Thursday, October 06, 2011

[207] අයිස්ක්‍රීම් පිලිකන්නේ සිට ..


 මම හිඳගෙන සිටියෙමි.


විවිධ පාටැති හැඩැති රසැති අයිස්ක්‍රීම් රාක්ක වලින් අත් වලටත්, අත් වලින් කුස් වලටත්, අතින් අත යන පොශ් පඩිපෙල යට , කාටත් තේරෙන බසින් කිව්වොත් අගුපිලක හිඳගෙන සිටිමි.(ඔය උඩහින් පේන්නේ ඒ අගුපිලය, එවෙලේ එය ජනාකීර්ණය) මා සිටින්නේත් හිස් අතින් නොවේ. රුපියල් හෑටපහේ මා ප්‍රිය කෝනෙට්ටෝ අයිස්ක්‍රීම එකක් ලෑටි ගාමින් මමත් ඒ අගුවෙහි ඉඳගෙන සිටින්නෙමි. අනෙක් අතින් බෑගය මත තබාගත් කුඩා නෝට් පොතේ මේ ලියවෙන සටහන කුරුටු ගාමින් මම වරින් වර දියවී වෑගිරෙන අයිස්කිරිමය තොලගාමි.වටපිට බලමි. කාර්යාල වලින් මිදී නිවෙස් බලා දිව යන මිනිසුන් දෙස මම බලාසිටිමි.


මා මෙන්ම රුපියල් හැටේ කෝනෙට්ටු දෙකක් අතින් ගත් පෙම් යුවලක් වම් පසෙහි හිස් ඉඩ කරා එනු මම බලාසිටින්නට වීමි. (යුවලක් දුටු සැනින් ඒ පෙම් යුවලකැයි මට නිගමනය කරන්නට ඇති අයිතිය කුමක්ද?)


"අනේ මෙතන ඉඳගන්න බැහැ. ජරාවනේ"
කොණ්ඩය ජෙල් කර ස්පයික්ස් පිලිවෙලට හැදූ කොල්ලා මූන ඇඹුල් කරගෙන කෙල්ලගේ අතින් අදියි.


"මොන ජරාවද අනේ..මෙතන ඉමු "
සැහැල්ලුවේ ඉගිලෙන දඟකාර කොණ්ඩය ගස්සමින් කෙල්ල කියයි. ඈවත් අතින් ඈදගෙන පිරිසිදු ඉඩක් සොයන කොල්ලා පසුපසින් කෙල්ල ඇදී යයි. කෝනෙට්ටු දෙක තුරුල් කරගත් බෑගය ඈ අතය.


මිනිත්තුවක් පඩිපෙළ වටා කැරකුනු දෙපල ආයිමත් එතැන්ටම විත් හිඳ ගත්හ. ගැහැණු ආධිපත්‍යය ! මට කට කොනකින් සිනා යයි.





වම් පස ඇතුල් වන තැනම අලුතෙන් ඉදිවූ , මිල අධික 'බැස්කින් රොබින්ස්' අයිස්කිරිම් හලේහි සිට මගේ දකුණු පසට විත් සිටගන්නා යුවලකි. අති විශාල අයිස්කිරිම් කුළුණු දෙකක් දරාගෙන කිසිදු අර පරෙස්සමක් නැතුව දෙන්නා ඉද්ද ගැසුවා සේ මා අසලින් වාඩි වූහ.


මම යලිත් මොහොතක් උකුලෙහි බෑගය මත වැඩ හිඳින නෝට් පොත දෙස බලමින් කුරුටු ගාමි. ඉදිරිපස පෙනෙන සිලෝන් බිස්කට් සාප්පුවේ රාක්කය මත ඇති , අතින් නිමවූ චොකලට් හදවත් , චොකලට් මල්, චොකලට් ටෙඩිබෙයාවරු පිරීගත් බන්දේසි නරඹන නුවර සුප්‍රසිද්ධ පාසල් යුනිෆෝමයකින් සැරසුනු කොලු පිරිසකි. ගෙදර ගෙනියන්නට, නංගීට , මල්ලීට... චොකලට් ගන්නවා වෙන්නට ඇති... මම සිනාසෙමින් සිතමි...



