Sunday, August 09, 2015

[320] අනුරපුර වැඳ ආමි ..

ඔන්න ඉතින් අපි අනුරාධපුරේ ගියා. මේ චාරිකා සටහන කියවන ඔයාලගෙන් ගොඩ දෙනෙක් දැනටමත් අනුරාධපුරය දහ දොළොස් වතාවක් වැඳලා ඇති. ඒත් කාලයත් එක්ක ගම නගර වෙනස් වෙනවා. සමහර අකරතැබ්බ නොවෙනස්ව හැමදාම සිදු වෙනවා. මේ සටහන ලියන්නේ මේ දවස් වල අනුරාධපුරේ යන ඔයාලට. 

පොදු ප්‍රවාහනයේ යනවා නම් ඔන්න පැය බාගෙන් බාගෙට අනුරාධපුර බස් තියනවා නුවරින්. විදෙශිකයො වෝකර්ස් බස් වල ගිනි ගණන් දීල ගියෙ ඉස්සර. අපි ගිය මුලු බස් එකෙම හිටියෙ පිටරට උදවිය. එයාල සිතියම් පොත් වලට ඇස්  මානාගෙන හරි අපුරුවට සාමාන්‍ය බස් පහසුකම් වල වගක් නැතුව ගමන් යනවා. හැබැයි කොන්දොස්තරලත් දැන් හරි සාදාරණයි. එයාලගෙනුත් ගත්තෙ සාමාන්‍ය  බස් ගාස්තුවම තමයි. 

පැය තුනහමාරක ගමනකින් පස්සෙ අපි අනුරාධපුර ටවුමට ආව. නවතින තැන අපි කලින් සුදානම් කරගෙනයි ගියේ.මොකද අනුරාධපුර කියන්නේ හවස් අතේ ගිහින්,  ඒ වෙලාවට නවතින තැන් හොයන්න සුදුසු දිහාවක් නම් නොවෙයි. තැරැව් කාරයො පිරිලා. ඒ නිසා මම agoda.com එකෙන් මම රත්නමාලි එකෙ කාමරයක් වෙන් කලා. මොකද ඒක තමයි ජය සිරි මහ බොධියට ලඟම තියන නවාතැන. නවාතැන ගැන මගේ කතන්දරේ ලිපියේ අගට ලියන්නම්. නැතිනම් අනුරාධපුරේ ගිහින් පව් රැස් කරගෙන ආව වෙනවා.


සවසට ස්වර්ණමාලි චෛත්‍යය පෙනෙන අයුරු 

හරි , ආපහු කතාවට යමුකො. ඉතින් පැය කීපයක් ගිමන් නිවාගෙන හවස් අතේ අපි රුවන්වැලි සැයටයි ජය ශ්‍රී  මහ බෝධියටයි යන්න පිටත් වුනා. ඔබ එහෙ ගොඩ වෙලාවක් ගත කරනව නම් , ඉන්න තැනකින් වතුර , කෑම බිම අරන් යන්න. ඒ හරියෙ මල් කඩ ඇරුනාම කෑම බිම ගන්න තැන් නැහැ.

රාත්‍රියට පෙනෙන රන් වැලි සැය 
ඔන්න ඉතින් අපි ජය ශ්‍රී මහ බෝධියට හවස් අතේ ඇවිත් වැඳ පුදා ගත්තා. ඊලඟට ගොම්මන් අඳුර එද්දි අපි රුවන්වැලි සෑ මළුවට සැපත් වුනා.  රාත්‍රිය උදා වේගෙන එද්දී ස්වර්ණමාලි චෛත්‍ය වහන්සේ කියන්න බැරි තරම් සුන්දර දසුනක්.රාත්‍රිය හාත්පස වෙලා ගනිද්දි ඉතින් අකමැත්තෙන් නමුත් අපි එතනින් නැගිටලා ආවෙ ආරක්ෂාව ගැන හිතලා.


අභයගිරි වෙහෙර 

පසුවදා උදෙන්ම අපි පිටත් වුනේ ඉපැරණි නටබුන් නගරයට. මුලින්ම අපි ගියෙ සමාධි පිලිමය ගාවට. ලංකාවේ දැනට පිහිටා තිබෙන විශිෂ්ටම බුද්ධ ප්‍රතිමාව යයි සැලකෙන්න සමාධි පිළිම වහන්සේයි. 

ඊලගට අපි නටබුන් අතරින් හෙමිහිට ඇවිද ගියෙ අභයගිරියටයි. ලඟදි ප්‍රතිසංස්කටණය කල නිසා මෙතැන දැන් හරිම ලස්සනයි. අටමස්ථානය වටාම දැන් නවීන කාපට් පාරක් තිබෙන නිසා ගමනාගමනය දැන් පහසු වෙලයි තියෙන්නෙ. කවුරු කලත් මේවා හොඳ වැඩ නේද ?


ලංකාරාමය 
අභයගිරිය වැඳගෙන ලංකාරාමය කරා එන අතරමග හමුවන අභයගිරි කෞතුකාගාරයට හිස පොවන්නත් අමතක කරන්න එපා.

ගමන අවසන් නොකළ යුතුමුත් කාලය හරස් වුන නිසා අපි ලංකාරාමය , ඇත් පොකුණ , මුරගල් සහ ථුපාරාමය නරඹලා එතැනින් ආයිමත් නවාතැනට ආවා. මම චාරිකා සටහනේ මේ ස්ථාන ගැන වැඩිපුර නොලියුවෙ හේතු දෙකක් නිසා.

එක- ඒවා ගැන ඕනෙ තරම් තොරතුරු අන්තර්ජාලයෙ දැනටමත් පිරිලා තියනවා .
දෙක - අනුරාධපුරය කියන්නේ අටමස්තානයට සිමා වූ නගරයක් නොවෙයි. අනුරාධපුරය කියන්නේ සතර දෙසින් දහස් ගණන් නටබුන් ශේෂ මතුවුණ සුවිසල් ඉපැරණි පුරවරයක්. එහි ශ්‍රී විභුතියෙහි නටබුන් තැන් අටකට සිමා වෙන්නේ නැහැ. ඔබට ඇවිද යන්න , සැරිසරන්න දහස් ගණන් ගල් කණු , මුරගල් , මන්දිර , පාදම් තිබෙනවා. මම ඇරයුම් කරනවා ඔබට පොඩ්ඩක් ඒ නටබුන් අතරේ වනගත වෙන්න කියලා. ඒවාට නම් ගසා ලේබල් අලවා නැහැ. ඒත් එහි ඉපැරණි ශ්‍රී විභූතිය මොනවට දිස් වෙනවා වගේම ඔබට ඒවා අතින් අල්ලා බලා අපේ හෙළ ප්‍රෞඩත්වය පසක් කල හැකියි.



ඉපැරණි නටබුන් 
ඉතින් මම ඔබට අරයුම් කරනවා ඔබත් අනුරාධපුරයට ගිහින් ඔය අප්‍රකට නටබුන් අතරේ නිදහසේ ඇවිද යන අත්දැකීම විඳ බලන්න කියා. ඔබ ඉතිහාසයට ආදරය කරනවා නම් ඔබට මා කියන දේ වැටහේවි.


අභයගිරිය පියගැට පෙළ 
ඔබ තව තවත් ඒ පුරාන දේට ඇලුන ගැලුන කෙනෙක් නම්, සියවස් ගණනක් එපිට අතීතයෙ ආත්මයන් පවා ඔබ අවට සැරිසරන්නේ යැයි දැනේවි. මා පෙර ඉපිද සිටියේ අනුරාපුරයේ යැයි මා තදින්ම විස්වාස කරන නිසා මට නම් එම හැඟීම තදින්ම දැනෙනවා. වසර විස්සකට පමණ පසු අනුරාපුරයට ආ විට මට නම් සිතුනේ සැබෑ නටබුන් නරඹන්න නම් දවසකුත් මදි බවයි.


ඇ ත් පොකුණ 

~~

දැන් එන්නේ චාරිකා සටහනේ ඔබේ ප්‍රයෝජනය තකා ලියන දිගු සටනහට . ලඟදි එහෙ යන්න ඉන්නවා නම් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

රත්නමාලි නවාතැන 
වෙබ් පිටුවේ පෙන්වන සුන්දරත්වය සැබෑ නවාතැන නම් ඇත්තේ නැහැ. ඒ නිසාම මම මෙතැන වෙන කාටවත් නම් රෙකමදාරු කරන්නෙ නැහැ ඔන්න. ගෙවුව ගානට සරිලන සෙවයක් මෙතන නම් නැහැ. කාමරයෙ වායු සමීකරණය ඇරුනාම ගත යුතු දෙයක් නැති නිසාත්, රූම් සර්විස් කියලා ටෙලිපොනයක්වත්, අඩු ගානෙ වතුර පොඩ්ඩක් බොන්න විදුරුවක්වත් කාමරයෙ නැති නිසා සේවය අන්තිමයි කියලා තමයි කියන්න වෙන්නේ.පිරිසිදු ඇඳ රෙදි සහ කොට්ට උර නැති එක නිසා අපි නම් අපහසුතාවයට පත් වුනා. හෝටලයකින් අපි මීට වඩා පහසුකම් බලාපොරොත්තු වෙනවනෙ. අනික මෙතැන අහාර පාන දෙන සේවයක් නැතුවා වගේම තිබෙන කැන්ටිමේ ගන්න දෙයක් නැතිම තරම්. එත් එකෙ පොඩි ඉඳි ආප්ප මුලත් රු.110ක්! 

ඕනෑම හෝටලයක අමුත්තන්ට කාමර භාර දීමේ පටිපාටියක් තිබෙනවා. අපේ පුද්ගලික තොරතුරු සටහන් කරගන්නවා වගේම, අපෙන් යතුරු භාර ගනිද්දී ලදු පතක් නිකුත් කරන්න ඕන නේද? මම දුරකතනයෙන් අපේ වෙන් කිරිමේ ලදුපත පෙන්වූවා විතරයි.

යතුරු ආපසු දෙන මොහොතේ නිකම්ම යතුර ගත්තා මිසක අඩු ගනනේ කාමරය පරික්ෂා කර බැලීමක් පවා සිදු කලේ නැහැ. ඉතින් අප සිටි මුළු කාලයේම මම කිසිදු සේවක මහතෙක් නොදුටුවා වගේම , අප ඉවත්ව යන විටදී අඩුම ගන්නේ සිටි කාමරය පරික්ෂා කර බැලීමක් පවා කලේ නැහැ. එය පහසුවක් හැටියට මම දකින්නේ නැහැ. ඒ වෙනුවට මට හිතෙන්නේ එය තද නොසැලකිලිමත් කමක් බවයි.අප යම් හෙයකින් කාමරයේ යමක් අමතක වී ආවා නම් ඔවුන් කොහොමද දැනුම් දෙන්නේ? අප ආයිත් එහි ගියත් අපේ අනන්‍යතාවය ඔප්පු කරන්නේ කොහොමද. පිට කෙනෙකු හෝටලය තුලට ආවත් හඳුනා ගන්නෙ කොහොමද? මම හිතනවා එම ආයතනයේ කළමනාකරුවන් මිට වඩා සැලකිලිමත් විය යුතුයි කියා.

