Thursday, July 29, 2010

[92] ගුරුවරු සහ ගුරු දෙවි වරු!


ගුරු කම ගැන ලියන්න තරම් මම එහි කෙල පැමිණියෙක්වත් අත්දැකීම් සමුදායක් තිබෙන අයෙක්වත් නම් නෙමෙයි තවම. ඒත් පුංචි හිත් වලට එබී බලමින් ටික කලක් උන්නු කෙනෙක් හැටියට සටහනක් ලියන්න තරම් ප්‍රමාණවත් සිද්දි ටිකක් හිතේ පෙල ගැහී ඉන්නව.

මේ රට ඇතුලේ ගුරු වෘත්තියට ආ යුතු සරලතම සහ පහසුතම මග ඔස්සේමයි මාත් මීට අවතීර්ණ උනේ. උපාධියට පින් සිද්ද වෙන්න, රස්සාවක් හොයා ගන්න තිබ්බ උවමනාව, තදියම නිසා. ඇත්ත තමයි ඒක. ඊට මම ආවෙත් ඒ මොහොතේ උපාධිය සම්පූර්ණ නොකර ඉගෙනගනිමින් උන් මට, අනාගත රස්සා අවදානම අවම කර ගන්න,  යා හැකි හොඳම රක්සාව  එය නිසා. මට මොහොතකටවත් ඕනේ උනේ නෑ ගුරුවරියක් වෙන්න. උගන්නන්න. ඒත් වෙන එකක් හම්බ වෙනකන් කියල ‍රැඳුනා මේ රස්සාවෙ මුලදි. ඔන්න ඔහොමයි ආගමනය උනේ. 

කල් යන්න යන්න , විවිධ පරාස වල ලමයින් හමු වෙන්න වෙන්න, එක් එක් වයස් වල ලමයින් සමග අදහස් බෙදා ගන්න ගන්න, මටම දැනෙන්න ගත්තා මම මේ වටපිටාවට, මේ සේවයට ආදරය කරන බව.  කල් යද්දි, කතාවට හුරු වෙද්දි, ඒ මනස් සමග ගනුදෙනු කරද්දි මට මොකක්දෝ සුන්දරත්වයක් පේන්න ගත්ත. මිතුරු හැඟීමක්, සැනසිලිදායක මනසක්, වැඩක් කරනව පමණක්ම නොවී ජීවිතය බෙදා හදා ගන්නා වගේ හැඟීමක් හිතට එන්න ගත්ත මේ කරන දේවල් වලින්. ඒ නිසාම වෙන්න ඇති මම පතපු බොහෝ දුර යා හැකි ‍රැකියාවකටත් පයින් ගහල ආයෙමත් ආවෙ මේ රස්සාවේ ආසාවට ඉන්න බැරිව...ඔහොම ගිහින් ඉතින් බොලේ අද මම ගුරු සේවයෙම නතර වෙලා. (අනේ හැබැයි එකක් කියන්නම්, මම මල් ඔසරිය අරං , පොත් මිටිය තුරුලු කරං කොන්ඩයක් බැඳන් ඉස්කෝලෙ යන කෙනෙක් නම් නෙමෙයි... ඇත්ත කියන්න එපැයි.. නැත්නම් එහෙම හිතා ගන්න ඔබට අසාධාරණයක් වෙනව... මම ෆුල් නෝර්මල් කිටක් ගහගෙන , තොරතුරු තාක්සනේ උගන්නන, සංකර ඉස්කෝලෙකට උගන්නන්න යන ටීචර් කෙනෙක්) මම මොන වගේ උනත් ගුරු සේවය කියන්නේ එකම සේවයක්.. මට අද ලියන්න හිතුනේ ඒ ගැන...

 පන්තියට ගිහින් කලු ලෑල්ලක සටහන් ලියල පාඩමක් කියා දෙන්න ඕනේම කෙනෙකුට බැරි බව ඇත්ත. පාඩමක් කියා දෙන්න ඇහැකි අධ්‍යාපන සුදුසුකම් තියන ඕනේම කෙනෙකු ගුරුවරියක් වෙන එක පිලිගත හැකිද? මම මේ මගේ මාලු මගේ ඇඟේම තියන් කපන්නේ... කාරි නෑ.

ගුරුවරයෙක් දැනුමින් පිරිපුන් වෙන්න ඕනේ.උගත් වෙන්න ඕනේ..  විෂය දැන ගන්න ඕනේ... ඒක ඇත්ත.. ඒත් ඒ ඇතිද ? නෑ මදි මදි... 

වෙලාවට නිර්දේශය ඉවර කරන්න, පොත් බලන්න , සටහන් දෙන්න, ලමයි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න, ලමයින්ව  'පාලනය' කර ගන්න... ඒවත් ඕනැනෙ... එත් ඒ ඇතිද ? 'මදි'

දරුවෙකුගේ ජීවිතයට පරමාදර්ශ සපයන්න හැකි වෙන්නෙ දෙමාපියන්ට සහ ගුරුවරුන්ට. ඒ පරමාදර්ශී ගුරුවරයෙකුට පුලුවන් යාලුවන්ගෙන් පරාමදර්ශ නොසොයන නියම පෞරුෂයක් හදන්න දරුවෙක් තුල. ඒ පරමාදර්ශ ගැන මම සරලව කතාවට බහින්නම්...

හදවතින්ම ආදරය දෙන්න ... කරුණාව නෙමෙයි.. ආදරය දෙන්න...
දරුවෙකුට දෙයක් හිසට ඔබන්න හැකි එකම මන්තරය තමයි ආදරය. මේ මම නම් තදින්ම අදහන දෙයක්. සෙනෙහසින් කියන ඕනෙම දෙයක් ඕන දඟයෙක් අහනව. රවා බලනවට, සැර වැර කරනවට මේ පොඩිහිටියෝ කැමති නෑ. ලොකු සිසුවන් ගැන නම් කියන්න තියෙන්නෙ , අනිත් යාලුවො ඉස්සරහ විහිලුවක්වත් කරනවට එයාල කැමති නෑ. දඬුවමකින් හදන්න බැරි දරදඬු ලමෙක්ව මෙල්ල කරගන්න පුලුවන් පූස් පැටියෙක් තරමටම, ආදරේ පෙන්නීමෙන්...  'ආදරනීය ගුරුතුමනි'හි බ්‍රෙත්වේට් ගුරුතුමා නොසන්ඩාලයින් ‍රැලක් යැයි හංවඩු ගැසූ කොලු කෙලි ‍රැලක් මෙල්ල කලේ වන කිසිවකින් නෙමෙයි.. ආදරයෙන්...!

සිනහ වෙන්න... හදවතින්ම
සිනහවෙන ගුරුවරුන්ට දරුවො ආසයි. ඒ ගුරුවරුන්ගේ විෂයන්ට තමයි ඕනෙම දරුවෙක් ප්‍රියතම විෂයන් කියන්නේ. කියන්නත් පුදුමයි, ඒ ගුරුවරුන්ගේ විෂයන්ට තමයි ඒ දරුවො වැඩිපුරම දස්කම් දක්වන්නෙත්.. දරුවන්ට දැනෙන්න ආදරේ කරන රහස තියෙන්නෙ ගුරුවරු ගාව. එකිනෙකාගෙ ඇස් දිහා බලල කතා කරනවට, ලඟට ගිහින් කතා කරනවට, ආදරය දයාව පෙන්වනවට, මේ පුංචි හිත් හරිම ආසයි. සිනහ නොවෙන ගුරුවරුන්ට හරිම අමාරුයි ලමුන් පාලනය කර ගන්න...රවා බලද්දි, බය කරද්දි, සැර කරද්දි  ලමුන් එක් අවස්ථාවකදි මෙල්ල වෙනව. ඒත් ඒ බයෙන් ගැහෙන හිතක , අප කියා දෙන පාඩමක් පැලපදියම් වේවිද? 

පොඩි උන්ගේ ආත්ම ගෞරවය රකින්න...
මේ පොඩිහිටියන්ට මහ අමුතු මාන්නයක් තියනව. හැමෝම වගේ එයාලත් ආස නෑ එයාලට අපහාස කරනවට. එතකොට වැ‍රැද්දක් පහදන්නෙ කොහොමද ? පෞද්ගලිකව ඇමතීම තමයි මට නම් අත්දැකීමෙන් පෙනිච්ච හොඳම ක්‍රමය. එයාලව පංතිය ඉස්සරහ අපහසුතාවයට පත් කරන්න මොහොතකට පෙර හිතන්න එයාලගෙ පෞරුෂය ඔබ සහමුලින්ම සිඳ දානව වෙන්න පුලුවන්.. බලාගෙනයි!

