Friday, April 26, 2013
[289] හෘද ව්‍යායාමක සටහන්...(Notes on a Heart Exercise)
නොසිතූ විරූ වේගයෙන් දැඩි උණුසුම් ගෙන්දගම් මිශ්‍රිත මද්දහන දැඩි ශීතයකට පරිවර්තනය වෙයි. එහෙත් ශීතලෙන් හදවත ගල් නොවෙයි. ඒ වෙනුවට රස්නයෙන් ප්‍රසාරණයව තිබූ හදවත යලිත් සංකෝචනය වී සිය පියවි නිරෝගී හැඩය ගනී. හාට් එක්සසයිස් කිරීමේ මේ එක්තරා ආකාරයකි. අමිහිරි නීරස ජීවිතයකට එතැනින් මිදී පැය කිහිපයකට ගෙවන සුන්දරතාවය සිතනවාටත් වඩා වේදනාවක් වනු ඇත. මන්ද සුන්දරත්වය විඳි හදවතට, එය මතක හදවතට, අමිහිරද දැඩි සේ වද දෙනු ඇති බැවිනි. වෙන්කරගත් නිවාඩුවක , වාහනයක් සොයාගෙන , කාලයද වෙන්කොට , හිත සැනසිල්ල සොයා යාම එක්තරා මනංකල්පිත ආශාවකි. මන්ද එය කිසිදාක උදා නොවෙයි. ජීවිතය එක මත එක වගකීම් යුතුකම් සහ බැඳීම් පවරා සිටියි.
හාට් එකට එක්සසයිස් දීමට අයාලේ යා යුතු නොවේ. ජීවිතයට නිදහසේ පියා සලන්නට ඉඩ හැරිය යුතු වෙයි. එක්තරා පොතක පොඩි කාලයේදීම ලියා ගත් කුහක සමීකරණයේ විචල්‍යයන්ගෙන් මිදී වසා ඇති හෘද දොරපියන් විවර කොට නිදහස් සුලඟ ආශ්වාස කිරීමට ඉඩ තැබිය යුතු වෙයි. අනෙකාගේ අහිංසක විඳීම තුල කොරහේ කිඹුලන් දැකීම උන්ට නොව තමාටම වේදනාවක් වෙයි. හදවතක් තුල ආදරයත් සෞම්‍ය බවත් ගහකොළ සහ මහ පොළව සමග සැබෑ බැඳියාවත් මුල් ඇද තිබේ නම් අමුතුවෙන් හාට් එක්සසයිස් අවැසි නොවෙයි.
මාර්ගය බොහෝ රුදුරු විය. ගමනාන්තය , දුර , යා හැකි නොහැකි බව ගැන හාංකවිසියක හැඟීමක් නොමැතිව රිය සක බැරි අමාරුවෙන් කැඩී බිඳී ගිය මග සමග ඔට්‍ටු වෙයි. කඳු මුදුනෙන් අහස් වලල්ලට පැටලෙන්නාක් මෙන් ද , නිහඬ ගුප්ත හොල්මන් හරිත සීතලක් වෙලා ගන්නාක් මෙන්ද සිතුවිලි පහළ වෙයි. මයිල ගණනාවක ගැස්සීම් , පෙරලීම් වේදනාවන් ඔබ්බෙහි ගමනාන්තය දිස් වෙයි.
ආශ්චර්යයකි. කඳු ගැට්ට මුදුනතෙන් එහා තැන්නෙක , මෙතෙක් වේලා සඟවා තබා ගත් චිත්තාකර්ශනීය සොබා ත්‍යාගය දිස් වෙයි. රූස්ස ප්‍රතාපවත් පයින් ගස් දහස් ගණනකින් වටවුනු සිඟිති නිශ්චල වැවත් , සීතල සුලඟට කෝල ගමනින් බැස යන දිය දහරෙන් පෝෂණය වන වනන්තරයත් තුල හදවත විස්මයෙන් ගල් ගැහෙයි.
