වන්නේ කිමදැයි ඇයට නොතේරේ.


ඊටත් මේ මොහොතේත්... කුලගෙයක පතිනිය වන්නට හෝරාවකට නො අඩු කාලයක් ඉතිරිව ඇති, ජීවිතයේ වෙනස්ම පියවරක් ගන්නට සැරසෙන මේ මොහොතේත්???? ඔහුගේ රුව ඈ මනසේ හොල්මන් කරයි. ඒ සිනහව , ඒ කඩවසම් රුව, විටෙක පෙම් බෑඳි, විටෙක ලොබ බැඳි, විටෙක ආඩම්බර වූ, විටෙක කෝප ගත් .... ඒ රුව තුල දුටු පුරුදු බව , පූර්ව ජන්ම අපූර්වය ඈ තවමත් පසක් කරමින් සිටින්නීය.... එහෙත් ඒ අතීතයයි....


ඈ ඔහුට බැඳුනාය. කිසිදු ගිවිසුමකින් තොරවම. දිගුවූ සොඳුරු හස්තය ඈ අවිහින්සකව පිලිගත්තාය... කිසිදු වදනකින් තොරවම.. ඈ ඔහු වෙනුවෙන් ජීවිතය ඔහු මත්තේ බැඳ තැබුවාය. ඔහු අඩියෙන් අඩිය නිහඬව ඔහුගේ සිතුවිලි තුල ඈ වෙත තැන් පිරිනමද්දී ඈ නිහඬව එය විඳගනිමින් හුන්නාය. 'ආදරෙයි' කියා වදනකින් ශපථ නොකළ , ඒ ආලය පිලිබඳ ඈ විසඥ වනතුරුම කල්පනා කලාය.ආදරය බෙදාහදාගත්තත් ඈ ඔහුගේ ආදරවන්තිය නොවූවාය. නොහොත් , ඔහු එසේ නාමිකව පිලිගැනීමක් හෝ ප්‍රතික්ෂේපයක් නොකොට නිහඬව ආදරය කලේය.. නිර්නාමික බන්ධනයේ හවුල් කරු මිස ඈට හිමි තැන ඈ කිසි දිනෙක පසක් කරනු අසමත් වූවාය. 


ඈ තර්ක කළාය. ඈ සමගම ඈ උරණ වූවාය.. ඈ නොසන්සුන් වූවාය... ඔහුට අවැසි කුමක්ද? ඇරත් මා වන් සාමාන්‍ය පෙනුමැති කෙල්ලකගෙන් ඔහු සොයන්නේ මොනවාද? ඈ හීනමානයේන් අතරමං වූවාය...


ඔහු නිර්නාමික බන්ධනයට හවුල් වූවත් ඈ ඔහු වෙනුවෙන්ම ජීවිතය වෙනස් කළාය... ඈ උපන්දා සිට පෙම් බැඳි ගිටාරය ඈ අත් හැරියාය. ඒ ඔහු සිහින මැවු හා ඔහු පෙම් බැඳි ඇගේ දිගු ඇඟිලි වෙනුවෙනි. නිදහස් පත්‍රකලාවේදිනිය යන විරුදාවලියෙන් උදම් වෙමින්, ජීවිතයේ නොදුටු පැත්ත ලියූ ඇගේ ආත්මය ඇය පෙට්ටගමක ලා අගුලු ලෑවාය. ඔහු පැතූ ගැහැණිය යනු, සමාජය සමග එතරම්ම මුසු නොවන , චාම්, සාම්ප්‍රදායික එකියකැයි ඔහු කාරුණිකව පහදා දෙද්දී , රැකවරණයේ නාමයෙන් ඈ සිය ආත්මය නින්දට පත් කළාය. ඔහුගේ කරුණාව, දයාව ඈට මහමෙරක් විය. 

සිදු වන්නකැයි, බැඳුමකැයි කිසිදු ගිවිසුමක් නැති ඒ නිර්නාමික බැඳීම වෙනුවෙන් ඈ ජීවත් වූවාය... ඔහුගේ සිහින සැබෑ වන සිහින වේ යයි ඈ පැතුවාය. ඒ වෙනුවෙන්ම ඇප කැප වූවාය.


