Wednesday, April 04, 2018

[348] දුම්රියේ දුටු ආඩම්බරකාර ලස්සන නංගීට

.
මට ඉස්සරහ අසුනේ ඉන්නා                  නංගී
ගොලු වී ඉඳියි දුරකථනයෙ අසමින්             ගී
ඇගෙ මවු විය හැකි ලඳක මුව සිනහා   නැංගී
කුලුපග වුනා මා හා ඇය නොම            හැංගී


හිතවත් හදින් ඇය මා හා          හිනැහෙනවා
ආගිය තොරතුරැද ඉදහිට               පවසනවා
නංගී ගොලුවතින් හිස් බැල්මෙන්         යනවා
ගොලු දැරියක්ද ඇය ? මගෙ සිත    විමසනවා


සිඟිති සුදු මුහුණ හැඟුමෙන් තොර         වුවද
ආදරෙ හිතෙන නංගියෙකිය හිත           කිවද
මිහිපිට පියුම වන් සුකොමල මුව             විහිද
අම්මාටත් නොදෙන සිනහව මට          දෙයිද ?


දුර ඇමතුමක් නංගිට අා විගස              ඇගේ
පුලුටු සොඳුරැ මුව පිබිදිණි මලක්              වගේ
ඇගෙ මව් මුවෙන් දුක් සුසුමක් මිදෙනු   හැඟේ
පින්බර සිනහවක් ඔතරම් මිලද             නගේ ?


ලසොවින් දුරස් වන්නට කාරණ              එමට
පිරි ලෝකයට වෙර බැඳ ලද හැක          සතුට ?
මේ මිහි මතින් ඉපැදී දිලිහෙන                 මලට
පාටක් වගෙම සුවඳත් දුන්නේ               කුමට?


ලාබ හිනාවල් සුලබයි ,                        විහිලුවකි
ලෝබ හිනාවට ඇත්තේ අඩු                    තැනකි
නිරහංකාර හද සිනහව                   සිතුමිණකි
මිනිසුන් ඇඳින සුපසන් වනු නම්          යෙහෙකි


යන එන අප එක්ක සිනහා                 නොවුනාට
නංගියෙ නොවෙන් ආඩම්බර                   අම්මාට
කදුලැලි වහන් මට හසරැල්                    දුන්නාට
ඈ මෙත් වඩයි , මවු අමතක ඇගේ                දූට


2018-4-4 උඩරට මැණිකේ දුම්රියේදීය

පසු සටහන :

ඈට සමහර විට හිස රුදාවක්ද කවුද දන්නේ. වැඩ අරුණ ගමන් මහන්සියේ අම්ම එක්ක කොළඹ යන්න හිත හදන ආවද කවුද දන්නේ . ඇය ඇගේ පෙම්වතා එක්ක අමනාපෙන්ද කවුද දන්නේ .ඇය කතා කල චුට්ට කතා කලේ තනිකර ඉංගිරිසියෙන්. අම්මා තනිකර සිංහලෙන් . ඇයට සිංහල බැරි නිසා ඇය නිහඬව උන්නද කවුද දන්නේ. හැබැයි අර අම්මා වරින් වර ඇයට තට්ටු කලත් ඇය ගණන් නොගෙන කිහිප වතාවක් හිටි හැටිත් , අම්මා හරි අපහසුවෙන් මා දිහා බලන හැටිත් මම දුටු බවත් නොකියා බැහැ

වෙලාවකට හිතෙනව ජීවිතය ඇත්තටම ලස්සනද කියලත්....


Tuesday, April 03, 2018

[347] ඇත්තටම කණ්නාඩි දාගෙන උන්නේ නයි ඇන්ටිද ?

දවස ගිය සෙනසුරාදා. වෙනදට ඉන්නේ නැන්දලගේ ගෙදර , පහුවදා ක්ලාස් නිසා. ඒත් අද මම ආපහු කොළඹ එනවා. පුරුදු පරිදි කෝච්චියේ ..උඩරට මැණිකේ .. බදුල්ල - කොළඹ කෝච්චියේ ..

