Saturday, November 27, 2010

[125] සිනහ වෙනු මැන, වේදනා පිසදා....

ජීවිතේ කියන්නේ එක සිදුවීමකින් ගරා වැටෙන දෙයක් නොවෙයි. එක කඩා වැටීමකින් සියල්ල අහිමි වෙන දෙයක් නෙමෙයි...  ජීවිතේ කියන්නේ මල් කියා හිතුවට වරදක් නෑ.. මේ මම වගේ... :) එක අහිමි වීමකින් ඔක්කොම ඉවරයි , මගෙ ජීවිතේ අහවරයි, මෙතනින් එහාට මම කියන්නෙ මලමිනියක් විතරයි කියල හිතන ඈයින්ට මම හිතන්නෙ මේ පහතින් තියන ගීය හරිම සොඳුරු පණිවිඩයක් සපයනව. 


 ~"~
සිනහ වෙනු මැන
වේදනා පිසදා...

වෙරළ රළ හා තරහ වී නැත
මියුරුසර වෙණ හා බිඳී නැත 
අහස සඳු හා උරණ වී නැත
අතීතය මගෙ හදවතේ නැත

සිනහ වෙනු මැන
වේදනා පිසදා...

කඳුල දොම්නස නසන්නට නම්
බමර ගුම් නද අසන්නට නම්
මියුරු ගී කවි අසන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්..

සිනහ වෙනු මැන
වේදනා පිසදා...
~"~

කොයිතරම් නම් සොඳුරුද? අහස සඳු හා තරහ නොගන්නා සේ, වෙරළ රළ හා තරහ නොවන්නා සේ, මියුරු ගීතයක් වීණාව හා අමනාප නොවන්නා සේ , වෙන් වීමකදී අපිට හතුරන් නොවී හැර යන්නට හැකි නම් කොතරම් අපූරුද? අතීතය සමග උරණ වී වස බෝතල් හොයන, පිහියෙන් අනින සමාජයට මේ සරල අපූර්ව වචන පෙල දෙන සොඳුරු පණිවිඩය කොතරම් හරවත්ද? යම් තාක් දුරට බටහිර රටවලට අහිමි වී ගිය දෘඩ සංස්කෘතිය තද සදාචාරය කොතරම් අපූර්වදැයි මට හිතෙනවා. එහි කුහකකම්, ඉරිසියාවන් , අහිමිවීමෙන් පලිගැනීම් අවම වන්නේ එහි අහිමි වීමක් සමග පසු පසින් එන මහා විසාල සමාජ ඛේදවාචකයක් නැති නිසාම නොවේදෑයි මට හිතෙනවා.

වේදනාවන් සමග අත් බැඳ ජීවත් වෙන්නට වෙන්නට අපි එහිම ගිලෙනවා. ඒ පිසදා හිනහ වෙනවිට අප කරා අපත් නොදැනුවත්වම වසන්තය එලැඹෙනවා.  ඒ හදවතේ තිබෙන නොසැලෙන ගුණයට , ඉවසීමට සොබාදහම පවා හිස නමන නිසයි. මියුරු ගී අපට ඇසෙන්නේ, බමර ගුම් නද හැඟෙන්නේ එවිටයි. පසුතැවීමෙන් දුක් අනුභවයෙන් අප අතීතයේ හදවත ඔබා ගිල්වා පණ ගසන්නට හැර බලා සිටිනවා. ඉන් මිදුනු දාට වසන්තයයි... හදවත අතීතයෙන් සහ අනාගතයෙන් නිදහස්!

මේ ගීය අහන මොහොතක් පාසා මගේ ඇස් වල කඳුලු පිරෙනවා. මන්ද එතරම්ම ජීවිතය තුල වේදනා පිසදා ඉවසීමෙන් සිනහ මුවින් ජීවත් වන්නට මා උගෙන තිබෙන්නේ ජීවිතයෙන්ම නිසයි..  අතීතය සමග මා කවදාවත්ම තරහ උනේ නෑ. අතීතය මත හඬා වැටුනේ නෑ. දවසින් දෙකින් මා තනිව හැඬූ ඇස් පිසදා, හේබා ගිය හදවත වැරෙන් නැගිටුවා මුවගට සිනහව බලෙන් හෝ ගෙන ආවා. දුක තුනී වෙනයුරු මා බලා සිටියා කැඩපත ඉදිරියේ සිනහ වෙන ජීවිතේ මල් දෙස බලමින්. ඒ අතින් බැලුවම මට ජීවිතේ මල් කියන නම නම් අපූරුවට ගැලපෙනවා කියා හිතෙනවා. අතීතයේ නොයෙකුත් තැන් වල මුරණ්ඩු උන, වරද්ද ගත්, දුක් උන, මා සමගම අමනාප වුන, පසු තැවුන, හැඬුව ජීවිතේ මල් සමග මම කවදාකවත් අමනාප උනේ නෑ. ඈ සමගම මා සිනහ වෙන්නට උගත්තා.

මිනිසුන් මා දෙස බලමින් වෙලාවකට ප්‍රශ්න කරනවා මෙහෙම. 'අනේ ඔයා කොහොමද මෙහෙම ගලක් වගේ හයියට ඉන්නේ...? මෙහෙම හිනා වෙලා ඉන්නේ?' ඒ වෙලාවට නම් මාත් ටිකක් මම ගැනම සැක පහල කර ගන්නවා. මම හිතෙන් ඒ ප්‍රශ්නෙ අහන ඈයින්ටයි සෑක උපදවන මටයි උත්තර දෙනවා.'අතීතය මගෙ හදවතේ නැත..අහස උසට අනාගත සැලසුම් නැත.. '


මම මීට කලින් ලියුව අතීතය සිහිනයක් පමණයි ගීයත් මෙතරම්ම මගෙ හදට කා වැදුන ගීයක්. 

මේ ගීය නම් ඉතාම සරල බසින් ලියවුන සොඳුරුතම ගැඹුරු දහමක් අපේ ජීවිතයට කියා දෙන පද පෙලක්.


සුනිල් එදිරිසිංහයන්ගේ ලයාන්විත හඬ සමග පසුබිමෙන් ගලා යන මියුරු වස්දඬු රාවය පමණක්ම හද තවන නිවන භාවනාවක් වගෙයි. හිත මගෙන්ම අහනවා, ඇයි මෙවන් සොඳුරු ගී දැන් නොලියවෙන්නේ? නොගැයෙන්නේ? එය නම් ජාතියේම අවාසනාවක් !

ගීය අහන්නකෝ

Tuesday, November 23, 2010

[124] අහල තියේද "කඩියා මූඩ් ප්ලෑන් වෙනස්කිරින් මැශින්" ගැන? ?

