අද නම් ලියන්න යන්නෙ ටිකක් ලේ කෝප වෙන කතාවක්. ලේ කෝප වෙනව කියන්නෙ තරහ යනවම නෙමෙයිනෙ. කලකිරීම වුනත් වෙන්න පුලුවනිනෙ.
මේ පහුගිය දවසක අපිට සමීප ගෙදරකින් අහන්න ලැබුන දෙබසක් මම හිතුවා පූර්විකාවක් කර ගන්න අද ලියන්න යන දේට. ...
පුංචි කොලු පැටියා ගේ නිවාඩු සෙනසුරාදාව. මල්ලි පැටියත් එක්ක ගහ මරාගන්න, දඟ කරන්න, වැලි නාන්න, රණ්ඩු කරන්න, දුවන්න, පනින්න පොඩ්ඩෝ දෙන්න මේ දවස එනකල් බලන් ඉන්නෙ හරීම ආසාවෙන්. එදාටම තමයි දෙන්න ලඟදි අරන් දීපු ඕගන් එකෙන් මියුසික් හිතේ හැටියට ප්‍රැක්ටිස් කරන්නෙ.
නා නා ප්‍රකාර වාදන රිද්ම , අත් හදා බැලීම් , වැරදීම් මැද්දෙ ලොකු අයිය ඕගන් ඒක වාදනය කරනවා. මල්ලි පැංචා නම් එකත් එකටම අයියව කොනිත්ත කොනිත්ත, වද දිදී, රණ්ඩු අල්ලන බව සද්ද බද්ද වලින් තේරුම් යනවා. ඒ වාදනයන් වෙලාවක කොහෝ නාදයකට වඩා සුන්දරයි කියා හිතෙනවා. පුන්චි උන්ගෙ අහිංසක ලමා ලෝකෙ... එයාලගෙ හිතේ මැවෙන සත්සර රටා හිතේ හැටියට එහාට මෙහාට පෙරලනවා. වෙලාවකට මැටි තලනවා වගේ... කිසීම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව යතුරු දිගේ චුට්ටි ඇඟිලි දුවගෙන දුවගෙන යන හැටි මට මැවිල පේනව වගේ.... එහෙම හිතෙනකොට තාලෙ ලස්සන කැත අමතක වෙනවා...
නිල් අහස් තලේ අගේ .....
වරෙක පියානෝ හඬින්.... වරෙක වයලින් හඬින්.. වරෙක හාප් හඬින්.... වරෙක කන් බීරි වෙන එකෝඩියන් හඬින්... පොඩ්ඩට මේක සෙල්ලමක්... එක එක නාදයෙන් එකම යතුරු වලින් විවිධ ගීත මැවෙන හැටි... එ ක ම.. ව ච න .. ව ල ට !!!!!!
"දැන් කිව්ව නේද ඕක කියල දුන්නු විදියට ගහන්න කියල... ඔය මොනවද ගහන්නේ.... හරියට ප්ලේ කරනවා..බැරිනම් වහල දාල නිකම් ඉන්නවා! "
පුංචි ඇඟිලි එතනම නතර වුනා. මල්ලියගේ කැගැහිල්ලත් නතර වුනා.. පොඩි නිශ්ශබ්දතාවයක් ....
ආ...හ්... ටික වෙලාවයි... ඒ පාර ඕගන් එකේ සින්දුව පරයන ගෝසාවක්.... එක එක තාලෙට 'නිල් අහස් තලේ' රඟ දෙනවා... නිල් කෙසේ වෙතත් ගැටබෙර පියානෝ බටනලා එකෝඩියන් ඕව මේව ඔක්කොම එක සුමේට කැගහනවා.... ඒ ඇඟිලි තාලෙට රඟ දෙනකොට තාරුකා ඇස් උද්දාමයෙන් හිතුවක්කාරකමෙන් උඩ පනිනවත් මට මැවි මැවී පෙනෙනවා වගේ...
