Sunday, January 01, 2012
[227] උපැස් මතක ඇස් !
ඈ මොහොතක් අවසර ගෙන දිගු හුස්මක් හෙලුවාය. හාත්පස ඇති මල් සුවඳ , කලබලය , කතා බහ , සිනා හඬ ඈට නිනව් නැති සේය. කන්නාඩියෙන් පෙනෙන රුවෙහි ඈට පෙනෙන වරදක් නැත. ඇත්තෙන්ම තමා වෙනදාට වඩා දහස් වාරයක් රුව වැඩිවී ඇතැයි පෙනුනි. එහෙත්... කන්නාඩියෙන් පිටුපස තිබෙන මේ සිත ,කොතෙක් අමතක කළත් මතකයෙන් අමතක නොවන , ඒ උපැස් යුවල පැලඳි රුව පෙරදා මෙන්ම කඳුලු පිරි ඇස් වලින් තමා දෙස බලා හිඳිනු ඈ ස්පර්ශ කලාය.
ඒ රුව දුටු දින ඈ අත් විඳි තිගැස්ම , ඒ රුව සිතට ඈතුලු වූ දා සිට , හිටි හැටියේ ඇසිල්ලේ මැකී යන තුරුමත් ඇගේ ලෝකය තුල කිසිදා ඉටු නොවන පැතුම් ගොන්නක් ගෙනාවේය. හීනෙනුදු ඔහු ඈ වැන්නියක් සිටින බවක් හඳුනා හෝ ගනිතැයි ඈ නොසිතූ මොහොතක ඔහු ඈ කරා මිත්‍රත්වයේ දෑත දිගු කලේය. එහි තැවරී ඇත්තේ මිත්‍රත්වය පමණක් නොවන බවත් ඉන් එහා ගිය බැඳුමක් බවත් ඈ වටහා ගත්තේ සතුට මුසු තිගැස්මෙනි. එහෙත් එයම ඈ සිත පෙලන්නට වූයේ වරක් දෙවරක් නොවේ... එහෙත් එයම ඈ සිත සතුටෙන් පුරවන්නට වූයේත් වරක් දෙවරක් නොවේ.
සුනේත්‍රා කියන පූර්ව ජන්ම අපූර්වයේ අයුරෙන් , 'ඇතැමුන් දුටු මනතින් මහා ඇඳුනුම් කමක් , දැක පුරුදු බවක් දැනේ. ඇතැමුන් දුටු මනතින් අත්හළ නොහෙන ආකර්ෂණයක් දැනේ. එහෙත් ඒ ඔබේ සාංසාරික හවුල්කරුවා නොවිය හැකිය. පූර්ව ජන්මයක තිබූ කුමක් හෝ ආකර්ෂණයක් ඉස්මතු වූවාත් විය හැකිය. එහෙත් කාලයත් සමග ඔවුන් යලිත් නාඳුනන්නන් බවටම පත්වේ'
ඈ මේ වැකි කිහිපය යලිත් සිහිපත් කළාය. බැල්මෙන් හඬින් පමණක් හැඳිනූ , කිසි දිනෙක පියෙවි ඇසින් නොදුටු , කිසි කලෙක පියෙවි ස්පර්ෂයක් නොලද , මේ මොහොත වන විට සම්පූර්ණයෙන්ම සිය ජීවිතයෙන් බැහැරව සිටින මේ රුව දකිද්දී, සිහිපත් වෙද්දී, තවමත් සිය සිත වෙව්ලීමකින් සලිත වන්නේ කිමදැයි ඇයට නොතේරේ.
