Showing posts with label සංචාරේ. Show all posts
Showing posts with label සංචාරේ. Show all posts

Saturday, March 09, 2019

[351] රත්තරන් වටින හිතවත්කම ..

Image may contain: 1 person, food and indoor
මීට මාස තුන හතරකට උඩදි , හදිසි කටයුත්තකට මහනුවර යන මට, සෝයා කිරි හල අසලදි , නම අමතක නාඳුනන හඳුනන්නෙක් මුණ ගැහෙනවා.

"මිස් , මාව මතකද?"
මම නිරැත්තරයි. මූණෙන් පෙන්වන හිතවත් කම බොහොම බරයි. දැකල පුරැදුයි.

"අනේ , සොරි , මතකයක් නැහැනේ"

"ඇයි මිස් , හන්තානෙ , අර තේ කඩේ , මිස්ලා මියුසියම් ආවම එන්නේ තේ බොන්න , ඒ කඩේ මගෙ තමයි "

" ආ හාා.."

හන්තාන ටී මියුසියම් එක. රටේ තිබෙන විශාලම හා ලස්සනම තේ කෞතුකාගාරය ! පෙම්වතුන්ව සිටි අප දෙදෙනාගේ සුන්දරම ආදරනීයම මතක.. පැය ගණන් වනපෙත් පීරෑ අති රමණීය ඇවිද යාම්.. දහස් ගණන් වූ පින්තූර .. හදිසියේ සැලසුම් කල පික්නික් .. එකතු කල මල් පැල (අද තරමක ගස් දක්වා ගල්කිස්සේ පෝච්චි වල වැඩෙන ) .. ඒ දිගු සොබාදහම් චාරිකා අවසන ගිමන් නිවන වංගුවේ තේ කඩය.. අපට උණු උණුවේ තේ දෙන පැටිස් හදා දෙන අපේ හිතවතා ... විකුම් සර් සමග කැලෑ මංමාවත් වල ඇවිද යන අපි ඒ ගතකල නොස්ටැල්ජියානු සංචාර කොතරම් සුන්දරද ..?

කෙලෙස අමතක වෙන්නද ? මතක ගොඩක් අධි ධාවනය වූ හදවත සමගින් මා මුහුණේ උණුසුම් සිනාවක් මතුවෙනවා..

"කොහොමද සර් එහෙම.. ලඟදි ආවෙ නැද්ද නුවර ? සර්ව මතක් කරා කියන්න .. "

"අනේ හරිම සතුටුයි අපිව මතක තිබ්බ එකට.. අපි අනිවාර්යෙන්ම එන්නම් ඊලඟට නුවර ආවම .. "

"එන්න එන්න මිස්.. කඩෙත් අලුතෙන් හැදුවා.. බලන්න එන්න සර් එක්ක "
ඇත්තමයි. සමහර හදවත් හරිම හිතවත්...

ඒ හිතවත් කම මම ගෙදර ඇවිත් ප්‍රසන්නට කීවම , ඔහුටත් සතුටුයි.
"ඊලඟ වතාවෙ නුවර ගියාම අනිවාර්යෙන් යමු හන්තානේ.. අපිව මතක තිබ්බ ඒ මනුස්සයාගෙ කඩේ බලල එන්න හරි යමු" ඔහුත් ඒ හිතවත්කමට හැඟුම්බර වුනා.

ඉතින් ගිය සතියෙ , අපි දෙන්නා ගියා අපේ හිතවතා බලන්න. සමහර පුංචි සැමරැම් ගෙනෙන සතුට අනන්තයි අප්‍රමාණයි. අවුරැදු දෙකකට ඉහත එදා ඒ ගතකල කාලය කොතරම් සුන්දරද... එදා සහ අද වෙනසකට අැත්තේ ⁣කාලය විසින් වියපත් කල ජීවිතය පමණයි. කිසිදා සොබාදහමෙන් , සොඳුරැ මිනිසුන්ගෙන් වෙහෙස පත් නොවන , නිරන්තර තිරිහන් වෙන හදවත අදටත් එහෙමමයි. එදා හන්තානේ තේ යායවල් පීරන අප රැගෙන ආ බිගෝනියා , චෙරි පැල අද ගැටවර වියට පැමිණ අපේ ගල්කිස්ස නිවසේ සඳලුතලය සරසනවා වගේම , ඒ සොඳුරැ නිහතමානී සොහොයුරාගේ නිරහංකාර සිනහව නැවත නැවතත් හන්තානේ ⁣වංගුවේ කුඩා තේ කඩය සිහි ගන්වනවා.

මහනුවරට කිලෝමිටර හතර පහක නුදුරින් ඇති මේ අති සුන්දර තේ කෞතුකාගාරය නරඹා ඇත්තේ කීයෙන් කී දෙනාද ..

එහි යන ගමන් , ඊට ඉහල වංගුවේ ඇති පුංචි තේ කඩය ඔබට , අපූරැ ගිමන් නිවන නවාතැනක් වේවි ! හිතවත්කමට ස්තුතියි. අපි ආයිමත්.එනවා නුවර ආවම !

Some friendships are strange but boldly very solid and beautiful. The day I accidentally met this person near soya center in kandy a few months ago , I was surprised to see how he remembered me and prasanna , having spent a few hours in 2017. It was the time we were lovers and used to wander around beautiful hanthana mountain range and visit tea museum often. those jungle trails Prasanna and I accompanied with vikum sir ( who is a jungle runner until we are lost among nowhere) , never ending chats about movies , songs , etc etc... This little tea joint was unforgettable because of the friendliness this little mudalali malli offered. This time in Kandy , the only trip we made was to see this nice person and his newly built little hotel after a disastrous accident occurred a months ago when a tree branch fallen off and damaged the roof. If you visit the tea museum , please dont forget to drop in to this sweet little place passing the next two bends from the museum . For sure he's always got 'just cooked' hot hot patties and ginger plain tea. Plus a whole big heart of truly sri lankan hospitality and genuine friendliness !
Until we visit again ❤ chao

Image may contain: one or more people

Monday, February 03, 2014

[300] වන මැදින් සිරිපා පිණිපා කොට..

බස් එකේ විනීතව නුවර පැමිණෙන සෙනග
වැව රවුමේ .. රෑ සංචාරේ
ගියත් ගියායින් එහෙවු ගමනක් නම් ගියේ නැත. අවුරුද්දක් තිස්සේ ප්ලෑන් ගැසුවෙමු. අන්තිමේ 13 රෑ වෙනතුරුම එකදු ප්ලෑනකුදු ක්‍රියාත්මක නොවුනේය. ඒකෙත් හැටි ! හැබැයි සන්තෝසේ බැරිය ! ප්ලෑන් ගසන්නට , කඩන්නට මෙන්ම ප්ලෑනක් නැති නිසාවෙන්ම තුටුවන්නට මේ ගමන් සගයින්ට හැක්කේය.

ඇතමුන්ගේ විනීත චායාරූප
12 දා රෑ වනවිටත් ප්ලෑනක් නම් තිබ්බේම නැත්තේය. එන්නේ කවුද නැත්තේ කවුදැයි දැන ගන්නේ උදෑසන සෝරෝවාගේ ඇමතුමෙනි.

හැටන් දුම් රිය ස්ථානය
 
හැටන් දුම් රිය සිථානයේ බසයේ සිට
බසයේ කල් මැරීම
එහෙනම් හවස දැන් එන්නෙ කොහොමද?  සෝරෝවා මගෙන් අසයි.

