දෙදෙනාම මැහැල්ලෝය.ඒ වයසටදැයි අකලටදැයි පැහැදිලි සාක්ෂි නැත.. ඉඳහිට වැටෙන හදිසි වැහි මත්තෙහි , අලු යට සැඟව ගත් කුඩා පුපුරු 'සූස්' හඬින් දැවී හඬ නගයි. ඒ හුස්මකැයි වරදවා වටහා ගන්නා මහලු දෙනුන් දෙදෙන එදිසාවට දිව විත් එකිනෙකාට මුහුණලා නතර වෙති..
දශක ගණනාවකට නොදුටු ඒ දෑස් එක් වෙයි. එහෙත් සුසානයට පණ නො එයි. අතුරුදන්වූ ගාලගෝට්ටියක මතකයකුත්, තවමත් පොළව යට දැවෙන කැලෑවේ සුන් බුන් අතර හැංගී ගිය සිහ පැටවෙකුත් , කොටි පැටවෙකුත් දෙදෙනාගේම සිත් වලින් සහ නෙත් වලින් පිටතට පනිති.
ඒ ඔහුගේ අම්මාය. මේ මොහුගේ අම්මාය. දෙදෙනාටම එරුනේ කිරිය. එකම ගහකොළ බදා , සහ බෙදාගනු වස් දිගු කලක් සතුරුව හුන්නේ ඇගේත් , ඇගේත් බාල පරම්පරාවය. අද මෙසේ ඒ සිරුරු දෙකම මිහිදන් වන්නේ එකම පස්ගොඩක නොවේද?
සිහ වරිගයටද කියන්නට කතාවක් තිබේ. ඒත් අනෙක් අම්මාටත් එරුනේ කිරිය. මේ අම්මාට වගේම. හේතුවෙහි හොඳ නොහොඳත්, පසු ඵලයෙහි හොඳ නොහොඳත් කතා කරන්නට , මනුස්සකම පමණක් ලියන මගේ පන්හිඳට සවි මදිය. හේතුව මගේ මඳ දැනුමය. එහෙයින් පොදු දහම පමණක්ම ලියන මට දොස් නොනඟනු මැනවි.
දෙදෙනාම හිස වසාගෙන හිඳින්නේ එකම වැස්සට බියෙනි. දෙදෙනාගේම හිසට ඉහලින් පායන්නේ එකම හත්දින්නත් තරුවලල්ලකි. ඒ මේ අම්මලා දෙදෙනාගේම පැටවුන් ගැටවුන් වී, විරසක වී, මිහිදන්වී සිටින එකම සුසානයයි. ඒ සුසානයෙහි නිදන ඔක්කෝම රණවිරුවෝය. අඩු ගානේ වැදූ අම්මලාගේ සිත් වල ඔවුහු රණවිරුවෝය.
මේ 'ඈ' ලාගේ කතාවයි. සුසානයෙන් ඇහෙන්නේ මේ කෙඳිරිය විය හැකියි. එය කෙඳිරියක් නිසාවෙන් අතීතයට මිස අනාගතයට ඉන් පලක් නැතිය. රණවිරුවන් වී ඔවුන් පොලව යට නිදන සඳ , ඔවුන්ගේ බිරින්දැවරුන් අතින් අත යන, සහෝදරියන් සහෝදරයන් අනාථ කඳවුරු වල බලාගත් අත බලා සිටින ඛේදවාචකයේ සාරාංශයක් මේ අම්මලා දෙපොලටම තිබෙනවා නොවේද? මුලුමහත් සනුහරේම අනුකම්පාව මිස, අනාගතයක් අහිමි වූ , අම්මලාගේ තාත්තලාගේ කතාව නොවේද මේ? ඒ කතාවේ නමක් ගමක් ලියා තිබේවිද?
රන්කැටි පුතා කෝ කෝ ?
රන්කැටි පුතා කෝ?
රන්කැටි සිහ පැටියා කෝ?
රන්කැටි කොටි පැටියා කෝ?
යාපනයේ ඉපැදුනු මගෙ මුව පැටියා
රෑක ඇවිත් උදුරාගෙන ගියෙ කොටියා
මාගම්පුරේ ඉපැදුනු මගෙ සා පැටියා
සිංහ රැලට සිහ වෙස් ගෙන ගිය සැටියා
රණවිරුවෙක් විය මිය ගිය කොටි පැටියා
කොටි මව මා ගෙපැලේ අඬ අඬ සිටියා
රණවිරුවෙක් විය මිය ගිය සිහ පැටියා
සිහ මව මා ගෙපැලේ අඬ අඬ සිටියා
රන්කැටි පුතා කෝ?
රන්කැටි සිහ පැටියා කෝ?
රන්කැටි කොටි පැටියා කෝ?
යාපනයේ ඉපැදුනු මගෙ මුව පැටියා
රෑක ඇවිත් උදුරාගෙන ගියෙ කොටියා
මාගම්පුරේ ඉපැදුනු මගෙ සා පැටියා
සිංහ රැලට සිහ වෙස් ගෙන ගිය සැටියා
රණවිරුවෙක් විය මිය ගිය කොටි පැටියා
කොටි මව මා ගෙපැලේ අඬ අඬ සිටියා
රණවිරුවෙක් විය මිය ගිය සිහ පැටියා
සිහ මව මා ගෙපැලේ අඬ අඬ සිටියා
පසු වදන
නන්දා මාලිනිය මේ ගී ගයා හිස බේරාගෙන සිටීමම මහ අරුමයකි.
සම්මතයෙන් ඔබ්බට යන්නේ , මේ එකම ලේ ඇති විවිධ අම්මලා විඳවන එකම දුක් කතාව පමණක්මත් නොවේ. නන්දා මාලිනිය නම් නිර්භීත ගැහැණිය අසම්මතයෙනුත් ඔබ්බට මහා පියවරක් තැබූ පුදුමාකාර චරිතයකැයි මට සිතේ...
ගීය අහන්න...