~ දයාබර මාලතී..
මට අද එකපාරම ඔයාව ඔලුවට ආවා.. අහම්බෙන්මත් නෙවී.. චූටි සිඟිත්තෙක් වඩාගෙන හිනැහෙන ඔයාගෙ පින්බර මූණ ෆෙස්බුක් ස්ටේටස් වල උදෙන්ම දුටුව නිසා. ඔයා හොඳින්ද මාලතී? හිනාවෙනවා නේද මාලති ඔයා දැන් ?
ඒ පින්තූරෙ නම් ඔයා හරි වෙනස් . ඒ කාලෙ හිටිය දඩබ්බර හිතුවක්කාරි නෙවී. පොඩ්ඩක් විතර මහත , හරි ගාම්භීර , හැඟුම්බර අලුත් අම්මෙකුගේ ගතිය හරි නුහුරුයි මට නම්. පොඩි එකී හරි ලස්සනයි, වෙලාවට අම්මාට වගෙ ලොකු කන් දෙකක් නැති වෙයි. (තවමත් මේ වගෙ කතා වලට ඉස්සර තරම්ම තරහ යනවද මාලතී?)
මගෙ චූටි දූත් දැන් වසයි. එයාගෙ අයිය ඊටත් වසයි. මම වගෙම තමයි. බලන්න මාලතී අපි වයසට ගිහින් නේද? මේ මැසෙජ් එකට උඩින් මට අපි දෙන්නගෙ චැට් හිස්ට්‍රිය පේනවා මාලතී. මෙයිට අවුරුදු 7කට උඩදි ලියපු අකුරු කියවනකොට මොකක්දෝ හුරු වගෙම නුහුරු ගතියක් දැනෙන්නෙ අපි කාලෙත් එක්ක වයසට ගිහින් නිසයි නේද ?
අනේ අනිච්චං මුහුණු පොතෙන් දවසක මුණ ගැහිච්චි නාදුනන , පස්සෙ මගේ හතර වෙනි පෙම්වතී වෙච්චි...අඩුවෙන් කතා කරන , වැඩියෙන් තරහ පෙන්නන මගෙ බකුසු පරණ පෙම්වතී...
පද්මී හරි හොඳ එකී. මේ චැට් විසික්කන්න කියන්නෙත් නැහැ. මාත් එක්කම කියවනවා වෙලාවකට. ඒත් මම හරි මාලතීගෙ මහත්තයා -ජගත් හරි අපෙ ගෑනුන්ට අතීතෙ ලඟ තියන් ඉන්න ඉඩ දෙන්නෙ නැහැ නේද මාලතී? පිරිමි එහෙමමයි. හරි ඉරිසියා කාරයින්...
අනේ අපිත් ආදරේ කලානේ මාලතී. අද මෙහෙම පෑනෙ මිතුරෙක් වගෙ මම ලියන්නෙ මගෙ හතර වෙනි පෙම්වතීටනේ මාලතී. ඒත් මට හරි සතුටුයි .. මගෙ අතින් ගිලිහිලා නුඹ වැටුනෙ ලස්සන සරුසාර තුරු ගොමුවකටනෙ මාලතී. මට හරි සැනසීමයි.. (පොඩ්ඩක් ඉරිසියයි).
මාත් හොඳින් මාලතී. ඒ කාලෙ දැක්ක සූටික්කන් ප්‍රේමයට වඩා ජීවිතේ හරි වෙනස් නේද මාලතී? පද්මියි පොඩි උන් දෙන්නයි එක්ක ඉන්න මේ හෙවණ මට හරි නිවනයි. ඔයාත් ඒ වගේම නිවනක් දකින එකට සතුටුයි මල් මාලතී..
ඕලු නෙලුම් මානෙල් මල් අස්සෙ , පිපිල හිටිය මාලතී ,අතීතෙට අපි ආදරේ නොකලට වෛර කරන්නෝනි නැහැනෙ නේද මාලතී..හතුරො නොවී දෙන්න දෙමාල්ලෝ එක්ක මෙහෙම ආයෙත් දකින්න ආසයි මාලතී.කැත හිතෙන් නෙවේ, නිවාඩු වෙලාවක පොඩි පැට්ටයි ජගතුයි එක්ක ඇවිත් යන්න මාලතී.
