අතකින් අම්මාය , අතකින් මෙරමාය
මේ පොත මහත් අභිරුචියෙන් මා මිලට ගන්නේ Neranjan ලක්මාල්ගේ පෝස්ට් එකක් දැකීමෙනි.
මෙහි කතු තුමන්ගේ (පී බී ජයසේකර) බොහෝ පොත් මා කියවා නැතත් , මේ පොතෙහි මා දකින්නේ , එතුමන් සිය අත්දැකීම් බහුල , ජීවන දර්ශනය , බුදු දහම ඔස්සේ මැනවින් ගලපාගෙන ඇති ආකාරයයි . කිසියම් ආගමික දර්ශනයකැයි කියනවාට වඩා එතුමන් සර්ව ආගමික දර්ශනයන්ම එක සේ අදහන - පොදු පැවැත්මේ දර්ශනය / ස්වභාව ධර්මයේ ස්වභාවය මැනවින් ගලපා තිබෙනවා.
කතාවක් වශයෙන් ගත් කල , කතා වස්තු බීජය ඉතාම ආකර්ශනීයය. මෙහෙණි ආරාමයක හදා වඩා ගැනෙන දැරියන් දෙදෙනෙකුගේ අතීත ජීවිතය සහ වර්තමානය ගලපා ගන්නට ඔවුන් දෙදෙනා දරන ප්‍රයත්නය පොත පුරාම ප්‍රකට වෙයි. ඔවුන් දෙදෙනා හදා වඩා ගන්නා ලොකු මෑණියන්ගේ චරිතය කිය්වද්දී සිතේ ඇඳී මැකී යන්නේ , ජයසේන ජයකොඩිගේ අරලිය මල් ආරාමයේ රාහුල තෙරණුවනුයි. පොතේ ඇතැම් තැන් වල අරලිය මල් ආරාමය පොත් පෙලෙහි එන ජවනිකාවන්ගේ සෙවනැලි පෙනුනත් , එය , ජයසේන ජයකොඩිගේ සෑම පොතක්ම පස් හය පාරකට වඩා කියවා ඇති මගේ දෝශයක් විය හැකි බව සිතෙයි. පොත් දෙකක් සැසඳීම ආචාරශීලි නොවුනත් , ජයසේන ජයකොඩි කතු තුමන්ගේ රචනා ශෛලිය ඉතා කෙටි මෙන්ම , බොහෝ සිතුවිලි හකුලුවා පෙන්වන කෙටි විස්තර වලින් සමන්විතයි. මෙම පොතෙහි ඇතැම් කරුනු පැහැදිලි කිරීම් , ආත්ම විවේචන , ආත්මයෙන් කරන ප්‍රශ්න කිරීම් පමණට වඩා වැඩි හුවා දැක්වීම් ඇතැයි මට සිතෙනවා.
පොතේ මුල් භාගය අතිශයින්ම ප්‍රාණවත් මෙන්ම සජීවී ස්වභාවයක් ගත් නමුදු පොතෙහි අවසන් භාගය වන විට , නන්දුත්තරාගේ ආත්ම සංවාද , කතාව ලියා ඇත්තේ තුන්වන පාර්ශවයක ශෛලියෙන්මද යන්න සැක පහළ වෙන තරම්ම නන්දුත්තරාගේ කෝණයෙන් ආවරණය වී තිබෙයි. අනවශ්‍ය තර්ම් දීර්ඝ චිත්තාවලීන් එක් එක් අයුරෙන් නැවත නැවත ගෙන හැර දැක්වීමට ඉතා දීර්ඝ චේද වෙන් වී තිබීම , පොත අනවශ්‍ය තරම් දිගු කිරීමට සහ වෙහෙසකර බවක් ඇති කිරීමට පාදක වී තිබෙයි.
