Friday, December 06, 2013

[299] අවසන මම 'ඈ' ගැන සිතීම අත් හළෙමි..

 
ඊයේ - බ්‍රහස්පතින්දා දහවල  
-------------------------------
බොහෝ දිනකට පසුව මහනුවරට සැපත් වීමි. මේ මගේ කෙටි නිවාඩු දිනයය. දවල් ඉර පෙනෙද්දී කඩ සාප්පු වල ගාටන්නට ලැබෙන ස්වර්ණමය අවස්ථාව මම මග නොහැරීමි. කඩින් කඩ වැටෙන මඳ වැසි මේ මහනුවරද  නුවරඑලියද? කියා සිතෙන් අසයි. ඇසි පිය හෙලන වේගයෙන් ගණ මීදුම කඳු හිස් වැලඳ ගෙන ඊලඟ මොහොතේ අතුරුදන් වෙයි.බස් රථයක ගමන් ගනිද්දී වටපිටාවේ බොහෝ දෑ පෙනෙන අරුම! ලියමනකට කරුණු එකතු වෙන අරුම !

පාසැල් ඇරෙන වෙලාවය. මා හිඳ සිටින බස් රථය රිය තදබදයෙහි එක තැන නතරව තිබෙයි.ජනේලය පාමුල පදික වේදිකාවේ මව්වරුන් දෙදෙනෙක් මගේ නෙත ගැටෙයි. නලල මැදට වන්නට සුදු කෙස් මතුවූ , ඒ කෙස් ගස් හරි හැටි නොපීරන ලද නිසා අවුල් වූ කොණ්ඩයකිනුත් යුත් තරුණ මව සිය කුඩා පුතු අතින් අල්ලාගෙන පදික වේදිකාව මැදම යෙහෙළියක් සමග කතා බහකය!  මම ඇගේ හිසේ සිට පාදාන්තය තෙක් බලමි. වේගයෙන් පලා ගිය යෞවනයේ පැහැපත් සම , ආරන ලද උදරය , වයසට වඩා මුහුකුරා පෙනුම, හරි හැටි පිලිවෙලකට නාඳින ලද කොට සාරිය ( එහෙන් මෙහෙන් පැටලූ යයි කීම නිවැරදිය) , පයෙහි ලූ නොසේදූ පාවහන් යුගල , ඉන් වැසී ගත් පැලුනු යටිපතුල්  මගේ තියුණු දෑසෙහි තැවරෙයි. මට සුසුමක් පිටවෙයි. බොහෝ ප්‍රශ්න හිසට පැන නගියි. 

'ඇයි දෙයියනේ මේ මිනිස්සු තමන්ට ආදරයක් නැත්තෙ?'

ඉක්ම යන යෞවනයට වඩා ඈට සිතන්නට බොහෝ දේ ඇතුවා විය හැකිය..  දරු සිඟිත්තන්ගේ අනාගතය !  රැකියාව ! රෑට බත සරි කරන මාලු පිණි ! හෙට උදයේ වැඩ කටයුතු ! දරුවන්ගේ ගෙදර වැඩ ! පාඩම් පොත් රාජකාරි ! ඇඳුම් මැදීම ! මේ සියලු පහින පත් වෙනුවෙන් වෙහෙසෙන ඈට සිතන්නට කොහෙද වෙලාවක් ඈ ගැන ? මා ඇගෙන් ඇසුවහොත් ඈ මෙයින් එක දෙකක් හෝ නිදහසට කරුණු ලෙස කියනු ඇත.

 මම ඇගෙන් මුදා ගත් සිත ඇගේ යෙහෙලි මවට යොමු කරමි. තත්වයෙහි වැඩි වෙනසක් නැත. මම කම්පාවෙන් යුතුව හාත්පස බලමි. දුටු දසුනින් එහා ගිය අමුතු පිලිවෙලක් හෝ පිරිසිදු බවක් ඇස් මානයේ කිසිදු වැඩිහිටියෙකුගෙන් දිස් නොවෙයි. දරුවන්ගේ උවමනා එපාකම් වලටම දිය වෙච්චි ජීවිත ! මට මගේ දෙමව්පියන්ද මතක් වෙයි. ඔවුන්ගේද වැඩි වෙනසක් එකල්හි නොතිබූ බවම සිහිවෙයි. අපි නිසාම වයසට ගිය ආත්මයන් දෙකක් ! මට දැඩි දුකක් දැනෙයි.

 මෙරටෙහි ගැහැණු මිනිසුන් තුල යෞවනය අල්ලා හිටින්නේ පෙම් කරනා තෙක්ම පමණක්ද? . විවාහයෙන් පටන් ගන්නා 'නව ජීවිතය' යනු වගකීම් , යුතුකම් , අනාගත හීන , මුදල් , ගෙවල් යානවාහන සහ දරුවන් හදා වැඩීම පමණක්ද?විවාහයෙන් මිනිසාටත් ගැහැණියටත් 'තමා' අහිමි වන්නේද? 

මම කල්පනා කරන්නෙමි.අප සිහින මවන්නේ කුමක්ද? විවාහය - අලුත් ජීවිතයක් , ගෙදර ඉද්දී නොතිබුනු නිදහසක් , කුරුලු යෞවනයක් මෙන්ම නොමියෙන ආදරයකි. 'ජීවිතය' සහ 'තමා' අමතක කරවන 'විවාහය' නමැති ප්‍රරවාහයේ ගසාගෙන යන අතරතුරම අප 'අවංක ආදරය','පතිවෘතාව' සහ 'අන්‍යෝනය බැඳියාව' එකී මෙකී නොකී දෑ කප් සුවහස් කල් එක සේ පැවතිය යුතු වේ යැයි උදක්ම ශපථ කර සිටිමු. 

දරුවන් සම්පතකි.දරුවන් වෙනුවෙන් අන් සියල්ල දෙවෙනි තැන ලෑම මේ පෙරදිග පවුල් බැඳිමෙහි සුන්දරත්වයද වේ. ඇත්තය.එහි අරුතක් තිබෙයි. එහෙත් දරුවන් බිහිවන පවුල තුල යුවලක් තවදුරටත් ගැහැණිය සහ මිනිසා නොවන්නේද? දෙමාපියන් වූ අඹු සැමියන් යනු තවදුරටත් එකිනෙකාගේ ඇඳුම් පැලඳුම් පිරිසිදු ඇවතුම් පැවතුම් සහ ප්‍රිය මනාප හැඩ හුරුකම් අනවශ්‍ය ජීවීන් දෙදෙනෙකුද? 

සිය දරුවාගේ ඇඟ රත් වීමටත් විශේෂඥයන් චැනල් කරන අපේ අම්මලා , බරපතල සැත්කමත් කල් දමන්නේ අපට ඇති ආදරය නිසා බව සැබෑවකි. එහෙත් නොසැලකිල්ල නිසාම මැදිවිය අරඹන්නටත් පෙරම දියවැඩියාව , අධි රුධිර පීඩනය යනාදි එකී මෙකී නොකී රෝ පීඩා දහසකුත් එකක් තරුණ අම්මලා තාත්තලා වැලඳ නොගන්නේද? දරුවන් වෙනුවෙන් දියවී යන, වේගයෙන් මහලුව යන දෙමාපියන් අමතකව යන්නේද මේ දරුවන්ටම නොවේද ? 


මම මේ සියලු සිතුවිලිත් සමග නොපහන් වූ සිතින් මහනුවර ජනාකීර්ණ හෝරා ස්තම්භය පසු කොට මාලිගාව දෙසට ඇදෙමි. ලංකාවේ අසිරිය නරඹන්නට පැමිණි සංචාරක යුවලක් මගේ ඇස ගැටෙයි. දෙදෙනාටම වයස හැට ඉක්මවිය යුතුය. සිරුරෙහි මහලු වියේ රේඛා හොඳින් දර්ශනය වන මුත් දෙදෙනාගේම ගමන් වේගය මට වඩා වැඩිය. කොට කලිසමකින් සැරසී සිටින මහලු සුදු ජාතිකයාත් ඔහුගේ ගෙලේ පැලඳි රිදී මාල ගොන්නත් පෙනෙයි. ඔහුගේ ඇඹේණිය විය යුතු මහලු කාන්තාවත් දිගු හැඩකාර ඇඳුමකින් සැරසී සිටියාය ! ජීවිතය විඳින බවක් මිස විඳවන වගක් දෙදෙනාගේ සැහැල්ලු ඇවතුම් පැවතුම් වලින් නොපෙනෙයි. 

දලඳා වීදියෙහි තරමක් ජනාකීර්ණ කෙටි කෑම හලකට ගොඩ වැදී මම වීදුරුවෙන් එලිය බලා සිටිමි. බැල්කනියෙහි මගේ මේසයට පහළින් පදික වේදිකාවේ දර්ශනය වන වැඩිහියන් නරඹමි. වේගයෙන් පෑදෙන තට්ටය සහ ආරන බඩ ඇතිව කාර්යාල බෑග කිහිලි ගන්නාගත් සුවහසක් පියවරු හැල්මේ බස් නැවතුම වෙත දිව යති. ඔවුන් අතෙහි පාන් ගෙඩියක් වරදින්නේ කලාතුරකිනි. සාරියක් එහෙන් මෙහෙන් පටලාගත් අම්මලා සාරි වාටිය සිප ගන්නා මඩ නොතකා ජන ගඟට එකතු වී සිටිති. නිකමට හෝ ඒ අතරෙහි තවමත් නොමැකී ගිය තොල් සායම් ඇතිව අවුල් නොවූ හිසකින්,  මැනවින් හැඳ පැලඳි වතකින් යුතුව ඉදිරියට ඇදෙන ගැහැණියක පිරිමියෙකු නැතුවා නොවේ. ඔවුන්ගේ එක්කෝ වෙදැගිල්ල හිස්ය ! එක්කෝ කරෙහි පාසැල් බෑගයකි. ! මගේ හිස තවත් වික්ෂිප්ත වෙයි. 


රෑ බ්ලොග් සටහන ලියද්දී - බ්‍රහස්පතින්දා රාත්‍රිය
--------------------------
මට කුසල්ගේ මව සිහිවෙයි. කුසල් හෙවත් දෙවියන්ගේ තෑග්ග නමින් , ඉතා සුන්දර පාසැල් දරුවෙකු ගැන මා ලිව්වා ඔබට මතකද? මට තවමත් කුසල්ගේ අම්මා මතකය ! කොටට කැපූ කොණ්ඩය. කොට ගවුම , තොල් හා නිය ආලේපන , කුසල්ගේ චාම් විනීත ඇවතුම් පැවතුම් සමග මගේ සාම්ප්‍රදායික මනසෙහි මිනිත්තුවකට නොපෑහුනේය !  එහෙත් ඒ මිනිත්තුවකටම පමණි. 

සිය පෙනුම , හැඩහුරුකම මෙන්ම ඇඳුම් පැලඳුම් ගැන සැලකිලිමත් වන උදවිය යනු, 'අම්මලා තාත්තලා කියන්නට නොගැලපෙන' ,  සංකර , කිසි විනීතකමක් හැදියාවක් නැති , ඩීසන්ට් නැති මිනිසුන් ලෙස දකින්නට සමාජය විසින් දෑස් හුරුකරගෙන තිබෙනවාවත්ද? ??

ගණිත සමීකරණයක මෙන් , සංඛ්‍යාන සමීකරණයක මෙන් , විචල්‍ය හෝ ශ්‍රිත ජීවිතයට නැත්තේය. විටෙක ස්වායත්ත වන විචල්‍යය , විටෙක පරිපූර්ණව පරායත්ත වී ඇති සැටි පෙනෙයි . මන්ද 'ජීවිතය' අකිනෙකාගෙන් අනන්‍යය.  එය කිසිදා විචල්‍ය හෝ නිර්ණායක කිහිපයකට ලඝු කොට ගත නොහේ.

දිනකට පසු - සිකුරාදා දහවල
------------
ඊයේ රෑ එහෙන් මෙහෙන් ලියූ ඉහත බ්ලොග් සටහන එහෙමම තිබියදී අද මම සරසවි පොත් හලට ගොඩ වැදුනෙමි. ඇති නැති වෙනසක් නොමැතිවම , පොශ් කියා ගන්නා ජනතාව ප්‍රදර්ශනාත්මක ශොපින් කරන්නට එන එකම තිප්පොල කේසීසී හෙවත් කැන්ඩි සිටි සෙන්ටර් එකය. 

මම තෝරාගත් පොත් තුනක් අතැතිව මුදල් ගෙවන කවුන්ටරය අසල වාරය එනතුරු බලා සිටියෙමි. මට ඉදිරියෙන් ඉතා තරුණ මවක් කුඩා දරුවෙකුට සරිලන ඇතැම් දේ මිලට ගෙන මුදල් ගෙවමින් සිටියාය. මගේ බ්ලොග් සටහන වෙනුවෙන් ඇය දෙසත් හොඳින් බලන්නට මම අමතක නොකලෙමි. මැනවින් පීරූ කොණ්ඩය, පිරිසිදු හා ඉතා පිලිවෙල සාරිය , චාම් අබරණ මගේ සිතට පහන් හැඟුමක් එක් කරයි.  මෙන්න ඇගේ වෙදැගිල්ලෙහි මුදුවකුත් !

 'හැමෝටම ඇයි මේ වගෙ පිලිවෙලට ඉන්න බැරි?' . මගේ සිත අසා සිටියි. ඈ ගැනද බ්ලොග් සටහනෙහි ලිවිය යුතු යැයි සිතෙහි සනිටුහන් කොට ගතිමි.මිලඟට මගේ වාරය හෙයින් පොත් කිහිපය අයකැමි තරුණියට දිගුකරමි. 

