Thursday, June 30, 2011

[181] මා ඇසූ අවාසනාවන්තම සත්‍ය කතාව - ජෝඩි බ්‍රවුන්


ඈ ජෝඩි බ්‍රවුන්. කොටින්ම ජෝඩිට අනෙක් අය කිව්වෙ 'යක් පැටියා' කියලා. ඈ බඩු පොළොවේ ගසන , යටිගිරියෙන් බෙරිහන් දෙන උමතු කෙල්ලක්..හිතෙන් මවා ගත් චරිත වලට වරින් වර ආරෝපණය වෙන , යක්ෂාවේශයෙන් නොසරුප් වදන් කියන , වචනයේ අර්ථයෙන්ම පුංචි යක් පැටියෙක්..ඇගේ කැපකරු මව - එක් මවක් නොවෙයි මවුවරු ගණනාවක්- ඇගේ මේ අසාමාන්‍ය හැසිරීමෙන් පත් වන්නේ එසේ මෙසේ අපහසුතාවයකට නොවෙයි. ඒ නිසාම පවුල් ගණනාවක් අතර අතින් යන ඈ අවසන  පත්  වන්නේ කැතීගේ දෑත් මතට...



ඒත් කැතී කියන්නේ ජෝඩිගේම වාසනාවට ජෝඩිට ලැබෙන අපූරු කැපකරු මවක්. 'ආම්බාන් කරන්නට අමාරු' හිතුවක්කාරයන් ගණනාවක් අපූරුවට හික්මවූ අපූරු කාන්තාවක්.ඒ නිසාම කැතී හිතනවා ජෝඩිව උනත් 'හදාගන්න' බැරිවෙන එකක් නෑ කියලා... ඒත් ඈ හරිද ? වැරදිද ??

 ඉතින් අවසානයේ ජෝඩි, කැතීගේ දෑත් මතට පත් වන විට ඈ හොඳටෝම නරක් වූ , මනස වියවුල් වූ , කිසිවක් නොහඳුනන නොදැනෙන  , කිසිවෙකු කියන කිසිවක් නොසලකන, බය සැක වේදනා කිසිවක් නොදන්නා කෙල්ලක්....

 ඒත් .. ඇයි මේ..?? අවුරුදු 8 ක දැරියක්... මේ තරම් 'පමණ ඉක්මවා'  යන්නට හේතුව.??

 මෙතැනින් එහාට මා ලියන්නට හිතන හැම වචනයක්ම පාසා මෙලොව වසන උත්තරීතර මවුවරු පියවරු හැමකෙනෙක්ම මට සමාවෙන්න ඕනේ.. එනිසාම ඒ කුරිරු මිනිසුන් දෙදෙනා මා ජෝඩි මෙලොවට බිහිකල මිනිසුන් දෙදෙනා ලෙස පමණක් හඳුන්වන්නම්.

 ජෝඩි.... අහිංසක පොඩි කෙල්ල.... ඉපැදී මාස 18 පටන් අවුරුදු 8 දක්වා වසර ගණනාවක් මුළුල්ලේ , ගිණිය නොහැකි වාර ගණනක් , සිය පියා, සීයා, පියාගේ මිතුරන් අසල්වාසීන් අතින් දූෂණයට ගොදුරු  වීමෙන් මනස අවුල් ජාලාවක් වූ, දූෂණයේ  වේදනාවන් උදෙසා කිසිසේත් සංවේදී නොවූ මිනිසුන්ගේ එවන් විකෘති ආශාවන්ට ගොදුරු වූ, සිය මව පියාගෙන් පවා කිසිදු පිලිසරණක් නොලද දැරියකගෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ මොනවාද ?ලිංගික හිංසාවන්ගෙන් නොනැවතී ඒවා ඡායාරූපගත කරමින් රූගත කරමින්
විකෘති වින්දනයක් ලබන්නට මේ අහිංසකිය පාවිච්චි කරන ඔවුන්ගේ හිත් පිත් කොහේ තිබිණිදැයි අසන්නට සිදුවෙනවා.. සිය පියා අතින් පමණක් නොව මව හා ඇගේ මිතුරියන් අතින් පවා විවිධාකාර විකෘති කාම  ආශාවන් සංසිඳුවා ගනු උදෙසා භාවිතාවට ගත් ලිංගික භාණ්ඩයක් වූ අවුරුදු 8ක්වත් නොවූ කුඩා දැරියකගෙන් සාහසික හැසිරීමක් හැරුනුකොට අපට බලාපොරොත්තු විය හැකි මොනවා හෝ ඉතිරිව තිබෙනවාද?  


 පණ  පිටින් ත‍ටු කපා දමන ලද , ඒ තුවාල වලින් යලි යලිත් යලි යලිත් පෑරුනු ඉරි තැලුනු මනසක් උරුම වූ  මේ අහිංසකියගෙන් අපේක්ෂා කරන්නේ මොනවාද අප ?

 උදේ ‍රැයින් නැගිට , පාසල් යනු උදෙසා නිවිසැනසිල්ලේ කිරි කෝප්පය තොල ගාන ලදැරියක්? සිය මවගෙන් ආදරෙන් සමුගෙන ගී ගයමින් සිනහසෙමින් පාසල් යන දැරියක් ? මවු කියා දෙන කතාන්තරයක් අසමින් නින්දේ කිරි සිහින දකින දැරියක්???

 නැහැ !

