Saturday, November 20, 2010

[121] කුඩයක් අරන් ආවොත් බලාගෙනයි !!! :-)

දවල් දවස හෙමි හෙමීට අහවර වෙද්දි මන්දාරමක් අහසින් එබිකම් කරන්න ගත්තෙ හිතපු නෑති වෙලාවක... ජනේලෙන් එලිය බලද්දි කලුවර වෙච්ච අහස පෙනුනෙ මාත් එක්ක නොරොක් වෙලා වගේ. අපලෙට පහන් පත්තු කරන්න පන්සල් යන්න ඉන්න ගමන ඇබෑද්දියකින් තොරව නිම කරන්න ලැබේවා කියල පතල අහක බලන්න කලියෙන් මෙන්න වෑහි බිඳු එක දෙක වැටෙන්න ගත්තා... මහා හයියෙන් ..


කඩිමුඩියෙ ඈඳ පෑලඳගෙන අපි පන්සලට යනකොට මෙන්න දෙගොඩ තලායන වතුර පිරිච්ච පන්සල! හිත ඇත්නම් පත කුඩාද ? අත් හැරියෙ නෑ.. පුරසඳයි මායි පුරසඳ අයියයි (හාහා පුරසඳ ගේ මහත්තයා හෙවත් මගේ මස්සිනා) තෙමි තෙමි පත්තු කරපු පහන් වැට තමයි මේ පහලින් තියෙන්නේ. :)




එතනින් එහා මේ වෑස්සෙ චිරි චිරි ගගා කුඩේ යටින් තෙමෙමින් මුවා වෙමින් ලා කරුවලේ ගෙදෙට්ට ගොඩ වෙන තුරු තිබ්බ හැතැම්ම බාගෙ අතරතුර මට කීපාරක් නම් හිතුනද, අනෙ මේ කුඩේ විසි කරල දාල කෑ ගගහ කෑරකි කෑරකි වැස්සෙ තෙමෙන්න...! 


කුඩේ විසි කලොත් කුඩයක් කෝ..? ඇඳුම් තෙමේවි.. ඇඟට ඇලේවි.. රට්ටු හිනා වේවි... රට්ටු වැරදියට බලාවි..වයසෙ හැටියටද වැඩ? ඔහොමද හැසිරෙන්නෙ..? ගුරුවරියෙක් නේද? ලැජ්ජ නැද්ද? ඊය ජරා වතුර ... මොන ජරාවක් ඇද්ද? හෙම්බිරිස්සාව හැදේවි... ලෙඩ වේවි .. ඉස්කෝලෙ යන්න බැරි වේවි!


හප්පේ... කීයක් ජාති හිතන්නද ?  ඔය ඔක්කොම එක පාර හිතෙද්දි මට ආයෙමත් පුරුදු ලෙසම කොලඹ හතේ ඉස්කෝලෙට හිත දුවගෙන ගියා...


වැස්ස වැටෙන එක තරම් අපෙ පොඩි උන්ට සන්තෝසයක් තවත් නෑ නෙව. කිව්වම විස්වාස කරන්න. අපෙ ස්කෝලෙ ඔච්චර කිරි සුදු කෙල්ලො ඉන්නව. එක කෙල්ලෙක් කුඩයක් පාවිච්චි කරන්නෙ නෑ. අව්වටවත් වැස්සටවත්.! විවේකයක් එනකල් මේ දඟකාර ඇස් ඇඟිලි ගනිනව. එලියෙ වැටෙන වැහි බිඳු දිහා බලාගෙන... ඔන්න එක නිමේශයයි.... මී මැහි පොදියම පිට්ටනියෙ.. එකෙක් දෙකෙක් පෝරිසාද ලමයි ටිකක් විතරක් නෙමෙයි. මුලු ඉස්කෝලෙම..!. කොටින්ම නිකම්ම නිකම් වැස්සක් නෙමෙයි.. වැහි සන්දර්ශනයක් වගේ. මුලු ඉස්කෝලෙම වැස්සෙ තෙමෙන්න එලියට බහිනව. හරියට ලෝකෙ දැකපු පලවෙනි වැස්ස වගේ. ආයෙ කවදාවත් වහින්නෙ නෑ වගේ... ලමයි හැමෝම එකිනෙකා බදාගෙන සන්තෝසය උතුරන ඇස් වලින් යටි ගිරියෙන් කෑගහමින් වෑස්සෙන වතුර බිඳු වල ආස්වාදය ලබනවා. මේව බොරු කියලද හිතන්නේ? මේ ලංකාවේ.. ඉස්කෝලෙක ඇත්ත කතාවක්... මට දුකයි පින්තූරයක් නැති එක ගැන... :(




තෙමෙන නිල ඇඳුම් ගැන, ඊලඟ පන්තියට තෙමිච්ච ඇඳුම් පිටින් යන එක ගැන, හෙම්බිරිස්සාව ගැන එක්කෙනෙකුටවත් වගක් නෑ. තෙමිච්ච ඇඳුම් පිටින් ඊලඟ පන්තියට යන ඒ ඇස් වල දකින නිර්ව්‍යාජ තෘප්තිය දකිද්දි , ලැබ් එක අස්සෙ කැරකෙන පුස් ගඳට බනින්න හිතෙන්නෙත් නෑ... :)  මේ ලස්සන දසුන බලන හැම වැහි දවසකම මගෙ හිත කියන්නෙම, අනේ මේ පොත් මිටිය විසි කරල දාල මටත් ඒ මැද්දට පැනගෙන නටන්න තියනවනම් කොච්චර හොඳද කියලයි.


ඕශෝ වෙලාවක මෙහෙම කියනව. දරුවන්ට වැස්සෙ තෙමෙන්න ඉඩ දෙන්න! ඒ වැස්සෙ ආස්වාදය, තෙමුනම දැනෙන සැහැල්ලුව නිදහස ළමා මනසට අහිමි කරන්න එපා කියලා. හෙම්බිරිස්සාව හැදුනම මොකෝ.... හැදුනොත් බේත් බොනවනෙ... :)


සුදු ගවුමෙ රැලි අතින් පිරිමැදල පුටුවෙ වාඩි වෙච්ච අතීතය මට මතක් උනා. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඕනෙ දූවිලි ගොඩක වාඩිවෙන මේ දඟයො දකිද්දි මට හිත කීවෙ අපි ඔය 'Neatness' හොයන්න ගිහින් කොතරම් ලස්සන අත්දැකීම් ගොඩක් අහිමි කරගෙනද කියල. හිත හඬා වැටෙනව දැන් නම් , ගෙවිල ගිය කමකට නැති , වැඩි පරිස්සම් ලමා කාලය ගැන. !  