පෙර සඳහන් කළ බ්ලොග් සටහනෙහි කුසල්ගේ අම්මාගේම හැඩහුරුකම් ඇති මවක් හා දරුවෙක් මට පසෙකින් හිටගෙන සිටිති . පෝලිමක් නොමැතිවම හදිසියේ ප්‍රාදූභූර්ත වූ ඔවුන් දෙදෙනා මට ඉස්සර වෙති. නොපහන් සිතින් මම ඈ දෙස හොඳින් බලමි. ඈ අහක බලාගෙන පර්ස් එක අදිමිනි.මැනවින් පීරූ , නවීන විලාසිතාවකට කැපූ කොණ්ඩය ,ජීන්ස් කලිසම සහ ටීශර්ට් එක , සොඳුරු තොල් හා නිය ආලේපන මගේ දෑස් මත තැවරී මැකී යයි. මහනුවර ඉහල පෙලේ ජාත්‍යන්තර පාසලක නිල ඇඳුමෙන් සැරසුනු සිඟිත්තා කවුන්ටරයට ගෙල දිගු කොටගෙන හිඳී. මිලට ගත් පොත සිලි සිලි බෑගයකට ඔබන්නටත් මත්තෙන් ඩැහැ ගත් කොලු පැටියා , මම , ඔහුගේ මව මෙන්ම අයකැමි කතද විස්මයට පත් කරමින් අලුත් කතන්දර පොතෙහි පිටකවරය එක් අතකිනුත් , පිටු ගොන්න අනෙක් අතිනුත් අල්ලා 'බරාස්!' හඬින් එය දෙකඩ කර දැමුවේය ! තරුණ මවගේ කන් රතු වෙයි. ඉන් උපන් ලැජ්ජාවෙන් කුඩා දරුවාට තරවටු කරමින් පොතෙහි කැබලි දෙක උදුරාගෙන ඈ සිය නවීන අත් බෑගයෙහි රුවා ගති. මම තව දුරටත් 'ඈ' දෙස බැලීම අත් හැර දැම්මෙමි. 

යලිත් සිහි කරමි. 

ගණිත සමීකරණයක මෙන් , සංඛ්‍යාන සමීකරණයක මෙන් , විචල්‍ය හෝ ශ්‍රිත ජීවිතයට නැත්තේය. විටෙක ස්වායත්ත වන විචල්‍යය , විටෙක පරිපූර්ණව පරායත්ත වී ඇති සැටි පෙනෙයි . මන්ද 'ජීවිතය' අකිනෙකාගෙන් අනන්‍යය.  එය කිසිදා විචල්‍ය හෝ නිර්ණායක කිහිපයකට ලඝු කොට ගත නොහේ.

එහෙත් අපේ අලුත හැදෙන අම්මලා හෝ තාත්තලාවත් අඩු ගානේ හුචක්කු නොවී පිරිසිදුව සිටීමටවත් මතක තියාගන්නවානම් හොඳ යැයි සිතෙයි..

 'සල්ලි තියනවා නම් ඔය ඔක්කොම බැරියැ!' හිත අස්සේ ඉන්න තව කෙනෙකු කියන්නා වාගේ ඇසෙයි. කලාපීය දුප්පත්කමත් එක්ක හිතන විට ඒකත් ඇත්ත වගේම ඇත්තෙහි කොටසක් විතරකි ! 

Friday, November 29, 2013

[298] මලවුන්ගේ නොවැම්බරයේ යලිත් ලියමි..


2013 වසර සීග්‍රයෙන් අවසාන වේගෙන එයි... ජීවිතයේ සිව් වන දශකය ඇරඹීමට දින කිහිපයක් ඉතිරිව තිබෙයි... ඒ කිසිවක් මතක් නොවෙන්නා සේ මේ දිනවල මඳ විවේකයක් අතරින් පතර සොයා ගනිමින්, පොත් ගණනාවක් කියවමින් සිටින්නෙමි.... 

අතීතය යනු යලි යලිත් රීවයින්ඩ් වී වාදනය වන එක වගේ ටේප් පටියක් වැනි යයි විටෙක සිතෙයි.... එක් එක් වසරෙහි නොවැම්බරය වෙන වෙනම මතක් කරද්දී හිතට මහා අමුතු හැඟීම් පහළ වෙයි....  අතීතයේ ඇතැම් කරුණු කාරණා පවරා දිය යුත්තේ අත් වැරදීම් ගණයටද ? කර්මයටද? අහඹු සිදුවීම් ගණයටද ? අනුන්ගේ වැරදි ගණයටද? හිත පඹ ගාලක පැටලී ඉන් නිදහස් නොවී එතුලම ගිලී යයි... 

මේ කොයි යම් අයුරෙන් සිදු වූවත් ඒ දෙස බලා කොතරම් විශ්ලේෂණය කලද ඇතැම් දේ බොහෝ ගැඹුරු බවත් ඇතැම් දෑ කිමිදීමට තරම් සොයා බැලීමට ගොස් අවතැන් නොවිය යුතු බවත් ගැහැණු ඉව පවසා සිටියි...  

ආතතියකට වඩා තාවකාලික වෙහෙසක් දැනෙයි. ඒ වෙහෙසට එක් ප්‍රතිකර්මයක් වශයෙන් අතරින් පතර ලැබූ විවේකය සිතට සහනයක් එක් කළේය. දැන් මගේ සිතට එක් නිදහසට කරුණක් කිව නොහැක්කේය. 'විවේකය නැහැ' ! යන්න යලිත් නොපැවසිය හැකිය. විවේකයෙහි තිබෙන සුවය දැන් මට තිබේ. 

ලෝකයට දෙස් දෙවොල් තැබීමෙන් බොහෝ දේ පිලිබඳ පිලිතුරු හමු නොවෙයි. යථාර්තයටම මුහුණ දිය යුතුම වෙයි. යථාර්තය නිරන්තර මා අසලම ගැවසෙයි. ඒ යථාර්තය තුල අවලාද නොනගා වර්තමානය වැලඳ ගැනීමෙන් එක්තරා සහනයක් තිබෙයි...  

බලාපොරොත්තු අරමුණු සියල්ල එහෙමම තිබෙයි. එහෙත් දැන් මනසින් මා වඩාත් සවිමත්ව ඉදිරියෙන් සිටිමින් ජීවිතයට මුහුණ දෙන බවක් දැනෙයි. පොත් පත් මනස අවුල් කරනු වෙනුවට මනසෙහි ඇති නොහැඳිනූ සියුම් තැන් හදවතට සන් කරයි. එයින් ඇති වන තිගැස්ම මිනිස් සංහතියේම ජීවන ගැස්මෙහි ඇති පොදු බව සහ විඳීමේ හුරු බව සැනසිල්ලක්ම වෙයි.. මේ කතා කාරයින්ට මෙසේ ඒ හැඟුම් ලියා ගන්නට කොතරම් නිරවුල් මනසක් සහ නිරීක්ෂණ බුද්ධියක් තිබිය යුතුදැයි මම විස්මයෙන් ගල් ගැසෙමි. 

කවදා හෝ පොතක් ලියමැයි සිතෙහි ඇති වන සිතිවිලි බීජය යලිත් කල් දමන්නට සිතෙයි. මට මෙතරම් සියුම් හඳුනා ගැනීමේ ඥාණයක් , ඊටත් වඩා එය සුරුවම් වදන් කිරීමේ බුහුටි බවක් තවමත් නිසි තැනට මුහුකුරා තිබේදැයි සිතට සැක මතු වෙයි. එය රස පොත් ලියන්නන් කෙරෙහි ඇති වන ඉරිසියාවක් නොව මා කොතෙක් දුර තව යා යුතුදැයි ගැම්ම ගැනීමට රුකුලක් බවම කිව මනාය. 


Monday, November 25, 2013

[297] සැප්තැම්බරයේ ආ වසන්තය!

මෙවර පොත් ප්රදර්ශනයෙන් මිලදී ගත් පොත් ගොන්න කුමන හෝ හේතුවක් නිසා ශෝක ජනක අයුරෙන් ඉක්මනට ඉවර වීගෙන යයි.

කලක් තිස්සේ ආශාවෙන් සොයමින් සිටි 'පින් ලමයා' , ' දිරි දැරියෝ', 'මල් සමනලියෝ' පොත් තුන විසිදුනු පොත් හලේ දුටු විගස ඉවක් බවක් නැතිව කඩාගෙන ගොස් ඩැහැ ගත්තා මතකය... ගෙදර ගෙනා විගස ඒ වේගයෙන්ම අවුරුදු ගානක් තිස්සේ ඒ පොත් තුන කියවීමට තිබූ නොතිත් ආශාව නිසාම එක හුස්මට කියවා ඉවර කලෙමි.

'කටු කොහිල කොටුව' මා කියවා තිබුනද නැවත වතාවක් මා එය මිලට ගත්තේ, ජයසේන ජයකොඩි නම් විද්හ්වතාණන්ගේ සියලු පොත් වල එකතුවක් මා හෙමි හෙමින් තනාගෙන යන බැවිනි. ජයසේන ජයකොඩි ගේ පොතක ඇසුර කිසිදා වරක් කියැවීමෙන් අහවර නොවේ...පිච්චමල සිට තෙර තරණය දක්වා සියලු පොත් මා යලි යලිත් කියැවූ වාර ගණන මටද මතක නැත.

සතුට නම් ජයසේන ජයකොඩිගේ පොත් වලින් එක දෙකක් හැරුනු විට අන් සියලු පොත් මා සතුව පැවතීමයි.

වරක් දුකා ලියා තිබූ බ්ලොග් ලිපියක් නිසාවෙන් මොස්කව් ප්රගති ප්රකාශනයන්හි දුටු 'අඳ වාදකයා' මිලට ගතිමි. පොතෙන් භාගයක් කියවද්දී යම් හේතුවක් නිසා පොත මහත්සේ පිය වූයේ නැත.එනිසා එය අඩක් කියැවූ විලසින්ම ඉතිරිව තිබෙයි.

මීලඟට මා අතට ගත්තේ 'කන්දේ වීදිය' පොතයි. වචනයේ පරිසමාප්තාර්තයෙන්ම කියැවීමෙන් පූර්ණ තෘප්තියක් ලද හෙයින්ම දිනක් ගතවන්නටත් ප්රතම මේ රසවත් පොත කියැවීමී. මහත්සේ වින්දෙමි.

කන්දේ වීදියෙන් පසුව සැබෑ ලෙසම පිබිද ආ කියැවීමේ ආශාව මුදුන් පමුණුවන්නට 'ලොවීනා'ට හැකි වූයේය. පොතෙහි සරු බසද, කතාවේ සොඳුරු චිත්ත රූප මවන සුලු ගලා යාමද සරල කියැවීමේ රසයට ආශා කරන මට එකසේ පෑහුනේය.

'බූරු පොරය' නම් රසවත් යොවුන් නවකතාව මා මුල් වරට කියවන්නේ ඉතා කුඩා කාලයේය. කවුරුන් විසින් හෝ ගෙන ගොස් යලිත් නොදීම නිසාවෙන් ඒ පොත මට අහිමි වූයේද ඒ කාලයේමය. වාසනාවට බූරු පොරය පොර කන සෙනග අස්සෙන් පීරා ගොස් මිලට ගන්නට මට හැකි වූයේය. එයද මුලින්මකියැවූ පොත් ගොන්නට අසු වෙයි.

සරල රසවින්දනය උදෙසා චේතන් භගත්ගේපොත් වලට මා කොතරම් ඇබ්බැහි වීද යත් මෙවරද චේතන්ගේ පොත පිටවන තුරු මා බලා සිටි බව දිලිප ජයකොඩිද දන්නේය. රෑ දෙකක් නිදි වරාගෙන රස වෑහෙන 'දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ ' කියැවීමට කිසිම අපහසුවක් නොවූයේය. මන්ද එය එතරම්ම රසවත් බැවිනි.

'සෙංකොට්ටං' අතට එන්නේ ඊලඟටය. ලොවීනා තරම්ම ආශාවෙන් මහත් රුචියෙන් යුතුව කියැවූ තවත් පොතක් වේ නම් ඒ සෙංකොට්ටං ය.

'ප්රේමකීර්තිනී' මිලට ගත්තේම ප්රේමකීර්තිද අල්විස් නම් විද්වතානන්ගේ ඇඹේණියගේ ලිවීමද එතරම්ම උසස් යැයි මතයකිනි.එහෙන් මෙහෙන් ඇහිලුන කතා කිහිපයක කොහෙත්ම ගලා යාමක් නොමැති හෙයින් එයද මැදදී කියැවීම නීරස වූයේය.

'කමෝන් පැඩිවැක්' සොරා ගැනීමට ගොස් වියර්ත වූ පොතය.සැබවින්ම අත් වැරදීමකින් මුදල් නොගෙවා පිටට ගේන්නට ගොස් මල හත්තිලව්වක් කලබගෑනියක් වෙන්නට පෙර නැවත කඩය තුලට දිව ගොස් ලැජ්ජාවට මිලට ගන්නට වූ පොතය. මතකය සොඳුරුය. ඇත්තම කියනවා නම් ඉස්සෙල්ලාම කියවන්නට තුරුලු කොට ගත් පොත එයයි. ජැක් ලන්ඩන්ගේ 'වන පෙත අඬ ගසයි' නම් වෙසෙස් කෘතියේ අසාර්ථක කොපි කැට් කතාවක් බව දැක කිපී පොත අහක දැම්මෙමි. ඒත් ඒ පොත ඇසුරෙහි මතකය සොඳුරුය, මතක සැබෑ වන තුරු කපක් කලක් බලා සිටිය හැකිය. එතෙක් ඉවසා හිඳින්නට අවැසි සංයමය සපයා දෙන්නටදෝ 'දඟකාර මහල්ලා' , 'නොපෙනෙන ලන්දූ' ,'සාගර ජලය මදි හැඬුවා' , 'සාංකාව' , 'හිම කබාය' සහ මාටින් වික්රමසිංහගේ කෙටි කතා එකතුවද සැදී පැහැදී සිටී.