ජංගම සහ  ඉන් නන්නත්තාර  වුන රස්තියාදුකාරයෝ ගැන.....

උදේ හිට රෑ වෙනකල්, රෑ තිස්සේ එලිවෙනකල්,  මැදියමෙත් නිසි නින්දක් නැතුව අත පත ගගා කොටන ජංගමේ අපිට කරපු හදියක් ! කොටනවා කොටනවා කොටනවා.... පණිවිඩ එහෙන් මෙහෙට! මෙහෙන් එහෙට !... දවසේ පැලෑන් උදේ හිට රෑ එලිවෙනකල්ම,, වෙනස් වෙනවා ,වෙනස් කරනවා ,අලුත් කරනවා, හපෝයි ඉවරයක් නෑ... මගෙ සත්ගුණවත් ජංගමේට පින් සිද්ද වෙන්න!

ගෑනු ලමයි සැරින් සැරේ විලවුන් තවරපු ලේන්සු එලියට අරගෙන මූණ මාත්තු  කලේ ඉස්සර. ඒකට දැන්! විඩෙන් විඩේ ඇහැ යන්නෙ , බෑග් එක අතපත ගාන්නෙ ජංගමේ පරෙස්සමට නිදිද බලන්න. ජංගමේ ඔස්සේ 'මාව කාටවත් ඕනෙ වෙලාද ? මාව කවුද හොයන්නේ කියල එබෙන්න... යන ගමනෙ ප්ලෑන වෙනස් වෙලාද ? අරයා වෙලාවට ඇවිත්ද ? මෙයා අතෙන්ට ආවද? මම පරක්කුද? පරක්කු නම් සුට්ටක් ඉන්න කියල පණිවිඩයක් දෙනවද ? " ජරමර ගොඩක්.! බෑග් එක ඇතුලෙ නිදන ජංගමේ සැරෙන් සැරේ අත ගාල හරි බැලුවෙ නැතිනම් ඔක්කොම කොට උඩ ! බෑග් එක ඇතුලෙ නිදන ජංගමේට පුලුවනි රටේ ජනාධිපතිගෙ උනත් මුලු දවසම පාලනය කරන්න. කොටින්ම අදෘශ්‍යමාන දුරස්ථ පාලකයක් නේ මේ ජංගමේ.



"කාට හරි මාව ඕනෙ වෙලාද?" ඔය ජංගමේට ඇහැ යන හැම වෙලාවෙම ඔලුවෙ තියන සිතිවිල්ල නොවෙයිද මේ ?? ඇත්තටම බැලුවොත් අපිව කෝල් එකෙන් අල්ලගන්න බැරි උනා කියල කන්දක් පාත් වෙන්නෙ නෑනෙ.ඒත් මේ ඇබ්බැහිය නිසා අපි හැම තිස්සෙම අමුඩ කෙටිය ගහගෙන 'ඔන් යෝ මාක්' මූඩ් එකේ ඉන්නෙ කියල කිව්වොත් ඔයාල එකඟද? දවසෙ එක නිමේශයක් ඔය ‍රැහැන් වලින් (‍රැහැන් සහිත හෝ රහිත ) මිදිල ඉන්න බැරි තරම් අපි ජංගමේට අපෙ ජීවිතේට රිංගන්න ඉඩ දීල වැඩියි කිව්වොත්??




උදේට ගෙදරින් එලියට බහින්නෙ, හවස 4ට වැඩ ඇරිලා, 5ට හන්දියෙ බස් නැවතුමේදී පෙම්වතියව හමු වෙන්න නම් , සන්දුක්කේ ඒ ගත වෙන පැය 7-8 ට මේ පැලෑන දවසෙ වැඩ වලට  ඕනෙ ඕනෙ හැටියට, හිතූ මතේ අලුත් වෙලා වෙනස් වෙලා,  තියෙන ඔක්කෝම රාජකාරි එක්ක ගැලපිලා, වෙනස් වෙලා වෙනස් වෙලා අලුත් වෙලා නොරොක් වෙලා අන්තිමේට හමාර වෙන්නෙ, හවස 6ට තියන වැඩ ඔක්කොටම රාජකාරි ඉවර කලාට පස්සේ එලියට ඇවිල්ලා දුම්රිය පොලේ හමු වෙලා හවස 7ට ශොපින් ගිහින් ත්‍රිවිල් එකකින් ගෙදර යන්න. උදේ ඉඳන් හවස් වෙනකල්ම ටෙක්ස්ට් මැසේජ් , කෝල් , මිස්ඩ් කෝල් දාහක් හමාරක් විසින් කාලය, මුදල්  සහ විවේකී සංවිධිත මනස කාබාසීනියා කරන ගමන්ම,මේ ජංගමේ අපූරුවට මුලු දවසේම ප්ලෑන් එක කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතිව  වෙනස් කරනවා. ඉබ්බ දියට දැම්මම ඇන්නෑවේ කියාපිලු.! තියන ජීවිතෙත් වැඩ අධික එකක් වෙලා තියෙද්දි,  'තව නටපං', 'තව වෙනස් වෙයන්' , 'තව බිසී වෙයන්' කිය කිය උල්පන්දම් දෙන්නෙ , මේ ජංගම දෙයියෝම නොවෙයිද? තීරණයක් ගත්තම ඒකෙ එක විදියට පවතින්න , එක අරමුණෙන් දවස ගෙවන්න තියන මනසේ ඉස්පාසුව ජංගමේ විසින් උදුර ගෙන කියල ඔයාලට හිතෙන්නෙම නැද්ද?


ඔය ජංගමේ, මේ මං කියනවට එක දවසක් ගෙදර දාල යන්න ප්ලෑන් කරන්න. උදේට නැගිටලා , එහෙමත් නැතිනම් කලින් දවසෙ රෑ, තමුන්ට සිද්ද වෙනවා තීරණය කරන්න හෙට කරන දේ. ඒ ප්ලෑන අනිත් අයව අනිවාර්‍යයෙන්ම දැනුවත් කරන්න වෙනවා. (අම්මව , තාත්තව , යාලුවන්ව, සහකරුව, බොස්ව යනාදි අයව).මොකද හෙට දවස මැදදි වෙනස් කෙරිලි බෑ.හෙට උදේ එලියට බහින්නෙ එක පටිපාටියකට අනුගත වෙන්න. සරල ප්ලෑනක්. වෙනස් වෙන්නෙ නෑ. වෙනස් කරන්න බෑ.ඕනෙ උනත්. දවස යනවා. කරදරයක් නෑ. විඩෙන් විඩේ එබෙන්න නෑ. කෝල් බෑක් කර කර හොය හොය බලන්න නෑ. දවස යෙදවෙන්නෙ එක වැඩකට නම් ඒ වැඩේ මිසක් වෙන කිසි දෙයක් ඔලුවෙ ඒ මොහොතෙ නෑ. කොතරම් සරල වෙනවද කියල අත් විඳින්න , මන් කියනවට එක දවසක් ජංගමේ ගෙදර දොයි කරල ගිහින් බලන්න. හම්මේ... හිතට දැනෙන සනීපේ! 



