Tuesday, July 23, 2013

[293] සාප්පු වන්දනාවේ ආදීනව


සාප්පු යාම වචනයේ හැටියට ගෑනුන්ට නම් නොකර බැරිම වන්දනාවකි. ඒ කුලකයේ මාත් සිටින නිසා , ඒ ගැන ලියන්නට අමුතු දේවල් නැති වේවිද?

කවුරුනුත් වාගේ මාත්  සාප්පු යන්නට පටන් ගත්තේ කුඩා කාලයේම සිටය. එහෙයින් මගේ සාප්පු ක්‍රීඩාවේ වේදනාව මුලදී දෙමව්පියන්ටත් . ලොකු මහත් වූ විට අක්කාටත් උරුම වූයේය. එහෙත් කල් යාමේදි මට උවමනා සාප්පු යාමේ කාරියට ගැලපෙන්නේ තනිව යාම බව මට පසක් වූයේය.

සාප්පු යාම සහ බඩු ගැනීම යනු මගේ ජීවිතයේ සහමුලින්ම වෙනස් කාරියන් දෙකකි. බඩු ගැනීමට ලිස්ට් එකක් සහ යන එන තැන් පිලිබඳ මනෝ සටහනක් තිබෙයි. ඊට පැය භාගයකට වඩා කිසිසේත්ම ගත නොවෙයි. බඩු ටික රියක පටවා ගෙන නිවසට හනික ඒම මිස බඩු අතෙන් කරෙන් එල්ලාගෙන සාප්පු යාම කිසිසේත්ම සිදු නොවෙයි. සාප්පු යාම එක්තරා වතාවතක් හෝ කලකට පසු එලඹෙන නිත්‍ය වන්දනාවක් වැනිය. අතෙහි  ගමන් මල්ල මිස බර බඩු කිසිවක්ම නැතිව කිසිවෙකුගේ ආණ්ඩු මට්‍ටුවකින් තොරව පැය ගණන් ඉබාගාතේ ඇවිදීමේ රසය දන්නේ ඊට ආශා කරන්නෙකුම පමණකි.


මා සාප්පු යන්නේ තනිවමය. ඒ මගේ සාප්පු ගමන් බිමන් වල කිසිදු චාරයක් හෝ විනයක් නැති නිසාය. ඇතැම් විට එකම සාප්පුවකට වරක් දෙවරක් හෝ තෙවරක් මම ගොඩවන්නෙමි. සාප්පුවෙහි සේවක සේවිකාවන්ගේද ඇසට ලක් වන තරම් වේලා එහි ගත කරන්නෙමි. මා හොර ගල් අහුලන්න්නේ යම් කිසිවක් සොරා ගැනීමට දැයි සැකයට හසු වන තරම් වේලාවක් ඇතැම් දිනවල එකම තැනක  එහි ගත වී තිබෙයි. ඇතැම් විට රාක්ක ගණනාවක් අවුල් කොට කිසිත් සිදු නොවූ අයුරෙන් මම කිසිවක්මත් නොගෙන පිටවී එමි. ඒ මගේ සාප්පු යාමේ ආස්වාදයෙහි තවත් කොටසකි.

මා සාප්පු ගමනක් යනවා නම් නොවරදින ආයතන තුනකි. පොත් හලත් , මට සුපුරුදු ඇඳුම් සාප්පු කිහිපයකුත් , සුපිරි වෙලඳ සැලකුත්ය. මේ හැම එකකම දකින බඩු භාණ්ඩ එකක් එකක් වශයෙන් අතගා බලමින් මිල ගණන් සසඳමින් ගත කරන හෝරා කිහිපයෙහි අවසන කොහේ හෝ අස්ස්සක මුල්ලක සැඟවුනු අපූරු අරුමෝසම් අයිටමයක් බොහෝ වෙලාවන්හිදී හමුවෙයි. හදිසියේ බඩු ගන්නා අයට එවන් දේ බොහෝ විට හමු නොවෙයි. ඇඳුම් වර්ග ඇඟලා බලමින් මා කොතරම් මහත් හෝ කෙට්‍ටු වී ඇත්දැයි සොයා බැලීමද තවත් සාප්පු ක්‍රීඩාවකි.

සාප්පු යාමෙන් පොකැට්‍ටුව හිස් වීම ඇත්තකි. එහෙත් මන්දගාමී වූ සිත එක්තරා ආස්වාදයකින් පිරී යාම නිසා සාප්පු යාම මට මහත් වූ ඵල ඇති ක්‍රියාවකි. ඇතැම් විටක සමීපතමයකු සමග රණ්ඩුවක් වූවිට මගේ ස්ට්‍රෙස් රිලීස් වන්නේ සාප්පු යාමෙනි. කිසිසේත් නොසිතූ විරූ තරම් මුදලක් එකවර වියදම් කිරීමෙනි. කිසිදා සැලූන් ගොස් තවෙකෙකුට මූන අතගාන්නට දීගෙන නිදි කිරා වැටෙන එක පෙන්නන්නට බැරි මම එදාට සැලුන් එකටත් යමි.

මේ සාප්පු යාමේ බොහෝ අතුරු ප්‍රතිපල තිබේ. පොත් වලට තියෙන නිසග ආශාවට පින් සිදු වන්නට පොත් හලකට ගිය මොහොතේ සිට මට ඒ කඩයම මිලදී ගන්නට සිතෙයි. ඉතා අපහසුවෙන් කපා කොටා බලා ඇතැම් විට පරිච්ඡේදයක් කියවා ‍තෝරා ගන්නා පොත් සෑහෙන ගණනකට පොකැට්‍ටුව හිස් කල හැකි වෙයි. ඒ පොත් ටිකත් අරගෙන මුල්ලක ඇති තේ පැන් හලට ගොඩවී තේ බොමින් තව වරුවක් මිලට ගත් පොත් බැලීමත් ඒ තරම්ම ආස්වාදජනකය. ගෙදර ගෙන ගොස් කාමරයේදී ඇර බලද්දී පොතේ උණුසුම දියව ගොසිනි.


මෙසේ මෙලෝ සිහියක් නැතිව සාප්පු යන මට අයිස්ක්‍රීම් පිලිකන්න අමතක කළ නොහැක්කේ ඊට ආසන්නයෙන් අයිස්ක්‍රීම් තිබෙන නිසාය ! මේ නුදුරු වැහි දිනෙක හදිසි බැංකු කටයුත්තක් වෙනුවෙන් කේසිසී පරිශ්‍රයට ගොඩ වැදුනු මම පඩිපෙල ඉස්මත්තෙහි වයලින් වයන සුරුබුහුටි කොලුවෙක් දු‍ටුවෙමි. සංගීතයෙහි කෙළ පැමිණෙන්නට නොහැකි වුවත් වයලිනයක් බටනලාවක් ඇහෙද්දී දැනෙන සුපුරුදු හෘද අනුනාදයෙන් මට ආ කාරිය අමතක වූයේය ! මගේ හිතවතාට ඒකෙහි වගක් නැත. බැංකුවට ආවා නම් බැංකුව ! සුලඟේ ගසාගෙන යන පරඬැල් කෑල්ලක් මෙන් මම තරහින් පුපුරමින් , ඔහු පසුපස්සේ ගාටමින් අකැමැත්තෙන් එතැනින් ඉවත් වීමි. ඒ බැංකු කටයුත්ත ඉ‍ටු කිරීම උදෙසාය. 

ඒ කාරිය නිමා වූ විගස පැමිණිලි කිරීමේ , ආඩපාලි කීමේ , පුප්පනු ලැබීමේ කාලය එලැඹින ! අහෝ ඒ උත්තමයාට සිදුවූයේ මා ‍රැගෙන යලිත් වයලින් වැයෙන තැනෙන මා ‍රැගෙන යන්නටය. මට ඇති වන තෙක් වයලින් අහන්නට දෙන්නටය !

මේ මාගේ සාප්පු චාරිකාවන්ගේ ආදීනව එක දෙකක් පමණකි.

ඇති වන තෙක් සාප්පු යාමත් පාරෙහි ඇවිදීමත් හැකි තාක් දුර පයින් තනිවම යාමත් හරිම ආස්වාදජනක කටයුත්තකි. මිලට ගන්නා බඩු භාණ්ඩ වලට වඩා සිතට ඇති වන පිරිපුන් ස්වභාවය තව දින ගණනාවක්ම මහත් වූ ජවයකින් ගෙවා ගනු වස්  මේ අරුමෝසම් සාප්පු චාරිකාව මහත් ඵල උදා කරයි. 

නිවසින් කාර්යාලයත් කාර්යාලයෙන් නිවසටත් තෙරෝද රියකින් ගමන් ගැනීමේ අනි‍ටු විපාක මට දැන් පෙනෙයි. ලෝකයෙන් හරි අඩක් නොව සියයට අනූ නවයක්ම දෑස් මානයෙන් වසං වී යාමෙන් ලිවීමට බ්ලොග් පෝස්ට් සහ සිතුවිලි කෙසේ නම් ඇති වේවිද? 

මා රහස සොයා ගතිමි. වරද ඇත්තේ කම්මැලි වූ මාගේ ගතෙහි මිස සිතට හෝ ලිවීමේ මතකයට හෝ හැකියාවට හෝ සිදුවී ඇති ආපදාවක් නොමැත... 


Friday, June 14, 2013

[292] ආදරය කරන්නවුන් උදෙසාම පමණකි..

ආදරය ගැන මා ලියූ අ‍ටුවාටීකා නිමක් නැත. ආලය පිලිබඳ මල් වියේ ලියූ ඇතැම් දෑ දැන් මුවගට සිනහවක් ගෙනෙයි. එහෙත් එහි අවලාදයක්, අපහාසයක් , මදිකමක් හෝ ලැජ්ජාවක් මට නොවේ. මා ලියූ හැම අකුරකම මගෙන් ලොකු අර්ධයක් අඩංගුව තිබූ බව නොරහසකි. අනෙක් අර්ධයෙහි මා ස්පර්ශ කළ කුඩා ලෝකයෙහි ඇසූ දු‍ටු බිඳිති සිදුවීම් අඩංගු වෙයි. ඒ මගේ ලිවිල්ලේ හැටිය. මනංකල්පිතයන් ලිවීමේ සමතුන් අනගි ලියන්නන්ය. මට එය පිහිටා නැති සෙයකි. ඒ පිලිබඳව දුකකුත් නැති

ආදරයම හම ගැසූ මල් විය ඉක්ම යද්දී වෙනත් වෙනත් දෑ පිලිබඳ සිත් පහළ වෙයි.උදාහරණයක් කිවහොත් කුඩා බිලිඳුන් දකිද්දී වෙනදාට වඩා හද පැහැර ගනියි. ඊට හේතුව ජීවිතයේ එක් එක් යුගයන්හි අපේ ආධ්‍යාශයන් විය හැකිය. ජීවිතයේ එක් පරිච්ඡේදයක් අවසන් වෙද්දි අලුත් පි‍ටුවක අලුත් කතන්දර ලියවෙයි. බිලිඳු මුහුණක් සමගම ලඟ ලඟ කාලයේ ලැබුනු සොඳුරු ඇසි දිසි මතක තවත් පෝස්‍ටුවක් ලියන්නට බල කර සිටියි
~'~

.කුඩා බිලි‍ඳෙකු උපදින්නේ මවකගේ ගැබෙනි. එහෙත් පියවරු මුවින් නොබැණ ඉවසන දහදුක එසේ මෙසේ නොවේ. මවකගේ දුකෙහි, වේදනාවෙහි අවසාන ප්‍රතිපල ගලා බස්නා පහළම තැනත් තාත්තාය. හෙවත් අම්මාට තරහ යද්දී අම්මාට ඒ තරහ පිට කරන්නට ඉන්නේත් තාත්තාය. ඒ අවු අස්සේ ඒ තාත්තා දරු පැටියන්ට රජා වගේ ඉන්නත් ඕනේය. තාත්තාට ලොකු පවුලක් හදා වඩා ගැනීම එසේ මෙසේ බරක් නම් නොවේ.ඒ බරට උර දෙන මේ සොඳුරු තාත්තා දෙස විනාඩි 7ක් බලා සිටීම බොහෝ වටී.