ආහාර  පාන 
කිවුල් වතුර බොන්න හුරු නැති ඔබ නගරයෙන් ඈත නවාතැනකට යනවා නම් වතුර බෝතල් අරන් යන එකයි හොඳ . ඔන්න තවත් අවවාදයක්. අපි හිටිය තැන වගෙ කෑම නොදෙන තැන් වල ඉන්න අයට හරි, කෑම වේල් මග ඇරුන අයට හරි , කියන්න තියෙන්නෙ එක දෙයයි. කොලඹ නුවර වගෙ යන යන තැන පේස්ට්‍රි ශොප් එහෙ නැහැ. අහම්බෙන් හමුවන හැම කඩයෙන්ම කන්න නම් අමාරුයි, සමහර තැන් පොඩ්ඩක්වත් පිරිසිදු නැහැ. අනික මිරිස් ඉතා අධිකයි. කට දැවිල්ලයි. අපට හමු වුන කෑම හල් වලින් පිරිසිදුම එක තමයි ෆැමිලි බේකර්ස් එක. තියෙන්නෙ ටවුම මැදමයි. එකෙ උඩ තට්ටුවෙ ( cassarole ) බොහොම පිරිසිදුවට කෑම වේලක් කන්න පුලුවනි. පහල තට්ටුවෙ ගෙනියන්න පුලුවන් පාර්සලුත් තියනව. ඔබ අහාර නොදෙන නවාතැනක ඉන්න බලාගෙන යනව නම් , මෙ වගෙ තැනකින් කෑම අරගෙන යන එක නුවනට හුරුයි.

ප්‍රවාහනය 
ඔබ ඔබේම වාහනයක ආවේ නැතිනම් , සාමාන්‍ය විදිය තමයි ත්‍රි රෝද රථ . හැබැයි මෙහෙ අවම තෙරෝද රථ ගාස්තුව රු.100 යි. කොළඹවත් නැති ගණන්. ! නිස්කාරනේ  තෙරොද රථ වලට වියදම් කරන වෙලාවෙ, ඔබ දන්නවද අනුරපුර පුරාණ නගරය ඇතුලෙ දුවන විශේෂ  බස් රථ සෙවා දෙකක් තියන බව? ඒවා මුලු අටමස්ථානයෙම වටා ගමන් කරනවා. බැතිමතුන්ට , නිදැල්ලේ ඇවිදින්න ආස අපි වගෙ අයට කියාපු ක්‍රමයක්. මේ බස් නිතර නිතර අටමස්ථානයේ චාරිකා කරනවා. 

ලඟදි ඉඳලා සේවයට ආපු තව අලුත් සුඛෝපභෝගී බසයක් තියෙනවා. සේවය ඉහල පන්තියේ උනාට ගැන නම් හරිම පොඩියි. පැය තුනක් තිස්සෙ මුලු අටමස්ථානය වටයම එක්ක යන්න ගන්නෙ රුපියල් සියයයි. බසයට ගොඩ වුනු හැම දෙනාම ආපසු එනතුරු එය බලා ඉන්නවා විතරක් නොවෙයි , මේ බසයේ වායු සමීකරණ , ශීතකරණ , රුපවාහිනී හැම දෙකින්ම සමන්විතයි .  

බසයේ රියදුරු මහතා කිව්ව විදියට , දවසට වට තුනක් මේ බසය යනවා. උදේ 7.30, දවල් 11.30 සහ දවල් 2. අනුරපුර ටවුමෙන් පටන් ගන්න පළමු රවුම හරියට එකොළහට ඉවර වෙනවා. කාලයත් ඉතුරුයි. හරිම පහසුයි. ඔබට තෙරොද රියක දූවිලි කාගෙන දවස් බාගයක් කරක් ගසන්න අඩු ගානෙ රු. 2000ක්  වත් ගනිවි.ඔන්න බස් රථයෙ මහතා එයාගෙ ටෙලිපොන් නොම්මරෙත් ( 0716054100 ) දුන්නා , යන එන අයට ලබා දෙන්නය කියලා. ඔබත් අනුරාධපුරෙ යනව නම් , අටමස්ථානය වැඳ ගන්න මෙක හරිම පහසු ක්‍රමයක් ඔන්න.

අහ අමතක උනා. මදුරුවන් කියන්නේ මේ නගරෙට අමුතු උවදුරක් නොවෙයි. ඔබ කොයිකටත් මතක ඇතුව මදුරු කොයිල් එක දෙකකුත් අරන් යන්න.

මම හිතනවා මේ විස්තර , යන එන ඔබට අත්වැලක් සපයයි කියලා. මම අර කිව්වා වගෙ නටබුන් අතරේ ඇවිදින්න නිදහස් දවස් බාගයක් වෙන් කරගෙනත් බලන්නකෝ. 

එහෙනම් අනුරාධපුර වදින්න යන ඔබට සුබ ගමන් සහ තෙරුවන් සරණයි ! 

Tuesday, July 28, 2015

[319] මේ නුග තෙම හැර ....

වසර ගණනකට පෙර , හරියටම බැලුවොත් අසූවකට පෙර  , එක් කොලු ගැටයෙක් පාර අයිනෙ නුග පැලයක් සිටුවූයේලු. නිවස අබලන්ව වියපත් විනි. නුග පැලය නාඹරව නුග පලද පල ගනිමින් එය මහ නුගයක්ම වූයේලු. මීට වසර තිස් ගානකට එපිට ධනසිරි මුදලාලි අලුත්ම අලුත් සුපර් මාර්කැට්ටුව අරින්නේ ඔතැනමය. ධනසිරි මුදලාලි රූස්ස හෙවණක්ව මහනුවරටම හෙවණ සැදු නුග රුකට අත නොතැබුයෙ වන්නට ඇත. 

88-89 කාලයේ භීෂණයට පින් සිදු වන්නට ධනසිරිය පොළවට ඇද වැටෙද්දිත් , නුග තෙම කලකිරිනු දැසින් මුහුණ බිම හොවා සුසුම් ලෑවේය. කුඩා සිහිරුම් තුවාල කිහිපයක් විනා , නුගය සිය මහත දෙහෙත සිරුර ගින්නෙන් රැක ගත්තේය. කාලයාගේ ඇවෑමෙන් නුග රුකටද වයස්ගතවූ මැහැල්ලෙකුගේ ඉරණම් පල දෙන්නට පටන් ගත්තේය. සිය අවසඟ දෑත් දෙපා බඳු නුග වැල් බිමට පහත්ව බිමට දෑත් ගසා නැවතී , විප්ලවයේ ශේෂ බල බලා ගිමන් හරින්නට වූයේය . 

කාලය ගත වූයේය. ධනසිරිය ඉටි රෙදි වලින් ආවරණයවී හෙමි හෙමිහිට සුවපත් වෙමින් පැවතුනේය. එහි බිම් මහල කුඩාවට ආයිත් සුපිරි නොවූ හිච්චි වෙලඳ සැලක් බවට පත් වූයේය. 

කුඩා වියේ ගම්පොල සිට දිනපතා නුවරාගමනය කරන පස් දෙනෙකුගේ අප පවුල් සේනාවට , නුවරාගමනයේ මග ලකුණු කීවේ මේ මහ නුගයය. නගරයෙන් බැහැරව යන සමුගැනීමේ ලකුණද පෙන්වූයේ මේ නුගයමය! උසස් පෙළ කරන කාලයේ රාජසිංහ සර්ගේ පන්තියට බහින්නට බෙල් එක ගසන්නෙත් නුගය බලාගෙනය . පාසල් කාලයෙන් පසු මගේ ප්රියතම කොම්පියුටර් පන්තියේ පාරාදීස ලකුණ වූයේද මේ නුගයමය ! 

නුවරට පළමු වරට නිමි ඇඳුම් සාප්පුවක් ලෙස ෆැශන් බග් අවතිර්ණ වන්නෙත් මේ නුග සෙවණටය ! එය සුපිරි වෙලඳ සැලක්ව නුගය තරම්ම උස් මහත් වෙද්දී ධනසිරිය වසා ෆැශන් බග් ජනාකීර්ණ වන්නේය. සුවහසක් ගිලනුන් යන එන , සුසුම් ලන , හඬන , දොඩන වැලපෙන ආතුර දන දන වෙත සිය හැකි පමණ සෙවණ සදා නුගය සිය යුතුකම් ඉටු කළේය.

එකී මෙකී නොකී කුඩා කඩසාප්පු වලට සමු දෙමින් ධනසිරිය මැකී ගියේය. අද එතැන ඇත්තේ ආපිකෝවකි. සිය ගම්භීර නිහඬතාවයෙන් නුගය මෙ'කරුණද ඉවසා වදාලේය. ගත හිරිගඩු පිපෙන හීතල , තද සුලං සහ නිරන්තර වැසි වලින් නොසැලෙන දැවැන්ත හස්ති රාජයකු මෙන් , නුග රුක තලත්තෑන්නි සාඩම්බරත්වයෙන් නුවර දියුණු වන අයුරු බලා සිටියේය. 

වරින් වර මහනුවර සසලවා හමා ගිය මහ සුලං එක දෙකක් නිසාවෙන් බිම පතිතවූ නුග අතු ,  සමුගැන්මක පෙර ලකුණු සටහන් කලේය. කුඩාවුන් නිතර යනෙන රූස්ස නුග සෙවන කොයියම් මොහොතක හෝ සිය අවසන් මොහොතට එලැඹෙන බව නුවරු පසක් කලෝය. 

මේ සා ඇසු පිරු තැන් ඇති මහලු නුග තෙම සෙනෙහෙන් බදා වඩා ගෙන අන් තැනක හිඳුවන්නට තරම් මේ දුප්පත් රටට මගක් නැති වන්නට ඇත. එක්කෝ ඒ දුප්පත් ගසට සංචාරයට උචිත සවිබල තවත් ඉතුරුව නොතිබෙන්නට ඇත. 

දැන් නාටකයේ අවසන් ජවනිකාවය. ආපිකෝවට එලිය වැටී තිබේ. දැවැන්තයා සමුගෙන ගොස්ය ! ගරුකටයූ ලෙස නොව , අත පය කඳ බඩ කුට්ටි කුට්ටි කොට සතියක් දෙකක් තිස්සේ , තවමත් ලේ වගුරුවමින් නුග තෙමේගේ සරීරයේ නටබුන් එහි වැතිර සිටී. බිහිසුණු යුද්දයකට පසුව ඉතිරි වූ මල සිරුරු ගොඩක් සතුරන්ගේ චිත්ත ප්රීතියට ප්රදර්ශනය කර ඇත්තාක් මෙන් , ඒ නුගයට ආලය කල බොහෝ දෙනාගේ සුසුම් තවරා ගනිමින් , කුට්ටි වූ නුග අතු සහ කඳන් අවසන් හුස්ම හෙලමින් සිටී. 

එක්තරා හැඟුම්බර් අඳෝනාවක විලාසයක් තැවරී තිබුනද , නුගයට මෙන්ම මිනිසුනටද මේ තිර දහම පොදු බව මේ ලියන්නිය නොදන්නවා නොවේ. දිරාපත් නුග කඳකට යටව තැලී පෙලී කිසිවෙකු මිය යන තුරුද සියල්ලන් බලා සිටිය යුතුද නොවේ.

එහෙත් අහිමිව ගිය නුග රුකට හිලව්වට , ඒ ගැන විලාප තියනවාට වඩා , අලුත් නුග පැල දහසක් සිටුවන්නට මේ කාලයයි ! 




Monday, May 04, 2015

[318] රෝද තුනේ දේව කතන්දර


කොළඹ හෝ වේවා නුවර හෝ වේවා , ගමනාගමනය කියන්නේ ලංකාවේ අංක බින්දුවටම බැහැපු අකාර්යක්ෂම සේවයක්. ඉතින් ඇති නැති හැම දෙනාටම තමන්ගේ කෙටි ගමන් බිමන් වලට ටැක්සි පිහිට පතන්නම වෙනවා . දශක දෙකහමාරක විතර ඉදල අපේ ගමන් බිමන් වලට ලගම හිටිය සගය තමා ත්‍රි රෝද රථය.