ඕශෝ.... මෙන්න මෙහෙට එන්න. ... අතීතෙට අපිව අරන් යන්න... වැහි දවසට , එකෙකුට ඉඩ දෙන්න එපා කුඩයක් ගේන්න ! :-)






Friday, November 12, 2010

[120] ඉස්කෝලෙන් ආව ඈත්ත කතා දෙකක් !

එදා හරිම ලස්සන දවසක්.දහය වසරෙ දෙමාපියන් අපිව හමුවෙන්න ආව දවස ගැනයි මේ... මගෙ පන්තියෙ ලමයි හය දෙනයි. ඉතින් දීල තියන කාල වෙලාවක් අනුව ඒ අතර පරතරය වෑඩියි. විවේකය වැඩියි. දෙමාපිය දෙපලවල් හය කඩින් කඩ එන යන අතරතුර මම එලි පහලියේ කොරිඩෝවට වෙලා සගයන් එක්ක පොඩි කතා බහක යෙදුනෙ ඒ නිසා. ඒ වෙලාව එලි පහලියෙ ‍රැඳුන එක කොයි තරම් හොඳ ද කියා මට හිතුනෙ,  ඒ අහඹු හමුවීම් දෙකම නැතිනම් මට මගෑරෙන නිසා. වාසනාවට එහෙම උනේ නෑ.




(.........1.........)
ඈ එදත් අදත් හරිම සන්කර කෙල්ලක්. මීට අවුරුදු 2 කට උඩදි වෙනත් සංකර පාසලකින් මගෙ 8 වසර පන්තියට ආව ලස්සන කලු කෙල්ලෙක්. ඈ එනකොට හරිම අහිංසකයි. හොඳයි. ඒත් ආ දා හිටම වැඩට නම් ටිකක් දුර්වලයි. ලකුණු 10,20 වගෙ තමයි ගත්තෙ. මාත් ඉවසිල්ලෙන් බලන් උන්නෙ ඈ පාසලට හැඩ ගැහෙන තුරු.ඈ හරිම අවධානෙන් පාඩම අහන් උන්න දැරිවියක්. ඒ නිසා මගෙ හිත හැමදාම කිව්වෙ මට මේ ලමයව හදා ගත හැකියි.උගන්න ගත හැකියි. මොකද හැසිරීම හොඳ නිසා. ඒත් අවුරුද්ද අහවර වෙනතුරුම ඒක හැදුනෙ නෑ. ඒ මදිවට හෙමි හෙමීට මාත් එක්ක උරණ මූඩ් එකකුත් ඈගෙන් ඈඟවෙන්න ගත්ත. මගෙ අනතුරු ඇඟවීම් සම්බන්ධව ඇගේ සතුටක් නෑ වගෙ මටත් තේරුනා.ඒක අපෙ ඉස්කෝලයෙ ලමයින්ගෙ හැටිනෙ. එයාල එයාලගෙ අභිමානය ගැන හරියට හිතන අය. ඉතින් මම බලන් උන්නා. 8වසර අවසාන දෙමාපිය හමුවෙදිත් ඉතින් ඈගේ දෙමාපියන්ට මගෙන් අහගන්න උනේ හොඳ ප්‍රතිචාරයක් නම් නෙමෙයි. මගෙ සිරිත කොහොමත් ඔය හැම අඩුපාඩුවක්ම දෙමාපියන්ගෙ හිත රිදුනත් නැතත් කෙලින්ම කියන එක.ඔන්න ඉතින් ඒ අවුරුද්ද ගෙවුනා.


ඈ මෙන්න මගෙ 9 පන්තියෙත් ! ගිය අවුරුද්දෙ. මෙන්න අලුත් සෙල්ලමක් ඒ පාර. ඈ පෙම්වතියක් වෙලා. පෙම්වතාත් මගෙ පන්තියෙමයි. අපෙ ඉස්කෝලෙ ආදරය කියන මාතෘකාව අදාල හෝ අනදාල එහෙමත් නෑත්නම් අනුමත හෝ තහනම් මාතෘකා නෙමෙයිනෙ..මතකනෙ මගෙ රෝස මල් දවසක් ලිපිය. ඉතින් ඒ තත්වෙ මත මම හිත කරදර කරගත් එකම දේ මේ කෙල්ල තව තවත් පිරිහේවිද කොල්ලා නිසා වත් ඉගෙන ගනීවිද කියන එක විතරයි.ඉතින් මම බලන් උන්නා. තත්වෙ නරක් උනා මිසක් දියුණු උනේ නෑ. කෙල්ල එන්න එන්නම වෑඩ අත් හෑරියා. කොල්ලා කට්ටයා. කොල්ලා කටකාරයා.. දඟයා. ඒ වගෙම වැඩත් කරන දස්සයා.. ! ඔන්න ඉතින් පලමු දෙමාපිය හමුව ආවා. දැන් කෙල්ල ගැන අම්මලත් කණස්සල්ලෙන්. මේ ලව් පලහිලවුව නිසා උන්න තැනවත් ඈ රැක නොගනීවි කියන බය. දෙමාපියන් ඈ ඉදිරියෙම මට මේ ගෑන කිව්වෙ හිත් වේදනාවෙන්. ඉතින් මම කිව්වෙ,

" මට කියන්න බෑ ඔයාට ඔය දේ කරන්නවත් නවත්තන්නවත් කියලා. ඒත් මම දුක් වෙන එකම දේ හෙමීට හොඳට හදා ගනන් පුලුවන් හොඳ මොලයක් තියන ඔයා මේ ජීවිත දෙක බැලන්ස් නොකරන එකයි. ඒක හදා ගන්න. එතකොට ඔයා හොඳ ආදර්ශයක් වෙනවා අනිත් අයටත්.ඔය වයසෙ සිතුම් පැතුම් මට තේරුම් ගන්න බැරි නෑ. ඒවට මම විරුද්දත් නෑ. ඒත් ඒවත් එක්කම අනිත් දේවල් ජීවිතේ ඉතාම වැදගත් බව හිතන්න " 