'අනේ මම බලාඉන්න බව දන්නව නම්'... කපටි ඉච්චාකාර බළලෙකු වගේ මම මේ ඔක්කොම බලා ඉන්න හැටි..




වම් පසෙහි ඉන්නා යුවලගේ ගෑනු කටහඬ , ගේ කිරිල්ලියකගේ කිචි බිචිය තරමටම නොනවත්වා ඇසේ. කොල්ලා හූමිටි තියයි.

දකුණු පස සිටින යුවලට නිනව්වක් නැත. වසඟවී නිහඬ වන්නට තරම් බැස්කින් රොබින් රාජකීය රසයක් , වම් පස කෝනෙට්ටෝව රස බලන යුවලට නැතුවා වෙන්නට පුලුවන. එක්කෝ කෝනෙට්ටෝව යනු මුණ ගැසෙන්නට ලැබෙන සීමිත ඉඩකඩෙහි තාවකාලික අයිතිය තහවුරු කළ හැකි සාධාරණ සාක්ෂිය වෙන්නටත් පුලුවන. බැස්කින් රොබින්ස් රස බලන යුවල සිය පරිපූර්ණ අයිස්ක්‍රීම් වින්දනය ලබමින් එකිනෙකාට කරදර නොකොට ස්වකීය හිමකිරම රාජ්‍යයේ කිරුළු පලඳිනවා නොවිය හැකිද?



අසාධාරණ නිහඬ බැල්මකින් සහ විමසුම් දෑසින් මා ඔවුන් දෙපළ නරඹන බව ඔවුන්ට දැනුනා නම් , අනිවාර්‍යයෙන් ඔවුන් උදහස් වනු ඇත.


"අයියෝ හැලුනා!"
වම් පස කටකාර කෙල්ල ඩෙනිම මත හලාගත් අයිස්ක්‍රීම් පිසින්නට උත්සහ කරමින් විස්සෝප හඬ නගයි. මට බකස් ගා සිනා යයි. ඈත් මා සමග සිනාසුනාය.


"අපේ අම්ම දැක්ක නම් හෙම , අපෝ මේ කෙල්ල අයිස්ක්‍රිම් එකවත් හලා ගන්නෙ නැතුව කන්න දන්නෙ නෑ, හරියට පොඩි එකෙක් වගේ, කියාවි"
කොල්ලා ඔලොක්කුවෙන් කියමින් සාක්කුවෙන් ගත් ලේන්සුවෙන් හැලුනු අයිස්ක්‍රීම් පිසදමයි.


මගේ අයිස්ක්‍රීම් එක ඉවරය. ඉඳගන්නට තැන් නැතුව කැරකෙන තවත් අහිංසක යුවලකට ඉඩ දී මා යායුතුය. මම බෑගය කරෙහි ලාගෙන එක් පයක් ඉදිරියට තබා නැගිටින්නට සූදානම්ව පිවිසුම් මග දෙස බැලුවෙමි.


11 වසර දක්වාම වසර කිහිපයක් එක පේලියේ පච හැලූ , ගෙදර වැඩ කොප්පෙ ගැසූ , දිවා ආහාරය බෙදාගත් මිතුරියක් ඔසරියක් හැඳගෙන, කොණඩය බැඳගෙන, ලහි ලහියේ , පිම්මේ දිව යයි. ඔරලෝසුවේ වේලාව පහ සටහන් වී තුබුනේය. ඈ දැන් කෘෂිකර්මාන්තයට සම්බන්ධ රජයේ දෙපාර්තමේන්තුවක සේවය කරන බවක් මට ලාවට මතක් විය. මා දෙපා වෙර ගෙන නැගිටින විට, ඈ ඔරලෝසුව බලමින් ඈත බසයක් දෙස එක එල්ලේ බලාගෙන පිම්මේ දිව යමින් සිටියාය. මම බෑගය කරේ ලාගෙන අනෙක් දෙසට පියවර තබන්නට වීමී..


