ඒක මහ පුදුමයකි. කවදාවත්ම අමතකම නොකළ යුත්තකි. එය එසේ වූයේ කෙසේද ?
දවසේ අඳුරුතම පැය හෙවත් හිරු නැගීමට ආසන්නතම යාමයයි. කෙටිකලක පටන් මට මේ වෙලාවට එලාමයක් තිබ්බා මෙන් ඇහැරෙයි. මගේ දෙපයට ඉස්සරහින් ඇත්තේ ආකාස බැල්කනියට යන දොරයි. ජනෙල් කවුලු තුනෙන් එකක් ලීය ඇදේ ගොස් මට දැන් වසා ගත නොහැකිය. දැන් එය බීතජනක ලෙසින් ඇරී තිබෙයි. මගේ සිත හා දෑස අවදිව ඇතත් නින්දත් එහෙන් මෙහෙන් හොල්මන් කරයි.
ජනේලය ඉදිරිපසින් අලුපාට හෙවනැල්ලක් චලනය වෙන්නා වගේ පෙනෙයි. කුඩා කල සිට මම අඳුරු භීතිකාවක් ඇත්තියක්මි. දැන් එය චුට්ටක් සමනය වී ඇතත් සම්පූර්ණයෙන්ම සුව වී නැත්තේය. හදිසියේම සිතට බියක් සැපත්වෙයි. හොරෙක්ද? මම අඩියට දෙකට ජනේලය වෙත ගියා නොව ඉගිල්ලුනෙමි. දඩාං හඬින් ජනේලය කෲර ලෙස වසා දමමි. බිය වෙච්චි වෙලාවට ගෙදර කවුරු හරි සද්දයක් දමා ඇහැරවීම හිතට සැනසීමකි. අඳුරට බිය නිසා විදුලි බුබුලක් දල්වා නිදන මා , විදුලි බුබුල වෙත ඇදී එන කෘමියන් වර්ගයකටද දක්වන්නේ ඒ හා සමාන බියකි. එනිසා ජනේලය හොරෙකුට තබා සමනලයෙකුටවත් ආ නොහැකි පරිද්දෙන් වසා තැබිය යුතුය.
මම ඇඟ මැලි කඩමින් යලිත් ඇඳ වෙත හැරෙමි. අවුවට ඇදේ යන ආකාස බැල්කනි දොරටුව අගුල දැමීම ඇතෙකු තල්ලු කරනවා වැනි ලොකු වැඩකි. ඒ නිසා සොරෙකුටවත් මුලු අනිවත්තම ඇහැරවීමෙන් තොරව ඒ දොර විවර කරගත නොහැකිය. ඒ නිසා අගුල නොදමා දොර නිරන්තරයෙන් අඩවල් කොට පමණක් තබන්නට මම නිර්භය වෙමි. එහෙත් අද ! දොර කිරි කිරි හඬින් විවර කිරීමට දරන උත්සහයක් ! නිදිමතත් , මේ සිහිනයක්දැයි සැබෑවක්දැයි තෝරාගත නොහැකි කමත් මැද්දේ මම වශීකෘතව සෙමෙන් ඇරෙන දොර දෙස බලා සිටියෙමි. ගෙවී ගිය ජීවිතයේ සැම වතාවකම සිදුවූ අයුරෙන් , අසීරු හැම වතාවකම සිදුවූ අයුරෙන් , අසාමාන්‍ය ජවයක් ශක්තියක් ගතට උණා එනු දැනුනි. මම එක පිම්මට දොර වෙත පැන මුලු වෙර යොදා එය වසා දමන්නට තැත් කලෙමි. මට කෑගසන්නට අමතක වූයේය. දෙයියනේ බැල්කනියේ හොරෙක්.! දොර වැසිය නොහැකිය. දොරත් උලුවස්සත් හරස් කොට මේ ඇත්තේ කුමක්ද? අලි හොඬයකි !!!!! මම ඊට පයින් ඇණගෙන ඇණගෙන ගියෙමි. හොඬවැලෙහි අග තෙතමනයෙන් ගත සලිත වෙද්දී මම මාරාවේශයෙන් හොඬවැල පයින් තලු කොට දොර වසා දමන්නට සමත් වීමි. බුදු අම්මේ අනූ නමයෙන් බේරුනා,මම දහඩිය උතුරුවමින් සැනසුම් සුසුම් හෙලමින් ඇඳට කඩා වැටෙමි !
----
මම සීත තැනිතලා බිමෙක හරි මැද තනිව සිටින රූස්ස යෝධ ජීවන වෘක්ෂයක් පාමුල තනිව සිටිමි. මූසල පාලුවක් හා අඩ අඳුරක් හාත්පස වෙලාගෙන ඇත. සිතෙහි නලියන දැඩි අභිලාශයක් ඇතිව මම උඩ බලාගෙන තුරු මුදුන වෙත නෙත් යොමා සිටිමි. තුරු මුදුනට නැගීම ඒ අභිප්‍රායයි.එහෙත් එය හීනයක් නොවේද ? අඳුරට තරම්ම බියක් මට ඇත්නම් ඒ උස් තැන් කෙරෙහිය. එහෙත් එය කඳුගැට වලට බලපාන්නක් නොවේ. එහෙත් මා ඉණිමං නැගීමේ සහ ගස් නැගීමේ අසමත් වීම උපතින්ම ගෙන ආවෙමි.
එහෙත් මෙවර අධිෂ්ටානය බොහෝ දැඩිය. ගස වටේ යමින් මම බදා ගත නොහැකි තරම් මහත බඳ නිරික්සමි. නොහැක්කක් නොමැත්තේය. කවුදෝ මොළ කුහරය අස්සෙන් හඬක් කොඳුරයි.
මම පලමු කරුවට නගිමි. වෙවුලන දෙපා නොතකමින් , රැකෙම්වා හෝ මියෙම්වායි අදිටනින් දෙවන කරුවටද පය තබමි. තෙවන ,.. සිව් වන.... හුස්මක් කටක් නොගෙන . දෙපා වලට උණා ඇති යෝධ දහිරිය නිසාවෙන්ම, ගමන නොනවතමි. තව තවත් උද්වේගය දැඩි වෙයි. බිය පලා යයි. මට දැන් දැන් තුරු මුදුනත ලා දළු ඇසට හසු වෙයි. අතු පතර පනිමින් තුරු මුදුන සිඹින තුරු මට ඉවසුමක් නැත..
මම හාත්පස නරඹමින් වශීකෘතව සිටියෙමි. සැතපුම් ගණනාවක වපසරියක් අරක් ගත් මේ තුරු මුදුන් වියන සිසාරා මම හාත්පස ඈත නරඹමින් හුස්ම පවා අමතකව හිඳිමි. සීතල මිහිදුම් තිර , ලා අඳුර , වලාකුලෙන් ගැබ්බර අහස මිස අන් කිසිවක් කිසිවෙක් නැත්තේය. 'ඇද්ද බලා ගත්තා' තුරු මුදුන මට ඔලොක්කුවට සිනහ සෙන්නාක් මෙනි. ඕලාරික තැනිතලාවට මගේ උදානය අසන්නට උනන්දුවක් නැත්තේය. අධිෂ්ඨානයේ මිහිරි පල නෙලා ඇති මුත් , නෙලූ අමා ඵලයෙහි නීරස මන්දගාමී අතුරුපල දකිද්දී එය හිතට වේදනාවකි. තෘප්තියත් අතෘප්තියත් සමෝසමේ පැතිර යන චිත්ත ස්වභාවයෙන් විපිලිසරව මම උඩ බිම බලමි. දෙවියනි මා මීටර සිය ගානක් ඉහල ! උවමනාව දැඩිව ආ කල , බිය අමතකව තිබිණ. එහෙත් දැන් ? මා වඩා ගෙන පරෙස්සමෙන් පහළට ගෙන යන්නේ කවුරුන්ද?
දෙවියන් මට අහස පෙන්වන්නට එක්ක ආවේය. එහෙත් දෙවියන් අහසේ නවතිද්දී අඳුරට පෙර මා පොලොවට තනිව යා යුතු වේ. බිය, ගත වෙලා ගනී. තුරුමුදුනෙහි සදාකාලික නවාතැන් ගත නොහැක්කේය. මගේ ප්‍රාණ සම මිතුරියක් ඉන්ද්‍රජාලයකින් මෙන් ගස මුල පහළව සිටින්නීය. ඈ දකිත්ම මා ගත සිඳී ගිය දිරිය යලිත් වැඩී එනු මට දැනින.
ජීවිතයක් හිලව් කොට තබා , අහස දැකීමේ ජයග්‍රහණය උදෙසා හඹා ආ තෘප්තියත් , එය තනිව දරාගැනීමේ අමිහිරි අතෘප්තියත් විඳ අවසන්ය. දැන් මා මිය යා යුතුය. නොහොත් හැර යා යුතුය. කොහෙන් කෙළවර වුවද එය මරණයකි.
සියල්ල අතහැරීමෙන් උණා ආ නිර්භය හැඟුම් පෙරදැරිව අතු එකින් එක අල්ලාගෙන මම බිමට බසිමි. දෙවියනි , මගේ භීතිකාව පලා ගොසිනි. මෙන්න මා ගස පාමුළ ! මිතුරිය බර අඩි තබමින් ඉදිරියෙන්ද , මම නිහඬව හෘද සංවාදයක යෙදෙමින් පසුපසින්ද තවත් ලෝකයකට සංක්‍රමණය වෙමින් සිටිමි.
----
සැබවි .. දෙකම සිහින ය. එහෙත් එය සිහිනයෙන් දුටු 'සැබෑව' යැයි මම පවසමි.
Friday, March 14, 2014
[304] අභව්‍ය වෘක්ෂ තරණය සහ හස්ති දමනය
මේ ගැනයි මේ ලිපිය..