 තමාව අමානුෂික හිංසනයට ලක් කළ ඒ අතීතය වරින් වර සිහිනෙන් දැක කෑගසා අවදි වන ඇය... රෑ පුරා සිහිනෙන් බියවී කැගසන ඇය... සිහිනෙන් පමණක් නොව සැබැහින් පවා මේ මායාවි දසුන් දකිමින් විටෙක බියෙන් මරහඬ තලන ඇය... වේදනාවන් නොහඳුනන , සංවේදනා කිසිවක් නොදන්නා , බියෙන් සැකෙන් තොර, ඕනැම දෙයක් කරන්නට , කියන්නට දෙවරක් නොසිතන ඇය... අමානුෂික හිංසනයට ලක් වෙද්දී පවා වේදනාවන්ට හුරුවී, පිහිටක් නොලද ඇය....  කෝපයෙන් වියරු වැටෙන ඇය.... ලදරු වියෙන්ම සිය පෞරුෂය, සංවේදනයන්, සිරුර මෙන්ම හදවත
විනාශ කරනු ලදුව, කල්පනාවන්ගෙන් තොර වෙනමම ලෝකයක ජීවත් වන ඇය !!! වැඩිහිටි ගැහැණු පිරිමි හැමකෙනෙකු ඉදිරියේම බියෙන් හැකිලෙන , සාහසික වන ඇය..... අවුරුදු 8ක්වත් නොපිරුනු , කටේ කිරි සුවඳවත් නොගිලිහුනු ලදරු වයසේ සිටම , මාපියන් ප්‍රමුඛ මුලු මහත් ලෝකයටම බද්ධ වෛරය මුදා හරින ඇය...


ඔව්... ජෝඩි බ්‍රවුන්ට මේ ඛේදනීය ඉරම සැබැවින්ම උදා වුනා. ඒත් ඈ සහ ඇගේ මනස , කැතී ග්ලාස් කැපකරු මව ලඟ නතර වන විට , කුඩා දැරියට සිදු විය යුතු හරිය සිදුවී හොඳටෝම අවසන්... ඒ විතරක් නොවෙයි.... ඈට කළ මේ විනාශයට වග කියයුතු මේ 'රහසිගත කණ්ඩායම' නිරුපද්‍රිතව !

 දෛවයේ වාසනාවට, කැතී අතට පත් වන ජෝඩි,සාහසිකත්වයෙන් නො අඩු හැසිරීමක් පෙන්වුවත් , කැතී කෙරෙහි සිත්  පහදා ගන්නා නිසාම , සිය දුක්බර අ
භව්‍ය සාහසික වේදනාවන්ගෙන් පිරුනු ලදරු අතීතය වරින් වර නොදැනුවත්වම හෙලි කරන්නට පටන් ගන්නවා.....

 විටෙක භීතියෙන් මුසපත් වන , කියැවීමට අපහසු තරම් වේදනාවක් ගෙන එන , විටෙක මානව සංහතිය උදෙසාම කලකිරෙන සුලු, එහෙත් කැතී ග්ලාස් වන් උත්තරීතර හැදූ මවුවරු කෙරෙහිත් ජෝඩි
බ්‍රවුන් වැනි අසරණ වූ , විකෘති මානසික රෝගීන්ගේ ගොදුරු බවට පත් වූ දැරියන් වෙනුවෙන් පිරෙන අපරිමිත මානව දයාවෙන්, කඳුලින් නෙත් තෙත් වන මේ පොත මට ඉතිරි කළේ සදා තිගැස්මෙන් යුත් මතකයක්....
 

එවන් දෛවයක් ලද මේ අහිංසක දියණියගේ අනාගතය කෙසේ වේවිද? හිතවත් කැතී ... ඔබට තනනු උදෙසා , කුඩා ජෝඩිගේ සිරුර තුල හදවතක් ශේෂ වී තිබිණිද?මේ දෛවයද?  ඇගේම අවාසනාවද?

පසු සටහන 1

පහත රූපයේ සිටින්නේ කැතී ග්ලාස්..කොතරම් සෙව්වත් මට ඈ ඉදිරියට මුහුණ ලා සිටින පින්තූරයක් සොයා ගන්නට බැරි වුනා..




මේ ඈත්තෙන්ම සත්‍ය කතාවක්.. මේ ඉර හඳ යට සිදුවූ ඇදහිය නොහැකි සත්‍ය  කතාවක්... ඒ කතාව සිංහලයට හැරැවූ දිලීප ජයකොඩි වෙත අපේ මහත් ප්‍රණාමය හිමි විය යුතුයි.. ජෝඩිගේ වෘතාන්තය ඛේදාන්තයක්ම වී අවසන් වෙතැයි පවසා මෙතැනින් මා නික්ම ගියහොත් මේ සංවේදී සටහන කියැවූ ඔබටවත් එය ලියූ මටවත් මේ දුක දවස් ගනනක් ඉතිරි වේවි. එනිසාම කැතී ග්ලාස්ගේ නිල වෙබ් අඩවිය පීරද්දී ඔබටත් මටත් යන්තම් හෝ සැනසුම් සුසුමක් හෙලන්නට  හැකි පුවත් කිහිපයක් ජෝඩි ගැන කියවන්නට ලැබුනා... මෙන්න මේ පිටුවෙන්... මට හිතුනා එයත් ඔබ සමග බෙදා ගන්නට.. ( කැතී කල සුවිශේෂී මෙහෙයට ස්තූති කරන්න ඔබත් කැමති නම් , මෙන්න ඇගේ ඊමේල් ලිපිනය : cathy@cathyglass.co.uk )

ජෝඩිගේ මේ දුක්බර අත්දැකීම් කියැවූ රසික කැල ජෝඩි පිලිබඳව නිරන්තර ශෝකයෙන් කරුණු විමසන්නට වූ නිසාම කැතී සිය වෙබ් අඩවිය හරහා පාඨක ජනතාවට ජෝඩිගේ වත්මන් තත්වය වරින් වර හෙලි කරන්නට තරම් සොඳුරු සිතැති කැපකරු මවක් වී සිටිනවා...