ප.ලි. මේ ගීතය ඔයාට (ඉස්සර) මගෙ වෙලා හිටිය - මාලතී....
~
අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාටහෝ නුඹ උරුමැතී
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී
මමද සැමියෙකි ඇයට අවනත
දෙදරුවන් ලඟ නිවන සරතැස
කාලයේ වැලිතලාවේ
සබඳකම් සැඟවුනාවේ..
අතරමග සුණු විසුණු පැතුමක
මතක මිහිරියි තාම හිත යට
පරවුනත් මල් අතීතේ
සුවඳ හදවත සමීපේ...
ජය !
මීට ,
ඉස්සර ඔයාට ගොඩක් රිද්දුව
ඒත් දැන් තලත්තෑනි , හොඳ ,
නාරද
-------------------------------
පසු සටහන : ආලෙන් වෙලී සිට බිඳීම අනාදරයෙන් තොර බැඳීමක් වූ මෙලොව මා දන්නා එකම එක දෙ'යුවලටත් , එබඳු ආදරවන්තයින්ටත් පුදමි මේ ගීය (කරුණාරත්න දිවුල්ගනේ)
ගීය හඳුන්වා දුන් වැම්පයර් තුමාට විශේෂ ස්තූතිය :)
දෙදෙනා
ReplyDeleteපෙරදා
හමුවී
නොදොඩා
නොබලා
වෙන්වූ තැන් කරා
ආයෙමත්
පැමිණීලා.....!
මුකුත් ම ලියා ගන්න හිතාගන්න බැරි උනා.
ReplyDeleteඒ නිසා මගේ පරණ කතාවක් මේකට ඇමිණුවා...!
මගේ ප්‍රථම ප්‍රෙමය
මේක නවකතාවක් ද, කෙටි කතාවක් ද කියන්න මං දන්නෙ නෑ.
නමුත් ලියන්න පුලුවන් ඉතාම කෙටියෙන් ලියන්නම්.
ඈටත් තියෙන්නෙ මගේ ම නමේ කොටසක්. කොටින් ම ගොඩක් යාලුවො මාව අමතන කෙටි නමත් ඒක..! ඈ හමුවන්නෙ මට 1978 අවුරුද්දෙදි. ඒ ලෙවල් වලට ටියුෂන් යනකොට. ඊට පස්සෙ අපි අඳුන ගත්තා.කතාබහ කළා. යාලු උනා.
ඒ කාලෙ ඇයට පෙම්වතෙක් හිටිය මගේ නම ම තියෙන. එයින් ඈ ගොඩක් පීඩා වින්ද. ඒ පීඩාවෙන් ටිකක් ඈ මට කිව්ව. අනුකම්පාවෙන් හිත පිරුණු මම ඈට උදව් කරන්න ඉදිරිපත් උනා.
අන්තිමේ මං ඇයට තදින් ම ප්‍රේම කළා. නමුත් කවදාවත් ඇයට කිව්වෙ නැහැ.
අපි ලියුම් ලිව්ව. ලියුම් කිව්වට ඒව පාර්සල්...!!
මේ එක ලියුමක් ලියන්න අම්මප ඒ කාලෙ පොත් ම කීයක් කියවන්න ඇද්ද.
අදත් මා තුළ ඉන්නා සාහිත්‍යයකාරයා නිර්මාණය කළේ ඇයයි.
දවසක් ඇගේ ගෙදර ගියපු වෙලාවක මං ඇයට ආදරෙයි කිව්ව.
ඒ මොහොතෙ ඇගේ ඇසවලින් පිටවුණු පුදුම සහගත බැල්ම මට අදත් ඒ වගේ ම මතකයි.
ඈ මුකුත් ම කිව්වෙ නැහැ. මං කිව්ව ලියල එවන්න කියල. දවසක්, දෙකක්, මාසයක් බලං හිටියත් ලියුමක් ආවෙ නැහැ.
