Tuesday, December 13, 2011

[222] අසම්මතයෙනුත් තවත් ඔබ්බට .... 1

ලිපි පෙළ වෙනුවෙන් ප්‍රවේශය :


ලෝකයෙ සම්මතය කියල දෙයක් තියනවලු. සම්මතය කියන්නෙ බහුතරය පොදුවේ ගමන් කරන මාර්ගය වෙන්න පුලුවනි. සම්මතයෙන් පිට ගිය දේවල් සහ අසම්මත දේවල් අතර වෙනසක් තිබෙනවද? එහෙම බැලුවම අසම්මත ප්‍රේමය , අසම්මත ආදරය , අසම්මත අධ්‍යාපනය, අසම්මත ජීවන රටාව .. මේ හැම එකක්ම කොතෙක් දුර සම්ම්තයෙන් පිට පැන ඇත්දැයි කියන වාරණය මෙන්ම තීරණයත් අපේම හිතේ හදාගත් මානයක්ද කියලත් හිතෙනව. හෝව් හෝව්... දැන් කැරකිල්ලයි වගෙ නේද? මේ දවස්වල මටත් ටිකක් ඒ වගේ.... 

වෙනස් දේ වෙනුවෙන් හිත බෑඳෙන ජීවිතේ මල්ගේ හිත , අසම්මතයටත් සම්මතයටත් විෂය නොවන අපූර්ව මිනිස් දහම් ගෑන ලියන්නට පෙරුම් පිරුවේ අද ඊයේ නොවෙයි.  මේ පටන් ගන්නේ එවන් ලිපි පෙලක පලමු ලිපිය.

අසම්මත හෙවත් හැමෝම යන සම්මත රටාවෙන් පීලි පැනපු පාරෙ දුවන අමුතු සින්දු එක දෙකකට එබෙන්නට මට පුලුවන් වුනේ වැඩ කටයුතු යෙදෙන කාර්යබහුල ජීවිතයෙම එක අහුමුල්ලක වාඩි ගනිමින්.


පළමු ලිපිය: 


අසම්මතයෙනුත් තවත් ඔබ්බට 1 : දෙතිස් වධ විඳින පුතා , ඒ අම්මාට වීරයෙකි.  


පූර්විකාව :


ලෝකයේ බොහෝ දෙනා කරන සාමාන්‍ය සහ අවදානම අඩු දේ කරන පුතුන් දූවරුන් දකින්නට කැමති අම්මලා අතරේ සම්මතයෙන් ඔබ්බට ගිය , අවදානමින් අනූන දෑ කරන්නට අවසර දෙන්නට ඉඩ දෙන්නට අම්මා කෙනෙකුට කොයි තරම් නම් හයියක් තිබිය යුතුද? දොස්තර කෙනෙක්, ඉන්ජිනේරුවෙක, ගෙයක් දොරක්, වාහනයක්, බිරිඳක්, දරුපවුලක්... මේ රටාවෙන් පීලි පනින්නට පුතෙකුට හයිය තිබ්බාටමත් මදිය.  ඒ හයිය දුබල කළ හැකි එකම මන්ත්‍රය අම්මාගේ ආයාචනාත්මක දෑස් විය හැකිය.  අම්මාට ඒ සම්මතයෙන් එහාට යන්නට කල්ප ගානක් යනු ඇති. ඒත්....

ලෝකය සම්මතයට එහා නොයන්නේත් නොවේ. 




මූලාශ්‍රය: 

යදමින් බැඳ විලංගු ලා මගේ පුතා ‍රැගෙන යන්
ඉඳික‍ටු ඇන ඇඟිලි තලා දෙතිස් වධය පමුණුවන්
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එ'රට අධිකරණය නීතිය සහ විනිසුරන් ?

කකා බිබී නටන අතර නරුම යහලු යෙහෙලියන්

පන්දු කෙලින අතර ඉහළ පාසල් වල අමනයන්
රට ගිනි ගෙන ඇති වග දු‍ටු මගේ එකම පුතණුවන්
එ'ගිනි නිවන මග සෙවීම වරදක්දැයි මට කියන් ...

