Thursday, January 18, 2018

[339] Trains, Teens & Thoughts කතන්දර

ජීවිතය නමැති දුම්රියෙහි ආහ්ලදජනක සොඳුරු මැදිරියක මා නැග සිටින මෙසමයෙහි , මට නිතර නිතර කොලඹ නුවර චාරිකා කරන්නට සිදුව තිබේ. භාර ගත් රාජකාරි අවසන් කිරීමට සිදුව තිබෙන හෙයිනි. එහෙයින් මේ කියන දිනද මම උදෑසන කොලඹින් පිටත් වන නගරාන්තර දුම්රියෙහි දෙවන මැදිරියෙහි ගමන් ගනිමින් සිටියෙමි.  දස දොලොස් වසරක් තිස්සේ කොලඹින් නුවරට , නුවරින් කොලඹට වරින් වර ආගමනය වූ මට දුම්රිය තරම් සුවප්පහසු ගමනාගමනයක් තවත් නොතිබිණ. එමෙන්ම දුම්රිය හා බැඳුනු මතකද බොහෝය. එදා දුම්රියද අද දුම්රියද  මහා වෙනසකට බඳුන්ව නැත. (බාගදා මේ එකම දුම්රියම විය හැකිය) වෙනස්ව ඇත්තේ කාලය විසින් වෙනස් කරන ලද මගේ සිත හා ගතය . ඒ අතින් බැලූ කල දුම්රිය කොතරම් ස්ථාවරද ? ඒ තරම් ස්ථාවර බවක් , වෙනස් වන අපේ ජීවිත ජවනිකා වලට නැත්තේය.

කාලාන්තරයක් තිස්සේ කූඩුව හිඳ , එක වරම සො ආදහමට මුදන ලද ගිරා රංචුවක වැනිමහා ගාලගෝට්ටියකින් , මගේ කලකට පසු  අත් පොත් තැබු ලියන දැහැන බිඳී යයි. ලිවීමට පණ ලැබ කෙලින් වූ පෑන හරහ වැටෙයි.පොත වැසෙයි .මා මෙන්ම විපිලිසර වූ මැදිරි ජනතාව කර උස්සා විපරමිනි.

යන්තම් ඇටෙන් පොත්තෙන් බේරුනු නාඹර තරුන නව යෞවනියන් තිදෙනෙක් මරදානෙන් නතර වූ දුම්රියට ගොඩ වදින්නේ මහා කලබැගෑනියක් වූ අයුරෙන් කැකිරි පලමින් බෑගිරි තලමිනි. උදෑසන පළමු හිරු කිරණින් උන්මාදයට පත් වූ කිරිල්ලන් තිදෙනෙකුට නොදෙවෙනිව දොඩමලුව , එකිනෙකාගේ උරහිස් වල එල්ලී , ආසන අංක වලට එබෙමින් මහා කලබලයක් කරති. මා හිඳ සිටි හතරේ අසුනට එහා පැත්තේ හතරේ අසුනෙන් තුනක් මේ ගේ කිරිල්ලන්ට වෙන්ව අති වග මම පසක් කරමි. කාලයකට පසු ලියන්නට පෑන උල් කරගත් මට පුංචි සතුටක්ද ( ඇයි අද මා ලියන්නේ උන් ගැන නොවැ) පුංචි දුකක්ද (මේ ගාලගෝට්ටිය අස්සෙ කොහෙ ලියන්නද ? ) දැනී යයි.