පොත් වසන්තය එතෙකින් ඉවර නොවෙයි. උස්සාගෙන ඒමේ මහත් අපහසුව නිසාවෙන් 'තාරා මගේ දෙව්දුව'ද,'මරණයේ සෙවණැල්ල යට නිදා සිටි පූස් පැටියා'ද , 'මාංචු'ද තවත් පොත් පහක්ද අක්කාගේ නිවසේ මෙතෙක් දිනක් එකෙල මෙකෙල වෙවී වැඩම කොට සිට පාර්සල් තැපෑල ඔස්සේ ඊයේ දවසේ මහනුවර තැපැල් හලට සැපත්ව, මා එන තුරු මග බලා සිටින බව පියුම් මාමාගෙන් දැන ගන්නට ලැබිණි.

ඔබ වසන්තය... පොත් සහ ජීවිතය බැඳී ඇති තරම ! .








Tuesday, October 15, 2013

[296] ආදරවන්ත රුපියල් හාරසියය අනූ නමයක් ගැන..

එදා සිකුරාදාවක්. ඓතිහාසික සිකුරාදාවක්. බොහෝ දිගු කලකට පසුව මම සාප්පු වන්දනාවකට සැදී පැහැදී එලියට බැස්සෙමි. හිතවතෙකු වෙනුවෙන් කල් මරන්නට තවත් විනාඩි කිහිපයක් සිදුව තිබෙයි. ජනාකීර්ණ නොවන වෙලාවක සිකුරාදා දහවලක සාප්පු වල සෙනග නොමැති හෙයින් ඉතා කැමැත්තෙන් මම 'බාටා' පාවහන් හලකට ගොඩ වැදුනෙමි. නොකල්පනාවෙන් යුතුව එහෙටත් මෙහෙටත් වැනෙමින් ඔරලෝසුවේ කටු ගමන් කරන වේගය බලමින් සාප්පු සේවකයන් මා හඹා විත් මට අනවැසි සපත්තු ඇඟේ ගසන්නට හදන එකෙන් මග හරිමින් මම බාටා හලෙහි එහෙටත් මෙහෙටත් යමින් පාවහන් එක දෙකක් ඇඟලා බලන්නට වීමි.

මට මඳක් නුදුරෙන් කුඩා සුන්දර යුවතියක් වැඩි කලබලයක් නැතිව පාවහන් එකිනෙක පලඳමින් සිටින්නීය. පෙනුමෙන් පෙනී යන්නේ එතරම් සංකරත් නැති අර්ධ නාගරික ටිකක් දඟකාර කෙල්ලක බවයි. එතරම් කලබලයක් නැතිව සිය පාවහන් උනා දමා නිරුවත් දෙපයින් නිදහසේ පාවහන් හලෙහි ඇවිදිමින් විටින් විට දුරකතනයට දෑස් යොමන්නීය.

තමන් පාවහන් දමා බලනවා වෙනුවට අනුන් තෝරන පාවහන් දෙස බලා ඉඳින එකත් හරි අපූරු කාරියක් නොවැ.  මන්ද මේ රටේ බොහෝ ඇත්තන් ඇඳුමක් කැඩුමක් තෝරන්නේම ඇඳුම ලස්සන නිසා පාට ලස්සන නිසා මිසක ඒ ආයිත්තම තමුන්ට හරියන නිසා නොවෙයිම නොවැ. ඉදින් මම සාප්පුවේ සිටි එකම ගනුදෙනු කාරිය දෙසත් බලමින් ඈ තෝරන දෑටත් ඇස් යවමින් සාප්පුවේ කල් මරන්නෙමි.

විනාඩියක් දෙකක් ගතවන තැන ඇස් කොණින් මට එහායින් මට පෙනෙන්නේ කහ පාට සිවුරකි. හොරෙන් බැලූ දෙස කෙලින් බලන කල ඉතා දුබල වයස්ගත සිල් මෑණි කෙනෙකුන් සාප්පුව තුල මම දකින්නෙමි. පෙනුමෙන් හැඟී ගියේ එතුමිය එතරම් සරු නොවන ආරාමයක සිට එන වගකි. මම හොරැහින් ඇගේ දෙපා දෙස බලමි. පපුව හෝස් ගා යන තරම් වේදනාවක් මසිත වෙලා ගන්නේ , ඇගේ නිරුවත් යටි පතුල් ඈටත් වඩා වේගයෙන් මහලුව දිරාපත්ව ගොසිනුත් තවමත් පාවහනකින් නොවැසී ඇවිද ගොස් ඇති බවක් දැකීමෙනි. සෙයිලමේ කලු පැහැති කසල මැඩ ඈ වඩින නිසාවෙන් ඒ යටිපතුල් කලු ගැසී පැලී ඇති අයුරු දකිමින් මම මොහොතක් වික්ෂිප්තව බලා සිටියෙමි.

ඈ වැඩි හැලහොල්මනක් නැතිවම අරුමෝසම් , අඩි උස , අඩි නැති , පබලු ඇල්ලූ යනාදී නානාප්‍රකාර පාවහන් එක එක අල්වා බලමින් ඉතා සෙමෙන් ගමනින් , කූඩ වල බහා ඇති මිල අඩු පාවහන් වෙත පැමිණ නැවතුනාය. පෙනීම දුබල නිසාවෙන්දෝ පඬු පාට රෙදි උරයෙන් ලොකු ඇස් කණ්නාඩි කුට්ටමක් ගෙන අපහසුවෙන් ඇස ලා ගනිද්දීම බාටා හලෙහි කොලුවෙකු ඈ වෙත පැමිණෙයි.

'මෑණියෝ මොනවද බැලුවේ?' සිතුවාට වඩා කරුණාවන්ත හඬින් ඒ හුරුබුහුටි කොලුවා කතා කලේය. 

ඈ තමන් තෝරාගත් බාල පාවහන් දෙක අසුනකට බරවී ඔහුගේ උදව්වෙන් පයලා ගන්න අයුරුත් මම ඇස් කොණින් දකිමි. මිල අඩු ඒ පාවහන් දෙක දෙස සෙමෙන් බැල්මක් හෙලමින් තෘප්ත බවක් දැක්වූ ඈ , 'කීයද දරුවෝ මේකෙ ගාන?' කියා අඩමානයට මෙන් ඇසුවාය.

'හාරසීය අනූ නමයයි'

ඈ පඬු උරයට යලිත් සුරත එබුවාය. මඳ වේලාවකින් ඉන් එලියට පැමිණෙන්නේ රුපියල් පහේ දහයේ , විස්සේ කුඩා කාසි කොල පිරි පොලිතින් උරයකි. මම මඳක් ඉන් එහාට වෙමින් සංවේගජනක හුස්මක් පාකරමි. වෙවුලන මහලු දෑතින් රුපියල් හාරසිය අනූනමයක් කුඩා කාසි කොල වලින් එක්කාසු කරන්නට දරන ප්‍රයත්නය බලා හිඳින්නට අපහසු බවකුත් නොමනා බවකුත් මට දැනුනු හෙයිනි.


ඈට උදව්වක් කිරීම එතරම් මනා නොවන හෙයින්ම ඇගේ සහයට සිටි කොලුවා ඉවසීමෙන් ඈ දෙස බලා හිඳියි. අසන්නට දෙයක් නැති නිසාවෙන්දෝ , 'මෑණියෝ මේ සෙරෙප්පු දෙක හරි නේද?' කියා අසන අයුරු මට ඇසෙයි.

කවුන්ටරය වෙත සිටි තරුණයා ඉක්මන් ගමනින් සිල් මෑණියන් වෙත එන්නේය.

'මෑණියෝ සල්ලි එපා. අර මෙතන හිටිය ගෑනු ලමයා මෑණියන්ගෙන් සල්ලි ගන්න එපා කියලා සෙරෙප්පු දෙකේ ගාන අපිට ගෙවුවා මෑණියෝ..එයා සල්ලි ගෙවලා ගියා.. '

ඈ සල්ලි ගැනීම නවතා අපහසුවෙන් උඩ බැලුවාය. මම සපත්තු සහ නොකල්පනාවෙන් අතරමංව තිබූ සිතෙහි සිහි එලවා ගන්නට වීමි. සපත්තු තෝරන්නට සහයට හිටි කොලුවාගේ මුහුණෙන් සිනහවක් මතු වෙයි. කතා නායිකාව කතාවේ අරුත පමණක් අපට ඉතිරි කොට ජවනිකාවෙන් සමුගෙනම ගොස්ය.. නොකියාම !

සිල් මෑණියන් ගේ වියපත් තොල් අතරින්  වදනක් දෙකක් මුසුවෙයි. ගණකම් කණ්නාඩි දෙක ඇතුලෙන් බොර පැහැති දෑස් වල කුඩා දිලිසුමක් මට පෙනෙයි.
'පිං සිද්ද වෙච්චාවේ ඒ දැරිවිට..'

ලෝකය තවමත් කොච්චර නම් සුන්දරදැයි තවත් එක් වරක් ඒ සුන්දර සිඟිති තරුණියට ඇසෙන මානයට දිව ගොස් කෑගසා කියන්නට මට හැඟුමක් පහළ වෙයි.  ඇයට එය ඇසෙන එකක් නැත. මෙලහකටත් ඇගේ අනාතුර කාරුණික හදවත, හුදී ජන ගංගාවට මුසුවී  සරණ සොයන දෑසක් සොයා සැරිසරනවා ඇත.
   මේ කුඩා දසුන ඒ නාඳුනන සුන්දර තරුණිය වෙනුවෙනි.



ආදරය සහ හොඳ හිත බෝවන රෝගයක් වැනිය. ගෑවුනු ගෑවුනු තැන සුවඳ හමන සැන් කුප්පියක් වගේ හොඳ හිතට පැතිර යන්නට වෙලාවක් කලාවක් නැත. මට කරන්නට හැකි එකම දේ , කුප්පියේ තිබෙන 'සුවඳ' කුඩා වපසරියකට හෝ පතුරවන කුඩා සුලඟක් වෙන එකම පමණකි.

Monday, September 02, 2013

[295] කේ F සී පරපුර දෙස බලා හිඳිමි

මම සුප්‍රසිද්ධ කේ ඇෆ් සී (KFC) අවන්හලෙහි හිම කිරමයක් තොල ගාමින් සිකුරාදා හවසක හිඳ සිටිමි.


වරෙක මුලුතැන්ගෙයින් නැගෙන ප්‍රීති ගෝසාව , ඇතුලත ‍රැකියාවේ නියුතු සේවකයන්ගේ ගාලගෝටීයක් හෝ ආරවුලකැයි වරදවා හැ‍ඟෙන තරම් උස් හඬින් නැගේ. එය උද්යෝගය වෙනුවට භීතිය ජනිත කරවයි. දශක තුනක අතීතයෙහි සිදුවූ තරුණ ගැ‍ටුම් ලේ වැගිරීම් වල තිගැස්ම අපේ ජාන වලින් තවම පහව ගොස් නැතැයි සිතෙන්නේ එවිටය. හිම කිරමයෙහි තත්වය තවත් බාල වෙමින් අන්තර්ජාතික අයිස්ක්‍රිම් වට්ටෝරුව දැන් තැන්පත් වන්නේ අසල කඩයකින් මිලදී ගත් බාල අයිස් කෝන්  එකක් මත්තෙහිය.

ඒ සියල්ල අමතක කළ හැකි තරම් සොඳුරු බවක්ද පරිසරයට එක්ව තිබෙයි. ලමා ළපටීන්ගෙන් මේ මහා ආහාර මන්දිරය අද වෙනදාටත් වඩා පිරී පවතියි. මන්ද එය සිකුරාදාවකි. අම්මලා තාත්තලාට නිදහසේ සිය දරු දැරියන් සමග විනෝද වන්නට ඉඩ ලැබෙන්නේ අදය. විසාල රබර් උමං මාර්ග වල කෑකොස්සන් දෙමින් ළමා ජීවිතයේ ප්‍රහර්ශය ආසාවෙන් විඳගන්නා දරු පැටවුන් දෙස එක් ඇසකින් ඇස ගසාගෙන දෙමාපියන් කේ ඇෆ් සී රස මසවුළු විඳිති. ඇතැම් පවුල් වල ආයලා යැයි සිතිය හැකි කැහැ‍ටු කෙල්ලන් හෝ තලස්තෑනි කානතාවන් දරුවන් වෙත ඇස ගසාගෙන සිටිද්දී අම්මලා තාත්තලා යහලු මිතුරන් හා කුඩා සාද පවත්වති. එක අතකින් මේ දසුන සුන්දරය. එක් අතකින් හීනි දුකක් හෝ  පසු තැවිල්ලක් හිතට නගී.

මේ කුඩා අත පයෙහි සීරුමකටවත් ඉඩ නොතබා පරීක්ෂාකාරීව තනා ඇති, නැමෙන සුලු, ඇදෙන සුලු, පුළුන් පි‍රැවූ, කෙලි සෙල්ලම් බඩු සිත ඇද ගන්නා සුලුය. ඒත් , ,මේ කුඩා වුන් වැඩිහිටියන් වී වැඩෙන කලෙක,  එතරම්ම සුඛනම‍ය  ගහ කොළ සතා සීපාවුන් , වෙනකක් තබා එතරම්ම සුඛනම්‍ය මිනිසුන් මේ මිහිමතදී උන්ට හමු වේවිද? ලස්සන රතු කහ කොල නිල් පාටින් සුසැදුනු සෙල්ලම් ගෙවල් ඇතුලේ මැවෙන උන්ගේ ලෝකයට ඈත්ත ලඟා වෙන්නේ බොහොම හෙමිනි. අලුත හෑදුනු කුඩා ගෙමිදුල් වල  පොල් අතු හෙවිල්ලු කුඩා ගෙයක් තනා දෙන්නට , සෙල්ලම් බතක් උයන්නට ඉඩක් නූතන ගෙවල් වල ඉඩක් ඇත්තේම නැතිද?