කාලය ගත උනා. කෙල්ල ටිකෙන් ටිකෙ කොල්ලගෙ ඇඟේ එල්ලෙන එක අඩු උනා. පොත පත අතගාන්න, ටිකක් මාත් එක්ක කතා බහ කරන්න , දන්නෙ නැති දේවල් අහගන්න පටන් ගත්තා. ඈ දැන් පීල්ලට වැටී ඇති සෙයක් පෙනුනා. බලන් ඉද්දි ඈ වෙනස් උනා. ගොඩාක් සංවර විනීත ලමෙක් උනා. මාත් එක්ක හරිම ආදරෙන් ගනුදෙනු කරන කෙනෙක් උනා. ඉතින් අවසාන වාර විබාගෙ ඈ ඉතාම හොඳ ලකුණුත් සමග සමත් වී තිබුනා. ඉතින් මම ඇගේ අවසාන වාර රිපෝට් පතේ මගේ විෂය ගැන පෞද්ගලික සටහන ඒ පාර ලිව්වෙ හරිම සතුටෙන් . දෙමාපියන් හමුවෙදිත් මම ඒ ගැන උදම් ඇනුවා. අම්මයි තාත්තයි ගොඩාක් සතුටු උනා.
ඊලඟ වසරත් ආවා. ඈ මගෙ පන්තියෙ නෙමෙයි. ඒත් එදා වෙනත් ගුරුවරියක් හමුවෙලා පිට වෙලා යන ඈගේ දෙමාපියන් මා ගාව නැවතුනා.

"මිස් අපිව මතකද ?  ... ___ ගෙ පේරන්ට්ස්ලා. "
'ඔව් ඔව් මට මතකයි. දෑන් කොහොමද එයාගෙ වැඩ? හොඳයි නේද දැන් ?" 
"ඔව් මිස්. දැන් එයා හොඳට වැඩ කරගෙන යනවා. ඒකට සම්පූර්ණ ගරුත්වය ලැබෙන්න ඕනෙ මිස්ට..එදා මිස් කිව්ව දේවලින් එයා හැදුනා .... දැන් එයා ගොඩාක් හොඳයි.. හැම ගුරුවරයෙක්ම එයාගෙ හොඳ කිව්වා. ඒ මිස් නිසා. මිස් එදා කිව්ව දේවල් නිසා. ගොඩාක් ස්තූතියි"

මම බිරන්තට්ටු වුනා. එච්චර වෙනසක් උනාද. ? මගෙ හිත අනෙ මන්දා ආඩම්බරයකින් වගෙ සිතුවිල්ලකින් ඉපිලෙන්න ගත්තා.  

දෙවියනේ එහෙනම් මම තව ජීවිතයක් වෙනස් කලා.!




 (........2........)
ඔය කිව්ව පන්තියෙම හිටිය අන්ත දඟ කොලුවෙක්. කොල්ල දඟයා විතරක් නෙමෙයි මැරයා. බාස්කට් බෝල් කණ්ඩායමේ ඉන්න හොඳ ස්පෝටි ඒ වගේම නාහෙට අහන්නෙ නැති , ඒ වගෙම මුලු ඉස්කෝලෙම ජනප්‍රිය දඟයෙක්. හැමෝම එයාට ආදරෙයි. එයාගෙන් වද විඳින කරදර විඳින ටීචර්ස්ලා ඈරෙන්න !


පන්තියෙ එක විදියකට ඉන්නෙම නෑ. එන්නෙ වෙලා ගිහින්. පොඩ්ඩක් හරි සැර උනොත් ආයෙමත් අනිත් පැත්තට අපිට සැර වෙනවා. කොටින්ම පන්තිම යුද්ද පිටියක් වගේ. මේ කොලුව මටත් හරිම හිසරදයක් වෙලා උන්නේ. පලවෙනි දෙමාපිය හමුවත් යුද්දයක් වගෙ උනා.කොල්ල මට කතා කරන්න දෙන්නෙ නෑ. අම්මලට කතා කරන්න දෙන්නෙත් නෑ. එන්නෙම වලියට. අන්තිමට මටත් රවලම කට වස්සන්න උනා. කොටින්ම එදා පෑය කාලක් වගෙ වෙලාවක් අල්ලගෙන බණ කිව්වා. ඒත් වැඩක් උනෙ නෑ. කාලය ගෙවුනා . දඟකාරකම අඩු උනේ නෑ. වාරයත් ගෙවුනා. 8 වසර අහවර වෙද්දි කොල්ලයි මායි අන්තිමේට නයි වෛරයි. මම කියන කිසිම දෙයක් කොල්ල අහන්නෙ නෑ. අන්තිම දෙමාපිය හමුවත් ආවා. එදා නම් මම දුන්නා තෙල් බේත. බොහොම ආදරෙන් කරුණාවෙන් මම කිව්වෙ එක දෙයයි.

"ඔයා හරිම ජනප්‍රිය කෙනෙක්.ඔයා දඟ වෑඩක් කරද්දි වටේ ඉන්න ඔයාගෙ යාලුවො ඔයාව විහිලුවක් කරල ඔයාගෙ මෝඩ වෑඩ වලට හුරේ දානව. ඔයාත් දඟලනවා. ටීචර්ස්ලත් එක්ක රණ්ඩු වෙනවා. යාලුවො ඔයාගෙන් ප්‍රයෝජන ගන්නවා විවේක වෙලාවට නටවන්න... ඔයා නැටවෙනවා. ඔයාගෙ වටිනාකම ඔයාම පල්ලෙහාට දා ගන්නවා. හොඳ මොලයක් තියෙද්දි ඒක නාස්ති කරනවා. ඔයා ස්පෝට්ස් වලින් ගොඩක් හොඳ කෙනෙක්. ඉතින් ඔයාට ආඩම්බර වෙන්න ආස නැද්ද කවද හරි අන්න මේ කොල්ල ඕල්රවුන්ඩර් කෙනෙක්.ඉගෙනත් ගත්තා. හොඳට එක්ස්ට්‍රා වැඩත් කලා" කියලා? ඒ නිසා අනුන්ට විහිලු සපයන්න එපා.ඒ ගොල්ලො ඔයාගෙන් විහිලු අරගෙන හිනා වෙලා ලස්සනට පන්තියෙ ඔක්කොම වෑඩ ටික කර ගන්නවා. ඔයා ? අනිත් අයට උවමනාවට නටනවා. ගුරුවරුන්ගෙන් ප්‍රශංසාවක් අහන තැනට එන්න.යාලුවන් ගෙන් ප්‍රශංසාවක් අහන්න නෙමෙයි ඕනේ. "