බලන්න.........



බෙදා හදා ගත හැකි වටිනා කියන බොහෝ දෑ මෙන්ම , කුනු කරෝළ තරම් ගඳ ගසන අසීමිතව කුණු රසය දනවන ෆේස් බුක් අප්ඩේට්ස් අතරෙහි,මේ දු‍ටු වීඩියෝව බෙදා හදා නොගැනීම තරම් නොවේ.

කුඩා බිලි‍ඳෙකුගේ මුව පොඩිත්තක මැවෙන සිනහවට පොදු භාෂාවක් තිබේ.... අඬද්දී ඇඹුල් වන්නේ එකම ආරටය. කිරි බී බඩ පිරෙද්දී හිනා වෙන්න කොට බිලිඳු ඇස් වල තියෙන්නේ එක ආලෝකයකිනි. කුඩා බිලිඳියකගේ දෑස් වල අම්මාගේ සෙවණැලි වැතිර තිබෙයි. ආදරය උගත හැකි නම් , කුඩා දරුවෙකු දෙස බලා හිඳීමම සෑහෙයි.

උපන්දා පටන් දරුවන් ගෙනෙන්නේ සතුටම නොවේ. කර දඬු උස් මහත් වෙද්දි මල් වාගේ උන් පොඩි එවුවන්ගේ හිත් ගස් ගල් වාගේ වෙන්නට ගනී. එතෙක් වෙර විරියෙන් හදා වඩා , දිදුලන පහනකට උපමා කළ අපේ අම්මා , අපේ තාත්තාට මෙහෙම ගයන්නටත් ඇති.අපේ තාත්තාට අම්මෙකුත් , සිය ලේ මසින් හැදූ දරු කැලත ගැනත් සිය හදවතට මෙවන්ම හැඟුම් දැනෙන්නට ඇති.


විමනේ දිනිඳු මගේ
ඔබවේ සසර මඟේ
සඳ රැසේ එළිය සේ -බිළිඳු සිනා සැලේ

ජීවිතේ සිහිනයේ සුවඳ විහිදුවා
ගීතයේ මිහිසරේ මිහිර අතුරලා
සොඳුරු මේ දිවිතෙරේ -තරුව ඔබය සදා

පුතුගේ සිඟිති නෙතේ
ඔබගේ මුහුණ පෙනේ
සඳ රැසේ එළිය සේ -බිළිඳු සිනා සැලේ

මිරිඟුවේ තිමිරයේ හැබෑ රුව වෙලා
ගණඳුරේ පහන සේ විමන දිදුළවා
රුදුරු මේ මං පෙතේ -තරුව ඔබය සදා

ගිනිදැල් සතර දෙසේ
රසුදැල් නගන ලෙසේ
ඔබද හා පුතු සදා රකිමි දෙනෙත ලෙසේ





ඇතැම් පවුල් සංස්ථාවන්හි අම්මා තාත්තා බැඳ තබන එකම හුය දරුවා පමණක්ම වී තිබෙයි. එහෙත් ඇතැම් පවුල් සංස්ථාවන් තුල දරුමල්ලන් නොමැතිවම වුවද සුන්දරත්වය ‍රැඳී තිබෙයි.

දරු සිඟිත්තෙකුගේ කිරි සුවඳ ගැවසෙන ගෙබිම තුල මෙතෙක් කල් සිය පෙම්බරියව හුන් ඇය 'දරුවන්ගේ අම්මා' ලෙසින් අබිසෙස් ලබන්නීය. දරුවන්ගේ තාත්තා ට තවදුරටත් 'ඈ' ගැහැණියක පමණක් නොව තමාටද මවු විය හැකි තරම් උසස් තැනෙක බව දැනෙන්නේය. සිය දරුමල්ලන්ගේ සුව බර ජීවිතය වෙනුවෙන් වෙහෙසන තාත්තාගේ , අනාගත සිහින ඉ‍ටුකර දෙන්නී අම්මාය. ඇයට හිමි එබඳු තැන් හිදී ඈ වෙනුවෙන් මේ ගයන්නේ ආදරනීය තාත්තාය.


සඳ රේඛාවෙන් බසින ලියේ - නූපුර නොසලා වඩින ලියේ 
තරු ඕවිල්ලේ පුතු නිදිගන්වා - විජයිඳු පායට වඩින ලියේ

බුදුගුණලකරින් , මංගල සුතුරින් පිරුවාණා කවි සිලෝ කියා
ආසිරිවාදය කළ මැන පුතු හට සරසවි දැහැනින් තිලක තියා

සුදම් සභාගේ මුල් පෙළ හිඳිනා හෙල විරුවන්ගේ කතා කියා 
දෑ අභිමානය දෙනු මැන පුතු හට 
සඳකඩ පහණේ සිරස තියා


ආදරයට භාෂාවක් නැතිය. ආදරයට තාරුණ්‍යයෙන් ඔබ්බෙහි අනාගතයක් නැතැයි සිතීම නොවටී. ආදරය උපදින්නේ අන්‍යයන් දෙස බොහෝ ආදරයෙන් මෙතෙක් කල් බැලූ දෑසකමැයි සිතෙයි. අන්‍යයන් කෙරෙන් තමන් වෙනස් වන්නේ තමන් කිසිසේත් නොවටිනා නිසා යයි හීනමානයෙන් පෙලෙන්නවුන්ට ආදරය තමන් කොතෙක් වටිනා මිනිසෙකු බවට පත් කරනු ඇතැයි සිතන්නට මේ ඇසිදිරි රාමු තුනම සෑහෙයි. 

ගීත දෙකම බෙදා හදාගෙන , සිය සිඟිති පැටවුනුත් පැටවුන්ගේ අම්මාත් කෙරෙහි මහත් හැඟුමෙන් යුතුව , ඒ පිලිබඳව ලියන්නැයි නිකමට වාගේ මතක් කළ වැම්පයර් තුමාට ස්තූතිය.......

Friday, May 31, 2013

[291] අහිකුණ්ඨික හීන කතන්දර

'අපි නිකං අහිකුණ්ඨිකයෝ වගේ නේ?' 
එක් වරම කල්පනාවෙන් මිදුනු ඇය කිව්වේ මගේ කතන්දරයක් අහගෙන ඉඳලා අවසානයේදී..

'ඇයි?' 
උත්තරේ දැන දැනම මම ඇහුවේ ඇගේ අමුතු බස් හැසිරවීම ප්‍රිය නිසාමයි. 

' ඇයි අනේ... ඔයා චුට්ටක් අවුරුද්දක් හමාරක් පිරෙද්දි ඉන්න තැන් මාරු කරනවා. මම රස්සා මාරු කරනවා... දෙන්නා තර‍ඟෙට මාරු කරනවා... හහ් හා හා' 
ඇය මුකුත්ම ගානක් නැතිවා වාගේ ඔහේ කියාගෙන ගියා... 

හිතට තව එක අදහසක් ඊතලයක් වගේ ආවාට ඒ අදහස එතෙන්දිම මරලා දාලා මම හිනා වුනා... 



'ඇත්ත නේන්නම්' ... 

'මේ සඳා  බොරු කියන්න එපා. ඔයාට තව දෙයක් හිතුනා නේද ... ඇත්ත කියන්න. '
ඇය මගේ මූණට එබෙමින් අහනවා. 

ඈ කොච්චර තියුණුද කියලා දන්න මම , පසුතැවීමට පත් වුනා. එකත් එකටම මට හිතිච්ච දේ එයාට දැනෙන්න ඇති... 

'මොකක්ද?' මම නුරුස්නා ගතියක් මවාගත්තා. 

' බොරු කියන්න එපා සඳා... ඔයාට මගෙන් අහන්න හිතුනා නේද? රස්සා විතරද , උඹ කොල්ලොත් මාරු කරන්නේ ඒ වගේ නේද?' කියලා... 
ඇය තවමත් අර හිනාවම මූණෙ තවරගෙන කෙලිලොල් විදියට අහනවා... 

ඇත්ත වසං කරමින් මම කතාව වෙන පැත්තකට ගෙනියන්න හැදුවෙ ඒ නිසා... 

'මේ මලී , විහිලු නෙවි. දැන් ඔයාගෙ වයස බලන්න. මොකක්ද මේකෙ තේරුම නගා? දැන් මොකද වෙන්නේ? මම දන්නෙ නැහැ , අහන්නත් බයයි, මොකද හැමදාම අලුත් කතන්දරයක්.. ' 

මේ තිත්ත මාතෘකාව අපි කතා කරන්න ඇති ඕනෙ තරමක්... දවස් ගණන්.. පැය ගණන්... කොටින්ම මේ ගත වෙච්චි අවුරුදු 8 පුරාම. ඇගේ ඇඬුම් සිනහා දු‍ටුව වාර ගණන මටවත් මතක නැහැ. ඉතින් ඇය එක්ක තරහ වෙන්නත් බැහැ. ඒත් ඈ එක්ක මේ දේ කතා කරලා තේරුමකුත් නැහැ. 



'අක්කා... ඇත්ත... ඔයා ඔය කියන දේ හරි. ඒත් මම තාමත් හොයනවා මොකක්ද කොතනද වැ‍රැද්ද? මොකක්ද මේ දේවල් වල තේරුම කියලා?  'මම ඇයට කතා කරන්න දීලා ඇ දිහා බලාගෙන හිටියා... 

'ඇත්ත පුංචි කාලෙ මට වැරදුනා. මම වැරදි කෙනෙක්ට ආදරේ කලා. එදා ඉඳන් අද වෙනකල් , ගොඩ දෙනෙක් මගේ ජීවිතේට ඇවිත් ගියා තමා.. ගොඩාක් බර අඩි සටහන්, පුංචි අඩි සටහන් , එක එක විදියේ එක්වීම් වෙන්වීම්.. 

මම තාමත් හොයනවා අක්කා. මොනවද හොයන්නේ? මම දන්නෙ නැහැ. 

ජීවිතේ එක්තරා තැනකට එනකල් මම ප්‍රශ්න කලා. ඇයි මට මෙහෙම වුනේ. ඇයි මෙහෙම වෙන්නේ එකම දේ එක එක විදියට මේ විදියට පහර ගහන්නේ ඇයි කියලා' 

'ඒක ඔයාගෙ පැත්තෙ තියන දුර්වලකමක් නිසා වෙනවා වෙන්න බැරිද?'

'ඔව් වෙන්න පුලුවනි. සමහර විට මමම කලබල වෙන නිසා. සමහර විට මට තරහ යන නිසා. සමහර විට මම ගොඩාක් හීන බලාපොරොත්තු තියන් ජීවත් වෙන නිසා. සමහර විට මගෙ ලෝකෙ ගොඩක් ලොකු නිසා. ඒක අතාත්වික නිසා. ඔය වගේ ගොඩාක් දේවල් මට කියාගෙන යන්න පුලුවන් අක්කේ. ඒත් අක්කේ මට කියන්න  , මම ඇරුනාම අවශේෂ කිසිම මිනිහෙක්ට ගෑනියෙක්ට ඔය ගතිගුණ නැතිද? 

