ඔව්... මේ ලියන්නේ එක්තරා ගැහැණු වර්ගයක් ගැන. එක්තරා විශේෂයක ගැහැණු කිරිල්ලියන් ගැන. සුලබ නැහැයි හිතෙනවා. ඒත් එහෙම හිතෙන්නෙ , උන් ඉන්නෙම තටු හංගගෙන නිසා. සමහර විට සුලබ ඇති, අපිට නොපෙන්නුවාට ඒ වර්ණ පදාස...
මේ කිරිල්ලියන්ට එක එක නුහුගුණ තියනවා. ඒවායින් ලොකුම එක තමයි එකමිතියක් නැති එක. ඒ මොකක්ද? නෑ ඒ කිව්වෙ එක ලේබල් එකක් ඇතුලට මොකක් කරලාවත් දාන්න බැහැ.
අහිංසක... ඔව් ඒත් වෙලාවකට අංගුලිමාල වගේ... සංවේදී හිත ඇතුලෙ උනත් සමහර ගස් ගල් වගෙ අසංවේදී තීරණ තියනවා.විටෙක ගුප්තයි. බුම්ම ගත්තු ගමන්. ගිනිකන්දක්ද නිසල වැවක්ද හොයන්න බැහැ. විටෙක මුහුදු රැලි වගෙ... එක එක තත්පරෙන් තත්පරේ මූණ වෙනස්.
මේ හැම දෙයක්ම පැත්තක තියන්නකො. ඇගෙ වෛවර්ණ !!!!! ඇස් නිලංකාර වෙන.. පිහාටු වල පාට නෙවි. ඒවායි දිග.. ඒවායි හයිය ! ඒවා කොච්චර ශක්තිමත්ද ? ඒවාට කොච්චර විහිදෙන්න පුලුවන්ද? (විහිදනවා නම්) අහස හරියට ඉඩ මදි වේවි ඇය පියාඹන්න ගත්තොත්...
ඔන්න ඒ එක් පැතිකඩක්.
දැන් ඉතුරු හරිය.
කිරිල්ලිය හරි වෛවර්ණ තමයි. ඒත් ඔබ දන්නවද? ඇය පියාඹන්නෙ නැහැනෙ. ඇය ඉන්නෙ එක්තරා තැනක. ඒ තැන හරියටම ගත්තොත් අක්ෂාංශ , දේශාංශ වලින් මනින්න පුලුවන් කාටිසීය ඛණ්ඩාංකයක් නෙවෙයි. හැමෝම අහනවා මෙච්චර දුර පියඹන ශක්තිමත් වෛවර්ණ පියාපත් අකුලගෙන ඇය මොකද කරන්නෙ කියලා. ඇය කියනවා 'මම ඉන්නවා .. මෙතනම... මගෙ වටේ තියනවා ලොකු කූඩුවක් '... කියලා..
ඒත් කාටවත් ඈ වටේ කූඩුවක් පේන්නෙ නැහැ. ඇයට ඇරෙන්න. ඇය සිය කැමැත්තෙන්ම ඇතුලෙන් අගුල් ලාගෙන ඉන්න කූඩුවක්.. කවුරුවත් දාල නෙවි. ඇය කැමැත්තෙන්ම නිස්කාන්සුවෙ ඇණ තියන් ඉන්නවා. ඒක කූඩුවක් උනාට කූඩුවක්ද? මට හිතෙන්නෙ නම් 'නැහැ'. ඒත් ඈ කැමතිලු ඒකෙ ඉන්න. ඒ තරම් වෛවර්ණ කිරිල්ලියකට කූඩුව ඔබින්නෙ නැහැ. ඈට ඒක ඇතුලෙ ඉඳන් පියාඹන්න බැරි නිසා.
කිරිල්ලිටත් එහෙම හිතෙනවා වෙලාවකට. ඇයි මම කූඩුවක? ඇයි මම පියාඹන්නෙ නැත්තෙ? වෙලාවකට හිතෙනවා තටු දිගෑරලා හයියෙන් පියාඹන්න. ඒත් කූඩුව ඇතුලෙ??? එහෙම උනොත් වෙන්නෙ ඔය තටු ටික එහෙ මෙහෙ හැප්පිලා රිදෙන එක විතරයි. ඇය පියාඹන්නෙත් නැහැ. පියෑඹුවා නම් අනිවාර්යයෙන් වර්ණවත් පිහාටු වලට අන් ඈයො ඉරිසියා වෙයි. ඒත් ඒක හරිම ටික වෙලාවකට ඈට දැනෙන හැඟීමක් ...
අනික් හැම වෙලාවටම ඇය කියන්නෙ කූඩුගත වීම හොඳ බවත් පියෑඹීම තරම් අවදානමක් නැති බවත්.... පියාඹන ලෝකය හරි සුන්දරයි... වර්ණවත්.... ඇත්ත... ඒක සුන්දර නිදහසක්.... ඒත් එතන නිස්කාන්සුවක් තියේද?නිදහසත් නිස්කලංක බවත් අතරින් කිරිල්ලි නිස්කලංකයට කැමතියි වෙන්න ඕනෙ. පියාඹන්නය කියන අහස එක්ක එච්චර තරඟෙට ඔට්ටු වෙන්න ඇය කැමතිත් නැහැ.
ඇගේ තියන ඩුවලිටි එක ඈටවත් තේරුම් ගන්න බැහැ. විටෙක සාගරයක් වගෙ හඬ නැගෙන , ආයිමත් ගුප්ත වැවක් වගෙ නිහඬ වෙන ඇයව තේරුම් ගන්න ලෙහෙසි වේවිද? සමහර විට ඕනෙවට වඩා ඕනෙම දෙයක් ඇනලයිස් නොකරන කවුරු හරි මේ ලෝකෙ ඇති.
කූඩුවක් ඇතුලේ ඉඳන් පියාඹන්න බැරිද? ඇය අහන ප්‍රශ්නය ඒක... ඒක විසාල කූඩුවක් නම්??? කූඩුව ඇතුලෙ තියනව නම් ගොඩක් දේවල් දිහා උපේක්ෂාවෙන් අන් අයගෙ කෝණයෙන් බලන්න පුලුවන් ඇහැක් ඇති හිතක්, ඒ කූඩුව ඇතුලේ ඉඳන්ම ජීවිතයේ වර්ණ අහස දිහාවට විහිදන්න බැරිද ? පියාඹන්න එතකොට අහස ඕනෙද... ? ඕනෙද?
ඩුවලිටි එක ඇතුලෙ මෙහෙම ප්‍රශ්න කන්දරාවක් තියනවා... ඒත් ඇයට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඇය කූඩුවෙ සනීපෙට හරිබරි ගැහිලා ඉන්න එකේ තියන නිස්කාන්සුවට මේ ලෝකෙ තියන හැම දේටම වඩා කැමති නිසා.
ඔබට ඒක දැනේවිද? ?