හරිත කඳු ගැට්ටෙහි නිසංසලේ තැන්පත්ව හිඳින වැව් දියකඳ රකින වියපත් සදාහරිත මුර දේවතාවුන් වැනි පයින් තුරු, ගණ කොළ පැහැයෙන් පරිසයට ගුප්ත අඳුරක් මුසු කරයි. දහවලෙත් නොනැවතී ඇහෙන රැසි නාදය , ගෙම්බන්ගේ කුරුල්ලන්ගේ කචබචය , මේ සොඳුරු බිම්කඩෙහි උන්ගේ තනි අයිතිය පිලිබඳ අනතුරු ඇඟවීම් වැනිය. හෘදය ආනන්දයෙන් පිපිරී යන්නට ආසන්නය.
ආදරය විඳින්නට , පුදන්නට හෝ ලබන්නට අප පළමුවෙන්ම මේ මහපොළවට , එහි කඨෝර රළු බවට , එමෙන්ම භාවාතිශය සුකුමාර බවටද පෙම් බඳින්නට උගත යුතු වෙමු. අනෙකුත් කුණුගොඩවලින් හිස් පුම්බා ගත් පුස් හදවත් හා කුහක බවින් පිරීගත් ලෝකයක්ද මේ පොළව උඩම පවතියි. එක්තරා දුකකුත් පහළ වෙයි. මේ සුකොමළ වැව් බඳ ලාලනියකට වඩා ලාලිත පිරී තිබෙයි. ඊට ඇසදී දෑසින් මත් වීමම හාට් එක්සසයිස් වෙයි.. එදෙස බලා සිටින අප නිසා විලියෙන් මෙන් , සීත ශ්වේත සළු පොරවා තුහින වැස්සක් අහසින් බිමට පහත් වෙයි. වැව් තලයෙහි ඇතිල්ලෙමින් පෙම් කෙලින මහ පොළවට සෙනෙහසින් උස් තුරු මුදුන්ද හිස් බිමට හරවා ගනිති. වැහි සැණකෙලියෙහි කොටස්කරුවන් වී මහ පොළොවෙහි තෙත්බර චිරි චිරිය මත්තෙහි අපි ඇවිද යන්නෙමු.
මේ ඇගේ හැටිය. සොබා දහමට වෙලාවක් කලාවක් නැත. ඊට ප්‍රේක්ෂකයන්ද නැත. ඊට ඇත්තේ නිදහසේ ආදරය කරන්නට අවකාශය පමණකි. උණුසුම් දැතකින් වටව සීතල පියැස්සක විඳිය හැක්කේ ප්‍රේමය පමණකැයි බාල සිතකට සිතිය හැකිය. එහෙත් එවන් මනෝහර ගුප්ත පරිසරයක ප්‍රේමය යන වදනෙහි වපසරිය , මහපොළවට ඇති ආලයෙහි අසීමිත බවින් අර හුදෙක් සරාගී සමීකරණය පුළුල් කොට සිටියි. එබඳු ආනන්දයකට දිය හැකි නමක් වේද? එය ජීවිතාහ්ලාදය යැයි කියන්නෙමි.
ටොරින්ටන් පදික වේදිකාවේ විකිණෙන කොන්ඩ කටුවම ඔඩෙල් රාක්කයකදී මහා මිලකට මහා ගම්භීර බවකින් විකිනෙයි. ඔඩෙල් කටුව පලඳින්නාට එහි ඇති ගම්භීර බවද ප්‍රේරණය වෙයි. සොබාදහමද එබඳුමැයි. අච්චර අසිරිමත් හරිත පියසකදී ප්‍රේරණය වන්නේ බාල හැඟුම්ම යැයි අනාවැකි දකින්නා කෙරෙහි අනුකම්පාව විනා අන්දෙයක් නොසිතෙයි. හිරු සීතලෙන් මිරිකී වෙහෙස පත් අයුරෙන් ලහිකොට අස්තංගත වීමට සැරසෙයි. පිණිබර වැව් තලයෙන් දැරිය නොහැකි සීතලක් ගොඩ ගසයි. පරිසරය මෙන්ම ඊට ආල කරන්නවුන්ද රිදවන කණ්ඨ කඨොර ඩොලැක්කි නාදයෙනුත් , බීමතින් පිස්සු වැටුනු බජව් කචබචයෙනුත් අහිංසක සොබාදහමට කිසිසේත් සුසර නොවෙයි. සීතල දිය කඳෙහි පහසින් මත් වන්නවුන්ගේ බෑගිරි හඬින් නිශ්ශබ්ද වාතලය දෙදරයි.
