Thursday, April 15, 2021

[412] හෘද සංවාද - Heart Talks - 43 - දෙවියන් ඉන්නෙ ගස් උඩද ?



ජීවිතේ පිරිල තියෙන්නෙ ම තෝරා ගැනීම් වලින්අ..පේ සමහර තෝරාගැනීම කරද්දී තව පාර්ශව ගණනාවකගෙ අහිංසක හිත් වලට අල්ප හෝ වේදනාවක් ගේන බව ඔබට දැනිලා තියෙනවද? එහෙනම් සතුටු වෙන්න.. ඔබ අතින් අතපසු වීම් සිදු වුනත්, ඔබ හැඟීම් දැනීම් තියෙන, අනෙකාගේ දුක දැනෙන මනුෂ්‍යයෙක් ..

මේ කතාවේ ඉතුරු ටිකට ඔබ සංවේදී වෙනවා ද නො වෙනවද කියන එක ඔබටම ඔබ ගැන ස්වයං තීරණයක් ගන්න අවස්ථාවක්...

ඔබ දන්නවනේ... අපි ඉන්නේ ඉහළ මාලයේ පුංචි අපාර්ට්මන්ට් එකක... ඒත් ඉතින් උඩ තට්ටුවෙ පුළු පුළුවන් හැටියට අපි පුංචියට වවාගෙන තියෙනවා,  කිව්වට විශ්වාස කරනවද, එළවළු පලතුරු බෙහෙත් පැල හැත්තෑවකට වැඩිය එකතුවක් ... හිතා ගන්න පුළුවනිනේ .. වතුර දාන්න ගියාම පැයක් හමාරක් යනවා.. ඒ විතරක්ද පස් මාරු කරන්න,  පොහොර දාන්න,  අලුත් පැල ඒ වගේම පස් බෑග් අරන් එන්න.. වැඩ කෝටියයි....  ඉතින් පැල ගැන උනන්දුවක් නොතිබ්බ මට, එයාගේ මේ වැඩ, මුලදී නම් හරිම අරුමයක්.. ගමනක් ගියොත් පාර අයිනේ හරි දකින පැලයක් අතු කෑල්ලක් උස්සගෙන එන එක වරදින්නේ ම නෑ.. 

ඒත් කවම කවදාවත් එයාගේ "පැල පිස්සුව" විකාරයක් හැටියට වත්, වැඩකට නැති දෙයක් හැටියට වත්, මට පෙනුනෙ නෑ,, ඒ  වෙනුවට, එයාගෙ ගෘහස්ථ පැල සංග්‍රාමයට මමත් එකතු වුණා. දැන් මේ පැල දරුවොන්ට අපි දෙන්න විතරක් නෙමෙයි, අපේ යාලුවෝ නෑදෑ හිතමිතුරොත් ආදරේ කරනවා.. කොළ පාටින් පිරුණ මේ උඩු මහලට රිංගුවාට පස්සේ ඇත්තටම දැනෙන්නේ නැහැ අපි ඉන්නේ ඉන්නේ ගාලු පාර අයිනේ කියලා. ඉතිං පැල බබාලට වතුර දාන එක, එහෙන් මෙහෙන් උස්සන් එන අතු කෑලි පැල කරන එක, පැල තියන තැන් වෙනස් කරන එක, ආදී දේවල් වලින් අපි දෙන්නගෙ නිවාඩු දවස පිරිලා තියනවා.. හැබැයි එදාට දෙන්නත් එක්ක එකතු වෙලා පස් නාගෙන මඩ ගාගෙන ඒ කාල වේලාව ගෙවන්නේ හරිම සන්තෝසෙන්.. ඒක පුදුම නිරාමිස ප්‍රීතියක්. ජීවිතේ සරල ප්‍රාථමික මානවයාගේ පුරුදු වලින් ඈත් වුන තරඟකාරී  ජීවිතේ,  දුවන වේගය අඩු කරන්න , කෙනෙකුට හිත හදා ගන්න හරිම අමාරුයි. මොකද අපි හිතනවා අපි ඉපදිලා ඉන්නෙ ඒ තරගය, ඒ දිවිල්ල ඒ සාර්ථකත්වය කියලා කියන මායාව පසුපසම දුවන්න කියලා.  ඒත් දුවන ගමන් අපි හැමෝම හදවතින් ප්‍රාර්ථනා කරන්නේ එයින් නැවතීම නෙමෙයිද? ඒ ගිමන් හැරීම නෙමෙයිද? ඒ සැනසුම නෙමෙයිද ?