මම දන්නෙ නැහැ. එන විදියකට එනවලා . ගෙදර නැවතියෑකි.  සෝරෝට මගෙන් දැනගන්ට ලැබෙන්නේ එච්චරකි.


බස් එක පිටත් වෙන්නේ 10.30 ලු ????
දස අතේ බනිමින් පනුවාට , ඉනෝශාට හසීට සහ සීනයාට කෝල් දෙමින් අවසානයේ හවස 4ට කොටුවෙ 'කො' යන්න යට කට්ටිය මුණ ගැහෙන බවත්, එන විදියකට නුවර එන බවත් තීරණය වෙයි.  ඉනෝශාට කවදත් වාගේ වෙලාවටම වැඩ කිරීමට හිතෙයි. ඒ නිසා රෑ 9 වෙද්දී කට්ටිය නුවරය !
  
වැඩ ඇරී සඳුදා ගෙදර එන මට සිරිපා ගමනට අත්‍යවශ්‍ය ටෙනී සපත්තුව ඇත්තේ ගෙදර නොව ඔපිසියේ බව සිහි වුනාය. තිරෝද රියක නැගී ඔපිසියට රෑ 9ට සැපත්ව මුරකරු අන්දමන්ද කරවන මා , ඔපිසිය ඇරවා , සපත්තුව ගනිමි.  එයත් ගෙන 9ට සැපත්ව සිටින නඩය පිලිගන්ට නුවර යමි.
පොංගල් බත් ලැබුනි
ඔයින් මෙයින් කල්ප ගානක් තිස්සේ ඉනෝශාගේත් මගේත් හිතේ කැකෑරුනු සිහිනයක් සැබෑ වෙයි. රෑ දෙගොඩ හරියේ නුවර රස්තියාදුව ! කෙල්ලන් දෙන්නෙකුට කිසිසේත් තනියම කරන්ට බැරි මේ වැඩය , ආරස්සාවට ඉන්නා කොල්ලන් තුන්දෙනාට පින් සිදුවන්නට ඉටු වුනේය.



සිරිපා වනජීවී කාර්යාලෙන් වන ගමන ඇරඹෙයි
නඩේ ගුරාගේ අණ පිලිපදිමින්, ...
බඩගිනිය. මුස්ලිම් හෝටලය වහන්ට ඔන්න මෙන්නය. වේටරයාට බැගෑපත්ව කන්ට තියන ඕනෙම දෙයක් ගේන ලෙස ඉල්ලමු. යීස්ට් රොටි කීපයකුත් අල හොද්දකුත් , මාලු හොදිත් ලැබුනි. කොල්ලන් තුන් දෙනාට සිරිපා යන්නට මස් මාලු නොකා පේවෙන්නට අවැසි නැත. මන්ද අප උන් වෙනුවෙන් ඒ වතාවත ඉටු කල නිසාය. ඉනෝශා සතියක්ද , හසී දින තුනක්ද , මම එක දවසක්ද එය ඉටු කළෙමු. කැලේ යන අපට දෙයියන්ගේ පිහිට ඉල්ලන්ට එපැයි.

රාජමලෙයි කෝවිල සහ ගම්මානය

මුස්ලිම් හෝටලයෙන් කා බී , වීදි බට අප , ෆුඩ් සිටියට ගොඩ වැදී අයිස්ක්‍රිම් කීපයකින් බඩේ අඩු තැන් පුරවා ගනිමු. වැවරවුමේ තැබිලි එලි පිටවෙන ලාම්පුවට මත් වන ඉනෝශා ට urban chik නම තබන්නේ සිහිනයාය .
යහමින් ගම්මුන් අපට සංග්‍රහ කලෝය
ඇය නුවර වැවරවුමේ අසිරියෙන් මත් වී ෆොටෝ ගසාගෙන ගසාගෙන යන්නීය.නුවර බේබදු මාර්ග සංචාරකයන්ගෙන් මේ අසරණ ගැහැනු ලමුන් තිදෙනා බේරාගෙන කොල්ලෝ තිදෙනා සමග අපේ නිවසට ගාටගතිමු.
ගම් වැසියන්ගේ සොඳුරු සිනහව සමග 
නිදා සිටින අම්මා ඇහැරවා , ගේ පුරා ලයිට් දමා , බැණුම් අසා ගමනට මහත් ප්‍රීති සහගත ආරම්භයක් ගත්තෙමු.  කෙසේ වෙතත් පාන්දර එකේ සිට තුනයි පනහ තෙක් කෙටි කුකුල් නින්දකින් ඇහැරී මූණ කට බාගෙට හෝදා ගන්නා අප එන බස් එකක නැග ගන්නෙමැයි සිත හදාගෙන මගට බසින්නෙමු. (මන්ද මට තෙරෝද රියකට පාන්දර එන්නැයි කියන්නට අමතක වූ හෙයිනි) පයින්ම නුවර යාම හැර වෙන විකල්පයක් නැත.
 
යටිකූරියා මල් - පනුවාගේ සහ රැන්ඩිගේ සොයා ගැනීමකි
නුවර පේනමානය තෙක්ම බසයක් එන්නෙ නැත. වාසනාවට නුවරට කිලෝමීටර භාගයක් තබා තෙරෝදරියක් පැමිණෙයි. සය දෙනාම කිටි කිටියේ නංවා ගන්නට තරම් කාරුණික වූ රියැදුරු නිසාවෙන්ම 5.30ට පිටත් වන හැටන් බසයට විනාඩි හතරකට පෙර නැග ගත්තෙමු.
වෙලාව උදෑසන 8ය. ! හැටන් නගරයෙන් බැස ගන්නා අපට බඩගිනිය. රුපියල් අසූවයි ! උදේ කෑම ඕනෙ තරම් කන්න බුෆේ බුෆේ ! සවනට මී වක්කරන්නා බඳුය. හසි නගාට දැනුන කුඩා කරකැවිල්ලත් කෑම එක්කම සුව වෙයි. බුෆේ එකෙන් පසුව නල්ල තන්නියට බස් සෙවූයෙමු. සිහිනයාට වතුර නැති නිසා කාන්තා ටොයිලට් එකකට රිංගන්නට වූයේය. වෙනත් කාන්තාවන්ට සිහිනයාගෙන් විය හැකි අතවර අවම කරනු වස් , ඔහු පිටට එන තුරු කිසිදු කාන්තාවකට ඒ ප්‍රදේශයට ලංවීමට අපි ඉඩ නොතැබීමු.
සමනල තැන්නේ ගිමන් හරිමින්
හැටන් දුම් රිය පොළ අසල නල්ලතන්නි බසයක් තිබේ . එහෙත් එහි කිසිවකුත් නැත. ටිකක් විමසා බලද්දී පසක් වන්නේ එම බසය පිටත් වන්නේ 10.30 ට බවයි. පැය දෙකක් !!!  බසයට නැගි අප අදහිරිය වන ඒ කියුම හමුවේ අප බසයෙන් යලිත් බසින්නෙමු. ලංගමේ මහත්වරු එයට ඉඩ දෙන්නේ නැත. ඒ බසයට සිටි මගීන් පස් දෙනා අහිමි කරගැනීමට ඔවුන් අකැමතිය. එනිසා බසය 9/30ට පිටත් වීමට එකඟ වුනි.තෛපොන්ගල් දිනය නිසා අතර මගදී කෙසෙල් කොලේක පොංගල් කිරිබත්ද බසයට ලැබුනේය. අහා රස!


