කඩිමුඩියෙ ඈඳ පෑලඳගෙන අපි පන්සලට යනකොට මෙන්න දෙගොඩ තලායන වතුර පිරිච්ච පන්සල! හිත ඇත්නම් පත කුඩාද ? අත් හැරියෙ නෑ.. පුරසඳයි මායි පුරසඳ අයියයි (හාහා පුරසඳ ගේ මහත්තයා හෙවත් මගේ මස්සිනා) තෙමි තෙමි පත්තු කරපු පහන් වැට තමයි මේ පහලින් තියෙන්නේ. :)
එතනින් එහා මේ වෑස්සෙ චිරි චිරි ගගා කුඩේ යටින් තෙමෙමින් මුවා වෙමින් ලා කරුවලේ ගෙදෙට්ට ගොඩ වෙන තුරු තිබ්බ හැතැම්ම බාගෙ අතරතුර මට කීපාරක් නම් හිතුනද, අනෙ මේ කුඩේ විසි කරල දාල කෑ ගගහ කෑරකි කෑරකි වැස්සෙ තෙමෙන්න...!
කුඩේ විසි කලොත් කුඩයක් කෝ..? ඇඳුම් තෙමේවි.. ඇඟට ඇලේවි.. රට්ටු හිනා වේවි... රට්ටු වැරදියට බලාවි..වයසෙ හැටියටද වැඩ? ඔහොමද හැසිරෙන්නෙ..? ගුරුවරියෙක් නේද? ලැජ්ජ නැද්ද? ඊය ජරා වතුර ... මොන ජරාවක් ඇද්ද? හෙම්බිරිස්සාව හැදේවි... ලෙඩ වේවි .. ඉස්කෝලෙ යන්න බැරි වේවි!
හප්පේ... කීයක් ජාති හිතන්නද ? ඔය ඔක්කොම එක පාර හිතෙද්දි මට ආයෙමත් පුරුදු ලෙසම කොලඹ හතේ ඉස්කෝලෙට හිත දුවගෙන ගියා...
වැස්ස වැටෙන එක තරම් අපෙ පොඩි උන්ට සන්තෝසයක් තවත් නෑ නෙව. කිව්වම විස්වාස කරන්න. අපෙ ස්කෝලෙ ඔච්චර කිරි සුදු කෙල්ලො ඉන්නව. එක කෙල්ලෙක් කුඩයක් පාවිච්චි කරන්නෙ නෑ. අව්වටවත් වැස්සටවත්.! විවේකයක් එනකල් මේ දඟකාර ඇස් ඇඟිලි ගනිනව. එලියෙ වැටෙන වැහි බිඳු දිහා බලාගෙන... ඔන්න එක නිමේශයයි.... මී මැහි පොදියම පිට්ටනියෙ.. එකෙක් දෙකෙක් පෝරිසාද ලමයි ටිකක් විතරක් නෙමෙයි. මුලු ඉස්කෝලෙම..!. කොටින්ම නිකම්ම නිකම් වැස්සක් නෙමෙයි.. වැහි සන්දර්ශනයක් වගේ. මුලු ඉස්කෝලෙම වැස්සෙ තෙමෙන්න එලියට බහිනව. හරියට ලෝකෙ දැකපු පලවෙනි වැස්ස වගේ. ආයෙ කවදාවත් වහින්නෙ නෑ වගේ... ලමයි හැමෝම එකිනෙකා බදාගෙන සන්තෝසය උතුරන ඇස් වලින් යටි ගිරියෙන් කෑගහමින් වෑස්සෙන වතුර බිඳු වල ආස්වාදය ලබනවා. මේව බොරු කියලද හිතන්නේ? මේ ලංකාවේ.. ඉස්කෝලෙක ඇත්ත කතාවක්... මට දුකයි පින්තූරයක් නැති එක ගැන... :(
තෙමෙන නිල ඇඳුම් ගැන, ඊලඟ පන්තියට තෙමිච්ච ඇඳුම් පිටින් යන එක ගැන, හෙම්බිරිස්සාව ගැන එක්කෙනෙකුටවත් වගක් නෑ. තෙමිච්ච ඇඳුම් පිටින් ඊලඟ පන්තියට යන ඒ ඇස් වල දකින නිර්ව්‍යාජ තෘප්තිය දකිද්දි , ලැබ් එක අස්සෙ කැරකෙන පුස් ගඳට බනින්න හිතෙන්නෙත් නෑ... :) මේ ලස්සන දසුන බලන හැම වැහි දවසකම මගෙ හිත කියන්නෙම, අනේ මේ පොත් මිටිය විසි කරල දාල මටත් ඒ මැද්දට පැනගෙන නටන්න තියනවනම් කොච්චර හොඳද කියලයි.
ඕශෝ වෙලාවක මෙහෙම කියනව. දරුවන්ට වැස්සෙ තෙමෙන්න ඉඩ දෙන්න! ඒ වැස්සෙ ආස්වාදය, තෙමුනම දැනෙන සැහැල්ලුව නිදහස ළමා මනසට අහිමි කරන්න එපා කියලා. හෙම්බිරිස්සාව හැදුනම මොකෝ.... හැදුනොත් බේත් බොනවනෙ... :)
සුදු ගවුමෙ රැලි අතින් පිරිමැදල පුටුවෙ වාඩි වෙච්ච අතීතය මට මතක් උනා. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව ඕනෙ දූවිලි ගොඩක වාඩිවෙන මේ දඟයො දකිද්දි මට හිත කීවෙ අපි ඔය 'Neatness' හොයන්න ගිහින් කොතරම් ලස්සන අත්දැකීම් ගොඩක් අහිමි කරගෙනද කියල. හිත හඬා වැටෙනව දැන් නම් , ගෙවිල ගිය කමකට නැති , වැඩි පරිස්සම් ලමා කාලය ගැන. !
ඕශෝ.... මෙන්න මෙහෙට එන්න. ... අතීතෙට අපිව අරන් යන්න... වැහි දවසට , එකෙකුට ඉඩ දෙන්න එපා කුඩයක් ගේන්න ! :-)




