Wednesday, September 28, 2016

[332] ටිකක් සංකර සුරංගනාවියක් සහ පින්පෙත් ගැන කතාවක්


දැන් මම වැඩ කරන තැන ඉන්නෙ ගොඩාක් පොශ් නැති , ඒ වගේම ලොකු දරිද්‍රතාවයකුත් නැති , මධ්‍යම පන්තික ලමා ලපටි.ඉතින් මේ  කියන්න යන්නෙ ලඟදි සිද්ද  වෙච්චි , පුංචි ඇත්ත කතාවක්. පොඩ්ඩක් විතර  සංකර , ඒත් හිත  ලස්සන සුරංගනාවියක් ගැන. හැබැයි මේක සුරංගනා කතාවක් නම් නෙවෙයි .

එදා මමයි මගෙ යහලුවයි ගියා අසල කඩයට තේ එකක් බොන්න. ඒ පොඩි තේ පැන් සල කරගෙන යන්නෙ මැදි  විය පසුකරමින් ඉන්න යුවලක්. තැන පොඩි උනත් අපි එතන අත්  නොහරින්නේ, ඒ දෙදෙනාගේ ප්‍රසන්න හැසිරීමත් , එතැන පිරිසිදු කමත්, ප්‍රණීත කෑමත් නිසා. ඒ විතරක් නොවෙයි , ඒ කරුණාවන්ත මාපිය යුවල වේදිකා නාට්‍ය නරඹන්න දක්වන්නෙ බොහොම කැමත්තක්. ඒ වගේම ජාතික  රූපවාහිනියෙ 'සිහිනයකි රෑ' , ITN එකේ 'දොරමඬලාව' හෙම නරඹන, අපූරු කලා රසිකයන්  වූ ඒ දෙදෙනා එක්ක තේ බොනවාට  වඩා, මම විඳින්නේ සාහිත්‍ය රසය කිව්වොත් නිවැරදියි . සංගීතය, ටෙලි නාට්‍ය, සිනමාව , වේදිකාව යනාදිය  පිලිබඳව ඇතිවෙන රසවත් සහ උණුසුම් කතා බහෙන් පෙනී යන්නෙ ඔවුන් දෙදෙනා සිතෙන් නම් අප බොහෝ දෙනාට වඩා තරුණ බවයි.

ඔන්න මේ කියන දවසේ උදේ, අපි තේ බොන්න යනකොට , අපේ ආයතනයෙම ඉගෙන ගන්න ගැහැණු දැරිවියන් පිරිසකුත්  තේ බොන්න ඇවිත්. ඔවුන්ටත් සිනහවකින් සංග්‍රහ කල අපි ආහාර ඇණවුම් කර ,  කට ගන්නටත් පෙර වයසක අම්මා කෙනෙකුගේ කටහඬක් පි‍ටුපසින් ඇහෙන්නට උනා.

"අනේ දුවේ , මට කහට එකක් අරන් දෙන්න . මම මේ ඉස්පිරිතාලෙ ඉඳලා එන්නේ, සීනි නැතුව හරි කමක් නෑ"

සුදු ඇඳගත් , කෙසඟ වයසක අත්තම්මා කෙනෙක් බීමට  යමක් ඉල්ලනවා. ඇගේ දුක්බර ආයාචනාවට අපේ හිතත් උණු වුනා. ඒත් අපේ අත් පසුම්බි වෙත ඇදෙන්නට පළමුව, එහා මේසයේ ඉඳගෙන හිටි අපේ ආයතනයෙ ඉගෙන ගන්න ලස්සන සුරංගනාවියක් ඉස්සර වුනා. ඈ වැඩි කලබලයක් නැතුව , අවන්හල් හිමියා වෙත හැරී ,

මේ ඇන්ටිට කේක් කැල්ලකුයි කිරි තේ එකකුයි දෙන්න" 
කියා බොහොම සන්සුන්ව පවසනු  අපි බලා හිටියේ මහත් වූ පහන් හැඟීමෙන්.

අර වයසක අම්මා වෙත ගිය අපේ සුරංගනාවිය, ඇය මේසයක් අසල හිඳුවා කවුන්ටරය වෙත ගියා. අවන්හල් හිමියාටවත් වේටරකම් කරන්නට නොදී, අපේ සුරංගනාවියම,  ඇය ඇනවුම් කල කේක් කෑල්ල සහ තේ කෝප්පය දෙවරකට දෝතින් ගත්ත. ඇගේ අත් දෙකෙන්ම තේ කෝප්පය සහ කේක් කෑල්ල ගත් මේ දැරිවිය,වන්දනාමානයක් කරන තරම් භක්තියකින්  ආත්තම්මාට එය පිරිනැමුවා. ඒ දු‍ටු අපේ ඇසුත් තෙත් වුනා. දැන් කාලයේ හැදෙන පරපුර, අසරණයෙකු වෙනුවෙන් හිත ලෙහෙසියෙන් උණු නොවෙන මොරෝම ගති ඇතියවුන්ය කියන අය වෙත පෙන්වන්නට, මේ සංකර  කුඩා කෙල්ල පෙන්වූ දයාව  මට කැමරාවකට හසු කරගන්නට හැකි වුවා නම්....  අසරණයකුට උදව් කිරීමෙන් හෝ අනුකම්පා කිරීමෙන්  ඔබ්බට ගොස්,තේ කෝප්පය සහ කේක් කැබැල්ල අර වයසක අම්මාට පිරිනැමීමේදී ඇය දැක්වූ භක්තිය මෙන්ම  ගරුත්වය අදටත් මගේ සිතේ නොමැකෙන ලෙසින් සටහන්ව තිබෙනවා.

කේක් කැබැල්ලත් කා තේ කෝප්පයත් බිවු අර වයසක අම්මා නැගිට්ටේ ඇයගේ කුස නිවූ අර ටිකක් සංකර සුරන්ගනාවියට පින් පෙත් දෙමින්. ඇගේ පුණ්‍යානුමෝදනාව අසන්නට එතන අපේ සුරංගනාවිය නැවතී සිටියේ නැහැ. ඒ වෙන විටත් ඇය නිහඬවම බිල ගෙවා විවේකයෙන් පසුව පටන් ගන්නා පන්තිය වෙත නික්ම ගිහින්..