ලඟදී ඕ ලෙවල් කරපු පොඩි උන් තුන් දෙනෙක් වෙන්න ඇති. ඒ තරම් පොශ් යයි කිව නොහැක. හැබැයි ඇඳුමෙන් පැලඳුමෙන් , කතාවෙන් , මේ ගම්බද කෙල්ලන් කියා නම් කිව නොහැක. නව යෞවනියන්ට ආවේණික , පිහා‍ටු මෙන් කපා සකස් කල කඩා හැලන දඟකාර කෙස් වැටි , තොල් ආලේපන , නවීන පන්නයේ හිර ජීන්ස් සහ ටී ශර්ට් වල මෙච්චල් කළ නොහැකි දඟකාරකම වෑහෙයි. කාලය වෙනස්ව තිබේ. මට ඒ ගැන දුකක් හෝ තරහවක් නොදැනෙයි. ඒත් හොර හොරෙන් හෝ මේ අපූරු කෙල්ලන්ගේ චරියාව විපරම් කරන්නටම සිතෙයි.


මේ කෙල්ලන් තිදෙනාගේ හතරේ සීට් එකේ ඉතුරු වූ එකම එක අසුනේ 'microsoft ලාංචනය ගැසූ කාර්යාල ටී ශටයක් හැඳගත් කඩවසම් , විනීත තාලේ කොලු ගැටයෙකි. හදිසියේ හෙණයක් මෙන් පාත් වූ මේ කටකාර මැසින් තුන එන තුරු නිසොල්මනේ ගීතයක් අසමින් දුරකතනය සමග තනිව සිටි මේ කොලුවා සිය කන් බණු තවත් කිටි කිටියේ තද කර ගත්තේ , දැනුනු මඳ අපහසුවෙන් මිදෙන්නට විය යුතුය.  තාරුණ්‍යය දඟකාට කම හා කටකාරකම උතුරන මේ කෙල්ලන්ගේ ඇස් වලින් , තරුණයා වෙත බැලුම් ඊතල මෙන්ම නුරුස්නා ගල් කැටද  එල්ල වෙයි. ගණන නොගන්නවාට තරහ පාටයි ! කොල්ලා දෑස් වියාගෙන නිසලය ! එයද මගේ සිතේ සටහන් වෙයි.

මේ කෙල්ලන් තිදෙනාට , ජීවිතයේ පලමු වතාවට ලද නිදහස් චාරිකාව මෙය විය යුතු යැයි මටද සිතෙයි. බෑග් සියල්ල එක අසුනකට ගුලි කල කිරිල්ලන් තිදෙනාගෙන් එකියක් , අනෙක් දෙදෙනාගේ ආසන දෙකෙහි පු‍ටු වතෙහි නගියි. සෙල්‍ෆි ක්‍රියාත්මක වෙයි. තාර මුහුනු , උල් කරගත් නිකට හා තොල් , ඒ වෙනුවෙන්ම පීරන ලද කඩා දැමූ හිසකෙස් , බලා ඉන්නට යම් චමත්කාරයක් දනවයි. විටෙක මේ ඔලු තුනම ජනේලයෙන් එකවර එලියට එබෙයි. මගෙ හිතටත් බයක් දැනෙයි. බිම්ගෙවල් තව දුරයි. මගෙ හිත මාව සනසයි. පු‍ටු වතෙහි අඩමානයට හිඳ සිටින කෙල්ල , දුම්රිය තිරිංගයකින් ඇද වැටෙයි. උන්ගේ ඔල්වරසන් නාදයට දුම්රිය අමෙදිරියේ වීදුරුද වෙවුලුම් කන සෙයකි... මැදිරි මගීන්ගෙන් වැඩිහරියකට මේ කිචිබිචිය මඳ අවහිරයක්ව ඇති බවක් පෙනෙයි. මටද මඳක් එසේ දැනෙයි. එහෙත් එය බලා ඉන්නට තරම් සොඳුරු නාටකයක් බැවින් යම් ආස්වාදයක්ද දැනෙයි.  microsoft කොලුවාට මේ ඉඳුම එපා වී ඇති හැඩයි. ඔහු මැදිරි දොර වෙත ගොස් හේත්තු වෙයි. කිරිල්ලනට ත‍ටු ලැබුනා වැනියි. ඔවුනටම කියා පුංචි කූඩුවක් ලැබුනා වැනියි. දැන් නුවරට ආසන්න වන බැවින් , බිම් ගෙවල් පසු වීම ඇරඹෙයි. අසල අසුන් තුනෙන් එලියට විසි වන ඔලු ගෙඩි තුනද යටිගිරි හූ හඬක්ද නික්මෙයි ! පුදුම මාර දූතිකාවෝ තුන්දෙනෙක්නේ ... ගොඩ දෙනෙක්ට මෙන්ම මටද එහෙම සිතෙන්නැති.