උන්ට නිදහස දෙන්න...
ය කරල නිශ්ශබ්දව බිරන්තට්‍ටු වෙලා බලා ඉන්න ලමයි ‍රැලකට උගන්නවට වඩා හොඳ නැද්ද කොයි වෙලෙත් අත් උස්සගෙන ප්‍රශ්න අහන , හිනා වෙන, කතා කරන සක්‍රිය හිස් ගෙඩි ටිකක් එක්ක සංවාදයේ යෙදෙන එක? ඔයාල අහවි 'එතකොට මුන්ට මුකුත් උගන්නන්න බැහැනේ' කියල. නෑ පුලුවන්.. ගුරුවරයෙකු අතින් පාලිත විනයකට වඩා හෙමි හෙමි ක්‍රම ක්‍රමයෙන් තම තමුන් ගොඩ නගන පාලිත නිදහස හොඳ නැද්ද?  පුලුවන්.. මෙය කරන්න පුලුවන්.. උන්ගේ නිදහසේ ලියලන සිතුවිලි වලට ඉරි ගහල කො‍ටු කරල අනාගත කලාකරුවන්, දාර්ශනිකයින්, ගයකයින්, විද්‍යාඥයින්,වෙදැදුරන් උපන් ගෙයි මරා දාන්න එපා. උන් බැඳිල නෑ අපි කියන දේ අහන්න. අපි බැඳිල ඉන්නව උන්ට ඕනේ ලෝකෙට පාර පෙන්නන්න..'හරි පුදුම ඉස්කෝලෙ' ඉන්න කොබයාශි ගුරුතුමා ඒ දඟකාරිගෙ ටොට්ටෝ චං ගේ අනාගතය කවම කවදාවත් වෙනස් කරන්න හැදුවෙ නෑ....විනාඩි 40ක් නැත්නම් 50ක් අමාරුවෙන් අපි කියන දේ අහන් ඉඳලා මුලු අනාගතයම අඳුරට ඇදගන්න පරපුරක් තැනීමේ පාපකර්මයට අපිට වන්දි ගෙවන්න හැකි වේවිද??

 පාඩම විතරක් නෙමෙයි, ජීවිතේ කියා දෙන්න...
පාඩම ඉගෙන ගන්නෙ මොලයක්.. පොඩි මොලයක්. මේ පොඩි මොලේ හිස් ඉඩකඩ අංශු දාස් ගානක් තියනව ආදරේ කරන ගුරුවරයෙකුගෙ මුවින් පිටවෙන ජීවන අදර්ශ හිසට ඔබා ගන්න බලාගෙන ඉන්න.... ඒ වටින කියන පිවිතුරු සෛල ටික හිස් හිදැස් තියල උන්ව පංතියෙන් එලියට යවන්න එපා. යාලු වෙස් ගත් පාප මිත්‍රයො මනස්ගාත වලින් පුරවන්න කලින්, ඒව ජීවිතේ ගැන ලස්සන සිතුවිලි වලින්, දැක්මකින් පුරවල සමාජෙට යවන්න.

හරි හත‍රැස් කො‍ටු අස්සෙන් නැතුව ජීවිතේට එබෙන්න කියා දෙන්න..
අපි දකින , උන් නොදකින ලෝකයට එබෙන්න උන්ට අයිතියක් තියනව. ඒ ලෝකෙ පෙන්නන්න අපිට යුතුකමක් වගකීමක් තියනව. උන්ගේ ගෙවල් දොරවල් අස්සෙ තියන, කියා ගන්න තේරෙන්නෙ නැති, කියන්න බැරි, දාහකුත් එකක් හැල හැප්පිලි කියා ගන්න බැරිවෙනකොට චන්ඩියො බිහි වෙනව අහිංසක හිත් අස්සෙන්. ඒ වලක්වන්න හැකි මන්ත්‍රයත් ගුරුවරයෙකුගේ සෙනෙහස, ආදරය, ලෙංගතුකම. ඒ ආදරේට පුලුවන් චන්ඩි හිතක බෝ පැලයක් පැලකරන්න. ඒ වගේ හිතකින් පුලුවන් ගිනි ගන්න අම්මෙක් තාත්තෙක්ව නිවන්න. හැම දේකම තුන් පැත්තක් තිබෙන්න හැකි බව උන්ට කියා දෙන්න. අපිට පෙනෙන පැත්ත, උන්ට පෙනෙන පැත්ත හා හරි පැත්ත.


දඬුවමකට වඩා නිවැරදි වීමේ අගය කියා දෙන්න
වරදකට දෙන දඬුවම අනුව තීරනය වෙන්නේ එක දෙයයි. උන් කොච්චර මුරන්ඩු වෙනවද කියන එක. උන් කොච්චර නිවැරදි වෙනවද කියන එක නෙමෙයි. නිවැරදි වීමේ වටිනාකම පෙන්වන්න. නිවැරදි වුවොත් ලැබෙන ආදරය , ප්‍රශංසාව , පිලිගැනීම පෙන්වන්න. උදාහරන දෙන්න. මගේ ජීවිතයේ උදාහරන දෙකක් තියෙනවා, උන්ගේ අගය පෙන්නීමෙන් ලෝකයට ආදරය කිරීමේ අගය පෙන්නිමෙන් අද ඉතා හොඳ දරුවන් බවට පත් වී සිටින. ඒ අංක 2 මට මහමෙරක් තරම් වටිනව.

 මේ හැම දේකටමත් වඩා ගුරුවරු අපි අතින් මගෑරෙන දෙයක් තියනව. ඒ දේ තමයි උන්ගේ අනාගතය!

උන්ව විස්වාස කරන්න.. හදවතින්ම විස්වාස කරන්න....
උන් අපේ පැතුම් නොබිඳින බව විස්වාස කරන්න. ඒ බව කියන්න.පුන පුනා කියන්න.... මේ දරුවන්ට කිසිම විටෙක දැනෙන්න දෙන්න එපා අපිට එයාලගේ අනාගතය ගැන සැක සහිත බව... හැම විටම එයාල සතු අපරිමිත මොලය ගැන වටහල දෙන්න. එයාල ඇතුලේ විස්මය ජනක හැකියාවන් හැංගිල තියන බව අදහන්න. හදවතින්ම අදහන්න. උන් ආසා දේ දිහා පරීක්ෂාවෙන් බලා ඉන්න. ඒ හැකියා හඳුනා ගන්න. ඒවා මොට කරන්න නම් එපා. අසා දේට ඉඩ දී ඒවාට උසි ගන්වන්න. බැරි දෑ බලෙන් පටවනන් එපා. අකැමති දේවලින් දුර්වල වෙද්දි උන්ගේ මුලු පෞරුෂයම බිඳින්න එපා. එහෙම කලොත් , අනාගතයේ රටට වැඩැති අසාමන්‍ය මොලයක් ඔබ අබ්බගාත කර දානව වෙනන් පුලුවන්. එයාලගේ හැකියාවට ගරු කරන්න. හදවතින්ම අගය කරන්න. එයාලට මහා පරිමාණ අරමුණු දෙන්න. ඒ අරමුණු අනිවාර්‍යයෙන්ම ඔවුන් ඉ‍ටු කොට පෙන්වාවි.. 

එයාලගේ දුර්වලකම් පෙන්වනවට වඩා වටින දේ තමයි එයාලගේ වටිනාකම් පෙන්වල දෙන එක. එයයි මම දකින උසස්ම මෙහෙවර.

බලං ගියහම හිතනවට වඩා වගකීම බරපතලයි නේද?  අමතක කරන්න එපා... අහිංසකයින් ගොඩ දෙනෙක් යන දිශාව තීරණය කරන්නෙ අපි! ලේසි නෑ...  





ගුරුවරයෙක් වෙන්න පතන්න එපා. ගුරු දෙවියෙක් වෙන්න පතන්න... එතකොට මේ ලෝකය තැනෙන හැටි දිහා බලාගෙන අපිට සැනසුම් සුසුමක් හෙලන්න පුලුවන් වේවි!

[91] හිස් කම ගැන...



මුකුත්ම දෙයක්
හිතන්න හිතෙන්නෙ නැති කොට
හිතෙන්නෙම
හිතන්න
අකැමතිම දේවල් නොවැ..

එපා කිව්වට
අහන්නේ නැතුව
ඔන්න ඔහෙ
හිතන්න දුන්න..

කැමැත්ත
අකමැත්ත
පැත්තක තියල
හිත
මෙන්න
ඒ පාර
අඬන්න තියා ගත්ත!

කාරණ නොදැන
අඬන එකත්
හරි
වදයක්
හැබෑට!

මද්දහනේ හිතට ආ විප්‍රකාර සිතුවිල්ලක්...!

Monday, July 26, 2010

[90] ජීවිතේ කලා අසපුවක් කෙරූ.. සොඳුරී..!!



~''~
දෙතොල් තෙලිතුඩින්
රස හැඟුම් තවරලා
කොපුල් තල දිගේ
හෙමින් අතුරලා
මගෙ ලයට තුරුලු වී
හිතේ ඉඩ අරන්
පෙම් සිතුවමක් මැවූ
සුපෙම් සිත්තරී

නුවන් කැල්මකින්
නුරා වරණ දී
ජීවිතේ කලා
අසපුවක් කෙරූ
සොඳුරී

රෑ දවසේ නොමැකී
ලා සඳ සේ සැප දී
රෑ මියෙනා මොහොතේ
ආයේ හිරු සේ ඇවිදින්

නුවන් කැල්මකින්
නුරා වරණ දී
ජීවිතේ කලා
අසපුවක් කෙරූ
සොඳුරී

පාලු යහන් පෙරදා
සෝ සුසුමන් පලවා
මා යනෙනා කොතැනේ
හුස්මක් සේ ඇවිදින්

නුවන් කැල්මකින්
නුරා වරණ දී
ජීවිතේ කලා
අසපුවක් කෙරූ
සොඳුරී
~''~



අද ලියන්න යන්නේ ගීතයට කතාවක් නෙමෙයි. ගීතයේ සුන්දරත්වය ගැනයි. මේ ගීය මගේ සවන වැකුනේ අහම්බයෙන්. ඒත්සොයා සොයා ගොස් අවසන හම්බ උනා.ගීයේ ගලා යන බට ලී නාදයකට මුසු ලයාන්විත ස්වරය පන පොවන සුරේන්ද්‍ර පෙරේරා ගීයට මහත් සාධාරණයක් ඉ‍ටු කර තිබෙනවා.මේ ගීය ලිව්වේ කවුරුදැයි මා දන්නේ නෑ.(හැකිනම් සොයා දෙන්න)

සිප ගැනීම කියන්නේ හුදෙක් වචනයක් නොවී දෙතොල් නමැති පින්සලෙන් මුහුණ පුරා සිතුවමක් අඳින උපමාවේ ‍රැඳුනු ලාලිත්‍යය , හැඟීමක ප්‍රකෝපකාරී බව නොව කලාත්මක බව විදහා පාන බවයි මට හිතුනේ. ලයට තුරුලු වෙද්දී ඉඩ හසර මැවෙන්නේ හදවතක. ඒ කියන්නේ ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රේමයක සෙවනැල්ලක්. මෙහිදී කවියා ප්‍රේමය යනු සිතුවමකැයි කියනවා.. මට මා ලියූ අකීකරු කවිය සිහිවෙනව. ආදරය කරන්නිය සිත්තරියක් සේ ඉවසිලිවන්ත ,සෞන්දර්යය සමග ජීවත් වන්නියක් නම් , ඒ ආදරය කවියක් මෙන් කලාත්මක බවයි දැනෙන්නේ. ඇස් දෙකින් එබෙන බැල්මේ ‍රැ‍ඳෙන නුරාව ඒ ආදරනීය හදවත් දෙක නතර කරන්නේ කලා අසපුවක..

