Tuesday, May 24, 2011

[176] ගුරු වෘත්තිය ගැන කම්පාවෙන් ලියමි,...





ස්ථානය : පාසලක් (ලොකු කිව්වට සෑහෙන්න ලොකු පහේ එකක්)
වෙලාව : උදේ 7. 30
හරියටම කිව්වොත් ස්ථානය : ඉස්කෝලෙ රැස්වීම් සාලාව
රැස්ව සිටින සෙනග : 7, 8, 9 වසර සිසුන් , විදුහල්පති, 7,8,9 පංති භාර ගුරුවරු , විනය භාර ගුරුවරු
අවස්ථාව : 7,8, 9 වසර පංති වලින් එක පංතියක මෙම වාරයේ පංති රැස්වීම
ඉදිරිපත් කරන්නන් : එම පංතියේ සිසුන්
ඔවුන්ට ලබා දී ඇති කාලවේලාව : පැය භාගයයි
ඔවුන් කිරීමට තෝරාගෙන තිබුනේ: නාට්‍යමය ජවනිකාවක්


වේදිකාව 

 
8 වසර පංති කාමරයක් වේදිකාව මත මවා තිබේ.... ඒම වසර සිසුන්ම එහි රඟපාන්නේ තම තමන්ගේම චරිතම වෙත්. ගුරුවරයාගේ චරිතයක් පංති කාමරය කරා එලැඹේ...


ලමුන්ට වගේ වගක් නැත. ඔවුන් රොකට් යවති. කෑගසති. හූ කියති. පංතියම එකම කඩි ගුලක් සේ ඇවිස්සෙමින් ගුරුවරයාගේ රතු කට්ට පැන්නීමේ සංවිධිත ක්‍රියාදාමයක් ගෙන යති... කොල්ලන්ටත් කෙල්ලන්ටත් ගුරුවරයා ගැන වගේ වගක් නැත.


ප්‍රේක්ෂකාගාරය :

7,8,9 වසර සිසුන් ප්‍රීතියෙන් ඉපිල ගොස් ඇත. වරින් වර අත්පොලසන් වැදේ. ඔවුන්ගේ සුපුරුදු දිනපතා හැසිරීම මොවුන් වේදිකාව මත රඟනු දකින එක හාස්‍යයක් ලෙස දරුවන්ට හැඟේ. ගුරුවරු මුහුණට මුහුණ බලා සිටිති.


වේදිකාව 




පාසලේ සිටින , පරණ , ඉගැන්වීම අතින් ඉතා හොඳ බවට නම් දැරූ, විනය ඉතා තදින් රකින තරුණ පිරිමි ගුරුව‍රයකු , එම පංතියේ එක් දක්ෂ සිසුවකු විසින් අනුකරණය කරනු ලැබෙනු පෙනේ.


ගුරුවරයා උගුර කට පාදා එකම වචනය 5 වතාවක් පමන පවසමින් පාඩම ආරම්භ කරනට සැරසෙයි. ඔහු හෙම්බත් වී ඇති සේය. ලමුන් එය වලකති. කෑගසති. අනවශ්‍ය ප්‍රශ්න අසමින් පාඩමට බාධා කරති.


ප්‍රේක්ෂකාගාරය 

අත්පොලසන්...... සිනාසීම්..... ලමුන් මේ අනුකාරක ගුරුවරයා හඳුනා ගැනීමෙන් උද්දාමයට පත් වෙති.... ගුරුවරුන් මුහුණට මුහුණ බලමින් නිහඬ වෙති...


වේදිකාව 

(මේ අවසන් ජවනිකාවයි) පංතියේ දෑනටටම්ත් අජූව හැසිරීම , කිසිවෙකුට ගරු කරන්නට නොදන්නාකම නිසා අමනයෙකු සේ හැදෙන , පංතියේ බාධා කිරීම් වලදී මුල් තැන ගන්නා සිසුවා විභාගය ෆේල් වෙයි. හොඳ ලමයා විභාගය සමත් වෙයි.


ප්‍රේක්ෂකාගාරය

නාට්‍යයේ රසවත්ම හාස්‍යජනකම ජවනිකා ටික අවසන් බැවින්, ලමුන්ට මේ නාට්‍යය දැන් ඉවර වෙන වෙලාව පමණක් ප්‍රශ්නයක් වී ඇත.... බෙල් එක ගසන්නේ කොයි වෙලේදැයි මග බලමින් ඔවුන් යන්ට සැරසෙති. තවත් අත්පොලසන් දෙන්නට දෙයක් නැත. ගුරුවරුන්, ලමුන් ඉදිරියේම වේදිකාවක් මත ගුරුකම උපහාසයට ලක් වීමෙන් දරුවන්ගේ මුහුන බලන්නට අපහසුවෙන් ඇඹරෙති...


**** නාට්‍යය අවසානයි **** සියල්ලෝ කෙසේ වෙතත් දරුවෝ සතුටෙන් විසිර යති..*** නාට්‍යයේ රඟපෑ පිරිස වීරයන් වී සිටිති... ඈයි ඉතින්.. එතරම්ම නිර්භීතකමක් !!!!!!