මේ ජවනිකාව නිහඬව නරඹන ගමන් තේ බොමින්, මමත් මගේ මිතුරියත්  අර කුඩා සිදුවීම ගැන සිතමින් සිටි සිතිවිලි දාමය බිඳී ගියේ, අපේ අවන්හල් හිමියාගේ කටහඬින්.

“මිස් , ඔහොම හිටියට ඔය ගෑනු මනුස්සය හරිම නපුරුයි, නරකයි. පාර තොට කියලා බලන්නේ නැහැ, වටපිට ඉන්නේ කවුද,  පොඩි ළමයි යන එනවද බලන්නේ නැහැ, කුණුහරුප තමයි කිව්වොත් කියන්නේ. අහන් ඉන්න බැහැ මිස් එයා කියන එවුවා. මම හිතන්නේ ටිකක් මොලය අවුල් වෙලා ඇති. පව් ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් ඇතිනේ. ඒ මොකුත් නොදැන , අර ගෑණු ළමයා හොඳ හිතින් දීපු දේනේ.. ඒ නිසා මම මොකුත් කිව්වේ නැහැ. මොකද එහෙම මොකුත් කිව්වා නම්, ඒ ළමය ආයිත් කවදාවත් එහෙම හොඳ දෙයක් කරන්න හිතන්නේ නැති වෙයිනෙ. ඒකයි මම සද්ද නැතුව හිටියේ . නැතිනම් මම ඔය මනුස්සයව කඩේ ඇතුලටවත්  ගන්නෙ නැහැ , කුණුහරුප කියන නිසා.”

අර සුරංගනාවිය පෙන්වූ මානව දයාවෙන් හද උණුවී සිටි අප දෙදෙනාගේ හදවත් මොහොතකට ඝනීභවනය වූ බවක් දැනුනා...

තමා  දුක් මහන්සියෙන් හරි හම්බ කල ධනය,  හද ඔකඳ වූ ශ්‍රධාවෙන් පරිත්‍යාග කරන අපේ කාලයේ අනේ පිඬු සිටුවරු මේ රටේ නැතුව නොවෙයි. මේ  සුරංගනාවියගේ පුංචි  රුපියල් පනහේ සිට පොහොසත් දානපතියන්ගේ බිලියන ගණන් කහවණු පරිත්‍යාග පිලිබඳ මහත් වූ කම්පාවක් නම් හිතට නැගුන බව නොකියා සිටිය නොහැකියි. .....

නොමේරු ලපටි හදවතක ඉපිදෙන මානව දයාව පිලිබඳව, මේරු අපේ  මනස ධන හා සෘණ පැතිකඩ ගැඹුරෙන් විශ්ලේෂණය කරද්දී, අර සුරංගනාවිය නම්  තමා කළ කුඩා පරිත්‍යාගය පිලිබඳ සතුටු සිතින්, පන්ති කාමරයට වී දේශනයට සවන් දෙමින් ඇතැයි කියා මට සිහියට නැගුනා. කෙසේ වුවත්, ජිවිතයේ යථාර්තය වටහා දෙන්නට ගොස් , ඒ සුරංගනාවියගේ පින් සිත තලන්නට තරම් අනුවණ නොවීම පිලිබඳ මා අවන්හල් හිමියාට පින් අනුමොදනා කළා.

“Not   All   of   Us   Can   Do   Great   Things , But   We   Can   Do Small   Things   With   Great   Love  ”
Mother Teresa


Saturday, May 21, 2016

[331] අපට සෙනේ ඇති බෝසත් ගිජි‍ඳෙකු, කවදද දෙදණ නමන්නේ ?


රජ පෙරහැර මැද ඇතා නටනවා දා කරඬුව ඇල වෙනවා දෙදහස් වසරක් රෑකගත් කරඬුව දෙවියනි හද කකියනවා ! අපට සෙනේ ඇති බෝසත් ගිජි‍ඳෙකු කවදද දෙදණ නමන්නේ ? විලංගු ලා ලා , ඇතු බැඳ දමලා සැනසුම් සුසුම් හෙලන්නේ කොඩි කුඩ සේසත් පාවඩ තිබුනත් කොහොමද රජ පෙරහැර යන්නේ ? උත්තම කරඬුව දෝත දරාගෙන පාර කොනේ අපි ඉන්නේ අපට සෙනේ ඇති බෝසත් ගිජි‍ඳෙකු කවදද දෙදණ නමන්නේ ? පෙරහැර රජ දැක්මකි. මහා මෙන්ම කුඩා රජවරුද ඔ‍ටුන්න හිමි කුමරවරුද වඩින මහා මංගල්‍යයකි. එහෙත් දෙදහස් වසරක් අප මුතුන් මිත්තන් ලේ කඳුලු දහඩිය හෙලමින් ‍රැකගත් හෙල මුදුන්මල්කඩ වන් දා කරඬුවට මේ අප- තාල ඔබින්නේ නැතිය. එම උත්තම දා කරඬුව හද බැතින් දරා පාර කොනේ සාධු නද දෙන අපට මේ පෙරහැර ගෙනෙන්නේ වේදනාවකි. එවන් විපතේ හෙලී සිටින දේශයේ අනාගතය පිලිබඳ කකියන ලෙයින් යුතුව , සුවහසක් පොදු මිනිසුන් ඉදිරියේ ඉදිරියේ දෙදණ නමන රජි‍ඳෙකු කොයින්ද? එක් අතකින් බලන කල , විලංගු ලා අත පය බැඳ දැමූ ඇතෙකුගෙන් බෝසත් ඇත් ගිජි‍ඳෙකුගේ තේජස අප කෙසේ නම් බලාපොරොත්තු වන්නද ? නෙක විල්ලුද පලස් ඇතුරුනද , එයට රජ පෙරහැරකැයි කියන්නේ කෙසේද? හිස දරා සිටින උතුම් කරඬුව හද බැතින් රජ තේජසින් වඩමවන්නට දේශයක ජීවනාලිය වන් තරුණන්ගේ විලංගූ ලූ ප්‍රාර්ථානාවන්ට හැකි වේවිද? ගිජිඳුන්ගේ හිස් වූ, නටන ඇතුන්ගෙන්ම නොසිස්වූ රජ පෙරහැර දකින්නට දොහොත් මුදුන් දී අප පාර කොනේ පෙල ගැසී සිටින්නෙමු. තවමත් අප ඒ බෝසත් ගිජි‍ඳෙකු බිහිවන දිනය එන තුරු ඇඟිලි ගනිමින් මග බලා සිටින්නෙමු. ගීතය ගයන්නේ : සුනිල් එදිරිසිංහ 
ගීතය


Tuesday, May 17, 2016

[330] මල් පිපිලා.. සාදු කියන්න මැණිකේ...