එහෙත් , කිසිදා මේ බැඳුම කිසි දෙසකට ගමන් නොකළේය. එහෙත් ඈ සිත සොරාගෙන ගිය ඒ කඩවසම් රුව මත්තෙහි ඈ කොතෙක් වැලපිනිදැයි ඔහු නොදන්නා බව ඈ පසක් කළේ බොහෝ කලකට පසුය.  අගැන වගක් ඔහුට තිබුනාදැයි නොදන්නා ඈ , ජීවිතය ඒ මත්තේ පරදුවට තැබීමට තිත තැබුවාය. 


එහෙත් ඈ සිත කොනෙක නොව, ඈ සිත වසා පැතිරගත් මිහිදුමක් මෙන් ඔහුගේ රුව දිනෙකට ඈ සිහිකළේ වරක් දෙවරක් නොවේ. 


එහෙත් දෛවය කිසිදා ඔවුන් ආදරවන්තයින් කළේ නැත. සතුරන් කළේද නැත. මිතුරන් කළේද නැත. ආදරයක් , නිදහස් සෙනෙහසක් නිදැල්ලේ අවිහිංසක ලෙස බෙදාගත් ඔහු නිහඬවම ඈතට ගියේද නැත. ඈතට ගියේ ඇයයි. අතොරක් නැතිව එහෙ මෙහෙ හැපෙමින් පියා සලමින් සිවිලිමෙහි හිස හප්පා ගන්නා සමනලයකු මෙන් , එහි අරුත් සොයන්නට ගොස් නීරස සත්‍යය රස බැලුයේ ඇයයි.

ඔහු සෙල්ලක්කාරයෙක්ද? නැත. සල්ලාලයෙක්ද? නැත... අහිංසක කෙල්ලන්ගෙන් තනිය පමණක් මකාගන්නා බරක් පතලක් නැතියෙක්ද? මේ කිසිදු නිර්වචනයකට ඔහු ඔබා ලන්නට ඇගේ සිත ඉඩ නොදෙයි.. නිමක් නොමැති සිතුවිලි මිස , පිලිතුරු නැති ප්‍රශ්න වැලක ඈ පැටලුනාය. සමනලයා මකුලු හුයෙක පැටලී ඇති සැටි. 

අවිහිංසක දෑස් ඉදිරිපිට සිය ජීවිතය විවර කළ අයුරු, සිය හඬන සිත සමග දුක බෙදාගත් අයුරු, ඈ ඉවත යද්දී , යන්නෙපා යයි නොකී ඒ උපශාන්ත දෑස් , ගියත් අමතක කරන්නෙපා යයි හඬා වැටෙමින් උපැස් අතරින් කඳුලු සැලූ අයුරු! යන්නෙපා නොකී ඉච්චාකාර වදන් වලට කෝපයත් , කොල්ලෙකුගේ හැඬුමෙන් වෙඬරු වන හද තුලින් අනුකම්පාවත් එකවර නැගෙන සැටි ඈ ජීවිතයටම අත් වින්දේඅ එදා පමණි.  ඒ කිඹුල් කඳුලු දැයි ඈ දන්නේ නැත. ඒ කඳුලු හෙලු නෙත් අද වනතුරු ඈ සිටින්නේදැයි දන්නේදැයි කියාත් ඈ දන්නේ නැත. 

"පැටියෝ" , "බබා" , "රත්තරන්" යයි අමතන අවශේශ කොලු රැල මෙන් නොව , තමාට "අම්මේ" යයි අමතන ඒ හඬට ඈ කොතෙක් පෙම් බැන්දාදැයි ඔහු කිසිදා දැන ගත්තේද නැත.... ඒ අතීතය මෙතරම්ම දැඩි සහ නොමියෙන මුද්‍රාවක් ඈ සිතෙහි තැන්පත් කළ බවක් ඈවත් දැන හුන්නේ නැත.. සාංසාරික හමුවීම් සහ වෙන්වීම් කිමදැයි පසක් වෙනතුරුම ඈ ඒ ගැඹුර 'ආකර්ශනයකැයි' බැහැර කළාය. 