රොලර් කෝස්ටරයක ලොමු දැහැගන්නා බව සොබා දහමට නැත. සුන්දරත්වයෙහි විභවයෙන් සිරුර සලිත වෙද්දී එය ආනන්දයක් සේ හදවතෙහි පිරෙයි. මහ පොලවට මහා ආදරයක් උපදියි. ඇතැම් විට මේ සොබා සුන්දරත්වය පිලිබඳ හිපි කල්පනාවන්ගේ සීමාව ඉක්මවා යාමක් ලෙස ඔබට පෙනෙනු ඇත.
නිහඬ හොල්මන් අන්ධකාරය පයින් තුරු මුදුනෙන් වැව් බඳට ඇදී එද්දී කසුන් කල්හාරගේ හඬ පරදන සුගායනීය හඬක් 'රෑ අහසින් වැටෙන පිනි බිඳු' පිලිබඳ ආලයෙන් ගයයි. බජව් වේදනාවෙන් උමතුව ඒ මේ අත ඇඹරුනු තුරුපතර සන්සුන් වෙමින් , වැව් බඳෙහි කුඩා පියස්සෙන් මිදෙන ගී හඬට නතුව නතර වෙයි. සුසර වූ වැව් දිය රැලි තාල අල්ලමින් ගිටාර තත් මතින් ඇවිද යන සුලඟ සමග රහස් කියයි. මහපොළවෙන් නැගී එක ගුප්ත හඬක් මෙන් ගී බිංදු එක දෙක සෙම්බුවත්ත වැවෙහි නිදන් වෙයි. බජව් කාරයන් නික්මෙන තුරු එලියට නොබසින රැහැයියන් , ගෙම්බන් මෙන්ම වන සතුන්ද , අන්ධකාර පයින් කඳන් පිටුපස්සෙහි සැඟවී මේ ආනන්දනීය සුයාමයට රහසේ කන් දෙමින් සිටින්නාක් මෙන් හැඟෙයි. වසර සිය ගණනකට පෙරාතුව මේ වැව් පිටියෙහි කුර ගෙවෙන තුරු දිව ගිය පෝලෝ අසුන් පයින් කඳක ගැට ගසා , ආදී සුදු මහත්වරුන්ගේ ආත්මයන්ද 'රෑ අහසින් වැටෙනා ' හිපි හඬට වශීකෘතව , පයිප්ප උරමින් සෙම්බුවත්ත උද්‍යාන පියැස්සෙහි වැටට බරවී හෝ පයින් ගසකට පිට දී හෝ අප දෙස බලා සිටින්නාක් මෙනැයි මොහොතකට මට හැඟී ගියේ මන්දැයි නොදන්නෙමි..
හෘද ව්‍යායාමය උදෙසා පෙම් බැඳිය යුත්තේ හිස් වූ හිස් දහයකට නොව , ගහකොළටත් , මහ පොළවටත් , මතුපිට පොළවෙන් වැසී මිහිදන්ව ගිය අතීත දහඩිය කඳුලු වලටත්ය. සෞම්‍ය හදවත් ඇති මිනිසුන් වාසයෙහි ගෙවූ හෝරා කිහිපයෙහි ලැබූ තෘප්තිය ප්‍රේමයම වෙයි. එයට මුඛ්‍යාර්ථ ප්‍රේමය යයි නම දෙන්නේත් අමනෝඥයෙකි. .