මා දුවන්නේ ගමට නොවේ. මා දුවන්නේ මගේ අතීතයටද නොවේ.  එහෙත් මෙබඳු කෘතිම ළමා ෆැන්ටසි ලෝකයකට සැතපුම් කිහිපයක් ඔබ්බෙහි ගණ නිලෙන් සුසැදි සොබා සොඳුරු ගුණයෙන් අනූන විශ්ව විද්‍යාල ක්‍රීඩා පිටිය තිබෙන බව මට සිහියට නැගෙයි.
කේ ඇෆ් සී බිත්ති මත සැලෝලයිඩ් ඉරකුත් හඳකුත් ඇලවී තිබෙයි.  ඉරත් හඳත් එකට නොනඟින බවත් , ඉරෙහි උණුසුමත් සඳ එලියෙහි සීතලත් සුදෝසුදත් පෙන්වන්නට මේ අහිංසකයින්ව තණනිල්ලකින් සුසැදි ක්‍රීඩා පිටියකට ගෙන යා නොහැකිද?

කිසිදු තුවාලයකට ඉඩක් නැති 100% ආරක්ෂිත නවීනතම ලමා උයන තරම් මේ ළමා ලපැටීන්ගේ අනාගතය සුන්දර සහ එකමිතියක් නැත්තේය. මල් මෙන්ම ගලින්ද සුසැදී කුරිරු ලෝකය දරාගන්නට උන් උගෙනින්නේ කවදාද? කුරිරු ලොව ඇති සොඳුරු බව විඳින්නට උන් ඉගෙන ගන්නේ කවදාද?  රාත්‍රිය උදාවෙන හැටි, අහසේ නිල සේදී රත මැවෙන හැටිත් , අඳුර මෙන්ම සඳ එබෙන හැටිත් දකින්නට උන්ගේ කුඩා ගෙයි බැල්කනිය ඉඩ මදි බව ඇත්තකි. කුඩා ගෙයි මිදුලෙන් , මේ කුඩා උන් කැන්දාගෙන එන නිස්සාර ළමා උයන තුල උන් හොයන නිදහසත් උන් ලැබිය යුතු ස්වභවිකත්වයත් නැත්තේමය .

පුලුන් පි‍රැවූ සතෙකුගේ මටසිලිටි බවට වඩා දහස් ගුණයක් ජීවයක් සහ සිනිඳු බවක් මල් පෙත්තක ඇතැයි අතගා බලන්නට ඔවුන් වාසනාවන්ත කල යුත්තෝය. ගලක හැපෙද්දි රිදෙන බවත් ගලට බනිද්දී නෑසෙන බවත් , ගලට පෙරලා පහර දීම අනර්ථ බවත් උගන්වන්නට රබර් බම්පරයකට බැරිය. තණපලසෙහි නිරුවත් දෙපයින් ඇවිදින්නට මේ පරම්පරාවට වාසනාවක් නැත්තේය. වැස්සේ නටමින් කඩදහි ඔරු පාකිරීමක් ගැන කවර නම් කතාද?


ජීවිතයේ තක්සලාව අරුමෝසම් කෙලි බඩු වලට කියා දිය  නොහැක්කේය. ජීවිතය උගත යුත්තේ මට අනුව නම් පරිසරයෙනි. එහෙවු සොඳුරු පරිසරයකින් අනූන මහනුවර සිට ඔය සුඛෝපභෝගී වාහනයෙන්ම කැම්පස් පිට්ටනියට එක්ක ගොස් ඇති තරම් නටන්නට උන්ට ඉඩක් නැත්තේ මොන අහේතුවටදැයි මම කල්පනා කරමින් සිටින්නෙමි. වැවරවුමේ අම්මා තාත්තාගේ අතින් අල්ලාගෙන ඇවිද යන්නට උන්ට නොහැක්කේ ඇයිදැයි සිතමින් සිටිමි. හන්තානේ කඳු පන්ති දකින්නට , මහවැලි ගං ඉවුරේ හිඳ සිටින්නට කේ ඇෆ් සී තරම් සුඛෝප භෝගී බිල් ගෙවන්නට අවැසිද?

Tuesday, August 20, 2013

[294] එය ආදරයක්ද?




ආදරය කරන දෙන්නෙක් නම් එක්කෙනෙක් අනෙකාගෙන් ආදරේදැයි ඇසිය යුතුවේ. ඊට අනෙකා කැමැති නම් පමණක් සම්බන්ධයක් හට ගනී. ඒ සම්බන්ධයෙහි මූලික කරුණ නම් දෙන්නාට දෙන්නා ආදරෙන් විස්වාසයෙන් කල් ගෙවීමයි. ලියුම් (දැන් කාලේ නම් එස් එම් එස් හා ඊමේල්) හුවමාරු වීමයි. ඔයා කෑවාද බීවාද ඇසීමයි. 

මේ අපි මීට වසර දහ දොළහකට පෙර ආලය නිර්වචන කළ අයුරු නොවේද? 

කාලය බොහෝ වෙනස් වී තිබේ. බොහෝ කුනු කහළ ගොඩවල් පිරී නොතිබූ හිස් මනස තුල සහ ජීවත් වූ සීමිත ලෝකයක අපට ආලය මෙපමනක්මැයිහැඟීම අරුමයක් නොවේ.

ආදරය කෙසේ වෙතුදු, බැඳීම් නම් පුදුමාකර වග, ඇසුරු කරන නේක විධ මිනිසුන්ගේ ජීවිත වෙත එබී බැලීමේදී විය වෙයි.  

"එයාටයි මටයි ආදරේ කියලා ගිවිස ගත්තු දෙයක් තිබ්බෙ නැහැ. ඒත් අපි දෙන්නාට අපි දෙන්නා නැතිව බැරි ගතියක් දැනෙන්නට වුනා. දැක්කෙ නැති උනාට , කතා කලේ නැති උනාට මතක් වෙද්දී, හිත හිර වෙලා  වගෙ හුස්ම ගන්න අමාරුයි වගෙ තවමත් දැනෙනවා. "

හිතවතුනි ආදරයේ සෙවණැලිද තිබෙන , විටෙක  කොහෙත්ම ආදරයක් නොවෙතැයි සිතෙන ඒ අන්දරයට මා දෙන නම කුමක්ද?  

"මම එයාගෙන් ඈතට වෙල පුලුවන් තරම් හිටියා. ඒත් එයා අතෑරියෙ නැහැ. මම අවනත වෙනකල්ම හිත ඇදගන්න කතා බහ,  කවි  ජීවිතේ පිරෙන්නට වුනා. .  මටත් නොදැනීම මගෙ හැඟීම් ටික ටික එයාට අවනත වෙන හැටි මට දැනුනා. ටික ටික එයාගෙ බලපෑම් වලට මම ලං වුනා. කාලය ඉගිලුනා. කාලයත් එක්ක අපි ගොඩක් ලං වෙද්දි එයාගේ හිතේ තියන ආදරනීය ගතිය යට යන්නත් හැඩි දැඩි පිරිමි උවමනාවල් මතු වෙන්නත් ගත්තේ මගේ බලාපොරොත්තු සුන් කරමින්. ඒ එක්කම මම සෑහෙන්න අන්ද මන්ද උනා. මේ මොකක්ද ? ආදරයද ? එහෙම නැති නම් එයාගේ ජීවිතේ තියෙන්නේ කායික උවමනාවල් විතරක්ද? හැමදාමත් එයා කිව්වෙ ඔයා හොඳ කෙනෙක්ව බඳින්න ඕනි කියන එක. එතකොට මම රණ්ඩු කලා , ඇයි ඔයා මට ආදරේ නැද්ද කියලා. 'මගුලක් අහනවා. තමුසෙ මහ ඊරියෙක් ඕයි" හැමදාමත් එහෙම කතාව ඉවර වුනා. ඉතින් මට තවත් මේ වික්ෂිප්තය දරන්න බැරි නිසා මම ඈතට ගියා."

හිතවතුනි . මට කියන්න , මේ බැඳුමට ආදරය හෝ වෙනත් නමක් මට දිය හැකිද හිතට එකඟව ?  

"මම එයාට ආදරේද නැද්ද කියන්න මම දන්නෑ. ඒත් මට එයා මතක් වෙන ගානේ දුකයි. මොකක්දෝ ඈතට යන්න බැරි ගතියක් හිතට දැනෙන්නේ මහ වේදනාවක් එක්ක. මතක් වෙද්දි ඇඬෙනවා. ඒත් කායික ආකර්ෂණයක් තියා අතින් අල්ලනවත් උවමනාවක් මට දැනෙන්නෙ නැහැ. එයාටත් එහෙමමයි. අපි දෙන්න දකින වෙලාවක් ඇතිනම් කරන්නේ අඬන එක. ඒත් අපිටම ඒකෙ තේරුම කියගන්න තේරෙන්නෙ නැහැ. අදටත් මට ඒ උගුර හිරකරන හැඟීම දැනෙනවා. ඇයි කියන්න දන්නෙ නැහැ."

ආදරය කායික බැඳීමකින් තොරව දුර යා නොහැකැයි සිතන  මනසකට මේ කතාන්තරය පෙනෙන්නේ නිකම් හිතේ ඇතිවූ මුලාවක් ලෙසින් විය හැකිය. එහෙත් ඉන් දැනෙන වේදනාව කෙතෙක්දැයි දන්නේ හැඟීම් පාරන මෙබඳු ආකර්ෂණයක් විඳ ඇත්නම් පමනි. හිතවතුනි මා එයට ආදරයකැයි කීවාට වරදක් නැතිද? 

"මට එයා ගැන මොකුත්ම ආදරයක් බැඳීමක් තිබ්බෙ නැහැ.  ඒක විවිධත්වයක් හොයා යාමේ ආසාවක් විතරයි. ඇත්තටම එයා මගෙ ෆැන්ටසියකවත් එයින් පස්සෙ නැහැ. එයාටත් එහෙමයි. ඒක ඇත්තටම හිරවෙලා ගෙවිච්චි එකාකාරී ජීවිත වලින් මිදෙන්න හොයා ගත්තු කාටවත් හානියක් නැති පුංචි උත්තරයක්ම විතරමයි. අද මම  එයා  කොහෙද කියලවත් දන්නෙ නැහැ."

පින්වතුනි. මේ පුන් පොහෝ දින මා මේ උධෘතයෙහි අගය ධන හෝ සෘණ කිසිදු අගයකට නතු කල නොහේ. කවදා කොතැන කාට වැරදුනිද? සාධාරණත්වයක් ඇතැයි හැඟෙන ඇතැම් මොහොතක , වැරදී ඇත්තේ අපටදැයි සැක සිතෙන තරමටම ආදරයකින් තොර බැඳීම් නමැති උභතෝකෝටිකයෙන් සිත ආකූල වෙයි.  

ඉකිගසා හඩන අතීතයක
 කදුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන..... මගේම ආදරයක් තිබුනා.....

හීනෙන් හිනැහි තුන්යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරි කළුවරෙම යලි සොයනා
මට මගේ නොවන ..... මගේම ආදරයක් තිබුනා.....

රිදුමක් වාගේ කිසිදා සුව නොවනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
 උහුලනු බැරිතැන උණු කදුළු වගුරුවනා
 මට මගේ නොවන...... මගේම ආදරයක් තිබුනා.....


බැඳීම් දුකකි. මානසික බැඳුම් එයිනුත් භයානකම දුකය. කායික බැඳුමකින් කෙළවර වී එකිනෙකාගෙන් කෘත පූර්වකව සමුගැනීමේ සදාචාරය හෝ සාධාරණත්වය කතා කිරීම මට අයිති දෙයක් නොවේ. එහෙත් ආදරයම යැයි වචනෙන් කියා ගත නොහැකි , රෑ නින්දෙන් සිහිවෙන , උපදිද්දී මිය යද්දී දහස් වර හමූවූවාට හෝ නොලැබුනාට පසු තැවෙන වේදනාකාරී බැඳුම් රැසක මතක අප කාගේත් සිත් අස්සේ තවමත් නිදා නොනිදා සැරිසරන බව නොරහසකි.  

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින්
පෙළයි මා, මුදා සුව දැහැනින් //

සයුර ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී ගිම් අඳුරේ
තලා මා සිත පලා ගිය ඔබ
දවයි මා….හද, තනිවෙනා මොහොතින්

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුලද සිඳෙන්නට පෙර
යදින්නම්…. ඔබ, මැකී යනු මතකෙන්


මෙලොව හැරයා නොහැකි බැඳුමක් නැත්තේය. ජීවිතයේ මේ මොහොතෙන් එපිට මතු යම් මොහොතක යා යුත්තේමය. එහෙත් වචනයෙන් කිසිදා කියා නිම කළ නොහැකි හැඟුම් සමුදායක් සමග දිවා රෑ , යන එක කොතැනත් ගනුදෙනු කරන මතකයන් සුවයකට වඩා වේදනා සහගතම වෙයි. මතකයෙන් නොයන්නේ එබඳුම වූ සාංසාරික වශයෙන් ඉවර නොවූ ගනුදෙනු යැයි සිතෙයි. 
ජීවිතය සමග පොර බැදිය යුතු නොවේ. ජීවිතයට යා යුතු ඕනෑම මගක යන්නට දී නිහඬ විය හැකි නොවෙයි. එහෙත් මතකයත් සමග ආකූල නොවී ජීවත් වනු උදෙසා , මරණයත් සමගද සිනහා විය හැක්කේය. මතකය්න් ලුහුබැඳ එද්දී පලා යනු වෙනුවට සඳට වෙඩි තබා මරණයත් සමග සිනහා විය හැකි වේනම් ... සියලු බැඳුම් අතැර වන ගත නොවූ , හිපි හදවතකට තවමත් ගහකොළටත් මහපොළවටත් එයින් මතුකොට හදට දුන් සියලු රිදුම් කෙරෙහිත් පෙරලා ආලය කළ හැක්කේය. 
ලුහුබඳින්න මා ..ලුහුබඳින්න
අවි තුඩකට බෑ මතකය නසන්න ..