ඈ පවසන ආකාරයට ජෝඩි දැන් සිය අඳුරු අතීතය සහමුලින්ම පාහේ අමතක වන මට්ටමට පැමිණ සිටිනවා... කැතී විසින් ජෝඩිව හයි ඕක් හි විශේෂ පාසලකට ආදරනීය රැකවරණයක් යටතේ පුන
රුත්ථාපනය කිරීමට නතර කරනු ලබනවා...ඒ මීට වසර 7කට පෙර... එහිදී මුලින් මුලින් සාහසික ගති ලක්ෂණ නිරතුරුව පල කරමින් මායාවි ආවේශයන්ගෙන් පීඩා විඳිමින් කල් ගෙවූ නමුත්, පසුව ඉතාමත්ම සෙමෙන් සුවපත් වූ දහසය වියැති ජෝඩි 2010 වසර වන විට යලිත් ස්වභාවික පවුල් පරිසරයක නිදැල්ලේ ආදරය කරුණාව ලබමින් නිසසලේ හැදී වැඩෙන්නට සුදුසු තරම්ම මානසිකව සුවපත්ව සිටිනවාලු...

කැතී වසරකට කිහිප වතාවක් ඈ හා දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ඇගේ තොරතුරු විමසමින් , ආශාවෙන් බලා සිටින්නේ , තම සුරක්ෂිත දෑත් වලින් තවත් සුරක්ෂිත භාරකරුවන් යුවලක් අතට පත් වූ ,
කලකට පෙර ලෝකයටම හොරෙන් විනාශ මුඛයට ඇදෙමින් තිබූ මල් කැකුල දැන් ආදරය මැද්දෙන් විකසිත වන අයුරු දෑසින්ම දකින දිනය එලැඹෙන තෙක්..



පසු සටහන 2

පොත : Damaged
කතුවරිය : කැතී ග්ලාස්
සිංහල පරිවර්තනය: බිඳුනු බිලින්දා
පරිවර්තක: දිලීප ජයකොඩි
ප්රවරකාශනය : සූරිය
ප්‍රකාශනයක් (ෆාස්ට් පබ්ලිශින්)
කැතීගේ මෙම පොතෙහි නිල වෙබ් අඩවිය : http://www.cathyglass.co.uk/damaged.html



 පසු සටහන 3

කියාගන්නට නොහැකි කමෙන් , නානා විධ වධ බන්ධන වලට ලක් වෙමින් අපා දුක් විඳින ජෝඩි වන් අහිංසක දරුවන් වෙනුවෙනුත් , ලේ කිරි කර පොවා හැදූ ජෝඩිගේ මවු වෙනුවට ඇගේ ඉරිතැලී විනාශ වූ සිතෙහි දුක වසර ගණනාවක් ඉවසිල්ලෙන් අසා ගනිමින් ඈ නිසි රැකවරණයට පත් කල කැතී වන් සුවහසක් කැපකරු මව් වරු වෙනුවෙනුත් , මේ පොතෙහි සඳහන් ජෝඩිගේ මව්පියන් වන් අල්පයෙනුත් අල්පයක් වූ විකෘති මිනිසුන් හැරුනු කොට , මෙලොව වසන සුවහසක් වූ උත්තරීතර වූ හැදූ මෙන්ම වැදූ මව් පියවරුන් වෙනුවෙනුත් මේ දිගු සටහන උපහාර කරමින් මම නවතින්නම්... සංසාරේ අපි යලිත් හමුවෙමු .... !

Saturday, June 25, 2011

[180] 'අලෝකයෙන්' ලෝකය උමතු කළ පිස්සු විද්‍යාඥයා...

ඒ 1847 පෙබරවාරි එකොළොස් වෙනිදා... අමෙරිකාවේ ඕහියෝ ප්‍රාන්තයේ මිලාන් නුවරට ඒ විශේෂ දිනයක් වූයේ නෑ... ඒත් කාලෙකට පසුව, මේ අද දක්වාත් , කතා බහ කරන්නට සිද්ද වෙන අපූරු සිඟිත්තෙක් එදා එහිදී මෙලොව එලිය දුටු බව නම් කියන්නටම ඕනෙ. 
මේ එතැනයි...



~....~

කොලුවාට පාසල එපා වූයේ පාසල් දිවිය අරඹා මාස තුනක් ගත වෙන්නටත් මත්තෙන්... උගැන්වූ ගුරුවරිය , ඔහුට පාසල යනු අපායක් බව හඳුන්වා දුන්නා... ඒත් මට අද හිතෙනවා ඒක මිනිස් සංහතියේ වාසනාව සහ ප්‍රගමණය වෙනුවෙන් ඈ ගත් නිවැරදි පියවරක්වත්ද කියලා.. එහෙම නොවෙන්නට පන්ති පෙළ පොත් දැනුමෙන් හිස පුරවා ගත් උපාධිධාරී විද්‍යා ගුරුවරයකු මිසක ලෝකයට 'ආලෝකය' පහළ කළ නව නිපැයුම්කරුවෙකු බිහි වෙන එකක් නැහැ.

එහෙත් පාසල එපා වූ පමණින් ,
ගුරුවරියක් වූ ඔහුගේ මව ඔහුට නොමග යන්නට ඉඩ දුන්නේ නැහැ. ඔහු ඇගෙන් ඉගෙන ගත්තා , අකුරු මෙන්ම , ජීවත් වීමේ කලාවත්...

~....~

පුංචි රසායනාගාරයක්..එහි අත්හදාබැලීම් කරන පුංචි පර්යේෂකයෙක්. රසායන විද්‍යා පොත් දිහෑ සැකයෙන් බැලූ මුත් ඔහු ඒවා බැහැර කළේ නෑ. එහි සත්‍යතාව විමසා බැලුවා මිසක.