ඊටත් මේ මොහොතේත්... කුලගෙයක පතිනිය වන්නට හෝරාවකට නො අඩු කාලයක් ඉතිරිව ඇති, ජීවිතයේ වෙනස්ම පියවරක් ගන්නට සැරසෙන මේ මොහොතේත්???? ඔහුගේ රුව ඈ මනසේ හොල්මන් කරයි. ඒ සිනහව , ඒ කඩවසම් රුව, විටෙක පෙම් බෑඳි, විටෙක ලොබ බැඳි, විටෙක ආඩම්බර වූ, විටෙක කෝප ගත් .... ඒ රුව තුල දුටු පුරුදු බව , පූර්ව ජන්ම අපූර්වය ඈ තවමත් පසක් කරමින් සිටින්නීය.... එහෙත් ඒ අතීතයයි....
ඈ ඔහුට බැඳුනාය. කිසිදු ගිවිසුමකින් තොරවම. දිගුවූ සොඳුරු හස්තය ඈ අවිහින්සකව පිලිගත්තාය... කිසිදු වදනකින් තොරවම.. ඈ ඔහු වෙනුවෙන් ජීවිතය ඔහු මත්තේ බැඳ තැබුවාය. ඔහු අඩියෙන් අඩිය නිහඬව ඔහුගේ සිතුවිලි තුල ඈ වෙත තැන් පිරිනමද්දී ඈ නිහඬව එය විඳගනිමින් හුන්නාය. 'ආදරෙයි' කියා වදනකින් ශපථ නොකළ , ඒ ආලය පිලිබඳ ඈ විසඥ වනතුරුම කල්පනා කලාය.ආදරය බෙදාහදාගත්තත් ඈ ඔහුගේ ආදරවන්තිය නොවූවාය. නොහොත් , ඔහු එසේ නාමිකව පිලිගැනීමක් හෝ ප්‍රතික්ෂේපයක් නොකොට නිහඬව ආදරය කලේය.. නිර්නාමික බන්ධනයේ හවුල් කරු මිස ඈට හිමි තැන ඈ කිසි දිනෙක පසක් කරනු අසමත් වූවාය.
ඈ තර්ක කළාය. ඈ සමගම ඈ උරණ වූවාය.. ඈ නොසන්සුන් වූවාය... ඔහුට අවැසි කුමක්ද? ඇරත් මා වන් සාමාන්‍ය පෙනුමැති කෙල්ලකගෙන් ඔහු සොයන්නේ මොනවාද? ඈ හීනමානයේන් අතරමං වූවාය...
ඔහු නිර්නාමික බන්ධනයට හවුල් වූවත් ඈ ඔහු වෙනුවෙන්ම ජීවිතය වෙනස් කළාය... ඈ උපන්දා සිට පෙම් බැඳි ගිටාරය ඈ අත් හැරියාය. ඒ ඔහු සිහින මැවු හා ඔහු පෙම් බැඳි ඇගේ දිගු ඇඟිලි වෙනුවෙනි. නිදහස් පත්‍රකලාවේදිනිය යන විරුදාවලියෙන් උදම් වෙමින්, ජීවිතයේ නොදුටු පැත්ත ලියූ ඇගේ ආත්මය ඇය පෙට්ටගමක ලා අගුලු ලෑවාය. ඔහු පැතූ ගැහැණිය යනු, සමාජය සමග එතරම්ම මුසු නොවන , චාම්, සාම්ප්‍රදායික එකියකැයි ඔහු කාරුණිකව පහදා දෙද්දී , රැකවරණයේ නාමයෙන් ඈ සිය ආත්මය නින්දට පත් කළාය. ඔහුගේ කරුණාව, දයාව ඈට මහමෙරක් විය.
සිදු වන්නකැයි, බැඳුමකැයි කිසිදු ගිවිසුමක් නැති ඒ නිර්නාමික බැඳීම වෙනුවෙන් ඈ ජීවත් වූවාය... ඔහුගේ සිහින සැබෑ වන සිහින වේ යයි ඈ පැතුවාය. ඒ වෙනුවෙන්ම ඇප කැප වූවාය.