මරේ වතුයාය ඔස්සේ සොඳුරු දසුන්
11.30 වන විට රැන්ඩිගේ නඩය සොයා , නුවර නඩය නල්ලතන්නියේ බැස ගතිමු. සිරිපා වන ජිවී කාර්යාලය තෙක් ගමන් ගන්නා අපට මුණ ගැසෙන රැන්ඩි අපට වන ගමන් පිලිබඳ උපදෙස් මාලාවක් සපයනු ලැබුවේය. මෙතැන් පටන් අපේ නඩේ ගුරා රැන්ඩිය.


සමනල තැන්නේදී පෙනෙන සිරිපා කඳු මුදුන
වනජිවි කාර්යාලය අසලින් මරේ වතුයාය ඔස්සේ දැන් අප නිහඬව එකා පසුපස්සේ එකා බැගින් ගමන් ගනිමින් සිටිමි. මනහර තේවතු යාය මැද්දෙන් රැන්ඩිගේ කතා බහ අතරෙන් , විවේකයක් නොදීම අප නඩේ ගුරා එක හැල්මේ අපට කඳු නග්ගවයි.  අපට හතිය! සෑහෙන වෙලාවක් නාහෙන් හැඬීමෙන් සහ කෑම බෑගයට අණ හිතුමතේ අත පෙවීමෙන් අප ගිමන් නිවා ගතිමු.

සමනල තැන්න
රාජමලෙයි කුඩා ගම්මානය , වන අඩවියට පිවිසුම් දොරටුවෙහි හමුවන මනුෂ්‍ය වාසයයි. තෛපොන්ගල් නිමිත්තෙන් සංචාරක අපට සංග්‍රහ කිරීමට ඔවුන් මහත් සන්තෝෂයෙන් ඉදිරිපත් වෙති.  යහමින් කහ බතින් සහ රසවත් මාලි පිණි වලින් සප්පායම් වන අප කටුක වන ගමන අරඹමු. රැන්ඩිගේ අණ අනුව කට පියාගෙන සිටීම මහත් ආයාසයකින් පුහුණු වෙමින් අප පැය දෙකක පමණ ගමනකින් මනහර සමනල තැන්නට ආසන්න වෙමු.
වන මං ඔස්සේ
සමනල තැන්නේ පැයක් පමණ විඩා හරින අපට ජූජක බමුණාගේ කෝලමත් රූගත කිරීමට අවස්ථාව ලැබේ. (වීඩියෝව මග එනවා)  . මනාසේ රුධිර ගමනාගමනය ක්‍රමවත් කරගැනීමෙන් පසුව අප තවත් පැයක් දෙකක පමණ ගමනකින් , අඳුර වැටෙන්නට ඔන්න මෙන්න කියා හරිත සොඳුරු වන පියස කෙළවර කරමින් ඉඳිකටුපානට සැපත් වන්නෙමු. කෝඩුකාර කසුන් 1 , කසුන් 2 සහ හසී නගා කැන්දාගෙන රැන්ඩි ඉඳිකටු පානේ ඉඳිකටු අමුණන්නට පල්ලම් බසිද්දී ඉතුරු අප බිස්කට් ගබඩාවෙන් හතරෙන් එකකට පමණ වග කීවේ මහත් නිර්ලෝභී සිතිනි.
කූඩැල්ලන් ඇසුරේ
කලුවර වැටීගෙන එයි. රාත්‍රී 8 පමණ වෙද්දී කෙමෙන් කෙමෙන් වැඩිවන සෙනග මධ්‍යයේ අප උඩ මලුවට සැපත් වීමු. සෙනග වැඩිවන්නේ තව රෑ වෙද්දීය. ඊට පපෙර විශ්‍රාම ශාලාවේ වර්ග මීටර දෙකක පමණ කුඩා කොටුවක් අප වෙනුවෙන් වෙන් කරගන්නට රැන්ඩි සමත් වෙයි.   දස දෙනෙකුගේ නඩයෙන් නව දෙනෙකුම ඔය කුඩා අගු පිලෙහි ගුලී ගැසී පැය තුනක් නිදා ගත්තේ මෙසේය. එවෙලේ එලියට පැමිණි බයිට් පැකැට්ටුව අමතක කළ නොහැක්කේය.

ඉඳිකටු පාන
උඩ මලුව පෙර කවදාටත් වඩා ශාන්තය. සෙනග අඩුය. ඉනෝශා නගා ගෙනා වැටකෙයා මල් පූජා කරන්නට  හසීටත් මටත් ඉඩ ලැබුනේය.

රෑ එකොළහ පමණ වෙනතුරු සීතලේ ගැහෙමින් ගුලුවී නිදියන අපට ඉර සේවය හෙට බලාපොරොත්තු විය නොහැකි බව ශබ්ද විකාශනයෙන් ඇසෙයි. අදහිරියට පත් වන අප යලිත් පහළට කරුණා කිරීමට තීරණය කලෙමු.


උඩ මලුව - මහ සෙනග
සීතල හැමදේටත් වඩා ඉහලින් නැගී සිටියි. මඳ දුරක් පහළට බසින අපට එක අඩුවක් මතක් වෙයි. කට දන ලුනුමිරිස් සහ රොටී මෙවර සප්පායම් වූයේ අඩුවෙනි. කට්ටියක් රොටී කද්දී තවත් කට්ටියක් බංකුවේම ගුලිවී නිදති. පැයක පමන තවත් කෙටි නින්දකින් යලිත් නඩය සාම චෛත්‍යය තෙක්ම හැල්මේ කරුණා කලෝය.


ගුලිවී නිදන නඩය
පසුගිය සිරිපා සැසියෙහි සින්දු කියා බිස්නස් වැඩි කරදුන් කඩය ඉදිරියෙහි අපේ පුරුදු ගී ගායනා කොට අලෙවි ප්‍රවර්ධන සත්කාරයක් කිරීමට අපි අමතක නොකළෙමු. ඒ කුඩා සංගීත සංදර්ශනය නැරඹීමටම විදේශික කතුන් පිරිසක් සිය කාලයෙන් විනාඩි දහයක් පමන අප වෙනුවෙන්ම වැය කළෝය . 
සීතල උල්පත් වතුර
සාම චෛත්‍යය අසලදී යලිත් අපට නිදිමත හැදුනි.. සීතලද අධිකය. සාම චෛත්‍යයේ පිටත අගුපිලෙහි පැදුරු කොට්ට රේන් කෝට් එලා ගන්නා අපි යලිත් පාන්දර වන තුරු ගුලිවී නින්දට වැටුනි. යලිත් අප ඇහැරෙන්නේ පාන්දර පහයි තිහටය. ඒ ඇටකටු කීරි ගස්වන අධික සීතල නිසාවෙන් නින්ද තවත් නොයන නිසාමය. බිම වැටී සිටි ඇටකිචි ගෙඹි සැකිල්ලක් රැන්ඩි සාක්කුවේ රුවා ගනියි. වනජීවී නිලධාරීන්ට දෙන්නටයැයි කීවාට , ඒ ගෙඹි සුප් හැදීමටදැයි සාක්ෂි නැත්තේය.

