Showing posts with label කිරිල්ලිගේ දුක. Show all posts
Showing posts with label කිරිල්ලිගේ දුක. Show all posts

Saturday, July 07, 2012

[256] සුනාමියක් හෙවත් Duality ය !

කිරිල්ලියක් ඉන්නවා. මේ කිරිල්ලි බොහොම වර්ණවත් . කොටින්ම උපතින්ම වර්ණවත්. ඇගේ වර්ණය කියන්නේ පිහාටු විතරක් නොවෙයි. ඇගේ ජීවිතයත් වර්ණ ගැන්විච්චි එකක්.  ඇගේ හඬ... ඇගේ ගමන.. ඇගේ බැල්ම .. මේවා ඔක්කොම බාහිර දේවල්. ඒ බාහිර ඔක්කොම පැත්තකින් තියන්න. ඇගේ හිත වර්ණවත්.ඇයට පුලුවන් හිතන්න. ගොඩ දෙනෙක් නොහිතන විදියට. ඇයට පුලුවන් දකින්න, කතා කරන්න , ඒ ගැන... ඕනෙම වෙලාවක්..

ඔව්... මේ ලියන්නේ එක්තරා ගැහැණු වර්ගයක් ගැන.  එක්තරා විශේෂයක ගැහැණු කිරිල්ලියන් ගැන. සුලබ නැහැයි හිතෙනවා. ඒත් එහෙම හිතෙන්නෙ , උන් ඉන්නෙම තටු හංගගෙන නිසා. සමහර විට සුලබ ඇති, අපිට නොපෙන්නුවාට ඒ වර්ණ පදාස...

මේ කිරිල්ලියන්ට එක එක නුහුගුණ තියනවා. ඒවායින් ලොකුම එක තමයි එකමිතියක් නැති එක. ඒ මොකක්ද?  නෑ ඒ කිව්වෙ එක ලේබල් එකක් ඇතුලට මොකක් කරලාවත් දාන්න බැහැ.

අහිංසක... ඔව් ඒත් වෙලාවකට අංගුලිමාල වගේ...  සංවේදී හිත ඇතුලෙ උනත් සමහර ගස් ගල් වගෙ අසංවේදී තීරණ තියනවා.විටෙක ගුප්තයි. බුම්ම ගත්තු ගමන්. ගිනිකන්දක්ද නිසල වැවක්ද හොයන්න බැහැ. විටෙක මුහුදු රැලි වගෙ... එක එක තත්පරෙන් තත්පරේ මූ වෙනස්.

මේ හැම දෙයක්ම පැත්තක තියන්නකො. ඇගෙ වෛවර්ණ !!!!! ඇස් නිලංකාර වෙන.. පිහාටු වල පාට නෙවි. ඒවායි දිග.. ඒවායි හයිය ! ඒවා කොච්චර ශක්තිමත්ද ? ඒවාට කොච්චර විහිදෙන්න පුලුවන්ද? (විහිදනවා නම්) අහස හරියට ඉඩ මදි වේවි ඇය පියාඹන්න ගත්තොත්...

ඔන්න ඒ එක් පැතිකඩක්.

දැන් ඉතුරු හරිය.

කිරිල්ලිය හරි වෛවර්ණ තමයි. ඒත් ඔබ දන්නවද? ඇය පියාඹන්නෙ නැහැනෙ. ඇය ඉන්නෙ එක්තරා තැනක. ඒ තැන හරියටම ගත්තොත් අක්ෂාංශ , දේශාංශ වලින් මනින්න පුලුවන් කාටිසීය ඛණ්ඩාංකයක් නෙවෙයි. හැමෝම අහනවා මෙච්චර දුර පියඹන ශක්තිමත් වෛවර්ණ පියාපත් අකුලගෙන ඇය මොකද කරන්නෙ කියලා.   ඇය කියනවා 'මම ඉන්නවා .. මෙතනම... මගෙ වටේ තියනවා ලොකු කූඩුවක් '... කියලා..