එහෙත් , කිසිදා මේ බැඳුම කිසි දෙසකට ගමන් නොකළේය. එහෙත් ඈ සිත සොරාගෙන ගිය ඒ කඩවසම් රුව මත්තෙහි ඈ කොතෙක් වැලපිනිදැයි ඔහු නොදන්නා බව ඈ පසක් කළේ බොහෝ කලකට පසුය. අගැන වගක් ඔහුට තිබුනාදැයි නොදන්නා ඈ , ජීවිතය ඒ මත්තේ පරදුවට තැබීමට තිත තැබුවාය.
එහෙත් ඈ සිත කොනෙක නොව, ඈ සිත වසා පැතිරගත් මිහිදුමක් මෙන් ඔහුගේ රුව දිනෙකට ඈ සිහිකළේ වරක් දෙවරක් නොවේ.
එහෙත් දෛවය කිසිදා ඔවුන් ආදරවන්තයින් කළේ නැත. සතුරන් කළේද නැත. මිතුරන් කළේද නැත. ආදරයක් , නිදහස් සෙනෙහසක් නිදැල්ලේ අවිහිංසක ලෙස බෙදාගත් ඔහු නිහඬවම ඈතට ගියේද නැත. ඈතට ගියේ ඇයයි. අතොරක් නැතිව එහෙ මෙහෙ හැපෙමින් පියා සලමින් සිවිලිමෙහි හිස හප්පා ගන්නා සමනලයකු මෙන් , එහි අරුත් සොයන්නට ගොස් නීරස සත්‍යය රස බැලුයේ ඇයයි.
ඔහු සෙල්ලක්කාරයෙක්ද? නැත. සල්ලාලයෙක්ද? නැත... අහිංසක කෙල්ලන්ගෙන් තනිය පමණක් මකාගන්නා බරක් පතලක් නැතියෙක්ද? මේ කිසිදු නිර්වචනයකට ඔහු ඔබා ලන්නට ඇගේ සිත ඉඩ නොදෙයි.. නිමක් නොමැති සිතුවිලි මිස , පිලිතුරු නැති ප්‍රශ්න වැලක ඈ පැටලුනාය. සමනලයා මකුලු හුයෙක පැටලී ඇති සැටි.
අවිහිංසක දෑස් ඉදිරිපිට සිය ජීවිතය විවර කළ අයුරු, සිය හඬන සිත සමග දුක බෙදාගත් අයුරු, ඈ ඉවත යද්දී , යන්නෙපා යයි නොකී ඒ උපශාන්ත දෑස් , ගියත් අමතක කරන්නෙපා යයි හඬා වැටෙමින් උපැස් අතරින් කඳුලු සැලූ අයුරු! යන්නෙපා නොකී ඉච්චාකාර වදන් වලට කෝපයත් , කොල්ලෙකුගේ හැඬුමෙන් වෙඬරු වන හද තුලින් අනුකම්පාවත් එකවර නැගෙන සැටි ඈ ජීවිතයටම අත් වින්දේඅ එදා පමණි. ඒ කිඹුල් කඳුලු දැයි ඈ දන්නේ නැත. ඒ කඳුලු හෙලු නෙත් අද වනතුරු ඈ සිටින්නේදැයි දන්නේදැයි කියාත් ඈ දන්නේ නැත.
"පැටියෝ" , "බබා" , "රත්තරන්" යයි අමතන අවශේශ කොලු රැල මෙන් නොව , තමාට "අම්මේ" යයි අමතන ඒ හඬට ඈ කොතෙක් පෙම් බැන්දාදැයි ඔහු කිසිදා දැන ගත්තේද නැත.... ඒ අතීතය මෙතරම්ම දැඩි සහ නොමියෙන මුද්‍රාවක් ඈ සිතෙහි තැන්පත් කළ බවක් ඈවත් දැන හුන්නේ නැත.. සාංසාරික හමුවීම් සහ වෙන්වීම් කිමදැයි පසක් වෙනතුරුම ඈ ඒ ගැඹුර 'ආකර්ශනයකැයි' බැහැර කළාය.