ජංගමේ බැටරි කාබාසීනියා වෙලා දවස මැදදි එයා දොයි වෙලා තියේද? හා කියන්න බලන්න එතකොට හිතට දැනෙන සනීපේ... මොන සනීපයක්ද ? ජීවිතෙන් හරි අඩක්ම අකර්මන්‍ය වෙනවා. අම්මල මාව හොයාවිද? ගෙදරට ගේන බඩු ටික අහගන්නෙ කෝමද? ගැනු ලමයා කෝල් දීලා බලලා බය වේවිද? බොස්ට මාව ඕනෙ උනොත් කන්ටෑක් කරන්නෙ කෝමද? බැන්කුවෙන් පන්සලෙන් පල්ලියෙන් කතා කරාවිද? අද හවස 3ට ගන්න තිබ්බ පණිවිඩේ ගන්නෙ කෝමද? හවසට යන්න උන්නු ගමන සෙට් කරගන්නෙ කොහොමද? අනේ දෙයියනේ ප්‍රශ්න කෝටියයි.... උත්තර නෑ. ඇයි ජංගමේ අස්සෙනේ ඔක්කොම විසඳුම්! හොඳ වැඩේ...!  ඇයි කලින් ලැස්ති කර නොගත්තේ... හොඳම වැඩේ! :)




ජංගමේ තව සෝයි උදව්වක් කරනවා! අපිට කල් තියා වැඩ නොකරන, අන්තිම මොහොතෙ වැඩ කරන, කාලකන්නින් වෙන්න පුදුම තල්ලුවක් නේ දෙන්නේ... ඔන්න බලමු...හෙට හවස බැංකුවට යන්න තියනවා. ගිණුම් අංකේ ඕනේ හෙට හවස වැඩේට . ජංගේමේ ඉන්නවා. මොකට දැන්ම කරදර වෙනවද? හෙට එලියට බහිද්දි ඕනෙත් නෑනෙ.ඔන්න ඔහෙ හොයන්නෙ මොටද... තිබ්බත් එකයි නැතත් එකයි. ඇයි ජංගමේ ඉන්නවා. හෙට හවසටම ගෙදරට කෝලයක් දී අම්මගෙන් අහගන්නවා. අම්ම වැඩ ඔක්කොම නතර කරල ගේ පීරල පීරල හරි අංකෙ හොයල කියන්නෙ නැතැයි අපිට....!  'මේ කාලකන්ණියා, මේක කලින් හොයල අරගෙන යන්නෙ නෑ' කියල හිතින් බැණ බැණ හරි ගෙදර ඈයෝ , මේ දුරස්ථ , කඩියා මූඩ් යන්තරේට පින් සිද්ද වෙන්න , ඉතින් සැම දේ සැම තැන , වෙලාවක් අවේලාවක් නොබලා සපයන්න ලේස්ති වෙලා ඉන්නවා...

ඔන්න මම වෙනද වගේ අ‍ටුවාටීකා ටිප්පනි , සමාප්ති උපදේස ලියන්න යන්නෙ නෑ අද. මන් කියනවට, මේ ජීවිතේ මල් කියනවට , එකම එක දවසක්, ඔය "කඩියා මූඩ් ප්ලෑන් වෙනස්කිරින් මැශින්" එක ගෙදර දාල ගිහින් බලන්න. ශා... දැනෙන සනීපේ....!



ඔන්න අන්තිමේට ජීවිතේ මල්ට ලස්සන සින්දුවක් මතක් උනා... මේක සරා සිහින හි තියන එකක්. 

ගයමු ගීයක් දැන් අපි නිදහසේ...
නොගැයු ලෙස කිසිදා  ඔබෙ ජීවිතේ

දසත රැව් දීලා 
හදවත් පිනවලා 
සොඳුරු දිනයකදී 
හිරු ලොව එලි කලා 

සුන්දර වෙනසක චායා පෙනේවි
දසතේ සොඳුරු හෑඟුම් පෑතිරේවී
සිනා හඬක් ඉතිරී යාවී ඔබෙ හදවතේ...

හිනාම යන කෑල්ල කියන්නද...? මේ සින්දුව අහල බලන්නකෝ.. සන්දුක්කේ.. බාතිය සන්තුස් මල්ලිලා මට මේ වෙලා හිතිච්ච මේ ගීයත් විකුනලා තියෙන්නේ ජංගමේට උඩගෙඩි දෙන කොම්පෑනියකටමනේ... හනේ... සන්දුක්කේ... :)


ගීය අහන්නකෝ...


ඔන්න මම ආයෙත් ඉල්ලනවා..... මම කියනවට, මේ ජීවිතේ මල් කියනවට , එකම එක දවසක්, ඔය "කඩියා මූඩ් ප්ලෑන් වෙනස්කිරින් මැශින්" එක ගෙදර දාල ගිහින් බලන්න. ශා... දැනෙන සනීපේ....!

[123] එන්න මාත් එක්ක.. හැබැයි අඬන්න...

ගොඩම ගොඩ කාලෙකින් මම මේ ගීයක් එක්ක ආයෙමත් දැහැන් ගත වෙන්න යන්නෙ. මේ ගීය ඇහුන දවසෙම මට දැනුනෙ කවුදෝ කොහෙන්දෝ කාගෙදෝ ජීවිත කතාවක් හොරකම් කරලා ඒ කතාවට ලස්සන වචන අමුණලා තාලයක් යොදලා ගයන්නා වගේ.... සුනිල් එදිරිසිංහ මේ වගේ ගීත කොහෙන් හොයා ගන්නවද මන්දා :)



~"~
හඬන පණ නළ
යදින සැනසුම
දැවී යයි හද චිතකයේ...
 කඳුලු බිඳුවක
සිසිල පමණකි
වියලි කතරට හිමි වුනේ....

