Tuesday, October 25, 2011

[211] මේ ජූඩි - කඳුලු දෝණිය ගැන...



ඈ ජූඩි. උපතේ සිටන්ම ඈ පටන් ගත්තේ ඛේදවාචකයක්. උපන් දියණිය කෙරේ කිසිදු සෙනෙහසක් නොදැක්වූ මුත් , ජූඩිගේ දෙමාපියන්ට ජූඩි බෙදාගතයුතු "ආභරණයක්".

බේබදු අනියම් සැමියකු සොයා යන මවටත්, ගුප්ත දර්ශනය විකුණමින් අනියම් බිරිය හා වසන පියාටත් ජූඩි 'දරුවක් සිටීම' යන පූර්ණත්වය පවුලකින් නොගිලිහෙනු උදෙසා
අතකොලුවක් වූවා. ජූඩිගේ තිබූ මේ එකම වටිනාකම වෙනුවෙන් නිර්දය ලෙස මවත් පියාත් ජූඩි අතින් අත යවමින් පන්දු ගැසුවේ දරු කැක්කුමක් ගෑවීවත් නොගිය හිත් වල දරුවෙක් සිටීම නමැති විරුදාවලිය හිමි කර ගැනීමේ පරමාභිලාශයෙන්.


ජූඩි... අසරණ ඈ නාමමාත්‍රික දරුවෙක්. අනුකම්පාවක් සෙනෙහසක් තබා ජීවිතයේ මූලික හිමිකමක්වත් අවම වශයෙන් වත් සැපිරීමට හිත් උණුවන මව්පියන් ලබන්නට වාසනාවත් නොවූ කෙලි පොඩ්ඩියක්.


කුණු බාල්දි අවුස්සමින් සිය බඩවියත රැකගන්නටත් , පියාගේ නිවෙස තුල ලෝකයට පෙනෙන්නට නාමමාත්‍රික දරුවකු වන්නටත් , බැල මෙහෙ කරන්නටත් හැරුනු විට ජූඩිව මේ ලෝකයට උවමනා වූ කිසිදු හේතුවක් නැති තරම්. ජීවිතයේ සියලු බලාපොරොත්තු ආශාවන් ගිනි තබා, ගුටිබැට, තාඩන පීඩන, කුසගින්න යනාදියෙන් විනිර්මුක්ත වූ පලාගිය තනිකඩ ජීවිතයක් ගත කරන්නටත් ජූඩිගෙ පියා ඈට ඉඩ දෙන්නෙ නැහැ. ඒ දරුවකු සිටින පියකු වශයෙන් ජූඩි ඔහුට උපයාදෙන වෘත්තිමය කීර්තිය නිසා. 

කඳුලු දෝණී - අනුලද සිල්වා පරිවර්තන (විදර්ශන ප්‍රකාශන)
 මේ එන්ගලන්තයයි. යාලුවනේ, මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන්මල්කඩ වූ මහා බ්‍රිතාන්‍යයේ 1945දී ඉපැදී මාපිය සෙවණේම අපා දුක් විඳි , නොසලකා හළ ජූඩි වෙස්ට්වෝටර්ගේ කතාවයි.


සිය අනියම් බිරිඳත් සමග අප්‍රිකාවට සංක්‍රමණය පියා ජූඩි රැගෙන යන්නේ ජූඩිගේ මවට හොරෙන්. මාස කිහිපයකට පසු පියාගේත් කුඩම්මාගේත් මේ වධ බන්ධන වලින් ජූඩි පලායන්නේ වීදි දැරියක ලෙසින්. දුම්‍ රිය මැදිරි වල, අගුපිල් වල අනාථ කෙල්ලක විලස දිවි ගැටගසා ගන්න ඇය, මිනිසුන්ගේ අතවරයනට ලක් වන ඇය , වසරකට අනතුරුව මරණයේ එලිපත්තේදි යලිත් පියාගේ ග්‍රහණයට හසුවෙනවා. එහෙත් මේ වසර 13ක දුක්ඛ දෝමනස්සයන් වෙතින් ජූඩි යලි උපදින්නේ මහා වීර්යයත් ධෛර්යයත් උනා ආ කෙසඟ සිරුරෙන් විහිදෙන ඒකායන අරමුණකින්.