නමුත් කිය යුතුම දෙයක් නම් , මෑත කාලයේ ලියවූ රැළි නවකතා වලින් ඔබ්බට ගොස් , කතු තුමන් , ආගමික පදනමකින් ගෙතුනු , ඉතිහාස කතාවකුත් නොවුනු, රටේ කුල මල ගැනත් හුවා නොදැක්වුනු , නවකතාවක් ලියා සිය නිර්මාණය එඩිතරව එලි දැක්වීමයි. විශේෂයෙන්ම කතාවේ මුල් භාගයෙහි ඔහු දක්වා ඇති උපමා , රූපක , දහම සහ පරිසරය ගැලැපී යන ආත්ම සංවාද ඉතාම චිත්තාකර්ශණීයයි.
යලිත් පොතෙහි අග භාගයෙහි ඇති ගලා යාමේ අඩු පාඩුව , සහ අවසන් පිටු කිහිපයෙහි අනාවරණය කිරීමට යෙදෙන "මෙතෙක් පුල පුලා කියවන්නා බලා සිටින හෙලිදරව්ව" පාඨකයෙකු වශයෙන් මට දැනෙනුයේ "හිතුවාට වඩා බැරෑරුම් සහ සංකීර්ණ ප්‍රෙහෙලිකාවක්" ලෙසයි. පොත ආරම්භයෙහි නිසි වේගයෙන් නිදැල්ලේ ගලා ගිය භාවනාමය ස්වරූපය සමග කැලතූ නාට්‍යමය ස්වභාවය , එක් එක් ශෛලීන් වලින් අවසන් වී ඇති සෙයක් මම කියවන්නෙකුගේ ඇසින් දකිනවා. එය මගේ චිත්ත රූප කෙරෙහි යම් බාධාවක් ඇති කළ බවද නොකියා බැරිය. විශේශයෙන්ම , සෝදුපත් කියවා සංස්කරණය නොකළ කොටස් මෙන් අතිරික්ත රචනා ඛණ්ඩ පොතේ අග භාගයෙහි මට බහුල ලෙසක් දැනුනි.
පොතෙහි ඇති වාක්‍ය වල නොගැලපුනු තැන් එන්න එන්නම අවසන් හරියේදී වැඩිව ඇති නිසා බොහෝ දිගු චේද මගහැර කියෙව්වෙමි. ඇතැම් වාක්‍ය වාක්‍යාංශ හෝ මුල මැද අග නොමැති කොටස් ලෙස ඈඳා ඇතැයි සිතෙයි.
එහෙත් මට නම් , සමස්තයක් වශයෙන් ගත් කල ජීවිතය භාවනාවක් මෙන් නවකතාවක් හරහා පිරිසිඳින්නට කැමති ඕනේම පොත් කියවන්නෙකුට රෙකමදාරු කළ හැකි පොතකි. ( ඔබ ජයසේන ජයකොඩිගේ කතා ශෛලියට කැමති කෙනෙක් නම් මේ පොතත් එම ශෛලියෙන් ලියවුනු නූතන බෞද්ධ නවකතාවකැයි කීමට කැමැත්තෙමි )
අවසන් වශයෙන් කියමි. අනගි පොතකි. හැම පුන්චි දේකම පරිපූර්ණත්වය සෙවිය නොහැකිය. සිතේ ගැඹුරටම කා වැදුනු වැකියකින් මගෙ කුඩා සටහන නිමවමි
(උපුටා ගැනීම පහළින් )
"නන්දුත්තරා සිල් මෑණි, කෙනෙක් කියන දේ තරයේ විශ්වාස කරන්නට වෙන්නෙ, ඊට වඩා දැනුමැත්තෙක් වෙනත් අදහසක් නොදරන තාක් කල් විතරයි. අපේ හාමුදුරුවරු බණ කියනව. ඒ බණ ඇහෙන සීමාවක බුදු හාමුදුරුවො වැඩ හිටියා නන් , ඔය කියන බණ ඔයිට වෙනස් වෙනව"
( උපුටා ගැනීම අවසන්)
අතකින් අම්මාය , අතකින් මෙරමාය, පී බී ජයසේකර , පිටුව 310
ෆාස්ට් පබ්ලිශින් , 2019 , මිල : රු 550
මරිය සිලෝනිකා පොරගෙ හොඳම පොත නං මේක එඒ කිට්ටුවට වත් නැති එකක්
ReplyDeleteමංද මගෙ අදහස
ඔබේ රිවිව් එක අගෙයි