ඒත් කාටවත් ඈ වටේ කූඩුවක් පේන්නෙ නැහැ. ඇයට ඇරෙන්න. ඇය සිය කැමැත්තෙන්ම ඇතුලෙන් අගුල් ලාගෙන ඉන්න කූඩුවක්..  කවුරුවත් දාල නෙවි. ඇය කැමැත්තෙන්ම නිස්කාන්සුවෙ ඇණ තියන් ඉන්නවා. ඒක කූඩුවක් උනාට කූඩුවක්ද? මට හිතෙන්නෙ නම් 'නැහැ'. ඒත් ඈ කැමතිලු ඒකෙ ඉන්න. ඒ තරම් වෛවර්ණ කිරිල්ලියකට කූඩුව ඔබින්නෙ නැහැ. ඈට ඒක ඇතුලෙ ඉඳන් පියාඹන්න බැරි නිසා.

කිරිල්ලිටත් එහෙම හිතෙනවා වෙලාවකට. ඇයි මම කූඩුවක? ඇයි මම පියාඹන්නෙ නැත්තෙ?  වෙලාවකට හිතෙනවා තටු දිගෑරලා හයියෙන් පියාඹන්න. ඒත් කූඩුව ඇතුලෙ??? එහෙම උනොත් වෙන්නෙ ඔය තටු ටික එහෙ මෙහෙ හැප්පිලා රිදෙන එක විතරයි. ඇය පියාඹන්නෙත් නැහැ. පියෑඹුවා නම් අනිවාර්යයෙන් වර්ණවත් පිහාටු වලට අන් ඈයො ඉරිසියා වෙයි. ඒත් ඒක හරිම ටික වෙලාවකට ඈට දැනෙන හැඟීමක් ...

අනික් හැම වෙලාවටම ඇය කියන්නෙ කූඩුගත වීම හොඳ බවත් පියෑඹීම තරම් අවදානමක් නැති බවත්.... පියාඹන ලෝකය හරි සුන්දරයි... වර්වත්.... ඇත්ත... ඒක සුන්දර නිදහසක්.... ඒත් එතන නිස්කාන්සුවක් තියේද?නිදහසත් නිස්කලංක බවත් අතරින් කිරිල්ලි නිස්කලංකයට කැමතියි වෙන්න ඕනෙ. පියාඹන්නය කියන අහස එක්ක එච්චර තරඟෙට ඔට්ටු වෙන්න ඇය කැමතිත් නැහැ.

ඇගේ තියන ඩුවලිටි එක ඈටවත් තේරුම් ගන්න බැහැ.  විටෙක සාගරයක් වගෙ හඬ නැගෙන , ආයිමත් ගුප්ත වැවක් වගෙ නිහඬ වෙන ඇයව තේරුම් ගන්න ලෙහෙසි වේවිද? සමහර විට ඕනෙවට වඩා ඕනෙම දෙයක් ඇනලයිස් නොකරන කවුරු හරි මේ ලෝකෙ ඇති. 

කූඩුවක් ඇතුලේ ඉඳන් පියාඹන්න බැරිද? ඇය අහන ප්‍රශ්නය ඒක... ඒක විසාල කූඩුවක් නම්??? කූඩුව ඇතුලෙ තියනව නම් ගොඩක් දේවල් දිහා උපේක්ෂාවෙන් අන් අයගෙ කෝණයෙන් බලන්න පුලුවන් ඇහැක් ඇති හිතක්, ඒ කූඩුව ඇතුලේ ඉඳන්ම ජීවිතයේ වර්ණ අහස දිහාවට විහිදන්න බැරිද ?  පියාඹන්න එතකොට අහස ඕනෙද... ? ඕනෙද? 


ඩුවලිටි එක ඇතුලෙ මෙහෙම ප්‍රශ්න කන්දරාවක් තියනවා...  ඒත් ඇයට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඇය කූඩුවෙ සනීපෙට හරිබරි ගැහිලා ඉන්න එකේ තියන නිස්කාන්සුවට මේ ලෝකෙ තියන හැම දේටම වඩා කැමති නිසා. 