මට සිතෙන්නට ඇත්තේ කුමක්ද?
?

33 comments:

  1. මම කාපු අයිස්ක්‍රීමේ රස බලන්න අමතක වුණානෙ කියා සිතන්න ඇති

    ReplyDelete
  2. සොරි කාපු නෙවෙයි ලෑටි ගාපු එකේ රහ බලන්න අමතක වුණා නේද ?

    ReplyDelete
  3. මටත් මේ දැං බාස්කින් රොබින්ස් අයිස් ක්‍රීම් එකක් කෑමට සිතිණි!!

    ReplyDelete
  4. හික් හික්... එල එල... මේ අනේ ඔහොම බලන්න එපා අප්පා මිනිස්සු දිහා... උන්ටය කියල පුද්ගලිකත්වයක් තියෙන්න එපැයි හික් හික්

    ජය,,

    ReplyDelete
  5. මේ අයිස්ක්‍රීම් එක දැක්කම මටත් මෙයින් එකක් කන්න හිතුනා අද දවල්ට කාලා කන්න ෆුඩ් සිටියෙන් මේකක් අරන් එන්න ඕනි

    ReplyDelete
  6. මටත් ඒ වගේ හයියෙන් දුවන්න පුළුවන්නං කියලනේ......

    ReplyDelete
  7. හ්ම්....මොකක්ද මේකට කියන්නෙ නියමයි කියල නිකන් ඉන්න හිතෙන්නෙත් නෑ.එහෙනම් මල් හතයි කියන්නම්..:D

    ඔයාට හිතුන එක කොහොමද අනේ අපි දන්නෙ.

    ReplyDelete
  8. හිකිස්....! අනේ පව් අර ජෝඩුව. අවසානය තාර්කිකයි... ඔබට ජය!

    ReplyDelete
  9. මට නම් අක්කගේ හිත කියවන්න බෑ. අක්කගේ හිත කියවන්න පුලුවන් කෙනෙක් දැනටම ඇති නේ. එයාගෙන්ම අහලා බලමු. හික්ස් :)

    ReplyDelete
  10. උන් දෙන්නට බඩ යන්නට ඇතිනෙ එකසිය ගානට :)

    ReplyDelete
  11. හඳුනාගත්තොත් ඔබ මා ...... හික් හික් හික්...

    තව කොමෙන්ටු වැටෙන්ට ඉඩ තියල මට හිතිච්ච එක කියන්නම්...

    (තව කොමෙන්ටු වැටුනෙ නැතිනම් හෙට වෙද්දි කියන්නම්... මට හිතුන දේ :)

    ReplyDelete
  12. මම කියන්නම් සහෝදරීට හිතුනු දේ ???

    “අප්පේ, හොඳ වෙලාවට මං ඔය වගේ ජොබ් එක්ක නොකලේ ! නැත්නම් ඉතින් මමත් බස් අල්ලන්න දුවන්න එපෑයැ...“

    නැත්නම්,

    “ඒකිට අයිස්ක්‍රීම් එකක් කාලා, රිලැක්ස් එකේ පොඩ්ඩක් රස්තියාදුවක් ගහලා ඉන්න පින නෑ... පව් අහිංසක කෙල්ල...!“

    එහෙමත් නැත්නම්,

    “ අපරාදේ, මටත් එහෙම වෙන්න තිබ්බ නම්...“

    ඔබේ පිළිතුර 1,2 හෝ 3 සඳහන් කර ජීවිතේ මල් වෙත එවන්න. මේ සඳහා සම්මත අන්තර්ජාල භාවිත ගාස්තු වැය වනු ඇත. ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාවට ජීවිතේ මල් පුබුදන අක්කාගෙන් රසවත් හිමකිරමයක් සමග රස්තියාදු සවාරියක්...!!!

    ReplyDelete
  13. හොඳ වෙලාවට කසාද නොබැන්දෙ කියල හිතුන නේ,,

    ReplyDelete
  14. ජිවිත,අවස්ථා, හමුවීම් අයිස්කිරිමක් වගේ කියලද?
    "කපටි ඉච්චාකාර බළලෙකු" ලස්සන යෙදුමක්. මීට කලින් කියවපු තැන මතක නෑ....