මල් පිපිලා එදා වගෙම , බලන්න මැණිකේ
බමරු ඇදෙනවා සුලඟට සතර දිගන්තේ
තරහ නොගෙන සාදු සාදු කියන්න මැණිකේ


එදා අපට පෙම්වත් සඳ , අද දරුවන්ටයි
ගලා හැලෙන නිල් ඇල දොළ පෙම් කවියක් වෙයි
එදා අප වෙලී ගියමග , මෙදා උන් බැඳී යන සඳ
තරහ නොගන්ටයි


කෝඩුකාර පෙම්බස් දැන් ඉතින් ඔවුන්ටයි
රෑට පිපෙන තරුමල්වල රේණු ගනින්ටයි
එදා අපෙ හීන මාලිග මෙදා උන් තනා ගත් සඳ
තරහ නොගන්ටයි...

මැණිකේ.. බලන්න මේ පන්සල් බිමට ඇදෙන පියගැට පෙළ දිගට තියන මල් ... එදා වගෙම අදත් මල් පිපී කොයිතරම් සුන්දරද ? සුලං සමග දසත ඇදෙන සුවඳ සොයාගෙන , අර බලන්න බඹරු එන ලස්සන ! එපා මැණිකේ ඉරිසියා කරන්නට, එපා තරහා ගන්නට. අපටත් තිබුනා නොවැ ඔහොම කාලයක් !  'සාදු සාදු' කියා පිපෙන මල් වලටත් මල් රොන් ගන්නට එන බඹරුන්ටත් සෙත් පතන්න සොඳුරිය ...

මතකද , අප කොයි තරම් සඳ පහන යට හිඳ පෙම් බස් දෙඩුවාද? දැන් ඉතින් අප මහලුයි. සඳ නම් තාම තරුණයි , ඒ  එදා සඳමයි. බලන්න හඳ මෝරන ලස්සන ! ඒ සඳ පහන යට පෙම්බස් දොඩන  තරුණ දූ  පුතුන් දිහා එපා වපරැහින්  බලන්න ඔහොම. එදා අප අත් පටලගෙන ආදරයෙන් ඇවිද ගිය පෙම් මග, අද අපේ දූ දරුවන් ඇවිද යනු ඇති. එපා රෝස පරොස් වන්නට. දයාවෙන් උන් දකින්න මැණිකේ, අමනාප ගන්නට එපා මා සොඳුරිය ....

සුරතල් පෙම්  බස් , කෙලි කවට සිනා දඟ කම් දැන් අයිති ඔවුන්ගේ ලෝකයටයි. මැණිකේ අපි දැන් වයසයි... රාත්‍රිය ඔවුන්ටයි. මේ අපේ දූ දරුවන් පෙම් කරන යුගයයි. මැණිකේ ඇත්ත අපිටත් තිබ්බා ලස්සන හීන මාලිග, අපිත් දු‍ටුවා ලොකු ලොකු හීන. මට දුකයි , නුඹේ හැම හීනයක්ම මට සැබෑ කරන්නට බැරිවුනා , ඇත්තයි ... ඒත් අද අපේ පොඩි එවුන්වත් ඒ හීන ඉ‍ටු කර ගත්තාවේ මැණිකේ.. උන් ඒ මාලිගා තනා ගත්තාවේ. තරහ ගන්නෙපා , ඉරිසියා කරන්නත් එපා , අපි දැන් වයසයි සොදුරී.. අපි උන් දිහා උපේක්ෂාවෙන් බලා ඉඳිමු. උන්ට සෙත් පතමු.
.....

එදා තමන් විඳි ආලවන්ත යුග දිවියෙහි කඩ ඉම් පසු කොට දැන් ජීවිතයේ සැඳෑ සමයට පිය නැගූ මහලු වියපත් යුවලක් පන්සල් පියගැට පෙළක් හෙමි හෙමින් නගිනායුරු මගේ මනෝ පථයෙහි දර්ශනය වෙයි. සිය වීයපත් ප්‍රියාදරියට , ඒ ගැන තරහ නොගන්නැයි මහත් සෙනෙහෙන් ආලයෙන් වටහා දෙන මහලු ස්වාමියෙකු මට මැවී පෙනෙයි. ආලයෙන් බැඳුනු සුවහසක් පෙම්වත් තරුණන් දෙස මහත් වූ උපේක්ෂාව, මුදිතාව පෙරදැරිව බලා සිටින ඒ මහලු බෝසත් තාත්තා මේ කියන්නේ ජීවිතයේ යථාර්තය නොවේද ?


සුනිල් එදිරිසිංහයන්ගේ ලයාන්විත හඬ මේ දුලබ පද පෙලට මුසුව , මේ විනිවිද දකින්නේ ජීවිතයයි. යථාර්තයයි. 

ගීය ගයන්නේ : සුනිල් එදිරිසිංහ  ( ගීය අහන්න )

Tuesday, April 26, 2016

[329] කොල්ලා සහ බල්ලා


මේ සැරසෙන්නේ , වසර කිහිපයකට උඩදී මා විසින් ඔබට කරන ලද වංචාවක් හෙලිදරව් කිරීමටය . අතේ වලල්ලක් පැලැඳි සාන්තුවරයකු ගැන මා ඔබට කීවා මතකද ? මට සමාවන්න , සැබෑවක්  යැයි ගහ පහ දිදී මා එදා ඔබට කීවේ ප්‍රබන්ධ  කතාවකි. කොලඹ මහ අතුරුපාරක් අයිනේ ලොරියකට බෙල්ල තැබූ බල්ලෙක් සිටියේ නැත. ඒ හපු‍ටු බල්ලා සෙනෙහෙන් වඩාගෙන පාර අයිනෙත් තැබූ, කොණ්ඩය දිගට වැවූ, ලැප්ටොප් බෑගයක් කර පැලඳි කොල්ලෙක්ද සිටියේ නැත. සමාවන්න ...