ත්‍රි විල් - එහෙම නැතිනම් , රෝද තුනක් මතක් වෙද්දිම සමහරුන්ගෙ මුහුණු ඇඹුල් වෙනව. ත්‍රි විල් නිසා දොර හැරිලා තියන උවදුරු බොහොමයි. ඇති වෙලා තියන උප සංස්කෘති බොහොමයි. ඒත් මාස 8 ක කොලඹ කෙටි නැවතුම්පොලෙදි තනිව සරන මට ගොඩක් වෙලාවට මහ මග යන්න එන්න  පිහිටට හිටියෙ තෙරෝද රථ තමයි. ඒ නිසාම , කඳු මුදුනට නැග බලන්න ජීවිතයෙ උස කියලා , පොඩි U හැරවුමකුත් එක්ක ආයිමත් ගහකොළ පිරිච්චි, ෆෑන් නැතුව ඕනෙ තැනක හිටගෙන ඉඳගෙන ලිවිය හැකි සුන්දර මහනුවර , නිශ්ශබ්ද ගෙදර ඇතුලෙ ඉඳලා බ්ලොග් පි‍ටුව දිග හරිද්දි , ඉස් ඉස්සෙල්ලම මට ඔවුන්ව මතක් වෙනවා. ඔවුන් කිව්වට ඇත්තටම මතක් වෙන්නේ ඔවුන් අතරේ හිඳ සිටිය මිහිමත දෙවිවරුන්ව . මේ කුඩා සටහන ඔවුන් වෙනුවෙන්. 

*** 

මාසයකට විතර ඉස්සර මාර්තු මාසේ දවසක.. එදා මම රත්මලාන දුම්රියෙන් බහිනකොට ‍රැ 8.30යි . ඒ කියන්නේ රැ අටේ කෝච්චියේ . 

තිත්ත කරුවල අස්සෙන්  , බීමත් මිනිස්සුන්ගෙ රතු පාට ඇස් , වහින්න එන්නා වගෙ සැරින් සැරේ බක් මහ අකුණු ඉරි අඳින ගුප්ත අහස යටින්   මම රත්මලානෙ දුම්රිය නැවතුමේ රේල් පාර පනිනවා . අසීරුවෙන් වටපිට බැලුවේ එතනින් එහා ටික යන්න තුන් රෝද රියක් හොයන්න. බොහොම වයසක කෙසඟ කාරුණික මහත්මයෙක් තෙරෝද රිය ගෙනවිත් මා ඉස්සරහින් නැවැත්තුවා.

මිස් රෑ වුනා නේද ? නගින්න . කොහෙටද යන්නෙ ?
ඕනෙවට වඩා ඇඟෑලුම් කමින් කතා කරපු එකට එච්චර කැමැත්තක් නොතිබුනත් , වෙන විකල්පයකුත් නැති නිසා මම ඊට ගොඩ වුනා.

ඉතින් ඔන්න මේ මනුස්සයා තොර‍තෝන්චියක් නැතුව මගෙන් ප්‍රශ්න අහනවා.

මිස් කොහෙද ඉන්නෙ. ගම කොහෙද ? මොකද කරන්නෙ ?
ප්‍රශ්න ලෝකයයි. මම ඉතින් ඒවාට බාගෙට හරි , බාගෙට වැරදි උත්තර දෙනවා. හැබැයි මනුස්සයගෙ තියෙන්නෙ කපටි කමක් නොවෙන බවත් කටහඩින් දැනෙනව.

ඔයින් මෙයින් බහින තැනත් ලඟා උනා. මම වෙනදට දෙන්නෙ 120යි. කතාවෙන් කතාවෙන් ඔන්න ගාන කතා නොකරගෙන තමයි රථයට ගොඩ වුනේ කියල තෙරුනෙ දැන් තමයි.

මම නොදන්න ගානට , මෙතෙන්ට කීයද ගන්නෙ ? කියලා ඇහුව .

80ක් දෙන්න මිස්.
මම අන්දුන් කුන්දුන් වෙනවා. ඒ වෙනකොටත් 120ක් මගෙ අතේ. මට 80 දීල සද්ද නැතුව යන්න මොකක්දො වගෙ.මම ඔහුට මගේ ප්‍රශ්නේ වෙන විදියකට ඉදිරිපත් කළා . 

80 ඇතිද ? මෙතෙන්ට වෙන අය ඊට වැඩියෙ ගන්නවනෙ.

අනෙ එපා මිස්. 80 ඇති.
මේ මනුස්සයා දුන්නු 120න් 20 කොල දෙකක් මට ආයිත් දෙනවා.

මට හිතාගන්නත් බැහැ.මෙහෙම මිනිස්සුන්ට එකසිය විස්සක් නෙමෙයි එක්දාස් දෙසීයක් දුන්නත් දුක නැහැ. මම ගන්න කියලා ඉතුරු 20 කොළ දෙක ආයිත් දුන්නා. 

එපා මිස්. මෙතෙන්ට හරි ගාන 80යි. ඊට වැඩියෙ සතයක් හරි අරන් මම මගෙ පවුලටයි ලමයින්ටයි එවයින් කන්න දුන්නොත් උන්ටත් හරියන්නෙ නැහැ මිස්. එක හොරකමක් වෙනවනේ . 

කහට බැඳුනු දත් දෙපෙල අතරින් ආව ඒ මිණි මුතු වගෙ හැඟීම් බර වදන් කිහිපය , ඇත්තටම මාව මොහොතක් අමනුස්ස මනුස්සයින් ඉන්න ගෙන්දගම් ලෝකෙන් සුරංගනා  ලෝකෙකට ගෙන ගියා කිව්වොත් නිවැරදියි.

මිනිහෙකුට විපතක් වෙන්න යනකොට , බේර ගන්න එක පැත්තකින් තියලා තමන්ගේ ෆෝන් එකේ තියන වීඩියෝ කැමරාව මාන ගන්න අසත් පුරුෂයින් ඉන්න ලෝකයේ , දෙවියන් වෙස් ගත් මිනිසුන් , එහෙම නැත්නම් මිනිසුන් වෙස් ගත් දෙවියන් සිටින බව අත්දකින්නට ලැබීමත් එක්තරා භාග්‍යයක් කියා එදා මට සිතුනා.

****
 දෙවන කතාව ....


ගිය අවුරුද්දෙ සැප්තැම්බර් මාසයෙ. පහුගිය මාස  8 වැඩ කල කොල්ලුපිටියෙ ‍රැකියා ස්ථානයෙ පලමු සම්මුඛ පරීක්ෂණය . 

ඉන්ටවිව් එක තියෙන්නෙ 2 ට . මම නුවර ඉදන්  ගල්කිස්සට ගිහින් ගොඩ බහිද්දි දවල් 12.15 යි.  සාරියත් ඇඳගෙන ආයිත් කොල්ලුපිටියෙ ඉන්න ඕනෙ 2 වෙද්දි. ඉස්කෝලෙ ට්‍රැ‍ෆික් එකටත් අහු වෙලා. මට හිතා ගන්න බැහැ මම කොහොමද දැන් යන්නෙ කියලා දෙක වෙද්දි . 

කොහොම කොහොම හරි සාරිය පටල ගත්තා 1.15 වෙද්දි. 1.25 වෙද්දි ගාලු පාරට ඇවිත් මම තෙරෝද රියකට ගොඩ වුනා. රියදුරාට මගෙ මූණෙන්ම තේරෙන්න ඇති  , මම ලොකු හදිසියකින් ඉන්න බව. මම ඔහුට ඇත්තම කිව්වා.

මට දෙකට ඉන්ටවිව් එක තියනවා. කොල්ලුපිටියෙ. අනෙ මාව කොහොම හරි දෙක වෙද්දි කොල්ලු පිටියට ගෙනියන්න.

ඔහු වෙලාව බැලුවා. මගෙ මූණත් බැලුවා.

මිස් බය වෙන්න එපා මිස්. මම 1.50 වෙද්දි මිස්ව කොල්ලුපිටියෙ ඔපිස් එක ඉස්සරහට ගෙනියනව.


ඔහු කිව්ව විදියට මගෙ හිතෙ බර සැහැල්ලු උනා. ඒත් එක ප්‍රයෝගිකද ? උත්තරය 'නැහැ' බවත් හිත හොදටම දන්නවා. 

පාසැල් ඇරෙන වෙලාවෙ මාර්ග තදබදය අස්සෙන් , පාර හදන තැන් වල ප‍ටු තීරු වලින් රිංගමින්  ඔහු රිය පැදෙව්වා නොවෙයි ඉගිලෙව්වා කිව්වොත් නිවැරදියි . 

මේ ලැබෙන්න යන ‍රැකියාව මට ඉතාමත්  වැදගත් නිසා,  මගෙ හදවතත් වේගයෙන් 2ට ලන්වෙන ඔරලෝසු ක‍ටු වගෙ වේගයෙන් ස්පන්දනය වෙන්න ගත්තා . ඇත්තටම හිත නොසන්සුන්. නොසන්සුන් මනසින් කොහොමද ඉන්ටවිව් එකකට මුහුණ දෙන්නේ ? 

රියදුරාට මගේ ආතතිය තේරෙන්න ඇති. යන අතරමග එක දිගට,  ඔහු පසු පස හැරී බලමින් , 
මිස් බය වෙන්න එපා මිස් , මම කොහොම හරි මිස්ව වෙලාවට ගෙනියනවා. බයෙන් තැති ගත්තු මගෙ හිත හදන එකත් තමන්ගෙ රියදුරු රාජකාරියෙම ඔහු කොටසක් කරගත්තා. 

ඇත්තමයි හාස්කමකින් වගෙ , කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාරේ , අලුත් රැකියා ස්ථානයේ දොරටුව ගාව , මෙන්න මම හරියටම 1.50 ට !

සල්ලි නැත්නම් පස්සේ ගන්නම් මිස් මම ගල්කිස්සෙන් යන ගමන්, දැන් ඉක්මනට ඉන්ටවිව් එකට යන්න මිස්. 

කලබලේ දගලන මව සන්සුන් කරන්න ඔහු පියෙක් වගෙ උත්සහ කළා. මේ වයසක මහතෙක් නොවෙයි. අවුරුදු 20ක විතර පොඩි කොලු ගැටයෙක්.කලබලෙන් මම සල්ලි ටික දිගු කරමින් බහින්න ලං වෙද්දී ඔහු කිව්ව වාක්‍යය මට අද වගෙ මතකයි. 

මිස් , බලන්න මම කිව්ව වෙලාවටම මෙතෙන්ට එන්න පුලුවන් උනා. කොහොම ආවද මමවත් දන්නේ නැහැ. මිස්ට වාසනාව තියනවා. දැන් බය වෙන්න දෙයක් නැහැනේ. මිස් මම කිව්වට විස්වාස කරන්න , මිස්ට මේ රස්සාව ලැබෙනවාමයි. බය නැතුව යන්න . මිස්ට හරියනවා. බුදු සරණයි.

නන්නාඳුනන නගරෙක , දුප්පත් තෙරෝද රියක , ඉදිරි රියැදුරු අසුනෙහි ප්‍රකෝටි පතියෙකු වාඩි වී සිටිනු මා දු‍ටුවා. ඔහු අද රෑටත්  පොල් සම්බෝලයි බතුයි ‍රැට දරු මල්ලන් සමග බුදිනවා වෙන්නට පුළුවන්. ඔහුගේ කාසි පසුම්බියට ඉන් එහා සැප සම්පතක් සිය දරුමල්ලන්ට දෙන්නට බැරි වන්නට පුළුවන්.

එහෙත් ඔහුගේ හදවත නම් , මා වැනි තවත් මිනිසුන්ගෙන් ගිලිහුණු  දහසකුත් එකක් ආශිර්වාද  වලින් පිරී ඇති කියා සිතෙනවා.

පුදුමයට කාරණය නම් , දෙවියන් වෙස් ගත් මිනිසුන්, නො එසේනම් , මිනිසුන් වෙස් ගත් දෙවියන් වැඩ සිටිනු දැක තිබෙන්නේම , මේ මිහිපිට මහපොළවෙන් ඉහල අහසට නොනැගුණු සමාජයේම වීමයි.