"පුතා... ! මම කිව්ව නේද ... හරියට ප්ලේ කරනවා... සර් කියල දුන්නු විදියට .... ඔය මොනවද ගහන්නේ... දෙයක් කියල දුන්නම කියපු විදියට කරනවා... පණ්ඩිතකම් නොකර... ! බැරිනම් වහල දාල පොතක් බලාගන්නවා... "
වැයුම නැවතුනා.. අම්මගෙ කණට වද දුන්නු ගෝසාව ඉවර වුනා. සර් කියපු තාලෙට දුක් මුසු ස්වරයකුත් මුසු වෙමින් නිල් අහස් තලේ රඟ දෙන්න ගත්තා...
පුංචි සංගීත වාදකයා වැයුම නැවැත්වුවා.. සමහර විට සදහටම වෙන්න පුලුවනි... ම්හ්හ්... නෑ... සමහරවිට පුංචි පැටියා වයාවි... සර් කියා දීපු තාල විතරක්ම...
කියන්න තියෙන්නෙ මෙච්චරක්ම විතරයි.. කවද හරි අවුරුදු 10කට පස්සෙ අවුරුදු 18ක ගැටවරයෙක් වෙන මේ කොලු පැටියා , කිසිම දෙයක් අත්හදා නොබලන , කිසි දෙයක් හිතා බලා නොකරන , කිසිම අලුත් දේකට උනන්දුවක් නැති , උගන්නන දේ ගිල ගෙන කැම්පස් ගිහින් රස්සාවක් හොයන ගිරා පෝතකයෙක් වුනොත්.. මේ අම්මටම එදාට මේ ගැටවරයට බනින්න අයිතියක් තියේවිද ?
බහුතරයක් ලමයින්ගෙ ඉරණම මේ විදියට තීරණය කරන්නෙ දෙමාපියන්.. (මේ දෙමාපියන් කෙරේ ද්වේශයෙන් ලියූවක් නොවන බව සලකන්න) ... ටියුෂන් පන්ති දක්කමින් පුංචි උන්ගෙ ජීවිතයට ,සෞන්දර්යය එබ්බුවාටම මදි.. ජීවිතේ විඳින්න නිදහස නැති , වරද්ද වරද්ද හරි දේ , අලුත් දේ , නැවුම් දේ හොයා ගන්න අවස්ථා නැති තැනක පොඩි එකෙකු දකින සෞන්දර්යය මොකක්ද?
අපි උපන්ගෙයි මරා දාන්නේ අනාගත සංගීතඥයෙක්... නර්තන ශිල්පියෙක්... විද්‍යාඥයෙක්... එහෙමත් නැතිනම් ගණිතඥයෙක්.. ආ ඒකට මක් වෙනවද ? විභාග ටික පන්නගෙන කැම්පස් ගියොත් හත් මුතු පරම්පරාවම ගොඩ!
කණට ඇහිච්චි ඇත්ත සිද්ධියක්....
මල්ලි බබාල දෙන්නා පවූඌඌඌඌ
ReplyDeleteචුට්ටං අක්කත් පවූඌඌඌඌ
ඔක තමයි දිල් දැන් හැම තැනම වෙන්නේ..ඔකේ ප්‍රතිඵල දැනටත් දකින්න තියෙනවා..ඉරිදියේදී තව වැඩිවෙයි..
ReplyDeleteඅනිත් උන්නං මං දන්නේ නැහැ..උඹලවත් බලහල්ලා ඔහොම නොකර ඉන්න...මොකද අද ඔයා අල්ලපු ගෙදර කෙල්ල..
හෙට දවසක් එනවා ඔයාටත් අල්ලපු ගෙදර කවුරු හරි කෙල්ලෙක් හිටී එදාට එයාටත් මෙහෙම දෙයක් අහන්න වෙයිද..?
