ජනාකීර්ණ පාරවල් , නාගරික අවන්හල් , කලබලයෙන් තොරව උදේ සවස සාප්පු සවාරි යන මිනිසුන් දකිද්දී නාගරික හුදී ජනී ජන සංහතිය අස්සේ මට පොඩි පහේ චමත්කාරයක් දැනෙයි. සුවිසල් නගරයක ලාම්පු කණුවක් උඩ හිඳ සිටින කුඩා කලාමැදිරියෙකු මෙන් චූල හැඟීමක් විටෙක මට පහළ වෙයි. ඒ ඔස්සේම ගිලී ගිලී ඇතුලට යන විට මට ලෝකය ගිලෙන්නට මෙන් හැඟීමක් එයි. ලෝකයක් ගිල ගැනීමෙන් , දිරවා ගත නොහැකිව මා නම් ප්‍රාණියා පිම්බෙන්නටත් ලෝකය කුඩා වන්නටත් පටන් ගනී. එය මහත් විකාරයකි.
දුහුවිලි නගරයේ ඇස් නිලංකාර වන වීදි ලාම්පු එලියට නිරතුරුව පරදින කුඩා කලාමැදිරි ජීවයක් යයි මට සිතේ. කලුවරත් සමග මම නිවසට එමි. ඒ මොහොතේ පටන් රූප පෙට්ටිය දෙස නොකල්පනාවෙන් හෝ බලා සිටිමි. කුඩා සිනහවක් දෙකක් පිට කරමි. නිරන්තර සහ සදාතනිකව නිදන්ව ඇති මතකය පොඩ්ඩක් අලුත් කොට ගෙන නාසය රතුවන තුරු හඬමින් සිටිමි. තනිව සිටීමේ නිදහස !
මා කවදත් අවන්හල් වන්දනා කරන්නට කැමතිය . අවන්හල් තුල සිටින මිනිසුන් දෙස බලා සිටින්නටත් , උන්ගේ ජීවිතයට එබී , නොදුටු දෑ සොයා යන්නටත් ඇති මගේ ආශාව කිසිදා හීන නොවෙයි. එක් දිනක් මහනුවර ආපිකෝ අවන්හල මැද හිඳ මා සිනහසෙන මුහුණු සෙවුවා මට මතකය . එවකට මාද සිනහසෙන මුහුණකි. පුදුමයකි ! මට පහ පොළව උඩ සිනහසෙන එකද මුහුණක් දැක ගන්නට උවමනාව බලවත් වූයේය !
එක් වරක් නොව සිය දහස් වර
පිඟානෙන් නෙත් ඉවත යන්නෙය ..
නේක මසවුලු දෙසට මෑනුනු
ගිජු දෙනෙත් මග හැර සොයන්නෙය ..
සිනාවක් වැගිරී හැලෙන තැන
එක්කො කිරිකැටි මුව පොඩිත්තකි
මෙතෙක් දුර්මුඛ නොවූ මුහුණක
අසුන අසලක කිසි කෙනෙක් නැති..
එය අවාසනාවකි. යාබද අසුන නොසිස්ව තිබූ එදා මම ජීවිතයට සහ දහමට අභියෝග කලෙමි. එහෙත් මා පැරදුනෙමි.
මීට මසකට පෙරද අවන්හලක් මැද මම හිඳ සිටියෙමි. උදේ පිබිදුනු නැවුම් සිතැතිව මම ඉතා සැහැල්ලූ ආහාරයක් ඇණවුම් කොට සුවපහසු ඩිවානයට පිටදී සිටිද්දී මට ලියන්නට සිතක් ආවේය. ලියන්නට පැනක් හෝ කොල කැබැල්ලක් නැති මොහොතේ වේටර කොලුවාගේ කමිස සාක්කුවේ පෑනද , මුදල් ගෙවා ලබා ගත් බිල්පතද පිහිටට ආවේය. එකකට එකක් නොබැඳුනු එක එක ජාතියේ සිතුවිලි ටිකක් එක පොදියක්ව ඡේද ඡේද බවට පත් වෙයි. සිත මෙන්ම සිරුරද සැහැල්ලු වෙයි.
" මම දැන් අරුම පුදුම කුරුල්ලෙක්ගෙන් ගිලිහුන පිහාටුවක් වගේ. වෙලාවකට වේගෙන් ගසාගෙන යන , ගහක රැඳෙන , ගිනි හුලඟට කැරකෙන , අහස සිඹින පිහාටුවක ඇති අද්භූතය මොකක්ද ? පිහාටුවකියන්නෙ ගිලිහිච්චි දෙයක් . ඒක ආයිත් කුරුලු තටුවක නවතින්නෙ නැහැ. සුලඟට අවනත නොවී බරට පොළවෙ රැඳෙන්නත් බැහැ .