ලා සඳක් සේ සෞම්‍ය වූ සෙනෙහස , ඒ ඔස්සේ ගොඩ නැගෙන හිරු කිරණක් සේ අති ප්‍රබල ආදරය බැඳීම, ව්‍යංගයෙන් ගී පද තුල අර්ථ ගන්වන දේ හරිම සුන්දරයි.

මා මේ  ගීයේ ආසම පද පෙල අවසන් කොටසයි. ආදරයේ උපරිමම ඵලය විඳින ප්‍රේමනීය යුවලක් ගැන කියන මේ සුන්දර ගීයේ අවසන් පද දෙක තුල සැබෑ සෙනෙහසේ සියලු ගුණ එකට කැටිව තිබේ යැයි මට හිතෙනවා. 


"මා යනෙනා කොතැනේ, හුස්මක් සේ ඇවිදින්..." 
හුස්ම කියන්නේ මොන වගේ දෙයක්ද? ජීවත් වෙන්න හුස්ම වැටෙන්න උවමනයි. ඒත් ජීවිතයේ සියලු දේ නතර කොට එක් තැනක නතරව අපි හුස්ම ගන්නේ නෑ නේද හිතා මතාම? නෑ. හුස්ම නිරායාසයෙන් වැටෙනවා නේද ? අපට හුස්ම ගත්තා කියා මහන්සි නෑ.. හුස්ම අපට නොදැනී අපට නොරිදී ඉහල පහල වැටෙනවා. විටෙක හුස්ම හිර වෙනවා, එවිට අප නතරව ටිකක් හයියෙන් හුස්ම ගන්නවා. දුවද්දී හුස්ම වේගෙන් ගන්න ඕනා වෙනව. ඒත් වෙහෙස නිවෙද්දී එය ආයෙමත් ජීවිතයේ කොටසක් වෙනවා. හුස්මෙන් පෙනහලු පිරෙද්දි සිරුර බරක් ගන්නෙ නෑ. ඇත්තටම බරක් නෑ. අප යන යන තැන හුස්මත් අප සමග යනවා, එනවා, අපේ සිතුවිලිත් සමග පවා බද්ධ වෙමින් සියලු දේ උපේක්ෂාවෙන් අසමින් බලමින් විඳිමින් කල් ගෙවනවා.  ආදරයත් ඒ වගේ යැයි මට හිතුනා. හුස්ම යනු අපේ ජීවිතයේ පැවැත්ම.. එය ආශිර්වාදයක්.. සැබෑ ආදරයත් ඒ වගේ..

මගේ ජීවිතේ ආදරය පිලිබඳ නිර්වචනය 'ආදරය හෙවත් මගේ හුස්ම' .. ඒ නිර්වචනය මා සොරා ගත්තේ මේ ගීය ඇසීමෙන්...

මේ ගීය ගොඩක් තුඩ තුඩ ‍රැඳුනු එකක් නොවන නිසා මේ ගීය බා ගන්න නම් තැනක් පෙන්වුවොත් හොඳා කියා හිතුනා.

Sunday, July 25, 2010

[89] මේ අරුතදෝ ආදරේ?.....



 ~''~
හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා
ඇ‍ඳෙන්නෙ ජීවිතේ කතාවදෝ
හෙලන්න බැරිව ලත වෙනා සුසුම් සදා
කියන්නෙ ජීවිතේ මුලාවදෝ

තරු ඇසක් ඇරෙයි උදා ගිරේ
බිම් මලක් මුවින් හිනා නැගේ
තරු ඇසේ කතා මියේද
බිම්මලේ හිනා මැකේද
මේ වෙනසදෝ ආදරේ?

සඳ ‍රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ
හිරු ඇවිත් එ'මල් දවාවි
ඒ දුකත් වසංව යාවි
මේ අරුතදෝ ආදරේ?
~''~


මේ ගී තනුවේ තුල තිබූ ලයාන්විත චමත්කාරය නිසා මුලින්ම කිහිප වතාවක් අසන්නට පෙලඹුනු නමුත් පසුව එහි වදන් අරුත අපූරු පැතිකඩකින් පෙනෙන්නට උනා. මේ ගීයේ සැබෑ අරුත කුමක්දැයි මට වැටහුනු අයුරකින් ලියන්නට සිත් උනා. (ඇත්තටම මේ වචන අස්සේ මම ලියන්නේ කෙනෙකුගේ ජීවිත කතාවක්)

කඳුලු බිඳු කීපයක් හීනියට නලියන ඒ ඇස් වල මොකක්දෝ වෙහෙසක් පෙනෙනව. ඒ ඇස් දිලිසෙන්නෙ ආදරේටද , දුකටද , සතුටටද කියල හොයන්න බැරි තරම් ඒ ඇස් බොහෝ දෑ පසු කර ආ බව තමයි ලෝකයේ බොහෝ දෙනා නොදු‍ටු ඇත්ත. ඒ හැඬුම්බර ඇස් වලින් කියන්නේ, පුංචි කාලයකදී ඉතා දිගු ජීවිත කතාවක් ‍රැස් කල හෙම්බත් ආත්මයක්!. ඒක මට පෙනෙනව. ඒ අහිංසක මුහුණ සුසුම් හෙලනු සොයන්නත් අපහසුයි. ඒ තරම් සිනාබර කෙලිලොල් විනෝදබර ආත්මයක් ඒ.. ඒ මුහුණේ හැඬුම්බර කතාව, කාටත් නොදැනෙන්න එක ඇසිල්ලක හෙලන හීනි සුසුම පෙනෙන්නෙ හිස් වාතලයට පමණමයි. මුලාවෙන් වැසී ගිය නේක විධ සිදුවීම් කියන්නේ සුසුමෙන් පිට කරනු නොහැකි හිතටම ගුලි වුන දුකයි...

ඉර ‍රැස් වැටෙද්දී පිපෙන බිම්මලක් වගේ ඒ මුහුණ හස නගනව ආදරයේ උණුසුමට. ලෝකයට ඇහෙන්න හිනහ වෙනව. ඒත් තරු ඇසේ උණුහුමට නැලැවුන බිම්මල මුකුලිත වෙද්දි, බිම්මලේ හිනාවත් හොරා අරං තරු ඇස මියෑදෙද්දි කාට නම් කියන්නද? කෙසේ නවතන්නද ?. ඒත් මියැදෙන්නෙ බිම්මලේ ආත්මය කියල ඒ ඉර මොහොතකටවත් දැන උන්නනම්..

සුනිල දිය මත සඳ කිණිති වැටෙද්දි , ප්‍රභාමත් වී අවදි වෙන කුමුදු මල්, පෙති විදා සිනහ වෙනව. ඒත් ඒ සුයාමය කොතරම් කෙටිද ? කොතරම් පුංචි මොහොතක් පමණක්ද? ඒ තාවකාලික බව නොදැන කුමුදු මල් කිණිති කිරි දහරක් මෙන් පෙරෙන සඳ ‍රැස් සිප ගනිමින් උදාරම් ඇස් වලින් අහස බලනව. ලෝකයට අරුණ උදා වී ලෝකය අවදි වී ඇස් අරිද්දී කුමුදු මල් හඬා වැටෙමින් සුනිල් දියේ මුකුලිතව සැඟවෙනව... එමින්, යමින්, හස දෙමින්, කඳුලු උනමින්, මැකී ඇ‍ඳෙමින්, ලියලන ආදරයේ තාවකාලික බව හිතේ වසං කරගෙන ඒ හැඬුම් බර ඇස් ජීවිතේ කතාව ලියනව... කාටවත් නොපෙනෙන , කාගෙවත් ඇස් මානයට හසු නොවෙන අඳුරු ගුප්ත හදවතක ගැඹුරුතම පතුලක...

ඒ ඇස් අදත් කෙලිලොල් හඬින් සුරතල් වෙනව. හස නගනව. සොඳුරු ඇස් තවමත් දිලිසෙනව. ඒත් ඒ ඇස් දන්නෙ නැහැ ඒ තාවකාලික ජීවිතේ ආදර කතාන්තරය ඇගේ ඇස් අස්සෙ සිතුවම් වී තිබෙන බව.. ඈ සැඟව උන්නාවේ.. ඈ තුලම... සඳ එබෙද්දී පමණක් හෙමි හෙමින් හිනහ උනාවේ.

මේ : මට හිතුන හැටියි...