ජීවිතේ ගැන කියපු කතා
Monday, February 17, 2014
[303] ආදර සිතියම..
.
ජීවිතේ ..
පාට විසිරුනු සිතුවමක්
දැවෙන අහසත්
තෙමෙන පොළොවත්
එකට යාවුන සිතියමක් ....
ආදරේ
ඒ සිතියමේ එක් නිම්නයක් ..
අහඹු හමුවක
මතක සළකුණු
ඉපිද මිය යන සිහිනයක්...
නුඹ මගේ
තාල ගිලිහුණු කවි පෙලක් ..
පැරණි නගරෙක
ශිලා ලිපියෙක
ලියා කටුගෑ පද වැලක්...
.
ජීවිතේ ..
පාට විසිරුනු සිතුවමක්
දැවෙන අහසත්
තෙමෙන පොළොවත්
එකට යාවුන සිතියමක් ....
ආදරේ
ඒ සිතියමේ එක් නිම්නයක් ..
අහඹු හමුවක
මතක සළකුණු
ඉපිද මිය යන සිහිනයක්...
නුඹ මගේ
තාල ගිලිහුණු කවි පෙලක් ..
පැරණි නගරෙක
ශිලා ලිපියෙක
ලියා කටුගෑ පද වැලක්...
.
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
කවි..හෙවත් මගේ ආත්මය
Friday, February 14, 2014
[302] ජීවිත කංකාරිය
කලකට පසු තනිවම නුවර මගට බැස්සෙමි . එකක් දලඳා මාලිගාවට සිරිපා ගමන වෙනුවෙන් කළ බාරය ඔප්පු කිරීමටය. අනෙක රස්තියාදුවක් යාමටය .
දලඳා මාලිගාවට ඇතුලු වන තැන පෙර නොවූ විරූ කලබලයකි. කොලු කෙල්ලන් පිරිසක් 'ජෝන්ගේ සත්තු වත්ත' වේදිකා නාට්‍යයේ ටිකට් විකුනති. රුපියල් තුන්සියයක් දීමට අතේ මිටේ මුදල් හිඟය . ඒ නිසා බොරුවක් කීවෙමි. 'මම ඕක බලල තියනව මල්ලි' . මට උවමනා වූයේ නොමනා තරම් ලඟට පැමිණ ටිකට් විකුණන්නට උත්සහ කරන ලාබල තරුණයාගෙන් ගැලවෙන්නටය. දලඳා හාමුදුරුවන් වෙත අසරණව බලමින් මුසාවාදය වෙනුවෙන් මම පව් සමා කර ගනිමි.
මට සුදු නෙලුම් මල් වට්ටියක් උවමනාය. මල් විකුණන ඇත්තන් ජෝන්ගේ සත්තු වත්ත වගේම බේරෙන්නට අමාරුය . එතන භයානක යුද්දයකි. මල් ගන්නා වඩාගෙන කඩය තුලට ගෙන නොගියොත් පුදුමය. එතැනිම මගේ ශ්‍රද්ධාව හීන වන්නට පටන් ගනී. හිතුවක්කාර කමින් මම කොනේම ඇති කඩය තෙක්ම ගමන් ගනිමි. වඩාත්ම අහිංසක මුහුණක් ඇති , මට මල් ගන්නැයි බල නොකල කඩයට ඇතුලු වී මල් ඉල්ලමි. හිතවන්ත සහ ඉවසිලිවන්ත මහත්මයා එහි ඇති වට්ටියකටම මල් වට්ටිය හදා දී , 'එනකොට පුලුවනි නම් වට්ටිය ගෙනත් දෙන්න මිස්' කියා කරුණාවෙන් කී හෙයින්ම හීන වී ගිය ශ්‍රද්ධාව යලිත් ටිකක් වැඩී ආවේය.
සෙරෙප්පු වගේ දේවල් අමතක වීමේ ලෙඩය තදින්ම ඇති හෙයින් මම සෙරෙප්පු දෙක ඉටි කොළයක ලාගෙන බෑගයෙහිම රුවා ගන්නේ තාර පාරේ සිටය. ඒ මගේ පහසුවටය. දෑතට ගත් මල් වට්ටියට දෑන් පිට රැඳි බෑගය නිසා පහසුය. මම මාලිගාවේ දොරටුව පෙනි පෙනී දිගු කොරිඩෝරයේ යලිත් දුරක් ගමන් ගන්නේ දෙවන මුර කුටිය මුණ ගැසෙන තුරුය. දෙවන මුර කුටියෙන් අණක් නැගෙයි. සෙරෙප්පු කවුන්ටරයෙන් තියල යන්න. එතැනත් බල කිරීමකි. මම යලිත් ආ මහ දුර ගෙවාගෙන කවුන්ටරයට විත් සෙරෙප්පු තබා ආපසු යමි.
මාලිගාවට ආයේ වැරදි වෙලාවකය. සෙනග හෝ ගාලාය. කුමක් කරම්ද. ඉඳහිට ලැබෙන නිවාඩුව නෙව! මම සෙනග පීරමින් පරණ මාලිගාවේ සඳලුතලයට ඇදෙමි. එහි දෙගුණයක් සෙනගය. ඒ මදිවාට මහ විසාල රූපවාහිනි දෙකක් මල් ආසනයදෙපසින් එල්ලෙයි. එහි ඉරිදා පොළ තරම්ම කලබලයකි. සෙනගක් එහි නතර වී ටීවී එකෙන් පෙරහැර බලති. ඉතිරි සෙනග , නතර වී සිටින සෙනගත් තල්ලු කරගෙන ඇඹුල් වූ මුහුණින් මල් අසුන වෙත ලඟා වන්නට පොර කති. මමද ඒ ගොඩෙහි ගසාගෙන යමින් සිටියෙමි. අවසානයේ මල් ආසනය වෙත ලඟා වී මල් එක එක පුදා කොනකින් අපහසුවෙන් වාඩි ගතිමි.
දෙනෙත් පියාගෙන තෙරුවන් සිහි කළෙමි. මගේ සිතුවිල්ල මටවත් නෑසෙන තරමට කචබචය වැඩිවී තිබේ. මට අපහසුවක් දැනෙයි. හැකි ඉක්මනින් මා එතැනින් එලියට යමි. සෙරෙප්පු කවුන්ටරයට ලං වන විට එතන අවනඩුවකි. විදේශික කතුන් කිහිප දෙනෙකු මුහුණ අඳුරු කරගෙනය. 'අපි තණකොල ගොඩේ තියල ගිය සෙරෙප්පු නැතිවෙලා . ඒවා මෙහෙ තියෙයි කිව්වා.. '
ඔවුන්ගේ කතාව අසන්නට සිටියා නම් දලඳා හාමුදුරුවන් වැඩ වසන , කලකට ඉහත ඉතා මනරම් සිත නිවන තවන ස්ථානයක් වූ මේ පූජනීය භූමිය මට එපාම එපා වන්නට ඉඩ තිබුනි. ඒ නිසා මම හැකි ඉක්මනින් එතැනින් ඉවත් වීමි. මාලිගාව මේ තරම් මුදලට යට වූ , වාණිජමය තිප්පලක් බවට පත් කිරීම බුදුන් වහන්සේට කරන කිනම් වර්ගයේ අපහාසයක්දැයි මට නොතේරෙයි. සමහර විට මට පේන හැටි වැරදි වෙන්නට පුලුවන.
දෙවසරකට පෙර මම හිඳ සිට බ්ලොග් පෝස්ට් එකක් ලියූ අයිස්කිරිම් පිලිකන්නේ එතැනම හිඳගෙන අදත් කෝනෙටෝවක් ලෑටි ගාමින් සිටිමි. එදාත් මෙදාත් අතර මහ වෙනසක් නැතැයි කියන්නාක් මෙන් මා ඉඳගෙන මොහොතක් ගත වෙත්ම ඉතා තරුණ යුවලක් මා අසලින්ම වාඩි වෙති. අද තරුණිය ඇපල් සෝඩා එකක් බොන අතරතුර කොල්ලා උඩ එල්ලා ඇති මහ රූපවාහිනිය දෙස කට ඇරගෙන බලා සිටියි. ඒ නම් පෙර වසරට වඩා වෙනසකි. පෙර මෙන් නිහඬ තැනක් නොවූ එය දැන් විසාල ප්‍රචාරණ රූපවාහිනි දෙකකට වාසභවනය වී තිබේ. එහි කේ සී සී අධිපතිතුමන්ගේ සිරිපා පිලිසකර වැඩසටහනේ විශේෂ අවස්ථා නොනැවතී ධාවනය වෙයි.
ඉස්සර මෙන් අයිස්කිරිමක් ලෑටි ගාමින් නිදහසේ ඉන්නට එතන අවකාශයක් නැත්තේය. ජීවිතය මොන තරම් කාර්ය බහුලද කියා මට සිතෙයි. රාජකාරිය දේවකාරිය පමණක් නොව ශරීරයේ රෝම කූපයක් දක්වාම දිව යන කංකාරියක්ද වී තිබේ. ජීවත්ව සිටින්නේ රස්සාව කිරීමටදැයි සිතෙයි. පවුල යන්න නාමික කාරණාවක් වී තිබේ. ජීවිතයේ බොහෝ වැදගත් තීරණ මග හරිමින් ජීවත් වීම යනු වෘත්තිය සාර්ථකත්වය ලඟා කර ගැනීම යයි සිතන යාන්ත්‍රික ගැහැනියක වීමට මට කිසිදු ආශාවක් නැත්තේය. එහෙත් සිදුව ඇත්තේ එය නොවේද?