යොවුන් සිතිවිළි
විපිලිසර වී
මහලු ලොව තුල මිය ඇදේ
සයින් පීඩිත
හඬන සුර ගුරු
යදී සිඟමන් මාවතේ

රකුසු පියසක
පිපුනු කුසුමට
මලෙවි හමු වන පින නැතේ
දෑස නැති විට
නුහුරු මං පෙත
සරන පා යුග පටලැවේ...
 ~"~


"මම දන්නෙ නෑ මම කොහෙද යන්නෙ කියලා. ඒත් මගෙ හිත මේ දේ කිව්වා"
"මොකක්ද?"
"ඔයා දන්නවා මොකක්ද ඒ කියලා.."
"හ්ම්ම්"
"මම අසරණයි තමයි... අනේ ඒත් මට අනුකම්පා කරන්න එපා"
"පිස්සුද රත්තරනේ.මොනවද ඔයා මේ කියවන්නේ... . "


හ්ම්ම්... කිරිල්ලි දිහා ජීවිතයත් , ජීවිතේ දිහා කිරිල්ලිත් බලාගෙන ඉන්නවා.... මට මේ වෙලාවෙ මගෙ කන් දෙක අස්සෙ ඇහෙන්නෙ සඳ මිතුරී ගීතය... දුරකථනයෙන් මිදිලා ඉයර්ෆෝන් එකෙන් එලියට එන සඳ මිතුරියට , කසුන් කල්හාර අනුන්ගෙ තාලයකට , අයදිනවා... 'සඳ මිතුරී .. සිත මිහිරී කල මැනවී... කියලා... "ඒකටත් මට හිනා.. ඈයි දෙයියනෙ.. කියන්නෙ එකක්.. කරන්නෙ එකක්... :) මාත් එහෙමද මන්දා... දැන් මම ලියනන් හිතුවෙ එකක්. ලියන්නෙ තව එකක්.


ගීය අහමුද මෙතනින්...

Monday, November 22, 2010

[122] හොඳ වැඩේ... ! කිව්ව නේද හුස්ම ගන්න එපා කියල ??



සිහින යනු මා විසින් අත් හැරිය යුතු දෑ තුල ‍රැඳවිය යුතු බව ජීවිතය මට කියන්නා සේ මට හැ‍ඟෙයි. මේ ඔක්කෝම සිහින තුල ආස්වාදය මිස අරමුණු නැතැයි හිත නොව හිස මට සන් කරයි. ආස්වාදයට ලොබ බඳිමින් ආස්වාස ප්‍රශ්වාස කරන සිහින එක එක මියෙන විට මට මා සමගම උපදින්නේ තරහවකි. මන්ද ආස්වාශය සමග සිරුර තුල කි‍ඳෙන සිහින ඇසිපිය හෙලන සැනින් බිඳී යන්නේ සිරුරටත් නොදැනීම සිරුරෙන් ඔබ්බට විසි වෙන ප්‍රශ්වාසය ලෙසින් නම් මා කොතරම් වාසනාවන්තද? එහෙත් යථාර්ථය එය නොවේ. වංගු ගණනාවක් වෙහෙසින් පසු කරන කඳු හෙල් මිටියාවත් අස්සෙන් ඇදෙන දුම්රියක් සේ ආයාසයෙන් සිහින සහ සිහින වලින් පොදි ගැසූ බලාපොරොත්තු කරමත පටවාගත් බර හුස්ම සිරුරෙන් හෙමි හෙමින් ආයාසයෙන් මිදී යයි. මායාවක් පමණක් වූ අතීතය මට ශේෂ කරමින් සිහින සියල්ල මියෑදෙයි....


ලුහු බඳින්නේ... මොනවාදෑයි හිත අසයි... කොටින්ම හිත මට හිනහ වෙයි.... අනේ උඹ.... ! මම කිව්ව නේද හුස්ම ගන්න එපා කියලා.. ??? හුස්ම ගත්තෙ නැතිනම් මේ මුකුත් නෑ... 

~"~


ගූගල් බස්(Google Buzz) එකේ රවා මල්ලි මට කවුන්ටර්පොයින්ට් එකකුත් දාල තිබ්බා.. ඒකත් දාන්නද ?

සිහින යනු ඔබ විසින් අත්නොහැරිය යුතු දෙ යන්න මා ගෙ සිතුවිල්ලකි. බලන්න අවට ලොකය දෙස. මිනිසා පියාඹයි. මිනිසා වේගයෙන් යයි. සැතපුම් දහස් ගණන් ඇත ඇති හදවත් එකිනෙක හා ගැටි ආදරයෙන් බැදෙයි. මෙ සියල්ලම සිහිනයන් හි ප්‍රතිපළ වේ. මාගෙ ජාතියෙහි මිනිසෙකුගෙ නමක් එ සිහින දැකපු මිනිසුන්ගෙ නම් අතර නොතිබිම මට ඉතා කණගාටුවකි.

සිහිනයන් තුල ජිවත් වෙන බොහො අය කිසිවක් නොකර මෙලොවෙන් සමුගනි. නමුත් කිපදෙනෙක් කරන කියන දේ සදාකාලික ලෙස මිනිස්ලොව තුල පවති. සිහින දකින්න. දුවන්න වැටෙන්න හිනාවෙන්න අඬන්න. තමන්ගෙ ජිවිතෙ තමුන්ගෙ විදියට ජිවත් වෙන්න.
 


මම ලිව්ව කෙටිම පෝස්ට් එකද මන්දා.... :)

Saturday, November 20, 2010

[121] කුඩයක් අරන් ආවොත් බලාගෙනයි !!! :-)

දවල් දවස හෙමි හෙමීට අහවර වෙද්දි මන්දාරමක් අහසින් එබිකම් කරන්න ගත්තෙ හිතපු නෑති වෙලාවක... ජනේලෙන් එලිය බලද්දි කලුවර වෙච්ච අහස පෙනුනෙ මාත් එක්ක නොරොක් වෙලා වගේ. අපලෙට පහන් පත්තු කරන්න පන්සල් යන්න ඉන්න ගමන ඇබෑද්දියකින් තොරව නිම කරන්න ලැබේවා කියල පතල අහක බලන්න කලියෙන් මෙන්න වෑහි බිඳු එක දෙක වැටෙන්න ගත්තා... මහා හයියෙන් ..


කඩිමුඩියෙ ඈඳ පෑලඳගෙන අපි පන්සලට යනකොට මෙන්න දෙගොඩ තලායන වතුර පිරිච්ච පන්සල! හිත ඇත්නම් පත කුඩාද ? අත් හැරියෙ නෑ.. පුරසඳයි මායි පුරසඳ අයියයි (හාහා පුරසඳ ගේ මහත්තයා හෙවත් මගේ මස්සිනා) තෙමි තෙමි පත්තු කරපු පහන් වැට තමයි මේ පහලින් තියෙන්නේ. :)




එතනින් එහා මේ වෑස්සෙ චිරි චිරි ගගා කුඩේ යටින් තෙමෙමින් මුවා වෙමින් ලා කරුවලේ ගෙදෙට්ට ගොඩ වෙන තුරු තිබ්බ හැතැම්ම බාගෙ අතරතුර මට කීපාරක් නම් හිතුනද, අනෙ මේ කුඩේ විසි කරල දාල කෑ ගගහ කෑරකි කෑරකි වැස්සෙ තෙමෙන්න...! 