මම ගත්තේ වෙන්කළ ආසන වලින් ඉතුරු වෙලා තිබ්බ අන්තිමම සීට් එක.

“මිස් එහා පැත්තේ ඉන්නේ මේල් පැසෙන්ජර් කෙනෙක් , කමක් නැද්ද ?”

ආසන වෙන් කරන්න 365 කතා කලාම මට උපකාර වුන කොල්ලා එහෙම කියද්දී , මට නම් හිතුනේ , තියෙන්නේ සීට් එකක්නම් , එහා පැත්තේ සිංහයෙක් ඉඳගෙන හිටියත් කමක් නැහැ කියන්න. ( කොළඹ සිට නුවර හිටගෙන ගිය මතක ඇති නිසා)

දැන් මම දුම්රියේ ඉඳගෙන. අර කොල්ලට වැරදිලාවත්ද ? මෙන්න ලොකු සන්ග්ලාස් දෙකකුත් දාගෙන දත් සැට් එකම එළියේ දාගෙන ලොකු හිනාවකුත් එක්ක , කලිසම් කමිස ඇඳගත් ඇන්ටි කෙනෙක්. කොල්ල කොහොමද එයා කලිසම් කමිස අඳින වග දන්නේ . හරි පුදුමයි.

කොහොම හරි ඇයයි , (දැන් ටිකක් දොරෙන් යන්න බැරි ගානට විසාල වේගෙන එන ) මායි ඉඳගත්තම , කිලෝමීටර් එකසිය ගානක් නම් කිටී කිටියේ තද වෙලා යන එක ලේසි නැහැ. මොනවා කරන්නද .උන්න හැටියට මලා මදැයි !

“අනේ හොඳ වෙලාවට නේද ඔයා මෙතන ඉන්නේ, නැත්නම් මේ පොඩි සීට් එකේ කොහොමද අනේ දෙන්නෙක් ඉන්දගන්නේ “

ඇන්ටි මගේ කෙසඟ බව වර්ණනා කරනවා. මමයි දන්නේ මගේ පරිමාව වැඩි වෙන එක නවත්තගන්න කියක් දේවල් කරනවද කියලා.

“ඔයා කොහෙද ? මම නම් මේ දුවව බලන්න නුවර ආවා. එයා ප්‍රෙග්නන්ට් … “

ඔන්න ඔහොමයි ඇන්ටිගේ දිග සංවාදය පටන් ගත්තේ. දැන් එතනින් පටන් අරන් , ලෝකය සහ ලෝකයා  , ඇගේ පවුල , ඇගේ දුව , දුව බැඳපු බෑනා , බෑණා සිටින නිවස , එම නිවස තියන හත්නාන , හන්තානේ තියන ඇන්ටිගේ අනික් ඉඩම් , ඒ ඉඩම් ගාව පදිංචි එයාගේ නෑදෑයෝ ….

ඉතා දිග සර්පයෙක් මුළු මධ්‍යම පළාතම  කවර කරනවා. හිතාගත්ත හැකිනේ. තද ඔලුවේ කැක්කුමක් එක්ක පොඩි උණ ගතියකිනුත් හෙම්බිරිස්සවකිනුත් පෙළෙමින් උන්නු මට කනට මී පැණි වැටෙනවා  වගේ.

මගේ වෙලාව හොඳයි. ඇන්ටිට කෝල් එකක් ආවා. සජීවී සංවාදයට විරාමයක් දීල එයා ගුවන් කාලයට ඉඩ දුන්න පරක්කුවෙන් මම ඉයර් ෆෝන් දෙක කනේ ගහගත්තා. අම්මේ දැනෙන සනීපෙ…

ගත වුනේ ටික වෙලාවයි.

ඩොන් ඩොන් ඩොන්  ඩොඩොන් …  ඩොන් ඩොන් ඩොන්  ඩොඩොන් …

ඩොලක්කයක් ! කවුද හත්වලාමේ මහා දවල් බෙර ගහන්නේ ? මම ජනේලෙන් එලියට ඔලුව දැම්ම . අවමගුල් පෙරහැරක්ද ..ම්හු . මොකුත් නැහැ.