මම දන්නවා ටිපිකල් මිනිස්සු මට රටේ නැති කතා කියනවා ඇති. මම ලස්සනට ඇන්දත් පැලැන්දත් මා දිහා ගණිකාවක් තරම් පහත් විදියට බලනවත් ඇති. එක දවසකට එක වාහනේක. තව දවසකට තව වාහනේක. ඒත් මම ගියේ ගෙදර ඇරලන පෙම්වතා එක්ක කියන එක රටේ කීදෙනෙක් හිතයිද? මම ගියේ හෝටලේක පැයක් දෙකක් ඉඳලා යන්න කියලා නොහිතන කීදෙනෙක් ඉඳියිද? මට එපා වෙලා අක්කේ මේ රටේ මිනිස්සුන්ගෙ හිතන විදිය. ගෙයි ඇතුලෙ සන්‍තෝසෙන් ජීවිතයක් තියෙන්නෙ කීයෙන් කීදෙනාටද? ඒත් ගෙයින් එලියේ අනික් මිනිස්සු කරන කියන දේවල් අන්තිම තුච්ඡ විදියට විවේචය කරන්නෙත් ඒ මිනිස්සුම නේද? ඒ වගේ මිනිස්සුන්ට මාව , පිටතින් පූස් පැටියෙක් වගෙ ඉන්න , 'බඩුවක්' වගේ පේන එක මම වලක්වන්නෙ කොහොමද? අක්කම මට කියන්න. 

ඇගේ කතාව එන්න එන්නම ආවේගශීලී වෙනවා වගේ මට හිතුනා.

'ඇත්ත නංගී.. මිනිස්සු දකින්නෙ එක පැත්තක් විතරයි'

අක්කේ මම හොයන්නේ ජීවිතයක්. ඒක දවස ගානෙ මිනිස්සුත් එක්ක අසහනේ ඇරගන්න නිදාගන්න අවශ්‍යතාවයක් නෙවෙයි. මට ඕනෙ හෙවණක් . ආදරයක්. දරුමල්ලො හදාගෙන ලස්සනට නිස්කලංකව ගෙවන්න ජීවිතයක්. ඒ ජීවිතේ මට දෙයි කියලා බලාගෙන මම වංචාකාරයින්ට ‍රැව‍ටුනා. ඒක මගෙ කරුමෙ වෙන්න ඇති. ඒත් ඒ දිහා බලන් ඉන්න මිනිස්සු මාව බ්ලැක්ලිස්ට් කරලා දක්කන්න හදන්නෙ මහපාරට වෙන්න ඇති. ඒත් ඒකට මම ඉඩ තියන්නෙ නැහැ. 



මගේ ජීවිතේ සියුමැලිම තැන තමයි ආදරේ. ඒක තමා මගෙ දුර්වලකමත්. ඒ දුර්වලකම හරියට අඳුනගන්න මිනිස්සු මගෙන් ප්‍රයෝජන ගන්න හදනවා කියන එක හැම වෙලේම මට තේරෙන්නෙ පරක්කු වෙලා. ආදරේ කියලා කැදර මිනිස්සුන්ට මම ‍රැවටෙනවා. ඒත් ඒ ආදර සිහිවටන එකකටවත් මම වෛර කරන්නෙත් නැහැ. මම ජීවිතේ දීල ගිය ඒ සිහිවටන නිසා මම වෙනස් මනුස්සයෙක් වෙලා ඉන්නේ. ඒ වෙනස් ගෑනිට එතෙන්ට එන්න පුලුවන් උනේ දුක හෝ සතුට පිරිච්ච ඒ අත්දැකීම් නිසයි. 

මම ඇගේ මේ අරුම පුදුම තර්ක දිහා කටත් ඇරගෙන කල්පනා කරන්නට වුනා. 

'ඒ කියන්නෙ ඔයා හිතන්නෙ මෙ වෙච්චි හැම දෙයක්ම හොඳයි කියලද?' 
අක්කේ හොඳ හෝ නරක හෝ මම දැන් ඒ ගෙවුන අතීතේට සාප කරලා මට මොනවද ලැබෙන්නේ කියන්නකෝ....

ඇගේ ප්‍රශ්නයෙන් මම නිරුත්තර වුනා. ඈ තව දුරටත් කතා කරන්නට වුනා... 

' මම ඒ අතීතෙ මිනිස්සුන්ට සාප කලොත් මගෙ හිත කුණු ගඳ ගහන්න ගනියි. මගෙ ඇස් වලින් එලියට පිට වෙන්නෙ වෛරය එහෙම නම්. ඒත් මම ඒ අතීතෙට සහ ඒ මෝඩ කම් කල මට සමාව දුන්නොත් , මම මේ ඉන්න ගෑනිට ,ඒ කියන්නෙ මට ආදරේ කරනවා. ඒ වගේම මගේ හිතේ වෛරයක් නැහැ. මම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා... 

'ඒත් නංගි, දැන් මේවායේ කෙලවරක් තියෙන්න ඕනි නේද? හරි ඔයා අහිංසකයි. ඒක මම දන්නව.ඒත් මේ ගමන අරමුණක් තියෙන්න ඕනි නේද?



අක්කා මගෙ එකම අරමුණ හොඳ කසාදයක් බඳින එක නෙවි. මගේ මේ හිතන විදියට පෑහෙන සහකරුවෙක් හොයා ගන්න එක . එහෙමයි කියාලා හිතලා ලං වෙන මිනිස්සු මට නොගැලපෙද්දීත් මේ ලෝකෙ ජීවත් වෙන බහුතරයක් මිනිස්සු වගේ රටේ ලෝකෙ අපවාදෙන් ගැලවෙන්න , ප්‍රථම ප්‍රේමය අවසන් ප්‍රේමය වෙලා විවාහයෙන් කෙළවර වෙන්න ඕනෙ නිසා , කසාද බැඳලා ඉතුරු ජීවිතේම දුක් විඳින්න මම ඕනෙද? නොගැලපෙනවා නම් වෙන් වුනා. ඒකෙන් දෙන්නාටම වෙන්නෙ යහපතක්'

මට වෙලාවකට ඇගේ තර්ක  බිඳින්න බැහැ. ඒත් ඒවා නිවැරදි නැහැ කියලාත් හිතෙනවා. ඒත් මගේ සිද්ධාන්ත ප්‍රායෝගික නැහැත් හිතෙනවා. ඇයි මේ කෙල්ලටම එහෙම වෙන්නේ? ඒත් අපි නොදන්න පිටට පේන සුන්දර පවුල් ජීවිත ඇතුලේ ගින්දර ගොඩවල් තියෙනවා වෙන්න බැරිද? ප්‍රශ්න ගොඩක් මගේ හිසට ඇවිත් හිසරදයක් වගේ දැනෙන්නට වුනා. ඇයට මගෙ ව්‍යාකූල බව දැනෙන්නට ඇති. 

'අක්කේ ඔයා කණගා‍ටු වෙන්න එපා. ඇයි දන්නවද? මම කණගා‍ටු නොවෙන නිසා. මට ජීවිතේ කියන්නේ ආශිර්වාදයක්. ඒ ජීවිතේ ඇතුලේ වැරදිච්චි තැන් හුඟාක් තියනවා. ලෝකෙ සමාව දුන්නත් නැතත් මම මට සමාව දීලා ඉන්නේ. මගෙ හිත මේ ගෑනිට ආදරෙයි. ජීවිතේ ඇවිත් ගිය මිනිස්සු , ඒ අය ඉතුරු කරලා ගිය කැළැල් , වේදනා තුවාල ඒවාපාර පාර මම දුක් විඳින්නෙ නැහැ. මම ඒ මිනිස්සුන් මට දීපු පුංචි ආදරේට හරි මම ස්තූති වන්ත වෙනවා. 

අනික ලෝකෙ මිනිස්සුන්ට පේන්නේ මම සැහැල්ලුවෙන් හිනා වෙලා ඉන්නවා. ඒ වගේම කැඩී බි‍ඳෙන ආයෙ අලුතෙන් එන ප්‍රේම කතන්දර එකක්වත් මායිම් නොකර ඉන්නවා. හෙවත් ඒ මිනිස්සුන්ට පේන්නේ මම එහෙවු දේවල් වෙලාත් හිනා වෙලා ඉන්න නිසා මම සෙල්ලක්කාර සල්ලාල නැට්ටිච්චියක් කියලා වෙන්න ඕනෙ. එහෙම හිතන මිනිස්සුන්ට මම අනුකම්පා කරනවා. වෛර කරන්නෙ නැහැ. ඒ එයාලගෙ අවබෝධය . මම ආව දුර එයාල දැනගන්න ඕනිත් නැහැ. මම කොතැන්දිවත් කාටවත් පාපෝච්චාරණය කරන්නෙත් නැහැ. දුක කියවන්නෙත් නැහැ. හැබැයි වැදගත්ම දේ, මිනිස්සු දකින්නප්‍රර්ථනා කරන 'යන එන මං නැති පාරට වැටිච්චි සල්ලාල ගෑනියෙක් බවට මම කවදාවත් පත් වෙන්නෙත් නැහැ. 

පෙම්වතුන් ගොඩක් ඉඳලා නැති වෙලා ගිය එකට මගෙ වැරදි ඇති. ඒ මිනිස්සුන්ගෙත් වැරදි ඇති . දෛවයේ බලපෑමකුත් ඇති. පෙර අකුසලුත් ඇති. නොගැලපීම් තියෙන්නත් ඇති. නොදැනුවත්කම් තියෙන්නත් ඇති. ඉතින් තිබුනාවේ. මගේ ජීවිතේ කාගෙවත් ලේබල් වල ස්ටේබල් වෙන්නෙ නැහැ අක්කා. එයාලා මම ගැන කතා කරපුවාවේ. මට ප්‍රශ්නයක් නැහැ. ආදරේ කියන්නේ මම හැමදාමත් කරන දෙයක්. ඒක මිනිහෙක්ට නෙවි, ලෝකෙටම අදාල දෙයක්. ගෙවිච්ච මගේ තරුණ ජීවිතේ ගැන මට එක අබමල් රේණුවකවත් දුකක් නැහැ. මොකද මම විඳවන්නෙ නැති නිසා. 

ඇගේ දිගු කතාව අවසානයේ මාද මොහොතකට ජීවිත ලැහැබෙහි අතරමං වූවා යැයි දැනුනා. ඇය තුල සාධාරණ මෙන්ම අන්තිම තාර්කික ජීවියෙකුද වැඩ වෙසෙන බව හැඟුනත් කොහේදෝ කුමක්දෝ කාටහෝ වැරදී ඇතැයි සිතෙන ඒ හැඟීම ඈ සමග කතා බහ කොට සති කිහිපයක් ගතවී ඇතත් තවමත් මට දැනෙන්නට වූවා.ඈ කියූ අවසන් වදන් කිහිපය තවත් බොහෝ කාලයක් මගෙ හිතේ ‍රැවු දේවි. 