Saturday, March 21, 2015

[317] මල් වෙඩිල්ලකි , ආදරය



.
මද්දහන් අව්වට දිලිසෙන 
නලා හඬවන රිය තදබදයක 
ලුණු හුලඟට ගසා ගෙන විත් 
ආදරයට, පිලිසිඳ ගත හැකිය 

වේගයෙන් ඇදී යන රියක 
වියතක දුරැති දෙ'අසුනක
ප්ලාස්ටික් කවරයක් වුවද
ආදරයට, ආරෝපණය විය හැකිය

රිය දෙදරන තරම් මහඬින්
උච්ච ස්වර ඔපෙරාවක් අසන අතරද 
ගුප්ත හෘද තන්තුවකට එකඟව 
ආදරයට, නින්නාද විය හැකිය 

හුස්ම දෙකක දුරින් දොඩමලුව 
නිය'ග ස්පර්ෂයකුදු නොමැතිව 
හිම මෙන් සීත, නිල් දෑසක්
ආදරයට, මෙලෙකව යා හැකිය 

නාඳුනන්නන්ව මග හැරී ගිය
භවාන්තරයක කෝන්තර
නොවැදගත් නෝක්කඩුවකින් පුපුරා යන විට, 
ආදරයට, ක්ෂමාවම විය හැකිය

උතුරා යාමට මොහොතකට පෙර 
පැසෙන උණු කිරි බඳුනක් 
ගුප්ත හේතුවකට නිවී යන විලසින් 
ආදරයට, රහසක්ම විය හැකිය 

'සුස්' හඬින් දැල්වී ඉගිලුනද
පුපුරා නොගොස් ඇද වැටෙන 
අහස සිපුමෙන්ම බොල් ව ගිය ,
ආදරයට, මල් වෙඩිල්ලක්ම විය හැකිය !

ආත්මය වෙලාගත් ශෘංගාරය
කල්පිත වැලඳගැන්මක්ම විය හැකිය, 
එහෙත්,
නොකිලිටි සිපාචාරකින් සමුගෙන
ආදරයට, උත්කර්ෂයෙහිම මිය යා හැකිය !

2015 - 03 - 21 


Footnote : 

The most painful love there is, is the love left unshown. A love that cannot be expressed, affection left unknown. The love that withholds touching, afraid of what it would say, and the most painful thing about unexpressed love is, it never fades away.
- Unknown

Tuesday, February 03, 2015

[316] දෙවියන් දකින්නට PK බලන්න එන්න - (sorry) - PK දකින්නට දෙවියන් බලන්න එන්න

දෙවියන් දකින්නට PK බලන්න එන්න - (sorry) - PK දකින්නට දෙවියන්  බලන්න එන්න

මා පළමු වතාවේ PK නැරඹුවේ ඉතාමත් කම්මැලිකමෙනි. ඊට හේතුව බස තේරුම් ගන්නට තරම් හින්දි දැනුමක් මට නොතිබූ නිසා ,වැරදි උප සිරැසි මත යැපෙන්නට වීමය. කවුරු හෝ ඒ යොදා තිබූ උප සිරැසි වල 98% ම තිබ්බේ වැරදි ඉන්ගිරිසිය. වැරදි ඉන්ගිරිසිය හරි එකට ගලපා රූප රාමුව දෙස බලද්දී අස්සයා පැනගොස්ය . දෙවෙනි වතාවේ එනිසාම ආයිත් PK බැලුවෙමි. එවර හිත ගියේ සින්දු ටිකටය. එනිසාම තෙවෙනි වතාවටද එය බලන්නට ගතිමි. බාගෙට දිරැවූ උප සිරැසි සිත්හි තබාගෙන රූප රාමු බැලුවේ ඒ වතාවේය! PK පසුපස ඇති මහා සිනමාව මට ඉන්ද්රජාලයකින් මෙන් දිස්වන්නට පටන් ගත්තේය ! 

භාරත සිනමාවේ තවත් ප්රාතිහාර්යයක් ! භාරතයටම එක ඇඟිල්ලක් දිගුව ඇත. රේඩියෝවක් කරේ එල්ලා ගත් නිරුවත් මිනිසෙකු මුලු ඉන්දියාව දෙසම නොව සර්ව ලෝක හිතවාසී හුදී ජන සංස්කෘතිය දෙසම සිය කොල පැහැති ඇස් දෙක මහත් කොටගෙන බලා සිටී. 

දෙවියන් සොයා යන PK දෙවියන් සතුටු කරන්නට නොකරන දෙයක් නැත්තේය . සිය අසරණකමට දෙවියන්ය සිතා දෙවියන්ගේ නියෝජිතයන් යැයි පෙනී සිටින පුහුදුන් තැරැව් කරුවන්ට ජීවිතය කැප කරන හුදී ජන සංහතිය දෙසම PK සිය දෑස් දල්වා බලා හිඳී..

PK සිනාසෙන්නේ දෙවියන්ට නොවේ. PK හඬන්නේ දෙවියන් සතුටු කරන්නට නොවිඳිනා දුක් විඳින දුහුනන් වෙනුවෙන් නොවේ. PK හි උපහාසය එල්ල වන්නේ දෙවියන් දකින මිනිසුන් කෙරෙහිද නොවේ. බුද්ධිමත් මිනිසුන් තේරුම් ගත යුත්තේ එයයි. 

නොයෙක් වර්ගයේ මිනිස්සු දෙවියන් නොයෙක් ඇස් වලින් දකිති. ආගම් හෝ දෙවියන් පසුපස නොයා යුතු යැයි බොහෝ පණ්ඩිතයෝ දොඩති. තවත් සමහරු දෙවියන් සොයා පර්යේෂණ කරති. දෙවියන් හෝ ගැලවුම් වාදී කිසිවක් හෝ ආගම් ලොවට අවැසි නැතැයි සමහරු දොඩති. එය දියුණු මනස යැයි පවසති. 

මා දකින දෙවියන් සිටින්නේ මහ පොළවේය ! ඇතැම් දෙවියන් අප කරා පැමිණෙන්නේ කබා කෝට්  ඇඳගෙනය. ඇතමුන් කාර්යාල ඇඳුමෙනි.  ඇතැම් දෙවිවරුන් අපට පිහිට වන්නේ බස් රියේදීය. ඇතැම් දෙවිවරුන් උදේ හවා අපට සිනහ සී යන්නෝය. අඩු ගානෙ චැට් එකක් හෝ දමන්නෝය ! කඳුලු පිසින්නෝය ! 

අපට වඩා ඉහළ තලයක සිටිය හෝ සිටින උතුමන් කෙරෙහි බැති සිතක් උපදවා ගැනීමේ  මම නම් කිසිදු වරදක් නොදකිමි. පන්සලේ බුදු ගෙහි ඇති සිත නිවන තවන බව අපේ නිදන කාමරයෙහි නැත. බෝ ගසක් සෙවනෙහි ඇති දහසක් සැදැහැ සිත් වල බැති කිරණ ඔබට දැනී නැතිද ? පල්ලියේ අල්තාරයෙහි වැඩ සිටින සොවින් බර යේසුස් වහන්සෙ අබියස කිතු බැති නද මුසුව එන පියානෝ වාදනය දෑසේ කඳුලු නංවයි. හින්දු කෝවිලක පූජකයන් දෙව් පිලිමයක් කිරෙන් නහවා සත්කාර කරනු දකින විට මිනිසෙකුගේ මනස කොතරම් බැති බර විය හැකිදැයි සිත විමතියක් හට ගනී. 

දුකින් පෙලෙන මනුසත් වගට සැප මේ යැයි පෙන්වා  ප්රාර්තනාව මවා දෙන්නට දෙවියන්ට  බුදුන්ට හෝ පෙර පින් කළ උතුමන්ට නොහැක්කේය . එහෙත් සිතෙහි විස්වාසය පලා ගිය කල්හි, අසරණ බවින් සිත උමතු වූ කල්හි , තමන්ට පිලිසරණක් හෝ. නිසි මග පෙන්වන්නෙකු නැතයි කම්පාවට පත් වූ කල්හි අරක්කු බෝතලයක පිහිට පතනවා නම්, ඔබේ උත්සාහය අකර්මන්ය වනු වැලැක්විය නොහැක්කේය. සිත අරමුණෙන් ගිලිහී බෝතලයට ඇලී යනු නියතය. 

අසරණ වූ කල්හි , දෙවියන් බුදුන් සොයා යන මිනිසුනට මා දොස් නොකියන්නේ එබැවිනි. සොයා යන්නේ සරණකි. ඉන් පුහුදුනෙකු ගසා කෑම අනුමත කල නොහැකි එක වෙනම කතාවකි. එහෙත් සිය සරණ උදෙසා දෙවියන් බුදුන්ගේ ආශිර්වාදය පැතීම වරදක් නොවේ. පුහුදුන් මිනිසුන් ගේ වරද නම් , සිය ප්රාර්තනාව ඉටු කිරීමේ සම්පූර්ණ කොන්තරාත්තුවම දෙවියන්ට භාර දීම නොවේද ?

හදවතෙහි භක්තිය කුලු ගන්වා ගත් කළ යහපත් අරමුණුම සිතට එයි. දුදනන් නිරායාසයෙන්ම ඉවත්ව යයි. අරමුණෙහිම සිත එල්බ ගනියි. තමනට ආශිර්වාදයක් ඇතැයි සිතෙහි විස්වාසයක් හට ගනියි. අවදානම් ගැනීමට සිත සවිමත් වෙයි. දෙවියන් ලඟ ඇතැයි සිතෙද්දී වැරැද්දට බියක් හට ගනියි. 

PK පවසන බුද්ධිමත් පණිවිඩය එයයි. උත්සහය කොතෙක් වුව , ප්රවේසම කොතෙක් වුව , ජීවිතය වැරැදී යන අවස්ථා ඔබට තිබී නැතිද ? එය කර්මය යැයි හිත හදා ගැනීම කුසීත කමය .එයට එරෙහිව නිසි සැලැස්මක් නොමැතිව ආවේග වලින් සටන් කිරීම මෝඩ කමය ! සැලස්මක් හදා ගැනීමට තරම් සිත නොසන්සුන් විටක පියවර තැබීම අවදානම්ය . පස්මහ බැලුම් බලනවාට වඩා ආරක්ෂාකාරී පියවරක් තැබීමට මග හදා ගැනීමට සිතෙහි විස්වාසය හේතු වෙයි. 

මගේ හිතවතෙකු පැවැසූ කතාවක් සිහියට එයි. " වහින්න එන බව දැන දැන කුඩය්ක් නොගෙන ගමනක් යන එක මෝඩකමක්. වැස්සෙ නැතිනම් මිනිස්සු කියාවි අන්න පිස්සෙක් කුඩයක් ඉහළගෙන යනවා කියලා. වැස්සෙ තෙමි තෙමි ගියත් මිනිස්සු එහෙමම කියාවි. වැස්සෙ පාරක් අයිනෙ හෙවණක හිටගෙන ඉන්න පුලුවනි. ඒත් රෑ එලි වෙනකල්ම . වැස්සොත් එලියට ගන්න බලාගෙන කුඩයක් බෑග් එකෙ දාගෙන යන එක වරදක් නෙවෙයි නේද ??? " 

කිසිවක් කෙරේ විස්වාසයක් නොමැත්තාට අනාගතයක් නැත්තේය ! විස්වාසයක් නොමැත්තාට බලාපොරොත්තුවක ඈත්තේ රතු එලි පමණකි. ලෝකය සකස් වන්නේ රතු පාට ප්රතිලපලයකය . 