මට ගොඩක් දුක හිතුන ඇයගෙ හිත මං රිද්දුව කියල. විස්වාසවන්ත යාලුකම බින්ද කියල...
ඒ නිසා මම ලිව්වෙත් නැහැ.
නමුත් හැමදාම ලියුම් කාරය එනකොට පාර බලං හිටිය.. අවුරුද්දක්, දෙකක්, තුනක්.
ඒ කාලෙ මං කියන්න බැරි තරම් දුකක් වින්ද. ඒ කාලෙ මත්පැන් බොන්නෙත් නැහැ. සිගරට්නම් දවසට 40ක් වෙනකම් බිව්ව. නමුත් කරගෙන හිටපු ගුරු රස්සාවට අකුරට ම වරද්දන්නෙ නැති ව යනව සහ එහි සියලු යුතුකම් වරද්දන්නෙ නැති ව කරනව.
හැතැප්ම ගණන් පයින් ගියා. සමහර දවස්වලට මෝටර් සයිකලේ අමතක වෙල බස් එකේ නැගල යනව. පැය ගානකට පස්සෙ මතක් උනා ම ආයෙ තියල ගිය තැනට පයින් එනව.
මේ කාලෙ මට යොවුන් ජනතා පත්තරේ රස්සාවක් හම්බ උනා. ධර්මසිරි ගමගේ මහත්තයා තමයි අපේ පත්තර තාත්තා.
මේ අතරෙ පත්තරේට ලියන කියන කෙනෙක් එක්ක මං හිතවත් වෙනව. යාලු වෙනව.
අවසානෙ මං එයා ව කසාද බඳින්නත් තීරණය කරනව.
එහෙම කරල මඟුලට බඩු ගන්න නුගේගොඩ ටවුමෙ ඇවිදිද්දි ඇගේ නංගි ව මට හමු වෙනව. ඈ කියනව අනිද්ද අපේ අක්ක බඳිනවනෙ කියල...!
අපේ උන්දෑව ගමගේ මහත්යලාගෙ ගෙදර බස්සපු මං මෝටර් සයිකළේ නැගිල ඇගේ ගෙදරට යනව. දැන් හැන්දෑ වෙලා. ඈ පාර අද්දරට ඇවිල්ල මුකුත් ම කියන්නෙ නැති ව ඉන්නව. මං කිව්ව" අනිද්ද ඔයාගෙ මගුලට මට එන්න වෙන්නෙ නෑ. මොකද මාත් එදාට බඳිනව" කියල...මෝටර් සයිකළේ කොළ පාට නියුට්‍රල් බල්බ් එකේ එළියෙන් මට ඇගෙ දෑස් කෙවෙණිවල එකතු වෙච්ච කඳුලු බින්දු දිලිසෙනව පෙනෙනව. හිත සැහැල්ලු කරගෙන මං ආපහු එනව...!
ඊට අවුරුදු 20කට පස්සෙ මහා සෙනග කන්දරාවක් මැද්දෙ මට ඇයව හමු වෙනව. මං හිටියෙ දුවත් එක්ක. ඈ හිටියෙ ඇගේ දුවත් එක්ක. මගේ දුව සුදුයි. ඇගේ දුව කළුයි...!
"මං ඔයාව හැම තැනම හෙව්ව.." ඈ කියනව.
"වෙන්න බෑ.. මේ තරම් දන්න කියන අය මැද්දෙ මාය හොයා ගන්න බෑ කියන්නෙ බොරු..!" මං මගේ අමනාපෙ පානව. "ඉස්සර වගේ ම ආයෙ මට මොනවහරි ලියන්න.." ඇය කියාගෙන ම යනව.
පස්සෙ අපි නැවත සුපුරුදු යාලු කමෙන් ම හමු වෙනව. පුදුමෙ කියන්නෙ ඈ විවාහ වෙලා ඉන්නෙ මගේ බිරිඳගෙ පළමු ප්‍රේම සම්බන්ධයක් තිබ්බ කෙනාගෙ නම ම තියෙන කෙනෙක්වයි..!!