'කාලයක් මම දුක් වුනා. පසුතැවුනා , මගේ දිවය හෙමෙ කලේ ඇයි කියලා... මම කාලයක් ප්‍රශ්න කලා - ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. තව කාලයක් මම උත්තර හෙවුවා අක්කා - ආගමෙන්, බෙහෙත් වලින් , යාලුවන්ගෙ උපදෙස් වලින්.. ඒ වගේ එක එක යුග ගණනාවක් මම පහු කලා. අක්කා ඔයා දන්නවද අද මම ඉන්න යුගය මොකක්ද කියලා... 

මම වර්තමානයේ ජීවත් වෙනවා. හොඳ නරක මිස මිනිස්සුන්ගේ මතවාද එක්ක මම ජීවත් වෙන්නෙ නැහැ. ජීවිතේ ගෙවුන හැම තත්පරේකටම මම ස්තූතිවන්ත වෙනවා. ගෙවෙන මේ මොහොතට ආදරේ කරනවා. ගෙවෙන්න තියන තත්පර කෝටි ගානක ඉතුරු ජීවිතේ වෙනුවෙන් බලාපොරොත්තු අත් හරින්නේ නැහැ..  ගතවෙන හැම මොහොතෙදිම මම ඉපදෙද්දි ලෝකෙන් උදුරුගත්තු හැම දේකටම හිලවු වෙන්න, ලෝකෙට දෙන්න පුලුවන් හැම දෙයක්ම දෙනවා... මම හිතන්නේ අක්කේ , මට අනුව නම්, ඒක තමයි මගේ නිර්වාණය කියන්නේ.'



ඇය තුල, සාම්ප්‍රදායික දෑසකට ක‍ටු අනින අවිනීත සැහැල්ලුවකුත් , එබඳු දෑස් අන්ධ වන සුළු , තේරුම් ගත නොහැකි ආකර්ශනීය ප්‍රභාවකුත් ‍රැඳී තිබෙන බවක් මට දැනුනා. 

සැබවින්ම ඇයට දිය යුතු නම මම නොදන්නෙමි. බැඳීම් කෙරෙහි ආසක්ත නොවෙන , ජීවිතේ එක් නවාතැන්පොලකැයි සිතන , ජීවිත පොතේ හැම පරිච්ඡදයකම තිබෙන අස්ථිර බව හඳුනන , 
ඔව්,  ඇය අහිකුණ්ඨිකයෙක් බව නම් සැබවි !

Monday, May 20, 2013

[290] දයාබර මාලතී..





~ දයාබර මාලතී.. 

මට අද එකපාරම ඔයාව ඔලුවට ආවා.. අහම්බෙන්මත් නෙවී.. චූටි සිඟිත්තෙක් වඩාගෙන හිනැහෙන ඔයාගෙ පින්බර මූණ ෆෙස්බුක් ස්ටේටස් වල උදෙන්ම දු‍ටුව නිසා. ඔයා හොඳින්ද මාලතී? හිනාවෙනවා නේද මාලති ඔයා දැන් ? 

ඒ පින්තූරෙ නම් ඔයා හරි වෙනස් . ඒ කාලෙ හිටිය දඩබ්බර හිතුවක්කාරි නෙවී. පොඩ්ඩක් විතර මහත , හරි ගාම්භීර , හැඟුම්බර අලුත් අම්මෙකුගේ ගතිය හරි නුහුරුයි මට නම්. පොඩි එකී හරි ලස්සනයි, වෙලාවට අම්මාට වගෙ ලොකු කන් දෙකක් නැති වෙයි. (තවමත් මේ වගෙ කතා වලට ඉස්සර තරම්ම තරහ යනවද මාලතී?) 

මගෙ චූටි දූත් දැන් වසයි. එයාගෙ අයිය ඊටත් වසයි. මම වගෙම තමයි. බලන්න මාලතී අපි වයසට ගිහින් නේද? මේ මැසෙජ් එකට උඩින් මට අපි දෙන්නගෙ චැට් හිස්ට්‍රිය පේනවා මාලතී. මෙයිට අවුරුදු 7කට උඩදි ලියපු අකුරු කියවනකොට මොකක්දෝ හුරු වගෙම නුහුරු ගතියක් දැනෙන්නෙ අපි කාලෙත් එක්ක වයසට ගිහින් නිසයි නේද ? 

අනේ අනිච්චං මුහුණු පොතෙන් දවසක මුණ ගැහිච්චි නාදුනන , පස්සෙ මගේ හතර වෙනි පෙම්වතී වෙච්චි...අඩුවෙන් කතා කරන , වැඩියෙන් තරහ පෙන්නන මගෙ බකුසු පරණ පෙම්වතී...

පද්මී හරි හොඳ එකී. මේ චැට් විසික්කන්න කියන්නෙත් නැහැ. මාත් එක්කම කියවනවා වෙලාවකට. ඒත් මම හරි මාලතීගෙ මහත්තයා -ජගත් හරි අපෙ ගෑනුන්ට අතීතෙ ලඟ තියන් ඉන්න ඉඩ දෙන්නෙ නැහැ නේද මාලතී? පිරිමි එහෙමමයි. හරි ඉරිසියා කාරයින්... 



අනේ අපිත් ආදරේ කලානේ මාලතී. අද මෙහෙම පෑනෙ මිතුරෙක් වගෙ මම ලියන්නෙ මගෙ තර වෙනි පෙම්වතීටනේ මාලතී. ඒත් මට හරි සතු‍ටුයි .. මගෙ අතින් ගිලිහිලා නුඹ වැ‍ටුනෙ ලස්සන සරුසාර තුරු ගොමුවකටනෙ මාලතී. මට හරි සැනසීමයි.. (පොඩ්ඩක් ඉරිසියයි). 

මාත් හොඳින් මාලතී. ඒ කාලෙ දැක්ක සූටික්කන් ප්‍රේමයට වඩා ජීවිතේ හරි වෙනස් නේද මාලතී? පද්මියි පොඩි උන් දෙන්නයි එක්ක ඉන්න මේ හෙවණ මට හරි නිවනයි. ඔයාත් ඒ වගේම නිවනක් දකින එකට සතු‍ටුයි මල් මාලතී..  

ඕලු නෙලුම් මානෙල් මල් අස්සෙ , පිපිල හිටිය මාලතී ,අතීතෙට අපි ආදරේ නොකලට වෛර කරන්නෝනි නැහැනෙ නේද මාලතී..හතුරො නොවී දෙන්න දෙමාල්ලෝ එක්ක මෙහෙම ආයෙත් දකින්න ආසයි මාලතී.කැත හිතෙන් නෙවේ,  නිවාඩු වෙලාවක පොඩි පැට්ටයි ජගතුයි එක්ක ඇවිත් යන්න මාලතී.

ප.ලි. මේ ගීතය ඔයාට (ඉස්සර) මගෙ වෙලා හිටිය - මාලතී....


~

අම්මා කෙනෙක් බිරිඳක් වෙලා 
ලොව කාටහෝ නුඹ උරුමැතී
සතුටින්ද ඔබ පෙරටත් වඩා 
මගේ ඉපැරණි පෙම්වතී

මමද සැමියෙකි ඇයට අවනත 
දෙදරුවන් ලඟ නිවන සරතැස 
කාලයේ වැලිතලාවේ 
සබඳකම් සැඟවුනාවේ..

අතරමග සුණු විසුණු පැතුමක 
මතක මිහිරියි තාම හිත යට 
පරවුනත් මල් අතීතේ 
සුවඳ හදවත සමීපේ...


ජය !
මීට , 
ඉස්සර ඔයාට ගොඩක් රිද්දුව 
ඒත් දැන් තලත්තෑනි , හොඳ , 

නාරද




                           -------------------------------

පසු සටහන : ආලෙන් වෙලී සිට බිඳීම අනාදරයෙන් තොර බැඳීමක් වූ මෙලොව මා දන්නා එකම එක දෙ'යුවලටත් , එබඳු ආදරවන්තයින්ටත් පුදමි මේ ගීය  (කරුණාරත්න දිවුල්ගනේ)

ගීය හඳුන්වා දුන් වැම්පයර් තුමාට  විශේෂ ස්තූතිය :)

Friday, April 26, 2013

[289] හෘද ව්‍යායාමක සටහන්...(Notes on a Heart Exercise)


නොසිතූ විරූ වේගයෙන් දැඩි උණුසුම් ගෙන්දගම් මිශ්‍රිත මද්දහන දැඩි ශීතයකට පරිවර්තනය වෙයි. එහෙත් ශීතලෙන් හදවත ගල් නොවෙයි. ඒ වෙනුවට රස්නයෙන් ප්‍රසාරණයව තිබූ හදවත යලිත් සංකෝචනය වී සිය පියවි නිරෝගී හැඩය ගනී. හාට් එක්සසයිස් කිරීමේ මේ එක්තරා ආකාරයකි. අමිහිරි නීරස ජීවිතයකට එතැනින් මිදී පැය කිහිපයකට ගෙවන සුන්දරතාවය සිතනවාටත් වඩා වේදනාවක් වනු ඇත. මන්ද සුන්දරත්වය විඳි හදවතට, එය මතක හදවතට, අමිහිරද දැඩි සේ වද දෙනු ඇති බැවිනි. වෙන්කරගත් නිවාඩුවක , වාහනයක් සොයාගෙන , කාලයද වෙන්කොට , හිත සැනසිල්ල සොයා යාම එක්තරා මනංකල්පිත ආශාවකි. මන්ද එය කිසිදාක උදා නොවෙයි. ජීවිතය එක මත එක වගකීම් යුතුකම් සහ බැඳීම් පවරා සිටියි. 

හාට් එකට එක්සසයිස් දීමට අයාලේ යා යුතු නොවේ. ජීවිතයට නිදහසේ පියා සලන්නට ඉඩ හැරිය යුතු වෙයි. එක්තරා පොතක පොඩි කාලයේදීම ලියා ගත් කුහක සමීකරණයේ විචල්‍යයන්ගෙන් මිදී වසා ඇති හෘද දොරපියන් විවර කොට නිදහස් සුලඟ ආශ්වාස කිරීමට ඉඩ තැබිය යුතු වෙයි. අනෙකාගේ  අහිංසක විඳීම තුල කොරහේ කිඹුලන් දැකීම උන්ට නොව තමාටම වේදනාවක් වෙයි. හදවතක් තුල ආදරයත් සෞම්‍ය බවත් ගහකොළ සහ මහ පොළව සමග සැබෑ බැඳියාවත් මුල් ඇද තිබේ නම් අමුතුවෙන් හාට් එක්සසයිස් අවැසි නොවෙයි. 




මාර්ගය බොහෝ රුදුරු විය. ගමනාන්තය , දුර , යා හැකි නොහැකි බව ගැන හාංකවිසියක හැඟීමක් නොමැතිව රිය සක බැරි අමාරුවෙන් කැඩී බිඳී ගිය මග සමග ඔට්‍ටු වෙයි. කඳු මුදුනෙන් අහස් වලල්ලට පැටලෙන්නාක් මෙන් ද , නිහඬ ගුප්ත හොල්මන් හරිත සීතලක් වෙලා ගන්නාක් මෙන්ද සිතුවිලි පහළ වෙයි. මයිල ගණනාවක ගැස්සීම් , පෙරලීම් වේදනාවන් ඔබ්බෙහි ගමනාන්තය දිස් වෙයි. 