ඉතිං අපි එක්කම, අපේ අවබෝධය, ආදරය එක්කම, අපේ පැල දරුවො මෝරනවා. මල් පිපෙනවා, අල බහිනවා,  සමහර පැල වියපත් වෙලා මැරිලා යනවා,  සමහර පැල අකලට මැරෙනවා, ඒ පෝච්චි වලට අලුත් පැල හිටවනවා, දළු දානවා .. මේ  සංසාර චක්‍රය අපි උපේක්ෂාවෙන් බලා ගෙන ඉන්නවා.  ඒ උපේක්ෂාව කොයිතරම් තිබුනත්,  අපි මේ පැළ නොසලකා නොහැර ආදරය උවමනාවටත් වැඩියෙන් ඒවට දෙනවා. සොබා දහමට ළං වෙනවා කියන්නේ නිවනට ළං වීමට සමානයි කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඒ නිසයි. ඉතින් සොබාදහමට ආදරේ කරනවා කියන්නේ ලස්සන භූමි දර්ශනයක් දිහා ගොඩ වෙලාවක් බලාගෙන ඉඳලා හිත සතපවා ගන්න එක පමණක්මද?  පොඩ්ඩක් අතේ පස් ගාගෙන, පොඩ්ඩක් එහෙන් මෙහෙන් මදුරුවො හෝහපුටුවො කන එක ඉවසගෙන, කකුලේ මඩ ටිකක් තවරගෙන, ඒ ගහ කොළ අතපත ගාන එක... කොතන හරි පුංචි පැලේකට වැඩෙන්න අපි ඉඩක් හදල දෙන එක, සොබාදහමට ලන්වෙන්න කොච්චර හොඳ ක්‍රම අත ගාවම තියනවද ? ගහකට වැලකට කවුද මේ ලෝකේ අකමැති වෙන්නේ ! ගහකින් කොල වැටෙන එක, අතු පාහින එක, මදුරුවන් බෝවෙන එක, පැල වවන එක, ඒවට වතුර දාන එක, ඒක මහ වදයක් කරදරයක් හැටියට දකින සිතක් ඔබ හිතනවද නිවනට ලං වේවි කියලා?  බුදුන් වහන්සේට අනුව නම් නිර්වාණයේ බොහෝ ස්පර්ශක තියෙන්නෙ මේ සොබාදහමේ ස්වභාවිකත්වය ලග. ඒ සොබා දහමත් එක්ක මුසු  වෙන්නට සංසාරේ පෙර පින තියෙන්න ඕනේ . සාංසාරික පුරුද්දක් හැටියට ගහකොළට ආදරයක් හිතේ වැඩෙන ඕනේ.. 

මගේ ආදරවන්තයා ආදරේ කරන පුංචි පැළෑටියකට, මං ආදරේ කරන එකම, ඔහු ගැන මගේ හිතේ පැල වුණ ආදරය තහවුරු කිරීමක්.. ඔහුගේ සමහර පුංචි විනෝදාංශ මට හරියකට වැටහෙන්නේ නැති තරම් තාක්ෂණිකයි.  ඒත් එක මොහොතකින් නිමේෂයක් වත් මම කිසිම දවසක ඔහු ආදරේ කරන ඔහු පෙම් බඳින දේවල් වලට තරහා වෙලා නෑ, ඒවත් එක්ක වෛර බැඳලා නෑ. මොකද මම දන්නවා ඔහුයි මමයි කියන්නේ වෙනස් ජීවීන් දෙදෙනෙක් කියන එක. මම ගැහැණියක්,  ඔහු පිරිමියෙක් අප දෙදෙනා ආවේ වෙනම පරිසර දෙකකින්. අපි දෙන්නට අපිටම ආවේණික අතීත කතා තියෙනවා. ඒ අතීත කතාවල දුක කඳුළ සතුට  වේදනාව මේ හැමදේම පිරිලා තියෙනවා.  අපට ආවේණික වර්තමානයක් තියෙනවා. අන්න ඒ විවිධත්වයට එකිනෙකාගේ වෙනස් වෙනස් තෝරා ගැනීම්වලට උදව් පදව් කරගන්න එකත්, ඒවට උපේක්ෂාවෙන් සහයෝගය දෙන එකත්, ඒවාට උඩගෙඩි දුන්නම , ඒවායින්ම  සිද්ධ වෙන පුංචි පුංචි අපහසුතා මහා ලොකු ප්‍රශ්න හැටියට නොදකින එකත්, ඒ අපහසුතා සතුටින් ඉවසන එකත් , නැති හදවතකින් කුමන පලක් ද ? ආදරය කියන්නේ හදවතින් පැනනගින සිතුවිල්ලක් මිසක් , මොලෙන් තර්කණයෙන් , සමීකරණ වලින්, ගණන් වලින් විසඳිය හැකි තාක්ෂණික ගැටළුවක් නෙමෙයි .. තමා කෙනෙක්ට ආදරය කල යුත්තේ ඒ වෙනුවෙන් විශේෂ ගෞරවයක් බලාගෙන නෙවෙයි. ආදරය කිරීමෙන් ඔබ උත්තරීතර උසස් කෙනෙක් වෙන්නෙ නෑ. ආදරය කිරීමෙන් ඔබ අමන හිතක් නැති , ඇට මස් ලේ තියෙන පුහුදුන් මනුෂ්‍යයෙක් බවයි පසක් කරන්නේ. ආදරය නැති හිතකින් බෙදන දැනුමවත් , අවවාදවත් , උපදෙස්වත් තවත් පණ නැති වචන ටිකක් විතරමයි. ආදරයට ප්‍රශ්න හෝ උත්තර කියන දේවල් මහා ලොකු ගැටලු නෙමෙයි.  ඉතින් අපේ ආදර කතාවේ ගොඩක් සන්ධි ස්ථාන වල, මහ පොළවෙන් පරිස්සමෙන් අහුලගත්ත , පුංචි අතු කෑලි අද අපිටත් වඩා උස ගිය හයිය හත්තිය තියෙන පඳුරු වෙලා.. අපේ ගෙයි තැන තැන අරක් ගෙන ඉන්න හැම පැලේක පිටිපස්සෙම , අපිට ආදරේ කෙනෙක් නොමසුරුව දුන්නු හොඳ හිතක අටීත කතාවක් තියනවා.  හිතාගන්නත් අමාරු තරම් මමත් දැන් ඒ කොළ පාට ලස්සනට පෙම් බඳිනවා. සමහර වෙලාවට මගේ ආදරවන්තය ටත් වඩා ගහක් මුලින් උදුරන්නට පැකිලෙන්නේ මම. 