කුඩේ විසි කලොත් කුඩයක් කෝ..? ඇඳුම් තෙමේවි.. ඇඟට ඇලේවි.. රට්ටු හිනා වේවි... රට්ටු වැරදියට බලාවි..වයසෙ හැටියටද වැඩ? ඔහොමද හැසිරෙන්නෙ..? ගුරුවරියෙක් නේද? ලැජ්ජ නැද්ද? ඊය ජරා වතුර ... මොන ජරාවක් ඇද්ද? හෙම්බිරිස්සාව හැදේවි... ලෙඩ වේවි .. ඉස්කෝලෙ යන්න බැරි වේවි!


හප්පේ... කීයක් ජාති හිතන්නද ?  ඔය ඔක්කොම එක පාර හිතෙද්දි මට ආයෙමත් පුරුදු ලෙසම කොලඹ හතේ ඉස්කෝලෙට හිත දුවගෙන ගියා...


වැස්ස වැටෙන එක තරම් අපෙ පොඩි උන්ට සන්තෝසයක් තවත් නෑ නෙව. කිව්වම විස්වාස කරන්න. අපෙ ස්කෝලෙ ඔච්චර කිරි සුදු කෙල්ලො ඉන්නව. එක කෙල්ලෙක් කුඩයක් පාවිච්චි කරන්නෙ නෑ. අව්වටවත් වැස්සටවත්.! විවේකයක් එනකල් මේ දඟකාර ඇස් ඇඟිලි ගනිනව. එලියෙ වැටෙන වැහි බිඳු දිහා බලාගෙන... ඔන්න එක නිමේශයයි.... මී මැහි පොදියම පිට්ටනියෙ.. එකෙක් දෙකෙක් පෝරිසාද ලමයි ටිකක් විතරක් නෙමෙයි. මුලු ඉස්කෝලෙම..!. කොටින්ම නිකම්ම නිකම් වැස්සක් නෙමෙයි.. වැහි සන්දර්ශනයක් වගේ. මුලු ඉස්කෝලෙම වැස්සෙ තෙමෙන්න එලියට බහිනව. හරියට ලෝකෙ දැකපු පලවෙනි වැස්ස වගේ. ආයෙ කවදාවත් වහින්නෙ නෑ වගේ... ලමයි හැමෝම එකිනෙකා බදාගෙන සන්තෝසය උතුරන ඇස් වලින් යටි ගිරියෙන් කෑගහමින් වෑස්සෙන වතුර බිඳු වල ආස්වාදය ලබනවා. මේව බොරු කියලද හිතන්නේ? මේ ලංකාවේ.. ඉස්කෝලෙක ඇත්ත කතාවක්... මට දුකයි පින්තූරයක් නැති එක ගැන... :(




තෙමෙන නිල ඇඳුම් ගැන, ඊලඟ පන්තියට තෙමිච්ච ඇඳුම් පිටින් යන එක ගැන, හෙම්බිරිස්සාව ගැන එක්කෙනෙකුටවත් වගක් නෑ. තෙමිච්ච ඇඳුම් පිටින් ඊලඟ පන්තියට යන ඒ ඇස් වල දකින නිර්ව්‍යාජ තෘප්තිය දකිද්දි , ලැබ් එක අස්සෙ කැරකෙන පුස් ගඳට බනින්න හිතෙන්නෙත් නෑ... :)  මේ ලස්සන දසුන බලන හැම වැහි දවසකම මගෙ හිත කියන්නෙම, අනේ මේ පොත් මිටිය විසි කරල දාල මටත් ඒ මැද්දට පැනගෙන නටන්න තියනවනම් කොච්චර හොඳද කියලයි.


ඕශෝ වෙලාවක මෙහෙම කියනව. දරුවන්ට වැස්සෙ තෙමෙන්න ඉඩ දෙන්න! ඒ වැස්සෙ ආස්වාදය, තෙමුනම දැනෙන සැහැල්ලුව නිදහස ළමා මනසට අහිමි කරන්න එපා කියලා. හෙම්බිරිස්සාව හැදුනම මොකෝ.... හැදුනොත් බේත් බොනවනෙ... :)


සුදු ගවුමෙ රැලි අතින් පිරිමැදල පුටුවෙ වාඩි වෙච්ච අතීතය මට මතක් උනා. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඕනෙ දූවිලි ගොඩක වාඩිවෙන මේ දඟයො දකිද්දි මට හිත කීවෙ අපි ඔය 'Neatness' හොයන්න ගිහින් කොතරම් ලස්සන අත්දැකීම් ගොඩක් අහිමි කරගෙනද කියල. හිත හඬා වැටෙනව දැන් නම් , ගෙවිල ගිය කමකට නැති , වැඩි පරිස්සම් ලමා කාලය ගැන. !  




ඕශෝ.... මෙන්න මෙහෙට එන්න. ... අතීතෙට අපිව අරන් යන්න... වැහි දවසට , එකෙකුට ඉඩ දෙන්න එපා කුඩයක් ගේන්න ! :-)






Friday, November 12, 2010

[120] ඉස්කෝලෙන් ආව ඈත්ත කතා දෙකක් !

එදා හරිම ලස්සන දවසක්.දහය වසරෙ දෙමාපියන් අපිව හමුවෙන්න ආව දවස ගැනයි මේ... මගෙ පන්තියෙ ලමයි හය දෙනයි. ඉතින් දීල තියන කාල වෙලාවක් අනුව ඒ අතර පරතරය වෑඩියි. විවේකය වැඩියි. දෙමාපිය දෙපලවල් හය කඩින් කඩ එන යන අතරතුර මම එලි පහලියේ කොරිඩෝවට වෙලා සගයන් එක්ක පොඩි කතා බහක යෙදුනෙ ඒ නිසා. ඒ වෙලාව එලි පහලියෙ ‍රැඳුන එක කොයි තරම් හොඳ ද කියා මට හිතුනෙ,  ඒ අහඹු හමුවීම් දෙකම නැතිනම් මට මගෑරෙන නිසා. වාසනාවට එහෙම උනේ නෑ.




