Thursday, April 22, 2021

[413] තව ටිකක් වැඩිපුර ජීවත් වෙමුද ? - හෘද සංවාද 44 Heart Talks


Video LInk : https://youtu.be/ptoA7raUw6s

ජීවිතේ අන්ත අසරණ වෙන සමහර  වෙලාවල් වලට වීරයෝ වුනත් පොඩි දරුවො වගේ අසරණ වෙනවා. දුෂ්ටයෝ අසරණයො වගේ අඩා වැටෙනවා. කොයි තරම් ගල් හිතක් වුනත් , හදවත ස්පර්ෂ කළ ආදරය වෙනුවෙන් වෙඬරු පිඩක් වගේ දියාරු වෙනවා.  අද මේ කියන්න යන්නේ, අඬන්නත් , හිනාවෙන්නත් , ආදරය කරන්නත් එක සේ වැයෙන දුර්ලභ බටහිර ගීතයක් ගැන...

ජේම්ස් බොන්ඩ් කියන්නේ නිකම්ම නිකම් සිනමාපට මාලාවක් නෙමෙයි. යුගයක් එකලු කළ, යුගයක තරුණ මහලු බාල  සිත්සතන් වීරත්වයෙන් පිස්සු වට්ටපු චරිතයක්.. ඉයන් ෆ්ලෙමින්ග් නම් ශ්‍රේෂ්ඨ කතුවරයාගේ හදවතේ මැවුනු අති ප්‍රබල සිනමා චරිතයක්. ජේම්ස් බොන්ඩ් චිත්‍රපට නරඹන අයට ඒක වෙනනන ආගමක් වගේ.. අද හෘද සංවාදය පිරිනමන්නෙ , ඒ වගේ ජේම්ස් බොන්ඩ් පිස්සෙක්ට.. ජේම්ස් බොන්ඩ් පොත් , කාර් , පින්තූර , චිත්‍රපට යනාදී එකී මෙකී නොකී හැමදෙයක්ම එකතු කරන මගේ ආදරවන්තයාට... 

ජේම්ස් බොන්ඩ් රහස් පරීක්ෂක කතා චිත්‍රපට පෙලේ  හයවෙනි ජේම්ස් බොන්ඩ් සිනමාපටය වන්නේ ඔන් හර් මැජෙස්ටීස් සීක්‍රට් සර්විස්  නම් වුන 1969 තිරගත වුනු චිත්‍රපටයයි. 

එතෙක් කල් ජේම්ස් බොන්ඩ්  චරිතයට පණ පොවපු ශෝන් කොනරි  කියන විශිෂ්ට රංගධරයා ජේම්ස් බොන්ඩ් චරිතයෙන් විශ්‍රාම ගත් පසු,  මේ on her majesty's secret service  කියන 6 වැනි සිනමාපටයට  තෝරා ගන්නේ ඉතාමත් ආධුනික නළුවෙක් ඔහු නමින් ජෝන් ලැසේනි.  

මේ සිනමාපටය ජේම්ස් බොන්ඩ් කතාමාලාවේ සුවිශේෂ නිර්මාණයක්. අති දක්ෂ රහස් පරීක්ෂකයෙකු වන ජේම්ස් බොන්ඩ් කුඩා දරුවෙක් මෙන් හඬා වැටෙන අනුවේදනීය දර්ශනයක් සහිත සිනමාපට කිහිපයෙන් එකක්. මේ සිනමාපටයේදී ,  ජේම්ස් බොන්ඩ්,  ට්‍රච්ය් හෙවත් තෙරේසා කියන රූමත් තරුණිය එක්ක ආදරයෙන් බැඳෙනවා. හැබැයි ඒ ට්‍රේසිගෙ පියාගෙ කොන්තරාත්තුවකටයි. නමුත් චිත්‍රපටයේ මැදට යද්දී , ඔහු තමන්ගෙ සේවා දායිකාව එක්ක අවංකවම ආදරයෙන් බැ‍ඳෙනවාඅ. සමහර ආදර කතා , නාමික මුණ ගැසීමකින් ඇරම්ම්බිලා , සැබෑ ආලයටම පෙරලීමෙන් , වෙන්වීමේ වේදනාව උරුම වෙනවා. ඉතින්  කතාව කෙටියෙන්ම කිව්වොත් ජේම්ස් බොන්ඩ් තමන්ට පැවරුණු රහස් පරීක්ෂක කාර්යයේ සාර්ථකත්වය දකිමින්, සිය දිවි දෙවෙනි කොට කැපවූ ‍රැකියාවටත් සමුදී ,  තමන්ගේ ආදරවන්තිය ට්‍රේසි බොන්ඩ් එක්ක විවාහ වෙනවා. පෘතුගාලයේ පාරක් අයිනෙ නවත්වලා තමන්ගේ මංගල රථයෙ මල් දම් ඉවත් කරද්දී, ඔහුගේ ප්‍රතිවාදියා තැබූ වෙඩි පහරින් , මනාලියක් වුණු උණුසුමින්ම ඒ මංගල ඇඳුම පිටින්ම ට්‍රේසි බොන්ඩ් මිය යනවා.  මේ මොහොත මා හිතන්නේ ජේම්ස් බොන්ඩ් රසිකයින්ට හරිම අනුවේදනීය, අමතක නොවෙන දර්ශනයක්.  මේ දර්ශනයේදී පසුබිමින් වැයෙන ගීතයේ මෙන්න මෙහෙම කියනවා... 