කුලගෙයට පිවිසෙන දොරටුව අභියස පෝරු මස්තකාරූඪව ඈ හිස් බැල්මෙන් හිඳින්නීය... බලා හිඳින්නවුන් ඇගේ සොඳුරු වත නරඹන්නෝය. ලැජ්ජාශීලි ඈ මුවෙහි කෝල බැල්මක් රැඳී ඇති අයුරු , අනාගත වල්ලභ ඔහු සතුටින් හොරැහින් නරඹන්නේය. 

ජීවිතේ මහ ප්‍රහේලිකාවක්. මුද්‍රා තැබූ ඒ උපැස් රැඳි කඩවසම් මුහුණ , සංසාර තොටුපළෙක හමුවූ සොඳුරු සමනලයකු මෙන් ඇගෙන් ඉවත ඇදී, වරින් වර දෑස් අභියස තවමත් පියා සලමින් ඇඳී මැකී යන්නේය.. කුලගෙහි සොඳුරු පතිනියකව , නැවුම් ජීවිතයක් අභියස , සිය හදවත මෙන්ම සිය හුස්මද හඳුනාගත් , මේ පෝරු මස්තකාරූඪ වල්ලභයා සිය ආත්මීය සහකරුවා යන්න ඈට සක් සුදක් සේ පැහැදිලිව තිබියදීත් , උපැස් පැලැඳි ඒ සොඳුරු මුහුණ නිර්ලජ්ජී ලෙස ඈ හදෙහි හොල්මන් කරන්නේය... 

ඈ පව්කාරියක්ද? ඈ වංචාකාරියක්ද? 

[226] ජීවිත තෑග්ග ,ඔබා නොබලා , ලිහල බලමුද? :-)

හෙට ... තවත් එක දවසක් තමයි. ඒත් ඇයි මේ මිනිස්සු අනාදිමත් කාලෙක ඉඳල මේ දින 365 , පැය 24 ,විනාඩි 60 සයිකල් හදල තියෙන්නෙ? ඇයි? ඇයි? ඇයි? :-)

මට හිතෙන්නෙ මෙහෙම... මේ මොකවත් නැතුව , ඔහේ කාලය ඉස්සරහට ගියා නම් වෙන්නෙ , අපි ඔහේ ජීවත් වෙයි.... හරියට කය මිස සිත නැති නර ලොවක වගේ... ඒත් හැම තැනම සයිකල්ස් ?? ඇයි මේ... මේ ඩින්ගකට කලිනුත් රතිඤ්ඤා පිපිරුනෙ එහෙම සයිකල් එකක් පටන් ගැන්ම සමරන්නනෙ.ඇයි ඒ?

මම හිතන්නෙ  නම් , ඒ සයිකල් ස්ටාට් එක අපිට මතක් කරනවා දෙයක්... මෙතෙක් කල් පස්සෙන් පහු වෙවී තිබ්බ වැඩක් තියෙනවනම් ඒක පටන් ගන්න. මෙතෙක් වැරදුනු තැනක් තියෙනව නම් ආයෙත් අලුතෙන් හිතන්න. ආයෙත් අලුත් වෙන්න. අලුත් ඇඳුමක් කැඩුමක් අරගත්තම කොහොමද පහුවෙනිදට වැඩට යන්න , එලියට බහින්න තියෙන ආසාව ? කොච්චර සරලද? ඔබ හිතාවි... ඒත් ඒ අලුත් නැවුම් බව , මට නම් හරිම ගැඹුරුයි.. හරිම හැඟුම්බරයි.... 