මං යනව ඇගේ ගෙදරට. ඇයට දරුවො තුන් දෙනෙක් ඉන්නව. ඒ තුන් දෙනා ම මාත් එක්ක හරි යාලුයි. ආදරෙයි..! ඇගේ සැමිය හොඳ ව්‍යාපාරිකයෙක්. ඔහුත් දන්නව ඇත්තටම මම කවුද කියල. ඒ නිසා ඔහුට ඉන්න හොඳ ම යාලුවෙක් මම. අපි ඉඳ හිට අඩියකුත් ගහනව.
මේ අතරෙ මගේ දුවගෙ විදේශ ගමන් සිහිනයට ඇය ගොඩක් උදව් කරනව. (ඒ අදට අවුරුදු 5කට විතර කලින්.)
දුව අහනව "ඇයි තාත්තෙ ඒ ඇන්ටි මට මෙච්චර උදව් කරන්නෙ" කියල. මං ඇත්තම කියනව. "පුතේ ඒ තමයි මගේ පළමු පෙම්වතිය...!!"ටික වෙලාවක් කාරෙකේ නිශ්ශබ්ද ව ඉන්න දුව අහනව "ඇයි තාත්ත ඒ ඇන්ටිව කසාද බැන්දෙ නැත්තෙ ..?"කියල
"මං එයා ව කසාද බැන්දනං අද ඔය සීට් එකේ යන්නෙ ඔයා නෙමෙයිනෙ පුතේ...!!
කෙල්ල ගියර් පොල්ලටත් මෙහාට නැමිල මගේ උරහිසට තුරුළු වෙනව.
පස්සෙ කාලෙක ඇගේ දුවගෙත් කිසියම් කාර්යයක් සඳහා මාත් උදව්වට යනව. ඇය ඇගේ කාරෙක එලවං යනව. ඇගේ දුව වම් සීට් එකේ ඉන්නව. මං පිටිපස්සෙ සීට් එකේ ඉන්නව.
ඇගේ දුව අහනව "ඇයි අංකල් අපට මෙච්චර ම උදව් කරන්නෙ...?"කියල
මං ටික වෙලාවක් නිෂ්ශබ්දව ඉඳල කියනව "මේ තමයි පුතේ මගේ පළමු පෙම්වතිය....!!"කියල.
දුව පුදුම වෙලා ඇගේ අම්ම දිහා ටිකක් බලං ඉඳල අහනව.."ඇයි අංකල් අපේ අම්මව කසාද බැන්දෙ නැත්තෙ..?" කියල...ඉතිං මං සුපුරුදු උත්තරේ ම දෙනව.
"මං එයාව බැන්දනං ඔය සීට් එකේ ඉන්නෙ ඔයා නෙමෙයිනෙ පුතේ..!" කියල.
මගේ එකත් එයාගෙ පුතාගෙ වයසෙමයි. ඊටත් පස්සෙ පුදුමෙ කියන්නෙ මගේ පුතා ගෑණු දරුවෙක් එක්ක යාලු වෙනව. ඒ දැරිවිගෙ නම අර පුතාගෙ බිරිඳගෙ නම ම වීමයි.....!!
@තිස්ස දොඩන්ගොඩ
ReplyDeleteඑහෙම වෙනවා නම් කොයිතරම් අගේද තිස්සයියේ???
එහෙම වෙන්න තියේ නම් හරි ජාති :)
@Indranatha Thenuwara
ReplyDeleteහත්වලාමේ ඉන්ද්‍රනාත මහත්තයෝ...
මේ කතාව ඇත්තම ඇත්තද? මාව නිකම් මොකක්දෝ වුනා නේ....
සංසාරේ.....
මටත් මීට කිට්ටු අත්දැකීමක් තිබිලා, ඒකට අතිනුත් ටිකක් දාලා ලිව්ව මගේ බ්ලොග් එකේ... "ඉතින් මම ආගන්තුකයෙක් නොවෙමි" කියලා. නමුත් මේ කියන කැටගරියට අයිති නම් නෑ. මේ ගීතයේ මම කැමතිම කොටස තමයි....