(.........1.........)
ඈ එදත් අදත් හරිම සන්කර කෙල්ලක්. මීට අවුරුදු 2 කට උඩදි වෙනත් සංකර පාසලකින් මගෙ 8 වසර පන්තියට ආව ලස්සන කලු කෙල්ලෙක්. ඈ එනකොට හරිම අහිංසකයි. හොඳයි. ඒත් ආ දා හිටම වැඩට නම් ටිකක් දුර්වලයි. ලකුණු 10,20 වගෙ තමයි ගත්තෙ. මාත් ඉවසිල්ලෙන් බලන් උන්නෙ ඈ පාසලට හැඩ ගැහෙන තුරු.ඈ හරිම අවධානෙන් පාඩම අහන් උන්න දැරිවියක්. ඒ නිසා මගෙ හිත හැමදාම කිව්වෙ මට මේ ලමයව හදා ගත හැකියි.උගන්න ගත හැකියි. මොකද හැසිරීම හොඳ නිසා. ඒත් අවුරුද්ද අහවර වෙනතුරුම ඒක හැදුනෙ නෑ. ඒ මදිවට හෙමි හෙමීට මාත් එක්ක උරණ මූඩ් එකකුත් ඈගෙන් ඈඟවෙන්න ගත්ත. මගෙ අනතුරු ඇඟවීම් සම්බන්ධව ඇගේ සතුටක් නෑ වගෙ මටත් තේරුනා.ඒක අපෙ ඉස්කෝලයෙ ලමයින්ගෙ හැටිනෙ. එයාල එයාලගෙ අභිමානය ගැන හරියට හිතන අය. ඉතින් මම බලන් උන්නා. 8වසර අවසාන දෙමාපිය හමුවෙදිත් ඉතින් ඈගේ දෙමාපියන්ට මගෙන් අහගන්න උනේ හොඳ ප්‍රතිචාරයක් නම් නෙමෙයි. මගෙ සිරිත කොහොමත් ඔය හැම අඩුපාඩුවක්ම දෙමාපියන්ගෙ හිත රිදුනත් නැතත් කෙලින්ම කියන එක.ඔන්න ඉතින් ඒ අවුරුද්ද ගෙවුනා.


ඈ මෙන්න මගෙ 9 පන්තියෙත් ! ගිය අවුරුද්දෙ. මෙන්න අලුත් සෙල්ලමක් ඒ පාර. ඈ පෙම්වතියක් වෙලා. පෙම්වතාත් මගෙ පන්තියෙමයි. අපෙ ඉස්කෝලෙ ආදරය කියන මාතෘකාව අදාල හෝ අනදාල එහෙමත් නෑත්නම් අනුමත හෝ තහනම් මාතෘකා නෙමෙයිනෙ..මතකනෙ මගෙ රෝස මල් දවසක් ලිපිය. ඉතින් ඒ තත්වෙ මත මම හිත කරදර කරගත් එකම දේ මේ කෙල්ල තව තවත් පිරිහේවිද කොල්ලා නිසා වත් ඉගෙන ගනීවිද කියන එක විතරයි.ඉතින් මම බලන් උන්නා. තත්වෙ නරක් උනා මිසක් දියුණු උනේ නෑ. කෙල්ල එන්න එන්නම වෑඩ අත් හෑරියා. කොල්ලා කට්ටයා. කොල්ලා කටකාරයා.. දඟයා. ඒ වගෙම වැඩත් කරන දස්සයා.. ! ඔන්න ඉතින් පලමු දෙමාපිය හමුව ආවා. දැන් කෙල්ල ගැන අම්මලත් කණස්සල්ලෙන්. මේ ලව් පලහිලවුව නිසා උන්න තැනවත් ඈ රැක නොගනීවි කියන බය. දෙමාපියන් ඈ ඉදිරියෙම මට මේ ගෑන කිව්වෙ හිත් වේදනාවෙන්. ඉතින් මම කිව්වෙ,

" මට කියන්න බෑ ඔයාට ඔය දේ කරන්නවත් නවත්තන්නවත් කියලා. ඒත් මම දුක් වෙන එකම දේ හෙමීට හොඳට හදා ගනන් පුලුවන් හොඳ මොලයක් තියන ඔයා මේ ජීවිත දෙක බැලන්ස් නොකරන එකයි. ඒක හදා ගන්න. එතකොට ඔයා හොඳ ආදර්ශයක් වෙනවා අනිත් අයටත්.ඔය වයසෙ සිතුම් පැතුම් මට තේරුම් ගන්න බැරි නෑ. ඒවට මම විරුද්දත් නෑ. ඒත් ඒවත් එක්කම අනිත් දේවල් ජීවිතේ ඉතාම වැදගත් බව හිතන්න " 

කාලය ගත උනා. කෙල්ල ටිකෙන් ටිකෙ කොල්ලගෙ ඇඟේ එල්ලෙන එක අඩු උනා. පොත පත අතගාන්න, ටිකක් මාත් එක්ක කතා බහ කරන්න , දන්නෙ නැති දේවල් අහගන්න පටන් ගත්තා. ඈ දැන් පීල්ලට වැටී ඇති සෙයක් පෙනුනා. බලන් ඉද්දි ඈ වෙනස් උනා. ගොඩාක් සංවර විනීත ලමෙක් උනා. මාත් එක්ක හරිම ආදරෙන් ගනුදෙනු කරන කෙනෙක් උනා. ඉතින් අවසාන වාර විබාගෙ ඈ ඉතාම හොඳ ලකුණුත් සමග සමත් වී තිබුනා. ඉතින් මම ඇගේ අවසාන වාර රිපෝට් පතේ මගේ විෂය ගැන පෞද්ගලික සටහන ඒ පාර ලිව්වෙ හරිම සතුටෙන් . දෙමාපියන් හමුවෙදිත් මම ඒ ගැන උදම් ඇනුවා. අම්මයි තාත්තයි ගොඩාක් සතුටු උනා.
ඊලඟ වසරත් ආවා. ඈ මගෙ පන්තියෙ නෙමෙයි. ඒත් එදා වෙනත් ගුරුවරියක් හමුවෙලා පිට වෙලා යන ඈගේ දෙමාපියන් මා ගාව නැවතුනා.

"මිස් අපිව මතකද ?  ... ___ ගෙ පේරන්ට්ස්ලා. "
'ඔව් ඔව් මට මතකයි. දෑන් කොහොමද එයාගෙ වැඩ? හොඳයි නේද දැන් ?" 
"ඔව් මිස්. දැන් එයා හොඳට වැඩ කරගෙන යනවා. ඒකට සම්පූර්ණ ගරුත්වය ලැබෙන්න ඕනෙ මිස්ට..එදා මිස් කිව්ව දේවලින් එයා හැදුනා .... දැන් එයා ගොඩාක් හොඳයි.. හැම ගුරුවරයෙක්ම එයාගෙ හොඳ කිව්වා. ඒ මිස් නිසා. මිස් එදා කිව්ව දේවල් නිසා. ගොඩාක් ස්තූතියි"

මම බිරන්තට්ටු වුනා. එච්චර වෙනසක් උනාද. ? මගෙ හිත අනෙ මන්දා ආඩම්බරයකින් වගෙ සිතුවිල්ලකින් ඉපිලෙන්න ගත්තා.  