(ඔන්න මට පෙන්නලා කරගත්තු විනාසයක මහත)
කියන්න දෙයක් නෑ. ඔහොම කරනවා මදිවට පස්සේ දවසක පොඩ්ඩට බනිනවා මූට කිසි දෙයක් කරන්න බෑ කියල. කාට කියන්නද මේ අවනඩු....
ReplyDeleteකතාව නම් ඇත්ත....... කරන්න ටිකක් අමරුයි.... උත්සාහ කරලා බලමු......
ReplyDelete@ චානක : මල්ලි බබාල දෙන්නයි අක්කයි විතරක් නෙවෙයි, අපිත් පව්
ReplyDeleteමොකද අපිටත් වෙන්නෙ ඕකමයි :/
හැමතැනම වෙන්නෙත්, කරන්නෙත් ඕකම තමයි! මැෂින් වගේ කියන දේ විතරක් කරන,අලුත් දේවල් හිතන්නෙ නැති අය ඔයා කිව්ව වගේ සල්ලිකාරයොත් වෙයි!
ඒ අතිං අපේ අම්මලා තාත්තලා නම් දෙවියෝ වගේ.. වාහනේ ගලවලා කෑලි කලත් හූම් කියන්නැ..
ReplyDeleteඅළුත් දේවල් හිතන්න පුළුවන් පොඩි කාලෙදි තමයි. ඉස්කෝලේ යන්න පටන් ගත්තට ප්ස්සේ හිතන්න වෙලා නෑ. පොත් කටපාඩම් කිරීම සහ අමතර පංතියාම. ඔය පොඩි එකා සාපෙට සංගීතේ හැදෑරුවොත් සාපේ ඉවර වෙනකම් ඕගන් ගහන්න පුළුවන්. ඊට පස්සේ ආයේ ඕගන් එක අල්ලන්නවත් ලැබෙයිද දන්නේ නෑ.
ReplyDelete"අනාගත සංගීතඥයෙක්... නර්තන ශිල්පියෙක්... විද්‍යාඥයෙක්... එහෙමත් නැතිනම් ගණිතඥයෙක්.."ඒ විතරක්ද ඇයි අනාගතේ බිහි වෙන්න ඉන්න හොඳ මලල ක්‍රීඩකයො ක්‍රිකට් ක්‍රීඩකයෝ කී දෙනෙක් නැතිවෙනවා ඇද්ද?
කතාව නම් සහතික ඇත්ත.......
ReplyDeleteබහුතරයක් ගෙවල්වල වෙන්නෙ ඔය දේ තමයි.හේතුව මොකක්ද?
මොන්ටිසෝරි යන දරුවටවත් උගේ පාඩුවෙ ඌටහිතෙන විදියට වැඩෙ කරන්න දෙන්නෑ. වැඩෙ ලස්සනට කරන්න ඕන තමයි ඒත් ඒ නොදරුව ඒ කරන වැඩේ ඒකාට ලස්සනයි, මොකද ඒකා ඒ දේ ගැන හිතල ඌට පුලුවන් උපරිම ලස්සනට තමයි කරන්නෙ. දරුව වැඩක් කරද්දි අම්ම ලඟින් ඉන්න එක දරුවට හයියක් ඒක අවිවාදාත්මකයි.
දැන් වෙල තියෙන්නෙ ඒකා කරන වැඩේ අම්මට ලස්සන නැතිකම.
මොකද අර ගෙදර දරුවා මෙහෙමයි කරලතියෙන්නෙ, අර ගෙදර දරුව මෙච්චර ලස්සනට කරල තියෙනව.... අම්මට නිකන් මදි කමක් වගේ....බැලින්නං ඒ ගෙදර දරුවගෙ වැඩ කරල දීල තියෙන්නෙත් ඒ දරුවගෙ අම්ම හරි වෙන කවුරු හරි...
අන්තිමට අවලස්සන වෙන්නෙ අපේ දරුවන්ගෙ නිර්මානාත්මක ජීවිත.