මම වික්ෂිප්තව සිටිමි. කාලයට පින් සිදු වන්නට ජීවිතයේ සොඳුරු බොහෝ දේ අහිමිව තිබේ. මිතුරන්ට මගේ කාර්යබහුලත්වයටත් වඩා මගේ කොයි වෙලේත් අසහනයෙන් පසුවන ගතිගුණය වදයක් වීම අරුමයක් නොවේ. සතුටෙන් සිටීමට නොදන්නා , අනුන් අගැයීමට නොදන්න මිනිසුන් අතරෙහි වාණිජ අරමුණු පමණක් හිස දිවෙන නිසාවෙන් ආතුරව මෙසේ ලියමි. අරුමයක් නොවේ ... ලෝකයම වාණිජ අලෙවි පොලක් මිස අනෙකක් නොවේ.
මේ ගැනයි මේ ලිපිය..
ජීවිතේ ගැන කියපු කතා
Tuesday, February 11, 2014
[301] රාත්‍රිය
.
ලොවම නිදන අමාවක අඳුරෙහි
නුඹටත් හොරෙන්
නුඹ වෙලාගෙන,
මොහොතක්ම පමණක් වැලඳ ගන්නට
රාත්‍රියක් වී මම එමි..
සොඳුර ,
පිලිගන්න ..
අවසන් වැලඳ ගැන්ම ...
නිදා සිටි කොඳ මල ඇහැරී ඇති
ඔබ නිදිදැයි හොරෙන් විමසා බලනු ඇති
මගේ සීතල හඳුනා ගෙන ඇහැරෙන්න..
නොදුටුවා සේ දෑස් පියා පසු වන්න...
ඉච්චාකාර සඳ තුරු මුදුනෙන් එබී
තුරු සෙවණ අපෙන් හිස් යැයි සැනසෙනු ඇති
තුරු හිස නොපිපි මල් ඇතිදැයි බලා එන්න
අවසන් සිනහවෙන් රාත්‍රියට එය පවසන්න ...
නුඹටත් හොරෙන්
නුඹ වෙලාගෙන,
මොහොතක්ම පමණක් වැලඳ ගන්නට
රාත්‍රියක් වී මම එමි..
සොඳුර ,
පිලිගන්න ..
අවසන් වැලඳ ගැන්ම ...
නිදා සිටි කොඳ මල ඇහැරී ඇති
ඔබ නිදිදැයි හොරෙන් විමසා බලනු ඇති
මගේ සීතල හඳුනා ගෙන ඇහැරෙන්න..
නොදුටුවා සේ දෑස් පියා පසු වන්න...
ඉච්චාකාර සඳ තුරු මුදුනෙන් එබී
තුරු සෙවණ අපෙන් හිස් යැයි සැනසෙනු ඇති
තුරු හිස නොපිපි මල් ඇතිදැයි බලා එන්න
අවසන් සිනහවෙන් රාත්‍රියට එය පවසන්න ...
මේ ගැනයි මේ ලිපිය..
කවි..හෙවත් මගේ ආත්මය
Monday, February 03, 2014
[300] වන මැදින් සිරිපා පිණිපා කොට..
![]() |
| බස් එකේ විනීතව නුවර පැමිණෙන සෙනග |
![]() |
| වැව රවුමේ .. රෑ සංචාරේ |
![]() |
| ඇතමුන්ගේ විනීත චායාරූප |
![]() |
| හැටන් දුම් රිය ස්ථානය |
![]() |
| හැටන් දුම් රිය සිථානයේ බසයේ සිට |
![]() |
| බසයේ කල් මැරීම |
මම දන්නෙ නැහැ. එන විදියකට එනවලා . ගෙදර නැවතියෑකි. සෝරෝට මගෙන් දැනගන්ට ලැබෙන්නේ එච්චරකි.
![]() |
| බස් එක පිටත් වෙන්නේ 10.30 ලු ???? |
වැඩ ඇරී සඳුදා ගෙදර එන මට සිරිපා ගමනට අත්‍යවශ්‍ය ටෙනී සපත්තුව ඇත්තේ ගෙදර නොව ඔපිසියේ බව සිහි වුනාය. තිරෝද රියක නැගී ඔපිසියට රෑ 9ට සැපත්ව මුරකරු අන්දමන්ද කරවන මා , ඔපිසිය ඇරවා , සපත්තුව ගනිමි. එයත් ගෙන 9ට සැපත්ව සිටින නඩය පිලිගන්ට නුවර යමි.
![]() |
| පොංගල් බත් ලැබුනි |
![]() |
| සිරිපා වනජීවී කාර්යාලෙන් වන ගමන ඇරඹෙයි |
![]() |
| නඩේ ගුරාගේ අණ පිලිපදිමින්, ... |
![]() |
| රාජමලෙයි කෝවිල සහ ගම්මානය |
මුස්ලිම් හෝටලයෙන් කා බී , වීදි බට අප , ෆුඩ් සිටියට ගොඩ වැදී අයිස්ක්‍රිම් කීපයකින් බඩේ අඩු තැන් පුරවා ගනිමු. වැවරවුමේ තැබිලි එලි පිටවෙන ලාම්පුවට මත් වන ඉනෝශා ට urban chik නම තබන්නේ සිහිනයාය .
![]() |
| යහමින් ගම්මුන් අපට සංග්‍රහ කලෝය |
![]() |
| ගම් වැසියන්ගේ සොඳුරු සිනහව සමග |
![]() |
| යටිකූරියා මල් - පනුවාගේ සහ රැන්ඩිගේ සොයා ගැනීමකි |
![]() |
| සමනල තැන්නේ ගිමන් හරිමින් |
![]() |
| මරේ වතුයාය ඔස්සේ සොඳුරු දසුන් |
![]() |
| සමනල තැන්නේදී පෙනෙන සිරිපා කඳු මුදුන |
![]() |
| සමනල තැන්න |
![]() |
| වන මං ඔස්සේ |
![]() |
| කූඩැල්ලන් ඇසුරේ |
![]() |
| ඉඳිකටු පාන |
රෑ එකොළහ පමණ වෙනතුරු සීතලේ ගැහෙමින් ගුලුවී නිදියන අපට ඉර සේවය හෙට බලාපොරොත්තු විය නොහැකි බව ශබ්ද විකාශනයෙන් ඇසෙයි. අදහිරියට පත් වන අප යලිත් පහළට කරුණා කිරීමට තීරණය කලෙමු.
![]() |
| උඩ මලුව - මහ සෙනග |
![]() |
| ගුලිවී නිදන නඩය |
![]() |
| සීතල උල්පත් වතුර |
![]() |
| යන යන තැන නිදාගත් පනූ |
![]() |
| අපිත් නිදා ගත්තෙ නැතුවා නොවෙයි |
![]() |
| ශූටින් වලට පෙර උපදෙස් - සමනල තැන්න |
![]() |
| සොඳුරු දසුන් |
![]() |
| මරේ කවද්ද තේ වත්තක් ගත්තේ ??? :) |
![]() |
| සොඳුරු දසුන් |
මෙවර රූගත කිරීමේ විඩියෝව එන අවුරුද්දේ බලාපොරොත්තු වන්න. :)
මේ ගැනයි මේ ලිපිය..
ජීවිතේ ගැන කියපු කතා,
සංචාරේ
Friday, December 06, 2013
[299] අවසන මම 'ඈ' ගැන සිතීම අත් හළෙමි..
-------------------------------
බොහෝ දිනකට පසුව මහනුවරට සැපත් වීමි. මේ මගේ කෙටි නිවාඩු දිනයය. දවල් ඉර පෙනෙද්දී කඩ සාප්පු වල ගාටන්නට ලැබෙන ස්වර්ණමය අවස්ථාව මම මග නොහැරීමි. කඩින් කඩ වැටෙන මඳ වැසි මේ මහනුවරද නුවරඑලියද? කියා සිතෙන් අසයි. ඇසි පිය හෙලන වේගයෙන් ගණ මීදුම කඳු හිස් වැලඳ ගෙන ඊලඟ මොහොතේ අතුරුදන් වෙයි.බස් රථයක ගමන් ගනිද්දී වටපිටාවේ බොහෝ දෑ පෙනෙන අරුම! ලියමනකට කරුණු එකතු වෙන අරුම !
පාසැල් ඇරෙන වෙලාවය. මා හිඳ සිටින බස් රථය රිය තදබදයෙහි එක තැන නතරව තිබෙයි.ජනේලය පාමුල පදික වේදිකාවේ මව්වරුන් දෙදෙනෙක් මගේ නෙත ගැටෙයි. නලල මැදට වන්නට සුදු කෙස් මතුවූ , ඒ කෙස් ගස් හරි හැටි නොපීරන ලද නිසා අවුල් වූ කොණ්ඩයකිනුත් යුත් තරුණ මව සිය කුඩා පුතු අතින් අල්ලාගෙන පදික වේදිකාව මැදම යෙහෙළියක් සමග කතා බහකය! මම ඇගේ හිසේ සිට පාදාන්තය තෙක් බලමි. වේගයෙන් පලා ගිය යෞවනයේ පැහැපත් සම , ආරන ලද උදරය , වයසට වඩා මුහුකුරා පෙනුම, හරි හැටි පිලිවෙලකට නාඳින ලද කොට සාරිය ( එහෙන් මෙහෙන් පැටලූ යයි කීම නිවැරදිය) , පයෙහි ලූ නොසේදූ පාවහන් යුගල , ඉන් වැසී ගත් පැලුනු යටිපතුල් මගේ තියුණු දෑසෙහි තැවරෙයි. මට සුසුමක් පිටවෙයි. බොහෝ ප්‍රශ්න හිසට පැන නගියි.
'ඇයි දෙයියනේ මේ මිනිස්සු තමන්ට ආදරයක් නැත්තෙ?'