ඉතින් කොල්ලයි කොල්ලගෙ අම්මයි තාත්තයි ඔක්කොම සාවධානව අහන් උන්නා.  කාලය ගෙවුනා. කොල්ලත් 9 වසරෙ මගෙ පන්තියේ. මට පලවෙනි දවසෙ හිතුනෙ ඉර අනිත් පැත්තෙන් පායනවවත්ද කියල!වෙච්චි වෙනස කොයි වගෙද දන්නවද ? අදහන්නත් බෑ.. කොල්ලා මගෙ පන්තියේ හොඳම දක්ශම ලමෙක් වෙලා 9 වසරෙන් එලියට ගියා. බාස්කට්බෝලුත් ගැහුවා(අදටත් ගහනවා)..පන්තියෙ හැම වැඩේම අපූරුවට කලා. නොකරන අයවත් වැඩ කරන්න පොලඹන්න තරම් ආදරනීය යහපත් ආදර්ශයක් උනා. කොටින්ම තමුන් මැණිකක් කියලා පෙන්නුවා. මම දිගින් දිගටම කිව්වෙ එක දෙයයි එයාට. 

"මම ඔයාව ගොඩක් විස්වාස කරනවා. ඔයා ආයෙත් වෙනස් වෙන්නෙ නෑ කියලා. ඒ විස්වාසෙ තියන්න. ඒ සතුට හෑමෝටම දෙන්න "

ඉතින් ගුරුවරුන්ට ආදරේ , හැම විභාගෙන්ම 80ටත් වඩා ලකුණු ගන්න, හොඳම ලමෙක් වෙලා, මගෙ ප්‍රියතම චරිතයක් වෙලා, ඒ අවුරුද්දම හරිම ආස්වාදනීය පන්තියක මතක මට දීල, මේ කොලුවා ඈතුලු දරුවො ටික 10වසරට ගියා.
9 වසරෙ අන්තිම දෙමාපිය හමුවෙදි මම ඒ දෙමාපියන්ට කීවෙ එකම දෙයයි.

"මට දෑන් මෙයා ගෑන කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ. එයා විහින්ම තේරුම් ගත්තා තමුන් කොච්චර වටින කෙනෙක්ද කියන එක. ඒකට සහයෝගය දීපු ඔයාලටයි මේ දරුවටයි මම ස්තූති කරනවා. දෑන් එයා ආයෙ කවදාවත් තමුන්ගෙ චරිතෙ නරකට ඈද ගන්නෙ නෑ. ඒක ආයෙ කවදාවත් වෙන්නෙ නෑ. මම මේ දරුව ගැන ආඩම්බර වෙනවා"

  ඒ දෙමාපියො ගියේ මොන තරම් සතුටකින්ද කියලා මට අදත් මතකයි. ඒ දඟකාර කොලුවගේ ඈස් වල කඳුලු පිරිල තිබුනා එදා පිටවෙලා යද්දි.... මමත් ඈත්තටම හෑඟුම්බර උනා. ඒ දෙමාපියන් එදා මුව නොසෑහෙන්න ස්තූති කලා.


එදා...10 වසරට උගන්නන ගුරුවරිය හමුවෙලා යද්දි ඒ දෙමාපියන් මා ගාවත් නැවතුනා.

"අහ් _____ ගෙ අම්මයි තාත්තයි නේද?" මම ඇහුවා


"ඔව් මිස්. අපි මේ මිස් ඉන්නවද බලන්නයි ආවෙ. මිස් නිසයි එයා හොඳ ලමෙක් උනේ. දෑනුත් ටිකක් දඟයි . ඒත් එයා දැන් හරිම හොඳයි " 
ඔවුන් කිව්වෙ ඇත්තටම හැඟීමකින්.

"මම කල දෙයක් නෑ ඈත්තටම. එයා තමයි එයාගෙ වටිනාකම තේරුම් ගත්තේ. එයා ආයෙ වෙනස් වෙන්නෙ නෑ.කාටවත් එයාව නරක් කරන්න බෑ.බය වෙන්න එපා.. මොන පන්තියට ගියත් මම එයා දිහා බලන් ඉන්නවා. "

"ගොඩක් ස්තූතියි මිස්.මිස් තමයි ඒ වෙනස එයාට කලේ. "  
ඔවුන් තවත් මොහොතක් නැවතී එහෙම කිව්වේ හරිම සංවේදී විදියට....

"මටත් එයාව දකින හැම වෙලාවකම දැනෙන්නෙ හරිම සතුටක්." 
මගෙ හදවත ආයෙමත් පිනුම් ගහන්න ගත්තා වගේ හිතුනා.


ඔවුන් මගෙන් සමුගෙන ගියේ මගෙ හිතට එකම එක සිතුවිල්ලක් ඉතුරු කරමින්.

~~()~~


ඔය පොත් පිටු එක එක ලපටි දඟකාර මොල වලට අසීරුවෙන් ඔබ්බවන්න කලියෙන්, උන්ට කෑකොස්සන් දෙන්න කලියෙන්, හදවතින්ම එන සංවේදී එක වචනෙකින්, අම්මෙකුගෙ තාත්තෙකුගෙ කණස්සල්ලක් දුරලන්න, දරුවෙකුගෙ සම්පූර්ණ අනාගතයක් උඩු යටිකුරු කරවන්න සමත් බලවේගයක් මේ ලෝකෙ ඉන්නවනම් , ඒ ගුරුවරයෙක් විතරමයි...  

~~()~~


නයා පාරක් නම් තමයි. ඒත් මදහත් සිතින් බලලා ගත යුත්තක් ගන්න කියන අදහසිනුයි මේක ලිවුවේ. මම ගැන කියන්න නෙමෙයි හොඳේ... :) 

දෙවියනේ එහෙනම් මම තව ජීවිතයක් වෙනස් කලා.!


[119] මලක් ගැන පොඩි කතාවක්!

හිස් බොල් පොලව මත
ගෙන්දගම් සැර,
සුවඳක්මැයි කියන...
එහිම වැතිර ඉඳින...
ඒ පොලොවම
සිඹින,
දාහකුත් එකක් මල් මැද...