ඔබට ඒක දැනේවිද?  ?

Tuesday, September 28, 2010

[110] මේ සිත්තමට පාට ‍තෝරා දෙනවද?


එන්න...
මෙතැන ඇත සිත්තමක්..
අඩක්වත් නිසි පාට නොම දුන්න

එන්න...
තෙලිතුඩට පණ දෙන්න....
එකින් එක සිහින එහි තවරන්න....

එකින් එක අමු පාට
වෙන වෙනම නොපෙනෙන්න
දෙක තුනක් හෝ තවත් මුසුවෙන්න
තවරන්න..

නොසේදුනු නොසිස් තැන්
තිබු ලෙසින් ඔහෙ ඉන්න
හිස්තැනට විතරක්ම
ඔය පාට තවරන්න...

කාටවත් නෑ‍ඟෙන්න මුසු වෙන්න
සිත්තමට පණ එන්න .....
එන්න...
මේ සිත්තමට ඇස් දෙන්න...

හීනියට පැහැයක් මුසුවෙන්න
පාටකට නමක් හැඩයක් දෙන්න
හැඩ වෙන්න හෙමිහිටම  තවරන්න....

එන්න
පාට මත තෙලිතුඩට ඉඩ දෙන්න...
හිතු මතේ හිතේ ඇති පැහැ දෙන්න..
නමක් නැති අතීතෙම බොඳ වෙන්න 
ජීවිතය බොඳ මතින් මතු වෙන්න...


Sunday, June 20, 2010

දුවේ ..අහල තියනවද නිහඬතාවයේ හඬ?

"දුවේ ..අහල තියනවද නිහඬතාවයේ හඬ?"

"ඔව් මාමේ. ඔව්.. මට නොයෙක් වර ඇහිල තියනව. "

ඒත් මම බයයි ඊට... නිහඬතාවය තුල මතුවෙන හිස් හැඟීමට බයයි.. එහි කැරකෙන මූසල බවට බයයි... එයින් ඇඟවෙන තනිකමට බයයි... ඒ තනිකම හුදෙකලාවක් සේ සිතන්න මේ පුහුදුන් සසල වෙන/වුන සිත බයයි. මොහොතකට නතර වෙන්න බයයි. ඒ හිත මැසිමක් වගේ ක්‍රියා කරන්න ගන්න නිසා. ක්‍රියා කරන්නේ මා දෙසටම හැරුන සිතුවිලි. සිතුවිලි මාව විවරණය කරනවා. ඒ සිතිවිල්ල මා , මගේ අතීතය අවුස්සමින් හේතු කාරණා හොයනවා, දුකට කාරණා හොයනවා. අතීතයේ මම එතකොට ජීවත් වෙනවා. අතීතය තුල එක් මොහොතක එක් දිනය මා උන්න තැන් එතැනදි මට උනපු දුක් , කඳුලු මතකය මාව ඇදගෙන යනව ඒ මොහොතේ තිබ්බ මනසට. ඒ මොහොතේ කුස්සියෙ ඉදුන පරිප්පුවක සුවඳ , ඒ මොහොතේ ජනේලයකින් එලිය බලන් කල්ප්නා කරද්දි මා බලන් හිටපු දැකපු දෙවල් , ඒ මොහොතෙ මගේ නෙත් ගිය ගෙතුල බඩු මූට්‍ටු පවා පේන තරම් මගේ අතීතාගමනය තියුණු වෙනවා.