ඉක්ම යන යෞවනයට වඩා ඈට සිතන්නට බොහෝ දේ ඇතුවා විය හැකිය.. දරු සිඟිත්තන්ගේ අනාගතය ! රැකියාව ! රෑට බත සරි කරන මාලු පිණි ! හෙට උදයේ වැඩ කටයුතු ! දරුවන්ගේ ගෙදර වැඩ ! පාඩම් පොත් රාජකාරි ! ඇඳුම් මැදීම ! මේ සියලු පහින පත් වෙනුවෙන් වෙහෙසෙන ඈට සිතන්නට කොහෙද වෙලාවක් ඈ ගැන ? මා ඇගෙන් ඇසුවහොත් ඈ මෙයින් එක දෙකක් හෝ නිදහසට කරුණු ලෙස කියනු ඇත.
මම ඇගෙන් මුදා ගත් සිත ඇගේ යෙහෙලි මවට යොමු කරමි. තත්වයෙහි වැඩි වෙනසක් නැත. මම කම්පාවෙන් යුතුව හාත්පස බලමි. දුටු දසුනින් එහා ගිය අමුතු පිලිවෙලක් හෝ පිරිසිදු බවක් ඇස් මානයේ කිසිදු වැඩිහිටියෙකුගෙන් දිස් නොවෙයි. දරුවන්ගේ උවමනා එපාකම් වලටම දිය වෙච්චි ජීවිත ! මට මගේ දෙමව්පියන්ද මතක් වෙයි. ඔවුන්ගේද වැඩි වෙනසක් එකල්හි නොතිබූ බවම සිහිවෙයි. අපි නිසාම වයසට ගිය ආත්මයන් දෙකක් ! මට දැඩි දුකක් දැනෙයි.
මෙරටෙහි ගැහැණු මිනිසුන් තුල යෞවනය අල්ලා හිටින්නේ පෙම් කරනා තෙක්ම පමණක්ද? . විවාහයෙන් පටන් ගන්නා 'නව ජීවිතය' යනු වගකීම් , යුතුකම් , අනාගත හීන , මුදල් , ගෙවල් යානවාහන සහ දරුවන් හදා වැඩීම පමණක්ද?විවාහයෙන් මිනිසාටත් ගැහැණියටත් 'තමා' අහිමි වන්නේද?
මම කල්පනා කරන්නෙමි.අප සිහින මවන්නේ කුමක්ද? විවාහය - අලුත් ජීවිතයක් , ගෙදර ඉද්දී නොතිබුනු නිදහසක් , කුරුලු යෞවනයක් මෙන්ම නොමියෙන ආදරයකි. 'ජීවිතය' සහ 'තමා' අමතක කරවන 'විවාහය' නමැති ප්‍රරවාහයේ ගසාගෙන යන අතරතුරම අප 'අවංක ආදරය','පතිවෘතාව' සහ 'අන්‍යෝනය බැඳියාව' එකී මෙකී නොකී දෑ කප් සුවහස් කල් එක සේ පැවතිය යුතු වේ යැයි උදක්ම ශපථ කර සිටිමු.
දරුවන් සම්පතකි.දරුවන් වෙනුවෙන් අන් සියල්ල දෙවෙනි තැන ලෑම මේ පෙරදිග පවුල් බැඳිමෙහි සුන්දරත්වයද වේ. ඇත්තය.එහි අරුතක් තිබෙයි. එහෙත් දරුවන් බිහිවන පවුල තුල යුවලක් තවදුරටත් ගැහැණිය සහ මිනිසා නොවන්නේද? දෙමාපියන් වූ අඹු සැමියන් යනු තවදුරටත් එකිනෙකාගේ ඇඳුම් පැලඳුම් පිරිසිදු ඇවතුම් පැවතුම් සහ ප්‍රිය මනාප හැඩ හුරුකම් අනවශ්‍ය ජීවීන් දෙදෙනෙකුද?
සිය දරුවාගේ ඇඟ රත් වීමටත් විශේෂඥයන් චැනල් කරන අපේ අම්මලා , බරපතල සැත්කමත් කල් දමන්නේ අපට ඇති ආදරය නිසා බව සැබෑවකි. එහෙත් නොසැලකිල්ල නිසාම මැදිවිය අරඹන්නටත් පෙරම දියවැඩියාව , අධි රුධිර පීඩනය යනාදි එකී මෙකී නොකී රෝ පීඩා දහසකුත් එකක් තරුණ අම්මලා තාත්තලා වැලඳ නොගන්නේද? දරුවන් වෙනුවෙන් දියවී යන, වේගයෙන් මහලුව යන දෙමාපියන් අමතකව යන්නේද මේ දරුවන්ටම නොවේද ?
මම මේ සියලු සිතුවිලිත් සමග නොපහන් වූ සිතින් මහනුවර ජනාකීර්ණ හෝරා ස්තම්භය පසු කොට මාලිගාව දෙසට ඇදෙමි. ලංකාවේ අසිරිය නරඹන්නට පැමිණි සංචාරක යුවලක් මගේ ඇස ගැටෙයි. දෙදෙනාටම වයස හැට ඉක්මවිය යුතුය. සිරුරෙහි මහලු වියේ රේඛා හොඳින් දර්ශනය වන මුත් දෙදෙනාගේම ගමන් වේගය මට වඩා වැඩිය. කොට කලිසමකින් සැරසී සිටින මහලු සුදු ජාතිකයාත් ඔහුගේ ගෙලේ පැලඳි රිදී මාල ගොන්නත් පෙනෙයි. ඔහුගේ ඇඹේණිය විය යුතු මහලු කාන්තාවත් දිගු හැඩකාර ඇඳුමකින් සැරසී සිටියාය ! ජීවිතය විඳින බවක් මිස විඳවන වගක් දෙදෙනාගේ සැහැල්ලු ඇවතුම් පැවතුම් වලින් නොපෙනෙයි.
දලඳා වීදියෙහි තරමක් ජනාකීර්ණ කෙටි කෑම හලකට ගොඩ වැදී මම වීදුරුවෙන් එලිය බලා සිටිමි. බැල්කනියෙහි මගේ මේසයට පහළින් පදික වේදිකාවේ දර්ශනය වන වැඩිහියන් නරඹමි. වේගයෙන් පෑදෙන තට්ටය සහ ආරන බඩ ඇතිව කාර්යාල බෑග කිහිලි ගන්නාගත් සුවහසක් පියවරු හැල්මේ බස් නැවතුම වෙත දිව යති. ඔවුන් අතෙහි පාන් ගෙඩියක් වරදින්නේ කලාතුරකිනි. සාරියක් එහෙන් මෙහෙන් පටලාගත් අම්මලා සාරි වාටිය සිප ගන්නා මඩ නොතකා ජන ගඟට එකතු වී සිටිති. නිකමට හෝ ඒ අතරෙහි තවමත් නොමැකී ගිය තොල් සායම් ඇතිව අවුල් නොවූ හිසකින්, මැනවින් හැඳ පැලඳි වතකින් යුතුව ඉදිරියට ඇදෙන ගැහැණියක පිරිමියෙකු නැතුවා නොවේ. ඔවුන්ගේ එක්කෝ වෙදැගිල්ල හිස්ය ! එක්කෝ කරෙහි පාසැල් බෑගයකි. ! මගේ හිස තවත් වික්ෂිප්ත වෙයි.
රෑ බ්ලොග් සටහන ලියද්දී - බ්‍රහස්පතින්දා රාත්‍රිය
--------------------------
මට කුසල්ගේ මව සිහිවෙයි. කුසල් හෙවත් දෙවියන්ගේ තෑග්ග නමින් , ඉතා සුන්දර පාසැල් දරුවෙකු ගැන මා ලිව්වා ඔබට මතකද? මට තවමත් කුසල්ගේ අම්මා මතකය ! කොටට කැපූ කොණ්ඩය. කොට ගවුම , තොල් හා නිය ආලේපන , කුසල්ගේ චාම් විනීත ඇවතුම් පැවතුම් සමග මගේ සාම්ප්‍රදායික මනසෙහි මිනිත්තුවකට නොපෑහුනේය ! එහෙත් ඒ මිනිත්තුවකටම පමණි.
සිය පෙනුම , හැඩහුරුකම මෙන්ම ඇඳුම් පැලඳුම් ගැන සැලකිලිමත් වන උදවිය යනු, 'අම්මලා තාත්තලා කියන්නට නොගැලපෙන' , සංකර , කිසි විනීතකමක් හැදියාවක් නැති , ඩීසන්ට් නැති මිනිසුන් ලෙස දකින්නට සමාජය විසින් දෑස් හුරුකරගෙන තිබෙනවාවත්ද? ??
ගණිත සමීකරණයක මෙන් , සංඛ්‍යාන සමීකරණයක මෙන් , විචල්‍ය හෝ ශ්‍රිත ජීවිතයට නැත්තේය. විටෙක ස්වායත්ත වන විචල්‍යය , විටෙක පරිපූර්ණව පරායත්ත වී ඇති සැටි පෙනෙයි . මන්ද 'ජීවිතය' අකිනෙකාගෙන් අනන්‍යය. එය කිසිදා විචල්‍ය හෝ නිර්ණායක කිහිපයකට ලඝු කොට ගත නොහේ.
දිනකට පසු - සිකුරාදා දහවල
------------
ඊයේ රෑ එහෙන් මෙහෙන් ලියූ ඉහත බ්ලොග් සටහන එහෙමම තිබියදී අද මම සරසවි පොත් හලට ගොඩ වැදුනෙමි. ඇති නැති වෙනසක් නොමැතිවම , පොශ් කියා ගන්නා ජනතාව ප්‍රදර්ශනාත්මක ශොපින් කරන්නට එන එකම තිප්පොල කේසීසී හෙවත් කැන්ඩි සිටි සෙන්ටර් එකය.