දැනුම , විෂය  කරුණු, විශ්වය, සමීකරණ, ඥාණය ගොඩගහගන්න එක, කවම කවදාවත් විමුක්තියට මාර්ගයක් නොවෙන බවත්, ජීවිතේ හැම පෘතග්ජනයෙක්ම දවන අසහනයට පිළියමක් නොවන බවත්, සිතේ සාමය ගෙනෙන ඔසුවක් නොවෙන බවත්, දේශනා කරන්නේ බුදුන් වහන්සේ. කිසිම දවසක මානයෙන් උදම් වීම සඳහා, තමා කෙරෙහි අනවශ්‍ය සුවිශේෂත්වයක් ගොඩ ගසා ගැනීම සඳහා, සමාජයෙන් විශේෂ පුද සැලකිලි සත්කාර පිරිනමා ගැනීම සඳහා, දැනුම ආයුධයක් නොකරගන්නා ලෙස බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ වෙනුවට තමන්ගේ සිතුවිලි දෙස බලාගෙන තමන්ගේ සිත ක්‍රියා කරන හැටි උපේක්ශාවෙන් දකින එක භාවනාවක් කරගන්නැයි බුදුන් වහන්සේ ඉල්ලා සිටිනවා. කොටින්ම කීවොත් , ආරාම පිළිම ගස් ගල් හෝ පූජකයන් වන්දනා කරනවට වඩා, තපෝ වන ආරාම වන උයන් රෝපණය කරන්නා මහත් වූ කුසලයක් රැස්කර ගන්නා බව බුදුන් වහන්සේ දේශනා කරනවා. නමුත් බුදුන් වහන්සේ කිසිම තැනක තමන්ගේ සුව පහසුව උදෙසා මේ හරිතවර්ණ පණ තියෙන ආදරණීය හුස්ම ගන්න ගහකොළ මුලින් උදුරා විසි කොට දමන්න යැයි  කිසිම දවසක සඳහන් කරලා නෑ.

ගහ කොළට ආදරය කරනවා කියන්නේ ඒ දෙස බලාගෙන අනිමිසලෝචනය කිරීම පමණක් ද? අතපය හතර තියෙන මිනිසුන් වශයෙන් ඊට වඩා පුංචි හෝ දෙයක් මේ ලස්සන සොබාදහමට ඉෂ්ට කරන්නට ඕනෑ තරම් ඉඩකඩ තියෙන ජීවිතවල අපි හැමවෙලාවෙම කාර්යබහුලයි කියන්නට තරම් කාර්යබහුලත්වයක්, වේගයක් ,තියෙනවද? එහෙම අසහනයෙන් ගෙවන ජීවිතේ සිතේ සාමය තියෙන්නෙ කොතැනද ? මතුපිටින් බොහොම නිසල බව පෙනුන , ඒත් පතුළෙ විශාල දිය සුළි කැරකෙන මහ මුහුදක් වගේ ඔබේ වෛරය සැකය ද්වේශය අසහනය නොසැනසීම, නින්ද නැති බව, වේදනාවල්, අසන්තෝෂය, සුළි වගේ කැරකෙනවා නම්, ඔබට මම ඒ රෝගය හොඳ කරගන්න එක බෙහෙතක් කියන්නම්.