පැරෂුටයක එල්ලි ඉහල පහල යමින් මා යනවා. කාලයත් එක්ක බිමට පාත් වෙද්දි මම බයෙන් කකුල් අකුල ගන්නව පොලවට පය ගහන්නෙ නැතුව.. ඉහල යන්න ආසාවෙන් නෙමෙයි, පහල බලන්න බයෙන් , ඇද වැටී මහ පොලොව උඩ අතරමං වෙන්න බයෙන් මම අත මානයෙ සැලෙන අතු කැබැල්ලක එල්ලෙනව. එල්ලිලා ඊට පසු හාත් පස බලනව. විටෙක ඒ පඹ ගාලක්. විටෙක ඒ ගිනිසීරියා අත්තක්. විටෙක රූස්ස ගහක්. මා එල්ලී ඉන්නවා . ගුරුත්වයට ඔච්චම් කරමින්... මා දිනුම් යයි සිතමින්. එල්ලී ඉන්න අත්ත සවිමත් කරන්න මා අහසින් වැටෙන වැහි බිඳු එක එක ඩා මුගුරු වගුරුවමින් දෝතට ගෙන දිය ලනවා. ඒත් ... මා හති වැටෙනවා. ගස වැඩෙන්නේ නෑ.  කාලයත් එක්ක..ගසට මා බරයි.. ගස සොලවා , දෙදරවා මා මහ පොල්වටම අත් හරිනවා. වැටෙන්නේ පැරචුටයෙන් මෙන් හෙමින් නම් නෙමෙයි... තැලුම් තුවාල, ගලන ලේ..මේ ඔක්කොම මට ලැබෙන තෑගි.. 


ඇද වැටී මොහොතක් ඉන්න මා , හාත්පස නොබලමින් වැතිරී ඉන්නවා. තුවාල සුව වෙන්න පලමු, තුවාල සුව වෙද්දිම හදිසියෙම මට ටිකක් පණ එනවා. මහා ශක්තියක් මනසට කාන්දු වෙනව. මම හාත්පස බලනවා. කාන්තාරයක මා ඉන්න බවත් , මේ මහ පොලව උඩ අතරමංවී බවත් වැටහෙනවා. ආයෙමත් තුවාල පිටින්ම මා පැරචුටයත් ගෙන සුලං අත සොයා දුවනවා. එක් මොහොතක ආයෙමත් උඩ යනවා. සුලඟට තුවාල වේලෙනවා. කැලැල් එහෙමමයි. ආයෙමත් .......  "පැරෂුටයක එල්ලි ඉහල පහල යමින් මා යනවා. ................. "


නිහඬතාවය ඇහුනේ පැරෂුටයෙන් හෙමි හෙමින්  පොලොවට වැටෙද්දී..යලිත් එය විඳින්නම උනේ ගස මා පොලවට හෙලද්දී... ඊට මා බය උනා..ඊට මා වෛර කලා. එහි අරුත හෙවුවේ නෑ.ඒ හුදෙකලාව මට දඬුවමක් සේ හැඟුනා. හුදෙකලාව කවදාවත් මට ප්‍රිය උනේ නෑ. නිහඬතාවය මූසල තනිකමක් මිස බ්‍රහ්මාස්වාදයක්සේ මා සැලකුවේ නෑ. මම නතරව මා දිහා බලන්න බිය උනා. පංච නීවරණ සියල්ල මා වෙලා ගෙන බව වැටහෙන්නේ පසුවයි..


ඉගිලෙන්න බයයි. ඒත් ඒ දේ මා කලා.ඇයි? පොලව මත තනිව වැතිර ඉන්න බය නිසා. පාවෙන්න , ලෝකය දකින්න කාලය ගන්න එකෙන් මා හුදෙකලාව හෙවත් මා සිතූ තනිකම යටපත් කලා.

ඒත් ඒත්... මහ පොලව තරම් නිශ්චිත ‍රැකවරණයක් කොහිද? හුදෙකලාවක ඇති සහනය කොහිද? මේ ලියන මොහොතෙත් මාගේ උඩුහිත බියෙන් පෙලෙයි.ඉගිලෙන්න මං සොයයි..... ඒත් යටිහිත අරුත සොයයි...පොලවට ලං වෙන්නැයි ඒ යටි හිත මුර ගසයි... එහි සොඳුරු හුදෙකලාව විඳ ආස්වාදනය කරන්නැයි, ඒ විඳ බලා තීරණය කරන්නැයි යටි හිත යදියි..