මේ සොඳුරු තාරුණ්‍යයයි. නමුදු දස දොලොස් වසරක් තිස්සේ ගිය ආ ගිය කෝච්චි ගමන් අස්සේ , මෙහෙම කෙල්ලන් තිදෙනෙක්නම් හමු උනාමයි. ඇත්තමයි ! නිදහසේ ආස්වදය ! උමතුව ! ප්‍රහර්ෂය !



ටික වෙලාවකින් මේ ඉඳගෙන යන ගමන් කෙල්ලන්ට ඇති වෙයි. ඉන් දෙදෙනෙකු පාපුවරට ගොස් හිඳ ගනිති . මගේ ඇස් විස්මයෙන්ද බියෙන්ද විසාල වෙයි. පොඩි තරහවකුත් එයි. තෙවැන්නිය මැදිරි කවුලුවෙන් හිසද , ඉඟටිය දක්වා සිය වතම එලියට ඔබා , මිතුරියන් දෙදෙනාගේ පින්තුර ගන්නීය. පාපුවරුවේ කෙල්ලන් දෙදෙනා පුරුදු කාරියන් මෙන් දොර පොල්ලේ එල්ලී තනි කකුල්න් පාපුවරුවේ ඇල වෙති. කෑගසති. බිම්ගෙයක් පසුවෙද්දී හූ කියති. යලි හිඳ ගනිති. ඔවුන්ගේ දිගු කොණ්ඩා , රපුන්සල් සුරඟනා කතාවේ මෙන් විහිදී ඇදී යයි. මගේ නම් ලේ වතුර වීමට ආසන්නයි.

මේ ඊයෙ පෙරෙදා , පාපුවරුවේ එල්ලී ගිය කොල්ලෙකු , පේරදෙණිය යකා පාලමේ වැදී මහවැලියට බිලි වූ බව මේ දෙබිච්චියන් තිදෙනා නොදන්නවා වන්නට ඇති. වසර හතරකට පෙර ඇල්ල වැල්ලවාය ගිය විනෝද චාරිකාවේදී, දුම්රිය පාපුවරුවේ , පාවහන් නැතිව කකුල් වනමින් ගොස් , පට්ටිපොල දුම්රිය වේදිකාවේ කකුල හප්පා ගත් මං තුමියගේ එක වෙදැගිල්ලක් අදටත් අක්‍රියව ඇදව ඇති බව මේ මෝඩියන් තිදෙනාට , නැගිට ගොස් කියන්නට මට සිතන තරම්ය. ගෙවල් තුනක ලිග්ගල් වල අද බත ඉදෙන්නේ ගෙදර බුදුන්ගේ හිත පත්තු වෙන ගින්දරෙන් බව මෙලෝ සිහියක් නැතිව තාරුණ්‍යය අත් විඳින මේ කිරිල්ලියන්ට මතක නැති ගානය. ගෙදරින් පිට වෙද්දි දුන්නු අව්වාද දැන් උන්ගේ නිදහස් කෙහෙ‍රැලි සමග සුලඟේ පාව ගොසිනි. තත්පරයක එහෙ මෙහෙ වීමකට ජීවිතයෙන්ම වන්දි ගෙවිය යුතු වෙයි.