    ReplyDelete
  15. 'තව අයිස් ක්‍රීම් එකක් කනවද නැද්ද' :D

    ReplyDelete
  16. හි හි හී... සංසාරේ... කියලා හිතෙන්න ඇති අක්කිට... :D

    "කෝනෙට්ටෝව යනු මුණ ගැසෙන්නට ලැබෙන සීමිත ඉඩකඩෙහි තාවකාලික අයිතිය තහවුරු කළ හැකි සාධාරණ සාක්ෂිය වෙන්නටත් පුලුවන."

    මේ කියමනනම් මාරයි ඈ අක්කියෝ.. :)

    ReplyDelete
  17. දැං කොහොමෙයි අපි හිතන්නේ අක්කා මොකක් ගැනද හිතුවේ කියලා... සමහරවිට අර යාළුවත් එක්ක තව අයිස්ක්‍රිම් එකක් කන්න හිතෙන්න ඇති... නැත්නම් අර දෙපැත්තෙන් හිටිය අයට වගේ අයිස්ක්‍රිම් එක බෙදාගෙන කන්න කෙනෙක් හිටියනම් කියලා හිතෙන්න ඇති....

    ReplyDelete
  18. තව බලමු.... :) හෙට කියන්නම් මට හිතුන දේ....

    මෙතෙක් ගෙස් කරපු හෑමෝටම ඉස්තූති හොඳේ :)

    ReplyDelete
  19. මේ ගැනත් බ්ලොග් එකේ ලියන්න ඕනේ කියල හිතුනද......:D

    ReplyDelete
  20. කාලය මැවූ වෙනසක අරුමේ කියල හිතෙන්න ඇති.. :)

    ReplyDelete
  21. මට නම් හිතාගන්න හැකියි සුද්දෙක් අයිස්ක්‍රීම් කන්න ඇවිදින් තිබුනානම් කියලා හිතෙන්න ඇති නේද ?

    අක්කා අමනාප වෙයිද මන්දා මම ඉතින් ජොලි කාරයා නේ

    ReplyDelete
  22. මා දෙපා වෙර ගෙන නැගිටින විට, ඈ ඔරලෝසුව බලමින් ඈත බසයක් දෙස එක එල්ලේ බලාගෙන පිම්මේ දිව යමින් සිටියාය.

    මම බෑගය කරේ ලාගෙන අනෙක් දෙසට පියවර තබන්නට වීමී..

    තරඟකාරී ලෝකයේ
    තවත් තරඟකාරීයක් නුඹ....
    දිව යන්න මිතුරියේ ඔය දෙසට,
    බසය මග හැරුනොත් ලෙඩක්......

    මට නැහැනේ කිසි තරඟයක්........
    මම හිමින් පිය නගමි මේ දෙසට....

    ReplyDelete
  23. හොරෙන් මිනිස්සු දිහා බලා ඉන්න වැඩේ මාත් කරනවා. කාලෙක ඉඳන් body language හදාරනව. එවා ප්‍රැක්ටිකලි දකින්ඩ හම්බවෙන්නෙ ඔය වගේ වෙලාවට තමයි. මිනිස්සු හැසිරෙන විදිහ හොරෙන් බලල හිත් කියවන්ඩ ට්‍රයි කරන එකේ මරු රසයක් තියනව. වැඩේ වැරදි වෙන්ඩ පුලුවන්. ඒත් මිනිස්සු ගැන ගොඩාක් දේවල් ඉගෙනගන්ඩ පුලුවන්. දිගටම කරන්ඩ කියල තමයි කියන්ඩ තියෙන්නෙ.
    ඔයා හිතුවෙ මොකද්ද දන්නවද? `අනේ මුන්ට අයිස්ක්‍රීම් එකක් කන්ඩවත් නිදහසක් නෑ නෙ` වගේ දෙයක්...

    ReplyDelete
  24. ඔන්න විසි දෙනෙක් අදහස් කිව්වා. ඒ ඇති හොඳටෝම...
    මම නොකියා කියන්නම් , මට හිතුන දේ.