මහපොළව පෙම්වතෙකි. මහපොළවට පෙම් බඳින හිපියෙකු මනුෂ්‍යත්වයෙන් එහා ගිය බොහෝ නිදහස් ගමනක් සන්සුනේ උරුවම් බාමින් ඇවිද යන ආදරවන්ත මිනිසෙකි.
එබඳු මිනිසුන් වෙත මහත් වූ සෙනෙහසින් ඇල්කඩුවේ සෙම්බුවත්තේ සිට මේ සිතුවිල්ල පහළ කර ගතිමි.
(ඊයේ ඡායාරූප තවමත් නොලැබුනු හෙයින් , ඉන්ද්‍රනාමගේ බ්ලොග් අඩවියෙහි පලව තිබූ සෙම්බුවත්ත ඡායාරූ උපුටා ගතිමි. )
Subscribe to:
Post Comments (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->
ඉතා අලංකාරි ලෙස ලියා ඇත. බොහොම අගෙඉ.
ReplyDeleteමාත් හරිම ආස දෙයක් තමයි පරිසරය විඳින එක. නමුත් හුඟ දෙනෙකුට පරිසරය කියන්නේ බොන්ඩ හොඳ පොට් එකක්. :D
ReplyDeleteඅගෙයි. හැඩයි.
ReplyDeletesitha niva sanaha gannata sobadahama tharam thenak vena netha....
ReplyDeleteඅම්මප උඹව තියන්ට වටිනවද?...මම මේ තකහනියක් ඔක්කොම වැඩ අතෑරල මේක කියෙව්වෙ, මගෙත් හාට් ප්‍රොබ්ලම් එකක් තියන නිසාවෙන්, හාට් පේෂන්ට්ස්ලට මොනව හරි අළුත් එක්සසයිසස් වගයක් ගැන ලිපියක්වත්දෝහෝයි කියල....මඟුල..මේ වෙන කෙහෙල්මලක්නෙ...
ReplyDeleteඅඩෝ..මීට පස් සෙ මෙව්වගෙ එව්ව ලියනකොට මාත්තුරුකාව මෙහෙම දාහං..කොහොමද?...
හෘද ව්‍යායාමක සටහන්...(Notes on a Heart Exercise) -( warning - Not for heart patients )
ප.ලි. - මේ බී.ටී. ඩබ්ලිව්......මම එන්නං හෙට අනිද්ද උඹව හම්බ වෙන්ට හොඳේ....අනේ බොලේ බෑ නොකිය මට පෙන්නපංකො උඹ ලියාපු සෙනෙහෙ කොළයක් දෙකක් තරහ නැතුව.....හෙහ්, හෙහ්,
ඇස් ඉස්සරහා මැවිලා පෙනෙන අකුරු... අපූරුයි!!
ReplyDeleteලස්සන ලිවීමක්. මෙය කියවීමත් හර්ද ව්‍යායාමයක්ම වුණා, ස්තුතියි.
ReplyDeleteඅඩේ උඹ කොහෙන්ද බන් සිරාවට මේ වචන හොයාගන්නෙ.
ReplyDeleteසිංහල විශ්වකේෂයක් හොයාගන්න ඕන මේ වචන තේරුං ගන්න.. :D
ReplyDeleteසෙම්බුවත්ත වැව බලන්න යන්න ඕන ළඟදිම දවසක...
@dushan888
ReplyDeleteඉස්තූතියි :)
@Henry Blogwalker
ReplyDeleteකියල වැඩක් නෑ... පරිසරයටත් එක්තරා විදියකට අපි ඇබ්බැහි වෙනවා වෙන්න ඇති නේහ් ?