~....~

'ස්ඩ්ලිස්ට්' කුඩු + ජලය =>පෙණ බුබුළු නගිනවා
එහෙනම්
'ස්ඩ්ලිස්ට්' කුඩු + මිනිසා =>ඉහළ යා යුතුයි එහෙනම්.. :-)

තියරිය නම් හරි.. ! පොඩ්ඩා කල්පනා කළා.

'ස්ඩ්ලිස්ට්' කුඩු + යාලුවා => ඔයා ඉහල යන්න ඕනෙ පොතේ හැටියට ..


අන්තිම ප්‍රතිපලය නම් දුක්බරයි !! මිතුරාට බඩේ අමාරුවක් !! :-)


" මම හිතුව වැරදියි. හැම දේටම එහෙම වෙන්නෙ නෑ.වරදිනව තමයි.ආයිත් බලන්න ඕනේ වෙන විදියක්..කොහෙ හරි ක්‍රමයක් ඇති !" පොඩ්ඩා හිතුවේ එහෙමයි..


~....~

හැමදාමත් පර්යේෂකයෙක් වෙලා බැහැ. කවුද කන්න අඳින්න දෙන්නෙ? පොඩ්ඩගේ අත් හදා බැලීම් වලට මිළ මුදල් හිඟ වෙනකොට එහෙම හිතුව. මේ අවුරුදු 12 කොලුවා පෝට් හියුරන් සහ ඩෙට්‍රොයිට් දුම් රිය පොළ අතර පත්තර ව්කුණන්නට පටන් ගත්තේ එනිසායි..

~....~

අත් හැරිය දුම්රිය පෙට්ටියක්..
"ආ .. මෙතන හොඳයි මගෙ පර්යේෂණ වලට"
යන එන දුම්රිය මගීන් මේ කෙරුවාව දුටුවේ විකාරයක් හැටියට .
"ආ විද්‍යාඥයෙක් වෙන්න හදනව වගේ"
ඔවුන් මේ විකාරය ඉදිරියේ සිනාසුනා...
ඒත් ඒ උපහාස වලට සැලුනේ කොලුවා නොවෙයි.
"මම කවද හරි විද්‍යාඥයෙක් වෙනව තමයි"



කොලුවා හිතෙන් හිතා ගත්තා.


~....~

"ගින්නක් !!! ගින්නක් !!!! කෝච්චි පෙට්ටියක් ගිනි ගන්නවා!!! "
දුම්රියපළ මගීන් කළබල වෙලා. එහෙ මෙහෙ දුවනවා...
දුම් රිය ස්ථානාධිපති තුමා කෝපයෙන් රත් වෙලා, කෝච්චි අස්සේ පර්යේෂණ කරපු කොලුවව හොයනවා. පොස්පරස් බෝතලයක් පිපිරිලා...

"චටාස්..!!"

වැදුනු කණේ පහර, ඒ වන විටත් උපතින්ම ශ්‍රවණාබාධයකට හිමිකම් කී ,  පුංචි පර්යේෂකයාගේ දකුණු කණ බිහිරි කළේ ජීවිත කාලයටම..!

(මීට පසු කලක පවා ඔහු එක් වතාවක සිය රැකියාව අහිමි කරගන්නේ , මේ පොඩි පහේ පර්යේෂණ කිරීමට ගොස් , සල්ෆියුරික් අම්ල බෝතලයක් ඔහුගේ හාම්පුතාගේ මේසය යට හැලීමේ ප්‍රතිපලයක් වශයෙන්)

~....~

දුම්‍රිය වේදිකාවේ පත්තර විකුණන කොලුවා එක දවසක් දුටුවේ ඇස් අදහාගත නොහැකි දසුනක්. ඈතින් ඇදී එන දුම්රිය පෙනි පෙනී, එය නොදැක රේල් පීලි උඩ සෙල්ලම් කරන කුඩා දරුවෙක්..ඇසිල්ලකින් සිය පත්තර පොදිය අත් හැරි කොලුවා සහ කුඩා දරුවා සුරැකිව දුම්රිය වේදිකාව මත...

සිය පුතු බේරාගත් දේවදූතයා, කලකට පෙර සියතින් කණේ පහර කා සවන අහිමි කරගත් පත්තර කොලුවා බව දකින ස්ථානාධිපති වරයා ගල් ගැසෙනවා. කියාගන්නට වචන ඔහුට නැහැ.

දෛවය වෙනස් වේගෙන යන්නේ අද්භූත අයුරෙන්... කොලුවා ගැන පැහැදෙන ස්ථානාධිපති වරයා ඔහුට උපකාර කරන්නට අධිටන් කරගන්නේ ඉත සිතින්. පත්තර රස්සාවෙන් මිදෙන කොලුවා ටෙලිග්‍රාප් ක්‍රියාකරවන්නෙකු ලෙස බැඳෙන්නේ එලෙසින්. 

~....~

මිනිසුන් ඔහුට 'පිස්සෙක්' කියා සිනා වෙද්දී, ඔහු සිය අප්‍රතිහත දහිරියේ හා නොසිඳෙන කුතුහලයේ ප්‍රතිපලයක් වශයෙන් , වයස අවුරුදු 21 දී, විදුලි බලයෙන් ක්‍රියා කරන 'ඡන්ද ගණන් කිරීමේ' යන්ත්‍රය බිහි වෙනවා ඔහු අතින්... (පහත පින්තූරය බලන්න)


තරුණයා සිය නොසිඳෙන පර්යේෂණ කුතුහලයේ ඵල නෙලන්නට අරඹන්නේ එලෙසින්.. ( 1868 , ඔහුට පේටන්ට් පත පවා ලැබෙන මේ යන්තරය , වසර එකසිය පනහක් ගත වී ගොසිනුත් තුන්වෙනි ලෝකයේ අපේ රටවලට අනුගත නොවූ එක ඉතින් විමතියක් නම් නොවෙයි ) 