එහි වැතිර මුත්,
හිරු කිරණ
දිලෙන
වැගිරෙන,
අහස් කුස දෙස
අසීරුවෙන් මුත්
එබෙන..
වැඩියෙ නැති මුත්,
එක් මලක් හෝ
 ඇත දෙරණ.....

කවිය පිටුපස කතාවක්:
ඈ ජීවිතයේ බොහෝ සුව පහස් අඩවියකින් කටුක අමිහිරි අතීතයකට ඈද දමනු ලෑබුවේ දෛවය හෝ අවාසනාව විසින් විය හෑකිය. ඒත් ඒ වෑටුන තෑනින්ම නෑගිට අද හෑමටත් වඩා හොඳ ජීවන දෑක්මකින් මිනිසුන් දෙස බලන , ලෝකය තනන්නට පෙර තම සිත තෑනූ දුර්ලභ චරිතයක් ඈ. ඈ අද මගේත් මාර්ගෝපදේශිකාවක් කීවොත් නිවෑරදියි. මේ ඈ ගෑනයි. ඔබ සෑබවින්ම ජීවිතය දිනූ කෙනෙක් සහෝදරී. :) හරියට මේ පොලොව දිහාට හෑරිල කුසීතව ඉන්න සේපාලිකා මල් අතරෙ අහස දිහාට හෑරිල තම ගුණ සුවඳ පෙන්වන සේපාලිකා මල වගේ.... 
Picture Courtesy : Pethum Weerasinghe (http://www.flickr.com/photos/30774322@N00/4684044794)
ස්තූතිය: තම ප්‍රාණ සමාන වටිනා ඡායාරූපයක් නිර්ලෝභීව කවිය සඳහා යොදා ගෑනීමට අවසර දුන් පෑතුම් වීරසිංහ මල්ලිට... (http://www.flickr.com/photos/30774322@N00/4684044794)


Monday, November 01, 2010

[118] ආදර පන්තිය සහ ගුරුතුමිය


බලන් ඉන්න...
ප්‍රශ්න අහන්න....
කියන්න ඉඩ දෙන්නම්..
අහන්නම්...
අකීකරු නොවී ඉන්නම්

දන්න ඔක්කොමම
කියලත් දීලා....
හිතේ බරක් නෑතිව
උන්නු ඔය හිතට
ආදර පාඩම පටන් ගන්නම්...

ඔහේ පාවුන
ඔය කඳුලු ටික විතරක්
නොයිඳුල් සුස්ම ටික විතරක්
මම ගන්නම්...


හිත කියන කලු ලෑල්ලට
රිදෙනකම් පාඩම් කිය කිය
හිස් පුටු මේස වලට
උගන්නන්නම් ආදරේ අරුම

පන්තිය ඉවර උනහම
අරන් යන්නම් කඳුලු ටික
ගිහින් අමුණන්නම්
ආදර මුතු ඈටයක්
අතීතෙට...

Tuesday, October 19, 2010

[117] ලැජ්ජාවේ බැරි , මගේ සිංහල කොම්පීතරය සහ අන්තර්ජාලය..!


ලංකාව ඈතුලෙ ඉන්ගිරිසියට තියන බිය නිසා මේ කොම්පියුටරේ තවම අමුතු යකෙක් වෙලා. ඒ බිය මේ වගේ සිංහල සපෝට් කරන මාධ්‍යය නිසා හෙමි හෙමින් අඩු වෙනවා. සින්ගිරිසි, සින්හල බ්ලොග්, සින්හල වෙබ් සයිට්, සින්හල බස්, සින්හල චෑට් මේ වගේ ප්‍රවණතාවන් තව තව අපි ඉස්සරහට ගන්න ඕනේ.... මේක ඉන්ගිරිසියට බියේ කොම්පියුටරයට ටටා කියපු යුගයෙන් මිදුනු වේගව්ත් සංස්කෘතියක්. හරිම සතුටු හිතෙන දෙයක්..


මේ වගේ අපේ භාශාවෙන් දේවල් ඉස්සරහට එනකොට (ඉස්සර අපේදේකට තිබ්බෙ විජේසේකර කීබෝඩ් එකයි ෆොන්ට් ටිකයි විතරනෙ) ඔය ඉන්ගිරිසි භාෂාවෙ තියන ඒකාධිකාරය නෑත්තටම නෑති වෙලා යනව. ජපානෙ වගෙ. සිංහලෙන් හෑම දේම සන්නිවේදනය කරන්න අපි හුරු වෙයි ඉක්මනට.


කොටින්ම උදාහරණයක් කියන්නම්. රාජකාරි හෝ නොවෙන මොකක් හෝ ලිපියක් ඉන්ගිරිසියෙන් ඔලුවෙ වෙහෙසලා කෘතිමව ටයිප් කරනවට වඩා දන්න හොඳ සිංහලෙන් ලියන්න අපිට පහසුකම්වල අඩුවක් තිබ්බා. ෆොන්ට් නෑ. කීස් දන්නෙ නෑ. ඒව මතක නෑ.ඉතින් අපි තියන බැරි ඉන්ගිරිසිය එක්ක හරඹ කලා.ඒත් දැන් ? උවමනා තරම් ඔප්ෂන්ස්!! 

වෑඩි උදාහරණ ඕනෙ නෑ. මම සිංහල වලින් මුකුත්ම නොලියා අවුරුදු 10 උන්නා. හේතුව පල කරන්න තියන මාධ්‍යය එක්ක ටච් එකේ ඉන්න එක කරදරයි (උදා: පත්තර) ලියන දේ මිනිස්සු අතරට යන්න කල් යනවා. ටයිප් සෙට් කරනන් වෙලා යනවා. ෆොන්ට් නෑ. තියන ඒව ඉක්මනට ඉගෙන ගන්න බෑ. පල කරන්න තැන් නෑ. පල කලත් කියවන අය නෑ. ඔය වගේ හේතු. ඒත් 2010 ජනවාරියෙ අහම්බෙන් සිංහල බ්ලොග් ඇස ගැටුනම මට පස්වනක් ප්‍රීතියක් දැනුනෙ. මෙන්න හොඳම වෙලාව ! ආයෙත් ලියන එක මුවහත් කරන්න ! අවස්ථාව ආවා. පල කලා. කියවන සහෘදයින් පිරිසක් බ්ලොග් වටා ඉන්නවා.