"මම මගේ අම්ම ගාවට ආපහු යනවා. ඈ මා පිලිගනීවි.මම ආපහු එන්ගලන්තයට යනවා"


ඒකායන අරමුණ විසින් ජූඩි වීර්යවන්ත විස්මිත ගැහැණියක් බවට පත් කරන්නේ එලෙසිනුයි. නොසන්සිඳෙන ශක්තියෙන් පාසල් යන ජූඩි දහ හත් වන විය වන තුරු ඇඟිලි ගනිමින් දිවා රෑ වැඩ කරමින් සතයෙන් සතය ඉතුරු කරන්නේ , අම්මා සොයා යන සිහිනයෙන්.
මේ ඉන්නෙ ජූඩි වෙස්ට්වෝටර්
සැබෑ වූ සිහිනයත් දෝත දරාගෙන එන්ගලන්තයට එන ජූඩි සොයන 'අම්මා' ඈ හමුවේවිද? ජූඩි සොයන 'පවුල' තුල ඈ අහිමි උණුසුම ලැබේවිද? දහහත් වසරකපසු මව් උණුසුම සහෝදර පෙම සොයා එන ජූඩිට දෙන්නට තරම් ජීවිතයක් අම්මා තිබේවිද?


කාටවත් උවමනා නොවූ ජූඩි, එක් සිතුවිල්ලක් විසින් ජීවිතයේ අපේක්ෂා දල්වනු ලැබුවේ, ජූඩිගේ දෛවය පමණක් නොව ජූඩි වන් අසරණ දරුවන්ගේ දෛවය පවා වෙනස් කරන වීර ගැහැනියක් ලෝකයට දායාද කරමින්...


දින කිහිපයක් තිස්සේ පිටු එක දෙක කියවාගෙන ගිය මේ කඳුලු කතාව , අවසන් වූ රුවන් වැකියකින් මා මේ කෙටි ලියමන අවසන් කරන්නම් ;


" ඔබ විසින් ගත යුතු ක්‍රියාමාර්ග දෙකක් තිබෙනවා. එකක් මෙතනම මැරිලා යන්න පුලුවන්. එහෙම නැතිනම් ආයෙත් මෙතනින් පිටවෙලා ගිහින් ජීවිතය පටන් ගන්න පුලුවන්. මීට කලිනුත් ඔබ ඒ දේ කළා. පාර දිගේ ඇවිද්දා . ඉතින් යළි ජීවිතය පටන් ගන්න කැමති නම් ඒ කළ යුතු ක්‍රමය ඔබ දන්නවා" 

(පිටුව 185)


මැදියම් රැයේ පොත කියවා අවසන්වූ සැනින් මා, මේ ලියමන ලියන්නට පටන් ගත්තේ හිතවතුන් දෙදෙනෙකු වෙනුවෙන්. මේ දෙදෙනාටම තිබෙන්නේ එකම ප්‍රශ්නයක්. වසරකට වැඩි කාලයක් තිස්සේ නොරටක තනිවී ඉන්න . ඉතා දිගු කාලීන පාඨමාලාවක් බලාපොරොත්තුවෙන් , ඉහටත් ඉඩින් ප්‍රාර්ථනා පොදි ගසාගෙන ඔවුන් නොරටට ඉගිලුනා. ඒත් අද? ඔබ වේදනා විඳිනවා. ඔබ ගත් තීරණය හරිද? ඔබ හිතනවා. එකෙකු තවමත් ලෙඩ වී නැහැ. අනෙකා සිතිනුත් ගතිනුත් මේ ගැන සිතීමෙන්ම දුබලව.


ආයෙත් ජීවත් වෙන්න පටන් ගන්න. හොඳ හුස්මක් සමග.. ඔබ ආයෙත් ජීවිතය පටන් ගන්නට මාර්ග දෙකක් ඇති.


1. ඔබ ගෙනයන මාර්ගයම හොඳ හුස්මකින් ජවයකින් අරඹන්න
2.මාර්ගය වෙනස් කරන්න.