@Anonymous
ReplyDeletetankooooo
@Anonymous
ReplyDeletetankooooo
@දිලිනි
ReplyDeleteඒක නම් ඇත්ත. සිත නිවන්නට රිලැක්සේශන් අහනවට වඩා සොබාදහමේ ගීතය අහන එකෙන් ඇත්තටම නිවෙනවා )
@Ravi
ReplyDeleteඅෆෝ.... උයාල සෙනෙහෙ කොල ලියන කාලෙ පැන්නා... හූ හූ.... එනව මෙතන අක්කට හොරෙන් නරක වැඩ කොරන්ඩ... හූ හූ.. මේ එක නෙවි.. ලොක්කො ලන්කාවට් එන්නෙ කවද්ද>?
@වර්ෂා ( Rain_Girl )
ReplyDeleteස්තූතියි වර්ෂා... :)
@හිරණ්‍ය
ReplyDeleteස්තූතියි යාලු :)
@අනුරාධ
ReplyDeleteකොහෙදෝ තිබ්බා බොලන්.. මටත් මතක නැහැ... ලොල්
@සෝරෝ
ReplyDeleteයං යං... ඔන්න මම ලැහැස්ති කරනවා හොඳේ....
:) Very well done maaam... maxa... hehe athtama niyamai..
ReplyDeleteපරිසරයට අනුගත නොවී ජීවත්වෙන්න ගියදා ඉඳන් තමයි මිනිසා ලෙඩෙක් වීම ඇරඹුනේ.. වනපෙතක කඳු මුදුනක හිතට දැනෙන සුවය මටත් කිසිදවසක වෙනත් කිසිම තැනක දැනෙන්නෙ නෑ.. භාවනාවක නියැලිලා ලියපු ලිපියක් වගේ..
ReplyDeleteකාලෙකින් මේ පැත්තෙ ආවෙ.. ලස්සනයි. යන්න හිතුන.
ReplyDeleteහොඳ සීතල හුස්මක් ගත්තා වගේ දැණුනා...!
ReplyDeleteපරිසරය විස්තර කරන එක හරි අපූරු ව්‍යායාමයක් සහෝදරී. ගැටලුව තියෙන්නේ ඒ අපූරු පරිසරයේ සුව වචනයකින් වත් විඳින්න මිනිස්සු ඔලු ඇතුලේ නිස්කලංක බව භින්නවෙලා ඒවා යාන්ත්‍රිකවෙලා තියෙන එක..!
සටහන හරි අපූරුයි..!
සෙම්බුවත්ත විඳින්න ආසාවක් ආවා..!!
බලමු, මගෙ වාසනාව ඇත්තේ තව ටිකක් එහායින්..!
@Trooper
ReplyDeletethank you harsha... i should thank you for telling our group about the place....
@සරත් ලංකාප්‍රිය
ReplyDeleteස්තූතියි යාලුවේ....
ගිහින් එතන දවසක් ඉඳලා බලන්නැයි ආරාධනා කරනවා...
අරණකට පෙම් බැඳ මතක් වෙනවා...
@හූනා
ReplyDeleteස්තූතියි යාලු.
ඒක තමා. ගොඩ කාලෙකින් නෙව දැන් මම ලියන්නෙත්... ඒකනේ වැඩේ...
@Lishan kasun sri
ReplyDeleteලිශ්
වාසනාව ඉක්මනට උදා වෙන්නැයි පතනවා ...
ඇත්ත ... ගහකොලට ලංවෙනකොට මිනිස්සුන්ගෙ හුස්ම ආපහු පොලවේ හැඩයටම වැටෙන්න ගන්නවා...
ආයෙත් එතැන දාලා එද්දි රාජකාරි මේසෙ, කොම්පියුටරේ,,,, බ්ලා බ්ලා.. වැඩ වැඩ.. ආයෙමත් හාට් එක ටොක් ටොක් ගාලා බීට් වෙන්න ගන්නවා දැනුනා...
ඉක්මනට යන්න ලැබේවා :)
Nice ♥ ♥ ♥
ReplyDelete