හත්වලාමයි ! එකම මැදිරියේ , ඉස්සරහ සීට් එකේ කොල්ලෝ රංචුවක්. බදුල්ලේ ට්‍රිප් ගිහින් වෙන්ට  ඇති.

“වෙන්වීල ගියදා පටං … මේ ලෙසින් ආයේ නො එනා ලෙසින්.. “

අපස්වරයෙන් , බෑගිරි තලමින් කරන ඉතාමත් ලයාන්විත ගායනයක් නිසා , මගේ ඔලු කුහරේ නහර ආයිත් නිවී නිවී දැල්වෙන්න ගත්ත …

…… “ ඔබට සතුටුයිද දැන් ??” සින්දුව නැගලම යනවා.   මට නම් නැගිටලා උත්තර දෙන්නත් හිතුනා.

“ඔව් ඔව් බොහොම සතුටුයි … එච්චරයි අඩු “ කියල …

උන්ට ඉස්සරහ සිට් වල ලස්සන චීන කෙල්ලෝ දෙන්නෙක් .

“අම්මප චීනේ උන් අපි ගැන මොනවා හිතනවා ඇද්ද … “

මට පොඩි නොරිස්සුමකුත් ආව. ඉයර් ෆෝන් එකේ සද්දේ කොච්චර වැඩි කලත් ඩොලක් එක ඊට උඩින් යනවා … ඒ මදිවට දාඩිය දානවා. පුංචි සීට් එකේ කොන්ද රිදෙනවා.

දැන් දැන් මැදිරියේ එක දෙන්නගේ මුණු පුළුටු වෙනවා පේනවා. ඒ අස්සෙන් මටත් මීට අවුරුදු තුන හතරකට ඉස්සර අපි  සෙට් එකක්  ඇල්ල වැල්ලවාය ට්‍රිප් එක දුම්රියෙන් ගිය එක මතක් වෙනවා. සෙනග කිටී කිටියේ හිර වුන දුම්රියේ , අපිත් ඔය වගේ සින්දු කිව්වා. ඩොලක් එක වෙනුවට මැදිරි ජනෙල් වලට ගගහා. ඒ මැදිරියේ චීන කෙල්ලෝ හිටියද කියල අපිට මතක නැහැ. ඔලුව රිදෙන , උණ ගැනුණු ඇය උන්නද කියලත් මතක නැහැ.

අප්පේ අපි දිහා බලල රට ගැන හිතා ගත්තනම් උන් අයි ලංකාව දිහාට හැරිලා බත් කන්නෙත් නැහැ. දැන් ඉතින් කණට කණක් ! විඳවපන් දිලෝ ….මෙලොවදීම පල දෙනවා කියන්නේ ඒකයි ..

ඩොලක් මල්ලිලාගේ සින්දු ටික නැගල යනවා. පොඩි රහමෙර සුගන්දයකුත් එක නිසා, මල්ලිලාගේ අපස්වරය නිකම්ම බිහිවුණු ගායන කුසලතාවක් නොවන බව පැහැදිලියි. චීනේ කෙල්ලෝ දෙන්න ඉස්සරහ අසුන් වල ගුලි වෙලා. කොල්ලෝ ටික සිංහලෙන් අරව මේවා කියනවා. උන් දෙන්න හැගීමකින් තොරව බලන් ඉන්නවා. තරහක් සතුටක් හෝ දුකක් නැතුව.  මට නම් ඉතින් මේක බලන් ඉඳල ටිකක් තරහයි. කොල්ලන්ගේ හැටි ! එහෙම හිතල මම අනික් පැත්ත හැරුනා. ඇන්ටි මගේ දිහා බලන් ඉන්නවා. අර හන්තානේ ඉඩම් ගැන නවත්තපු වැදගත් සංවාදය ආයිත් පටන් ගන්න. !!! අනේ අම්මේ ආයිත් නම බැහැ .ඇන්ටිට කලින් මම කට ඇරියා.