ඒ හා ලඟින් යන හෝ සිදුවීම් මාත්‍රයක් මගේ හිතේ ‍රැව් දුනි නම් ඒ crispyය . crispy යනු මීට පහළොස් වසරකට පමණ පෙර අපේ නිවසේ සිටි සුරතල් බල්ලාය. අමුතුම ගතිගුණ හා ගායක් තිබූ ඔහු අකැමතිම දෙය වූයේ අප නිවසින් පිට යාමය. ඔහු තනිකර දමා යාමට අප සියල්ලන් නිවසින් පිටව වාහනයට නැග ගන්නා විට , ඔහු අප මග හරස් කරමින් ඉදිරිපස රෝදයට බෙල්ල තබාගෙන සිටින්නට අද්භූත පුරුද්දක් ඇති කරගෙන සිටියේය. ඉදින් සාන්තුවර කතාවේ බල්ලාගේ කතා බීජය එයය. 

එතකොට කොල්ලා ? 

ඒ කොල්ලා මැවුනේ මගේ සිතේය. නමුදු එවන් කොල්ලන්  හිසේ කෙස් ගානට , මා රාජකාරි කරන තරමක් බටහිරට නැඹුරු පරිසරයෙහි දැක ඇත්තෙමි. නමුත් පසුගිය මාසයේ මැද මට ඒ කොල්ලාද මුණ ගැසුනේය. බූස කොණ්ඩය කර තෙක් වවාගත්, ‍රැවුල අපිලිවෙලට කපන ලද , කමිසය උඩින් දමා හපු‍ටු ඩෙනිමක් ලාගෙන , ලැප්ටොප් බෑගයක් කරෙහි හරහට දමාගෙන තරමක් මාන්දමික ස්වරූපයෙන් ගමන් බිමන් යන කොල්ලෙකු මීට මාස ගණනාවකට ඉහතදී මගේ අලුත් පන්තියක ඉඳගෙන සිටියේය. 

යතාර්ථ ලෝකයේ සිදුවීම්  වල කතා සාරයන්හි ලැගුම් ගැනීම අරුමයක් නොවේ. 

එහෙත් පූර්ණ ප්‍රබන්ධයක ප්‍රස්තුතයක් වසර ගණනාවකට පසු යථාර්තයක් බවට පත්වීම නම් ඇත්තටම ටිකක් ඕනාවට වැඩි සිදුවීමකි. තවත් අයුරකින් කියන්නේ නම් , අනාගත යථාර්තය වර්තමානයේ ගුප්ත සැලසුමක් වශයෙන් අපට ඉඟි කළ හැකිය . 

" ටීචර් , ඊයෙ හරි වැඩක් උනානේ.උදේ පහට විතර මම ඉන්ටවිව් එකකට කොලඹ යන්න , ඔන්න පේරාදෙණිය පාරට ඇවිදගෙන එනවා. ක‍ටුකැලේ හන්දියෙ මාර ගහ ගාව , අනේ බල්ලෙක් වාහනේක හැප්පිලා පණ අදිනවා. කකුල් දෙකම යට කරන් වාහනයක් ගිහින්. වටපිටේ මනුස්සයෙක් දෙන්නෙක් වට වෙලා. ඒත් කවුරුත් එයාට වතුර උගුරක් වත් දෙන්න සූදානමක් නැහැ. යන ගමන යකාට ගියාවෙ කියලා ම්ම ත්‍රිවිල් ගනනාවකට අත දැම්මා. ත්‍රිවිල් නවත්තනවා. බල්ලව ගෙනියන්න කියල ඇහුනම 'රුං' ගාල ඉගිලිලා යනවා. සමහරු ක‍ටුකැලේ ඉඳන් පේරාදෙනියට තියන කිලොමීටර් තුන යන්න රුපියල් දාහක් විතර ඉල්ලනවා . අන්තිමේට එක අයියා කෙනෙක් කැමති උනා රු.800කට බල්ලව අරගෙන යන්න ඉඩ දෙන්න. 

පේරාදෙණියෙ පශු වෛද්‍ය රෝහලට බල්ලව ඇතුලත් කලේ මම භාරකාරයා හැටියට. ඒ වැඩ ටික අහවර කරලා එහෙ බලලා මෙහෙ බලද්දි තමයි දෙයියනේ දැක්කෙ,මගෙ සහතික ෆයිල් එක !!!!! ඒක ත්‍රිවිල් එකේ අමතක වෙලා !!!!

ඒ මදිවට දැන් මගෙ ඇඳුමෙ හොඳටම කුණු ගෑවිලා. සපත්තුවල දූවිලි. බලු ගඳ. මොනව කරන්නද ටීචර්. ආයිත් ගෙදර යන්න අතේ සල්ලිත් නෑ. වෙලාවත් මදි. මම හිස් අතින්ම පේරාදෙණියෙන් බස් එකට නැග්ගා . මගෙ වෙලාව හොඳයි. ඉන්ටවිව් බෝඩ් එක මගෙ විස්තරෙ මනුස්සයො වගේ අහන් හිටියා . තේරුම් ගත්තා. මම ඉන්ටවිව් එකට හොඳට මුහුණ දුන්නා. අනිත් අතට මම ආයිත් බස් එකක එල්ලිලා පේරාදෙණියට ආව. අනේ අරයගෙ කකුද දෙක කපලා. අබ්බගාතයෙක් වෙලා. මට හරිම දුකයි ටීචර්. එතකොට එයාට සර්ජරියට පස්සෙ සිහිය ඇවිත්. මනුස්සයෙක්ට ඔහොම උනා නම් , ඇඳ වටේ කී දෙනෙක් ඉන්නවද , කවනවද පොවනවද? මම නැතිනම් එයාට කවුරුත් නැහැ. එයාගෙ ඇස් දෙක දකිද්දි මට හරි දුකයි. මම හිතාගත්තා එයාට කොහොම හරි ඇවිදින්න අවස්තාව දෙනවා කියලා. මම කෙලින්ම ගියා යාලුවෙක්ගෙ මාර්ගයෙන් අඳුන ගත්තු, කෘත්‍රිම පාද හදන තැනකට . අම්මෝ රුපියල් හයදාහක් යනවා. හැබැයි මගෙ යාලුවො දෙතුන් දෙනෙකුට කිව්වම දවසෙන් රුපියල් හයදාහටත් වඩා එකතු වුනා. මට හරිම සතු‍ටුයි. පහුවෙනිදා උදේම මම ඉස්පිරිතාලෙට ගියේ මේ සුබ පණිවිඩේ මගෙ ලෙඩාට දන්වන්න. මල්ලිගෙ ලෙඩ බලන්න යන අයියෙක් වගෙ කැම බීම හෙම අරන් මම ගියෙ හරිම සතුටෙන්. 