ගායනය: එඩ්වඩ් ජයකොඩි

Saturday, July 24, 2010

[88] අත් බැඳීමෙන්.. මේ විඳීමෙන්..ආදරේ මා නිවාලයි




~''~
සඳ හැංගිලා මා තුරුල්ලේ
සිත නැංගුරම් ලා
දුක හංගලා

නිල් නුවන් නෙත් කැ‍රැල්ලේ
පෙම් සිනා කැණ් නංවලා
කවලම් වෙලා

ආදරේ මා නිවාලයි..
ආදරේ මා නිවාලයි

පුලුලුකුලු මල් අනන්තේ
මල් පිපී ලැම වසන්තේ
සුවඳ මල් රොන් සිඹීමෙන්
ලඟ හිඳීමෙන්
මා නිවෙනවා
සිත සැනසුමින්
මේ උණුසුමින්
ආදරේ මා  නිවා ලයි....

සඳ කැන් සළුව ඇ
න්දේ
මදු මල් සිඹින්නද නින්දේ
සුපසන් මේ බැඳීමෙන්
සන්සිඳීමෙන්
මා නිවෙනවා..මා නිවෙනවා
අත් බැඳීමෙන්
මේ විඳීමෙන්
ආදරේ මා නිවාලයි...
~''~
ආදරේ කියන්නේ ඇවිලෙන ගින්නක් නොවී සිත නිවා සනහන නිසංසල සිතුවිල්ලක් නම් කොතරම් අගනේද? ජීවිතේ හැල හැප්පීම් නැතුවා නොවෙයි.ඒත් හැලහැප්පෙන කැලතෙන ජීවිත අන්දරය එක් මොහොතකට දමනය වී නිශ්චල කල හැකි මන්ත්‍රයක් වන් ආදරයක් අපට හිමි නම් කොතරම් වාසනාවක්ද?

ආදරය යනු බරක් නොවෙයි. එය මහමෙරක් නොවෙයි. වගකීම් කියා මහා අමුතු නොසංසුන්කමක් හිත තුල රුවා අප ජීවත් වන්නේ නම් එතැන ආදරය තිබේදැයි සැකයි. කල යුතු දෑ , නොකල යුතු දෑ කියන ලැයිස්තුවත්, කරන නොකරන දෑ කැමති අකැමති දැ කියන ලැයිස්තුවත් එකම එකක් නම්, එතැන බරක් කොහිද? එකිනෙකාට අනෙකා වෙනුවෙන් දොස් නගන්නට චෝදනා කරන්නට අවලාද කියන්නට එයින් පටං ගෙන රන්ඩු සරුවල් වෙන්නට නෝක්කඩු මුහුනින් කල් ගෙවන්නට වෙන තැන ආදරයක් කොහිද? අවබෝධයක් කොහිද?

ආදරය කියන්නේ නිරායාසයෙන් සහ අනායාසයෙන් සිදු වෙන කැප කිරීමක්(සමාවෙන්න- කැපවීමක්). මට හිතෙන්නේ එහෙමයි. එහි කිසියම්ම දෙයක් ආයාසයෙන් සිදුවේනම් එය ස්වභාවිකව ගලා යන ආදර අන්දරයක් සෑබෑ ආලයක් විය හැකිද?

කම්කටොලු විනිර්මුක්ත ජීවිතයක් නෙමෙයි. දුක් සුසුම් නො එන ජීවිතයක් නෙමෙයි. වේදනා නොදැන්න කල්පිතයක් නෙමෙයි. බිය සැක සංකා නො එන සුරඟන කතාවක් නොවෙයි.. මේ හැමෙකක්ම සමසිතින් ගෙන , ඉන් සෙනෙහසට පෙමට හානි කර නොගන්න,  අත් බැඳීම මේ අත්‍යන්ත සෙනෙහසයි. මේ හැමෙකක්ම සෙනෙහසින් විසඳාගෙන මේ යුග යුග ආ අත්බැඳීම සෙනෙහසින් ‍රැකගන්නා හපන්කමයි ආදරය. සැබෑ සෙනෙහසින් මේ දුක් කම්කටොලු නිවී යයි. ලෝකයක් එරෙහිව නැගී ඉන්නා විට මේ බැඳීම සිහිපත් කොට නිවෙන්නට දමනය වෙන්නට හැකිනම්.. ඒ සැබෑ ආදරයයි. සැබෑ ආදරයේ අරුතයි...

අත්‍යන්ත සෙනෙහස තුල සිත නිවෙයි. සිතේ දුක පහව ගොස් ආරාමයක් පන්සලක් දු‍ටුවා සේ සිත් සැනසීමට පත්වේ. නිහඬ වේ.. ආදරය ජනිත වන හදවත ගිනි නොගනී.. එයින්ම ජීවිතයේ විඩාව නිවෙයි. ඒ උණුසුම තුල සිත ගිනියම් නොවෙයි, සීතලව වැතිර උන් ප්‍රාණය උණුසුමින් සැනසීමට ලං වෙයි.. මේ සැබෑ ආලයේ සංසිඳීමයි. සෑබෑ සෙනෙහසේ නිවීමයි. බැලමකිනුදු සිත නොවෙහෙසන නිවීමයි.. සෑබැ සෙනෙහසයි..

ආදරය සිහිවන මොහොතක් පාසා සිත තුල ආඩම්බරයක් ජනිත වෙයි.. වාසනාවන්ත හැඟීමකින් සිත පිරී යයි. දැකුමකින් පහන් වන සිත නොදැකුමෙන් අසහනයෙන් ගිලී කිඳී නොයයි.. හුස්මක් සේ ආත්මය නිරායාසයෙන්ම ජීවත් කරවමින්, කුරුලු පිහා‍ටුවක් සේ  වසාගෙන නිදැල්ලේ මේ සුපසන් ආදරය පාව යයි... ඒ සැබෑ ආදරයයි...


මේ.. මේ සුන්දර ගීය ගැන මට හිතුනු හැටි පමණක් නොවෙයි.. ආදරය ගැන මා සිතන හැටියි... 
ගයන්නේ : අමිල පෙරේරා

"ස්තූතියි" .. ආදරය කියා දුන්නාට....

Friday, July 23, 2010

[87] හිමි නොවනා බව දැනුනත්, වෙන්වීමක් නොමැතී...


සංසාර පුරුද්දද මේ
මේ හමුවීමේ අරුමේ
හිමි නොවනා බව දැනුනත්
වෙන්වීමක් නොමැතී

සතු‍ටු සයුරකී ආදරේ
මියුරු රහසකි ආදරේ
හිමි නොවනා බව දැනුනත්
වෙන්වීමක් නොමැතී

තුන් හිතකින් වත් නොසිතූ
එක බැල්මෙන් පැතුම් පැතූ
දෛවය පෙන්වූ පරිදි
හමුවීම අහම්බයකී

හිමි නොවනා බව දැනුනත්
වෙන්වීමක් නොමැතී
සතු‍ටු සයුරකී ආදරේ
මියුරු රහසකි ආදරේ

සංසාර පුරුද්දද මේ?

ඔව් සංසාර පුරුද්ද නම් තමයි... නැත්නම් ඒ ඇස් එච්චර හුරු පුරුදු වෙන්නෙ කොහොමද? ඒ හිනහවට වසඟ වෙලා දෙන්නට දෙන්නා හොර හොරෙන් ඇසිපිය නොහෙලා බලන් ඉන්නෙ කොහොමද? ඒ ඇස් හමු වෙනකොට තෙත් වෙලා දිලිසෙන්නෙ ඇයි?

අත් නොහැර ඒ අත් තව තවත් අල්ලාගන්නම හිතෙන්නෙ ඇයි? පපුතුරට ලං වී ඒ හද ගැස්ම අහන්න, එසේ ඉන්න හිතෙන්නේ ඇයි? ඇස් වලින් කතා කරමින් පැය ගානක් ආදරේ එහාටත් මෙහාටත් පියාඹන්නෙ කොහොමද?

සංසාරේ අපි කොහේ හරි තැනෙක ලං වී ආදරෙන් ඉන්න ඇති. ඒ මතක හිතේ තු
රුල් වී මේ භවයෙදි අවදි වෙන්න ඇති.. 

ඒත් ඒත්... ? හිමි නොවෙනා බව දැනුනත්... මේ හිතින් බැ‍ඳෙන හුයෙන් මිදීමක් ඇත්ද?
හිත කෑ ගහන්නෙම 'නෑ' කියලමයි... 


අහම්බයෙන් හමු වී, සංසාර පුරුද්දට බැඳී, පෙර භවයේ මෙන්ම විරසකව,

නාඳුනන්නන් සේ අද වෙන් වී හිඳිනෙමු...

පසු වදන..
මේ.. මේ අපූරු ගීය ගැන මට හිතුන හැටියි... මේ ගීය තිබෙන්නේ ටෙලිනාට්‍යයක. 



ටෙලිනාට්‍යය: සිහින වසන්තයක්
ගයන්නේ : අමල් පෙරේරා

Thursday, July 22, 2010

මා මිය යන බව පවසා, මා බලන්න එවන්න ....