~....~


'තමන්ගේම රසායනාගාරයක් !! '
අනුන්ගෙන් අවලාද අසමින් පරීක්ෂණ කරන්නට තව දුරටත් අවශ්‍ය නැහැ.
තරුණ විද්‍යාඥයාගේ දැන් එකම ජීවන අභිප්‍රාය තව තවත් අලුත් දේ සොයා ගැනීම... සිය පලමු නව නිපදවීමට ලද පේටන්ට් පතත් , එය නිපදවීමට ගෝල්ඩ් ඉලෙක්ට්‍රික් සමාගම දුන් ඩොලර් 40000ත් සමග ඔහුගේ පර්යේෂණ සඳහා මෙන්ලෝ උද්‍යානයේ රසායනාගාරයක් තැනෙනවා. (පහතින් දැක්වෙන්නේ එම විද්‍යාගාරයයි)



~....~

සහායක ,ජෝන් ක්‍රැයිසි දිනක් තරුණ විද්‍යාඥයාගේ කටු සටහනක් බලමින් කුතුහලයෙන්..
"කතා කරන මැසිමක් මේ"
ඒ දකින තරුණ විද්‍යාඥයා සිනහසෙමින් පවසනවා...
"දැන් නම් මෙයාට හොඳටම පිස්සු!!!"
ක්‍රැයිසි ඇතුලු ගෝලයන්ට හිතුනෙ එහෙම..


Mary Had a Little Lamb... ගීතය තරුණයා යන්තරය වෙත ගයන්නට වුනා...
"මෙයාට නම් හොඳටම පිස්සු" සේවක පිරිස හොඳටම සිනහ වුනා...


සියල්ලන්ම පුදුම කරවමින් Mary Had a Little Lamb... ගීතය කතා කරන මැසිමෙන් වැයෙන්නට වුනා... (එඩිසන් ගැයූ එම ගී ඛන්ඩය ඔබටත් අසන්නට මෙතනින් පුලුවනි) සියල්ලනටම කන් අදහන්නට බැහැ. ග්‍රැමෆෝනය ලොවට බිහි වුනේ එහෙම ! නගර වැසියෝ මේ ප්‍රවෘත්තියෙන් උමතු නොවුනා විතරයි... ඔවුන් මේ රසායනාගාරයට ඇදෙන්නට වුනේ වැල නොකැඩී...

"මේක බොරුවක්ද කොහෙද" කියමින් පැමිණි නගර වැසියන් , ඒ කතා කරන මැසිම දැක පුදුම සතුටට පත් වුනා.



ඉහතින් පෙනෙන්නේ ඔහු සිය ග්‍රැමෆෝන් යන්තරය සමග...

මේ බෙලෙක් පතුරු ඇලවූ සිලින්ඩරයක් සහිත කතා කරන මැසිම පසු කලක මෝටරයක් යොදා නවීකරණය වුනා..


~....~

කාලයක් පුරාවට මේ තරුණයා වීදි වල එල්ලෙමින් රාත්‍රියට එලිය දෙන වීදි ගෑස් ලාම්පු දෙස බලමින් කල්පනා කලා. මේ නිසාම විදුලි ආලෝකය උපදවිය හැකිදැයි සොයා බලන්නට කුතුහලයක් ඇති වුනා අපේ පර්යේෂකයාට. ලේසි නැහැ. පර්යේෂණය නිසා අපතේ ගිය වියදම් ඩොලර් දස දහස් ගණනක්.
අමුද්‍රව්‍ය සෙවීමයි අමාරුම කාරිය.! ඒ අතරිනුත් කාබනීකරණය කළ විට දීප්තිමත්ව දැල්වෙන කෙන්දක් ! කොලුවා පිටත් කළ ගෝලයන් අතරින් කෙනෙකු එය ජපානයෙන් සොයා ගත්තා..
999 වතාවක්... ! එය ලේසි පහසු ඉලක්කමක් නොවෙයි. විශේෂයෙන්ම විද්‍යාත්මක පර්යේෂණ 999ක්..!!! එකම දෙයක් වෙනුවෙන්.. ! ඒත් විද්‍යාඥයා පසුබට වූයේ නෑ..


~....~

ඔහු විදුලි බල්බය නිපදවීම සඳහා 999 වතාවක් අත්හදාබැලීම් කලා. ඒවා හැමෙකක්ම අසාර්ථක වුනා. වරක් ඔහුගේ මිතුරෙක් ඔහුගෙන් අහනවා "ඔබ 1000 වෙනි වරටත් උත්සහ කරනවාද ?" කියා. එවිට විද්‍යාඥයා පවසනවා ,



"මගේ අසාර්ථකත්වය වරදක් හැටියට මා දකින්නේ නෑ.මට පෙනෙන්නේ විදුලි බල්බය නිපදවිය නොහැකි ක්‍රම 999ක් මා සොයා ගත් බවයි"


~....~

1879 ඔක්තෝබර් 21 වෙනි දින ඔහුට විශේෂ දිනයක්. ඔහුට පමණක් නොවෙයි ලොවටම ... විදුලි බල්බය ලොව එලිය දුටුවේ එදින.. ඒ ඔහුගේ 1000 වන උත්සාහය විය නොහැකියි. එක්කෝ 1500 හෝ දෙදහස් වන උත්සාහය වන්නට පුලුවන්...




ඉහතින් දැක්වෙන විදුලි බල්බය දැකබලා ගන්නට , මෙන්ලෝ පාක් වෙත මිනිසුන් දස දහස් ගණනක් ඇදී එන්නට වුනා.. මේ හාස්කම නරඹන්නට... වයස අවුරුදු 33 වන විට මේ නොපසුබස්නා දහිරියටපින් සිදු වන්නට ලොව ධනවත්ම පුද්ගලයා වූ මේ තරුණයා නිසා, අඳුරු ලෝකයට 'විදුලි ආලෝකය' උදා වුනා..