දැන් දැනුම බෙදන්න ක්‍රම තියනවා. මූනු පොතේ, ඊමේල් , ගූගල් බස්, ට්විටරය ,ඒ හැම එකකටම අපි කොන්ද කෙලින් තියන් සිංහල අකුරු වලින් අපේ දේවල් හුවමාරු කරන්න පටන් අරන්! කිසි කෙනෙක් කිසිවකට ලැජ්ජ වෙන්නෙ නෑ මේ අකුරු ඉන්ගිරිසි තරම් හතරැස් නෑ කියල.


අන්ත පොෂ් යයි කියා ගත්ත ඉන්ටනැසනල් ඉස්කෝලෙ සිංහල බැරි බව මූනිච්චාවට සෝබනේට පෙන්නන, කට්ටිය ඉස්සරහ මම බය නැතුව සින්ගිරිසියෙන් මූනු පොතට , බස් එකට සිංහලෙන් ලියනව. ඔය කියන පොෂ් නෝනල මහත්තුරු ඔක්කොම හොරෙන් කියවන , එලිපිට 'අනේ අපෙ මැශින් එකේ සිංහල ෆොන්ට්ස් නෑ අනේ' කියල තොඳොල් වෙන අයව ගණන් නොගෙන මම සිංහලෙන් ලියනව. කොම්පියුටරේ සිංහල අකුරු මොනිටරේ පේද්දි මම හැන්ගෙන්නෙ නෑ. මට ඒක ආඩම්බරයක්. මම කොම්පියුටරය කියන්නෙ ඉන්ග්ලිශ් වලින් විතරක් වැඩ කරන්න මවපු එකක් කියල කියා ගන්න උදවියට සින්හලෙන් මේකෙ වැඩ කරන හැටි කියල දෙනව මම .


මම... පුලුවන් හැමවෙලාවෙම තාක්ෂණේ සිංහලෙන්ම යොදා ගෙන, අවශ්‍ය හෙවත් අත්‍යාවශ්‍ය මොහොතකට විතරක් ඉන්ගිරිසිය පාවිච්චි කරන , ඉන්ගිරිසිය අවශ්‍ය අවස්ථාවට කිසි සේත්ම සිංහල කවලම් නොකරන, ඒත් යාලු මිතුරන් ඉස්සරහ දෙකම කවලමේ හෝ එකකින් අමු අමුවේම උනත් නිදහසේ කතා කරන , අන්තිම අමුම අමු සිංහල කම පිටින් පෙනෙන්නට නොබේරෙන , ඒක හිතේ තියාගෙන එයින් උපරිම පල නෙලන, බටහිරම කරණය වෙච්ච ඉස්කෝලෙක රට්ටුන්ට ඕනෙ හැටියට නොව මට ඕනෙ හැටියට තාක්ෂණය පාවිච්චි කරන සංකර කෙල්ලෙක් වෙච්ච එක ගැන මම අද ආඩම්බර වෙනව.


සිංහලෙන් වැඩ කරමු, පට්ට පොශ් කොම්පියුටරයක් පාවිච්චි කරමින්, රට තොටට ගැලපෙන්නට ජීවත් වෙමින්, අපිට සිංහලෙන් වැඩ කරන්නට ලැජ්ජාවක් නැති බව පෙන්නමු! ඒකෙන් අපිට වඩා මේ තාස්සන යකාට බය වෙලා තවම ලිඳ ඇතුලෙ ඉන්න එකෙක් දෙන්නෙක්වත් එලියට ඇවිත් රට තොට බලාවි.! ආහ්.. කවුද එන්නෙ ?


Saturday, October 16, 2010

[116] අඳුර විතරක්ම දුටු ඇස් දෙක...

කුට්ටි පිටින්
තට්‍ටු ගනන් ගොඩ ගැහුන
අන්ධකාරය
කෙඳිරි ගාන අහුමුලු වල
බයෙන් වගේ
අත පත ගාගෙන
හිත හොයන්නේ
එක තැනක්වත්
වෙනත් පාටක් ගෑවුන...


අතට ඇල්ලුවම
නොතැවරෙන පාටට
දොස් කීවට
අවලාද කීවට...
දන්නව නෙව මේ හිත
ඇසට නොව,
සාප කල යුත්තේ
අඳුරට !


ඇණ තියාන අඳුරෙම
කල්පයක්
අතපත ගෑවට..
ඇවිත් යන 
ඔය සොඳුරු පාට
නොදුටුවට ..
එලියක් නොදු‍ටු
දෑසට මිසක...
අවනඩු කොහිද අඳුරට ?

Thursday, October 14, 2010

[115] පාර අහගෙන යන්න... වරා මල ඇහිඳින්න....



ඔබ යන්න
කුණාටු සුළඟකට
ගසා ගෙන ආ
වරා මලත් ගෙන
ඔබ යන්න

ගොසින් යලි එන්න
මග බලන්නෑති
පහන් තරුවක්
මිහිමතට පහත් වූ සඳ
අඳුරු වූ අහස වෙත
ගොසින් දැන් දැවටෙන්න...

ඔබ එන්න
ලෑගුම් හල් නෑති
කොනක් නෑති
ඉමක් නෑති
අඳුර මත
නොමසොයා ඒ
පහන් තරුව
ඈවිත් මෙහි
නෑවතෙන්න

ඔබ යන්න
හිතුවක්කාර සුලඟෙන්
පාර අහගන්න
ගොසින් ඒ වරා මල
ඈහිඳින්න....
ඔය පපුතුරේ තියාගෙන...
සුවඳ විඳගන්න...
ඉතින් ඔබ එන්න....

Monday, October 11, 2010

[114] පොත් සලකුණ සහ මම !


මතක පොත් ගුල කොනෙක
තබා ගිය පොත් පිටුව අහිමිව
නන්නත්තාර වී ගිය
පොත් සලකුණක්ද මම..?

අතීත මතක පොතක
පිටු එකින් එක ඉරී යන
අකාලයක මිහි බට
මං වැරදුන තරුවක්ද මම ?

වනස්පති රුකෙක

ඈමිණෙන අතරතුර ලතාවක්ව
පැමිණි සුළ
ඟටත් බහදුන්
වංචාකාර වරා මලද මම ?

එකින් එක නිර්වචන
මකාලයි මතක පි‍ටු වල හිස් කම
වචන මිස නිර්මල
සිතුවිල්ලකට පොත් ලකුණු නැත...