මම තෝරාගත් පොත් තුනක් අතැතිව මුදල් ගෙවන කවුන්ටරය අසල වාරය එනතුරු බලා සිටියෙමි. මට ඉදිරියෙන් ඉතා තරුණ මවක් කුඩා දරුවෙකුට සරිලන ඇතැම් දේ මිලට ගෙන මුදල් ගෙවමින් සිටියාය. මගේ බ්ලොග් සටහන වෙනුවෙන් ඇය දෙසත් හොඳින් බලන්නට මම අමතක නොකලෙමි. මැනවින් පීරූ කොණ්ඩය, පිරිසිදු හා ඉතා පිලිවෙල සාරිය , චාම් අබරණ මගේ සිතට පහන් හැඟුමක් එක් කරයි. මෙන්න ඇගේ වෙදැගිල්ලෙහි මුදුවකුත් !
'හැමෝටම ඇයි මේ වගෙ පිලිවෙලට ඉන්න බැරි?' . මගේ සිත අසා සිටියි. ඈ ගැනද බ්ලොග් සටහනෙහි ලිවිය යුතු යැයි සිතෙහි සනිටුහන් කොට ගතිමි.මිලඟට මගේ වාරය හෙයින් පොත් කිහිපය අයකැමි තරුණියට දිගුකරමි.
පෙර සඳහන් කළ බ්ලොග් සටහනෙහි කුසල්ගේ අම්මාගේම හැඩහුරුකම් ඇති මවක් හා දරුවෙක් මට පසෙකින් හිටගෙන සිටිති . පෝලිමක් නොමැතිවම හදිසියේ ප්‍රාදූභූර්ත වූ ඔවුන් දෙදෙනා මට ඉස්සර වෙති. නොපහන් සිතින් මම ඈ දෙස හොඳින් බලමි. ඈ අහක බලාගෙන පර්ස් එක අදිමිනි.මැනවින් පීරූ , නවීන විලාසිතාවකට කැපූ කොණ්ඩය ,ජීන්ස් කලිසම සහ ටීශර්ට් එක , සොඳුරු තොල් හා නිය ආලේපන මගේ දෑස් මත තැවරී මැකී යයි. මහනුවර ඉහල පෙලේ ජාත්‍යන්තර පාසලක නිල ඇඳුමෙන් සැරසුනු සිඟිත්තා කවුන්ටරයට ගෙල දිගු කොටගෙන හිඳී. මිලට ගත් පොත සිලි සිලි බෑගයකට ඔබන්නටත් මත්තෙන් ඩැහැ ගත් කොලු පැටියා , මම , ඔහුගේ මව මෙන්ම අයකැමි කතද විස්මයට පත් කරමින් අලුත් කතන්දර පොතෙහි පිටකවරය එක් අතකිනුත් , පිටු ගොන්න අනෙක් අතිනුත් අල්ලා 'බරාස්!' හඬින් එය දෙකඩ කර දැමුවේය ! තරුණ මවගේ කන් රතු වෙයි. ඉන් උපන් ලැජ්ජාවෙන් කුඩා දරුවාට තරවටු කරමින් පොතෙහි කැබලි දෙක උදුරාගෙන ඈ සිය නවීන අත් බෑගයෙහි රුවා ගති. මම තව දුරටත් 'ඈ' දෙස බැලීම අත් හැර දැම්මෙමි.
යලිත් සිහි කරමි.
ගණිත සමීකරණයක මෙන් , සංඛ්‍යාන සමීකරණයක මෙන් , විචල්‍ය හෝ ශ්‍රිත ජීවිතයට නැත්තේය. විටෙක ස්වායත්ත වන විචල්‍යය , විටෙක පරිපූර්ණව පරායත්ත වී ඇති සැටි පෙනෙයි . මන්ද 'ජීවිතය' අකිනෙකාගෙන් අනන්‍යය. එය කිසිදා විචල්‍ය හෝ නිර්ණායක කිහිපයකට ලඝු කොට ගත නොහේ.
එහෙත් අපේ අලුත හැදෙන අම්මලා හෝ තාත්තලාවත් අඩු ගානේ හුචක්කු නොවී පිරිසිදුව සිටීමටවත් මතක තියාගන්නවානම් හොඳ යැයි සිතෙයි..
'සල්ලි තියනවා නම් ඔය ඔක්කොම බැරියැ!' හිත අස්සේ ඉන්න තව කෙනෙකු කියන්නා වාගේ ඇසෙයි. කලාපීය දුප්පත්කමත් එක්ක හිතන විට ඒකත් ඇත්ත වගේම ඇත්තෙහි කොටසක් විතරකි !
මේ ගැනයි මේ ලිපිය..
අපූරු මිනිසුන් ගැන
Friday, November 29, 2013
[298] මලවුන්ගේ නොවැම්බරයේ යලිත් ලියමි..
2013 වසර සීග්‍රයෙන් අවසාන වේගෙන එයි... ජීවිතයේ සිව් වන දශකය ඇරඹීමට දින කිහිපයක් ඉතිරිව තිබෙයි... ඒ කිසිවක් මතක් නොවෙන්නා සේ මේ දිනවල මඳ විවේකයක් අතරින් පතර සොයා ගනිමින්, පොත් ගණනාවක් කියවමින් සිටින්නෙමි....
අතීතය යනු යලි යලිත් රීවයින්ඩ් වී වාදනය වන එක වගේ ටේප් පටියක් වැනි යයි විටෙක සිතෙයි.... එක් එක් වසරෙහි නොවැම්බරය වෙන වෙනම මතක් කරද්දී හිතට මහා අමුතු හැඟීම් පහළ වෙයි.... අතීතයේ ඇතැම් කරුණු කාරණා පවරා දිය යුත්තේ අත් වැරදීම් ගණයටද ? කර්මයටද? අහඹු සිදුවීම් ගණයටද ? අනුන්ගේ වැරදි ගණයටද? හිත පඹ ගාලක පැටලී ඉන් නිදහස් නොවී එතුලම ගිලී යයි...
මේ කොයි යම් අයුරෙන් සිදු වූවත් ඒ දෙස බලා කොතරම් විශ්ලේෂණය කලද ඇතැම් දේ බොහෝ ගැඹුරු බවත් ඇතැම් දෑ කිමිදීමට තරම් සොයා බැලීමට ගොස් අවතැන් නොවිය යුතු බවත් ගැහැණු ඉව පවසා සිටියි...
ආතතියකට වඩා තාවකාලික වෙහෙසක් දැනෙයි. ඒ වෙහෙසට එක් ප්‍රතිකර්මයක් වශයෙන් අතරින් පතර ලැබූ විවේකය සිතට සහනයක් එක් කළේය. දැන් මගේ සිතට එක් නිදහසට කරුණක් කිව නොහැක්කේය. 'විවේකය නැහැ' ! යන්න යලිත් නොපැවසිය හැකිය. විවේකයෙහි තිබෙන සුවය දැන් මට තිබේ.
ලෝකයට දෙස් දෙවොල් තැබීමෙන් බොහෝ දේ පිලිබඳ පිලිතුරු හමු නොවෙයි. යථාර්තයටම මුහුණ දිය යුතුම වෙයි. යථාර්තය නිරන්තර මා අසලම ගැවසෙයි. ඒ යථාර්තය තුල අවලාද නොනගා වර්තමානය වැලඳ ගැනීමෙන් එක්තරා සහනයක් තිබෙයි...
බලාපොරොත්තු අරමුණු සියල්ල එහෙමම තිබෙයි. එහෙත් දැන් මනසින් මා වඩාත් සවිමත්ව ඉදිරියෙන් සිටිමින් ජීවිතයට මුහුණ දෙන බවක් දැනෙයි. පොත් පත් මනස අවුල් කරනු වෙනුවට මනසෙහි ඇති නොහැඳිනූ සියුම් තැන් හදවතට සන් කරයි. එයින් ඇති වන තිගැස්ම මිනිස් සංහතියේම ජීවන ගැස්මෙහි ඇති පොදු බව සහ විඳීමේ හුරු බව සැනසිල්ලක්ම වෙයි.. මේ කතා කාරයින්ට මෙසේ ඒ හැඟුම් ලියා ගන්නට කොතරම් නිරවුල් මනසක් සහ නිරීක්ෂණ බුද්ධියක් තිබිය යුතුදැයි මම විස්මයෙන් ගල් ගැසෙමි.
කවදා හෝ පොතක් ලියමැයි සිතෙහි ඇති වන සිතිවිලි බීජය යලිත් කල් දමන්නට සිතෙයි. මට මෙතරම් සියුම් හඳුනා ගැනීමේ ඥාණයක් , ඊටත් වඩා එය සුරුවම් වදන් කිරීමේ බුහුටි බවක් තවමත් නිසි තැනට මුහුකුරා තිබේදැයි සිතට සැක මතු වෙයි. එය රස පොත් ලියන්නන් කෙරෙහි ඇති වන ඉරිසියාවක් නොව මා කොතෙක් දුර තව යා යුතුදැයි ගැම්ම ගැනීමට රුකුලක් බවම කිව මනාය.
මේ ගැනයි මේ ලිපිය..
ජීවිතේ ගැන කියපු කතා
Monday, November 25, 2013
[297] සැප්තැම්බරයේ ආ වසන්තය!
මෙවර පොත් ප්රදර්ශනයෙන් මිලදී ගත් පොත් ගොන්න කුමන හෝ හේතුවක් නිසා ශෝක ජනක අයුරෙන් ඉක්මනට ඉවර වීගෙන යයි.
කලක් තිස්සේ ආශාවෙන් සොයමින් සිටි 'පින් ලමයා' , ' දිරි දැරියෝ', 'මල් සමනලියෝ' පොත් තුන විසිදුනු පොත් හලේ දුටු විගස ඉවක් බවක් නැතිව කඩාගෙන ගොස් ඩැහැ ගත්තා මතකය... ගෙදර ගෙනා විගස ඒ වේගයෙන්ම අවුරුදු ගානක් තිස්සේ ඒ පොත් තුන කියවීමට තිබූ නොතිත් ආශාව නිසාම එක හුස්මට කියවා ඉවර කලෙමි.