දෙවියනේ එහෙනම් මම තව ජීවිතයක් වෙනස් කලා.!




 (........2........)
ඔය කිව්ව පන්තියෙම හිටිය අන්ත දඟ කොලුවෙක්. කොල්ල දඟයා විතරක් නෙමෙයි මැරයා. බාස්කට් බෝල් කණ්ඩායමේ ඉන්න හොඳ ස්පෝටි ඒ වගේම නාහෙට අහන්නෙ නැති , ඒ වගෙම මුලු ඉස්කෝලෙම ජනප්‍රිය දඟයෙක්. හැමෝම එයාට ආදරෙයි. එයාගෙන් වද විඳින කරදර විඳින ටීචර්ස්ලා ඈරෙන්න !


පන්තියෙ එක විදියකට ඉන්නෙම නෑ. එන්නෙ වෙලා ගිහින්. පොඩ්ඩක් හරි සැර උනොත් ආයෙමත් අනිත් පැත්තට අපිට සැර වෙනවා. කොටින්ම පන්තිම යුද්ද පිටියක් වගේ. මේ කොලුව මටත් හරිම හිසරදයක් වෙලා උන්නේ. පලවෙනි දෙමාපිය හමුවත් යුද්දයක් වගෙ උනා.කොල්ල මට කතා කරන්න දෙන්නෙ නෑ. අම්මලට කතා කරන්න දෙන්නෙත් නෑ. එන්නෙම වලියට. අන්තිමට මටත් රවලම කට වස්සන්න උනා. කොටින්ම එදා පෑය කාලක් වගෙ වෙලාවක් අල්ලගෙන බණ කිව්වා. ඒත් වැඩක් උනෙ නෑ. කාලය ගෙවුනා . දඟකාරකම අඩු උනේ නෑ. වාරයත් ගෙවුනා. 8 වසර අහවර වෙද්දි කොල්ලයි මායි අන්තිමේට නයි වෛරයි. මම කියන කිසිම දෙයක් කොල්ල අහන්නෙ නෑ. අන්තිම දෙමාපිය හමුවත් ආවා. එදා නම් මම දුන්නා තෙල් බේත. බොහොම ආදරෙන් කරුණාවෙන් මම කිව්වෙ එක දෙයයි.

"ඔයා හරිම ජනප්‍රිය කෙනෙක්.ඔයා දඟ වෑඩක් කරද්දි වටේ ඉන්න ඔයාගෙ යාලුවො ඔයාව විහිලුවක් කරල ඔයාගෙ මෝඩ වෑඩ වලට හුරේ දානව. ඔයාත් දඟලනවා. ටීචර්ස්ලත් එක්ක රණ්ඩු වෙනවා. යාලුවො ඔයාගෙන් ප්‍රයෝජන ගන්නවා විවේක වෙලාවට නටවන්න... ඔයා නැටවෙනවා. ඔයාගෙ වටිනාකම ඔයාම පල්ලෙහාට දා ගන්නවා. හොඳ මොලයක් තියෙද්දි ඒක නාස්ති කරනවා. ඔයා ස්පෝට්ස් වලින් ගොඩක් හොඳ කෙනෙක්. ඉතින් ඔයාට ආඩම්බර වෙන්න ආස නැද්ද කවද හරි අන්න මේ කොල්ල ඕල්රවුන්ඩර් කෙනෙක්.ඉගෙනත් ගත්තා. හොඳට එක්ස්ට්‍රා වැඩත් කලා" කියලා? ඒ නිසා අනුන්ට විහිලු සපයන්න එපා.ඒ ගොල්ලො ඔයාගෙන් විහිලු අරගෙන හිනා වෙලා ලස්සනට පන්තියෙ ඔක්කොම වෑඩ ටික කර ගන්නවා. ඔයා ? අනිත් අයට උවමනාවට නටනවා. ගුරුවරුන්ගෙන් ප්‍රශංසාවක් අහන තැනට එන්න.යාලුවන් ගෙන් ප්‍රශංසාවක් අහන්න නෙමෙයි ඕනේ. "

ඉතින් කොල්ලයි කොල්ලගෙ අම්මයි තාත්තයි ඔක්කොම සාවධානව අහන් උන්නා.  කාලය ගෙවුනා. කොල්ලත් 9 වසරෙ මගෙ පන්තියේ. මට පලවෙනි දවසෙ හිතුනෙ ඉර අනිත් පැත්තෙන් පායනවවත්ද කියල!වෙච්චි වෙනස කොයි වගෙද දන්නවද ? අදහන්නත් බෑ.. කොල්ලා මගෙ පන්තියේ හොඳම දක්ශම ලමෙක් වෙලා 9 වසරෙන් එලියට ගියා. බාස්කට්බෝලුත් ගැහුවා(අදටත් ගහනවා)..පන්තියෙ හැම වැඩේම අපූරුවට කලා. නොකරන අයවත් වැඩ කරන්න පොලඹන්න තරම් ආදරනීය යහපත් ආදර්ශයක් උනා. කොටින්ම තමුන් මැණිකක් කියලා පෙන්නුවා. මම දිගින් දිගටම කිව්වෙ එක දෙයයි එයාට. 

"මම ඔයාව ගොඩක් විස්වාස කරනවා. ඔයා ආයෙත් වෙනස් වෙන්නෙ නෑ කියලා. ඒ විස්වාසෙ තියන්න. ඒ සතුට හෑමෝටම දෙන්න "

ඉතින් ගුරුවරුන්ට ආදරේ , හැම විභාගෙන්ම 80ටත් වඩා ලකුණු ගන්න, හොඳම ලමෙක් වෙලා, මගෙ ප්‍රියතම චරිතයක් වෙලා, ඒ අවුරුද්දම හරිම ආස්වාදනීය පන්තියක මතක මට දීල, මේ කොලුවා ඈතුලු දරුවො ටික 10වසරට ගියා.
9 වසරෙ අන්තිම දෙමාපිය හමුවෙදි මම ඒ දෙමාපියන්ට කීවෙ එකම දෙයයි.