ගිනි ගන්නා රටක කෙලින මී හරකුන් වැනි පුතුන්

කුමටද මට මහ විරුවෙකි සිරගෙයි මළ මගෙ පුතුන්
කෝටි ගණන් බිහි වේවා මගෙ පුතු වැනි තව පුතුන්
කිරිමව් ලෙස මම ඉන්නම් එ'වන් පුතුන් ලඟ උතුම්

කතාබහ :


මවකගේ ආශිර්වාදය මැදින් ඒ පුතු යන්නේ එසේ මෙසේ සිංහ ගමනක් නොවේ... ඔහු පරදී.ඔහු දඬුවම් විඳී..  ඔහුගේ තැත වරදී. එහෙත් ඒ උදාර මවුගේ දෑස් අභියස ඔහු පරාජිතයකු නොවේ. මහා වීරයෙකි. ඔහුගේ උත්සාහය දෙස ඒ අම්මා බලන්නේ එසේ මෙසේ අභිමානයකින් නොවේ. එය අපේ නෙතට ගෙනෙන්නේ විස්මයකි. අනුකම්පාවක් හෝ කලකිරීමක් නොවේ. සුවහසක් වීර මවු වරුන් කෙරෙහි මහා ආදරයකි.

ඈ කෙබඳු වීර මාතාවක්ද? සිය ලෙයින් හදා වැඩූ දරුවාට දෙතිස් වධය දෙන ගහලයින් ඉදිරියේ ඈ හඬා නොවැටෙන්නීය. යාදිනි නොනගන්නීය. හද උතුරුවා ගලා ය්න දාරක ස්නේහය ඉක්මවා ගිය දාරක අභිමානයෙන් ඔද වැඩී ඈ සිය පුතු සිහින මැවූ ලෝකයේ පුතුන්ගේ ව්‍යායාමය ඉදිරියට ගෙනයන වගකීමට බැ‍ඳෙන්නීය. එය සම්මතය සැබවින්ම ඉක්මවා නොගොසින්ද?


වීරත්වයෙන් ඔද වැඩී ගිය මහලු ගත නමුත් ජවයෙන් ඔද වැඩි හදවතින් ඈ අයුක්තියට එරෙහි තර්ජනාංගුලිය , මේ සම්මත සහ අපුල ආත්මාර්ථකාමී පුත්‍ර පරම්පරාව කෙරෙහි දිගු කරන්නීය. ඒ සිර ගෙයි මළ වීර පුතු වෙනුවෙන් හඬන්නා වෙනුවට ඔහුගේ ප්‍රාර්ථනාවේ අනාගතය ඇය වන්නීය... සම්මතයත් , අසම්මතයත් ඉක්මවා ගිය තුන්වන මානයෙහි සම්මතයට අසම්මතයට හෝ විශය නොවන සම්මතය ඉක්මවා ගිය අධිමානුෂීය සන්කල්පයක් තිබේනම් , මම එයට හිමි නිසි වදන සොයන්නෙමි..


හැමෝම කරන දේ රැල්ලට නොකළ සඳ පුතු සමග උරණ නොවූ අම්මාට , රැල්ලෙන් මිදී උඩුගම් බලා පිහිනද්දී ඉවුර දිගේ සිය දුබල දෑත් වාරුව දිගු කළ අම්මාට , උඩුගම් බලා ගිය වරදට ඒ පුතු දෙතිස් වධ දඬුවම් ලබද්දී යුක්තිය වෙනුවෙන් මිස දාරක ස්නේහයෙන් අඳව හඬ නොනැගූ අම්මාට , අම්මාගේ හිතේ උන් වීරයා මියෙද්දී සිය පුතු වන් අනාගත විරුවන්ටත් එවන්ම දිරියක් වන්නට පෙරුම් පුරන අම්මාට ,  සම්මතය බිඳි, අසම්මතයත් බිඳි , ලෝකය අතැඹුලක් කොට අනුදත් ඒ වීරත්වයට.... බ්ලොග් පෝස්ට් එකට දහයක් ලිව්වත් පාඩු නැතැයි මට සිතේ...