කඳුලු දෙන්න මට හඬන්න
සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න
සක්වල ගල සසල වන්න

හිත උපන්න ආලවන්ත
ඒ රුව කෝ මට කියන්න
මගෙ තනියට මා පමණයි
ඇය එවන්න මා බලන්න

ලිහිණියනේ පියාඹන්න
ඈ ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා
ඈ එවන්න මා බලන්න


හිතේ උනන ආල වේගය , විරහ වේදනාව තුල ඇති අරුම නිසාවෙන් හුස්මක් ගන්නටවත් බැරිව ගොස් යැයි මට හිතේ. බැලු බැලු අත ඒ මුහුණය. දින සති ගනන් සංඛ්‍යාලේඛන අතරේ සැරිසරන හිත වරින් වර ගැස්සෙන්නේ ආල හිත සිහිපත් වීමෙන්. කල කී දෑ... මතක මානයෙන් ඔබ්බට නොයේ..  කෑ ගසා හඬන්නට බැරි තරම් හිත හෙම්බත්ව සිටී. හැර ගිය ඒ මතකය රිදුම් දෙයි. මා තනිව ඇතැයි සිතේ. විටෙක් මා මියෙන බව කියා තර්ජනය කර ආලය යලි දිනා ගන්නට හිතුවක්කාර හිත බල කරයි...

මා හැර ගිය ඒ හිත... ඒ හිත... ඒ හිත... කොහිද? ඇස් මානයේ පෙනී නොපෙනී හිඳී ... වරෙක ඈත් වේ.. වරෙක ඇස් අබියස දසුනට ඇමිණ එයි.. වරෙක මතක ඇවිස්සී සිත තිගස්වයි... වරෙක විදිලියක් සේ සිත පුරා දිව යයි... විරහව මා විඳවන තරමටම ඒ ආල හිතට නොදැනෙන්නේ මන්ද? අතීතය එතරම් ඉක්මනින් උගුල්ලා දැම්මේ කෙලෙසද? මා මියෙන්නේ නම් යෙහෙකි.. එවිට ඒ ගල් හිත මට නොපෙනේ.. නොදැනේ. ඒ හිත මා කරා නො එයි... අහස ගොලුය.. අහස දෙස බලා ඉන්නා සඳ පායන්නට ඉඩ හසරක් නැතිව වැතිර ඉඳී.. පණ අදී... අමාවකක් ආ සඳ , සඳත් සමග විරසක වී සඳට දඬුවම් නොව සදහට බ්‍රහ්මදන්ඩය පැනවූ ගල් හිතකට , ලිහිණියකු ගෙනයන දූත පණිවිඩය ඇසේවිද?

අතීතය යනු මහ දුරක නොවෙයි. මතකය සියවසක වූ දෑ නොවෙයි. සිදුවීම් හුදෙක් සිද්ධීන් නොවේ... ඒවා සොඳුරු තිගැස්මක පැටලී මෙතරම් වද දෙන්නේ ඇයි.. ? අත් හැරී ගිය කවියට අකුරු මදිව ඇත.. එලිසමයක් නොරඳන කවියක් අමුණනු මිස,ගෙත්තමක් සේ ඒ කවිය නොගෙතෙයි.  නිරායාසයෙන් අකුරුත් වචනත් මුතුහරක් මෙන් ගෙතී ගිය යුගයද සොරකම් කොට ගෙන හිත උපන්න ආලවන්ත රුව සැඟව ගොසින්... මගේ හුස්මත් ‍රැගෙන ආලවන්ත රුව ගිය අත ලිහිණියනේ සොයා යන්න !

මේ .. මේ ගීය පිලිබඳව මට හැඟුන කතාවයි....

Tuesday, July 20, 2010

ජීවිතය අකුරු කල ජයසේන ජයකොඩි නම් අපූරු මිනිසා...

 
ලංකාවේ ගත් කතුවරු අතරේ ඔහුට වඩා හරබර ලේඛකයන් ඉන්නට ඇත. ඉන්නවාද ඇත. එහෙත් බුදුසමය , නවකතාව සහ නිර්මාණශීලිත්වය එතරම්ම සුමට ලෙස එකට කැටි කල අසහාය මිනිසෙකු මා තවත් දැක නැත. ජයසේන ජයකොඩි නම් ඒ අපූර්ව මිනිසා අපෙන් සමුගෙන ගොස්ය! ඔහු මිහිපිට නිවන පසක් කල බව නිසැකය. ඔහු ලියූ අමිල අද්විතීය ග්‍රන්ථ ඊට දෙස් දෙයි. එහෙයින් කිසිවක් ඔහු වෙනුවෙන් මට පතන්නට ඉතිරිව නැත.


ජීවිතයේ රස සුවඳ කැටි කල අපූරු බස් වහරක් ඔහු සතු විය. පය ගසා සිටින පොලවේ පස් උඩ නිරායාසයෙන් පැලවෙන ලදලු ඇති පැලෑටි කීපයක් සේ ඔහු ගොඩ නගන කතාන්තරයක චරිත අපේ හිත් තුල අපටත් හොරා වැඩෙන්නට ගනී. රාහුල හාමුදුරුවන් තුල ඇති නොසැලෙන බෝසත් ලක්ෂණ , ඒ වටා භ්‍රමණය වූ කමලාවතී, සිඤ්ඤප්පු, යසපාල, දයාපාල, උපේඛා තෙරණිය, සුමේධා තුල ජීවත් වූ පුහුදුන් මිනිසුන් අපේ හදවත් අරක් ගති. කොටින්ම මා ගැන කියනවා නම්, මම ඒ නවකතා මාලාව තුල ජීවත් වූයෙමි. එයින් ජීවිතය උගත්තෙමි. පුහුදුන් මිනිස් ගති වලට සමාව දෙන්නට මා උගත්තේ ඔහු ලියූ රාහුල හාමුදුරුවන් ඇසුරු කොට ගත් කර ගත් පොත් පෙලිනි.මම එය නිසැක කොට කියමි.


ප‍ටු , අතාත්වික දාර්ශනික ලෝකයක සිරව සිටි මම ඉන් මිදී පුහුදුන් සිත් සහිත මිනිස් සතුන් දෙස දයාවෙන් බලන්නට ඔහු නිසා උගත්තෙමි.ගොලු  දයාපාල උපේකා තෙරණියට අතවර කල මොහොතේ රාහුල තෙරණුවෝ ඔහුව ගස් බැඳ පොලිසි ගෙන නොගොස් දයා කරුණාවෙන් ඔහුව හික්මවූ සේක. දැහැමියෙකු කල සේක.(පිච්චමල පොත් පෙලෙහි 4 වැන්න - උපේකා) මෛත්‍රියට මෙලොව කල නොහැකි දෙයක් නැති බව මම උදක්ම අදහනුයේ ඔහු ලියූ මෙ කතාන්තර වලට පින් සිදු වන්නටය. එය අදටත් මා තුල දහමක්ව ඇත.




ඔහු තුල ජීවත් වූයේ ගත් කතුවරයකුගෙන් ඔබ්බට ගිය ජීවිතය දිනූ මිනිසෙක් බව මම කියමි. නො එසේව එතරම්ම සජීවිව ජීවිතය කැටි කොට යලිදු අකුරු කරන්නට ඔහුට නොහැකි බව මාගේ විස්වාසයයි. ඔහු සතුව අපූර්ව ව්‍යංගයක් ඇත. ලියවෙන එක් එක් දෙබසක් පාසා ඒ ව්‍යංගය අපට කියා දෙන්නේ අතිශය ගැඹුරු සංකල්පයකි.


ඔහුගේ රාහුල හාමුදුරුවන් ගැන ලියූ නවකතා 8 හි , රාහුල තෙරුණුවන් යනු පන්සලේ වූ පිච්ච පඳුර විය. ඒ පිච්ච පඳුර ඇසුරෙන් ඔහු තෙර නමකගේ නොසැලෙන අකම්පිත ලෝකෝත්තර ගුණය නිරතුරුව විදහා දැක්වූ අපූරුව විඳින්නට නම් ඔබ ඒ කියවිය යුතුමය.


රාහුල හාමුදුරුවන් ඇසුරු කොටගත් නවකතා 8 ( හැකිනම් සොයාගෙන කියවන්න)
1. පිච්චමල
2.අරලියමල් ආරාමය
3. මහමෙර
4.උපේකා
5. පින්කෙත
6. සිල් සුවඳ
7. සුදු නෙලුම
8. තෙර තරණය
ඔබට ජීවිතය උගත හැක ....... ජීවත් වන්නට, පුහුදුන් සිත් ඉවසන්නට උගන්නා අතරතුර එක හුස්මට කියවන්නට හැකි නවකතා 8 කින් ඔබ බුදු දහමද නොදැනුවත්වම උගනී....


අමාවැස්ස, ගෝතම ගීතය, අනඳ හිමි, මහ මිහිඳු හිමි, යසෝදාව, සත් සයුර, ගිහි ගෙදර, නුරා ගින්න යනාදී මේ පොත් පෙලෙහි ඇත්තේ බුදුසමය ඇසුරු කොටගත් සිදුවීම ප්‍රතිනිර්මාණය කිරීමකි. එහිදී චිත්ත රූප මවන සුලු අයුරින්, කතා රසය උද්දීපනය කරන ඔහු, ඉන් බුදු දහමට හෝ ඒ චරිත වලට කිසිදු හානියක් නොකරන්නටද වග බලා ගත්තෙහිය.


මනුස්සාත්ම, අඹුදරුවෝ, රෝස ක‍ටු යනාදී කෘතීන් තුලින් මේ පුහුදුන් සමාජය වර්තමානයෙහිද අකුරු මත නිර්මාණය කරන ඔහු එකම පරාසයක නමුදු විවිධ පැතිකඩ ඔස්සේ කියවන්නට වැඩැති දෑ බිහි කරන්නට යුහුසුලු විය.