ReplyDeleteකාලයේ වැලිතලාවේ
සබඳකම් සැඟවුනාවේ..
කියන කොටස. මේ ගීතය ලිව්වේ නව පරපුරේ ගීත රචකයෙක් වන රවී සිරිවර්ධන..
කාලයේ වැලිතලාවේ
ReplyDeleteසබඳකම් සැඟවුනාවේ..
මෙහෙම වෙන්න පුළුවන් ද?
මේවට මුකුත් කියන්න අපි පොඩි වැඩි...
ReplyDeleteදැනුන.
හුරු බවකුත් දැනුන.
මේ විදීමම විදින්න වෙයි ටික කාලෙකින්
ඉතින්
කාලයේ වැලිතලාවේ..
සබදකම් සැගවුනාවේ...
අඩේ මම තුමා ද,. හා කමක් නෑ :O
ReplyDeleteපිරිමි ඉරිසියාකාරයි කියලා කියන්නේ?
ReplyDeleteJealous is my second name, huh? :)
හදවතට තදින්ම වැදුණා මේ ලියැවිල්ල..
ReplyDeleteමගේ මතකයත් මීට අවුරුදු 5කට දුර ගියා.. මාර ලස්සන අතීතයක්.. තාම මතක් වෙනවා..
ReplyDeleteමේ කතාවත් මගේ කතාවට ආසන්නයි.. පොඩි වෙනසක් තියෙන්නේ "මමද සැමියෙකි ඇයට අවනත දෙදරුවන් ලඟ නිවන සරතැස" කියන එක.. අනික්වා නම් එම මයි...
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී.......!!
කවුද මිස් මේ මාලතී... කාලෙකින් මේ පැත්තෙ එන්නත් බැරිවුනා...
ReplyDeleteහ්ම්ම්ම් .. !!!!!!!!!!!!!!!!!!
ReplyDeleteඑයින් එහාට දෙයක් කියා ගන්නට මම දන්නා බාසාවේ වදන් නෑ මල් .. තුණුරුවනේ සරණයි සරස්වතියගේ බැල්ම වැටුනු ඔය හිතට ..
පපුව හිර උනා වගේ..හිත මොහොතක් නතරවුනා. ජීවිතයට ප්‍රේමය තරම්
ReplyDeleteජීව්තයට බලපෑම් කරන තවත් දෙයක් ඇතිදැයි විටක මට සිතේ..
ඔයාට ස්තූතියි හරිම ලස්සනයි.
Godaak thanks..!
ReplyDeleteHithata maara widihata danena sanwedi kathawak. Godak sthuthiyi...
This comment has been removed by a blog administrator.
ReplyDelete@තිසර
ReplyDeleteමේ ගීතය හරිම ලස්සන දෙයක්.. හේතුව, පිලිගත් සම්මතය හෝ දකින බහුතර ප්‍රතික්‍රියාවෙන් එලියේ තියන දෙයක් ඇතැම් විට හරි ලස්සනයි. ඒකට පිලිගත් සමාජය හඳුන්වන 'අසම්මතය' කියන වදන ගැලපෙන්නෙ නැහැ. නේද?
@දිලිනි
ReplyDeleteසබඳකම් සැඟවෙයි... මතකය නොසැඟවෙයි... :)
හරිම ලස්සනයි, කාලය ගෙවිල යත්දි වෙන දේවල්. මේ අත්දැකීම තියෙන අය අතරේ මාත් ඉන්නවා මල්. ඒ අතීතයෙ මතක තාමත් හිතේ තියාගෙන ඉන්නව බොහොම සෙනෙහසින් දෙන්නාම ඉන්නව.
ReplyDelete@Chandi
ReplyDeleteඅහන්නත් සතුටුයි චාන්දි... :) ස්තූතියි චාන්දි/... :)
කාලයේ වැලිතලාව පහුරුගා, මතක පෙත දෙස හෙලන බැල්මක්!
ReplyDelete