Saturday, May 21, 2016

[331] අපට සෙනේ ඇති බෝසත් ගිජි‍ඳෙකු, කවදද දෙදණ නමන්නේ ?


රජ පෙරහැර මැද ඇතා නටනවා දා කරඬුව ඇල වෙනවා දෙදහස් වසරක් රෑකගත් කරඬුව දෙවියනි හද කකියනවා ! අපට සෙනේ ඇති බෝසත් ගිජි‍ඳෙකු කවදද දෙදණ නමන්නේ ? විලංගු ලා ලා , ඇතු බැඳ දමලා සැනසුම් සුසුම් හෙලන්නේ කොඩි කුඩ සේසත් පාවඩ තිබුනත් කොහොමද රජ පෙරහැර යන්නේ ? උත්තම කරඬුව දෝත දරාගෙන පාර කොනේ අපි ඉන්නේ අපට සෙනේ ඇති බෝසත් ගිජි‍ඳෙකු කවදද දෙදණ නමන්නේ ? පෙරහැර රජ දැක්මකි. මහා මෙන්ම කුඩා රජවරුද ඔ‍ටුන්න හිමි කුමරවරුද වඩින මහා මංගල්‍යයකි. එහෙත් දෙදහස් වසරක් අප මුතුන් මිත්තන් ලේ කඳුලු දහඩිය හෙලමින් ‍රැකගත් හෙල මුදුන්මල්කඩ වන් දා කරඬුවට මේ අප- තාල ඔබින්නේ නැතිය. එම උත්තම දා කරඬුව හද බැතින් දරා පාර කොනේ සාධු නද දෙන අපට මේ පෙරහැර ගෙනෙන්නේ වේදනාවකි. එවන් විපතේ හෙලී සිටින දේශයේ අනාගතය පිලිබඳ කකියන ලෙයින් යුතුව , සුවහසක් පොදු මිනිසුන් ඉදිරියේ ඉදිරියේ දෙදණ නමන රජි‍ඳෙකු කොයින්ද? එක් අතකින් බලන කල , විලංගු ලා අත පය බැඳ දැමූ ඇතෙකුගෙන් බෝසත් ඇත් ගිජි‍ඳෙකුගේ තේජස අප කෙසේ නම් බලාපොරොත්තු වන්නද ? නෙක විල්ලුද පලස් ඇතුරුනද , එයට රජ පෙරහැරකැයි කියන්නේ කෙසේද? හිස දරා සිටින උතුම් කරඬුව හද බැතින් රජ තේජසින් වඩමවන්නට දේශයක ජීවනාලිය වන් තරුණන්ගේ විලංගූ ලූ ප්‍රාර්ථානාවන්ට හැකි වේවිද? ගිජිඳුන්ගේ හිස් වූ, නටන ඇතුන්ගෙන්ම නොසිස්වූ රජ පෙරහැර දකින්නට දොහොත් මුදුන් දී අප පාර කොනේ පෙල ගැසී සිටින්නෙමු. තවමත් අප ඒ බෝසත් ගිජි‍ඳෙකු බිහිවන දිනය එන තුරු ඇඟිලි ගනිමින් මග බලා සිටින්නෙමු. ගීතය ගයන්නේ : සුනිල් එදිරිසිංහ 
ගීතය


Tuesday, May 17, 2016

[330] මල් පිපිලා.. සාදු කියන්න මැණිකේ...


මල් පිපිලා එදා වගෙම , බලන්න මැණිකේ
බමරු ඇදෙනවා සුලඟට සතර දිගන්තේ
තරහ නොගෙන සාදු සාදු කියන්න මැණිකේ


එදා අපට පෙම්වත් සඳ , අද දරුවන්ටයි
ගලා හැලෙන නිල් ඇල දොළ පෙම් කවියක් වෙයි
එදා අප වෙලී ගියමග , මෙදා උන් බැඳී යන සඳ
තරහ නොගන්ටයි


කෝඩුකාර පෙම්බස් දැන් ඉතින් ඔවුන්ටයි
රෑට පිපෙන තරුමල්වල රේණු ගනින්ටයි
එදා අපෙ හීන මාලිග මෙදා උන් තනා ගත් සඳ
තරහ නොගන්ටයි...