ගත් කතුවරයානෙනි, ඔබ හැර ගිය පසු මේ ඔබ උදෙසා ගයන ගුණ ගැයුමක්  නොවේ. ඔබ වන් සොඳුරු මිනිසෙකු මියෙන්නට පෙර ජීවිතයේ බොහෝ දේ පසක් කර සිටින්නට ඇත යන්නට ඔබ ලියූ දෑම දෙස් දෙයි. එනිසා අමුතුවෙන් ගයන්නට දෙයක් නැත. ඒත් ඔබ ලියූ දෑ තව දහස්  දෙනෙකුටවත් කියවන්නට පාර කියන්නට මට අවැසිය. ජීවිත රසය සොය සොයා නොතිත් පිපාසයෙන් හරවත් දෑ ගවේශණය කරන දස දහස් දෙනෙකුටවත් දකින්නට  මේ පොත් පත් ගැන ලියා තබන්නට මට අවැසිය.


බෝසත් චරිතය නානාප්‍රකාර වෙසින් කුඩා කල පටන් උගත් මා හට ඒ අප්‍රමාණ භක්තිය ශ්‍රද්ධාව ජනිත වූයේ 'අමා වැස්ස' තුලින් පමණකි.රති ගින්නෙන් පැලැහෙමින් වියරු වැටී දිව යන මිනිස් වග දෙස දයා කරුනා තෙත් වූ දෑසින් බලන්නට මා උගත්තේ "නුරා ගින්න" තුලිනි. රූපය නිසා මාන්නයෙන් උඩඟුව ජීවිතයම අඳුරේ හෙලා ගත් මාගන්ධිය ගැන මට අදද චිත්ත රූප මැවිය හැකි තරම් 'ගෝතම ගීතය' මා සිත වසඟ කර ගත්තේය.




ලිඛිත බස් වහර තුල සාර්ථක වූ ලේඛකයන් කී දෙනෙක් සිටී දැයි මම නොදනිමි. බුදු සමය ඇසුරු කොටගත් චරිත කතා සජීවිව ලියන කී දෙනෙකු සිටී දැයි මම නොදනිමි. චිත්ත රූප මවන සුලු , අතිශය සිත් බඳින වහරකින් ව්‍යක්ත සිංහලය මනා සේ හසුරුවමින්, බුදු සමය වර්තමානය උදෙසා නවකතාවක් කොට ඉන් පාඨක හදවත ඇද බැඳ ගත් මා දන්නා එකම ලේඛකයා ජයසේන ජයකොඩි පමණි.


ගත් කතුවරයාණෙනි, ඔබ අමරණීය නැත.මන්ද ඔබ අත්හැරීම හුරු කල අයකු බව නිසැක නිසාය. ඒත්  ඔබ ලියූ දෑ සදාතනිකය. ජීවිතය සුමට ලෙස අකුරු කල ඔබ වැන්නෙකු ලියූ දෑ ඇඟිල්ලෙන් ඇන පෙන්වන්නට මට අවැසිය. ඒ කරා තව සිත් දහසක්වත් ගෙනයන්නට මට අවැසිය. ඔබ වෙනුවෙන් මා කරන එකම පැතුම එයයි. ඔබ ඔබේ අරමුණ කරා ගොස් ඇති බව නිසැකය. නො එසේනම් ඊට අවැසි කුසල මහිමය මම පතමි. හැකිතාක් ඔබ ලියූ දෑ අනුනට දකින්නට මම පාර කියමි...


මගේ ප්‍රියතම ලේඛකයාණෙනි... ඔබේ ප්‍රාර්ථනා සඵල වනු උදෙසා මම මේ පින් අනුමෝදන් කරමි...

Friday, July 16, 2010

උන් වැ‍රැදි නැත !! "මා" සෙවීමේ මෙහෙයුම!

ලෝකයම නිදි ගත් මේ අලුයම මම ඇහැරගෙන සිටිමි... එකදු හීන් හඬකුදු නොනැගෙන හාත්පසින් ඒ නිහඬතාවය බි‍ඳෙන්නේ ඇහැරුන කුරුල්ලෙකුගෙන් හෝ රෑසි නාදයකින් පමණි. මම ඒ නිහඬතාවය යැයි සිතූ හඬට කන් දෙමි.. ලෝකය නිදි යැයි සිතූ මුත් සැබැවින්ම රාත්‍රි ලෝකයක් ඇහැරගෙන සිටින්නා නොවේද ? මඳක් ඇස් පියා ගත් විට මට ගවුවක් පමණ එහායින් උමතුවෙන් අඬා බහින මහවැලි නදියේ හෝ හඬත්, එකිනෙකින් වෙන්ව ගත් රෑසි නාද සමූහයත් , එයින් අතරින් පතර බුරා හැලෙන සත්ව සංහතියක අඬහැරයත් ඇසෙන්නට ගනී....

 ලෝකය නතර නොවීය.. ඊට කන් නොදුන් මා සිත දුව යද්දී ලෝකය තුල නැගෙන අඬහැරය මට නො ඇසී ගියා නොවේද ? නතර වී හුස්මක් ගන්නට මම මේ අලුයම් නිහඬතාවයට ලංවෙමි... එහි නිහඬ බවක් මා දු‍ටුවේ මා සිත තුල නැගුන ගෝසාව ඉක්මවිය හැකි බවක් සොබා දහමට නොවූ හෙයිනි.. මා නතර වන විට මට නිහඬතාවය යැයි මා සිතූ සිතුවිල්ලේ ගෝසාව හෙමි හෙමින් නැග එනු දැනේ... මට වටහා ගත නොහැකිය...

ඉව පාරේ යමින් මස් ක‍ටුවක් සොයන සුනඛ පෝතකයකු මෙන් , මම අරුත සොයමි - ජීවිතය සොයමි....(උපමාව සොඳුරු නැත.. සමා වන්න ) ඉව වැරදී මග හසර අමතකව ගිය  මංමුලා වූවක අයුරින් , යලි හැරෙමි.. අඩ හැරුමකින්, යලිත් ඉව වැටේ.. ඉව පාර මේ යැයි වෙනතක යමි... තවද වැ‍රැදේ.. යලිදු හැරෙමි.. ආපසු නොව.. වෙනතක... ! මකුලු හුයෙක එක් කොනෙකින් ඇ‍රැඹි ජංජාලයක අතරමං වූ සේ උඩටත් පහලටත් උතුරටත් දකුණටත් මුලටත් මැදටත් යමින් එමින් මම 'මා සොයමි' ... එහෙත් එක ‍රැහැනකින් තව ‍රැහැනකට එයින් තවෙකකට ගියද කොහිත් ඇත්තේ මා සෙවුව අරුතදැයි නොදැන මම මංමුලාව පසු වෙමි...

ගතවන හැම තත්පරයක් පාසා මා සිටින්නේ අතීතයට එබීගෙන දැයි මම අසමි..මගෙන්ම අසමි! එහෙත් මම පිලිතුරු නොදකිමි... මට උත්තර නැත... අහෝ මේ අලුයම මා මේ කියන්නේ මොනවාද ?

මගේ ජීවිතය විලක් වැනිය.. එහි එක් පසෙක බොර දිය නැගෙන විට , කොලු කුරු‍ටුවන් ගල් ගසා ඉවුරු බිඳ එය බොර කරන විට, අනෙක් ඉවුර නිසංසලේ නැලැවිල්ලේ සිනහසෙයි. මේ එකම විලමදැයි දහසක් අය අසති ! උන් වැ‍රැදි නැත ! එක් කොනෙක පිපි පියුම් හැලී, තඹර ගිලිහෙන විට , පැලෑටි අක්මුල් සි‍ඳෙන විට අනෙක් ඉවුරුබඳ සමන් පිච්ච මල් කිණිති විල් දියට නැමී හාත්පස සුවඳවත් කරන හැටි.මේ එකම විලමදැයි දහසක් අය අසති ! උන් වැ‍රැදි නැත ! ඒ විලේ එක් ගැඹුරුම පතුලක රුවන් මුතු පබලු දියට කැලැතී පිරිමැදෙන විට නොගැඹුරු ඉවුරු අසබඩ හෝහපු‍ටුවන් වසුරු පිඩකට රොද බඳිනුද මේ විල් දියම ඉවසා සිටියි...මේ එකම විලමදැයි දහසක් අය අසති ! උන් වැ‍රැදි නැත !!

රාත්‍රිය මා සොයා එයි... දහවල පුරාවට විඩා බර වී , තරු ඇසට පිටදී දාහය නිහඬවම දරා උන් විල් තලය සිය කැලැඹුමින් මිදී නිසංසල වෙයි...  සඳ කිනිති එබෙන විට කුමුදු මල් කොහිදැයි එක එක සොයමින් විල් දිය හෙමින් කැලැත්තී එ'මල් එක එක ඇහැරවයි.. මේ සුයාමයයි.. නිහඬ ලෝකය, නිදි ගත් ලෝකය- එකදු මොහොතකටවත් ඇස නාරින විසකුරු ලෝකය, නිදන යාමයයි.. ඒ සොඳුරුතම යාමය නම්- නිහඬතාවය ඇස් අරිමින් , රාත්‍රිය තුල සිත මඳකට නතර වන යාමයයි.. ඒ යාමය සිතූ තරම්ම නිහඬ නැති යැයි සිතේ...