ආශ්චර්යයකි. කඳු ගැට්ට මුදුනතෙන් එහා තැන්නෙක , මෙතෙක් වේලා සඟවා තබා ගත් චිත්තාකර්ශනීය සොබා ත්‍යාගය දිස් වෙයි. රූස්ස ප්‍රතාපවත් පයින් ගස් දහස් ගණනකින් වටවුනු සිඟිති නිශ්චල වැවත් , සීතල සුලඟට කෝල ගමනින් බැස යන දිය දහරෙන් පෝෂණය වන වනන්තරයත් තුල හදවත විස්මයෙන් ගල් ගැහෙයි. 

හරිත කඳු ගැට්ටෙහි නිසංසලේ තැන්පත්ව හිඳින වැව් දියකඳ රකින වියපත් සදාහරිත මුර දේවතාවුන් වැනි පයින් තුරු, ගණ කොළ පැහැයෙන් පරිසයට ගුප්ත අඳුරක් මුසු කරයි. දහවලෙත් නොනැවතී ඇහෙන ‍රැසි නාදය , ගෙම්බන්ගේ කුරුල්ලන්ගේ කචබචය , මේ සොඳුරු බිම්කඩෙහි උන්ගේ තනි අයිතිය පිලිබඳ අනතුරු ඇඟවීම් වැනිය. හෘදය ආනන්දයෙන් පිපිරී යන්නට ආසන්නය. 


ආදරය විඳින්නට , පුදන්නට හෝ ලබන්නට අප පළමුවෙන්ම මේ මහපොළවට , එහි කඨෝර රළු බවට , එමෙන්ම භාවාතිශය සුකුමාර බවටද පෙම් බඳින්නට උගත යුතු වෙමු. අනෙකුත් කුණුගොඩවලින්  හිස් පුම්බා ගත් පුස් හදවත් හා කුහක බවින්  පිරීගත් ලෝකයක්ද මේ පොළව උඩම පවතියි. එක්තරා දුකකුත් පහළ වෙයි. මේ සුකොමළ වැව් බඳ ලාලනියකට වඩා ලාලිත පිරී තිබෙයි. ඊට ඇසදී දෑසින් මත් වීමම හාට් එක්සසයිස් වෙයි.. එදෙස බලා සිටින අප නිසා විලියෙන් මෙන් , සීත ශ්වේත සළු පොරවා තුහින වැස්සක් අහසින් බිමට පහත් වෙයි. වැව් තලයෙහි ඇතිල්ලෙමින් පෙම් කෙලින මහ පොළවට සෙනෙහසින් උස් තුරු මුදුන්ද හිස් බිමට හරවා ගනිති. වැහි සැණකෙලියෙහි කොටස්කරුවන් වී මහ පොළොවෙහි තෙත්බර චිරි චිරිය මත්තෙහි අපි ඇවිද යන්නෙමු. 




මේ ඇගේ හැටිය. සොබා දහමට වෙලාවක් කලාවක් නැත. ඊට ප්‍රේක්ෂකයන්ද නැත. ඊට ඇත්තේ නිදහසේ ආදරය කරන්නට අවකාශය පමණකි. උණුසුම් දැතකින් වටව සීතල පියැස්සක විඳිය හැක්කේ ප්‍රේමය පමණකැයි බාල සිතකට සිතිය හැකිය.  එහෙත් එවන් මනෝහර ගුප්ත පරිසරයක ප්‍රේමය යන වදනෙහි වපසරිය , මහපොළවට ඇති ආලයෙහි අසීමිත බවින් අර හුදෙක් සරාගී සමීකරණය පුළුල් කොට සිටියි. එබඳු ආනන්දයකට දිය හැකි නමක් වේද? එය ජීවිතාහ්ලාදය යැයි කියන්නෙමි.  

ටොරින්ටන් පදික වේදිකාවේ විකිණෙන කොන්ඩ ක‍ටුවම ඔඩෙල් රාක්කයකදී මහා මිලකට මහා ගම්භීර බවකින් විකිනෙයි. ඔඩෙල් ක‍ටුව පලඳින්නාට එහි ඇති ගම්භීර බවද ප්‍රේරණය වෙයි. සොබාදහමද එබඳුමැයි. අච්චර අසිරිමත් හරිත පියසකදී ප්‍රේරණය වන්නේ බාල හැඟුම්ම යැයි අනාවැකි දකින්නා කෙරෙහි අනුකම්පාව විනා අන්දෙයක් නොසිතෙයි. හිරු සීතලෙන් මිරිකී වෙහෙස පත් අයුරෙන් ලහිකොට අස්තංගත වීමට සැරසෙයි. පිණිබර වැව් තලයෙන් දැරිය නොහැකි සීතලක් ගොඩ ගසයි. පරිසරය මෙන්ම ඊට ආල කරන්නවුන්ද රිදවන කණ්ඨ කඨොර ඩොලැක්කි නාදයෙනුත් , බීමතින් පිස්සු වැ‍ටුනු බජව් කචබචයෙනුත් අහිංසක සොබාදහමට කිසිසේත් සුසර නොවෙයි. සීතල දිය ක‍ඳෙහි පහසින් මත් වන්නවුන්ගේ බෑගිරි හඬින් නිශ්ශබ්ද වාතලය දෙදරයි. 

රොලර් කෝස්ටරයක ලොමු දැහැගන්නා බව සොබා දහමට නැත. සුන්දරත්වයෙහි විභවයෙන් සිරුර සලිත වෙද්දී එය ආනන්දයක් සේ හදවතෙහි පිරෙයි. මහ පොලවට මහා ආදරයක් උපදියි. ඇතැම් විට මේ සොබා සුන්දරත්වය පිලිබඳ හිපි කල්පනාවන්ගේ සීමාව ඉක්මවා යාමක් ලෙස ඔබට පෙනෙනු ඇත. 





නිහඬ හොල්මන් අන්ධකාරය පයින් තුරු මුදුනෙන් වැව් බඳට ඇදී එද්දී කසුන් කල්හාරගේ හඬ පරදන සුගායනීය හඬක් 'රෑ අහසින් වැටෙන පිනි බිඳු' පිලිබඳ ආලයෙන් ගයයි. බජව් වේදනාවෙන් උමතුව ඒ මේ අත ඇඹරුනු තුරුපතර සන්සුන් වෙමින් , වැව් බ‍ඳෙහි කුඩා පියස්සෙන් මිදෙන ගී හඬට නතුව නතර වෙයි. සුසර වූ වැව් දිය ‍රැලි තාල අල්ලමින් ගිටාර තත් මතින් ඇවිද යන සුලඟ සමග රහස් කියයි. මහපොළවෙන් නැගී එක ගුප්ත හඬක් මෙන් ගී බිංදු එක දෙක සෙම්බුවත්ත වැවෙහි නිදන් වෙයි. ‍බජව් කාරයන් නික්මෙන තුරු එලියට නොබසින රැහැයියන් , ගෙම්බන් මෙන්ම  වන සතුන්ද ,  අන්ධකාර පයින් කඳන් පි‍ටුපස්සෙහි  සැඟවී මේ ආනන්දනීය සුයාමයට රහසේ කන් දෙමින්  සිටින්නාක් මෙන් හැ‍ඟෙයි. වසර සිය ගණනකට පෙරාතුව මේ වැව් පිටියෙහි කුර ගෙවෙන තුරු  දිව ගිය පෝලෝ අසුන් පයින් කඳක ගැට ගසා , ආදී සුදු මහත්වරුන්ගේ ආත්මයන්ද  'රෑ අහසින් වැටෙනා '  හිපි හඬට වශීකෘතව , පයිප්ප උරමින් සෙම්බුවත්ත උද්‍යාන පියැස්සෙහි වැටට බරවී හෝ පයින් ගසකට පිට දී හෝ අප දෙස බලා සිටින්නාක් මෙනැයි මොහොතකට මට හැඟී ගියේ මන්දැයි නොදන්නෙමි..

හෘද ව්‍යායාමය උදෙසා පෙම් බැඳිය යුත්තේ හිස් වූ හිස් දහයකට නොව , ගහකොළටත් , මහ පොළවටත් , මතුපිට පොළවෙන් වැසී මිහිදන්ව ගිය අතීත දහඩිය කඳුලු වලටත්ය. සෞම්‍ය හදවත් ඇති මිනිසුන් වාසයෙහි ගෙවූ හෝරා කිහිපයෙහි ලැබූ තෘප්තිය ප්‍රේමයම වෙයි. එයට මුඛ්‍යාර්ථ ප්‍රේමය යයි නම දෙන්නේත් අමනෝඥයෙකි.   . 


මහපොළව පෙම්වතෙකි. මහපොළවට පෙම් බඳින හිපියෙකු මනුෂ්‍යත්වයෙන් එහා ගිය බොහෝ නිදහස් ගමනක් සන්සුනේ උරුවම් බාමින් ඇවිද යන ආදරවන්ත මිනිසෙකි. 

එබඳු මිනිසුන් වෙත මහත් වූ සෙනෙහසින් ඇල්කඩුවේ සෙම්බුවත්තේ සිට  මේ සිතුවිල්ල පහළ කර ගතිමි. 



(ඊයේ ඡායාරූප තවමත් නොලැබුනු හෙයින් , ඉන්ද්‍රනාමගේ බ්ලොග් අඩවියෙහි පලව තිබූ සෙම්බුවත්ත ඡායාරූ උපුටා ගතිමි. )



Friday, April 05, 2013

[288] කපුටෙක් හෝ වවුලෙක් නොවූ මම ....




ජීවිතය වරින් වර එක් එක් දිශාවන්ට ආනත වන්නේ නොසිතූ අයුරෙනි. රතු අහසේ රටා වියන ගොම්මන් හැන්දෑකරෙහි අහස පෙනෙන බැල්කනියට වී මම ගීත වලට සවන් දෙමින් සිටිමි. 

එක්තරා කාර්ය බහුල කාල සීමාවක් අවසනදී යම් නිදහසක් ලැබී ඇති බව සැබෑවකි. එහෙත් හිස්බවක්ද සිත වෙලා ගනියි. නිවසේ කුඩා රූපවාහිනිය තුලින් අභීත දියණිය ඇසෙන්නේ මේ වෙලාවටය. ජීවිතයේ සැඳෑ සමය ගෙවන මාපියන්ට රූප පෙට්ටිය රේඩියෝව නරඹා සරල රසයක් විඳිනු වස් තිබෙන අවකාශයට ඔච්චම් කිරීමට සිත ඉඩ නොදෙයි.ආගම දහමත් , මින් ජුන් හෝ වැනි චරිතත් පොත පතත් හැරුනු විට ඔවුන්ගේ ලෝකය තුල බරක් වී ඉතුරුව තිබෙන්නේ මා වැනි සාධක එක දෙකක්  පමණකි. 

ඇතැම් විටෙක ජීවිතයේ නිහඬ බව උසුලා ගනු නොහැකි තනිකමක් බවට පෙරලෙයි. කන් දෙකෙහි පුරුදු ගීත වාදන පණ ගන්වා මම ඈත තුරු හිස් මුදුන් අස්සෙන් වවුලුන් , සලබයින් මෙරුන් පියඹා එන අයුරු නරඹමින් සිටින්නෙමි. 



හවස් යාමය බොහෝ නිහඬය.. ඇසෙන ගීත එක් එක් යුග මතක මතක් කරවයි.. 