"මට දෑන් මෙයා ගෑන කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ. එයා විහින්ම තේරුම් ගත්තා තමුන් කොච්චර වටින කෙනෙක්ද කියන එක. ඒකට සහයෝගය දීපු ඔයාලටයි මේ දරුවටයි මම ස්තූති කරනවා. දෑන් එයා ආයෙ කවදාවත් තමුන්ගෙ චරිතෙ නරකට ඈද ගන්නෙ නෑ. ඒක ආයෙ කවදාවත් වෙන්නෙ නෑ. මම මේ දරුව ගැන ආඩම්බර වෙනවා"

  ඒ දෙමාපියො ගියේ මොන තරම් සතුටකින්ද කියලා මට අදත් මතකයි. ඒ දඟකාර කොලුවගේ ඈස් වල කඳුලු පිරිල තිබුනා එදා පිටවෙලා යද්දි.... මමත් ඈත්තටම හෑඟුම්බර උනා. ඒ දෙමාපියන් එදා මුව නොසෑහෙන්න ස්තූති කලා.


එදා...10 වසරට උගන්නන ගුරුවරිය හමුවෙලා යද්දි ඒ දෙමාපියන් මා ගාවත් නැවතුනා.

"අහ් _____ ගෙ අම්මයි තාත්තයි නේද?" මම ඇහුවා


"ඔව් මිස්. අපි මේ මිස් ඉන්නවද බලන්නයි ආවෙ. මිස් නිසයි එයා හොඳ ලමෙක් උනේ. දෑනුත් ටිකක් දඟයි . ඒත් එයා දැන් හරිම හොඳයි " 
ඔවුන් කිව්වෙ ඇත්තටම හැඟීමකින්.

"මම කල දෙයක් නෑ ඈත්තටම. එයා තමයි එයාගෙ වටිනාකම තේරුම් ගත්තේ. එයා ආයෙ වෙනස් වෙන්නෙ නෑ.කාටවත් එයාව නරක් කරන්න බෑ.බය වෙන්න එපා.. මොන පන්තියට ගියත් මම එයා දිහා බලන් ඉන්නවා. "

"ගොඩක් ස්තූතියි මිස්.මිස් තමයි ඒ වෙනස එයාට කලේ. "  
ඔවුන් තවත් මොහොතක් නැවතී එහෙම කිව්වේ හරිම සංවේදී විදියට....

"මටත් එයාව දකින හැම වෙලාවකම දැනෙන්නෙ හරිම සතුටක්." 
මගෙ හදවත ආයෙමත් පිනුම් ගහන්න ගත්තා වගේ හිතුනා.


ඔවුන් මගෙන් සමුගෙන ගියේ මගෙ හිතට එකම එක සිතුවිල්ලක් ඉතුරු කරමින්.

~~()~~


ඔය පොත් පිටු එක එක ලපටි දඟකාර මොල වලට අසීරුවෙන් ඔබ්බවන්න කලියෙන්, උන්ට කෑකොස්සන් දෙන්න කලියෙන්, හදවතින්ම එන සංවේදී එක වචනෙකින්, අම්මෙකුගෙ තාත්තෙකුගෙ කණස්සල්ලක් දුරලන්න, දරුවෙකුගෙ සම්පූර්ණ අනාගතයක් උඩු යටිකුරු කරවන්න සමත් බලවේගයක් මේ ලෝකෙ ඉන්නවනම් , ඒ ගුරුවරයෙක් විතරමයි...  

~~()~~


නයා පාරක් නම් තමයි. ඒත් මදහත් සිතින් බලලා ගත යුත්තක් ගන්න කියන අදහසිනුයි මේක ලිවුවේ. මම ගැන කියන්න නෙමෙයි හොඳේ... :) 

දෙවියනේ එහෙනම් මම තව ජීවිතයක් වෙනස් කලා.!


[119] මලක් ගැන පොඩි කතාවක්!

හිස් බොල් පොලව මත
ගෙන්දගම් සැර,
සුවඳක්මැයි කියන...
එහිම වැතිර ඉඳින...
ඒ පොලොවම
සිඹින,
දාහකුත් එකක් මල් මැද...


එහි වැතිර මුත්,
හිරු කිරණ
දිලෙන
වැගිරෙන,
අහස් කුස දෙස
අසීරුවෙන් මුත්
එබෙන..
වැඩියෙ නැති මුත්,
එක් මලක් හෝ
 ඇත දෙරණ.....

කවිය පිටුපස කතාවක්:
ඈ ජීවිතයේ බොහෝ සුව පහස් අඩවියකින් කටුක අමිහිරි අතීතයකට ඈද දමනු ලෑබුවේ දෛවය හෝ අවාසනාව විසින් විය හෑකිය. ඒත් ඒ වෑටුන තෑනින්ම නෑගිට අද හෑමටත් වඩා හොඳ ජීවන දෑක්මකින් මිනිසුන් දෙස බලන , ලෝකය තනන්නට පෙර තම සිත තෑනූ දුර්ලභ චරිතයක් ඈ. ඈ අද මගේත් මාර්ගෝපදේශිකාවක් කීවොත් නිවෑරදියි. මේ ඈ ගෑනයි. ඔබ සෑබවින්ම ජීවිතය දිනූ කෙනෙක් සහෝදරී. :) හරියට මේ පොලොව දිහාට හෑරිල කුසීතව ඉන්න සේපාලිකා මල් අතරෙ අහස දිහාට හෑරිල තම ගුණ සුවඳ පෙන්වන සේපාලිකා මල වගේ.... 
Picture Courtesy : Pethum Weerasinghe (http://www.flickr.com/photos/30774322@N00/4684044794)
ස්තූතිය: තම ප්‍රාණ සමාන වටිනා ඡායාරූපයක් නිර්ලෝභීව කවිය සඳහා යොදා ගෑනීමට අවසර දුන් පෑතුම් වීරසිංහ මල්ලිට... (http://www.flickr.com/photos/30774322@N00/4684044794)


Monday, November 01, 2010

[118] ආදර පන්තිය සහ ගුරුතුමිය


බලන් ඉන්න...
ප්‍රශ්න අහන්න....
කියන්න ඉඩ දෙන්නම්..
අහන්නම්...
අකීකරු නොවී ඉන්නම්

දන්න ඔක්කොමම
කියලත් දීලා....
හිතේ බරක් නෑතිව
උන්නු ඔය හිතට
ආදර පාඩම පටන් ගන්නම්...

ඔහේ පාවුන
ඔය කඳුලු ටික විතරක්
නොයිඳුල් සුස්ම ටික විතරක්
මම ගන්නම්...


හිත කියන කලු ලෑල්ලට
රිදෙනකම් පාඩම් කිය කිය
හිස් පුටු මේස වලට
උගන්නන්නම් ආදරේ අරුම

පන්තිය ඉවර උනහම
අරන් යන්නම් කඳුලු ටික
ගිහින් අමුණන්නම්
ආදර මුතු ඈටයක්
අතීතෙට...

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->