ඔය මානසික කූඩුවෙන් මිදිලා සොබාදහමේ දරුවෙක් හැටියට පය ඔය කූඩුවෙන් එළියට තියන්න. ගහක් යටට යන්න. එතැන තියෙන සිසිල විඳ ගන්න. එළියට බැහැලා හුලං පාරක් ඇගේ වදින්න ඉඩ දෙන්න. ගඳ සුවඳ අව් රැස් මේවා ටිකක් ඇගේ තැවරෙන්න අවස්ථාවක් දෙන්න. එතකොට ඔබට දැනේවි ඔබ සොබාදහමේම කොටසක් කියලා. සඳලු තලයෙන් පෙනෙන සොබාදහමට වඩා දෑස ලං කරල, අතේ පයේ වැදීගෙන යන හුළඟ ආඝ්‍රාණය කරලා, දැනෙන සොබාදහම බොහෝම වෙනස් බව එතකොට ඔබට වැටහේවි. ඒ සොබාදහමේ හැම ගහක් මුලක් ම හුස්ම ගන්න බව ඔබට දැනෙන්නට පටන් ගනීවි. ඒ විතරක් නෙවෙයි .සොබා දහමට ගහ කොළට ආදරය කරන මිනිසුන්ගේ හදවත් වල,  ගිනි ජාලාවන් , කූට සටකපටකම්, කරකැවෙන්නේ නැති බවත් ඔබට දැනෙන්නට පටන් ගනීවි. යම්කිසි මනෝ ව්‍යාධියක් තිබෙනවා නම් ඔබ සුවපත් වෙන බව ඔබට දැනේවි. ජීවිතය කියන්නේ මහ රේස් එකක් දුවන තරග ඉසව්වක් කරගත්තු බහුතරයක් මිනිස්සු අතරින් පරිසරයට සොබාදහමට මුසුවෙලා, ඇත්තටම ආදරය කරන මිනිසුන්, එකිනෙකා අභිබවා නොයා, ජීවිතේ තරගය නතර කරමින්, සාමයෙන් තැන්පත් වූ මිනිසුන් බවට පත්වේවි. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ චිත්ත ධාරාවන් වෙනත්ම අයුරෙන් තමාටත් අන් ලෝකයටත් සාමය රැගෙන එන බව, සොබාදහම ඔබට කියා දේවි.  ජීවිතයේ අනිත්‍යය දුක වේදනාව, දුක නැති කරන මාර්ගය, ඒ හැමදේකටම උත්තර ඔබට පතපොතින් ලැබෙනවට වඩා, දහම් දේශනා දස දහසක් අසනවාට වඩා, සොබාදහම නිශ්ශබ්දව ඔබට කියලා දේවි.  ඉතින් අද දවස හරි වෙනස් .. වෙනදට කතාව ඇරඹෙන්නේ ගීතයකින්, ඒත් අද කතාව අවසාන කරන්නේ නන්දා මාලිනිය ගායනා කරපු ඉතාමත් ලස්සන ගීතයකින්.   බලන්න , ඔබත් මමත්වය , තරඟය , මාන්නය නිසා , අමතක වුනු දෙවි කෙනෙක් ඉන්නවද කියල ? 

අන්න බලන් දෙවියෝ 

දෙවියන්ගේත් දෙවියෝ 

සෙත් සලසන දුක්ගැහැටම ළත් 

දෙවොලක් නැති දෙවියෝ 


සදාහරිත කර මුළු මිහිමඩළ ම 

සෙවණ සදන දෙවියෝ 

මුව වග වලසුන් ගිජිඳුන් විහගුන් 

රැකවල් ලන දෙවියෝ 


සියතින් ගෙල සිඳ ලේ සෙලවූ වත් 

තරහක් නැති දෙවියෝ 

නිසි කල වැසි දී පින් පෙත් නොලබන 

අවිහිංසක දෙවියෝ 


හෘද සංවාදයකින් ලබන සිකුරාදා ආයෙමත් ආදරෙන් මුණගැහෙන්නේ සිත්සරා වීරසිංහ 

https://www.youtube.com/watch?v=P9syi2xeFFY

No comments:

Post a Comment

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->