රාත්‍රියට ඇහැ තියන්න
හඳට ඕන නැහැ ලියන්න
ඔබට ඕනේ අඳුරම නම්
හඳට ඉලක්කය අරන් වෙඩි තියන්න
අඳුර එක්ක හිනා වෙන්න

කුරුල්ලෙකුට පියාඹන්න
ඕනැ වෙයිද කියා දෙන්න?
ඔබට ඕනේ මරණය නම්
හඳට ඉලක්කය අරන් වෙඩි තියන්න
මිය යන විටදී හිනාවෙන්න   

ජීවිතය නම් ප්‍රහේලිකාව විසඳිය නොහැක්කේය. කොතරම් සමීකරණ ආදේශ කළද , ඇතැම් විචල්‍යයන්ට දිය හැකි පරිමිත අගයක් නැත්තේය. එහෙත් ඒ විචල්‍යයන් නොමැති කල්හි සමීකරණයෙහි කිසිදු ප්‍රමිතියක්ද නැත්තේය. 

Tuesday, July 23, 2013

[293] සාප්පු වන්දනාවේ ආදීනව


සාප්පු යාම වචනයේ හැටියට ගෑනුන්ට නම් නොකර බැරිම වන්දනාවකි. ඒ කුලකයේ මාත් සිටින නිසා , ඒ ගැන ලියන්නට අමුතු දේවල් නැති වේවිද?

කවුරුනුත් වාගේ මාත්  සාප්පු යන්නට පටන් ගත්තේ කුඩා කාලයේම සිටය. එහෙයින් මගේ සාප්පු ක්‍රීඩාවේ වේදනාව මුලදී දෙමව්පියන්ටත් . ලොකු මහත් වූ විට අක්කාටත් උරුම වූයේය. එහෙත් කල් යාමේදි මට උවමනා සාප්පු යාමේ කාරියට ගැලපෙන්නේ තනිව යාම බව මට පසක් වූයේය.

සාප්පු යාම සහ බඩු ගැනීම යනු මගේ ජීවිතයේ සහමුලින්ම වෙනස් කාරියන් දෙකකි. බඩු ගැනීමට ලිස්ට් එකක් සහ යන එන තැන් පිලිබඳ මනෝ සටහනක් තිබෙයි. ඊට පැය භාගයකට වඩා කිසිසේත්ම ගත නොවෙයි. බඩු ටික රියක පටවා ගෙන නිවසට හනික ඒම මිස බඩු අතෙන් කරෙන් එල්ලාගෙන සාප්පු යාම කිසිසේත්ම සිදු නොවෙයි. සාප්පු යාම එක්තරා වතාවතක් හෝ කලකට පසු එලඹෙන නිත්‍ය වන්දනාවක් වැනිය. අතෙහි  ගමන් මල්ල මිස බර බඩු කිසිවක්ම නැතිව කිසිවෙකුගේ ආණ්ඩු මට්‍ටුවකින් තොරව පැය ගණන් ඉබාගාතේ ඇවිදීමේ රසය දන්නේ ඊට ආශා කරන්නෙකුම පමණකි.


මා සාප්පු යන්නේ තනිවමය. ඒ මගේ සාප්පු ගමන් බිමන් වල කිසිදු චාරයක් හෝ විනයක් නැති නිසාය. ඇතැම් විට එකම සාප්පුවකට වරක් දෙවරක් හෝ තෙවරක් මම ගොඩවන්නෙමි. සාප්පුවෙහි සේවක සේවිකාවන්ගේද ඇසට ලක් වන තරම් වේලා එහි ගත කරන්නෙමි. මා හොර ගල් අහුලන්න්නේ යම් කිසිවක් සොරා ගැනීමට දැයි සැකයට හසු වන තරම් වේලාවක් ඇතැම් දිනවල එකම තැනක  එහි ගත වී තිබෙයි. ඇතැම් විට රාක්ක ගණනාවක් අවුල් කොට කිසිත් සිදු නොවූ අයුරෙන් මම කිසිවක්මත් නොගෙන පිටවී එමි. ඒ මගේ සාප්පු යාමේ ආස්වාදයෙහි තවත් කොටසකි.

මා සාප්පු ගමනක් යනවා නම් නොවරදින ආයතන තුනකි. පොත් හලත් , මට සුපුරුදු ඇඳුම් සාප්පු කිහිපයකුත් , සුපිරි වෙලඳ සැලකුත්ය. මේ හැම එකකම දකින බඩු භාණ්ඩ එකක් එකක් වශයෙන් අතගා බලමින් මිල ගණන් සසඳමින් ගත කරන හෝරා කිහිපයෙහි අවසන කොහේ හෝ අස්ස්සක මුල්ලක සැඟවුනු අපූරු අරුමෝසම් අයිටමයක් බොහෝ වෙලාවන්හිදී හමුවෙයි. හදිසියේ බඩු ගන්නා අයට එවන් දේ බොහෝ විට හමු නොවෙයි. ඇඳුම් වර්ග ඇඟලා බලමින් මා කොතරම් මහත් හෝ කෙට්‍ටු වී ඇත්දැයි සොයා බැලීමද තවත් සාප්පු ක්‍රීඩාවකි.

සාප්පු යාමෙන් පොකැට්‍ටුව හිස් වීම ඇත්තකි. එහෙත් මන්දගාමී වූ සිත එක්තරා ආස්වාදයකින් පිරී යාම නිසා සාප්පු යාම මට මහත් වූ ඵල ඇති ක්‍රියාවකි. ඇතැම් විටක සමීපතමයකු සමග රණ්ඩුවක් වූවිට මගේ ස්ට්‍රෙස් රිලීස් වන්නේ සාප්පු යාමෙනි. කිසිසේත් නොසිතූ විරූ තරම් මුදලක් එකවර වියදම් කිරීමෙනි. කිසිදා සැලූන් ගොස් තවෙකෙකුට මූන අතගාන්නට දීගෙන නිදි කිරා වැටෙන එක පෙන්නන්නට බැරි මම එදාට සැලුන් එකටත් යමි.

මේ සාප්පු යාමේ බොහෝ අතුරු ප්‍රතිපල තිබේ. පොත් වලට තියෙන නිසග ආශාවට පින් සිදු වන්නට පොත් හලකට ගිය මොහොතේ සිට මට ඒ කඩයම මිලදී ගන්නට සිතෙයි. ඉතා අපහසුවෙන් කපා කොටා බලා ඇතැම් විට පරිච්ඡේදයක් කියවා ‍තෝරා ගන්නා පොත් සෑහෙන ගණනකට පොකැට්‍ටුව හිස් කල හැකි වෙයි. ඒ පොත් ටිකත් අරගෙන මුල්ලක ඇති තේ පැන් හලට ගොඩවී තේ බොමින් තව වරුවක් මිලට ගත් පොත් බැලීමත් ඒ තරම්ම ආස්වාදජනකය. ගෙදර ගෙන ගොස් කාමරයේදී ඇර බලද්දී පොතේ උණුසුම දියව ගොසිනි.


මෙසේ මෙලෝ සිහියක් නැතිව සාප්පු යන මට අයිස්ක්‍රීම් පිලිකන්න අමතක කළ නොහැක්කේ ඊට ආසන්නයෙන් අයිස්ක්‍රීම් තිබෙන නිසාය ! මේ නුදුරු වැහි දිනෙක හදිසි බැංකු කටයුත්තක් වෙනුවෙන් කේසිසී පරිශ්‍රයට ගොඩ වැදුනු මම පඩිපෙල ඉස්මත්තෙහි වයලින් වයන සුරුබුහුටි කොලුවෙක් දු‍ටුවෙමි. සංගීතයෙහි කෙළ පැමිණෙන්නට නොහැකි වුවත් වයලිනයක් බටනලාවක් ඇහෙද්දී දැනෙන සුපුරුදු හෘද අනුනාදයෙන් මට ආ කාරිය අමතක වූයේය ! මගේ හිතවතාට ඒකෙහි වගක් නැත. බැංකුවට ආවා නම් බැංකුව ! සුලඟේ ගසාගෙන යන පරඬැල් කෑල්ලක් මෙන් මම තරහින් පුපුරමින් , ඔහු පසුපස්සේ ගාටමින් අකැමැත්තෙන් එතැනින් ඉවත් වීමි. ඒ බැංකු කටයුත්ත ඉ‍ටු කිරීම උදෙසාය. 

ඒ කාරිය නිමා වූ විගස පැමිණිලි කිරීමේ , ආඩපාලි කීමේ , පුප්පනු ලැබීමේ කාලය එලැඹින ! අහෝ ඒ උත්තමයාට සිදුවූයේ මා ‍රැගෙන යලිත් වයලින් වැයෙන තැනෙන මා ‍රැගෙන යන්නටය. මට ඇති වන තෙක් වයලින් අහන්නට දෙන්නටය !

මේ මාගේ සාප්පු චාරිකාවන්ගේ ආදීනව එක දෙකක් පමණකි.

ඇති වන තෙක් සාප්පු යාමත් පාරෙහි ඇවිදීමත් හැකි තාක් දුර පයින් තනිවම යාමත් හරිම ආස්වාදජනක කටයුත්තකි. මිලට ගන්නා බඩු භාණ්ඩ වලට වඩා සිතට ඇති වන පිරිපුන් ස්වභාවය තව දින ගණනාවක්ම මහත් වූ ජවයකින් ගෙවා ගනු වස්  මේ අරුමෝසම් සාප්පු චාරිකාව මහත් ඵල උදා කරයි. 

නිවසින් කාර්යාලයත් කාර්යාලයෙන් නිවසටත් තෙරෝද රියකින් ගමන් ගැනීමේ අනි‍ටු විපාක මට දැන් පෙනෙයි. ලෝකයෙන් හරි අඩක් නොව සියයට අනූ නවයක්ම දෑස් මානයෙන් වසං වී යාමෙන් ලිවීමට බ්ලොග් පෝස්ට් සහ සිතුවිලි කෙසේ නම් ඇති වේවිද? 

මා රහස සොයා ගතිමි. වරද ඇත්තේ කම්මැලි වූ මාගේ ගතෙහි මිස සිතට හෝ ලිවීමේ මතකයට හෝ හැකියාවට හෝ සිදුවී ඇති ආපදාවක් නොමැත... 


Friday, June 14, 2013

[292] ආදරය කරන්නවුන් උදෙසාම පමණකි..

ආදරය ගැන මා ලියූ අ‍ටුවාටීකා නිමක් නැත. ආලය පිලිබඳ මල් වියේ ලියූ ඇතැම් දෑ දැන් මුවගට සිනහවක් ගෙනෙයි. එහෙත් එහි අවලාදයක්, අපහාසයක් , මදිකමක් හෝ ලැජ්ජාවක් මට නොවේ. මා ලියූ හැම අකුරකම මගෙන් ලොකු අර්ධයක් අඩංගුව තිබූ බව නොරහසකි. අනෙක් අර්ධයෙහි මා ස්පර්ශ කළ කුඩා ලෝකයෙහි ඇසූ දු‍ටු බිඳිති සිදුවීම් අඩංගු වෙයි. ඒ මගේ ලිවිල්ලේ හැටිය. මනංකල්පිතයන් ලිවීමේ සමතුන් අනගි ලියන්නන්ය. මට එය පිහිටා නැති සෙයකි. ඒ පිලිබඳව දුකකුත් නැති

ආදරයම හම ගැසූ මල් විය ඉක්ම යද්දී වෙනත් වෙනත් දෑ පිලිබඳ සිත් පහළ වෙයි.උදාහරණයක් කිවහොත් කුඩා බිලිඳුන් දකිද්දී වෙනදාට වඩා හද පැහැර ගනියි. ඊට හේතුව ජීවිතයේ එක් එක් යුගයන්හි අපේ ආධ්‍යාශයන් විය හැකිය. ජීවිතයේ එක් පරිච්ඡේදයක් අවසන් වෙද්දි අලුත් පි‍ටුවක අලුත් කතන්දර ලියවෙයි. බිලිඳු මුහුණක් සමගම ලඟ ලඟ කාලයේ ලැබුනු සොඳුරු ඇසි දිසි මතක තවත් පෝස්‍ටුවක් ලියන්නට බල කර සිටියි
~'~

.කුඩා බිලි‍ඳෙකු උපදින්නේ මවකගේ ගැබෙනි. එහෙත් පියවරු මුවින් නොබැණ ඉවසන දහදුක එසේ මෙසේ නොවේ. මවකගේ දුකෙහි, වේදනාවෙහි අවසාන ප්‍රතිපල ගලා බස්නා පහළම තැනත් තාත්තාය. හෙවත් අම්මාට තරහ යද්දී අම්මාට ඒ තරහ පිට කරන්නට ඉන්නේත් තාත්තාය. ඒ අවු අස්සේ ඒ තාත්තා දරු පැටියන්ට රජා වගේ ඉන්නත් ඕනේය. තාත්තාට ලොකු පවුලක් හදා වඩා ගැනීම එසේ මෙසේ බරක් නම් නොවේ.ඒ බරට උර දෙන මේ සොඳුරු තාත්තා දෙස විනාඩි 7ක් බලා සිටීම බොහෝ වටී.


බලන්න.........



බෙදා හදා ගත හැකි වටිනා කියන බොහෝ දෑ මෙන්ම , කුනු කරෝළ තරම් ගඳ ගසන අසීමිතව කුණු රසය දනවන ෆේස් බුක් අප්ඩේට්ස් අතරෙහි,මේ දු‍ටු වීඩියෝව බෙදා හදා නොගැනීම තරම් නොවේ.

කුඩා බිලි‍ඳෙකුගේ මුව පොඩිත්තක මැවෙන සිනහවට පොදු භාෂාවක් තිබේ.... අඬද්දී ඇඹුල් වන්නේ එකම ආරටය. කිරි බී බඩ පිරෙද්දී හිනා වෙන්න කොට බිලිඳු ඇස් වල තියෙන්නේ එක ආලෝකයකිනි. කුඩා බිලිඳියකගේ දෑස් වල අම්මාගේ සෙවණැලි වැතිර තිබෙයි. ආදරය උගත හැකි නම් , කුඩා දරුවෙකු දෙස බලා හිඳීමම සෑහෙයි.