එහෙනම් ..ඉගිලෙන්න තතනන හිතුවක්කාර උඩුහිතට පොඩ්ඩක් දඬුවමක් විඳින්න කාලයයි...

Thursday, February 04, 2010

ඈ දැන් නිදහස්...



ලස්සනම ලස්සනට ඉර මල පිපිල...! කිරිල්ලි අත්ත‍ටු දිග හරිමින් ඇඟමැලි කැඩුව.මොකක්දෝ අමුතු සතුටකින් හිත පිරිල වගෙ... කිරිල්ලි ඇගෙන්ම අහනව ..."ඇයි මේ?" ... කිරිල්ලි දන්නෙ නැහැ.. වට පිට බලන කිරිල්ලිට ඉස්සෙලම පෙනෙන්නෙ දොරත් ඇර දාල, තමන්වත් දරාගෙන නිසංසලේ පැද්දෙන රන් කූඩුව... අනේ ඇත්තට... දොරත් ඇර දාල වගේ වගක් නැතුව ඉන්න හැටි! ඇ ගිහින් දොර වැහුවෙ නැහැ. ඈ දොර ගාවට හෙමින් ගිහින් දිලිසෙන ඇස් වලින් දොරෙන් එපිට අවටට පලවෙනි බැල්ම හෙලුව බොහොම කාලෙකට පස්සේ.... 

ගස් වැල් අතු පතර ඇතිල්ලෙමින් නැලවෙන සද්දෙ... හුලං හමන අපූරුව... බටිති මලිත්තො ගී ගයමින් ලහි ලහියෙ ඉගිල්ලෙන අරුමය ඈ සන්තෝසයෙන් බලා උන්න මොහොතක්...  අහස බලන කිරිල්ලිට පුදුමයි... කලු වලාකුලු ඈතම ඈත දිග ගමනක් යනව කිරිල්ලිට පි‍ටු පාල... ඇගෙ හිත තවත් උද්දාමයෙන් පිරුන... 

කූඩුව දෙසට හැරුන කිරිල්ලි සුසුම් හෙලුවෙ නැහැ.. ඒ වෙනුවට කිරිල්ලි ශක්තිමත් හුස්මක් අරන් පියාපත් විහිදල හුස්ම පිටකලා... අමුතුම ජවයකින් හිත පිරිල... කෑම හොයන්න බඩගිනි නැතත් ඈට හිතුන දැන් ඉගිල්ලෙන්න ඕනැයි කියල...හිස් රන් කූඩුව ඇගෙ ශක්තිමත් හුස්මෙන් පුරවමින්, ඈ පුංචි නැ‍ටුමක් නටනව තමන්ට විතරක් දැනෙන්න.... ඔව්..දැන් වෙලාව හරි... ඉගිල්ලෙන්න... 

මෙතෙක් තමන්ට දුකට සැපට සෙවන දුන්නු රන් කූඩුව දිහා බලන් ඇගේ මතක ලියුව පොත, කිරිල්ලි  පරිස්සමින් දොර ගාව තැන්පත් කලා... ලස්සන රන් කූඩුව කුණා‍ටු වැහි වලින් ආතුර නොවෙන්න සීරුවට ඈ දොර පියන සවි කලා තිබුන විදිහටම... ස්තූතිවන්ත ඇස් වලින් ඈ රන් කුඩුවට සමුදුන්න ... ඈ හැඬුවෙ නැහැ.. සිනහ උනා... ආදරෙන්..දයාවෙන්.... 

ඊලඟ මොහොතෙ... මෙන්න ඈ අහස් යානයක් වගේ.... ඇසිල්ලේ මැවෙන දිවෙන සුලං ‍රැල්ලක් වගේ ....  ආකහේ ඉස්සර වගෙම ගී ගයමින් පියාඹනව! සුලං කපොලු, වැහි කෝඩ වලින් පරිස්සම් වේවි ඈ ඉස්සර වගෙම... ඈ දැන් නිදහස්... 