මගෙ ප්ලෑන් එක වුනේ , එයාට කෘතිම පාදයක් දාල අපෙ ගෙදර ගෙනියන්න. ජීවිතයක්  කියන නම වැටෙන්නෙ මනුස්සයෙකුට විතරක් නෙමෙයි. බල්ලෙක් කියන්නෙත් ජීවිතයක්. සියවස් ගාණක් අපි ගාවින් ඉඳන් අපිට තනි ‍රැකපු ජීවිතයක් . ඉතින් ටීච මම එදා උදේම ඉස්පිරිතාලෙට ගියෙ එයාගෙ සනීප වෙච්චි මූණ දකින්න. අනේ කලින්දා රෑ එයා අපිව දාල ගිහින් ටීච

එක හුස්මට පැය බාගයක් පමණ මට කියාගෙන ගිය දිගු කතාව ලොකූ සුසුමකින් අවසන් කරද්දී , ඒ රස්තියාදුකාර පෙනුමක් තිබූ දිකු කොන්ඩයෙන් වැසී ගිය ඇස් අග්ගිස්සෙහි , පිරිමියෙකු වූ නිසා හැඬිය නොහැකිකමින් හිරව තිබූ තෙතමනයක් දිලිසෙනු මා කම්පාවෙන් බලා සිටියා. 

සමාජ ජාලයක ස්ටේටස් අප්ඩේට් වලින් සිය මනුසත්කම් හුවා දක්වන ලෝකයක ,  විසේකාර බාහිර පෙනුමක් ඇති , බටහිරට බර ඇවතුම් පැවතුම් පෙනෙන, විසි වියැති තරුණයකුගේ හදවත තුල  එතරම් සරල මාන හිතවාදී මිනිසෙකූ සිටි අයුරු හඳුනා ගත නොහැකි වීම අවාසනාවකැයි මට සිතුනා. 

Thursday, January 21, 2016

[328] සුරංගනා කතාවක් - කතා ගොඩක් ...


පායි හායි සහ පායි ශාන් . මේ දෙන්න මට මුණගැසෙන්නේ මිට වසර 26 කට ඉස්සර !!!!! 


පායි ශාන් අයිය  අසනීපෙන්ලු. පායි හායි තනිවම හරි මූදු යන්නේ ඒ නිසයි. පායි හායිට හමුවෙන පුංචි මුතු බෙලි නගාට හානියක් නොකර ආපසු එයාගේ අක්කලා හය දෙනා ගාවට යවන පායි හායිගෙ හොඳ හිත නිසා කොච්චර දේවල් සිද්ද වෙනවද ?



කොච්චර හොඳ පායි හායි කෙනෙක්ද ? එච්චර අගනා මුතු මැණික් ලබන්නට තරම් විසාල උදව්වක් තමන් නොකළ බව කියන්නට තරම් නිහතමානි වෙන්නට මිනිස්සුන්ට පුලුවනිද ?  ( මතකද රත්රන් පොරව ? )



ඉතින් ඊට පස්සේ ?



පායි හායි ඉතින් රොබින් හුඩ් වගෙ කෙනෙක් . එයාගේ අයිය නම් එහෙම කෙනෙක් නොවෙයි වගෙ !



නොමිලේ ලැබුනු දේ විකුණා ගැනීම මොන අමන කමක්ද ? පායි හායි නොමිලේම ලෙඩුන්ට බේත් කරන්නේ ඒ නිසයි. 


 

තමන්ගේ බෙල්ලේ ඉදිමීම සුව කල මල්ලිටම ද්‍රෝහී වන අයියා , මිණි මුතු රුවන් තැගි බෝග වෙනුවෙන් දුප්පතුන්ට සුවය සැදූ අගනා මුතු මාලය රජතුමන්ට පුද දෙනවා. 

මුතු බෙල්ලන්ගේ මුතු . ලැබුනේ පායි හායි ට. නොමිලේම !  ඒත් දුප්පතුන්ගේ මුතු මාලය අන්තිමේ නවතින්නේ රජ බොටුවක තනි අයිතියට ! 





පායි හායිගේම මුතු මාලය . පායි හායිගෙන්ම සොරා ගත් රජතුමන් ,  තම රෝග සුවය පමණකින් සතු‍ටු වනවා පමණක් නොවෙයි , එය යලිත් දුප්පතුන්ට ලබා දෙන්නටත් කේවල් කරනවා. ගඟට විසිකල ඉඳික‍ටුවකින් සහ , එය තමන් වෙනුවෙන් පරිත්‍යාග කල පායිහායිගේම ජීවිතයෙන් හිලවු කරමින් ! මේ වෙලාවේ මට මතක් වෙනවා එක්තරා රටක්. එක්තරා රජතුමන්ලා පිරිසක්. ඒත් ඒ කවුදැයි මම නම් ඔබට කියන්නේ නැහැ .


එහෙත් සත්‍යය කිසිදා මූදු පතුලේ මියැදෙන්නේ නැහැ. 

අයුක්තිය ! අයුක්තියක මහත !  දුප්පතුන්ගේ වීරයා , හිත හොඳ පායි හායි , වෙඩි පහරකින් මූදු පතුලට ගිලී යනවා. පායි හායි මෙන්ම හිත හොඳ පායි හායිගේ හදවත ! 



වෛරය  විනාශ විය යුතුය. අයුක්තිය මිය යා යුතුය ! ආදරය , සත්ව කරුණාව පණ ලැබිය යුතුය . ජය ගත යුතුය ! පායි හායි ට ආයිත් පණ ලැබෙනවා . ඒ රොබින් හුඩ් වැනි වෙනත් ආත්මයක් වෙන්න බැරිද ? 


