හෘදයාංගම ඉල්ලීමක්
මගේ හිතවත් මිතුරු මිතුරියන්ට ......
ලොකු මහත් වුන දූ පුත්තු ඉන්න ඔබ
අද ජීවිතේ බලන්නේ
වෙන කෝණයකින් වෙන්න ඇති
තවමත් ජීවිතේ තුරුණු සිතැතිව ඉන්න මා
ඔබෙන්
ඉල්ලීමක් කරන්නම් .....
කවම කවදාවත්
ආදරේ කරන හිත් දෙකක්
බිඳින්න
හිතන්නවත් එපා.
මගේ ගොඩක් යාලුවෝ
දැන් ලොකු දරුවො ඉන්න
අම්මලා තාත්තලා...
ඔබෙන් මම ඉල්ලන්නේ....
කිසිම දවසක
තමන්ගේ දරුවන්ගේ
අහිංසක ආදරේකට
අදිසි හස්තයක් වෙන්න එපා...
නිදැල්ලේ ගලන
අහිංසක පුංචි දොළ පාර
කාටවත් හිරිහැරයක් නෑ...
දොළ ගලන සද්දෙ
උහුලන්න බැරි ඔබේ හිතට
ඒ දොළ පාර පලි නෑ...
පයින් මඩ කරලා කවදාවත් ඒ දොල පාර
මඩ වගුරක් කරන්න එපා....
කොච්චර දිය ඒ මතුපිටින් ගැලුවත්
මඩවගුරකට ආයිත්
කවදාවත්ම බෑ....
නිසංසල දොළ පාරක් තරං
හැඩ වෙන්න....
වැඩිම උනොත් ඕනිම නම්
ගැඹුරු නිසල විලක් වේවි....
කවමදාවත්
අහිංසක ආදරේකට
වැට අහුරන්න එපා....
හිර කරන්න එපා....
හැදීගෙන එන කුරුළු කූඩු
සුණු විසුණු කර දාන්න එපා....
මොකද ආදරේ කරපු හිත්
වෙන්වෙලා
ඒ විනාසය නවතින්නෙ නෑ....
කැඩපත හැමදාම උදේට
ඔබත් එක්ක තරහ වේවි ....
ඒ ආදරේ මතක නම්
අතීතයක් වෙලා මැකිලා යාවි.
ඒත්,
මතක වෙන්න තිබ්බ ,
කවදාවත් ඉටුනොවුන
සිදුවීම් , සුන්දර නිමේශ
අදටත් ඒ හිත් වල නින්නාද දෙනවා ඇති !
නොවෙලුනු අතිනත්
අදටත් මනසින් මංගල අෂ්ටක අසනවා ඇති
පොරු මස්තකාරූඩ නොවුන
මනාලියක් ,
තවමත් , සිතෙන් ,
අත පැන් වත් කරනවා ඇති
නූපන් දරුවන් හඬන
පුංචි නිවහනක්
කිරි උතුරවා
ඉඳුල් කරනවා ඇති
නූපන් දරුවන්ට
නම් තියනවා ඇති
නලවනවා ඇති
අතිනත් පටලාගෙන
තනිවෙන්නට හීන දැකපු
ඒත් යතාර්ථයක් නොවුන
හීන වල
ඒ බිඳුනු (බාගදා මැරුණු) හිත් ...
අදටත්
මැරි මැරී ඉපදෙමින්
ජීවත් වෙනවා ඇති....
තාමත් ඒ ආදරවන්තයින්ගෙ ,
ආදරේ උණුසුම,
ජීවත් වෙනවා ඇති....
අඩු ගානේ දෙන්නාගෙන්
එක්කෙනෙක් හරි.....
මැරි මැරී ඉපදෙනවා ඇති...
ආදරේ දිහා රවල බැලුවොත්
ආදරේ ඔබට රවන එක
නතර කරන්න කාටවත්ම බෑ
ඉතින් කවම කවදාවත්
අනුන්ගේ ආදරේකට නම්
රවල බලන්න හිතන්නවත් එපා
ඔබට ඔබ හැරෙන හැරෙන අත
කැඩපත් පෙනේවි
ඔබ කොතරම්
කැඩපතට සිනහසුනත්, හැඬුවත් , රැවුවත්...
