Friday, December 06, 2013

[299] අවසන මම 'ඈ' ගැන සිතීම අත් හළෙමි..

 
ඊයේ - බ්‍රහස්පතින්දා දහවල  
-------------------------------
බොහෝ දිනකට පසුව මහනුවරට සැපත් වීමි. මේ මගේ කෙටි නිවාඩු දිනයය. දවල් ඉර පෙනෙද්දී කඩ සාප්පු වල ගාටන්නට ලැබෙන ස්වර්ණමය අවස්ථාව මම මග නොහැරීමි. කඩින් කඩ වැටෙන මඳ වැසි මේ මහනුවරද  නුවරඑලියද? කියා සිතෙන් අසයි. ඇසි පිය හෙලන වේගයෙන් ගණ මීදුම කඳු හිස් වැලඳ ගෙන ඊලඟ මොහොතේ අතුරුදන් වෙයි.බස් රථයක ගමන් ගනිද්දී වටපිටාවේ බොහෝ දෑ පෙනෙන අරුම! ලියමනකට කරුණු එකතු වෙන අරුම !

පාසැල් ඇරෙන වෙලාවය. මා හිඳ සිටින බස් රථය රිය තදබදයෙහි එක තැන නතරව තිබෙයි.ජනේලය පාමුල පදික වේදිකාවේ මව්වරුන් දෙදෙනෙක් මගේ නෙත ගැටෙයි. නලල මැදට වන්නට සුදු කෙස් මතුවූ , ඒ කෙස් ගස් හරි හැටි නොපීරන ලද නිසා අවුල් වූ කොණ්ඩයකිනුත් යුත් තරුණ මව සිය කුඩා පුතු අතින් අල්ලාගෙන පදික වේදිකාව මැදම යෙහෙළියක් සමග කතා බහකය!  මම ඇගේ හිසේ සිට පාදාන්තය තෙක් බලමි. වේගයෙන් පලා ගිය යෞවනයේ පැහැපත් සම , ආරන ලද උදරය , වයසට වඩා මුහුකුරා පෙනුම, හරි හැටි පිලිවෙලකට නාඳින ලද කොට සාරිය ( එහෙන් මෙහෙන් පැටලූ යයි කීම නිවැරදිය) , පයෙහි ලූ නොසේදූ පාවහන් යුගල , ඉන් වැසී ගත් පැලුනු යටිපතුල්  මගේ තියුණු දෑසෙහි තැවරෙයි. මට සුසුමක් පිටවෙයි. බොහෝ ප්‍රශ්න හිසට පැන නගියි. 

'ඇයි දෙයියනේ මේ මිනිස්සු තමන්ට ආදරයක් නැත්තෙ?'

ඉක්ම යන යෞවනයට වඩා ඈට සිතන්නට බොහෝ දේ ඇතුවා විය හැකිය..  දරු සිඟිත්තන්ගේ අනාගතය !  රැකියාව ! රෑට බත සරි කරන මාලු පිණි ! හෙට උදයේ වැඩ කටයුතු ! දරුවන්ගේ ගෙදර වැඩ ! පාඩම් පොත් රාජකාරි ! ඇඳුම් මැදීම ! මේ සියලු පහින පත් වෙනුවෙන් වෙහෙසෙන ඈට සිතන්නට කොහෙද වෙලාවක් ඈ ගැන ? මා ඇගෙන් ඇසුවහොත් ඈ මෙයින් එක දෙකක් හෝ නිදහසට කරුණු ලෙස කියනු ඇත.

 මම ඇගෙන් මුදා ගත් සිත ඇගේ යෙහෙලි මවට යොමු කරමි. තත්වයෙහි වැඩි වෙනසක් නැත. මම කම්පාවෙන් යුතුව හාත්පස බලමි. දුටු දසුනින් එහා ගිය අමුතු පිලිවෙලක් හෝ පිරිසිදු බවක් ඇස් මානයේ කිසිදු වැඩිහිටියෙකුගෙන් දිස් නොවෙයි. දරුවන්ගේ උවමනා එපාකම් වලටම දිය වෙච්චි ජීවිත ! මට මගේ දෙමව්පියන්ද මතක් වෙයි. ඔවුන්ගේද වැඩි වෙනසක් එකල්හි නොතිබූ බවම සිහිවෙයි. අපි නිසාම වයසට ගිය ආත්මයන් දෙකක් ! මට දැඩි දුකක් දැනෙයි.