කුලගෙයට පිවිසෙන දොරටුව අභියස පෝරු මස්තකාරූඪව ඈ හිස් බැල්මෙන් හිඳින්නීය... බලා හිඳින්නවුන් ඇගේ සොඳුරු වත නරඹන්නෝය. ලැජ්ජාශීලි ඈ මුවෙහි කෝල බැල්මක් රැඳී ඇති අයුරු , අනාගත වල්ලභ ඔහු සතුටින් හොරැහින් නරඹන්නේය.
ජීවිතේ මහ ප්‍රහේලිකාවක්. මුද්‍රා තැබූ ඒ උපැස් රැඳි කඩවසම් මුහුණ , සංසාර තොටුපළෙක හමුවූ සොඳුරු සමනලයකු මෙන් ඇගෙන් ඉවත ඇදී, වරින් වර දෑස් අභියස තවමත් පියා සලමින් ඇඳී මැකී යන්නේය.. කුලගෙහි සොඳුරු පතිනියකව , නැවුම් ජීවිතයක් අභියස , සිය හදවත මෙන්ම සිය හුස්මද හඳුනාගත් , මේ පෝරු මස්තකාරූඪ වල්ලභයා සිය ආත්මීය සහකරුවා යන්න ඈට සක් සුදක් සේ පැහැදිලිව තිබියදීත් , උපැස් පැලැඳි ඒ සොඳුරු මුහුණ නිර්ලජ්ජී ලෙස ඈ හදෙහි හොල්මන් කරන්නේය...
ඈ පව්කාරියක්ද? ඈ වංචාකාරියක්ද?
මේ ගැනයි මේ ලිපිය..
අපූරු මිනිසුන් ගැන,
ආදරය හෙවත් මගේ හුස්ම,
විරහව ද? විරවීම ද?
Subscribe to:
Post Comments (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->
ඈ සිත වසා පැතිරගත් මිහිදුමක් මෙන් ඔහුගේ රුව දිනෙකට ඈ සිහිකළේ වරක් දෙවරක් නොවේ.
ReplyDeleteමේක ජීවිත කාලේ පුරාවටම වෙයි නේද.... ඒත් කොහොමද කියන්නේ පව්කාරියක් හරි වංචාකාරියක් හරි කියලා..
සමහර වෙලාවට ජීවිතේ කැමති දේ නොලැ බී අතමැති දේවල් අපිට දෙනවා නේ...
අහම්බෙන් දැකලා කියෙව්වා.මේ කෙටිකතාවත් වගේ කියල තමයි මට හිතුනේ (227) කිය තියන නිසා ආය නැවත් ඇවිත් ඉතුරු ටිකත් හොයනවා.
ReplyDeleteදිය පිට ඇන්දා ආදර සිතුවම්..
ReplyDeleteකල්ප විනාසය තෙක් පවතින්නට..
වෙරළේ ලියුවා දහසක් පෙම් කවි..
ඉර හඳ පායන තෙක් නොමැකෙන්නට..
වතුරෙ සිතුවම් අඳින්න කවුද අකැමති? නොරැඳෙන රේඛාවක් වුව , ඇඳ බලන්නට පුහුදුන් මිනිස් සිත පොලඹවයි.. මුහුදු රැල්ලෙන් සැනෙකින් මැකී යන බව දැන දැන වුව මිනිසුන් වෙරළෙහි මාලිග සදති....
ReplyDeleteකාලයක්, වකවානුවක්, අර්ධ නිත්‍යතාවක් හෝ ශපථ නොවූවත් මිනිස් සිත ආකර්ශනයෙහි නැමේ.... බන්ධනයෙහි පැටලේ.... එහෙත් ඒ ආත්මීය වල්ලභයින් නොවේ... සාංසාරික හමුවක් වුවද එහි සැනසීමක් , හෝ තැන්පත් බවක් ඇති නොවේ.... ලාටුවක ඇලුනු සමනලයින් මෙන් ආදර ලාටුවට ඇලීගෙන මිනිසුන් කාල රේඛාවෙහි ඉදිරියට යති...