(දරුවන්ට ඌ, ඒකා වගෙ වචන පාවිච්චිකලෙ පැටව්න්ට තියෙන ආදෙරේට, අනික මෙ කියන එක දැනෙන්න)
සහතික ඇත්ත. [ඒත් ඕක තමයි බොහෝ තැන් වල සිද්ධ වෙන්නේ..
ReplyDeleteමම පොඩි කාලේ ගිටාර් එක ගහන්න පුරුදු වෙනකොට අපේ අම්මා, අක්කා, නංගි මල්ලි බොහෝම අමාරුවෙන් තමයි ඒ කරදරය ඉවසගෙන හිටියේ. කොහොම හරි මට හරි හමන් ලෙස වාදනය කරන්න පුළුවන් වෙන කොට අපේ ගෙදර කට්ටියට ගිටාර් එක කියන සංගීත භාණ්ඩේ අන්තයටම එපා වෙලා තමයි තිබුනේ.
ReplyDeleteහුම්ම් හොද ලිපියක් ඔය එක සිදුවිමක් විතරනේ ඔයවෙලාවෙම රටේ කොච්චර ඔයවගේ වෙනවා ඈත්ද..?
ReplyDeleteහික්ස්.. දෙමාපියන් දරුවන්ට ආදරේ වුනත් ඒ අයම තමයි දරුවන්ගේ පෞරුෂත්වය බිඳලා දාන්නෙත්.
ReplyDeleteඇත්තට ඒ ළමයට පවු..
ReplyDeleteදුමී අයියාට උන දේම මටත් උනා... ඒත් දැන් කට්ටිය අහගෙන ඉන්නවා කරදරයක් නැතුව ලොකු අම්මා(අම්මගෙ අම්මා) ඇරෙන්න... ;)
ඒකට බලන්නකො මේ පොඩි උන්.. :D
ReplyDeletehttp://www.youtube.com/watch?v=yE7waNi5dc0&feature=related
ගිරවු දහස් ගාණකට එක නිර්මාණශීලී මිනිසෙක් කියන අනුපාතෙට ලෝකය දුවන්න අරන් දැන් ටිකක් කල්. ඉතින් දෙමවුපියොත් ඒ ක්‍රමයටම හැඩගැහිල, ළමයින්ව ගිරවු කරනව. ගිරවෙක් වෙන්න නම් ලේසියි, ඒත් ඉතින් නිර්මාණශීලී මිනිසෙක්ගෙ මාර්ගය නම් අභියෝග වලින් පිරිල. ජීවිතය දිහා බිය නැතුව බලන, අභියෝග වලට මුහුණ දීමට කැමති දෙමාපියන්ගෙ දරුවන් විතරයි වත්මන් ලෝකෙ ඉදිරියට යන්නෙ. ඒක ඛේදවාචකයක් වුනත් මොනව කරන්නද.....
ReplyDeleteතමන් තමයි හැමදේම හරියටම කරන්න දන්නෙ කියල හිතන කොතැනත් තවත් අයෙකුට අළුත් අත්හදාබැලීමකට තියන ඉඩ කඩ බොහෝම අඩුයි. නොදන්න දෙයක් කරන්න බයයි මොකද මිනිස්සු පරදිනවට, වරදිනවට බයයි. හැමෝටම ඕන තමන් හරිය කියලෙ හිතෙන විදියට තමා අවට සෑම දෙයක්ම ක්‍රියාත්මක එනව දකින්න. ඒක ඔවුන්ට සතුටක්.