'සන්තියාගෝ නම් සැරිසරන්නා' ( The Alchemist ) හි පවුලෝ කොයියෝ මෙසේ පවසයි. 
"ඔබට යමක් අවැසි නම් , එය ඔබ වෙත ලබා දීම සඳහා මුලෝ ලෝකයම කුමන්ත්රණ කරයි"

PK වරක් මෙසේ අසයි. 
"දෙවියන් යැයි මිනිසුන්  වඳින්නේ සැබෑ දෙවියන්ටද ? දෙව දූතයන් යැයි මවා පෙන්වන ජාවාරම්කරුවන් මවා දුන් දේව ප්රතිරූපයකටද ? 

Pursuit of Happyness චිත්රපටයේ ' ක්රිස් ගාඩ්නර්ගේ කුඩා පුතු දෙවියන්  පිලිබඳව අපූරු කතාවක් පවසයි. 

"තාත්තෙ , ඔන්න එක මනුස්සයෙක් බෝට්ටුවක යද්දී කුණාටුවකට අහුවෙලා දියේ ගිලුනා. ඔහු සිය ජීවිතය බේරා දෙන්න කියා දෙවියන් යදින්නට පටන් ගත්ත. එවිට එනවා බෝට්ටුවක් , 
'නැහැ දෙවියන් පැමිණ මා බෙර ගනීවි. ඔබ යන්න' දියේ ගිලුන තැනැත්තා කියනවා. ආයිත් දෙවියන් යදින්නට පටන් ගන්නවා. 

යලිත් එනවා බෝට්යුවක්. ඔහු ඊටත් ගොඩ වීම ප්රතික්ෂේප කරනවා. දෙවිය්ණ් එන් තුරුම යදිනවා. 

අන්තිමේ එයා දියේ ගිලිලා මිය යනවා . ස්වර්ගයෙදී ඔහුට දෙවියන් හමුවෙනව. ඔහු නොසතුටින් මෙහෙම අහනවා, 
'මා ඔබට මෙතරම් බැතිබරව සිටියදිත් ඇයි ඔබ මා ගලවා නොගත්තෙ ?'

 දෙවියන් උත්තර දෙනවා, 
"මෝඩයෝ මම බෝට්ටු එකක් නොවේ දෙකක්ම එවුව , ඇයි එවාට ගොඩ නොවුනේ ?" 


PK ඔබට ස්තූතියි. PK සැබෑ ඇසින් දුටුවෙකුට සිදුවන්නේ දෙවියන් හෝ ආගම් එපා වීම නම් නොවේ. සැබෑ දෙවියන් දිස්වීමත්,  සැබෑ බැතිය කුලු ගැන්වීමත්, ජාවාරමට එරෙහි වීමත් පමණකි. 


Sunday, February 01, 2015

[315] අවන්හල් ජීවිත අභ්‍යාස


ජනාකීර්ණ පාරවල් , නාගරික අවන්හල් , කලබලයෙන් තොරව උදේ සවස සාප්පු සවාරි යන මිනිසුන්  දකිද්දී නාගරික හුදී ජනී ජන සංහතිය අස්සේ මට පොඩි පහේ චමත්කාරයක් දැනෙයි. සුවිසල් නගරයක ලාම්පු කණුවක් උඩ හිඳ සිටින කුඩා කලාමැදිරියෙකු මෙන් චූල හැඟීමක් විටෙක මට පහළ වෙයි. ඒ ඔස්සේම ගිලී ගිලී ඇතුලට යන විට මට ලෝකය ගිලෙන්නට මෙන් හැඟීමක් එයි. ලෝකයක් ගිල ගැනීමෙන් , දිරවා ගත නොහැකිව මා නම් ප්‍රාණියා පිම්බෙන්නටත් ලෝකය කුඩා වන්නටත් පටන් ගනී. එය මහත් විකාරයකි. 




දුහුවිලි නගරයේ ඇස් නිලංකාර වන වීදි ලාම්පු එලියට නිරතුරුව පරදින කුඩා කලාමැදිරි  ජීවයක් යයි මට සිතේ. කලුවරත් සමග මම නිවසට එමි. ඒ මොහොතේ පටන් රූප පෙට්ටිය දෙස නොකල්පනාවෙන් හෝ බලා සිටිමි. කුඩා සිනහවක් දෙකක් පිට කරමි. නිරන්තර සහ සදාතනිකව නිදන්ව ඇති මතකය පොඩ්ඩක් අලුත් කොට ගෙන නාසය රතුවන තුරු හඬමින් සිටිමි. තනිව සිටීමේ නිදහස !

මා කවදත් අවන්හල් වන්දනා කරන්නට කැමතිය . අවන්හල් තුල සිටින මිනිසුන් දෙස බලා සිටින්නටත් , උන්ගේ ජීවිතයට එබී , නොදු‍ටු දෑ සොයා යන්නටත් ඇති මගේ ආශාව කිසිදා හීන නොවෙයි. එක් දිනක් මහනුවර ආපිකෝ අවන්හල මැද හිඳ මා සිනහසෙන මුහුණු සෙවුවා මට මතකය . එවකට මාද සිනහසෙන මුහුණකි. පුදුමයකි ! මට පහ පොළව උඩ සිනහසෙන එකද මුහුණක් දැක ගන්නට උවමනාව බලවත් වූයේය ! 


එක් වරක් නොව සිය දහස් වර 
පිඟානෙන් නෙත් ඉවත යන්නෙය ..

නේක මසවුලු දෙසට මෑනුනු
ගිජු දෙනෙත් මග හැර සොයන්නෙය ..


සිනාවක් වැගිරී හැලෙන තැන 
එක්කො කිරිකැටි මුව පොඩිත්තකි 

මෙතෙක් දුර්මුඛ නොවූ මුහුණක
අසුන අසලක කිසි කෙනෙක් නැති..

එය අවාසනාවකි. යාබද අසුන නොසිස්ව තිබූ එදා මම ජීවිතයට සහ දහමට අභියෝග කලෙමි. එහෙත් මා පැරදුනෙමි. 



මීට මසකට පෙරද අවන්හලක් මැද මම හිඳ සිටියෙමි. උදේ පිබිදුනු නැවුම් සිතැතිව මම ඉතා සැහැල්ලූ ආහාරයක් ඇණවුම් කොට සුවපහසු ඩිවානයට පිටදී සිටිද්දී මට ලියන්නට සිතක් ආවේය. ලියන්නට පැනක් හෝ කොල කැබැල්ලක් නැති මොහොතේ වේටර කොලුවාගේ කමිස සාක්කුවේ පෑනද , මුදල් ගෙවා ලබා ගත් බිල්පතද පිහිටට ආවේය. එකකට එකක් නොබැඳුනු එක එක ජාතියේ සිතුවිලි ටිකක් එක පොදියක්ව ඡේද ඡේද බවට පත් වෙයි. සිත මෙන්ම සිරුරද සැහැල්ලු වෙයි. 

" මම දැන් අරුම පුදුම කුරුල්ලෙක්ගෙන් ගිලිහුන පිහා‍ටුවක් වගේ. වෙලාවකට වේගෙන් ගසාගෙන යන , ගහක ‍රැ‍ඳෙන , ගිනි හුලඟට කැරකෙන , අහස සිඹින පිහා‍ටුවක ඇති අද්භූතය මොකක්ද ? පිහා‍ටුවකියන්නෙ ගිලිහිච්චි දෙයක් . ඒක ආයිත් කුරුලු ත‍ටුවක නවතින්නෙ නැහැ. සුලඟට අවනත නොවී බරට පොළවෙ ‍රැ‍ඳෙන්නත් බැහැ . 
ඒ නමුත් උඩවැඩියා මලක් ඇමිණුව කෝට් සාක්කුවක ස්මරණීය මතකයක් වෙන්න, පින්තූරු එක දෙකක උජාරු මූණක් යට ‍රැ‍ඳෙන්න නම් පුලුවනි. පිහා‍ටුවකට එහෙම උනාට සදාතනික අගයක් නැහැ. ඒක තමයි අපි අකැමති ඇත්ත. 

මම හරිද , ලෝකය හරිද මම දන්නෙ නැහැ. ඒත් මම කිව්ව දේ යතාර්ථවාදී ඇති. ඒත් මම නිතරම ආදරේ කලේ යතාර්ථය ඉක්මවා ගිය ෆැන්ටසියට. දේදුන්නක් උඩ ඉඳගෙන රුවල් නැවක වගේ හබල් ගාන සිතුවිලි ! මම උදේ දවල් ‍රැ නැතුව ඔලුව රිදෙනකල් ජීවිතේ ගුරුත්ව කේන්ද්‍රය හොයනවා. වැරදි ලක්ෂ්‍යක් ‍තෝරගෙන සමබරතාව නැති කරගන්නව. මම ජීවිතේ හොයන අස්සේ තව සමහරු මාව කියවගන්න බැරුව පි‍ටු පුරවනව . අපි හැමෝම එකට පැටලුනු වල්ග වලින් සහ අත් හැරීමට නොකැමති දෑත් වලින් බැඳීච්චි අමුතු සත්තු රංචුවක් වගේ .

ජීවිතේ කියන්නෙ හරි අපූරු දෙයක්. ඒක දිහා බලන් ඉන්න එක භාවනාවක් වගෙම අභ්‍යාසයක් . ඒ ව්‍යායාමය අපව දැනුමැත්තන් වගෙම සානුකම්පිත සිත් ඇත්තන් බවටත් පත් කරනව "

සුන්දර කෝපි කෝප්පයක් , අයිස් පලමක් හෝ සැන්විච් කැබැල්ලක් තුල ජීවිතාභ්‍යාසයක් ගැබ්ව ඇතැයි සිතෙන්නේ කාටද ? 



Wednesday, October 15, 2014

[314] සුදු ලී වැටකින් වටවූ පිට්ටනිය සහ සිඟිති Mystique කොලනිය


දැන් මම සාඩම්බර කෝච්චි දරුවෙක් බවට පත්ව සිටින්නෙමි. කෝච්චියත් ඒ හා බැඳුනු ජීවිතත් දෙස බලා ඉන්න එකත් හරි අපූරු වැඩකි.. 

උදෑසනම රත්මලාන දුම් රිය නැවතුම වෙත තෙරෝද රියෙන් යන්නේ දුර වැඩි හෙයිනි.  එතැන් පටන් දවසේ රේස් එක ඇරඹෙයි. රේස් දුවන ගමන් රේස් දුවන අනික් උන් දෙස විපරම් කිරීම හරිම ආසා හිතෙන සෙල්ලමකි. ඔක්කෝම එක හැල්මට දුවති. දුවන්නේ පෝලිමට එක් වෙන්නටය . ටිකට් ගන්නටය . නුදුරේ එන දුම් රියෙහි එල්ලෙන්නටය. ඊට පසු හොඳ තැනක් අල්ලා ගන්නටය . මඳ ප්‍රමාදයක් පාඩු ගොඩකට හේතු කාරණ වෙයි. ජීවිතේත් ඒ වගේ නොවැ.

දුම් රියට නගින ගැහැණු අප නම් , පාඩුවේ සින්දුවක් අහගෙන යනවා විනා කුමක් කරන්නද ?. පිරිමි ඈයෝන්ට නම් තියනවා නොවැ ගැහැණු ලමයින් දිහා බලන්නට !  

ගැහැණු ලමයින් වේවා , නැන්දලා වේවා , දුම් රියේ යන හැමෝටම ආගන්තුක අමුත්තන් හඳුනා ගැනීමේ පුදුම ඉවක් තිබෙයි. ඒවා ට ලක් වෙවී , වට පිට බල බලා , ට්‍රැෆික් නැති කෝච්චි පාරෙන් වැඩට හා ගෙදර යාමට ලැබීම නම් භාග්‍යයකි.(කෝච්චියට ජය වේවා !) 