විවේචන :  


නන්දා මාලිනියට උපතින්ම හිමි, ජවාධික , ශක්තිමත් හඬ නිසි අයුරෙන් ගැල්පී ගිය ඇගේ තවත් එක් ගීතයක් ලෙස මම පුද්ගලිකවම මේ ගීයට මහත් සේ පෙම් බඳිමි. මෙහි ඇති වීරත්වය මට මහලු මවකගේ ඇස් වල දිලිසෙන අභිමානයේ තෙත් බව සිහි කරවයි. ලෝකය දෙසට , අයුක්තියට ඇඟිල්ල දිගුකරන්නේ තරුණ පරපුරයැයි , මහලු පරම්පරාව යල් පැන ගිය අදහසින් යුතුව තරුණ සිතිවිලි නොහඳුනමින් , නව යුගය සමග කැරලි ගසන හණමිටි අදහස් ගොන්නකැයි සිතන සම්මතයට නන්දා මාලිනිය ගයන මේ ගීතය අභියෝගයකි. සම්මතයත් අසම්මතයත් ඉක්මවා යන ඒ මහා වෙනසට මම පුද්ගලිකවම මහත් සේ පෙම් කරමි.

 

ඊලඟ ලිපිය : 

සම්මතයෙන් ඔබ්බට 2 :  බිරිඳත් අනියම් බිරිඳත් දෙදෙනාට පරම වෛරක්කාරියන් වෙනු විනා , තවත් 'විය හෑකි දේ' තිබිය හැකිද? ඈයත් , ඇයත් හඬන්නේ ඔහු වෙනුවෙනි ...


පසුවදන : 

ලිවීම වෙනුවෙන් මා වෙලාව සොයාගන්නේ කෙසේදැයි නිතරම මගෙ යහලු යෙහෙලියන් අහන පැනයක්... මා වෙලාව සොයා ගන්නවා වෙනුවට ලිවීමට සිතුවිල්ලක් පහළ වෙන විට මා සිටින්නේ හිටගෙන බසයක නම් , මා හිටගෙනම කොල කෑල්ලක ලිවීම කරන පිස්සෙක් විනා ලිවීම වෘත්තියක් කොටගෙන මේසයක් පු‍ටුවක් සොයා ලිවීම වෙනුවෙන්ම ඇප කැප වූ ලේඛකයකු නොවෙයි. ලිවීම, කියවීම, නැටීම , ගැයීම , පිස්සු නැටීම මේවා නිරන්තරයෙන් මගේ ජීවිතයට කාවැදෙන්නේ ඒ මා ආදරය කරන දේවල් නිසා..

16 comments:

  1. සම්මතය නිතරම බහුතරයක් ගමන් කරන මාර්ගය වෙන්නේ නෑ! වෙලා තියෙන්නේ බහුතරය කරද්දී ඔවුන් එකතු වෙලා අනිත් මාර්ග අසම්මතයැයි කියා ගන්නවා...උදාහරනයක් ලෙස බොහෝ පිරිමින් කොන්ඩෙ කපනා නිසා ඔවුන්ට සාපේක්ශව අනිත් උන් රස්තියාදුකාරයෝ වගේ!නිකන් හරි ලංකාවේ ඉගෙන ගත්තු උගත් මිනිස්සු කොන්ඩෙ වවලා හිටියා නම් ඒ මිනිස්සුම ආයි කියයි කොන්ඩෙ කපපු එකා අසම්මත එකා කියලා!

    ReplyDelete
  2. වසිලිස්සාDecember 13, 2011 at 9:38 PM

    අසම්මත සමාජයෙන් ඔබ්බට ගිය සම්මත ලොවක් තැනීම, සමාජයේ අසම්මතයයි.

    ReplyDelete
  3. අසම්මතය වී ඇත්තේ සම්මතය විය යුත්ත වන ලොවක,සම්මතය වී ඇත්තේ අසම්මතයම විය යුත්ත නම්, සම්මතයෙන් පිටමං වීම කොපමණ උගහට වුවද එසේ කලයුතුමය.......

    මගෙත් ඔළුව කැරකෙන්ට ගත්ත ඔන්න......මේ වගෙ කල්පනා හිතට එද්දි ඔළුව කැරකෙන්ට ගන්න එක සම්මතයද අසම්මතයද?......ඈ දිල්?