මැණිකේ.. බලන්න මේ පන්සල් බිමට ඇදෙන පියගැට පෙළ දිගට තියන මල් ... එදා වගෙම අදත් මල් පිපී කොයිතරම් සුන්දරද ? සුලං සමග දසත ඇදෙන සුවඳ සොයාගෙන , අර බලන්න බඹරු එන ලස්සන ! එපා මැණිකේ ඉරිසියා කරන්නට, එපා තරහා ගන්නට. අපටත් තිබුනා නොවැ ඔහොම කාලයක් !  'සාදු සාදු' කියා පිපෙන මල් වලටත් මල් රොන් ගන්නට එන බඹරුන්ටත් සෙත් පතන්න සොඳුරිය ...

මතකද , අප කොයි තරම් සඳ පහන යට හිඳ පෙම් බස් දෙඩුවාද? දැන් ඉතින් අප මහලුයි. සඳ නම් තාම තරුණයි , ඒ  එදා සඳමයි. බලන්න හඳ මෝරන ලස්සන ! ඒ සඳ පහන යට පෙම්බස් දොඩන  තරුණ දූ  පුතුන් දිහා එපා වපරැහින්  බලන්න ඔහොම. එදා අප අත් පටලගෙන ආදරයෙන් ඇවිද ගිය පෙම් මග, අද අපේ දූ දරුවන් ඇවිද යනු ඇති. එපා රෝස පරොස් වන්නට. දයාවෙන් උන් දකින්න මැණිකේ, අමනාප ගන්නට එපා මා සොඳුරිය ....

සුරතල් පෙම්  බස් , කෙලි කවට සිනා දඟ කම් දැන් අයිති ඔවුන්ගේ ලෝකයටයි. මැණිකේ අපි දැන් වයසයි... රාත්‍රිය ඔවුන්ටයි. මේ අපේ දූ දරුවන් පෙම් කරන යුගයයි. මැණිකේ ඇත්ත අපිටත් තිබ්බා ලස්සන හීන මාලිග, අපිත් දු‍ටුවා ලොකු ලොකු හීන. මට දුකයි , නුඹේ හැම හීනයක්ම මට සැබෑ කරන්නට බැරිවුනා , ඇත්තයි ... ඒත් අද අපේ පොඩි එවුන්වත් ඒ හීන ඉ‍ටු කර ගත්තාවේ මැණිකේ.. උන් ඒ මාලිගා තනා ගත්තාවේ. තරහ ගන්නෙපා , ඉරිසියා කරන්නත් එපා , අපි දැන් වයසයි සොදුරී.. අපි උන් දිහා උපේක්ෂාවෙන් බලා ඉඳිමු. උන්ට සෙත් පතමු.
.....

එදා තමන් විඳි ආලවන්ත යුග දිවියෙහි කඩ ඉම් පසු කොට දැන් ජීවිතයේ සැඳෑ සමයට පිය නැගූ මහලු වියපත් යුවලක් පන්සල් පියගැට පෙළක් හෙමි හෙමින් නගිනායුරු මගේ මනෝ පථයෙහි දර්ශනය වෙයි. සිය වීයපත් ප්‍රියාදරියට , ඒ ගැන තරහ නොගන්නැයි මහත් සෙනෙහෙන් ආලයෙන් වටහා දෙන මහලු ස්වාමියෙකු මට මැවී පෙනෙයි. ආලයෙන් බැඳුනු සුවහසක් පෙම්වත් තරුණන් දෙස මහත් වූ උපේක්ෂාව, මුදිතාව පෙරදැරිව බලා සිටින ඒ මහලු බෝසත් තාත්තා මේ කියන්නේ ජීවිතයේ යථාර්තය නොවේද ?


සුනිල් එදිරිසිංහයන්ගේ ලයාන්විත හඬ මේ දුලබ පද පෙලට මුසුව , මේ විනිවිද දකින්නේ ජීවිතයයි. යථාර්තයයි. 

ගීය ගයන්නේ : සුනිල් එදිරිසිංහ  ( ගීය අහන්න )

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->