උපන්දා පටන් දරුවන් ගෙනෙන්නේ සතුටම නොවේ. කර දඬු උස් මහත් වෙද්දි මල් වාගේ උන් පොඩි එවුවන්ගේ හිත් ගස් ගල් වාගේ වෙන්නට ගනී. එතෙක් වෙර විරියෙන් හදා වඩා , දිදුලන පහනකට උපමා කළ අපේ අම්මා , අපේ තාත්තාට මෙහෙම ගයන්නටත් ඇති.අපේ තාත්තාට අම්මෙකුත් , සිය ලේ මසින් හැදූ දරු කැලත ගැනත් සිය හදවතට මෙවන්ම හැඟුම් දැනෙන්නට ඇති.


විමනේ දිනිඳු මගේ
ඔබවේ සසර මඟේ
සඳ රැසේ එළිය සේ -බිළිඳු සිනා සැලේ

ජීවිතේ සිහිනයේ සුවඳ විහිදුවා
ගීතයේ මිහිසරේ මිහිර අතුරලා
සොඳුරු මේ දිවිතෙරේ -තරුව ඔබය සදා

පුතුගේ සිඟිති නෙතේ
ඔබගේ මුහුණ පෙනේ
සඳ රැසේ එළිය සේ -බිළිඳු සිනා සැලේ

මිරිඟුවේ තිමිරයේ හැබෑ රුව වෙලා
ගණඳුරේ පහන සේ විමන දිදුළවා
රුදුරු මේ මං පෙතේ -තරුව ඔබය සදා

ගිනිදැල් සතර දෙසේ
රසුදැල් නගන ලෙසේ
ඔබද හා පුතු සදා රකිමි දෙනෙත ලෙසේ





ඇතැම් පවුල් සංස්ථාවන්හි අම්මා තාත්තා බැඳ තබන එකම හුය දරුවා පමණක්ම වී තිබෙයි. එහෙත් ඇතැම් පවුල් සංස්ථාවන් තුල දරුමල්ලන් නොමැතිවම වුවද සුන්දරත්වය ‍රැඳී තිබෙයි.

දරු සිඟිත්තෙකුගේ කිරි සුවඳ ගැවසෙන ගෙබිම තුල මෙතෙක් කල් සිය පෙම්බරියව හුන් ඇය 'දරුවන්ගේ අම්මා' ලෙසින් අබිසෙස් ලබන්නීය. දරුවන්ගේ තාත්තා ට තවදුරටත් 'ඈ' ගැහැණියක පමණක් නොව තමාටද මවු විය හැකි තරම් උසස් තැනෙක බව දැනෙන්නේය. සිය දරුමල්ලන්ගේ සුව බර ජීවිතය වෙනුවෙන් වෙහෙසන තාත්තාගේ , අනාගත සිහින ඉ‍ටුකර දෙන්නී අම්මාය. ඇයට හිමි එබඳු තැන් හිදී ඈ වෙනුවෙන් මේ ගයන්නේ ආදරනීය තාත්තාය.


සඳ රේඛාවෙන් බසින ලියේ - නූපුර නොසලා වඩින ලියේ 
තරු ඕවිල්ලේ පුතු නිදිගන්වා - විජයිඳු පායට වඩින ලියේ

බුදුගුණලකරින් , මංගල සුතුරින් පිරුවාණා කවි සිලෝ කියා
ආසිරිවාදය කළ මැන පුතු හට සරසවි දැහැනින් තිලක තියා

සුදම් සභාගේ මුල් පෙළ හිඳිනා හෙල විරුවන්ගේ කතා කියා 
දෑ අභිමානය දෙනු මැන පුතු හට 
සඳකඩ පහණේ සිරස තියා


ආදරයට භාෂාවක් නැතිය. ආදරයට තාරුණ්‍යයෙන් ඔබ්බෙහි අනාගතයක් නැතැයි සිතීම නොවටී. ආදරය උපදින්නේ අන්‍යයන් දෙස බොහෝ ආදරයෙන් මෙතෙක් කල් බැලූ දෑසකමැයි සිතෙයි. අන්‍යයන් කෙරෙන් තමන් වෙනස් වන්නේ තමන් කිසිසේත් නොවටිනා නිසා යයි හීනමානයෙන් පෙලෙන්නවුන්ට ආදරය තමන් කොතෙක් වටිනා මිනිසෙකු බවට පත් කරනු ඇතැයි සිතන්නට මේ ඇසිදිරි රාමු තුනම සෑහෙයි. 

ගීත දෙකම බෙදා හදාගෙන , සිය සිඟිති පැටවුනුත් පැටවුන්ගේ අම්මාත් කෙරෙහි මහත් හැඟුමෙන් යුතුව , ඒ පිලිබඳව ලියන්නැයි නිකමට වාගේ මතක් කළ වැම්පයර් තුමාට ස්තූතිය.......

Friday, May 31, 2013

[291] අහිකුණ්ඨික හීන කතන්දර

'අපි නිකං අහිකුණ්ඨිකයෝ වගේ නේ?' 
එක් වරම කල්පනාවෙන් මිදුනු ඇය කිව්වේ මගේ කතන්දරයක් අහගෙන ඉඳලා අවසානයේදී..

'ඇයි?' 
උත්තරේ දැන දැනම මම ඇහුවේ ඇගේ අමුතු බස් හැසිරවීම ප්‍රිය නිසාමයි. 

' ඇයි අනේ... ඔයා චුට්ටක් අවුරුද්දක් හමාරක් පිරෙද්දි ඉන්න තැන් මාරු කරනවා. මම රස්සා මාරු කරනවා... දෙන්නා තර‍ඟෙට මාරු කරනවා... හහ් හා හා' 
ඇය මුකුත්ම ගානක් නැතිවා වාගේ ඔහේ කියාගෙන ගියා... 

හිතට තව එක අදහසක් ඊතලයක් වගේ ආවාට ඒ අදහස එතෙන්දිම මරලා දාලා මම හිනා වුනා... 



'ඇත්ත නේන්නම්' ... 

'මේ සඳා  බොරු කියන්න එපා. ඔයාට තව දෙයක් හිතුනා නේද ... ඇත්ත කියන්න. '
ඇය මගේ මූණට එබෙමින් අහනවා. 

ඈ කොච්චර තියුණුද කියලා දන්න මම , පසුතැවීමට පත් වුනා. එකත් එකටම මට හිතිච්ච දේ එයාට දැනෙන්න ඇති... 

'මොකක්ද?' මම නුරුස්නා ගතියක් මවාගත්තා. 

' බොරු කියන්න එපා සඳා... ඔයාට මගෙන් අහන්න හිතුනා නේද? රස්සා විතරද , උඹ කොල්ලොත් මාරු කරන්නේ ඒ වගේ නේද?' කියලා... 
ඇය තවමත් අර හිනාවම මූණෙ තවරගෙන කෙලිලොල් විදියට අහනවා... 

ඇත්ත වසං කරමින් මම කතාව වෙන පැත්තකට ගෙනියන්න හැදුවෙ ඒ නිසා... 

'මේ මලී , විහිලු නෙවි. දැන් ඔයාගෙ වයස බලන්න. මොකක්ද මේකෙ තේරුම නගා? දැන් මොකද වෙන්නේ? මම දන්නෙ නැහැ , අහන්නත් බයයි, මොකද හැමදාම අලුත් කතන්දරයක්.. ' 

මේ තිත්ත මාතෘකාව අපි කතා කරන්න ඇති ඕනෙ තරමක්... දවස් ගණන්.. පැය ගණන්... කොටින්ම මේ ගත වෙච්චි අවුරුදු 8 පුරාම. ඇගේ ඇඬුම් සිනහා දු‍ටුව වාර ගණන මටවත් මතක නැහැ. ඉතින් ඇය එක්ක තරහ වෙන්නත් බැහැ. ඒත් ඈ එක්ක මේ දේ කතා කරලා තේරුමකුත් නැහැ. 



'අක්කා... ඇත්ත... ඔයා ඔය කියන දේ හරි. ඒත් මම තාමත් හොයනවා මොකක්ද කොතනද වැ‍රැද්ද? මොකක්ද මේ දේවල් වල තේරුම කියලා?  'මම ඇයට කතා කරන්න දීලා ඇ දිහා බලාගෙන හිටියා... 

'ඇත්ත පුංචි කාලෙ මට වැරදුනා. මම වැරදි කෙනෙක්ට ආදරේ කලා. එදා ඉඳන් අද වෙනකල් , ගොඩ දෙනෙක් මගේ ජීවිතේට ඇවිත් ගියා තමා.. ගොඩාක් බර අඩි සටහන්, පුංචි අඩි සටහන් , එක එක විදියේ එක්වීම් වෙන්වීම්.. 

මම තාමත් හොයනවා අක්කා. මොනවද හොයන්නේ? මම දන්නෙ නැහැ. 

ජීවිතේ එක්තරා තැනකට එනකල් මම ප්‍රශ්න කලා. ඇයි මට මෙහෙම වුනේ. ඇයි මෙහෙම වෙන්නේ එකම දේ එක එක විදියට මේ විදියට පහර ගහන්නේ ඇයි කියලා' 

'ඒක ඔයාගෙ පැත්තෙ තියන දුර්වලකමක් නිසා වෙනවා වෙන්න බැරිද?'

'ඔව් වෙන්න පුලුවනි. සමහර විට මමම කලබල වෙන නිසා. සමහර විට මට තරහ යන නිසා. සමහර විට මම ගොඩාක් හීන බලාපොරොත්තු තියන් ජීවත් වෙන නිසා. සමහර විට මගෙ ලෝකෙ ගොඩක් ලොකු නිසා. ඒක අතාත්වික නිසා. ඔය වගේ ගොඩාක් දේවල් මට කියාගෙන යන්න පුලුවන් අක්කේ. ඒත් අක්කේ මට කියන්න  , මම ඇරුනාම අවශේෂ කිසිම මිනිහෙක්ට ගෑනියෙක්ට ඔය ගතිගුණ නැතිද? 

මම දන්නවා ටිපිකල් මිනිස්සු මට රටේ නැති කතා කියනවා ඇති. මම ලස්සනට ඇන්දත් පැලැන්දත් මා දිහා ගණිකාවක් තරම් පහත් විදියට බලනවත් ඇති. එක දවසකට එක වාහනේක. තව දවසකට තව වාහනේක. ඒත් මම ගියේ ගෙදර ඇරලන පෙම්වතා එක්ක කියන එක රටේ කීදෙනෙක් හිතයිද? මම ගියේ හෝටලේක පැයක් දෙකක් ඉඳලා යන්න කියලා නොහිතන කීදෙනෙක් ඉඳියිද? මට එපා වෙලා අක්කේ මේ රටේ මිනිස්සුන්ගෙ හිතන විදිය. ගෙයි ඇතුලෙ සන්‍තෝසෙන් ජීවිතයක් තියෙන්නෙ කීයෙන් කීදෙනාටද? ඒත් ගෙයින් එලියේ අනික් මිනිස්සු කරන කියන දේවල් අන්තිම තුච්ඡ විදියට විවේචය කරන්නෙත් ඒ මිනිස්සුම නේද? ඒ වගේ මිනිස්සුන්ට මාව , පිටතින් පූස් පැටියෙක් වගෙ ඉන්න , 'බඩුවක්' වගේ පේන එක මම වලක්වන්නෙ කොහොමද? අක්කම මට කියන්න. 

ඇගේ කතාව එන්න එන්නම ආවේගශීලී වෙනවා වගේ මට හිතුනා.

'ඇත්ත නංගී.. මිනිස්සු දකින්නෙ එක පැත්තක් විතරයි'

අක්කේ මම හොයන්නේ ජීවිතයක්. ඒක දවස ගානෙ මිනිස්සුත් එක්ක අසහනේ ඇරගන්න නිදාගන්න අවශ්‍යතාවයක් නෙවෙයි. මට ඕනෙ හෙවණක් . ආදරයක්. දරුමල්ලො හදාගෙන ලස්සනට නිස්කලංකව ගෙවන්න ජීවිතයක්. ඒ ජීවිතේ මට දෙයි කියලා බලාගෙන මම වංචාකාරයින්ට ‍රැව‍ටුනා. ඒක මගෙ කරුමෙ වෙන්න ඇති. ඒත් ඒ දිහා බලන් ඉන්න මිනිස්සු මාව බ්ලැක්ලිස්ට් කරලා දක්කන්න හදන්නෙ මහපාරට වෙන්න ඇති. ඒත් ඒකට මම ඉඩ තියන්නෙ නැහැ. 



මගේ ජීවිතේ සියුමැලිම තැන තමයි ආදරේ. ඒක තමා මගෙ දුර්වලකමත්. ඒ දුර්වලකම හරියට අඳුනගන්න මිනිස්සු මගෙන් ප්‍රයෝජන ගන්න හදනවා කියන එක හැම වෙලේම මට තේරෙන්නෙ පරක්කු වෙලා. ආදරේ කියලා කැදර මිනිස්සුන්ට මම ‍රැවටෙනවා. ඒත් ඒ ආදර සිහිවටන එකකටවත් මම වෛර කරන්නෙත් නැහැ. මම ජීවිතේ දීල ගිය ඒ සිහිවටන නිසා මම වෙනස් මනුස්සයෙක් වෙලා ඉන්නේ. ඒ වෙනස් ගෑනිට එතෙන්ට එන්න පුලුවන් උනේ දුක හෝ සතුට පිරිච්ච ඒ අත්දැකීම් නිසයි. 

මම ඇගේ මේ අරුම පුදුම තර්ක දිහා කටත් ඇරගෙන කල්පනා කරන්නට වුනා. 