එහෙත් මේ සුරන්ගනා කතාවකි ! කුඩාවෙකු ලෙස  , වසර 26කට පෙර  මෙය කියැවූ මට , මේ මනස්ගාත ඔලුවට ආවේ නැති එක සැබෑය. හදවතෙහි එදා සිටි කුඩා ළමයා කෙරෙහි අනුකම්පාවකුත් , මෙදා සිටින වියපත් ගැහැනිය කෙරෙහි කෙටි තරහවකුත් සිතට නැගෙයි. 

ළමා කතාවකින් එහා ගිය දේශපාලනයක් පෙනීම ශෝකාන්තයකැයි විටෙක සිතේ. සුඛාන්තයකින් යුතු සුන්දර සුරංගනා කතාවට අවප්‍රාප්තික කියවීමක් ඇතැයි විටෙක සිතෙයි. 

ඒකත් හරියටම මේ ජීවිතය වගේය. ජීවිතයෙහි එන සියල්ල දෛවයට උවමනා අයුරට අවසන් වෙන්නට ඉඩ ඩිය යුතුද ? නැත . මේ කතාන්තරයට ඇත්ත වශයෙන්ම කුඩා සුන්දරත්වයකින් අවසන් කල හැකිය. පහතින් තියෙන්නේ එයය ! 


Sunday, January 03, 2016

[327] තෙපිටයි ඒ පාපේ - පවුකාරයිනි

සිරස සුපර් ස්ටාර් බැලුවෙමි. අහම්බෙන් කණ වැකුනු මේ වටිනා ගීතය , මට බ්ලොග් එකක් ඇති බවද , එයට මොකුත් ලඟකදී නොලියූ බවද සිහිපත් කරන ලදී.. 





සොයා දියවු 
සොයා දියවු මට සරණක් 
මා අත ගන්නට පෙරුම් පිරූ යෞවනයන් 
 දකුණේදී උතුරේදී ,
මරදැමූයේ 
තෙපි නොවේද පවු කාරයිනී

නීල වරල මතු වන නර කෙස් ගනිමි 
බාල සුවඳ ආලේපන ගෙන උලමී
දෙතන එරෙන කිරි දොවා ඉවතලමි 
තෙපිටයි ඒ ශාපේ - පවුකාරයිනි 

මැලවෙයි නෙතු මහනෙල් නා දලු දෙතොලේ 
ගිලිහෙයි පෙති සියපත වන් වත මඬලේ 
හදෙහි නැගෙන ගිනි , කඳුලින් ඉවසමි 
තෙපිටයි ඒ පාපේ - පවුකාරයිනි 

මේ නම් එසේ මෙසේ වචන ටිකක් නොවේ. සාමාන්‍ය සිතීමේ මානයෙන් එහා ගිය සිතුවිල්ලකි. සුනිල් ආරියරත්නයන්ට හැර වෙනෙකෙකුට නම් , මෙබඳු වචන  වෙඩි උණ්ඩ බිහි කරන්ට නොහැක්කේය . මීට දශකයකට එහා, ඉන්දියන් සාගරයේ මුතු ඇටය පලුදු කල දරුණුතම ව්‍යසනයෙහි ලෙහෙසියෙන් නොසිතෙන පැතිකඩක් නොවේද මේ ? 

උතුරේත් දකුනේත් වෛරය වපුරමින් , පවුල් ගණනාවකගේ ජීවිත පුරන් කරමින් ඔඩු දිවූ බිහිසුණු යුද්ධයෙන් අනාථ වූයේ ඔවුනොවුන්ගේ නෑ සිය මිතුරන් පමණක් නොවේ . මිය ගියේ තරුණ ජීවිත නොවේ , රටේ නිර්මාණශීලි තාරුණ්‍යයයි . අබ්බගාත වූයේ දහසක් කු‍ටුම්භ අභිමුඛයෙහි දුර්මුඛ වූ අහිංසක ගැහැණුන්ගේ අනාගතයයි.  ආදරයෙන් පරාජය වූ , ආදරයෙහි පිරිමි මුහුණත අතුරුදහන් කරන ලද , ආදරයට හද විවර කොටගෙන සිට දුර්මුඛ වූ දහසක් ගැහැණුන්ගේ ශෝකාලාපය , කෝපාවේගය ලිවීමට මෙයට වඩා වදන් නොමැත්තේය . 

රටක ජීවනාලිය ළමා පරපුර යයි අපි උදම් අනමු. එම රටෙහි අනාගත ශක්තිය බිහි වන්නේ ඒ ළමා පරපුර උස්මහත් වූ කල්හිය. උස්මහත් වූ තරුණ තරුණියන් රට රකින්නට ගොස් වෙඩි කැවාහුය. අබ්බගාත වුවාහුය . අනාත හා අවතැන් වුවාහුය . ඉතිරි අවූවන්ගෙන් අඩක් සුනාමියට බිලි වූවාහුය.  තරුණන්ගෙන් හිස්වූ ජනතා අධිකරණය  මහත් හරසරින් වඩාගෙන සුරතල් කරන්නේ ,  ඔතාගෙන සහ අනාගෙන කන්නේ කල් ඉකුත්වූ මහල්ලන් වීම අරුමයක් නොවේ. 

මේ සියලු අ‍තෝරයන් දෙස බලා සිටිමින් වියපත් වන තාරුණ්‍යය සිහි කරමින් නොයිඳුල් තරුණියෝ දින දසුනට සාප කරති. දරු මුණුබුරන් සමග තනිවූ ගැහැණු පිරිමි ‍රැකවරණයෙන් සිස් වූ නිවස්නෙහි සිය කනවැන්දුම් සුසුම් පා කර හරිති.  උතුරේත් දකුණේත් තරුණන් මරා දැමූ පවුකාරයින් කවරහුද ? 

ඒ 'තෙපි' නොවේද පවුකාරයිනි ???? 




ගීය  ගයන්නේ : ප්‍රදීපා ධර්මදාස 
ගිය ලිව්වේ : මහාචාර්ය සුනිල් ආරියරත්න 
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ 

ගිය අහන්න 

Wednesday, November 18, 2015

[326] ගඟ .. සහ .. වැව



" වංගු ගණනාවක් අරගෙන 
ගල්පර උඩින් පැන පැන 
අසීරුවෙන් කෙකටිය ගස්ද මැඩ ගෙන 
එනකොට හරිම වෙහෙසයි... "ගඟ කීය ! 