2003 , මැගී මතකය බැ‍ඳෙන්නේ සරසවි කාලයටයි. මහනුවරම නගර සීමාවෙහිම නිවෙස් පිහිටිමුත් , සරසවි ජීවිතයේ රස තොලගා බලනු වස් හිතේ තිබූ ආශාව නිසාම , හොස්ටල් එකේ අන්තිම අවුරුද්ද හෝ නවතින්නෙමැයි අදිටන් කරගත් මාත් මිතුරියත් අපහසුවෙන් විජේවර්ධන කාමරයක් අත්පත් කරගතිමු. ලියුම් ගණනාවක් ලියා කණිපින්දම් කියා රූම් එකක් ඉල්ලා ගත්තේ අධයාපන කටයුතුවල පහසුව සිතා නොවේ. එකල්හි අතට එතරම් මුදලක් කිසිසේත් ගෙදරින් නොලැබෙයි. ඉල්ලීමටද නොසිතෙයි. විශ්ව විද්‍යාලේ යනගමන් ප්‍රයිවට් ඩිග්‍රියකුත් කලේ ගෙදර තිබූ අම්මාගේ රන් අබරණ කිහිපය වරින් වර බැංකුවේ තැන්පත් කරමිනි . වාසනාවට විජේර්ධන කැන්ටිමේ බත් එකක් වැඩිම වුවොත් රුපියල් විසි එකකි. හොඳ ෆ්‍රයිඩ් රයිස් එකක් 40කි. (මේ වසර 8 කට පෙරාතුවය) .රුපියල් හතලිහේ ෆ්‍රයිඩ් රයිස් කෑමට අපිට වත්කමක් නැතිය. හොඳම සගයා මැගීය. රුපියල් විස්සකින් දෙදෙනෙකුගේ බඩගින්න පිරිමහින්නට මැගීට හැකිය. ඒක සරි කරගන්නටත් , මාත් මගේ බැචියත්දෙදෙනාම රුපියල් තුන් හාරසියයක මාසික ගතමනාවක් වෙනුවෙන් ලමුන් කීප දෙනෙකුට ටියුෂන් කළෙමු. ජීවිතය අග හිඟ වලින් පිරුනේ වී නමුත්  ගෙදරට ලොකු බරක් නොවී කොහොම කොහොමෙන් හෝ අමාරුවෙන් ගෙවා ගත් ඒ යුගය ගැන අද වන විට  සිතෙන්නේ අප්‍රමාණ සතුටකි.



නෙස්කැෆේ මතක් වන කල්හි ගේට්වේහි කල පළමු ‍රැකියාවත් , රාජගිරියත් එහි වසර දෙකක් ගතකල ආදරනීය බෝඩින් නිවසත් සිහිවෙයි.ලොකු පඩියක් නොලැබුනත් අතට ලැබුනු කුඩා පඩියෙන් නෙස්කැෆේ බෝතලයක් ගත් හැටිත් , නෙස්කැෆේ සහ සීනි මත කුඩා වතුර බින්දුවක් දමා දහදිය දමාගෙන කැපුචිනෝ හදාගත් හැටිත් මතකයට එයි. රාත්‍රි අහර වෙනුවට මිලි ලීටර පන්සියයේ අයිස්ක්‍රීම් ටබ් එකක් කමින් රෑ එලිවනතුරු ප්‍රිසන් බ්‍රේක් බැලූ කාලය ආයෙත් එන්නේ නැතිය. ඇබ්බැහි වන තරමට නෙස්කැෆේ බිවූ ඒ කාලය , අයිස්ක්‍රීම් කැ ඒ කාලය  , මුදල් හම්බ කිරීමේ පළමු අත්දැකීම් වල බොලඳ ආශාවන් මතක් කරයි. නුවර නගරයක් වුවත් එහි ඇති චාම් සරල බව හැරදා කොලඹ පය තැබූ එකල්හි , රිසි රිසි දේ කන්නට බොන්නට , ඇවිදින්නට , ඉබාගාතේ ශොපින් යන්නට ලැබූ වරම එක්කලේ අමුතුම අත්දැකීමකි. බීඑම් අයිචීඑච්හි එක්සිබිශන් බැලීම , මැක්ඩොනල්ඩ් බැරිස්ටා යාම, කොල්ලුපිටියේ සුපිරි කඩ සාප්පු එම් සී ආශ්‍රය කිරීම ඒ කාලේ පෙනුනේ හරි ලොකු දේවල් හැටියටය. ඉතුරුවක් කරනවා විනා මාසය අවසන් වෙද්දී ගෙදර යාමට බස් ගාස්තු තබා ගන්නේත් හරි අමාරුවෙනි. එහෙත් ඒ මතක එතරම්ම සොඳුරුය. අතේ සතේ නැතත් පොශ් වාගේ පෙන්නන්නට තිබූ ආශාව දැන් සිහිවෙන විට අනුකම්පාවක් දැනෙයි. 

කඳු පාමුලම තවමත් කැරකුනත් එදා සිටි ආගාධයෙහි අද මා නැතිබව සිතෙද්දී හීනි සතුටක් දැනෙයි. එදා තිබූ අරුමෝසම් ආශාවන් වෙනුවට සරල චාම් එහෙත් දුලබ ජීවිතයක් සිත ඉල්ලා සිටියි. වැඩ ඇරී එන හවස් යාමයේ යලිත් කොම්පියුටරය ඉදිරියේ ගාල් වී  වැඩෙහි යෙදුනු සමය ගිලිහී තිබේ. ඒ වෙනුවට තේ කෝප්පයක් පැය ගානක් තොල ගාමින් පොත පතක් කියවමින් , ‍රැ දෙගොඩ හරිය වන තුරු අහස පෙනෙන බැල්කනියෙහි පු‍ටුවක ‍රැ‍ඳෙමි. වවුලෙකුටත් නැති කපුටෙකුටත් නැති කලබලකාරී ජීවිතය යම් තාක් දුරකට සමනය වී තිබෙයි. ඉතා කුඩා වියෙහි නැරඹූ 'පින්ගු' , 'යූ ජස්ට් වෙයිට්', 'ටොම් ඇන්ඩ් ජෙරී' නරඹමින් හෝ ගීතයක් අහමින් , කවියක් කතාවක් කුරු‍ටු ගාමින් මධ්‍යම රාත්‍රිය වන තුරුම අවකාශය සමග දොඩමලු වෙමි. 

උදේ පටන් හවස් වන තුරුම හිස ගිනි ගත්තාක් මෙන් වැඩෙහි යෙදෙමින් , හිස බරින් පිටමං වන මම , තුන් රෝද රියට සමුදී නිවසට ඇති කිලෝමීටර හතර පයින් එන්නට වෙමි. එහි ප්‍රතිපල වශයෙන් දිගු කාලීන කොන්දේ අමාරුවක් උරුමව තිබෙයි. එහෙත් ගහකොල සතා සීපාවුන් දකිමින්, මිනිසුන් නරඹමින්, පයින් ගමනෙහි යෙදීමෙන් සිතෙහි පිරී ඇති වගකීම් විභවය වැවකින් දිය ඇල්ලකට පරිවර්තනය වෙයි. සිතෙහි පීඩනය අවම වනු උදෙසා ඇවිදීම තරම් ස්වභාවික ඔසුවක් තවත් නැති බව නම් මම පසක් කළෙමි. එහි ප්‍රතිපල වශයෙන් අලුත් අදහස් සිතට එයි. අලුත් නිමැවුම් කරන්නට සිතෙයි. ජීවිතය යුද්ධයක්ව තිබූ අවදිය කොතරම් බරදැයි දැන් වැටහෙයි. 



ඇතුලතිනුත් පිටතිනුත් චරිත දෙකක් හෝ කිහිපයක් පවත්වා නොගැනීමේ ප්‍රීතියෙන් මම තවමත් මමම වී සිටින්නෙමි. කඳු පාමුල හෝ මැද හෝ කොහේ හෝ සිට මට අදත් එදා මෙන්ම අනෙක් කඳු නිම්නය සිසාරා ජීවත් වීමේ සන්‍තෝෂයෙන් කෑගැසිය හැකිය. ඇනුම් පද , කුහක කම්, ද්වේශය , නොහැකියාවන් පිරීගත් මිනිසුන්ගේ ඇති අනේකවිධ වෙස්මුහුණු අතරෙහි අදත් එදාත් කවදත් මම මාම වී සිටීම පිලිබඳ මට හීනි ආඩම්බරයක් මෝදු වෙයි. ජීවත්ව සිටින තාක් කල් අලියා බලවත්ය. කුහුඹුවකු සපා කැමෙන් අලියාට දැනන දෙයක් නැතිය. අලියාව අනුභව කරනු වස්, ඌ මියෙන තුරු බලා සිටීම කුහුඹුවාගේ නොහැකියාවය. හරි හමන් කුහුඹුවෙකු නම්,තමුන්ද බොඩි බිල්ඩින් කොට අඩු ගානේ තමුන්ට අලි පැටියෙකුට හෝ සම විය හැකිදැයි උත්සහ කොට බැලීම වටී. කුහුඹුවන් අලි මලකුණු අනුභව කලද , අලියා වැරදීමකින් හෝ කුහුඹුවන් නොකන්නේ , කුහුඹුවා පොඩි වැඩි මෙන්ම , අලියා වෙජිටේරියන් නිසාමය. අලියාට තම ප්‍රතිපත්ති පාවා දී මලකුණු කන්නෙකු හෝ මස් වැද්දෙකු වීමට කිසි සේත් අනවැසිය. මගේ සැබෑ මිනිස් ජීවිතය තුල මා මස් වැද්දෙකු නොවූ නිසාම , මළකුණු කන්නෙකු නොවූ නිසාම , මම මගේ ජීවිතය නිසි සන්සුන් මගෙහිම යන්නෙමි. වෙස් මුහුණු මත්තෙහි ජීවිතය තැනී නැති නිසාවෙන්ම ජීවිතය බොහෝ සැහැල්ලුවක් දැනෙයි... 

ආදරය යනු සැනකෙලියක් හෝ සුසානයක් නොවන වග ජීවිතය ඔස්සේ මම හඳුනාගෙන සිටින්නෙමි. ආදරය සහ එකට ජීවත් වන ජීවිතය යනු සුලඟක් මෙන් ස්වභාවික ජීවිතයට බද්ධව දස වදයක් නොවී ගලා යන ජීවන චාරිත්‍රයකැයිමට සිතෙයි. එහි ඇති නිහඬ සුන්දර සහ අතිශයෝක්තියෙන් තොර බව තුල ආදරය ජීවිතයටම බද්ධ වී ආශිර්වාදයක් වෙයි. 

ජීවිතයේ උදා ව ඇති සැහැල්ලුවට පින් සිදු වන්නට , හැන්දෑ අහසෙහි රතු පාට මැකී යද්දී පදවැලක් දෙකක් නිරායාසයෙන් ඇමිණෙයි... 

ජීවිතේ.... පාට විසිරුණු සිතුවමක්..
නුඹ මගේ ... පාර පෙන්වන සිතියමක්.. 

ජීවිතේ ....මතක කැලඹෙන  අහඹුවක්..
ඇත්තමයි... අපෙ ආදරෙත් පෙර මතකයක්.. 

ජීවිතේ නම් අහඹුවක්- හීන සටහන් පාර කියනා සිතියමක්.. 

Friday, March 08, 2013

[287] එ'පුර ඉවුරේ හිඳ ... !


එක්තරා කාලයක මම සිහිනයක් දකිමින් සිටියෙමි. එය සිහිනලන්තයක් හෝ සිනහාලන්තයක් යයි කීම වරදක් නැති... 