ලෝකය ඇහැරෙන්නට පෙර මේ ගෝසාව පිරුනු රාත්‍රිය මම දකිමි.. විදුලි පහන් වසා දමා මම අඳුරට එබෙමි.. ගන නිල් ආලෝකය තුලින් අන්දකාරය මට පැහැදිලි වෙයි.. ගන්ධබ්බයින් කරක් ගසන හිස් අහසට ඇස් තියුණු කරමින් මම එබෙමි... එයින් හඬක් නැග එයි.. ගුම් හුම් හෝ හඬක් එයි.. ඒ අස්සෙන් කොහේදෝ වැටෙන වතුරක්, රෑසි හඬ දාස් ගණනක් හෝ ගා නැග එයි.. මම ඊට බිය වෙමි... යලිත් හිතට දුවන්නැයි කියමි... නතර නොවන්නැයි කියමි.. බලා නොහිඳ යන්නැයි කියමි.. යලිත් යමි.. ඉව පාරේ යමි... ඒත් ,.. මම තවමත්   "මා සොයමි "

මේ අලුයම් නිහඬතාවයට මා පමණක් නොව, මා නතර වී බලා ඉන්නා දකින සොබාදහමද බියව ඇති සේය .. මේ දැන් වැස්සක් වැටෙන්නට විය! නිහඬතාවය වැස්ස විසින්ද වැස්ස නිහඬතාවය විසින්ද අත්පත් කොට ගෙන සිටී... මගේ හිත මට මතක් වෙයි....

ලිව්වේ - අලුයම 1.36 ට

Wednesday, July 14, 2010

හිතුවක්කාර ලදැරී...


හීනයක් වී
මල් වැස්සක් වැටෙද්දී
ඒ දැනෙන සිහිලෙන්
නහනු තෙමෙනු රිසි වෙමි...


ඇසිල්ලක් නිදි බි‍ඳෙයි
හුරතල් ලදැරී සිතින්
ගෙමිදුලට පැන
සීනෙන් මම තෙමෙමි..
මල් වැස්සට නහමි...


ඇල් දියෙන් තෙමී
ගිලන් නොවනු'යි කියා
තරව‍ටු හඬක් නැග එයි...
හිතුවක්කාර ලදැරී
තවමත් මල් වැස්සේ තෙමෙයි....


ගොම්මනක් ගෙවෙන විට
වට වැහි කෝඩයක
පොකුරු වැස්සක අරුම කොහි ?
අන්ධකාරය මුදයි සීනය !


සීනයෙන් අවදිව
මම ඇස හැර බලමි...
අන්ධකාරය මිස..
කිසිවක්ම නොදකිමි...


ඇස නොපෙනෙද?
හාත්පස අඳුරුද?
කුමක්ද සැබැව?
අනේ මම නොදනිමි...

ප.ලි.
මේ අතීතයයි... වර්මානය නොවෙයි.. අඳුර තව දුරටත් කොහිදැයි මා නොදන්නා නොවෙයි.. ආලෝකය ඇත... අපමණ ඇත.. එය නොදැන මම අඳුරෙහිම විසිමි.. තවද එහි නොහිඳිමි.. වර්තාමනය කවියකි.. එහි නිවන ඇත...

Monday, July 12, 2010

මගේ හිත කොහිදැයි, මමම දැන් සොයනෙමි...


ජීවිතයෙන් බිඳක්
අතැඟිල්ලෙහි හොවා ගෙන
හැඬිමි එහි අරුත
කියා දෙන්නැයි කියා
ගොලු අහසට...
අහස ගොලු බව දැන දැන...

ගොලු අහසින්
පිලිතුරක් නැති තැන
හැඬිමි එක ඉඟියක්
එක බැලමක් නොලද තැන..
එය සඳ අල්ලන
තැතක් බව දැන දැන....

මිහිදුමකින් වට කොට
හිරිකඩක් සියොලඟ එතෙන විට
නොරිස්සුම් බැල්මක් ගෙන
පලවා පියනු
නෙක දෑ කලෙමි..

නොපසුබහින වීරිය
දිනනු මිස නොපරදින සිත
එකම දේ ඉල්ලමින
එකම පැතුමට නතු වුන...
ආදරය මේ යයි..
නොනැවතී කියමින...
අනේ ඉතින්
ඉඩක් ගත්තා නොවෙද හිත අස..?

හිතුවක්කාර ‍රැඟුමට
නො‍රැවටී තතු දැන..
රිදුම් නොසිතා  නොපසුබැස
හිතා ගන්නට බැරි...
මේ සුලඟ ...
මා වටකොටම දැව‍ටුන... !

කවියක් ලියනු බිය වෙමි...
මොහොතක් නතරව
සිනහසෙනු බිය වෙමි..
එහෙත් මම සිනහ වෙමි..

සුලං ‍රැල්ලෙන් නැලවෙන
හදවත ...
සුලං අතටම යාවුන...
මගේ හිත කොහිදැයි
මමම දැන් සොයනෙමි...

මෙලෙක් වී වැගිරුන
ගල් හිතට අමතන
සුලං ගුමු හඬ අසමින
ඇසිල්ලක් නැලවුන
මේ හිත...
අනේ බලන් මේ අරුම...
සුලඟටම සින්නකොට
සිනහ වෙන අරුම...
බිය ලා පසෙක ...

මුලු හදවතම සුලඟට
උරුම කියනට
ඉඩ හසර පෑ
අරුම ! මේ අරුම!



Sunday, July 11, 2010

ගල් හිත...! (අතීතයෙන් ආ කවි 14)


දොඩමලු වන
හිනහ වෙන
ඔය හඬ නැගෙන
ගල් හදවතට
යාර ගනනක්
එපිට

වැලපෙන
රිදුන
කුහුඹු හදවත !

බලා හිඳින බව
නොදැනෙන..

අදහන් එය!
දැන් වත් ඉතින්
මේ
කුහුඹු හිත..
අදහන් එය!

ගල් හිත!


පසු සටහන:
මේ "අතීතයයි" .. අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා.
වර්තමානය - එය කවියක් වගෙයි.... එය හීනයකට වඩා මා ජීවත් කරවයි..

Friday, July 09, 2010

ඒ දුක හරීම සීතලයි.. (අතීතයෙන් ආ කවි 13)



මල හැරදා
යන්නැයි
කී මලට
අමනාප නොවෙමි..
මම.....

අමනාප නොවී
කඳුලු විතරක්
අරගෙන
යලිත්
මුහුදටම යමි
මම......

හිරිකඩෙන් වට
ගොඩබිමෙත්
හීතලම ‍රැඳි
සයුරෙහිත්
කොහිත් ඇත්තේ
දුකයි...
ඒ දුක
හරීම
සීතලයි....
මේ මගේ
ගතු නොකියන
දුකම කියන
හිත වගෙයි...



පසු සටහන:
මේ "අතීතයයි" .. අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා.
වර්තමානය - එය කවියක් වගෙයි.... එය හීනයකට වඩා මා ජීවත් කරවයි..

Tuesday, July 06, 2010

ඉන්දියන් මාන්නක්කාර කෙල්ල....



ඔන්න අද ජීවිතේ මල් ගොඩ දවසකට පස්සෙ කතාවක් ලියනව. ඔයාලට මතක ඇති මම අර කොරියන් දඟකාරය ගැන කිව්ව. මතකද ? නැත්නම් බලන්නකෝ මෙතැනින්..


කොරියන් දඟකාරයගේ අලුත්ම තත්වය.
මේ පාරත් වාර විබාගෙට අනූ ගනන්. කොල්ල දැන් හොඳම හොඳයි. එයාට ආදරේ පෙන්නුවම කියන්න බැරි තරම් ආචාරශීලියි. හැබැයි මේ සුබදායි තත්වයට පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනේ ඒ පංති භාර ගුරුවරීට. දඬුවම් නොකර ආදරයෙන් මෙල්ල කල නිසා මේ චණ්ඩියා අපූරු හුරතලෙක් උනා. දැන් හැමෝටම ආදරෙයි තවම දඟයි යාලුවොත් එක්ක. ඒත් ගුරුවරු හැමෝටම ගොඩක් ගරුත්වයෙන් ආදරයෙන් සලකනව. ආයෙත් මේ දඟයා නපුරු ලමෙක් වෙන්නේ නෑ. මේ වතාවෙ දෙමාපියන් හමුවෙදි මම එයාගේ තාත්තට කිව්ව එයාගේ දරුව කොච්චර හොඳද දක්ශද කියල. තාත්තා පුදුමාකාර ස්තූතිපූර්වක හැන්ඟීමෙන් බලං උන්න සතුටින්. අනේ තව දස දහස් දෙමාපිය ඇස් වල මට ඒ සතුට දකින්න ලැබේවා.


අද උදේ... අලුත් කතාවක් කියන්න අවස්ථාවක් ආවා..