Sunday, October 10, 2010

[113] මගෙ බළල් හිත ! :)


ගැබ්බර බැලලියක
විලිරුදා මතුවෙන විට
මුල්ලකට වැද සැඟව
නිහඬවම දරා , මුදා කුස බර....

කිසිත් වූ නොවූ ගානට
හිස් බැල්මෙන් එලි බහින විට
හැඬුම් විලි ලෑ ලකුණකුදු නැත
ඇගේ හිස් කුස මිස...!

නෑඬූ විලස කිසිත් නුවු ලෙස
දෙතොල් පා හස නගන මගෙ හිත
නොකියා කියන දුක සඟවන
ගැබ්බර බැළලියටත් හපන් මගෙ හිත !

Sunday, October 03, 2010

[112] ආදරය දැනෙන්න ජීවත් වෙන්න

පුදුමාකාර ලෙස පොතකට වසඟ වුනා.... "ආදරය දැනෙන්න ජීවත් වෙන්න- සරත් විජේසූරිය" .. ඒ නිසාම මේ බ්ලොග් සටහන අවිවේකීව ඉන්න අතරතුර නමුත් ඉතා කෙටියෙන් හෝ ලියන්න  හිතුනා.


ආදරේ කියන්නෙ හැඟීමක්. ඒක මානසික දෙයක්. ක්‍රියාවන්ට වචන වලට වඩා සිතුවිලි වලින් ධාවනය වෙන ශක්තියක් ඒක.රෝස මලක සුන්දරත්වයෙන් පටන් ගන්න සමහර ආදර කතා සුනාමියක් තරම් වේගෙන් අහවර වෙන්නෙ ඇයි? හිතෙන්නෙ මොකක් හෝ මහා ලොකු හේතුවක් නිසා කියල වෙන්න පුලුවනි.. නෑ.. සමහර විට එකම එක වචනයක් නිසා. එකම එක බැල්මක් නිසා. එක අත්වැ‍රැද්දක් නිසා. නොහිතා කියපු කරපු දෙයක් නිසා. කරන කියන දේකට අනෙකාට දැක්වුව දුර්වල ප්‍රතිචාරයක් නිසා. එය ඔඩු දුවන්න ඉඩ දුන් නිසා. මතක තියා ගන්න... උණක් ගැනිල ඒක අකාලෙට , කැලේට හොඳ වෙනව වගෙ, පලුදු වෙච්ච හිතක් සුවපත් වෙන්නෙ නෑ . සුවපත් කල යුතුයි. මම ආයෙ ආයෙමත් කියනව. සිතුවිලි ඉබේ බිහිවෙන්නෙත් නෑ. බිහිවුන සිතුවිල්ලක් ඉබේ නිවෙන්නෙත් නෑ. දෙකම පුද්ගල මූලිකයි. ඉබේ හෝ අත්වැරදීමකින් හෝ බිහි වුන සිතුවිල්ලක් නිසා වචනයක් හෝ ක්‍රියාවක් සිද්ද වෙනව. ඒ අවස්ථාවට (ආදරයෙදි) අනෙකාගෙන් ලබන ප්‍රතිචාරය මත ඒ සිතුවිල්ලේ අනාගතය තීරණය වෙනව. ඒක නම් නොකියාම බෑ. ආදරයෙදි පරිස්සම්  වෙන්න ඕනෙ ඒ නිසා. දෙන්නම.

ආදරයෙදි පරිස්සම් වෙන්න ඕනේ...

මේ කියන්නෙ නිදහසක් නැති ආදරයක් ගැන නෙමෙයි. ආදරය ගැන මම දවසක් මූනු පොතේ නිර්වචනයක් ලිව්ව. මෙන්න මෙහෙම.
"අපේ අත පය ගන්න. කිලෝ ගණන් බර උනාට අපෙ ශරීරයට ඒක තියන බවවත් දැනෙනවද ? නෑ නේද ?
ඇඟේ අලවපු ප්ලාස්ටරයක් ගන්න... බරින් ග්‍රෑම් ගණනක් උනාට , අලවපු වෙලාවෙ ඉඳන් ගලවගන්න හදිස්සිය නේද? තියන බව දැනෙන නිසා. ..
ආදරේ ... අපේ අතපය වගේ ඇඟේ කොටසක් නම් අපි වාසනාවන්තයි... ප්ලාස්ටරයක් නම්... ඒක බරක්...
වාසනාවන්ත ආදරේ... කුරුලු පිහා‍ටුවක් වගෙයි....."


ඉතින් ආදරේදී පරිස්සම් වෙනව කියන්නෙ බරක් නෙමෙයි. ඒක මනා සිහියෙන් සහ අනෙකා ගැන තේරුම් ගැනීමෙන් ඇති වෙන දෙයක්.... එය පුරුද්දක් බවට පත්වෙන අවබෝධයක්... මට නම් හිතෙන්නෙ එහෙමයි.. මේ ඔක්කොම වැල් වටාරම් කිව්වෙ මම එක දෙයක් නිසා. ඒ ඊයෙ රෑ මම කියවපු මේ පොත නිසා.


ඉතා සුලු සන්නිවේදන දුර්වලතා නිසා ජීවිත අවුලෙන් අවුලට , විනාසයට පත් කර ගත් ගෑහෑණුන් මිනිසුන්,පවුල් ගැන ලියවුන අගනාම පොතක්.. අපට අප ගැනම උගත හැකි පොතක්.. ආදරය යනු ප්‍රකාශනයක් බවත් , එය දුර්වල කොට නොගෙන එය ශක්තිමත්නම් පමණක් ආදරය ඔස්සේ ඉදිරියට යා යුතු බවත් මොනවට පැහැදිලි කරන පොතක්. හිත අස්සේ පොදි ගැහෙන එක සිතුවිල්ලක් නොවිසඳාගැනීම නිසා ජීවිත එකක් නොව කීපයක්ම අයසට පත් වෙන හැටි කියවන්න පුලුවන් මේ සත්‍ය කතා වලින්. පුදුම හිතෙනවා... කතා බහ නොකර එක පොඩි සිතුවිල්ලක් අමනාපයක්, පොඩි සැකයක් නොවිසඳාගැනීම නිසා දශක ගානක් විඳවන පවුලක්ම අයසට හානියට පත් වෙන අනතුරක් වේවි යැයි , මේ අපරිස්සම් බහුතරයක් අප කවදාවත් හිතනවද ? අපි සිදුවීමකට කොච්චර ලේසියෙන් යන්න දෙනවද ? කිසිම දෙපාරක් හිතා බැලීමකින් තොරව. ඒත් අනෙකාගෙ හිතේ එය කෙසේ බලපවත්වනවදැයි අප මොහොතකටවත් හිතනවද ? නෑ නේද ?