ReplyDeleteඔය ක්‍රියාදාමය අද ඊයෙ ඇතිවුන දෙයක් නෙමෙයි. හැමදාම තිබුන. ඒත් අද තරම් දරුණුවට නොවෙන්න ඇති. ඒකට හේතුව සීමිත සම්පත් වලට තියෙන අසීමිත ඉල්ලුම. හොඳම එකාටයි හොඳම දේ. ඉතිං හැමෝම බලන්නෙ තමන්ගෙ පරමාදර්ශී චරිත දිහාවට දරුවො තල්ලු කරන්න. ඒ දේ අවබෝධයකින් කිරීමේ කිසිම ගැටළුවක් නෑ. ඒත් බොහෝමයක් දෙනා ඔහේ යන්නන් වාලේ දක්කාගෙන යන ගමන නිසා ළමයින්ගෙ ළමා කාලය අපරාදේ. මේ ක්‍රමය දිගටම තව බොහෝ කාලයක් මේ සීග්‍රතාවයෙන්ම පැවතුනොත් කියනා දේ පමණක්ම කරන යාන්ත්‍රික සමාජයක් ඉතුරුවෙයි,
චානක මල්ලි... ඇත්තටම පවු. මේ දරුවො දෙන්නා හැදෙන හැටි දැක්කමනම් ඔයාට දුක හිතෙවි ඇත්තටමත්....
ReplyDeleteමේ සමාජ ව්යසනයේ ප්‍රතිපල දැනටම තියනවා මාරයා අයියා.. රසවිඳින්න ඥානයක් කොහෙද දැන් ලමයින්ට... යාන්ත්‍රික දැනුම නම් අති ඉහලින්.. සෞන්දර්යය ලං කරන ඉවසීම කැපවීම වගෙ ගුණාංග ලමයින් ඉගෙන ගන්නෙ කොහෙන්ද දැන්? සංසාරේ අපි හි අරමුනත් මාරයා අයිය කියනව වගේ මේ දේ අපේ පරම්පරාව වැඩිහිටි දෙමාපියො වෙද්දිවත් නිවැරදි කරගන්නට උත්සහයක් හෝ ගැනීම...
ප්‍රියන්ත අයිය කියනව වගේ අම්මල තාත්තල මේ වගෙ පොඩි දේවලින් කොයි තරම් බරපතල මානසික බල පෑමක් ලමයින්ට වෙනවද කියා හිතන්නෙම නෑ....
නචී අපි උත්සහ කරමු නේද ? මේ පවතින ප්‍රවාහයට සුලු හෝ උඩුගම් චාරිකාවක් කරන්නට ?
අලුත් දෙවල් හිතන්න අද මේ රටේ පෙලඹෙන්නෙ කීයෙන් කී දෙනාද ? අලුත් අත්හදා බැලීමකටවත් ඉඩ ප්‍රස්තා කොහෙද ?නේද සසීන්ද්‍ර මල්ලි?
බනී මල්ලියා.. ඔයා හාරිම වාසනාවන්තයි එහෙනම්... ඒ දේවල පසු ප්‍රතිපල ඉතාම යහපත් අයුරින් ඔයා අත්දැකල ඇතුවට සැකයක් නැ එහෙනම්...
ReplyDeleteපූසා ..ඔබ හරි.. ලංකාවෙ මේ වගෙ කොයිතරම් වටිනා ක්ෂෙත්‍ර තියනවද ? කාගෙවත් ඇස නොගැටුනු... වටිනාකමක් නොලැබුනු?
අම්මල තාත්තල හිතන්නෙ ඒ මොහොත ගැන . අවුරුදු 10ක් එහාට හිතන්නෙ නෑනෙ සනත්. ඒකයි වරද...
අන්ශෝ.. මේවගෙ සිද්දවෙන ගෙවල් තමයි බහුල... අම්මල තාත්තලගෙ නොදැනුවත්කම... වෙන මොකුත් නෙමෙයි.. ඉලන්දාරිය කියන්නා වගෙ එකක් දෙකක් නෙමෙයි.. මේ ව්‍යසනය දැන් මේ රටේ පුරාම දකින්න හැකියි...
දුමී අයියා.. ගිටාර් එක දැන් ගඟේද? :)
දෙමාපියන්ට පුලුවන් රොශාන දරුවන්ගෙ පෞරුශය ගොඩ නගන්නත් බිඳල දාන්නත්..