කැඩපත් දහසක්
ඔබ වටේ
රැවුම් දහසක් මවාවි ....
දෙහිතක් බිඳින්නට තරම් නපුරු වුන
ඔබ රැවූ එකම එක රැවුම
කැඩපත් දහසකින්
ඔබ දෙස රවා බලනු ඇති....
2021 - 08 - 27 Dilshara Weerasinghe
Note:
මා මේ සිදුවීම ලියන්න පාදක වූ සියලු කතා ඔබ ඉදිරියේ කියන්න යන්නේ නෑ.
හැම දෙනාටම මම මීට වසර දහතුනකට පෙර කොලඹ ආසිරි රෝහලේ දුටු සිද්ධියක් කියන්නම් . ඒ මනෝ වෛද්යවරයෙකුගේ ප්රතිකාර කාමරයක් ඉදිරිපිට දුටු දෙයක්. අවුරුදු දහසයක පමන සුන්දර දැරියක් කෑගසමින් විලාප දෙනවා. මුලු රෝහලම ඇගේ කෑගැසීමට දෝංකාර දෙනවා. අහන් ඉන්න , හදවතක් ඇති කිසිම කෙනෙකුට ඒ වේදනාව දරාගන්නට බෑ. මටත් කඳුලු නවතාගන්නට බෑ.
"ඔයාලා ඇයි මට එහෙම කලේ........ මාව කොහේද ගෙනියන්නේ, අනේ මට එයාව ගෙනත් දෙන්න....... මට එයා නැතුව ඉන්න බෑ..... " මේ පුංචි කෙල්ල මර හඬ තලනවා.... ඇත්තටම හිත හිරිවැටෙනවා... අනේ අපේ පුචි අහිංසකිය , ඔහුට කොතරම් නම් ආදරය කරන්නට , බැඳෙන්නට ඇද්ද? ඇගේ විලාපය හද කකියන විලාපයක්. ...
භෞතික මිය යාමකට වඩා ආධ්යාත්මික මරණයක් කොතරම් වේදනාකාරීදැයි අහන්නට ඔබ ඇත්තටම එතැන ඉන්නට තිබුනා. ඈ විලාප දෙමින් අඬනවා. අවසානයේදී ඇගේ දෙමාපියක් , කිසිදු හිතක් පපුවක් නැත්තන් සේ , ඔවුන්ව නාදුනන එතැන රැස්වී සිටි පිරිස දෙනෝදාහක් කඳුලු සලද්දි , අර අහිංසකිය , මනස වියවුල්ව , පටාචාරාවක මෙන් , සිය ඇඳිවත පිලිබඳවත් සිහියක් නැතුව , බිම වැටී , සිය පෙම්වතා ඈ ලඟට ගෙනැවිත් දෙන්නැයි විලාප තියන ඒ ලඳ බොලඳ පටාචාරාවිය , කුණු මාලු කැබැල්ලක් මෙන් බිම දිගේ ඇදගෙන ගෙන ගොස් ඔවුන්ගේ වාහනයට වදෙන් පොරෙන් දමා ගන්නවා.... ඒත් අවිහිංසක ඇගේ වියෝවේ වේදනාව දරාගත නොහැකි වූ විලාපය අදටත් මට එලෙසින්ම ඇහෙනවා...
බාගදා ඔහු දුප්පත් ඇති. බාගදා ඔහු රස්තියාදුකාරයෙක් හෝ කුඩ්ඩෙක් හෝ වෙන්න ඇති. බාගදා ඔහු අබ්බගාතයෙක් වෙන්න ඇති. බාගදා ඔහු මිය ගිහින් ඇති. බාගදා ඔහු ඈ හැරයන්න ඇති. බාගදා ඔහුට වෙන ගැහැණියක් ඇති.....කවුද දන්නේ.... දන්නේ ඇයයි ඔහුයි පමණයි. ඒත් ඒ වෙන්වීම ඔවුන්ගේම තීරණයක් වුවා නම් , ඈ මෙතරම් යාදිනි කියමින් පටාචාරාවක් මෙන් බිම අත් ගසමින් වැලපේවිද? මේ අහිංසකිය විඳින මේ මරණිය වේදනාව දිහා , තමන්ගේ මාන්නක්කාර හැඟීම් විරහිත දැස් වලින් , ලැජ්ජාව පෙරදැරිව , දෙමාපියන්, ඇයව කුණු මාලු කෑල්ලක් මෙන් බිම දිගේ ඇදගෙන ගොස් වාහනයට ඔබා ගන්නවා.