මගේ සටහන (කණගාටුවෙන් ලියමි ......  )

මේ නාට්‍යය අවසානයේ 

ලමුන් ඉගෙන ගත් දෑ ; 

ගුරුවරයකු පංතියේ සිටිද්දී තිබිය යුතු හැසිරීම් ක්‍රම , කෑගෑසිය යුතු ආකාරය, ගුරුවරයා සාර්ථකව තරහ ගස්සන්නේ කෙසේද යන්න, ගුරුවරයෙකුට උපහාස කිරීමේ වැදගත්කම, පංතියේ අන්තිම අමන හැසිරීම පෙන්වීමෙන් තමා කොතරම් ජනප්‍රිය වනවාද යන වග , එය තමන්ට වේදිකාවක එසේ රඟ දක්වා පෙන්වීමටද යම් දාක අවස්ථාවක් ලැබීමට මෙහි ඉඩ ලැබිය හැකි වග. (සාර්ථකත්වය සහ හැසිරීම අතර තිබෙන අනුලෝම සම්බන්ධය වටහා ගත් අයෙක් එහි වීදැයි මට සැක සහිතය!!!)


ගුරුවරුන් ඉගෙන ගත් දෑ ;

අදින් පසු මේ රැස්වීම බලා සිටි අනෙකුත් සිසු සිසුවියන්ද මෙසේ තමා පන්තියේ සිටියදී හැසිරුනහොත් තමා පුදුම නොවිය යුතු වග , විදුහල්පතිවරයා , පංති භාර ගුරුවරයා මේවා වේදිකාවකට ගෙනවිත් , අත්පොලසන් ගස්වා සාමාන්‍ය දේවල් කරන බව දැන සිටිය යුතු බව...


පසු සටහන :

නාට්‍යයේ සමස්ත හරය ගත් කල , එහි ගැබ්ව ඇත්තේ යහපත් අරමුණක් බව මා පිලිගනිමි. එය එසේ ග්‍රහණය කරගන්න තරම් ලමුන් බුද්ධිමත් විය හැකි බවද මා පිලිගනිමි...  
එයට අත්පොලසන් දෙන, සිනහසෙන කුඩා මනස සහ ඇස ඒවා සාමාන්‍ය සිද්ධි කොට ගැනීම සහ නිරායාසයෙන්ම ඊට යොමු වීම සිදු වේදැයි සිතෙන හෙයින්ම මෙය ලීවෙමි... අරමුණු කොට ගත් දක්ෂ , කාර්‍ය ශූර , විනය රකින හොඳ ගුරුවරයකු අනුකරණය කොට අපහාස කිරීම නම් කිසි සේත්ම පිලිගත නොහැකිය....


මේ පංති රැස්වීම හොර රහසේ ළමුන් විසින්ම සංවිධානය කොට හිටි හැටියේම ඉදිරිපත් කළ එකක්ද එසේත් නැතිනම් කාගේ හෝ අනුමැතියකින් පසුව ඉදිරිපත් කරන ලද්දක්ද යන වග සොයා බලන ලදී.... පංති භාර ගුරුවරිය මීට ඉහත දිනයක මුලු නාට්‍යයම නැරඹීමෙන් පසුව මීට අනුමැතිය දී තිබේ... එහි ලොකුම හාස්‍යය නම් එම ගුරුවරිය අවුරුදු 60ක් පමණ වයසැති , ඉතා අත්දැකීම් බහුල මෙම පාසලේ විනය භාර ගුරුවරියන් තිදෙනාගෙන් එක් අයෙකු වීමය!!! එහි තවත් සිනහා යන අත්දැකීම නම් , මේ ගුරුවරිය ලමුන්ගේ කොණ්ඩය කප්පවන්නට , ඉස්සරහට වැටුනු රැලි වලට කටු ගස්සවන්නට , කොට සායවල් දික් කරවන්නට ලමුන්ට පන්න පන්නා උපදෙස් දෙන තලස්තෑනි මාතාවක වීමය !!!!!


ගුරු කමෙහි ගරුත්වයට නොගැලපෙන මෙවන් අමන හැසිරීම් වේදිකාගත කිරීමක් කරවන්නට තරම් , ගුරුවරයකුට අපහාස කරවන්නට තරම්, 8 වසර ඇම්බැට්ටයින් රැලකට ඉඩ දෙන , එපමණකින් නොනැවතී එයට අත්පොලසන් දෙව්වන්නට  උත්සුක වන , ඒවා ආදර්ශයට ගන්නට උඩ ගෙඩි දෙන, අමනෝඥයින් පිරුනු මෙවන් අපරික්ෂාකාරී ආයතන, නිසි අධිකාරියක් යටතට ගෙන , ඉස් ඉස්සෙල්ලාම උපාධියකින් පමණක් ගුරු වෘත්තියට ලේසියෙන් පැනගත් මිනිස්සුන් ගැහැනුන්ට වෘත්තිමය පුහුණුව ලබා දෙන්නටත් , මෙවන් ආයතන ලමුන් තනනවාද නසනවාදැයි නිරන්තර අධීක්ෂණය කරන්නටත් , නීති පනවන්නටත් කාලය එලැඹ ඇතැයි මම මහත් වේදනාවෙන් සිහිපත් කරමින් මේ ලිපිය අවසන් කරමි...


එක්කෝ... මට වැරදිලාවත්ද ? නිදහස් අධ්‍යාපනය කියන්නෙ (මම නොදැන උන්නට) මේකටද දන්නෙ නැහැ.... 

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->