අවබෝධය අවැසි මෙතැනදීය.... මතකයෙන් නොගිලිහුනත්, ජීවිතයෙන් බැහැර නොවූවත්, එබඳු බැඳුමකට පැවැත්මක් නැත..නැවැත්මකුදු නැත.. ඒකපාර්ශ්වික ප්‍රේමයක්ද නොවේ.. ද්වි පාර්ශ්වික බන්ධනයක්ද නොවේ... මතකයෙන්ද නොයයි... එය විඳවීමක්ද නොවේ.. එක් අතකින් බැලූ විට , එය උරහිසෙහි රැඳි පිහාටුවක් වැනිය.... ඇත්තා හෝ නැත්තා නිනව් නැති වුවද, කැඩපතකින් 'තමා' නරඹන නිසල මොහොතක , ඒ පිහාටුව සුලඟෙහි නටමින් උරහිසෙහි ඇමිණී ඇති අයුරු පෙනෙයි....
Thanks for the 3 comments written so far :)
"සාංසාරික හමුවීම් සහ වෙන්වීම් කිමදැයි පසක් වෙනතුරුම ඈ ඒ ගැඹුර 'ආකර්ශනයකැයි' බැහැර කළාය."
ReplyDeleteකෙනෙක්ගෙ හිත තුල නිධන් ගත වෙන්නට.. ඒ තුල වටිනකමක් දෙන්නට මේ සංසාරෙ තුල හමුවන හැමදෙනාටම නොහැකියි..
"ඈ පව්කාරියක්ද? ඈ වංචාකාරියක්ද?"
නමක් නොදන්නා ළබැඳියාවක අනෙක් කෙනාවෙනුවෙන් කල කැපකිරීම් හමුවේ.. ඇයට ඇය සොයන බලාපොරොත්තු වූ ආදරය රැකවරණය ඔහුගෙන් නොලැබෙන්නට ඇති.. තම නිදහස සීමා කරගෙන , ආදරය කල ගිටාරය, තවත් ජීවිතයන්ට ජීවිත මඟ පෙන්වන්නට පෑන මෙහෙයවූ ඇය ඒ සියල්ල පසෙකෙ ලා කල කැපකිරීම් දකින විට ඔහු පමා වැඩිවන්නට ඇත.. තම වගකීම් ඉටුකිරීමට.. , ජීවිතයේ තමාට කැපවූ මාර්ගය හරි දැනීමෙන් ඇය ගමන් කරන්නට ඇත.. වෛරයක්වත්, ආදරයක්වත් පමණක් නොව අද ඇය ජීවත්වනීදැයි සොයා බලන්නට ඒ දෑස් නූවමනානම්.. ආත්ම ගණනකට ලැබෙන වටින මිනිස් ජීවිතයට අරුතක් හෙව්ව ඇය.. ඒ ජීවිතයට සාධාරණයක් සෙව්වා විය හැකිය.. තම ජීවිතයේ වැදගත් තීරණයක් ගන්නා අවස්ථාවේ ඒ දෑස් බලෙන් මතක් කිරීමට අවැසි නොවේ.. කලක් ලංව සිටි.. කලකදී මිතුරු වූ.. තවත් කලකදී හද බැඳීමෙන් එතෙරට ගිය මතකයන් මනුෂ්‍ය හදෙහි මැරෙන තුරාවටම පවතී.. එය මරණෙන් පසු සංසාරයෙන් සංසාරයට එන බැඳීමක් බවට පත්වේ.. ඇයට ඔහුට පමණක් නොව.. මේ මහත් මනුෂ්‍යය වර්ගයාටම එසේය..
ඉතින්.. ඈ..
"පව්කාරියක්ද? ඈ වංචාකාරියක්ද?"