යන යන තැන නිදාගත් පනූ
උදෑසන 9 වෙද්දී නල්ල තන්නි බස් නැවතුමට එද්දී හොඳ ගණන්ය. එහෙත් නොසැලී නුවරටම බසයේ යාගත යුතුය.  නල්ලතන්නියෙන් හැටන් යන බසයේ දස දෙනාගේ නඩය එල්ලුනෙමු. හිටගෙනම හැටන් තෙක් කරුණා කරමු. අපේ හිතැති නඩය ශෝකී ලෙස දැන් දෙකට කැඩෙන වෙලාවය . කසුන් 1 සහ සිහින හැටන් වලින් කොලඹ බසයට නැග්ගෝය. අපි හැටන් වලින් නුවර බසයක් ගතිමු. මුල් හෝරාව නිදාගෙනද අවසන් හෝරාව පණුවාගේ ගීත සමුච්චයකින්ද සමන්විත වෙයි.

අපිත් නිදා ගත්තෙ නැතුවා නොවෙයි
බසයේ මිනිස්සු හැරි හැරී බලති. පණුවා මෙලෝ සිහියක් නැතිව අවසන් අසුන් කොනෙහි ගී කියයි. සෝරෝ ද අවසිහියෙන් මෙන් තාල අල්ලයි. අපි ගීතයේ අරුත් විමසමින් හිකි හිකි ගාමින් සිටිමු. 
ශූටින් වලට පෙර උපදෙස් - සමනල තැන්න
මුල්ගම්පලින් අපේ සොඳුරු අඩල් චාරිකාව අවසන් විය. රැන්ඩි අපෙන් සමුගත්තේය. රැන්ඩල්ස් හිල් දුම්‍රිය නැවතුමේ පනුවාත් රැන්ඩිත් එකිනෙකා වැලඳගනිමින් ගමන නිම වෙයි.
සොඳුරු දසුන්
ගියාත් ගියායින් එහෙවු අඩල් ගමනක් ගියේ නැත.  මේ ලියන්නේ සිරිපා ගොස් පැමිණි බාරය ඔප්පු කිරීමට පැයකට පෙරය. පෙනී යන තාලෙට හැම අවුරුද්දේම සිරිපා සැසිය එන්න එන්නම අඩල් වූයේය. ඒ තරම්ම විනෝදබර වූවේය. එන පාර නම් මොනවා (නො) වේද කියා මෙහෙම බලද්දී සැකය. ඒත් ගමනක උපරිමම සතුට ඒකය.

මරේ කවද්ද තේ වත්තක් ගත්තේ ??? :)

සොඳුරු දසුන්
 ගමන නම් අවසන්. ආයෙත් අවාරෙ සිරිපා යන්නත් සැලසුමක් තිබෙයි. ගමන පුරා නොයෙක් දෑ කියා දුන් , අපව වන මං ඔස්සේ පරෙස්සමෙන් එක්කාගෙන ගිය රැන්ඩිට ස්තූතියි. මේ සුන්දර පරිසරය ගැන ලිපියක් ලිව්වෙ බොහොම පැකිලීමෙන්. මන්ද ලිව්ව පමණින් මෙහි ගොස් සොඳුරු සොබා දහම වනසන , සහ එහි ව්‍යාපාර අරඹා ගම්මුන් ටුවරිස්ට් ඒගන්ට්ලා කොට ගමේ මිනිසුන්ගේ ස්වභාවික ජීවිතය අවුල් කරන අයත් ඉන්න නිසා. ඒ නිසා මෙන්න වැන්දා , පරිසරේට ආදරේ නැතිනම් පරිසරය පැත්ත පලාතේ නොයන්න. ආදරේ වැඩිනම් ඒත් නොයන්න. පරිසරයේ තමනුත් එක සතෙක් බව දෑනේ නම් පමණක් යන්න. 

ගිය අවුරුද්දේ වීඩියෝ දසුන් තාම පරණ ෆෝන් වලය. මෙන්න 2013 සිරිපා ගමනේ රූගත කිරීම ... 

මෙවර රූගත කිරීමේ විඩියෝව එන අවුරුද්දේ බලාපොරොත්තු වන්න. :)




Friday, April 26, 2013

[289] හෘද ව්‍යායාමක සටහන්...(Notes on a Heart Exercise)


නොසිතූ විරූ වේගයෙන් දැඩි උණුසුම් ගෙන්දගම් මිශ්‍රිත මද්දහන දැඩි ශීතයකට පරිවර්තනය වෙයි. එහෙත් ශීතලෙන් හදවත ගල් නොවෙයි. ඒ වෙනුවට රස්නයෙන් ප්‍රසාරණයව තිබූ හදවත යලිත් සංකෝචනය වී සිය පියවි නිරෝගී හැඩය ගනී. හාට් එක්සසයිස් කිරීමේ මේ එක්තරා ආකාරයකි. අමිහිරි නීරස ජීවිතයකට එතැනින් මිදී පැය කිහිපයකට ගෙවන සුන්දරතාවය සිතනවාටත් වඩා වේදනාවක් වනු ඇත. මන්ද සුන්දරත්වය විඳි හදවතට, එය මතක හදවතට, අමිහිරද දැඩි සේ වද දෙනු ඇති බැවිනි. වෙන්කරගත් නිවාඩුවක , වාහනයක් සොයාගෙන , කාලයද වෙන්කොට , හිත සැනසිල්ල සොයා යාම එක්තරා මනංකල්පිත ආශාවකි. මන්ද එය කිසිදාක උදා නොවෙයි. ජීවිතය එක මත එක වගකීම් යුතුකම් සහ බැඳීම් පවරා සිටියි. 

හාට් එකට එක්සසයිස් දීමට අයාලේ යා යුතු නොවේ. ජීවිතයට නිදහසේ පියා සලන්නට ඉඩ හැරිය යුතු වෙයි. එක්තරා පොතක පොඩි කාලයේදීම ලියා ගත් කුහක සමීකරණයේ විචල්‍යයන්ගෙන් මිදී වසා ඇති හෘද දොරපියන් විවර කොට නිදහස් සුලඟ ආශ්වාස කිරීමට ඉඩ තැබිය යුතු වෙයි. අනෙකාගේ  අහිංසක විඳීම තුල කොරහේ කිඹුලන් දැකීම උන්ට නොව තමාටම වේදනාවක් වෙයි. හදවතක් තුල ආදරයත් සෞම්‍ය බවත් ගහකොළ සහ මහ පොළව සමග සැබෑ බැඳියාවත් මුල් ඇද තිබේ නම් අමුතුවෙන් හාට් එක්සසයිස් අවැසි නොවෙයි. 




මාර්ගය බොහෝ රුදුරු විය. ගමනාන්තය , දුර , යා හැකි නොහැකි බව ගැන හාංකවිසියක හැඟීමක් නොමැතිව රිය සක බැරි අමාරුවෙන් කැඩී බිඳී ගිය මග සමග ඔට්‍ටු වෙයි. කඳු මුදුනෙන් අහස් වලල්ලට පැටලෙන්නාක් මෙන් ද , නිහඬ ගුප්ත හොල්මන් හරිත සීතලක් වෙලා ගන්නාක් මෙන්ද සිතුවිලි පහළ වෙයි. මයිල ගණනාවක ගැස්සීම් , පෙරලීම් වේදනාවන් ඔබ්බෙහි ගමනාන්තය දිස් වෙයි. 