'කටු කොහිල කොටුව' මා කියවා තිබුනද නැවත වතාවක් මා එය මිලට ගත්තේ, ජයසේන ජයකොඩි නම් විද්හ්වතාණන්ගේ සියලු පොත් වල එකතුවක් මා හෙමි හෙමින් තනාගෙන යන බැවිනි. ජයසේන ජයකොඩි ගේ පොතක ඇසුර කිසිදා වරක් කියැවීමෙන් අහවර නොවේ...පිච්චමල සිට තෙර තරණය දක්වා සියලු පොත් මා යලි යලිත් කියැවූ වාර ගණන මටද මතක නැත.
සතුට නම් ජයසේන ජයකොඩිගේ පොත් වලින් එක දෙකක් හැරුනු විට අන් සියලු පොත් මා සතුව පැවතීමයි.
වරක් දුකා ලියා තිබූ බ්ලොග් ලිපියක් නිසාවෙන් මොස්කව් ප්රගති ප්රකාශනයන්හි දුටු 'අඳ වාදකයා' මිලට ගතිමි. පොතෙන් භාගයක් කියවද්දී යම් හේතුවක් නිසා පොත මහත්සේ පිය වූයේ නැත.එනිසා එය අඩක් කියැවූ විලසින්ම ඉතිරිව තිබෙයි.
මීලඟට මා අතට ගත්තේ 'කන්දේ වීදිය' පොතයි. වචනයේ පරිසමාප්තාර්තයෙන්ම කියැවීමෙන් පූර්ණ තෘප්තියක් ලද හෙයින්ම දිනක් ගතවන්නටත් ප්රතම මේ රසවත් පොත කියැවීමී. මහත්සේ වින්දෙමි.
කන්දේ වීදියෙන් පසුව සැබෑ ලෙසම පිබිද ආ කියැවීමේ ආශාව මුදුන් පමුණුවන්නට 'ලොවීනා'ට හැකි වූයේය. පොතෙහි සරු බසද, කතාවේ සොඳුරු චිත්ත රූප මවන සුලු ගලා යාමද සරල කියැවීමේ රසයට ආශා කරන මට එකසේ පෑහුනේය.
'බූරු පොරය' නම් රසවත් යොවුන් නවකතාව මා මුල් වරට කියවන්නේ ඉතා කුඩා කාලයේය. කවුරුන් විසින් හෝ ගෙන ගොස් යලිත් නොදීම නිසාවෙන් ඒ පොත මට අහිමි වූයේද ඒ කාලයේමය. වාසනාවට බූරු පොරය පොර කන සෙනග අස්සෙන් පීරා ගොස් මිලට ගන්නට මට හැකි වූයේය. එයද මුලින්මකියැවූ පොත් ගොන්නට අසු වෙයි.
සරල රසවින්දනය උදෙසා චේතන් භගත්ගේපොත් වලට මා කොතරම් ඇබ්බැහි වීද යත් මෙවරද චේතන්ගේ පොත පිටවන තුරු මා බලා සිටි බව දිලිප ජයකොඩිද දන්නේය. රෑ දෙකක් නිදි වරාගෙන රස වෑහෙන 'දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ ' කියැවීමට කිසිම අපහසුවක් නොවූයේය. මන්ද එය එතරම්ම රසවත් බැවිනි.
'සෙංකොට්ටං' අතට එන්නේ ඊලඟටය. ලොවීනා තරම්ම ආශාවෙන් මහත් රුචියෙන් යුතුව කියැවූ තවත් පොතක් වේ නම් ඒ සෙංකොට්ටං ය.
'ප්රේමකීර්තිනී' මිලට ගත්තේම ප්රේමකීර්තිද අල්විස් නම් විද්වතානන්ගේ ඇඹේණියගේ ලිවීමද එතරම්ම උසස් යැයි මතයකිනි.එහෙන් මෙහෙන් ඇහිලුන කතා කිහිපයක කොහෙත්ම ගලා යාමක් නොමැති හෙයින් එයද මැදදී කියැවීම නීරස වූයේය.
'කමෝන් පැඩිවැක්' සොරා ගැනීමට ගොස් වියර්ත වූ පොතය.සැබවින්ම අත් වැරදීමකින් මුදල් නොගෙවා පිටට ගේන්නට ගොස් මල හත්තිලව්වක් කලබගෑනියක් වෙන්නට පෙර නැවත කඩය තුලට දිව ගොස් ලැජ්ජාවට මිලට ගන්නට වූ පොතය. මතකය සොඳුරුය. ඇත්තම කියනවා නම් ඉස්සෙල්ලාම කියවන්නට තුරුලු කොට ගත් පොත එයයි. ජැක් ලන්ඩන්ගේ 'වන පෙත අඬ ගසයි' නම් වෙසෙස් කෘතියේ අසාර්ථක කොපි කැට් කතාවක් බව දැක කිපී පොත අහක දැම්මෙමි. ඒත් ඒ පොත ඇසුරෙහි මතකය සොඳුරුය, මතක සැබෑ වන තුරු කපක් කලක් බලා සිටිය හැකිය. එතෙක් ඉවසා හිඳින්නට අවැසි සංයමය සපයා දෙන්නටදෝ 'දඟකාර මහල්ලා' , 'නොපෙනෙන ලන්දූ' ,'සාගර ජලය මදි හැඬුවා' , 'සාංකාව' , 'හිම කබාය' සහ මාටින් වික්රමසිංහගේ කෙටි කතා එකතුවද සැදී පැහැදී සිටී.
පොත් වසන්තය එතෙකින් ඉවර නොවෙයි. උස්සාගෙන ඒමේ මහත් අපහසුව නිසාවෙන් 'තාරා මගේ දෙව්දුව'ද,'මරණයේ සෙවණැල්ල යට නිදා සිටි පූස් පැටියා'ද , 'මාංචු'ද තවත් පොත් පහක්ද අක්කාගේ නිවසේ මෙතෙක් දිනක් එකෙල මෙකෙල වෙවී වැඩම කොට සිට පාර්සල් තැපෑල ඔස්සේ ඊයේ දවසේ මහනුවර තැපැල් හලට සැපත්ව, මා එන තුරු මග බලා සිටින බව පියුම් මාමාගෙන් දැන ගන්නට ලැබිණි.
ඔබ වසන්තය... පොත් සහ ජීවිතය බැඳී ඇති තරම ! .

ලස්සන වටින නිර්මාණ(පොත්)
Tuesday, October 15, 2013
[296] ආදරවන්ත රුපියල් හාරසියය අනූ නමයක් ගැන..
එදා සිකුරාදාවක්. ඓතිහාසික සිකුරාදාවක්. බොහෝ දිගු කලකට පසුව මම සාප්පු වන්දනාවකට සැදී පැහැදී එලියට බැස්සෙමි. හිතවතෙකු වෙනුවෙන් කල් මරන්නට තවත් විනාඩි කිහිපයක් සිදුව තිබෙයි. ජනාකීර්ණ නොවන වෙලාවක සිකුරාදා දහවලක සාප්පු වල සෙනග නොමැති හෙයින් ඉතා කැමැත්තෙන් මම 'බාටා' පාවහන් හලකට ගොඩ වැදුනෙමි. නොකල්පනාවෙන් යුතුව එහෙටත් මෙහෙටත් වැනෙමින් ඔරලෝසුවේ කටු ගමන් කරන වේගය බලමින් සාප්පු සේවකයන් මා හඹා විත් මට අනවැසි සපත්තු ඇඟේ ගසන්නට හදන එකෙන් මග හරිමින් මම බාටා හලෙහි එහෙටත් මෙහෙටත් යමින් පාවහන් එක දෙකක් ඇඟලා බලන්නට වීමි.
මට මඳක් නුදුරෙන් කුඩා සුන්දර යුවතියක් වැඩි කලබලයක් නැතිව පාවහන් එකිනෙක පලඳමින් සිටින්නීය. පෙනුමෙන් පෙනී යන්නේ එතරම් සංකරත් නැති අර්ධ නාගරික ටිකක් දඟකාර කෙල්ලක බවයි. එතරම් කලබලයක් නැතිව සිය පාවහන් උනා දමා නිරුවත් දෙපයින් නිදහසේ පාවහන් හලෙහි ඇවිදිමින් විටින් විට දුරකතනයට දෑස් යොමන්නීය.
තමන් පාවහන් දමා බලනවා වෙනුවට අනුන් තෝරන පාවහන් දෙස බලා ඉඳින එකත් හරි අපූරු කාරියක් නොවැ. මන්ද මේ රටේ බොහෝ ඇත්තන් ඇඳුමක් කැඩුමක් තෝරන්නේම ඇඳුම ලස්සන නිසා පාට ලස්සන නිසා මිසක ඒ ආයිත්තම තමුන්ට හරියන නිසා නොවෙයිම නොවැ. ඉදින් මම සාප්පුවේ සිටි එකම ගනුදෙනු කාරිය දෙසත් බලමින් ඈ තෝරන දෑටත් ඇස් යවමින් සාප්පුවේ කල් මරන්නෙමි.