ඇට්ටර කොලු ‍රැලකට නොදෙවෙනි මේ කෙල්ලන් තිදෙනා , කොල්ලෙකුවත් නොකරන වීර ක්‍රියා කරන හැටි මට නම් මහ පුදුමයකි. අඳුරු බිම්ගෙයකදී පාපුවරුවේ එල්ලීම , එකාතකින් භයානකය ! එකාතකින් බිය හිතෙන සුලුය . එක අතකින් ටිකක් ලැජ්ජා සහගත යැයි මට නම් සිතෙයි. එහෙත් ඒවා  නොහොබිනා වැරදි කියාද කිව නොහැක්කේය ! දඟකාර කම එකකි. අපරික්ෂාකාරිත්වය තවෙකකි. microsoft කොල්ලාට දුම්රිය පාපුවරුවද අහිමි වෙයි. ඔහු නැවත පැමිණ අසුනෙහි ගුලි වෙයි.

මගේ සිතිවිලි දාමය බොහෝ දුර යයි. කාලය කොතරම් මේ දැරිවියන් ඉදිරියට ගෙන ගොස් තිබේද ? ඔයි වයසේදී මට ගිනිකූරක් ගසා ගන්නටවත් බැරිය. කහ ඉරකින් තනිව පාර පනින්නටද බැරිය. ඔවුන්ගේ ආත්ම විශ්වාසය පිලිබඳව මට පහන් හැඟීමක් පහළ වෙයි. අම්මාගේ සාරි පොට හපමින්, "බබා නම මොකක්ද" කියා අසන අමුත්තෙකුටවත් පිලිතුරු දෙන්නට කට නාරින දරුවන්ට අනාගතයට තනිව මුහුණ දෙන ශක්තිය ලැබෙන්නේ කවදාද? සමහරුන්ට , වියපත් වුවද එය නොලැබේ .  එය හොඳ දෙයක් නොවේ. එක අතකින් ගෙවල් වලින් අපට මෙබඳු නිදහසක්නම් කිසිසේත්ම තිබුනේ නැතිය. එක් අතකින් බලන කල මෙසේ නිදහසේ සතුට භුක්ති විදීමද හැකියාවකි. එහි සිමා මායිම් පිලිබඳ එතරම් නොතැකීම අනතුරුවලට මග පාදනු නැතිද? ලෝකය තනි යායක් වුවද එහි පහත් බිම් , තැනිතල , සෙල් තලා මෙන්ම මර උගුල්ද නැතුවා නොවේ. තම හැඟුම් මෙපමණටම විවෘත කිරීම බටහිර රටක සාමාන්‍ය දෙයක් වුවද පෙරදිග පරිසරයෙහි ඇතමුනට දකිනු ප්‍රිය නොවේ. මේ අවිහිංසක දැරිවියන් තවම මේ කෲර ලෝකය ගැන කිසිත් නොදන්නවා විය යුතුය.



දුම්රිය ගමන නිම වෙයි. මම ඔවුනගේ පුද්ගලිකත්වයට හානි නොවන ආකාරයේ පින්තුරු එකක් දෙකක් දුරකතන කැමරාවේ සටහන් කර ගනිමි. දහවල් BIT  පංතිය අතරතුරද මේ අපූරු චරිත තුන මට සිහියට එයි. මේ මට ඉතා ප්‍රිය වූ , මඳක් යමක් කමක් තේරෙන වැඩිහිටි දරුවන් සිටින පංතියක් බැවින් , මා දු‍ටු දසුන ඔවුන් සමග බෙදාගන්නට මට සිතක් පහළ වෙයි.

මං මේ නොදන්නකමට අහන්නෙ. ඔයාලට ඒ ගැන මොකද හිතෙන්නෙ ?" මම අසමි

"ඒක නම් පොඩ්ඩක් අවුල් වගෙ නේද මැඩම්?" ඒ එක්කෙනෙක්ගෙ අදහස ...

"එතන ඉඳලම බලන්නැතුව හරියටම කියන්ඩ බෑ මැඩම්" ඒ තව උත්තරයක් .... සභාවේ සිනා ....