ආශ්චර්යයකි. කඳු ගැට්ට මුදුනතෙන් එහා තැන්නෙක , මෙතෙක් වේලා සඟවා තබා ගත් චිත්තාකර්ශනීය සොබා ත්‍යාගය දිස් වෙයි. රූස්ස ප්‍රතාපවත් පයින් ගස් දහස් ගණනකින් වටවුනු සිඟිති නිශ්චල වැවත් , සීතල සුලඟට කෝල ගමනින් බැස යන දිය දහරෙන් පෝෂණය වන වනන්තරයත් තුල හදවත විස්මයෙන් ගල් ගැහෙයි. 

හරිත කඳු ගැට්ටෙහි නිසංසලේ තැන්පත්ව හිඳින වැව් දියකඳ රකින වියපත් සදාහරිත මුර දේවතාවුන් වැනි පයින් තුරු, ගණ කොළ පැහැයෙන් පරිසයට ගුප්ත අඳුරක් මුසු කරයි. දහවලෙත් නොනැවතී ඇහෙන ‍රැසි නාදය , ගෙම්බන්ගේ කුරුල්ලන්ගේ කචබචය , මේ සොඳුරු බිම්කඩෙහි උන්ගේ තනි අයිතිය පිලිබඳ අනතුරු ඇඟවීම් වැනිය. හෘදය ආනන්දයෙන් පිපිරී යන්නට ආසන්නය. 


ආදරය විඳින්නට , පුදන්නට හෝ ලබන්නට අප පළමුවෙන්ම මේ මහපොළවට , එහි කඨෝර රළු බවට , එමෙන්ම භාවාතිශය සුකුමාර බවටද පෙම් බඳින්නට උගත යුතු වෙමු. අනෙකුත් කුණුගොඩවලින්  හිස් පුම්බා ගත් පුස් හදවත් හා කුහක බවින්  පිරීගත් ලෝකයක්ද මේ පොළව උඩම පවතියි. එක්තරා දුකකුත් පහළ වෙයි. මේ සුකොමළ වැව් බඳ ලාලනියකට වඩා ලාලිත පිරී තිබෙයි. ඊට ඇසදී දෑසින් මත් වීමම හාට් එක්සසයිස් වෙයි.. එදෙස බලා සිටින අප නිසා විලියෙන් මෙන් , සීත ශ්වේත සළු පොරවා තුහින වැස්සක් අහසින් බිමට පහත් වෙයි. වැව් තලයෙහි ඇතිල්ලෙමින් පෙම් කෙලින මහ පොළවට සෙනෙහසින් උස් තුරු මුදුන්ද හිස් බිමට හරවා ගනිති. වැහි සැණකෙලියෙහි කොටස්කරුවන් වී මහ පොළොවෙහි තෙත්බර චිරි චිරිය මත්තෙහි අපි ඇවිද යන්නෙමු. 




මේ ඇගේ හැටිය. සොබා දහමට වෙලාවක් කලාවක් නැත. ඊට ප්‍රේක්ෂකයන්ද නැත. ඊට ඇත්තේ නිදහසේ ආදරය කරන්නට අවකාශය පමණකි. උණුසුම් දැතකින් වටව සීතල පියැස්සක විඳිය හැක්කේ ප්‍රේමය පමණකැයි බාල සිතකට සිතිය හැකිය.  එහෙත් එවන් මනෝහර ගුප්ත පරිසරයක ප්‍රේමය යන වදනෙහි වපසරිය , මහපොළවට ඇති ආලයෙහි අසීමිත බවින් අර හුදෙක් සරාගී සමීකරණය පුළුල් කොට සිටියි. එබඳු ආනන්දයකට දිය හැකි නමක් වේද? එය ජීවිතාහ්ලාදය යැයි කියන්නෙමි.  

ටොරින්ටන් පදික වේදිකාවේ විකිණෙන කොන්ඩ ක‍ටුවම ඔඩෙල් රාක්කයකදී මහා මිලකට මහා ගම්භීර බවකින් විකිනෙයි. ඔඩෙල් ක‍ටුව පලඳින්නාට එහි ඇති ගම්භීර බවද ප්‍රේරණය වෙයි. සොබාදහමද එබඳුමැයි. අච්චර අසිරිමත් හරිත පියසකදී ප්‍රේරණය වන්නේ බාල හැඟුම්ම යැයි අනාවැකි දකින්නා කෙරෙහි අනුකම්පාව විනා අන්දෙයක් නොසිතෙයි. හිරු සීතලෙන් මිරිකී වෙහෙස පත් අයුරෙන් ලහිකොට අස්තංගත වීමට සැරසෙයි. පිණිබර වැව් තලයෙන් දැරිය නොහැකි සීතලක් ගොඩ ගසයි. පරිසරය මෙන්ම ඊට ආල කරන්නවුන්ද රිදවන කණ්ඨ කඨොර ඩොලැක්කි නාදයෙනුත් , බීමතින් පිස්සු වැ‍ටුනු බජව් කචබචයෙනුත් අහිංසක සොබාදහමට කිසිසේත් සුසර නොවෙයි. සීතල දිය ක‍ඳෙහි පහසින් මත් වන්නවුන්ගේ බෑගිරි හඬින් නිශ්ශබ්ද වාතලය දෙදරයි. 

රොලර් කෝස්ටරයක ලොමු දැහැගන්නා බව සොබා දහමට නැත. සුන්දරත්වයෙහි විභවයෙන් සිරුර සලිත වෙද්දී එය ආනන්දයක් සේ හදවතෙහි පිරෙයි. මහ පොලවට මහා ආදරයක් උපදියි. ඇතැම් විට මේ සොබා සුන්දරත්වය පිලිබඳ හිපි කල්පනාවන්ගේ සීමාව ඉක්මවා යාමක් ලෙස ඔබට පෙනෙනු ඇත. 





නිහඬ හොල්මන් අන්ධකාරය පයින් තුරු මුදුනෙන් වැව් බඳට ඇදී එද්දී කසුන් කල්හාරගේ හඬ පරදන සුගායනීය හඬක් 'රෑ අහසින් වැටෙන පිනි බිඳු' පිලිබඳ ආලයෙන් ගයයි. බජව් වේදනාවෙන් උමතුව ඒ මේ අත ඇඹරුනු තුරුපතර සන්සුන් වෙමින් , වැව් බ‍ඳෙහි කුඩා පියස්සෙන් මිදෙන ගී හඬට නතුව නතර වෙයි. සුසර වූ වැව් දිය ‍රැලි තාල අල්ලමින් ගිටාර තත් මතින් ඇවිද යන සුලඟ සමග රහස් කියයි. මහපොළවෙන් නැගී එක ගුප්ත හඬක් මෙන් ගී බිංදු එක දෙක සෙම්බුවත්ත වැවෙහි නිදන් වෙයි. ‍බජව් කාරයන් නික්මෙන තුරු එලියට නොබසින රැහැයියන් , ගෙම්බන් මෙන්ම  වන සතුන්ද ,  අන්ධකාර පයින් කඳන් පි‍ටුපස්සෙහි  සැඟවී මේ ආනන්දනීය සුයාමයට රහසේ කන් දෙමින්  සිටින්නාක් මෙන් හැ‍ඟෙයි. වසර සිය ගණනකට පෙරාතුව මේ වැව් පිටියෙහි කුර ගෙවෙන තුරු  දිව ගිය පෝලෝ අසුන් පයින් කඳක ගැට ගසා , ආදී සුදු මහත්වරුන්ගේ ආත්මයන්ද  'රෑ අහසින් වැටෙනා '  හිපි හඬට වශීකෘතව , පයිප්ප උරමින් සෙම්බුවත්ත උද්‍යාන පියැස්සෙහි වැටට බරවී හෝ පයින් ගසකට පිට දී හෝ අප දෙස බලා සිටින්නාක් මෙනැයි මොහොතකට මට හැඟී ගියේ මන්දැයි නොදන්නෙමි..