විනාඩියක් දෙකක් ගතවන තැන ඇස් කොණින් මට එහායින් මට පෙනෙන්නේ කහ පාට සිවුරකි. හොරෙන් බැලූ දෙස කෙලින් බලන කල ඉතා දුබල වයස්ගත සිල් මෑණි කෙනෙකුන් සාප්පුව තුල මම දකින්නෙමි. පෙනුමෙන් හැඟී ගියේ එතුමිය එතරම් සරු නොවන ආරාමයක සිට එන වගකි. මම හොරැහින් ඇගේ දෙපා දෙස බලමි. පපුව හෝස් ගා යන තරම් වේදනාවක් මසිත වෙලා ගන්නේ , ඇගේ නිරුවත් යටි පතුල් ඈටත් වඩා වේගයෙන් මහලුව දිරාපත්ව ගොසිනුත් තවමත් පාවහනකින් නොවැසී ඇවිද ගොස් ඇති බවක් දැකීමෙනි. සෙයිලමේ කලු පැහැති කසල මැඩ ඈ වඩින නිසාවෙන් ඒ යටිපතුල් කලු ගැසී පැලී ඇති අයුරු දකිමින් මම මොහොතක් වික්ෂිප්තව බලා සිටියෙමි.
ඈ වැඩි හැලහොල්මනක් නැතිවම අරුමෝසම් , අඩි උස , අඩි නැති , පබලු ඇල්ලූ යනාදී නානාප්‍රකාර පාවහන් එක එක අල්වා බලමින් ඉතා සෙමෙන් ගමනින් , කූඩ වල බහා ඇති මිල අඩු පාවහන් වෙත පැමිණ නැවතුනාය. පෙනීම දුබල නිසාවෙන්දෝ පඬු පාට රෙදි උරයෙන් ලොකු ඇස් කණ්නාඩි කුට්ටමක් ගෙන අපහසුවෙන් ඇස ලා ගනිද්දීම බාටා හලෙහි කොලුවෙකු ඈ වෙත පැමිණෙයි.
'මෑණියෝ මොනවද බැලුවේ?' සිතුවාට වඩා කරුණාවන්ත හඬින් ඒ හුරුබුහුටි කොලුවා කතා කලේය.
ඈ තමන් තෝරාගත් බාල පාවහන් දෙක අසුනකට බරවී ඔහුගේ උදව්වෙන් පයලා ගන්න අයුරුත් මම ඇස් කොණින් දකිමි. මිල අඩු ඒ පාවහන් දෙක දෙස සෙමෙන් බැල්මක් හෙලමින් තෘප්ත බවක් දැක්වූ ඈ , 'කීයද දරුවෝ මේකෙ ගාන?' කියා අඩමානයට මෙන් ඇසුවාය.
'හාරසීය අනූ නමයයි'
ඈ පඬු උරයට යලිත් සුරත එබුවාය. මඳ වේලාවකින් ඉන් එලියට පැමිණෙන්නේ රුපියල් පහේ දහයේ , විස්සේ කුඩා කාසි කොල පිරි පොලිතින් උරයකි. මම මඳක් ඉන් එහාට වෙමින් සංවේගජනක හුස්මක් පාකරමි. වෙවුලන මහලු දෑතින් රුපියල් හාරසිය අනූනමයක් කුඩා කාසි කොල වලින් එක්කාසු කරන්නට දරන ප්‍රයත්නය බලා හිඳින්නට අපහසු බවකුත් නොමනා බවකුත් මට දැනුනු හෙයිනි.
ඈට උදව්වක් කිරීම එතරම් මනා නොවන හෙයින්ම ඇගේ සහයට සිටි කොලුවා ඉවසීමෙන් ඈ දෙස බලා හිඳියි. අසන්නට දෙයක් නැති නිසාවෙන්දෝ , 'මෑණියෝ මේ සෙරෙප්පු දෙක හරි නේද?' කියා අසන අයුරු මට ඇසෙයි.
කවුන්ටරය වෙත සිටි තරුණයා ඉක්මන් ගමනින් සිල් මෑණියන් වෙත එන්නේය.
'මෑණියෝ සල්ලි එපා. අර මෙතන හිටිය ගෑනු ලමයා මෑණියන්ගෙන් සල්ලි ගන්න එපා කියලා සෙරෙප්පු දෙකේ ගාන අපිට ගෙවුවා මෑණියෝ..එයා සල්ලි ගෙවලා ගියා.. '
ඈ සල්ලි ගැනීම නවතා අපහසුවෙන් උඩ බැලුවාය. මම සපත්තු සහ නොකල්පනාවෙන් අතරමංව තිබූ සිතෙහි සිහි එලවා ගන්නට වීමි. සපත්තු තෝරන්නට සහයට හිටි කොලුවාගේ මුහුණෙන් සිනහවක් මතු වෙයි. කතා නායිකාව කතාවේ අරුත පමණක් අපට ඉතිරි කොට ජවනිකාවෙන් සමුගෙනම ගොස්ය.. නොකියාම !
සිල් මෑණියන් ගේ වියපත් තොල් අතරින් වදනක් දෙකක් මුසුවෙයි. ගණකම් කණ්නාඩි දෙක ඇතුලෙන් බොර පැහැති දෑස් වල කුඩා දිලිසුමක් මට පෙනෙයි.
'පිං සිද්ද වෙච්චාවේ ඒ දැරිවිට..'
ලෝකය තවමත් කොච්චර නම් සුන්දරදැයි තවත් එක් වරක් ඒ සුන්දර සිඟිති තරුණියට ඇසෙන මානයට දිව ගොස් කෑගසා කියන්නට මට හැඟුමක් පහළ වෙයි. ඇයට එය ඇසෙන එකක් නැත. මෙලහකටත් ඇගේ අනාතුර කාරුණික හදවත, හුදී ජන ගංගාවට මුසුවී සරණ සොයන දෑසක් සොයා සැරිසරනවා ඇත.
මේ කුඩා දසුන ඒ නාඳුනන සුන්දර තරුණිය වෙනුවෙනි.
ආදරය සහ හොඳ හිත බෝවන රෝගයක් වැනිය. ගෑවුනු ගෑවුනු තැන සුවඳ හමන සැන් කුප්පියක් වගේ හොඳ හිතට පැතිර යන්නට වෙලාවක් කලාවක් නැත. මට කරන්නට හැකි එකම දේ , කුප්පියේ තිබෙන 'සුවඳ' කුඩා වපසරියකට හෝ පතුරවන කුඩා සුලඟක් වෙන එකම පමණකි.

Monday, September 02, 2013
[295] කේ F සී පරපුර දෙස බලා හිඳිමි
මම සුප්‍රසිද්ධ කේ ඇෆ් සී (KFC) අවන්හලෙහි හිම කිරමයක් තොල ගාමින් සිකුරාදා හවසක හිඳ සිටිමි.
වරෙක මුලුතැන්ගෙයින් නැගෙන ප්‍රීති ගෝසාව , ඇතුලත රැකියාවේ නියුතු සේවකයන්ගේ ගාලගෝටීයක් හෝ ආරවුලකැයි වරදවා හැඟෙන තරම් උස් හඬින් නැගේ. එය උද්යෝගය වෙනුවට භීතිය ජනිත කරවයි. දශක තුනක අතීතයෙහි සිදුවූ තරුණ ගැටුම් ලේ වැගිරීම් වල තිගැස්ම අපේ ජාන වලින් තවම පහව ගොස් නැතැයි සිතෙන්නේ එවිටය. හිම කිරමයෙහි තත්වය තවත් බාල වෙමින් අන්තර්ජාතික අයිස්ක්‍රිම් වට්ටෝරුව දැන් තැන්පත් වන්නේ අසල කඩයකින් මිලදී ගත් බාල අයිස් කෝන් එකක් මත්තෙහිය.
ඒ සියල්ල අමතක කළ හැකි තරම් සොඳුරු බවක්ද පරිසරයට එක්ව තිබෙයි. ලමා ළපටීන්ගෙන් මේ මහා ආහාර මන්දිරය අද වෙනදාටත් වඩා පිරී පවතියි. මන්ද එය සිකුරාදාවකි. අම්මලා තාත්තලාට නිදහසේ සිය දරු දැරියන් සමග විනෝද වන්නට ඉඩ ලැබෙන්නේ අදය. විසාල රබර් උමං මාර්ග වල කෑකොස්සන් දෙමින් ළමා ජීවිතයේ ප්‍රහර්ශය ආසාවෙන් විඳගන්නා දරු පැටවුන් දෙස එක් ඇසකින් ඇස ගසාගෙන දෙමාපියන් කේ ඇෆ් සී රස මසවුළු විඳිති. ඇතැම් පවුල් වල ආයලා යැයි සිතිය හැකි කැහැටු කෙල්ලන් හෝ තලස්තෑනි කානතාවන් දරුවන් වෙත ඇස ගසාගෙන සිටිද්දී අම්මලා තාත්තලා යහලු මිතුරන් හා කුඩා සාද පවත්වති. එක අතකින් මේ දසුන සුන්දරය. එක් අතකින් හීනි දුකක් හෝ පසු තැවිල්ලක් හිතට නගී.
මේ කුඩා අත පයෙහි සීරුමකටවත් ඉඩ නොතබා පරීක්ෂාකාරීව තනා ඇති, නැමෙන සුලු, ඇදෙන සුලු, පුළුන් පිරැවූ, කෙලි සෙල්ලම් බඩු සිත ඇද ගන්නා සුලුය. ඒත් , ,මේ කුඩා වුන් වැඩිහිටියන් වී වැඩෙන කලෙක, එතරම්ම සුඛනමය ගහ කොළ සතා සීපාවුන් , වෙනකක් තබා එතරම්ම සුඛනම්‍ය මිනිසුන් මේ මිහිමතදී උන්ට හමු වේවිද? ලස්සන රතු කහ කොල නිල් පාටින් සුසැදුනු සෙල්ලම් ගෙවල් ඇතුලේ මැවෙන උන්ගේ ලෝකයට ඈත්ත ලඟා වෙන්නේ බොහොම හෙමිනි. අලුත හෑදුනු කුඩා ගෙමිදුල් වල පොල් අතු හෙවිල්ලු කුඩා ගෙයක් තනා දෙන්නට , සෙල්ලම් බතක් උයන්නට ඉඩක් නූතන ගෙවල් වල ඉඩක් ඇත්තේම නැතිද?