'ඒ කියන්නෙ ඔයා හිතන්නෙ මෙ වෙච්චි හැම දෙයක්ම හොඳයි කියලද?' 
අක්කේ හොඳ හෝ නරක හෝ මම දැන් ඒ ගෙවුන අතීතේට සාප කරලා මට මොනවද ලැබෙන්නේ කියන්නකෝ....

ඇගේ ප්‍රශ්නයෙන් මම නිරුත්තර වුනා. ඈ තව දුරටත් කතා කරන්නට වුනා... 

' මම ඒ අතීතෙ මිනිස්සුන්ට සාප කලොත් මගෙ හිත කුණු ගඳ ගහන්න ගනියි. මගෙ ඇස් වලින් එලියට පිට වෙන්නෙ වෛරය එහෙම නම්. ඒත් මම ඒ අතීතෙට සහ ඒ මෝඩ කම් කල මට සමාව දුන්නොත් , මම මේ ඉන්න ගෑනිට ,ඒ කියන්නෙ මට ආදරේ කරනවා. ඒ වගේම මගේ හිතේ වෛරයක් නැහැ. මම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා... 

'ඒත් නංගි, දැන් මේවායේ කෙලවරක් තියෙන්න ඕනි නේද? හරි ඔයා අහිංසකයි. ඒක මම දන්නව.ඒත් මේ ගමන අරමුණක් තියෙන්න ඕනි නේද?



අක්කා මගෙ එකම අරමුණ හොඳ කසාදයක් බඳින එක නෙවි. මගේ මේ හිතන විදියට පෑහෙන සහකරුවෙක් හොයා ගන්න එක . එහෙමයි කියාලා හිතලා ලං වෙන මිනිස්සු මට නොගැලපෙද්දීත් මේ ලෝකෙ ජීවත් වෙන බහුතරයක් මිනිස්සු වගේ රටේ ලෝකෙ අපවාදෙන් ගැලවෙන්න , ප්‍රථම ප්‍රේමය අවසන් ප්‍රේමය වෙලා විවාහයෙන් කෙළවර වෙන්න ඕනෙ නිසා , කසාද බැඳලා ඉතුරු ජීවිතේම දුක් විඳින්න මම ඕනෙද? නොගැලපෙනවා නම් වෙන් වුනා. ඒකෙන් දෙන්නාටම වෙන්නෙ යහපතක්'

මට වෙලාවකට ඇගේ තර්ක  බිඳින්න බැහැ. ඒත් ඒවා නිවැරදි නැහැ කියලාත් හිතෙනවා. ඒත් මගේ සිද්ධාන්ත ප්‍රායෝගික නැහැත් හිතෙනවා. ඇයි මේ කෙල්ලටම එහෙම වෙන්නේ? ඒත් අපි නොදන්න පිටට පේන සුන්දර පවුල් ජීවිත ඇතුලේ ගින්දර ගොඩවල් තියෙනවා වෙන්න බැරිද? ප්‍රශ්න ගොඩක් මගේ හිසට ඇවිත් හිසරදයක් වගේ දැනෙන්නට වුනා. ඇයට මගෙ ව්‍යාකූල බව දැනෙන්නට ඇති. 

'අක්කේ ඔයා කණගා‍ටු වෙන්න එපා. ඇයි දන්නවද? මම කණගා‍ටු නොවෙන නිසා. මට ජීවිතේ කියන්නේ ආශිර්වාදයක්. ඒ ජීවිතේ ඇතුලේ වැරදිච්චි තැන් හුඟාක් තියනවා. ලෝකෙ සමාව දුන්නත් නැතත් මම මට සමාව දීලා ඉන්නේ. මගෙ හිත මේ ගෑනිට ආදරෙයි. ජීවිතේ ඇවිත් ගිය මිනිස්සු , ඒ අය ඉතුරු කරලා ගිය කැළැල් , වේදනා තුවාල ඒවාපාර පාර මම දුක් විඳින්නෙ නැහැ. මම ඒ මිනිස්සුන් මට දීපු පුංචි ආදරේට හරි මම ස්තූති වන්ත වෙනවා. 

අනික ලෝකෙ මිනිස්සුන්ට පේන්නේ මම සැහැල්ලුවෙන් හිනා වෙලා ඉන්නවා. ඒ වගේම කැඩී බි‍ඳෙන ආයෙ අලුතෙන් එන ප්‍රේම කතන්දර එකක්වත් මායිම් නොකර ඉන්නවා. හෙවත් ඒ මිනිස්සුන්ට පේන්නේ මම එහෙවු දේවල් වෙලාත් හිනා වෙලා ඉන්න නිසා මම සෙල්ලක්කාර සල්ලාල නැට්ටිච්චියක් කියලා වෙන්න ඕනෙ. එහෙම හිතන මිනිස්සුන්ට මම අනුකම්පා කරනවා. වෛර කරන්නෙ නැහැ. ඒ එයාලගෙ අවබෝධය . මම ආව දුර එයාල දැනගන්න ඕනිත් නැහැ. මම කොතැන්දිවත් කාටවත් පාපෝච්චාරණය කරන්නෙත් නැහැ. දුක කියවන්නෙත් නැහැ. හැබැයි වැදගත්ම දේ, මිනිස්සු දකින්නප්‍රර්ථනා කරන 'යන එන මං නැති පාරට වැටිච්චි සල්ලාල ගෑනියෙක් බවට මම කවදාවත් පත් වෙන්නෙත් නැහැ. 

පෙම්වතුන් ගොඩක් ඉඳලා නැති වෙලා ගිය එකට මගෙ වැරදි ඇති. ඒ මිනිස්සුන්ගෙත් වැරදි ඇති . දෛවයේ බලපෑමකුත් ඇති. පෙර අකුසලුත් ඇති. නොගැලපීම් තියෙන්නත් ඇති. නොදැනුවත්කම් තියෙන්නත් ඇති. ඉතින් තිබුනාවේ. මගේ ජීවිතේ කාගෙවත් ලේබල් වල ස්ටේබල් වෙන්නෙ නැහැ අක්කා. එයාලා මම ගැන කතා කරපුවාවේ. මට ප්‍රශ්නයක් නැහැ. ආදරේ කියන්නේ මම හැමදාමත් කරන දෙයක්. ඒක මිනිහෙක්ට නෙවි, ලෝකෙටම අදාල දෙයක්. ගෙවිච්ච මගේ තරුණ ජීවිතේ ගැන මට එක අබමල් රේණුවකවත් දුකක් නැහැ. මොකද මම විඳවන්නෙ නැති නිසා. 

ඇගේ දිගු කතාව අවසානයේ මාද මොහොතකට ජීවිත ලැහැබෙහි අතරමං වූවා යැයි දැනුනා. ඇය තුල සාධාරණ මෙන්ම අන්තිම තාර්කික ජීවියෙකුද වැඩ වෙසෙන බව හැඟුනත් කොහේදෝ කුමක්දෝ කාටහෝ වැරදී ඇතැයි සිතෙන ඒ හැඟීම ඈ සමග කතා බහ කොට සති කිහිපයක් ගතවී ඇතත් තවමත් මට දැනෙන්නට වූවා.ඈ කියූ අවසන් වදන් කිහිපය තවත් බොහෝ කාලයක් මගෙ හිතේ ‍රැවු දේවි. 

'කාලයක් මම දුක් වුනා. පසුතැවුනා , මගේ දිවය හෙමෙ කලේ ඇයි කියලා... මම කාලයක් ප්‍රශ්න කලා - ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. තව කාලයක් මම උත්තර හෙවුවා අක්කා - ආගමෙන්, බෙහෙත් වලින් , යාලුවන්ගෙ උපදෙස් වලින්.. ඒ වගේ එක එක යුග ගණනාවක් මම පහු කලා. අක්කා ඔයා දන්නවද අද මම ඉන්න යුගය මොකක්ද කියලා... 

මම වර්තමානයේ ජීවත් වෙනවා. හොඳ නරක මිස මිනිස්සුන්ගේ මතවාද එක්ක මම ජීවත් වෙන්නෙ නැහැ. ජීවිතේ ගෙවුන හැම තත්පරේකටම මම ස්තූතිවන්ත වෙනවා. ගෙවෙන මේ මොහොතට ආදරේ කරනවා. ගෙවෙන්න තියන තත්පර කෝටි ගානක ඉතුරු ජීවිතේ වෙනුවෙන් බලාපොරොත්තු අත් හරින්නේ නැහැ..  ගතවෙන හැම මොහොතෙදිම මම ඉපදෙද්දි ලෝකෙන් උදුරුගත්තු හැම දේකටම හිලවු වෙන්න, ලෝකෙට දෙන්න පුලුවන් හැම දෙයක්ම දෙනවා... මම හිතන්නේ අක්කේ , මට අනුව නම්, ඒක තමයි මගේ නිර්වාණය කියන්නේ.'



ඇය තුල, සාම්ප්‍රදායික දෑසකට ක‍ටු අනින අවිනීත සැහැල්ලුවකුත් , එබඳු දෑස් අන්ධ වන සුළු , තේරුම් ගත නොහැකි ආකර්ශනීය ප්‍රභාවකුත් ‍රැඳී තිබෙන බවක් මට දැනුනා. 

සැබවින්ම ඇයට දිය යුතු නම මම නොදන්නෙමි. බැඳීම් කෙරෙහි ආසක්ත නොවෙන , ජීවිතේ එක් නවාතැන්පොලකැයි සිතන , ජීවිත පොතේ හැම පරිච්ඡදයකම තිබෙන අස්ථිර බව හඳුනන , 
ඔව්,  ඇය අහිකුණ්ඨිකයෙක් බව නම් සැබවි !

Monday, May 20, 2013

[290] දයාබර මාලතී..





~ දයාබර මාලතී.. 

මට අද එකපාරම ඔයාව ඔලුවට ආවා.. අහම්බෙන්මත් නෙවී.. චූටි සිඟිත්තෙක් වඩාගෙන හිනැහෙන ඔයාගෙ පින්බර මූණ ෆෙස්බුක් ස්ටේටස් වල උදෙන්ම දු‍ටුව නිසා. ඔයා හොඳින්ද මාලතී? හිනාවෙනවා නේද මාලති ඔයා දැන් ? 

ඒ පින්තූරෙ නම් ඔයා හරි වෙනස් . ඒ කාලෙ හිටිය දඩබ්බර හිතුවක්කාරි නෙවී. පොඩ්ඩක් විතර මහත , හරි ගාම්භීර , හැඟුම්බර අලුත් අම්මෙකුගේ ගතිය හරි නුහුරුයි මට නම්. පොඩි එකී හරි ලස්සනයි, වෙලාවට අම්මාට වගෙ ලොකු කන් දෙකක් නැති වෙයි. (තවමත් මේ වගෙ කතා වලට ඉස්සර තරම්ම තරහ යනවද මාලතී?) 

මගෙ චූටි දූත් දැන් වසයි. එයාගෙ අයිය ඊටත් වසයි. මම වගෙම තමයි. බලන්න මාලතී අපි වයසට ගිහින් නේද? මේ මැසෙජ් එකට උඩින් මට අපි දෙන්නගෙ චැට් හිස්ට්‍රිය පේනවා මාලතී. මෙයිට අවුරුදු 7කට උඩදි ලියපු අකුරු කියවනකොට මොකක්දෝ හුරු වගෙම නුහුරු ගතියක් දැනෙන්නෙ අපි කාලෙත් එක්ක වයසට ගිහින් නිසයි නේද ? 

අනේ අනිච්චං මුහුණු පොතෙන් දවසක මුණ ගැහිච්චි නාදුනන , පස්සෙ මගේ හතර වෙනි පෙම්වතී වෙච්චි...අඩුවෙන් කතා කරන , වැඩියෙන් තරහ පෙන්නන මගෙ බකුසු පරණ පෙම්වතී...

පද්මී හරි හොඳ එකී. මේ චැට් විසික්කන්න කියන්නෙත් නැහැ. මාත් එක්කම කියවනවා වෙලාවකට. ඒත් මම හරි මාලතීගෙ මහත්තයා -ජගත් හරි අපෙ ගෑනුන්ට අතීතෙ ලඟ තියන් ඉන්න ඉඩ දෙන්නෙ නැහැ නේද මාලතී? පිරිමි එහෙමමයි. හරි ඉරිසියා කාරයින්... 



අනේ අපිත් ආදරේ කලානේ මාලතී. අද මෙහෙම පෑනෙ මිතුරෙක් වගෙ මම ලියන්නෙ මගෙ තර වෙනි පෙම්වතීටනේ මාලතී. ඒත් මට හරි සතු‍ටුයි .. මගෙ අතින් ගිලිහිලා නුඹ වැ‍ටුනෙ ලස්සන සරුසාර තුරු ගොමුවකටනෙ මාලතී. මට හරි සැනසීමයි.. (පොඩ්ඩක් ඉරිසියයි). 

මාත් හොඳින් මාලතී. ඒ කාලෙ දැක්ක සූටික්කන් ප්‍රේමයට වඩා ජීවිතේ හරි වෙනස් නේද මාලතී? පද්මියි පොඩි උන් දෙන්නයි එක්ක ඉන්න මේ හෙවණ මට හරි නිවනයි. ඔයාත් ඒ වගේම නිවනක් දකින එකට සතු‍ටුයි මල් මාලතී..  

ඕලු නෙලුම් මානෙල් මල් අස්සෙ , පිපිල හිටිය මාලතී ,අතීතෙට අපි ආදරේ නොකලට වෛර කරන්නෝනි නැහැනෙ නේද මාලතී..හතුරො නොවී දෙන්න දෙමාල්ලෝ එක්ක මෙහෙම ආයෙත් දකින්න ආසයි මාලතී.කැත හිතෙන් නෙවේ,  නිවාඩු වෙලාවක පොඩි පැට්ටයි ජගතුයි එක්ක ඇවිත් යන්න මාලතී.

ප.ලි. මේ ගීතය ඔයාට (ඉස්සර) මගෙ වෙලා හිටිය - මාලතී....