හෘද ව්‍යායාමය උදෙසා පෙම් බැඳිය යුත්තේ හිස් වූ හිස් දහයකට නොව , ගහකොළටත් , මහ පොළවටත් , මතුපිට පොළවෙන් වැසී මිහිදන්ව ගිය අතීත දහඩිය කඳුලු වලටත්ය. සෞම්‍ය හදවත් ඇති මිනිසුන් වාසයෙහි ගෙවූ හෝරා කිහිපයෙහි ලැබූ තෘප්තිය ප්‍රේමයම වෙයි. එයට මුඛ්‍යාර්ථ ප්‍රේමය යයි නම දෙන්නේත් අමනෝඥයෙකි.   . 


මහපොළව පෙම්වතෙකි. මහපොළවට පෙම් බඳින හිපියෙකු මනුෂ්‍යත්වයෙන් එහා ගිය බොහෝ නිදහස් ගමනක් සන්සුනේ උරුවම් බාමින් ඇවිද යන ආදරවන්ත මිනිසෙකි. 

එබඳු මිනිසුන් වෙත මහත් වූ සෙනෙහසින් ඇල්කඩුවේ සෙම්බුවත්තේ සිට  මේ සිතුවිල්ල පහළ කර ගතිමි. 



(ඊයේ ඡායාරූප තවමත් නොලැබුනු හෙයින් , ඉන්ද්‍රනාමගේ බ්ලොග් අඩවියෙහි පලව තිබූ සෙම්බුවත්ත ඡායාරූ උපුටා ගතිමි. )



Friday, March 08, 2013

[287] එ'පුර ඉවුරේ හිඳ ... !


එක්තරා කාලයක මම සිහිනයක් දකිමින් සිටියෙමි. එය සිහිනලන්තයක් හෝ සිනහාලන්තයක් යයි කීම වරදක් නැති... 



එක්තරා සවසක... බොහෝ නිහඬ හවසක.... කිසිදු සද්දයක් නැතිව ලතාවට පැද්දෙන දිය ‍රැළි .... නගර ආලෝකයෙන් ඒකාලෝක වුනු දිය මතුපිටෙහි ඇ‍ඳෙන උස් ගොඩනැගිලි ප්‍රතිබිම්බ... බොහෝ නුවරුන් සිය දිවා දාහයෙන් සහ කලබලයෙන් පීඩා විඳි සිතත් ගතත් සනහා ගනු වස් රොක් වන නගර මධ්‍යයේ තැනුනු උයනක්.. නිහඬ... නිසංසල... සුන්දර... .

මම තව තවත් ඒ සිහිනයෙහි ගිලෙමින් සිටියෙමි... පෙම් උයනක් ... හෝ ළමා උයනක් යනාදී වශයෙන් ලේබල් නොගැසූ , වයස් භේදයකින් තොරව ,සියලු දෙනාගේම නෙතට එකම අඳුනක් වන පොදු නගර උයනක්... නගරයක දහවලට අහිමි නිස්කාන්සුව උපයා ගනුවස් එක් සතයකුදු ගසා කැමෙන් තොරව ටිකට්‍ටුවකුදු මිලට ගැනුමෙන් තොරව ඕනෑම කෙනෙකුට නිදහසේ කල් ගෙවිය හැකි විවෘත එලිමහනක්... රෑ මැදියමෙහි සිට උදෑසන වනතුරු පවා උදෑසන සිට  දින ගෙවෙන තුරු පවා සියොතුන් සමනලුන් මෙන්ම නිදැල්ලේ පරිසරයෙහි අරුමයෙහි ඇලී ගැලී සිටිය හැකි සොඳුරු බිම් කඩක්.. 

ගස් අස්සේ අඳුරු මුලු ගානේ සිප වැලඳ ගන්නා , එතෙකින්ද එහා ගොස් , රති කෙලියෙහි යෙදෙන පෙම්වතුන් නැති. එබඳු පෙම්වතුන් ඇත්දැයි මුහුණෙන් මුහුණට පඳුරෙන් පඳුරට ටෝච් ගසා විමසන කාකි මහතුන්ද නැති. . ඒ වෙනුවට, ‍රැකියාවෙන් නිදහස් වී ‍රැකියා ඇඳුමින්ම එහි හිඳ ආදරයෙන් වෙලෙන , සවස ගත කරන , සිනහ වන පෙම්වතුන් ඇති. සිදාදියෙහි තාපය කෙ ඳුදැයි කියන්නාක් මෙන්  ඔවුන්ගේ මුහුණු දහඩියෙන් පීඩිතව එහෙන් සතුටෙන් දිලිසෙයි. 




එහි එන ළමා ලපටින් , මාපියන් අතේ එල්ලී නිසංසලේ ඇවිදයනු විනා , සතුටෙන් සිනහ වනු විනා,යටිගිරියෙන් බෑගිරි නොතලති. කුඩා වුන් සරුවපිත්තල තොරොම්බල් වලින් හෝ නලා නදින් අවුස්සමින් , දෙමාපියන්ගේ පසුපසින් විත් කන්න්කෙඳිරි ගාන වෙලෙන්දන් එහි නැති...ඒ තරම් ගහකොලක් නිලක් නැතත් , තිබෙන සිසිලසට කුඩා වුන් පවා ප්‍රියය. 

එහි අඳුරු සෙවණැලි මත්තෙහි හොරෙන් බෝතලයක් ඔතාගෙනවුත් ගිල දැමීමට ඉඩක් සොයන අයවලුන් නැති. කටගැස්මකුත් සමග මත් වතුර එක උගුරට කටට හලා ගෙන වැනි වැනී යන ටිපිකල් බෙබේලා නොගැවසෙති. 

හැන්දෑවට ගලන රතු පාට අන්ධකාරය පසුබිමෙහි , දිගු ‍රැවුලක් වවා ගත් කඩවසම් කොලු ගැටයෙකු ගිටාරයකට පණ පොවමින් රෙගේ ගීත සිය බුහුටි කටහඬින් අවදි කරයි... ඊට කැමති මිනිසුන් අතලොස්සක් ආශාවෙන් ඔහු වටා රොක්ව දැහැනකට සමවැදී හිටගත්වනම ! ඔහු ඉදිරියෙහි තොප්පියක් වෙයි. තොප්පියකට මුදලක් දමා මුදකින් මිනිය නොහැකි ඔහුගේ සොඳුරු කටහඬට වශීවී කිහිප දෙනෙකු ඒ සොඳුරු වෑයම අගයති... 

එහෙවු නගර උයනක් මම සිහිනෙන් දකිමින් සිටියෙමි. එහෙත් දෑස් යලිත් පිසදා බලන කල්හි එය සැබැවක් බව වැටහුනි... මගේ සිහිනලන්තය ඉදිවී තිබෙයි. නාගරික සීමිත ඉඩෙක , අසීමිතව සොඳුරු වූද ,  නොකිලිටි මෙන්ම  විවෘත වූද බිම් කඩෙක කෘතිම උද්‍යානයක් තැනී තිබෙයි.. , වයස් භේදයකින් තොරව, බොහෝ මිනිසුන් විඩා නිවනු වස්, ආදරය නිවි සැනසිල්ල බෙදාහදා ගනුවස් තම තමන්ගේ ජීවිතයෙහි ඇසිල්ලක් වෙන්කොට ඇති අයුරූ ප්‍රීතියෙන් ස්පර්ෂ කළෙමි.