හ්ම්ම් මාලන්.. ඔව්... පවු... එයා කිසි දාක එයා හිතපු තාල ප්ලේ කලෙ නැ... කලොත් ඔය සන්තැසියම නිසා..
අභියෝගාත්ම දෙවල් බය නැතුව දහිරිය දීල දරුවන්ට දෙන දෙමාපියන්ට මිස මේ වෙනස කාටවත් කරන්න බෑ.. මම හිතන්නෙ අපේ පරම්පරාව මේ ඩෙමාපියන් ගොඩට හරවන එකයි අපෙ අරමුණ... නේද උදය ?
නවම් මාවත.. ඔබ හරි... රොබෝවන්ට හෙට තැනත් නැති වේවි... මොලය මිනිස් මොලයක් නිසා සිතීමේ හැකියාව දියුණු වූ රොබෝවන් අපිට සමාජය පුරාම පිලිලයක් ඔඩු දුවන්නා සේ නුදුරේම දකිත හැකි වේවි!
අවසන් වශයෙන්.. අදහස් දැක්වූ හැමට ස්තූතියි !
මෙය තවදුරටත් සංවාදයට විවෘතයි...
උදේම කියවපු ඔයාගෙ මේ ලිපිය එහෙම්මම තියාන හිටියෙ මේකට ලියන්න දෙයක් හිතාගන්න බැරිව...දැන් ඕෆ් වෙන්න ඔන්න මෙන්න තියා තමා මේ ලියන්නෙ...
ReplyDeleteඔයාගෙ පූර්විකාව ඔෆිස් එකේ හිටපු මාව ගෙදරට ගිහින් දැම්මා... ඔයාගෙ පූර්විකාවෙ ඉන්න කොළු පැටව් දෙන්න වෙනුවට මගේ ගෙදර ඉන්නෙ කෙලි පැටික්කියො දෙන්නෙක්නෙ....
ඔයා මට වඩා බාල වුනත්... ජීවිත අත්දැකීම් අඩු වුනත්... ඔයාගෙ මේ හැම ලිපියකින්ම මම මොනා හරි ඉගෙන ගන්නවා.. මේ ඇත්තමයි..
තනෝජා අක්කා... ගොඩාක් ස්තූතියි.. මට හරිම හයියක් ඔයාගෙ වචන...
ReplyDeleteඅක්කේ ඔයාල වගෙ දෑනුම් තෙරුම් තියන, ලියන්නට හෑකියාවත් තියන , අත්දෑකීමුත් වෑඩි , උදවියගෙන් මීට වඩා ඉතා සංවේදී පෝස්ට් ලියවේවි අක්කේ.... මෙන්න මගෙන් ආරාධනාවක්... ලියන්නකො ඔයාගෙ අත්දෑකිම් දරුවො දෙන්නත් එක්ක ගෙවෙන ජීවිතෙ ගෑන...ඒක ගොඩක් වටීවි... අපිට ලමා මනස තෙරුම් ගන්න...
මට මේක කියෙව්වහම මගේ පොඩි කාලෙ මතක් වුනා...........
ReplyDeleteඑක දෙයක් වෙනස් වුනා, අනිත් හැමදේම මේ වගේම ඒ විදියටම වුනා... :) :) :)
පාඩම් වැඩ කලාට පස්සේ මගේ ළමයි නං මොනව කළත් මට කමක් නෑ.
ReplyDeleteසිතන්න බල කළ කතාවක්. ස්තුතියි.
ධනුක මල්ලා...
ReplyDeleteහ්ම්ම්... කතාව පස්සෙ කියන්නකෝ එහෙනම් :)
කතන්දර
ස්තූතියි ප්‍රතිචාරෙට...
පුංචි උන්ට කොච්චර ආදරේ නිදහස වටිනවද කියා මට දෑනුනේ මගේ අතීතය ඇසුරෙන්...