"We have all the time in the world"

මේ ගීය ගයන්නෙ , ලූ ආම්ස්ට්‍රෝං . දැන් ඔබ ඒ කවුද කියා දන්නවා.  වට් අ වොන්ඩර්ෆුල් වර්ල්ඩ් කියන අති සුන්දර ගීතය ගායනා කරන්නේ ඔහුයි. ඔහු ගායනා කරන මේ වී හැව් ඕල් ද ටයිම් ඉන් ද වර්ල්ඩ් කියන අති සුන්දර ගීතය ජේම්ස් බොන්ඩ් කියන වීරයාගේ ජීවිතයේ අනුවේදනීය වෙන්වීමක් සටහන් කරනවා. on her majesty's secret service  කියන ජේම්ස් බොන්ඩ් සිනමාපටය පුරාවටම ඇදෙන පසුබිම් සංගීතයත් , චිත්‍රපටයෙ  අවසාන දර්ශනය - ට්‍රේසි බොන්ඩ්ට වෙඩි වැඩී මිය යන මොහොත මේ ගීතයෙන් අවසන් වෙනවා.  

1969 මුදාහැරුණු මේ සුන්දර ගීතය රසික සිත් පැහැරගන්න සමත් වෙන්නෙ නෑ. නමුත් 1994 , ඒ කියන්නේ හරියටම අවුරුදු විසි පහකට පස්සේ බියර් ප්‍රචාරක දැන්වීමක යොදාගත් මේ ගීතය නිසා මේ ගීතය රසිකයින් අතර මහත් සේ ජනප්‍රිය ත්වයට පත් වෙනවා.  ලෝකයේ විවාහ මංගල්‍ය උත්සව වල වැඩියක්ම වාදන වන ගීත අතරින් තුන්වැනි ස්ථානයේ රැඳෙන්නේ ංංං ගීතයයි. 

එක අතකින් ඒක හරි පුදුමයක් නේද? තමන්ගේ ආදරවන්තිය මිය යද්දී අඩා වැලපෙන ජේම්ස් බොන්ඩ් ජවනිකාවක තිබූ මේ ගීය , පසුකාලීනව සුවහසක් මිනිසුන්ගේ ජීවිතයේ සොඳුරුතම  දිනය වර්ණවත් කරන්නට යොදා ගන්නවා. ඒකත් හරියට දෛවයේ සරදමක් වගෙ නේද? ආම්ස්ට්‍රෝන් වැනි ගායකයෙකුට මිසක් ලෙහෙසි පහසුවෙන් කිසිම කෙනෙකුට දුක සහ සතුට දෙකම දැනවෙන විදිහට ගීතයක් ගායනා කරන්නට නම් බැරි බව මේ ගීතයේ සංගීතය නිර්මාණය කළ ජෝන් බැරී පවා පවසනවා

ගායකයකු පමණක් නෙවෙයි ට්‍රම්පට් වාදකයකු වුන ආම්ස්ට්‍රෝන්,  මේ ගීතය පටිගත කිරීමට පැමිණෙන්නේ ඉතාමත් රෝගාතුරව. ඉතින් ඔහු මේ ගීතය ගායනා කරන්නේ තමන්ගේ ශාරීරික වේදනාවන් යටපත් කරමින් ඉතාමත් අපහසුවෙන්.  ඒ විතරක් නෙවෙයි ඔහුට එදා ටෘම්පෙට් එක වයන්නට තරම් ශරීර ශක්තියක් නොමැති නිසා මේ ගීතයට ට්‍රම්පට් වාදනය කළේ , සංගීතය නිර්මාණය කළ ජෝන් බැරීම බවත්  සඳහන් වෙනවා. ඒ ට්‍රම්පට් වාදන කොටස මේ ගීතයට කොච්චර වර්ණයක් එක් කරනවද කියලා , පහත කොමෙන්ට් එකේ තියන ලින්ක් එකෙන් ඔබට ගීන් බලන්නට පුලුවනි..