    2010 මාර්තු මාසෙ දවසක, ලෙක්චර් එකකට කන්දෙන ගමන් , කම්මැලි කමේ බැරුව ඉද්දි මම ලිවුවා මෙහෙම කවියක්...මතකද?
    http://sansaare.blogspot.com/2010/03/blog-post_28.html

    මට ඕනෑ නවතින්න
    -------------
    මට ඕනෑ නවතින්න
    කැබැලි වුන හිත් බඳුන
    විසිරි ගිය කැබැලිති
    එකින් එක ඇහිඳින්න....

    ඇහිඳ ගත් හිත් කැබැලි
    ගලපන්න මුල මැද
    ටිකෙන් ටික
    එකිනෙකට අලවන්න...

    සුලඟකට සැලෙන්නැති
    අසණියට බි‍ඳෙන්නැති
    කු‍ටුම්බය සිරස මත
    කිරුලක්ව පලඳන්න....

    මට ඕනෑ නවතින්න
    දිවිල්ලට සමුදෙන්න
    ජීවිතය දැක ගන්න...
    ජීවිතය විඳ ගන්න....

    ---------------

    ඉතින් යාලුවනේ එදා හිතුව ඒ කවිය ලියපු අතීතය දිහා බලල , මම වර්තමානයේ ඉන්න මම ගැන හිතමින් සැනසුම් හුස්මක් හෙලුවා...

    ප.ලි.
    මේ කවිය ලියවුනු පෝස්ට් එකේ අපෙ යාලුවෙක්(යසේල) අහල තිබ්බා දුවන ගමන් ජීවිතේ විඳින්න බැරිද කියලා. මේ කලබලකාරී ලෝකේ හැප්පෙන ගමන් ඔබ ජීවිතේ විඳින කෙනෙක් නම්, ඇත්තෙන්ම ඔබ දුවන කෙනෙක් නෙමෙයි. ඔබ නැවතුනු කෙනෙක්. :-)

    මම කාර්යබහුල ජීවිතයක් අදටත් තියන කෙනෙක්. කාර්යබහුල කෙනෙක්. ඒත් මම අද දුවන්නෙ නැහැ.

    ReplyDelete
  25. walk Don`t Run

    http://www.youtube.com/watch?v=hIuIIqbyEIU

    ReplyDelete
  26. මට නම් හිතුනෙ ආයෙ එතෙන්ට ගිහින් අයිස්ක්‍රීම් කාලා හමාරයි. පැපරාසි ඉන්න බව අදනෙ දැන ගත්තෙ.
    මැණික්

    ReplyDelete
  27. ආයෙ KCC එකට හිහින් අයිස්ක්‍රීම් කද්දි පොඩ්ඩක් වට පිට විපරම් කරල බලන්න ඕනෙ... ;)

    ReplyDelete
  28. :-) හෙ හෙ හෙ... ඒක තමා.. තනියම කෝනෙට්ටෝ කන්න දෑන් මටත් ලෑජ්ජයි වගෙ.
    ඔයාලට මාව අහුවෙනවනෙ :)

    ReplyDelete
  29. අක්කේ මේ නුවර තැනක්ද?
    "මම"

    ReplyDelete
  30. ඔව්.. කෑන්ඩි සිටි සෙන්ටර්.. :)

    ReplyDelete
  31. අනේ මෙහෙම පැපරාසි වැඩ කරනව කියල දන්නෙ අදයි නෙ. හිම කිරමෙ රස ව්න්දෙ නැතුවයැ.

    ReplyDelete
  32. හිම කිරම තොල ගාමින් වට පිට බල බලා සිටියෙමි :)

    ReplyDelete
  33. " "අනේ මෙතන ඉඳගන්න බැහැ. ජරාවනේ"
    කොණ්ඩය ජෙල් කර ස්පයික්ස් පිලිවෙලට හැදූ කොල්ලා මූන ඇඹුල් කරගෙන කෙල්ලගේ අතින් අදියි."

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->