ඒ නමුත් උඩවැඩියා මලක් ඇමිණුව කෝට් සාක්කුවක ස්මරණීය මතකයක් වෙන්න, පින්තූරු එක දෙකක උජාරු මූණක් යට රැඳෙන්න නම් පුලුවනි. පිහාටුවකට එහෙම උනාට සදාතනික අගයක් නැහැ. ඒක තමයි අපි අකැමති ඇත්ත.
මම හරිද , ලෝකය හරිද මම දන්නෙ නැහැ. ඒත් මම කිව්ව දේ යතාර්ථවාදී ඇති. ඒත් මම නිතරම ආදරේ කලේ යතාර්ථය ඉක්මවා ගිය ෆැන්ටසියට. දේදුන්නක් උඩ ඉඳගෙන රුවල් නැවක වගේ හබල් ගාන සිතුවිලි ! මම උදේ දවල් රැ නැතුව ඔලුව රිදෙනකල් ජීවිතේ ගුරුත්ව කේන්ද්‍රය හොයනවා. වැරදි ලක්ෂ්‍යක් තෝරගෙන සමබරතාව නැති කරගන්නව. මම ජීවිතේ හොයන අස්සේ තව සමහරු මාව කියවගන්න බැරුව පිටු පුරවනව . අපි හැමෝම එකට පැටලුනු වල්ග වලින් සහ අත් හැරීමට නොකැමති දෑත් වලින් බැඳීච්චි අමුතු සත්තු රංචුවක් වගේ .
ජීවිතේ කියන්නෙ හරි අපූරු දෙයක්. ඒක දිහා බලන් ඉන්න එක භාවනාවක් වගෙම අභ්‍යාසයක් . ඒ ව්‍යායාමය අපව දැනුමැත්තන් වගෙම සානුකම්පිත සිත් ඇත්තන් බවටත් පත් කරනව "
සුන්දර කෝපි කෝප්පයක් , අයිස් පලමක් හෝ සැන්විච් කැබැල්ලක් තුල ජීවිතාභ්‍යාසයක් ගැබ්ව ඇතැයි සිතෙන්නේ කාටද ?
" ජීවිතය මහ පුදුමයි. " යන අදහසට මම එකඟ නොවෙමි.අපට අද සිදුවන සෑම සිදුවීමක්ම මෙදියත සහස් සංඛ්‍යාත මිනිසුනට / ගැහැණුන්හට අතීතයෙහි අසංඛ්‍යවාරයක් සිදුව ඇති බව නිසැකය. එළෙසම තවත් අසංඛ්‍යවාරයක් එළෙසම ඉදිරියෙහිදී සිදුවීමටද නියමව ඇතිබවද එළෙසම නිසැකය. එහෙත් ජීවිතයේ බොහෝ සංසිද්ධීන් ඉතාම අනපේක්ෂිතබව මම එකහෙලා පිළිගනිමි.
ReplyDeleteජීවිත චාරිකාවෙහි ඊළඟ නැම්මෙන් ඉක්බිති, ඊළඟ කඳු ගැටයෙන් ඔබ්බෙහි ඇත්තේ කුමක්ද යන්න නොදැනීම චාරිකාවෙහි චමත්කාරය ඉහල නැංවීමට හේතුවන්නකි. ඊළඟ නැම්මෙන් එහා ඊළඟ කඳුමුදුනෙන් ඔබ්බෙහි ඇත්තේ කුමක්ද යන්න එකහෙලා දැන් සිටින්නෙකුට චාරිකාවෙහි කිසිදු චමත්කාරයක් ඇත්ද?
“Would you like to know your future?...
If your answer is yes, think again. Not knowing is the greatest life motivator.
So enjoy, endure, survive each moment as it comes to you in its proper sequence -- a surprise.”
― Vera Nazarian, The Perpetual Calendar of Inspiration
'කලුවරත් සමග මම නිවසට එමි. ඒ මොහොතේ පටන් රූප පෙට්ටිය දෙස නොකල්පනාවෙන් හෝ බලා සිටිමි. කුඩා සිනහවක් දෙකක් පිට කරමි. නිරන්තර සහ සදාතනිකව නිදන්ව ඇති මතකය පොඩ්ඩක් අලුත් කොට ගෙන නාසය රතුවන තුරු හඬමින් සිටිමි'.
ReplyDeleteඒ කොටසනම් මටත් අදාලයි
ජීවිතය පුදුමයි කියලා හිතෙන්නේ අපිට නුපුරුදු දේවල් සිද්ධ වෙන බැවිනි.මටත් එසේ සිතුනු වාර අනන්තය.ආදරය සම්බන්ධයෙන් මාත් හැගීම්බර වූ වාර අනන්තයි.
ReplyDeleteලිපිය ලියා ඇති විදිහට හා එහි අරුතට මම ගොඩක් පෙම් කරමි.