සොබාදහම යනු නිල් පැහැ කඳු පෙලින් සුසැදී , මලින් බර වීගත් තුරු ගොමුවෙන් පිරි හරිත උයනක්මයැයි කිව නොහේ. සොබදහම නම් , ගස් ගල් මල් මෙන්ම , ගෙන්දගම් පොලවත් ය. කෘත්‍රිම ගඩොල්ද , ඇස්බැස්ටස් වහලය සොබදහමමත්ය. එහිම හිඳ හරිත කඳුවැටියක් සිහිනෙන් දකිනවාට වඩා , නිරුත්සාහී අවට ලෝකයෙහි තැනී ඇති දැයට පෙම්බැඳීම ප්‍රායෝගික යැයි මට සිතෙයි. 

අප යන හරිත චාරිකාවක් නැතිය. ජීවිතය හැප්පෙන්නේ ගෙන්දගම් පොලවෙහි තාපයෙන් දැවීගත් දවසක තරඟයෙහිය. ඒ තරගයෙන් මිදී , තිබෙන නාගරික සුන්දරත්වය තුලින් හෝ කෙටි මොහොතකට නිස්කාන්සුවක් ලැබීමට සිතෙන්නේ කීයෙන් කී දෙනාටද? ජීවිතය අත්විඳින්නට ආදරවන්තයෙකු සිටිය යුතුම නොවේ. ආදරය අත්විඳින්නට පොතෙහි එන සොබාදහමම තිබිය යුතු නොවේ. 

2013-3-6  : දියවන්නාවේ සොඳුරු නාගරික උයනෙහි මඳක් නතරව ලිවීමි..
.
.
පසුව ලියමි......


මට දුකක් ඇති වෙයි.. පෙර මෙනුවර විසූ , දුප්පත් කිලිටි මිනිසුන් , කිඹුලන්ද නොතකා, කලු ගැහුණු වතුරද නොතකා ලාවට හෝ නා-කියා ගත්තේ මේ දියවන්නා ඉවුරේය. නාගරික දැවෙන හදවත් නිස්කලන්කේ ජොගින් යද්දී , අනේ,,, උන්ට නාන්න තිබ්බ තැනත් නැති වූ හැටි... 

'අපෝ නැහැ. අර තියෙන්නෙ ලස්සනට පඩි පේලිය හදලා. ඒ අහිංසක මිනිස්සුන් නාපු තැන නැති නොකරපු එක නම් ලොකු දෙයක්... ..'  

මා  තරම්ම ලෝකයටම ආදරේ කරන, දුප්පතුන් පවා සෙනෙහසින් වැලඳ ගන්නා හඬක් මට ඇසෙයි...



Saturday, June 23, 2012

[252] 2012 පෙරහුරු පොත් රස්තියාදුව

ජීවත් වෙච්චි අවුරුදු ගණනාවේ වෙනස් නොවී එක දිගට තිබ්බ එකම දේ හැටියට මට මතක් වෙන ලොකුම ආසාව තමා පොත්. පොතක් නැතුව ගෙවිච්චි එක දවසක්වත් ජීවිතෙ තිබ්බෙ නැතිව ඇති. අනික තමයි අනෙක් කොයි දේ මිලට ගන්න ගියත් දෙපාරක් හිතන පුරුද්දක් තිබ්බත් පොත් කියන මාතෘකාවෙදි නම් මම හරියට වියදම් කරන්නෙ කිසිම පසුතැවීමක් නැතුව. ඒක ආවෙ අපෙ අම්මගෙන් වෙන්න පුලුවන්. පොඩි කාලෙ උනත් අනික් කොයි දේ අරන් දෙන්න ගියත් දාහක් ප්‍රශ්න අහලා , කිරලා මැනලා අරන් දෙන අපෙ අම්මා පොත් නම් , බස් ගාස්තුව දෙන්නට ඉතුරු කරගෙන ඉතුරු හැම සතෙන්ම පොත් අරන් දෙන්න පසුබට උනේ නැහැ.

මතකනෙ ගිය අවුරුද්දෙ පොත් රස්තියාදුව. 1,2,3 මෙන්න තියෙන්නෙ. ඒ මදිවට තඩිපොත් බෑග් එක නිසාවෙන් අඳුනගත්තු ඩේවිඩ් අන්කල්? මතක නැතිනම් බලන්නකො.

ඉතින් සැප්තැම්බරයට එන පොත් වසන්තයට කලින් නුවරට එනවනේ මිනි සයිස් (මම කිව්වෙ පොඩි සයිස්) වසන්තයක්. මහනුවර පොත් ප්‍රදර්ශනය බලන්න ඊයේ හනික සිටි සෙන්ටර් එකෙ ඉහලම මාලෙට ගොඩ උනේ නිකම් නැයො බලන්න යන්නා වගෙ හිතවත් හැඟීමෙන්.
 

ඉස් ඉස්සෙල්ලම විදර්ශනා එකට ගෑ‍ටුවෙ , කොයිකටත් එතනින් පටන් ගන්න එක පසුම්බියට සහ හිතා හොඳ නිසා. ඒක තමයි මගෙ ප්‍රියතම තැන. මම හොයන ජාතියෙ පොත් හොයල දෙන්න ඒ අක්කටත් පුලුවනි හොඳට. එතනින් එහාට නම් ඉතින් ඉබාගාතේ තමයි. පොත් රාක්ක , පොත් පුසුඹ, පොත් පොත් පොත්... කොයි අත බැලුවත් හිතවත්තු. ඒ කිව්වෙ පොත්.

රස්තියාදුවෙ යනව නම් හොඳම තනියම යන එක කියන  වාක්‍යය මම අදහන කරුනක්. හොඳටම ඉබාගාතේ යන්න හැකි වෙන්නෙ එතකොටනෙ. ඒ මදිවාට හිතෙන තැනකදි නවතින්න. හිතෙන තැනකදි ඉඳගෙන ඉන්න, හිතෙන වෙලාවට එකම සාප්පුවට ආයි ආයිත් උනත් ගොඩ වෙන්න වගෙ විකාර කරන්න පුලුවන් වෙන්නෙ තනියම යද්දි. මම නම් පොත් චාරිකං ඒක චරං තමා. නැතිනම් මගෙ යාලුවන්ට පණ එපා වෙයි මාත් එක්ක යන්න.

ඉතින් ඊයෙ පොකැට් එක එච්චර සරුත් නැහැ. ඒ මදිවාට පහුගිය සැප්තැම්බරෙන් ඉතුරු පොත් 4ක් තියනව - අටවක පුත්තු, වෙයි වෙයි-ශැංහයි සොඳුරිය, යක්ශයා සහ ප්‍රයිම් මෙනවිය , පියාපත් ලද දෝණිය. ඉතින් ඒවා පෙනි පෙනී තව ගන්න එකත් තේරුමක් නැහැ.

 
මාසික පඩි පැකැට්‍ටුවෙන් නම් හැම මාසෙම එකතු වෙච්චි පොත් අතරින් මගෙ වැඩියෙන්ම හිත ගත්තෙ නම් චේතන් බගත්ගෙ පොත් පරිවර්තන දෙකක් උනු , තුන් තකතීරුකම් කරපු කෙනෙක් මං පොතයි, හෙලෝ හෙලෝ පොතයි. 