එක්තරා සවසක... බොහෝ නිහඬ හවසක.... කිසිදු සද්දයක් නැතිව ලතාවට පැද්දෙන දිය ‍රැළි .... නගර ආලෝකයෙන් ඒකාලෝක වුනු දිය මතුපිටෙහි ඇ‍ඳෙන උස් ගොඩනැගිලි ප්‍රතිබිම්බ... බොහෝ නුවරුන් සිය දිවා දාහයෙන් සහ කලබලයෙන් පීඩා විඳි සිතත් ගතත් සනහා ගනු වස් රොක් වන නගර මධ්‍යයේ තැනුනු උයනක්.. නිහඬ... නිසංසල... සුන්දර... .

මම තව තවත් ඒ සිහිනයෙහි ගිලෙමින් සිටියෙමි... පෙම් උයනක් ... හෝ ළමා උයනක් යනාදී වශයෙන් ලේබල් නොගැසූ , වයස් භේදයකින් තොරව ,සියලු දෙනාගේම නෙතට එකම අඳුනක් වන පොදු නගර උයනක්... නගරයක දහවලට අහිමි නිස්කාන්සුව උපයා ගනුවස් එක් සතයකුදු ගසා කැමෙන් තොරව ටිකට්‍ටුවකුදු මිලට ගැනුමෙන් තොරව ඕනෑම කෙනෙකුට නිදහසේ කල් ගෙවිය හැකි විවෘත එලිමහනක්... රෑ මැදියමෙහි සිට උදෑසන වනතුරු පවා උදෑසන සිට  දින ගෙවෙන තුරු පවා සියොතුන් සමනලුන් මෙන්ම නිදැල්ලේ පරිසරයෙහි අරුමයෙහි ඇලී ගැලී සිටිය හැකි සොඳුරු බිම් කඩක්.. 

ගස් අස්සේ අඳුරු මුලු ගානේ සිප වැලඳ ගන්නා , එතෙකින්ද එහා ගොස් , රති කෙලියෙහි යෙදෙන පෙම්වතුන් නැති. එබඳු පෙම්වතුන් ඇත්දැයි මුහුණෙන් මුහුණට පඳුරෙන් පඳුරට ටෝච් ගසා විමසන කාකි මහතුන්ද නැති. . ඒ වෙනුවට, ‍රැකියාවෙන් නිදහස් වී ‍රැකියා ඇඳුමින්ම එහි හිඳ ආදරයෙන් වෙලෙන , සවස ගත කරන , සිනහ වන පෙම්වතුන් ඇති. සිදාදියෙහි තාපය කෙ ඳුදැයි කියන්නාක් මෙන්  ඔවුන්ගේ මුහුණු දහඩියෙන් පීඩිතව එහෙන් සතුටෙන් දිලිසෙයි. 




එහි එන ළමා ලපටින් , මාපියන් අතේ එල්ලී නිසංසලේ ඇවිදයනු විනා , සතුටෙන් සිනහ වනු විනා,යටිගිරියෙන් බෑගිරි නොතලති. කුඩා වුන් සරුවපිත්තල තොරොම්බල් වලින් හෝ නලා නදින් අවුස්සමින් , දෙමාපියන්ගේ පසුපසින් විත් කන්න්කෙඳිරි ගාන වෙලෙන්දන් එහි නැති...ඒ තරම් ගහකොලක් නිලක් නැතත් , තිබෙන සිසිලසට කුඩා වුන් පවා ප්‍රියය. 

එහි අඳුරු සෙවණැලි මත්තෙහි හොරෙන් බෝතලයක් ඔතාගෙනවුත් ගිල දැමීමට ඉඩක් සොයන අයවලුන් නැති. කටගැස්මකුත් සමග මත් වතුර එක උගුරට කටට හලා ගෙන වැනි වැනී යන ටිපිකල් බෙබේලා නොගැවසෙති. 

හැන්දෑවට ගලන රතු පාට අන්ධකාරය පසුබිමෙහි , දිගු ‍රැවුලක් වවා ගත් කඩවසම් කොලු ගැටයෙකු ගිටාරයකට පණ පොවමින් රෙගේ ගීත සිය බුහුටි කටහඬින් අවදි කරයි... ඊට කැමති මිනිසුන් අතලොස්සක් ආශාවෙන් ඔහු වටා රොක්ව දැහැනකට සමවැදී හිටගත්වනම ! ඔහු ඉදිරියෙහි තොප්පියක් වෙයි. තොප්පියකට මුදලක් දමා මුදකින් මිනිය නොහැකි ඔහුගේ සොඳුරු කටහඬට වශීවී කිහිප දෙනෙකු ඒ සොඳුරු වෑයම අගයති... 

එහෙවු නගර උයනක් මම සිහිනෙන් දකිමින් සිටියෙමි. එහෙත් දෑස් යලිත් පිසදා බලන කල්හි එය සැබැවක් බව වැටහුනි... මගේ සිහිනලන්තය ඉදිවී තිබෙයි. නාගරික සීමිත ඉඩෙක , අසීමිතව සොඳුරු වූද ,  නොකිලිටි මෙන්ම  විවෘත වූද බිම් කඩෙක කෘතිම උද්‍යානයක් තැනී තිබෙයි.. , වයස් භේදයකින් තොරව, බොහෝ මිනිසුන් විඩා නිවනු වස්, ආදරය නිවි සැනසිල්ල බෙදාහදා ගනුවස් තම තමන්ගේ ජීවිතයෙහි ඇසිල්ලක් වෙන්කොට ඇති අයුරූ ප්‍රීතියෙන් ස්පර්ෂ කළෙමි.



සොබාදහම යනු නිල් පැහැ කඳු පෙලින් සුසැදී , මලින් බර වීගත් තුරු ගොමුවෙන් පිරි හරිත උයනක්මයැයි කිව නොහේ. සොබදහම නම් , ගස් ගල් මල් මෙන්ම , ගෙන්දගම් පොලවත් ය. කෘත්‍රිම ගඩොල්ද , ඇස්බැස්ටස් වහලය සොබදහමමත්ය. එහිම හිඳ හරිත කඳුවැටියක් සිහිනෙන් දකිනවාට වඩා , නිරුත්සාහී අවට ලෝකයෙහි තැනී ඇති දැයට පෙම්බැඳීම ප්‍රායෝගික යැයි මට සිතෙයි. 

අප යන හරිත චාරිකාවක් නැතිය. ජීවිතය හැප්පෙන්නේ ගෙන්දගම් පොලවෙහි තාපයෙන් දැවීගත් දවසක තරඟයෙහිය. ඒ තරගයෙන් මිදී , තිබෙන නාගරික සුන්දරත්වය තුලින් හෝ කෙටි මොහොතකට නිස්කාන්සුවක් ලැබීමට සිතෙන්නේ කීයෙන් කී දෙනාටද? ජීවිතය අත්විඳින්නට ආදරවන්තයෙකු සිටිය යුතුම නොවේ. ආදරය අත්විඳින්නට පොතෙහි එන සොබාදහමම තිබිය යුතු නොවේ. 

2013-3-6  : දියවන්නාවේ සොඳුරු නාගරික උයනෙහි මඳක් නතරව ලිවීමි..
.
.
පසුව ලියමි......


මට දුකක් ඇති වෙයි.. පෙර මෙනුවර විසූ , දුප්පත් කිලිටි මිනිසුන් , කිඹුලන්ද නොතකා, කලු ගැහුණු වතුරද නොතකා ලාවට හෝ නා-කියා ගත්තේ මේ දියවන්නා ඉවුරේය. නාගරික දැවෙන හදවත් නිස්කලන්කේ ජොගින් යද්දී , අනේ,,, උන්ට නාන්න තිබ්බ තැනත් නැති වූ හැටි... 

'අපෝ නැහැ. අර තියෙන්නෙ ලස්සනට පඩි පේලිය හදලා. ඒ අහිංසක මිනිස්සුන් නාපු තැන නැති නොකරපු එක නම් ලොකු දෙයක්... ..'  

මා  තරම්ම ලෝකයටම ආදරේ කරන, දුප්පතුන් පවා සෙනෙහසින් වැලඳ ගන්නා හඬක් මට ඇසෙයි...



Wednesday, February 27, 2013

[---] අපිට පිස්සු OOOOOOOOOOයි !



දිලා.... ජීවිතේ හැම වෙලාවෙම චෙස් ගේම් එකක් ප්ලේ කරනවා වගේ හිතන්න එපා... 
-දෙබසක්-



 ද දවස විශේෂයි.... 
පි රිසිදුවට ලස්සනට ඇජෙන්ඩා එකකට තිබ්බ සංසාරේ
  ක්කෙටම අද වෙනස් වෙනව...

පි රිත් මණ්ඩපයක් වගේ රිද්මෙකට
ස් වර ඇමිණුන සංසාරෙට 
සු පුරුදු නිහඬබව බිඳින්නට හිතුනා මට !

 නේ උන වෙනස කලේ මම මෙහෙම ... 
යි  යනෙන් වචන නැති නිසා නිකම්ම කියන්නම් 

අපිට පිස්සු OOOOOOOOOOයි ! 



ඇජෙන්ඩා වලට මොනවද උනේ?  ඇත්තටම මොනවද කලේ... ජීවිතේ හැම දෙයක්ම අහම්බයක්.. එක අතකින් බැලුවම... 
- තව දෙබසක්-

පුංචි කාලෙ අපි රූලක් ගැහුවෙත් නූලට. වතුර බිව්වෙත් සීරුවට. ඇවිද්දෙත් එක විදියකට. කොටින්ම හුස්ම ගත්තෙත් එක ස්ට්‍රක්චර් එකකට. ඒකෙ අස්සෙම අවුරුදු දශක ගානක් හිර වෙලා ඉන්නකොට අපි ස්ට්‍රක්චර් එකෙම කොටහක් වෙන එක වලක්වන්න බැහැ. ස්ට්‍රක්චර් එක අපේ කොටහකුත් වෙලා... 

පොඩ්ඩ එහා මෙහා වෙද්දි ස්ට්‍රැටජිය මෙවුවා වෙන නිසා , විනාඩියක් දෙකක් පරක්කු වෙද්දි , හිතුව ප්ලැන් වලට වැඩේ සිද්ද නොවෙද්දි , වලිගෙ පාග ගන්න ගතිය වෙනස් උනේ අහම්බයෙන් අර උඩහින් ඇහුන දෙබස නිසා... 


දිලා.... ජීවිතේ හැම වෙලාවෙම චෙස් ගේම් එකක් ප්ලේ කරනවා වගේ හිතන්න එපා... 

චෙස් ලැල්ලෙන් මිදිලා අහස බලන්න . හිනාවෙන්න , හැමෝටම උවමනා විදියෙන් ඈත් වෙලා ජීවිතේ ඇතුලේ නිදහසේ සුවය විඳින්න , ඒ පොඩි දෙබස ප්‍රමාණවත් වුනා... 

පිස්සුවට ආදරේ කරන්න, පිස්සුවට හිනා වෙන්න, පිස්සොත් එක්ක කදේ දාගෙන තවත් එක පිස්සෙක් වෙන්න , පිස්සන්ගෙන් අඩුවක් නැති ලෝකේ මොකට බය වෙනවද? සාන්ත දාන්ත සුවිනීත සුලුතරය අස්සට පැනගන්න මොන බම්බුවකට දඟලනවද? ඒ ගොඩට පැනලා කිසිම රසයක් අත්දැකීමක් නැති ජීවිතේ , සීනි නැති තේ කහට එකක් වගෙ තොල ගානවද? පොඩියක් සීනියි දෙහියි ඕනෙම නම් ලුනු බින්දුවකුයිත් දාගෙන රස බලනවද? 

