වසර එකොලහක ඉතා දිගු නැවතීමෙන් තොර වෙහෙසකාරී ධාවන මාර්ගයෙන් මීට තෙමසකට ඉහත ලොකු වංගුවක් ගෙන පිට පැන්නා මතකය. අධිවේගී පථයෙන් පිට පැනීම හිතූ තරමට ලෙහෙසි වූයේ නැත. එය මහා මානසික ගැටුමක් විය.
මම සිතා බැලුයෙමි.කල් මැරුයෙමි...මට මේ තීරණය ගන්නට හිතේ හයිය ඇතිදැයි කිරා මනිමින් බැලුයේ වරක් දෙවරක් නොවේ.
ඉගෙනුම් කටයුත්තකට හැරුනු විට , කිසිවෙකුත් අත නොපෑ, වසර 6ක් ගොඩ නැගූ අතිශය ස්වාධීන ජීවිතය හැර දමන්නට මා බියවන්නේ මා නිසාද? අවට ලෝකය නිසාද? ඒ දෙකමද?
මම කල්පනා කලෙමි. ජීවිතයේ උස මෙපමණද? මා මේ හදන්නේ පල්ලම් බහින්නද? මම මගේ තුන්වෙනියාට අඬගැසුයෙමි.
නැත. නැත. මා හිඳින්නේ පල්ලමේ හෝ ආගාධයේ නොවේ.මට බැස යන්නට හේතුවක් නැත. මා මේ සෘජු වෙහෙසකර නැග්ම මොහොතකට නතර කොට හාත්පස බලන්නට ඇසිල්ලක් ගත්තා පමණි. මම මේ ශක්තිමත් සිතිවිල්ලට වැඩෙන්නට ඉඩ හරිමින් මාස 6කට පෙර අස්වීමේ ලිපිය ලියූවා මට මතකය. ඒ ලියුම ලියන්නට හිතු දවසේ , ඒ ලියුම ලියු දවසේ , ඒ ලියුම භාර දුන් දවසේ මම විවිධ මුහුණු දුටුවෙමි. දෑසින්ද මනසින්ද දුටුවෙමි.
හර්දයාංගම විරෝධයත් ව්‍යාජ ශෝකයත්කොතරම් පැහැයෙන් වෙනස්දැයි එදාටත් වඩා අද මම අතීතය අතගා ස්පර්ෂ කරමි. ඒ හැඟුම් දෙකෙහිම ඇති සියුම් තැන් මම විස්මයෙන් ආස්වාදනය කරමින් අද සිනහසෙමින් සිටිමි.
කෙසෙ වෙතදු මම එදා ගංගාවක් වීමට තීරණය කළ අයුරු ඔබට මතක ඇත. කඳු මුදුනට ඇති වෙහෙසකර අංශක අනූවේ නැග්ම අතහරින්නට මම එඩිතර වූයෙමි. අවංක විරෝධයට එදා මා අකීකරු වූ තැනෙහි කිසියම් සාධාරණයක් ඔබට දැන් පෙනෙත්වා!
මම අල්ලා ගන්නට ගල්කුලක් අත්වැලක් සහ මගපෙන්වීමක් නැති ඉතා වෙහෙසකර මාර්ගය අත්හැරියා මිස කඳු මුදුන අත් හැරියා නොවේ. ජීවිතය මෙතරම් නොවේ. උල්පතින් ආ කිරි රස අසලින්ම වැටුනු මඳ නැග්ම හෙවත් දුර පාරට මා අවතීර්ණ වූයේ එබැවිනි. එය බොහෝ මනරම් මාවතකි. ගහකොල, සතාසීපාවුන් , අහස , සුලඟ විඳිමින් යන මේ ගමන බොහෝ දුර පාරක් වුව විඩාවෙන් තොර බැවිනි. එහි ඇත්තේ වෙහෙසකර අංශක අනූවේ නැග්ම මත එල්ලී , කලු ගල් තලාවට මිස අන් කිසිවකට ඇස් නොදුන් මහා වියවුලක් නොවේ.
පෙරලුන පිට හොඳ කරගන්නට මා වලි කනවායැයි ඔබට සිතෙනවා නම් , මට කියන්නට ඇත්තේ ඔබ 100% හරි බවයි. මිදි තිත්ත බව කී නරියාටත් මා මෙන්ම සිතෙන්නට ඇති. නරියා මිදිවල්ල හැර ගිය පසුත් තොල ලෙවකමින් තවමත් මිදිවලු සිහිනයේ එල්බුනාදැයි නරියා සහ මිදි වැල කතාව ලියූ අඥාතයා ලියා තිබුනේ නැත. එනිසාම මා එය හරිහැටි දන්නෙත් නැත. මා ඒ නරියා නොවූවා නොවේ. නමුත් අඥාතයා අමතක කළ කොටස මට අමතක නැත. 'මිදි තිත්තය, තිත්ත මිදි නැතුව මේ ඉන්න ඉඳුම මට අවංකවම සුපර්බ්ය!' මම මට කියමි. ඔබ පිලිගත්තා නොගත්තා මට කම් තිබේද? :-)
මේ මගේ මාස තුනෙහි සමාලෝචනයයි. පොප්සිකල් කමින් චිත්‍ර ප්‍රදර්ශන බැලූ, පොත් කියවමින් චොකලට් බිස්කට් කෑ වර්තමානය අනාගතයේ ශේෂ වේදැයි මම හොයන්නෙත් නැත. බිය වන්නෙත් නැත. එදාටත් මා කියන්නේ 'පෙරලුන පිට නම් අපූරු බවය' ... එය මට අහිමි වීමක් නොවේ. මා කඳු මුදුනට යන මඳ බෑවුමේ සින්දුවක් කියාගෙන හිතූ හැටියේ විවේකයෙන් ගමන් කරමි. ජීවිතේ තව උසය ! අද මට ඒ ගමන මහ බරක් නොවේ..
Yesterday was History...
Tomorrow is a Mystery...
But Today is a Gift...
That's why it's called the 'Present' !!!
A Present is a Surprise.
Take time, Slowly unwrap ,
you will find Happiness...!
මේ සටහන :
'නවතින්නට' බයේ වෙවුලන මගෙ හිතවතිය වෙනුවෙනි...