    ReplyDelete
  4. නන්දා මාලනීගෙ අර සිංදුවටනම් මං හරි ආසයි. පොඩි කාලෙ ඒක අහද්දි ඇස් වලට කඳුළු උණනවා. මට ඒක මුළින්ම අහන්න ලැබුණෙනම් එකේ පංතියෙ වගේ ඉන්න කාලෙ. ඒ කාලෙ තාත්ත නිතරම දාන්නෙ නන්දා මාලිනීගෙ " පවන " කැසට් පීස් 1 සහ 2. මට ඒ සිංදු ඒ කාලෙ කට පාඩම්. යදමින් බැඳ සිංදුව මං කියද්දි අම්ම බණිනවා :-D දිල් ඒ ගීතය දැකපු විදියටත් මං කැමතියි :-)

    ReplyDelete
  5. මමත් පුද්ගලිකව ගොඩාක් ආදරය කරන ගීතයක්. ගෝර්කිගෙ "අම්මා" කෘතිය පෙරල, සාරය පද කීපයකට සම්පීඩනය කලා වගේ දැනෙනෙවා මට. සංගීතය, ගායනය, වචන, පද අරුත්, සියල්ල සිත වශීකරණ සුළුයි.

    කොහොම නමුත් අවසානයේ මට හිතෙන්නෙ මේ හුදෙක්ම විශිෂ්ඨ නිර්මාණයක් විතරයි කියල. අසම්මතයි වගේම යථාර්තයටත් බොහෝම දුරයි.


    හොඳ ‍තෝරාගැනීමක්, වටිනා කතිකාවක්, කදිම ලිපියක්...

    @ සාබිත් : සම්පූර්ණ්යෙන්ම එකඟයි...

    ReplyDelete
  6. ජීවිතේ මල් කියන්නේ අසම්මතයෙනුත් තවත් ඔබ්බට හිතන කෙනෙක් කියල මම තේරුම්ගත්තේ 2010 අප්‍රේල් 03 වෙනිදා දාපු පොස්ට් එක දැක්කම.

    දිගටම ලියන්න. අපි කියවනවා.

    ReplyDelete
  7. මේ සින්දුවෙ වතගොත ගැනත් කිව්වා නම් අගෙයි..ගී පද තනු කාගේද කියලා..

    ReplyDelete
  8. හරිම වැදගත් ලිපියක් අක්කේ,, අසම්මතයෙන් ඔබ්බට ගිය නවකතා පොතකුත් මම ලගදි කියෙව්වා.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මේ සින්දුව කාගෙද අක්කේ?
    සම්මතයෙන් ඔබ්බට අපි ගොඩ දෙනෙක් යන්න කැමති ඒත් යන්න බය පාරක්...

    ReplyDelete
  11. සම්මත සමාජයේ සම්මතයන්ට පටහැනි දේවල් කරන එක උඩුගං බලා යෑමක් අක්කේ. හරි ගියොත් හරි. නැත්නම් විනාස වෙනවා

    ReplyDelete
  12. මේ අර බස් එකේ යද්දි ඇහැව්වා කියපු සිංදුවක් නේද නංගි. ම්ම් සිංදුවත් හොඳයි අදහසත් හොඳයි. :)අද කාලේ හොඳ යැයි සම්මත කරගත්ත දේවල් කාලෙකට උඩදී අසම්මත වෙලා තිබිලා තියෙනවා. ඒ වගේ ම තමයි ඒකේ අනිත් පැත්තත්. වෙනස් විදිහට හිතන මිනිසුන් නිසා කාලෙන් කාලෙට මේ දේවල් වෙනස් වෙනවා.

    ReplyDelete
  13. වර්ණා : එකෙන්ම එකඟයි :)

    හෙ හෙ.. සාබිත්... හොඳ උදාහරනයක් ... සම්මතය කියන දේ බලාගෙන ඉද්දි වෙනස් වෙනවා. අමාරු දේ, වෙනස් දේ අසම්මත යන යෙදුමට වඩා වෙන යෙදුමකින් හැඳින්වෙනවා නම් කොච්චර හොඳද>? නේද ?