 මෙරටෙහි ගැහැණු මිනිසුන් තුල යෞවනය අල්ලා හිටින්නේ පෙම් කරනා තෙක්ම පමණක්ද? . විවාහයෙන් පටන් ගන්නා 'නව ජීවිතය' යනු වගකීම් , යුතුකම් , අනාගත හීන , මුදල් , ගෙවල් යානවාහන සහ දරුවන් හදා වැඩීම පමණක්ද?විවාහයෙන් මිනිසාටත් ගැහැණියටත් 'තමා' අහිමි වන්නේද? 

මම කල්පනා කරන්නෙමි.අප සිහින මවන්නේ කුමක්ද? විවාහය - අලුත් ජීවිතයක් , ගෙදර ඉද්දී නොතිබුනු නිදහසක් , කුරුලු යෞවනයක් මෙන්ම නොමියෙන ආදරයකි. 'ජීවිතය' සහ 'තමා' අමතක කරවන 'විවාහය' නමැති ප්‍රරවාහයේ ගසාගෙන යන අතරතුරම අප 'අවංක ආදරය','පතිවෘතාව' සහ 'අන්‍යෝනය බැඳියාව' එකී මෙකී නොකී දෑ කප් සුවහස් කල් එක සේ පැවතිය යුතු වේ යැයි උදක්ම ශපථ කර සිටිමු. 

දරුවන් සම්පතකි.දරුවන් වෙනුවෙන් අන් සියල්ල දෙවෙනි තැන ලෑම මේ පෙරදිග පවුල් බැඳිමෙහි සුන්දරත්වයද වේ. ඇත්තය.එහි අරුතක් තිබෙයි. එහෙත් දරුවන් බිහිවන පවුල තුල යුවලක් තවදුරටත් ගැහැණිය සහ මිනිසා නොවන්නේද? දෙමාපියන් වූ අඹු සැමියන් යනු තවදුරටත් එකිනෙකාගේ ඇඳුම් පැලඳුම් පිරිසිදු ඇවතුම් පැවතුම් සහ ප්‍රිය මනාප හැඩ හුරුකම් අනවශ්‍ය ජීවීන් දෙදෙනෙකුද? 

සිය දරුවාගේ ඇඟ රත් වීමටත් විශේෂඥයන් චැනල් කරන අපේ අම්මලා , බරපතල සැත්කමත් කල් දමන්නේ අපට ඇති ආදරය නිසා බව සැබෑවකි. එහෙත් නොසැලකිල්ල නිසාම මැදිවිය අරඹන්නටත් පෙරම දියවැඩියාව , අධි රුධිර පීඩනය යනාදි එකී මෙකී නොකී රෝ පීඩා දහසකුත් එකක් තරුණ අම්මලා තාත්තලා වැලඳ නොගන්නේද? දරුවන් වෙනුවෙන් දියවී යන, වේගයෙන් මහලුව යන දෙමාපියන් අමතකව යන්නේද මේ දරුවන්ටම නොවේද ? 


මම මේ සියලු සිතුවිලිත් සමග නොපහන් වූ සිතින් මහනුවර ජනාකීර්ණ හෝරා ස්තම්භය පසු කොට මාලිගාව දෙසට ඇදෙමි. ලංකාවේ අසිරිය නරඹන්නට පැමිණි සංචාරක යුවලක් මගේ ඇස ගැටෙයි. දෙදෙනාටම වයස හැට ඉක්මවිය යුතුය. සිරුරෙහි මහලු වියේ රේඛා හොඳින් දර්ශනය වන මුත් දෙදෙනාගේම ගමන් වේගය මට වඩා වැඩිය. කොට කලිසමකින් සැරසී සිටින මහලු සුදු ජාතිකයාත් ඔහුගේ ගෙලේ පැලඳි රිදී මාල ගොන්නත් පෙනෙයි. ඔහුගේ ඇඹේණිය විය යුතු මහලු කාන්තාවත් දිගු හැඩකාර ඇඳුමකින් සැරසී සිටියාය ! ජීවිතය විඳින බවක් මිස විඳවන වගක් දෙදෙනාගේ සැහැල්ලු ඇවතුම් පැවතුම් වලින් නොපෙනෙයි. 