කවදත් වාගේ පූර්විකාව කතාවකට වඩා දික් වෙයි. 

දුම් රිය ගල්කිස්ස පසු කරයි.. ඇසිල්ලෙන් මා දුටු දසුනෙන් මවිත වෙමි. ගල්කිස්සත් දෙහිවලත් අතර ඉතා කොළ පැහැති හරි හුරුබුහුටි පිට්ටනියක් පසු වෙයි. ඒ ලස්සන කුඩා පිට්ටනිය කුමක්ද ? ඒ පිට්ටනිය වටේට ලී තීරු පේලියට හිටවා ගැසූ කොට වැටකි. [ඒවාට කියන්නේ පිකට් ෆෙන්ස් නේද? ] ඒ පිට්ටනිය වටා සුන්දර කුඩා ගම්මානයක් වාගේ එකකි. බටහිර පන්නයේ උස් වහලයන්ගෙන් සුසැදි සුදෝ සුදු හුරුබුහුටි කුඩා ගෙවල් ගොන්නකි.  සිත කුතුහලයෙන් පිරෙයි. මේ පුංචි කොලනිය කුමක්ද ? මා එන්ගලන්තයට හෝ උතුරු අයර්ලන්තයට ගියාවත්ද? මා සිහිනයක්වත් දකිනවාවත්ද ?  මා මනෝ ගසන අතරතුර , එහා පැත්තේ හිටගෙන ජැක් ගසන මැදිවියේ මහතා , මා දකින්නේ සිහිනයක් නොවන බවත් , ඒ සිටින්නේ උතුරු අයර්ලන්තයේ නොව ශ්‍රී ලංකාවේ පොදු ගමනාගමනයෙහි යෙදෙමින් බවත් සනාථ කරයි. 

අද සවස මා දුම් රියට ගොඩ වන්නේද ඒ කුඩා සිඟිති ගම් පියැස්ස දෙස හොර බැළුම් හෙලන්නට නොතිත් ආශාවෙනි . වාසනාවට දුම් රිය තදබද නොවූයේය. ඉතා සාමකාමී  හැන්දෑවකි. ඉරිදාවක ගල්කිස්සට යා යුතුද?. ගොස් ඒ ගම්මානය කුමක්දැයි සොයා බලා එන්නද ? ඇත්තටම ඒ මට විතරක් පෙනෙන ,මලවුන් වෙසෙන අද්භූත ගම්මානයක්ද ?  යද්දී එතැන ගම්මානයක් නැති මුඩු බිමක් හෙම නම්  !!!!! මට මොනවා හිතෙයිද ? කොහොමට හිටීවිද ?

හොඳයි , ගම්මානය හමු වුවොත් ????? අහෝ එතැනින් මගේ කුතුහලය සන්සිඳවෙනවා නොවේද ? . එපමණක් නොව එතෙකින් ඔබ්බට , මට සිහින මවන්නට , අරුම පුදුම අභව්‍ය කතා ගොතමින් මනෝ ලොවක සැරිසරන්නට තරම් සෑහෙන , කුඩා ගමෙහි ෆැන්ටසිය අහවර වෙයි. යථාර්තය දිස්වෙයි. ඒ සිඟිති රාජධානිය පසු වන වාරයක් පාසා එබී බලා හිතෙන් ගොතන කතාව නිම වී , දුටු වනම දැනුවත් බවෙහි ඕලාරිකත්වයට නතුව අහක බලාගන්නට මට සිදුවෙයි. අරුමය ඉවර වෙයි. කොටින්ම මේ බ්ලොග් පෝස්ට් එකම ලැජ්ජා හිතෙන තාලේ අමන විහිලුවක් බවට පත් වෙයි.

මා එහි නොයන්නට තීරණය කරමි. 


ඔබට Big Fish  මතකද ? Tim Burton ගෙතූ , කොතෙක් නැරඹුවත් එපා නොවන , ඒ අරුම පුදුම නිර්මාණය. කතන්දර කියන , කතන්දර වලම ජීවත් වන , එඩ්වඩ් බ්ලූම් ! එඩ්වඩ්ට හමුවන කාල් නමැති අසාමාන්‍ය උසින් යුත් යෝධ මිනිසා ! 


කාල් සමග නගරයට යන අතර තුර , එඩ්වඩ්ට වන අරණ තුලින් හමුවන Spectre නම් සොඳුරු කුඩා ගම්මානය මතකද ? මේ කුඩා දසුනෙන් මා සිත දිව යන්නේ Spectre වෙතය. එහිදී එඩ්වඩ්ට ආලයෙන් බැඳෙන ජෙනී මතකද ?  වියපත් වනතුරුම එඩ් කෙරෙහි ආලයෙන් සිට , සිය ගරා වැටුනු නිවසත් සමගම දිරා ගොස් ,  මන්තරකාරියක වූ කුඩා ජෙනී ! 



ගමට පැමිණෙන අමුත්තන් හට ආපසු යා නොහැකි වන ලෙස , ලණුවක එල්ලා තියන සපත්තු ! නිරන්තර සිනා මුසු මුහුණු. පද කිහිපයකින් ඔබ්බට කිසිදු කවියක් ගොතා ගත නුහුණුව සිත් තැවුලට පත් වූ ශ්‍රේෂ්ඨ කිවි නොදර් වින්ස්ලෝව්. !යුද සමයෙහි එඩ්ගේ සහයට එන දෙමුහුන් සොයුරියන් !

 දුම් රිය නැවතුම් පහක් පසුවන කෙටි දුරෙහි , මගේ සිත බොහෝ ඈතට ඇදී යයි.

 මේ කුඩා තණ පිට්ටනිය සහ ගෙවල් පෙල දකින මම නොදැනුවත්වම මහා සිහින ආවලියකම පැටලෙමි. 

දැන් ඉතින් ඔබේ වාරය ! ඔබ තේරීමක් කළ යුතුව තිබෙයි. නිරන්තර ගාලු දුම් රිය මගෙහි යන එන ඔබට අරුමයක් නොවූ මේ සුන්දර සිඟිති රාජ්‍යය සැබවින්ම කුමක්දැයි ඔබ මට හෙලි කරනවාද නො එසේ නම් මට රිසි තරම් නානා විප්‍රකාර වැල්වටාරම් ගොතන්නට ඉඩ දී ඔබේ යතාර්තය ඔබේ හිතටම ගුලි කරගන්නවාද ? 

අහ්... අමතක වූවා නොවැ. දැනටමත් ඒ සිඟිති දිවයිනට තිබෙනවා නමක් ....   ඔබ මොකද හිතන්නේ 'Mystique ' කියන නම ගැන .. ?

දැන් ඉතින් ඔබේ වාරය !

"That was my father's final joke, I guess. A man tells his stories so many times that he becomes the stories. They live on after him. And in that way he becomes immortal"

Tim Burton - Big Fish (2003) 


Thursday, October 09, 2014

[313] බස් එකේ විරිදු කී කුඩා දැරිවිය ...


 දවස අද බොහෝ දිගය . දුම්රිය සේවකයන්ගේ හිතුවක්කාර වර්ජනය නිසාවෙන් මහ මග බස් රථ උදෑසන ගෑටුවේ ඉබි ගමනින්ය . ඒ අස්සේ පාරේ වලවල්ය. වැස්සය . උදේ කියන්නේ මේ වගේ එකකට නම් නෙවේය . 

 දවස ගෙවී ගියේත් ඉබි ගමනින්ය. ඒ වැඩ අටෝරාසියක් ඉගෙන ගන්නා මගේ සංක්‍රාන්ති කාලයේ හැටිය.  
මොනවා කරන්නද ? අලුත් රැකියාවක්. ඉගැන්නිල්ලට දෙවෙනි නැත. 

දවස ගෙවී ගොස් පහයි තිහ වැදෙද්දී උදේ සිට මහ මග ඇල්ලු අඩවු ඔක්කෝම අමතක කොට ගෙදෙට්ට පැනගැනීමේ මහාභිලාෂයෙන් මොරටුව බසයට නැග ගතිමි.  කෙමෙන් කෙමෙන් පීරි යන සෙනගට ඔච්චමට මෙන් , අහස කලු වෙවී වැස්සක් පෙන්නා නොපෙන්නා යයි. සිටගෙන දෙපා කෙඩෙත්තුවෙන් පෙලෙමින් සාරියකිනුත් සැරසී සිටින මට අද නම් එපාම කරපු දවසක්ම වූයේය. ඒ මදිවාට කනට ගසා ගන්නට ගී කියන ඇබ දෙකත් නැත. දුරකතනයේ බැටරි බැහැලාය. චාජරය ගෙදර අමතක වුනේය ! හපොයි මෙහෙමත් දවස් ! 

වැල්ලවත්ත පසු කොට දෙහිවල පාලම පන්නා ගැනීම එවරස්ට් නැග නිරුපද්‍රිතව ගෙදරට ලඟා වීම තරම්ම දීර්ඝ වෙහෙස කර කටයුත්තක් වන්නේ බස් ඩ්‍රැයිවර මහතුන්ටය, එය බලා ගෙන , බසය ඇතුලේ දහඩිය දුගඳ , උණුසුම් දාහය යනාදී කුණප ඉවසා සිටින අපට දෙතිස් මහා කෙඩෙත්තුවම සෑදීම අරුමයක් නොවේ.  

වැඩ ඇරී වෙහෙසව බසයට ගොඩ වෙන වෙලාව යනු, මානසිකත්වය ඉතාම නරක වෙලාවකි. වැරදීමකින් කකුල පෑගුනත් , පෑගූ තැනැත්තා දවා හලු කරන්නට තරම් කෝපයක් එයි. කවුරුන් හෝ හදිසි තිරිංග තදවීමකින් ඇණ්න්ගේ හැපුනත් මරාගෙන මැරෙන්නට සිතෙයි. වෙහෙස විසින් අප කැරලිකාර කොකු කාරියන් කරන්නේ හවස් යාමයටය. එහෙත් මට වාරියපොල නංගී කෙනෙක් වීමටත් බැරිය. 


බස් රථය දෙහිවල පසු කරද්දී චුරු චුරු වැස්සක් ඇද හැලෙන්නට වෙයි. හපොයි, බාගෙට ඇර තිබූ ජනෙල් එක දෙකත් වැසෙයි. මිනිසුන්ට හුස්ම නොගෙන සිටිය හැකිද ? බැරිය. හරියට ආදරේ නැතුව ඉන්න බැරිවා වැනිය . ගල්කිස්ස ලං වෙද්දී වැස්ස තුරල් වෙයි. වීදුරු එක දෙක ඇරී දුර්ගන්ධ වාතය එලියට පැන ගනියි. අපට සැනසිල්ලක් දැනෙයි. 

පුංචි මල් වැස්සක් වාගේ ඕන්න ඇය බසයට ගොඩ වුනාය . 

විරිදු රබානක් අතින් ගෙන ,කුඩා හම් බෑගයක් කරේ ඇලයට එල්ලා ගත් අවුරුදු දහ පාලොහක ලමිස්සියකි. මම ගෙල දික් කොට ඈ පසුපසින් එන අන්ධ තාත්තා හෝ අම්මා සෙවුයෙමි. එක්කෝ අක්කාගේ ගවුම් කොනෙහි එල්ලී එන හොටු පෙරාගත් මල්ලී සෙවූයෙමි. නැත ! ඈ තනියම. අරුමයකි. ඈ මේ ගොම්මන් වෙලාවේ තට්ට තනියම බසයට නැග ඇත්තේ විරිදු කියන්නටය.  කීයක් හෝ සොයා ගන්නට කොතරම් අරුම රැකියාවක්ද ? වෙසෙසින්ම මල් වයසේ කෙල්ලෙකුට ??? බසයේ මැදට විත් විරිදු රබානට තට්ටුවක් දාගෙන ඇය ආසනයකට වාරු ගනිමින් උගුර කට පාදයි. මගේ පුදුමය එන්න එන්නම වැඩි වෙයි. 