මෙතෙක් කල් ඈ සිර කරන් උන්න ඇගෙ හිතෙන්... ඈ නිදහස්!

Sunday, January 31, 2010

නිදා ගන්න දෙනවද ? නැද්ද?


කිරිල්ලි බොහොම වෙහෙස මාන්සි වෙලා කෑම හොයාන ඉගිල්ලිල එන්නෙ කුඩු වෙන්න.. හිස් වෙච්චි රන් කූඩුව දිහා බලන්නත් දුකෙන් උනත් කිරිල්ලිට සිද්ද වෙනව කූඩු වෙන්නම... නැත්නම් දැන් අසරණ කිරිල්ලි කොහේ කියල යන්නද?


රූප පෙට්ටියට වහ නොවැටෙන කිරිල්ලි දහ අතේ කල්පනා කරනවා... වෙලා කට්ට බලනව... මොනවද කිරිල්ලි හොයන්නෙ? වෙන මුකුත් නෙමෙයි.. දවස ඉවර වෙන්නෙ කීයටද කියල....


ඕන්න දවස ගියා කියමුකෝ.... දැන් ඉතින් කිරිල්ලි ඉස්මනට ගොහින් ඇඳට  වැටෙන්නෙ හෙට දවසත් ඒ වගේ දිග උනත් අවදියෙන් ඉන්නවට වඩා නිදි වැදෙන එකෙන් ලැබෙන සහනය , කල්පනා නොකර ඉඳීමේ සැනසීම ලබන්න...


ට්‍රීං ට්‍රීං....


ශික් ! මේ රෑ කෝල් එකක්... (කිව්වට පාන්දරද කොහෙද...)


" මට තමුසෙව එපා...  මට කතා කරන්නත් එපා..."


කිරිල්ලි: "ඉතින් ඔයාට ඕන දෙයක් කරන්න... මම මොනව කරන්නද? මම පුලුවන් තරම් කල් ආදරෙ කලා.. ඔයට මාව ඔහොම එපා නම්... කරන්න දෙයක් නැහැනෙ"


කිරිල්ලි හුස්ම අල්ලමින් කියනව.. තතනනව.... ඇස් දෙකේ කොන් වලින් වක්කඩ කැඩුව වගේ පිටාර යන කඳුලු දකින්නෙ කිරිල්ලියි, කිරිල්ලිගෙ කම්මුලයි විතරයි... තනිකම.. වේදනාව .. ඇයි මේ දුක ආයෙ ආයෙ පුපුරු ගහන්නේ? අනේ...කිරිල්ලි හූල්ලනව....


ඩොග්...ඩොග්.... ( දොරට ගසන හඬ)


 "මේ නැගිටින්නෙ නැද්ද?, ඔයාට මොකද වෙලා තියෙන්නේ දොරට ඔච්චර ගැහුවත් ඇහැරෙන්නෙ නැත්තෙ? ආ...?" සහෝදර කිරිල්ලි නැගිටලා.. උදෙත් වෙලා.. දෙයියනේ... "මේ මුලු ‍රැයෙම  ඔහු මට කෑ ගැහුවෙ  මගෙ හීනෙ අස්සෙද?"


විඩාබර හිසින් කිරිල්ලි නැගිටින්නෙ මතකය අලුත් වෙච්චි දුකෙන්...  දවස පටන් ගන්නෙ දුකෙන් යැයි හිතෙද්දි කිරිල්ලිට හිතෙන්නෙ නැගිටින්නෙ නැතුව සදහටම නිදියන්න... එතකොට හීනෙත් නිදියාවි... ඒත් කවුරු එපා කිව්වත් , කිරිල්ලිට එපා නොවෙච්චි ආදර මතකෙ නම් ඊලඟ ආත්මෙත් පහන් කරාවි...


අනේ බුදු හිමියනි.. කිරිල්ලිට නිදන්න දෙන්න... එක ‍රැයක්.. නපුරු හීන නැතුව...

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->