දලඳා වීදියෙහි තරමක් ජනාකීර්ණ කෙටි කෑම හලකට ගොඩ වැදී මම වීදුරුවෙන් එලිය බලා සිටිමි. බැල්කනියෙහි මගේ මේසයට පහළින් පදික වේදිකාවේ දර්ශනය වන වැඩිහියන් නරඹමි. වේගයෙන් පෑදෙන තට්ටය සහ ආරන බඩ ඇතිව කාර්යාල බෑග කිහිලි ගන්නාගත් සුවහසක් පියවරු හැල්මේ බස් නැවතුම වෙත දිව යති. ඔවුන් අතෙහි පාන් ගෙඩියක් වරදින්නේ කලාතුරකිනි. සාරියක් එහෙන් මෙහෙන් පටලාගත් අම්මලා සාරි වාටිය සිප ගන්නා මඩ නොතකා ජන ගඟට එකතු වී සිටිති. නිකමට හෝ ඒ අතරෙහි තවමත් නොමැකී ගිය තොල් සායම් ඇතිව අවුල් නොවූ හිසකින්,  මැනවින් හැඳ පැලඳි වතකින් යුතුව ඉදිරියට ඇදෙන ගැහැණියක පිරිමියෙකු නැතුවා නොවේ. ඔවුන්ගේ එක්කෝ වෙදැගිල්ල හිස්ය ! එක්කෝ කරෙහි පාසැල් බෑගයකි. ! මගේ හිස තවත් වික්ෂිප්ත වෙයි. 


රෑ බ්ලොග් සටහන ලියද්දී - බ්‍රහස්පතින්දා රාත්‍රිය
--------------------------
මට කුසල්ගේ මව සිහිවෙයි. කුසල් හෙවත් දෙවියන්ගේ තෑග්ග නමින් , ඉතා සුන්දර පාසැල් දරුවෙකු ගැන මා ලිව්වා ඔබට මතකද? මට තවමත් කුසල්ගේ අම්මා මතකය ! කොටට කැපූ කොණ්ඩය. කොට ගවුම , තොල් හා නිය ආලේපන , කුසල්ගේ චාම් විනීත ඇවතුම් පැවතුම් සමග මගේ සාම්ප්‍රදායික මනසෙහි මිනිත්තුවකට නොපෑහුනේය !  එහෙත් ඒ මිනිත්තුවකටම පමණි. 

සිය පෙනුම , හැඩහුරුකම මෙන්ම ඇඳුම් පැලඳුම් ගැන සැලකිලිමත් වන උදවිය යනු, 'අම්මලා තාත්තලා කියන්නට නොගැලපෙන' ,  සංකර , කිසි විනීතකමක් හැදියාවක් නැති , ඩීසන්ට් නැති මිනිසුන් ලෙස දකින්නට සමාජය විසින් දෑස් හුරුකරගෙන තිබෙනවාවත්ද? ??

ගණිත සමීකරණයක මෙන් , සංඛ්‍යාන සමීකරණයක මෙන් , විචල්‍ය හෝ ශ්‍රිත ජීවිතයට නැත්තේය. විටෙක ස්වායත්ත වන විචල්‍යය , විටෙක පරිපූර්ණව පරායත්ත වී ඇති සැටි පෙනෙයි . මන්ද 'ජීවිතය' අකිනෙකාගෙන් අනන්‍යය.  එය කිසිදා විචල්‍ය හෝ නිර්ණායක කිහිපයකට ලඝු කොට ගත නොහේ.

දිනකට පසු - සිකුරාදා දහවල
------------
ඊයේ රෑ එහෙන් මෙහෙන් ලියූ ඉහත බ්ලොග් සටහන එහෙමම තිබියදී අද මම සරසවි පොත් හලට ගොඩ වැදුනෙමි. ඇති නැති වෙනසක් නොමැතිවම , පොශ් කියා ගන්නා ජනතාව ප්‍රදර්ශනාත්මක ශොපින් කරන්නට එන එකම තිප්පොල කේසීසී හෙවත් කැන්ඩි සිටි සෙන්ටර් එකය. 