    වසිලිස්ස : ඔව්.. ඒය සමාජයේ අසම්මතය වන්නේත් එක්තරා රාමුවකදී පමනක් විය හැකියි හැබැයි... :)

    රවි අයියා... ඕන් ඕන් ඕනෙ නැති එව්ව අහනවා :) අනේ මන්දා.. මන් හිතන්නෙ ඔය දෙකෙන් එකක් වෙන්නැති :)

    මජී
    ස්තූතියි මජී :) නන්දා මාලිනියගේ පරණ ගීත ගොඩක් මට ආයෙමත් අලුතෙන් විඳින්න ලැබුනා මේ ලඟදී

    රවිනුමල් :
    ස්තූතියි මල්ලි. අදත් මේ මම ඒ වගෙම ගීයක් ගැන ලියමින්

    pissakkatuva
    ගොඩක් ස්තූතියි. මම ඒ ලිපියට ගොඩක් කැමතියි පුද්ගලිකවත්...

    රූ
    මම හෙව්වා . හමුවුනෙ නෑ. පින්වතෙක් එය දාත්වා :)

    වර්ණා
    මම කැමතියි ඒ තොරතුරුත් ඔයා අපි එක්ක බෙදාගන්නව නම්

    දිනෙශ්
    මේ ගීය ගයන්නේ නන්ද මාලිනි. ඉතුරු වතගොත නම් දන්නෙ නැ මලේ. ඒත් මම හොයන්නම්. ස්තූතියි

    මධුරංග
    ඒත් අවදානම ගන්න වෙනව අපිට ඒ උඩුගං බලා යාම අවැසිනම්.. එහෙම නේද ?

    රන්දිල් අක්කා
    ඔව් ඔව්. ඒක හරි. අසම්මත එහෙත් වෙනස් ඒ වගෙම මගෙ මිනුමෙ හැටියට අපූරු දෙයක් තමයි ඉතින් මම ලිව්වේ. ස්තූතියි

    ReplyDelete
  14. ගොඩක් අය වෙනස් වෙන්න හරි ආසයි සහෝදරී, ඒත් ගැටලුව තියෙන්නේ ඒ අය වෙනස් වෙන්න බයයි.., තමන්ගේ ජීවිත අස්සේ තමන්ගේ ප්‍රාර්ථන ටැබූ වෙලා.., ඒක ඒ අයගේ වැරැද්දනොවෙන්න පුලුවන් සමහර විට., මොකක් උනත් අන්ධයන් ඉන්න රටේ එකෙක්ට හරි ඇස් පේනවා නම් ඌ තමා ඉන්න එකම අබ්බගාතයා කියනවානේ..,
    සිස්ටම් එකෙන් වෙනස් උනාම සවයිව් වෙන්න ටිකක් අමාරුයි.., ප්ලාස්ටික් කෑවට දිරවන්නේ නෑනේ ඒ වගේ..!
    ඊළඟ "අසම්මත" ලිපිය කියවන්න තියෙනවා..!
    ගිහින් එන්නං.!
    ජය!!!

    ReplyDelete
  15. ආහ්... ලිශ්... මේ කොමෙන්ටුව කොහෙන් හරි මිස් වෙලා ගිහින් නෙව....

    මටත් හිතෙන්නේ මේ සම්මතය සහ අසම්මතය කියන මානයන්ගේ අඩි රූල අපි කොච්චර කෙලින් අල්ලන් ඉන්නවද කියන දේ එක්ක නිර්භීතකමෙත් ලොකු ගනුදෙනුවක් තිබෙනව.

    මේක සාපේක්ෂ රාමුවක් වගේම.. හරිම සියුම් සිද්දියක්....

    සමහර වෙලාවට ඔබ කිව්ව වගේ බහුතර මතය සම්මතය වෙද්දි , සුදුසුම සහ හොඳම දේ අසම්මතය වෙලා යනවා....

    එහෙනම් මාසෙකට පස්සෙ ලිව්ව උත්තරයත් එක්ක අර අඳින්නෙ තවත් අලුත් ලිපියකට...
    ජය!

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->