Saturday, August 12, 2017

[338] තරඟයේ නිමාව සහ ජීවිතයේ දියත් කිරීම


තරඟයේ වෙහෙස සෙමෙන් සෙමෙන් නිවී යද්දී ජීවිතය සොයන ආත්මයට හමුවූ ආතුර මනස සුවපත් කළ හැකි අද්භූත බලවේගයක් සොබාදහමට ඇති බව මම මෑතකදී පසක් කර සිටිමි .

උදෑසන අරැණ නැගෙද්දී අප නිදිබර ගත ඇඳෙන් නැගිටුවීම , පාසල් වියේ අමිහිරිතම කාරිය වූයේය. විශ්ව විද්‍යාල සමයෙහිද , රැකියාවක් කල   සමයෙහිද වසර තිස් හතරක් තිස්සේම උදෑසන නැගිටීමේ ව්‍යායාමය  අසාර්ථක වුවද , දැන් මා එනතුරැ සිය පිණිද වියලෙන්නට නොදී ඉස්සෙමින් මග බලන හරිත තණ නිල්ල සිහිපත් වන්නාහාම , ගත සිත නිරායාසයෙන්ම හිමිදිරියේ අවදි වෙන සැටි පුදුමාකාරය.


රිය නවතන සුපුරැදු තිප්පොලෙහි නිදා සිටින බලු මිතුරන් ඇහැරවා , මගේ බිම් අයිතිය වෙනුවෙන් හෝන් ගසන්නට මට සිදු වෙයි. සිය නගුටු වනමින් මගේ ආගමනය පිලිගන්නා ඔවුනට දවස ඇරඹිය යුතු වගට සිහිගන්වන එලාමය මා බවට පත්ව ඇති සැටි !  

තවමත් හිරැ දැක පලා යන්නට ඉතිරිව ඇති අවසන් විනාඩි කිහිපයද සුලඟ සමග ඇතිල්ලෙමින් එකෙල මෙකෙල වන, ගණ මිහිදුම් තිර කඩ කලඹමින් මම තණ බිම වෙත ඇ⁣දෙමි. දුරකථනයෙහි දිවුම් සටහන් සුසර කරමි , සුපුරැදු මිහිරි ගීතාවලිය  පණ පොවමි . ගන්නා හුස්මක් පාසා දූලි සහ විස දුමින් පෙර දින තිස්සේ ඔට්ටු වූ පෙනහලු , එවන් දූලි දුමින්  විනිර්මුක්ත සීතල වාදහරාවන් පුරවා ගනිමින් යලි පිබිදෙයි .



පා ගමන ඇරඹෙයි , පා මාරැව වේගවත් වෙයි , ගීතයකින් පසු තව ගීතයක් අවදි වෙයි.ලා අඳුර මකා ලමින් , ගණ ෆයිනස් තුරැ මුදුන් අස්සෙන් හිරැ නැගෙද්දී, අඳුරට නිල් පැහැව පෙනුනු තණ නිල්ලෙහි සජීවී හරිත ලා  පැහැය මතුව එයි. මේ තරම් උදේ නැගිට දහඩිය දමන  තුරැ ඇවිදින මේ මිනිසුන් උමතුවෙන්දැයි විමතියෙන් , කිරල් ජෝඩු හිටි වනම තනි කකුලෙන් සිටගෙන , බිරන්තට්ටු මුහුණෙන් මේ දුවන ජනතාව දෙස බලා සිටිති. 



අනෙකුත් අවසෙස් මිනිසුන්  අවදිව ඇඳෙන් බැස, ජීවිත තරඟය අරඹන්නට දත මැද ඇඳ පැලඳ කැස කවන ⁣මේ උදේ පාන්දර , අම්මලා අතින් ලිප ගිනි මෙලැවෙන බත සරි වන මේ හිමිදිරි පාන්දර  ,  ළමා ලපැටි අන්තිම මොහොතේ පාසල් ගෙදර වැඩ කරන මේ මහ පාන්දර,  උන්මත්තකයින් රැලක් සේ , උදේ මග ගෙවා මෙහි විත් , දුව දුවා හති වැටෙන්නේ කිම්දැයි කිරලුන්ට මෙන්ම නොකිරලුන්ටද අරැමයක් වීම ස්වභාවිකය !



හිරැ සමග යලි උපත ලබන දිනයක ආහ්ලාදජනක හරිත චමත්කාරය විඳින්නට වේගය මඳක් බාල වෙයි. තණ පියලි උඩ මේ දැන් දිලිසුනු කුඩාපිණි බිඳ ,ඊලඟ රවුම දුවගෙන එන විට ,පැන ගොසිනි . තණ පියලි හා සමසිත් ඇතිව ඇති දැඩිවූ හුරැබුහුටි සිඟිති බිම්මල් හැමතැන විසිර ඇත්තේ මුතු අහුරක් සිහි කරමිනි . සිය මව් පසුපසේ වැටී දතකට මදින්නට මෙන් පෙළ ගැසුනු  කුඩා කිරල් පැටවුන් මෙතෙක් මේ තණ පඳුරැ අස්සේ කෙසේ සැඟව සිටියෝද?  දෑස් වලට නිනව්වක් නැත. ඊයේ තුරැ අගිස්සේ උජාරැවෙන් ඇලවී උඩගොස් හිටි සුකොමල මැයි මල් අද උදේ තෙත පින්නෙන් පෙඟුනු තණ බිමෙහි අවසන් සුසුම් ලනු දකින විට පාගන්නටත් ලෝබය! දෑසට අඳුන් ගානා මේ වෛවාරණ වසන්තය මතකයක් ලෙස සලරැවක සටහන් නොකොට නිකම්ම නිකන් දුවගෙන යන්නට ඊටත් වඩා ලෝභය !



එකාතකින්  මහනුවර සමෝසම් සීතල සහ උණුසුමෙහි ඇලී ගැලී එයටම ලොබ බඳින ගත හිත මේ විඳින පාරාදීසයෙහි සුන්දරත්වය , මී පැණි ගුලාවක නිදන්නා සේ හද මත් කරන සුලු නොවෙද ?  

ගමන බොහෝ පමාව ඇති සෙයකි. මට නොහිතුනත් රට්ටු කියන්නේම එහෙමය !



ඒත් මේ සොඳුරැ සිරි මගැර කුමට  හැල්මේ දිව යන්නද ? දිව ගොස් ලැබෙන්නේ වෙහෙස පමණක්ම නම්?



2017-8-10 : පේරාදෙණිය විශ්ව විද්‍යාල ක්‍රීඩාංගනයේ සීතල තණ නිල්ලේ හිඳ ලිවීමි ..

4 comments:

  1. "පේරාදෙණිය විශ්ව විද්‍යාල ක්‍රීඩාංගනයේ සීතල තණ නිල්ලේ හිඳ ලිවීමි .." ...... දශකයකටත් වඩා පරණ මතකයන් රැසක් අවදි වුනා......
    ඔබ විශ්ව විද්‍යාලයේ සේවය කරන්නියක්ද?

    ReplyDelete
    Replies
    1. නැහැ මම එහි ඉගෙන ගත්තා.. නමුත් නිතර තවම යන එනවා.

      Delete
  2. I don't understand this game

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->