“බලන්නකෝ , මේ ගොල්ලෝ බෙරිහන් දෙනවා මහා දවල්. මිනිස්සුන්ට කරදරයක් කියල හිතෙන්නේ නැද්ද මන්දා. ලෙඩ්ඩු ඇති.  බබ්බු හම්බෙන්න කට්ටිය ඇති ,සමහර  උදවිය නිදි ඇති. අර චීන කෙල්ලොන්ටත් එක එක ඒවා කියනවා. උන් අපේ රට ගැන මොනවා හිතනවද දන්නේ නැහැ. ඇන්ටි අපිත් ට්‍රිප් ගියා. අපිත් ඔහොම කෑගහන කට්ටියක් . දැන් හිතෙනවා එහෙම හැසිරුණ එක හරි මදි කියලා. “

මම ඇන්ටිට කට අරින්න ඉඩක් නොදී කියවගෙන ගියා , හිතේ අමාරුව යන්නත් එක්ක.

ඇන්ටිට ලොකු හිනාවක් ගියා. හරියට පොඩි ලමයෙක්  වගේ අතින් කටවහගෙන එයා ටිකක් වෙලා හිනා වුනා.

“අනේ නැහැ අනේ , මට මේ හිනා ගියේ , මටත් ඉන්නවා කොල්ලෝ දෙන්නෙක්. දැන් නම් උන් බැඳලත් එක්ක. අනේ ඉස්සර උන් දෙන්නත් ඔය වගේ . හූ කියා කියා සින්දු කියනවා කෝච්චියේ ට්‍රිප් යද්දී . මට නම් ටිකක් ආසයි මේගොල්ලෝ සින්දු කියන හැටියට. අපිට දැන් ඔහොම කියන්න බැහැනේ.“

මටත් පොඩ්ඩක් හිනා ආවා. ඇන්ටි ගැන පොඩි පැහැදීමක් එක්ක මම ගැන පොඩි ලැජ්ජාවකුත් ඇති වුනා. ඉතින් අපේ කතාව ට්‍රිප් වලට ඇදිලා ගියා. ඇන්ටි පොඩි පොඩි නයෙක් දෙන්නෙක් මැදින් යවන ගමන් උනත් කිව්වා දේවල් මම අහගෙන උන්නා. ඇන්ටිගේ ට්‍රිප් ටික අභ්‍යවකාශ චාරිකා චැප්ටර් එකට එන්න ටිකකට කලින් ,පොඩි විරාමයක් ගන්න එක්ක ඇන්ටිට  ආයිත් කෝල් එකක් ආවා. මමත්  මෙච්චර වෙලා දිගට ඇහුන ඩොලක් ගැන හොයල බලන්න බැරි වුන නිසා කර උස්සලා ඉස්සරහ අසුන් ගැන විපරම් කළා.

මෙන්න චීන කෙල්ලෝ දෙන්න උන් එක්ක සින්දු කියනවා ! එක කෙල්ලෙක් අන්තිම අමාරුවෙන් කකුල් දෙකට හිර කරගත්තු ඩොලක් එක ගහනවා. මැදිරියේ තව හතර පස් දෙනෙක් අර කොල්ලන්ට එකතු වෙලා. කලින් රුස්සන්නේ නැති මුණක් දාගෙන හිටි පොඩි කොල්ලෙකුත් එක්කම. චීන කෙල්ලෝ එක සින්දුවයි , අපේ කොල්ලෝ සිංහල සින්දුවයි. කට්ටිය සෙල්ෆි ගන්නවා. ෆෝන් එකේ ෆොටෝ පෙන්නනවා. ඩොලක් එක මාරුවෙන් මාරුවට ගහනවා. එක යුද්දයයි. චීන කෙල්ලන්ට සිංහල කොල්ලන්ගෙන් කෙසෙල් ඇවරියක් ලැබුනා. චීන අකුරු ගහපු පාට ටොපි බෑග් එකක් සිංහල කොල්ලන්ගේ අතින් අත මාරු වෙනවා. චීන අතේ තියන චීන ෆෝන් එකෙන් විතරක් නෙමෙයි , කළු කොල්ලන්ගේ අතේ තියන චීන ෆෝන් වලිනුත් සෙල්ෆි හිටු කියලා වදිනවා. මුහුණු පොත් දිග ඇරෙනවා. අවකාශය පුරා ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් ඇදිලා යනවා.