නැතිනම්.. තම ජීවිතයට අරුතක් හොයා යන ගමනේදී.. පැටලුන මකුළු දැලෙන් ඈතට පියාඹන්නට සැරසෙන.. මේ ලොව තුල තවත් එක් සමනළියක් නොවෙද.. :)
කියෙව්වෙමි, වින්දෙමි, හැඟීම් වචනවලට ගලපාගත නොහැකි බැවින් කිසිත් නොකියමි.
ReplyDeleteඈ පව්කාරියක්වත් ඈ වංචාකාරියක්වත් වෙන්නේ නැහැ තමන් එම රාමුවෙන් පිටට ඇවිත් තමන් දිහාම බැලුවොතින්.
ReplyDeleteසුනේත්‍රාගේ පූර්ව ජන්ම අපූර්වය කියෙව්වාම හිතේ තිබුණු අපැහැදිලි තැන් හුඟක් පැහැදිලි උනා.
ReplyDeleteකමෙන්ට් එකක් දාගත නොහැකිව අතරමන්ව......
ReplyDeleteජීවිතේ ඔහොම දේවල් වෙනව....බහුතරයක් අපිට කිසිම විදිහකින් කාටවත්ම වටහල දෙන්න බැරි සිදුවීම්....අනුන්ට තේරුම් කරන්න තියා අපිටවත් වටහා ගන්න බෑ සමහර එව්ව...හෙහ්, හෙහ්,
ReplyDeleteකිසිම විදිහකින් තර්කයට විචාර බුද්ධියට ගෝචර නොවන සිතුවිලි හැඟීම් තමයි මම හිතන විදිහට ඉතාම සුන්දර......
There is no definition for that kind of relationship,
Its a little bit of every thing,
Love, understanding, friendship, sharing, every thing and finally in retrospect nothing,
It may sound like a paradox but its the absolute truth Dil, absolute truth......heh, heh,
/ එය උරහිසෙහි රැඳි පිහාටුවක් වැනිය.... ඇත්තා හෝ නැත්තා නිනව් නැති වුවද, කැඩපතකින් 'තමා' නරඹන නිසල මොහොතක , ඒ පිහාටුව සුලඟෙහි නටමින් උරහිසෙහි ඇමිණී ඇති අයුරු පෙනෙයි..../
නියම උදාහරණෙ දිල්.....කියල වැඩක් නෑ...හෙහ්, හෙහ්
ඒක තියනව තේරෙන්නෙ නෑ.....ජීවිතේට කිසිම බරක් නෑ.....හිටපු ගමන් ඔන්න නොසිතූ විදිහට අහම්බෙන් මතක් වෙනව මෙහෙම දේකුත් තියනව නේද කියල
//අවබෝධය අවැසි මෙතැනදීය.... මතකයෙන් නොගිලිහුනත්, ජීවිතයෙන් බැහැර නොවූවත්, එබඳු බැඳුමකට පැවැත්මක් නැත..නැවැත්මකුදු නැත.. ඒකපාර්ශ්වික ප්‍රේමයක්ද නොවේ.. ද්වි පාර්ශ්වික බන්ධනයක්ද නොවේ... මතකයෙන්ද නොයයි... එය විඳවීමක්ද නොවේ.. එක් අතකින් බැලූ විට , එය උරහිසෙහි රැඳි පිහාටුවක් වැනිය.... ඇත්තා හෝ නැත්තා නිනව් නැති වුවද, කැඩපතකින් 'තමා' නරඹන නිසල මොහොතක , ඒ පිහාටුව සුලඟෙහි නටමින් උරහිසෙහි ඇමිණී ඇති අයුරු පෙනෙයි....//
ReplyDeleteමට හිතාගන්න බෑ...කොහොම මොනා කියන්නද කියලා...
නෞකාවකි ඔබ ඈත සමුදුරේ.........
ReplyDeleteමා පහන් ටැඹයි මෑත ගොඩබිමේ..........