~

අම්මා කෙනෙක් බිරිඳක් වෙලා 
ලොව කාටහෝ නුඹ උරුමැතී
සතුටින්ද ඔබ පෙරටත් වඩා 
මගේ ඉපැරණි පෙම්වතී

මමද සැමියෙකි ඇයට අවනත 
දෙදරුවන් ලඟ නිවන සරතැස 
කාලයේ වැලිතලාවේ 
සබඳකම් සැඟවුනාවේ..

අතරමග සුණු විසුණු පැතුමක 
මතක මිහිරියි තාම හිත යට 
පරවුනත් මල් අතීතේ 
සුවඳ හදවත සමීපේ...


ජය !
මීට , 
ඉස්සර ඔයාට ගොඩක් රිද්දුව 
ඒත් දැන් තලත්තෑනි , හොඳ , 

නාරද




                           -------------------------------

පසු සටහන : ආලෙන් වෙලී සිට බිඳීම අනාදරයෙන් තොර බැඳීමක් වූ මෙලොව මා දන්නා එකම එක දෙ'යුවලටත් , එබඳු ආදරවන්තයින්ටත් පුදමි මේ ගීය  (කරුණාරත්න දිවුල්ගනේ)

ගීය හඳුන්වා දුන් වැම්පයර් තුමාට  විශේෂ ස්තූතිය :)

Friday, April 26, 2013

[289] හෘද ව්‍යායාමක සටහන්...(Notes on a Heart Exercise)


නොසිතූ විරූ වේගයෙන් දැඩි උණුසුම් ගෙන්දගම් මිශ්‍රිත මද්දහන දැඩි ශීතයකට පරිවර්තනය වෙයි. එහෙත් ශීතලෙන් හදවත ගල් නොවෙයි. ඒ වෙනුවට රස්නයෙන් ප්‍රසාරණයව තිබූ හදවත යලිත් සංකෝචනය වී සිය පියවි නිරෝගී හැඩය ගනී. හාට් එක්සසයිස් කිරීමේ මේ එක්තරා ආකාරයකි. අමිහිරි නීරස ජීවිතයකට එතැනින් මිදී පැය කිහිපයකට ගෙවන සුන්දරතාවය සිතනවාටත් වඩා වේදනාවක් වනු ඇත. මන්ද සුන්දරත්වය විඳි හදවතට, එය මතක හදවතට, අමිහිරද දැඩි සේ වද දෙනු ඇති බැවිනි. වෙන්කරගත් නිවාඩුවක , වාහනයක් සොයාගෙන , කාලයද වෙන්කොට , හිත සැනසිල්ල සොයා යාම එක්තරා මනංකල්පිත ආශාවකි. මන්ද එය කිසිදාක උදා නොවෙයි. ජීවිතය එක මත එක වගකීම් යුතුකම් සහ බැඳීම් පවරා සිටියි. 

හාට් එකට එක්සසයිස් දීමට අයාලේ යා යුතු නොවේ. ජීවිතයට නිදහසේ පියා සලන්නට ඉඩ හැරිය යුතු වෙයි. එක්තරා පොතක පොඩි කාලයේදීම ලියා ගත් කුහක සමීකරණයේ විචල්‍යයන්ගෙන් මිදී වසා ඇති හෘද දොරපියන් විවර කොට නිදහස් සුලඟ ආශ්වාස කිරීමට ඉඩ තැබිය යුතු වෙයි. අනෙකාගේ  අහිංසක විඳීම තුල කොරහේ කිඹුලන් දැකීම උන්ට නොව තමාටම වේදනාවක් වෙයි. හදවතක් තුල ආදරයත් සෞම්‍ය බවත් ගහකොළ සහ මහ පොළව සමග සැබෑ බැඳියාවත් මුල් ඇද තිබේ නම් අමුතුවෙන් හාට් එක්සසයිස් අවැසි නොවෙයි. 




මාර්ගය බොහෝ රුදුරු විය. ගමනාන්තය , දුර , යා හැකි නොහැකි බව ගැන හාංකවිසියක හැඟීමක් නොමැතිව රිය සක බැරි අමාරුවෙන් කැඩී බිඳී ගිය මග සමග ඔට්‍ටු වෙයි. කඳු මුදුනෙන් අහස් වලල්ලට පැටලෙන්නාක් මෙන් ද , නිහඬ ගුප්ත හොල්මන් හරිත සීතලක් වෙලා ගන්නාක් මෙන්ද සිතුවිලි පහළ වෙයි. මයිල ගණනාවක ගැස්සීම් , පෙරලීම් වේදනාවන් ඔබ්බෙහි ගමනාන්තය දිස් වෙයි. 

ආශ්චර්යයකි. කඳු ගැට්ට මුදුනතෙන් එහා තැන්නෙක , මෙතෙක් වේලා සඟවා තබා ගත් චිත්තාකර්ශනීය සොබා ත්‍යාගය දිස් වෙයි. රූස්ස ප්‍රතාපවත් පයින් ගස් දහස් ගණනකින් වටවුනු සිඟිති නිශ්චල වැවත් , සීතල සුලඟට කෝල ගමනින් බැස යන දිය දහරෙන් පෝෂණය වන වනන්තරයත් තුල හදවත විස්මයෙන් ගල් ගැහෙයි. 

හරිත කඳු ගැට්ටෙහි නිසංසලේ තැන්පත්ව හිඳින වැව් දියකඳ රකින වියපත් සදාහරිත මුර දේවතාවුන් වැනි පයින් තුරු, ගණ කොළ පැහැයෙන් පරිසයට ගුප්ත අඳුරක් මුසු කරයි. දහවලෙත් නොනැවතී ඇහෙන ‍රැසි නාදය , ගෙම්බන්ගේ කුරුල්ලන්ගේ කචබචය , මේ සොඳුරු බිම්කඩෙහි උන්ගේ තනි අයිතිය පිලිබඳ අනතුරු ඇඟවීම් වැනිය. හෘදය ආනන්දයෙන් පිපිරී යන්නට ආසන්නය. 


ආදරය විඳින්නට , පුදන්නට හෝ ලබන්නට අප පළමුවෙන්ම මේ මහපොළවට , එහි කඨෝර රළු බවට , එමෙන්ම භාවාතිශය සුකුමාර බවටද පෙම් බඳින්නට උගත යුතු වෙමු. අනෙකුත් කුණුගොඩවලින්  හිස් පුම්බා ගත් පුස් හදවත් හා කුහක බවින්  පිරීගත් ලෝකයක්ද මේ පොළව උඩම පවතියි. එක්තරා දුකකුත් පහළ වෙයි. මේ සුකොමළ වැව් බඳ ලාලනියකට වඩා ලාලිත පිරී තිබෙයි. ඊට ඇසදී දෑසින් මත් වීමම හාට් එක්සසයිස් වෙයි.. එදෙස බලා සිටින අප නිසා විලියෙන් මෙන් , සීත ශ්වේත සළු පොරවා තුහින වැස්සක් අහසින් බිමට පහත් වෙයි. වැව් තලයෙහි ඇතිල්ලෙමින් පෙම් කෙලින මහ පොළවට සෙනෙහසින් උස් තුරු මුදුන්ද හිස් බිමට හරවා ගනිති. වැහි සැණකෙලියෙහි කොටස්කරුවන් වී මහ පොළොවෙහි තෙත්බර චිරි චිරිය මත්තෙහි අපි ඇවිද යන්නෙමු. 




මේ ඇගේ හැටිය. සොබා දහමට වෙලාවක් කලාවක් නැත. ඊට ප්‍රේක්ෂකයන්ද නැත. ඊට ඇත්තේ නිදහසේ ආදරය කරන්නට අවකාශය පමණකි. උණුසුම් දැතකින් වටව සීතල පියැස්සක විඳිය හැක්කේ ප්‍රේමය පමණකැයි බාල සිතකට සිතිය හැකිය.  එහෙත් එවන් මනෝහර ගුප්ත පරිසරයක ප්‍රේමය යන වදනෙහි වපසරිය , මහපොළවට ඇති ආලයෙහි අසීමිත බවින් අර හුදෙක් සරාගී සමීකරණය පුළුල් කොට සිටියි. එබඳු ආනන්දයකට දිය හැකි නමක් වේද? එය ජීවිතාහ්ලාදය යැයි කියන්නෙමි.  

ටොරින්ටන් පදික වේදිකාවේ විකිණෙන කොන්ඩ ක‍ටුවම ඔඩෙල් රාක්කයකදී මහා මිලකට මහා ගම්භීර බවකින් විකිනෙයි. ඔඩෙල් ක‍ටුව පලඳින්නාට එහි ඇති ගම්භීර බවද ප්‍රේරණය වෙයි. සොබාදහමද එබඳුමැයි. අච්චර අසිරිමත් හරිත පියසකදී ප්‍රේරණය වන්නේ බාල හැඟුම්ම යැයි අනාවැකි දකින්නා කෙරෙහි අනුකම්පාව විනා අන්දෙයක් නොසිතෙයි. හිරු සීතලෙන් මිරිකී වෙහෙස පත් අයුරෙන් ලහිකොට අස්තංගත වීමට සැරසෙයි. පිණිබර වැව් තලයෙන් දැරිය නොහැකි සීතලක් ගොඩ ගසයි. පරිසරය මෙන්ම ඊට ආල කරන්නවුන්ද රිදවන කණ්ඨ කඨොර ඩොලැක්කි නාදයෙනුත් , බීමතින් පිස්සු වැ‍ටුනු බජව් කචබචයෙනුත් අහිංසක සොබාදහමට කිසිසේත් සුසර නොවෙයි. සීතල දිය ක‍ඳෙහි පහසින් මත් වන්නවුන්ගේ බෑගිරි හඬින් නිශ්ශබ්ද වාතලය දෙදරයි. 

රොලර් කෝස්ටරයක ලොමු දැහැගන්නා බව සොබා දහමට නැත. සුන්දරත්වයෙහි විභවයෙන් සිරුර සලිත වෙද්දී එය ආනන්දයක් සේ හදවතෙහි පිරෙයි. මහ පොලවට මහා ආදරයක් උපදියි. ඇතැම් විට මේ සොබා සුන්දරත්වය පිලිබඳ හිපි කල්පනාවන්ගේ සීමාව ඉක්මවා යාමක් ලෙස ඔබට පෙනෙනු ඇත. 





නිහඬ හොල්මන් අන්ධකාරය පයින් තුරු මුදුනෙන් වැව් බඳට ඇදී එද්දී කසුන් කල්හාරගේ හඬ පරදන සුගායනීය හඬක් 'රෑ අහසින් වැටෙන පිනි බිඳු' පිලිබඳ ආලයෙන් ගයයි. බජව් වේදනාවෙන් උමතුව ඒ මේ අත ඇඹරුනු තුරුපතර සන්සුන් වෙමින් , වැව් බ‍ඳෙහි කුඩා පියස්සෙන් මිදෙන ගී හඬට නතුව නතර වෙයි. සුසර වූ වැව් දිය ‍රැලි තාල අල්ලමින් ගිටාර තත් මතින් ඇවිද යන සුලඟ සමග රහස් කියයි. මහපොළවෙන් නැගී එක ගුප්ත හඬක් මෙන් ගී බිංදු එක දෙක සෙම්බුවත්ත වැවෙහි නිදන් වෙයි. ‍බජව් කාරයන් නික්මෙන තුරු එලියට නොබසින රැහැයියන් , ගෙම්බන් මෙන්ම  වන සතුන්ද ,  අන්ධකාර පයින් කඳන් පි‍ටුපස්සෙහි  සැඟවී මේ ආනන්දනීය සුයාමයට රහසේ කන් දෙමින්  සිටින්නාක් මෙන් හැ‍ඟෙයි. වසර සිය ගණනකට පෙරාතුව මේ වැව් පිටියෙහි කුර ගෙවෙන තුරු  දිව ගිය පෝලෝ අසුන් පයින් කඳක ගැට ගසා , ආදී සුදු මහත්වරුන්ගේ ආත්මයන්ද  'රෑ අහසින් වැටෙනා '  හිපි හඬට වශීකෘතව , පයිප්ප උරමින් සෙම්බුවත්ත උද්‍යාන පියැස්සෙහි වැටට බරවී හෝ පයින් ගසකට පිට දී හෝ අප දෙස බලා සිටින්නාක් මෙනැයි මොහොතකට මට හැඟී ගියේ මන්දැයි නොදන්නෙමි..

හෘද ව්‍යායාමය උදෙසා පෙම් බැඳිය යුත්තේ හිස් වූ හිස් දහයකට නොව , ගහකොළටත් , මහ පොළවටත් , මතුපිට පොළවෙන් වැසී මිහිදන්ව ගිය අතීත දහඩිය කඳුලු වලටත්ය. සෞම්‍ය හදවත් ඇති මිනිසුන් වාසයෙහි ගෙවූ හෝරා කිහිපයෙහි ලැබූ තෘප්තිය ප්‍රේමයම වෙයි. එයට මුඛ්‍යාර්ථ ප්‍රේමය යයි නම දෙන්නේත් අමනෝඥයෙකි.   . 


මහපොළව පෙම්වතෙකි. මහපොළවට පෙම් බඳින හිපියෙකු මනුෂ්‍යත්වයෙන් එහා ගිය බොහෝ නිදහස් ගමනක් සන්සුනේ උරුවම් බාමින් ඇවිද යන ආදරවන්ත මිනිසෙකි. 

එබඳු මිනිසුන් වෙත මහත් වූ සෙනෙහසින් ඇල්කඩුවේ සෙම්බුවත්තේ සිට  මේ සිතුවිල්ල පහළ කර ගතිමි. 



(ඊයේ ඡායාරූප තවමත් නොලැබුනු හෙයින් , ඉන්ද්‍රනාමගේ බ්ලොග් අඩවියෙහි පලව තිබූ සෙම්බුවත්ත ඡායාරූ උපුටා ගතිමි. )



මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->