අපිට ඕනෑ තරම් කල් තිබෙනවා 

ජීවිතයේ රස මුසු තැන් ආදරයේ සුන්දර මතක දිගහරින්නට 

අපිට ඕනෑ තරම් කල් තිබෙනවා


අපිට ඕනෑ තරම් ආදරය 

හිතේ පිරී තිබෙනවා 

ඒ තරම් ආදරයක් හිතේ තිබෙනවානම් 

අපට වෙනත් දේවල් කුමටද


ජීවිතයේ ඉන් එහාට ගෙවන හැම පියවරක්ම 

තබන හැම පියවරක්ම 

අප දෙදෙනා එකටම යාවි.. 

ලෝකය අප දෙස බලා සිටියාවේ... 


ආදරෙන් පිරිච්ච ජීවිතයක් 

අප ඉදිරියේ බලා සිටිනවා 

ලෝකය දකින්නට ජීවිතය විඳ ගන්නට 

අපට දැන් ඕනෑ තරම් කල් තිබෙනවා


සිය ‍රැකියාවත් කැපකොට , ට්‍රේසි වෙනුවෙන් ජීවිතය විඳින්නට මංගල ගමන පිටත් වන ජේම්ස් බොන්ඩ් , තමන්ගේ ආදරවන්තිය අලුත් මනාලියගෙ මල සිරුර  දෑතෙහි රඳවාගෙන, අවසානයට මේ වදන් මුමුණනවා.  ජීවත්වීම සඳහා හෝ මරණින් මතු එක්වීම සඳහා අපට ඕනෑ තරම් කල් තිබෙනවා යැයි ඔහු පවසන්නේ කුමක්දැයි තීරණය කිරීම අපටම බාර වෙනවා. 

නමුත් ජීවිතයේ තරගයෙන් දුවලා දුවලා හති වැටුණු මිනිස්සුන්ට මා අවසාන වශයෙන් එක දෙයක් කියන්නම්. 

 ජීවත්වීම සඳහා අපට ඕනෑ තරම් කල් තිබෙනවා , දුවන්නට තරම් මේ ජීවිතය කෙටි නෑ . 

කෙනෙකු මා සමඟ විරුද්ධ වේවි. නෑ ජීවිතය කෙටියි.  අපට ලබාගන්නට දේ බොහොමයි . එසේ සිතනවානම්  මම පුදුම වෙන්නේ නෑ . 

ජීවත් වෙන්නට ඕනෑ තරම් කල් සොයාගන්න තරගයෙන් මිදුන මිනිසුන් හරිම අල්පයි. ඔවුන්ට ඔබ දන්නවද ජීවත් වෙන්න ඕනෑ තරම් කල් තිබෙනවා, ජීවිතේ මොහොතින් මොහොත විඳ ගන්නට තරම් ජීවිතය ඔවුන්ට දිගයි... මොකද එය ගෙවෙන්නෙ හෙමින් නිසා... 


We have all the time in the world

Time enough for life to unfold

All the precious things love has in store


We have all the love in the world

If that's all we have, you will find

We need nothing more


Every step of the way

Will find us

With the cares of the world

Far behind us


We have all the time in the world

Just for love

Nothing more, nothing less

Only love


Every step of the way

Will find us

With the cares of the world

Far behind us, yes


We have all the time in the world

Just for love

Nothing more, nothing less

Only love

Only love


Song Link  : https://www.youtube.com/watch?v=RMxRDTfzgpU

James Bond Last scene : https://www.youtube.com/watch?v=hgndOK2zuY0 

BackGround Music in Video 

Reaching Out Kevin MacLeod (incompetech.com)

Licensed under Creative Commons: By Attribution 3.0 License

http://creativecommons.org/licenses/by/3.0/

Music promoted by https://www.chosic.com/

No comments:

Post a Comment

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->