"පොශ් කෙල්ලො , ඔහොම දඟලන්නෙ නැහැ මැඩම් . ඔය දෙමටගොඩ මුඩුක්කු වල ඉන්න අයද කවුද දන්නෙ "  ඒ ටිකක් සැර උත්තරයක් .

" පුරුද්දට කෝච්චි වල යන අය ඔහොම  බිංගෙවල් වල් කෑ ගහන්නෙ නෑ මැඩම්. ශුවර් එකටම ඔය ජීවිතේ පලවෙනි සැරේට තනියම කෝච්චියෙ යන කෙල්ලො තුන්දෙනෙක්" ඒ නිතර කෝච්චියෙම යන එන ලමෙක්ගෙ අදහස ...

"අනේ මන්ද ... කෙල්ලො උනාම ඔහොමත් බෙරිහන් දෙනවද ?"  ඒ තව උත්තරයක් ...

සිනහවෙන් , උද්යෝගයෙන් පංතිය නිම වෙයි. ජීවිතය එතැන නැවතුනු තැනින් යලි පටන් ගනියි. මට දුම්රිය ගැන සිතිවිලි එයි. අවුරුදු සිය ගාණක් තිස්සේ , ශුම්රිය මැදිරි වල නා නා අයුරෙන් හිට ගෙන ඉඳගෙන ගිය විවිධාකාර මිනිසුන් දවසින් දවස මහලු වෙයි. දුම්රිය අද මෙන් හෙටද සිල්පර කොට උඩ ඇදී යයි. දුම් රියට ත‍ටු එන්නේ නැත. මහලු වන මිනිසුන් විනා , මහලු වන හෝ යාවත්කාලීන වන මිනිස්කම් නැත්තේය. මනුස්ස හදවත් , නුවර වේවා , කොලඹ වේවා , මෙරට වේවා , නොරට වේවා , එහි සම ගුණ ඇත්තේය !

පුළුන් පොදක් වන් සැහැල්ලු මුහුණෙහි
තරු ඇස්  හරි හරියට දැල්වෙනවා
තව ඇස් දාහක් ,මුහුණු පොඩිති වල
අසිරිය විඳිමින් සිහිලැල් වෙනවා

හැඩට කැපුව ඔය නිදහස් කෙහෙ රැළි
නූපුර කිංකිණි පරයන මිණි වැල්
මැදිරි කොනක බිමත් රතු දෙසක්
සරාගී ඇස් නුඹ වෙත මානනවා

පපුතුර ඇවිලෙන් ගින්දර වහගෙන
කඩුල්ල අද්දර ඉන්නා අම්මා
උදේ ඉගිල්ලුනු ගෙදර කිරිල්ලිය
ගෙට හැරෙනා වංගුව විමසනවා

ගෙදර බුදුන් හිත සංකා සෝ දුක  
දුම්රිය ඇන්ජිම දන්නේ  නැතුවා
පාපුවරුවේ නුඹ එල්ලෙන ගානේ
දෙවියන් ඉන්නා තැන් ඇහැරෙනවා  

2018 - ජනවාරි 16 දින - කොළඹ නුවර සීග්‍රගාමී දුම්රියේදිය ...


9 comments:

  1. Brilliant! Never realized how much I missed your writing until reading this...:)

    /දෙබිච්චියන් තිදෙනා../

    මේ වචනෙ හොයාගත්තෙ කොහෙන්ද නෝනා?..කලින් අහල නෑ...

    /පට්ටිපොල දුම්රිය වේදිකාවේ කකුල හප්පා ගත් මං තුමියගේ එක වෙදැගිල්ලක් අදටත් අක්‍රියව ඇදව ඇති බව../

    ඈ බොල උඹෙ කකුලෙත් වෙදඟිලි තියනවය?