විල බොහොම නිහඬව එක තැන්ව 
තැන්පත්ව, හරි බරි ගැහී ඉඳගෙන 
ගොස ද දීගෙන දඟද පාමින 
ගඟ එන දෙස බලයි හොරැහින් ! 

"උඩ පිනුම් බඩ පිනුම් බලාගෙන !"
"පැන යන්නෙ හෙමිහිට,  ගල් උඩින් !"
විල කොතෙක් කීවත් වේගෙ වැඩි බව 
දුරසින් නවතින්ට අමනාපය , ගඟ ! 

ගඟ ආවොතින් වැවද කැමතිය
ගැලුවොතින් ගඟ - බි‍ඳෙයි සාමය !
ගැඹුරු විල ප්‍රිය නිසංසලය ය !
නොගැලුවොත් ගඟ - " අන් වැවක්මය ! "




Monday, November 09, 2015

[325] කවි (ගැන) කතන්දරයක්


මට කවි ලියන්නට සිතෙන්නේ ඇයි දැයි මා කියන්නට දන්නේ නැත. ලිවීමට කියවීමට අපේ අම්මාත් , අක්කාත් රුසියන් නමුදු අපට පරම්පරාවෙන් ආ කිසි ප්‍රතිභාවක් පිලිබඳ හෝඩුවාවල් නැත්තේය . 

ඉදින් ,  1992 පටන් ගත් අහඹු කවි කෙරුවාව , නතර වෙමින් යලි ඇරඹෙමින් දැන් වසර විසි තුනක් සපුරා තිබේ . මේ ඊයේ පෙරේදා මට බොහොම ආසා හිතෙන තාලේ අලුත් මොනවා හරි කරන්නට සිතුනේය . නිකමට කවියක් දෙකක් පරිවර්තනය කිරිමයි ඒ. 

Dennis Brutus [1924-2009] නම් කවියාගේ I am the Tree නම් කවිය මට ඇස  ගැසෙයි. නිකමට පාහේ පෙරලුන පද ටික , ඉතාම රසවත් කවි අභ්‍යාසයක් බවට පත්වූයේ කවියට , මට සහ පරිවර්තන කලාවට ආදරය කරන කිහිප දෙනෙකුගේ සොඳුරු සංවාදය නිසාවෙනි. 

මේ පොත මට ලැබෙන්නේ හිතවත් ශාන්ත කේ හේරත් සිත්තරාගෙනි. 



මේ පොතේ කවි සිංහලට හරවා කවි පරිවර්තනය අත් හදා බලන්නැයි  එතුමාණන් මගෙන් ඉල්ලිමක් කරයි. එහෙත් හිතුවක්කාර සහ කාර්යබහුල මම එය විවිධ හේතු දක්වමින් එය පස්සට දැමුවෙමි. ඔයි පොත නිසා මේ සිත්තර තුමාණන් විටෙක මා සමග අමනාප වුයේද අතට දුන් පොත නොකියවන්නට තරම් මට තියන කම්මැලිකම නිසා නොපහන් වූ බැවිනි. ඉතින් පහුගිය සතියේ දෙකේ ලැබුණු කුඩා විවේකයක් දෙකක් ප්‍රයෝජයට ගෙන මෙන්න මේ පහත කවිය මට සිංහලට පෙරලන්නට සිත් වුනි. 

මුල් කවිය මෙසේය .....


I am the Tree

I am the tree
creaking in the wind
outside in the night
twisted and stubborn:

I am the sheet
of the twisted tin shack
grating in the wind
in a shrill sad protest:

I am the voice
crying in the night
that cries endlessly
and will not be consoled.

Dennis Brutus [1924-2009]

මේ කවිය දුටු සැනින් එය මා අතින් මුල්ම වතාවට පද පෙරලෙන්නේ මෙසේය ! මෙය අදහස උකහා ගෙන මා කැමති විචිත්‍ර අදහස් කවා ලියන අනුවර්තනයක් කරනු වෙනුවට , පරිවර්තනයක්ම බවට පත් කිරිමට මට උවමනා විය.


මම _ වෙමි _ ගස
.
මම ගසක් වෙමි
සුලඟින් කීරි නද දෙන
කට්ට කරුවල ‍රැයක
හිතුවක්කාර විලසින් ඇඹරෙන

මම පියැස්සක් වෙමි
කුඩා බෙලෙක් අතු පැලෙක
සුලඟද කීරි ගස්වන
කර්කශ විරෝධය නොතකන

මම ඒ ස්වරය වෙමි
රාත්‍රියෙහි අඬා වැටෙන
නිමක් නොමැතිව හඬන
කඳුල අස්වසන්නට නොලැබෙන ...

තියෙන නොයිවසිල්ල නිසාවෙන් ලියන පරක්කුවෙන්ම මම එය මුහුණු පොතට මුදා හරිමි. බ්ලොග් පිටුවට එය ඇමිනෙන්නට ගතවන පැය කිහිපයේදී , කවිය මට මඳක් වෙනස් කරන්නට සිතෙයි. එහෙයින් බ්ලොග් පිටුවට එන විට කවියට මඳ විකෘතියක් ලැබී තිබෙයි . 


මම _ වෙමි _ ගස

මම _ ඒ ගස ..
සුලඟින් කීරි නද දෙන 
කට්ට කරුවල ‍රැයක 
හිතුවක්කාර විලසින් ඇඹරෙන 

මම _ ඒ පියැස්ස ...
කුඩා බෙලෙක් අතු පැලෙක 
සුලඟද කීරි ගස්වන 
කර්කශ විරෝධය නොතකන 

මම _ ඒ හඬ ...
රාත්‍රියෙහි අඬා වැලපෙන  
හැඩුම  බිඳකුදු නිම නොවන 
හඩනු  මිස , සැනසුමක් නොදකින ...

බ්ලොග් කොමෙන්ටු අතරෙහි ස්වර්ණමය අදහස් මතු වෙයි. මෙතෙක් කිසි ලෙසකින් සිතා නොතිබු , මුල් කවියෙහි නියම තේරුම මට හමුවෙයි.