~....~



කාලය ගත වූවත් , ලොව ධනවත්ම පුද්ගලයා බවට පත් වූවත් , ලෝකයට සදා නොමියෙන මතකයක් එක් කළ විදුලි බල්බය නිපදවා අමරණීය නාමයක් ඉතිරි වූවත් , මේ විද්‍යාඥයාගේ 'පර්යේෂණ කිරීමේ' නොසිඳෙන ආශාව මිය ගියේ නැහැ. ඔහු විදුලි බල්බයෙන් තෘප්තිමත් වූයේ නැහැ.
ඒ නිසාම ,
1876 - ටෙලිෆෝන් ට්‍රාන්ස්මීටරය
1891 - චිත්‍රපට තිරය සඳහා ප්‍රක්ෂේපණ යන්ත්‍රය හා චිත්‍රපට කැමරාව ලොවට බිහි වූවා...


~....~

එක දවසක්....
ඔහු තම මෝටර් රථයෙන් නගරයට ගියේ පරීක්ෂණ භාණ්ඩ මිලට ගන්නට. ඒ අතරතුරේදීත් ඔහුගේ හිතේ වැඩ කළේ අලුත් පරීක්ෂණයක්...
ඉදිරියෙන් බස් රථයක් එනු දූටු ඔහුට දැනුනේ කිව නොහැකි තරම් සතුටක් . 'ඉක්මනට ගෙදර ගිහින් මේ වැඩේ පටන් ගන්න පුලුවනි' ඔහුට හිතුනේ එහෙම..


මෝටර් රථයෙන් නිවසින් පිටවූ සැමියා බසයෙන් යලිත් නිවසට එනු දුටු බිරිඳ පුදුම වෙමින් ඒ ගැන විමසද්දියි ඔහුට සිහිපත් වන්නේ ඔහු නගරයට ගියේ මෝටර් රථයෙන් බව. අතේ තිබු සියල්ල බිරිඳට භාර කරන ඔහු යලිත් නගරයට බසයෙන් යන්නේ අමතක වූ කාරය රැගෙන ඒමට. මෝටර් රථය අසලට යන ඔහුට ඊලඟට සිහිපත් වන්නේ අතේ තිබූ සියල්ලද සමග කාරයේ යතුරත් බිරිඳ අතේ බව.
ඉතින් නැවත බසයෙන් නිවසට විත් යතුර ගෙන යන්නට ඔහුට සිද්ද වෙනවා...

~....~



පර්යේෂණ පිලිබඳ මේ ඔනෑවට වැඩි ඇල්ම විද්‍යාඥ බිරිඳට රුස්සන්නේ නැහැ. නිදිවර්ජිතව මේ කරන පර්යේෂණ පිලිබඳ විරෝධය පල කරන ඔහුගේ බිරිඳ රසායනාගාරයේ සිට එලියට ආ ඔහුගෙන් ඉල්ලීමක් කරනවා විවේක ගන්නා ලෙස.


'මා විවේක ගන්න කැමතිම තැන මේකයි' යනුවෙන් පවසන විද්‍යාඥයා යලිත් රසායනාගාරයට ගොස් දොර වසා ගන්නවා.. !


~....~


ධනවත් බව මෙන්ම නිහතමානී බවෙන්ද අග තැන්පත් මේ අපූරු පුද්ගලයා , එක්තරා රාත්‍රී භෝජන සංග්‍රහයකදී , තවෙකෙකු විසින් හඳුන්වා දෙනු ලබන්නේ ' මේ තමයි ලෝකයේ පළමු කතා කිරීම් ඒ මැසිම නිපදවූ මහත්මයා' යනුවෙන්..


එවිට ඔහු පවසන්නේ " ලෝකයේ පළමු කතා කිරීමේ මැසිම හැදුවේ දෙවියන් වහන්සේ.. මා හැදුවේ අවශ්‍ය වෙලාවට නතර කරන්න පුලුවන් කතා කිරීමේ මැසිමක් විතරයි " යනුවෙන්.


~....~


ඔහුට 67 වන වියේදී , ඔහු සතු එක් කර්මාන්තශාලාවක් ගින්නෙන් විනාශ වූ විට ඔහු මෙහෙම පවසනවා..


" විනාශයක බොහෝ වැදගත්කම් තිබෙනවා. සියලු අත්වැරදි දැවී ගොස් අවසානයි. දෙවියන්ට ස්තූති වේවා! දැන් අපට අලුතින් අරඹන්න පුලුවන්" යනුවෙන්..


එයින් සති තුනකට පසුව .. මෙන්න තවත් අපූරු නිපැයුමක්.. පෝනෝග්‍රාප් යන්ත්‍රය!(දැක්වෙන්නේ එම යන්ත්‍රය සහ මේ අසහාය විද්‍යාඥයායි)




සිය ජීවිත කාලය පුරාවට ( එනම් 1847 පෙබරවාරි 11 වනදා සිට 1931 ඔක්තෝබර් 18 වෙනිදා දක්වා ) 84 වසරක් තිස්සේ , නව සොයා ගැනීම් 1033 කට හිමිකම් කී මේ අපූර්ව යුග පුරුෂයා - තෝමස් අල්වා එඩිසන් අපට ඉගැන්වූ දෑ බොහෝයි..ඔහු සොයා ගත් 1033 කට ආසන්න සොයා ගැනීම් මෙතැනින් කියවන්නට පුලුවනි


මේ පින්තූරයෙන් දැක්වෙන්නේ ඔහු කළ සොයා ගැනීම් සියල්ල සනිටුහන් කොට, නිව් ජර්සි නගරයේ ඉදි කරන ලද අඩි 131ක් උස ස්මාරකයයි.