ම්ම්ම්ම්ම්ම්ම්ම්.......................
sithin pathu boho de apita nolabey.. namuth sithuvillata bahe pathum gana nosithanna..esenam aya vanchakariyek nam novey. (ඈ තර්ක කළාය. ඈ සමගම ඈ උරණ වූවාය.. ඈ නොසන්සුන් වූවාය... ) wonderful lines..!!
ReplyDeleteමොකද සද්දයක් නැත්තේ ? අදික වැඩද ? කරදරයක්ද ?
ReplyDeleteනන්දු
ReplyDeleteමේ අමුතු බැඳුම් දිහා ලෝකයට කොයි ඇසින්වත් බැලිය හැකිද? ඇත්තෙන්ම ජීවිතය මේවා සමග නන්නත්තාර වෙන තුරුම ජිවිතය ප්‍රහේලිකාවක්. ජීවිතය පඹගාලක්. මේ පැටලුම් ලිහෙන දාට අපි ජීවත් වෙලා නො හිඳීවි... ඒ නිසා හොඳම දේ මේ පැටලුම් එක්කම හදවතින්ම ජීවත් වෙන්නට ඉගෙන ගැනීම... එහෙම නේද? අපි හැමෝගෙම ජීවිත වල මේ දේ තියෙනව. ඒ උපැස් පැලඳි ඇස් දුටු මේ කතානායිකාව වගේම , ඔබටත් මටත් මේ වගේ කතා අනන්තව හිතේ හොල්මන් වෙමින් ඇති. ඒත් හොල්මන පිස්සුවක් නොකර ගැනීමත් , හොල්මන සමගෙ සෙල්ලම් නොකිරීමත් අපේ අතේ තිබෙන සෙල්ලමක්. නේද>?
පිසා
ඔබේ අදහස් මට හොඳින් වැටහෙනවා. මොකද ඔබට මේ අදහස වැටහුනා නම් ... ඔව්... වචන නැ තමයි. :)
මලිතියා
ඔව් නගේ. ජීවිතේ හැටි මේ වගෙයි...
පිණි නගා
ඔව් නගා. මටත්. කොටින්ම මට , සුනේත්‍රාගේ ඒ පොත ජීවිතය පිලිබඳ ලැබුන හොඳම කියැවීමක්. සුනේත්‍රාවටත් ස්තූතියි.
අනුරාධ
හෙ හෙ. මල්ලි ඔයා මේක කියෙව්වම කරකවලා අතැරෙනවා කියලා මම දන්නවා. මේ කතාව ඔයාට සමීපයි නේද?
රවි අයියා..
අද ඔයත් එක්ක චැට් එකෙදි අපූරු සුන්දර අදහසක් මතු වුනා. දැන් මම එය ලියන්නට සූදානම් වෙමින්. පිහාටුව... ඉක්මනින්ම ලියමි :)
හිතුවක්කාරී
හෙ හෙ. මොනව හරි කියන්ට නගා :)
රන්දිල් අක්කා
ඔයත් මොනා හරි දැනගෙනද මේකියන්නෙ අප්පා කතා නායිකාවව අඳුනනවද?
රීසා
ස්තූතියි
පිසා
ඔන්න ටික කාලයක් බ්ලොක් වෙලා හිටියා. අද ලිහිල් වුනා මනස. ඉතින් බ්ලොක් එක ගැන ලියන්නයි සැරසෙන්නෙ.
සංසාරික බැඳීම් වගේම මේ ජීවිතේ බැඳීම් උනත් මහ පුදුමයි. වටහා ගන්නට අමාරුයි. ඈ වංචාකාරියක් නොවේ. මේ වගේ අපි කී දෙනෙකුට සිදු වෙලා ඇත්ද? උත්තරයක් සොයා ගන්න අමාරුයි නංගි. ඒත් සමහර බැදීම් එක්ක අපි කොටුවෙලා ඉන්න බව නම් පැහැදිළියි.
ReplyDelete