"මේ කවියෙ ලොකු තේරුමක් තියෙනවා,
මුල්ම කවිය අප්‍රිකාවෙ වර්ණභේද වාදය හදුන්වා දුන් දේශපාලකයන් නිරූපනය කරනවා,
දෙවන එක, බ්‍රිතාන්‍යයන්ට වර්ණභෙද වාදයට විරුද්ධ වු සහ එයට සහයෝගය දක්වපු දෙපිරිසම නියෝජනය කරනවා.
තුන්වැනි එක, මේ දෙපිරිසෙන්ම බැට කෑ කලු අප්‍රිකානුවන් පෙන්නුම් කරනවා.." 

තේරුම ඇසු කල්හි මට මා ගැනම තරහක් පහල වෙයි. මන්ද එහි ඇති වටිනා තේරුමට ගෑවී යන්නට තරම් වත් අදහසක් මා ලියු පරිවර්තනයෙන් ගම්‍ය නොවන බව පැහැදිලිය . මම කවිය වෙනස් කරන්නට තීරණය කරමි. 
  

මම _ වෙමි _ ගස

                           මම වෙමිය ඒ හිතුවක්කාර මහ ගස
වේරම්භ වාතයකිනුදු නොසැලෙන
අන්ධකාර රැයඳුරට
තැතිගෙන දැඩිව සසැලෙන ...

පියැසි තහඩුවක් වැනි මම
දිරාගිය පැල්පතක හෙවිල්ලූ
සෙවණ සුරකිනු පිණිස
මාරුතය මඩිනු රිසිව, පොර බදන..

මම ය ඒ විලාපය ,
නිහඬ රාත්‍රිය ඇහැරන
කඳුළු ඩා රුහිරු උපදින
නොනිමි හැඬුමක වේදනා ඉවසන.


තවත් සොයුරෙක් මට තවත් පද වැලක් දෙවන කව වෙනුවෙන් යෝජනා කරයි . 


"මම ඒ පියැසි තහඩුව,
ඇඹරුනු කුඩා ගෙපැලෙහි,
කර්කශ හඬින් වැලපෙන,
දුක්බර සිතින් සුලඟෙහි"

දවස බොහෝ වේගයෙන් අවසන් වෙයි. කුරුල්ලන්ද පෙම්බස් දොඩා නින්දට යන වෙලාවයි. තවමත් තෘප්තියෙන් සැනසුමක් නොලැබූ අසම්පුර්ණ පරිවර්තනයට අවසාන සැනසුමක් දෙන්නට අපි තීරණය කරමු. නොයෙක් වර එහෙම මෙහෙට දෝලනය වූ කවි සිතිවිලි අවසාන මෙබඳු පද පෙලකින් අවසන් වෙයි. 

                                 
මම _ වෙමි _ ගස

වනස්පතිය මම වෙමි
වැඩුනු හැඩි දැඩිව
ගනදුරු රැයක
ඇඹරෙමින්, කීරි ගස්සන
චන්ඩ මාරුතයක් පවා

සුළඟින් ඇඹරී ගිය අට්ටාලයේ
ඇතිරූ තහඩු සෙවිල්ල මමය
කර්කශ සුලගට විරුදුව හඬ නගන
සෙවණ සුරකිනු පිනිස පොරබදමි

මමය ඒ වැලපුම් ස්වරය,
අනන්ත රාත්‍රීන් පුරාවටම ඉකිගසන..
බිදකුදු අස්වැසිල්ලක් නොලබන
හිරු එළියක් නොදුටු හැඬුම මම වෙමි

ඔබ ඒ කියවුයේ සාමුහික සහෘද නිර්මාණයකි . 

මාහැඟි කවි අභ්‍යාසයක් මෙසේ නිම වෙයි. එකම කව එක එක අයුරෙන් නොයෙක් සුරතින් ප්‍රතිනිර්මාණය වෙයි.  එලෙස ලියවුනු එක කවක් අනෙකට වඩා සුන්දර හෝ අසුන්දර යයි කිව නොහැකිය. මන්ද , අභ්‍යාසයක රස සහ භාව ඒ ලියු හැම අකුරකම නො අඩුව තිබෙන නිසාය. මා සමග දවස් ගණනාවක් කවි ලියූ, කියවූ, නොමසුරුව කවි මට දුන් සියලු සොඳුරු හදවත් වලට පින් ! මේ නම් ඉතා තෘප්තිමත් වූ අභ්‍යාසයකි. 

දැන් ඔබේ වාරය. මේ සියලු උත්සාහයන් කියවා බලා ඔබේ  ප්‍රියතම කවිය තෝරා ගෙන ,  රසවිඳීමේ පුර්ණ අයිතිය මම මහත් සෙනෙහසින් ඔබට පවරමි. 
ස්තුතියි. 


"ජීවිතෙත් මේ වගේ .. මම , මගේ , ඔයාගේ කියලා දෙයක් නැහැ . මේ කිසි අදහසක් ඔයාටවත් මටවත් අයිති දෙයක් නෙවෙයි. එක 'අපේ' නිර්මාණයක් . එහෙම හිතන තරමට තමයි ඕනෑම දෙයක් ලස්සන වෙන්නේ. එකට එකතු වෙලා සහයෝගයෙන් ගොඩ නගන දේ කොහොමත් ලස්සනයි "  
එය නම් සැබෑවක්මය...

Wednesday, November 04, 2015

[324] මම _ වෙමි _ ගස !


මම _ ඒ ගස ..
සුලඟින් කීරි නද දෙන 
කට්ට කරුවල ‍රැයක 
හිතුවක්කාර විලසින් ඇඹරෙන 

මම _ ඒ පියැස්ස ...
කුඩා බෙලෙක් අතු පැලෙක 
සුලඟද කීරි ගස්වන 
කර්කශ විරෝධය නොතකන 

මම _ ඒ හඬ ...
රාත්‍රියෙහි අඬා වැලපෙන  
හැඩුම  බිඳකුදු නිම නොවන 
හඩනු  මිස , සැනසුමක් නොදකින ...

.

I am the Tree

I am the tree
creaking in the wind
outside in the night
twisted and stubborn:

I am the sheet
of the twisted tin shack
grating in the wind
in a shrill sad protest:

I am the voice
crying in the night
that cries endlessly
and will not be consoled.


By Dennis Brutus [1924-2009]
was arguably Africa's greatest and 
most influential modern poet after 
Leopold Sedar Senghor and Christopher Okigbo,

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->