ආයෙ දෙකක් නැහැ. මේන්න චන්දෙ දෙවන එකට !

අපිට පිස්සු ! පොඩ්ඩක් නෙවෙයි හොඳටම! 

Saturday, February 09, 2013

[286] බහුරූපේක්ෂක ගැහැණු පරම්පරාව...



සෘජු දඟකාර බැල්මක්... දෙවියන්ගේ ප්‍රතිමාවක අඩු මොනවාද ?
ගැහැණියට නිසි අර්ථ දැක්වීමක් නැති එකමත් හොඳය. සංවරියකගේ අවිහිංසක බැල්මක් එක් ඉරිසියා ගිනි පුපුරකින් ගිනි කන්දක්වී හාත්පස දවාලිය හැකිය..
එකමිතියක් නැති ගැහැණියක හරියට බහුරූපේක්ෂකයක් වැනියයි මා කීවේ එහෙයිනි. ගැහැණියට ඇත්තේ ඩුවලිටියකි. පිරිමින්ගේ පෘතග්ජන හදවත් ඔකඳ වන්නේ අඳුරු , සොඳුරු , වියරු එමෙන්ම නුහුරු මේ කී විවිධ ගැහැණු අරුමැසියන් කෙරෙහිය.
මේ තරම් ප්‍රතිපත්ති විරහිත වෙනස්වන සුලු ගෑනු චරිත ඔක්කෝම එක පෙලට තබා වෙඩි තැබිය යුතු වන්නේ පිරිමි හිත් මේ තරම් අවතැන් කිරීමේ පාපයටය.
කිසිදු කමකට නැති බහුරූපේක්ෂකයක් පවා සොඳුරුකම නිසාවෙන් පිරිමි දෑතකින් ඉවත විසි නොවෙයි. සිත පුදුම කරන අරුම මෝස්තර අහිමි දුප්පත් පිරිමි ජනතාවට විටෙක එබීගත් වන දකින බහුරූ රටාව නෙතඳුනකි.
පිරිමි හිතට නම් මොකද? පතන්නට දෙවියන් දිවැසින් මැවූ ප්‍රතිමා ඇත්තේය. ඒ හොර හිතට ගොඩක් නිර්ණායක ඇත්තේය.
පිරිමි සිත් අවතැන් කොට , කවියන්ගේ රස සීමා අසරණ කරන , සැබෑ ගැහැණුන්ට සමාවක් කොහිද?

රතු නලඟන සිය ආලිංගනයෙන් සිහින මත ආලේප තවරයි. විටෙක අවිහිංසක සංවරියකද, සරාගී නලඟනකද , ඇවිලෙන කොටි දෙනකද , සෙනෙහෙබර මව් දෙවඟනකද පිරිමි සිතෙහි වරින් වර උද්දීපනය වන චිත්ත රූප තුල සිටිනු ඇත.
ගැහැණියකගේ සිතක පිරිමි වේශයක් මෙසේ රඟ දෙන්නේද? කිසියම් ගැහැණියක විසින් නොබියව එම චිත්ත රූපය දැක, වදන් මත ගලපා ගැහැණු හඬකින් පිරිමින් උදෙසා ගැයිය යුතු යැයි හිත කියයි. 
බහුරූපේක්ෂක ගැහැණු පරම්පරාවට දෙවියන් දිවැසින් එබඳු පිරිමි ප්‍රතිමාවක්ද නෙලා දිය යුතු නොවේද?

~~
සුහදිනියේ සඟවන් - ඍජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවැසින් කළ ප්‍රතිමා වී දිලෙනා.....
පුන් සඳ එලියේ ඔබ නම් - සැණකෙළියයි මගෙ නම්
කවියන්ගේ දෑසේ රස සීමා පනිනා........
හීනෙන් රෑ අවුදින් - සුවදක් සේ ළග හුන්
සංවරියේ රං තිත කෝ මා පිනනා........

වාත්තු කර ඇති දේහ තලාවට - හේත්තු වෙන්න ද සෙවනැල්ලෙන්
කාන්ති ඉහිරෙන නයන ඉනාවට - සාන්තුවර සිත හීදැල්ලෙන්
හොර රහසේ  - හොර හිත පතනා ඒ පැතුමේ
දඟ මෙනෙවිය ඔබ මා වල්මත් කළ 
අරුමැසියයි මෙලොවේ........

වීණා බඳ වට කැරකෙන වරලස - අණ දෙන හෘද ස්පන්දනයෙන්
සුසුමේ රිද්මයට ම රග දෙයි ඔබ - මගේ පෘථග්ජන සිතුවිල්ලෙන්
හොර රහසේ - හොර හිත පතනා ඒ පැතුමේ
රතු නළගන මගේ හිත - අවතැන් කළ එකම ළදයි මෙලොවේ.......
~~




Monday, February 04, 2013

[285] නොවිසඳුනු සංකා සහ නොදුටු වර්ණ


බොහෝ විසිතුරු දැයින් පිරීගත් මම නමැති පොදියෙන් එක එක අරුමැසි කල්පනා හැඟුම් මම එක එක පිටතට ගෙන තබා , නුඹ හැඩ බලන අයුරු ප්‍රීතියෙන් බලා සිටින්නෙමි. 

තවත් බොහෝ සොඳුරු අන්තයන් නොදු‍ටු හෝ ඇති බවක් නොදන්නා නුඹට 'මම' යනු එක් එක් දිනයන්හි එක් එක් අරුමැසියන්ගෙන් නුඹේ සිත නිලංකාර කරන නාටකයකි.

'Life is a box of chocolates . You never know what you are going to get there!'
මට ෆොරස්ට් ගම්ප්(Forrest Gump) සිහිවෙයි. මාද එසේ නොවේද?

'ඔයා නැමැති ප්‍රහේලිකාව කිසිම දාක කාටවත් ඔක්කොම හරස් පද ගලපලා විසඳන්න ඉඩ තියන්න එපා. ඔයා ප්‍රහේලිකාවක් වෙන තරමටම , හොයා නොගත්තු හරස්පද ලොකු හිස්තැනකුත් , නිදහසකුත් එකතු කරනවා...' 


හිතවතෙකු කියූ ඒ පද මම සීරුවේ යලිත් කල්පනා කරමින් සිටිමි.

පෙර කළ මම එසේ නොවීමි. මම අඳුරු පොදියක් නොවී බහුරූපේක්ෂයක් (Kalidoscope) වීමි.එය එක එක දෙසට හරවා සොලවා කම්පිත කොට එයින් එක් එක් සොඳුරු රටා නැරඹීමෙන් ඔවුහු කිසිදා වෙහෙසපත් නොවූවෝය. මැවෙන රටා දැක දැල්වෙන දැස් වල කාන්තියට ලොබ බැඳි මමද එම හැඩතල පෙන්වා උදම් වීමෙන් කිසිදා තෘප්තිමත් නොවීමි. අවසානයේදී , නේක රටාවන්ගෙන් සිත කුල්මත් වන්නේ ඉතා කෙටි කලකට යැයි සනාථ වෙයි. කුඩා කල්හි ආශාවෙන් ඇස් ඔබා නැ‍රැඹූ ප්‍රිස්ම දෙනෙතියෙහි වීදුරු කැබලිත්තක්වත් සිහිවටනයක් ලෙසක වත් අද කොතැනකවත් නොමැති හැටි! 



ප්‍රිස්මයෙහි වීදුරු කැඩපත් මුහුණත් උණා දැමූ මම එක්තරා යුගයකට පසුව එහි වීදුරු විනිවිද නොපෙනෙනු වස් අඳුරු කඩදාසිත් අලවා දැමුයෙමි. එපමණකිනුදු නොනැවතී විවරයට දොරකුත් සවි කොට යතුරු ලා තබා කුඩා ජනේල පමණක් එක දෙකක් හැර තබමි. ඒ මගේ හුස්ම වෙනුවෙනි. විවර කුඩා කවුලුවෙන් එබෙන්නෙකු උදෙසා දොර හරිනු තබා කවුලුද වසා සැඟවෙනු රිසි වීමි...

එහෙත් මඳ කලකට ඉහත මා පමණක් දු‍ටු වර්වත් රටාවන්  එකෙකුට නොව ලොවට පෙන්වනු රිසින් මම පියාපත් විදාහළෙමි. පියාපත් තුලින් මට වර්ණ පමණක් නොව ඉගිලීමේ බලපත්‍රයද හිමි වූයේය. 
එහෙත් , දැස් නිලංකාර වන වර්ණ සඟවමින් මම පියාසැලීමෙහිද ,  වර්ණ පෙන්වීමෙහිද සබකෝලයෙන් යුතුව අදෘශමාන කූඩුවක සිය කැමැත්තෙන් අගුලු ලාගෙන සිටිමි.

'හැඟීම් නැද්ද මන්දා...'  


එසේ ඇසෙන තුරුම මම මා සතු වර්ණ දැක උදම් වනු මිස වර්ණ ගැන්වූ පියා පත් පිලිබඳ ආඩම්බරයෙන් යුතුව අහස සිඹින්නට හෝ බහුරූපේක්ෂයක් වැනිව වර්ණ දක්වන්නට උත්සුක නොවූයේ ඇයිදැයි යලි සිතන්නට වූයෙමි. 

අඳුරු පොදියෙන් එක එක ලිහා පෙන්වූ සිඟිති සීනි බෝල කිහිපයකට සූප වේදයේ කූට ප්‍රාප්තිය පෙන්විය නොහැක්කේය. එහෙත් පරිභෝජනය පිලිබඳ අමිහිරි මතක විසින් , හොඳම , සොඳුරුතම , හෙවත් //  මම නැමැත්තියගේ සැබෑ මුහුණෙහි ලොකුම අරුමය මා අමනුස්ස අයුරකින් සඟවා සිටීම ඇතැම් විට බොහෝ වේදනාබර අත්දැකීමක් වන්නට ඇත.

සැඟවී ගත් හැඟුම් පිට කරගන්නට නොහැකිවද? එසේත් නැතිනම් ඒ මාන්නයද ? ඒ අභිමානයද? නො එසේනම්  පල කරන්නට හැඟුම් නූපදින්නේද? 

කිසිවෙකු නගන ප්‍රශ්නයකදී මම නිරුත්තර වී හැඬුම් බර වීම මෙය ලියන්නට හේතු වූ බව නොකියාම බැරිය.

එහෙත්... මෙතැන්හිදී හෝ එය ලියා 
ලිහා  තැබීම නොවටනේයැයි සිත පවසයි. 

'මම කැමතියි වැවක් වගේ ගැඹුරු හිත අස්සෙ ඔය ඔක්කොම හංගං ඉන්නවට . හැමදාම මට හිත හිත ඉන්න දෙයක් තියනවා. වෙලාවකට තරහ එනව තමයි.. ඒත් ඔය හංගං ඉන්න හැඟුම් කවදාවත් කියන්න එපා. ඒක හරි ලස්සනයි'
ප්‍රහේලිකාවේ වැඩි වැඩියෙන්ම යෙදෙන වැදගත්ම හරස් පදය තවදුරටත් සඟවා තැබීමට සිත බල කරන්නට මේ දෙබස සමත් වූ හෙයින් ,  මම ඉතින් නිහඬ වන්නෙමි. 



 නොවිසඳූනු ඉසවුවෙහි .. ඉතා[ම] සොඳුරු වර්ණ ඇතැයි යන්නත් නොකියාම ලිපිය නිමා කිරීම නොහොබී.



මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->