ඈ හරි පිරිසිදුය . පිලිවෙලකට සායක් හැට්ටයක් ( දුප්පත් කමේ කුඩා කඩතොලු තිබුනත්) හැඳ රබර් සෙරෙප්පු කුට්ටමක් ලාගෙන කොණ්ඩය ගොතා සිටින ඇයගේ වැඩි සුකුරුත්තන් බවක් නැත. මහා වේලෙන දුප්පත්කමකුත් නැත.  

ඈ හඬ අවදි කරන්නීය. වැහි බීරුම කපාගෙන ඇගේ අපස්වරයෙන් ගැයෙන ගීතය මට ලතා මංගේෂ්කාර්ගේ මධුර හඬ ගෙනෙන මිහිර නොගෙනා බව කිවමනා නොවේ. එහෙත් කිසිදු වෙවිලිල්ලකින් තොරව දෙනෝ දාහක් බලා සිටින බසයේ හරි මැද සිටගෙන ගී ගයන්නට තරම් ඈට කොතරම් නම් ආත්ම ශක්තියක් තිබිය යුතුද ? පොඩ්ඩක් හෝ ඇහැට කණට පෙනෙන දුප්පත් දැරිවියන් අවකලුන්ගේ ග්‍රහණයට නතුව සුසුම් ලද්දී, ගෙයි දොර මුල්ලේ අනාථව හඬා වැටෙද්දී , මෙහෙකාරකම් කරද්දී , මේ පැන්චී හරි අපූරු ජීවනෝපායක් හොයා ගෙන නොවේද ? කක්කුස්සි වත්තේ චුට්ටිලා මානව හිමිකම් වෙනුවෙන් අරගල කරද්දී , අම්මා තාත්තා නැතැයි ඇත්ත ( විය යුතුය!) කියා , රබානක් වයා ජීවත් වෙන මග සොයා ගන්නා මේ පැන්චීට ඇති දහිරියෙන් බින්දු කාලක්වත් මට තිබේද ? බසයේ සියලු දෙනා ඈ දෙසම බලා සිටිති. ඈ තවත් විරිදුවක් ගයා , බුහුටි අයුරෙන් ඇඟිල්ල මත රැඳවූ රබාන කරකවමින් ශ්‍රාවකයන්ගේ ආධාර වෙනුවෙන් පැමිනෙන්නීය. ඉදින් මේ ආධාර ගෙන බසයෙන් බසින ඈ ගැනත් මට කල්පනා වෙයි. 

කුඩා ලෑලි පැල් කොටයක ගඩොලු දෙක තුනක් මත මුට්ටියක් තියා , දවසේ එකම රෑ බත සරි කරන විරිදු කාරී. ඈ අසල අත් මදිමින් බලා ඉන්නා කුඩා මල්ලී. කූප්පි ලාම්පුවේ එලියෙන් රබාන පිසදමන විරිදු කාරී. පසුදා පාසල් යන්නට ගෙදර වැඩ කරන විරිදු කාර දැරිවී.  කුඩප්පාත් අම්මාත් රණ්ඩු වෙන පැල් කොටයෙන් ඈත්ව මුහුද දෙස බලා සුසුම් ලන විරිදු කාර පැන්චී. මල්ලිලා නිදි කොට , ගල්කිස්ස හෝටලයේ එලි දෙස බලාගෙන ගංජා සුරුට්ටුවක් අදින විරිදු කාරී.

මම කල්පනා දාමය එතැනින් බිඳ දමමි. කල්පනාවන් දුර ගෙන යාමට මට අයිතියක් නැත.  මම මා වෙත නෙත් හෙලා සිටිමි. රැකියාව නිමවී නිවසට විත් කකුල් උඩ තාබාගෙන තේ බිබී , දුරකතනයෙන් මිතුරන් අමතමින් , කාලය කාදමන මම ! මමම උයා , මමම එය ගිල දමා බඩ උඩ දමාගෙන ගොරවමින් නිදන මම ! අන්තර්ජාලයේ සැරිසරා මෙසේ බ්ලොග් පෝස්ට් එකක් ලියා , සිතැඟි වලින් ලොව පෙරලන්නට ප්ලෑන් ගසන මම !

මට හුස්මක් පිට වෙයි ....

යලිත් මා පියවි සිහියට එමි. කාටවත් නොපෙනෙන්නටඈ වෙත ගොස් , රහසින් ඇගේ කණට කොට , කුඩා යමක් කියන්නට මට සිත් වෙයි . 'පැන්චියේ , ජීවිතේ මොකක්දැයි උඹට තේරෙන හැටියට මටත් කියා දීපන් !' 

එහෙත් ඈ තවත් බසයක් සොයා බැස ගොසිනි. මා තවම අසුනෙහි හිඳ නැවතුම එනතුරු තැවුල් සිතිනි. 



Wednesday, October 08, 2014

[312] බැක් ටූ කලම්බෝ කලම්බෝ ජීවිතයට !




 ජීවිතය ප්‍රත්‍යාවර්තී ලෙස යලි උදා වෙතැයි නොබෝ දිනෙක මම ලියුවා මතකය. මේන්න කියූ ලෙසින්ම ජීවිතයේ තුන් වෙනි වතාවටත් මම කලම්බෝ ජීවිතයට ආගමනය වී සිටිමි. මගේ තීරණ වල හැටි එහෙමය . එහි කිසිම කමසෙයියාවක් නැතැයි කෙනෙකුට මතු පිටින් බලද්දී හිතෙයි. ඒත් ඒ මතුපිටින්ය . ඇතුලතින් කිඳා බැලුවොත් තැනින් තැන බොහෝ විද්වත් වැඩිහිටි සංවාද , තවත් විටෙක කුරුටු ගෑ ස්වොට් (SWOT) ඇනලිසිස් පවා තිබෙනවා දැකිය හැක්කේ එහෙමත් කෙනෙකුටය ! 

ඔයින් මෙයින් ඒ කෙසේ වෙතත් , ආයෙමත් ඇනෙක්සි ජීවිතයකට අවතීර්ණ වූයෙමි. ඒත් මේ වතාවේ , නිස්කලංක, ගහකොලින් සුසැදි , නිහඬ වටපිටාවක , අහස සිඹින තුන් වෙනි තට්ටුවකට සිහිල් තැනක නැංගුරම් ලන්නට වාසනාවන්ත වීමි. මගේ මුල්ම කොලඹ බෝඩිම වූ රජගිරියේ සුනීතා ඇන්ටිගේ නවාතැනෙහි ,ඇගේ පින්බර ආදරනීය අම්මා කෙනෙකුගේ වැනි දයාබරත්වයත් අන්කල්ගේ තාත්තා ගතියත් මධ්‍යයේ වුවද ,  පාරට නුදුරු දුහුවිලි වලින් වැසී යන නිවසෙහි උණුසුමෙහි තිබූ පීඩාවත් සිතට එයි. උණුසුම දරාගත නොහැකිව රෑ එකට පවා නාන එක ඉවසන් හිටි ඇන්ටිලාට මගේ ප්‍රණාමය! 

මෙවර මගේ ඇනෙක්සි ජීවිතය කුඩා කාමරයකට සීමා නොවී හින්චිත්තන් ගේ පොඩිත්තක් දක්වා වර්ධනය කර ගතිමි. කුඩා නිවසකට අවැසි පොඩි පොඩි ගෘහ හා විදුලි භාණ්ඩ ටික මා සපුරා ගන්නේ නුවර ගතකළ තුන් අවුරුදු රැකියාවෙන් කළ ඉතිරියට පින් සිදු වන්නටය !  

නැවේ රැකියාවෙනුත් සමුගෙන සිය වයස්ගත බිරින්දෑගේ බයිපාස් සැත්කමෙන් දුර්වල වූ හදවත සුවපත් කරමින් ඈ හා දවසම ගෙදෙට්ට වී ගත කරන වයස්ගත යුවලක් මට අනෙක් පස නිවසෙහි වෙසෙති. ජීවිතයේ සැඳෑ සමයෙහි ඔවුන්ගේ සතුට , ස්කයිප් හරහා මුණුබුරන් දැකීමය . ජීවිතය ගැන පහන් හැගුම් යලිත් මතුව එන්නට, අනාතුර ( අඩු ගානේ ටිකක් හෝ අනාතුර) මිනිසුන් වට කරගෙන සිටීම යහපතකි.  

බසයෙන් බැස ඇවිද එන කුඩා දුර ප්‍රමාණයෙහි ෆුඩ් සිටිය ඉදිරිපස හිඳ සිටින තරුණ මවත් , ඈ ඇකයෙහි , 'අම්මාට හරි හම්බ කරගන්නට නිමිති සපයන' රූබර පොඩිත්තාත් පසු කර යමින් මට දැන් සුසුම් හෙලිය හැකිය. ඉඳ හිට ඇගෙන් හඳුන් කූරු පැකැට්ටුවක් ගන්නේ බුදු පහන් දල්වන්නට නොව , සාරි වල වාටි පුච්චන්නටය. 

පසු ගිය සති අන්තය ජීවිත කාලයේ නිවාඩු තිබූ දුලබ සති අන්ත වලින් එකක් වූයේය ! ඒකට පින් සිදු වන්නට , ගෙදරින් ගෙනා හාරසියයක් පමණ කතා පොත් කොටස අස් කරමින් මම තෘප්තිමත් වරුවක් ගෙවූයේ කලකට පසුවය . 




ජීවිතය මෙසේය. ප්‍රත්‍යාවර්තී ලෙස යලි උදා වී ඇත්තේ කෙබඳු කලක්දැයි නොදනිමි. කඳු මුදුනට නැග ජීවිතයේ උස බැලීමි. (ඔබට මතකද?) එය බොහෝ උස් කඳු අතරෙහි චූල කඳු මුදුනක් බව සැබවි. උත්සහය විසින් මා තෘප්තිමත් ව්‍යවසායිකාවක කොට ඇත්තේය. ජීවිතය දෙස අමනාපයෙන් නොව පහන් සිතින් බලා සිටිමි. නොමැකෙන මුහුණු ඇතිනම් එකකි. එය බිත්තියෙහි අලවා තැබිය යුතු නැත්තේය . එය නිබඳ හද මුද්‍රාවක රවුමට නෙලා තිබේ. 

මම ජීවිතය දෙස බලා සිටිමි. ජීවිතයේ උස බලන්නට කඳු නැග බැලූ අවසන , දිග පළලත් බලනු රිසිව ගංගාව දිගේ ගල්පර වල හැපී , නැගිටිමින් , පිහිනා යන්නට උගනිමින් සිටිමි. තනිව පිහිනීම සැබවින්ම මා අරඹන්නට දශක තුනකුත් ඉක්ම යනතුරුම සිටි බව පසක් කොට සිටිමි. මෙතෙක් මව් ඇකයෙක කිරි දරුවෙක් මෙන් ජීවිතය යදිමින් හඬා වැටුනු බව පමණක් පසුතැවිල්ලෙන් සිහිපත් කරමි.  

එම්බා ජීවිතය , මෝය කටෙහි බලා හිඳින්න , මා පිහිනන්නට උගෙන , පිහිනාගෙන කවදා හෝ සයුර දකින්නට , මේ දුර ගෙවා ගෙන එන්නෙමි. 
 

Saturday, September 06, 2014

[311] සුදු ඇඳගත් සඳ

 
 

සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට 
රිදවුනු සිත ගෙන යයි කඳුලැලි ගං ඉවුරට  
ඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දෑවට 
ඒ ගං ඉවුරට  ...

බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුනි මට 
ඇයි දැයි දොස් පවරන සඳ සිත  
නුඹෙ වරදද මගෙ වරදද ?
එය මා දන්නේ නැත 

නුඹ මා ලොව කලුවර කොට පැන ගිය පලියට  
කෙලෙසක දොස් පවරමි නුඹ හට 
කිසි කෙනෙකු නොදුන් ආදරයක් 
නුඹ මට දුන් කොට ..

 සඳට විරාජමාන වන්නට තවත් දවසක් දෙකක් ඉතිරිව තිබෙයි. එතෙක් ඉවසා සිටීම අපහසු හෙයින්දෝ වළාකුලු එක දෙකක් සුලඟට ඈත් මෑත් වන ඇසිල්ලෙන් සඳ සිය කිරි සිනහා එළි එක දෙකක් මහ පොළව වෙත එවයි. බිම බලාගෙන ඉසිකෝ මන් හද දරාගෙන චමත්කාරී රැය ඉවසා වදාරන කාලකණ්නි පොළොවටත් සුලඟටත් ඒ සඳ පෙනෙයි. ඒ හීල්ලීම් සඳට වගක් නැත. සඳට පෙනෙන්නේ  නුදුරෙහි එන රාත්‍රී පොහෝ සැණකෙලියට ලෝකයම සැදී පැහැදී සිටින වග පමණකි. 

හෙට උදාවන සුපුරුදු අරුණාලෝකය මිස අහස ගුගුරා එන අනපේක්ෂිත මහ වැහි කෝඩයක ලකුණු , ප්‍රේමාන්ධ වූ සඳට නොපෙනෙයි. දිගු කාලයක් එකට හිටි එකාකාරී පුරා වස් ගණනාවක අවසන , පොළව සඳ සමග ගනුදෙනු අත් හරින්නේය. එහෙත් ඒ පෙනෙන හැටි පමණකි.  අහසත් සඳත් කිසි ලෙසකින් උනුන් හැරයන්නෝ නොවෙති. ගතවන දිවා විරාමයෙන් ඉක්බිති ඔවුනොවුන්ට රාත්‍රිය කියා උන්ගේම මොහොතක් මග බලා සිටී.

එහෙත් , එක් දිනෙක, 

සඳ නලලත සිපගෙන , උදෑසන අඳුරුතම පැය සටහන් කරමින්, අහස වේදිකාවෙන් බැස යන සුපුරුදු අන්ධකාර හෝරාවය . වෙන කවරදාටත් වැඩියෙන් උණුසුමෙන් , සෙනෙහසින් , ආලයෙන් මෙන්ම හද කම්පා කරවන තරම් මෘදු හඬින් ' ආදරෙයි ' කියා අහස මුමුණයි. සඳට එය වටහාගත නොහැකි වෙයි. අහසටද වටහා දෙන්නට තරම් කිසිවක දැනුවත් බවක් නැත්තේය. විස්තර කළ නොහැකි මූසල වෙන්වීමේ ඉඟියකින් , නොහොත් ඉවකින් , අහසත් සඳත් යටි සිතෙන් බීත වී සිටිති. . අහසත් සඳත් නො එන රැයක් තිබේද ? උනුන් සිප වැලඳ නොගන්නා දිනයක් ඒද? නැත . උන් යටි හිතට ක්යා හිත හදා ගන්නේ එහෙමය .

හිමිදිරි සීතල තුරල් වෙන පාන්දර , සඳ සෙමෙන් මුහුණ අඳුරු කරගනී.  එලැඹෙන නුදුරෙහි අහසත් සඳත් එකම රාත්‍රියක නිසි නිවිසැනසිල්ලේ නොබියව විරාජමාන වන පොහෝ සැණකෙලිය සිහිපත් කරමින් සඳ තැවුල් මුහුණ සිනා වතින් පිසදා ලන්නීය. අහස සිය රළු පරළු, හැඟීම් විරහිත යයි පෙනෙන , එහෙත් බොහෝ දුක් හා රිදුම් තැවුල් දරා ඉවසන දැඩි මුහුණින් උදා දොරකඩ වෙත පියමනී. පසු පස්සේ වැටෙන සඳ , අහස් ගැටියෙහි ඇතිල්ලෙමින් සමු ගැන්මේ සිහිවටනය නොකියා ඉල්ලමින් එකෙල මෙකෙල වෙයි. වෙනදා මෙන් එය පමා නොවෙයි. ඇසි පිය හෙලන ඇසිල්ලෙන් , සිය විසල් අහස් තලයෙන් එක් බිඳිත්තක් වන් කුඩා සඳට ඉවැසීමෙන් යුත් එක් නළල් හාදුවක් උණුසුමින් තෑගි දෙන අහස , කම්මුල් හරවමින් , ප්‍රති සිහිවටන ඉල්ලා සිටියි. එය සැබෑ සමුගැන්මක් තරම්ම සංවේදී වූයේ , හැඟුම් හා ඉව , සදෘශ්‍ය විචල්‍යයනට වඩා ප්‍රබල නිසාද?

'Love you'  ඉතාමත්ම චමත්කාරජනක සන්ධ්‍යා හමුවීම් එක දෙකක අතිශය රොමෑන්තික ආදර කඳු මුදුන් දැක පහන් වෙද්දි පමණක්ම , හඬ බිඳී මෘදු සරින් විසිරුනු එම වදන් , එදා අඳුරු පැහැගත් කාල මීදුම් එතෙන මූසල හිමිදිරියේද , ඒ මුදු සරින්ම ගිලිහුනේ,  අවසන් වතාවට යැයි සඳටවත් අහසටත් නොසිතෙන්නටම ඇත. 

'පරිස්සමෙන් යන්න. මේ දවස් ටික පරිස්සමෙන් ඉන්න' 
සඳ , වෙන කවදාටත් වඩා මෝරා ගිය වැඩිහිටිකමකින් , තමන්ට වඩා බොහෝ දැනුම් තේරුම් ඇති අහසට දැනමුතුකම් දෙයි.  ආදර බැල්මකින් , කුඩා සඳට ප්‍රතිචාර දක්වමින් සමුගෙන යන අහස , හිමිදිරිය පෙනි පෙනී ආයිත් හැරී එයි. යා යුතු යැයි හද නොපිලිගන්නේද? 

' වහින්න වගේ නේද ? ඇයි ඒ ?' පිලිතුරු නැති පැනයකට උරිස් හැකිලෙන සඳ වෙත යලිත් එන අහස , යලිත් හාදුවක් තබා හිමිදිරිය වෙත හැරී යන්නේය . 

මෙදින පවසමි  ,
සහසැස් මිසක , එ'සුදු සොමි රැස් හෝ , එ'සඳ වැලඳ ගත් අහස හෝ එදිනෙන් පසු යලිත් නොවැලැඳැගත්තෝය. ඉනික්බිති එලැඹි රාත්‍රීන්හි වට මහ වැසිද , ඉන් තෙත්බරිව විසුණුව ගිය වේදිකාවද නිමිති කොට සඳ සහ අහස නාඳුනන්නන්ගේ මානයට ගෙන ගියෝය.  

නාඳුනන අතෝරයන්ගේ බල පරාක්‍රමයන්ට පින් සිදු වන්නට , සුදු ඇඳගත් සඳ , වැස්සේ තෙත්බරියන් වෙමින් , තෙමී ලෙඩ හදා ගන්නේ යැයි තරවටු අසමින් , වස්සානය අවසන් වෙතැයි සිතන්නීය, පෙරුම් පුරන්නීය . අහසෙන්ද ගැරහුම් ලබන්නට තරම් සඳට අමාවකම හිමි වන්නීය. මහ වැස්සෙන් පසු අහසද එම අහසමමැයි පතන්නිය. 

තවමත් රාත්‍රීන්හි සඳ එබෙන්නීය. කලා පුරන සඳ වෙනදාටත් වඩා දිලෙන්නේ යැයි පවසන්නේ කෙබඳු සිතකින්ද? ලෝකයක් එලිය කළ යුතු යැයි සඳ බිහි කළ හිරු , පිලිණ ගති. වැසි දියෙන් ආතුර සිතින් , සඳ , රාත්‍රියෙහි අන්ධකාරය , අහසක් නැති කැඩී බිඳි සුන් බුන් වූ වේදිකාවෙහි තවමත් දිදුලවන්නේ එහෙයිනැයි අහසට සිතා ගත නොහැකි වීම විස්මයක් නොවේ. 

 
සිතුම් සුලඟක ඇමිණී

හැඟුම් කෙම්බිම් සරමී
සුසුම් පැහැ තවරමිනී
කවක් සඳ මුව මිමිණී ... 


‍රැස් දෙන ඉරට ලං විනි
ලත් හිරු ‍රැසින් මත් විනි
මල් සර විතෙන්  විස ඉනි
නෙත් අඳ සඳක් ඇවිලිනි    ... 




සුපෙම් අහසක් අහිමි
සොවින් සඳ මියැදෙමිනි
සසර හුරු ඇස් හැඟුනි 
යලි අහසෙ  සඳ උපනි..





මැකී යලි සඳ පිපුනී
පිපී සඳ බොඳ නොවිනී
මසින් මස මෝරමිනි
සඳින් අහසද උපනි....


සහසැස් සිඹින අහිමි
අහිමිව නොහෙනු හඬමි
හැඬු නෙත් සිඹින ම'හිමි
හිමි නුඹ අහිමි නොහෙමි....

වරෙක සුනිල් එදිරිසිංහයන් , ඉතාමත්ම වේදනාබර ආයාචනාවක් , ලිහිණි කුරුල්ලන් වෙත ගෙන හැර පාන්නේ , සිත ගත් ප්‍රියයාණන් සොයා පියඹා ගොස් , මා මිය යන බවක් හෝ පවසා, ප්‍රේමණීයයා තමන් බලන්නට ගෙන්වා ගන්නැයි කියාය . එය මරණ තර්ජනයක් පෙන්වා සිතුම් ඉටු කරගැනීමකැයි අර්ථ දක්වන්නේ කවුරුන්ද?  

අහිමි කමේ ආලාපයන් මත්තේ සඳට පායා නොසිටිය නොහැක්කේය. අන්ධකාර රාත්‍රියට කුඩා සඳ පහන එලි දෙන්නට පිලිණ දී ඇත්තේය . අහසෙන් මුවා වී සඳ කෙසේ පායන්නද ? වළාකුලක හැංගීගත් සඳෙහි , තවත් ගැඹුරට හෑරී ගිය සදාතනික ආවාට වල එක්තැන්ව පැලැහෙන ලුණු රසැති රතු කඳුලු නිරතෘවම , සුදු රැස් දහරින් සෞම්‍යව පවතිතැයි , දූත ලිහිණියෙකුගේද නිගමනය වනු ඇත.
 
බොහෝ කවීන්ගේ රස නහර පුබුදුවා ලූ , හැඟුම් ප්‍රස්තුත සැපැයූ මුත් , සඳ එයින් ලැබූ පහන් හැඟුමක් නැත්තේය. පැහයක් හැඩයක් හෝ දිග පළලක් නොමැත්තේ මුත් , සඳට වැතිර සිනාසෙන්නට තරම් විසල් හද කුහරයකට හිමි කම් කී අහස වෙත සඳ හැංගූ කවියක් නැත !  

අතීතය ප්‍රත්‍යාවර්තී ලෙස යලි උදා වෙයි. එහෙත් ජීවිතය උදා වන්නේ එකම එක් වරකි. ප්‍රත්‍යාවර්තී අතීතය කෙසේ ඇවිත් ගියද , යලිදු ජීවිතය යන නම ඊට දිය නොහැක්කේය. 


 ප.ලි
සුදු ඇඳගෙන ගීය : මගේ රචනාවක් නොවේ. එය කරුණාරත්න දිවුල්ගනේ ගයන්නකි. මෙන්න ගීතයේ සබැඳිය

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->