ඉන්දියන් දැරියක්. ඉන්නේ 8 වසරේ.. ඉතාම ධනවත්. අති දක්ශයි. ඒත්... ඒත්.... හදවත කිලු‍ටුයි.... කා නිසාද ? දෙමාපියන්ගේ ආකල්ප නිසා.
" මේ ගුරුවරු ජීවත් වෙන්නේ අපේ පඩියෙන්"
"ලංකාවෙ පහසුකම් එන්ගලන්තේ තරම් හොඳ නෑ"(මේ දැරිවි තව දින කිහිපයකින් පාසලෙන් සමු අරං එන්ගලන්තෙට යනවා ඉගෙන ගන්න ඉහල පෙලේ පාසලක)
" foreign teachersල තරම් local අය standard මදි"
" ලෝකල් අයගේ ඉන්ගිරිසි හොඳ නෑ..."
"ලෝකල් අය හරි standard එකට උගන්නන්නේ නෑ."
"ගුරුවරු සමහරු ගොඩක් දේවල් දන්නේ නෑ"


මේවා කියවෙන්නේ අවුරුදු 13ක් වත් වයස නැති ඒත් අවුරුදු 30ක් තරම් පැහිච්ච මුව පොඩියකින්. ඒත් මේ වචන එයාගේ නෙමෙයි.. මේ වචන එයාගේ මාන්නක්කාර අම්මලා තාත්තලාගේ


අද ......
අද මේ අවුරුද්දේ 8 වසර පංතිය හමුවෙන අන්තිම දවස! ගොඩ දෙනෙක් දුකෙන්. මොකද මම 9 වසරට ඊලග වසරේ උගන්නන්නේ නෑ. ඒ නිසා.
ඉන්දියන් ආඩම්බරකාර කෙල්ල....
"මිස් මට හරි සතු‍ටුයි මේ මගේ අන්තිම IT ලෙසන් එක වෙච්චි එක ගැන. මට හරි සතු‍ටුයි මේ ඉස්කෝලේ අන්තිම සතිය ගැන .. එහේ (එන්ගලන්තේ) හැම පංතියකටම Projectors තියනව. එහේ මෙහෙට වඩා facilities හොඳයි"
තුෂ්නිම්බූත වෙලා බයෙන් මගේ දිහා බලන් ඉන්න අනිත් දැරියන් අස්ස්සෙන් ඒ මාන්නක්කාර ඇස් පොඩි දෙකට මම දයාවෙන් හිනහ උනා.
"හොඳයි.. මට සතු‍ටුයි..." මම හිනා වෙලා කිව්වා.
"මටත් සතු‍ටුයි මිස්" මාන්නක්කාරී කිව්ව..


පංතියේ අන්තිම විනාඩි 5. මම එතෙක් පංතියේ අන්තිම දවස නිසා කෙලි දෙලෙන් උන්නු දඟයො ටික ලඟට කැඳව ගත්තා..


" අපේ ජීවිතේ එක මොහොතක විතරක් නෙමෙයි, ගෙවෙන් හැම  මොහොතකම අපි ඉන්නේ සැනසීමෙන්ද නොසැනසීමෙන්ද කියල තීරණය කරන්නේ අපිමයි.. මොකද ලද දෙයින් සැනසෙන්න හුරු කෙනෙකුට ඒ හුරුව කොතැන ගියත් තියනවා. ඒත් ලද දෙයින් සැනසෙන්න බැරි කෙනෙකුට කොච්චර ලොකු දෙයක් ලැබුනත් ජීවිතේ සම්පූරණ වෙන්නේ නෑ. හැම තිස්සෙම ඉන්නේ චෝදනා කරමින්. හැමතිස්සෙම ඉන්නේ ගතු කියමින්. සර්ව සම්පූර්ණ දේ හොයා ගෙන ඒ ඔස්සේ තමුන් සර්ව සම්පූර්ණ වෙන්න කල් බලන්න එපා. ඔයාල තියන දෙයින් සැන්සෙන්න. තියන දෙයින් උපරිමය ගන්න මිසක් නැති දේට අඬන්න එපා. සතුට කියන්නේ හිතේ එක් අවස්ථාවක් විතරයි එය බාහිර දේවල් වලින් ලබන්න බෑ. එය තමුන් දේවල් දකින් විඳින විදිය අනුව තීරණය වෙන දෙයක්"


පංතිය නහඬයි. මාත් නිහඬතාවයට දොඩමලු වෙන්න ඉඩ දුන්නා.
අවසන් වතාවට මම කිව්ව
" ස්තූතියි,,, මගේ ජීවිතේ සතුටින් තිබ්බේ ඔයාලගේ දඟකාරකම්... හුරතලය... ස්තූතියි"


පංතියම බෙල් එක වදින මොහොතේ ලඟට රොක් උනා. class photo එකට.
ඉන්දියන් ආඩම්බරකාරි පොදි ගැහෙන දඟයො ගොඩේ මට ඈතම පේලියේ කොනේ හිනහවක් නැතුව ඉන්න හැටි දැකල ආයෙමත් පොඩි දුකක් මගේ හිතට ඉනුව.
" නුඹ සං‍තෝසයට ගොඩක් ඈතයි කෙල්ලෙ.. තේරුම් ගනින්..." මගෙ හිත එහෙම කිව්ව.

Monday, July 05, 2010

නොපහන් ‍රැය නිදන තුරු.... (අතීතයෙන් ආ කවි 12)



එක්තරා තැනකදී
එක්තරා මොහොතකදී
යා යුතුම යැයි කියනා
මේ හිත මියැදේ නම්...
ඉතින් මේ හිත සොයන්නේ
අහිමි වූ ජීවිතයයි....

යා නොහැකි දෙපය
අවසඟය....
අප්‍රාණික හිත
නොපහන් වූ රාත්‍රිය
කියයි මට
ජීවිතය දිගු බව....

කැබලිති බි‍ඳෙන
මූසල අන්ධකාරය
තනි නොවෙයි...
මා ඉඳින තුරු....
මා මියෙන තුරු...
ජීවිතය තනි රකියි
නොපහන් ‍රැය
නිදන තුරු....

පසු සටහන: මේ "අතීතයයි" .. 

අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා.

Saturday, July 03, 2010

මල් කිනිති පරවෙවී යන්ට අවසර ..?? (අතීතයෙන් ආ කවි 11)


අත් වැලත්
මල් පෙතිත්
ගිලිහී ශේෂ වෙන
මලට පෙම් බැඳි
මලෙක නිදා උන්
කින්නරී
ඇස හරින්නී

හිරු කිරණ
‍රැස් නොදී
අඳුරු කලාලය එලූ
පෙරදා ආ
කලු වලාකුල
දකින්නී
තැවෙන්නී...

සිනහවක් නැති
එපා යයි පෙති හකුලන
මලට මුව දී සිඹ
ඈ මලෙන් පා නගන්නී....

පෙති ගිලිහී
අත් මතින්
මල් කිනිති පරවෙවී
යන්ට අවසර
දෙමී..!

පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ....

Friday, July 02, 2010

ප්‍රාර්ථනාවක්ව සිටිනු රිසි වෙමි,,,,!


සඳක් බැස යන විට
අහසේ ඇ‍ඳෙන පාලුව
තිබෙන්නේ එක මොහොතක
නිසල වන ලොව
නිදි ගැට හරින විට....


අලුත් හිමිදිරියක
අලුත් සිහිලෙන් ඉඳුල් වන
උදා අවු ‍රැල්ලක්
වාගේයි... ඔබ....


සියොතුන් පහන් වන
හිමිදිරියට ගී ගයනු ඇත...
කුසුමෙක රොන් රේණුවක
නොකී කවියක අකුරු ඇත...
එ'අකුරු එකිනෙක
හෙමි හෙමින් මම ඇහිඳිමි...
එකින් එක ගලපමි..


දහස් වර
සියක් වර
වරින් වර
ගලපනු නොහී කවියක
එලිවැට කොහිද සොයනෙමි..


අයුරින් එකින් එක බැ‍ඳෙන
එකම එක කවිපදයක
ප්‍රාර්ථනාවක්ව
සිටිනු රිසි වෙමි..
එයින් සැනසෙමි......

පෙති ගිලිහෙන්නට ඉඩැ'ර බලා ඉනු මිස??? (අතීතයෙන් ආ කවි 10)


අරුත යැයි සෙවූ දේ
මිහිමතින්
සෙවිය නොහෙන වග
පසක් වෙයි
නිරුත්තර හිත
පණ ඇද
මියෙන විට...

එකින් එක
පෙති ගිලිහෙයි
ජීවිත කුසුම මිලින වෙයි....
න‍ටුවටත්
රේණු බිඳටත් පෙම්කොට
ශේෂව යයි
හුස්ම පොද...

පෙති අහුලන්නට
වාරු නොදෙන සඳ
පෙති ගිලිහෙන්නට
ඉඩැර බලා ඉනු මිස
කුමක් කරමි...
ජීවිතේ මල....



පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ...

Thursday, July 01, 2010

හුදෙකලාවද තනියද...?? (අතීතයෙන් ආ කවි 9)


මා තනිව ඇතැයි සිතේ
නාඳුනන මිනිස් සතුන් පිරි
මිනිස් ගේකට වැද
යා යුතු අත නොහැඟී
හතර අතේ හැපි හැපී
පියාඹමින්
හැපෙමින්
නතර නොවෙමින්
විය සිදුර සෙවු
කිරිල්ලකැයි හැඟේ
හුදෙකලාව
බ්‍රහ්මාස්වාදයකැයි කී
මා අද හුදෙකලාවෙන් මිදී
තනිව ඇතැයි හැඟේ...


පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ.... 
 

කරුණාකොට සලකන්න: මේ අද ලියූවක් නොවන බවත් මීට කලකට ඉහත් ලියූවක් බවත් සලකන්න

අප්සරාවී මල පුවත...?? (අතීතයෙන් ආ කවි 8)


වාතලය සසැලෙන
යලි නැගෙන
නැගි බි‍ඳෙන
හීන් හඬින
නැලවිල්ලේ ඇදෙන
වියරු වැටී දෙදරන
සුලඟ පසුපස
ලුහුබඳින...
හති වැටෙන
සුලං සැරට
ගසා ගෙන යන...
ඒ මේ අත විසි වෙන
ඉන් රිදෙන
හදවත තැලුම් කන
ඇඬුම් ඉවසා
බියපත් ඇසින
අනාගතයට එබෙන
යලි හැරෙන..

අප්සරාවී....


පසු සටහන
අතීතය සිහිනයක් වගේ.. එයින් ආ කවි පොත් මුලු වල හැංගි හැංගි උන්නා. එලියට එන්න ආලෝකය දකින්න කාලයයි මේ... ඉතින් එක එක හෙමිහිට මේ විදියට එලියට එනවා දවස් 18ක් තිස්සේ...

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->