මම තවමත් එහෙමමයි. අලුත් දවසකට ලෑස්ති වෙන්න මම ආසයි. එදාට උදේට මම නැගිටින්නෙ අලුත් වෙලා. හදවතින්ම. පොරොන්දු දෙමින් මටම... ඒ හෙඩ් ස්ටාට් එකට මම හැමදාමත් වගෙම අදත් ආදරෙයි. ඒ නිසාම මට අදින් ඇරඹෙන වසර නිකම්ම අවුරුද්දක් නොවෙයි... ජීවිතේ වෙනද වගෙම ගලා ගියාට මම ආසයි අලුත් අරුතක් ඊට එක් කරන්න.

ඔබට මම දෙයක් දෙන්නම්. ඒ එකම එක දෙයක්. පොඩි ටිප් එකක්. මෙන්ටල් නෝට් එකක්.  මෙච්චර දවසක් ඔබ ජීවත් උනෙ ඇයි , ජීවත් උනෙ කෝමද කියල හිතන්න. ඔබ තවමත් හිතන කෙනෙක්ද, ඔබ තාමත් ජීවත් වෙන්නෙ අනුන්ගෙ උවමනාවට කියල? එහෙනම් බලන්න එහෙම තාමත් ඉන්නේ ඇයි? ප්‍රශ්නෙ තියෙන්නෙ ඔබ ගාවද?බාහිර ලෝකයෙද කියල... 


එක මොහොතක් හිතන්න. අද ඉඳල මම 'මමම' වෙනව. මම හැමදාම හීන දු‍ටුව 'මම' ව මම උපද්දනව... අන්න එදාට ඔබ දිනුම්.. එදාට ඔබ බාහිර ලෝකෙට දොස් කියන එකක් නෑ. ඔබට ඔබව ආශිර්වාදයක් වෙයි. ඔබේ හෙවනැල්ල කියන්නෙ ඔබෙ තනියට ඉන්න හේමලයා නොවේයි , එදාට ඔබේ හෙවනැල්ල යටින් සිහිල ලබන දාස් ගානකට ඔබ මග පෙන්වන්නෙක් සහ සෙවනක් වේවි... 


ජීවිතේ ඊයෙන් නතර වුනෙ නෑ. ජීවිතේ අදින් ඇරඹුනෙත් නෑ. ඒත් වෙනදට ඉබේ වැටන නැගෙන හුස්ම පොදටත් හෙට දෙන්න අලුත් අරුතක් ! , හෙට උදේ නැගිට්ටාම , එකම එක පාරක් හිතා මතාම දිගම දිග හුස්මක් ගන්න.

මම එහෙම කරනව. මම දකින හීන එකක් හෝ එන අවුරුද්දේ සබන් බෝලයක් වීමෙන් නතර නොවී, මම ඒ එකක් හෝ අරමුනක් කරගන්නවා. සැබවින්ම ඉෂ්ට වෙන අරමුනක් කරගන්න, පාර මම හදාගන්නවා.

අමතක කරන්නෙපා ... 


'ඔබට යමක් අවැසි නම් , එය ඔබට ලබා දීම සඳහා ලෝකයම කුමන්ත්‍රණ කරනවා' 
(ඇල්කෙමිස්ට් - පවුලෝ කොයියෝ)

2012 , ඔබ හැමෝටම සුබ සහ ශක්තිමත් ආරම්භයක් වේවා !





ජීවිතේ කියන්නෙ තෑග්ගක්.... 
ඔබ ඔබ කූරු ගහ ගහ බලන්නෙපා.... 
පිලිවෙලකට ලිහල බලන්න.... :-) 

පහළ රූපය බලන්න..... ඈ හිනාවෙන්නෙ ඈට රටක් රාජ්‍යයක් ලැබුන වගේ. ඒත් ඇගේ අතේ තියෙන්නෙ කෝටි ගානක මැණිකක් නොවෙයි. ඒත් තමුන්ගෙ උණුසුමෙ ඉන්න ඒ කිලුටු පොඩි එකාගෙ සතුට තරම් ඈට ජීවිතය දුන් ත්‍යාගයක් තවත් නැතුව ඇති.... 2012 පටන් ගන්න මේ මොහොතෙ මම දැන් නින්දට යන්නෙ ඈව සිහි කරමින්.... 




ඈව මම දුටු අයුරු !


මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->