මම තෝරාගත් පොත් තුනක් අතැතිව මුදල් ගෙවන කවුන්ටරය අසල වාරය එනතුරු බලා සිටියෙමි. මට ඉදිරියෙන් ඉතා තරුණ මවක් කුඩා දරුවෙකුට සරිලන ඇතැම් දේ මිලට ගෙන මුදල් ගෙවමින් සිටියාය. මගේ බ්ලොග් සටහන වෙනුවෙන් ඇය දෙසත් හොඳින් බලන්නට මම අමතක නොකලෙමි. මැනවින් පීරූ කොණ්ඩය, පිරිසිදු හා ඉතා පිලිවෙල සාරිය , චාම් අබරණ මගේ සිතට පහන් හැඟුමක් එක් කරයි.  මෙන්න ඇගේ වෙදැගිල්ලෙහි මුදුවකුත් !

 'හැමෝටම ඇයි මේ වගෙ පිලිවෙලට ඉන්න බැරි?' . මගේ සිත අසා සිටියි. ඈ ගැනද බ්ලොග් සටහනෙහි ලිවිය යුතු යැයි සිතෙහි සනිටුහන් කොට ගතිමි.මිලඟට මගේ වාරය හෙයින් පොත් කිහිපය අයකැමි තරුණියට දිගුකරමි. 

පෙර සඳහන් කළ බ්ලොග් සටහනෙහි කුසල්ගේ අම්මාගේම හැඩහුරුකම් ඇති මවක් හා දරුවෙක් මට පසෙකින් හිටගෙන සිටිති . පෝලිමක් නොමැතිවම හදිසියේ ප්‍රාදූභූර්ත වූ ඔවුන් දෙදෙනා මට ඉස්සර වෙති. නොපහන් සිතින් මම ඈ දෙස හොඳින් බලමි. ඈ අහක බලාගෙන පර්ස් එක අදිමිනි.මැනවින් පීරූ , නවීන විලාසිතාවකට කැපූ කොණ්ඩය ,ජීන්ස් කලිසම සහ ටීශර්ට් එක , සොඳුරු තොල් හා නිය ආලේපන මගේ දෑස් මත තැවරී මැකී යයි. මහනුවර ඉහල පෙලේ ජාත්‍යන්තර පාසලක නිල ඇඳුමෙන් සැරසුනු සිඟිත්තා කවුන්ටරයට ගෙල දිගු කොටගෙන හිඳී. මිලට ගත් පොත සිලි සිලි බෑගයකට ඔබන්නටත් මත්තෙන් ඩැහැ ගත් කොලු පැටියා , මම , ඔහුගේ මව මෙන්ම අයකැමි කතද විස්මයට පත් කරමින් අලුත් කතන්දර පොතෙහි පිටකවරය එක් අතකිනුත් , පිටු ගොන්න අනෙක් අතිනුත් අල්ලා 'බරාස්!' හඬින් එය දෙකඩ කර දැමුවේය ! තරුණ මවගේ කන් රතු වෙයි. ඉන් උපන් ලැජ්ජාවෙන් කුඩා දරුවාට තරවටු කරමින් පොතෙහි කැබලි දෙක උදුරාගෙන ඈ සිය නවීන අත් බෑගයෙහි රුවා ගති. මම තව දුරටත් 'ඈ' දෙස බැලීම අත් හැර දැම්මෙමි. 

යලිත් සිහි කරමි. 

ගණිත සමීකරණයක මෙන් , සංඛ්‍යාන සමීකරණයක මෙන් , විචල්‍ය හෝ ශ්‍රිත ජීවිතයට නැත්තේය. විටෙක ස්වායත්ත වන විචල්‍යය , විටෙක පරිපූර්ණව පරායත්ත වී ඇති සැටි පෙනෙයි . මන්ද 'ජීවිතය' අකිනෙකාගෙන් අනන්‍යය.  එය කිසිදා විචල්‍ය හෝ නිර්ණායක කිහිපයකට ලඝු කොට ගත නොහේ.

එහෙත් අපේ අලුත හැදෙන අම්මලා හෝ තාත්තලාවත් අඩු ගානේ හුචක්කු නොවී පිරිසිදුව සිටීමටවත් මතක තියාගන්නවානම් හොඳ යැයි සිතෙයි..

 'සල්ලි තියනවා නම් ඔය ඔක්කොම බැරියැ!' හිත අස්සේ ඉන්න තව කෙනෙකු කියන්නා වාගේ ඇසෙයි. කලාපීය දුප්පත්කමත් එක්ක හිතන විට ඒකත් ඇත්ත වගේම ඇත්තෙහි කොටසක් විතරකි ! 

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->