අප පිලිගන්නෙ නෑ එකිනෙකාගෙ චරිත වෙනස් කියල. එකිනෙකාගෙ සිතුම් පැතුම් විවිධාකාරයි කියල. ඒ වගෙම එකිනෙකා විඳින විඳවන දේවල් ප්‍රකාශනයත් සමහරුන්ගෙ ප්‍රබලයි. සමහරුන්ගෙ ආවේගශීලියි. සමහරු අසරණයි.සමහරු ප්‍රකෝපකාරියි..සමහරුන් මිත්‍රශීලියි.. සමහරු උපායශීලියි...යනාදී වශයෙන් .. අප ආදරය කරනවා කියන්නේ අනෙකාගේ ඒ ප්‍රකාශනය හඳුනා ගැනීම නෙමෙයිද ? ඊට එකඟ වීම නෙමෙයිද ? එහි ඇති ස්වභාවය වටහා ගැනීම නෙමෙයිද? ඒ අනුව ක්‍රියා කිරීම නෙමෙයිද ? දක්ෂ ආදරවන්තයෙකුට අනෙකාගේ ප්‍රකාශනය නිදහස් කරන්නට අවකාශය තනා දිය හැකියි. එවිට ප්‍රකාශනය තුල ගැ‍ටුම් ඇති වෙන්නෙ නෑ.බොහෝ දේ සුහද මට්ටමින්ම විස‍ඳෙනවා. එවිට කල්පවතින හිතේ තුවාල වලට, ගැ‍ටුම් වලට,ආවේග වලට, කේන්තියට, සැකයට ඉඩක් නෑ. මිත්‍රශීලි බවින් ප්‍රශ්න විස‍ඳෙනවා. එයින් බැඳීම තව තව ශක්තිමත් වෙනවා.


ආත්මාර්ථකාමී ආදරවන්තයෙකුට නිතරම හිතෙන්නෙ "ඇයි එයා මාව තේරුම් ගන්නෙ නැත්තෙ?" කියල. ආදරයත් චරිත ස්වභාවයත් නිතරම ප්‍රශ්න කරන තැනක ආදරේ රඳන්නෙ නෑ.මොකද එකෙකු නිතරම බලන්නෙ අනෙකාව නතු කරගන්න. තමුන්ගෙ ක්‍රමයට හැඩ ගස්වන්න.අනෙකාව තේරුම් ගන්න නෙමෙයි. මතක තියා ගන්න...ජීවිතේ නිසි මගට හැඩ ගස්වන්න උදව් කරන එකයි තමුන්ට නතු කරන එකයි වෙනස්... නතු කරගන්න වලි කන කෙනා ගොඩක් වෙලාවට අනෙකාව පෙලනවා . රිද්දනවා. දුක් දෙනවා. බනිනවා. දොස් කියනවා. 'මේක නෙමෙයි මම හොයපු ආදරේ..' කියමින් අනෙකාට මිහිපිට අපායක් පෙන්වා දෙනවා....


ඇත්තටම මේ පොත කියවද්දි මට දැනුනෙ මේකයි.. අයසට විනාසෙට පත් වෙන පවුල් ජීවිත අස්සෙ තියන ලොකුම දුර්වලකම සන්නිවේදනයේ අඩුපාඩුවයි.. මේ කතා එතරම්ම හදවත විනිවිද යන්නේ ඒවා එතරම්ම සත්‍ය නිසා. ආදරය ඔහේ තිබුනාට එය ජීවිත දෙකක් යහපත් නොකරන බවත් , එය දැනෙන්න ජීවත් වීම මහමෙරක් තරම් බරක් ගෙන කලයුතු දෙයක් නොවෙන බවත් යන දෙකම අප පසක් කරනවා නම් කොච්චර හොඳද ?


ආදරය දැනෙන්න ජීවත් වීම කියා කියන්නෙ රඟපෑමක් නොවෙයි. එකිනෙකා අනෙකාගේ කලාව හඳුනා ගැනීමයි.ප්‍රකාශනය විවෘත කිරීමට මිසක හකුලා ගැනීමට ඉඩ නොතැබීමයි. ඊට පොත් පත්වත් තුන්වෙනි පාර්ශවයක්වත් උදව් වෙන්නෙ නෑ. ඊට උදව් වෙන්නෙ එකම එක දෙයයි. සන්නිවේදනයයි... එතැන්දි සිතුවිලි හෝ ක්‍රියාවන් අර්ථ දක්වන්නට වචන වලින් වෙන මෙහෙය අති විශාලයි. එය හඳුනාගන්නා තාක් එසේ කටයුතු කරන තාක් ඔබට ඔබේ ආදරවන්තයා/ආදරවන්තිය ගුප්ත අයෙකැයි..තේරුම් ගන්නට බැරි අයෙකැයි..අමුතු කෙනෙකැයි පෙනෙන එකක් නෑ.


සරත් විජේසූරිය මහ්ත්මයාගෙ මේ පොත හැකි නම් අරන් කියවන්න. මේක ප්‍රචාරණයක් නෙමෙයි.. ඒත් එතරම්ම වටිනවා මේ පොත. ආදරයේදි මිනිස් සිතුවිලි ක්‍රියාකරන හැටි, ගැ‍ටුම් ඇතිවෙන හැටි, ඒවායේ අක්මුල් ගැන අවබෝධය මුවහත් වෙනව මේ පොතෙන්. ඔබේ සහකරුවාගේ /සහකාරියගේ බොහෝ හැසිරීම් ඔබට මෙතෙක් තේරුම් ගන්නට බැරි වූවා නම්, ඊට හොඳ මග පෙන්වීමක් මෙහි තිබෙන බව මට නිසැක කොට කියන්න පුලුවනි.


ආදරය දැනෙන්න ජීවත් වෙන්න. ශක්තිමත් බැඳීමක් තුලින් ඔබ සාර්ථක මිනිසෙකු ගැහැනියක වනු නිසැකයි.

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->