~....~


ඔහුගේ ජීවන වෘතාන්තයෙන් උගනින්නට ඇති දෑ අතුරෙන් මා වඩාත් ප්‍රිය කරන වාක්‍යයෙන් මා මේ දිගු සටහන නිමා කරන්නම්....


" විනාශයක බොහෝ වැදගත්කම් තිබෙනවා. සියලු අත්වැරදි දැවී ගොස් අවසානයි. දෙවියන්ට ස්තූති වේවා! දැන් අපට අලුතින් අරඹන්න පුලුවන්"


පසු සටහන:
කරුණු සොයාගනු වස් බුද්ධික දේශප්‍රිය මහත්මයාගේ - දුක දිනා ජය ගත් දිරිය මිනිස්සු පොත මට මහෝපකාරී වුනා.. ඒ වගෙම තවත් අමතර කරුණු රාශියක් සමග බොහෝ පින්තුර මා සොයා ගත්තේ විකිපීඩියාවේ හරවත් ලිපියට පින් සිදු වන්නට...

Monday, June 13, 2011

[179] 'සැබෑ දවස'


කියන්නට උදාන ගීයක් නැති
ඒත් උදාරම් බැල්මක් ඇති....

දාහක් එකක් සෝ තැවුල් අස්සෙන්
හිනහව, සන්තෝසය වෑගිරෙති..

දුර විත් පා රිදෙද්දී ජවය පාමින්
කඩිනම්ව, තියා යන , බර අඩි..

ෆැන්ටසි හීන රෑඟුම් පිටපතක
කුමාරිකාවට ඇඳ, හැඩ බලන හැටි...

අඳුර කැටි ගැහුන කලුවර මැද්දෙන්
උදේ සැඩ අවු රැල්ල බිම වැතිරෙති.....

හිස රිදෙන , සැඩ ඉරෙක 'සැබෑ දහවල'
'නිදා දුටු සිහින' උදුරාගෙන ගිය හැටි !

~දිල්ශාරා වීරසිංහ~

Friday, June 10, 2011

[178] බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා !!!

ඔහු ගැන....




1. ඔහු ඔහුගේ පලමු කොටස මිලදී ගන්නේ වයස අවුරුදු 11දී...ඒත් අද ඔහු කියනවා ඒත් පමා වැඩිලු... ඒ ගැන ඔහු අද පසුතැවෙනවලු ! 

ඒ කාලේ හරිම ලාබයි අදට වඩා..ඔබේ දරුවන් ආයෝජන වලට යොමු කරන්න...


2. පුවත්පත් බෙදා හැරීමේ රස්සාවකින් උපයන මුදලෙන් ඔහු අවුරුදු 14දී කුඩා ගොවිපලක් මිලදී ගන්නවා...

සුලු මුදලක් ඉතිරි කිරීමෙන් ඔබට බොහෝ දේවල් මිලට ගත හැකියි. ඔබේ දරුවන්ටත් කුඩා හෝ දෙයක් උපයන්නට හුරු කරවන්න...


3. ඔහු තවමත් ජීවත් වෙන්නේ ඔහු මීට වසර 50කට පෙර විවාහ වූ විට මිලට ගත් නිදන කාමර 3ක කුඩා නිවසේ.. ඔහු පවසන්නේ ඒ කුඩා නිවසේ ඔහුට අවශ්‍ය සියලු දේ ඈති බවයි. විශේෂය වන්නේ, ඔහුගේ නිවස වටා විශාල තාප්පයක් සහෝ වෑටක් අදටත් නොතිබීමයි...



ඔබට අත්‍යාවශ්‍ය දේ හැරුනු කොට වෙනත් අනවශ්‍ය දේ මිලට ගැනීමෙන් වලකින්න...ඔබේ දරුවන්ටත් එය හුරු කරවන්න...


4.ඔහු තවමත් ඔහුගේ මෝටර් රථය පදවාගෙන ඕනෑම තැනකට යන්නෙක්.. අදටත් ඔහුට රියෙදුරෙකු හෝ ආරක්ෂකයින් නෑ.


ඔබ ඔබම වන්න. එහි සැනසීම ඇත.


5. ඔහු කිසිදාක තම පුද්ගලික ගුවන් යානයක ගමන් යන්නේ නැහැ. එහෙත් පුදුමය වන්නේ ඔහු තමයි ලෝකයේ විශාලතම පුද්ගලික ගුවන් යාන සමාගමේ හිමිකරුවා !!


අරපිරිමැස්ම හැමවිටම හිතේ තබාගන්න... 



6. ඔහුගේම ආයතනයක් වන සමාගම සතුව පවතින 63ක් වූ සමාගම් වල විධායක අධ්‍යක්ෂ වරුන්ට , මේ සුපිරි ධනවත් හාම්පුතාගෙන් වසරකට ලැබෙන්නේ එක ලියුමයි... එහි සඳහන් වෙන්නේ එලැඹෙන වසර සඳහා ඉල්ලක්කයන්... ඔහු කිසිදාක වසර පුරා රැස්වීම් , සාකච්ඡා පවත්වන්නේ නෑ. දුරකථන ඇමතුම් දෙන්නේ නෑ.


නිසි තැනට සුදුස්සා තෝරාපත්කර ගන්න...


7. ඔහු යටතේ සිටින විධායක් අධ්‍යක්ෂවරුන්ට ඔහු පනවා ඇත්තේ නීති 2ක් පමණයි..
1. ඔබේ කොටස්කරුවන්ට අහිමි කර නොගන්න
2. පලමු නීතිය අමතක නොකරන්න.


ඉලක්ක නිර්මාණය කොට දෙන්න... ඔවුන් ඉලක්කය කරා ගමන් කරනයුරු නිරීක්ෂණය කරන්න...