වැරදුනු තැන් ජීවිතයට පාඩම් එකතු කොට ඇති. ඉතින් යළි ජීවිතය පටන් ගන්න කැමති නම් ඒ කළ යුතු ක්‍රමය ඔබ දන්නවා. ජූඩිට මෙන් ඔබට 0 සිට අරඹන්නට දෙයක් නැහැ.


මේ ලිපිය , ලෝකේ කොන් දෙකක සිට එකම නෙයියාඩගම නිසා ගිලන් වී සිටින, මගේ හිතවතුන් දෙදෙනා වෙනුවෙන්. :-)


ජූඩි වෙස්ට්වෝටර් කතා බහක යෙදෙන මේ වීඩියෝව ඔබ වෙනුවෙන්





ජූඩි අද ඈ වන් වීදි දරුවන් සොයා යලිත් අප්‍රිකාවේ සැරිසරන වීදියේ වීරවරියක්. අද ඈ සිය දෙපයින් නැගී සිටින්නේ එදා ඇවිස්සු කුණු බක්කි සොයමින් නොවෙයි. මත් කුඩු, දූෂණය,භීෂණය වෙලාගත් වීදි දරුවන් සොයමින්. ඔවුන්ගේ හෙට දවස කොහිදැයි සොයමින්... 
 ~~
සොයාදෙන්න
මෙච්චර වැඩ තිබෙන වෙලාවේ බ්ලොග් ලියන්නට මොලේ අමාරුවක් තිබේ දැයි අසමින් හෙට එන කෝල් කන්දරාවට මුහුණ දීමට පෙර පෑන් ක්ලිප් දෙකක් ;-)  

10 comments:

  1. මටත් කියවපු පොත් ගැන පෝස්ට් කීපයක් ලියන්න තියෙනවා. කෝ අප්පා වෙලාවක්.

    ReplyDelete
  2. මේක ඒ දෙන්න බැලොවොත් හොඳ තීරණයක් ගනී කියලා හිතනවා..

    ReplyDelete
  3. හොද පොතක් වගේ.. මම කියවලා නෑනේ.. හමූ උනොත් අනිවාර්යෙන් කියවනවා..

    ReplyDelete
  4. හ්ම්..... ලබන පාර ගන්න ඕනෙ පොතක් වගේ...

    ReplyDelete
  5. වසිලිස්සාOctober 25, 2011 at 6:18 PM

    සබැ ජීවිත කතාවක් ගැන අර්ථවත් ලිපියක්.සොයාගෙන කියවන්න ඕන .

    ReplyDelete
  6. මම නම් මේ පොත කියවලා නෑ.

    ReplyDelete
  7. පොත නම් කියවලා නෑ මට කවදාවත් කියවන්න වෙයිද දන්නෙත් නෑ . අප්පා අන්තිමට පොතක් ගත්තේ දැන් වසර දෙකකට පමන පෙර . ඒකත් පරිගණක ක්‍ෂේත්‍රයේ එකක්

    මේක හොයාගෙන කියවන්න ආසයි .. ඒත් මක්කා කොරන්නෙයි

    ReplyDelete
  8. මම පොත නම් කියවලා නෑ. මීට සමාන පොතක් මගේ බ්ලොග් එකේ ලීවා. බිඳුනු බිළින්ඳා. ඒකත් එංගලන්තයේ කතාවක්. හරිම අනුවේදනීයයි. මේ පොත හොයාගෙන කියවන්නම්. ස්තූතියි මේ සටහනට. ඔබ පළමුවෙන් මගේ සටහන් කියවන්නේ ඒ සටහන බලා බව මතකයි නංගී. සංසාරේ අපට හමුවෙන අනුවේදනීය චරිත. මේ චරිත හරහා කොපමණ ආදර්ශ අපිට ගතහැකිද? ඔබේ හිතවතුන් දෙදෙනාටම ජීවිතේ ජය ගන්නට දිරිය ශක්තිය ලැබේවා!

    ReplyDelete
  9. මේ ලිපියේ කොමෙන්ටු ටික මට මග හැරිලානේ. අනේ ඉතින් සමාවෙන්න.
    මගෙ ලියමන් එකක් නෑර පස්සෙන් පන්නමින් මනුස්සකම බෙදාහදා ගන්න ඔබ හැමට බොහොමත්ම පින් සිදු වේවා !!!!!!!!

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->