රෝසි - උරුම අරුමය (ජෙරල්ඩ් ඩරල් ලියූ- උත්පලා ජයවර්ධන පරිවර්තනය කළ) පොත නම් මම හිතුව තරම් රිවර්තිකාව සාර්ථක නැහැ. ඒක ගත්තෙ ලොකු බලාපොරොත්තු තියාගෙන . (මතකනෙ මගේ පවුලයි අනෙක් සත්තුයි ගැන මම ලිව්ව ලිපිය - එතෙන්දි නම් රානි රාජපක්ෂගෙ පරිවර්තන සරු බස නිසාමයි ඒ පොත් එතරම් රසවත් වුනේ- ආයෙ දෙකක් නැහැ) උත්පලා අක්කා දක්ශයි (ඇය මම හිටිය විශ්ව විද්‍යාලෙ සීනියර් කෙනෙක්, අපෙ රූමි කෙනෙක්) 

ඒත් රානිගෙ පරිවර්තන ශෛලිය ගැන හිතුවාම උත්පලා අක්කා ආරම්භයට ගොඩක්ම හොඳ බව ඇත්ත.. ඒත් ඉතින් .. ජෙරල්ඩ් ඩරල් කියන්නෙ උපහාස්යා පිරිච්ච කෙනෙක්. ඒ උපහාසය රානි සේනාරත්න රාජපක්ෂ තරම් ග්‍රහණය කරන්න උත්පලාට නම් හැකි වුනෙ නැති බව කියන්නම වෙනවා. එක අතකින් ඉන්ග්‍රීසි මුල් පොත නොකියවා මෙච්චර හෑල්ලක් කියන එකත් හරි වැරදි වැඩක්.

මොනව උනත් ඊයෙ ගත්තු පොත් ටික තමයි මෙන්න පල්ලෙහායින් තියෙන්නෙ.

දැන් ඔයාල අහාවි සෙසේ ගත්තෙ ඇයි ආයෙමත් කියලා... මතකනෙ සෙසේ ගැන මම ලිව්වා... ඔව් මට සෙසේ පොත තියනවා. ඒත් මගෙ හිතවත්ම මිතුරෙක්ට සෙසේ පොතක් හොයල දෙන්න මම පොරොන්දු උනා. ඒක ඉ‍ටුකරන්නයි ආයෙත් ගත්තෙ. සෙසේව ඕනෙ නම් දුවලා දුවලා යන්න විදර්ශනා කුටියට. එතන පොත තියනවා . සෙසෙ කියන්නෙ හිනාව සැහල්ලුව සහ සතුටට ඇබ්බැහි වෙච්චි ඕනෙ කෙනෙක්ට කියාපු පොතක්. 



සිරිමත් කියන්නෙ ඇත්තටම ළමා පොතක්. ඒත් ඒකෙත් සෙසේ වගෙ ශෛලියක් තියනව කියල තමා හිතුනේ. ඔලුව වැඩ රාජකාරි වලින් මිරිකිලා වෙහෙසිලා ඉද්දි බරසාර පොතක් කියෙව්වොත් මම හිතන්නෙ අංගොඩ තමයි නවතින්නෙ. ඒ වෙලාවට හොදම බේත් තමයි මේවා :)  


අරුම පුදුම ඉස්කෝලෙ ඊයෙ මම කියවන්න ගත්තා. ඒක නම් ආයිත් නෑ, නියම පිස්සු කතාවක්. ඉහත කිව්වබේත් ජාතියෙ පොතක්. පිස්සු හැදිලා ආයිත් හැදෙනවා. එච්චරට විකාර පොතක්. ඒත් කාලෙ හැටියට කියාපු පොත :) :) 
 
ඕන් ටිකක් බරසාර පොතක්. ඇත්තටම සයිමන් නවගත්තේගමගෙ රචනා ශෛලියට මම බොහොම මනාපයි. සංසාරණ්‍යය අසබඩ වගෙ පොත් වල මම ගොඩක් ගැඹුරක් වින්දා. ඒ ශෛලිය හොඳ සෙන්සිටිව් මූඩ් එකක ඉන්න වෙලාවට. ආයෙත් නෑ , ගැඹුරේම ගිලෙනවා. 

මග සොයා යන ගමන කියන්නෙ භික්ෂුණියකගෙ ස්වයං චරිතාපදානයක්. විදර්ශනා පොත් ගෙදර තුසාරි අක්කා තමයි කිව්වෙ මේ පොත හොඳ බව. සිල්මාතා කායිව් සහ ආචාරිය මන් භූරිදත්ත තෙරුන්ගෙ කතා කියෙව්වා නම් මේ පොත ඒ වගෙ එකක් වෙන්න ඕනෙ. තාම කියෙව්වෙ නැහැනෙ. කියෙව්වම කියන්නම්කෝ. අවුරුදු ගණනාවක්ම රැවටිලි මායාවන්ට හසුවූ මේ තේරණිය ඒ හැම එකක්ම අතරින් මග සොයා ගිය ගමන කියවෙන පොතක් මේ. 
 
පුනරුක්ති කියන්නෙ ගිය අවුරුද්දෙ ඉඳලම ගන්න එක මගෑරුනු පොතක්. ඒත් ගන්න තදින්ම හිතුනු පොතක්. අනෝමා ජනාදරීගෙ ජීවිතේ කොයිවගෙද බලමු.  
නිරුවත් වානරයා කියන පොතත් ඒ වගේ. මේ පොත පොඩි කාලෙ (ඒ කිව්වෙ අවුරුදු 21 වගෙ) දකිද්දි ගන්න ලැජ්ජා හිතුනෙ මිනිස්සු මොනවා කියයිද දන්නෙ නෑ කියලයි. ඒත් දැන් ඉතින් ලෑජ්ජාවට වඩා මේ පොතේ වටිනාකම දන්න නිසා ආයිත් මට මොකද කවුරු මොනවා හිතුවත්? නේද? අනික දැන් මම ලොකුයිනෙ . නේද? හෙ හෙ. 

ඔය පල්ලෙහායින් තියන ඉතුරු පොත් තුනම ඉතින් මගෙ දෑනුම එකතුවට තමා. විභාග දෑනුම මට වඩා වටින්නෙ මගෙ ලමයින්ට. ලක්දිව බුදු පිලිම කියන්නෙ මම කියවන්න බොහොම මනාප විෂයක්. ඒ වගෙමයි සර්පයෝ. අනේ මන්දා. සර්ප විද්‍යාවටත් මම බොහොම ආසයි, පොඩි හැකරැල්ලෙකුටත් බය උනාට. ඉතින් දැක සතුටු තමයි. :) :)  




ඔන්න ඔය විදියට හරිම තෘප්තිමත් පොත් දවසක් ගෙවලා , ගොනා අනින්න ගිහින් උලුක්කු වෙච්චි කකුලෙ ඉදිමිල්ලත් කීප ගුනයකින් වැඩි කරගෙන ඒත් හිතේ පුරවගත්තු පොත් සුවඳයි , අතේ තිබ්බ හැටියට ගත්තු පොත් ටිකයි අරගෙන මම ගෙදර ආවෙ ඔය විදියටයි. දැන් ඉතින් ලමයි මට හරියට වැඩ :) :) ලමයි මට කරදර කරන්නෙපා. තියනව මේ පොත් එක එක අනුභව කරන්න මට :)

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->