“මම කිව්වේ , ඔය සද්දෙන් සින්දු කිව්වට , මේ ළමයි හොඳ කට්ටියක් කියලා. හරි ශෝක් නේද බලන් ඉන්න ?”

මම ඇන්ටිට හිනා වුනා.  නයි ඈතට ඈතට ඇදිල ගිහින් , සන්ග්ලාස් දෙක අස්සෙන් මම ඇන්ටිව දැක්ක.

ගම්පහ දුම්රිය පොළේ කෝච්චිය නතර වුනා. එදාම පලවෙනි වතාවට  අඳුන ගත්තු ඩොලක්කු කොල්ලෝ ටික , අර චීන කෙල්ලෝ දෙන්නයි , ලංකාවේ අලුත් යාලුවන්වයි  බදා වැළඳගෙන දුම්රියෙන් බැස ගත්තා. චීන කෙල්ලෝ දෙන්න ආයිත් ඉයර් ෆෝන් කනේ ගහ ගත්තු පිළිම දෙකක් වුනා. රාගම , මරදාන , කොළඹ කොටුව බහින අලුත් හිත මිත්‍රයෝ ටික බර කතාවල… දුම්රිය ආයිත් ගමන ඇරඹුවා.

මම තවම එතනමද  ??????

මොනවා උනත්…. කවුද කියන්නේ ලෝකය හරි සුන්දර තැනක් නෙමෙයි කියල …. ?

The world is already a beautiful place , you see it when you have the right eyes and mind

Image result for aunty in sunglasses

[346] කිටී ? දන්නෝ දනිති කිව්වලු


දවසක් මගෙ අලුත් ලිපි  ටික කියවාලා 
මූණත් පුළුටු කරගෙන දුකකුත් පාලා
ඔක්කොම ලියනවා , කොයි මම ගැන ලියලා 
කෙරුවා  කිටී  පැමිණිල්ලක් ඇවිදිල්ලා 

කවියෙන්  මොටද අපි ආදරේ පෙන්නන්නේ
ලෝකෙට දොඩන්නට මොකටද ඉඟි දෙන්නේ
කිටියා ඒත් නැහැ පැරදුම පිළිගන්නේ
පෑනක් අරන් මම ලියමන අරඹන්නේ

කොයි පැත්තෙන් පටන් ගත්තත් හිත නැවතී
අහනව  මගෙන් , ඇයි කිටියට ඔබ  කැමති ?
කැමතිද ,අකමැතිද , ඒ මොකටද නොසිතී
කිටී ඔබ සොඳුරු පැනයකි , පිළිතුරු නොමැති

මගෙමයි කියා කිසිවක් මට නොම තිබුන
මටමයි කියා ආදරයක් නොම ලැබුන
ලොවකින් මුදා මා අද සතුටින් තියන,
ලෝබයි ඔබේ ගැන ලෝකෙට පවසන්න

ඉඳහිට නෝක්කඩු කියනා බව ඇත්තයි
එනමුත් මගේ සෙනෙහස තිර බව සත්තයි
නිතරම සිහි වන්නේ ඔබ සිටිනා පැත්තයි
කිටි මට  ඔබ නැතිව ජීවිතයම තිත්තයි

සැප දුක මැදින් කුලගෙයි තුන් මස ගෙවුනා
වැඩියක් දවස් වල රන්වන් ඉර නැගුනා
ඉඳහිට වැස්සකුත් වැටුනා කළු කෙරුනා
සිරිකත අප කැදැල්ලෙහි රැඳුනා , රැඳෙනා…

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->