    පේරාදෙණිය - මරදාන අතර ගමනාගමනයෙදි මටත් ඔහොම තාරුණ්‍යයෙන් ඔදවැඩීගිය කොල්ලො කෙල්ලො හත් අට පාරක් හමුවෙලා තියනව.

    එක පාරටම ෂික් මොන වදයක්ද? කියල හිතෙනව තමයි. ඒත් ඒ එක්කම මම කරන්නෙ ඒ නුරුස්නා හැඟීම පාලනය කරගෙන කියවන්ට අතට ගත්තු පොත වහල දාල උංගෙවිපිරියාස දිහා නොදැනෙන්ට බලා ඉන්න එක..

    ඒ අතරෙ යොවුන් වියේදි අනුරාධපුරේ සහ බදුල්ලෙ ඔහොම ගිය හැටි ස්මරණය කරමින් මතක මංපෙත ඔස්සේ සුට්ටක් අතීතයටත් යනව...

    ReplyDelete
    Replies
    1. Thanks my dear brother....

      ayiyo oya chuti chuti veradi ganan gannepa loku ayya :) hebay mehema anik un gena viparam karana eka harima sundara deyak <3

      Delete
  2. හොඳ විස්තර කිරීමක්. එක දිගට කියවාගෙන යන්න පුළුවන්.

    ReplyDelete
  3. ඔය සැහැල්ලුව ජීවිතේ අන්තිම සහෙල්ලුව වෙනවා ,වාසනාවක් තිබිල තියෙනවා පොඩි

    ReplyDelete
  4. ලස්සන පොස්ට් එකක් .
    කාලෙකට කලින් මම ලිව්වා පොස්ට් එකක් මතක් උනා කොච්චිය ගැන .

    "මගේ ආදරණිය දුම්රිය මතකයන්"
    https://magelokaya01.blogspot.com/2017/06/4.html

    ReplyDelete
  5. ජීවිතයේ ආහ්ලාද ජනක මැදිරියක මේ දිනවල ගමන් කරන ඔබට මාගේ සුභාශිංශන පිරිනමමින් කමෙන්ටුව අරඹමි.
    ඔය වැනි කෙල්ලන් දිනපතා දකින විඳින , ඔවුන් සමඟින් සිනා දෙන කෑගසන මා හට ඔබගේ සිතේ ඇති වූ හැඟීම් වෙනත් මානයක් පෙන්වනා වැනිය. මා ඔයවැනි කෙල්ලන් සමඟින් සවාරි ගිය වාර ගාණන මට ද මතක නැත. මා යන්නේ ඔවුන්ගේ “ආරක්ෂිකාව“ ලෙසිනි. නමුත් ඔවුන් මා හා යාමට වඩාත් කැමැති වන්නේ ඇයි යන්නට පිළිතුර ඔබගේ ලිපිය තුල තැන තැන තිබී මම අහුලා ගත්තෙමි.......
    මාද කලෙක මෙවැනි කෙල්ලන්ගේ හැසිරීම් මහා කරදරයක් ලෙස සිතූ කලක් තිබුණි.......නමුත් දැන් මා “ වයසට නොයන “ තැනට පත් කර ඇත්තේද ඔවුන් විසින්මය........
    කලකින් ඔබ ලස්සනට ලියලා...නැවතත් ලියන්නට ඔබට කාලය ඇවිල්ලා......
    ගිහින් එන්නම්.

    ReplyDelete
  6. අපේ ජීවිතේ වටපිටාවෙන් අපි කොටු කරගෙන. නිදහසේ ඒක බුක්ති විදින්න අමාරුයි. මේ කෙලි ගටිත්තියන්ට එහෙම නෑ. හැමෝටම එහෙම ඉන්න පුළුවන් නම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙය්ද.

    ReplyDelete
  7. කාලෙකින් රස සටහනක් කියවන්න ලැබුනේ බ්ලොග් ගුරැතුමි ගෙන්

    සදා ජය
    කාලෙකින් බ්ලොග් ටිකක් බැලුවේ

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->