8. ඉහල පෙලේ ධනවතුන් සමග ඔහු සම්භාෂණ වල යෙදෙන්නේ ඉතාමත් අඩුවෙන්.නිවසට පැමිණෙන ඔහු වඩාත් ප්‍රිය කරන්නේ පොප් කෝන් හදා ඒවා අනුභව කරමින් රූපවාහිනිය නැරඹීමටයි..


ප්‍රදර්ශනය කිරීම අනවශ්‍ය දෙයක්.. ඔබේ ජීවිතය ඔබ විඳින්න නිදහසේ...



9. ඔහු ජංගම දුරකථනයක් හෝ පුද්ගලික පරිඝනකයක් පාවිච්චි කරන්නෙකු නොවෙයි... 



10 ලොව සුපිරිම ධනවතා වන බිල් ගේට්ස් මේ අපූරු ධනවතාව මුණගැසුනා මීට වසර 5කට කලින්. බිල් සිතුවේ ඔහුට සහ මේ අපූරු ධනවතාට කතා බහ කිරීමට කිසිදු පොදු දෙයක් සොයා ගත නොහැකි වනු ඇත කියායි. එනිසාම ඔහු මේ සාකච්ඡාවට අරමුණු කරන්නේ පැය භාගයක කාලයක් පමණයි. නමුත් මෙම හමුව අවසන් වූයේ පැය 10ක සුන්දර කතාබහක් අවසන බිල් ගේට්ස් ලොව දෙවන ධනවතා ගේ අනුගාමිකයකු වීමෙන්...



ඔහු මේ අපූරු අදහස් පලකලේ CNN ආයතනය වෙනුවෙන් කල සම්මුඛ සාකච්ඡාවකදී.. ඔහු ලොව සමාජ කටයුතු සඳහා පරිත්‍යාග කල මුදල ඩොලර් බිලියන 31ක්.. !


ඔහු අවසන් වශයෙන් තරුණ පරපුර සඳහා අවවාද කිහිපයක් දෙන්නටත් අමතක කළේ නෑ..


ණය කාඩ් පත් වලින් මිදෙන්න... ආයෝජනය කරන්න...
1. මුදල් වලින් මිනිසෙකු තැනිය නොහෑකියි. මතක තබා ගන්න... මුදල් නිර්මාණය කලේ මිනිසායි !!!
2. සරල ජීවිතයක් ගත කරන්න.
3. අනුනට උවමනා දේ අසා සිටින්න. ඔබට උවමනා දේ , හොඳ යැයි සිතෙන දේම කරන්න.
4. වෙලඳ නාම වලට නොරැවටෙන්න. ඔබට සුව පහසු දේ අඳින්න පලඳින්න.
5. අනවශ්‍ය දේට වියදම් කරන මුදල්, අවශ්‍යතා ඇතියෙකුට පරිත්‍යාග කරන්න.
6. ඔබේ ජීවිතය... ඔබේ නිදහසේ ගෙවන්න... අනෙකෙකුට ඔබ පාලනය කිරීමට ඉඩක් නොතබන්න...


ලෝකයේ සතුටින්ම වෙසෙන්නන් සතුව ලෝකයේ හොඳම හැමදේ ගොඩ ගසා නැත... ඔවුන් සතුටෙන් සිටීමේ රහස ඔවුන් ඔවුන් සතු දේ අගය කිරීම සහ සෑහීමට පත් වීමයි...


මේ සිටින්නේ , ලෝකයේ දෙවන සුපිරි ධනවතා  Warren Buffett !!!!!!  මටත් හිතෙනවා... ඔහු ධනවත් !!! ලෝකයේ හැමකෙනෙකුටම වැඩිය.... හේතුව ඔහු ලඟා කොට ගෙන සිටින සරල, සාමකාමි සැනසිලි දායක ජීවිතය අතින් ඔහු ඉතා පොහොසත් නිසා.... 




Thursday, June 02, 2011

[177] මා මළ පසු ....


ලියා ඒ හුරතල් නම
පියා නෙත් හිඳ මොහොතක්
තියා යන් පොඩි කවියක්
නිදා හුන් මා දෙණ අස...

ලියා කවි මා පෙම් කළ
කුඩා කොල කරදහි වල
මුදා හළ මැන අඳුරට
විදා හළ අත් සුලඟට....

නිදා පිබිදෙන ප්‍රාණය
සුදෝ සුදු වන් පිලි හැඳ
දුමාරයකින් මැදියම
නුඹේ යහනට එනු නැත

කුඩා සුදු තිත් ඉහිරුන
ඉතා කෙටි නිදි ගවුමෙන
අතේ චොකලට්‍ටුව ගෙන
දෙපා තාලෙට සලමින...

‍රැයේ නිහඬව ලියවෙන
පැයේ සොඳුරුම පද පෙළ
නුඹේ උරහිස මත හිඳ
කුඩා දැරියකි කියවන

උදේ නුඹ ලියු වෙහෙසින්
ඇඳේ පෙරලෙන මොහොතට
බඳේ හෙවු හිස නොසලමි
නුඹේ නිදි ලොව නොබිඳිමි...

ගැඹුරු නින්දෙහි මඳහස
දකින මම යහනෙන් බැස
පෙර ‍රැයේ සිට නුඹ ලියු
කවි හොරෙන් ගෙන කියවමි

උදේ වී ගෙන එන විට
නුඹේ නිදි කවුලුව ලඟ
නිලා කූරක් වී මම
දිවා දාහෙන් දැල්වෙමි...

දඟ ගැසුනු ‍රැළි කෙස ගෙන
ඉඟ අසල කිති කවනෙමි
තියා උඩවැඩියා පෙති
වහා අඳුරට පියඹමි....

~දිල්ශාරා වීරසිංහ~
2011 - 06 - 02

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->