කිසිදු තුවාලයකට ඉඩක් නැති 100% ආරක්ෂිත නවීනතම ලමා උයන තරම් මේ ළමා ලපැටීන්ගේ අනාගතය සුන්දර සහ එකමිතියක් නැත්තේය. මල් මෙන්ම ගලින්ද සුසැදී කුරිරු ලෝකය දරාගන්නට උන් උගෙනින්නේ කවදාද? කුරිරු ලොව ඇති සොඳුරු බව විඳින්නට උන් ඉගෙන ගන්නේ කවදාද? රාත්‍රිය උදාවෙන හැටි, අහසේ නිල සේදී රත මැවෙන හැටිත් , අඳුර මෙන්ම සඳ එබෙන හැටිත් දකින්නට උන්ගේ කුඩා ගෙයි බැල්කනිය ඉඩ මදි බව ඇත්තකි. කුඩා ගෙයි මිදුලෙන් , මේ කුඩා උන් කැන්දාගෙන එන නිස්සාර ළමා උයන තුල උන් හොයන නිදහසත් උන් ලැබිය යුතු ස්වභවිකත්වයත් නැත්තේමය .
පුලුන් පිරැවූ සතෙකුගේ මටසිලිටි බවට වඩා දහස් ගුණයක් ජීවයක් සහ සිනිඳු බවක් මල් පෙත්තක ඇතැයි අතගා බලන්නට ඔවුන් වාසනාවන්ත කල යුත්තෝය. ගලක හැපෙද්දි රිදෙන බවත් ගලට බනිද්දී නෑසෙන බවත් , ගලට පෙරලා පහර දීම අනර්ථ බවත් උගන්වන්නට රබර් බම්පරයකට බැරිය. තණපලසෙහි නිරුවත් දෙපයින් ඇවිදින්නට මේ පරම්පරාවට වාසනාවක් නැත්තේය. වැස්සේ නටමින් කඩදහි ඔරු පාකිරීමක් ගැන කවර නම් කතාද?
ජීවිතයේ තක්සලාව අරුමෝසම් කෙලි බඩු වලට කියා දිය නොහැක්කේය. ජීවිතය උගත යුත්තේ මට අනුව නම් පරිසරයෙනි. එහෙවු සොඳුරු පරිසරයකින් අනූන මහනුවර සිට ඔය සුඛෝපභෝගී වාහනයෙන්ම කැම්පස් පිට්ටනියට එක්ක ගොස් ඇති තරම් නටන්නට උන්ට ඉඩක් නැත්තේ මොන අහේතුවටදැයි මම කල්පනා කරමින් සිටින්නෙමි. වැවරවුමේ අම්මා තාත්තාගේ අතින් අල්ලාගෙන ඇවිද යන්නට උන්ට නොහැක්කේ ඇයිදැයි සිතමින් සිටිමි. හන්තානේ කඳු පන්ති දකින්නට , මහවැලි ගං ඉවුරේ හිඳ සිටින්නට කේ ඇෆ් සී තරම් සුඛෝප භෝගී බිල් ගෙවන්නට අවැසිද?
වරෙක මුලුතැන්ගෙයින් නැගෙන ප්‍රීති ගෝසාව , ඇතුලත රැකියාවේ නියුතු සේවකයන්ගේ ගාලගෝටීයක් හෝ ආරවුලකැයි වරදවා හැඟෙන තරම් උස් හඬින් නැගේ. එය උද්යෝගය වෙනුවට භීතිය ජනිත කරවයි. දශක තුනක අතීතයෙහි සිදුවූ තරුණ ගැටුම් ලේ වැගිරීම් වල තිගැස්ම අපේ ජාන වලින් තවම පහව ගොස් නැතැයි සිතෙන්නේ එවිටය. හිම කිරමයෙහි තත්වය තවත් බාල වෙමින් අන්තර්ජාතික අයිස්ක්‍රිම් වට්ටෝරුව දැන් තැන්පත් වන්නේ අසල කඩයකින් මිලදී ගත් බාල අයිස් කෝන් එකක් මත්තෙහිය.
ඒ සියල්ල අමතක කළ හැකි තරම් සොඳුරු බවක්ද පරිසරයට එක්ව තිබෙයි. ලමා ළපටීන්ගෙන් මේ මහා ආහාර මන්දිරය අද වෙනදාටත් වඩා පිරී පවතියි. මන්ද එය සිකුරාදාවකි. අම්මලා තාත්තලාට නිදහසේ සිය දරු දැරියන් සමග විනෝද වන්නට ඉඩ ලැබෙන්නේ අදය. විසාල රබර් උමං මාර්ග වල කෑකොස්සන් දෙමින් ළමා ජීවිතයේ ප්‍රහර්ශය ආසාවෙන් විඳගන්නා දරු පැටවුන් දෙස එක් ඇසකින් ඇස ගසාගෙන දෙමාපියන් කේ ඇෆ් සී රස මසවුළු විඳිති. ඇතැම් පවුල් වල ආයලා යැයි සිතිය හැකි කැහැටු කෙල්ලන් හෝ තලස්තෑනි කානතාවන් දරුවන් වෙත ඇස ගසාගෙන සිටිද්දී අම්මලා තාත්තලා යහලු මිතුරන් හා කුඩා සාද පවත්වති. එක අතකින් මේ දසුන සුන්දරය. එක් අතකින් හීනි දුකක් හෝ පසු තැවිල්ලක් හිතට නගී.
මේ කුඩා අත පයෙහි සීරුමකටවත් ඉඩ නොතබා පරීක්ෂාකාරීව තනා ඇති, නැමෙන සුලු, ඇදෙන සුලු, පුළුන් පිරැවූ, කෙලි සෙල්ලම් බඩු සිත ඇද ගන්නා සුලුය. ඒත් , ,මේ කුඩා වුන් වැඩිහිටියන් වී වැඩෙන කලෙක, එතරම්ම සුඛනමය ගහ කොළ සතා සීපාවුන් , වෙනකක් තබා එතරම්ම සුඛනම්‍ය මිනිසුන් මේ මිහිමතදී උන්ට හමු වේවිද? ලස්සන රතු කහ කොල නිල් පාටින් සුසැදුනු සෙල්ලම් ගෙවල් ඇතුලේ මැවෙන උන්ගේ ලෝකයට ඈත්ත ලඟා වෙන්නේ බොහොම හෙමිනි. අලුත හෑදුනු කුඩා ගෙමිදුල් වල පොල් අතු හෙවිල්ලු කුඩා ගෙයක් තනා දෙන්නට , සෙල්ලම් බතක් උයන්නට ඉඩක් නූතන ගෙවල් වල ඉඩක් ඇත්තේම නැතිද?
මා දුවන්නේ ගමට නොවේ. මා දුවන්නේ මගේ අතීතයටද නොවේ. එහෙත් මෙබඳු කෘතිම ළමා ෆැන්ටසි ලෝකයකට සැතපුම් කිහිපයක් ඔබ්බෙහි ගණ නිලෙන් සුසැදි සොබා සොඳුරු ගුණයෙන් අනූන විශ්ව විද්‍යාල ක්‍රීඩා පිටිය තිබෙන බව මට සිහියට නැගෙයි.
කේ ඇෆ් සී බිත්ති මත සැලෝලයිඩ් ඉරකුත් හඳකුත් ඇලවී තිබෙයි. ඉරත් හඳත් එකට නොනඟින බවත් , ඉරෙහි උණුසුමත් සඳ එලියෙහි සීතලත් සුදෝසුදත් පෙන්වන්නට මේ අහිංසකයින්ව තණනිල්ලකින් සුසැදි ක්‍රීඩා පිටියකට ගෙන යා නොහැකිද?පුලුන් පිරැවූ සතෙකුගේ මටසිලිටි බවට වඩා දහස් ගුණයක් ජීවයක් සහ සිනිඳු බවක් මල් පෙත්තක ඇතැයි අතගා බලන්නට ඔවුන් වාසනාවන්ත කල යුත්තෝය. ගලක හැපෙද්දි රිදෙන බවත් ගලට බනිද්දී නෑසෙන බවත් , ගලට පෙරලා පහර දීම අනර්ථ බවත් උගන්වන්නට රබර් බම්පරයකට බැරිය. තණපලසෙහි නිරුවත් දෙපයින් ඇවිදින්නට මේ පරම්පරාවට වාසනාවක් නැත්තේය. වැස්සේ නටමින් කඩදහි ඔරු පාකිරීමක් ගැන කවර නම් කතාද?
ජීවිතයේ තක්සලාව අරුමෝසම් කෙලි බඩු වලට කියා දිය නොහැක්කේය. ජීවිතය උගත යුත්තේ මට අනුව නම් පරිසරයෙනි. එහෙවු සොඳුරු පරිසරයකින් අනූන මහනුවර සිට ඔය සුඛෝපභෝගී වාහනයෙන්ම කැම්පස් පිට්ටනියට එක්ක ගොස් ඇති තරම් නටන්නට උන්ට ඉඩක් නැත්තේ මොන අහේතුවටදැයි මම කල්පනා කරමින් සිටින්නෙමි. වැවරවුමේ අම්මා තාත්තාගේ අතින් අල්ලාගෙන ඇවිද යන්නට උන්ට නොහැක්කේ ඇයිදැයි සිතමින් සිටිමි. හන්තානේ කඳු පන්ති දකින්නට , මහවැලි ගං ඉවුරේ හිඳ සිටින්නට කේ ඇෆ් සී තරම් සුඛෝප භෝගී බිල් ගෙවන්නට අවැසිද?
මේ ගැනයි මේ ලිපිය..
ජීවිතේ ගැන කියපු කතා
Subscribe to:
Posts (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->

.jpg)