විස්වාස කරන්න හිතවතුනි ... අද මම මේ ලියන මොහොතේත් එදා මට දැනුණු වේදනාවෙන්ම කඳුලු වගුරමින් අඬනවා... ඒ මතකය එතරම්ම වේදනාවක්.... එතරම්ම දරුණු බිඳුමක් !.... ඇගේ දුක හරියටම දැනේවි , ජීවිතේ කවම කවදා හරි ඔබත් , එහෙම දෙයක් විඳවලා මැරි මැරී ඉපැදී ඇත්නම්. දෛවයේ සරදමකට , තම ඇසුරේ සිටියවුන් අතින්ම පණ පිටින් ආත්ම ඝාතනයට මුහුණ දී ඇත්නම්. ජන්මාන්තර වෛරී පලිගැනුම් පූර්ව ජන්මයෙන් රැගෙන ආ කෝන්තර වල , ඔබ අවිහිංසක ගොදුරක්ව , මුලුමනින්ම බිඳී ඇත්නම්... බිඳීම යනු , ඇට මිදුලු අස්ථි බිඳුමකට වඩා දරුණු බව දන්නේ එය විඳි කෙනෙක්ම පමණයි.
ඔබෙන් මම එක දෙයක් අහන්නම් . ඒ වෙන් කිරීම , ඒ දෙමාපියන්ගේ ජයග්රහණයක් වෙන්න ඇති. දවසක ඔවුන් කියාවි , අපි ඒක කලේ එයාගේ හොඳට කියලා. දරුවන්ට ආදරේට එහෙම කළ බව කියාවි. සමහර විට , ඕක එයාට ටික දවසකින් අමතක වෙලා යාවි ... එහෙම කියාවි.... ඒත් .. ඒත්... ඒ තරම් විප්රයෝගයක් විඳි අර අහිංසකිය , ඇත්තටම , එයින් මතු , සාමාන්ය ගැහැණියක් , සාමාන්ය බිරිඳක් , මවක් වේවිද? දෙමාපිය ඔබටම මම ඒ තීරණය භාර දෙන්නම්. එවැනි දැඩි මානසික අවපාතයකට ගොදුරු වූවෙකු , බෝම්බයකට හසුවූවෙකුගේ කම්පණයකින් නිරතුරු ජීවත් වේවි. ඒ කම්පනය පර්ම්පරා ගානක් ඉදිරියට අනුනාද වේවි....
එකක් සහතිකයි. එවන් වෙන්වීම් දරා සිටි බොහෝ දෙනෙක් මේ ගිණුමේ මේ පොස්ට් එක කියවන අතරේ නැතුව ඇති... එහෙමත්ම හිතකට ඇරුනාම , බිඳුනු ජීවිතයක් ඉදිරියට ගෙනියන්න හයියක් නෑ. එක්කෝ බිඳුනු තැනට ලෝදිය වත්කොට උණු කොට එහි ඇට මස් සම් නහර ගලක් මෙන් සවි විය යුතුයි. නමුත් ..... එලෙස බිඳුනු , සෙසු බොහෝ අය ඒ ආත්මයට මේ වෙන විට සැනසීමක් දෙන්න තීරණය කරලා යන්න ගිහින් ඇති. ඒත් ඒ ඉන්නා තැනකවත් සැනසීමෙන් නැතුව ඇති.
ඉතින්
කවදාවත්ම
"දෙමාපියන්ගේ ආදරේ" කියන පලිහෙන්
දරුවෙක් මුවා කරගෙන ,
"මාන්නයේ" කිණිස්සෙන්,
ආදරේ කරන හිතකට
අනින්න එපා....
හිත විතරක් මැරුනාම
ඒක භෞතික මියයාමකට වඩා
දහස් ගුණයක් දරුණුයි...
එහෙම කරන්න
ඔබත් හවුල් වුනොත්
සංසාරයේ ඉන්න තාක්
කවදාවත්ම
කැඩපත
ඔබ එක්ක
හිනා වෙන එකක් නෑ.......
No comments:
Post a Comment